Monthly Archives: May 2016

New photo from Facebook May 16, 2016 at 06:00PM

පෙර බුදුවරු ඉදිරියේ මහත් ශ්‍රද්ධාවෙන් කරන ලද පළතුරු පූජාවන්, ඒ අමා මහා නිවනට ප්‍රත්‍ය වූ ආකාරය දැක්වෙන අරහත් චරිත දෙකක කතා පහතින් දැක්වේ.

== මේලජින මහරහතන් වහන්සේ ==

නුවණැති වූ කුමරුන් සියලු ශිල්ප ශාස්ත්‍ර කෙළ පැමිණ ප්‍රසිද්ධත්වයට පත්වුණා. අපගේ භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ වැඩ සිටිමින් අමා දහම් වැසි වස්සවද් දී සදහම් ශ්‍රවණය කළ කුමරුන් ශ්‍රද්ධා ලාභය ලබා බුදු සසුනේ පැවිදි බව ලබා ගත්තා. මහා පින් ඇති කුමරුන් පැවිදි වූ දිනම සියලු කෙලෙසුන් ප්‍රහාණය කොට උත්තම අරහත්වය සාක්ෂාත් කළා

අප්‍රමාණ ශාස්තෘ ගෞරවයකින් යුක්තව, ධර්ම ගෞරවයකින් යුක්තව දහමේ හැසිරෙමින් සසර දුක් කෙළවර කළ මේලජින නම් රහතන් වහන්සේ ගැන අප දැන් ඉගෙන ගනිමු.

උන්වහන්සේගේ ථේර ගාථාවෙහි මෙසේ සඳහන් වෙනවා. මේලජින තෙරණුවෝ “සිද්ධත්ථ” නම් බුදුරදුන්ගේ යුගයේ දී සිටු කුමරෙක්ව ඉපිද සිටියා. දිනක් සුමේධ බුදු සමිඳුන් පිණ්ඩපාතයේ වඩිනු දැක බලවත් පැහැදීමෙන් යුතුව පලතුරු පූජාවක් සිදුකළා. තුන්ලෝකාග්‍ර භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න වූ සිත නිසාත්, රැස්කරගත් පුණ්‍ය මහිමය නිසාත් මරණින් මතු දෙව්ලොව උපන්නා. දෙව්මිනිස් සුගතියේ ඉපදෙමින් මේ බුද්ධෝත්පාද කාලයේ දී බරණැස් නුවර රජ පවුලක ඉපදී මේලජින කුමරු නමින් සැප සම්පත් මධ්‍යයේ හැදී වැඩුනා. නුවණැති වූ කුමරුන් සියලු ශිල්ප ශාස්ත්‍ර කෙළ පැමිණ ප්‍රසිද්ධත්වයට පත්වුණා. අපගේ භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ වැඩ සිටිමින් අමා දහම් වැසි වස්සවද් දී සදහම් ශ්‍රවණය කළ කුමරුන් ශ්‍රද්ධා ලාභය ලබා බුදු සසුනේ පැවිදි බව ලබා ගත්තා. මහා පින් ඇති කුමරුන් පැවිදි වූ දිනම සියලු කෙලෙසුන් ප්‍රහාණය කොට උත්තම අරහත්වය සාක්ෂාත් කළා. ඒ බව නොදත් ඇතැම් භික්ෂූන් දිනක් ‘’ඔබ වහන්සේ කිසියම් උත්තර මනුෂ්‍ය ධර්මයන් ලබාගෙන ඇද්දැ’යි විමසූ විට මේලජින තෙරුන් මෙසේ සිංහනාද කළා.

යදාහං ධම්මං මක්කේසිං
භාසමානස්ස සත්ථුනෝ
න කංඛමහිජානාමි
සබ්බඤ්ඤු අපරාජිතෝ

ශාස්තෘන් වහන්සේ විසින් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරද්දී මට අසන්න ලැබුණේ යම් දවසක ද එදා ඉඳලා ඒ අපරාජිත මුනිඳුන් වන සර්වඥයන් වහන්සේ පිළිබඳව මා තුළ සැකයක් ඇති වූ බවක් මා දන්නේ නැහැ’.

සත්ථවාහේ මහාවීරේ
සාරාථිනං වරුත්තමේ
මග්ගේ පටිපදායං වා
කංඛා මය්හං න විජ්ජති

‘උන්වහන්සේ වනාහී සසර කතරින් ලෝ සතුන් එතෙර කරවන මහා ගැල්කරුවාණන් වන සේක. ඒ මහාවීර වූ පුරිසදම්මදසාරථින් අතර අති උතුම් වූ බුදු සමිඳාණන් පිළිබඳව හෝ මේ උතුම් නිවන් මඟ පිළිබඳව හෝ මා තුළ කිසියම්ම සැකයක් නැහැ.

පැවිදි වූ දිනම නිකෙලෙස්ව එලෙසින් සිංහනාද පැවැත්වූ මේලජින තෙරණුවෝ පිරිනිවන් පෑමට පෙරාතුව මෙලෙසින් පැවසුවා.

‘තමාම අවබෝධ කරගත් සත්‍ය ඇති අපරාජිත වූ දහසක් රැස් දරන්නා වූ සිද්ධත්ථ නම් බුදුරජාණන් වහන්සේ විවේකයෙන් නැගී සිටිසේක. පිඬුසේක පිඬුපිණිස නික්මුණ සේක. අතෙහි ඵල දරාගත් මම එලක්හි උන්වහන්සේ වෙත පැමිණියෙමි. පැහැදුණු සිතින් හා සතුටු සිතින් උන්වහන්සේට ආමෝද ඵලයක් පූජා කළෙමි. මෙයින් කල්ප අනූ හතරකට පෙරදී යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා සුගතියෙහි නූපන්නෙමි. ඵල දානයේ විපාකය මෙ බඳුය. දැන් මම සියළු කෙලෙස් දැවුයෙමි. සියළු භව නසා දැමුවෙමි. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ දමා ආශ්‍රව රහිතව වෙසෙමි. බුදුරජාණන් වහන්සේ වෙතට මාගේ පැමිණීම ඒකාන්තයෙන්ම යහපත් වූයේම ය. ත්‍රිවිද්‍යාව අවබෝධ කළෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කෙළෙමි. සිවුපිළිසිඹියාවෝද අෂ්ඨ විමෝක්‍ෂයන්ද ෂඩ් අභිඥ්ඥාවෝද සාක්ෂාත් කළෙමි. බුද්ධ ශාසනය සම්පූර්ණ කළෙමි.

== සුධාර මහරහතන් වහන්සේ ==

පුන් පොහෝ දිනෙක සඳ මෙන් බබලන්නා වූ කිණිහිරි රුක් වැනි වූ පහන් ගසක් මෙන් ශෝභමාන වූ ලෝකනායක වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි. නාරං ගෙඩියක් රැගත් මම දක්ෂිණාර්හ වූ මහා ප්‍රඥා ඇති මහාවීර ශාස්තෘන් වහන්සේට පහන් සිතින් දෙ අතින්ම එය පූජා කළෙමි. එකල්හි මීට කල්ප තිස් එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වාම දුගතියක නූපන්නෙමි. ඵල දානයේ ආනිශංස එබඳුය

අප ඉගෙන ගන්නේ ථේර ගාථාවල සඳහන් වන සුරාධ මහ රහතන් වහන්සේ පිළිබඳව යි. උන්වහන්සේ සිඛි බුදුරජාණන් වහන්සේ ගේ යුගයේ දී සිටු කුමරෙක්ව ඉපිද සිටියා.

සිඛී සම්මා සම්බුදුරජාණන් වහන්සේට පැහැදුණු සිතින් නාරං ගෙඩියක් පූජා කළා. ඒ හේතුවෙන් මරණින් මතු දෙව්ලොව ඉපිද තව තවත් පින බලවත් කරගත්තා.

අප භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී පෙර සඳහන් කළ රාධ බ්‍රාහ්මණයාගේ බාල සොහොයුරා ලෙස උපත ලැබුවා. වැඩිමහල් සොයුරු රාධයන් පැවිදි වූ කල්හි සුරාධයන් ද ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි බව ලබා ගත්තා. සීල, සමාධි, ප්‍රඥා පරිපූර්ණවත්වයට පත්කරගත් සුරාධ තෙරුණුවන් ද සුළු කලෙකින්ම නිකෙලෙස් රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. අරහත්වය සාක්ෂාත් කළ සුරාධ තෙරුන් බුදු සසුනෙහි උත්තම බව ප්‍රකාශ කරමින් සිය අරහත්වය ප්‍රකට කරවමින් මෙම ගාථාවන් වදාළා.

ඛිණාහි මය්හං ජාති
වුසිතං ජිනසංසනං
පහීණෝ ජාලසංඛාතෝ
භාවනෙත්ති සමූහතං

මගේ ඉපදීම අවසන් වුණා. බුදු සසුනේ නිවන් මඟ සම්පූර්ණ කරගත්තා. දෑස් අඳුරු කරන දැලක් වගේ තිබෙන අවිද්‍යාව නැතිකර දැම්මා. භවය ගැට ගසන තෘෂ්ණාව මුලින්ම උදුරලා දැම්මා.

යස්සත්ථාය පබ්බජිතෝ
අගාරස්මං අනගාරියං
සෝ මේ අත්ථෝ අනුප්පත්තෝ
සබ්බ සංයෝජනක්ඛයෝ

ගිහි ගෙය අත්හැර දමා මේ බුද්ධ ශාසනයේ මම පැවිදි වූයේ යම් අර්ථයක් ඇතිව. අන්න ඒ උතුම් ජීවිතාර්ථය මම ලබා ගත්තා. හැම භවයක්ම නැති කර දැම්මා.

උතුම් නිවනින් සැනසුන සුරාධ රහතන් වහන්සේ මෙසේ ද උදන් ඇනුවා.

පුන් පොහෝ දිනෙක සඳ මෙන් බබලන්නා වූ කිණිහිරි රුක් වැනි වූ පහන් ගසක් මෙන් ශෝභමාන වූ ලෝකනායක වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි. නාරං ගෙඩියක් රැගත් මම දක්ෂිණාර්හ වූ මහා ප්‍රඥා ඇති මහාවීර ශාස්තෘන් වහන්සේට පහන් සිතින් දෙ අතින්ම එය පූජා කළෙමි. එකල්හි මීට කල්ප තිස් එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වාම දුගතියක නූපන්නෙමි. ඵල දානයේ ආනිශංස එබඳුය.

දැන් මම සියලු කෙලෙස් තවා ත්‍රිවිද්‍යාවත් සාක්ෂාත් කළෙමි. ෂඩ් අභිඤ්ඤාවන් ද, අෂ්ඨ විමෝක්ෂයන් ද ලබන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා ඉටු කෙළෙමි.

ගෞතම බුදු සසුනේ උත්තම අරහත්වය සාක්ෂාත් කරන්ට තරම් ඒ දෙ සොහොයුරන් වාසනාවන්ත වුණා. අපටද ඒ ශ්‍රාවක සඟරුවන කෙරෙහි සිත පහදවාගෙන උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ වාසනවා උදාවේවා.

සටහන : නයනා නිල්මිණි
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook May 16, 2016 at 11:20AM

මුසා බස් නොපැවසීමේ ආනිශංස

අතිශයින් ප්‍රසන්න ඉදුරන් ඇත්තෙකු වීම
මනා මිහිරි කටහඩක් ඇත්තෙකු වීම
සමානව පිහිටි සුදු දත් දෙපලක් ඇත්තෙකු වීම
අශෝභන වූ මහත් ශරීර නොලබන්නෙකු වීම
අශෝභන වූ මිටි ශරීර නොලබන්නෙකු වීම
අශෝභන වූ උස ශරීර නොලබන්නෙකු වීම
සැප ස්පර්ශ ඇත්තෙකු වීම
දුගද නැති මල් සුවදැති මුඛයක් ඇත්තෙකු වීම
සුවච කීකරු පරිවාර ජනයා ඇති බව
විශ්වාස කළයුතු වචන ඇත්තෙකු වීම
නෙඵම් පෙත්තක් බුදු වූ මෘදු වූ රත්පැහැ දිවක් ලබන්නෙකු වීම
උඩගු නොවන බව
චපල අදහස්,ක්‍රියා නැත්තෙකු වීම

අනෙක් සිල්පද වලිනුත් ලැබෙන ආනිසංස කියවන්න

සත්ව ඝාතනයෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස

ආරෝහ පිරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම
ජව සම්පත්තියෙන් යුක්ත වීම
මනාව පිහිටන පියවර ඇත්තෙකු වීම
රන්වන්පාට සිරුරක් ඇත්තෙකු වීම
මුදු මොළොක් සිරුරක් ලැබීම
පිරිසිදු පැවතුම් ඇති ඇත්තෙකු වීම
සූර වීර ගති ඇත්තෙකු වීම
මහා බලවන්තයෙකු වීම
නොපැකිල කිවහැකි වචන ඇත්තෙකු වීම
කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙකු වීම
පහ කළ දොස් ඇත්තෙකු වීම
කෙනෙකුට බිදවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම
තැති නොගත් කෙනෙකු වීම
විනාශ නොකළ හැකි උතුමෙකු වීම
පර උපක්‍රමවලින් අකල් මරණයට පත් නොවීම
අනන්ත වූ පරිවාර සම්පත් ඇති බව
සුරූපී පුද්ගලයෙකු වීම
මනා සටහන් ඇත්තෙකු වීම
අල්ප ආබාධ ඇත්තෙකු වීම
‍ශෝක නොකරන්නෙකු වීම
ප්‍රියයන්ගෙන් වෙන්වන්නට සිදු නොවීම
දීර්ඝායුෂ ලැබීම
මනාව පිහිටි අග පසග ඇත්තෙකු වීම

අදත්තාදානයෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස

මහා ධනවතෙකු වීම
බොහෝ ධන ධාන්‍ය ලබන්නෙකු වීම
අනන්ත භෝග සම්පත් ඇත්තෙකු වීම
නූපන් වස්තු උපදවීමට පුණ්‍ය ශක්තිය ඇත්තෙකු වීම
ඇත්තා වූ භෝග රැකගැනීමේ වාසනාව
කැමති වස්තූන් වහා ලබන්නෙකු වීම
රාජ,සොර,ගිනි,ජල ආදියෙන් විනාශ කල නොහැකි වස්තුව ඇති වීම
සාධාරණ ධන වාසනා ඇත්තෙකු වීම
ලෝකයේ උත්තමයෙකු බවට පත්වීම
නැත යන වචනය දන්නෙකුවත් නොවීම
සැප විහරණ ඇත්තෙකු වීම

කාමයෙහි වරදවා නොහැසිරීමෙන් ලැබෙන ආනිශංස

සතුරන් නැත්තෙකු වීම
සියලු ජනතාවටම ප්‍රිය කරන්නෙකු වීම
ආහාර පානාදී සියල්ල අඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම
සැපසේ නින්ද යාම
සැපසේ පිබිදීම
අපාය භය නැත්තෙකු වීම
නපුංසක,උභතෝ,ඛ්‍යඤ් ජනක තත්ව වලට පත් නොවීම
ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම
ඒ ඒ දෙය පරික්ෂෘ කොට කරන්නෙකු වීම
කර නොබාගත් කෙනෙකු වීම (කුදු නොවීම)
සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම
ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹුසැමියන් ලැබීම
පිරිපුන් ඉදුරන් ඇති බව
පිරිපුන් ලක්ෂණ ඇති බව
සැක නැති පුද්ගලයෙකු වීම
මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය ඇතිවීම
සැප විහරණ ඇත්තෙකු වීම
කිසි තැනක කුමකටවත් බිය නොවන්නෙකු වීම
ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම

මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස

යම් කල්හි කරන යම් කටයුත්තක් වේද එය වහා වැටහෙන බව
සෑම කල්හිම එලඹ සිටි සිහි ඇත්තෙකු වීම
උම්මත්තක නොවී ඉපදීම
ඥානවන්තයෙකු වීම
අලස නොවීම
නොහික්මුණු ක්‍රියා නොකිරීම
කෙළතොලු නොවීම
තරුණ මදයෙන් ආදී මත්වුණු ස්වභාවයක් නැති බව
අප්‍රමාදී විහරණ ඇත්තෙකු වීම
මෝහයෙන් මුලාවී කටයුතු කරන්නෙකු නොවීම
තැති ගැනීම් නැත්තෙකු වීම
එකට එක නොකිරීම
ඊර්ෂියා නොකරන බව
සත්‍ය වචන කතාකරන්නෙකු වීම
කේළාම්,පරුෂ,හිස්, වචන කථාකරන්නෙකු නොවීම
අලස බවින් තොරව කටයුතු කරන්නෙකු වීම
කළගුණ දන්නෙකු වීම
කළ උපකාරයට ප්‍රති උපකාර දක්වන්නෙකු වීම
මසුරු මල ධර්ම නැත්තෙකු වීම
ත්‍යාගවන්තයෙකු වීම
මහා සිල්වතෙකු වීම
ඍජු ගති පැවතුම් ඇත්තෙකු වීම
ක්‍රෝධ නොකරන සත්පුරුෂයෙකු වීම
පව් කිරීමට ලැජ්ජා ඇති ගුණවත් අයෙකු වීම
පව් කිරීමට බිය ඇත්තෙකු වීම
ඍජු අදහස් ඇත්තෙකු වීම
මහා ප්‍රඥාවන්තයෙකු වීම
මහා චිත්ත ශක්තියක් ඇති නුවණැත්තෙකු වීම
දාර්ශනික අදහස් ඇති පණ්ඩිතයෙකු වීම via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook May 15, 2016 at 09:00AM

තුරුණු වියේදීම එක්වන්න Path to Nirvana

සකංසම්මජ්ජක හිමි විපස්සී බුදු රජුන් බුදුවීමට පිටදුන් පළොල් බෝධි මළුව ඇමදීමේ පිනෙන් පහත සඳහන් අනුසස් ලැබුවා හ.

▶ නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ.
▶ පිරිසිදු පුද්ගලයෙක් වේ.
▶ වැරදි නැති නිර්මල පුද්ගලයෙක් වේ.
▶ ශෝක නො දැනේ.
▶ චිත්ත පීඩා දැවිලි නො වේ.
▶ කුෂ්ඨ රෝග නො සෑදේ.
▶ ගෙඩි රෝග නො සෑදේ.
▶ කැසිලි රෝග නො සෑදේ.
▶ මී මැස්මොර නො සෑදේ.
▶ විතච්ජිකා නම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නො සෑදේ.
▶ දද රෝග නො සෑදේ.
▶ කසා සැරව ගලන රෝග නො සෑදේ.
▶ වැලපීම් නැත්තෙක් වේ.
▶ තැති නො ගනිත්.
▶ සෘජු සිත් ඇත්තෙක් වේ.
▶ පැහැදිලි සිත් ඇත්තෙක් වේ.
▶ කැමති කැමති සමාධීන් ලැබීමේ ශක්තිය ලැබේ.

(අපදාන පාලි 421 වන අපදානය)

බෝධි සම්මජ්ජක හිමි ට පෙර ජීවිතයකදී බෝමළුවේ ගොඩ ගැසුනු බෝපත් දැක එය ගෙන බැහැරට දැමු පිනින් අනුසස් 20 ක් ලැබී ඇත. ඒ අනුව බැලූ කල ශ‍්‍රද්ධාවෙන් තැම්පත් සිතින් නුවණ යොදා බෝමළුව ඇමැද්දත් පහත සඳහන් විපාක ලැබේ.

▶ දුගතියට නො වැටී දෙව් මිනිස් සැප ලැබේ.
▶ උසස් කුලයකම ඉපදේ.
▶ මනා අඟ පසඟ ඇත්තෙක් වේ.
▶ ආරෝහ පරිණාහ දේහයක් ලැබේ.
▶ පිරිපුන් අවයව ඇත්තෙක් වේ.
▶ විශිෂ්ඨ රූප සම්පත් ලැබේ.
▶ රන්වන් පාට දේහයක් ලැබේ.
▶ මෘදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ.
▶ සිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ.
▶ සිරුරේ දැලි කුණු නො තැවරේ.
▶ අවු සුළං වලින් පීඩා නො වෙයි.
▶ සිරුරින් දහඩිය නො වැගිරේ.
▶ කායික මානසික රෝගාබාධ නැත්තෙක් වේ.
▶ සතුරන් නැත්තෙක් වේ.
▶ නො අඩු වූ භෝග සම්පත් ලැබේ.
▶ ගින්නෙන්, ජලයෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන් බියක් නො වේ.
▶ තමාගේ සිත නො රිදවන සේවක සේවිකාවන් ලැබේ.
▶ අකල් මරණයන්ට පත් නො වේ.
▶ සියල්ලෝ ම තමාට සැප කැමැත්තෝ ම වෙත්.
▶ මහා යසස් ඇත්තේ වේ.

(අපදාන පාලි 526 වන අපදානය)

අවසානයේ මේ පින නිවනට ද උපනිශ‍්‍රය වී නිවන් සැප ද ගෙන දෙන්නා හ.

සත්පුරුෂයිනි, ශ‍්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නොවිසිරුන සිතින් කරන පුංචි දෙයක් වුව ද මහත් ඵල ආනිශංස ගෙන දේ.

මතු සම්බන්ධයි!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි!

පෙර ලිපි : http://goo.gl/2E74AZ via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook May 14, 2016 at 09:00AM

කුසලයට බාධා කිරීමේ විපාක – හැකිතාක් share කරන්න

ඇතැම්හු තමන් කුසල් නොකරනවා පමණක්‌ නොව අන් අය කරන කුසලයටද බාධා කරති. නිග්‍රහ කරති. එයද රත්නත්‍රය කෙරෙහි වරදවා පිළිපැදීමකි. ලෝක සම්මත වූ අන්‍ය අකුසලයක්‌ නොකළත්, කුසලයට බාධා කිරීම දරුණු විපාක ගෙනදෙන මහත් අකුසලයකි.

▬▬▬ ධාතු විවණ්‌ණක ප්‍රේත වස්‌තුව

පෙර රජගහ නුවර ධන ධාන්‍යාදියෙන් සමෘද්ධිමත් වූ ධනපතියෙක්‌ විය. හෙතෙම රත්නත්‍රය කෙරෙහි ප්‍රසාදයක්‌ නැති කුසලයෙහි අගය නොදන්නා අධර්මිෂ්ඨයෙකි. එනුවර තථාගතයන් වහන්සේගේ ධාතු නිදන්කොට මහා චෛත්‍යයක්‌ ඉදි කරන ලදී. එම චෛත්‍ය පූජාව සඳහා සිය දහස්‌ ගණනින් ජනයා සැදැහැ සිතින් රැස්‌වූහ. එම ධනපතියාගේ බිරිඳ, දියණිය සහ ලේලියද මල් සහ සුවඳ විලවුන් රැගෙන සැදහැ සිතින් චෛත්‍ය පූජාවට යාමට සැරසුණත් ඔහු විසින් එය වළක්‌වන ලදී. චෛත්‍ය පූජාවට ගරහා අපවාද කොට අන්‍යයන්ද කුසලයෙන් වැළැක්‌වීය. මෙසේ හෙතෙම, තමනුත් කුසලයෙන් පිරිහෙමින් අන්‍යයන්ගේ කුසලයටද බාධා කිරීමෙන් හා සත් ක්‍රියාවන්ට පරිභව කිරීමෙන් මහත් අකුසලයක්‌ රැස්‌ කර ගත්තේය.

එහෙයින් හෙතෙම මරණින් මතු එම අකුසලයේ විපාක වශයෙන් ප්‍රේත ලොව ඉපිද මහත් දුකට පත්විය. එම ප්‍රේතයාගේ කයින් දුඟඳ හමයි. කුණු ගඳ හමන මුහුණ නිරතුරු පණුවෝ කති. අකුසල කර්ම බලයෙන්ම නිර්මිත වූ සත්වයෝ තියුණු ආයුධ ගෙන ඔහුගේ මුඛය නැවත නැවත කපති. නැවත ඒ මත ලුණු දියර ඉසිමින් නැවතද කපති. මෙසේ නිරා දුක්‌ හා සමාන වූ මහ දුක්‌ විඳින මේ ප්‍රේතයා දැක කරුණු විමසූ එක්‌ තෙර නමකට තමන් පෙර භවයේ කරන ලද අකුසල කර්මය හෙළි කළේය. තවද දිව්‍යමය වූ වස්‌ත්‍රාභරණයෙන් සැරසී දිව මල් පැළඳ හාත්පස සුගන්ධය පතුරුවමින් ආකාශයේ සැරිසරන, පිරිවර සහිත වූ සුරූපී දෙවඟනන් තිදෙනෙකු පෙන්වා මෙසේ කීය.

“ස්‌වාමීනි, මා විසින් වළකන ලද වුවත් රත්නත්‍රය කෙරෙහි සැදැහැ සිතින් කුසල් කළ ඒ ස්‌ත්‍රීහු අද දෙව් සැපතින් සමෘද්ධව සිටිති. රත්නත්‍රය පිදීමේ විපාක බලනු මැනවි.”

“ආශ්චර්ය වූ අද්භූත වූ ඒ මහා කුසල විපාක දැක නුවණැත්තෝ තථාගතයන් වහන්සේට නමස්‌කාර කරති. පූජා කරති. මමද මෙයින් චුතව මිනිසත් බව ලැබ නොපමාව කුසල් දහම් වඩන්නෙමි. බුදුරදුන් පුදන්නෙමි” යි එම ප්‍රේතයා කුසලයේ විපාකයත්, එබඳු කුසලයකට බාධා කිරීමේ හා ගැරහීමේ විපාකයත් එකම තැන ගෙනහැර දැක්‌වීය. එහෙයින් නුවණැත්තෝ කිසි විටෙක අන් අයගේ කුසලයට බාධා නොකෙරෙත්වා·

ඇතැම් අය අන්‍යයන් කුසල් කරද්දී තමන්ගේ දැන උගත්කම් හා විචක්‌ෂණ බව පෙන්වන්නට යාමෙන්ද, තමන්ගේ සිතැඟි පරිදි එය කරවන්නට උත්සාහ කිරීමෙන්ද, අඩු වියදමින් හෝ වඩා හොඳින් කරන්නට උපදෙස්‌ දීමෙන්ද නොදැනුවත්වම අන්‍යයන්ගේ කුසලයට බාධා පමුණුවති. නොදැන කළත් එයින් සිදුවන අකුසලයේ අඩුවක්‌ නැත. නොදැන ඇල්ලුවත් ගින්නෙන් අත පිළිස්‌සෙන්නාක්‌ මෙනි. තවද මනසේ පහලවන ක්‌ලේශයෝ ඇතැම් විට හඳුනාගත නොහැකි ලෙස වෙනත් මුහුණුවරකින් පැමිණෙති. ඊර්ෂ්‍යාව-ගුණගරුක භාවය ලෙසින්ද, මසුරුකම ප්‍රඥව ලෙසින්ද, අන්‍යයන්ගේ යහපත් ක්‍රියා හෙලා දැකීම-විචාර බුද්ධිය වශයෙන්ද, බොහෝ දෙනා වරදවා වටහා ගනිති. එසේ තමන්ගේම මනස මුලා කරමින් වෙනත් මුහුණුවරකින් පැමිණෙන ක්‌ලේශයෝ වංචක ධර්ම නම් වෙති. මෙම වංචක ධර්මයන්ගෙන් මුලාවෙන බොහෝ දෙනා විශාරදයන් ලෙස අන් අයට උපදෙස්‌ දෙමින් ඔවුන්ගේ කුසලයටද බාධා කරති. තමන්ද කුසලයෙන් පිරිහෙති. නොදැන උපදෙස්‌ දුන්නත් එයින් කුසලයට බාධා පැමිණේ නම් එහි විපාකය තමන් වෙත පැමිණෙන බව ලකුණ්‌ඨක භද්දිය තෙරුන් වහන්සේගේ කථා පුවතින්ද පැහැදිලි වේ.

▬▬▬ ලකුණ්‌ඨක භද්දිය තෙරණුවෝ

ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර ලොව පහලවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ශාරීරික ධාතූන් වහන්සේ නොවිසිරී ඒකඝනව පැවතුනි. එම සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කොට ස්‌වර්ණමය වූ චෛත්‍යයක්‌ ඉදිකිරීමට සැළසුම් කළහ. එම චෛත්‍යය යොදුන් සතරක්‌ උසට ඉදිකිරීමට ඇතැම්හු යෝජනා කළහ. එයට රන් බොහෝ වැය වන බැවින් තුන් යොදුනක්‌ උසට ඉදිකළ යුතු යයිද, යොදුන් දෙකක්‌ උසට ඉදිකළ යුතු යයිද විවිධ යෝජනා මතුවිය. එම චෛත්‍ය කර්මාන්තය කරගෙන යාමට භාරකර තිබූ කාර්මිකයන්ගෙන් ප්‍රධානියා එහිදී ඉදිරිපත් වී වඩා පහසු නිසා මෙම චෛත්‍යය යොදුනක්‌ උසට ඉදිකරමු යෑයි යෝජනා කොට ඒ සඳහා අවශ්‍ය විධි විධාන යෙදීය.

ඔහු විසින් චෛත්‍ය ඉදිකිරීමේ කුසලකර්මය සිදුකර ගත් නමුත් අනන්ත ගුණ ඇති බුදුරදුන් වෙනුවෙන් කරවන චෛත්‍යය කුඩා කරන්නට උපදෙස්‌ දීමේ විපාකයෙන් උපනුපන් භවයන්හිදී අතිශයින් මිටි වූ කුඩා ශරීරයක්‌ ඇතිව ඉපදිනි.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහලවෙන සමයෙහි මොහු සැවත් නුවර ධනවත් පවුලක ඉපිද “භද්දිය” කුමරා යයි නම් ලැබූහ. අතිශයින් මිටි වූ ශරීරයක්‌ ඇති නිසා පසු කලෙක “ලකුණ්‌ඨක භද්දිය” නමින් ප්‍රසිද්ධ විය. පෙර කරන ලද කුසල් බලයෙන් හා පුරන ලද පාරමිතා බලයෙන් බුදු සස්‌නෙහි පැවිදිව මහ රහතන් වහන්සේ නමක්‌ වූහ. චෛත්‍යය කුඩා කරන්නට උපදෙස්‌ දීමෙන් සිදුකරගත් වරද බොහෝ ආත්මයන්හි විපාක දී අර්හත්වයට පැමිණෙන අවසන් භවයේ ද විපාක දෙන්නට තරම් බරපතල විය.

සටහන – ධම්මික හේවාවසම්
පොකුණුවිට ශ්‍රී විනයාලංකාර රාමවාසී
පූජ්‍ය කුකුල්පනේ සුදස්‌සී හිමි via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook May 13, 2016 at 12:00PM

සඳකඩපහණ විග්‍රහය මෙසේය
.
පළා පෙති මෝස්තරය, නොනැවතී ගමන් කරන සිවුපා රූප පේලිය, විශාල ලියවැල, හංසා වලිය, කුඩා ලියවැල, අර්ධ පද්මය යනාදී වශයෙන් ප්‍රධාන කැටයම් ඔස්සේ සෙනරත් පරණ විතාන මහතා අදහස් ඉදිරිපත් කරයි.
.
1.ගිනිසිළුවන් පිටතට විහිදෙන පළා පෙති මෝස්තරයෙන් දැක්වෙන්නේ, රාග, ද්වේශ, මෝහ ගින්නෙන් සත්වයා දැවෙන බවයි.
2.නොනැවතී ගමන් කරන ඇත්, අශ්ව, සිංහ හා ගව සත්ව රූප පේළියෙන්, ජාති, ජරා, වියාධි, මරණ, යනාදී ඉපිද ඉපදී මැරි මැරී යන භව චක්‍රය නිරූපණය කරයි.
3.විශාල ලියවැල තන්හා ලතාවයි මෙලොව උපදින සියළු සත්වයෝ එකී තෘෂ්ණා ලතාවෙන් වෙලී බැදී පැටලී සිටින බව දක්වයි.
4.හංසාවලිය මගින් පෙර කී තෘෂ්ණා ලතාවෙන් මිදීම සඳහා ආර්ය මාර්ගයට පිළිපන් අර්ය ශ්‍රාවකයන් නිරුපනය කරයි.
5.කුඩා ප්‍රමාණයේ ලියවැල ආර්ය මාර්ගයේ හැසිරීම නිසා තුනී කරගෙන ඇති තෘෂ්ණාව නිරූපණය කරයි.
6.විකසිත අර්ධ පද්මය නිර්වාණය නිරූපණය කරයි. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook May 12, 2016 at 12:00PM

මේ සංඝයා වහන්සේ දැක සිත පහදවා ගෙන මොහොතක් උන්වහන්සේලා කෙරෙහි මෙත් සිත වඩමු.
මේ සියලු සංඝයා වහන්සේලා ලෙඩ රෝග, මරණය, දොම්නස ආදී සියලු කායික මානසික දුක් වලින් නිදහස් වේවා !!! via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook May 11, 2016 at 03:00PM

හිත සැප ගෙනදෙන කටයුත්තක් පැමිණි කල්හි මට ප්‍රයෝජන පිණිස වන්නේයයි සිතා පුරුෂතෙම භූගත ජලය හමුවන මට්ටම තෙක් පොළොව ගැඹුරට හාරා නිධානයක් පිහිටුවයි.

සතුරන් විසින් සොරෙක් , අපරාධකාරයෙක් යැයි චෝදනා කරන කල්හි මට රජුන්ගෙන් මිදීම පිණිසද සොරුන් විසින් පෙලන ලද මට සොරුන්ගෙන් මිදීම පිණිසද ණයවූ මට ඒ ණයෙන් මිදීම පිණිසද දුර්භික්ෂ කාලයෙහි හෝ හිරිහැර විපත් ඇති කල්හි ප්‍රයෝයජනයට ගැනීම පිණිස ලෝකයේ රන්, රුවන්, ධනය නිධන් කරනු ලැබේ.

භූගත ජලය හමුවන මට්ටම තෙක් පොළොව ගැඹුරට හාරා මනාකොට පිහිටුවන ලද්දා වුවද , ඒ නිධානය හැම කල්හිම එසේ ඔහුට හිත සුව පිණිස නොවේ.

ඒ නිධානය තිබූ තැනින් පහවන්නේ හෝ වේ. නිධන් කල තැන පිලිබදව ඔහුගේ සංඥාව හෝ මුළාවන්නේය. නාගයෝ හෝ එය ඉවත් කරන්නේය. යකෙකු හෝ එය හැරගෙන යන්නෝය.

අප්‍රිය උරුමක්කාරයෝ ඔහුට හොරෙන් ඒ නිධානය ගොඩ ගැනීමට පුළුවන. යම්කලෙක පින් ගෙවේද එකල්හි මේ නිධන්ගත වස්තුව වැනසේ.

යම් ස්ත්‍රියක හෝ පුරුෂයෙකු විසින් දානයෙන්ද, සීලයෙන් හෝ සිත එකග කරවන සාමාධියෙන් හෝ කෙලෙස් නසන ප්‍රඥා භාවනා කරනවා නම් මනා සේ නිධානයක් තැන්පත් කළා වෙනවා.

චෛත්‍යයෙහි, සංඝයා විෂයයෙහි යම් පුද්ගලයෙකු කෙරෙහි අමුත්තන් කෙරෙහි මව කෙරෙහි පියා කෙරෙහි සහෝදර සහෝදරිය කෙරෙහි හෝ දානමානාදී වශයෙන් හෝ පුණ්‍ය නිධානයෙක් මැනවින් පිහිටුවන ලැබුවා නම් ඒ නිධානය කාටවත් ගැනීමට නොහැකිය. පරලොව යන කල්හි ද විපාක දීම් වශයෙන්ද තමාගේ පසුපසින්ම එනවා. මරණ අවස්ථා වේදී රැස්කර ගත්ත භෞතික වස්තුන් අත්හැරලා ගියද මේ පුණ්‍ය නිධානය රැගෙන පරලොව යයි.

එය කළාහට විනා අනුනට සාධාරණ නොවන්නේද, යම් පුණ්‍ය නිධානයෙක් සොරුන් විසින් පැහැරගත හැකි නොවන්නේද නුවණැත්තන් විසින් තමන් අනුව යන පින් නිධන් කරන්නේය.

මේ පින් දෙවි මිනිසුනට සියලු කැමති දේ දෙන නිධානයයි. යමක් ඔහු පතත්ද ඒ සියල්ල මේ පුණ්‍ය නිධාන හේතුවෙන් ලැබේ.

උපනුපන් තැන මනා පැහැති බව මනා කටහඬ ඇති බව මනා සටහන් හා මනා සිරුර ඇති බව අධිපති බව හා පිරිවර යන සියල්ල මේ පුණ්‍ය නිධාන හේතුවෙන් ලැබේ.

ප්‍රදේශ රජ බවද ද්විපාධිපති බවද ප්‍රියවූ සක්විති සැපද දෙවියන් අතරෙහි දෙව්රජ බවද යන සියල්ල මේ පින් හේතුවෙන් ලැබේ.

යම් මානුෂික සම්පතක්වේද, දෙව්ලොව යම් සැපයක් හෝ සැප සහගත වස්තුවක් වේද යම් නිවන් සැපතක් වේද, ඒ සියල්ල මේ පින් හේතුවෙන් ලැබේ.

කල්‍යාන මිත්‍ර සම්පත්තිය නිසා නිසි පරිදි භාවනාවේ යෙදෙන්නහුට පුබ්බේනිවාසානුස්සති ඥානය ,ත්‍රිවිද්‍යා ද, අෂ්ඨ සමාපත්ති, නිර්වාණ ධර්ම සංඛායත විමුක්තීන්හි වශී බවද යන සියල්ල මේ පුණ්‍ය නිධානය නිසා ලැබේ.

නිධිකණ්ඩ සුත්‍රය – ඛුද්දක පාඨ – ඛුද්දක නිකාය via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook May 07, 2016 at 04:51PM

එළඹෙන වෙසක් සමය තුළ සුදස්සන හිමියන් විසින් පවත්වනු ලබන සුමධුර ධර්ම දේශනා කිහිපයක විස්තර අප වෙත ලැබී ඇත. කලාතුරකින් ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න.

මැයි 18 දින උදැසන 8.00 සිට 11.00 දක්වා – මෙත්සිත් අරණ, පිටිපන දකුණ, සුවපුබුදුගම, හෝමාගම

මැයි 18 දින සවස 3.00 සිට 5.30 දක්වා – ශ්‍රී ලංකා ටෙලිකොම් මුලස්ථානය, කොළඹ 01

මැයි 19 දින උදැසන 9.00 සිට 11.00 දක්වා – ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තිරප්පනේ

මැයි 21 දින උදැසන 8.00 සිට 11.00 දක්වා – ලබුනොරුව අරණ්‍ය සේනාසනය, කැකිරාව

මැයි 21 දින සවස 3.00 සිට 4.30 දක්වා – මිහිඳු අරණ්‍ය සේනාසනය, කුරුන්දම්කුලම, අනුරාධපුරය

අන්තර්ජාල පහසුකම් නැති අය අතර මේ පණිවිඩය හැකිතාක් බෙදා හැර ඔබත් ධර්ම දානයට දායක වන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook May 07, 2016 at 03:00PM

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

මහණෙනි යමෙක් පඨවි ධාතුව ප්‍රර්ථනා කරයිද හෙතෙම දුක ප්‍රර්ථනා කරන කෙනෙක්. යමෙක් දුක ප්‍රර්ථනා කරයි නම් හෙතෙම දුකෙන් නොමිදෙයි.
යමෙක් අපෝ ධාතුව, ප්‍රර්ථනා කරයිද හෙතෙම දුක ප්‍රර්ථනා කරන කෙනෙක්. යමෙක් දුක ප්‍රර්ථනා කරයි නම් හෙතෙම දුකෙන් නොමිදෙයි.
යමෙක් තේජෝ ධාතුව, ප්‍රර්ථනා කරයිද හෙතෙම දුක ප්‍රර්ථනා කරන කෙනෙක්. යමෙක් දුක ප්‍රර්ථනා කරයි නම් හෙතෙම දුකෙන් නොමිදෙයි.
යමෙක් වායෝ ධාතුව, ප්‍රර්ථනා කරයිද හෙතෙම දුක ප්‍රර්ථනා කරන කෙනෙක්. යමෙක් දුක ප්‍රර්ථනා කරයි නම් හෙතෙම දුකෙන් නොමිදෙයි. යැයි කියමි.

මහණෙනි යමෙක් පඨවි ධාතුව ප්‍රර්ථනා නොකරයිද හෙතෙම දුක ප්‍රර්ථනා නොකරන කෙනෙක්. යමෙක් දුක ප්‍රර්ථනා නොකරයි නම් හෙතෙම දුකෙන් මිදෙයි. යමෙක් ආපෝ ධාතුව ප්‍රර්ථනා නොකරයිද හෙතෙම දුක ප්‍රර්ථනා නොකරන කෙනෙක්. යමෙක් දුක ප්‍රර්ථනා නොකරයි නම් හෙතෙම දුකෙන් මිදෙයි. යමෙක් ත්ජෝ ධාතුව ප්‍රර්ථනා නොකරයිද හෙතෙම දුක ප්‍රර්ථනා නොකරන කෙනෙක්. යමෙක් දුක ප්‍රර්ථනා නොකරයි නම් හෙතෙම දුකෙන් මිදෙයි. යමෙක් වායෝ ධාතුව ප්‍රර්ථනා නොකරයිද හෙතෙම දුක ප්‍රර්ථනා නොකරන කෙනෙක්. යමෙක් දුක ප්‍රර්ථනා නොකරයි නම් හෙතෙම දුකෙන් මිදෙයි යැයි කියමි.

අභිනන්දන සුත්‍රය – චතුධාතු වග්ගය – ධාතු සංයුක්තය – සංයුක්ත නිකාය 2

මේ පිලිබදව වැඩිපුර නුවණ ලබාගැනීමට මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ මේ දේශනාව ශ්‍රවනය කරන්න.
http://ift.tt/1VI1KN5 via Facebook Pages http://ift.tt/1GMS4Lf