Monthly Archives: October 2016

New photo from Facebook October 14, 2016 at 12:00PM

චීවර පඬු පෙවීම
~~~~~~~~~~~
තුන්ලෝකාග්‍ර සම්මා සම්බුදු රජාණන්වහන්සේ ට හෝ උන්වහන්සේගේ ශ්‍රාවක ආර්‍ය මහා සංඝරත්නය වෙත හෝ පූජා කිරීමට චීවරයක් තමන් ටම සකසා ගන්නට හැකි නම් කොයි තරම් අගනේද.. කෙතරම් පිනක් ද..
චීවර වර්ග දෙපට සිවුර, තනිපට සිවුර, සහස්කඩ, දහස් කඩ ලෙසින් ද, දුඹුරු පාට, තැඹිලි පාට ලෙසින් ද විවිධ වේ.
පහත ලිපියෙන් දැක්වෙන්නේ සුදු චැලෙන්ජර් රෙදිවලින් මසා ගත් චීවරයක්, මහා සංඝරත්නය අරමුණු කර පූජා කිරීම සඳහා (විශේෂයෙන් ම ආරණ්‍යවාසී ස්වාමීන්වහන්සේලා සඳහා) පඬු පොවා වර්ණ ගන්වා ගන්නා අයුරුයි.

සැලකියයුතුයි:
මේ නිකම්ම රෙද්දක් පාට කිරීමක් නෙවෙයි.. මේ ඝෝර, කටුක, භයානක සසර ගමනේ අනන්ත වාරයක් ඉපිද මැරෙමින් දුක් විඳින අසරණ අප, ඉන් මුදවා ගන්නට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතාවන් පුරා තුන්ලෝකාග්‍ර උතුම් බුද්ධත්වයට පත් වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේට, උන්වහන්සේ දේශනා කල ශ්‍රී සද්ධර්මය අපට කරුණාවෙන් කියාදී සසරින් එතෙර වන මඟ පෙන්වන ආර්‍ය මහා සංඝරත්නයට පූජා කරන්නට සූදානම් කරගත් උතුම් චීවරයක් පඬු පොවන අවස්ථාවයි.
ඔබ තිසරණ සරණ යන්න; පංච ශීලය සමාදන් වන්න; තෙරුවන් ගුණ වන්දනා කරන්න,
ඉතාමත් උතුම් පින්කමක් වන මේ සඳහා ආශීර්වාද කරන්නට, සහභාගි වන්නට දෙවි දේවතාවන්ට ආරාධනා කරන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:
විනයානුකූලව මසා සකසා ගත් චීවරයක් (සුදු )
පඬු ග්‍රෑම් 200ක් පමණ (දුඹුරු වර්ණයෙන් )
මේස ලුණු ග්‍රෑම් 150ක් 200ක් පමණ.
කල්දෙරමක්
ප්ලාස්ටික් බේසමක්
එළිමහනේ පිරිසිඳු ස්ථානයක සැකසූ ලිපක්.

පඬු පොවන ක්‍රමය:
පළමුව ප්ලාස්ටික් බේසමට ජලය පුරවා, සකසාගත් චීවරය (සුදු පාට ), එම ජලයේ පෙඟෙන්නට හරින්න. දර ලිපක් සකසා ගන්න.. වායු සැපයීම පහසු වීම පිණිස ලිප සඳහා යොදන ලිප් ගල් මඳක් උස් විය යුතුයි. ලිප මත තැබු කල්දේරමෙහි අඩක් පමණ පිරෙන්නට ජලය පුරවා ගන්න.. (චීවරය දැමූ විට එය සම්පූර්ණයෙන් ම ගිලෙන ප්‍රමානයට ජලය පුරවා ගන්න ). කල්දේරමෙහි ජලය නටන තුරු ලිප දල්වන්න. ජලය නටන අවස්ථාවෙහි පඬු ග්‍රෑම් 200ක් පමණ හා ලුණු ග්‍රෑම් 150-200ක් පමණ එයට දමා ලීයකින් කලතා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් පෙඟෙන්නට දමා තිබූ තෙත්, සුදු, චීවරය කල්දේරමට දමන්න. ලීයෙන් හොඳින් කලතමින් පඬු වර්ණය චීවර රෙද්දට වර්ණ ගන්වන්නට හරින්න. විනාඩි 5ක් පමණ ලීය ආධාරයෙන් සිවුර පඬු පොවන්න. දැන් පරිස්සමින් චීවරය කල්දේරමින් හිස් ප්ලාස්ටික් බේසමට මාරු කරන්න. අතින් ඇල්ලීමට හැකි පමණට චීවරය වේලුන පසු, රෙදි වැලකට දමා මඳක් ජලය බේරෙන්නට හරින්න. ජලය බේරුන පසු නැවත කල්දේරමට චීවරය දමා කලතන්න. නැවත පෙර පරිදි ප්ලාස්ටික් බේසමටට මාරු කර, ඉන්පසු රෙදි වැලෙහි දමා ජලය බැසයන්නට හරින්න. දැන් පිරිසිදු ජලයෙන් චීවරය දෙවරක් පමණ සෝදන්න. (පිරිසිදු ජලයෙන් සේදීමේදී, නැවත නැවත ජලයට පඬු පාට එක් වේ.. ඒ චීවරයේ පාට යනවා නොව.. අමතර පඬු සේදී යනවා පමණි. එනිසා චීවරය පිරිසිඳු ජලයේ දෙවරක් පමණ සේදීම සෑහේ) ජලය ඉවත් කිරීමට දඟර ආකාරයට එය මිරිකන්නට එපා. දැන් තද අව්වේ වියලා ගන්න. මේ සියලු කටයුතු කරත්දී ඉතා ශ්‍රද්ධාවෙන් ම බුදු ගුණ, සඟ ගුණ මෙනෙහි කරමින් කරන්න. මේ උතුම් පුණ්‍ය කටයුත්තට මට උදව් උපකාර කල සෑම දෙනාටම මෙඋ භවයේදීම සතර අපායෙන් නියතවම මිදෙන්නට, කෙටිම පහසුම මඟින් උතුම් නිවන අවබෝධකරගන්නට මේ පින් හේතු වේවා. හිරු මගින් විකාශය කල පාසිවුරු වැඩසටහනත් මේ සඳහා මට බොහෝ උපකාරී උනා.
තෙරුවන් සරණයි !
(උපුටා ගැනීමකි) via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 13, 2016 at 12:00PM

== අටවිසි පිරිත ==
තණ්හංකරෝ මහා වීරෝ – මේධංකරෝ මහායසෝ
සරණංකරො ලෝකහිතෝ – දීපංකරෝ ජුතින්ධරෝ

කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ක්ඛෝ – මංගලො පුරිසාසභෝ
සුමනො සුමනො ධීරෝ – රෙවතෝ අරති වද්ධනෝ

සොභිතෝ ගුණසම්පන්නෝ – අනෝමදස්සි ජනුත්තමෝ
පදුමො ලෝකපජ්ජොතෝ – නාරදො වරසාරථි

පදුමුත්තරො සත්තසාරෝ – සුමේධො අග්ගපුග්ගලෝ
සුජාතෝ සබ්බලෝකග්ගෝ – පියදස්සී නාරාසභෝ

අත්ථදස්සී කාරුණිකෝ – ධම්මදස්සී තමෝනුදෝ
සිද්ධත්ථා අසමෝ ලෝකේ – තිස්සො වරදසංවරෝ

ඵුස්සො වරද සම්බුද්ධෝ – විපස්සී ච අනූපමෝ
සිඛී සබ්බහිතෝ සත්ථා – වෙස්සභූ සුඛ දායකෝ

කකුසන්ධො සත්ථවාහෝ – කොණාගමනො රණංජහෝ
කස්සපො සිරි සම්පන්නෝ – ගෝතමෝ සක්‍යපුංගවෝ

තෙසං සච්චේන සීලේන – ඛන්ති මෙත්තා බලේන ච
තෙපි මං අනුරක්ඛන්තු – ආරෝග්‍යේන සුඛෙන චාති

අට්ඨවීසතිමෙ බුද්ධා – පූරෙත්වා දස පාරමී
ජෙත්වා මාරාරි සංගමං – බුද්ධත්තං සමුපගමුං
ඒතේන සච්චවජ්ජේන – හොතු මෙ ජය මංගලං

භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ

1. මහා වීරෝ = මහත්වූ වීර්ය ඇත්තා වූ
2. මහායසෝ = මහත්වූ කිර්තිය ඇත්තා වූ
3. ලෝකහිතෝ = ලොවට හිත අත්තා වූ
4. ජුතින්ධරෝ = බබලන්නාවූ
5. ජනපාමොක්ක්ඛෝ = ජනයාට නායක වූ
6. පුරිසාසභෝ = මහත් වූ පෞරෂය ඇත්තා වූ
7. සුමනෝ ධීරෝ = මනාවූ සිහිය ඇත්තාවූ ධෛර්යයෙන් යුතු
8. අරති වද්ධනෝ = නො ඇලීම වර්ධනය කරන්නාවූ
9. ගුණසම්පන්නො = ගුණවත් වූ
10. ජනුත්තමෝ = ජනයින්ට උතුම් වූ
11. ලෝකපජ්ජොතෝ = ලෝකය ආලොකමත් කළාවූ
12. වරසාරථි = උතුම් මග පෙන්වන්නා වූ
13. සත්තසාරො = සත්තවයා හරයෙහි ඇලවූ
14. අග්ගපුග්ගලෝ = ශ්රේෂ්ඨ පුද්ඝලයා වූ
15. සබ්බලෝකග්ගෝ = සියළු ලොවට අග්ර වූ
16. නාරාසභෝ = අති උත්තම මිනිසා වූ
17. කාරුණිකෝ= කාරුණික වූ
18. තමෝනුදෝ = අඳුර දුරුකළා වූ
19. අසමෝ ලෝකේ = ලෝකයේ අසම වූ
20. වරදසංවරෝ = නිවන දීමෙන් සංවර කළා වූ
21. වරද සම්බුද්ධෝ = මනාකොට අවබෝධ කරවූ තැනැත්තා වූ
22. අනූපමෝ = උපමා නැති වූ
23. සබ්බහිතෝ සත්ථා = සියළු සත්වයින්ගේ හිත පිණිස වූ
24. සුඛ දායකෝ = සැපය දෙන්නා වූ
25. සත්ථවාහෝ = උතුම් ශ්රාස්තෘවරයානෝ වූ
26. රණංජහෝ = කෙලෙස් දුරු කළා වූ
27. සිරි සම්පන්නෝ = ශ්රීයෙන් යුක්ත වූ
28. සක්යපුංගවෝ = ශාක්ය කුලයේ උපන්නා වූ

මේ කිසිම ගුණයක් එක් බුදු රජානන් වහන්සේ කෙනෙකුට පමණක් සීමා වූ ඒවා නොවේ. සෑම බුදුවරයෙකු කෙරෙහිම මෙම ගුණ ඇත්තේය. ගද්යමය තත්වය වර්ධනය කිරීම පිණිස පද පූර්ණය සලකා එක් එක් ගුණ යොදා ඇති සෙයක් පෙනේ.
—————–

== මහා ජයමංගල පිරිත ==
මහා කාරුණිකෝ නාථෝ හිතාය සබ්බ පාණිනං
පූරෙත්වා පාරමී සබ්බා පත්තෝ සම්බෝධි මුත්තමං
ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං

ජයන්තෝ බෝධියා මූලේ සක්‍යානං නන්දිවද්ධනෝ
ඒවං තුයිහං ජයෝ හෝතු ජයස්සු ජය මංගලං

සක්කත්වා බුද්ධ රතනං ඕසධං උත්තමං වරං
හිතං දේව මනුස්සානං බුද්ධ තේජේන සොත්ථිනා
නස්සන්තුපද්දවා සබ්බේ දුක්ඛා වූපසමෙන්තු තේ

සක්කත්වා ධම්ම රතනං ඕසධං උත්තමං වරං
පරිළාහූපසමනං ධම්ම තේජේන සොත්ථිනා
නස්සන්තුපද්දවා සබ්බේ භයා වූපසමෙන්තු තේ

සක්කත්වා සංඝ රතනං ඕසධං උත්තමං වරං
ආහුනෙය්‍යං පාහුනෙය්‍යං සංඝ තේජේන සොත්ථිනා
නස්සන්තුපද්දවා සබ්බේ රෝගා වූපසමෙන්තු තේ

යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුථු
රතනං බුද්ධ සමං නත්ථි තස්මා සොත්ථි භවංතු තේ
යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුථු
රතනං ධම්ම සමං නත්ථි තස්මා සොත්ථි භවංතු තේ
යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුථු
රතනං සංඝ සමං නත්ථි තස්මා සොත්ථි භවංතු තේ

නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං
නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං
නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං

සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු
මා තේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ
නක්ඛත්ත යක්ඛ භූතානං පාපග්ගහ නිවාරණා
පරිත්තස්සානුභාවේන හන්තු තේසං උපද්දවේ via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 11, 2016 at 12:00PM

වැලි ස්ථුපයක් කළ ගොපලු දරුවාගේ කථාව

වනවැසි බුද්දකතිස්ස තෙරනම තරුණ කාලයේදීම රහත් බවට පැමිණියේය. එතුමා ” ඉදින් මම නගරයක හෝ ගමක වසන්නෙම් නම් ඉගැන්වීම් ආදි පලිබෝධ ඇතිවන්නේය, එබැවින් වනයක ගොස් වසන්නෙමි” යි සිතා ආරණ්‍යගත විය. එකම පවුලක් තෙරුන්ට තිස් අවුරුද්දක් උපස්ථාන කළේය. තෙරනම තමාගේ ආයුෂ පවත්නා ප්‍රමාණය බලා ගෘහපතියාට ” අද ඔබ පමණක් විහාරයට යා යුතුය; අන්‍යයන් නොයායුතුය” යි කීය. ” ස්වාමීනි ඔබ වහන්සේ කියන දෙයක් කරන්නෙමි” යි කීවිට එසේ නම් වෑය ද පොරොව ද රැගෙන එවයි තෙරනම කීය. ගෘහපතියා ඒ කීසේ විහාරයට ගියේය. තෙරනම දර කපා ගෙනවුත් ගලඋඩ ගොඩගසව යි කීවිට උපාසකයා එසේ කළේය.

තෙරනම මැටිපාත්‍රය ලෑලි ඇදයට නවා තබා ගණ්ඨිය ගැටගසා ඒ ලෑලි තට්ටුව මත්තේ පලග බැද හිදගෙන පිරිනිවියේය. උපාසකයා මැදරැය දක්වා දර කපා මහත් දරගොඩක් ගසා නොකල්හි ගමට යා නොහැකැයි සිතා වනමෘගයන්ට භයින් තෙරුන්ගේ කුටියටම ඇතුල් වී නිදා ගත්තේය. මධ්‍යම රාත්‍රියේදී තෙරනම පිරිනිවියේ යි දේවතාවෝ මිනිසුන්ට දැන්වූහ. මිනිස්සු කල් ඇතිවම ආදාහනේත්සවය පැවත්වීම සදහා මල්-සුවද-වස්ත්‍ර ආදිය රැගෙන පිටත් වූහ. උපාසකයා ද උදෑසනින් නැගිට තෙරුන් පිරිනිවි බව නොදැන ආශ්‍රමයෙන් පිටවී තෙරනම සුදුසු කාලයේදී ගෙදරට එනවා ඇතැයි සිතමින් සිය නිවස දෙසට ගියේය. ඒ යන හෙතෙම අසපුවට යන මිනිසුන් දැක “කොහි යව්දැ” යි විචාරා තෙරුන්ගේ ආදාහනය කිරීමට යන්නෙමු” යි කීවිට ” තෙරනම ජීවත්ව සිටී; මම දැන් එතැන සිට එමි” යි උපාසකයා කීය. ” ඔබ නොදත්තෙහි” යයි කියමින් මිනිසුන් ඒ දෙසටම යනවිට සැක සිතූ හෙතෙම එසේත් විය හැකැයි කියමින් මිනිසුන්ගේ ඉදිරියෙන් ඉදිරියෙන් ගොස් තෙරුන්ගේ ආස්වාස ප්‍රාස්වාසයන් නැති බව දැන මුලින් කපා දැමූ ගසක් මෙන් බිමවැටී හඩන්ටත් පෙරළෙන්ටත් පටන්ගෙන ” අවුරුදු තිහක් උපස්ථාන කළ මට නොදන්වා කිසිවක් නොකියා පිරිනිවියේය” යි විලාප කීය.

ශක්‍රතෙමේ විශ්වකර්මයා ලවා දොරටු පසක් ඇති කුළුගෙයක් මවා නන් අබරණින් සැරසුණු දේවතාවන්ට එය ඔසවාගන්ට සලස්වා කැපකරු උපාසකයා විසින් ඔසවන ලද මෘතදේහය කුළුගෙයි තබ්බවා සත්දවසක් පූජෝත්සව පැවැත්වීය. නැවත තුන්දිනක් මුළුල්ලේ දිවසදුන් සුණු ද මදාරා – කොබෝලීල – පරසතු මල් ද අහසින් වැටීමෙන් කුළුගෙය හාත්පස යොදුන් තුනක පෙදෙස වැසී ගියේය. යම් යම් ගස් කොඩි දරන්නට තරම් ශක්තිමත් වූවාහු නම් ඒ ගස්වල දිව්‍යවස්ත්‍රයෙන් සෑදූ කොඩි එල්වන ලදහ. දිව්‍යතූර්යනාදයෝ පැවැත්තාහ. දෙවියෝ මිනිසුන්ට පෙනෙමින් සිටියාහ. සත්දිනක් මුළුල්ලේ සාපිපාසාවක් හෝ මලමූත්‍ර පහකිරීමක් හෝ නොවීය. දරසෑයමත්තෙහි සදුන් සුණු විසුරුවා ගිනි දැල්වූහ. මෙසේ දෙවිමිනිස්සු එතුමන්ට මහත් සත්කාර සම්මාන දැක්වූහ.

ඒ තෙරුන්ගේ පූර්වකර්මය මෙසේයි:- මින්පෙර භවයකදී හෙළදිව උපන් හෙතෙමේ ගොපලු දරුවෙක් විය. ගවයන් රැකි හෙතෙම වැලිවලින් චෛත්‍යයක් සාදා නොයෙක් වනමල් එක්කොට එයට පුදා උණකිලිල්වලින් කොඩි සාදා බැද බටලී නලාවක් පිඹ තමාගේ බඩ බෙරයක් මෙන් සිතා වාදනය කෙළේය. ඒ උණකිලිල්කොඩිවල විපාකයෙන් දිව්‍යමය කොඩි පහළ වූහ. බටලි නලාව පිඹීම නිසා දිව්‍ය තූර්යනාද ඇති වූහ. මල් පිදීමේ අනුසසින් දිව්‍යමය මල් වැටුණාහ.

——-

පුලින (වැලි) ථූපිය ථෙරාපදානය -> http://ift.tt/1SPoF7g

57
’’හිමවතට නුදුරෙහි යමක නම් පර්‍වතයක් විය. (එහි) මට මැනවින් කරන ලද අසපුවක් විය. පන්සැලක්ද මොනවට නිම කරන ලදී.
58
’’(මම) නම්න් නාරද නම්වූ, උග්‍ර තපස් ඇති ජටිලයෙක් වෙමි. තුදුස් දහසක් ශිෂ්‍යයෝ මා පිරිවරත්.
59
’’මම එකල්හි විවේකව හුන්නේ, මෙසේ සිතීමි. සියළු ජන තෙමේ මා පුදයි. මම (කිසිවෙකුට) කිසිවක් නොපුදමි.
60
’’මට කිසි ඔවා දෙන්නෙක්ද නැත. (කිසිවෙකුට කරන) කිසි වතාවතකුදු නැත. මම ආචාර්‍ය්‍ය, උපාධ්‍යාය විරහිතව වනයෙහි වෙසෙමි.
61
’’මම යමෙකු වෙත එළඹෙන්නේ නම් හේ (මා කෙරෙහි) ගුරුවරයෙක යන සිත උපදවා ගන්නේය. මට එබඳු ගුරුවරයෙකු නැත. වනයෙහි විසීම නිරර්ත්‍ථකය.
62
’’මම එසේ ගරුභාවනීයවූ උතුමෙකු සොයන්නෙමි. (එබඳු උතුමෙකු) ඇසුරු කෙළේ වසමි. එවිට (කිසිවෙක්) (මට) නොගරහන්නේය.
63
’’නොගැඹුරු ඉවුරු ඇති, මනාවූ කුඩා තොටුපොල ඇති, මනොඥවූ සුදෝ සුදු වැලිතලාවන්ගෙන් ගැවසීගත් කුඩා ගඟක් මගේ අසපුවට නුදුරෙහි විය.
64
’’(එය) අමරිකා නම්වූ නදියකි. එකල්හි මම (එතැනට) එළඹ, වැලි එකතුකොට වැලි සෑයක් (පුලින චෛත්‍යයක්) කෙළෙමි.
65
’’භවය කෙළවර කරන්නාවූ යම් ඒ සර්‍වඥ මුනිවර කෙනෙක් වෙත් නම් මෙබඳුවූ සෑයක් (තනන්නේ) උන්වහන්සේ නිමිතිකොට මම මේ සෑය කරමි.
66
’’වැලිගොඩෙහි සෑයක් කොට මම ස්වර්‍ණ නිර්‍මාණය කෙළෙමි. රන් කිකිණි මල් තුන් දහසක් පූජා කෙළෙමි.
67
’’හටගත් ප්‍රීති ඇත්තේ, බඳින ලද ඇඳිලි ඇත්තේ සවස හා උදයෙහි නමදිමි. සම්බුදුන් හමුයෙහිදී මෙන් පුලින චෛත්‍යය (වැලි සෑය) වඳිමි.
68
’’යම් කලෙක්හි ගිහිගෙට අයත් ක්ලේශ විතර්‍කයෝ හටගනිත්ද, එකෙණෙහි සර්‍වඥ ස්ථූපය සිහි කරමි. ප්‍රත්‍යවෙක්‍ෂා කරමි.
69
’’සාර්ත්‍ථවාහකවූ, විනායකවූ බුදුරජුන් ඇසුරුකොට වසන්නේ, ක්ලේශයන්හි ගැටී වසන්නෙහි නම් නිදුකාණෙනි, (එය) ඔබට නුසුදුසුය.
70
’’එකල්හි සෑය සිහිකළ කෙනෙහි මාගේ සිත්හි ගෞරවය ඇතිවේ. අකුස්සෙන් පෙළන ලද ඇතෙකු මෙන් මිත්‍ථ්‍යා විතර්‍කයන් දුරු කෙරෙමි.
71
’’මෘත්‍යුරාජයා මෙසේ වසන්නාවූ මා වැසීය. මම එහි කළුරිය කළේ, බඹලොවට ගියෙමි.
72
’’මම එහි දිවි ඇතිතාක් වසා, තාවතිංස දෙව්ලොවෙහි උපනිමි. අසූවරක් දේවේන්‍ද්‍රව දිව්‍ය රාජ්‍යය කරවීමි.
73
’’මම තුන්සිය වරක් සක්විති රජ වීමි. (කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නොහැකිය.
74
’’මම එම පිදූ කිංකිණි පුෂ්පයන්ගේ විපාකය අනුභව කරමි. භවයෙහිදී සියක් දහසක් කිරි මව්වරු මා පිරිවරත්.
75
’’සෑය පිළිදැගුම් කරන ලද බැවින් දැලි කුණු නොතැවරේ. සිරුරෙහි ඩහ නොවැගිරෙයි. මම ප්‍රභා සහිත (පැහැපත්) වූයේ වෙමි.
76
’’ආශ්චර්‍ය්‍යයකි, මා විසින් මැනවින් කරන ලද සෑයකි. (එසේම) ඇමෙරිකා නදියද මැනවින් දක්නා ලදී. වැලිතලාවෙහි සෑයක් කොට අචලපදය වූ නිවණට පැමිණියේ වෙමි.
77
’’කුසල් කරනු කැමැත්තාවූ (නිර්‍වාණ) සාරය ගන්නාවූ සත්ත්‍වයා විසින් (එයට) මෙය කෙතය, මෙය නොකෙතයයි (වෙන්කොට ගතයුත්තක්) නැත. ප්‍රතිපත්ති තොමෝම අර්ත්‍ථසාධක වන්නීය.
78
’’බලවත් පුරුෂයෙක් තෙම සාගරය තරණය කරන්නට උත්සාහ කරන්නේද, යම්සේ (හේ) කුඩා දඬු කැබැල්ලක් ගෙන මහ සයුරට පණින්නේ නම්, මම මේ දඬු කැබෙල්ල නිසා මහ සයුර තරණය කරන්නෙමැයි උත්සාහයෙන්ද, වීර්‍ය්‍යයෙන්ද (එම) මනුෂ්‍යතෙම සයුර කරණය කරන්නේය.
79
80
’’එසේම මා විසින් යම් කර්‍මයක් කරන ලද නම් (එය) කුඩාය. ඉතාම සුළුය. (එහෙත්) එම කර්‍මය නිසා සසර ඉක්මවීමි.
81
’’එම කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, අන්තිම භවය පැමිණි කල්හි, පළමුකොටම සැවැත්නුවර ආඪ්‍යවූ මහාසාර කුලයෙහි උපන්නේ (වෙමි.)
82
’’මාගේ දෙමාපියෝ සැදැහැත්තාහුය. බුදුරජුන්ගේ සරණ ගියෝය. මේ දෙදෙනාම දක්නා ලද (නිර්වාණ) පදය ඇත්තෝය. ශාසනයටද අනුව පවතිත්.
83
’’(ඔවුහු) බෝධියෙහි පතුරක් ගෙන රන් සෑයක් කරවූහ. බුදුරජුන්ගේ හමුවෙහි උදේ සවස නමස්කාරද කෙරෙත්.
84
’’පොහෝ දිනයෙක්හි ස්වර්‍ණ ස්තූපය පිටතට ගන්නාහුය. බුදුරජුන්ගේ ගුණ කියමින් ත්‍රියාම රාත්‍රියම ගත කළාහුය.
85
’’මම (ස්වර්‍ණ) ස්තූපය දැක, ඒ සමගම පුලින චෛත්‍යය (අතීතයෙහි පිදූ වැලි සෑය) සිහි කෙළෙමි. එම අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.
86
’’එම වීරවූ ( බුදුරජුන්) සොයන්නේ, ධර්‍ම සේනාපතීන් වහන්සේ (සැරියුත් තෙරුන්) දුටිමි. ගිහිගෙන් නික්ම උන්වහන්සේගේ සමිපයෙහි පැවිදිවීමි.
87
’’උත්පත්තියෙන් සත් හැවිරිදි කල්හි රහත් බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජතෙම (මාගේ) ගුණ දැන (මා) උපසම්පදා කරවූහ.
88
’’මා විසින් දඟර කල්හිම (මාගේ) (නිවන් සඳහා කළයුතු) කටයුතු නිමකරන ලදී. ශාක්‍යපුත්‍රවූ බුදුරජුන්ගේ සසුනෙහි කටයුතු දෙය අද මා විසින් කරන ලදී.
89
’’මහා වීරවූ ඎෂීන් වහන්ස, සියළු මෛර හා භය ඉක්මවන ලදුයේ වෙමි. සියළු කෙලෙසුන්ද ඉක්මවන ලදුයේ වෙමි. (මම) ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි. ස්වර්‍ණ පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
90
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
91
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
92
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලින ථූපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

හැකිතාක් share කරන්න via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 10, 2016 at 06:00PM

වසර අසූ දහසක් ආයුෂ සහිතව සිටි මනුෂ්‍යයාගේ ආයුෂ වසර 100 දක්වා ද, අනාගතයේදී 10 දක්වා ද අඩු වීමට හේතු.
මේකේ අන්තිම එක විතරයි තාම වෙන්නේ නැත්තේ. එකත් වෙන දවසට මනුෂ්යයත් තිරිසන් සතාත් අතර ලොකු වෙනසක් නැහැ.
වැඩි විස්තර සඳහා -> http://ift.tt/2dFMcYD via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 08, 2016 at 11:00AM

මහානාම ආගතඵල සූත්‍රය -> http://ift.tt/1SlIenr

’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මහානාම ශාක්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක උන් මහානාම ශාක්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේට, ’ස්වාමීනි, පැමිණි මාර්‍ගඵල ඇති දැනගත් ශාසනය ඇති යම් ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක් වේද, හෙතෙම කවර විමසීමකින් වැඩි වශයෙන් වාසය කෙරේදැයි ඇසූයේය.
’’මහානාමයෙනි, පැමිණි මාර්‍ගඵල ඇති දැනගත් ශාසනය ඇති යම් මේ ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක් වේද, හෙතෙම මෙහි පහත පෙන්වන විසීමෙන් වැඩි වශයෙන් වාසය කරයි.
’’මහානාමය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රෙෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්‍ධය, භාග්‍ය ඇත්තේයයි තථාගතයන් වහන්සේ සිහිකරයි.
’’මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම තථාගතයන් වහන්සේ සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, තථාගතයන් වහන්සේ අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ බුද්‍රුන් අරමුණුකොට ඇති සිහිය වඩයි.
’’මහානාමය, නැවතද ආර්‍ය්‍යශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාකොට වදාරණ ලදී. ඇස් ඉදිරිපිට දැක්ක හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය. තමා වෙත පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් තමා විසින්ම දත යුත්තේයයි ධර්‍මය සිහි කරයි.
’’මහානාමය, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ධර්‍මය සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, ධර්‍මය අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ ධර්‍මය අරමුණුකොට ඇති සිහිය වඩයි.
’’මහානාමය, නැවතද ආර්‍ය්‍යශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඇද නැතිව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්‍ගයට පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සතුටු සාමීචි කථාවට පිළිපන්නේය.යම් මේ පුරුෂ යුග සතරක් වෙත්ද, පුද්ගලයින් අට දෙනෙක් වෙත්ද, මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දුරසිට ගෙනා දෙය පිළිගැනීමට සුදුසුය. ඈතට ගෙන යා යුතු දේ පිළිගැනීමට සුදුසුය. දන්දීමට සුදුසුය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසුය. ලෝකයාගේ ශ්‍රෙෂ්ඨ පින් කෙතයයි සංඝයා සිහි කරයි. මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම සංඝයා සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, සංඝයා අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ සංඝයා අරමුණුකොට ඇති සිහිය වඩයි.
’’මහානාමය, නැවතද ආර්‍ය්‍යශ්‍රාවක තෙම තමාගේ නොකැඩුනු, සිදුරු නොවූ, පුල්ලි නොගැසුනු, කිලිටි නොවූ, නිදහස් නුවණැත්තන් විසින් ප්‍රශංසා කළ, තණ්හා මාන දෘෂ්ටිවලට අසු නොවූ, සමාධිය පිනිස පවත්නා සීලයත් සිහි කරයිද, මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ශීලය සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, ශීලය අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ සීලය අරමුණුකොට ඇති සිහිය වඩයි.
’’මහානාමය, නැවතද ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මට ඒකාන්තයෙන් ලාභයත. මා විසින් ඒකාන්තයෙන් මනාකොට ලබන ලදී. යම්බඳුවූ මම මසුරු මලින් මැඩගත් සත්ත්‍වයන් අතරෙහි පහවූ කිළුටෙන් හා මසුරු කමෙන් යුත් සිතින් ගිහිගෙයි වසමි. ත්‍යාගය පිණිස මුදන ලද්දේ, සෝදන ලද අත්ල ඇත්තේ, නිවනෙහි ඇළුනේ, ඉල්ලීමට සුදුසුවූයේ, බෙදාදීමෙහි ඇළුනේයයි තමාගේ ත්‍යාග ගුණය සිහි කරයි. මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ත්‍යාග සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, ත්‍යාග අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ ත්‍යාගය අරමුණුකොට ඇති සිහිය වඩයි.
’’මහානාමය, නැවතද ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ’චාතුර් මහා රාජිකවූ දෙවියෝ ඇත්තාහ. තව්තිසා වැසි දෙවියෝ ඇත්තාහ. යාම දෙවියෝ ඇත්තාහ. තුෂිත දෙවියෝ ඇත්තාහ. නිර්මානරතී දෙවියෝ ඇත්තාහ. පරනිර්මිත වසවර්ති දෙවියෝ ඇත්තාහ. බ්‍රහ්ම කාය ඇති දෙවියෝ ඇත්තාහ. ඊටත් උසස් දෙවියෝ ඇත්තාහ. යම්බඳු ශ්‍රද්‍ධාවකින් යුක්තවූ ඒ දෙවියෝ මෙයින් චුතවූවාහු එහි උපන්නාහුද, මමද එබඳු ශ්‍රද්‍ධාවක් විද්‍යමාන වේ. මෙබඳු ශීලයකින් යුක්තවූ ඒ දෙවියෝ මින් චුතවූවාහු, එහි උපන්නාහුද, මටද එබඳු සීලයක් ඇත්තේය. යම්බඳු ඇසීමකින් යුක්තවූ ඒ දෙවියෝ මින් චුතවූවාහු එහි උපන්නාහුද, මටද එබඳු ඇසීමක් ඇත්තේය. යම්බඳු ත්‍යාගයකින් යුක්තවූ ඒ දෙවියෝ මින් චුතවූවාහුද මටද එබඳු ත්‍යාගයක් ඇත්තේය. යම්බඳු ප්‍රඥාවකින් යුත් ඒ දෙවියෝ මින් චුතවූවාහු, එහි උපන්නාහුද, මටද එබඳු ප්‍රඥාවක් ඇත. මහානාමය, යම් කාලයෙක්හි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තමාගේද, ඒ දෙවියන්ගේද, ශ්‍රද්‍ධාවද, සීලයද, ඇසීමද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරයිද, මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම දේවතාවුන් සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, දේවතාවුන් අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ දේවතාවුන් අරමුණුකොට ඇති සිහිය වඩයි.
’’මහානාමය, පැමිණි මාර්ගඵල ඇති දැනගත් බුද්‍ධ ශාසනය ඇති, යම් ඒ ආර්‍ය්‍ය හ්‍රාවකයෙක් වේද, හෙතෙම මේ විහරණයෙන් වැඩි වශයෙන් වාසය කරයි.’’ යයි වදාළ සේක.

මා භායි මහානාම සූත්‍රය -> http://ift.tt/203veV2

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත්පුරයෙහි නිග්‍රොධාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය එක්පසෙක හුන්නාවූ මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
[2] “ස්වාමීනි, මේ කිඹුල්වත් නුවර ආහාරපානාදියෙන් සමෘද්ධය. හැම දෙයින් සම්පූර්ණය. බොහෝ මිනිසුන්ගෙන් යුක්තය. මිනිසුන්ගෙන් අතරක් නැත. කෙළවරක් නොදත හැකි වීථීන්ගෙන් යුක්තය. ස්වාමීනි, ඒ මම වනාහි භාග්‍යවතුන් වහන්සේ හෝ සිත දියුණු කළ භික්ෂුවක් හෝ ආශ්‍රය කොට සවස් කාලයෙහි කිඹුල්වත් නුවරට ඇතුල්වන කල්හි කලබලවූ ඇතුන් ඉදිරියටද පැමිණෙමි. කලබලවූ අසුන් ඉදිරියටද පැමිණෙමි. කලබලවූ රිය ඉදිරියටද පැමිණෙමි. කලබලවූ ගැල් ඉදිරියටද පැමිණෙමි. කලබලවූ පුරුෂයකු ඉදිරියටද පැමිණෙමි. ස්වාමීනි, ඒ මට එකල්හි භාග්‍යවතුන් වහන්සේ අරබයා පවත්නා සිහිය නැතිවෙයි. ධර්මය අරබයා පවත්නා සිහිය නැතිවෙයි. සංඝයා අරබයා පවත්නා සිහිය නැතිවෙයි. ස්වාමීනි, ඒ මට ඉදින් එකල්හි කළුරිය කරන්නෙම් නම් ‘මාගේ ගතිය කුමක්ද, පරලොව කුමක්දැයි’ යන අදහස පහළවිය.
[3] “මහානාමය, බිය නොවව. මහානාමය, බිය නොවව තොපට ලාමක නොවන්නාවූ මරණයක්, ලාමක නොවන්නාවූ කාලක්‍රියාවක් වන්නේය. මහානාමය, යමෙකුට වනාහි බොහෝ කාලයක් ශ්‍රද්ධාවෙන් වඩනාලද සිතක් ඇත්තේද, සීලයෙන් වඩනාලද සිතක් ඇත්තේද, ශ්‍රැතයෙන් වඩනාලද සිතක් ඇත්තේද, ත්‍යාගයෙන් වඩනාලද සිතක් ඇත්තේද, ප්‍රඥාවෙන් වඩනාලද සිතක් ඇත්තේද, ඔහුගේ යම් මේ කයක් වේද එය වනාහි රූපයන්ගෙන් යුක්තය. සතර මහා භූතයන්ගෙන් හටගත්තේය. මව්පිය (ශුක්‍ර ශ්‍රොණිත) යන්ගෙන් උපන්නේය. බත් කොමු පිඩුවලින් එක්වූවකි. අනිත්‍ය ඉලීම් පිරිමැදීම්, බිඳීම් විනාශවීම් ස්වභාවයෙන් යුක්තය. ඒ කය මෙහිදීම කපුටෝ හෝ කා දමත්. ගිජුළිහිණියෝ හෝ කා දමත්. උකුස්සෝ හෝ කා දමත්. සුනඛයෝ හෝ කා දමත්. හිවල්ලු හෝ කා දමත් නොයෙකුත් සත්තු හෝ කා දමත්. බොහෝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රද්ධාවෙන් වඩනා ලද සීලයෙන් වඩනාලද ශ්‍රැතයෙන් වඩනාලද ත්‍යාගයෙන් වඩනාලද ප්‍රඥාවෙන් වඩනාලද ඔහුගේ යම් සිතක්වේද එය උඩට යන්නාවූ විශෙෂයට පැමිණෙන්නාවූ සිතක් වෙයි
[4] “මහානාමය, යම්සේ බලවත් පුරුෂයෙක් වනාහි ගිතෙල් සැළියක් හෝ තෙල් සැළියක් හෝ ගැඹුරුවූ දියක ගිල්වා බිඳින්නේ වේද, (එවිට) එහි යම් කැට හෝ කැබිලිති හෝ වේද, ඒ යට යන්නේය. එහි යම් ගිතෙලක් හෝ තෙලක් හෝ වේද, එය උඩට මතුවන්නේ, විශෙෂයට පැමිණෙන්නේ වේද, මහානාමය, එසේම යම් කිසිවෙකුගේ ශ්‍රද්ධාවෙන් වඩනාලද, සීලයෙන් වඩනාලද ශ්‍රැතයෙන් වඩනාලද ත්‍යාගයෙන් වඩනාලද ප්‍රඥාවෙන් වඩනාලද සිතක් වේද එය උඩට යන්නාවූ විශෙෂයට පැමිණෙන්නාවූ සිතක් වෙයි.
“ඔහුගේ මේ කය වනාහි රූපයන්ගෙන් යුක්තය. සතර මහාභූතයන්ගෙන් හටගත්තේය. මව්පිය (ශුක්‍ර ශ්‍රොණිතයන්) ගෙන් උපන්නේය. බත් කොමු පිඬුවලින් එක්වූවකි. අනිත්‍ය ඉලීම්, පිරිමැදීම්, බිඳීම්, විනාශවීම්, ස්වභාවයෙන් යුක්තය. ඒ කය මෙහිදීම කපුටෝ හෝ කා දමත්. ගිජුළිහිණියෝ හෝ කා දමත්. උකුස්සෝ හෝ කා දමත්. සුනඛයෝ හෝ කා දමත්. හිවල්ලු හෝ කා දමත්. නොයෙකුත් සත්තු හෝ කාදමත් බොහෝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රද්ධාවෙන් වඩනා ලද සීලයෙන් වඩනාලද ශ්‍රැතයෙන් වඩනාලද ත්‍යාගයෙන් වඩනාලද ප්‍රඥාවෙන් වඩනාලද ඔහුගේ යම් සිතක්වේද එය උඩට යන්නාවූ විශෙෂයට පැමිණෙන්නාවූ සිතක් වෙයි.
[5] “මහානාමය, තොපගේ සිත බොහෝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රද්ධාවෙන් වඩනා ලද්දේය. සීලයෙන් වඩනා ලද්දේය. ශ්‍රැතයෙන් වඩනා ලද්දේය. ත්‍යාගයෙන් වඩනා ලද්දේය. ප්‍රඥාවෙන් වඩනා ලද්දේය. මහානාමය, බය නොවව. මහානාමය, බය නොවව. තොපට උතුම්වූ මරණයත් උතුම්වූ කාලක්‍රියාවක් වන්නේයයි” වදාළේය. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 07, 2016 at 12:00PM

ආහාරයෙන් වැඩුණු මේ කයේ අනාත්ම ස්වභාවය මෙනෙහි කරමු. අනාත්ම කියන්නේ “මම, මගේ, මගේ ආත්මය” ලෙස ගැනීම නුසුදුසු බවයි
අප්‍රමාදීව ධර්මයෙහි හැසිරෙමු … via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 06, 2016 at 06:00PM

අනමතග්ග සංයුත්තයේ එන සියලු සූත්‍ර කියවන්න.

තිණකට්ඨ සූත්‍රය -> http://ift.tt/1VmOSYJ

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී තණ්හාවෙන් බැඳී ගමන් කරන්නාවූ සැරිසරන්නාවූ සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග (කෙළවර) ඇත්තේය. පූර්ව කෙළවරක් නොපෙනෙන්නේය.
“මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් මේ දඹදිව යම්තාක් තණ, ලී දඬු, අතු සහ කොළ වේද, (ඒ සියල්ල) කපා එක් තැනකට රැස්කරන්නේ වේද, රැස්කොට සතරඟුල් සතරඟුල් කෑලි කපා ‘මේ මාගේ මවය. මේ මාගේ මවුගේ මවය’යි කියා තබන්නේ වේද. මහණෙනි, ඒ පුරුෂයාගේ මවුගේ මවුවරු කෙළවරක් නොවෙත්. එහෙත් මේ දඹදිව තණ, ලී දඬු, අතු, කොළ, කෙළවර වන්නේය. අවසාන වන්නේය. ඊට හේතුව කවරේද?
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුනු තණ්හාවෙන් බැඳුණු ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයාගේ මේ සංසාරය නොදක්නා ලද, කෙළවර ඇත්තේ වේද, පූර්ව කෙළවරක් නොපෙනෙයිද එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි දුක් අනුභව කරනලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී සොහොන් බිම තර කරන ලදී.
‘මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
(පළමුවෙනි තිණකට්ඨ සූත්‍රය නිමි.) via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 05, 2016 at 09:00PM

‘උච්චාසයන මහාසයා වෙරමණී සික්ඛාපදං සමාදියාමි’ යන මේ සිකපදය අටසිල් නවසිල් දසසිල් රක්නා උපාසකකෝපාසිකාවන්ට හා සාමණේරයන්ට සාධාරණ ය. උපසම්පන්න භික්ෂූන්ට ද උච්චාසයන පරිභෝගයෙන් ඇවැත් වේ. එබැවින් මෙය විශේෂයෙන් ම විසඳා ගත යුතු පැනයෙකි.

සාමාන්‍ය මිනිසුන් ගේ අඟලින් අටඟුලකට වඩා උස් ආසනය “උච්චාසයනය” යි විනයවර්ධන කාරයෝ කියති. සාමාන්‍ය මිනිසුන් ගේ අඟල් අට, දැන් භාවිත කරන කෝදුවේ අඟල්වලින් අඟල් සයක් පමණ වේ. සාඟුලක් උස් ආසනය ඉතා මිටි ආසනයකි.

ආසනයේ උස විනිශ්චය කර ගැනීමේ දී ආසනවලින් ඇති ප්‍රයෝජනය විශේෂයෙන් සැලකිය යුතු ය. ආරක්‍ෂාවත් ඉරියව් පැවැත්වීමත් පහසුවත් ආසනවලින් ඇති ප්‍රයෝජනය ය. බිම ඉන්නා තැනැත්තා ගේ ශරීරයට බිම ඇවිදින පත්තෑ ගෝණුසු ආදි සතුන් ගෙන් අනතුරු පැමිණිය හැකි ය. රාත්‍රියෙහි අඳුරෙහි බිම නිදන තැනැත්තා ගේ ශරීරයට කුලප්පු වී දුවන මීයන් ද පැමිණිය හැකි ය. අඳුරේ ඇවිදින සර්පයන්ද පැමිණිය හැකි ය. එබැවින් බිම හිඳීම නිදීම යන දෙක ම අනතුරු සහිත ය. බිම ම එක සැටියක ම වාඩිවී සිටීමත් අපහසු ය. පය පහළට ලා වාඩිවීම පහසු ය. උස් අසුනක් ඇති කල්හි පා හකුළුවා වාඩිවීම, පා පහළ දමා වාඩිවීම යන දෙ ආකාරයෙන් ම සිටිය හැකි බැවින් ඉරියව් පැවැත්වීම පහසු ය.

ඉතා මිටි අසුනක නිදන තැනැත්තා ගේ ඇඟට මීයන්ට හා සර්පයන්ට පහසුවෙන් ම පැමිණිය හැකි ය. එහි යට පිරිසිදු කිරීමත් අපහසු ය. එබැවින් එහි යට කුණු එකතු වී තිබිය හැකි ය. නො පෙනෙන බැවින් සර්පයකු රිංගා සිටියත් දත නො හැකි ය. එයින් අනතුරු විය හැකි ය. එහි පා පහළ දමා වාඩි වී සිටීමටත් අපහසු ය. එබැවින් විනයවර්ධන කාරයන් කියන තරමට මිටි අසුන ප්‍රයෝජනය මඳ අන්තරාය කර අසුනක් බව කිය යුතු ය.

අකප්පිය උච්චාසනයේ ප්‍ර‍මාණය මේ ය යි බුදු රජාණන් වහන්සේ විසින් විස්තර කර වදාරා ඇති තැනක් පිටකත්‍රයෙහි දක්නට නැත. උච්චාසයන පදය වර්ණනා කරන අටුවාවලත් “අතික්කන්ත පමාණං උච්චාසයනං නාම” යි පමණට වඩා උස ඇති ආසනය උච්චාසයනය බව දක්වා තිබෙනවා මිස, උච්චාසයනයේ ප්‍ර‍මාණ නියමයක් දක්වා නැත. ආසනයේ ප්‍ර‍මාණය සැලකිය යුත්තේ ද එහි ප්‍රයෝජනය අනුව ය. යම් ආසනයක පාදයන් පහළ දමා වාඩි වූ කල්හි ඒවා බිම නො වැදී එල්ලී තිබේ නම් ඒ වාඩි වීම පැවිද්දන්ට හා උපාසකෝපාසිකාවන්ට නො ගැලපෙන අශෝභන වාඩිවීමකි. ශරීරයටත් එසේ වාඩිවීම අගුණ ය. එබැවින් වාඩි වූ කල්හි පා බිම නො වැදෙන තරමට උස් ආසනය පමණට වඩා උස් අසුන බව කිය යුතු ය. ඒ තරමට උස් ආසනයෙහි වාඩිවීම ද පහසු නැත. බැසීම ද පහසු නැත. එබඳු ආසනයකට නැගීමේ දී හා ඉන් බැසීමේ දී වැටෙන්නට බැරි නැත. එය අන්තරාය සහිත ආසනයෙහි. එබැවින් එය අයෝග්‍ය ආසනයෙකි.

රියනක් පමණ උස්වන ආසනයෙහි පහසුවෙන් වාඩි විය හැකිය. සතුන්ටත් එයට නැගීමට පහසු නො වන බැවින් එතරම් අසුනක හිඳින නිදන තැනැත්තාට සතුන්ගෙන් වන අන්තරාය ද අඩු ය එතරම් උස් ආසනයේ යට සතකු වැදී සිටියත් පහසුවෙන් පෙනෙන්නේ ය. පහසුවෙන් පිරිසිදු කළ හැකි බැවින් එහි යට කසල රැස්වන්නේ ද නැත. කරුණු මෙසේ හෙයින් රියනක් පමණ උස් ආසනය ප්‍ර‍මාණවත් ආසනය බව දත යුතු ය.

විනයවර්ධනකාරයන් මිනිස් අඟලෙන් අටඟුලකට වඩා උස් අසුන අකප්පිය උච්චාසනය ය කියතත් විශාඛොපෞෂථසූත්‍රයෙහි එන “මඤ්චෙ ඡමායඤ්ච සයෙථ සන්ථතෙ” යන ගාථාපදය මනෝරථපූරණී අටුවාවෙහි වර්ණනා කර තිබෙන්නේ “මුට්ඨිහත්ථපාදකෙ කප්පියමඤ්චෙ වා සුධාපරිකම්මකතාව භූමියං වා තිණපණ්ණ පලාලාදීනි සන්ථරිත්වා කතෙ සන්ථතෙ වා සයෙථ” කියා ය. එහි තේරුම: “මිටිරියන් පා ඇති කැප ඇඳෙහි හෝ සුණුපිරියම් කළ බිම හෝ තණ හා කොළ පිදුරු ආදිය අතුරා කළ ඇතිරියෙහි හෝ නිදව් ය” යනුයි.

“උච්චාසයනං වුච්චති පමාණාතික්කන්තං, තස්ස පමාණං පන යස්ස පාදතලතො යාව අටනියා හෙට්ඨි මන්තෙන සුගතංගුලෙන අට්ඨංගුලප්පමාණො මජ්ඣිම පුරිසස්ස හත්ථෙන මුට්ඨිරතනප්පමාණො පාදකො හොති තං පමාණිකං නාම වට්ටති. තතො අධිකං පමාණාතික්කන්තං නාම, න වට්ටති.”

මේ සූත්‍ර‍ සංග්‍ර‍හ අටුවාවෙහි උච්චාසයනය විස්තර කර ඇති ආකාරය ය. එහි තේරුම : “පමණ ඉක්මුණු අසුන උච්චාසයනය යි කියනු ලැබේ. එහි ප්‍ර‍මාණය වනාහි යම් අසුනක පාදතලයේ පටන් අටනියේ යටි කෙළවර දක්වා සුගත් අඟලෙන් අටඟුලක් පමණ වේ ද මධ්‍යම පුරුෂයා ගේ අතින් මිටිරියනක් පමණ වේ ද එය ප්‍ර‍මාණ යුක්ත ආසනය වන්නේ ය, ඒ ආසනය වටනේ ය. එයට වැඩි උස් ආසනය පමණ ඉක්මුණු ආසනය ය. එය නො වටනේ ය” යනුයි.
ශාක්‍යපුත්‍ර‍ වූ උපනන්ද ස්ථවිරයෝ උස් අසුනක සයනය කරති. එක් දිනක් බුදුරජාණන් වහන්සේ බොහෝ භික්ෂූන් ද සමග සෙනසුන් බලා වැඩම කරන සේක් උපනන්ද තෙරුන් ගේ විහාරයට ද පැමිණි සේක. එකල්හි උපනන්ද ස්ථවිරයෝ ‘මාගේ ආසනය බලන සේක්වා’ යි කියා බුදුන් වහන්සේට ඒ උස් ආසනය දැක්වූහ. බුදුන් වහන්සේ එතැනින් හැරී අවුත් භික්ෂූන් අමතා “මහණෙනි, වාසස්ථානයෙන් ම මෝඝ පුරුෂයා දත හැකිය” යි වදාරා උපනන්ද ස්ථවිරයන්ට ද ගර්හා කොට,

“නවං පන භික්ඛුනා මඤ්චං වා පීඨං වා කාරයමානෙන අට්ඨංගුල පාදකං කාරෙතබ්බං සුගතංගුලෙන අඤ්ඤත්‍ර‍ හෙට්ඨිමාය අටනියා. තං අතික්කාමයතො ඡෙදනකං පාචිත්තියං.”

යන සිකපදය පනවා වදාළ සේක. මේ සිකපදයේ සැටියට සුගත් අඟලෙන් අටඟුලකට වඩා දික් පා ඇති අසුන උච්චාසනය ලෙස සැලකිය යුතු ය. ‘බුදුන් වහන්සේ දිර්ඝ පුරුෂයෙක් නො වෙති ය. මධ්‍යම පුරුෂයෙක් ය. සුගත් අඟලය කියන්නේත් මිනිස් අඟල ම ය. මිනිස් අඟලෙන් අටඟුලකට වඩා උස් පා ඇති අසුන භික්ෂූන්ට හා අටසිල් සමාදන් වූවන්ට අකැප ය යි’ විනයවර්ධනකාරයෝ කියති. ඔවුන් කියන සැටියට සුගත් අඟලත් සාමාන්‍ය මිනිස් අඟල ම නම්, සුගත් අඟලය කියා වෙනස් කොට දේශනා කිරීමෙන් පලක් නැත. සුගත් අඟලය කියා වෙනස් කොට දේශනා කර තිබෙන්නේ එහි වෙනසක් ඇති නිසා ය. එයින් එය සාමාන්‍ය මිනිස් අඟල නො වන බව දත හැකි ය. සුගතවිදත්ථි සුගතංගුල යන මේවා විනයෙහි භාවිත කරන මිණීමේ ප්‍ර‍මාණයෝ ය.

“සුගත විදත්ථි නාම ඉදානි මජ්ඣිමස්ස පුරිසස්ස තිස්සො විදත්ථියො වඩ්ඪකී හත්ථෙන දියඩ්ඪො හත්ථො හොති”

යනුවෙන් සුගත විදත්ථිය හෙවත් සුගත් වියත දැනට වාසය කරන මධ්‍යම පුරුෂයා ගේ අතින් තුන්වියතක් ද වඩුරියනින් එක්රියන් හමාරක් ද වන්නේය යි සමන්තපාසාදිකා විනය අටුවාවෙහි දක්වා තිබේ. ඒ නයින් ගන්නා කල්හි සුගත් අඟල මධ්‍යම පුරුෂයා ගේ අඟල් තුනක් වන්නේ ය. සුගත් අඟල් අට මධ්‍යම පුරුෂයා ගේ අඟලින් 24 ක් වන්නේ ය. වියතකට ඇත්තේ අඟල් දොළොසකි. සුගත් වියත වඩුරියනින් එක්රියන් හමාර වන විට සුගත් අඟල් අට වන්නේ වඩු රියනකි. රියනක් දිග පා ඇති ආසනය ඉතා උස් ද නො වූ ඉතා මිටි ද නො වූ උස වැඩිකමින් වන දෝෂයන් ද නැති මිටි වැඩිකමින් වන දෝෂයන් ද නැති ඉතා ම යෝග්‍ය ආසනය ය. උච්චාසනය වන්නේ එයට වඩා උස් වුවහොත් ය.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගේ ශ්‍රාවකයනට සිකපද පනවන්නේ ඔවුනට කරදරයක් අනතුරක් කිරීම පිණිස නොව ඔවුන් ගේ ප්‍රයෝජනයත් පහසුවත් සඳහා ය. ඔවුන්ට අටඟුල් අසුනක් නියම කරනවා නම් එය තමන් වහන්සේ ගේ ශ්‍රාවකයනට කරදරයක් හා අනතුරක් කිරීමකි. එබන්දක් උන් වහන්සේ නො කරන සේක. තථාගතයන් වහන්සේ ගේ ශ්‍රාවකයෝ සර්පයන් ගහණ ආරණ්‍ය සේනාසනවල ද වෙසෙන්නාහ. ඒවායේ දී විනයවර්ධනකාරයන් කියන අටඟුල් අසුන පාවිච්චි කළ හොත් බොහෝ භික්ෂූන්ට සර්පයන්ගෙන් අනතුරු පැමිණෙනවා ඇත. විනයවර්ධනකාරයන් මේ අටඟුල් කතාව ගෙනෙන්නේ භික්ෂූන් හා ගිහියන් භේද කරවීම පිණිස මිස අනිකක් සඳහා නො වේ. මොවුනට නො රැවටෙත්වා.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘ධර්ම විනිශ්චය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/t9Yxtt via Facebook Pages http://ift.tt/1GMS4Lf