New at Little Bit


from Path to Nirvana https://ift.tt/3pjHkvL
🌹 කපිල සුත්‍ර වර්ණනාව 04 🌹

මීට ඉහත කියූ කපිල භික්‍ෂුවගේ කතාවත් සොරුන්ගේ කතාවත් යන දෙකම අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කාලයේ එකට සම්බන්ධ වන්නේ හරිම අපූරු ආදර්ශමත් කතා වෘතාන්තයක් ලෙස. ඒ ඔබ හොඳින් දන්නා කට ගඳ ගසන රත්තරන් මාළුවාගේ කතාවෙන්. අද ඒ කතාව මෙතැන් සිට.

මෙසේ ඒ සොරුන් පසුව සිල් රැකීමේ අනුහසින් බුද්ධාන්තරයක් කාමාවචර දිව්‍ය තල සහ මිනිස්ලොව තුල සැරි සරා අප මහා බුදුරජාණන් වහන්සේගේ කාලයේ මෙලොව උපත ලැබුවා. ඒ මෙලෙසයි, සොරනායකයා සැවැත්නුවර වාසල් දොරටුව අසල විසු ධීවර ගම්මානයක දීවර නායකයාගේ බිරිඳගේ කුස තුලත්, අනෙකුත් පිරිස ධිවර ගම්මානයේ අනෙකුත් ධීවරයින්ගේ බිරින්දෑ වරුන්ගේ කුස තුලත් එකම දින එකට පිළිසිඳ ගනු ගනු ලැබුවා. ඒ අයත් සංසාරය පුරා මෙලෙස කණ්ඩායමක් වශයෙන් එකට යන්නට ඇති. මේ බව දැනගත් ධිවර නායකයා මේ දරුවන් මගේ පුතුට මතු කර්මාන්තය සුරැකීම සඳහා සහායකයන් වෙන්නේ යැයි කියා එම සියලුම පවුල් වලට මුදලින් සහ අනෙකුත් ද්‍රව්‍යයන්ගෙන් ආධාර කරන්නට වුනා. වැලිකෙලියෙහි පටන් එකටම වැදුණු මේ දරුවෝ කල්යත්ම වැඩිහිටියන් වුනා. ඔවුන්ගේ නායකයා වුයේ සයෝජය.

කපිල භික්ෂුවද එකල නිරයෙහි පැසුන (ප්‍රථම) කාලය අවසන්ව අචිරවතී නදියෙහි රන්වන් පැහැ ඇති මුවින් දුගඳ හමන මළුවෙක්ව උපන්නා. එම මාළුවත් එම නදියෙහි වැඩෙමින් විශාල මාළුවෙක් බවට පත් වුනා. මෙලෙස කාලයාගේ ඇවෑමෙන් වැඩිවියට පත් දරුවන් පන්සියය ධිවර දැල් ද රැගෙන තම ප්‍රථම මාලු ඇල්ලීම සඳහා අචිරවති නදිය වෙත පැමිණිය. ඒ ප්‍රථම දිනයේම එහි සිටි මෙම රත්තරන් මාළුවා දැක දැල් එලා කොටුකරගැනීමට සමත් වුනා. ඉන් අනතුරුව ඔවුන් ඒ මාළුවා ව විශාල නැවක තබා ( පන පිටින් ගෙනඒමට සැදූ විශාල ඔරුවක් විය හැකයි. පෙළෙහි සඳහන් වන්නේ නැවක් ලෙසින් ) ගම්මානයට රැගෙන එනු ලැබුවා. ධිවර නායකයා මෙය දැක ඉතාමත් සතුටට පත්ව “අපේ දරුවන් පලවෙනි සැරයේම අල්ලාගෙන ඇත්තේ රත්තරන් මාළුවෙක් නෙව” යැයි පවසා මෙය රජතුමාට දුනහොත් විශාල මුදලක් තුටු පඳුරු වශයෙන් ලැබිය හැකයි කියා පිරිසත් සමග රජ තුමා වෙත රැගෙන ගියා. රජ තුමා මෙම විශිමිත මාළුවා දැක විශ්මයට පත්ව මේ කුමක් දැයි දැන ගැනීමට පිරිසත් සමග බුදුරාජාණන් වහන්සේ කරා ගියා. ඒ අවස්ථාවේ මාළුවා මුව විවර කරන විට මුළු ජේතවන පෙදෙසම තද දුගඳකින් වැසි ගියා.

හිමියනි, කුමක් නිසා මෙම මාළුවා රන් පැහැ විද? කුමක් නිසා මොහුගේ මුවින් මෙතරම් දුගඳක් හමන්නේදැයි ” රජතුමා බුදුරජුන් වෙතින් විමසා සිටියා.

මහරජ මෙම මාළුවා කස්සප බුදුරජුන්ගේ සාසනයෙහි කපිල නමින් පැවිදිව සිටිය. දහමෙහි බොහෝ ඇසූ පීරූ තැන ඇතිව, තම වචනය පිළිනොගන්නා මහනුන්හට නින්දා අපහාස කරමින් සසුන වැනසුවා. එහි විපාකයක් ලෙස අවීචි මහා නරකයේ උපන්නා. ඉතිරි විපාක ලෙසින් දැන් මත්සයෙක්ව ඉපිදිලා ඉන්නවා. දිගු කලක් බුදු වචනය කියා දුන් බැවින්ද, බුදුගුණ කියූ බැවින්ද ඒ විපාකය අනුව මෙවැනි පැහැය හටගෙන තිබෙනවා. මහණුන්ට බැණ වැදී නින්දා අපහාස කල බැවින් මුවින් මෙලෙස දුගඳ හමයි. මහරජ මොහු ලවාම එය ඉදිරිපත් කරවන්නෙමි යැයි පැවසුවා. රජතුමා එසේය හිමියනි යනුවෙන් පිළිවදන් දුන්නා. අප මහා බුදුපියාණන් වහන්සේ බුද්ධ අඥා ශක්තියෙන් මාළුවට පෙර ආත්ම බව පෙන්වා කතා කරන්න සැලැස්වූවා.

බුදුරජාණන් වහන්සේ – ඔබ කපිල නේද?

කපිල මාළුවා – එසේය හිමියනි. මම කපිල වෙමි.

බුදුරජාණන් වහන්සේ – කොහි සිට පැමිණියේද ?

කපිල මාළුවා – භගවත් හිමියෙනි, අවීචි මහා නරකයෙහි සිට.

බුදුරජාණන් වහන්සේ – සෝධන කොහි ගියේද?

කපිල මාළුවා – භගවත් හිමියනි පිරිනිවන් පෑවේය.

බුදුරජාණන් වහන්සේ – සාධනී ගියේ කොහිද?

කපිල මාළුවා – භගවත් හිමියෙනි නිරයේ ඉපදුණාය.

බුදුරජාණන් වහන්සේ – තපනා කොහි ගියේද?

කපිල මාළුවා – මහා නිරයේ උපන්නේය.

බුදුරජාණන් වහන්සේ – දැන් ඔබ යන්නේ කොහෙද?

කපිල මාළුවා – භාග්‍යවතුන් වහන්ස මහා නිරයටයි.

එකෙණෙහිම විපිළිසර වූ කපිල මාළුවා හිසෙන් නැවට පහර දී ගොස් නැවතත් මහා නිරයේම උපන්නා.

මහජනයා ලොමුදැහැ ගන්වමින් සංවේගයට පත් වුනා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ එහි පැමිණි ගිහි පැවදි පිරිසට ඒ මොහොතට සුදුසු පරිදි දහම් දෙසමින් මේ සුත්‍රය වදාරනු ලැබුවා.

එකිනෙකා කෙරෙහි ගරු කිරීමෙන් සහ සිහියෙන් යුතුව මෙසේ ඔබලා සීලයෙන් පිරිසිදුව සිල්වත් ගුණවත් මහණුන් සමග ඇසුරු කරමින්, යහපත් හැඟීමෙන් හා මහණදමට අනුකුලව සීල සංවරයෙන් යුතුව, සමගිව සෙමෙන් සෙමෙන් පැසුණු නුවණින්, පිරිපුන්ව සියලු සසර දුක් කෙලවර කරවූ යැයි අරහත් ඵලයට කුළුගන්වමින් දේශනය නිමා කරනු ලැබුවා. දේශණය අවසන ඒ මසුන් මරණ දරුවෝ පන්සියයම සංවේගයට පත්ව, නොබෝ කලකින් දුක් කෙළවරකොට භාග්‍යවතුන් වහන්සේ සමග “ආනඤවිහාර සමාපත්තිධම්ම” සේ හඳුන්වන කෙලෙස් සිඳ එකම අරමුණ වූ නිවන වෙත පැමිණියා. මෙසේ භාග්‍යවතුන් වහන්සේ සමග “එකම දේ පරිහරණය” නම් වූ ඒ තතු උදානයෙහි සදහන් කරුණ යසොජ සුත්‍රය අනුව දත යුතුය.

මෙලෙස ත්‍රිපටකයේ කෙල පැමිණි ගිහි පැවිදි පිරිස් අදටත් අවීචියේ දුක් විදිද්දී, තිසරණයේ නිසිආකරයේ පිහිටි සොරුන් මං පැහැරන්නන් සසර දුක නිමා කරගත්තා. අද ලාභ සත්කාර විදිමින් බුදුන් වදාල දර්මයම වැරදි ලෙස දේශනා කරමින් බුදුන්ගේ උපත බුද්ධත්වය සහ පරිනිර්වාණය යන ප්‍රධනකරුණු ඇතුළුව සියලු සුවිශේෂී ස්ථාන ශ්‍රී ලංකාව තුල සිදුවුනේ යනුවෙන් විද්‍යුත් මාධ්‍ය මගින් අසත්‍ය වපුරමින් සිවු පසයෙන් යැපෙන තවත් චීවරධාරීන් සහ අනුගාමිකයින් පිරිසකගේ හෙට දිනයේදී උදාවන සෝචීය කතා වෘතාන්තයයි මේ. මට හිතුනා මේ අයව දැකලම බුදුරජාණන් වහන්සේ මේ දේශණාව වදාරනු ලැබුවද කියලා. ඒ කෙසේ වෙතත් ඒ සියලු දෙනා සතර අපා දුකින් මිදෙත්වා! කියා මෛත්‍රී සිත් පෙරටුකොට හද පත්ලෙන්ම පතනවා.

සියලු සත්වයෝ නිදුක් වේවා! . අල්පමාත්‍ර වූ පවටත් බිය ඇත්තෝ වෙත්වා ! සසර දුකෙන් එතෙර වේවා !! සාදු සාදු සාදු !!!
🍀 උපකාරක ග්‍රන්ථ – ඛුද්දකනිකාය » සුත්තනිපාතපාළි » චූළවග්ගො » ධර්මචර්යා කපිල සූත්‍ර අටුවාව

තුසිත රාජපක්ෂ – ප්‍රංශය
26-01-2021

විශේෂ පුණ්‍යානුමෝදනාව – path to nirvana හි පින්වත් ජනක කල්‍යාණ මිතුරාට