New at Little Bit


from Path to Nirvana https://ift.tt/2HJItw7
බුද්ධ ශබ්දයේ සියලු ආකාරයේ යෙදීම්
සාරාංශය
බුද්ධ = බුදුරජාණන් වහන්සේ
1. වාක්‍යයක උක්තය ලෙස:

බුද්ධො (බුදුරජාණන් වහන්සේ)
උදා: තෙන සමයෙන බුද්ධො භගවා (එ සමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ)

බුද්ධා (බුදුරජාණන් වහන්සේලා/බුදුවරු)
උදා: ද්‌වෙමෙ, භික්‌ඛවෙ, බුද්‌ධා. කතමෙ ද්‌වෙ? (මහණෙනි බුදුවරු දෙදෙනෙකි. ඒ කවර දෙදෙනෙක් ද යත්?)

2. වාක්‍යයක කර්මය ලෙස:

බුද්ධං (බුදුරජාණන් වහන්සේ): මෙහි දී වාක්‍යයක කර්මය වශයෙන් යෙදේ.
උදා: බුද්ධං සරණං ගච්ඡාමි (බුදුරජාණන් වහන්සේ සරණ යමි) – මෙහි සරණ යන්නේ ‘මම’ යි. ඒ සරණට බඳුන් වන්නේ බුදුරජාණන් වහන්සේයි.

3. ‘විසින් / කරණ කොටගෙන’ යන අර්ථයේ:

බුද්ධෙන (බුදුරජාණන් වහන්සේ විසින්)
උදා: යථා බුද්ධෙන දෙසිතං (බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ආකාරයට)

බුද්ධෙහි (බුදුරජාණන් වහන්සේලා විසින්)
උදා: වණ්ණිතං බුද්ධෙහි බුද්ධසාවකෙහීති ආරඤ්ඤිකො හොති (බුදුරජාණන් වහන්සේලා විසින්, බුද්ධශ්‍රාවකයන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද්දේ යැයි ආරණ්‍යක වෙයි)

4. යමක් ‘ලබන්නා’ ලෙස (සම්ප්‍රදානය)

බුද්ධස්ස (බුදුරජාණන් වහන්සේට)
උදා: නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස (ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා)

බුද්ධානං (බුදුරජාණන් වහන්සේලාට)
උදා: බුද්‌ධානං පන එත්‌තකන්‌ති පරිච්‌ඡෙදො නත්‌ථි, යාවතකං ආකඞ්‌ඛන්‌ති, තාවතකං අනුස්‌සරන්‌ති. (බුදුරජාණන් වහන්සේලාට වනාහි මෙපමණක් යැයි පිරිසිඳීමක් නැත. යම්තාක් කැමති වෙත් ද, ඒ තාක් සිහි කරත්.)

5. ‘යමකින්’ වෙන් වීමේ අර්ථයේ

මෙය බුද්ධ ශබ්දය සම්බන්ධයෙන් යෙදීම ඉතා අඩුය. එහෙත් මේ හා සමාන වෙනත් ශබ්දවල දී හමු වන බැවින් දැන සිටිය යුතුය.

6. ‘අයිතිය’ හැඟවීමේ අර්ථයේ (ස්වාමි)

බුද්ධස්ස (බුදුරජාණන් වහන්සේගේ)
උදා: බ්‍රහ්‌මදත්‌තො මාණවො අනෙකපරියායෙන බුද්‌ධස්‌ස වණ්‌ණං භාසති. (බ්‍රහ්මදත්ත මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට/බුදුරජාණන් වහන්සේගේ ගුණ කියයි)

බුද්ධානං (බුදුරජාණන් වහන්සේලාගේ)
උදා: අථ යා බුද්‌ධානං සාමුක්‌කංසිකා ධම්‌මදෙසනා තං පකාසෙසි (අනතුරුව යම් බුදුරජාණන් වහන්සේලාගේ සාමුක්කංසික ධර්මදේශනයක් වේ ද එය වදාළ සේක)

7. ‘යමක් කෙරෙහි’ යන අර්ථයේ (ආධාරාර්ථය)

බුද්ධෙ (බුදුරජාණන් වහන්සේ කෙරෙහි)
උදා: යෙ, භික්‌ඛවෙ, බුද්‌ධෙ පසන්‌නා, අග්‌ගෙ තෙ පසන්‌නා. (මහණෙනි, යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණේ නම්, අග්‍රස්ථානයක පැහැදුණේ වෙයි)

බුද්ධෙසු (බුදුරජාණන් වහන්සේලා කෙරෙහි)
උදා: දිට්‌ඨෙව ධම්‌මෙ පාසංසො, යො බුද්‌ධෙසු සගාරවො (යමෙක් බුදුරජාණන් වහන්සේලා කෙරෙහි ගෞරව සහිත නම්, මෙලොව ම ප්‍රශසංසා කළ යුතු වෙයි)

මෙය ‘කල්හි’ යන අර්ථය දැක්වීමට ද යෙදේ.
උදා: බුද්‌ධෙ පරිනිබ්‌බුතෙ (බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි)

ඇතැම්විට ‘අතරින්’ යන අර්ථය දැක්වීමට ද යෙදේ.
උදා: බුද්ධෙසු වා පච්චෙකබුද්ධබුද්ධසාවකෙසු (බුදුරජාණන් වහන්සේලා හෝ පසේබුදු, බුද්ධශ්‍රාවකයන් වහන්සේලා අතරින්)

උපුටාගැනීම සා මාගධී මූලභාසා පිටුවෙන්