Monthly Archives: February 2016

New photo from Facebook February 24, 2016 at 12:00PM

ඵෙණපිණ්ඩූපමසුත්තං -> http://ift.tt/1WHXBpe

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ අයොධ්‍යපුර සමීපයෙහි ගංගානම් නදීතෙර වැඩ වසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, කියා භික්‍ෂූන් ඇමතූසේක. ඒ භික්‍ෂූහු ‘පින්වතුන් වහන්සැ’යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක.

“මහණෙනි. යම්සේ වනාහි මේ ගංගානදී තොමෝ මහත් පෙණපිඩු ගෙන එන්නේද, ඇස් ඇති පුරුෂයෙක් තෙම ඒ පෙණපිඩු දකින්නේය, බලන්නේය, නුවණින් නැවත නැවත පරීක්‍ෂා කරන්නේය. ඒ පෙණපිඩු දක්නාවූ බලන්නාවූ, නුවණින් නැවත නැවත පරීක්‍ෂා කරන්නාවූ ඔහුට හිස්වූවක්ම වැටහෙන්නේය, ශූන්‍යවූවක්ම වැටහෙන්නේය, හර නැත්තක්වම වැටහෙන්නේය.
“මහණෙනි, පෙණපිඩ පිළිබඳව කිනම් හරයක් වන්නේද?
“මහණෙනි, එපරිද්දෙන්ම තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම් රූපයක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් රූපයක් වේද, මහණතෙම ඒ රූපය දකියි, බලයි. නුවණින් නැවත නැවත පරීක්‍ෂා කර බලයි. ඒ රූපය බලන්නාවූ, සිතන්නාවූ, නුවණින් නැවත නැවත පරීක්‍ෂා කරන්නාවූ ඔහුට හිස්වූවක්වම වැටහෙන්නේය, ශූන්‍යවූවක්ම වැටහෙන්නේය, හරනැති වූවක්ම වැටහෙන්නේය.
“මහණෙනි, රූපයෙහි කිනම් හරයක් වන්නේද?

“මහණෙනි, යම්සේ වනාහි සරත් කාලයෙහි මහවැසි පොද ඇති වැසි වසින කල්හි දිය බුබුලු උපදීද, නැතිවේද, ඇස් ඇති පුරුෂයෙක් තෙම ඒ දිය බුබුලු දක්නේද, බලන්නේද, නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නේද, ඒ දිය බුබුල දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඒ පුරුෂයාහට ඒ දිය බුබුල හිස්වූවකැයිම වැටහෙන්නේය, ශූන්‍යවූවකැයිම වැටහෙන්නේය, හර නැත්තකැයිම වැටහෙන්නේය.
“මහණෙනි, දිය බුබුලේ කිනම් හරෙක් වන්නේද?
“මහණෙනි, එසේම වනාහි තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත අනාගත-වර්තමානවූ යම් වේදනාවක් වේද, දුරවූ හෝ ලඟවූ හෝ යම් වේදනාවක් වේද, මහණතෙම ඒ වේදනාව දකියි. බලයි. නුවණින් නැවත නැවත පරීක්ෂාකර බලයි. ඒ වේදනාව දකින්නාවූ, සිතන්නාවූ, නුවණින් නැවත නැවත පරීක්ෂා කොට බලන්නාවූ, ඔහුට හිස්වූවක්ම වැටහෙන්නේය, ශූන්‍ය වූවක්වම වැටහෙන්නේය, නිස්සාරවූවක්වම වැටහෙන්නේය.
“මහණෙනි, වේදනාවේ කිනම් හරයක් වන්නේද?

“මහණෙනි, යම්සේ වනාහි ග්‍රීෂ්ම මාසයන්ගේ අන්තිම මාසයෙහි ඉරුමුදුනෙහි සිටි කල්හි මිරිඟුව සැලේද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මිරිඟුව දක්නේය, බලන්නේය, නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නේය. දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඒ පුරුෂයාහට ඒ මිරිඟුව හිස්වූවකැයිම හිස්වූවකැයිම වැටහෙන්නේය, ශූන්‍යවූවකැයිම වැටහෙන්නේය, හර නැත්තකැයිම වැටහෙන්නේය.
“මහණෙනි, මිරිඟුවෙහි කිනම් හරයක් වන්නේද?
“මහණෙනි, එපරිද්දෙන්ම තමා පිළිබඳවූ හෝ පිටතවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත අනාගත-වර්තමානවූ යම්කිසි සංඥාවක් වේද, දුරවූ හෝ ලඟවූ හෝ යම් සංඥාවක් වේද, මහණතෙම ඒ සංඥාව දකියි, බලයි, නුවණින් නැවත නැවත පරීක්ෂා කෙරෙයි. ඒ සංඥාව දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඒ මහණහට (ඒ සංඥාව) හිස්වූවකැයිම වැටහෙන්නේය, ශූන්‍ය වූවකැයිම වැටහෙන්නේය, හර නැත්තකැයිම වැටහෙන්නේය.
මහණෙනි, සංඥාවගේ කිනම් හරෙක් වන්නේද?

“මහණෙනි, යම්සේ වනාහි අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ අරටුව සොයන්නාවූ අරටුව සෙවීමෙහි ඇවිදින්නාවූ පුරුෂයෙක් තෙම කෙටේරියක් රැගෙන වනයකට පිවිසෙන්නේද, හෙතෙම එහි කෙළින්වූ නොපීදුණු මහ නාඹුල්කෙසෙල් ගසක් දක්නේද, හෙතෙම ඒ කෙලෙස් ගස මුලින් කපන්නේය, මුල කපා පිති කපන්නේය, පිති කපා පතුරු ගළවන්නේය, හෙතෙම ඒ කෙසෙල් ගසෙහි පතුරු ගළවනුයේ එළයද නොලබන්නේය, අරටුවක් කොයින් ලබන්නේද? ඇස් ඇති පුරුෂයෙක් ඒ කෙසෙල් පතුරු දක්නේය, බලන්නේය, නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නේය. දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඒ පුරුෂයාහට ඒ කෙසෙල් පතුරු හිස්වූවකැයිම ශූන්‍ය වූවකැයිම හර නැත්තෙකැයිම වැටහෙන්නේය.
“මහණෙනි, කෙසෙල් කඳේ කිනම් හරයෙක් වන්නේද?
“මහණෙනි, එපරිද්දෙන්ම තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත -අනාගත – වර්තමානවූ යම්කිසි සංස්කාරයෝ වෙද්ද, දුරවූ හෝ ලඟවූ හෝ යම් සංස්කාරයෝ වෙද්ද, මහණ තෙම එය දකියි, බලයි. නුවණින් නැවත නැවත පරීක්ෂා කරයි. ඒ සංස්කාර ස්කන්ධය දක්නාවූ බලන්නාවූ නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඔහුට එය හිස්වූවකැයිම ශුන්‍ය වූවකැයිම හර නැත්තෙකැයිම වැටහෙන්නේය.
“මහණෙනි, සංස්කාරයන්හි කිනම් හරයෙක් වන්නේද?

“මහණෙනි, යම්සේ වනාහි මායාකාරයෙක් හෝ මායාකාරයෙකුගේ අතවැස්සෙක් හෝ සතරමංසන්ධියෙක ඇස් බැන්ඳුම දක්වන්නේද, ඇස් ඇති පුරුෂයෙක් ඒ ඇස් බැන්ඳුම දක්නේය, බලන්නේය. නුවණින් සලකන්නේය. ඒ මායාව දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඔහුට හිස්වූවකැයිම වැටහෙන්නේය, ශූන්‍යවූවකැයිම වැටහෙන්නේය, හර නැත්තෙකැයිම වැටහෙන්නේය.
“මහණෙනි, මායාවෙහි කිනම් හරයෙක් වන්නේද?
එපරිද්දෙන්ම මහණෙනි, තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත අනාගත -වර්තමානවූ හෝ යම්කිසි විඤ්ඤාණයෙක් වේද, දුරවූ හෝ ලඟවූ හෝ යම් විඤ්ඤාණයෙක් වේද, මහණතෙම ඒ විඤ්ඤාණය දකියි, බලයි, නුවණින් විමසයි. ඒ විඤ්ඤාණය දක්නාවූ බලන්නාවූ නුවණින් විමසන්නාවූ ඒ මහණහට හිස් වූවක්ම වැටහෙන්නේය, ශූන්‍යවූවක්ම වැටහෙන්නේය, හරනැත්තෙක්ම වැටහෙන්නේය.
“මහණෙනි, විඤ්ඤාණයෙහි කිනම් හරයෙක් වන්නේද?

“මහණෙනි, මෙසේ දක්නාවූ ඇසූ පිරූ තැන් ඇත්තාවූ ආර්යශ්‍රාවක තෙම රූපයෙහිද කලකිරෙයි, වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි, විඥානයෙහිද කලකිරෙයි, කලකිරුණේ නො ඇලෙයි, නො ඇලීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදේ. මිදුණු කල්හි “මිදුණේයයි දැනීම වෙයි, ජාතිතොමෝ ක්ෂයවූවාය, බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමකරන ලද්දේය, කළයුත්ත කරන ලද්දේය, මේ ආත්මභාවය සඳහා කළයුතු අනිකක් නැතැ”යි දැනගනී. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ශාස්තෲවූ සුගතයන් වහන්සේ මෙය වදාරා අනතුරුව මේ ගාථා වදාළසේක.
“රූපය පෙණපිඩක් බඳුය, වේදනාව දියබුබුලක් බඳුය, සංඥාව මිරිඟුවක් බඳුය, සංස්කාරයෝ කෙසෙල් ගසක් බඳුවූහ, විඥානය මායාවක් බඳුයයි සූර්යවංශිකයනට නෑවූ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදහ.
“යමෙක් ඒ පස්කඳ නුවණින් බලාද යම් යම් අයුරකින් සිතාද, නුවණින් නැවත නැවත විමසාද, (ඔහුට එය) හිස්ව වැටහෙයි, ශූන්‍යව වැටහෙයි.
“යමෙක් (ජීවිතෙන්ද්‍රිය, කර්මයෙන් උපන් තෙජොධාතුව, සිත යන) ධර්මයන් තිදෙන පහකළාවූ (එහෙයින්ම නෑයන් විසින් බැහැර) දමන ලද රූපය දක්නේද, (හෙතෙම) සියුම් ප්‍රඥාව ඇත්තාවූද, මහත් පැතුරුණු ප්‍රඥාව ඇත්තාවූද, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කය ගැරහිය යුතු කොට දෙසන ලදැයි දක්නේය.
“යම් කලෙක්හි ජීවිතෙන්ද්‍රියයද කර්මයෙන් උපන් තේජොධාතුවද, සිතද මේ කය හරිද්ද, එකල්හි සිතිවිලි නැත්තක්ව (නානාවිධ පණු ආදීන්ට) ගොදුරුව (ඥාතීන් විසින්) ඉවත දමන ලද්දේ (පොළොව මත) හෝනේය.
“යම් මේ විඤ්ඤාණස්කන්ධයක් වේද, (එය) අඥාන මහජනයා කතාකරවන මායාවක් නම්වෙයි, ‘එබඳු ප්‍රවේණිය වෙයි, මේ පඤ්චස්කන්ධය වධකයෙක් යයි වදාරණ ලදී.
පටන් ගන්නා ලද වීර්යය ඇත්තාවූ, සම්‍යක් ප්‍රඥාව ඇත්තාවූ, එළඹ සිටි සිහි ඇත්තාවූ, මහණතෙමේ ඉදින් දවල් හෝ රෑ හෝ ස්කන්ධයන් මෙසේ දක්නේද, (ඒ මහණතෙමේ) සියලු (දස) සංයෝජනය පහකරන්නේය. තමහට පිහිට ඇති කරන්නේය, නිර්වාණය පතමින් හිස ගිනිගත්තෙකුසේ හැසිරෙන්නේය.”
(තුන්වෙනි ඵෙණ සූත්‍රය නිමි.) via Facebook Pages http://ift.tt/1GMS4Lf

වයර්, මෝටර්, යකඩ, බැටරි ආදියෙන් සැදි රොබෝ යන්ත්‍රය දෙස බලන විට සත්ව පුද්ගල සඥාවක් එනවා නේද? ඒ වගේමයි සම් මස් ලේ නහර වලින් සැදි මේ අනාත්ම වූ කය දෙස බලන විටත් සත්ව පුද්ගල සඥාවක් එන්නේ. යථාර්තය නම් මේ කයත් රොබෝ යන්ත්‍රයක් වගේමයි. කායානුපස්සනාව වඩමු ආහාරයෙන් වැඩුණු පොලොවට පස්වන මේ කය දෙස සත්ව පුද්ගල හැඟීමෙන් බැලීමෙන් වළකිමු.

Atlas, The Next Generation
This version of Atlas was designed to operate outdoors and inside buildings. It is electrically powered and hydraulically actuated. It uses sensors in its bo…
More info @ https://www.youtube.com/watch?v=rVlhMGQgDkY
Automated post from Path to Nirvana – http://ift.tt/1GMS4Lf
February 24, 2016 at 11:14AM

New photo from Facebook February 23, 2016 at 12:00PM

සත්ව ඝාතනයෙන් වැළකී සිටීමෙන් ලැබෙන අනුසස්. කුබියෙක් මදුරුවෙක්වත් මොනම අවස්ථාවකදීවත් මරන්නේ නැහැ කියා තරයේ සිතට ගනිමු. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook February 23, 2016 at 08:54AM

බැදිම් රකින්න ගියාම බරයි ,ආරක්ෂා කරන්න ගියම විඩාවයි, අත් හැර දැමීමෙන් සැපයි , වඩා සැප මනසින් අත් හැරිමයි, අවබෝධයෙන් සදාකාලික පාලුව නැතිව යයි, අවබෝධය සුන්දරයි, රමණියයි. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook February 22, 2016 at 09:05AM

දුක ඇතිවෙලා තියෙන්නෙත් මේ කෙලෙස් නිසා මයි. ඒ නිසා කෙලෙසුන්ගෙන් සිත පිරිසිදු කර ගැනීමට හැකි උපරිම උත්සාහය ගත යුතුය.
http://ift.tt/1LBE3gj via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook February 21, 2016 at 10:23PM

ලොව ප්‍රථම රහත් සඟ සමුළුව පැවැත්වූ නවම් පුර පොහෝ දිනය

නවම් පුරපසළොස්වක පොහෝ දිනයයි. මෙම උතුම් පුන් පොහෝ දිනය නිමිති කරගෙන අද ඔබ සිල්සමාදන්ව සිටිනවා විය හැකිය. නැතිනම් වෙනත් ආගමික සද්ක්‍රියාවක නිරත වෙමින් සිටිනවා විය හැකිය. අඩුම තරමින් ආගමික වතාවත් සඳහා විහාරස්ථානයකට පැමිණි කෙනෙක් විය හැකිය. මේ සියලු යහපත් ක්‍රියාවන් සඳහා ඔබ උනන්දු කරවා ඇත්තේ අද දිනයෙහි ඇති සුවිශේෂි භාවයයි.

සාමාන්‍ය දිනයකදී දැකගත නොහැකි ආගමික ජීවිතයක් සඳහා ඔබ මෙහෙයවා ඇත්තේ අද දිනය විසිනුයි. මෙම පසළොස්වක් පොහොය දිනය බෞද්ධයන් වූ අපට ඉතා වැදගත් වීමට කැරණු කීපයක් හේතු වී තිබේ. එම කරුණු නැවත සිහිපත් කර ගැනීම ඔබේ ශ්‍රද්ධාදී ගුණ ධර්ම වඩ වඩාත් දියුණුවීම සඳහා මහෝපකාරී වනු ඇත.

නවම්පුර පොහොය දිනය ශාසනික වශයෙන් වැදගත් වන්නේ කුමක් නිසාදැයි මැනවින් විමසා බැලිය යුතු කරුණකි. සම්බුදු සසුන ඇතිවීමෙන් පසු එහි ප්‍රථම මහා සංඝ සම්මේලනය පැවැත්වූයේ අද වැනි දිනකය. රජගහ නුවර වේළුවනාරාමයෙහි පවත්වන ලද මෙම මහා සඟ සමුළුව අනාගත ශාසනය පිළිබඳ වැදගත් තීරණ කීපයක් ගැනීම නිසා ඉතා වැදගත් වන බව පෙනේ. මේ සඳහා මහරහතන් වහන්සේලා 1250 ක් පමණ සහභාගි වූ බව ශාසන ඉතිහාසය මඟින් අනාවරණය කෙරේ. මෙය මෙතෙක් ලෝකයෙහි මුළු දුන් ප්‍රථම රහත් සංඝ සන්නිපාතය ලෙස ඉතිහාස ගතව ඇත. ක්‍රියාශීලී, විනයගරුක භික්‍ෂූන් වහන්සේලා සඳහා ප්‍රථම වරට තනතුරු ප්‍රදානය කිරීම මෙම සමුළුවේ දී සිදුවූ වැදගත් සිදුවීමකි.

භික්‍ෂූන් වහන්සේලාගේ ශාසනික සේවය බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් අගය කිරීමක් මෙහිදී සිදුවී ඇති බව සඳහන් කළ යුතු වේ. අද ද බහුල වශයෙන් සිදුවන පසුකාලීනව ශාසනික පදවි ප්‍රදානයෙහි ආරම්භක අවස්ථාව හැටියට මෙය සැලකිය හැකිවේ. ඒ අනුව දහස් සංඛ්‍යාත මහරහතන් වහන්සේලාගෙන් පිරී ඉතිරී ගොස් තිබූ වේළුවනාරාම මහා විහාරයේ දී අද වැනි නවම් පුන් පොහෝ දිනයක සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම සඳහා අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම සිදු කරන ලදී. ධර්ම සේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ දකුණත් ශ්‍රාවකයන් වහන්සේ ලෙසත් මහා සෘද්ධිලාභී මුගලන් මහරහතන් වහන්සේ වමත් ශ්‍රාවකයන් වහන්සේ ලෙසත් තථාගතයන් වහන්සේ විසින් මෙහිදී පත්කොට වදාළ සේක. මේ සඳහා මෙම මහරහතන් වහන්සේලා දෙනම සංසාරිකව කරන ලද විවිධ පින්කම් පිළිබඳව ද බුදුරජාණන් වහන්සේ විසින් මෙහිදී සියල්ලන්ගේ අවධානය යොමු කළ ආකාරය පිළිබඳ තොරතුරු දැක්වේ.

නවම් පුන් පොහෝ දිනයෙහි ශාසනික වැදගත්කම වැඩිවීම සඳහා තවත් ඉතා වැදගත් කරුණක් පිළිබඳව ද තොරතුරු දැක්වේ. එනම් බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂූන් වහන්සේලාට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේසනා කිරීමයි. අල්පායුෂ්ක වූ බුදුවරයන් වහන්සේලාගේ ශාසනයෙහි ප්‍රථම බෝධියේදී එබඳු සියලු බුදුවරයන් වහන්සේලාගෙන් මෙම අනුශාසනය අනිවාර්යයෙන්ම සිදුකෙරෙන බව සඳහන්ව තිබේ. ප්‍රථම බෝධිය ලෙස හඳුන්වනු ලබන්නේ සම්බුදු සසුනෙහි ප්‍රථම විසි වසරයි. මෙම කාලය තුළ තථාගත බුදුරජාණන් වහන්සේට තම ශ්‍රාවකයන් වහන්සේලාට විනය ශික්ෂා පැනවීමෙහි කිසිදු අවශ්‍යතාවක් වූයේ නැත. හේතුවක් නැතිව විනය ශික්ෂා පැනවීමක් සිදු නොකළ අතර එම කාලය ක්ලේෂ ධර්ම අඩු අය බහුල වශයෙන් සිටි කාලයක් විය. එනිසා රහතන් වහන්සේලා බහුල වූ බව පෙනී යයි. “ඛන්ති පරමං තපෝ තිතික්ඛා” යනාදී ගාථා තුනක් ඕවාද ප්‍රාති මෝක්ෂය වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළහ. මෙය හය මසකට, තෙමසකට හෝ මසකට වරක් භික්‍ෂූන් එක්රැස්ව දේශනා කිරීම සඳහා නියමව පැවතිණි. ප්‍රථම විසි වසට මෙය ප්‍රමාණවත් වුවත් ඉන් පසු කාලය සඳහා බුදුරජාණන් වහන්සේ විසින් ආනා ප්‍රාතිමෝක්ෂය දේශනා කළා පමණක් නොව දස විධ හේතූන් නිමිති කොට ගෙන විනය ශික්‍ෂා පැනවීමද සිදුකළ අයුරු ත්‍රිපිටක සාහිත්‍ය මඟින් ප්‍රකට කර ඇත.තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම ආයු සංස්කාරය අත්හැරීම ද සිදුකොට වදාරන ලද්දේ අද වැනි නවම් පුන් පොහෝ දිනයක ය.

ඉතා සංවේග දායි අවස්ථාවක් වූ මෙයින් ප්‍රකට වන්නේ මෙතෙක් කළකින් පිරිනිවන් පාන්නේ යැයි කාලය තීරණය කොට ප්‍රකාශ කිරීමය. මෙම මොහොතේ එම ප්‍රකාශයත් සමඟ මහා පෘථිවිය කම්පා වී ගිය ආකාරය පිළිබඳ තොරතුරු සඳහන් වේ. මේ අනුව බොදුනුවන් වූ අපි එක් අතකින් අද දිනය ඉතා සංවේගයෙන් යුතුව සිහිපත් කළ යුතු වේ. කල්පයක් ජීවත්ව වැඩ වසන ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කිරීම සඳහා අනඳ තෙරුන් වහන්සේට අමතකවීම නිසා මාරයා පැමිණ පිරිනිවන් පෑම සඳහා කරන ලද ආරාධනය පිළිගැනීමට බුදුරජාණන් වහන්සේට සිදුවී ඇති ආකාරය අපේ ධර්ම සාහිත්‍ය සංවේගයෙන් යුක්තව අනාවරණය කර තිබේ.

මෙබඳු වැදගත් ශාසනික සිදුවීම් කීපයක් සිදුවූ නවම් පුර පසළොස්වක පොහෝ දිනයේ ඇති විශේෂිත වූ වැදගත්කම පිළිබඳව අපි මෙතෙක් විමසා බැලුවෙමු. බුදුසිරිත හා සම්බන්ධ ඉතා සංවේගදායි දිනයක් ලෙසත් ශාසනයෙහි චිර පැවැත්ම සඳහාත් ඉවහල් වන විනය නීති රීති පැනවීමෙහි ආරම්භක දිනය වශයෙනුත් භික්‍ෂූන් වහන්සේලා වෙත තනතුරු ප්‍රදානය කිරීමේ ආරම්භක දිනය වශයෙනුත් අපි අද දිනය පිළිබඳව සිහිපත් කරන්නෙමු.

අද මේ උතුම් පොහෝ දිනයෙහි ඔබේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේගේ නව මහා බුදුගුණයන් අතර දෙවෙනි ස්ථානයෙහි ලා ගැනෙන සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳවය. ඉතා නිවැරැදිව ඉතා පැහැදිලිව තම අත්ලෙහි ඇති දෙයක් සේ කිසිවකුගේ උපදේසයක් හෝ ඉගැන්වීමක් නැතිව තමන් වහන්සේ විසින් ම තුන් කාලයට අයත් වුවත් අයත් නොවූවත් සියල්ල අවබෝධ කරගත් බැවින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ යන නමින් හඳුන්වනු ලැබේ.

බුද්ධ යන වචනයෙහි තේරුම වන්නේ ‘දන්නා’ යන්නයි. එසේ දන්නා අය එම දැනුම වෙනත් අයගේ උපදෙස් ඇතිව ලබාගන්නා අතර, තම ශක්තියෙන් ද එම දැනුම පුළුල් කර ගනු ලැබේ. එසේ වෙනත් අයගෙන් අසා දැනගත් අය බුද්ධ යනුවෙන් හැඳින්වේ. අන් අයගේ උපකාරයකින් තොරව ස්ව ශක්තියෙන් දැනුම ලබන්නා වූ උතුමන් සම්මා සම්බුද්ධ නම් වේ. මෙම සම්මා සම්බුද්ධ යන නමින් හඳුන්වනු ලබන්නේ පසේ බුදුවරයන් වහන්සේලා හා ලොව්තුරු බුදුවරයන් වහන්සේලා පමණි. සම්මා සම්බුද්ධ නමින් හඳුන්වනු ලැබුවද පසේ බුදුවරයන් වහන්සේලා සියල්ල දන්නා බවක් නොකියවේ. සියල්ලම නිවැරදිව පැහැදිලිවම දන්නේ ලොව්තුරා බුදුවරයන් වහන්සේලායි. ඒ අනුව ලොව්තුරා බුදුවරයන් වහන්සේලාම සම්මා සම්බුද්ධ වන බව අපේ බණ පොත පැහැදිලි කරනු ලැබේ.

මෙහි මුලින් සඳහන් ගාථා පාඨයෙහි මෙම සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳව විස්තරයක් ඇතුළත්ව ඇත. “කිසියම් පුද්ගලයෙක් වෙනත් කිසිවෙකුගෙන් නොඅසා ස්ව ශක්තියෙන්ම ස්ඛන්ධාදී ධර්ම විෂයෙහි චතුස් සත්‍ය දැනගනීද, කිසිවක් ඉතිරි නොවන පරිදි සියල්ල පිළිබඳවම සත්‍ය දැනගැනීම් වස් සර්වඥත්වයට පැමිණේ ද බලයන් හි වශීභාවය ලබා ද ඒ පුද්ගල තෙමේ සම්‍යක් සම්බුද්ධ” නම් වේ. යනු එහි අදහසයි.

මේ අනුව පෙනී යන කාරණය වන්නේ ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ කරන ලද පාරමිතා කුසල බලයෙන් කිසිවෙකුගෙන් නොඅසා ඒ උතුම් ධර්මය උන්වහන්සේට අවබෝධ කළ හැකි වූ බවයි. කිසිදු අඩුවකින් තොරව දුක්ඛ සමුදය නිරෝධ මග්ග යන උතුම් සත්‍ය අවබෝධයත් එනිසාම සර්වඥතා ඤාණයත් ලබාගත් අතර ඒ සමඟම දසබල ඤාණ බලයද ලැබීමෙන් අනතුරුව ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ ආකාරය පෙළ දහමින් විස්තරකොට තිබේ.

බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය අනාවරණ ඥානය ලෙසින් ද හඳුන්වන අතර උන්වහන්සේට එම ඥානයෙන් ආවර්ජනය කෙරෙන සියල්ලම ඉතා පිරිසුදුව දැකිය හැකි වේ. මෙය ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාට පමණක් සීමා වූ ඥානයක් බව සඳහන් වේ. එසේම තථාගතයන් වහන්සේ දසබල ඤාණයකින් යුක්ත බව ද පෙළ දහම මගින් අනාවරණය කර ඇත.

පළමුවන තථාගත බලය (ස්ථානස්ථාන දන්නා නුවණ)

දෙවන තථාගත බලය (කාලත්‍රය වර්ති කර්ම සමාදානයන්ගේ විපාක දන්නා නුවණ)

තුන්වන තථාගත බලය (සර්වත්‍ර ගාමිණී ප්‍රතිපත්ති දන්නා නුවණ)

හතරවන තථාගත බලය (අනේකධාතු, නානාධාතු ලෝකදන්නා නුවණ)

පස්වන තථාගත බලය (සත්වයන්ගේ නානාධි මුක්තිකත්වය දන්නා නුවණ)

හයවන තථාගත බලය (සත්ත්වයන්ගේ ශ්‍රද්ධාදි ඉන්ද්‍රියන්හි දියුණු නොදියුණු බව දන්නා නුවණ)

හත්වන තථාගත බලය (ධ්‍යානාධීන්ගේ සංක්ලේෂාදිය දන්නා නුවණ)

අටවන තථාගත බලය (අතීත ජාතිය දන්නා නුවණ)

නවවන තථාගත බලය (සත්වයන්ගේ චුති උත්පත්ති දන්නා නුවණ)

දහවන තථාගත බලය (ආසවක්ඛය ඥානය)

මෙම ඥාන බලයන් හැරෙන්නට තථාගතයන් වහන්සේට ලොව අන් කිසිවෙකුටත් සමකළ නොහැකි කාය බලයක් තිබූ බව අපේ ධර්ම සාහිත්‍ය මඟින් අනාවරණය කර ඇත.

මෙහිදී අප විසින් ඔබේ අවධානයට ලක්කළ සම්මා සම්බුද්ධ බුදුගුණයට අදාළ වූ ඉහත කරුණු එකඟ සිතින් මෙනෙහි කිරීම ඔබේ සැදැහැ බැතියත් ගුණ නුවණත් වර්ධනය කර ගැනීමට හේතු වනවා ඇත. මෙම උතුම් බුදුගුණය මෙනෙහි කිරීම තුළින් ලබන මහා පින් බලයෙන් නිවන් සුව පසක් කර ගැනීමට අධිෂ්ඨානය කර ගනිමු.

පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමි
බුදුසරණ පුවත්පතෙනි via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook February 21, 2016 at 12:00PM

අපිට උගන්නලා තියෙන්නේ OL AL උපාධි විභාග පාස් කලහම සියලු දුක නැතිවී සියලු සැප ලැබෙනවා වගේ :p
නමුත් හොඳට මතක තියාගන්න සියලු සැපට හා දුකට හේතුවන සිත ගැන වූ විභාගය පාස් කලොත් විතරයි ඒ දුක් නැති අමරණීයත්වය අපට ලැබෙන්නේ. via Facebook Pages http://ift.tt/1GMS4Lf