Monthly Archives: March 2016

New photo from Facebook March 21, 2016 at 09:32PM

හෙට මැදින් පුර පසළොස්‌වක පොහොය දිනයයි.

මැදින් මහේ සඳ මෝරාගෙන එත්ම සැදැහැතියන්ගේ සිත්සතන් බුදු බැතියෙන් ඔදගැන්වෙන සිදුවීමක්‌ නිරායාසයෙන් ම සිහියට නැගෙයි. එනම් බුදුරදුන් විසිදහසක්‌ පමණ වූ භික්‌ෂු මහා සංඝයා වහන්සේ පිරිවරා ස්‌වකීය ජන්ම භූමිය වූ කිඹුල්වත්පුර නුවරට වැඩම කරවීම සඳහා ගමනාරම්භ කිරීමයි. වෙසක්‌ පොහෝ දිනයෙහි කිඹුල්වත්පුරයට සැපත්වීමේ අරමුණ ඇතිව මැදින් පොහෝදා ආරම්භ කළ මෙම ගමන නිසා සිදු වූ අනුස්‌මරණීය සිදුවීම් ගණනාවක්‌ ම තිබේ. ඒවා අතර ඥතීන්ගේ මානය බිඳහෙළීම, යමාමහ පෙළහර පැවැත්වීම, යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීමට අවශ්‍ය පියවර ගැනීම, කාන්තාවන් පළමු වරට බුදු සසුනේ පැවිදි වීමට අවසර ඉල්ලීම හා සුද්ධෝදන මහරජු මාර්ගඵල ලැබීම යනාදිය ප්‍රමුඛත්වය ගනියි.

මේ අනුව බුදුරදුන් ස්‌වකීය ඥති වර්ගයා වෙනුවෙන් ධර්ම දායාදය පිරිනැමීමේ අරමුණින් යුක්‌තව ඓතිහාසික ගමනක්‌ ඇරඹූ මංගල දිනයක්‌ ලෙස මැදින් පොහෝ දිනය නම් කළ හැකි ය. ඥති වර්ගයාට පමණක්‌ නොව රජගහනුවර සිට කිඹුල්වත්පුර නුවර දක්‌වා වූ සැට යොදුනක්‌ මග දෙපසට අයත් ගම්දනව්වල ජනතාවට ද ධර්ම දායාදය පිරිනැමීමේ ආරම්භක පියවර ද එයම විය.

පෙර ඇසළ පොහොය දිනෙක රාත්‍රි කාලයේ සිදුහත් කුමරු කිඹුල්වත්පුර නුවරින් නික්‌මුණු තැන් පටන් මහත් සේ කම්පාවට පත් සුද්ධෝදන මහරජු තම පුතු දැකබලා ගැනීමේ බලවත් ආශාවෙන් පසු විය. බුද්ධත්වයෙන් පසුව බිම්බිසාර රජුගේ පාලනය යටතේ පැවැති මගධ රාජ්‍යයේ වේළුවනාරාමය නම් වූ සුන්දර ආරාමයෙහි බුදුරදුන් වැඩවෙසෙන බව දත් පියරජු උන්වහන්සේට කිඹුල්වත් පුරයට වැඩමවන ලෙස ආරාධනා කරන මෙන් දන්වා ඇමැතියකු ප්‍රමුඛ දූත කණ්‌ඩායමක්‌ රජගහනුවර වේළුවනාරාමයට පිටත්කොට යෑවී ය. එම පිරිස එහි ගොස්‌ බුදුරදුන් වෙතින් බණ අසා පැහැදී පැවිදි වූ අතර රජුගේ ඉල්ලීම ඉටු නොකළහ. මෙසේ ඇමැතිවරු නවදෙනෙක්‌ සහිතව නව වාරයක්‌ ම දූත පිරිස්‌ පිටත්කොට යෑවූ නමුත් ඉන් එක ද පුද්ගලයෙක්‌ හෝ නැවත නොපැමිණිය හ. පෙර සේම සිදුවූයේ ඔවුන් බුද්ධශ්‍රාවකයන් බවට පත්වීම පමණෙකි. දස වැනි වාරයේ දී සිදුහත් කුමරු උපන් දිනයේ ම උපත ලැබූ කාළුදායි ඇමැතිවරයා දහසක දූත කණ්‌ඩායමක්‌ ද සමග රජගහනුවර වේළුවනාරාමයට පිටත්කර හැරීය. බුදුරදුන්ගෙන් ධර්මය අසා පැවිදිවීම සඳහා ද රජුගෙන් අවසරය ලබාගත් කාළුදායි සහපිරිවරින් යුක්‌තව කිඹුල්වත්පුර නුවර සිට රජගහනුවර වේළුවනාරාමයට ගියේ ඉමහත් සොම්නසිනි. එහිදී බුදුරදුන් හමු වූ කාළුදායි බණ අසා පැවිදිව රහත් ඵලය ද ලබා ගත්තේ ය.

ඉක්‌බිතිව කාළුදායි තෙරුන්ගේ පැවිද්දෙන් දින හත අටක්‌ ගතවිය. ඒ සමගම කාලගුණය ද බෙහෙවින් ම යහපත් වූ වසන්ත සමය උදාවිය. බුදුරදුන්ව සිය ජන්මභූමියට වැඩමකරවීම සඳහා මේ සුදුසුම කාලය බව කාළුදායි තෙරණුවෝ වටහා ගත්හ. එබැවින් බුදුරදුන් වෙත එළඹි කාළුදායි තෙරණුවෝ සිත්ඇදගන්නා සෞන්දර්ය වර්ණනාවකින් යුක්‌තව රජගහනුවර සිට කිඹුල්වතට යන සැට යොදුන් ගමන් මග වර්ණනා කළහ. මෙම මග වැණුමෙන් යුත් ආරාධනය පිළිගත් බුදුරදුන් විසිදහසකට අධික භික්‌ෂු පිරිස පිරිවරා ස්‌වකීය ජන්ම භූමිය බලා ගමනාරම්භ කළහ. සියොතුන්ගේ විවිධ නාදයන්ගෙන් සමන්විත මං මාවත් මැදින් දිය කඩිති, බඩවැටි අතරින් වැඩම කළ බුදුරදුන්ගේ මෙම අසිරිමත් ගමන මුළු ලොවම සනසාලන පරිසර පාද යාත්‍රාවක්‌ විය. මෙසේ දෙමසක්‌ පා ගමනින් වැඩම කළ බුදුරදුන් ප්‍රමුඛ සඟගණ වෙසක්‌ පොහෝදා කිඹුල්වත් පුරයට වැඩම කළහ.

අදවන් මැදින් පොහෝ දිනෙක ඇරඹුණු බුදුරදුන්ගේ කිඹුල්වත්පුර චාරිකාව ශාසනික වශයෙන් සුවිශේෂී සිද්ධි මාලාවක මූලාරම්භය විය. එබැවින් මැදින් පොහෝ දිනයේ වැදගත්කම මෙනෙහිකොට දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙමින් මෙම දිනය අනුස්‌මරණය කිරීමට සැවොම අදිටන් කරගත යුතුය.

ඌරුගමුවේ අස්‌සජී හිමි via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 21, 2016 at 12:00PM

එන්න අපි මරණානුස්සතිය වඩමු !!!

යම් කෙනෙක් මරණය ගැන, ජීවිතය ගැන, ලෝකය ගැන, උපත ගැන හදුනා ගන්නවානම් ඒ තැනැත්තාට අන් කෙනෙකුගේ මරණයකදී දුකක් පීඩාවක් ඇති නොවී මනස සමහන් කරගන්නටත් තමන්ගේ මරණයට නිදහස් මනසින් මුහුණ දෙන්නටත් එය ලොකු සවියක් වෙනවා.

(නොනිමෙන මරණයේ නොමියෙන අරුත් – පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමි) via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 21, 2016 at 09:29AM

වැසිකිලි වලක ජරාව ගොඩක්, ශල්‍යාගාරයක අපද්‍රව්‍ය ගොඩක් දැක්කොත් පිළිකුලෙන් ඒ දෙසවත් නොබලා නහයත් වහගෙන යයි නේද?
නමුත් ඒ ලේ මල මුත්‍ර මස් ගොඩ හොඳ හැඩයකට සකස් කරලා ඇඳුමක් අන්දලා ගත්තොත්?
පස්සෙනුත් යයි නේද? වැළද ගන්න, සිප ගන්න, කසාද බදින්න උනත් හිතෙයි නේද?
ඔබත් මේ වගේ මුලාවක නම් ඉන්නේ, කායානුපස්සනාව දසමයක් වත් වඩලා නැත්නම්, නිවන් දකින්න කලබල වෙන්න ඕනේ නැහැ. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 20, 2016 at 12:00PM

කය දුවවා වැඩක්‌ වේද
සිත නතර කරනු බැරිනම්

“අතහැරිම” 3 කොටස

ලොව්තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණු හතරක්‌ නොදැනීම අවිද්‍යාවය කියලා. මේ කරුණු හතර තමයි දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මාර්ගය. මෙන්න මේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා සත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණවලට අයත් මේ කය නිරෝගීභාවයට පත්කිරීම උදෙසා අප්‍රමාණ වෙහෙසක්‌ ගන්නවා. රටපුරා තිබෙන ක්‍රීඩාංගණ, කායවර්ධන මධ්‍යස්‌ථාන, ජනමාධ්‍යවල, ක්‍රීඩාගාර, මහපාරේ දෙපස ඇති තණතීරුවල පිංවත් නෝනා මහත්වරුන් දුවනවා, ඇවිදිනවා, ව්‍යායාම කරනවා ඔබ දකිනවා ඇති. කුමක්‌ සඳහාද?

ජාති, ජරා, ව්‍යාධි, මරණ වලක්‌වාගන්න. ලෝකයේ වේගයෙන්ම දුවන සතා තමයි චීටා. මේ සතුනුත් ළමා කාලයේදී මියයනවා, තරුණ කාලයේදී මියයනවා, මධ්‍යම වයසේදිත් මියයනවා. ජාති ජරා ව්‍යාධි මරණ වලට නිරතුරුවම පත්වෙනවා. ලෝකයේ වැඩිම ව්‍යයාම කරන සතා තමයි වඳුරා. එයා හැම නිමේශයකම අත්තෙන් අත්තට, ගහෙන් ගහට පනිමින් මහා ව්‍යායාමයක යෙදෙනවා. ඒ වඳුරොත් ළමා කාලයේදී, තරුණ කාලයේදී, මධ්‍යම වයසෙදි මැරෙනවා. නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට ලක්‌වෙනවා. මේ නිසා දිවීම තුළින්වත්, ව්‍යායාම තුළින්වත් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලක්‌වාගන්න බැහැ නේද? අපේ මේ දිවීම නතරකළ දවසටයි අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් අත්මිදෙන්නේ. කාගේ දිවීමද? රූපයට තන්හාවෙන් දුවන සිත, උපාදානයෙන් අල්ලාගන්නා සිත දිවීමෙන් නතරකළහොත් එතැනයි දුකේ කෙළවර.

මේ දිවීම තුළ, ව්‍යයාම තුළ කුමක්‌ද සැඟවිලා තියෙන්නේ. අවිද්‍යාවේ වේගයයි. ඔබ මේ දුවන්නේ තව තවත් අවිද්‍යාව දෙසටයි. ලෝකය දෙසටයි. දුක දෙසටයි. ඔබ මේ නිරෝගි කරන්න හදන්නේ ලෙඩට උරුම කයක්‌. ඔබ ඔය මස්‌පිඩු වලින් පුරවන්න හදන්නේ ලෙඩට උරුම රැළිවැටෙන කයක්‌. දිවීමෙන්, ව්‍යායාමය මඟින් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මේ කය මුදාගත්ත ලෝකයේ යමෙක්‌ සිටියාද? සිටිනවාද? නැහැමයි. මේ කය ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට තෝතැන්නක්‌මයි කියලා දැකලා, රූපයට ඇති ඡන්දරාගයෙන් මිදුන තැනැත්තන්මයි දුකෙන් අත්මිදුණේ. නමුත් පෘතග්ජන සත්වයා රූපයේ ආදිනවය, ආදීනවයක්‌ හැටියට නොදකින නිසා ඔහු ජාති, ජාරා, ව්‍යාධි, මරණ හමුවේ කම්පා වෙනවා. සලිත වෙනවා. බිය වෙනවා. මට ලස්‌සන අහිමිවෙයි, මගේ ලස්‌සන නැතිවෙයි, මගේ නිරෝගීකම නැතිවෙයි කියලා. ශරීරය කෙට්‌ටු කෙනා, ශරීරය මහත්කරගෙන සතුටු වෙනවා. ශරීරය මහතකෙනා ශරීරය කෙට්‌ටු කරගෙන සතුටු වෙනවා. ශරීරයේ මේදය වැඩි කෙනා, මේදය අඩුකරගෙන සතුටු වෙන්න හදනවා. විටමින් ඌනතාව හෙවත් ඒවා අඩුකෙනා විටමින් පාවිච්චි කරලා සතුටු වෙන්න හදනවා. මේ සියල්ල තුළ තිබෙන්නේ කුමක්‌ද?

වැඩිදෙය අඩුකර ගන්නවා. අඩුදෙය වැඩිකර ගන්නවා. කෙනෙක්‌ අඩුදෙය උපාදාන කරනකොට, තව කෙනෙක්‌ වැඩිදෙය උපාදානය කරගන්නවා. කොතැනද මෙහි සීමාව, කවුද මේ සීමාව තීරණය කරන්නේ. තීරකයා තමයි පෘතග්ජන සිත. අඩුවැඩි කරගනිමින් මරණය කියන සීමා ඉරට අපි සේන්දුවෙලා, අපි ඒ සීමා ඉර පසුකරන්නේ අතෘප්තියෙන්. මොකද ඉහත ස්‌වභාවයන්ට අප පත්වන්නේ මැරෙයි කියලා හිතලා නොවෙයි. මා තුළ නිරෝගීබව තිබෙනවාය, නිරෝගීබව තුළ මා ඉන්නවාය කියලා ඇති කරගත් උපාදානය නිසා, ඒ උපාදානය කරගත් දෙය බිඳවැටීමෙන් ඇතිවන අතෘප්තිය, මරණ භය, ගැටීම…..

මෙන්න මේ ගැටීමේදී ඔබේ පිහිටට ඔය ව්‍යායාමවත්, ශරීර ශක්‌තියවත්, විටමින් සිරප්වත් ඔබේ පිහිටට එන්නේ නැහැ. ඉහත සියල්ල ඔබට උරුමකර දුන්නේ දුකක්‌මයි. නමුත් ඔබ ජීවිත කාලය තුළදී පුqරුදු පුහුණු කළේ කාය ශක්‌තියේ, ව්‍යායාමයේ, නිත්‍යභාවය නම් ඔබේ මරණ මොහොතේදී එම සංඥාවන් ඔබට ඇතිවුනොත්, අවසාන කැමැත්ත – උපාදානය ඉහත ස්‌වභාවයන්ට ඇලීගියා නම්, ඔබේ මීළඟ උපත චීටාවෙකුගේ හෝ වැඳිරියකගේ කුසේ වීමටද පුළුවන්. මන්ද ඔබේ කැමැත්ත පරිදිම, ඔබ උපාදානය කරගත් පරිදිම සුවසේ දිවීමටත්, සුවසේ ව්‍යායාම කිරීමටත් ඔබට ලැබෙන නිසාය.

භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවන එක්‌තරා අවස්‌ථාවකදී මෙන්න මෙහෙම දර්ශනයක්‌ දැක්‌කා. ආකාශය තුළ, ඒ කියන්නේ මහපොළොවේ සිට මීටර 200 ක්‌ පමණ ඉහළ විසි දෙනෙකුගේ පමණ කණ්‌ඩායමක්‌, වැල්පාලම් ඔන්චිල්ලා වැනි උපකරණ මත ජිම්නාස්‌ටික්‌ වැනි ක්‍රීඩාවක නිරතවෙනවා. මේ අය කිසිම බියක්‌ නොමැතිව මීටර 200 ක්‌ පමණ ඉහළ සිට බොහොම රිද්මයානුකූලව බීමට පතිත වෙනවා. නැවත ඉහළට යනවා. මහා අන්තරාකාරී ක්‍රීඩාවක්‌ ඉතාමත් සුවසේ නොබියව කරනවා. ආකාශයේ දැමූ ලණු පාලමක්‌ වැනි දෙයක්‌ මත පිනුම්, කරණම් ගසනවා. මේ අය ප්‍රේත ලෝකයට සම්බන්ධ පිරිසක්‌ නොවේ. මනුෂ්‍ය ස්‌වභාවයේ හොඳ අඟ පසඟ සහිත සුදු පැහැති දිග සහ කොට කලිසම් වගේම ටී-ෂර්ට වලින් සැරසී සිටි පිරිසක්‌. භික්‍ෂුව හඳුනාගත්තේ මේ අය දේව ස්‌වභාවයේ පිරිසක්‌ හැටියටයි. ඒ අය පෙර මනුෂ්‍ය ජීවිතයේදී උපාදානය කරගත් ක්‍රීඩාව, ව්‍යායාමය මෙතැනදිත් උපාදානය කරගෙන. ඒවාට කැමති පිරිස ඒකරාශි වෙලා. හැබැයි මේ අය සශ්‍රික දේව පිරිසක්‌ නොවෙයි. ප්‍රේත ලෝකයට වඩා ටිකක්‌ ඉහළ ස්‌වභාවයේ දේව කොට්‌ඨාශයක්‌. මේ අය තුළ ආලෝකමත් බව, ප්‍රභාශ්වර බව තිබුණේ නැහැ. ගුප්ත ස්‌වභාවය ඒ අයගේ ස්‌වරූපයේ තිබුණා. ඔබ යමක්‌ උපාදාන කරගතතොත් එය මතුභවයටත් ඔබ අරගෙන යන හැටි පැහැදිලියි නේද? හේතුඵල ධර්මයන්ට අනුව විග්‍රහ කිරීමක්‌ පමණයි භික්‍ෂුව මෙහි සඳහන් කළේ. ඔබ වෙනදා වගේම දුවන්න, ව්‍යායාම කරන්න මගේ කය, මගේ ශක්‌තිය, මගේ නිරෝගීකම මගේ ලස්‌සන, පෞරුශත්වය, හැඩය නිත්‍යයි කියන දෘශ්ටීන්ට යට නොවී. ඉහත සියල්ල ඔබේ වසඟයේ පත්වාගැනීමට නොහැකිය යන අවබෝධය තුළ සිටිමින්…

නමුත් මෙය කරන්න ලේසි නැහැ. ඔබේ ඔය මාර සිත නිරතුරුවම මේවායේ නිත්‍යභාවය පැත්තටම ඔබව රැගෙන යනවා. අතීතයේ තිබූ මිත්‍යාදෘශ්ටික ශීල වෘතයන්ගෙන් එකක්‌ තමයි ශරීරයට දුක්‌ දීමෙන් සැප ලබාගැනීම කියන දෘශ්ටිය. නිගන්ඨයන් වැනි පිරිස්‌ ආසන ප්‍රතික්‍ෂෙප කොට, උල් සහිත ස්‌ථානවල ඇවිදිමින්, නිදාගනිමින් ශරීරයට දුක්‌ දුන්නා. කුමක්‌ උදෙසාද? සැප උදෙසා. අතීත කර්ම ගෙවීම උදෙසා. වර්තමානයේ ඔය දුවන ව්‍යායාම කරන අය දෙස බලපුවහම කෙනෙකුට සිතෙන්න පුළුවන් අතීතයේ නිගන්ඨ දෘශ්ටියේ නව ප්‍රවේශයක්‌ද මේ කියලත්. මොකද මේ අයත් අනාගත සැප උදෙසායි මේ දුක්‌ විඳින්නේ. ඔබ මේ දෙතිස්‌ කුණපය කුමන සංඥාවකින් නිත්‍යභාවයෙන් අල්ලාගත්තද ඒ තුළින් ඔබ විඳින්නේ දුකක්‌මය. ඔබ කොතරම් මහන්සිවී ශරීරයේ මස්‌පිඩු, පෙනුම ලස්‌සන කරගත්තද ඔබට සෙම්ප්‍රතිශ්‍යාවක්‌, උණක්‌, අසනීපයක්‌ හැදුනහොත් සතියක්‌ ව්‍යයාමයෙන් තොරවූ විට ශරීරය නැවතත් ‘ජොල් වීමට’ පටන් ගනී. හැඩය වෙනස්‌වී යයි. මොනතරම් දුවලා, ව්‍යායාම කරලා, නිරෝගීව තබාගත්තද හදිසියේ මඟුල් ගෙදරකට, උත්සවයකට, උත්සව කාලය පැමිණියහම ඔන්න නැවතත් සීනි, පිෂ්ඨය, මේදය වැඩිවෙලාය. ඔබ ජාති, ජරා, ව්‍යාධි, මරණ මොන පැත්තෙන් යටගැහුවද ඒවා දිය යට ඇති රබර් බෝලයක්‌ මෙන් ග්‍රහණයෙන් මිදුණු සැනින් නැවත මතුවී එයි.

මේවාට ප්‍රතිකාර කියන පිංවත් වෛද්‍යවරුන්, ව්‍යායාම කරවන මහත්වරුන් ඔබතුමන්ලාට වෛද්‍ය උපදෙස්‌, ව්‍යායාම උපදෙස්‌ දේවී. ඒ මහත්වරුන් ඔබලාට උපදෙස්‌ දෙන්නේ ඔවුන්ගේ කයත් ඉහත ස්‌වභාවයේම තිබියදීමය. ඔවුන්ද ඉහත ස්‌වභාවයෙන් මිදී නැත. ඔවුනට අසනීපයක්‌ වුවහොත් ඔවුන්ද තවත් වෛද්‍යවරයකු වෙතට ගොස්‌ ප්‍රතිකාර ගත යුතුය. එහෙත් මේ අසනීපයට හොඳම ප්‍රතිකාරය වදාළ උත්තමයා තමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ. මුලින්ම උන්වහන්සේ අනුනට බෙහෙත් කියන්නට පෙර තමන් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදුනාහ. උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට අනුදැන වදාලේ තුන් සිවුරත්, පාත්‍රයත්, උපරිමය ආහාර වේල් දෙකකින් යෑපීමත්ය. උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් නිතරම දේශනාකළ වදනක්‌ වූයේ දිනකට එක්‌ වේලක්‌ පමණක්‌ වැළඳීම ශරීරයට පුදුමාකාර සැහැල්ලුවක්‌ දනවන බවයි. ඔබ දිව සංවර කරගන්න. රසයට ඇති කැමැත්තෙන් මිදෙන්න. ආහාරයේ අශූභය වඩන්න. එවිට ආයාසයකින් තොරවම ඔබේ කය යම් ප්‍රමාණයකට නිරෝගී වේවි. ප්‍රසන්න වේවි. හැඩවේවී. රසයට ඇති ගිජුභාවය ඔබ අතහැරියොත් ඔබට යම් පමණකට රෝගීබව මගහැරේවී. අතහැරීම තුළ ඇති සැහැල්ලු සුවය අත්විඳීමට ඔබට හැකිවේවි.

ප්‍රඥාවන්ත පුද්ගලයා උත්සහගන්න ඕනේ දීර්ඝ කාලයක්‌ ආයුෂ විඳින්න නොවේ. හැකිතාක්‌ ඉක්‌මනින් මේ ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් මිදීමටය. නැවත උපතකින් මිදීමටය. එය අර්ථවත් කරගන්න බැරිනම් සසර කෙටිකර ගැනීමටය. මේ දෙකෙන් කොයික කරගත්තත් මා තුළ නිත්‍යවූ නිරෝගීබව, ලස්‌සන, හැඩය තිබෙනවාය කියන අවිද්‍යාවෙන් මිදෙන්න ඕනේ.

හැබැයි සමහරු මෙන්න මෙහෙමත් ප්‍රකාශ කරනවා. තමන් ව්‍යායාම කළත් අනිත්‍යය වඩමින් තමයි කරන්නේ කියලා. හැබැයි ඉතින් මේ ධර්මයත් මාර ධර්මයක්‌ම තමයි. හරියට දිව්‍යලෝක, මනුශ්‍ය ලෝක සැප කෙළවර නිවන් ප්‍රාර්ථනා කරන්න කියලා කියන මාර ධර්මය වගේ. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැප කෙළවර නිවන ගැන විශ්වාසයක්‌ තියන්න බෑ. මෙය ස්‌වභාවයන් දෙකක්‌. දිව්‍යලෝක, මනුශ්‍ය ලෝක කියන්නේ අල්ලා ගැනීමක්‌. නිවීම කියන්නේ අතහැරීමක්‌. අල්ලා ගැනීමක්‌ කෙළවර අතහැරීමක්‌ ගැන විශ්වාසය තැබීම නොවිය හැක්‌කක්‌. සංසාරය පුරාවට කල්ප කෝටි ගණනක්‌ අපිව මේ දුර ගමන ඇවිද්දුවේ ඔය මාර වදන් අපි අපේ කරගත් නිසා.

මේ දෙකෙන් එක ස්‌වභාවයකට අපි එන්න ඕනේ. එක්‌කෝ අල්ලා ගැනීම, එක්‌කෝ අතහැරීම.

පෘතග්ජනයා පුදුමාකාර කෑදරකමකිනුයි තමන් කැමති දෙය උපාදානය කරගන්නේ. මනුශ්‍යයා ජීවිතයේදී මුලින්ම උපාදානය කරගන්නේ මොකක්‌ද? තම මෑනියන්ගේ ගර්භාෂයයි. මව්කුසයේ ගර්භාෂයේ ඇතිවන ප්‍රතිසන්ධි චිත්තය ළදරුවෙක්‌ වශයෙන් කලල රූපය අල්ලාගෙන වැඩීමේදී මේ ළදරුවා ගර්භාෂය මගේය කියලා අල්ලා ගන්නවා. මේ ගර්භාෂය තුළ දරුවා මොනතරම් දුකක්‌ද විඳින්නේ. බැලුම් බෝලයක්‌ වගේ ආවරණයකට මැදිවෙලා, අතපය වකුටු කරගෙන සැරව, රුධිරය, මේදය, අසුචි, මුත්‍රා, බොකු බඩවැල්, වමනය, දිරවූ නොදිරවූ ආහාර…. මොනතරම් ජරා ගොඩක්‌ මැද්දෙද. මෑණියන්ගේ කුස තුළ ක්‍රියාත්මක වන වායෝ ධාතුවට හෙවත් වාතයට, තේජෝ ධාතුවට හෙවත් රස්‌නයට, ආපෝ ධාතුව හෙවත් දියර වර්ගවලින් පීඩනයට ලක්‌වෙමින්. මේ දරුවා වැඩෙන්නේ. මෙවැනි අවිචාරවත් පරිසරයක්‌ මැද මේ දරුවා ගර්භාෂයේ වැඩුණත් ඔහු අකමැත්තෙන් නෙවෙයි ගර්භාෂය තුළ සිටින්නේ. ඔහු දුකක්‌ හැටියට හිතලා නෙමෙයි ගර්භාෂය තූළ සිටින්නේ. මේ දරුවා ගර්භාෂය මගේ කියලා අල්ලාගෙනයි මෙහි පදිංචිවෙලා සිටින්නේ. තන්හාව නිසා හටගත් උපාදානයේ බලවත් බව නිසා බැසගත් තැන මගේ කියලා අල්ලා ගන්නවා. මගේ කරගන්නවා. සැපයක්‌ම හැටියට දකිනවා. මේ විදිහට නව මාසයක්‌ ඇවෑමෙන් මේ දරුවා ලෝකයට බිහිකරන්න මොන තරම් වෙහෙසක්‌ ගන්න වෙනවද? අම්මා, දරුවාව මේ උපාදානයෙන් ගලවාගන්න මොනතරම් අහිංසක වේදනාවක්‌ විඳිනවාද? මොන තරම් තටමන්න ඕනිද? ශක්‌තියක්‌ වැයකරන්න ඕනෙද? ඇයි මේ අම්මා මෙතරම් දුකක්‌ විඳින්නේ? දරුවා තමා උපාදානය කරගත්, මගේ කරගත් ගර්භාෂය අතහැරීමට ඇති අකමැත්ත නිසා. එය මගේ කර අල්ලාගෙන සිටින නිසා. මගේ තැනින් මිදීමට ඇති අකැමැත්ත නිසා. අවසානයේදී මවත් දරුවත් අතර සටනක්‌ තමයි සිද්ධවෙන්නේ. දරුවා ගර්භාෂය අල්ලාගෙන සිටීමට ප්‍රයත්න දරනවා. මව දරුවාව එලියට ගන්න ප්‍රයත්නය දරනවා. දරුවා තුළ ගර්භාෂ කුටියට ඇති උපාදනයත්, මවට දරුවා දැකීමට, අයිතිකර ගැනීමට ඇති උපාදානයත් අතර සටනින් ශක්‌තිය වැඩි මව දිනනවා. මවට මේ ශක්‌තිය නොමැතිනම් වෛද්‍යවරයා සැත්කමකින් බලහත්කාරයෙන් දරුවා එලියට ගන්නවා. දරුවා මව්කුස ගර්භාෂ කුටිය උපාදාන කරගෙන එහි රැඳෙන්නට හදනවා. අම්මා ‘මගේ දරුවාය’ යන උපාදානයෙන් දරුවාව දෝතට ගන්න අයිති කරගන්න හදනවා. වෛද්‍යවරයා තම වෘත්තිය උපාදාන කරගෙන දරුවා සැත්කමකින් එලියට ගන්නවා. හෙදිය තම වෘත්aතිය උපාදනය කරගෙන දරුවා උපද්‍රව රහිතව ලෝකයට ගන්නට උපකාර කරනවා. මේ සතර දෙනා තුළම ක්‍රියාත්මකවන්නේ උපාදානයමයි. තම තමන් කැමැත්තෙන් අල්ලාගත් දෙය තමයි මේ සැපයක්‌ හැටියට දකින්නේ.

දරුවා මේ විදිහට ලෝකයට බිහිවෙනකොට බෙරිහන් දීගෙන, හඬාගෙන තමයි බිහිවෙන්නේ. මොකක්‌ද මේ කෑගැසීම, හැŽම. මගේ තැන, නව මාසයක්‌ මා පදිංචිවී සිටි තැන මට අහිමිවුනාය, අහිමි කළාය යන වේදනාවෙන්, බයෙන්, අසරණ භාවයෙන් තමයි ඔය කෑගහන්නේ. තමාගේ අකැමැත්තෙන් අම්මා සහ වෛද්‍යවරයා එකතුවී උදුරාගත් නිසා තමයි ඔය කෑගසන්නේ. විරෝධය දක්‌වන්නේ. මගේ තැන අහිමිවුනාය කියලා දරුවා කෑගහනකොට ඒ හඬ අහලා අම්මාට සතුටුසිනා පහළ වෙනවා. සතුටු කඳුළු සලනවා. මට දරුවා ලැබුණා කියලා.

අහිමිවීම නිසා දුකත්, ලැබීම තුළ සතුටත් තමයි දෙදෙනාම විඳින්නේ. හැබැයි මේ විඳීමේ ස්‌වභාවයන් මොහොතකින් අනිත්‍යභාවයට පත්වෙනවා. මේ දරුවා ගර්භාෂයේ උපාදානයෙන් මිදිලා ලෝකයට බිහිවුනාට පස්‌සේ මොකද වෙන්නේ. අම්මාගේ උණුසුම, අම්මාගේ පියයුරු උපාදානය කරගන්නවා. ඔන්න දැන් හිටපු තැනට වඩා මෙතන සැප හැටියට දරුවා අල්ලා ගන්නවා. මව් උණුසුමත්, පියයුරුත් මගේ තැන හැටියට උපාදානය කරගෙන ඒ දෙක මගේ කියලා ආශ්වාදය කරනවා. ඔන්න දැන් මවගේ උණුසුමෙන්, මවගේ පියයුරුවලින් දරුවා ඉවත් කරන්න හැදුවොත් දරුවා කෑගසනවා. විරෝධය දක්‌වනවා. මෙන්න බලන්න දැන් මව් උණුසුමත්, පියයුරුත් උපාදාන කරගන්න ස්‌වභාවය. ගර්භාෂයේ විඳීම අනිත්‍යභාවයට පත්වුනා. තවත් විඳීමක්‌ අල්ලා ගත්තා. මේ විඳීමේ ස්‌වභාවය අනිත්‍යභාවයට පත්වෙමින් ක්‍රමයෙන් තාත්තාව, තොටිල්ල, ළදරු පාසල, පාසල, විශ්වවිද්‍යාලය, රැකියාව, නිවස, බිරිඳ, දරුවා, මුණුපුරා ආදී වශයෙන් එකක්‌ අතහැරෙද්දී තව රූපයක්‌ සැපයි කියලා ක්‍රමානුකූලව මගේ කරගන්නවා.

(මෙහිදී පළවන්නේ මෙම ලිපියේ පළමු අර්ධයයි.)

උපුටා ගැනීම – දිවයින ඉරිදා සංග්‍රහය – ඉන්ද්‍රජිත් සුබසිංහ via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 20, 2016 at 09:09AM

මල්ලිකා සූත්‍රය -> http://ift.tt/1Wzp9x2

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි පසේනදි කොසොල් රජ මල්ලිකා දේවිය සමග ප්‍රාසාදයෙහි මතුමහලට නැග සිටියේ වෙයි. එවිට කොසොල් රජ, ’’ මල්ලිකාවෙනි, තමන්ට වඩා ප්‍රියකරන අන් කිසිවෙක් ලොව ඇත්තේදැ?’’යි මල්ලිකා දේවියගෙන් ඇසීය.
’’ මහරජ, මටනම් තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ලොවම නැත. ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් සිටීදැ’’ යි ඇසීය.
’’ මල්ලිකාවෙනි, මටත් තමන්ට වඩා ප්‍රියවූ අනිකෙක් නැතැ’’ යි රජතෙම කීයේය.
ඉන්පසු කොසොල් රජ පහයෙන් බැස, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක උන්නේය. එකත්පස්ව හිඳ මෙය කීයේය.
’’ස්වාමීනි, මම මල්ලිකා දේවිය සමග පහයේ මතු මහලේ සිටියෙමි. ’මල්ලිකාවෙනි, ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවක් ඇත්තේදැ’ යි ඇසීමි. මෙසේ අසනු ලැබූ මල්ලිකා දේවී තොමෝ, ’මහරජ, මට තමන්ට වඩා ප්‍රිය අන් කිසිවෙක් නැත, ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ඇත්තේදැ’ යි ඇසුවාය. ස්වාමීනි, මෙසේ අසනු ලැබූ මම, ’මල්ලිකාවෙනි, තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් මටත් නැත්තේය’ යි මල්ලිකා දේවියට කීයෙමි’’ යි කීයේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන, එවේලෙහි මේ ගාථාව වදාළේය.
’’ ලොව හැම දිසාවන්ම සෝදිසිකර බැලුවේ වී නමුත් තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ලොවම හමු නොවන්නේය. අනුන්ටද වෙන් වශයෙන් මෙසේ තමාම ප්‍රිය වෙයි. එහෙයින් තමන්ට හිත කැමති තැනැත්තේ අනුන්ට හිංසා නොකරන්නේය.’’

Niyama Mithuraa (The Friend)

You can search throughout the entire universe for someone who is more deserving of your love and affection than you are yourself, and that person is not to be found anywhere. You, yourself, as much as anybody in the entire universe, deserve your love and affection. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 19, 2016 at 12:00PM

සිළුමිණි මහා සෑය

තව්තිසා දෙව්ලොව ඇති සිළුමිණි මහා සෑයෙහි අප මහා බෝසතානන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාට අමතරව බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා නමක් වැඩ සිටිනවා.
ඔබ කොහේ සිටියත් සිළුමිණි සෑය තුල වැඩ සිටින ඒ ධාතුන් වහන්සේලා සිහි කරමින් ඔබටත් වන්දනා කරන්න පුළුවන්.

උයන් කෙළිය හැර සිළුමිණි සෑය වඳින්නට ගිය සක් දෙවිදුන්

සිළුමිණි සෑය ගැන සඳහන් වන ඉතාමත්ම ලස්සන සිදුවීමක් විමාන වාත්ථු නම් කොටසෙහි සඳහන් වෙලා තියනවා.
දෙවියන් මාතලී නැමැති රථාචාර්ය වරයා සමග උයන් කෙළියට විනෝද වීම පිණිස යන අතරතුර තව්තිසා දෙව්ලොව පහළ වී තිබුණු ඉතා සැපයෙන් යුතු දිව්‍ය විමානයක් දැක ඒ විමානය තුල දිව්‍යාංගනාවන් පිරිවරාගෙන ඉතා දීප්තිමත් ශරීරයකින් යුතුව සිටි දෙවඟනක් දැක කුමන ආකාරයේ පින් කමක් නිසා තව්තිසා දෙව්ලොව ඉපදුනාදැයි අසා දැනගැනීමට සිතුවිල්ලක් ඇතිවුනා.

ඒ විමානය අසල දිව්‍ය රථය නවත්තලා දෙවියන්ට අධිපති වූ සක්‍ර දෙවියන් ඒ දිව්‍යාන්ගනාවගෙන් අහනවා , ” පින්වත් දෙව්දුව, ඔබේ ශරීරය රන්වන් පාටින් බැබලෙනවා. පැළඳගෙන සිටින ආභරණත්, දිව්‍යමය සළුපිලිත්, රත්‍රන් පාටින් බැබලෙනවා. ඔබේ දිව්‍යමය මන්දිරය පවා රනින් මැවී තිබෙනවා.පින්වත් දෙව්දුව මෙබදු සැප සම්පත් ඇතිව තව්තිසා දෙව්ලොව ඉපදුනේ කුමන ආකාරයේ පින්කමක් කරලාද ? ” කියල.

සක්‍ර දෙවියන්ට පිළිතුරු දුන් ඒ දෙව්දුව කියා සිටියේ,” දෙවියන්ට අධිපති වූ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්ස,මම රජගහ නුවර ඉපදිලා හිටපු දිළිඳු ස්ත්‍රියක්. මහා කාරුණික බුදුරජානන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු ශ්‍රී දේහයේ ඉතිරි සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් මගධ රාජ්‍යයේ අජාසත්ත මහා රජතුමාටත් ලැබුනා. අජාසත්ත රජතුමන් ඒ සර්වඥ ධාතු තැන්පත් කරලා රජගහ නුවර මහා ස්ථුපයක් තනා ජීවමාන බුදුරජාණන් වහන්සේට පුද පුජාවන් පවත්වන පරිද්දෙන්ම පුද සත්කාර කළා.
දවසක් මම උදෑසනින්ම නැගිට මුහුණ කට සෝදාගෙන බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් ඒ ස්ථුපය වන්දනා කලයුතුයි කියල මහත් ශ්‍රද්දවකින් යුතුව වැටකොළු මල් හතරක් කඩාගෙන සර්වඥ ධාතු තැන්පත් ඒ ස්ථුපය වන්දනා කරන්න ගියා. ඒ යන අතට අතර අලුත පැටවකු වැදු ගවදෙනක් වේගයෙන් දුවගෙන් ඇවිත් අං දෙකෙන් ඇනගෙන ගියා.ඒ ගවදෙන ඇනීම නිසා මම එදා මරණයට පත්වෙලා තව්තිසා දෙව්ලොව බොහෝ දිව්‍ය සස්ත්‍රීන් මැද විමානයේ පහල වුනා.”
” සක් දෙවිදුනි , බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු තැන්පත් චෛත්‍යට මල් පුජා කිරීමට පෙර අතරමගදිමයි ඒ ගවදෙන ඇනල මගේ මරණය සිදු වුනේ.බුදුරාජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගෙන ඒ චෛත්‍යට මල් පුජා කිරීමට ලැබුනා නම් ඒකාන්තයෙන්ම මට මීටත් වඩා ඉහල සැප සම්පත් ඇති දිව්‍ය විමානයක් පහළවීමේ හැකියාව තිබුනා.” යනුවෙන් ඒ දිව්‍යාංගනාව සක්‍ර දෙවියන් හට තමන් මිනිස්ලොව සිටිද්දී කරපු ගැන සිහිපත් කළා.

එය ඇසු සක්‍ර දෙවියන් ඉමහත් සතුටට වී සාධුකාර දී මාතලී රථාචාර්ය දෙසට හැරී මෙහෙම කියනවා. ” මාතලී , ඔබ මේ දෙව්දුවගේ කථාව අහගෙන හිටියද ? මේ දෙව්දුව පුජාකිරීම පිණිස වැටකොළු මල් හතරක් පමණයි. එහෙත් ඇගේ සිත තුල තිබුණු ශ්‍රද්දාව නිසා ඇය කරගත් විශාලයි.”
“මාතලී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගතහොත් එයින් ලැබෙන පින ප්‍රමාණ කල නොහැකි තරම්ම විශාලයි. අපි දැන් උයන් කෙළියට ගොස් විනෝද වීමෙන් පාලක් නෑ. තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාව වන්දනා කරන්න අපිත් යමු. ශ්‍රද්ධා ගෞරවයෙන් යුතුව නැවත නැවතත් වන්දනා කිරීම තුලින් අප්‍රමාන පින් රැස් කර ගත හැකී. ” කියූ සක්‍ර දෙවියන් මාතලී ලවා තම දිවය රථය සිළුමිණි සෑය දෙසට හරවා සිළුමිණි සෑය වෙත ගොස් මහා බෝසතානන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා සහ බුදුරජාණන් දළදා වහන්සේ තැන්පත් සිළුමිණි සෑය වන්දනා කළා.

සක්‍ර දෙවියන් විසින් ජීවමාන බුදුරජාණන් වහන්සේට පුද පුජාවන් පවත්වන පරිද්දෙන් සතක්ම සිළුමිණි සෑයට මහත් වූ පුද සත්කාර කරමින් බොහෝ පින් රැස් කර ගත්තා

මලියදේව හිමියන් සමගින් සිළුමිණි සෑය වඳින්නට ගිය උපාසක

ඔබ අසා ඇති මලියදේව නමින් මහරහතන් වහන්සේ ලංකාවේ වැඩ සිටිය කියලා.දිනක් මලියදේව මහා වහන්සේට ඉතා වේදනාකාරි වූ බඩේ අමාරුවක් ඇතිවුන. එන්න එන්නම වේදනාව වැඩිවුනා. බෙහෙත් වර්ග එකොළහක් යොදා බෙහෙත් කැඳක් සකසා ගෙන රෝගය යටපත් මලියදේව රහතන් වහන්සේ සිටියා.
මෙවැනි බෙහෙත් කැඳක් මා සකසා ගන්නී කෙසේදැයි දිවැසින් විට භික්ෂු සංඝයා කෙර්ර්හි බොහෝ ශ්‍රද්දාවෙන් ඇප උපස්ථාන කරන සුළුගුළු නම් උපාසක තුමකුව දුටුවා.එදා රාත්‍රී කාලයෙහි සමාපත්ති සුවයෙන් වේදනාව ඉවසා දරා සිටි මලියදේව මහරහතන් වහන්සේ පසුදා උදැසනම විහාරයේ කලයුතු වතාවත් කොට පා සිවුරු ගෙන අහසට පැන නැගී සුළුගුළු උපාසකතුමා සිටි ගමට වැඩමකොට ගෙපිළිවෙලින් පිඬුසිගා ගොස් සුළුගුළු උපාසකතුමා සිටි ශාලාවට වැඩම කළා.”

මලියදෙව මහරහතන් වහන්සේ වැඩම කරනු දුටු සුළුගුළු උපාසකතුමා ඉමහත් සතුටු යුතුව ආසනයක් පනවා උන්වහන්සේ සමග කතා බස් කළා.මලියදේව මහා රහතන් වහන්සේගේ ස්වරුපයෙන්ම උන්වහන්සේ ගිලන් වී සිටින බව වටහාගත් උපාසකතුමා “ස්වාමිනි , ඔබවහන්සේගේ ශරීරය තුල කිසියම් අසනීපයක් තියෙනවාද?” කියා ඇසුවා.මලියදේව මහරතන් වහන්සේ තමන් වහන්සේගේ බඩේ අමාරුව පිළිබද සුළුගුළු උපාසකතුමාට පැවසුවා.

ඒ මොහොතේම සුළුගුළු උපාසකතුමා ” සවාමිනි මෙවැනි බඩේ අමාරුවකට බෙහෙත් වර්ග එකොළහකින් සකස් කරන ඖෂදීය වූ කැඳක් තිබෙනවා.මම ඒ කරන තුරු ඔබ වහන්සේ මදක් වැඩ සිටින්න” පවසා සුළුගුළු උපාසක තුමා ඉක්මනින්ම බෙහෙත් කැඳ සෑදීමට අවශ්‍ය දේවල් රැගෙන විත් කැඳ මුට්ටිය තබා කැඳ මලියදේව මහා රහතන් වහන්සේ සමග කතා බස් කරමින් සිටියා.

මහා ඉර්ධිමය හැකියාවක් ඇති මලියදේව මහරහතන් වහන්සේ සුළුගුළු උපාසකතුමාගේ පුණ්‍ය මහිමය දෙස බලා ඔහු මරණින් පසු දෙව්ලොව ඉපදෙන අයෙකු බව දැන “පින්වත් උපාසකය, බෙහෙත් කැඳ පිසෙන තුරු තව්තිසා දෙව්ලොවට ගොස් මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාත් , බුදුරජාණන්වහන්සේගේ දකුණු දළඳා වහන්සේත් වැඩ සිටින සිළුමිණි මහා සෑය වන්දනා කිරීමට කැමතිදැයි ” උපාසකතුමාගෙන් ඇසුවා.

“ස්වාමිනි සිළුමිණි මහාසෑය වන්දනා කිරීමට මම කැමතියි.නමුත් මට අහසින් ඉර්ධිමය හැකියාවක් න නැහැ.ඒ නිසා සිළුමිණි සෑය වඳින්න මම වගේ කෙනෙකුට තව්තිසා දිව්‍යලොකෙට යාගත නොහැකියි.” කියා පැවසුවා.

“පින්වත් උපාසකය ඔබ සිළුමිණි සෑය වන්දනා කිරීමට කැමතිනං ,මාගේ ඉර්ධි බලයෙන් මා ගන්නම් ” පවසා මලියදේව මහරහතන් වහන්සේ ” මේ උපාසකතුමත් මා සමග අහසින් පැමිනෙත්වා.” යයි වාඩිවීමට පත්කඩය අධිෂ්ටාන කොට අතට දී අහසට පැන නැගී ඉතා සුලු මොහොතකින් සුළුගුළු උපාසකතුමාද සමග තව්තිසා දෙව්ලොව සිළුමිණි මහා සෑය වෙත වැඩම කළා.

මේ සිදුවීම සද්ධර්මාලංකාරය ග්‍රන්ථයේත්, රසවාහිණි නම් ග්‍රන්තයේත් සඳහන් වෙලා තිබෙනවා. තව්තිසා දෙව්ලොවදී සිළුමිණි මහා සෑය වන්දනා කිරීමට පැමිණි දෙවිවරුන් සමග සුළුගුළු උපාසකතුමත්,මලියදේව මහා රහතන් වහන්සේත් කතාබස් කල ආකාරයත් සිළුමිණි මහා සෑය වන්දනා කිරීමට පැමිණි මෛත්‍රී බෝසතාණන් වහන්සේ සුළුගුළු උපාසකතුමා හට “උපාසකය නොවී තවත් කුසල් දහම් රැස් කරන්න” යයි පවසා අගනා දිව්‍ය සලු දෙකක් ලබා දුන් බවත් , සඳහන් වෙලා තිබෙනවා.

එවැනි කතා තුලින් අපට පෙනෙන කාරණයක් තමයි ඉර්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලා තව්තිසා දෙව්ලොවට වැඩම කොට සසිළුමිණි මහා සෑය වන්දනා කිරීම අතීතයේදී නිරන්තරවම සිදු වුනාය කියලා.

ඔබ සිටියත් සිළුමිණි සය වැඩ සිටින පුජනීය ධාතුන් වහන්සේලා සිහි කරමින් ඔබටත් වන්දනා කරන්න පුළුවන්. සිළුමිණි සෑය තුල තැන්පත්ව ඇති අප මහා බෝසතානන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාටත් , බුදුරජාණන් වහන්සේගේ දකුණු දළඳා වහන්සේටත් මම නමස්කාර කරමි. නමස්කාර වේවා!!! කියල via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 19, 2016 at 09:18AM

අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නා හිමියෝ

බුරුමයේ මෝබින් නගරය අසල කුඩා පැල්පතෙක බුරුම අගමැති ඌනු මහතා දෙසතියක්ම විපස්සනා භාවනාවේ යෙදුණේය. භාවනාවෙන් නැඟි සිටි එතුමාට රැන්ගුන්හි මහා ශාලාවේ පැවැත්වෙන ධර්ම දේශනාවක් ගැන අසන්නට ලැබී ඔහු එතැනට ගියේ ය.

මහා ශාලාව එකම හිස් ගොඩකි. ඉ‍ඩක් ඇති තැනක් බලා, බිම එළූ පලසක් මත හිඳගත් ඔහු බණ අසන්නට විය.

වියත් බුරුම බසින්, එහෙත් ඉතා සරලව, අභිධර්මය පිළිබඳව පැවැත්වෙන දෙසුමකි. වේලාව ගතවනු නොදැනිණ. තුන් පැයක් ම ගෙවිණ.

කවුද මේ හිමියෝ? මේ මා නොදන්නා වනවාසයක සිට වැඩම කළ බුරුම මහ තෙරනමක් විය යුතුයි. ඔහු බණ අවසන් වූ පසු අසල සිටි ඇමතියකුගෙන් විමසීය.

“ඔය ලංකාවෙන් වැඩම කළ හාමුදුරුනමක්…”

අගමැති තුමා උන්වහන්සේ ගේ පාමුල වැටී වැඳ නමස්කාර කොට මෙසේ කීය.

“මේ තරම් හොඳින්, අපේ බසින් අභිධර්මය දේශනා කළ ආකාරය හරිම අගෙයි. ස්වාමීනි, හෙට දවල් දානයට අපේ නිවසට වැඩම කළ මැනවි.”

හිමියෝ ඇරියුම පිළිගත්හ.

බුරුම බසින් දහම් දෙසා අගමැති පමණක් නොව, මුළු බුරුමයම සිය වසඟයට ගත් මේ සිංහල ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පසු කලෙක බුරුමයේ උසස්ම සම්මානය වූ අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලැබු ආසියාවේ, යුරෝපයේ බුදු දහම පතුරුවා ලීමේ මහ මෙහෙයේ යෙදුණු සිංහල, පාළි, බුරුම සහ ඉංග්‍රීසි යන සිව් බසින්ම ධර්ම ප්‍රචාරයේ යෙදුණු, ඒ සිව් බසින් ම ධර්ම ලේඛනයේ ද යෙදුණු අම්බලම්ගොඩ පොල්වත්තේ අග්ගාරාමාධිපති අති පූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත මහ නා හිමියෝ යි.
* * *
1887 ජූලි 23 වැනිදා අම්බලම්ගොඩ පොල්වත්තේ දී ඒ දරුවා උපන්නේ ය.

වඩු කාර්මිකයකු වූ ඔහුගේ පියා ඕබඩගේ ලුවිස් සිල්වා මහතා ය. මව තුයියාගම්හේවා සාංචිහාමි මහත්මියයි. මේ දරුවාට අයියලා හතර දෙනෙකි. ඔහු පොල්වත්තේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ ශිෂ්‍යයෙක් විය. ඔහු පාඨශාලාවේ තුන්වන පන්තියේ සිටියදීය ඔහුගේ මව මිය ගියේ. පස්වැනි පන්තිය සමත් වූ පසු අම්බලම්ගොඩ ඉංග්‍රීසි පාඨශාලාවට ඔහු ඇතුළු කැරිණ. පසු කලෙක ධර්මාශෝක විද්‍යාලය වූයේ එයයි.

මේ දරුවා ගේ සිතේ පැවිදි බිමට ඇල්මක් තිබිණ. පියා ද ඒ ඇල්මට ඉඩ දුනි. අම්බලම්ගොඩ අග්ගාරාමයේ ශ්‍රී ධර්මාධාර රාජගුරු මහා ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයකු වශයෙන් මේ දරුවා 1899 නොවැම්බර් 02 වැනිදා පොල්වත්තේ බුද්ධදත්ත නමින් පැවිදි බිමට පත්වූයේය.

ලෝ පතළ ධර්ම දේශකයකු වූ ධර්මාධාර හිමියන්ගේ ජීවිතයෙන් අඩක් ම ගෙවුණේ විදෙස් රටවල ය. අනගාරික ධර්මපාල තුමා ඉන්දියාවට යන විට ද මේ හිමියෝ ඒ රටෙහි දහම් දෙසමින් වැඩ සිටියහ. පසුව ධර්මපාල තුමා සමඟ එක්ව ඉන්දියාවේ පාළි භාෂාව පැතිරවීමට කටයුතු කළහ. තාගෝර් කිවියාණන්ගේ ශාන්ති නිකේතනයේ පාළි සහ බෞද්ධ න්‍යාය පිළිබඳ කථිකාචාර්ය තනතුරක් ද දැරූහ. උන්වහන්සේට තාගෝර් තුමාගෙන් ‘ශ්‍රී සද්ධර්මවාගීෂ’ යන සම්මානය ලැබිණ. කල්කටා විශ්ව විද්‍යාලයේ සංස්කෘත මහාචාර්ය විධුශේඛර භට්ටාචාර්ය තුමා ධර්මාධාර හිමියන්ගේ ශිෂ්‍යයෙකි. බුරුම, කාම්බෝජ රටවල පාලකයෝ ද මේ හිමියන්ගේ හිතවත්තු ය. කිසිදු විවේකයක් නොදෙමින් උන්වහන්සේ සිය ශිෂ්‍යයාට පොල්වත්තේ බුද්ධදත්ත පොඩි හාමුදුරුවන්ට ධර්ම, ශාස්ත්‍ර, භාෂා දැනුම ලබා දුන්හ. පසළොස් හැවිරිදි වන විට බුද්ධදත්ත පොඩි හාමුදුරුවන්ට පාළි වරනැඟිල්ල, බාලාවතාරය, ධාතු මඤ්ජුසාව, පාළි නිඝණ්ඩුව, ධම්මපදය, සතිපට්ඨාන සූත්‍රය, වුත්තෝදය, අභිධම්මත්ථසංග්‍රහය, අභිධම්මමානිකා යන පොත් මුළුමනින්ම කට පාඩමින් කිව හැකි විය. ධම්මපදට්ඨකතා, මහාබෝධිවංශ, රසවාහිනී, අත්තනගලුවංශ, බාලාවතාර, වුන්නෝදය, යන පොත්වලට අර්ථ කියා පාළි භාෂාව කියවා වටහා ගැනීමේ ශක්තිය උන්වහන්සේට තිබිණ. සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ග්‍රන්ථ ද කියවා රස විඳීමට උන්වහන්සේට හැකි විය.

1903 දී, වයස අවුරුදු 15 දී අපේ පොඩි හාමුදුරුවෝ සිය ආචාර්ය පාදයන් සමඟ බුරුමයට වැඩියහ.

සංල්වින් ගඟ බඩ කොන්හන් මහා විහාරාධිපති සාගරඥාන නා හිමියන්ගේ ශිෂ්‍යයකු බවට පත් වූ අපේ පොඩි හාමුදුරුවෝ බුරුම බස සහ අභිධර්මය උන්වහන්සේගෙන් උගත් හ.

අවුරුද්ද අවසානයේ කට පාඩම් විභාගයක් තිබිණ. ඌනා ඖ නමැති බෞද්ධ සිටුවරයා දක්ෂතාවට තෑගි දුන්නේය. අභිධර්මාර්ථ සංග්‍රහයේ එක පරිච්ඡේදයක් කට පාඩම් දුන් විට ඒ මහතා රුපියල් 18 ක් දෙයි. කච්චායනය මුළුමනින්ම පාඩම් දුන් විට රුපියල් 50 කි. බුද්ධදත්ත පොඩි හාමුදුරුවෝ පොත් රැසක් කට පාඩම් දී රිදී රුපියල් 150 ක් ලැබූහ.

බුරුම අකුරෙන් ලියූ පුස්කොළ ජාතක පොත සහ අටුවාව සම්පූර්ණයෙන් කියැවීමට අප හිමියනට හැකි විය.

දෙවසරක් බුරුමයේ සිටි උන්වහන්සේ සිය ගුරු හිමියන් සමඟ ආපසු ලංකාවට වැඩම කළහ. බුරුම බසින් ලියැවුණු ත්‍රිපිටකය උන්වහන්සේට චීන උපාසකයන්ගෙන් තිළිණ ලැබිණ.
* * *
පොතක් ලියන්නැයි අප හිමියනට ගුරු හිමියෝ කීහ. 1905 දී අප හිමියෝ බුරුම සන්නය අනුව “අභිධර්ම මාතෘකා ස්වරූපය” නමින් සිංහලයෙන් පොතක් ලියූහ. 1962 වන විට උන්වහන්සේ ලියු පොත් ප්‍රමාණය 87 ක් විය. ඒ සිංහල, පාළි, බුරුම සහ ඉංග්‍රීසි බසිනි.

මුල් පොත ලියැවුණු වසරේ ම එතුමා ගේ පියා මිය ගියේ ය. 1906 දී යළි බුරුමයට වැඩම කළ අප හිමියෝ 1907 දී උපසම්පදාව ලැබූහ. ඒ සඳහා උපාධ්‍යායන් වහන්සේ වූයේ සාගර ඤාණ හිමි ය. බුරුම අර්ථ සහිතව පාළි නිගණ්ඩුව අප හිමියන් අතින් සැකැසිණ. එය බුරුම අධ්‍යයන මණ්ඩලයේ පිළිගැනීමට ලක්ව රට පුරා ම බෙදා හැරිණ. ඒ සමඟ ‘පාළි පාසප්පවේසිනී’ නමින් තවත් පොතක් බුරුමයන්ට පාළි ඉගෙනීම සඳහා ලියා පළ කළහ. ඉංග්‍රීසියෙන් පළවී තිබුණු පාළි පාඩම් පොත, රසවාහිනී, මහ පිරිත් පොත, විමුක්ති සංග්‍රහය, බුරුම බසට නඟන්නැයි බුරුම රජය කළ ඉල්ලීම ද අප හිමියෝ ඉටු කළහ.
* * *
“අභිධර්ම මාතෘකා ස්වරූපය” නමින් අප හිමියන් ලියු මුල් ම කෘතිය ලක්මිණි පහන කතුවරයා නිර්දය ලෙස විචාරයට හසුකොට 1911 ජුනි 17 වැනිදා සිය පුවත්පතේ ලිපියක් පළ කෙළේය.

“ඕං තව අභිධර්ම රුසියෙක්” යන මැයෙන් පළ කැරුණු ඒ ලිපිය උන්වහන්සේ සමච්චලයට ලක් කිරීමකි. අප හිමියෝ ‘දිනකර ප්‍රකාශය පුවත්පතේ පිළිතුරු ලිපියක් පළ කළහ. වාදය ඇවිළිණ.

දිවයිනේ සිටි ඉහළතම අභිධර්ම උගතා ලෙස පිළිගැනුණු ලක්මිණි පහන කතුවරයා සමඟ ගැටෙමින් දැක්වූ අදහස් නිසා පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ට උගතුන්ගේ අවධානය, සැලැකිල්ල යොමු විය.
* * *
එංගලන්තයේ පාළි පොත් සමිතියේ සභාපති මහාචාර්ය ටී. ඩබ්ලිව්. රීස් ඩේවිඩ්ස් මහතා බුද්ධදත්ත හිමියන් පාළියෙන් ලියු පොත් කියවා උන්වහන්සේට සමීප විය. අටුවා විස්තර රාශියක් ඉංග්‍රීසියට පෙරළා දෙන්නැයි එතුමා අප හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

පාළි ගාථා 1855 කින් යුතු බුද්ධදත්තාචාර්යයන්ගේ නාමරූප පරිච්ඡේදය අප හිමි අතින් ඉංග්‍රීසියට නැඟිණ. එය එංගලන්ත පාළි පොත් සමාගම මුද්‍රණය කොට පළ කෙළේය. ඉන්පසු පාළි සහ බුරුම පොත් රැසක් අප හිමියෝ ඉංග්‍රීසියට නැඟූහ. ඒවා ලොව පුරා පැතිරුණේ ‘බුද්ධදත්ත’ නම ද සමඟය.

ජර්මන් ජාතික ඤාණතිලෝක හිමියෝ තමා ලියු සච්ච සංග්‍රහ ඉංග්‍රීසි කෘතිය සිංහල බසට නඟන්නැයි අප හිමියනට කීහ. ඒ ඉල්ලීම ද ඉටු කැරිණ. බුද්ධඝෝෂ හිමියන්ගේ විශුද්ධි මාර්ගය ද අප හිමියෝ ඉංග්‍රීසියට නැඟූහ.
* * *
දිගු කලෙක සිට පාළි ඉගැන්වීම ලංකාවේ සිදු වුවද ඒ සඳහා මාර්ගෝපදේශක පොත් නොවීය. මේ අඩුව පුරවනු සඳහා අප හිමියනට ඇරැයුම් කළේ මරදානේ ආනන්ද විදුහල්පති පී. ද ඇස්. කුලරත්න මහතා ය. උන්වහන්සේ ආනන්ද විදුහලේ පාළි ගුරුවරයා වූ පසු ළමයින්ට ඉගැන්වූයේ උන්වහන්සේම කලෙකට පෙර සකස් කළ “පාළි පාසප්පවේසිනි” පොතෙනි. එහිදී අප හිමියෝ බාලයන්ට ද ගැළපෙන සේ මුල සිට පාළි උගත හැකි වන අයුරින් ‘පාළිභාෂාවතරණය – මුල් පොත’ ලියා කුලරත්න මහතාට පිළිගැන්වූහ. එය පාළි ඉගැන්වෙන හැම තැනකම ප්‍රධාන අත්පොත විය. ඉන්පසු පාළි භාෂාවතරණය – 2 සහ පාළි භාෂාවතරණය – 3 ද පළ කැරිණ. පාළි පාඨාවලි, පාළි වාක්‍ය විවේචනය, පාඨම පාඨාවලි, යන පොත් ද උන්වහන්සේ ලියූහ. පසු කලෙක මෙරට බිහිවූ සියලු පාළි උගත්තු මේ පොත් ඇසුරෙන් ම ගොඩ නැඟුණහ.
* * *
එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, අවුස්ත්‍රියාව, ස්විට්සර්ලන්තය, යන රටවල ද උන්වහන්සේ ගේ පාඨකයෝ සිටියහ. ඔවුහු ඒ රටවලට අප හිමියන් කැඳවා ගත්හ. බුදුදහම පිළිබඳව ප්‍රශ්න ඇසූහ. බුදු දහමේ ඇති නිදහස, විමුක්ති සුවය දුටු ඔවුහු උපතින් තමා ලැබු ආගම අත්හැර බුදු දහමට යොමු වූහ.
* * *
ජර්මනියේ ගෛගර් පඬිතුමා අප හිමියන්ගේ හොඳ මිතුරෙක් විය. ලංකාවට පැමිණ සිංහල ශබ්ද කෝෂයේ වැඩ ඇරැඹු ඔහු සිය විවේක කාලය අප හිමියන් සමඟ ධර්ම සාකච්ඡාවේ යෙදීමට ගත කළහ.

ඉතාලියේ නේපලිස් විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යාඥ ජේ. ලොරැන්සෝ මහතා මජ්ඣිම නිකාය සම්පූර්ණයෙන් ඉතාලි බසට නැඟුවේ ය. ඔහු අප හිමි සමඟ ධර්ම සාකච්ඡාවේ යෙදුණේය. බුද්ධ චරිතය ඉතාලි බසින් ලියු ලුයිජි ස්වාලි මහතා ද අප හිමියන්ගේ මිතුරෙකි.
* * *
1928 නොවැම්බර් 08 වැනිදා අප බුද්ධදත්ත හිමියෝ ඔත්පලව සිටි අනගාරික ධර්මපාල තුමා බැලීමට කොළඹ ඇලෝ ඇවනිව් වලව්වට වැඩියහ. වෛද්‍යවරු එතුමාට කතාබහ තහනම් කොට තිබිණ. එහෙත් පොල්වත්තේ හිමි වැඩි බව ඇසු ධර්මපාල තුමා ලෙඩ අමතක කොට යුරෝපයේ ධර්ම ප්‍රචාරක කටයුතු ගැන විමසීය. පවතින බෞද්ධ ප්‍රබෝධය ගැන අසා මහත් සතුටට පත්වූයේය. හඬ නඟා කතා කළේය.

1935 දී උන්වහන්සේ මහාචාර්ය ජී. පී. මලලසේකර මහතාගේ ඉල්ලීම පරිදි ලංකා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වූහ. පාණදුරේ විල්මට් පෙරේරා මහතා තමාට අයත් හොරණ කපුකුළවත්තේ ශ්‍රීපාලි නමින් විද්‍යාලයක් ඇරැඹුවේය. ශුභ මොහොතින් අකුරු කියැවීම සඳහා එතැනට වැඩම කළේ පොල්වත්තේ බුද්ධදත්ත හිමි සහ හීනටියන ධම්මාලෝක හිමිය.

1936 ජනවාරි 07 වැනිදා අප හිමිපාණන්ගේ ආචාර්ය පාදයන් වහන්සේ සිය අරමේදී අපවත් වී වදාළහ. මහා කවි තාගෝර් තුමා ද විදුලි පණිවුඩයක් මඟින් සිය ශෝකය බුද්ධදත්ත හිමියන්ට දැන්වීය.

1947 දී ඇතැම් ඇමැතිවරු තමන්ට එරෙහිව කතා කරන භික්ෂුන්ගේ සිවුරු ගලවන බව කීහ. ඔවුන්ට පිළිතුරු දීම සඳහා කොළඹ නගර ශාලාවේ ගිහි පැවිදි මහා සභාවක් පැවැත්විණ. ඒ සභාවේ මුලසුන හෙබවූවෝ අප බුද්ධදත්ත හිමියෝ ය.

“භික්ෂුන්ගේ කටවල් වසන්නට තමයි සුදු පාලකයන්ටත් වුවමනා වුණේ. සුද්දන් අනුව යන මේ ඇමැතිවරු අපේ කටවල් වහන්නට එනව. ඒක ඒ ඇත්තන්ට පාරාවළල්ලක් වේවි…” උන්වහන්සේ කීහ.

සංඝයා වහන්සේ හෙළා දකින සර් ජෝන් කොතලාවල වැනි එබඳු දේශපාලනඥයන් නිසා ශාසනයට වන හානිය පිළිබඳව කරුණු කීමට අප හිමියෝ අගමැති ඩී. එස්. සේනානායක මහතා ද හමු වූහ.

1953 දී හයවන ධර්ම සංගායනාව බුරුමයේ දී පැවැත්විණ. ධර්ම සංගායනාවේ ප්‍රධාන කර්තෘ මණ්ඩලයට අප හිමියෝ ද අයත් වූහ. ඒ සඳහා ලංකාවෙන් බුරුමයට විනය පිටකය වැඩම කරනු ලැබූයේ අප හිමියන් විසිනි. ධර්ම සංගායනාවේ අතිවිශාල කාර්ය භාරයක් උන් වහන්සේට පැවැරිණ.

1954 ජනවාරි 04 වැනිදා – බුරුමයේ නිදහස් උලෙළ දා ඒ රට ප්‍රධාන පුවත්පත්වල විශේෂ පුවතක් පළ විය.

ඒ පොල්වත්තේ බුද්ධදත්ත හිමිපාණන්ට අග්ග මහා පණ්ඩිත උපාධිය පිරිනමන බවය. ඒ සම්මාන උපාධිය ලැබු ප්‍රථම ලාංකික භික්ෂුන් වහන්සේ බුද්ධදත්ත හිමියෝ ය.

1954 අප්‍රේල් 10 වැනි දා ලක්බිමට ගොඩබසින දෙවන එලිසබෙත් මහ රැජින පිළිගැනීමට කොළඹ ජැටියට පැමිණෙන මෙන් අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ට ආරාධනයක් ලැබිණ.

“අපේ රට විනාශ කළ, කොල්ල කෑ, සුද්දන්ගේ වර්තමාන නායිකාව පිළිගැනීමට මා යන්නේ කුමට දෑයි අසමින් අප හිමියෝ ඒ ආරාධනා පත්‍රය කසල ගොඩට දැමූහ.(එම රැජිනවම හමුවූ වත්මන් නිවට පාලකයන් ගේ කෙරුම් කෙසේදැයි මෙතැනින් ගොස් විමසත්වා.)

රට පාලනය කළ කළු සුද්දෝ අප හිමි සමඟ නොරොක් වූහ.

“ඉතින් මට මොකද? මම ජීවත්වන්නේ දුප්පත් දායකයන්ගෙන් මිස ඔය සුද්දාට ගැති ලොක්කන්ගෙන් නොවෙයි.”

උන්වහන්සේ ඉඩක් ලැබෙන හැම විටම පිණ්ඩපාතේ වැඩීමට පුරුදු ව සිටියහ.
* * *
1957 දී අප හිමියෝ ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ මහානායක ධුරයට පත්වූහ. ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ සම්මාන පණ්ඩිත උපාධියෙන් ද ලංකාදීප පත්‍රයේ සාහිත්‍ය කීර්ති ගෞරව සම්මානයෙන් ද විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය සූරී උපාධියෙන් ද විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය චක්‍රවර්ති උපාධියෙන් ද අප හිමියෝ පිදුම් ලැබූහ.

අග්ගාරාමයේ දේවාලයක් තැනවීමට පොල්වත්තේ කපුවකුට අවශ්‍ය විය. ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට නීතිඥයෙක් ද ඉදිරිපත් විය.

කපුවා අප හිමි හමුවී මෙතන දේවාලයක් හදන්න සියල්ල සූදානම් බව කීය.

“මොකක්ද?” හිමියෝ උස් හඬින් ඇසූහ.

“මේ පන්සලේ අඩුවක් තමයි දේවාලයක් නැති එක. ඒක හදන්න සියලු කටයුතු සූදානම්. මුදලුත් ලැබෙනවා.”

අප හිමියෝ වහා අසුනෙන් නැගිට, කොස්ස ද අතට ගෙන,

“බැහැපන් එළියට. මෙහෙ තියෙන්නෙ බුද්ධාගම. මෙතන දේව ආගමක් නැහැ. උඹට ඕන නම් ගෙදර දේවාල හදාගනින්. ආයෙත් ඔය දෙයියො එක්ක පන්සල පළාතෙ එන්න එපා.” කීහ.

කපුවා පලා ගියේය.

මහලු වියට පත් වුවද උන්වහන්සේ සිය කටයුතු ගෝලයකුට සේවකයකුට පැවරූයේ නැත. උන්වහන්සේගේ පඩික්කම සෝදන්නට අන් අයකුට ඉඩ දුන්නේ නැත. සිය සිවුරු, පාත්‍රා, සෝදා ගත්තේ ද තමාමය.

ධර්ම දේශනාවකට ආරාධනාවක් නොලද හැම දවසකම උන්වහන්සේ හැන්දෑවේ හයට සැතපෙති. රාත්‍රී දොළහට පිබිදෙති. ඉන්පසු ලිවීම අරඹති. හිඳගෙන ලිවීම අපහසු වූ විට හිටගෙන ලියති. ඒ සඳහා වෙනම උස මේසයක් තිබිණ. පාන්දර කළුකපා එළිය වැටුණු පසු දත කට මැද මුහුණ සෝදාගෙන ආවාස මළුව ඇමදීමේ යෙදෙන අප හිමියෝ හීල් දානයෙන් පසු දවසේ පත්තර කියවා යළි ලිවීම අරඹති. ලියන දෙයක ගැටලුවක් මතු වූ විට සක්මන් කරති. සක්මනේ දී ගැටලු ලිහේ. අලුත් සිතිවිලි උපදී. යළි ලිවීම අරඹති.

දහම් ගැටලු ගමේ ගැටලු, රටේ ගැටලු ගෙන දායකයෝ. පාඨකයෝ හිමි හමුවෙති. ගැටලු ලිහේ. අම්බලම්ගොඩ, හික්කඩුවේ හෝටල්වල රැය ගෙවා උදේ ම ඇතැම් සංචාරකයෙක් හිමි සොයා එයි. ඔහුට ද දහම් ගැටලුවෙකි. හිමියෝ ගැටලුව ලිහති. අබෞද්ධ සංචාරකයෝ බෞද්ධ වෙති. බෞද්ධ සංචාරකයෝ භාවනාවට සුදුසු තැන් විමසති. හිමියෝ අසවල් තැනට යන්නැයි නියම කරති. කමටහන් ගහ යුතු අය ද නම් කරති. දහවල දානයට වඩින තුරු අමුත්තන්ට සේවය කරන උන්වහන්සේ දානයෙන් පසු මිනිත්තු දහයක් සැතැපී යළි ලිවීමේ, කියවීමේ යෙදෙති.

සවස හයට පෙර විහාරයට පිවිස බුදුන් වැද, මල් පහන් පුදා භාවනාවේ යෙදෙති. මෛත්‍රී භාවනාවෙන් ම සැතැපෙති. රෑ මැදියමේ මෛත්‍රියෙන් ම පිබිදෙති.

උන්වහන්සේගේ දවස ගෙවුණේ එහෙමය.

මැලේරියාවට, නිව්මෝනියාවට, උණ සන්නිපාතයට, බිලි වුණු ඒ සිරුර තවත් අසනීප රැසකින් පීඩා වින්ද ද ඒ සියල්ල උන්වහන්සේ ජය ගත්හ. ධර්ම ප්‍රචාරයට ම ජීවිතය කැප කළහ.

එහෙත් 1962 නොවැම්බර් මුල් සතියේ උන්වහන්සේ යළි සුවපත් නොවන රෝගයකට ගොදුරු වූහ. කොළඹ මහ රෝහලේ වාට්ටුවකට උන්වහන්සේ වඩමවනු ලැබිණ.

තරුණ වෛද්‍යවරු උන්වහන්සේ වට කැරැ ගත්හ. ඔවුහු ද උන්වහන්සේගේ ධර්ම පාඨකයෝ ය.

“මා දන්නවා මේ රූපස්කන්ධයේ අවසානය ළංවී ඇති බව. එය නියතයි. සියලු සංස්කාර අනිත්‍යයි. කොතැනටත්, මෙතැනටත් වලංගු වන්නේ බුද්ධ දේශනාවයි. මගේ දරුවනේ ඔබගේ වෑයමෙන් පලක් නොවන බව මා දන්නවා…”

උන්වහන්සේ මහත් අපහසුවෙන්, කායික පීඩාවෙන් යුතුව එහෙත් හොඳ සිහියෙන්, ඒ වෛද්‍යවරුන්ට අනිත්‍යය ද, අනාත්මය ද පිළිබඳව දහම් දෙසූහ.

කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නා හිමියෝ, කොටහේනේ පඤ්ඤාකිත්ති නා හිමියෝ, කොස්ගොඩ ධම්මවංශ නා හිමියෝ, බඹරැන්දේ සිරි සීවලි නා හිමියෝ උන්වහන්සේගේ ඇඳ වටා සිට ගත්හ. පිරිත් කියන්නට පටන් ගත්හ. ඒ පිරිත් අසමින් දෑස පියාගත් අප හිමියෝ මහත් සන්සුන් බවක්, නිවුණු බවක්, මුහුණේ සලකුණු කොට තබමින් අවසන් හුස්ම හෙළූහ.

1962 නොවැම්බර් 09 වැනිදා සිදු වූ ඒ මහා සමු ගැනීමත් සමඟ ලොවම කම්පා විය.

සීලයෙන් ද, ගුණයෙන් ද, නුවණින් ද පිරිපුන් මහා ධර්මධරයකු, මහා ලේඛකයකු, මහා දේශකයකු, මහා පරිවර්තකයකු, අභීත, නොනිවට, උත්තම ගණයේ මහා සංඝ පීතෲතවරයකු ලොවට අහිමි වූ හෙයිනි ඒ කම්පාව.

ඒ හිමි රුව අළු බවට පත් වූ පසු මුල්ලපිටියේ කේ. එච්. ද සිල්වා මහ කිවියාණෝ මෙසේ කීහ.

“සබ වස් සුරැකි පිදි නිසි තැන් පිදිය යුතු

අබැටක තරම නිල බලයට නොවුණු නතු

ලැබ ගත් සිරිලකට විරුදාවලි අමුතු

දඹ රන්වලින් හිමි පිළිරුව තැනිය යුතු” via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 18, 2016 at 09:27AM

Facebookහි සැබෑ මිතුරන් හදුනා ගනිමු…

බුද්ධ දේශනාවන්හි සදහන් වන පිරිදි මේ මිත්‍රයා යනු පුද්ගලයෙකුගේ ජීවිතයේ සාර්ථක බව හෝ අසාර්ථක බව තීරණය කරන එක් සාධකයකි.අපට මිතුරන් තෝරාගැනීමේදී බුදුරදුන් යම් කිසි පිලිවෙතක් වදාල සේක.එය නම් මිතුරෙකු තෝරාගැනීමේදී මුලින්ම අපට වඩා ගුණයෙන් ඉහල අයෙකු තෝරා ගැනීමයි.එසේත් නැත්නම් අපට ගුණයෙන් සමාන හෝ මිතුරෙකු තෝරා ගැනීමයි.අප බලාපොරොත්තු වන මිතුරාගේ එම ගතිගුණ නොමැතිනම් තනිව වාසය කිරීම වඩාත් සුදුසුයැයි බුදුරදුන් පෙන්වා දුන් සේක.

මිතුරන් ප්‍රධාන කොටස් 2කි. ඒ කළ්‍යාණ මිතුරන් (යහපත් මිතුරන්) හා පවිටු මිතුරන්ය (පාප මිත්‍රයන්).බුදුරජාණන් වහන්සේ
කළ්‍යාණ මිතුරන් සිව් දෙනෙකුත් පවිටු මිතුරන් සිව් දෙනෙකුත් බැගින් වදාලහ.මෙතැන් සිට අපි ඔබට පෙන්වා දෙන්නේ ඒ ඒ
මිතුරා තුළ ඇති ලක්ෂණයන්ය.

පාපමිතුරන්

1. අඤ්ඤදත්තුහර – කිසියම් දෙයක් රැගෙන යාමට කඩාවඩා ගැනීමටම තැත් කරයි.
2. වචීපරම – අතීතයෙන්,අනාගතයෙන් තේරුමක් නොමැති වචන වලින් සංග්‍රහ කරයි.
3. අනුප්පියභාණි – හොද දේත්,නරක දේත් බොරුවට වර්ණනා කරයි.
4. අපායසහායක – සුරාවට ආදී පව් කම් වලට උදව් කර අපායගාමී කරවීමට තැත් කරයි.

කළණ මිතුරන්

1. උපකාරක – අපට සැමවිටම උදව් කරයි.ආරක්ෂා කරයි.
2. සමාන සුඛදුක්ඛ – දුකේදීත් සැපේදීත් එකට සිටී.මිතුරාගේ රහස් රකී.
3. අත්ථක්කායි – පවින් වළක්වයි.යහපතෙහි යොදවයි.
4. අනුකම්පක – අනුකම්පා සහගතව දියුණුවේදී උදව් කර ආශිර්වාද කරයි.(ප්‍රශංසා කරයි)

සැබෑ මිතුරෙක්නම් තම හිතවතාගේ වැරදි පෙන්වා දිය යුතුය.නිවැරදි මග පෙන්වා දිය යුතුය.ඔබට තිසරණයේ පිහිටීමට,ධර්මය ඉගෙනගැනීමට,ධර්ම මාර්ගයේ ගමන් කිරිමට යම් මිතුරෙක් උපකාර කලේද ඔහුට දිවා රෑ වැදවැටුනද කලගුණ සලකා නිමා කල නොහැකි බව ධර්මයේ සදහන් වේ.අපට නිර්වාණය පිණිස ශ්‍රද්ධාව ඇතිකල ගත යුතු වේ.එම ශ්‍රද්ධාව ඇතිකරගැනීමටනම් ධර්මශ්‍රවණය කළ යුතු වේ..ධර්ම ශ්‍රවණයටනම් ධර්මය කියාදෙන කළණ මිතුරන් සිටිය යුතුය.

මෙම කෙටි ලිපිය කියවූ ඔබට තෙරුවන් සරණයි… via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 17, 2016 at 09:00AM

මේ පින්තුරේ ඉන්නේ “කල්යානමිත්ත” පොඩි හාමුදුරුවෝ.
උන්වහන්සේ වයස අවුරුදු 7ක් වූ දරුවෙකු වූ අවදියේ පැවිදි වීමට දෙමාපියන් අවසර දෙන තෙක්ම ඇඬුවා. දැන් වයස අවුරුදු 9 යි. දැන් මහා පිරිත් පොත කටපාඩම් කර අවසන්.
අපේ අනිත් හාමුදුරුවරුන්ටත් ආදර්ශයක් වෙන්න share කරන්න. අපිත් මේ තාවකාලික ජීවිතය සසුනට පුජාකර මුළු සංසාරයටම යහපතක් කරගමු නේද?

Here is a picture of our youngest monk “Kalyanamitta.” At age 7 he would not stop crying until his parents allowed him to become a monk. A local monk sent him to Yorgo Sayadaw’s new place where I stay. Now he is now 9. He will continue his studies but with a Buddhist focus. He has finished memorizing the mahaparitta book and now is reviewing the stuff he forgot. via Facebook Pages http://ift.tt/1GMS4Lf