Monthly Archives: December 2014

නමෝ බුද්ධාය …! ඔබ භාවනාවට බිය ද? අද සමාජයේ සමහරු භාවනාවේ යෙදීමට කැමැති වුණත්…

නමෝ බුද්ධාය …!

ඔබ භාවනාවට බිය ද?
අද සමාජයේ සමහරු භාවනාවේ යෙදීමට කැමැති වුණත් ඊට බයයි. මේ පිළිබඳ මොනතරම් විස්තර බුද්ධ දේශනාවල ඇතුළත් දැ යි බොහෝ අය දන්නේ නැහැ. සූත්‍ර දේශනා පමණක් 18,000 ක පමණ ප්‍රමාණයක් තවමත් සුරක්ෂිතව තිබෙන බව අදටත් ඇතැම් බෞද්ධයන් නො දන්නා කාරණාවක්.

දැන් මේ දේශනා බොහෝමයක් සිංහලට පරිවර්තනය වී තිබෙන නිසා ඔබට මේ පිළිබඳ අවබෝධය ලබා ගැනීම ඉතා පහසු වී තිබෙනවා.

තවත් සමහරුන් සිතන්නේ භාවනාවට පුද්ගලයකු යොමුවන්නේ ඒ තැනැත්තා ගේ් ජිවිතයේ පවතින කිසියම් ගැටලුවක් හෝ කරදරකාරී තත්ත්වයක් නිසා බව යි. බුද්ධ දේශනා පිළිබඳ අල්පමාත්‍ර හෝ දැනීමක් ඇත්නම් මෙවැනි මිථ්‍යා මතවල කිසිවකු එල්බ ගන්නේ නැහැ. එහෙත් අද සමාජයේ බහුතරයකට මේ දේශනා ගැන වැටහීමක් නොමැති නිසා මෙවැනි මතමයි වඩාත් ප්‍රචලිත ව තිබෙන්නෙ.

කෙසේ වෙතත් ගරුතර ස්වාමීන් වහන්සේ පවසන්නේ මෙවැනි මත පැතිරී තිබෙන්නේ අප වැනි රටවල පමණක් බව යි. ඉන්දියාවේ බහුතර ජනතාවක ගේ මතය මීට හාත්පසින්ම වෙනස්. බටහිර රටවල පවා මිනිසුන් භාවනාව ගැන අවබෝධයකින් යුතුව යි කටයුතු කරන්නේ.

මම ඔබට මේ සඳහා හොඳ උදාහරණයක් දක්වන්නම්. මා වරක් ධර්ම ප්‍රචාරය සඳහා ඇමරිකාවට යන්නට සූදානම් වූ විට එහි රේගු නිලධාරියෙක් මගෙන් ඇසුවා එහි යෑමට අදාළ හේතුව ගැන. මා කීවා මා එහි යන්නේ භාවනාව ඉගැන්වීමට යි කියා. ඒ පිළිතුරින් ඔහු ඉතාමත් සතුටට පත් වුණා. ඔහු මට කියනවා ඉතා හොඳයි, මාත් ඉතා කැමැතියි භාවනාවට කියා.

ඉතින් බලන්න එවැනි රටක දී භාවනාවට ඉහළ අගයක් හිමිවීමටත්, අපේ වැනි රටක එය එසේ නො වීමටත් හේතුව කුමක් ද කියා. ඇත්තටම බටහිර රටවල උදවිය බුදුදහම කරා යොමු වන්නේ දැනුම ඔස්සේ නො වේ. භාවනාව ඔස්සේ ම යි. බටහිර රටවල ජනපි‍්‍රය මාතෘකා දෙකක් තිබෙනවා. ඒ තමයි යෝග සහ භාවනාව. ඒ අය ශාරීරික සුවතාව සඳහා යෝග යොදා ගන්නවා. භාවනාව යොදා ගැනෙන්නේ මානසික සුවතාව සඳහා යි. දැන් අපේ රටේ බැලුවොත් මේ දෙක ම නැහැ නේද? අපේ මිනිස්සු මේ දෙකට ම ගරහනවා. මොකක්ද මේ පෙරදිග ඇතිවුණු පිරිහීම? මා ඔබට කියන්නම් මේ පිරිහීමේ රහස මොකක්ද කියලා.

මේ රටවල ඉන්නවා මානසිකව ඔද්දල් වූ ජනතාවක් කාම පිපාසිත වූ. මේ අයට ජීවිතයේ කිසි ම අවබෝධයක් නැහැ. වින්දනය පමණක් ඉලක්ක කරගෙන හිස් ජීවිතයි මේ අය ගත කරමින් ඉන්නේ. මේ හිස් පුද්ගලයන් විසින් සමාජය තුළ ඇති කරන ලද මතයක තමයි අපේ බහුතරයක් එල්ලීගෙන ඉන්නේ.

තවත් මතයක් අපේ රටේ බොහෝ ප්‍රචලිතයි. එනම් භාවනා කිරීමෙන් සිහි විකල් වියහැකි යැයි කියන මතය යි. ඇත්තෙන්ම එහෙම දෙයක් නැහැ. භාවනා කළා කියා එහෙම වන්නේ නෑ.

ඕනෑම මානසික රෝගියෙක් මානසික රෝගී බවට පත් වන්නේ කල්පනා කිරීමෙන්. කිසිවෙක් තමන්ට පීඩාවක් ඇතිවන ආකාරයට වැරැදි යමක් කරන බව දිගින් දිගටම කල්පනා කළ විට එහෙම රෝගී වෙනවා. මානසික රෝගයක මූලාරම්භය අමතක වීම. බලාගත් අත බලාගෙන සිටීම, ඒ වාගේ ම විකෘති ආකාරයට දිගින් දිගටම එක ම දෙයක් ගැන සිතමින් සිටීම ආදිය යි. මේ සියල්ල ම පුද්ගලයකුට පහසු වන්නේ ඒ පුද්ගලයා හුදෙකලා වූ විට යි. මානසික රෝගි බවට පත්වීමට සූදානම් පුද්ගලයා හැමවිට ම උත්සාහ දරන්නේ හුදෙකලා වීමටයි. හුදෙකලා වීමට ඇති කැමැත්ත නිසා ම මෙවැනි අය භාවනා කිරීමට යොමු වෙනවා. ඒත් ඇත්ත වශයෙන් ම ඔහුට තියෙන රෝගයක්. ඔහුට ඒ ගැන දැනීමක් නැහැ. ඉතින් මෙවැන්නෙක් කිසි ම විටෙක නිවැරැදි ආකාරයට භාවනාවේ යෙදෙන්නේ නැහැ. ඔහු කරන්නේ ඔහුට ආවේනික කල්පනාවේ නිමග්න වී සිටීමක්. භාවනා ඉරියව්වෙන් සිටිමින් ම කල්ගත වෙද්දී ඔහුගේ රෝගය උත්සන්න වනවා. දැන් මේ පුද්ගලයා ගැන රාවයක් පැතිරෙනවා භාවනා කිරීම හේතුවෙන් සිහි විකල් වී තිබෙන බවට. ඒත් ඇත්තට ම මේ පුද්ගලයා තුළ එතෙක් පැවැති ආබාධයකුයි මෙසේ උත්සන්නව ඇත්තේ.

අනෙක් අතට සිහි විකල් වන්නේ භාවනාව නිසා නම් භාවනා නොකරන අයට මෙවැනි රෝගී තත්ත්වයක් ඇති නො විය යුතුයි. ඒත් අපි දන්නවා කිසි ආගම් බේදයකින් තොරව පුද්ගලයන් ගේ සිහි විකල් තත්ත්වය ඇතිවනවා කියා. බලන්න කතෝලික හා ඉස්ලාම් වැනි ආගම් අදහන අයට භාවනා උගන්වන්නේ නැහැ. ඒ ආගම්වලට භාවනාව අදාළ නැහැ. ඒත් ඒ ආගම්වලට අයත් අය, මානසික රෝගී බවට පත්වන්නේ නැත්ද?

මූලික කාරණාව තමා, අපේ රටේ මිනිසුන් අතර මත ප්‍රචලිත කර තියෙනවා භවනා කළා ම තමයි පිස්සු වැටෙන්නේ කියලා. තවත් දෙයක් තියෙනවා. කසින භාවනාව නම් කිසිම කෙනෙකුට උචිත නැහැ. මා එය කිසිම විටෙක නිර්දේශ කරන්නේත් නැහැ. මෙතැනදී වන්නේ වර්ණයක් දෙස බලාගෙන භාවනා කිරීමයි. ඒත් මේ විදියට භාවනා කළා ම අභ්‍යන්තර වශයෙන් සතිපට්ඨානයෙන් ලබා ගත හැකි දේ ලැබෙන්නේ නැහැ. චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී ලෙස යෝනිසෝමනසිකාරයේ යෙදෙන්නට බැහැ. ඒ කෙනා කරන්නේ කිසියම් වර්ණයක් අරමුණු කරගෙන භාවනා කිරීම පමණයි. අන්න එතැන දී මේ පුද්ගලයා තුළ කිසියම් මානසික වශයෙන් දුර්වලතාවයක් පැවතියා නම් එය ඉස්මතු වීමේ ඉඩකඩ ඇති වෙනවා. ඇත්තට ම අතීත කාලේ ආරණ්‍යවල කසින භාවනාව වැඩූ හාමුදුරුවරුන්ට මෙවැනි ප්‍රශ්න ඇති වී තිබෙනවා. මෙන්න මේ දේ භාවනාව ගැන වැරැදි මතයක් පැතිර යෑමට විශාල හේතුවක් වුණා.

‘භාවනා’ යන්නෙහි අරුත ‘වැඩීම’ යන්න යි. නැතහොත් යම්කිසි දෙයක් ගොඩනැඟීම. දැන් ආනාපාන සතියෙන් කරන්නේ සිහිය ගොඩනැගීම, වීරිය සහ නුවණ ගොඩනැගීම ආදිය. මෛත්‍රී භාවනාවෙන් කරන්නේ, මෙත් සිත ගොඩ නැගීම, අසුභ භාවනාවෙන් කෙරෙන්නේ, විරාගය ගොඩනැගීම. යථාභූත ඥානය ගොඩ නංවන්න පුළුවන් අනිත්‍ය භාවනාවෙන්. මේ අනුව චිත්ත සමාධියක් කරා පිවිස වැඩි කලක් ගත කළ හැකි ක්‍රම බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ඉතින් ඇත්ත වශයෙන් ම මෙවැනි දේ වෙනත් ආගම්වල නැහැ. බුදු දහමෙන් උපුටා ගත් යමක් මිස, ඒ අයට භාවනා නැහැ. දැන් අපි දන්නවා මේ විදිහට බුදු දහමෙන් ක්‍රම උපුටාගෙන සමහර අය භාවනා කරනවා. ඒත් එවැනි අය භාවනාවේ යෙදෙන්නේ අවබෝධයකින් තොරව නිසා එසේ කිරීමෙන් සිහි විකල් වී යා හැකියි. මෙය භයානක තත්ත්වයක්. ඔබ හොඳින් වටහාගත යුතු කාරණාවක් මා කියන්නම්. මේ කාරණාව වටහා නො ගෙන නම් ඔබ කිසි විටෙක භාවනාවට යොමුවන්නට එපා. මනසක් ගොඩ නංවන්නට නම්, මනස පිළිබඳ විග්‍රහ ඉදිරිපත් කොට ඇති විද්‍යාවක් අවශ්‍යයි. සරල සාමාන්‍ය දෙයක් ගැන ඔබ හිතා බලන්න. කිසිවකුට මාවතක් සකසන්නට වුවමනා නම්, ඒ මාවත සැකසීමට අදාළ විද්‍යාව ඔහු උගත යුතුයි. ගොඩනැගිල්ලක් සෑදීමේදීත් ඊට අදාළ ශිල්පීය දැනුම ලබා සිටිය යුතුයි නේද? එසේ නම් මනසක් ගොඩ නංවන්නට නිකම් පුළුවන්ද? මනස දියුණු කළ හැකි ශිල්පීය ඥානය තිබෙන්නේ කොතැන ද? එය ඇත්තේ බුදු දහම තුළ පමණයි.

අනෙක් අතට පුද්ගලයන් දහසක් ගෙන බැලුවොත් එයින් දෙතුන් දෙනකුට මානසික ප්‍රශ්න තිබෙනවා වන්නට පුළුවන්. ඒත් එහෙමයි කියා අපට අනෙක් නවසිය අනූ අට දෙනා ම අත්හැර දමන්නට පුළුවන්ද?

දැන් මං අපේ භාවනා වැඩසටහන්වල දී භාවනා ක්‍රම උගන්වනවා. ඒවා මොනවා ද? මෛත්‍රී‍්‍ර භාවනාව; මෛත්‍රී චිත්තයෙන් නිතර ඉන්නැයි කියන එක. බුද්ධානුස්සතිය; බුදු ගුණ සිහි කරමින් ඉන්නැයි කියා කීම. ඊළඟට අනිත්‍ය යැයි කියන දේ සිතමින් සිටින්නට උපදෙස් දීම. ආනාපාන සතියේ දී සිත තැන්පත් කර ගැනීමට පෙළඹවීම.

ඉතින් ඔබට ම පෙනෙනවා ඇති මේ සියලු දේ භයානක නම්, යහපත් දේ මොනවා ද? මේවා නොසිතිය යුතු නම්, සිතිය යුත්තේ් මොනවා ගැන ද? එසේ නම් අප නිතරම කල්පනා කරන්නේ රූපවාහිනියෙන් පෙන්වන, රේඩියෝවකින් අසන දෙයක් ගැන. නැතිනම් පත්තරවලින් කියවන දේ ගැන.

ඒ කියන්නේ පුද්ගලයා නිතර ම අසහනයෙන්, රාගයෙන්, ද්වේශයෙන් හෝ මෝහයෙන් සිටිය යුතුය යන්නයි. ඇත්තටම මිනිස්සු මේ විදිහට මානසිකව පීඩා විඳිමින් තමයි හැමවිටම ඉන්නේ. ඒත් ඔවුන් පීඩා විඳිමින් ඉන්නා බව ඔවුන්ම දන්නේ නැහැ. මෙහි අනතුර පොදු ජනතාව දකින්නෙත් නැහැ. මෙය තමයි, බහුතර ජනතාවක් වෙලී සිටින අවිද්‍යාව.

අවිද්‍යා සහගත පුද්ගලයා මනස සුවපත් කිරීම ගැන කිසිවක් දන්නේ නැහැ. හැබැයි ඉස්සර වඩා දැන් සමාජයට යම් පමණකින් හෝ භාවනාව ගැන අවබෝධයක් තිබෙන බව පෙනෙනවා.

ඉස්සර නම් තරුණ දරුවෙක් භාවනා කළොතින් හැමෝම කලබල වුණා. හැමෝම හිතුවේ, මේ දරුවට මොකක් හරි ප්‍රශ්නයක් කියලා.

හැබැයි ඔබ අතර ම විදේශිකයෙක් එහෙම භාවනා කරනවා නම් අපේ අය ඒ ගැන ඉතා ඉහළින් කතා කරනවා. අපේ අයට ම තමයි, මෙතැනදීත් ගැරැහුම. මෙතැන දී එක දෙයක් අපට වැටහෙනවා. එනම් මේ අය භාවනාව වර්ණනා කරන්නේත්, ඒ වාගේ ම ඊට ගරහන්නේත් අවබෝධයෙන් නොවේ ය කියන කාරණාව යි.

ඇත්තට ම භාවනාවට යොමුවීමෙන් පුද්ගලයකුට විශාල සුවපත් භාවයක් ඇතිවෙනවා. සුවදායී මානසිකත්වයක් ගොඩනැගෙනවා. මෙය නිවැරැදිව උදා කර ගැනීමට නම් පොදුවේ ඒ ගැන පුළුල්ව සාකච්ඡා කළ යුතුයි.

භාවනාවක් පිළිබඳ උපදෙස් අප රහසේ තබාගතහොත්, ඒ කියන්නේ රහස් බණ කියන්නට ගියෝතින් එතැන අනතුරක් තිබෙනවා ම යි. දැන් රටපුරා තැන් තැන්වල පෞද්ගලිකව භාවනා උපදෙස් දෙනවා නේ, රහසිගතව. එහෙම දේ බුදු දහමේ නොමැති බව ඉතා පැහැදිලිව ඔබ වටහා ගත යුතුයි. අප භාග්‍යවතුන්වහන්සේ ගේ ධර්මය, විවෘත වීමෙන් ම යි බබළන්නේ. මේ බව උන්වහන්සේ පැහැදිලිව ම දේශනා කළා. වැසුණා ම එය බබළන්නේ නැත.

එසේ නම් කිසිවෙක් මෙය විවෘත නො කොට සඟවන්නේ නම්, එය කිසියම් සැකකටයුතු යමක්.

මෙය ඉතා බරපතල වන්නේ මේ උපදෙස් ගත් කෙනාට එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් පැවතීම යි. ඇයි ද කියනවා නම් මේ කතාබහ ඇතිවන්නේ දෙදෙනෙකු අතර පෞද්ගලිකව මිස, විවෘත පරිසරයක දී නො වන නිසයි.

භාවනාව සම්බන්ධව අද සමාජයේ ප්‍රකටව පවතින විවිධ මති මතාන්තර ගැන වාද විවාද පවත්වමින් සිටින්නට බොහෝ අය කැමැතියි. එහෙත්, ධර්මය යනු පහුරකි. එය උපයෝගී කරගෙන අප එතෙර විය යුතුයි. එයින් බැහැරව තමන්ගේ පාණ්ඩිත්‍යය අන් අයට ප්‍රදර්ශනය සඳහා විවිධ දෘෂ්ටි ගොඩනගාගෙන ඒවා තලු මරමින් සිටීම, කිසිසේත් උචිත නැත. බුදුරජාණන් වහන්සේ තම ධර්මය පහුරකට උපමා කර ඇත්තේ, එතෙරවීමට යන කාරණාව පදනම් කරගෙන ම යි.

අනෙක් අතට රහස් කමටහන් දෙන උදවිය පවසන්නේ, මිනිසුන් අතර සිටින රාග, ශ්‍රද්ධා, දේවේශ, මෝහ ආදී චාරිතානුකූලව උපදෙස් දීමයි මෙතැනදී සිදුවන්නේ කියා.

ඉතින් මේක නම් ප්‍රශ්නෙ, බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ම දේශනා කොට තිබෙනවා, ද්වේෂය තිබෙන කෙනා මෛත්‍රිය වැඩිය යුතුයි කියා. ඉතින් කිසිවකුට දැනෙනවා නම් තමාට ද්වේෂය නිතර ඇතිවන බව, ඒ පුද්ගලයා මෛත්‍රී භාවනාව අත්හදා බැලිය යතුයි. මමත්වය වැඩිනම් අනිත්‍ය දකින්නට සිත මෙහෙයවිය යුතුයි.

ඉතින් මේ උපදෙස් කිසිවෙක් අද පිළිගන්නවා නම්, මේ ධර්මය අදත් සන්දිට්ඨික යි. (සන්දිට්ඨිකය යනු, මේ ජීවිතයේ දී ම අවබෝධ කළ යුතුය යන්න යි) මේ ධර්මය හැමදාමත් ස්වක්ඛාතයි. (මැනවින් දෙසන ලද) අකාලික යි (ඕනෑ ම කාලයක දී අවබෝධ කළ හැක) බුද්ධ කාලීන ව හෝ වත්මනේ දී ආදී ලෙස ධර්මයේ ස්වභාවය වෙනස් නො වේ. අප ඉතා හොඳින් මේ කාරණා වටහා ගත යුතුයි. මෙයින් පසුව තමයි භාවනාව හුරුකළ යුතු. මේ අනුව බලන කල අප කළ යුතු බුද්ධ දේශනා ප්‍රකට කරවීම ම යි.

අනෙක භාවනාවක් දියුණු කරනවාය යන්නේ් අදහස තමන් ම තමන්ගේ් දුර්වලතා මෙන් ම කුසලතා ද හඳුනාගෙන, තමා තමාව ම පිළිසරණ කර ගැනීම යි. ධර්මය තුළ පිහිටා තමා ගේ දුර්වලතා මැඩ ගැනීමට උත්සාහ දැරීම තමයි, මෙතන දී සිදු වන්නේ. මෙය කිසිසේත් ම, අඳුරේ අතපත ගාමින් යන ගමනක් නො වේ. මේ සඳහා ඉතා වටිනා මාර්ගෝපදේශ සියල්ල ධර්මයේ ඇතුළත්.

දැන් අපේ භාවනා වැඩසටහන්වලට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඇදී ඒමට එක ම හේතුව, ධර්මය ප්‍රකට වීම යි. එසේ නැතිව, ධර්මය යනු මහමෙවුනා අසපු සංචිතයන්හි පෞද්ගලික උරුමයක් නො වේ. එය විවෘත යමක්, එය අප ජනතාවට විවෘත කර දුන්නා, එපමණයි.

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

ඔබ සැමට තෙරුවන් සරණයි…..!!!
මේ පින් චතුරාර්ය සත්ය ධර්ම අවබෝදය පිනිසම හේතුවේවා
සියලු දාන අතර උසස්ම දානය ධර්ම දානයයි ඔබත් ධර්ම දානයට සහභාගිවි බොහෝ කල් යහපත පිනිස පින් රැස් කරගන්න. —

කායානුපස්සනාව ඔබගේ මිතුරා කරගන්න, කායානුපස්සනාව ඔබගේ පිහිට කරගන්න. “මහණෙනි, කායා…

කායානුපස්සනාව ඔබගේ මිතුරා කරගන්න, කායානුපස්සනාව ඔබගේ පිහිට කරගන්න. “මහණෙනි, කායානුපස්සනාව නොවැඩු අය මේ ශාසනයේ අමුර්තය පානය කර නැත.”

කායානුපස්සනාව ඒ තරම් ප්‍රනීත මිහිරි පැනියක් වැනිය.

කායානුපස්සනාව වඩන අයුරු දැනගන්නට පහත දේශනාවට සවන්දෙන්න, නැතිනම් පොත කියවන්න.
දේශනාව ->

ඔබ වෙනකෙකුට වෛර කිරීම යනු ඔබ විසින් වස පානය කොට වෙනකෙකු මැරෙන තෙක් බලා සිටින්නා…

ඔබ වෙනකෙකුට වෛර කිරීම යනු ඔබ විසින් වස පානය කොට වෙනකෙකු මැරෙන තෙක් බලා සිටින්නා වැනි අනුවන ක්‍රියාවකි — බුදුරජාණන් වහන්සේ

සම්මා සම්බුදුවරයෙකුගේ පහළවීම අතිශයින්ම දුර්ලභය. ඇතැම්විට කල්ප ගණනාවකට ද සම්බුදුව…

සම්මා සම්බුදුවරයෙකුගේ පහළවීම අතිශයින්ම දුර්ලභය. ඇතැම්විට කල්ප ගණනාවකට ද සම්බුදුවරයෙකුගේ උපතක් නැත. එවන් කාලපරිච්ඡේද හඳුන්වන්නේ ‘බුද්ධ ශුන්‍ය කල්ප’ වශයෙනි. අප ගත කරන මෙම යුගය හඳුන්වන්නේ ‘මහාභද්‍ර කල්පය’ වශයෙනි. මක්නිසාද යත්, සම්බුදුරජාණන් වහන්සේලා පස්නමක් පහළවන සුන්දර යුගයක් බැවිනි

ඒභාග්‍යවත් වූ අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදු තෙමඟුල සමරන මේ සුපින්බර වෙසෙ‍ෙග් උන්වහන්සේගේ පමණ නොකළ හැකි ගුණකදම්බයෙන් මදක් විමසමු.

වරින්වර අසිරිමත් මිනිස්සු ලොව පහළ වෙති. මහරහතන් වහන්සේලාගේ පහළ වීම ද අයත් වන්නේ අසිරිමත් මිනිසුන්ගේ ගණයටයි. නමුත් උන්වහන්සේලා සම්මා සම්බුදුවරයෙකුගේ ශ්‍රාවකයෝ වෙති. සම්බුදු රජෙකුගේ පහළවීමට කලින් පහළවන තවත් උතුම් පිරිසක් සිටිත්. උන්වහන්සේලා හඳුන්වන්නේ ‘පසේබුදුවරුන්’ නමිනි. සම්මා සම්බුදුවරු යනු මීට හාත්පසින්ම වෙනස් ආශ්චර්යවත් අද්භූත ගතිගුණයෙන් යුතු මුනිවරයෝ ය.

සම්මා සම්බුදුවරයෙකුගේ පහළවීම අතිශයින්ම දුර්ලභය. ඇතැම්විට කල්ප ගණනාවකට ද සම්බුදුවරයෙකුගේ උපතක් නැත. එවන් කාලපරිච්ඡේද හඳුන්වන්නේ ‘බුද්ධ ශුන්‍ය කල්ප’ වශයෙනි. අප ගත කරන මෙම යුගය හඳුන්වන්නේ ‘මහාභද්‍ර කල්පය’ වශයෙනි. මක්නිසාද යත්, සම්බුදුරජාණන් වහන්සේලා පස්නමක් පහළවන සුන්දර යුගයක් බැවිනි.

මෙම කල්පයෙහි පළමුව පහළ වූයේ කකුසඳ බුදුරදුන් ය. එකල මිනිසුන්ගේ ආයුෂ වසර හතලිස් දහසකි. දෙවනුව පහළ වූයේ කෝණාගමන බුදුරදුන් ය. එකල මිනිසුන්ගේ ආයුෂ වසර තිස්දහසකි. ඊළඟට මිනිසුන්ගේ ආයුෂ වසර විසිදහස වනවිට කාශ්‍යප බුදුරදුන් පහළ විය. ක්‍රම ක්‍රමයෙන් මිනිසුන්ගේ ආයුෂ වසර එකසිය විස්සට බැස්සේය. එවිට අපගේ ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් සම්බුදුරදුන්ගේ පහළවීම සිදුවිය.

ගෞතම බුදුරදුන්ගේ ගේ ශාසනය තුළ මිනිසුන්ගේ ආයුෂ වසර දහයක් දක්වා පිරිහී ගිය කළ ලෝක යුද්ධයක් හටගනී. ආයුධ වර්ෂාවක් වසී. දින හතක් පුරා පවතින මේ භයානක යුද්ධයෙන් දිවි ගලවා ගන්නෝ ඉතා අතලොස්සකි. ඔවුන් එකිනෙකා වෛර සිත් බැහැරකොට සිප වැළඳගෙන ප්‍රාණඝාතයෙන් වැළකී දැහැමි ජීවිතයක් අරඹනු ඇත. කෙමෙන් කෙමෙන් මිනිස් ආයුෂ ද වර්ධනය වනු ඇත. මිනිස් ආයුෂ වසර අසූදහසක් වූ කල්හි මේ මහා භද්‍ර කල්පයේ අවසාන බුදුරජුන් වන මෛත්‍රී සම්බුදු රජුන්ගේ පහළ වීම සිදුවේ. සැබැවින්ම එකම කල්පයකදී සම්මා සම්බුදුවරුන් පස්නමක් පහළවීම ඉතා අසිරිමත් නොවේ ද?

ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලොවෙහි වෙන කිසි දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට හෝ මිනිසෙකුට හෝ සමාන නැත. එනිසා උන්වහන්සේලා ‘අසම’ වන සේක. සමාන වන්නේ සම්මා සම්බුදු කෙනෙකුටම බැවින් ‘සම’ වන සේක.

ඒ සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්බෝධියට පත්වන්නේ ගුරුපදේශ රහිතව තමන් වහන්සේ ලා විසින් උපදවා ගන්නා ලද ස්වයංභූ ඤාණයකිනි. දම්සක් පැවතුම් සුත්‍රයෙහි අප භාගවතාණන් වහන්සේ මෙසේ වදාරණ සේක.

‘පින්වත් මහණෙනි, යම් කලෙක මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මෙසේ (සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ වශයෙන්) පරිවර්තන තුනකින් යුතුව යථාභූත ඤාණ දර්ශනය මා හට අවබෝධ වූයේ වේද.

එකල්හි පින්වත් මහණෙනි, මම දෙවියන් සහිත මරුන් සහිත, බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බෝධියට පැමිණි බවට ප්‍රතිඥා දුන්නෙමි. මාහට ඤාණ දර්ශනය පහළ විය. මගේ චිත්ත විමුක්තිය නොවෙනස් වන්නේය. මෙය මාගේ අවසාන උපත ය. යළිත් මා හට පුනර්භවයක් නැත්තේ ය.

මෙය සියලු සම්මා සම්බුදුවරයන් වහන්සේලා ලබන පොදු අත්දැකීමකි. චතුරාර්ය සත්‍යාවබෝධය උන්වහන්සේලා තුළ ඇතිවන්නේ බාහිරෙන් ලත් ශ්‍රමණයෙකින් තොරවය.

‘පෙර නො ඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය” වශයෙන් උදන් අනන්නේ ඒ නිසාය.

පාරමි ධර්මයන් සම්පූර්ණ කරන ලද සියලු බෝසතාණන් වහන්සේලා අවසානයට වැඩ වසන්නේ තුසිත දෙව්ලොව ය. බුද්ධ කාලය පැමිණි කල්හි දෙවි බඹුන් පැමිණ උන්වහන්සේට මනුලොව උපදින්නට ඇරයුම් කරති.

ඉන්පසු ඒ සියලු බෝසතාණන් වහන්සේලා කාලය, ද්වීපය, දේශය, කුලය, මව් යන කරුණු පහ හොඳින් විමසා බලති. එම කාලය යනු මිනිස් ආයුෂ අවුරුදු ලක්ෂයට වැඩි නොවිය යුතුය. අවුරුදු සියයට අඩු නොවිය යුතුය. අප බුදුරජාණන් වහන්සේ මිනිස් ලොව උපදින විට මිනිසුන්ගේ් පරම ආයුෂ වයස එකසිය විස්සක් ව පැවතිණ. ද්වීපය යනු ජම්බුද්වීපයයි. දඹදිවෙන් බැහැරව වෙනත් කිසි ද්වීපයක සම්මා සම්බුදුවරු පහළ නොවෙති. දේශය යනු බුදුවරු පහළ වීමට අදාළ ප්‍රදේශයයි. එනම් ජම්බුද්වීපයෙහි උතුරු දෙසට නැඹුරු වූ ඊසාන දිග ප්‍රදේශය කුලය යනු බුදුවරයෙකු පහළ වන පවුල් පසුබිමයි. සියලු සම්මා සම්බුදුවරයන් වහන්සේලා පහළ වී තිබෙන්නේ බ්‍රාහ්මණ කුලයේ හෝ ක්ෂත්‍රිය කුලයේ ය. අපගේ භාග්‍යවතුන් වහන්සේ පහළ වූයේ ගෞතම ගෝත්‍රයට අයත් ඔක්කාක රාජ වංශය වන ක්ෂත්‍රිය කුලයේය. මව් යනු එකල ලොව සිටි ඉතා සිල්වත් මාතාවය. එමෙන්ම ඕ තොමෝ දස මසක් මව්කුස දරු සම්පත දරා සිටි දරුවා බිහිකළ කල්හි සත් දිනකට ආයුෂ ඇති තැනැත්තියක් විය යුතු වන්නීය. මේ සියල්ල සම්පූර්ණ වී තිබීම පිළිබඳව සොයා බැලීම පස්මහ බැලුම් බැලීමයි.

ඒ සියලු මහබෝසත්වරු මනා සිහිනුවණින් දෙව්ලොවින් චුතවෙති. මනා සිහිනුවණින් යුතුව මව් කුසෙහි වැඩෙති. එමෙන්ම මනා සිහිනුවණින් මව් කුසින් බිහිවෙති. මෙය සියලු සම්මා සම්බුදුවරුන්ට පමණක් සිදුවන දෙයකි.

සම්මා සම්බුදුවරයෙකුගේ පහළවීම අතිශයින්ම දුර්ලභය. ඇතැම්විට කල්ප ගණනාවකට ද සම්බුදුවරයෙකුගේ උපතක් නැත. එවන් කාලපරිච්ඡේද හඳුන්වන්නේ ‘බුද්ධ ශුන්‍ය කල්ප’ වශයෙනි. අප ගත කරන මෙම යුගය හඳුන්වන්නේ ‘මහාභද්‍ර කල්පය’ වශයෙනි. මක්නිසාද යත්, සම්බුදුරජාණන් වහන්සේලා පස්නමක් පහළවන සුන්දර යුගයක් බැවිනි. උන්වහන්සේලා පිළිබඳව කළ සාකච්ඡාවේ ඉතිරි කොටස මෙතැන් සිට.

මහබෝසත්වරු බිහිවන මොහොතේ උණුසුමින් හා සිසිලසින් යුතු දිය දහර දෙකක් පොළොවෙන් මතු වී බෝසත් පුතු හා මාතාවගේ දියකිස කෙරේ. මෙයද සම්මා සම්බුදුවරුන් හට පමණක් සිදුවන දෙයකි.

ඒ මහබෝසත්වරු උපන් කෙණෙහි උතුරු දෙසට සත් පියවරක් තබා වැඩමකොට හාත්පස සිසාරා බලා දකුණත උඩට ඔසවා අභීත වදන් පවසති.

“මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මෙය අවසාන උපතයි” දැන් මා හට පුනර්භවයක් නැත්තේ ය’

කියා පැවසීම සියලු සම්මා සම්බුදුවරුන් හට පමණක් සිදුවන දෙයකි.

සියලු මහබෝසත්වරුන් දෙතිස් මහාපුරුෂ ලකුණින් සමන්විත වූවාහු වෙති. උන්වහන්සේලා ගෘහවාසය සිඳ බිඳ දමා අභිනිෂ්ක්‍රමණය කරනු ලබන්නේ දෙවියන් විසින් පෙන්වනු ලබන සතර පෙර නිමිති දැකීමෙනි.

සියලු මහබෝසත්වරු දුෂ්කර ක්‍රියා කෙරෙති. අවසානයෙහි කාමසුඛල්ලිකානුයෝගි අන්තයත්, අත්තකිලමථානුයෝගි අන්තයත් බැහැරකොට මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩති.

මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගුරූපදේශ රහිතව සොයාගනු ලබන්නේ උන්වහන්සේලා විසින්ය.

සියලු සම්බුදුවරු වෘක්ෂයක් සෙවණකදී චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතුව වජ්‍රාසනය මත වැඩහිද සේනා සහිත මරු පරදවා සම්මා සම්බෝධිය සාක්ෂාත් කෙරෙති. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බෝධිය ලබන මොහොතේදී සෙවණ ලබාදුන්නේ ඇසතු රුක නම් වූ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේය. මෙසේ බෝ සෙවණකදීම බුදුබව ලැබීම සම්බුදුවරුන්ට පමණක් විශේෂ වූ දෙයකි.

ඒ සම්මා සම්බුදුවරු කවරහුදැයි හඳුනා ගැනීමට දෙවියන් සහිත ලෝකයා හට උපකාර වන්නේ උන්වහන්සේලා විසින් වදාරනු ලබන ධර්මය තුළිනි. ධර්මයෙන් තොරව සම්බුද්ධත්වය කුමක්දැයි ලොවට වටහා ගැනීමට ක්‍රමයක් නැත. එනිසා බොහෝ අවස්ථාවන්හි දී උන්වහන්සේලා තම ස්වභාවය හෙළිදරව් කොට දක්වති. සේල බ්‍රාහ්මණයා හට අප බුදුරජුන් තමන් වහන්සේ ගැන පැවසූ ආකාරය මොනතරම් අසිරිමත්ද!

‘සේලය මම් වනාහි රජෙක් වෙමි. අන්තර වූ ධර්ම රාජයෙක් වෙමි ලොවෙහි අන් කෙනෙකුට පැවැත්විය නොහැකි ආඥාචක්‍රය මම ධර්මයෙන් ආඥාව පවත්වමි.

මා විසින් විශිෂ්ට වූ ඤාණයෙන් අවබෝධ කළ යුතු දේ අවබෝධ කරන ලදී. සීල, සමාධි, ප්‍රඥා වශයෙන් වැඩිය යුතු දේ වඩන ලදී. අවිද්‍යා තෘෂ්ණාවන් ප්‍රහාණය කරන ලදී. එනිසා බ්‍රාහ්මණය මම වනාහි ‘බුද්ධ’ වෙමි.

බ්‍රාහ්මණය මාගේ සම්බුද්ධත්වය කෙරෙහි ඇති සැකය දුරලව. එය සත්‍යයක් බවට ශ්‍රද්ධාවට පැමිණෙව. සම්බුදුරජාණන් වහන්සේලා නිතර දැක්ම අතිශයින්ම දුර්ලභ වේ.

බ්‍රාහ්මණය ලොව සම්මා සම්බුදුවරුන්ගේ පහළවීම ඒකාන්තයෙන්ම දුර්ලභ සෙයකි. බ්‍රාහ්මණය මම් වනාහි රාගාදි ක්ලේශ මුල් දෙව්මිනිස් හදවත් තුලින් ඉවත් කරනු ලබන අනුත්තර වූ ‘සම්බුද්ධ’ නම් ශල්‍ය වෛද්‍යවරයා වෙමි.

ශ්‍රේෂ්ඨත්වයට පත්ව අසම බවට පත්ව, සේනාසහිත මාරයා පරදවා වැඩසිටින සියලු අකුසල පාක්ෂික පසමිතුරන් වසඟ කරගත් මා කිසිදු අයුරකින් නොබියව සතුටු වෙමි. සම්මා සම්බුද්ධ නම් වූ ශල්‍ය වෛද්‍යවරයා වශයෙන් කේශර සිංහයෙකු මෙන් අභීත හඬ පතුරුවමි’.

මෙසේ බලන කල්හි ලොව වෙනත් පසේබුදු හෝ රහතන් වහන්සේ නමක සමඟ හෝ සසඳාලිය නොහැකි ය. එමෙන්ම වෙනත් දිව්‍ය මනුෂ්‍ය, ගාන්ධර්ව ආදි සත්ව කෙනෙකුන් සමඟ හෝ සසඳාලිය නොහැකි ය. උන්වහන්සේලාගේ ස්වභාවය ඒකාන්තයෙන්ම ආශ්චර්යය වේ.

එමෙන්ම අප බුදුරජාණන් වහන්සේ බෝධි මූලයෙහි වැඩසිට තමන් වහන්සේට ද ගුරුවරයෙකු අවශ්‍ය යැයි කල්පනා කළ සේක. තමන් වහන්සේ තුළ යම් සීලයක් අසම්පූර්ණ නම් එය සම්පූර්ණ වීම පිණිසත්, යම් සමාධියක් අසම්පූර්ණ නම් එය සම්පූර්ණ වීම පිණිසත්, යම් ප්‍රඥාවක් අසම්පූර්ණ නම් එය සම්පූර්ණ

වීම පිණිසත් ,උපදේශ ගත හැකි කෙනෙක් දෙවියන් සහිත බඹුන් සහිත ලොව සිටිත් දැයි විමසා බැලූ සේක. එවිට උන්වහන්සේට වැටැහී ගියේ තමන් වහන්සේ හා සමාන සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් සම්පූර්ණ වූ කෙනෙකු ලොව නැති බවයි. එනිසා ඒ සීලාදී ගුණධර්මයන් තමන් වහන්සේ තුළ ඉපිද වූ ධර්මයම ගුරු තනතුරේ තබා ගත් සේක. එකෙණෙහි සහම්පති බ්‍රහ්මයා පෙනී සිටිමින් මෙසේ පැවසීය.

”ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, එය එසේමය. සුගතයන් වහන්ස, එය එසේමය. අතීතයේ වැඩසිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ධර්මය ගුරුතන්හි තබා ගත් සේක. අනාගතයෙහි පහළ වන සම්මා සම්බුදුවරයන් වහන්සේලා ධර්මයම ගුරුතන්හි තබා ගන්නා සේක. ඒ අයුරින්ම වර්තමානයෙහි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන ඔබවහන්සේ ද ධර්මයම ගුරු තනතුරෙහි තබාගත් සේක.’

මෙසේ ලොවෙහි අන් පුද්ගලයන් හා අසම වූ සම්මා සම්බුදුවරයන් හා සම වූ අසමසම ගුණැති ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

තෙරුවන් සරණයි!

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය :

සුවද පූජාවේ අනුසස්. දුමක් වශයෙන්ද, වතුරක්, තෙලක්, කල්කයක්, චූර්ණයක් වශයෙන්ද සුව…

සුවද පූජාවේ අනුසස්.

දුමක් වශයෙන්ද, වතුරක්, තෙලක්, කල්කයක්, චූර්ණයක් වශයෙන්ද සුවද පූජාකළ හැකිය. සදුන්, කපුරු, මල් ආදී සුවද ඇති දවයන්ද සුගන්ධ පූජාවක් වශයෙන් පිදිය හැකිය. සුවද පූජාවේ විශේෂ ආනිසංසයක් වශයෙන් කිව යුත්තේ උපනුපන් ජාතියේ අනයන්ට ප්‍රිය පුද්ගලයෙකු වීමය.

සිද්ධාර්ථ නම් බුදුරදුන් විසූ කුටියට සුවද දුම් දුන් පින්වතෙක් ඒ පිනෙන් කල්ප අනූසතරක් දෙව්මිනිස් දෙගතෙයෙහි බොහෝ සැප ලබා අප බුදුරජානන් වහන්සේ වැඩවිසූ කාලයෙහි මිනිස්ලොව ඉපිද බුදුසස්නෙහි පැවිදිව සිවුපිළිසිඹියාපත් මහරහත් නමක් වී සසර දුකින් මිදී නිර්වාණ පුරයට පැමිණියේ උන්වහන්සේ ධූපදායකස්ථවිර නම් වූහ.

“යං යං යෝනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං
සබ්බේසම්පි පියො හෝමි ධූපදානස්සිදං ඵලං
චතුනවුතිතො කප්පෙ යං ධූපමදදිං තදා
දුග්ගතිං නාභිජානාමි ධූපදානස්සිදං ඵ්ලං.

මේ ධූපදායක රහතන් වහන්සේගේ ප්‍රකාශනයකි.

මම යම් යම් ජාතියක උපන්නෙම්ද දෙවිවූ ද මිනිස්වූ ද සෑම ජාතියේම සැමටම ප්‍රිය වූවෙමි, එය ධූපදානයේ ඵලයය. මේ කපෙන් සිවුඅනූවන කපෙහි යම් ධූපදානයක් කෙලෙම්ද එතැන් පටන් මේ වනතෙක් දුර්ගතියට නොගියෙමි. මේ ධූපදානයේ ඵලයය යනු එහි තේරුමය.

(ආපදානපාළියෙන්)

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

සුවඳ දුම් පූජා කිරීමේ වන්දනා ගාථා

සුගන්ධිකාය වදනං – අනන්ත ගුණ ගන්ධිනං
සුගන්ධිනා හං ගන්ධේන – පූජයාමී තථාගතං

ගන්ධ සම්භාර යුත්තේන ධූපේනාහං සුගන්ධිනා
පූජයේ පූජනෙය්‍යන්තං පූජාභාජන මුත්තමං

සුවඳ රැසකින් යුතු මේ දුමෙන්, පූජනීය වූ, පරම පූජ්‍ය වූ බුදුරජාණන් වහන්සේ පුදමි.

═════¤☸¤ ඔබ සැමට තෙරුවන් සරණයි ! ¤☸¤══════

~ බුදු නුවණින් අවබෝධ කොට බුදු පියාණන් වහන්සේ දේශනා කළ ලෝකයේ ඉතාම දුර්ලභ වූ කරුණු…

~ බුදු නුවණින් අවබෝධ කොට බුදු පියාණන් වහන්සේ දේශනා කළ ලෝකයේ ඉතාම දුර්ලභ වූ කරුණු ~

මේ ලෝකයේ දුර්ලභව ලැබිය හැකි කරුණු රාශියක් තිබුණද බුදු පියාණන් වහන්සේ දේශනා කළ සුවිශේෂී කරුණු හතරක් පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. දුර්ලභ, අසීරු, අමාරු, අපහසු වන වචන අප කනට එතරම් සුවදායක නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

නමුදු එහි වටිනාකම ඇත්තේද ඒ තුළමය. අප ලෙහෙසියෙන් ලබා ගන්නා දේකට වඩා අමාරුවෙන් ලබා ගන්නා දේ අපට ඉතා වැදගත් වේ. ඒ ආකාරයෙන්ම මෙම කරුණු පිළිබඳවද සිතීමට පුළුවන. විශාල කැප කිරීමක් හා පරිත්‍යාගයක් කරමින් මෙම කරුණු හතර ලබා ගත යුතු බව සිතිය යුතුයි.

ධම්ම පදය නම් වූ උතුම් බණ පොතෙහි ඒ පිළිබඳ විස්තරාත්මකව කරුණු විග්‍රහ කොට ඇත. අප සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ නොයෙක් දේවල් පහසුවෙන් ලබා ගනු ඇත. කොතරම් මුදල් තිබුණත් කුමන හැකියාවන් තිබුණත් ඉහත මතක් කළ දුර්ලභ කරුණු හතර ලබා ගැනීම අපහසු බව බුදුරදුන් දේශනා කොට ඇත. ධම්ම පදයේ බුද්ධ වග්ගයේ 4 වැනි ගාථාව මේ සම්බන්ධව ඉතා වැදගත් වේ. එනම්,

“කිච්ඡො මනුස්ස පටිලාභො
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්මං සවණං
කිච්ඡො බුද්ධානං උප්පාදෝ”

මිනිසත් බව ලැබුම හා දිවිරැකුම දුෂ්කරය. සඳහම් ඇසුම හා බුදු උපත ලැබුමද දුෂ්කරය. පළමු කාරණය වන්නේ මිනිසත් බව ලැබීමයි. සත්ත්වයන් අතර උසස්ම සත්ත්වයා ලෙස ගැනෙන්නේ මිනිසායි. එයට හේතුව උසස් මනසක් ලැබීමයි. අන් සත්ත්වයන් බොහෝ දුරට අනුකරණයෙන් හා බියට සැකයට එම ආත්මය තුළ යම් යම් දේවල් සිදු කරති.

නමුදු මිනිසාට ඕනෑම දෙයක් සිතා බලා විනිශ්චය කොට තීරණය කොට කළ හැකිය. එතැනදී කාලාම සූත්‍රයේ සඳහන් පරිදි කරුණු 10 කින් බැහැර වී යමක් කුසලය, නිර්වද්‍යය නුවණැත්තන්ගේ ප්‍රශංසාවට හේතුය, සමාදන් වී සම්පූර්ණ කිරීම හිත පිණිස සැප පිණිස හේතු වේ යනුවෙන් තමාටම වැටහේද එවිට එහි යෙදීමට පුළුවන් ආකාරය හා ධර්මය වැළඳ ගැනීම පිළිබඳව උසස් මනසක් ලැබු මිනිසාට කළ හැකි බව පැහැදිලි කොට ඇත.

“කිච්ඡෝ මනුස්ස පටිලාභෝ” යනුවෙන් වදාළේ එම හේතුව නිසාය. ඉතා දුක සේ මහා පිනකින් ලැබිය යුතු දෙයක් ලෙස එය විග්‍රහ කොට ඇත. “දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ “ යනුවෙන් ලෝවැඩ සඟරාවේද ඒ බව පැහැදිලි කොට ඇත. තව පැත්තකින් අංග සම්පූර්ණ මිනිස් දිවියක් ලැබීමද අසීරු කාර්යයකි. ඒ සඳහා සසර පින් අවශ්‍ය වේ, අද සමාජය දෙස බැලීමෙන් ඒ බව ප්‍රත්‍යක්ෂ වේ.

අඳ,ගොළු, බිහිරි නොවී අත්පා ආදී අවයව වකුටු නොවී අංග සම්පූර්ණ ශරීරයක් ලැබීම දුර්ලබ, බැවින්ද මිනිස් ආත්මයන් ලැබීම අන් සියල්ලටම වඩා උතුම්සේම දුර්ලභ වන්නේය. “දුල්ලභංච මනුස්සත්තං” යන ආකාරයට දුර්ලභව ලැබු මිනිස් බව රැක ගැනීමත් ගුණධර්ම ප්‍රගුණ කරමින් පින් දහම් සිදු කිරීමටත් නොපසු බට විය යුතුය.

දෙවන කාරණය දිවිය රැක ගැනීම නොහොත් පවත්වා ගැනීම අපහසු බවය. අප ලද දිවිය හරියට තණ අග පිණි බිඳක් හා සමානය. ක්ෂණයකින් විනාශ වීමේ ප්‍රවණතාවය වැඩිය. ස්වභාවික විපත්, සංසාරික කර්ම ශක්තීන්, ඇසුරු කරන්නන්ගෙන් වන අයහපත් ක්‍රියා, සතා සිවුපාවුන්ගෙන් ආදි වශයෙන් නිතර මිනිස් දිවියට එළඹෙන අනතුරු එමටය. එලෙස ජීවත්වීම උදෙසා නොයෙක් රැකී රක්ෂා සිදු කිරිමට සිදුවේ. එලෙසම මෙම ශරීරය නිතර පෝෂණය කළ යුතුව ඇත. ආහාර පාන, බේත්හේත් , ඇඳුම් පැළඳුම් , ගෙවල් – දොරවල් ශරීරය සඳහා වෙන් කළ යුතුය. මේ සියල්ලම කිරීමට පුංචි කාලයක් පවතින බැවින්ද එතුලින් නින්දට ජීවිතයේ භාගයක්ම ගෙවෙන බැවින්ද දිවි පැවැත්ම ඉතා දුෂ්කර කාර්යයක් වන්නේය.

තෙවන කාරණයෙන් පැහැදිලි වන්නේ සදහම් ඇසීම දුෂ්කර බවය. “කිච්ඡං සද්ධම්ම සවණං” යනුවෙන් දේශනා කළේ එයයි. හැම යුගයක් තුළම සද්ධර්මය ඇසීමට නොලැබේ.

සමහර යුග තුළ සද්ධර්මය ඇසීමට තබා සිතීමටවත් අපහසුය. දහම්සොඬ කතා පුවතින් ඒ බව මනාව පැහැදිලි වේ. සඳහම් ඇසීමට බුදු කෙනෙකු ලොව පහළ විය යුතුය. “සද්ධම්මො පරම දුල්ලභො” යනුවෙන් අර්ථවත් වන්නේ එහි අසීරු බව හා දුර්ලභ බවය. ධර්මය නම් පර්යාප්ති ධර්මය හා නව ලෝකෝත්තර ධර්මය යන දස විද ධර්මයයි.

පර්යාප්ති ධර්මය යනු තෙවලා බුදුබණයි. නව ලෝකෝත්තර ධර්මය යනු සතර මග සතර ඵල හා නිවන යන්නයි. ඒවා ඇසීම අපහසුම කාර්යයකි. ධර්මය තිබුණද “තම තම නැණ පමණින්ම දැන ගත යුතු වන්නේය. “සුඛා සද්ධම්ම දේශනා, ධර්මය ඇසීමට ඇත්නම් එය සැප පිණිසම පවතී.

බුදු උපතක් සිදුවීම සිව්වන දුෂ්කර කාර්යයි. බුදු කෙනෙක් ලොව පහළ වීම කප් කෙල සුවහස් ගණනකිනිදු සිදු නොවන්නකි. ? “බුද්ධොත්පාදොච දුල්ලභෝ’ යනුවෙන්ද “කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ” යනුවෙන්ද බුදු උපත දුර්ලභ බවත් අසීරු බවත් පැහැදිලි වේ. ඒ සඳහා නියත විවරණ ලැබීම හා දස පාරමිතා තුන් ආකාරයකින් පිරීමද කළ යුතුය. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ යනුවෙන් ලෝවැඩ සඟරාවේ අතීදීර්ඝ කාලයකින් බුදු උපත සිදුවන බව පැහැදිලි වන්නේ එම කරුණු පදනම් කරගෙනය. “සුඛෝ බුද්ධානං උප්පාදො යනුවෙන්” බුදු උපත තුන් ලොවටම සැපතක් වන්නේ එම දුෂ්කර බව හේතුවෙනි.

ඉහත කරුණු හතරම ලැබීම දුෂ්කර කාර්යයන්ය. කිච්ඡෝ යනුවෙන් හැඳින්වෙන්නේ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලීමටත් වඩා අසීරු වන බැවිනි.

නමුදු මෙම කරුණුවල වටිනාකම අවබෝධ නොවී තිබීම කණගාටුවට කරුණකි. දීර්ඝ සංසාර චක්‍රයකට හසු වී සිටින අප මිනිසත් බව නමැති උතුම් ශ්‍රේෂ්ඨතම ආත්ම භාවයට ලබා ඇති මුත් ඉන් නිසියාකාරව ප්‍රයෝජනය ගන්නේ අල්ප දෙනෙකි. බොහෝ දෙනෙක් ආධ්‍යාත්මික ගුණධර්ම ප්‍රගුණ කිරීම වර්ධනය කිරීම ඉදිරියට කල් තබා ගෙන ඇත.

ඔවුන් පිළිබඳව බුදුරදුන් දේශනා කළේ “පමාදෝ මච්චුනො පදං “ ප්‍රමාද වුවෝ මළවුන් හා සමාන බවය. මිනිසත් බවෙන් විය යුතු ක්‍රියාවලිය දැන හඳුනාගෙන අද අදම එය කළ යුතුය. හෙටට කල් දැමීම බුදු දහමේ පිළිවෙත නොවේ. ප්‍රමාද නොවි නිවන් මග දැන හඳුනාගෙන ඒ මඟ ඔස්සේ ගමන් කළ යුතුය.

තමාගෙන් විය යුතු සමාජ මෙහෙවර අද අදම කළ යුතුය. නැති නම් හුස්ම පොද පිටවීමට පෙර දුක් විඳීමට සිදුවේ. පරලොව දිවියද අභෞව්‍යස්ථාන වල ඉපදීමට සිදුවේ.

එම කරුණු සිහියට ගෙන යුතුකම් වගකීම් ඉටු කරමින් පින් දහම් සිදු කරමින් ගුණ ධර්ම ප්‍රගුණ කරමින් දුර්ලභව ලද මිනිසත් බව අර්ථවත් කර ගැනීම උදෙසා වෙහෙස දරමු.

ඔබ සැමට තෙරුවන් සරණයි.
බුදුසරණ අන්තර්ජාල කලාපය ඇසුරෙනි – ගලගෙදර රතනවංශ හිමි

අඩුගණනේ මේ ලෞකික සැපවත් ඔබට තිබෙනවාදැයි බලන්න. ලෞකිකත් ලෝකෝත්තරත් යන දෙපැත්තෙන්…

අඩුගණනේ මේ ලෞකික සැපවත් ඔබට තිබෙනවාදැයි බලන්න.

ලෞකිකත් ලෝකෝත්තරත් යන දෙපැත්තෙන්ම පිරිහී ඇති ජීවිතයක් අපට හිමි නොවේවා!