New at Little Bit


from Path to Nirvana https://ift.tt/31Kg1kr
බුද්ධ ශබ්දයේ තවත් යෙදීම්

4. යමක් ‘ලබන්නා’ ලෙස (සම්ප්‍රදානය)
ඒකවචන – බුද්ධස්ස/බුද්ධාය
බහුවචන – බුද්ධානං

බුද්ධස්ස (බුදුරජාණන් වහන්සේට)
උදා: නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස (ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා)

බුද්ධානං (බුදුරජාණන් වහන්සේලාට)
උදා: බුද්‌ධානං පන එත්‌තකන්‌ති පරිච්‌ඡෙදො නත්‌ථි, යාවතකං ආකඞ්‌ඛන්‌ති, තාවතකං අනුස්‌සරන්‌ති. (බුදුරජාණන් වහන්සේලාට වනාහි මෙපමණක් යැයි පිරිසිඳීමක් නැත. යම්තාක් කැමති වෙත් ද, ඒ තාක් සිහි කරත්.)

5. ‘යමකින්’ වෙන් වීමේ අර්ථයේ
ඒකවචන – බුද්ධා/බුද්ධම්හා/බුද්ධස්මා
බහුවචන – බුද්ධෙහි/බුද්ධෙභි

මෙය බුද්ධ ශබ්දය සම්බන්ධයෙන් යෙදීම ඉතා අඩුය. එහෙත් මේ හා සමාන වෙනත් ශබ්දවල දී හමු වන බැවින් දැන සිටිය යුතුය.

6. ‘අයිතිය’ හැඟවීමේ අර්ථයේ (ස්වාමි)
ඒකවචන – බුද්ධස්ස
බහුවචන – බුද්ධානං

බුද්ධස්ස (බුදුරජාණන් වහන්සේගේ)
උදා: බ්‍රහ්‌මදත්‌තො මාණවො අනෙකපරියායෙන බුද්‌ධස්‌ස වණ්‌ණං භාසති. (බ්‍රහ්මදත්ත මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට/බුදුරජාණන් වහන්සේගේ ගුණ කියයි)

බුද්ධානං (බුදුරජාණන් වහන්සේලාගේ)
උදා: අථ යා බුද්‌ධානං සාමුක්‌කංසිකා ධම්‌මදෙසනා තං පකාසෙසි (අනතුරුව යම් බුදුරජාණන් වහන්සේලාගේ සාමුක්කංසික ධර්මදේශනයක් වේ ද එය වදාළ සේක)

මෙය සම්ප්‍රදාන හෝ ස්වාමි යන කුමන අර්ථයේ යෙදී ඇද්ද යන්න යෙදී ඇති අවස්ථාව අනුව තීරණය කළ යුතු ය.

අභ්‍යාස
පහත පාලි වාක්‍යවල සිංහල පරිවර්තනයේ ඇති හිස්තැන් පුරවන්න.

1. අත්‌තසන්‌නිය්‍යාතනං නාම ‘‘අජ්‌ජ ආදිං කත්‌වා අහං අත්‌තානං බුද්‌ධස්‌ස නිය්‍යාතෙමි, ධම්‌මස්‌ස, සඞ්‌ඝස්‌සා’’ති එවං බුද්‌ධාදීනං අත්‌තපරිච්‌චජනං.
(සිං) අත්‌තසන්‌නිය්‍යාතනය නම් අද පටන් මම ආත්මය …………………පවරා දෙමි. ධර්මයට, සංඝයාට (පවරා දෙමි) යැයි මෙසේ බුද්ධාදීන්ට ආත්ම පරිත්‍යාගය කිරීම.

2. ඛීණාසවා අරහන්‌තො, බහූ බුද්‌ධස්‌ස සාවකා
(සිං) ……………… ක්ෂීණාශ්‍රව අර්හත් ශ්‍රාවකයෝ බොහෝය.

3. අනුපුබ්‌බං පරිචිතං, යථා බුද්‌ධෙන දෙසිතං.
(සිං) ………………. දේශනා කරන ලද ආකාරයට අනුපිළිවෙළින් පුරුදුකරන ලද්දේ…

4. කම්‌මං ඛො පන මෙ කරොන්‌තෙන න සුකරං බුද්‌ධානං සාසනං මනසි කාතුං
(සිං) කර්මාන්ත කරන්නා වූ මට …………………… ශාසනය මෙනෙහි කිරීම පහසු නොවේ.

5. තිස්‌සො විජ්‌ජා අනුප්‌පත්‌තා, කතං බුද්‌ධස්‌ස සාසනං.
(සිං) ත්‍රිවිද්‍යාවන්ට පැමිණෙන ලදී. ……………….. ශාසනය කරන ලදී.

6. බුද්‌ධෙන ධම්‌මො විනයො ච වුත්‌තො
(සිං) ………………. ධර්මය ද විනය ද වදාළ සේක් ද …

7. බුද්‌ධස්‌ස වා ධම්‌මස්‌ස වා සඞ්‌ඝස්‌ස වා අවණ්‌ණෙ භඤ්‌ඤමානෙ…
(සිං) ………………….. හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ නුගුණ කියන කල්හි …

8. කතමෙසානං ඛො බුද්‌ධානං භගවන්‌තානං බ්‍රහ්‌මචරියං න චිරට්‌ඨිතිකං අහොසි.
(සිං) කවර නම් භාග්‍යවත් ………………… බඹසර චිරස්ථායී නො වී ද?

9. චෙතියං වන්‌දිත්‌වා බොධියඞ්‌ගණං පත්‌තෙනාපි බුද්‌ධස්‌ස භගවතො සම්‌මුඛා විය නිපච්‌චකාරං දස්‌සෙත්‌වා බොධි වන්‌දිතබ්‌බො.
(සිං) චෛත්‍යය වැඳ බෝධි අංගණයට පැමිණියහු විසින් ද භාග්‍යවත් ……………. සම්මුඛ වූවාක් මෙන් ගෞරව දක්වා බෝධිය වැඳිය යුතුය.

10. ආචිණ්‌ණං ඛො පනෙතං බුද්‌ධානං භගවන්‌තානං ආගන්‌තුකෙහි භික්‌ඛූහි සද්‌ධිං පටිසම්‌මොදිතං.
(සිං) ආගන්තුක භික්ෂූන් සමඟ පිළිසඳර කථා කිරීම භාග්‍යවත් ……………….. ආචීර්ණ ධර්මතාවයකි.

උපුටාගැනීම සා මාගධී මූලභාසා පිටුවෙන්