Category Archives: Uncategorized

New photo from Facebook January 15, 2017 at 03:00PM

මේ ධර්මය ලිහිල් කරලා සරල කරලා ඕගොල්ලොන්ට තේරුම් ගන්න තමයි අභිධර්මය තියෙන්නේ. හැබැයි වර්තමානයේ බොරු උගන්වන ක්‍රමයට නම් නෙමෙයි. චිත්ත වීථි ඉගෙනගත්තා කියල එහෙම නැතිනම් චිත්ත ඛාණ්ඩ ඉගෙනගත්ත කියල ඔගොල්ලොන්ගේ කෙලෙස් ගෙවෙන්නේ නැහැ. ඕගොල්ලොන්ට මොකද වෙන්නේ, තව දැනුමක් එකතු වෙයි. ඉගෙනගත්ත පුද්ගලයෙක් බිහිවෙයි එච්චරයි. නමුත් ධම්මසංගනීය ඉගෙන ගන්න කියල මම මතක් කරනවා කොහොමද? ඇහැ කියන්නේ මොකක්ද, රූපය කියන්නේ මොකක්ද, කන කියන්නේ මොකක්ද, ශබ්දය කියන්නේ මොකක්ද,….. බුදුරජාණන්වහන්සේ පෙන්වලා තියෙයි. ධම්මසංගනීය ඉගෙන ගත්ත පමණකින් චුල්ල සෝතාපන්නයි කියල කියනවා. මෙන්න මේ ටික ඉගෙනගත්තොත් මේ ලෝකයේ අනාත්ම ස්වභාවය හොඳට විවර කරලා දෙනවා. ඔබ දැක්කත් නොදැක්කත් ඇස් ඉදිරිපිටට එන රූපේ සැබෑම ඇත්ත මොකක්ද කියන එක පෙන්වන්නේ අභිධර්මයෙන්. ඇහේ සැබෑම ඇත්ත පෙන්වන්නේ අභිධර්මයෙන්.

ඒ ටික තේරුම් ගත්ත නිසා තමයි මටත් තේරුනේ ඇත්තටම ටීවී ඒකෙ පෙනෙන රූප වගේ රූප නේද පෙන්වන්නේ මේ ඔක්කොම. අභිධර්මයට හිත තැබුවහම තමයි පෙන්වන්නේ ටීවී එකේ පෙනෙන රූපේ කෙනෙක් නෙමෙයි කියන එක අපිටවත් හිතුනේ නෑනේ ඔච්චර බලලා. එතකොට මේ සැබෑවටම පෙනෙන එකේ ඇත්ත කොහේ පෙනෙන්නද? . ඒ ධම්මසංගනිය කරනකොට තමයි තේරුනේ ටීවී එකේ තියෙන රූප වල මට්ටම නේද රූප වල ඇත්ත කියල පෙන්වන්නේ, අනාත්මයි කියල පෙන්වන්නේ. මේ හැම රූපයක්ම එහෙනම් ඒ මට්ටම නේද කියල රූපය අනාත්මයි කියල දකිනකොට තමයි ශක්තියක්, ධෛරයක් එයාට එන්නේ ආත්ම සංඥාව මනස පිලිබදව වුවක්මයි කියන එකට ලොකු හයියක් එන්නේ. ඒ තාක් අපිට පෙන්නේ මෙහෙ (බාහිර) ආත්මයි වගේ. බාහිර රූපය ආත්මයි වගේමයි. රූපේ අනාත්මයි කියල හොඳට පැහැදිලි වුනහම තේරෙනවා ආත්ම සංඥාව මනස පිළිබද වුවක්. එහෙනම් මනස පිළිබද වුවක් වූ කෙලේසේ රූපය මත පතිත වෙලයි මේ දුක නිර්මාණය කරලා තියෙන්නේ කියන උත්තර ටික එනවා.

ඒ නිසා මම මේ කතා කරන දේශනාවේ සම්පූර්ණ හරය අන්තර්ගතය අභිධර්මය. ඕගොල්ලෝ අහලා ඇති බුදුහාමුදුරුවන්ගේ කාලේ ධර්ම විනය කියල දෙකක් විතරයි තිබුනේ. අභිධර්මය කියල එකක් තිබුනෙත් නැහැ ඒ නිසා ඕනෙත් නැහැ කියනවා. ගොඩක් දෙනෙක් අභිධර්මය පිළිනොගන්නේ එදා අභිධර්මය තිබුනේ නැහැ කියලනේ. ධර්මය අවබෝධ වෙච්ච කෙනෙකුගේ මනසට පෙනෙන මට්ටමටයි අභිධර්මය කියන්නේ. එහෙම අවබෝධ වෙච්ච මනසකින් කතා කරන කෙනා දේශනා කරන දේශනා තුල අන්තර්ගතය අභිධර්මය. මගෙන් බණ අහන ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති ඕගොල්ලෝ මේ ඉගෙන ගන්නේ ධම්මසංගනිය කියල. ඕගොල්ලෝ අභිධර්මය ඉගෙන ගන්නේ කියල. ඕගොල්ලොන්ට හම්බවෙන්නේ ධර්ම විනය විතරයි. නමුත් ඕගොල්ලෝ සාමාන්‍ය ලෝකේ ජීවත්වෙන මට්ටමට ඔබ්බට ගන්නට මට තියෙන එකම හයිය අභිධර්මය.

මේ ටික දන්නේ නැති කෙනෙක් තමයි අභිධර්මය නිවන් දකින්න ඕනේ නැහැ කියන්නේ. කරන දේශනාවකට අභිධර්මයේ පෙන්වන අර්ථය ඝටිත කරලා පෙන්වන්න නොදන්නා තාක් එයාට ඔගොල්ලොන්ගේ මනසේ වෙනසක් කරන්න බැහැ. ඕගොල්ලෝ මේ ලෝකෙන් එලියට ගන්න එයා සමත් වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් යම් දේශනාවක් කරනකොට ඒ දේශනාවට අභිධර්මයේ තියෙන ඒ සැබෑම අර්ථ ටික එකතු කලොත් විතරයි ඕගොල්ලොන්ව අවිද්‍යාව ඇතුලෙන් එලියට ගන්න පාර පෙන්වන්න පුළුවන් වෙන්නේ. මම මේ ටික මතක් කලේ ගොඩ දෙනෙක් කියනවා අභිධර්මය කියන එක බුද්ධ භාෂිතයක් නෙමෙයි. අභිධර්මය ඕනේ නැහැ කියල. අභිධර්මය ඕනේ නැහැ කියන්නේ නිවන් දකින්න ඕනේ නැහැ කියනවා වගේ. අභිධර්මය කියන්නේ මාර්ග ඵල ලාභී ශාසනයට හැබැයි අද මේ කරන බොරුවට නම් නෙමෙයි. අද මේ කරන ක්‍රමයට අහිධර්මය ඉගෙන ගෙන කවදාවත් ආශ්‍රවක්ෂය කරගන්න ලැබෙන්නේ නැහැ ආශ්‍රව වැඩි වෙයි.

ඔගොල්ලොන්ම බලන්න මොනවද ඔය කරන ක්‍රම වලින් ඕගොල්ලොන්ට ලැබෙන්නේ කියල. එක දෙයක් මතක් කරනවා. අභිධර්මය ඉගෙන ගන්න අභිධර්මයේ තියෙන විදිහට. බය නැතුව ධම්මසංගනිය ඉගෙන ගන්න. ඒකෙ තියෙන රූප ඛාණ්ඩය ඉගෙන ගන්න. විභංගප්‍රකරණය ඉගෙන ගන්න. ඒකේ තියෙන නාම ධර්ම ටික වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ටික ඉගෙන ගන්න. පංචඋපාදානස්කන්ධය පිලිබදව මැනවින් ඉගෙන ගන්න තියෙන එකම ක්‍රමය අභිධර්මය. සුත්‍ර ක්‍රමයට මම මාතෘකා කලොත් “සංඛිත්තෙන පංචඋපාදන්ස්කන්ධා දුක්ඛා” කියල පංචඋපාදානස්කන්ධය දුකයි. මොකක්ද පංචඋපාදානස්කන්ධය කියන්නේ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය කියල මාතෘකා කලොත් ඔබට දුක එන රූප උපාදානස්කන්ධය කියන එක මොකක්ද කියල මම පැහැදිලි කරන්නේ කොහොමද කියන එක මට පෙන්වන්න අභිධර්මය අයින් කලොත්.

රූප උපාදානස්කන්ධය කියන්නේ ඇහැ- රූප, කන – ශබ්ද, නාසය – ගන්ධය, දිව – රස, කය- පොට්ඨබ්බ කියල ඒවා ප්‍රබේධ සහගතව ඔබට උගන්වන්න තියෙන එකම පරියාය තමයි අභිධර්මය. මේ ධර්මයෙන් කළ මාතෘකාව විශේෂයෙන් විස්තර විසින් පෙන්විය හැකි දේටයි අභිධර්මය කියල කියන්නේ. ඒ නිසා අභිධර්මය කියල කියන්නේ නිවන් දකින කෙනා අවශ්‍යයෙන්ම දතයුතු, ඉගෙනගත යුතුයි අභිධර්මය කියන එක මතක් කරනවා. හැබැයි අභිධර්මය ඉගෙන ගත්ත තැනකින් බණ අහන කෙනා අභිධර්මය ඉගෙන ගන්න ඕනේ නැහැ වෙනම. ඒ කියන්නේ දැන් තියෙන්නේ ධර්මය විතරයි. ඕගොල්ලෝ මේ ඇහැව්වේ මේ මම කියල දුන්නේ අභිධර්මයේ කරුණු. ඒකයි ඕගොල්ලොන්ට තේරෙන්නෙත් නැත්තේ. ඇහේ අනාත්ම ස්වභාවය, රූපයේ අනාත්ම ස්වභාවය කියල දෙන්නේ අභිධර්මයෙන්. ඇහැ අනාත්මයි, රූපය අනාත්මයි කියල ඔප්පු කරගන්න තියෙන සාක්ෂිය අභිධර්මය. අභිධර්මය කියන්නේ ධර්මයට විශේෂණයක්. අභිධර්මය අවබෝධ වෙච්ච මනසකින් දේශනා කරනකොට අභිධර්මය කියල වෙනමම ඉගෙන ගන්න ඕනේ නැහැ ධර්ම විනයම තමයි. හැබැයි ඒ ධර්ම විනය තුලින් පෙන්වන අර්ථය අතහැරිලා යම් කාලෙක ආපහු ප්‍රතිපත්තිය උපදවා ගන්න තියෙන ක්‍රමය අභිධර්මය.

අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් 2017.01. 08 දින කිරුලපන ඇලන්මැතිනිආරාමයේදී චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස සිදු කරන ලද දේශනාව ඇසුරෙන්
සම්පූර්ණ දේශනාව ශ්‍රවණය කිරීමට හා ලබා ගැනීමට
http://ift.tt/2jSmo0N via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 15, 2017 at 09:15AM

ඔයාගේ ලස්සන/කඩවසම් මුණ කන්නාඩියෙන් බලන හැම පාරකම මේ රුපය මෙනෙහි කරන්න.
ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ පැවසුවේ සත්‍යක්මයි. මගේ නොවන දේවල් මගේ කියා අල්ලා ගැනීම දුකට හේතුවයි via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 14, 2017 at 09:01PM

ගරු කළ යුතු පුද්ගලයන්ට හා වස්තූන්ට ගෞරව කිරීම අපචායනය ය. වයසින් හා ගුණයෙන් වැඩි පුද්ගලයෝ ගරු කළ යුත්තෝ ය. ධාතු මහබෝ පෙති පිළිම ආදිය ගරු කළ යුතු වස්තූහු ය. වයසින් අඩු තැනැත්තා විසින් වයසින් වැඩි තැනැත්තන්ට ගරු කළ යුතු ය. වයස, ගුණය යන දෙකින් ගුණය ප්‍රධාන බැවින් වයසින් වැඩි තැනැත්තා විසින් ද ගුණවතාට ගරු කළ යුතු ය. මෙහි ගුණය යයි කියනුයේ කුල ධන තනතුරු ආදිය නො ව උපකාර හා ශීලය ය. බොහෝ උපකාර කළ බැවින් දරුවන් විසින් මා පියන්ට ගරු කළ යුතු ය. සිල්වතුන්ට ශීල ගුණය නිසා ගරු කළ යුතු ය. ශීල ගුණය සියල්ලට ම උසස් බැවින් පැවිදි වූ දරුවාට ගිහි වූ මා පියන් විසින් ද ගරු කළ යුතු ය.

ගරු කිරීම වනාහි කයින් ගරු කිරීම ය, වචනයෙන් ගරු කිරීම ය, සිතින් ගරු කිරීම ය යි තුන් ආකාර වේ. ඒ ඒ මනුෂ්‍ය ජාතීන්ගේ චාරිත්‍ර‍වල සැටියට හා ආගම්වල සැටියට ද කයින් ගරු කරන්නා වූ ආකාරයෝ බොහෝ වෙති. පා වහන්, හිස් වැසුම්, කුඩ ඉවත් කිරීම, හුනස්නෙන් නැගී සිටීම, උසසුන්වල නො හිඳීම, වැඳීම යනාදිය බෞද්ධයන් විසින් පවත්වන ගරු කිරීමේ ක්‍ර‍මයෝ ය.

වැඳීමය යනු තමාගේ යටහත් බව, ගරු කරන බව, අවනත බව, කීකරු බව දක්වන්නා වූ ක්‍ර‍මය ය. එය කාය වන්දනාවය, වචී වන්දනාවය, මනෝ වන්දනාවය යි ත්‍රිවිධ වේ. කයින් වන්දනා කිරීමේ ආකාරයෝ ද බොහෝ ය. දෙ අත් එක් කොට ළය ඉදිරියේ තබා වැඳීම ය, දෙ අත් නළල මත තබා වැඳීම ය, දෙ අත් හිස මත තබා වැඳීම ය, දෙ අත් එක් කොට දකුණු දන බිම තබා වැඳීම ය, දෙ අත් එක් කොට දෙ දණ ම බිම තබා වැඳීම ය, දෙ දණය දෙ අතය හිසය යන පස් තැන බිම තබා වැඳීමය යන මේවා කාය වන්දනාවෝ ය. රත්නත්‍ර‍යට වැඳීමේ දී ඉතා උසස් වන්දනාවකින් වැඳීම ද යෝග්‍ය ය. එබැවින් බෞද්ධයන් විසින් රත්නත්‍ර‍ය වැඳීමේ දී පසඟ පිහිටුවා වැඳීමේ ක්‍ර‍මයෙන් ම වැඳීම මැනවි.

වචනයෙන් ගරු කිරීම ය යනු ගරු කළ යුත්තන් හා කථා කිරීමේ දී ද ගරු කළ යුත්තන් ගැන කථා කිරීමේ දී ද ගෞරව දැක්වෙන වචන පාවිච්චි කිරීම හා වචනයෙන් වන්දනා කිරීම ය. “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” යනාදි වන්දනාව ප්‍ර‍කාශ වන වචන කීම වාචා වන්දනාව ය. ස්තුති වාක්‍යය, ස්තුති ගීතාදිය කීම ද එයට ඇතුළත් ය.

සිතින් ගරු කිරීමය යනු ගරු කළ යුත්තන් කෙරෙහි සිත නමා ගැනීම හා එතුමන්ලාගේ ගුණයන් ආදරයෙන් සිහි කිරීම ය.

අපචායනයේ අනුසස්

“යෙ මුද්ධ මපචායන්ති – නරා ධම්මස්ස කොවිදා
දිට්ඨෙ ව ධම්මෙ පාසංසා – සම්පරායෙ ච සුග්ගති”

තේරුම:

වෘද්ධාපචායන ධර්මය දක්නා වූ යම් කෙනෙක් වෘද්ධයනට ගරු බුහුමන් කෙරෙත් ද ඔවුහු ඉහතාත්මයෙහි ප්‍ර‍ශංසා කළ යුත්තෝ වෙති. ඔවුනට මරණින් මතු පැමිණිය යුතු තැන ද සුගතිය වේ.

“අභිවාදනසීලිස්ස – නිච්චං වුද්ධා පචායිනො
චත්තාරො ධම්මා වඩ්ඪන්ති – ආයු වණ්ණෝ සුඛං බලං”

තේරුම:

වැඩිමහල්ලන්ට අභිවාදනය කරන ස්වභාවය ඇත්තා වූ නිතර වෘද්ධයන්ට ගරු බුහුමන් කරන්නා වූ තැනැත්තා හට ආයුෂය ශරීර වර්ණය සැපය බලය යන ධර්මයෝ සතර දෙන වැඩෙත්.

අපචායන කුශලය අන්‍යයන් විසින් ගරු බුහුමන් කරන රාජකුලාදි උසස් කුලවල ඉපදීමට හා ගරු බුහුමන් ලැබීමට ද උසස් තනතුරු ලැබීමට ද හේතු වන බව කිය යුතු ය. සැවැත්නුවර විසූ අදින්න පුබ්බක නම් වූ මසුරු බමුණාගේ පුත්‍ර‍ මට්ටකුණ්ඩලී බුදුන් වහන්සේට සිතින් පමණක් ගෞරව කිරීමෙන් තව්තිසා දෙව්ලොව උපන් බව දම්පිටුවාවේ දක්වා තිබේ. එක් සැඩොල් මැහැල්ලක් බුදුන් වහන්සේට වැඳීමේ කුශලයෙන් මරණින් මතු දෙව්ලොව උපන් බව විමානවස්තු ප්‍ර‍කරණයේ දක්වා තිබේ. ගරු කළ යුත්තන්ට ගරු කිරීම කුශලයක් වන්නා සේ ම ගරු කළ යුත්තන්ට අගෞරව කිරීම පාපයක් වන බව ද දත යුතු ය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/n2is5I via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 14, 2017 at 03:00PM

මුට්‌ඨස්‌සති සූත්‍රය -> http://ift.tt/2iqPKOr
ත්‍රිපිටකය පරිශීලනයට පුරුදු වෙමු.

මහණෙනි, මුසපත් සිහි ඇතිව, මනා ප්‍රත්‍යවෙක්ෂා නුවණ නැතිව නින්දට යන්නාහට මෙ දොස් පසෙකි. කවර පහක්ද ?
දුකසේ නිදයි. දුකසේ පිබිදෙයි. පව් සිහින පෙනෙයි. දෙවියෝ ආරක්ෂා නොකරයි. අශූචී (ශුක්‍ර) මිදෙයි. මහණෙනි, මනා සිහි ඇතිව මනා නුවණ නැතිව නින්දට යන්නාහට මේ දොස් පස වෙයි.

මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව මනා නුවණැතිව නින්දට වැටෙනුවහට මේ අනුසස් පසෙකි. කවර පහක්ද?

සුවසේ නින්ද යයි. සුවසේ පිබිදෙයි. ලාමක සිහින නොදක්නේය. දෙවියෝ විසින් ආරක්ෂා කරයි. අශූචි නො මිදෙයි. මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව මනා නුවණ ඇතිව නින්දට යන්නාහට මේ අනුසස් පසයි. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 13, 2017 at 09:03PM

උදා වූ තැන පටන් මොහොතකුදු නො නැවතී අස්තය කරා යන හිරු මෙන් සත්ත්වයෝ ද උපන් තැන පටන් නැවතීමක් නැති ව මරණය කරා ගමන් කරන්නෝ ය. නො මැරෙන ජීවිතයක් ඇති සත්ත්වයේක නැත. කවර අවස්ථාවක දී වුව ද ජීවිතය නැති විය හැකි ය. එය ඉතා දුබල දෙයකි. දුබලවූ නැසෙන ස්වභාවය ඇති ජීවිතය පිට්ටනියක් මැද ආවරණයක් නැති ව දැල්වෙන පහනක් බඳු ය. උදයේ තණ අග එල්ලෙන පිනි බිඳක් වැනි ය. දියෙහි ඇඳි ඉරක් වැනි ය. දිය බුබුළක් වැනි ය. පෙණ පිඬක් වැනි ය. මැටි බඳුනක් බඳු ය. පිනිබිඳු ආදිය බිඳීමෙන් කෙළවර වන්නාක් මෙන් ජීවිතය ද ඒකාන්තයෙන් මරණයෙන් කෙළවර වන්නේ ය. සත්ත්වයනට ඒකාන්තයෙන් පැමිණෙන්නා වූ මරණය නැවත නැවත මෙනෙහි කිරීම මරණානුස්මෘති භාවනාව ය. මතු දැක්වෙන වාක්‍යය පාඩම් කර ගෙන භාවනා කරනු.

භාවනා වාක්‍යය

ජීවිතය අස්ථිර ය. මරණය නියත ය. සත්ත්වයන්ගේ ජීවිතය මරණින් කෙළවර වන්නේ ය. මම ද මැරෙන්නෙමි. මාගේ ජීවිතය ද මරණින් කෙළවර වන්නේ ය. සත්ත්වයෝ මරණය අරගෙන ම උපදින්නෝ ය. මරණය අරගෙන උපන් සත්ත්වයෝ උදා වූ තැන පටන් මොහොතකුදු නො නැවතී අස්තය කරා යන හිරු මෙන් උපන් තැන පටන් නො නැවතී මරණය කරා ගමන් කරති. මම ද මරණය ගෙන උපන්නෙමි. මම ද දිවා රෑ දෙක්හි නො නැවතී මරණය කරා ගමන් කරමි. මාගේ ජීවිතය මරණින් කෙළවර වන්නේ ය. මහා සම්මතාදි මහා සම්පත් ඇති රජ දරුවෝ ජෝතිය ජටිලාදි මහ පිනැති සිටුවරු ද වාසුදේව බලදේවාදි මහ බලැතියෝ ද මහා සෘද්ධිමත්හු ද මහා නුවණැතියෝ ද මරණ ප්‍රාප්ත වූහ. මා වැනියකුට කෙසේ ඉන් ගැලවිය හැකි ද? නො හැකි ම ය. මම ද ඒකාන්තයෙන් මරණයට පැමිණෙන්නෙමි.

මේ භාවනාව කරන්නා වූ තැනැත්තාගේ සිත පවට නො නැමේ. පිනට නැමේ. ඔහුට තෘෂ්ණාව ද අඩු වේ. මරණ බය ද අඩු වේ. බොහෝ සත්ත්වයෝ තමන් මැරෙන බව නො සිතා අජරාමර වූවන් සේ සිට මරණ කාලය පැමිණි කල්හි බිය පත් වී සිහි මුළාවෙන් කළුරිය කොට අපායෙහි උපදිති. මරණානුස්මෘති භාවනාව පුරුදු කළ තැනැත්තාට මරණ කාලයේ දී එය ගැන සෙස්සන්ට මෙන් බියක් හට නො ගන්නා බැවින් සිහි නුවණින් යුක්ත ව කාලක්‍රියා කොට ස්වර්ගයට යා හැකි වේ. ඥාතීන් ගේ මරණ ගැන ඇතමුන් බොහෝ හඬමින් බොහෝ කල් දුක් වන්නේ ද මරණය සත්ත්වයාට හිමි දෙයක්බව කලින් නො මෙනෙහි කිරීම නිසා ය. මරණානුස්මෘති භාවනාව පුරුදු කළ පින්වතුන්ට එබඳු අවස්ථාවලදී ද අන්‍යයන් මෙන් දුක් නොවී සැනසී විසිය හැකි ය. මරණය මෙනෙහි කරන්නා වූ තැනැත්තාට පඤ්චස්කන්ධයාගේ අනිත්‍ය ලක්ෂණය පහසුවෙන් වටහා ගත හැකි ය. තදනුසාරයෙන් දුඃඛ ලක්ෂණය හා අනාත්ම ක්ෂණය ද වටහා ගත හැකි ය. එය සතර මඟ සතර ඵලයන්ට පැමිණ නිවන් දැකීමට ම කරුණු වන්නේ ය.

මෙතෙකින් භාවනා විස්තරය නිමියේ ය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/n2is5I via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 13, 2017 at 09:00AM

පූජ්‍ය අජාන් සිරිපඤ්ඤෝ භික්ෂුන්වහන්සේ ඉතා විනීත ගුණයෙන් යුතු තායිලන්තයේ ථෙරවාද ස්වාමින්වහන්සේ නමකි. උන්වහන්සේ පවුලේ එකම දරුවා වන අතර, ෆොර්බ්ස් 2016 මගින් පල කරන ලෝක-ධනවත් ලැයිස්තුවේ මැලේසියාවේ ඉහළම පොහොසතුන් අතරින් දෙවැන්නා වන, ඇමෙරිකන් ඩොලර් බිලියන 6.6ක් (රුපියල් බිලියන 990 ක්) වටිනා ව්‍යාපාරයක හිමි කරු, T. ආනන්ද ක්‍රිෂ්නන් මහතාගේ පුතනුවෝ ය. මවු තුමිය, රෂවොං සුපිංද ජක්රපං, දිවංගත තායි රජතුමාගේ මිනිබිරියෙකි.

1989 දී අජාන් සිරිපඤ්ඤෝ ස්වාමින් වහන්සේ මුලින්ම බුදු දහම අඳුනා ගත් අතර උන්වහන්සේ තම මවු-පරපුරට උපහාරයක් වශයෙන් තායි සම්ප්‍රදානුකූලව ආරණ්‍ය භික්ෂුවක වශයෙන් තාවකාලික-පැවිද්ද ලබා භාවනා යෝගීව කටයුතු කළහ. ඒ වනවිට උන්වහන්සේ ගේ වයස අවුරුදු 18 කි. මහා බ්‍රිතාන්‍යයේ විවිධ සංස්කෘතීන් ගැන අවබෝධයක් ඇතිව හැදුන වැඩුන නිසා, උන්වහන්සේට තාවකාලික-පැවිද්ද යම් ප්‍රමාණයකට විනෝදාත්මක අත්දැකීමක් වේ යැයි සිතුනත් බුදු දහම හඳුනා ගැනීමට එය මහත් උපකාරයක් විය.

මෙම ‘තාවකාලික-පැවිද්ද’ දැන් වසර 27ක් දක්වා දිගු වී ඇත. පූජ්‍ය අජාන් සිරිපඤ්ඤෝ භික්ෂුන්වහන්සේ තම පියාගේ ව්‍යාපාරික කටයුතු හා බැඳීමෙන් වැලකී, ශ්‍රමණ ජීවිතය ඉදිරියට ගෙනයාම තම අරමුණ වශයෙන් තෝරා ගත්තෝය. ථෙරවාද භික්ෂුන්වහන්සේ නමක වශයෙන් දිනකට එක් වරක් පමණක් හිර අවරට යාමට පෙර දානය වළදන අතර, පසු දින උදෑසන වනතුරු කිසිදු ඝන ආහාරයක් නොගනිති. මෙතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පරිදි තුන් සිවුරත්, පාත්‍ර සහ භික්ෂුවකට කැප දෙය පමණක් පරිහරණය කරමින් කිසිදු ආකාරයකට හෝ මුදල් පරිහරණයෙන් වැලකී ඉතා අල්පේච්ච, සරල දිවිපෙවෙතක් ගත කරති.

———

මුදල් සහ වාහන පරිහරණය පුරුද්දක් කරගත් ලංකාවේ සමහර හිමිවරුන්ට ආදර්ශයක් වශයෙන් share කරන්න. මුල් ලිපිය සහ තවත් චායාරූප -> http://ift.tt/2jC7B6c via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 12, 2017 at 03:00PM

ඇයි අපි ෆොටෝ ගන්නේ?
අතීතය සිහි කරලා කෙලෙස් ටික update කරගන්න නේද?

කනබොන ආහාරයෙන් හැදෙන රූපයද කඩදාසියක තියෙන වර්ණ සටහනද දෙකම අනාත්මයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වුන ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපය ආත්ම වශයෙන් හෝ රූපය ඇසුරුකරගෙන ආත්මය හෝ, රූපය නිසා ආත්මය හෝ ආත්මය නිසා රූපය කියා නොගන්නා නිසා ප්‍රිය විප්පයෝග දුක් විදින්නේ නැහැ රූප බලාගෙන. අසිහිය යෙදුනොත් දුකක් දැනේවි ඒ කාම සංයෝජනය නිසා මිසක් සක්කාය දිට්ඨිය නිසා නෙමෙයි. නමුත් සිහිය පිහිටවලා චතුරාර්ය සත්‍ය ධර්මය සිහි කර ගමන් දුක නැතිවෙනවා. එයා කෙලෙස් ගැනත් ස්කන්ධ ගැනත් දන්නවා. ස්කන්ධ මත කෙලෙස් පතිත වුනහමයි පංච උපාදානස්කන්ධ දුක හදාගන්නේ කියල. රහතන් වහන්සේ කියන තැනදී නාමරූප දෙකෙන්ම මිදිලා නිසා කෙලෙස් ශේෂයක්වත් නැති නිසා දුක් පොඩ්ඩක්වත් නැහැ. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 12, 2017 at 09:26AM

බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම, බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම, බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම, බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම, ජාතික ආගමික සංස්කෘතික වශයෙන් වැදගත් වන කැලණි රජමහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර පැවැත්වීම ආදි සිදුවීම් දුරුතු පෝදා සිදු වූ උතුම් ශාසනික සිදුවීම් ලෙස සැලකිය හැකිය.

සුදෝ සුදු පුන්සඳ කිරණින් මිහිතලයම ආලෝකවත් කරමින් දුරුතු සඳ උදාවෙයි. දුරුතු පුන් පොහෝ දින ලක්වැසි බොදු දනන්ගේ සිත් සතන් සැදැහැයෙන් පිරී ඉතිරී යන්නේ ලක් දෙරණ බුදු සසුන බබුළුවමින් සදහම් එළියෙන් ආලෝකවත් වූ නිසා ය. දුරුතු පුර පසළොස්වක සෑම වසරකම ජනවාරි මාසයේහි යෙදෙන අති උතුම් පොහෝ දිනයකි. එය වසරේ පළමු පොහෝ දිනය නිසාම තම ආගමික ස්ථානවලට ගොක් දන්දීම්, සිල් රැකීම් ආදී ආගමික වතාවත්වල යෙදීම බොදු දනන්ගේ සිරිතකි.

බුදුරදුන් බරණැස ඉසිපතනාරාමයේ පළමු වස් කාලය ගත කළ සේක. දහම් පණිවිඩය ලොව පුරා පැතිරවීමට, පළමු රහතන් වහන්සේ හැටනම ගම්දනව් කරා පිටත් කර යැවූහ. බුදුන් වහන්සේ උරුවේල් දනව්වට වැඩම කළහ. උරුවේල් කශ්‍යප, නදී කශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු දහසක් පිරිසට දම් දෙසා කුරු රට පිඬු සිඟා වැඩි ‍සේක.

අනවතත්ත විල් තෙරදී දන් වළඳ සමවත් සුවයෙන් වැඩසිට බුදු ඇසින් ලොව දෙස බැලූ සේක. එදින ලක්දිව මහානාග වනෝද්‍යානයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රැස්වීමක් පැවැත්විණි. කළු පැහැයෙන් යුතු රළු දරුණු පෙනුමකින්, අසංවර බවකින් සිටි මේ පිරිස හික්මවා දමනය කොට තිසරණයෙහි පිහිටුවීමට උන් වහන්සේ ගුවනින් පහළ වී ලක්දිවට වැඩි සේක. ලක්දිවට වඩා හැට ගුණයක් පමණ විශාල ඉන්දියාවේ විවිධ නගරවල චාරිකා කිරීමට තිබියදී විදේශ චාරිකාවක් ලෙස ලක්දිවට වැඩම කිරීම, ලක්වාසීන් ලද මහා භාග්‍යයකි.

ඌව පළාතේ් බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න කෝරළයේ අලුත්නුවර නගර වසමට අයත්ම මහියංගනය පිහිටා ඇත. මහවැලි ගං ඉවුරේ සොළොස් ගව්වක් දිග – සතර ගව්වක් පළල මේ පෙදෙස මහානාග වනෝද්‍යානය නමින් හැඳින්විය. යක්ෂ ගෝත්‍රිකයන් සටනකට සූදානම් වෙද්දී ක්‍රි.පූ. 588 දී බුදුන්වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාව පතුරුවමින් ලක්දිව පහළවූහ. එදා යක්ෂ නමින් හැඳින්වූ ලක්දිව මුල් වැසියන්ගේ සිත් සනසා, සෘද්ධි ප්‍රාතිහාර්ය පාමින් දහම් දෙසා, ශ්‍රී ලංකාව මිනිස් වාසයට සුදුසු දහම් දිවයිනක් බවට පත්කළ සේක. බුදුසසුනේ අනාගත පැවැත්ම උදෙසා මංපෙත් සොයා දෙමින් දෙව් මිනිස් සිත්සතන් සනසමින් සදහම් අමාවැසි වස්වා සැම සිත් පහන් කළ සේක. දහම් ඇසීමට රැස්වූ පිරිස අතර සිටි සමන්ත කූට පර්වතවාසී සුමන සමන් දෙවියෝ සෝවාන් ඵලයට පත් වූහ. වන්දනාමාන කර ගැනීමට යම් පූජා වස්තුවක් දෙවියෝ ඉල්ලා සිටියහ. බුදුන් වහන්සේ හිස අතගා කේශධාතු මිටක් පරිත්‍යාග කළහ. සුමන සමන් දෙවියෝ එම කේශධාතු මිටක් පරිත්‍යාග කළහ. සුමන සමන් දෙවියෝ එම කේශ ධාතු රන් කරඬුවකින් පිළිගෙන පත්කඩ එළා බුදුන් වහන්සේ දහම් දෙසූ ස්ථානයේ සත්රියන් උස විසි රියන් වට ඉන්ද්‍රනීලමය සෑයක් කරවීය. බුදුන් වහන්සේ ජීවමාන කාලයේම ලොව බිහි වූ මුල් ම චෛත්‍යය මහියංගන චෛත්‍යය බව ඉතිහාසයේ දැක්වෙයි. එය දෙවියන් විසින් සාදන ලද්දක් බවද කියැවෙයි.

බුදුන් වහන්සේ පිරිනිවන් පෑ පසු සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයකු වූ මහා සරභූ රහතන් වහන්සේ බුදුන් වහන්සේගේ ආදාහන සෑයෙන් ගී‍්‍රවා ධාතුව රහසේ ලබාගෙන, ලංකාවට පැමිණි මහියංගන සෑයේ තැන්පත් කොට හිමවතෙන් ගෙනා ‘මේඝවර්ණ’ පාෂාණයෙන් දොළොස් රියන් උස සෑයක් සැදවීය. වර්ෂ දෙදහස් පන්සියයකටත් පෙර මෙම චෛත්‍ය කර්මාන්තය කෙරී ඇත. ලොව රහතන්වහන්සේ නමක් නිමකළ එකම චෛත්‍යයද මෙයයි.

ක්‍රි.පූ.267 දී පමණ දෙවනපෑතිස් රජුගේ සොහොයුරු උද්ධචූලාභය රජු දොළොස් රියන් දාගැබ වසා තිස්රියන් දාගැබක් සාදවන ලදී. ක්‍රි.පූ. 161 දී අනුරාධපුරයේ රජකම් කළ දුටුගැමුණු රජු අසූරියන් උස මහා චෛත්‍යයක් කරවීය. වසර විසි හතරක් (24) පමණ සිරිලක සරු සාරවත් කරමින් බුදු සසුන බැබළ වූ මෙම රජු සර්වඥ ධාතූන් වහන්සේ 160 නමක් සහිත කරඬුවක් මෙම චෛත්‍යයේ තැන්පත් කරවීය. වරින්වර රජ වූ ධාතුසේන, සිරිසඟබෝ, අග්බෝ, පරාක්‍රමබාහු ආදී රජවරු මෙම සෑය ප්‍රතිසංස්කරණය කොට අලංකාර කළහ.

මහියංගන විහාරවාසීව සිටි නන්ද තෙරණුවන් තම බෑණනුවන් වූ සංඝබෝධි කුමරු භික්ෂූන් වහන්සේ ඇසුරේ ඇතිදැඩි කර දසරාජ ධර්මය අවබෝධකර දුන් පසු ඔහු රාජාභිෂේකය ලැබුවේ ද මෙම ඓතිහාසික භූමියේදී ය. සිරිසඟබෝ රජු බෝසත් ගතිගුණ ඇති, ඉතා ප්‍රසිද්ධ වූ සිය කැමැත්තෙන් හිස දන් දුන් උතුමෙකි.

බුදුන් වහන්සේ පළමු ලංකා ගමනයෙන් පසු මගධ රට රජගහනුවර බිම්සර රජුගේ ඇරැයුමක් පරිදි උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කළේ මසදී ය. බිම්සර රජතුමා විසින් රජගහනුවර ඉදි කරන ලද වේළුවනාරාමය බුදුන් වහන්සේ ප්‍රමුඛ මහසඟරුවනට පූජා කරන ලදී. මෙය බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව විය. මෙතැන් පටන් ආරාම පිළිගැනීම භික්ෂූන් වහන්සේට සුදුසු බව බුදුන් වහන්සේ අනුමත කළහ.

බුදුරජාණන් වහන්සේ බුදු සසුන නිරුපද්‍රිතව ආරක්ෂා වන දේශය ලෙස ලක්දිව හැඳින්වූ බව වංසකථාකරුවෝ පවසති. මහ සඟ රුවන ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය හා දහම් පොතපත රැකගැනීම, ත්‍රිපිටක ධර්මය පොත්පත්වල ලියා තැබීම, රාජ්‍ය නායකයන් හා ජනතාව උත්තරීතර සදහම් මගට යොමුකරවීම බුදුදහමේ චිරස්ථිතිය, ව්‍යාප්තිය, පෝෂණය සඳහා ඉවහල් විය. බුදු සසුනේ අනාගත පැවැත්ම දුරුතු මස දුරුතු පොහෝ දින බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමනින් තහවුරු විය.

බුදුගුණ ගීයෙන් මවු තුරුලේ නැළවී මහ සඟරුවනේ ඇසුරෙන් සියලු සිප්සත හදාරා සදහම් අමා වැස්සෙන් නැහැවෙමින් මවුපිය වැඩිහිටි අවවාද අනුශාසනා වැඩුණු වියපත් අතීත හෙළ දරුවන් දෙස, බස, රැස රැක ගනිමින් වෙහෙර විහාර ඉදි කරමින් කළ උදාර සේවාව, අපි දුරුතු පොහෝදින සිහිපත් කරමු. ‘කෙලෙස් මලින් පීඩිතව එකිනෙකා වෛරයෙන්, ක්‍රෝධයෙන්, තණ්හාවෙන්, මුසපත් වී විනාශ මුඛයට යන ජීවිත මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් සනසා සදහම් ආලෝකයෙන් ඒකාලෝක කිරීමට මේ උදාර දුරුතු පොහෝ දින අදිටන් කර ගනිමු’.

තෙරුවන් සරණයි!

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

ධර්මදානය : http://ift.tt/1NO2uXY via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 11, 2017 at 09:00PM

පිළිකුල් භාවනාව යනු කෙස් ලොම් ආදි කොටස් පිළිබඳ භාවනාව ය. එයට අශුභ භාවනාවය, කායගතාසති සතිපට්ඨාන භාවනාවය, කොට්ඨාස භාවනාවය යන නම් ද වෙයි. එය වනාහි බුද්ධෝත්පාද කාලවල පමණක් ඇත්තා වූ අන්‍ය තීර්ථකයන්ට අවිෂය වූ බෞද්ධයන්ගේ ම භාවනාවෙකි. තථාගතයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් වර්ණනා කළා වූ ද භාවනාවෙකි. මේ බුදු සස්නෙහි ඒ භාවනාව කොට රහත් ව නිවන් දුටුවෝ ඉතා බොහෝ වූහ. බුද්ධ කාලයේ පටන් අද දක්වා බොහෝ බුද්ධ ශ්‍රාවකයන් පුරුදු කළ භාවනාව ද එය ය. බඹයක් පමණ වූ මේ මිනිස් සිරුර කොටස් දෙතිසකින් යුක්ත ය.

(1) කෙස් ය, ලොම් ය, නිය ය, දත් ය, සම ය,
(2) මස් ය, නහර ය, ඇට ය, ඇටමිදුලු ය, වකුගඩුව ය,
(3) හදවත ය, අක්මාව ය, දළබුව ය, ඇලදිව ය, පපු මසය.
(4) අතුණු ය, අතුණුබහන් ය, ආහාර ය, මල ය, මොලය ය.
(5) පිත ය, සෙම ය, සැරව ය, ලේ ය, ඩහදිය ය, මේද තෙල ය.
(6) කඳුළු ය, වුරුණු තෙල ය, කෙළ ය, සොටු ය, සඳ මිදුලු ය, මුත්‍ර‍ ය.

යන මේ දෙතිස ශරීරයේ කොටස් ය. මේ භාවනාව කරන කල්හි කොටස්වල පැහැය ය, සටහන ය, පිහිටි දිශාව ය, පිහිටි ස්ථානය ය, පර්‍ය්‍යන්ත පරිච්ඡේදය ය යන කරුණු පස හා වර්ණය ය, සටහනය, ගන්ධය ය, නිඃශ්‍රියය, අවකාශය ය යන මොවුන්ගේ වශයෙන් පිළිකුල් බව ද සජ්ඣායනා කරමින් භාවනා කළ යුතු ය. සජ්ඣායනා කිරීම නම් ඇසෙන සේ කීම ය. “ඉමස්මිඤ්හි පටික්කූලමනසිකාර කම්මට්ඨානෙ යොපි තෙපිටකො හොති තෙනාපි මනසිකාර කාලෙ පඨමං වාචාය සජ්ඣායො කාතබ්බො” යි මේ ප්‍ර‍තිකූල මනස්කාර කර්මස්ථානය ත්‍රිපිටකධරයකු විසින් වුව ද සජ්ඣායනා කරමින් ම භාවනා කළ යුතු බව දක්වා තිබේ. එබැවින් සිතින් මෙනෙහි කිරීම ම ප්‍ර‍මාණ වෙතැයි වරදවා නො ගත යුතු ය. කොටස් දෙතිසක් පිළිබඳ වූ මේ භාවනා ක්‍ර‍මය ඉතා දීර්ඝ බැවින් එකවර උගෙන එකට ම භාවනා කිරීම දුෂ්කර බැවින් කොටස් දෙතිස වර්ග සයකට බෙදා භාවනා කිරීමට නියමිත ය. මෙහි කොටස් දෙතිස දැක්වූ තැන අංක යොදා ඇත්තේ ඒවා වර්ග කරගත යුතු ආකාරයට ය. එහි කොටස් පස බැගින් ඇති වර්ග සතරක් හා කොටස් සය බැගින් ඇති වර්ග දෙකක් ද ඇත්තේ ය.

භාවනා කිරීමේ දී පළමු වන වර්ගය අනුලෝම වශයෙන් (මුල සිට අග දක්වා කියන ක්‍ර‍මයෙන්) පස් දිනක් භාවනා කළ යුතු ය. ප්‍ර‍තිලෝම වශයෙන් (අග පටන් මුලට කියන ක්‍ර‍මයෙන්) පස් දිනක් භාවනා කළ යුතු ය. අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් පස් දිනක් භාවනා කළ යුතු ය.

ඉක්බිති “මස්” ආදි කොට ඇති දෙවන වර්ගය උගෙන කියන ලද පරිදි එක් එක් ආකාරයෙන් පස් දින බැගින් පසළොස් දිනක් භාවනා කළ යුතුය.

ඒ වර්ග දෙක භාවනා කිරීමට මසක් ගත වේ. දෙවන මාසයේ දී ඒ වර්ග දෙක ම එක්කොට එක් එක් ආකාරයෙන් පස් දින බැගින් පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

ඉක්බිති “හදවත” ආදි කොට ඇති තුන්වන වර්ගය උගෙන කියන පරිදි පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

තුන් වන මාසයේ දී පළමු භාවනා කළ වර්ග තුන ම එක්කොට තුන් ආකාරයෙන් පසළොස් දිනක් භාවනා කළයුතු ය.

ඉක්බිති “අතුණු” ආදි කොට ඇති සතර වන වර්ගය ගෙන තුන් ආකාරයෙන් පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

සතර වන මාසයේ දී පසු කළ වර්ග සතර ම එක් කොට කියන ලද පරිදි පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

ඉක්බිති “පිත” ආදි කොට ඇති පස් වන වර්ගය ගෙන තුන් ආකාරයෙන් දින පසළොසක් භාවනා කළ යුතු ය.

පස්වන මාසයේ දී පසු කළ වර්ග පස ම එක් කොට තුන් ආකාරයෙන් පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

ඉක්බිති සවන කොටස උගෙන කියන ලද පරිදි පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

සවන මාසයේ දී කොටස් දෙතිස ම එක් කොට තුන් ආකාරයෙන් පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

භාවනාව සම්පූර්ණ කිරීමට පස්මස් පසළොස් දිනක් ගත වන්නේ ය. මේ කාලයේ දී භාවනා කරන වේලාව දිනකට පැයකට වඩා අඩු නො විය යුතු ය. මුලින් පටන් ගත්තා ම නැවතීමක් නැති ව අග දක්වා ද අගින් පටන් ගත්තා ම පැකිළීමක් නැතිව මුල දක්වා ද මෙනෙහි කළ හැකි වේ නම් භාවනාව ප්‍ර‍ගුණ වූ සැටියට සැලකිය යුතුය. ඉන්පසු සජ්ඣායනාව හැර මෙනෙහි කිරීම පමණක් ඉදිරියට කරගෙන යා යුතු ය. කොටස් හොඳින් නො වැටහේ නම් කියන ලද පරිදි නැවතත් පස් මස් පසළොස් දිනක් සජ්ඣායනා කළ යුතු ය. ශරීරය දිශා වශයෙන් බෙදන කල්හි නාභිය (පෙකනිය) මධ්‍යස්ථානය වශයෙන් ගනු ලැබේ. භාවනා වාක්‍යයේ දී හෙට්ඨිම දිශාවය (යට දිගය) යි කියනුයේ නාභියෙන් යට කොටසය. උපරිම දිශාවය (උඩ දිගය) යි කියනුයේ නාභියෙන් උඩ කොටසට ය.

භාවනා වාක්‍යය (මෙය පාඩම් කරගෙන භාවනා කරනු)

පළමු වන පසළොස් දින භාවනා ක්‍ර‍මය

1. මේ ශරීරයෙහි කේශයෝ කළු වූ වට වූ දික් වූ මතු දිශාවෙහි පිහිටියා වූ හිස් කබල වසා සිටින සමෙහි පිහිටියා වූ යටින් වියැට අගක් පමණ සම තුළට වැද සිටින මුල්වලින් හා උඩින් අහසින් ද සරසින් ඔවුනොවුන්ගෙන් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
ඒ කේශයෝ පැහැයෙන් ද සටහනින් ද ගඳින් ද නිඃශ්‍රයෙන් ද අවකාශයෙන් ද පිළිකුල් යහ. (මතු දක්වන කොටස්වලට ද මෙසේ පස් ආකාරයෙන් පිළිකුල් බව යොදා සජ්ඣායනා කරනු).
2. මේ ශරීරයේ ලෝමයෝ මදක් කළු වූ කුඩා මුල් බඳු සටහන් ඇත්තා වූ දෙ දිශාවෙහි ම පිහිටියා වූ ශරීරය වසා සිටිනා සමෙහි පිහිටියා වූ යටින් සමට වැදී තිබෙන මුල්වලින් හා උඩින් අහසින් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
3. මේ ශරීරයෙහි “නිය” සුදු වූ මාලු කොට බඳු සටහන් ඇත්තා වූ, දෙ දිශාවෙහි ම හටගත්තා වූ, ඇඟිලි අග පිහිටියා වූ, තුන් පසකින් ඇඟිලි අග මසින් හා යටින් ඇඟිලි අග මසින් හා උඩින් ආකාශයෙන් ද වෙන් වූ කුණප කොට්ඨාසයකි.
4. මේ ශරීරයේ “දත්” සුදු වූ කලගෙඩි ගැටියක සිට වූ ලබු ඇට පෙළක් වැනි වූ උඩු දිග පිහිටියා වූ හකු ඇට දෙක්හි පිහිටියා වූ යටින් හකු ඇටයේ පිහිටි මුල්වලින් හා උඩින් අහසින් ද සරසින් ඔවුනොවුන් ගෙන් ම ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
5. මේ ශරීරයේ “සම” කළු සුදු ඈ නොයෙක් පැහැ ඇත්තා වූ, රූපයක් වසා සිටිනා සැට්ටයක් බඳු වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ ශරීරය වසා සිටියා වූ යටින් ශරීරයෙන් හා උඩින් ආකාශයෙන් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

කෙස්වලින් පටන් ගෙන සම දක්වා පිළිවෙලින් සජ්ඣායනා කිරීම මෙනෙහි කිරීම අනුලෝම ක්‍ර‍මය ය. සමින් පටන් ගෙන කෙස් දක්වා ආපසු සජ්ඣායනා කිරීම ප්‍ර‍තිලෝම ක්‍ර‍මය ය. මුල පටන් අගටත් අග පටන් මුලටත් සජ්ඣායනා කිරීම අනුලෝම ප්‍ර‍තිලෝම ක්‍ර‍මය ය.

දෙවන පසළොස් දින භාවනා ක්‍ර‍මය

1. මේ ශරීරයේ “මස්” රත් පැහැ ඇත්තා වූ, දි බව වට බව පැතළි බව ආදි නොයෙක් සටහන් ඇත්තා වූ, දෙදිශාවෙහි ම ඇත්තා වූ තුන් සියයක් පමණ ඇටවල පිහිටියා වූ යටින් ඇටවලින් ද උඩින් සමෙන් ද සරසින් මස් පිඩුවලින් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
2. මේ ශරීරයේ “නහර” සුදු වූ ගසක් වෙළා සිටින කොළ සැලුණු වැල් සමූහයක් බඳු වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ ඇට බැඳගෙන පිහිටියා වූ ඇටවලින් හා මස්වලින් වෙන් වූ, කුණප කොට්ඨාසයෙකි.
3. මේ ශරීරයේ “ඇට” සුදු වූ දික් බව වට බව පැතළි බව ආදි නොයෙක් සටහන් ඇත්තා වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ මුළු සිරුරෙහි ම එකිනෙක මත පිහිටියා වූ යටින් ඇට මිදුළුවලින් හා උඩින් හා සරසින් මස්වලින් හා ඔවුනොවුන්ගේ අක් මුල් වලින් වෙන්වූ කුණප කොට්ඨාසයෙකි.
4. මේ ශරීරයේ “ඇට මිදුළු” සුදු වූ, තම්බා හුණ පුරුක් බට පුරුක්වල ලූ වේබඩ බඳු සටහන් ඇත්තා වූ දෙදිශාවෙහි ම හටගත්තා වූ ඇට තුළ පිහිටියා වූ ඇටවල ඇතුළු පසින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
5. මේ ශරීරයේ “වකුගඩුව” මඳක් රත් පැහැ ඇත්තා වූ එක නටුවෙහි හටගත් අඹ ගෙඩි දෙකක් බඳු වූ මතු දිශාවෙහි හට ගත්තා වූ ගලවළුයෙන් නික්ම ගොස් දෙකට බෙදී ගිය නහර දෙකක පිහිටියා වූ එහි ම කෙළවරින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

තුන්වන පසළොස් දිනයේ කියන ලද වර්ග දෙක එක් කොට අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් පස් දින බැගින් භාවනා කරනු.

සතරවන පසළොස් දිනයේ භාවනා ක්‍ර‍මය

1. මේ ශරීරයේ “හදවත” මඳක් රත් පැහැ ඇත්තා වූ යටිකුරු කොට තැබූ නෙළුම් කැකුළක් බඳු සටහන් ඇත්තා වූ මතු දිශාවේ හටගත්තා වූ සිරුර තුළ දෙතන අතර පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
2. මේ ශරීරයේ “අක්මාව” මඳක් රත් පැහැ ඇත්තා වූ, කොබෝලීල පතකට බඳු සටහන ඇත්තා වූ, මතු දිශාවේ පිහිටියා වූ දෙතන අතර දකුණු පස පිහිටියා වූ එහි ම කෙළවරින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
3. මේ ශරීරයේ “දළබුව” සුදු පැහැ ඇත්තා වූ, වස්ත්‍ර‍යක් බඳු සටහන ඇත්තා වූ, මතු දිශාවෙහි හට ගත්තා වූ, හදවත හා අක්මාව වසා සිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
4. මේ ශරීරයේ “බඩදිව” නිල් පැහැ ඇත්තා වූ, වස්සකුගේ දිව බඳු සටහන ඇත්තා වූ, මතු දිශාවෙහි හටගත්තා වූ, හදවතට වම් පසින් පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
5. මේ ශරීරයේ “පපුමස” රතු වූ, නො සම කොට කඩන ලද රොටි කැබලි කීපයක් බඳු සටහන් ඇත්තා වූ, මතු දිශාවෙහි හටගත්තා වූ පපුව තුළ එල්ලී තිබෙන්නා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
පෙණහල්ල යනු ද මෙයට නමෙකි. ඇතුළත පිහිටි කොටස්වල සැටි ඡායාරූපාදිය බලා තේරුම් ගත යුතු ය. පස්වන පසළොස් දිනයේ දී කෙස්වල පටන් බඩදිව තෙක් ඇති කොටස් පසළොස එක් කොට කියන ලද පරිදි තුන් ආකාරයෙන් භාවනා කරනු.

සවන පසළොස් දින භාවනා ක්‍ර‍මය

1. මේ ශරීරයේ “අතුනු” සුදු වූ ලේ ඔරුවක දරණ ගසා ලූ හිස සුන් සර්ප ශරීරයක් බඳු වූ දෙදිශාවෙහි ම හට ගත්තා වූ ගළවළුයෙහි පටන් ගුදය දක්වා ශරීරය තුළ පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
2. මේ ශරීරයේ “අතුනුබහන්” සුදු වූ හෙල් මැලි මුල් බඳු සටහන ඇත්තා වූ දෙදිශාවෙහි ම හට ගත්තා වූ නැමුණු තැන්වලින් බඩවැල බැඳ ගෙන එය අතර පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
3. මේ ශරීරයේ “නො පැසුණු ආහාරය” වැළඳූ ආහාරයේ පැහැය ම ඇත්තා වූ පෙරහනක ලිහිල් කොට බැඳි සහල් බඳු වූ මතු දිශාවෙහි ඇත්තා වූ උදරයෙහි පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
4. මේ ශරීරයේ “මල” පඬු පැහැ ඇත්තා වූ හුණ පුරුකක ලූ පඬුවන් මැටි බඳු වූ යටි දිග හටගත්තා වූ පක්වාශයෙහි පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
5. මේ ශරීරයේ “මොළය” සුදු වූ හිස් කබලට බඳු සටහන ඇත්තා වූ මතු දිශාවෙහි හට ගත්තා වූ, හිස් කබල තුළ පිහිටියා වූ එහි පර්‍ය්‍යන්තයෙන් හා හිස් කබලේ යටිපසින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

මෙය පසළොස් දිනක් භාවනා කොට සත්වන පසළොස් දිනයෙහි කෙස්හි පටන් මොළය දක්වා ඇති කොටස් සියල්ල ම එක් කොට කියන ලද පරිදි තුන් ආකාරයෙන් භාවනා කරනු.

අටවන පසළොස් දිනයේ භාවනා ක්‍ර‍මය

1. මේ ශරීරයේ “බද්ධපිත්තය” (කෝෂයෙහි පිහිටි පිත) බොල් මී තෙල් පැහැ ඇත්තා වූ පිහිටි ස්ථානයට බඳු සටහන් ඇත්තා වූ මතු දිශාවෙහි හට ගත්තා වූ වැටකොළු කරලක් බඳු වූ පිත් කෝෂයෙහි පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි. “අබද්ධ පිත්තය” (ශරීරයේ පැතිර සිටිනා පිත) මැළවුණු රණවරා මල් පැහැ ඇත්තා වූ පිහිටි ස්ථානයන්ට බඳු සටහන් ඇත්තා වූ දෙදිශාවෙහි ම හට ගත්තා වූ සකල ශරීරයේ පැතිර පවත්නා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
2. මේ ශරීරයේ “සෙම” සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ මතු දිශාවේ හට ගත්තා වූ උදර පටලයේ පිහිියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
3. මේ ශරීරයේ “සැරව” මඳක් සුදු වූ පිහිටි තැනට බඳු සටහන් ඇත්තා වූ දෙදිශාවේ ම හටගත්තා වූ ගෙඩි වණවල පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
4. මේ ශරීරයේ “ලේ” රතු වූ පිහිටි තැනට බඳු සටහන් ඇත්තා වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ ගමන් කරමින් පවත්නා වූ එහි ම කෙළවරවලින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
5. මේ ශරීරයේ “ඩහදිය” තෙල් පැහැ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ, දෙ දිශාවෙහි ම හටගත්තා වූ රෝම කූපයන් පුරා සිටින්නා වූ එහි ම කෙළවරවලින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
6. මේ ශරීරයේ “මේද තෙල” කහ පැහැ ඇත්තා වූ වස්ත්‍ර‍යකට බඳු සටහන ඇත්තා වූ, දෙ දිශාවෙහි ම හට ගත්තා වූ, සම් මස් දෙක අතර පිහිටියා වූ, උඩින් සමින් හා යටින් මසින් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

නව වන පසළොස් දිනයේ දී කී සියල්ල එක් කොට තුන් ආකාරයෙන් භාවනා කරනු.

දසවන පසළොස් දිනයේ භාවනා ක්‍ර‍මය

1. මේ ශරීරයේ “කඳුළු” තල තෙල් පැහැ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ, මතු දිශායෙහි හටගත්තා වූ ඇස්වල පිරී සිටින්නා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
2. මේ ශරීරයේ “වුරුණු තෙල” පොල් තෙල් පැහැ ඇත්තා වූ දිය මතුයෙහි කැරකෙන තෙල් බින්දු බඳු සටහන ඇත්තා වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ අතුල් පතුල් පිටි අලු පිටිපතුල් නළල නැහැ උරහිස් යන තැන්වල පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
3. මේ ශරීරයේ “කෙළ” පෙන පැහැ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ, මතු දිශාවෙහි හටගත්තා වූ, මුව තුළ පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
4. මේ ශරීරයේ “සොටු” සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ මතු දිශාවෙහි හටගත්තා වූ නාස් පුඩු පුරා සිටින්නා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
5. මේ ශරීරයේ “සඳමිඳුළු” සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ දෙ දිශාවෙහි ම හටගත්තා වූ ඇට සන්ධිවල පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
6. මේ ශරීරයේ “මුත්‍ර” තල තෙල් පැහැ ඇත්තා වූ මුව යටිකුරු කොට තැබූ කුඩා කළයක දිය බඳු සටහන ඇත්තා වූ යටි දිශාවෙහි හටගත්තා වූ වස්ති කෝෂයෙහි පිහිටියා වූ වස්ති කෝෂයේ යටි පසින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

එකොළොස් වන පසළොස් දිනයේ දී සියල්ල එක් කොට තුන් ආකාරයෙන් භාවනා කරන කියන ලද පරිදි පස් මස් පසළොස්දිනක් භාවනාව සජ්ඣායනා කළ කල්හි එය ප්‍ර‍ගුණ වී නම්, කොටස් මනාකොට වැටහෙන්නට පටන් ගත්තේ නම් සජ්ඣායනාව නවත්වා කොටස් මෙනෙහි කරන්නට පටන් ගත යුතු ය. මෙනෙහි කිරීම පිළිබඳ කාල නියමයක් නැත. භාවනාවෙන් යම්කිසි ඵලයක් ලැබෙන තුරු ම නො නවත්වා එය කර ගෙන යා යුතු ය. කොටස් දෙතිස ම හොඳින් නො වැටහේ නම් නො වැටහෙන කොටස් හැර දමා වැටහෙන කොටස්වල මනස්කාරය පැවැත්විය යුතු ය. ධ්‍යාන ලැබීම මේ භාවනාවේ අවසානය ය. අනලස ව ක්‍ර‍මානුකූලව භාවනාව කරගෙන යන කල්හි හේතු සම්පත් ඇතියවුන්ට ධ්‍යාන ලැබේ. හේතු සම්පත් නැතියවුන්ට දැන් කරන භාවනාව ස්වර්ග සම්පත් ප්‍ර‍තිලාභයට හා අනාගත භවයන්හි ධ්‍යාන ලැබීමට ද හේතු වන්නේ ය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/n2is5I via Facebook Pages http://ift.tt/1GMS4Lf