Monthly Archives: November 2014

මනුෂ්‍යයින්ට තිරිසන් අපාය පෙනෙන්නේ හරි සුරතල් විදිහටයි. මෙය කරුණාව වේශයෙන් පෙනී…

මනුෂ්‍යයින්ට තිරිසන් අපාය පෙනෙන්නේ හරි සුරතල් විදිහටයි. මෙය කරුණාව වේශයෙන් පෙනී සිටින රාගයයි (වංචක ධර්මයකි). මරණාසන්නයේ සුරතල් සතෙකු අරමුණු වුවහොත් එම සත්ව නිකායේ හෝ ඒ ආශ්‍රිත උපතක් කැමති විය යුතුය.
තිරිසන් නිකායේ ජීවිතය සැම විටම බියෙන් සැකයෙන් කුසගින්නෙන් ගෙවෙන කිසි පිළිසරණක් නැති එකකි. අප විසින් කළ යුත්තේ අපද මේ තිරිසන් අපායේ නොයෙක් වර ඉපදී ඇති බව මෙනෙහි කිරීමට ඒ සතුන් කමටහනක් කර ගැනීමයි. අප්‍රමාදීව ධර්ම මාර්ගයේ හැසිරෙන්න.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අප කාටත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශාසනය මුණගැහිල…

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අප කාටත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශාසනය මුණගැහිල තියෙනවා. ඒ නිසා අපට දැනගන්ට ලැබුණා ඉපදුන මනුෂ්‍යයන්ටත්, දෙවියන්ටත්, මේ කාටත් තිබෙන ලොකුම අනතුර මොකක්ද කියල. ඒ ලොකුම අනතුර තමයි සතර අපායේ ඉපදෙන්ට බහුල ඉඩකඩක් අප තුළ පැවැතීම.

භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන්නා, මැරෙන මිනිස්සුන් අතරින් නැවත වතාවක් මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය වගේ සුගති ලෝකවල උපදින්නේ මහපොළොවෙන් නියපොත්තට පස් ටිකක් ගත්තහම ඒ පස් ප්‍රමාණය වගේ ඉතාමත්ම සුළු පිරිසක් කියල. මහ පොළොවේ තියෙන පස් වගේ විශාල මිනිසුන් ප්‍රමාණයක් මිය ගිහිල්ලා නැවත උපදින්නේ සතර අපායේ කියල. මේක පුංචි අනතුරක් නොවෙයි. සුළු අනතුරක් නොවෙයි. ලඝු කොට සැලකිය යුතු කාරණයක් නොවෙයි. අපේ ජීවිත වල තියෙන ලොකුම අර්බුදය මේක තමයි. අප විසින් ජයගතයුතු ලොකුම අභියෝගයත් මේකමයි.

අපට දැන්, අපේ ජීවිත හමුවේ තිබෙන ලොකුම අනතුර මොකක්ද කියල දැනගන්නට ලැබුණා. ඒ අපට ගෞතම බුදුසසුන මුණ ගැසුණු නිසයි. ඒක අප ලද මහඟු ලාබයක්. මෙතරම් ලාබයක් ලැබුණ අප මේ ලාබය අත් නොහැරෙන විදිහට, ඒ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කර ගන්නට කල්පනා කළ යුතුයි. සතර අපායේ වැටෙන ස්වභාවයක් අප ජීවිතවල තිබෙනවා නම්, ඒ සතර අපායේ වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙන්ට කල්පනා කළ යුතුයි. එයම තමයි මනුෂ්‍යයෙක් විසින් තමන්ගේ ජීවිතයට සලසා ගත යුතු ලොකුම යහපත, අභිවෘර්ධිය. අපට සතර අපායේ වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙන්ට බැරි වුණොත්, මේ මනුෂ්‍ය ජීවිතය තුළ මොන තරම් ලොකු දේවල් රැස් කරගෙන හිටියත්, ඒ රැස්කර ගත්තා වූ දේ අපට ලොකු උපකාරයක් පිණිස පවතින්නේ නෑ. මේ ජීවිතයේ අප ලොකු දෙයක් රැස් කරගෙන නොතිබුණත්, එයා සතර අපායෙන් නිදහස් වෙලා නම්, එයාට ඒ සතර අපායෙන් නිදහස් වීම මගින් සලසන්නා වූ උපකාරය ප්‍රමාණ රහිතයි.

ඒනිසා, අප සතර අපායෙන් නිදහස් වෙන පැත්තට සිත හදාගන්ට, සිත යොමුකර ගන්ට, සිත දියුණු කර ගන්ට විශාල වෑයමක් ගත යුතු යි. ඒ වෑයම සාර්ථක වෙන්නේ, සතර අපායෙන් නිදහස් විය යුතු වැඩපිළිවෙළ ගැන හරි වැටහීමකින්, හරි දැනීමකින් යුතුව අප කටයුතු කළොත් පමණයි. සතර අපායෙන් නිදහස් වීමේ වැඩපිළිවෙළ ගැන අපට හරි වැටහීමක්, හරි දැනීමක්, නොතිබුණොත්, අප කුමක් කළත් ඒ නිදහස් වීම සිද්ධ වෙන්නේ නෑ. අපට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, සිත නියම ආකාරයෙන් පිහිටුවා නොගත්තොත් දුකෙන් නිදහස් වීමක් සිදුවන්නේ නෑ කියල. සිත නියම ආකාරයෙන් පිහිටුවා ගත්තොත් විතරමයි අපට දුකෙන් නිදහස් වෙන්ට පුළුවන් වෙන්නේ.

එහෙනම්, අප කොතරම් ධර්මය ඉගෙන ගෙන තිබුණත්, කොතරම් ධර්මය පාඩම් කළත්, කොතරම් ධර්මය කතා කළත්, ඒ ධර්මය පුරුදු කර ගන්නා ආකාරය ගැන අපට හරි වැටහීමක් ඇති කර ගන්ට බැරි වුණොත් අපට ලැබිච්ච ලාබය අත්කර ගන්ට බැරුව යනවා. අපට වරදිනවා නම්, අපට නිවන් මඟට එන්ට බැරි වෙනවා නම්, අන්න ඒ සඳහා ඉඩ කඩ ඉතා වැඩියි. ඒ නිවන් මඟට පැමිණීම පිණිස තිබෙන උපකාර අඩුයි. ඒ නිවන් මඟට පැමිණීම පිණිස තිබෙන බාධක, එහෙම නැත්නම් නිවන් මඟට නොපැමිණෙන්න තිබෙන ඉඩ කඩ හරියට ආකාසේ වගේ විශාලයි. නමුත් නිවන් මඟට පැමිණෙන්න තියෙන උපකාර, ඉඩකඩ ආකාසෙ වගේද? නෑ. ඒක හරියට ඉදිකට්ටේ තුඩ වගේ, පුංචි ඉඩක් තමයි තියෙන්නෙ. එහෙනම් මේක පහසු කටයුත්තක් නොවෙයි. ඒකෙන් අදහස් කරන්නෙ නිවන අවබෝධ කිරීම බෑ කියල නම් නොවෙයි. ඒක කොතරම් දුෂ්කරද කියන කාරණයයි කිව්වේ. ඒ නිසා අප නිවන් මඟට පැමිණීම පිණිස, අත් නොහරින වෑයමකින් යුතුව, මනා කල්පනාවක් සහිතව ඒ සඳහා කටයුතු කළ යුතු යි.

එතකොට නිවන් මඟට පැමිණීම පිණිස ආරම්භයේදීම අප කළයුත්තේ කුමක්ද? ඒ සඳහා අප මුලින්ම භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසය ඇති කරගත යුතු යි. ඒක ලේසි කාරණාවක් නෙවෙයි. ඒ සඳහා බාධා බහුලයි. නමුත් යමෙකුට ශ්‍රද්ධාව ඇතිකරගෙන, නිවන් මඟට පැමිණෙන්ට නොහැකි වුණොත්, කොයි තරම් කාලයකින් එයාට නැවත මේ දුර්ලභ අවස්ථාව ලැබෙයිද කියල කියන්ට බෑ. ඒ නිසා අප තුළ ශ්‍රද්ධාව ඇතිකරගෙන ඉතා කල්පනාවෙන්, ඒ නිවන් මඟ අඳුන ගෙන ඒකට පිවිසෙන්ට වෙහෙස මහන්සි විය යුතු යි. අප කෙසේ හෝ එතෙන්ට පිවිසුණොත්, ශ්‍රද්ධාවට පැමිණිතොත්, ශ්‍රද්ධානුසාරී කෙනෙක් බවට පත් වුණොත්, එයාට කොතරම් බාධක තිබුණත්, එයාගේ නිවන් මග වළකින්නේ නෑ. එයාට නිවනට බාධා තිබුණත්, ඒ සියලු බාධා වලින් එයාට ප්‍රමාදය ඇතිකරන්න පුළුවන්කම තිබෙන්නේ භව හතක් දක්වා පමණයි.

ඒ නිසා මේ ධර්මයෙන් අපට සැලසෙන මේ මහා යහපත තේරුම් අරගෙන පරිස්සමින් පුරුදු කර ගත්තොත්, අපට නිවන් මඟට පිවිසෙන්න ඉඩ කඩක් පාදගන්ට පුළුවන් වෙනවා. එතකොට ඒ විදිහට නිවන් මඟට පැමිණීම පිණිස අපකාර බහුලව තිබෙන යුගයක, අප තුළ විශාල බලයක් තියෙන්ට ඕනෑ. ඒ අපකාර මැඩගෙන ඒ පුංචි ඉඩකඩ පාදගන්න. අන්න ඒ බලය අප උපදවා ගත යුතු එකක්. ඒ බලය ඉබේ ඉපදෙන්නේ නෑ. නිවන් මඟට පිවිසෙන්ට, පිවිසිලා නිවන් මඟ සම්පූර්ණ කර ගැනීම පිණිස අප ඒ බලය ඇති කර ගන්ට ඕනැ. අන්න ඒ බලයට කියනවා ‘සේඛ බල’ කියල. ඒ සේඛ බල වලින් යුතුව නිවන් මගේ පුරුදු වෙන කෙනාට තමයි ‘සේඛ’ කියල කියන්නේ. ඒ සේඛ බල ඇතිකර ගැනීමෙන් තමයි අපට සතර අපායෙ වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙලා සුගතියෙ පැත්තට සිත නමාගන්නත්, ඒ වගේම නිවන් මඟට පිවිසෙන්නටත් පුළුවන්කම තිබෙන්නෙ. යමෙක් තමන් තුළ උපදවා ගත්ත සේඛ බල ඇසුරු කරමින් ඒ වගේම ඒ සේඛ බල දියුණු කර ගනිමින් වාසය කළොත්, එයා තුළ නිවන් මඟ ටිකෙන් ටික දියුණු වෙනවා. යම් දවසක ඒ සේඛ බල පරිපූර්ණ කර ගැනීමෙන් නිවන් මඟ පරිපූර්ණ වෙනවා. ඒ නිවන් මඟ පරිපූර්ණ වීම පිණිස සේඛ බල පරිපූර්ණ වීම පිණිස කොච්චර කලක් යයි ද කියල අපට කියන්ට බෑ. උපරිම වුණොත් භව හතක් දක්වා පමණයි. නමුත් අප සේඛ බල උපදවා ගැනීම මේ ජීවිතයේදීම කර ගත යුතුම යි. ඒ සඳහා ලොකු කැමැත්තක්, ලොකු වෑයමක්, අප තුළ ඇති කර ගත යුතු යි.

එවිට, මොනවද මේ සේඛ බල කියල කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ, සේඛ බල සංකිත්ත කියන සූත්‍ර දේශනාවේ දී අපට මේ විදියට සේඛ බල ගැන වදාරනවා, “පංචිමාණි භික්ඛවේ සේඛ බලාණී”, පින්වත් මහණෙනි, මේ සේඛ බල පහක් තිබෙනවා. “කතමාණි පංච?” මොනවද ඒ පහ? “සද්ධා බලං, හිරි බලං, ඔත්තප්ප බලං, විරිය බලං, පඤ්ඤා බලං ඉමානි ඛෝ භික්ඛවේ සේඛ බලානි” පින්වත් මහණෙනි, මේ තමයි සේඛ බල පහ. මොනවද ඒ සේඛ බල පහ? ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අපට මේ විදිහට පෙන්වා දෙනවා, “තස්මාතිහ භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං” පින්වත් මහණෙනි, මේ විදිහට පුරුදු වෙන්න. “සද්ධා බලං සමන්නාගතා භවිස්සාමි” මේ ශ්‍රද්ධා බලය කියන සේඛ බලය ඇති කර ගෙන, පුරුදු කර ගෙන වාසය කරන්ට ඕනෑ, ඒ වගේම හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය කියන සේඛ බලයන් ඇති කරගෙන, පුරුදු කර ගෙන වාසය කරන්ට ඕනෑ” කියල හික්මෙන්න කිව්වා.

ඒ නිසා අප කොයි කවුරුත් මේ පංච සේඛ බල උපදවා ගෙන පුරුදු කර ගන්ට මහන්සි වෙන්ට ඕනැ. ඒ සඳහා අප නිතර අපේ සිතේ මේ විදියට පුරුදුකර ගන්ට ඕනැ. ඒ තමයි “මා ශ්‍රද්ධා බලය කියන සේඛ බලය ඇති කෙනෙක් වෙන්ට ඕනෑ. මා හිරි බලය කියන සේඛ බලය සහිත කෙනෙක් වෙන්ට ඕනෑ, මා ඔත්තප්ප බලය කියන සේඛ බලය ඇති කෙනෙක් වෙන්ට ඕනැ, මා වීරිය කියන සේඛ බලය සහිත කෙනෙක් වෙන්ට ඕනෑ, මා ප්‍රඥා කියන සේඛ බලය සහිත කෙනෙක් වෙන්ට ඕනෑ.” කියල නිතර අපේ සිතේ පවත්වන්ට ඕන. නිතර ඒ අදහස පවත්ව ගන්න කියල ඇයි අපට කියා දෙන්නෙ. නිතර ඒ අදහස පැවැත්වූයේ නැත්නම් අපට මේක පුරුදු කරගන්ට අමතක වෙලා යනවා. නිතර ඒ අදහස සිතේ තිබුණොත් තමයි අපට ඒවා පුරුදු කරගන්ට හැකි වෙන්නෙ. ඉතින් අප මේ පින්වතුන්ට ආශිර්වාද කරනවා සේඛ බලයන් ඇතිකර ගෙන, ඒ සේඛ බල පරිපූර්ණ කර ගැනීමට වාසනාව උදාවේවා කියල.

තෙරුවන් සරණයි!

නාවලපිටියේ අරියවංශ හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

පහන් පුජාවෙන් අනුසස් ලැබූ දෙවඟනක්. පහන් පුජාවේ අරමුණ ආලෝකය සැපයීමය. සැම විටම දාන…

පහන් පුජාවෙන් අනුසස් ලැබූ දෙවඟනක්.
පහන් පුජාවේ අරමුණ ආලෝකය සැපයීමය. සැම විටම දානයේ අරමුණ වන්නේ ප්‍රතිග්‍රහකයාගේ අවශ්‍යතාවය සම්පුර්ණ කිරීමය. අවශ්‍යතාවය වැඩිවන තරමට ලැබෙන පිනද වැඩිවේ.

සැකයන් දුරු කර මෝහය නසන ඒ බුදුරජාණන් වහන්සේගේ අසමසම ප්‍රඥාව මැදියම් රැයෙහි බබලන…

සැකයන් දුරු කර මෝහය නසන ඒ බුදුරජාණන් වහන්සේගේ අසමසම ප්‍රඥාව මැදියම් රැයෙහි බබලන ගින්නක් වැනිය.

මේ ශරීරය ගැලපෙන්නේ අඥාන ජනයාගේ මෝහයට මයි. බලන්න මේ ආහාරයෙන් සෑදුනු අසුචි ගොඩක් ස…

මේ ශරීරය ගැලපෙන්නේ අඥාන ජනයාගේ මෝහයට මයි. බලන්න මේ ආහාරයෙන් සෑදුනු අසුචි ගොඩක් සුභ යැයි සිතා වැළදගෙන සිටින අයුරු.
රාග ගින්නෙන් තැවුණු සිත් සුවපත් වීමට සෑම විටම කායානුපස්සනාව මෙනෙහි කරන්න, වඩන්න.

බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ බුදු රජාණන් වහන්සේට සිය අවසන් භවයේදී විපාක ද…

බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ

බුදු රජාණන් වහන්සේට සිය අවසන් භවයේදී විපාක දුන් කර්ම ද ඊට හේතු ද මේ ලිපියෙන් දැක්වේ.

දශබලධාරී බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම 12ක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී 500ක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව ඒ මෙසේ ය:

01. සුන්දරී පරිබ්‍රාජිකාවගේ විහාර ස්ථානයට එන-යන ගමන හේතුවෙන් විශාල අපවාදයක් නැගීම. ඊට හේතුව පෙර මුනලීධූර්තක ව සිටියදී සරභු නම් පසේ බුදුරදුන්ට කළ දෝෂාරෝපණය බව දත යුතු ය.

02. පෙර ලොව පහළ වූ සබ්බාභිභූ නම් බුදුරජුන්ගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට කාමභෝගියා කියලා දොස් නඟන්නට යෙදීම. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් විය. මේ සාරාසංඛය්‍ය කල්ප ලක්‍ෂයකටත් පෙර කරන ලද කර්මය බුදුබව ලබාද බඩදරු අම්මාගේ වෙස්ගත් චිංචිමාණවිකාව හේතුවෙන් පහත් වූ අපවාදයකට ලක් විය.

03. පසු කාලයකදී සුන්දරී පරිබ්‍රාජිකාව මරා මල් අසුන ළඟ වළලා බුදු රජුන් ඇය දූෂණය කොට මරා සඟවන ලද්දේ ය යි මහත් දෝෂාරෝපණයක් දින 07ක් තුළ පැවතිණි. දින 07කින් පසු සත්‍ය එළි විය. කෙසේ නමුත් මේ නින්දාවට හේතුව පෙර භීම නම් ඍෂීන් වහන්සේට බැණවැදීම බව දත යුතු.

04. මහ බෝසතාණන් වහන්සේ පෙර වස්තු ලෝභය නිසා තම සොහොයුරා කන්දකින් පහළට තල්ලු කර ගලක් ද පෙරළා මරාදැමුවේ ය. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් වී බුදු වූ ජීවිතයේ ද දෙව්දත් තෙර ගල් පෙරළූ බව දත යුතු.

05. බෝසතුන් දිනක් කුඩා ළමයකු ව සිටියදී පසේබුදු කෙනකු දැක ගලකින් ගැසුවේ ය. ඒ කර්මය හේතුවෙන් මේ ජීවිතයේ තම ජීවිතය නැති කිරීමට දෙව්දතුන් දුනුවායන් යෙදවූ බව දත යුතු.

06. පෙර බෝසතුන් ඇත්ගොව්වකු වී සිටියදී පසේබුදු කෙනකු වඩිනා බව දැක දූෂිත සිතින් මැරීම සඳහා ඇතා මෙහෙයෙව්වේ ය. උන් වහන්සේ ඍද්ධියෙන් වැඩි නමුදු පහත් සිතින් කළ කර්මය නිසා මේ ජීවිතයේ තමන් වහන්සේ මැරීම පිණිස මත් වූ නාලාගිරි ඇතු ඉදිරියට ආ බව වදාළහ.

07. දෙව්දත් තෙරුන් තථාගතයන් වහන්සේ කෙරෙහි ගැටුණු සිතින් ගිජුකුළු පව්වේදී මහ ගලක් සක්මන් කරන බුදු හිමිගේ හිසට පෙරළුවේ ය. පෙර පිරූ පාරමී බලයෙන් මහගලක් ඉබේ ම මතු වී ඒ ගල වැටෙන්නට නොදී රඳවාගත් නමුදු ගල්පතුරක් ගැලවී විත් ශ්‍රී පතුලේ ගැටී මාපටඇඟිල්ල තැළී ලේ කැටිගැසිණි. ජීවකතුමා ශ්‍රී පතුල පලා ලේ අස් කළේ ය. මෙසේ ශ්‍රී පතුල පළන ලද්දේ පෙර පෘථිවීශ්වර රජ ව සිටියදී මිනිසකු මරවන ලද පවින් බව දත යුතු.

08. තථාගතයන් වහන්සේගේ හොඳ නොවන හිස ආබාධයට හේතුව පෙර කෙවුල් පවුලක ඉපදී සිටියදී තම ඥාතීන් බොහෝ මාළුන් ගොඩදා තිබෙනවා දැක සතුටු සිනා පහළ කළ පාපය බව දත යුතු. එදා ඒ මසුන් මැරූ සියලු ඥාතීහු මේ ජීවිතයේ ද ඥාතීන් වී ඉපදුණහ. ඒ සැමට ඒ ප්‍රාණඝාත කර්මය විපාකදීම් ලෙස විඩුඪභ කුමරු අතින් මියයන්නට වුණු බව දක්වා ඇත.

09. තුන් ලෝකය පුරා පැතිරුණ දායක උපස්ථායක ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් ඇති තථාගතයන් වහන්සේට දොළොස්වන වස්කාලයේ එක් බත් ඇටයකුදු නොලැබී ගියේ ය. අශ්වයන්ට දෙන යවහාල් වළඳා ජීවත් වන්න විය. මෙසේ වීමට හේතුව පෙර ඵුස්ස බුදු රජාණන් වහන්සේට “ඔබ වහන්සේ මේ ප්‍රණීත ඇල්හාල් වළඳනවාට වඩා හොඳයි යවහාල් වැළඳුවා නම්” කියා දොස් නැඟූ පාපය බව දත යුතු.

10. සුගතයන් වහන්සේට හොඳ නොවන කොන්දේ ආබාධයක් තිබිණි. ධර්ම දේශනා කරන අවස්ථාවල එය හැදුණු විට සැරියුත් හිමිට දම්දෙසුම පවරා විවේක ගැනීමට වැඩි බව ද සඳහන් වෙයි. මෙයට හේතුව පෙර මල්ලව පොර අල්ලන යෝධයකු ව සිටියදී විරුද්ධවාදී මල්ලව පොරකරුවකුගේ කොන්ද කැඩූ පව බව දත යුතු.

11. බුදුරජුන්ට වැලඳුණ ලෝභිතපක්ඛන්දිකා (ලේ අතීසාර) රෝගයට හේතුව පෙර වෛද්‍යවරයකු ව සිටියදී සිටුවරයකුට බෙහෙත් කළ විට ඔහු නියමිත මුදල නොගෙව් අවස්ථාවේ පසු ව විරේක බෙහෙතක් දී ඔහුට ලේත් සමඟ විරේක වන්නට සැලැස්වීම ය. සිටුවරයා බිය වී නියමිත මුදල් ගෙව් කල නැවත සනීප කළ නමුදු ඒ කර්මය විපාක දුන් බව දත යුතු.

12. මහ බෝසතාණන් වහන්සේට බුදු වීම පිණිස සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වුණේ පෙර ජෝතිපාල මාණවක ව සිටියදී ඝටීකාර බමුණා සමඟ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට දොස් කී පාපය නිසා බව දත යුතු.

සත්පුරුෂ පින්වතුනි! බලන්න මහත් වූ නුවණක් ඇති මහත් වූ බලයක් ඇති මහත් වූ යසසක් ඇති මහත් වූ පිරිවර සම්පත්තියක් ඇති, මහත් වූ ගුණ සම්පත්තියක් ඇති මහත් ඍද්ධි බලයක් ඇති තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම සඳහා එන විපාකවලින් බේරී සිටීමට නොහැකි නම්, එතරම් පාරමී ශක්තියක්, ගුණ ශක්තියක්, නුවණක්, පිරිවරක්, ඍද්ධි බලයක් නැති අප ඔබ වැන්නවුන් කෙසේ නම් ගැලවෙන්න ද? එබැවින් පසුතැවිලි වන්නට සිදු වන දෑ නො කරන්න. කිසි දිනක කා හට වත් දුකක් පීඩාවක්, සිත් තැවුලක් ඇති නො කරන්න. කිසිවකුට හිංසාවක් පීඩාවක් දුකක් දොම්නසක් කරදරයක් විපතක් වෙහෙසක් නො කරන්න.

සත්පුරුෂයනි! ඔබ කිසිවකු නොවෙහෙසෙන, මුළු ලොවක් සනසන දෑතක් ඇත්තකු වන්න. එබඳු ම අහිංසාවාදී දෙපා යුග්මයක් ඇත්තකු වන්න. තම දෙනෙතින් අනුන් නො රවටන්න; අනුන් නො රිදවන්න. මුළු ලොවක් සනසන දෙනෙතක් ඇත්තකු වන්න. ඔබ දෙසවන නොමඟට නො යොදන්න; සුමඟට යොදවන්න. කය සංවර කරගන්න. නිතර ම ඔබ කථා කරන වචන නිවැරැදි දැ යි සිතන්න. අනුන් රිදවා දුක් දී තමාට කිසිදු සැපයක් ලැබිය නොහැකි බව සිතන්න. යහපත් වූ සැම සිත් නිවන සනසන වචන ම කථා කරන්න. ඔය සිත නොමඟට නො යොදන්න; සුමඟට යොදන්න. දාන්ත වූ ශාන්ත වූ සංවර වූ සංසිඳුණා වූ සුවපත් වූ මනසක් ඇත්තකු වන්න. කිසිදු කිසිදින පහත් සිතිවිලි නො සිතන්න.

සත්පුරුෂයනි! ඔබ ගස් අතර හඳුන් ගසක් වගේ, ඇතුන් අතර ගජමුතු තිබෙන ඇතකු වගේ, මුවන් අතර කස්තුරි තියෙන මුවකු වගේ, පාෂාණ අතර බැබළෙන මැණිකක් වගේ ගුණයෙන් නුවණින් යුත්, අනුන්ට දුක් නොදෙන, සාධු ජනයාගේ ආදර ගෞරවයට ලක් වූ, මානව හිතවාදී, දයානුකම්පිත මිනිසකු වන්න අධිෂ්ඨාන කරගන්න.

පූජ්‍ය රිදියගම සුධම්මාභිවංස හිමි
නිමලව ආරණ්‍ය සේනාසනය කිරින්ද, තිස්සමහාරාමය

එක් සමයක බුදුන්වහන්සේ සැවැත්නුවර ඇසුරු කොට දෙව්රම් මහ වෙහෙර වසන්නේ දිනෙක පැසුළු…

එක් සමයක බුදුන්වහන්සේ සැවැත්නුවර ඇසුරු කොට දෙව්රම් මහ වෙහෙර වසන්නේ දිනෙක පැසුළු යම ලොව බලා වදාරණ සේක් මේ බඳු සිදුවීමක් දුටු සේක.

කොසොල් රට සැරිසරන මා අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසීමෙන් සැට නමක් රහත් වන්නාහ. සැට නමක් කටින් උණු ලේ වමාරන්නාහ. සැට නමක් සිවුරු හැර ගිහි වන්නාහ යනුයි.

භික්ෂූන් හට සංග්‍රහ පිණිස චාරිකාවෙහි හැසිරෙනු කැමැති භික්ෂූන්ට දන්වන්නැයි කීහ. මෙසේ වදාළ බුදුන්වහන්සේ මහත් භික්ෂූ සමූහයක් පිරිවරා ගෙන ගම් නියම් ගම් පිළිවෙළින් සැරි සරමින් මහත් වූ බෙණයක් සහිත රුකක් ගින්නෙන් ඇවුලෙනු දැක ;මය අරමුණු කොට දම් දෙසමියි අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසූ සේක. මෙසේ වදාළ කළ හැටක් උණු ලේ වැමෑරූහ. සැටක් සිවුරු හළහ. පිරිසුදු සිල් ඇත්තෝ රහත් වූහ.

මේ ධර්ම දේශනාව තුන් කොටසකට ප්‍රයෝජනවත් විය. රහත් වූවන්ට ප්‍රයෝජන වනු පුදුමයක් නොවේ. සෙස්සන්ට වූ ප්‍රයෝජන කවරේද යත්? ඉදින් බුදුහු අග්ගික්ඛන්ධෝපම සූත්‍රය නො ඇසුහූ නම් ප්‍රමාද විහරණයෙන් යුක්තව පව් වඩමින් අපායෙහි උපදනාහ. මේ දහම් දෙසුම අසා සාමණේර භූමියෙහි සිට දසසිල් පුරා භාවනා වඩා සෝවාන් සකෘදාගාමී හා අනාගාමී වන්නාහ. සමහරු දෙව්ලොව උපදින්නාහ. අනෙක් අය මෙය නො ඇසුයේ නම් කල් යත් යත් සංඝාදිසේසාදියට හා පාරාජිකාදියට පැමිණෙන්නා හ.

මේ දේශනාව ඇසූ දුසිල් මහණහු මේ ශාසනය ආශ්චය්‍යය. අප පැවිදි වූයේ කෙලෙසුන් තැවීමට මිස කෙලෙසුන් වැඩීමට නොවේ. අපට දිවිහිම් කොට කෙලෙසුන් නැති කරන පිළිවෙතක් පිරිය නොහැකි ය. එබැවින් උවසුදම් පුරා දුකින් මිදෙමුයි ගිහි වූහ. ඔවුහු තිසරණ පන්සිල් හා අටසිල් රැක ඇතැම් කෙනෙක් සෝවාන් වූහ. ඇතැම් කෙනෙක් සකෘදාගාමි වූහ. කෙනෙක් දෙව්ලොව උපන්හ. මෙසේ ඔවුන්ටත් මේ දෙසුම ඵලවත් විය. මේ දේශනාව ගැන ආරංචි වූ භික්ෂූහු විසිදෙන සැටදෙන සියදෙන බැගින් සිවුරු හැර ගිහි වූහ.

මෙසේ බුදුන් වහන්සේ දහම් දෙසමින් දනවු සැරිසරා නැවත දෙව්රම් වෙහෙරට වැඩ එම ගඳ කිළියෙහි අඩ මසක් විවේකව එලසමවත් සුව විඳ පසුව අනඳ මහ තෙරුන් සමඟ දෙව්රම් වෙහෙර බලා හැසිරෙන සේක් පෙර කාෂාය වස්ත්‍රයෙන් බබළමින් පැවැති දෙව්රම් වෙහෙර අද මෙසේ හිස්වන්නට හේතු කවරේදැයි අනඳ හිමියන් ගෙන් විචාල සේක.

අනඳ හිමියෝ බුදුන් වහන්සේට මෙසේ පැවසූ සේක.

ස්වාමිනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ දනවු සැරිසරා වඩිද්දී අග්ගික්ඛන්ධෝපම සුත්‍රය වදාළ තැන්පටන් භික්ෂූහු සංවේගයට පැමිණ අපට මේ සසුනෙහි පිළිවෙත් පිරිය නොහැකිය. නොමනා පැවතුම් ඇති අප විසින් සැදැහැවතුන් විසින් පින් සලකා පිරිනමන ලබන දන් වැළඳීම නුසුදුසු යයි සිවුරු හැර ගියහ. මෙය ඇසූ බුදුන්වහන්සේට ධර්ම සංවේගය පහළ විය.

ඉක්බිති බුදුන් වහන්සේ අනඳ තෙරුන් ඇමතූහ. මා සමවත් සුවෙන් විවේකීව සිටියදී මෙහි කිසිදු භික්ෂූහු නමක් මගේ දරුවන්ගේ සැනසීම පිණිස අවවාදයක් නො දුන්නේ ය. ගඟකට බසින්නට බොහෝ තොටවල් ඇත්තාක්මෙන් සසුනෙහි සැනසෙන්නට බොහෝ දේ තිබේ.

ආනන්ද, ගඳකිළි මළුවෙහි බුද්ධ ශාසනයක් පණවා භික්ෂූන් රැස්කරවයි කී සේක. මේ කාරණය අර්ථෝත්පත්ති කොටගෙන මහණෙනි, මේ සස්නෙහි යම් භික්ෂූන් නමක් අසුරු සණක් ගසන කෙටි කාලයක් නමුදු සියලු සතුන් කෙරෙහි මෙත් සිත වඩා නම් හෙවත් මෛත්‍රී කෙරේ නම් මහණෙනි, ඒ භික්ෂූ නම මේ සස්නෙහි නො සිස් වූ ධ්‍යාන ඇත්තෙක් ව වසන්නේයයි ද, ශාසනානුශාසනය පිළිපදින්නේ යයිද, අවවාද පිළිපන්නේ යිද, දායකයන් විසින් දෙන රට්ඨ පිණ්ඩය නොසිස්ව වළදන්නේ යයි ද කියනු ලැබේ.

යම් කෙනෙක් මෙත් සිත නැවත නැවත පුහුණු කෙ රත් නම් වඩාත් නම් ඔවුන් ගැන කියනුම කවරේදැයි මෙසේ චුල්ල අච්ජරාසංඝ සූත්‍රය වදාරා මෙකී භාවනාවේ අනුසස් දක්වනු සඳහා මෙත්තානිසංස සූත්‍රය දෙසූ සේක.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු මහ සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස යැයි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවඳන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි ආදරයෙන් සෙවුනා ලද එසේම වඩනා ලද නැවත නැවත වැඩීම වශයෙන් පුරුදු කරන ලද සියලු අන්දමින් ම පුරුදු කරන ලද මොනවට පටන් ගන්නා මෛත්‍රී චෙතෝ විමුක්තිය පිළිබඳ අනුසස් එකොළොසක් කැමති විය යුත්තාහ.

කවර එකොළොසක්ද යත්?

1. සැපයේ නිදයි
2. සැපයේ පුබුදියි
3. නපුරු සිහිනයක් නොදකියි.
4. මිනිසුන්ට පි‍්‍රයවෙයි
5. අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වෙයි
6. දෙවියෝ රකිති
7. මේ මෛත්‍රී විහරණ ඇති පුද්ගලයා ගේ ශරීරයෙහි ගිනි හෝ, විස හෝ, සැත් හෝ නොවදියි.
8. වහාම සිත එකඟ වෙයි
9. මුහුණ පැහැපත් වෙයි
10. නො මුලාව කලුරිය කරයි
11. මෛත්‍රී සමවතින් මතු රහත් වන්නට නොහැකි වී නම් මරණින් මතු බඹලොව උපදියි.

මහණෙනි, ආදරයෙන් සෙවුනා ලද මෛත්‍රී චේතෝ විමුක්තිය ආසේවිත භාවිත බහුලීකෘත කළ කල්හි යානාවක් මෙන් වස්තුවක් මෙන් කළ කල්හි එළඹ සිටි කල්හි පුරුදු කළ කල්හි මොනවට පටන් ගත් කල්හි මේ එකොළොස් ආනිසංසයෝ කැමති විය යුත්තාහුය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්ෂූහූ භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවට කැමති වූහ.

මෙත්තානිසංස සූත්‍රය

1. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර බෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. හදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස් සෝසුං’ භගවා ඒතදවෝච.

2. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය. යානීකතාය වත්ථූ කතාය අනූට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඒකාදසානිසංසා පටිකඞ්ඛා. කතමේ ඒකාදස?

3. 1. සුඛං සුපති, 2. සුඛං පටිබුජ්ක්‍ධති, 3. න පාපකං සුපිනං පස්සති, 4. මනුස්සානං පියෝ හෝති, අමනුස්සානං පියෝ හෝති, 6. දේවාතා රක්ඛන්ති, 7. නාස්ස අග්ගි වා විසංවා සත්ථං වා කමති, 8. තුවටං චිත්තං සමාධියති, 9. මුඛවණ්ණෝ විප්පසීදති, 10. අසම්මූළ්හෝ කාලං කරෝති, 11. උත්තරිං අප්පටිවිජ්ක්‍ධන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති.

4. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා, ආසේවිතාය භාවිතාය බහුලීකාතාය, යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඉමේ ඒකාදසානිසංසා පාටිකඞ්ඛාති.

5. ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.

තෙරුවන් සරණයි!

බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!