New at Little Bit


from Path to Nirvana https://ift.tt/3jtXA9J
අද දින ඉදිරිපත් කරන පාලි වචනය ‘බුද්ධ’ යන්නයි.
බුද්ධ = බුදුරජාණන් වහන්සේ

මෙම පදය නොයෙක් ආකාරයෙන් ත්‍රිපිටකයේ යෙදී ඇති අවස්ථා හමු වේ. ඒවා වෙන වෙන ම හදුනාගත යුතු වේ. මේ සියලු ආකාර දක්වා ඇත්තේ සෙසු මීට සමාන පදවල ඇති යෙදීම ද සලකා බැලීමෙනි. එබැවින් මේ සියල්ල ත්‍රිපිටක පාලියේ දැකිය නොහැකිය. දැකිය හැකි උදාහරණ කිහිපයක් සමඟ මෙසේ දැක්විය හැකිය.

1. වාක්‍යයක උක්තය ලෙස:
ඒකවචන – බුද්ධො
බහුවචන – බුද්ධා

බුද්ධො (බුදුරජාණන් වහන්සේ)
උදා: තෙන සමයෙන බුද්ධො භගවා (එ සමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ)

බුද්ධා (බුදුරජාණන් වහන්සේලා/බුදුවරු)
උදා: ද්‌වෙමෙ, භික්‌ඛවෙ, බුද්‌ධා. කතමෙ ද්‌වෙ? (මහණෙනි බුදුවරු දෙදෙනෙකි. ඒ කවර දෙදෙනෙක් ද යත්?)

අභ්‍යාස
පහත පාලි වාක්‍යවල සිංහල පරිවර්තනයේ ඇති හිස්තැන් පුරවන්න.
1. ඉති බුද්‌ධො අභිඤ්‌ඤාය (මහා පරිනිර්වාණ සූත්‍රය)
(සිං) යැයි …………… අවබෝධ කොටගෙන

2. ගන්‌ත්‌වාන බුද්‌ධො නදිකං කකුධං (මහා පරිනිර්වාණ සූත්‍රය)
(සිං) …………….. කකුධං නදියට ගොස්

3. බුද්‌ධො හවෙ කප්‌පසතෙහි දුල්‌ලභොති. (මහා පරිනිර්වාණ සූත්‍රය)
(සිං) …………….. ඒකාන්තයෙන් කල්ප සියයකිනුදු දුර්ලභය.

4. සුපණ්‌ණතො ඛෙමමකාසි බුද්‌ධො (මහාසමය සූත්‍රය)
(සිං) ………….. සුපර්ණයා කෙරෙන් නිදහස් කළසේක.

5. බුද්‌ධො සො භගවා බොධාය ධම්‌මං දෙසෙති. (චූලසච්චක සූත්‍රය)
(සිං) ඒ භාග්‍යවත් ……………… අවබෝධය පිණිස ධර්මය දේශනා කළ සේක.

6. නිබ්‌බානං පරමං වදන්‌ති බුද්‌ධා (මහාපදාන සූත්‍රය)
(සිං) ……………….. නිර්වාණය උතුම් යැයි වදාරත්.

7. යෙ ච අතීතා සම්‌බුද්‌ධා, යෙ ච බුද්‌ධා අනාගතා (ගාරව සූත්‍රය)
(සිං) යම් අතීත …………………. කෙනෙක් වෙත් ද, යම් අනාගත …………………… කෙනෙක් වෙත් ද

8. ගාථාභිගීතං පනුදන්‌ති බුද්‌ධා (කසීභාරද්වාජ සූත්‍රය)
(සිං) …………….. ගාථාභිගීත භෝජනය පිළිකුල් කරති.

9. රූපං න ජීවන්‌ති වදන්‌ති බුද්‌ධා (ඉන්දක සූත්‍රය)
(සිං) ………………. රූපය ජීවත් නොවෙත් යැයි කියත්.

10. යඤ්‌ඤමෙතං පසංසන්‌ති, බුද්‌ධා යඤ්‌ඤස්‌ස කොවිදා. (උදායී සූත්‍රය)
(සිං) මේ යංඥය (දානය) යංඥය පිළිබඳ දක්ෂ වූ ………………….. ප්‍රශංසා කරත්.