Monthly Archives: September 2014

අගසව් ශාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි බිමට පත් රාහුල පොඩි හ…

අගසව් ශාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි බිමට පත් රාහුල පොඩි හාමුදුරුවෝ වයසින් සත්වන අවුරුද්ද ඉක්මවා නොසිටියහ. කාහට වුණද පි‍්‍රයශීලි වූ රාහුල හිමියෝ අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් සුහදව පිරිස් සිනා ගන්වන විහිලු බස් තෙපලන අයෙකු ලෙස කාහට වුවද දැක ගත හැකි විය. ශ්‍රමණ ධර්මයන් නොවැඩී මේ නිසා පිරිහෙනු දුටු බුදුහු රාහුල හිමියන් අම්බලට්කාව නම් වනබද විහාරයකට පිටත් කළහ. ටික දිනකින් එහි වැඩි බුදුරදුන් වඩිනු දුරදීම දුටු රාහුල හාමුදුරුවෝ පා සෝදනු පිණිස දිය බඳුනක් තැබූහ. හිඳිනට අසුනක් ද පැන වූහ. එම අසුනෙහි වැඩ සිටි බුදුරදුන්ගේ දෙපා පැන් වක්කොට සේදූහ. දැන් බඳුනෙහි අඩක්ම හිස්ව ඇත.

රාහුලයෙනි! පළමුව මෙම බඳුනෙහි පැන් පිරී තිබුණා නේද? එසේය. භාග්‍යවතුන් වහන්ස,

පා සේදීම නිසා එයින් අඩක්ම හිස් විය. රාහුලයෙනි, අනුන් සිනා ගැන්වීමට හෝ බොරු බස් තෙපලන කළ එම පැවිද්දන්ගේ ගුණ ධර්මද අර ජලය මෙන්ම නැතිවී යන්නේය.

රාහුල, එම බඳුන මුනින් අතට හරවන්න.

දැන් මීට පිරිවිය හැකිද? රාහුල! නොහැකිය හිමියනි!

එපරිද්දෙන් රාහුල බොරු බස් තෙපලන පැවිදි තැනගේ ශ්‍රමණ ගුණයන් ද එකතු නොවන්නේය. රාහුලයෙනි, දැන්වහාම බඳුන උඩ අතට හරවන්න. රාහුලයෙනි, ශ්‍රමණ ගුණධර්මයන් පිරෙන්නේ උඩ අතට හැරවූ දිය බඳුනක මෙන් තමාගේ හිත කය වචනය වැරැදි වලින් වළකාගත් කල්හිම පමණෙකි.

සත් හැවිරිදි රාහුල පොඩි හාමුදුරුවන්ට අදාස තලය (කැඩපත හෙවත් කන්නාඩිය උපමා කරමින් තම ශ්‍රමණ ධර්මයන් හෙවත් පැවිදි බිමෙහි අපේක්‍ෂා කරන ගුණ ධර්මයන් තවත් අයුරෙකින් දක්වතොත් තම ශීලාදී ගුණධර්මයන් සපුරා ගනු ලබන පිළිවෙල ද සවිස්තරව දෙසූහ. රාහුල, මෙහිහි රන්මුවා කැඩපතකින් රජ ගෙයි දී ඔබ ලබා ගත් ප්‍රයෝජන කවරේද?

භාග්‍යවතුන් වහන්ස! විමස විමසා බලමින් මුහුණ ආදියෙහි වූ ඉවත් කළ යුතු වූ අප ද්‍රව්‍යයන් දැන හඳුනා ගෙන ඒවා ඉවත් කරමි. එපරිද්දෙන් රාහුල, නිරතුරුවම විමසා විමසා අපිරිසුදු පාප චේතනාවන් ඉවත් කොට තම පිරිහුණු බව රැක ගත යුතු ප්‍රධාන කරුණු 3 ක් තිබෙනවා. ඒවා නම් තමාගේ කාය කර්ම, වචී කර්ම, හා මනෝ කර්ම යනු මේවායි.

යම් කාය කර්මයක් කරන්නට සූදානම් වන කල්හි ද සිදු කරන කල්හිද සිදුකොට අවසන් වු කල්හිද එම කර්මය තමාට අනුන්හට අවැඩ පිණිස පවතින්නේද පළමුවෙන් කරන කල්හිත් කළායින් පසුවත් විමසා බලමින් (පච්චවේත්ඛිත්වා ප්‍රාත්‍යවේක්‍ෂා කරමින්) කැඩපතින් මුහුණ පිරිසුදු කරගන්නාක් මෙන් අවැඩදායක දෙයින් සම්පුර්ණයෙන් වැළැකී සිටීමට උත්සාහ කළ යුතුවේ.

එම කියන කරන සිතන දේ තමාට අහිතක් පිණිසවේද අනුන්ට අහිත පිණිස වේද උභය පක්‍ෂයටම අහිත පිණිස වේද එසේ නම් එය නොකටයුතුයයි අවවාද කළ සේක. මෙම කරුණු මැනවින් වටහාගත් පුංචි රාහුල හාමුදුරුවන් ශීල ගුණයෙන් ද එසේම සමථ විපස්සනා භාවනාවන්ගෙන් හා ප්‍රඥාවෙන් පරිපූර්ණව නිවන් සුව සලසා ගත් සේක.

ඔබද පුංචි රාහුල හිමියන් මෙන් දුර්ලභ මනුෂ්‍යත්වය සඵල කැර ගැනුමට තුන්දොර සංවර කර ගැනුමට අධිෂ්ඨාන ශීලි විය යුතුය.

සියලු පව් දුරුකොට
සියලු පින්කම් සිදුකොට
පිරිසුදු සිත් වන්න
එයයි සම්බුදු සමිදු උපදෙස

තෙරුවන් සරණයි!

තන්තිරිමුල්ලේ සරණ හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

කය පිළිබඳ ඇතිවන්නා වූ දුක් දොම්නස් නැති කිරීමට කායානුපස්සනාව හෙවත් කය අනුව සිහිය…

කය පිළිබඳ ඇතිවන්නා වූ දුක් දොම්නස් නැති කිරීමට කායානුපස්සනාව හෙවත් කය අනුව සිහිය පවත්වමු.

කයෙහි සැබෑ ස්වභාවය මෙනෙහි කිරීමෙන් කය පිලිබඳ සුභ සංඥාව (කය හොඳ යහපත්, කැමති විය යුතු දෙයක්ය යන හැඟීම) නැති කරමු.

රාග ආදී සිත දවන්නා වූ හැඟීම් ඇතිවීම වලක්වමු.

මේ නිර්ජීවී සතර මහා භූතයන්ගෙන් සැදුනු, ආහාරයන්ගෙන් වැඩුණු, පිළිකුල් සහගත වූ, විඥානයට වාහනයක් වූ, ඇවිදින මළමිනියක් වූ, නොයෙක් ක්ලේශයන්ට වස්තු භූමියක් වූ, ඒකාන්තයෙන්ම පොලවට කුණුවී පස් වන, කුහුඹු සුනඛ ආදී සත්වයින්ට ආහාරයක් වූ මේ බෙල්ලේ එල්ලන ලද බලු කුණක් බඳු වූ ශරීරය දෙස නුවණින් බලන්න.

ධර්ම දානයේ වැදගත්කම – සියල්ලෝම ධර්ම දානයේ යෙදෙත්වා ධර්ම දානය පිළිබඳව ධම්ම පදටඨක…

ධර්ම දානයේ වැදගත්කම – සියල්ලෝම ධර්ම දානයේ යෙදෙත්වා

ධර්ම දානය පිළිබඳව ධම්ම පදටඨකථාවෙහි මෙසේ සඳහන් වේ. සක්වල ගැබ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ලද ප්‍රණීත පිණ්ඩපාත දානයට ද වඩා, පාත්‍ර පුරවා දෙන ලද ගිතෙල් ආදී බෙහෙත් දානයට ද වඩා, එසේම මහා විහාරයන්ට සමාන විහාර ද, ලෝවාමහාපාය වැනි ප්‍රසාදයන් නොයෙක් සියදහස් ගණනින් කරවා දෙන ලද සේනාසන දානයට ද වඩා, අනාථ පිණ්ඩික සිටුතුමා දෙව්රම් වෙහෙර සඳහා කළ පනස් හතර කෝටියක ධන පරිත්‍යාග චේතනාවට ද වඩා, බඹලොව තරම් උසට බුදුන් උදෙසා චෛත්‍යය කරවනවාට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකිනුදු අනුමෝදනා ධර්ම දේශනයක් සිදුකෙරේ නම්, ධර්ම දානමය පින්කමක් සිදු කෙරේ නම් ඒ ධර්ම දානමය පින්කම ම වඩා ශ්‍රේෂ්ඨ වේ, උතුම් වේ යැ යි දක්වා ඇත.

එයට හේතුව නම් ඉහත කී සිවුරු පිදීම පිණ්ඩපාත දාන සෙනසුන් ඉදිකිරීම් ආදී පුණ්‍ය කර්ම කරනුයේ ධර්මය අසා දැන ගත් බැවිනි. ධර්මය දැන කියා ගැනීමට නො ලැබුණි නම් බත් හැන්දකුදු නො දෙන බව ධර්මයේ පෙන්වා ඇත. තව ද රහත් බෝධියෙන් නිවන් දුටු පිරිස අතර අගතැන්පත් සම්මාදිට්ඨි සුත්‍රය ද දේශනා කළ ඒ සැරියුත් මහරහතන් වහන්සේට කල්පයක් මුළුල්ලෙහි වසින වර්ෂාවේ දිය බිඳු ප්‍රමාණය කීමට තරම් මහා නුවණක් ඇත්තේ ය. මේ තරම් නුවණක් ඇති ඒ සැරියුත් හිමිට ද අස්සජි හිමියන්ගෙන් බණ පදයක් දැන ගැනීමට නො ලැබුණි නම් නිවන් දැකීමට නො හැකි වන්නේ ය. මේ හේතුවෙන් ධර්ම දානමය පින ම සියලූ දානමය පින්කම් වලට වඩා ශ්‍රේෂ්ඨ වන බව අග්‍ර වන බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුට වදාරන්නට යෙදුනේ ය.

ධර්ම දානය අවුරුදු දහස් ගණනින් සීමා වූ බුද්ධෝත්පාදයෙහිම කළ හැකි වන්නේය. කල්ප ගණනින් අති දීර්ඝ වූ අබුද්ධොත්පාදයෙහි කළ නොහැකි වන්නේය. සංසාරයෙහි සැරිසරන සත්වයා සුගතියට නොපැමිණ අවුරුදු කල්ප කෝටි ගණන් අපායේ වාසය කරන කල්හි ද ධර්ම දානයක් නම් කළ නොහැකිවේමය. මිසදිටුව උපන් කල්හි ද, පිට සක්වල උපන් කල්හි ද, ගොළු – බිහිරි – මෝඩ – උම්මත්තකව උපන් කල්හි ද, ශ්‍රද්ධා, සති, වීරිය, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් දුර්වලව උපන් කල්හි ද අල්ප මාත්‍ර වූ ද ධර්ම දානයක් නම් නොකෙරේමය. දීර්ඝායුෂ්ක අරූපී බ්‍රහ්ම ලෝක සතරෙහි හා අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකයෙහි උපන් කල්හි ද ධර්ම දානය නොකළ හැකිය.

ධර්ම දානයෙහි අධර්මයෙන් උපදවාගත් දෙයක් නොවන හෙයින් දාන වස්තුව ගැන සැකයක් නොවන්නේය. ලොව්තුරා බුදුවරයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළ ධර්මයක් හෙයින් ධර්මය අති පාරිශුද්ධ වන්නේය. ධර්ම දානය දුශ්ශීලයන්ට දුන්නේ ද විපාකය මහත්ඵල වන්නේය.

දාන වස්තුවෙහි ලෝභ ඉපදීමෙන් වන පුණ්‍ය හානියකුදු නැත්තේය. ධර්ම දානය දීමෙන් දිළිඳු නොවන හෙයින් පසුතැවිලි වීමකුදු නැත්තේය. ධර්ම දානය සියල්ලන්ට සාධාරණ දානයක් නොවේ. ලොව්තුරා බුදු කෙනකුන් වහන්සේ විසින්ම ප්‍රථමයෙන් දුන් හෙයින් අසාධාරණ දානයකි. දුන් අයට මෙන්ම ලැබූ අයටද පින් පිරෙන දානයකි.

ධර්ම දානය නිවන් උදෙසා කෙරෙන දේශනාවක් හෙයින් නොපැතුවද නිවන් ලබාදෙන දානයකි. ඥාන විප්‍රයුක්තව බණකීම් විරළ හෙයින් බොහෝ විට ත්‍රිහේතුක කුසල්ම උපදින්නේය. ධර්ම දේශනාව පටන් ගත් මොහොතේ සිට අවසාන වනතෙක් අප්‍රමාණ කුශල චිත්ත විථින්ගෙන් ද සද්ධා සති කරුණා මුදිතාදි කුසල චෛතසිකයන්ගෙන් ද සිදු කරන අති බලවත් කුශල කර්මයකි.

ධර්ම ශ්‍රවණය කිරීමෙන් ශ්‍රද්ධා ප්‍රඥා දියුණු කර ගත් බොහෝ සත්වයෝ මසුරු මල හැරපියා තමන් සතු සියලු ධනය පරිත්‍යාග කරති. සමහරු ධනය ද, ඇස්, ඉස්, මස්, ලේ, අත්පා ආදී අංග ප්‍රත්‍යංග ද පරිත්‍යාග කරති. තෘෂ්ණාව හැරපියා එතෙක් දෑ දීමෙහි පොළඹවන ධර්මය දීම සියලු දීම් වලට වඩා උසස් වේමය. ධර්ම දානය නිසා මරණය වැලකී රැකුණු ජීවිත මෙතෙකැයි පමණ නැත. සතර අපා දුකින් මිදී සුගතියෙහි ඉපදුණු සත්වයන් මෙතෙකැයි පමණ නැත. එහෙයින් ධර්ම දානය සියලු දානයන්ට ප්‍රමුඛ වෙයි.

බණ දේශනා කරන අයගේද අසන අයගේද බණ කියා නිමවන තෙක් කයින් වචනයෙන් කෙරෙන අකුසල් වලින් තොරව කය වචනය සංවරව පවතින බැවින් සීලය සම්පූර්ණ වේ. දේශනා කරන ධර්මයට සිත නැඹුරුව පවතින හෙයින් කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා යන නීවරණ ධර්මයන් යටපත් වීමෙන් සමාධිය සම්පූර්ණ වේ. ධර්මය අවබෝධ වීමේදී ප්‍රඥාව පහළ වේ. මෙසේ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් තුන් වැදෑරුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය එකවර සම්පූර්ණ වීමෙන් මාර්ග ඵල අවබෝධය වේ. එවිට නිර්වාණය ප්‍රත්‍යක්ෂ වේ. එහෙයින් ධර්ම දානය දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් එවලේම විපාක ලබා දිය හැකි දානයකි.

යම් කිසි විදියකින් මෙලොව එබඳු විපාකයක් ලබා ගැනීමට නොහැකි වූයේද මේ මහා භද්‍රකල්පයට එක් තිස් කල්පයකින් මත්තෙහි ලෝ පහල වූ සිඛී නම් බුදුරජාණන් වහන්සේගෙන් මොහොතක් බණ ඇසූ මිගලුද්දක නම් වැදි පුත්‍රයා සතර අපා දුකින් මුදා කල්ප තිස් එකක් මුළුල්ලෙහි සදිව්‍ය ලෝකයෙහිත් මනුෂ්‍ය ලෝකයෙහිත් අප්‍රමාණ වූ සම්පත්තියට පමුණුවා කෙළවර ලෝකෝත්තර සැපත වූ නිර්වාණයටත් පමුණුවාලූවාක් මෙන් අප්‍රමාණ වූ සුගති සංඛ්‍යාත ලෞකික සම්පත්තියටත් කෙළවර නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර සම්පත්තියටත් පමුණුවා ලීමෙහි ධර්ම දානය සමත් වෙයි.

පෙර බුදුවරයන් වහන්සේලාගේ ධර්ම දානය හේතු කොට ගෙන පසු බුදුවරයන් වහන්සේලාද පසේ බුදුවරයන් වහන්සේලාද රහතන් වහන්සේලා ද ලෝකයෙහි පහළ වූහ. ඒ කාරණයෙනුත් ධර්ම දානය ශ්‍රේෂ්ඨ වේ. සත්වයකුට ලැබිය හැකි උසස්ම තැන වූ සම්මා සම්බුද්ධ බෝධිය පවා අත් කරදෙනුයේ ධර්ම දානය විසිනි. ඒ හේතුවෙනුත් ධර්ම දානය අග්‍රය. ධර්ම දානයෙහි ආනිශංස පක්ෂය මෙතෙකැයි සීමා කර ප්‍රමාණකර කිව නොහැකි බවම ත්‍රිපිටකයෙහි සඳහන්ය. ධර්ම දේශකයා උපනූපන් තැන සියලු යස ඉසුරු පිරිවර සම්පත්තියෙන් ආඪ්‍ය වන්නාක් මෙන්ම ඒවා සැපසේ අනුභව කරන මහා ප්‍රඥාවන්තයෙක් ද වන්නේය. ලෞකික ලෝකෝත්තර සියලු සම්පත දෙන්නාට සියලු සම්පත් නිතැතින්ම ලැබේමය. එහෙයින් එබඳු උතුම් ධර්ම දානය දෙන්නට වටී.

පිරිස් වලට ධර්ම දේශනා කිරීම කාටත් කළ නොහැකි බව සැබෑය. එහෙත් ධර්ම දානය කාටත් සිදු කළ හැකි වෙනත් විධි බොහෝ තිබේ.

1. ධර්ම දේශනා කිරීම, කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
2. ධර්මය ඉගැන්වීම හා දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
3. පිරිස් වලට බණපොත් කියවීම, අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම හා ඔවුන්ව විවිධ පින්කම් වල යෙදවීම
4. ධර්ම ශාලා කරවීම, ධර්මාසන කරවීම, ඉරුදින දහම් පාසල් පිහිටුවීම හා ඒ සඳහා පහසුකම් සැලසීම
5. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
6. ධර්ම දේශක භික්ෂූන්ට හා ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට අවශ්‍ය පහසුකම් සැලසීම

ධර්ම දානය මහත් ඵල වීමට

ධර්ම දේශනා කිරීම දහම් පොතපත මුද්‍රණය කරවීම ආදියේදී තමන්ගේ උගත්කම්, දක්ෂකම්, සපන්කම් පෙන්වන මානයෙන් දුරුව, නම හෝ ඡායාරූප පල කරගැනීමේ ආශාවෙන් තොරව කළ යුතුය. බණ පොත් මුද්‍රණය කරවීමේදී ධර්ම ගෞරවය රැකෙන සේ බාල කරදාසි වල මුද්‍රණය නොකර මැදපු කඩදාසි වල මුද්‍රණය කරවීම ද, අකුරු වචන නොවරදින සේ ශෝධ්‍ය පත්‍ර බැලීම ද, බාහිර ශාස්ත්‍රීය ලිපි හා වෙළෙඳ දැන්වීම් ඇතුළත් නොකිරීම ද ඉතා වැදගත් බව සැලකිය යුත්තකි. කෙසේ වත් ධර්මය නොකෙළසීම හා ධර්මයට අගෞරව නොකිරීම බෞද්ධ ගුණයකි. ධර්මය රැක ගැනීමකි.

ධර්ම දානය කරන්නවුන් විසින් ධර්මදානයෙහි අප්‍රමාණ ආනිශංස හා විපාක ඇත්තේ යයි නුවණින් සලකා ප්‍රත්‍යාදී ලාබ ප්‍රයෝජන හා නම්බුනාම, කීර්ති, ප්‍රශංසා ගරු බුහුමන් ලැබීමේ ලෝභයෙන් තුරන්ව නිශ්ශරණාධ්‍යාශයෙන් යුතුව කළ යුතුය. එසේම බණ අසන්නවුන්ට නින්දා කරන, ගර්හා කරන, හෙලා දකින චේතනාවෙන් තොරව ඔවුන් සසර දුකින් මුදා ගැනීමේ හා ලොව් ලොව්තුරු සැපතට පැමිණවීමේ අභිලාශයෙන් යුතුව කරුණා මෛත්‍රී සහගත සිතින් ශිලාදී ධර්මයෙහි පිහිටා ධර්ම දානය සිදු කළ යුතුය. එසේ නොකළහොත් ධර්ම දානමය කුසලය උත්කෘෂ්ඨ නොවේ. ධර්ම දානය සිදු කිරීමට පළමුවත් එය කරන අවස්ථාවේත් ඉන් පසුවත් යන තුන් අවස්ථාවෙහිම ලෝභ – ද්වේශ – මෝහාදී කෙලෙස් වලින් පසු නොබා කළ යුතුය. සමහර විට “අනේ මේ පොත මුද්‍රණය කරවීමට බොහොම මුදල් වියදම් වේවි” යයි කියා ලෝභය ද, “මේ නරක මිනිසුන්ට මොන බණදැයි” ද්වේෂය ද, “මේ වැඩෙන් මගේ මහන්සියේ හැටියට වියදමේ හැටියට ප්‍රතිඵලයක් ආනිශංසයක් ලැබේදැයි” මෝහය ද ඇතිවිය හැකිය. එසේ පසු බට වීම් සහිත දූෂිත වූ සිතින් ධර්ම දානය කළොත් ඒ කුසලය හීන, ලාමක, දුර්වල දුක් සැප දෙකින් මිශ්‍ර විපාක ඇති කුසලයක් වෙයි.

ධර්ම දානයට හතුරුකම් කිරීම

නොමිලයේ දෙන බණ පොත් ඥානයත්, කාලයත්, මහන්සියත්, ධනයත්, ධර්මය වෙනුවෙන් පරිත්‍යාග කරන, ලාභ ප්‍රයෝජන අපේක්‍ෂාවෙන් තොරවූ සත් පුරුෂ සාධු ජනතාවගෙන්ම බිහිවන හෙයින් විශේෂ ගෞරවයෙන් ආරක්‍ෂා කළ යුතුය. කියවා ප්‍රයෝජන ගත යුතුය. ශ්‍රද්ධාවෙන් නොමිලයේ දෙන දහම් පතපොත ලබාගෙන හෝ පිළිගෙන එය නොකියවා, ඉන් ප්‍රයෝජන නොගෙන එය කියවීමට කැමති කෙනකුට ද නොදී, ආරක්‍ෂා ද නොකොට නාස්ති වී යාමට ඉඩදීම ඒ ධර්ම දානයට කරන හානියක් වන හෙයින් ඉන් බරපතල අකුසල කර්මයක් සිදුවේ. ළමයින් නැළවීමට හෝ ළමයින් සතුටු කිරීමට ඒ පොත් දීමෙන් ඒ ළමයින් ද අපායගාමී අකුසල් කර ගනිති. තවද ධර්ම දානය ලෞකික ලෝකෝත්තර සියලු සැපතට ඉවහල් වන මහා ආනිශංස දායක කුසල කර්මයක් වන හෙයින් තමන්ගේ බලය පෑමෙන් එය වළක්වාලන අය ද, නරක හැසිරීම් කෑකෝ ගැසීම් ආදියෙන් එයට බාධා කරදර පමුණුවන අය ද, ධර්ම දානය හෙළාදකින, පහත් කොට, නිශ්ඵල කොට සිතන කියන අය ද ඒ ලෞකික ලෝකෝත්තර සියලු සැපතින් පිරිහී සතර අපායාදී දුගතියට වැටෙන බව සැලකිය යුතුයි. “ධම්ම දෙස්සී පරාභවො” ධර්මයට ද්වේෂ කරන්නා පිරිහෙයි.

සද්ධම්මා පරම දුල්ලභො

“සද්ධර්මය නම් අතිශයින්ම දුර්ලභයයි” බුදු මුවින් ද දේශනා කොට වදාළ සේක. මහා කාරුණික ඒ බුදුරජාණන් වහන්සේ දන් වළඳා ගඳ කිළියට වැඩමවා පා සෝදා එහි පඩිය මත සිට එතැනට පැමිණෙන භික්ෂූන්ට දිනපතා මෙසේ අනුශාසනා කළ සේක. “අප‍්පමාදෙන භික‍්ඛවෙ, සම‍්පාදෙථ, දුල‍්ලභො බුද‍්ධුප‍්පාදො ලොකස‍්මිං, දුල‍්ලභො මනුස‍්සත‍්ත පටිලාභො, දුල‍්ලභා පබ‍්බජ‍්ජා, දුල‍්ලභා සද‍්ධා සම‍්පත‍්ති, දුල‍්ලභං සද‍්ධම‍්ම සවණං. මහණෙනි, අප්‍රමාදව ධ්‍යාන මාර්ග ඵල වඩව්, ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභය. මිනිසත් බව දුර්ලභය. ශ්‍රද්ධා සම්පත්තිය ද දුර්ලභය. ප්‍රව්‍රජ්‍යාව (පැවිද්ද) දුර්ලභය. ධර්ම ශ්‍රවණය දුර්ලභය” යනු එහි අදහසය.
මේ අනුශාසනාවේ ඇති වැදගත්කම නිසා දිනපතා දේශනා කළ සේක. ඒ පරම සත්‍ය වූ මිහිරි වූ බුද්ධානුශාසනාව පිළිගනිතොත් සාධු ජනයෙනි, කුමක් හෙයින් තණ අග පිණි බිඳක් සා අනිස්ථිර ජීවිතයක් ලැබ ගම් – බිම්, ගෙවල් දොරවල්, මිල – මුදල්, යාන – වාහන, අඹු – දරු, ගව මහීෂ හා දාසි – දාසාදී කාම වස්තූන් කෙරෙහි ඇලී බැඳී කා කොටා වැටෙමින් නඩු හබ කියා ගනිමින් ඊර්ෂ්‍යා ක්‍රෝධ – මද – මානාදී කෙලෙස් වඩමින් කල් යවන්නහුද?

අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි මහ නායක හාමුදුරුවනේ, එක කල්ප…

අග්ග මහා පණ්ඩිත,
ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි

මහ නායක හාමුදුරුවනේ,
එක කල්පයක් තුළ පමණක් මෙලෙස ඉපදි ඉපදී මැරි මැරී යන එක් අයකුගේ ශරීර ඇටසැකිලි කොටස්වල ප්‍රමාණය කොපමණ වෙයිද ?

ඔව්, එක කල්පයක් තුළ වුණත් අපි විවිධ ආත්මභාව ලබා උපන් ශරීරවල ඇට සැකිලි කොටස් මේ විශ්වය පුරා විසිර තිබිය හැකියි. ඒ අතරින් ඔබේ හෝ වෙන කෙනෙකුගේ හෝ එම පූර්ව ආත්මවල ශරීර කොටස් නූතන ඩී. එන්. ඕ. තාක්‍ෂණයෙන් හරි, මෝහණ විද්‍යාවෙන් හරි සොයා හඳුනාගත හැකි නම්, ඒවා එකතු කර ගොඩක් ගැහුවොතින් ඔබ පුදුම වනු නියතයි. ඒ තරමටම ඔබ විවිධ ආත්මභාවවල ඉපද ඉපදී මැරි මැරී යනවා.

මෙලෙස අපි විවිධ ආත්මභාව ලැබ උපන් ශරීරවල ඇට සැකිලි ඇසුරෙන් කල්පයක විශාලත්වය පිළිබඳව අප ගෞතම බුදු රදුන් ද පෙන්වා දී තිබෙනවා. ඒක සූත්‍ර පිටකයට අයත් ඛුද්ධක නිකායෙහි එන කුඩා ග්‍රන්ථ 15 න් එකක් වන “ඉතිවුත්තක” කථා පෙළෙහි විස්තර කර ඇත්තේ මෙසේයි.

“එක් කල්පයක් තුළ රැස් කරන ලද එක් පුද්ගලයකු උපන් ජාතීන්ගේ (ආත්මභාවයන්හ) ශරීරවල ඇටසැකිලි සමූහය එක් කළ (ගොඩ ගැස) විට රජගහනුවර මේ වේපුල්ල පර්වතයට සමාන වෙනවා”

වේපුල්ල පබ්බත හෙවත් පර්වත කන්ද කියන්නේ අසල්වැසි දඹදිව රජගහනුවර පිහිටි ප්‍රධාන කඳු පහ (05) අතරින් විශාලම කන්දටයි. ඉතින් අප එක කල්පයක් තුළ පමණක් එපමණ ආත්ම ගාණක් ඉපදී මැරෙනවා.

සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූ කුසිනාරා නුවරදීම ඊට පෙරත් අප බෝසතුන් ශරීරය අතැර ගොස් තිබෙනවා ද ?

ඔව් උන්වහන්සේ කුසිනාරාවේදී අවස්ථා කිහිපයකදීම ශරීර නික්‍ෂෙපය හෙවත් සිරුර අතහැර යාම (පොළවට බහාලීම) සිදු කර ඇති බව “මහා සුදස්සන සූත්‍රයෙහි” දැක්වෙනවා. දීඝ නිකායට අයත් 17 වන සූත්‍රය ලෙස සැලකෙන මෙම “සුදස්සන සූත්‍රයෙන්” මෙබඳු විස්තරයක් කර තිබෙනවා.

‘කුසිනාරා නුවර උපවත්තන සල් උයනේදී ආනන්ද තෙරුන් බුදු රදුන් වෙත ගොස් මෙසේ කීය.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස කුඩා නුවරක් වූ නොසම නුවරක් වූ ශාඛා නගරයක් වූ මේ කුඩා කුසිනාරා නුවර පිරිනිවන් නොපාන සේක්වා.”

“ආනන්දය, කුඩා නුවරය, නොසම නුවරය, ශාඛා නගරයයි, මෙසේ නොකියව, පෙර කාලයක අභිෂේක ලැබුවාවූ ක්‍ෂත්‍රිය වංශයෙහි උපන් මහා සුදස්සන නම් රජෙකු මෙහි විය. ඔහුගේ මේ කුසාවතී නමැති පුරාණ රාජධානිය සියලු සම්පතින් සමෘද්ධිමත්ව පැවතිණ.

ආනන්දය, සංස්කාරයන්ගේ අනිත්‍යතාව බලව. සියලුම ඒ සංස්කාර ධර්මයෝ ඉකුත් වූහ. නිරුද්ධ වූහ. විනාශ වූහ.

ආනන්දය, මම වනාහී මේ ප්‍රදේශයෙහි මීට පෙර හය වාරයක්ම ශරීරය නික්‍ෂෙපය (සිරුර අතහැරීම) කළ බව දනිමි. ඒ වනාහි ධාර්මික වූ ධර්මරාජයන් වූ චක්‍රවාළය (සක්වළ) කෙළවර කොට ඇති සතර මහාද්වීපය ජය ගත්තා වූ ජනපදයන්හි ස්ථිරභාවයට පැමිණියා වූ සප්තවිධ රත්නයෙන් යුක්ත වූ සක්විති රජ කාලයන්හිමය. මේ මාගේ සත්වෙනි ශරීර නික්‍ෂෙපය (සිරුර අතහැරීම) වන්නේය.

ආනන්දය, දෙවියන්, මරුන්, බ්‍රහ්මයන් සහිතවූ දෙව් මිනිසුන් සහිත වු ලෝකයෙහි (සක්වළෙහ ) යම් තැනක්හි තථාගත තෙම (බුදුන් ) අටවෙනි වර ශරීර නික්‍ෂෙපය (ශරීර කොටස් දැමීම) කරන්නේ ද එබදු වූ ප්‍රදේශයක් කිසිම සක්වළක මම නොදක්නෙමි යි “ වදාළ සේක.

එතකොට, අද සිටින සිත දියුණු කළ භාවනා යෝගීන්ට වුණත් මේ කල්පය තුළ තමන් උපන් අතීත ආත්මභාව දකින්න බැරිද?

දැන් ඔබ හිතලා බලන්න. අපේ ගෞතම බෝසතාණන් වහන්සේ එකම නගරයක් තුළ හත් (07) වතාවක්ම ඊට ආසන්න විවිධ ආත්මභාවවල ඉපදී ශරීරය අතහැර ගියා නම්, අපි කල්පයක් තුළ විවිධ තැන්වල අපේ ශරීරවල ඇට කටු ඉතිරි කර මැරි මැරී යන්නට ඇතිද ? අපේ භවයේ (සසර) ඇති දිගු බවත් කල්පයක පවතින දීර්ඝ බවත් බුදුහාමුදුරුවෝ තවත් තැනක මෙලෙස විග්‍රහ කර තිබෙනවා.

“මහණෙනි, තමන්ගේ අතීත ජාති (පූර්ව ආත්ම) සිහිපත් කළ (ස්වයං මෝහනය) හැකි වන සේ “ පුබ්බේනිවාසානුස්සති ඤාණය” ලැබූ මහා ශ්‍රාවකයන් සතර නමක්, වෙනත් සියලුම කටයුතු නවතා දමා ඉතා වේගයෙන් ඔවුහු පෙර ජාති (ආත්ම) සිහි කරන්නාහු, එහි එක දිනකට එක කල්පයක ජීවිත සිහිපත් කොට අවසන් කළහොත්, මේ ලෙසින් අවුරුදු සියයක් ගත කිරීමට උන් වහන්සේලාට හැකි වුවත්, උන්වහන්සේලාගේ සියලු කාලය ගෙවී අවසන් වන්නේ මුල (ආරම්භය) නොදැකමයි.”

එහෙමනම්, සක්වළේ හටගත් විවිධ කල්පවලින් යම් යම් වෙනස්කම් පවතිනවාද ?

එහෙමනම්, සක්වළේ හටගත් විවිධ කල්පවලින් යම් යම් වෙනස්කම් පවතිනවාද ?

ඔව්, හැම කල්පයක්ම එකිනෙකට වෙනස් වෙනවා. දැන් අපි මේ ගත කරන්නේ මහා භද්‍රකල්පයකයි. ඉනික්බිතිව, නිර්මාණය වෙන්නේ බුද්ධ ශූන්‍ය කල්පාවලියක්. ඒ කියන්නේ මේ භද්‍ර කල්පයේම මතු බුදුවන මෛත්‍රී බුදුන්ගෙන් පසු කල්ප ගණනාවක් ඉදිරියට බුදුවරු පහළ වෙන්නේ නැහැ. බුදුවරු පහළ නොවන මිසදිටු අඳුරින් පිරුණු කල්ප ශුන්‍ය කල්ප ලෙස හැඳින්වෙනවා. මේ වගේ බුද්ධොත්පාද කාල අශූන්‍ය කල්ප වශයෙන් දැක්වෙනවා. මෙම අශූන්‍ය කල්ප සාර, මණ්ඩ, වර, සාරමණ්ඩ හා මහා භද්‍රකල්ප යනුවෙන් වර්ග කෙරෙනවා.

(1) මිස දිටු ශුන්‍ය කල්පයකට වඩා සාරගුණ උපදින කල්පය “සාර කල්පය” යි. මිථ්‍යා දෘෂ්ටියෙන් තොරවූ සාර කල්පය ශූන්‍ය කල්පවලට වඩා ගුණධර්මවලින් සාර වෙනවා.

(2) කන් දෙකටම කණ්ණාභරණ පැළැදීමෙන් මනා ලෙස සැරසිය හැකි ලෙස බුදුවරුන් දෙදෙනෙකු එක කල්පයක් තුළ පහළ වීමම ලොවට බුද්ධ මණ්ඩපයක් වැනියි.

(3) අසිිරිමත් බුදු උපත් තුනක වර, ලැබීමෙන් වර කල්පයේ මිනිසුන් බෙහෙවින් සතුටට පත් වෙනවා. මෙහි පළමුව පහළ වන බුදුන් මීළඟ බුදුන්ගේ ගුණත්, දෙවනුව පහළ වන බුදුන් තෙවැනි බුදුන්ගේ ගුණත් පවසනවා. එමගින් බුදුගුණ රැසක් ඇසීමට වර කල්පයේ මිනිසුන්ට වරයක් (භාග්‍යයක්) ලැබෙනවා.

(4) මේ සියලු කල්පවල උපත ලැබුවාට වඩා ඉතා අතිශය යහපත සලසාගත හැකි කාලය භද්‍ර කල්පයේදී අවස්ථාව සැලසෙනවා. මේ භද්‍ර කල්පයට වඩා බුද්ධාදින්ගෙන් සැරසුණු අනෙක් කල්පයක් තවත් ඇත්තේ නැහැ. ලෝකයට භද්‍ර කල්පයක් උදාවීම යනු “නුග දිඹුල් රුක්වල මල් හට ගැනීමක්” මෙන් අති දුර්ලභ කාලයක්. භද්‍ර කල්පයක උපත ලද හුඟ දෙනෙකුට බුදු, පසේ බුදු, මහ රහත් උතුමන්ගේ ඇසුර ලැබීමට හා එම උත්තරීතර දහම් කරුණු දැන ගැනීමට මඟ සැලසෙනවා.

රූපයේ ආදීනවය මෙනෙහි කරමින් වාසය කරන්න – ආදීනවානුපස්සී විහරති. මෙසේ වාසය කරන ඔබගේ…

රූපයේ ආදීනවය මෙනෙහි කරමින් වාසය කරන්න – ආදීනවානුපස්සී විහරති.
මෙසේ වාසය කරන ඔබගේ කෙලෙස් බර ක්‍රමයෙන් අඩුවේ.

සමාජයේ බොහෝ දෙනකුගේ පැවැත්ම යාන්ත්‍රිකය. බොහෝ දෙනා දැඩි අසහනයෙන් හා ආතතියෙන් පීඩ…

සමාජයේ බොහෝ දෙනකුගේ පැවැත්ම යාන්ත්‍රිකය. බොහෝ දෙනා දැඩි අසහනයෙන් හා ආතතියෙන් පීඩා විඳිනවා. බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ සිටම මිනිසාත් මිනිස් සිතත් හඳුනා ගැනීමට උත්සාහ කළා. බෝසත් චරිත සියල්ලෙහිම මිනිසා හඳුනා ගැනීමට කටයුතු කළ බව දක්නට පුළුවන් .

“පනින්ට පෙර සිතා බලන්න” කියා අපේ පැරැණි කියමනක් තියෙනවා. යමක් කිරීමට පෙර ඒ ගැන මනස මෙහෙයවා සිතා බලා කටයුතු කළ යුතු බවයි මෙයින් කියැවෙන්නේ. සිතා බැලීම වැදගත් වන්නේ ඇයි? සිතිවිලි හෙවත් සිතට දැනෙන දේ මඟින් අපට ඇති වන වාසි හෝ අවාසි තිබෙනවාද?

අපට කිවිසුමක් ගිය විට කවුරුන් හෝ මතක් කරන බව හිතෙනවා. නාසයේ දැවිල්ලක් ආ විට හිතෙන්නේ කවුරුන් හෝ දොස් පවරන බවකි. ඇතැම් විට හිතවතෙකුට කරදරයක් වී ඇතැයි අපට සිතේ. එවන් සිදුවීම් ගැනද අපට වාර්තා වේ. මේ අපට දැනෙන සිතිවිලිය. අපට දැනෙන සිතිවිලි සත්‍යය වන ඇතැම් අවස්ථා ද දක්නට තිබෙනවා. මෙසේ සිදුවන්නේ කෙසේද?

මේ සියලු ක්‍රියාකාරකම් පිටුපස සිටින්නේ අප නොදන්නා අප නොසිතන අපගේ සිතයි. බොහෝ දෙනා මේ පිළිබඳව සිතා බලන්නේ නැහැ. සිත ගැන පැහැදිලි දැනීමක් නැහැ.

උදෑසන අවදි වූ මොහොත් පටන් මුහුණ කට සෝදා ඇඳුම්, පැලඳුම් ඇඟලා කණ්ණාඩිය ළඟට ගොස් හැඩ වැඩ බැලීමට අප පුරුදු වී සිටිනවා. නමුත් කිසිවෙක් උදෑසන තම සිත ගැන කල්පනා කරන්නේ නැහැ.

සිතට ශක්තියක් බලයක් ඇති බව මනෝ විද්‍යාඥයන් අපට පෙන්වා දීමට උත්සාහ ගෙන තිබෙනවා. එම පර්යේෂණයන්ගේ මූලික ප්‍රාථමික අවස්ථා පසුකර අප බොහෝ දුර පැමිණ තිබෙනවා.

නවීන තාක්‍ෂණය පෙන්වා දෙන්නේ ‘සිත’ යනු ගමන් කරන විසිරෙන ප්‍රබල ශක්තියක් බවයි. ඇමරිකාවේ විද්‍යාඥයකු වූ මහාචාර්ය ජේ.බී. රයිට් මනසේ ශක්තිය හොඳාකාරව පිළිගත් විද්‍යාඥයෙකි.

කරුණු එසේ වුවත් මනස පිළිබඳ පූර්ණ විග්‍රහයක් පළමුවෙන් ඉදිරිපත් කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසිනි. ධම්මපදයේ ආරම්භක ගාථාව වන

“මනෝ පුබ්බංගමා ධම්මා,
මනෝ සෙට්ඨා මනෝමයා”…….

ගාථාවෙන් මනසේ ඇති වැදගත්කම හොඳින් පෙන්වා දෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අන්දමට මිනිසා රෝග වර්ග දෙකකින් පෙලෙන බව දැක්වෙනවා.

‘ද්වෙ මේ භික්ඛවේ රෝගා
කායිකෝ ච රෝගෝ
චේතසිකෝ ච රෝගෝ’

කායික හා මානසික වශයෙන් රෝග දෙවර්ගයක් ඇති බව මෙයින් අපට පැහැදිලි වෙනවා. අපට කායික රෝගවලින් නිදහස් වීමට පුළුවන්. එහෙත් මානසික රෝගවලින් නිදහස්වීමට අපට හැකියාවක් නැහැ.

රහතන් වහන්සේට හැර අනෙක් කිසිදු අයෙකුට මානසික රෝගවලින් මිදීමට හැකියාවක් නැහැ. සෝවාන්, සකෘදාගාමී වුවද මානසික පීඩාවන්ගෙන් මිදීමට හැකියාවක් ලැබෙන්නේ නැහ.

භක්ඛුල මහරහතන් වහන්සේ වයස අවුරුදු 160 ක් දිවි ගෙවූ අතර උන්වහන්සේට ජීවිත කාලය තුළදී කිවිසුමක් හෝ නොගිය බව සඳහන් වනවා.

සමාජය දෙස බලන විට පෙනී යන්නේ මානසික සෞඛ්‍යයෙන් පිරිහී කායික සෞඛ්‍යය ද නැති කර ගත් සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බවය.

සමාජයේ බොහෝ දෙනකුගේ පැවැත්ම යාන්ත්‍රිකය. බොහෝ දෙනා දැඩි අසහනයෙන් හා ආතතියෙන් පීඩා විඳිනවා. බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ සිටම මිනිසාත් මිනිස් සිතත් හඳුනා ගැනීමට උත්සාහ කළා. බෝසත් චරිත සියල්ලෙහිම මිනිසා හඳුනා ගැනීමට කටයුතු කළ බව දක්නට පුළුවන්. මහෞෂධ පණ්ඩිත චරිතය මෙහිදී ඉතා වැදගත් වනවා.

බුදුරජාණන් වහන්සේ අන්‍යයන්ගේ සිත විනිවිද දැක තිබෙනවා. ඒ සඳහා උන්වහන්සේට පරචිත්ත විජානන ඥානය හෙවත් අනුන්ගේ සිත දැකගැනීමේ නුවණ තිබුණා. එසේම ඉන්ද්‍රිය පරෝපරියත්ථි ඥානය නමින් හඳුන්වන අන්‍ය පුද්ගලයන්ගේ හැකියාව හඳුනා ගැනීමේ දස්කමද තිබුණ. තමන් ළඟට පැමිණෙන අයගේ ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව කරුණු පහම නිවැරැදිව හඳුනා ගැනීමේ හැකියාව උන්වහන්සේට තිබුණා. එසේම ආසය අනුහසඥානය හෙවත් නූතන මනෝවිද්‍යාව අනුව නම් උඩුහිත හා යටි හිත නිවැරැදිව හඳුනා ගැනීමයි.

බුදුරජාණන් වහන්සේ මේ ඥාන තුනම උපයෝගී කරගෙන මිනිසා දුකින් එතෙර කරවීම සඳහා වසර 45 ක්ම කටයුතු කළා.

බුදුරජාණන් වහන්සේ තුළ තිබූ මේ අසහාය ඥානය නිසා උන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළ හැම දෙනාටම ධර්මාවබෝධය ලබා ගන්නට හැකිවුණා.

‘අභික්ඛන්තං භෝ ගෝතම
අභික්ඛන්තං භෝ ගෝතම’

ඔබ වහන්සේගේ ධර්මය ඉතාම හොඳයි, සිත්කලුයි, අඳුරේ යන අයට පහනක් පත්තු කරා වගෙයි. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කළ සෑම අයෙක්ම පැවසුවේ ‘බුදු හාමුදුරුවෝ මටම බණ කිව්ව වගේ’ යන්නයි. මෙයින් අපට පෙනී යන්නේ සෑම දෙනාගේම මනස තේරුම් අරගෙන ඔවුන්ගේ අදහස් අනුව ඔවුන්ගේ ප්‍රශ්න වලට ගැළපෙන අයුරින් ධර්ම දේශනා කළ බවයි.

බුදුරජාණන් වහන්සේ එදා ජනතාවගේ මනස ඒ අයුරින් තේරුම් ගෙන ධර්මය දේශනා කළේ වසර 2600 කට පෙරයි. එහෙත් මෑතක් වනතුරුම නූතන වෛද්‍ය විද්‍යාව මිනිසාගේ මානසික පැතිකඩ ගැන එතරම් අවධානයක් යොමු කෙළේ නැහැ.

මිනිසාට වැළඳෙන බොහෝ රෝග සඳහා මානසික හේතූන් බලපා ඇති බව පෙනෙනවා. මෙහිදී විශේෂයෙන්ම හිසරදය, මල බද්ධය, හෘදය රෝග, රුධිර පීඩනය වැනි රෝගාබාධවලට මානසික පීඩනය ඇතුළු මානසික ගැටලු බලපානවා.

ශරීරයට මනස බලපානු ලබන බව ත්‍රිපිටකයේ එන පහත සිද්ධියෙන් පැහැදිලි කරන්න පුළුවන්.

දිනක් දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ‘බුදුරජාණන් වහන්ස කැලේට වී බ්‍රහ්මචාරීව දවසට එක් වේලක් පමණ ආහාර ගන්නා ශ්‍රාවකයන් ගැන මා සිතුවේ ඒ අය තනිව ජීවිත ගත කරන නිසා දුර්වල එක වේලක් පමණක් ආහාර ගන්නා නිසා වේලුණු බට දණ්ඩක් මෙන් හැකිලී ගිය ශරීරයන්ගෙන් යුක්තව මැලවුණු මුහුණින් සිටිනු ඇති කියායි, එහෙත් ඔවුන් මෙසේ ප්‍රසන්නව සිටින්නේ කෙසේද?

බුදුරජාණන් වහන්සේ එම දේවතාවනට වදාළා සිටියේ අතීතානානු සෝචන්ති සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් අතීතයේ සිදුවීම් පිළිබඳ හඬා නොවැලපෙන්නේය.

නප්පජප්පන්ති නාගතං

උදා වී නැති අනාගතයක් ගැන තැවෙන්නේද නැත. තථාගතයන්ගේ ශ්‍රාවකයන් සැමවිටම වර්තමානයේ ජීවත්වන බවත් අතීතය හෝ අනාගතය ගැන හෝ සිත මෙහෙයවන්නේ නැති බවත් වර්තමානයේ සිත මෙහෙයවා කටයුතු කිරීම නිසා තථාගත ශ්‍රාවකයන් ඉඳුරන් ප්‍රසන්නව දිවිගෙවන බවත් බුදුරජාණන් වහන්සේ වදාළහ. මේ නිසා මානසික අවුල් බරින් තොරව දිවිගෙවීම උතුම් බව බුදුරජාණන් වහන්සේ එසේ පෙන්වා දුන්හ. මේ මානසික අවුල් නැති කර ගත හැකි ආකාරයන් ත්‍රිපිටකය පුරාම දක්වා තිබෙනවා.

සීලෙ පතිට්ඨාය නරෝ සපඤ්ඤො
චිත්තං පඤ්ඤං ච භාවයං
ආකාපි නිපකො භික්ඛු
සො ඉමං විජටයෙ ජටං

ශීලයෙහි පිහිටි ප්‍රඥාව ඇති, සිත හා ප්‍රඥාව වඩන වීර්යය ඇති පුද්ගලයා ගැටලු නිරාකරණය කර ගන්නා බව මෙහිදී දක්වා තිබෙනවා.

මිනිසා තමාගේ චරිතය නිසි අයුරින් හැඩ ගන්වා ගත යුතු බවත් සිත දියුණු කර සමාධි මට්ටමට පත්විය හැකි බවත් එමඟින් සිත අවබෝධතාව ඇති කරගෙන එම සිතේ අසහනය දුරු කර ගත හැකි බව බුදු දහමේ දැක්වෙනවා. අද බොහෝ වෛද්‍යවරු හෘද රෝග හා රුධිර පීඩනයට ආනාපානාසති භාවනාවේ වැදගත්කම පෙන්වා දෙනවා. ආනාපානාසති භාවනාව වඩන තැනැත්තාගේ සිතේ සන්සුන් බව ඇති වී මෙලොව මෙන්ම පරලොවත් දියුණුව සලසා ගැනීමට පුළුවන්.

බුදු දහම අනුව මනසට ප්‍රතිකාර කිරීමේ දී ආත්ම අවබෝධය ඉතාම වැදගත්. මීට හොඳම උදාහරණය කිසාගෝතමී කතා පුවතින් ලබා ගත හැකි ය. මිය ගිය දරුවා රැගෙන බුදු රජාණන් වහන්සේ ඉදිරියට පැමිණ කිසාගෝතමියට බුදුරදුන් පවසන්නේ නැගෙණියනි අබ ඇට ටිකක් රැගෙන එන්න යනුවෙනි.

තම දරුවා අබ ඇට මඟින් සුවපත් කළ හැකි බව යැයි තේරුම්ගත් ඇය අබ ගෙන ඒමට යාමට පිටත් වන විට ඇයට යළි කතා කළ බුදුරජාණන් වහන්සේ වදාළේ කිසිවකු නොමළ ගෙයකින් අබ ගෙන එන ලෙසය. අබ ගෙන ඒමට කිසිවෙක් නොමළ ගෙයක් සොයා යෑමේ දී කිසාගෝතමියට ජීවිතයේ අනියත බව අවබෝධ වුණා.

රූප කායෙන් මත් වූ ඛේමාටත් ජනපද කල්‍යාණයට ලොල් වී සිටි නන්ද කුමාරයාටත් බුදුරජාණන් වහන්සේ අනුගමනය කළේ මේ ක්‍රමයයි. තමන්ට ලැබෙන කරුණු වලින් යථා තත්ත්වය අවබෝධ කර ගැනීමය. මේ ආත්මාවබෝධය ඉතාම වැදගත්. වටිනාම ප්‍රතිකාර ක්‍රමයක් අවබෝධය තුළින් විශාල වෙනසකට සිත හරවා ලීමට පුළුවන.

අපේ මනස දුර්වල කරන හැම නීවරණයන්ගෙන් වෙන් වී සිටීම මෙහිලා ඉතාම වැදගත් වනවා. සමාජයේ පවුල තුළ ආරවුල් ඇති වී තිබෙන්නේ මේ අයුරින් නිසි පරිදි සිත මෙහෙයවා නොගන්නා නිසාය. මව්පියන් දරුවන් අතර පවා විශාල ගැටුම් නිර්මාණය වී ඇත්තේ එහෙයිනි.

මිනිස් සිත නිවැරැදිව විනිවිද දැක ඊට අදාළ නිසි ප්‍රතිකාර ලබා දුන් ලොව මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයා ලෙස හඳුන්වා දිය හැක්කේ බුදුරජාණන් වහන්සේයි. සමාජය දෙස බැලූ විට පෙනී යන්නේ සිත නිවැරැදි මට්ටමට මෙහෙයවා ගැනීමට අපොහොසත් වීම නිසා සියලු ගැටලු අර්බුද මතු වී ඇති බවය. එම නිසා සිත නිසි පරිදි හසුරුවා ගෙන තම කටයුතු කිරීමෙන් සමාජයේම යහපත සලසා ගැනීමට පුළුවන්.

තෙරුවන් සරණයි!

කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නා හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!