Monthly Archives: March 2018

New at Little Bit


from Path to Nirvana http://ift.tt/2FNngyX
බොහෝ දෙනෙකුට අමතක වෙන චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක්. මුන් වහන්සේවත් හැකිතාක් පුදමු.
ක්‍රි.ව. 276-303 රජකළ මහසෙන් රජතුමා විසින් කරවන ලද්දකි. බුදුරඡාණන් වහන්සේගේ ඉණ බැඳි පටියෙහි කොටසක් ජේතවනාරාමයේ තැන්පත් කර ඇති බව කියනු ලැබේ. ලොව උසම හා විශාල තම චෛත්‍යය ද වේ.

New at Little Bit


from Path to Nirvana http://ift.tt/2FQJqwc
කාවන්තිස්ස රජුගේ ඇවෑමෙන් ගැමුණු කුමරු තම සොහොයුරා වූ සද්ධාතිස්ස කුමරු සමග චූලංගනී නම් ස්ථානයේ දී රාජ්‍ය බලය පිණිස යුද්ධ කළේය. එම යුද්ධයෙන් ගැමුණු කුමරු පරාජයට පත්විය. තිස්ස නැමැති අමාත්‍යවරයෙක් සමග රජු වෙළඹකගේ පිට නැගී පලා යන්නට විය. දෙදෙනාම වන ලැහැබකට පිවිසි අතර බලවත් කුසගින්නක් දැනෙන්නට විය. තිස්ස ඇමති තමා සතුව තිබූ බත් පතක් ගෙන රජුට දුන්නේය. බත්පත සතරකට බෙදන ලෙස රජු අණ කළේය. “මෙහි සිටින්නේ අපි තිදෙනෙක් පමණකි. කොටස් හතරකට බත්පත බෙදන්නෙ ඇයි ” දැයි ඇමති තුමා රජුගෙන් ඇසුවේය . “තිස්සය, මට මතක ඇති කාලයේ පටන් භික්ෂූන් වහන්සේලාට දන් නොදී ආහාර ගැනීමක් සිදුකර නැත. මම අද ද භික්ෂූන් වහන්සේලාට දන් දී ම ආහාර ගනිමි” යැයි කුමරු
කීවේය. ඇමති තුමා බත්පත හතරකට බෙදුවේය. කුමරු “කාලඝෝෂා කරව” යැයි ඇමැති හට අණ කළේය . “දේවයන් වහන්ස, මේ ඉතා දුෂ්කර වන ලැහැබකි. මෙතන භික්ෂූන් වහන්සේලා සොයා ගත නො නොහැක” යැයි ඇමැති ප්‍රකාශ කළේය. “එය නුඹගේ බරක් නොවේ ඉදින් මට ශ්‍රද්ධාව ඇත් නම් භික්ෂූන් වහන්සේලා ලබමි. මා කෙරෙහි විශ්වාසය කර කාල ඝෝෂා කරව” යැයි රජතුමා ප්‍රකාශ කළේය.

වර්තමානයේදී ‘ධම්මස්සවණ කාලෝ අයං භදන්තා ‘ (ධර්මය ශ්‍රවණය පිණිස මේ කාලයයි) යනුවෙන් සිදුකර කරනුයේ ද කාල ඝෝෂාවකි. මෙහිදී අමාත්‍යවරයා සිදුකළේ දානය සඳහා කාලය දැන්වීමයි.

ඉක්බිති බෝධි මාතු මහා තිස්ස තෙරුන් වහන්සේ මෙම ශබ්දය දිව කනින් අසා මේ ශබ්දය කාගේදැයි ආවර්ජනය කරනුයේ ” දුටුගැමුණු රජු යුද්ධයෙන් පැරදී වනයට පිවිස හිඳිමින් බත් පතක් සතරකට බෙදා තනිවම අනුභව නොකරන්නෙමියි ඇයි කාලඝෝෂා කරවීය.අද ම විසින් රජු හට සංග්‍රහ කළ යුතුය” යැයි අහසින් වැඩ රජුගේ ඉදිරියෙහි වැඩ සිටි සේක.
රජතුමා පැහැදුණු සිත් ඇත්තේ වී ” තිස්සය බලව” යැයි පවසා තෙරුන් වහන්සේට වැඳ “වහන්ස, පාත්‍රය දෙනු මැනවැ ” යි කීවේය. තෙරුන් වහන්සේ පාත්‍රය දුන් සේක. රජතුමා තමාගේ කොටස සමග තෙරුන් වහන්සේගේ කොටස ද පාත්‍රයෙහි බහා “වහන්ස, කිසි කලෙකත් මට ආහාරයෙන් අඩුපාඩුවක් නොවේවා යැයි” වන්දනා කරමින් සිටියේය. තිස්ස ඇමති ද මගේ ස්වාමියා බලා සිටියදී මට ආහාර ගත නොහැකි යැයි තමාගේ කොටස ද තෙරුන් වහන්සේගේ පාත්‍රයෙහි තැන්පත් කළේය. වෙළඹ ද මෙසේ සිතුවාය “මගේ කොටස ද තෙරුන් වහන්සේට දීමට සුදුසුය”. රජතුමා වෙළඹ දෙස බලා වෙළඹ ද තමාගේ කොටස ද තෙරුන්වහන්සේ හට දීමට කැමතිය යැයි දැන එම කොටස්ද පාත්‍රයෙහි බහා තෙරුන් වහන්සේට වන්දනා කොට පිටත් කර හැරියේය. තෙරුන් වහන්සේ එම බත පිඬක් පිඬක් බැගින් වැඩිමහල් පිළිවෙලින් භික්ෂු සංඝයාට පූජා කළේය.

මට අතිශයින් කුසගිනි ය. ඉදින් බතේ ඉතිරි කොටසක් වේ නම් තෙරුන් වහන්සේ එය මට එවන්නේ නම් මැනවි යැයි රජු කල්පනා කළේය. තෙරුන්වහන්සවහන්සේ රජතුමාගේ සිත දැන අතිරේක වූ දානය ඔවුන් හට ඉතිරිකොට පාත්‍රය අහසින් රජතුමා වෙත එව්වේය. එහි වූ බත තිදෙනාටම ඇතිතාක් වැළඳීම සඳහා ප්‍රමාණවත් විය. ඉන්පසු රජතුමා පාත්‍රය දෝවනය කර ‘තෙරුන් වහන්සේට හිස් පාත්‍රය නොයවමි යයි’ තමාගේ උතුරු සළුව ගලවා පාත්‍රය එහි තබා ‘ පාත්‍රය අහසින් ගොස් ස්වාමීන් වහන්සේගේ දෑතේ පිහිටා වා’ යැයි අහසට නැංවූයේය. පාත්‍රය අහසින් ගොස් තෙරුන් වහන්සේගේ දෑතෙහි පිහිටියේය.

පසුකලක රජතුමා භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ධාතූන් ගෙන් ද්‍රෝණයක් තැන්පත් කොට රුවන්වැලි මහා සෑය කරමින් සිටින අවදියේ දී එම සෑය නොනිමි කළ මරණාසන්න සමය එළඹුණේය. මහසෑයට දකුණු දෙසින් සැතපී පඤ්ච නිකායික භික්ෂූන් වහන්සේලා ධර්මය සජ්ඣායනා කරනු අසමින් සිටි කළ දිව්‍ය ලෝක සයෙන් ම දිව්‍ය රථ පැමිණ ඉදිරියෙහි අහසේ සිටියේය.

රජු තමාගේ පින් පොත ගෙන්වාගෙන මුල පටන් කියවා ගත්තේ ය. කිසිදු කර්මයක් රජතුමාව සතුටට පත් නොකළේය. “ඉදිරියටත් කියවාගෙන යව” යැයි කීවේය. පොත කියවන්නා ” දෙවයන් වහන්ස, චූලංගනී යුද්ධයෙන් පැරදී වනයට පිවිස සිටි කල බතක් සතර කොටසක් කොට බෝධි මහා තිස්ස තෙරුන් වහන්සේට පූජා කළේය යැයි” කීවේය. “නවතිනු” යැයි පවසා ” වහන්ස, කවර දිව්‍යලෝකයක් නම් සිත්කලුද? ” යැයි භික්ෂු සංඝයාගෙන් ඇසුවේය. “සියලු බෝධි සත්ත්වයන් වාසය කරන්නා වූ තුසිත භවන සිත්කලු ය”යි සංඝයා පිළිතුරු දුන් සේක. රජතුමා කලුරිය කොට තුසිත භවනෙහි ඉපදුණේය.

සම්පාදක
පූජ්‍ය පූජාපිටියේ සූරියරතන හිමි
මහාවිහාරය – Mahaviharaya

New at Little Bit


from Path to Nirvana http://ift.tt/2DAqmjN
== මල් පිදීමේ අනුසස් ==
සුමන මල්කරු
අප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ රජගහ නුවර බිම්බිසාර රජතුමාට දිනපතා මල් සපයන සුමන නම් මිනිසෙක් විය. එක් සමයෙක් හි තථාගතයන් වහන්සේ පෙරවරු කාලයේ මහා භික්ෂු සංඝයා විසින් පිරිවරන ලදුව සවණක් ඝණ බුදුරැස් මාලාවන් විහිදුවමින් මහත් වූ බුද්ධානුභාවයෙන් බුද්ධ ලීලාවෙන් පිඬු පිණිස රජගහ නුවරට වන් සේක. රජුට සමන් මල් නැළියක් ගෙන යන්නා වූ සුමන මල් කරු ෂට්වර්ණ රශ්මි මාලාවෙන් හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසූ අනුඛ්‍යඤ්ජනයෙන් ශෝභාවත් වූ රුවන් පහන් ගසක් වැනි තථාගතයන් වහන්සේ ගේ ශ්‍රී දෙහය දැක, අතිශය පහන් වූ සිත් ඇත්තේ කුමකින් තථාගතයන් වහන්සේට පූජාවක් කරන්නෙම්දෝ යි සිතනුයේ පූජා කිරීමට අන් දෙයක් නොදක්නේ රජුට ගෙන යන්නාවූ මේ මලින් තථාගතයන් වහන්සේ පුදමියි සිතා නැවත “දිනපතා රජුට ගෙන ගිය මේ මල් නො ගෙන ගියහොත් රජු කිපී මා සිර කරන්නට ද පිළිවන, එහෙත් කරන්නට දෙයක් නැත. රජු මට කරන දෙයක් කරාවා. මේවා රජුට ගෙන යාමෙන් ඔහු මට දෙතත් දෙන්නේ මේ ආත්ම භවයේ ජීවත් වීමට තරම් සුළු දෙයකි. මේ මලින් බුදුන් වහන්සේ පිදුවහොත් මට එය අනේක කල්ප කෝටීන්හි සැප ගෙන දෙන පිනක් වන්නේය. ඒ නිසා වන්නක් වේවා, මේ මල මම බුදුනට ම පුදමි” යි සිතා පළමුවෙන් මල් දෙමිටක් ගෙන තථාගතයන් වහන්සේ දෙසට විසි කළේය. ඒ මල් එකකුදු බිම නො වැටී තථාගතයන් වහන්සේ මතුයෙහි අහස් හි වියනක් මෙන් සැදී සිටියේය. එය දැක අතිශයින් පහන් වූ සුමන තවත් මල් දෙමිටක් ගෙන බුදුරදුන් දෙසට විසි කළේය. ඒ මල් බුදුරදුන් දකුණු පසින් තිරයක් මෙන් සෑදී අහස්හි සිටියේය. තවත් දෙමිටක් විසි කළේය. ඒවා තථාගතයන් වහන්සේ පිටිපසින් තිරයක් සේ සෑදී සිටියේය. තවත් දෙමිටක් විසි කළේය. ඒවා තථාගතයන් වහන්සේගේ වම් පසින් තිරයක් සේ සෑදී සිට ගත්තේය. බුදුරජාණන් වහන්සේ රිදීපටින් වසන ලද්දකු සේ ඉදිරියට වැඩම කළහ. මල් ද එකකුදු නොවැටී තථාගතයන් වහන්සේ අනුව ගියේය. තථාගත ශරීරයෙන් නික්ම උන්වහන්සේ වටා තුන්යලක් ගමන් කොට ඉදිරියට දුවන්නා වූ බුදුරැස් දහරාවන් නිසා ඒ මල් වඩාත් ශෝභාවත් විය. ඒ ප්‍රාතිහාර්ය දැක සතුටට පත් ජනයා ඔල්වරසන් නගමින් සළු උඩ දමමින් සළු හිස වට කරකවමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් ගමන් ගත්හ. තථාගතයන් වහන්සේ ද මල්කරුගේ ගුණය ප්‍රසිද්ධ වනු පිණිස නගරයේ ප්‍රධාන මාර්ගයේම ගමන් කළහ. මල් කරුගේ සකල ශරීරය පස්වනක් ප්‍රීතියෙන් පිරී ඉතිරී ගියේය. ඔහු මඳ දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට මනෝසිලා රසයෙහි ගැලෙන්නාක් මෙන් බුදුරැස් තුළට වැද උන්වහන්සේට ස්තුති කොට වැඳ හිස් පැස ගෙන ගෙදර ගියේය.

ඔහු හිස් පැස ගෙන ගෙදර ගිය කල්හි භාර්යාව “මල් වලට කුමක් කළෙහිදැ” යි ඇසීය. “තථාගතයන් වහන්සේට පිදුවෙමි” යි මල්කරු කීය. “දැන් රජුට කුමක් කරන්නෙහිදැ” යි භාර්යාව ඇසූ කල්හි “රජු මට කරන දඬුවමක් කෙරේවා යි ජීවිත පරිත්‍යාග කොට මම මල් පිදුවෙමි” යි කියා සිදු වූ සියළු ප්‍රාතිහාර්යද ඇයට කීය. අනුවණ ගැහැණියට ඒ ප්‍රාතිහාර්ය ගැන සිත පහදා ගත නො හැකි විය. ඈ බිය වී සැමියාටද බැණ වැදී “රජවරු නපුරෝ ය. කිපුණු කල්හි අත්පා සිඳවීම් ආදී මහානර්ථ කරන්නාහ. නුඹ කළ දෙයින් මට ද විපත් සිදුවිය හැකිය” යි කියා දරුවන් ද ගෙන රජු වෙත ගොස් “දේවයන් වහන්ස, මගේ සැමියා නුඹ වහන්සේට ගෙනෙන මල් බුදුරදුන් පුදා හිස් පැස ගෙන ගෙදර ආයේය. මා විසින් මල් වලට කුමක් කළෙහිදැ යි ඇසු කල්හි ඒ බව මට කීයේය. ඔහු කළ වරදින් මටත් විපතක් වේදෝ යි මම ඔහු හැර දරුවන් ද ගෙන නුඹ වහන්සේ වෙත පැමිණියෙමි. දේවයන් වහන්ස, ඔහු කළ දෙය යහපතක් ද, නපුරක් ද කියා මම නොදනිමි. එය කුමක් වුවත් එය ගැන මගේ සම්බන්ධයක් නැත. මම ඔහු අත්හැර දැමීමි” යි කීවාය. රජතුමා බුදුරදුන්ගේ ප්‍රථම දර්ශනයේදීම සෝවාන් ඵලයට පැමිණි ආර්ය ශ්‍රාවකයෙකි. එතුමා අනුවණ ගැහැණියට මෙතරම් මහත් ප්‍රාතිහාර්යයකදී ද සිත පහදා ගත හැකි නොවී යයි සිතා, කිපුණු ආකාරයක් දක්වා “කිමෙක්ද මට ගෙනා මල් තිගේ සැමියා බුදුනට පිදුවේ දැ” යි ඇසීය. “එසේය, දේවයන් වහන්ස” යි පිළිතුරු දුන්නීය. එකල්හි රජතුමා “ඒ මිනිසා හැර දැමීමන් තී කළ දෙය ඉතා යහපති. මාගේ මල් පූජා කළහුට කළ යුත්ත මම දනිමි” යි කියා ඇය පිටත් කර හැර වහා ගොස් ඒ ප්‍රාතිහාර්යය නරඹමින් තථාගතයන් වහන්සේ සමග ම ගමන් කළේය. ශාස්තෘන් වහන්සේ රජුගේ ප්‍රසාදය දැක අණබෙර හසුරුවන වීථියෙහි ම ගමන් කොට රජගෙදර සමීපයට පැමිණි සේක. රජතුමා පාත්‍රය ගෙන තථාගතයන් වහන්සේ රජමැදුරට වඩමවා ගන්නට සිතුවේය. තථාගතයන් වහන්සේ රජ මිදුලෙහිම වැඩ හිඳිනු කැමති ආකාරය දැක්වූහ. රජතුමා ලෝකනාථයන් වහන්සේ ගේ අදහස දැන වහ වහා එහි මණ්ඩපයක් කරවීය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා හා එහි වැඩහුන් සේක. තථාගතයන් වහන්සේ රජගෙට නො වැඩ එළිමහනෙහිම වැඩ සිටියේ මල්කරුගේ ගුණය මහජනයා අතර වඩාත් ප්‍රකට වනු පිණිස ය. රජතුමා බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දන් දිණ. තථාගතයන් වහන්සේ වළඳා අවසානයේ අනුමෙවෙනි බණ වදාරා පළමු පරිදි ම මල් වියන් මල් තිර තිබියදී ම මහ පෙරහරින් මහජනයා සමඟ ම වෙහෙරට වැඩම කළ සේක. උන්වහන්සේ ගඳ කිළියට පිවිසෙන කල්හි ඒ මල් ගඳකිළිය දොරකඩ වැටිණ.

රජතුමා මඳ දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට නැවතී මල්කරුවා ගෙන්වා “නුඹ මට ගෙනෙන මල් කුමක් සිතා බුදුනට පිදුවෙහිදැ” යි ඇසීය. “එකෙණෙහි මට ඇති වූ බලවත් චිත්තප්‍රසාදය නිසා රජ්ජුරුවන් වහන්සේ මා මරතොත් මරත්වා රටින් නෙරපතොත් නෙරපත්වා යි ජීවිතය පරිත්‍යාග කොට ඒ මල් පිදුවෙමි” යි මල්කරු කීය. රජතුමා ඔහුගේ ක්‍රියාව ගැන පැහැදී “නුඹ මහා පුරුෂයෙකැ” යි ඔහුට පසසා ඇතුන් අටදෙනෙකුන් ද, අසුන් අටදෙනෙකුන් ද, දාශයන් අටදෙනෙකුන් ද, දාශියන් අටදෙනෙකුන් ද, මහාර්ඝ පළඳනා ද, කහවනු අටදහසක් ද, සර්වාලංකාරයෙන් සැරසූ කාන්තාවන් අට දෙනෙකුන් ද, ගම් අටක් ද යන මේ සියල්ල ඔහුට ප්‍රදානය කළේය. සියල්ලෙන් අට බැගින් ඇති බැවින් සර්වාෂ්ටක නම් වූ ඒ පරිත්‍යාගය මල්කරු ඒ පූජාවෙන් එදින ම ලැබූ අනුසස ය.

ආනන්ද ස්ථවිරයන් වහන්සේ “සුමන මල්කරුගේ පූජාව නිමිත්තෙන් අද උදෑසන පටන්ම මහා ප්‍රීති ඝෝෂාවක් පවත්නේ ය. ඔහුට ඉන් ලැබෙන්නාවූ විපාකය කුමක් දෝයි තථාගතයන් වහන්සේගෙන් අසමි.” යි සිතා උන්වහන්සේ වෙත එළඹ “මල්කරුට ඒ පූජාවෙන් වන විපාක කවරේද” යි ඇසූහ. “ආනන්දය, මේ මල්කරු විසින් කරන ලද්ද සුළු කොට නො සිතව. හෙතෙමේ මා හට දිවි පුදා ඒ පූජාව කළේය. හෙතෙමේ මා කෙරෙහි ඇති කරගත් ඒ චිත්තප්‍රසාදයෙන් කල්ප ලක්ෂයක් දුර්ගතියකට නො පැමිණෙත්ය. එතෙක් කල් ඔහු දෙව් මිනිස් සැප විඳ අන්තිමේදී සුමන නම් පසේ බුදු වන්නේය” යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

(මේ කථාව දම්පියා අටුවාවෙන් ගන්නා ලදී)

නාගවිමාන වස්තුව
මේ මහා භද්‍රකල්පයෙහි අප ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් ලොව පහළ වී වදාළා වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් පිහිටවා එකල විසූ සැදැහැවත්හු යොදුනක් උසැති ස්වර්ණ චෛත්‍යයක් කරවූහ. ඒ චෛත්‍යයය පිරිවර සහිත කිකී රජතුමා හා නුවර වැස්සෝ ද, දනව් වැස්සෝ ද දිනපතා බොහෝ මල් ගෙන ගොස් පුදන්නාහ. එබැවින් මල් දුර්ලභ විය. එක් දවසක් උපාසකයෙක් මල් සොයනු පිණිස මාලාකාර වීථියේ ඇවිද එක් කහවණුවකට එක බැගිනි දු මල් සොයා ගත නොහී කහවණු අටක් ද රැගෙන මල් වත්තකට ගියේය. ඔහු එහි ගොස් “මේ කහවණු අටට මල් අටක් හෝ දෙව” යි කීය. “මල් සියල්ල නෙලා දී දැන් අවසන්ය.” යි මල්කරු කීය. උපාසක තෙමේ “මල් ඉතිරි වී ඇත්නම් මම සොයා ගන්නෙමි” යි කීය. “එසේ නම් උයනෙහි ඇවිද සොයා ගන්න” යයි මල්කරු කීය. උපාසක උයනට පිවිස ඇවිදිනුයේ බිම වැටී තිබූ මල් අටක් ලැබ ඒවා මල්කරු වෙත ගෙනැවිත් දක්වා ඔහුට කහවණු අට ගන්නට කීය. “මේ මල් ලැබී ඇත්තේ ඔබ පිනෙන් ය. ඒනිසා මේවාට මම මුදලක් නො ගනිමි” යි මල්කරු කීය. “මම නොමිලයේ මල් ගෙන භාග්‍යවතුන් වහන්සේට නො පුදමි” යි කියා කහවණු අට ඔහු ඉදිරියේ තබා මල් ගෙන චෛත්‍ය කරා ගොස් පහන් සිතින් පිදුවේය. උපාසක ඒ පිනෙන් මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන, තුන්කෝටි සැටලක්ෂයක් අවුරුදු ආයුෂය ගෙවී ගිය පසු ඔහු චුතව නැවත එහිම උපන්නේ ය. මෙසේ නැවත නැවත දෙව්ලොවම උපන් ඔහු අප බුදුන් සමයෙහි ද එහිම විසුවේය.

දිනක් මුගලන් මහ තෙරුන් වහන්සේ දෙව්ලොව චාරිකාවෙහි හැසිරෙන සේක්. මහත් වූ ශ්වේතහස්තිරාජයකු පිට නැගී අප්සරා සමූහයා විසින් පිරිවරන ලදුව පුන්සඳ මෙන්, හිරුමෙන්, දිසාවන් ආලෝක කෙරෙමින් මහත් වූ දිව්‍යානුභාවයෙන් අහස් හි ගමන් කරන ඒ දෙවියා දැක ඔහු වෙත වැඩම කළහ. දෙව්පුත් තෙරුන් වහන්සේ දැක ඇතු පිටින් බැස උන්වහන්සේට වැඳ සිටියේ ය. එකල්හි තෙරුන් වහන්සේ ඔහු අමතා “තොප මේ මහා සම්පත්තිය ලදුයේ අතීතයෙහි කළ කිණම් කුශලයෙකින් දැ” යි විචාළ සේක. එකල්හි දෙව්පුත්

අට්ඨෙව මුත්ත පුප්ඵානි කස්සපස්ස මහෙසිනො,

ථූපස්මිං අභිරොපෙසිං පසන්නො සෙහි පාණිහි,

තෙන මෙ තාදිසො වණ්ණෝ තෙන මෙ ඉධ මිජ්ඣති

උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.

“හිමියනි, මම අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට නටුවෙන් ගිලිහී වැටුණ මල් අටක් පහන් සිතින් සියතින් පිදුවෙමි. මාගේ කාන්තිමත් ශරීර වර්ණය ඒ පිනෙන් ඇතිවිය. මාගේ මේ දිව්‍ය සම්පත්තිය ඒ පිනෙන් ඇතිවූවකි. සිතට ප්‍රිය වූ අනල්ප දිව්‍ය භෝජනාදී වස්තුහු මට ඒ පිනෙන් පහළ වන්නාහ” යි කීය.

(විමානවත්ථු අටුවාවෙන්)

මෙකල මල් පුදනුවන් විසින් සිතට ගත යුතු වැදගත් කරුණක් ඉහත දැක්වූ කථාවෙහි ඇත්තේ ය. එනම් උපාසක තැන විසින් මල් නොමිලයේ නො ගැනීමය. පූජාව දානයටම අයත් පිනකි. දානය තේරුම් කර ඇත්තේ “අත්තුපකරණ පරිච්චාග චේතනාව” කියා ය. එනම් තමාට සම්පූර්ණයෙන් අයිතිය ඇති වස්තුවක් අනුග්‍රහ වශයෙන් හෝ පූජා වශයෙන් අනිකකුට පිරිනැමීම ය. මිලක් දෙන්නේ නැතිව නිකම්ම අනුන්ගෙන් දෙයක් ගෙන තවත් කෙනෙකුට දීම හෝ පිදීම වැදගත් දීමක් හෝ පිදීමක් නො වේ. වැදගත් වන්නේ තමා වෙහෙසී සපයා ගත්ත වූ හෝ මිලයට ගත්තා වූ හෝ දෙයක් දීම හා පිදීම ය. උපාසක තැන මල් නොමිලයේ නොගත්තෙ එසේ ගන්නා ලද්දක් පිදීමේ වැදගත් කමක් නැති බැවිනි. මෙකල බොහෝ දෙනා තමන් මහන්සි වී මල් සැපයීමක් හෝ මිලයට ගැනීමක් හෝ නොකොට අනුන් ගෙනෙන මල්වලින් ටිකක් ගෙන පුදන්නට බලාපොරොත්තු වෙති. එසේ කරන පූජාවල වැදගත් කමක් වටිනාකමක් නැති බව සැලකිය යුතුය.

පූජාවක් කිරීමට තමා අයත් දෙයක් තිබිය යුතුය. කෙනෙකුගේ දෙයක් තවත් කෙනෙකු විසින් පූජා නො කළ හැකි ය. පූජා කෙළේ ද එය පූජාවක් නො වේ. කෙනෙකු විසින් මල් පහන් ගිලන් පස ආදී පූජාද්‍රව්‍ය පිළියෙල කොට පූජාසනය මත තබා පූජා කිරීමට ගාථා කියන කල්හි තවත් බොහෝ දෙනා එකතුව පූජා කිරීමේ ගාථා කියති. එහෙත් ඔවුන් විසින් පූජා කරන ඔවුනට අයිති කිසිම වස්තුවක් එහි නැත. පූජා කරන වස්තුවක් නැතිව එසේ ගාථා කීම තේරුමක් නැති වැඩක් බව ද සැලකිය යුතුය. පූජා කිරීමේ තේරුම නො දත් බැවින් ඇතැම්හු අනුන් මල් ගෙනවුත් අසුන මත තබා පුදන කල්හි එකතු වී ගාථාව කියුවහොත් තමන් පූජාවක් කළා වෙතියි සිතති. මේ කරුණු තේරුම් ගෙන පින් සිදුවන සැටියට මල් පහන් ආදිය පුදත්වා.

සුළුගුළු උපාසක
සුළුගුළු උපාසක යනු සිංහල බෞද්ධයන් අතර ප්‍රසිද්ධ නමෙකි. ඒ නම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සුළුගුළු උපාසකතුමාට මලිය මහාදේව නම් වූ රහතන් වහන්සේගේ ආරාධනයෙන් පණ තිබියදී ම තව්තිසා දෙව් ලොවට යන්නට ලැබීම නිසා ය. දෙව්ලොවදී ඔහුට නානාප්‍රකාර සම්පත් ඇති බොහෝ දෙවියන් ඇසින් ම දැක ගත හැකි විය. උපාසක තුමා සිළුමිණි සෑය සමීපයෙහි සිටි කල්හි රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී රක්තශෛන්ධවයන් යෙදූ ප්‍රවාල රථයකින් එක් දෙවියෙක් එහි ආවේය. ඔහුට රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසුණු සුරංගනාවෝ රත් චාමර ගෙන පවන් සලති. එසේම සැරසුණු තවත් බොහෝ දෙව්ලියෝ ඔහු සතුටු කරවනු වස් ඔහු ඉදිරියේ සුමිහිරි ගී ගයති. තූර්යයන් වාදනය කෙරෙති. නටති. රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී රක්තවර්ණ ඡත්‍රධ්වජපතාකාවන් ගෙන බොහෝ දෙවියෝ ඔහු පිරිවරා ගමන් කරති. එසේ මහත් වූ දේවානුභාවයෙන් මහත් වූ ඓශ්වර්යයෙන් හැසිරෙන ඒ දෙවියා දැක උපාසක තෙමේ “හිමියනි, මෙබඳු සම්පත්තියක් ඇතියකු මීට පෙර මා කිසි දිනක දැක නැත. මේ සම්පත්තිය මොහුට ලැබී ඇත්තේ කිනම් පිනකින්දැ” යි ඇසීය.

එකල්හි තෙරුන් වහන්සේ කියන්නාහු “උපාසකය, මොහු පෙර ජාතියේ චේතිය විහාරය සමීපයේ ගමක ගොපලු දරුවෙකි. ඔහු එක් දිනෙක අනික් ගොපලු දරුවන් හා ගවයන් ගෙන දැදුරු ඔය වෙත ගොස් ගව සමූහයට තණ කන්නට හැර තෙමේ වැලිතළාවක ක්‍රීඩා කරන්නේ වැලි එකතු කොට සෑයක් තනා රත්මල් වනයට පිවිස බොහෝ මල් නෙලා ගෙනවුත් එහි පුදා මල් නො වියළෙනු පිණිස පැන් ඉස හිරුරැස් වළකණු පිණිස අතු කඩා ගෙනවුත් ආවරණයක් කොට සිත පහදා ගෙන සවස ගවයන් ගෙන නිවසට ගියේය. අදින රාත්‍රියේ හට ගත්තාවූ ආබාධයකින් කළුරිය කළ ඔහු මෙහි උපන්නේය. මේ ඒ මල් පූජාවෙන් ඔහු ලද සම්පත්තිය ය” යි වදාළ සේක. එය අසා උපාසක තෙමේ මහත් සොම්නසට පැමිණියේය.

මල්, ජනයන්ගේ නෙත් සිත් පිනවන ශෝභාවක් හා සුගන්ධයක් ද ඇත්තාවූ ජනප්‍රිය දෙයකි. එය පිදීමේ පිනෙන් විශේෂයෙන් උපනුපන් ජාතිවලදී රූප ශෝභාව ඇති වේ. ස්වර්ණතිලකාවට පුරුෂයන් වශී වන, උමතු වන රූප ශෝභාවක් ඇති වූයේ මල් පූජාවෙනි. උපනුපන් තැන බොහෝ දෙනාට ප්‍රිය පුද්ගලයෙකු වීමට ද මල් පූජාව විශේෂයෙන් හේතු වේ.

පණ්ඩුක බණ්ඩාර

New at Little Bit


from Path to Nirvana http://ift.tt/2FWOMt9
සියලු දෙනාට වැරදි කාම සේවනයෙන් වෙන්වීමේ සිත් පහල වේවා

ඉසිදාසී ථෙරී ගාථා -> http://ift.tt/2tWHEsb

“යමෙක මේ විපාකයෙක් වීද ඒ මගේ ජාති සතක් දනිමි. එය නුඹට කියන්නෙමි. ඒ එක සිතින් අසව.
437
“ඒ මම එරකච්ඡ නුවර මහත් ධන ඇති රන්කරුවෙක් වීමි. තරුණ මදයෙන් මත්ව පරදාර සේවනය කෙළෙමි.
438
“ඒ මම ඉන් චුතව බොහෝ කලක් නිරයෙහි පැසුනෙමි. එසේ පැසී ඉන් නැඟී වැඳිරියක කුස උපන්නෙමි.
439
“රැළට නායක මහ වඳුරුතෙම උපන් සත් දවසක්වූ මාගේ බිජුවට නැසීය. පරදාර ගිය මේ එහි කර්ම විපාකයයි.
440
“ඒ මම ඉන් චුතව සින්ධවාරණ්‍යයෙහි කණවූ කුදුවූ එළු දෙනක කුස උපන්නෙමි.
441
“එහිදී බීජොත්පාටනය කළ මම දොළොස් වසක් මුළුල්ලෙහි දරුවන් උසුලමින්, පරදාරයෙහි ගිය පවින් පණුවන් ගෙන් ආකූලව ගිලන් වූයේ වෙමි.
442
“ඒ මම ඉන් චුතව ගෙරි වෙළෙඳකුගේ දෙනකගෙන් ලාකඩසේ රතු වස්සෙක්ව දොළොස්වැනි මස බීජොද්ධරණය කරන ලද්දෙමි.
443
“මම නඟුලද උසුළා ගැලද දරමි. පසුව පරදාරයට ගිය පවින් අන්ධව ගිලන්වීමි.
444
“ඒ මම ඉන් චුතව නුවර වීථියෙක දාසියක ගෙයි, පරදාරයට ගිය පවින් ස්ත්‍රී නොවූ පුරුෂ නොවූ නපුංසකවීමි.
445
“තිස්වෙනි වසෙහි මළේ, දුප්පත්, දිළිඳු බොහෝ ණය හිමියන් විසින් මඩනා ලද, ගැල්කරු කුලයෙක දැරියක්ව උපන්නෙමි.
446
“ඉක්බිති ගැල්කරුතෙම ණය පොළිය උස්ව වැඩුණු කල්හි ඒ මා හඬද්දී කුල ගෙයින් ඇද පෙළයි.
447
“ඉක්බිතිව සොළොස්වැනි වස යොවුන් බවට පැමිණි මා දැක ගිරිදාස නම් රියැදුරකුගේ පුත්‍රයෙක් මා භාර්යා කෙළේය.
448
“ඔහුට සිල්වත්, ගුණවත්, ප්‍රසිද්ධ, හිමියාට ඇළුණු අනෙක් භාර්යාවක් ඇත. මම ඇයට හිමියා සමග විරුද්ධවන මන්ත්‍ර ගුරුකමක් කෙළෙමි.
449
“දාසියක් මෙන් උවටැන් කරණ මා හැර දමා යෙත්ද මෙය එහි විපාකයයි. ඒ කර්මයද මා විසින් කෙළවර කරණලදී.”

New at Little Bit


from Path to Nirvana http://ift.tt/2FSEydi
බුදුරජාණන් වහන්සේ.
—————

බුදුරජාණන් වහන්සේ නම් : බෞද්ධයන්ගේ ශාස්තෘෘන් වහන්සේ ය – හෙවත් – උන්වහන්සේ අදහන පිරිසගේ අනුශාසකයන් වහන්සේ ය.

උන් වහන්සේ තමන් තමන් වහන්සේට ඇහුම්කම් දෙන පිරිසට මෙලොවැ සදාචාරයෙන් හා යහපත් දියුණුවෙන් ද – පරලොවැ සුගතියෙන් ද – කෙළවර සියලු ම සසරදුක් ගෙවා සියලු ලොකයන් ඉක්මවා ලැබිය යුතු පරම මොක්ෂ ( = ඉතා ම උසස් නිදහස ) නම් වූ පරමශාන්තිසඞ්ඛ්‍යාත නිවන් සැපතින් ද අනුශාසනා කරන දේශකයන් වහන්සේ වන සේක.

වෙන සමයන්හි ඉෂ්ට දෙවතාවන් මෙන් ලොවත් ලොවැස්සනුත් මවන වවන වනසන දුකින් හෝ ගලවන දුකෙහි හෝ අලවන දඬුවම් හෝ සත්ප්‍රසාද දෙන පළි හෝ බිලිපුද ගන්නා ශාප හෝ කෝප කරන තමන් කෙරෙහි භක්තිමාත්‍රය ම උසස් යැ යි දක්වන සර්වබලධාරී අදෘශ්‍යමාන වූ පරිකල්පිත වූ ( = සමහරුන් විසින් සැකයෙන් ‘ ඇතැ’ යි වරදවා සිතා ගන්නා ලද ) අප්‍රත්‍යක්ෂ වූ ( = කිසිවෙකුටතෟ ඇස්හමු නොවූ ) එ⁣හෙයින් ම කවදාවත් කවුරුන් විසින් වත් නුදුටුවිරූ වූ ආකාස්මික වූ හෙවත් කාරණයක් හේතුවක් නැති වැ ස්වභාවයෙන් ම ( = ඉබේ ම ) ඇති වූ අක්‍රමසිද්ධ වූ – හෙවත් – ක්‍රමයෙන් උසස් බවට පැමිණි පිළිවෙළක් නැති වැ අක් මුල් නැති හැම කල්හි එකසේ උසස් වැ සිටියා වූ හැම තැන ම ඇතැයි සිතතත් කිසි තැනක දී ත් නොපෙනුණු ” දෙවි කෙනෙක්” නො වෙති. දෙවත්වය ද ඉක් මැ ගිය ආශ්චර්යය මනුෂ්‍යොත්තමයාණ කෙනෙකි.

උන් වහන්සේ නො ගිණියැ හැකි තරම් දික් කලකට පෙරැ අප වැනි ගුණ නුවණ ඇති මිනිස් කෙනෙක් වෑ සසරැ දුක් විඳුනා සතුන් කෙරෙහි දයායෙන් ඔවුන් එයින් මුදවන්නට පොහොසත් වනු පිණිස දානාදි ගුණ දහම් පුරමින් පව්කම් අත් හරිමින් ජාතියක් පාසා ක්‍රමයෙන් ගුණයෙන් හා නුවණින් දියුණු වෙමින් අවුත් කෙළවරදී හැම නුගුණයෙන් මිදුණු හැම සුගුණයෙන් පිරුණු හුදු පින්පිණ්ඩයක් වූ ආශ්චයර්‍යමනුෂ්‍යයකු බවට පැමිණ මධ්‍යමප්‍රතිපදායෙන් වීයර්‍ය වඩා නුවණ ඉතා ම දියුණු කැරැ ගෙන ඒ ස්වකීය ඥානයෙන් සත්වයාගේ භවයෙන් භවයට පෙරෙළෙමින් දුක් විඳිමින් පැවැත්ම ත් එසේ වන්නට හෙතු ත් ඒ දෙකින් තොර වූ සැනසීම ත් එය ලැබීමට ස්වකීය සන්තානයෙහි පුහුණු කට යුතු වූ මධ්‍යම ප්‍රතිපදා නම් වූ ‘උතුම් මඟත්’ අනුන්ගේ උවදෙසක් නැති වැ ප්‍රත්‍යක්ෂ කොට දැන වදාළ සේක. මෙසේ සත්වයා පිළිබඳ සැබෑ තතු සතර නම් වූ චතුරායර්‍යසත්‍යය ස්වයම්භූඥානයෙන් අවබෝධ කොට හැම පව් හැම කෙළෙස් නසා හැම උතුම් ගුණනුවණින් සම්පූර්ණ වැ වෙන සත්නට ත් මේ සත්‍යය අවබෝධ කරවන්නට සමර්ථ වූ හෙයින්
” සම්‍යක්සම්බුද්ධ ” නම් වූ සේක.

ඒ සම්මාසම්බුදුන් වහන්සේ සකල සත්ත්වයන් වෙතැ කරුණායෙන් පැරුම් පිරීමට පටන් ගෙනැ ක්‍රමයෙන් තියුණු වූ ප්‍රඥායෙන් කෙළවරදී සියලු සැබෑතතු අවබෝධ කැරැ ගත්තාක් මෙන් ම බුදු වූ පසු ත් හැම සත්නට කරුණායෙන් තුන් ලොව සැරි සරා අපමණ දුක් ගෙන ප්‍රඥායෙන් එ් ඒ සත්ත්වයන්ගේ ආශයානුශයචරිතාදියට සරි ලන සැටි බලා ධර්මදේශනා කොටැ “උද්ඝාටිතඥාදී” බොහෝ සත්නට (සූවිසි අසඞ්ඛ්‍යයක් පමණ සත්ත්වයන්හට ) චතුස්සත්‍යාවබොධය කැරැවූ සේක. “පදපරම” වූ අනන්ත සත්වයන්ට ත් අනාගතයෙහි චතුස්සත්‍යාවබොධයට මඟ යෙදූ සේක. නොයෙක් සත්නට මෙලොවැ මැ ලෞකික සම්පත් හා පර ලොවැ සුගතිසම්පතු ත් ලබන මඟ හුසු කුළුණින් නොමිළයේ කියා දුන් සේක.

මෙසේ මහකුලුණැති මහනුවණැති ඒ තුන්ලෝහිමියාණන් වහන්සේ පරමකොටිප්‍රාප්ත වූ ශිලයෙන් ද සමාධියෙන් ද සෘධිවිධාදි අභිඥායෙන් ද – සියලු දෑ සිතූ කෙණෙහි බැලියැ හැකි ආවර්ජනප්‍රතිබද්ධ වූ නුවණැසින් ද – සිතා නො නිමියැ හැකි කියා නොනිමියැ හඅකි – උපමායෙනු දු නො මිනියැ හැකි – රූපවිලා⁣ස වචනවිලාසාදි අනන්තඝුණයෙන් ද යුක්ත වූ සේක.

උන් වහන්සේ ලොවැ පහළ වැ යටෑ කී නොකී අනන්ත ගුණයෙන් යුක්ත වැ මුළු තුන්ලොවට ලොවී ලොවුතුරා වැඩ සාදමින් පන්සාළිස් වසක් මුළුල්ලේ මහඟු මෙහෙයක් කළ බවට වර්තමාන පුරාණවස්තුවිද්‍යාඥයන් සොයා හෙළි කළ දෑ ද තත්කාලීන වූ ත් තදාසන්නකාලයෙහි වූ ත් පඬුවන් පොත්පත්හි සගලියූ දෑ ද ප්‍රත්‍යක්ෂ සාක්ෂ්‍යයෝ වෙති. උන් වහන්සේ පිරිනිවියත් වදාළ දහම් එක එක කොටස එක එක බුදුවරයෙකැ යි සලකන්නට නියම කළ හෙයින් දැනුදු වැඩැ සිටින්නාක් වැන්නහ. දිවමන් කල්හි දු උන් වහන්සේ අප නොගළවන සේක. දුකින් මුදා සෙත්සිරි නො දෙන සේක. එහෙත් ඒ හැම අප විසින් ම ලබා ගන්නට මඟ වදාළ සේක. එ හෙයින් අපගේ ‘ශාස්තෘ’ නම් වන සේක. ” තුම්හෙහි කිච්චං ආතප්පං අක්ඛාතාරො තථාගතා ” ( = නුඹලා විසින් ම වීයර්‍ය වැඩියැ යුතු ය. බුදුවරයෝ හුදෙක් මඟ කියා දෙන්නෝ යැ ) යි ද, ” යො වො ආනන්ද මයා ධම්මො ච විනයො ච දෙසිතො ච පඤ්ඤත්තො යො වො මම’ච්චයෙන සත්ථා ” ( = ආනන්දය ! ම විසින් නුඹලාට යම් ධර්මයක් විනයයක් දෙසන ලද නම් පනවන ලද නම් ඒ ධර්මවිනයය ම මගෙ ඇවෑමෙන් නුඹලාගේ ශාස්තෘවරයා යැ ) යි ද වදාළ බුද්ධවචන ම ඊට සාධක වෙති.

උන් වහන්සේ ඉටු දෙවියෙක් වත් – හෙවත් දෙලොව ම හැම හොඳ නොහොඳ සලසන සර්වබලධාරී දෙවියෙකැ යි සිතා ගන්නා ලද මෙලොවදී නොපෙනී පරලොවදී ම පෙනෙන අමනුෂ්‍යයෙක් වත් හැම කල්හි ලොකාධිපත්‍යය උසුළමින් ලොව මුරකරන කවදාවත් නොමැරෙන “පාළකයාණ” කෙනෙක් වත් නො වෙති. එක කල්හි බුදුවරුන් දෙදෙනකුන් නො ඉපදිතත් බුදුබව එක් කෙනෙකු හට ම හිමි කොවූ “පොදු පදවියක්” වන බැවින් වුව මනා හැම පැරුම් පුරා නිම ගවූ කාහට වුවත් යම් කලෙකැ බුදු වියැ හැකි යැ. පිරිනිවියෙන් පසු බුදු නුබුදු කහට ත් නිර්වාණධාතුව එක සමාන වන බැවින් එහි උස් මිටි කම් නැත. ” එකා නිට්ඨා පුථු නිට්ඨා ” ( = සංසාර විමුක්තියෙන් වන නිෂ්ඨාව – හෙවත් – නිවන බුදු පසේබුදු මහරහත් කහටත් එකබඳු ම ය. ඔවුනොවුනට වෙනස් වෙන වෙන නිෂ්ඨාවෝ නැත්තාහ ) යි වදාළේ එහෙයිනි.

ඒ බුදුවරයෝ කිසි කලෙකත් තමන් නො ත් නුදුටුදැයක් අනුමානයෙන් පරිකල්ප වශයෙන් හෝ, අනුන්ගෙන් අසා ගත් (ආරංචි) පමණෙකින් අනුශ්‍රවවශයෙන් හෝ – නො වදාරා සියැසින් ම දුටු ( = අත්දුටු) දෙය ම වදාළ බැවින් ” ප්‍රත්‍යක්ෂවාදීහු ” නම් වෙති. සියල්ල ම නිකම් අහෙතුක හාස්කම්වලින් නෙි වැ සහෙතුක වැ ම වන බව වදාළ හෙයින් ” හෙතුවාදීහු ” නම් වෙති. එහි දු එක් ඵලයක් සේ පෙනෙන ධර්මකලාපයකට එක ම හෙතුවක් නො වැ නොයෙක් හේතූන් ඇති බව දැක්වූ හෙයින් ” නානාහෙතුවාදී ” නුමු දු වෙති. පරස්පරවිරොධී වූ – හෙවත් – පළමු කීවකට පසු වැ කීවක් විරුද්ධ වනසුලු වූ එකිනෙක නෙිසැසැඳෙන එක බසකු ත් නොවදාළ බැවින්
” අද්වයවාදී ” නමුදු වෙති. සියලු නාමරූපධර්මයන් නොයෙක් ලෙසින් බෙදා වදාළ හෙයින් ද සියල්ලෙහි ගතැ යුතු කොටස ත් හැළැ යුතු කොටස ත් වෙන් කොටැ බෙදා වදාළ හෙයින් ද ” විභජ්‍යවාදී ” නමු දු වෙති. මුළු ලොවැ නොයෙක් කල්හි පහළ වූ තාක් හැම වාදීන් පරදවා සත්‍ය වූ ත් ගැඹුරු වූ ත් න්‍යායානුකුල වූ ත් උසස් ධර්මයක් චතුර්විධ වෛශාරද්‍යයෙහි සිටැ වදාළ බැවින් ” වාදීවර ” නමු දු වෙති. හැම සත්වග අතුරෙන් ඉතා ම උසස් සත්ත්ව වූ මිනිස්වගෙහි ඉතා උසස් ත්‍රිහෙතුක ප්‍රතිසන්ධියෙන් ඉපිදැ ඒ ලත් මිනිස්බව ගුණයෙන් හා නුවණින් දියුණු කොටැ ස්වොත්සහයෙන් පරමකොටියට – හෙවත් – එය ගෙනැ යතැ හැකි අන්තිම ඉහළ තොනට පමුණුවා ගැනී මෙන් ආශ්චයර්‍යමුනෂ්‍ය වැ මිනිස් නොමිනිස් හැම සත්වගට අනුත්තර වූ ( = තමනට වැඩි අනෙකක්හු නැත්තා වූ ) සර්වලොකොත්තම පදය ලත් හෙයින් ” ලොවුතුරා බුදුහු ” නමු දු වෙති. උපතින් දෙවි නො වෙතත් විශුද්ධි දෙවත්වයෙන් ” දෙවාතිදෙව ” නුමු දු වෙති. ඒ සම්මාසම්බුදුරජාණන් වහන්සේ නිවන් දකිනා තෙක් ම මාගෙ ශාස්තෘහු – හෙවත් – අනුශාසකයන් වහන්සේ වෙත්වා !
Ven Bandarawela Ñāṇaruchi
බම්බලපිටිය සිරි වජිරාරාමය

New at Little Bit


from Path to Nirvana http://ift.tt/2pgBUE3
== වජ්‍රාසනය ==

ලෝකය පහළවෙන, මේ ලෝකය හැදෙන ගමනේ දී මුලින් ම පස් පිඬක් පහළ වන්නේ මේ වජ්‍රාසනය පහළ වෙන තැනයි. හේතුව කුමක් ද? මේ මහා පොළොවෙ කිසිම තැනකට බුදු කෙනෙකුගේ බුද්ධ ශක්තිය, බුද්ධ බලය, බුද්ධ ඍද්ධිය, බුද්ධ ධර්මය දරාගන්ට පුළුවන්කමක් නෑ. එය දරාගන්ට පුළුවන් වන්නේ බුද්ධගයා ශුද්ධභූමියේ පිහිටි වජ්‍රාසනය ළඟ පමණයි. ඒ නිසා සෑම බුදු රජාණන් වහන්සේ නමක් ම මේ ලෝකයේ බුදු වන්නේ දඹදිව බුද්ධගයා ශුද්ධ භූමියේ වජ්‍රාසනය පිහිටන ස්ථානයේ කියන එක දේශනාවේ සඳහන් වෙනවා.
ඉතින් මේ වජ්‍රාසනයේ වැඩ හිඳගෙන තමන් වහන්සේ දැන් චතුරංගසමන්වාගත වීර්යයත් සමඟ භවනා කරනවා. ඒ සමඟම මාර දිව්‍ය පුත්‍රයා මාර පිරිවර සමඟම පැමිණ බෝසතාණන් වහන්සේට නොයෙක් වධහිංසා කරනවා. අඟුරු වර්ෂාවන්, ඊතල වර්ෂාවන්, ආයුධ වර්ෂාවන් නොයෙක් නොයෙක් වර්ෂාවන් පවත්වමින්. බෝසතාණන් වහන්සේ ආසනයෙන් පලවා හරින්නටයි. දැන් මහන්සි ගන්නේ. ඒ වෙලාවේ මාර දිව්‍ය පුත්‍රයා ඇතුළු පිරිවර සම්පත්තිය කියන්නේ, එතුමාගේ අනුගාමිකයන් කියන්නේ “මේ වජ්‍රාසනය අයිති මාරයා වන මටයි. බෝසතාණන් වහන්සේට නෙමෙයි” කියලා ඒ කියන විට අනිත් පිරිවර සම්පත්තියක් නැත්නම් මාර පිරිසක් මේ මාර පිරිසගේ පැත්තට කතා කරනවා. මේ මාරයාගේ බලපෑම් අනුව සියලුම සම්‍යක් දෘෂ්ඨික දෙවිදේවතාවුන් එතනින් දුව ගියා. එක් කෙනෙක්වත් හිටියේ නෑ. අර අචේතනික බෝ සමිඳුන් පමණයි, අස්වත්ථ වෘක්ෂය පමණයි එතන තිබුණේ. තමන්ගේ ශ්‍රී හස්තය මහා පෙළොවට දික්කලා “මේ අචේතනික මහ පොළව අද මට සාක්ෂි දරයි. අනාදිමත් කාලයක් මුළුල්ලෙහි ඇස්, මස්, ලේ දන්දෙමින් මම අප්‍රමාණ උත්සාහයකින් උනන්දුවකින් පාරමී පුරාගෙන ආවේ මේ වජිරාසනයට උරුමක්කාරයෙක් වෙන්ටයි.”
සෝ සාගරේ ජලධිකං රුධිරං අදාස
භූමිං, පරාජිය සමං සමංස දානං
මේරුප්ප මාණමධිකඤ්ච සමොලි සීසං
ඛෙ තාරකාධිකතරං නයනං අදාසි”.

ආදී වශයෙන් සඳහන් වන්නේ ‘මේ මහා සාගරයේ ජලයට වඩා ශරීරගත ලේ දන් දෙමින්, මේ මහ පොළොවේ පස්වලට වඩා මාංශ දන් දෙමින්, මහාමේරු පර්වතයේ උසට වඩා ඔටුන් පලන් හිස් දන් දෙමින්, අහසේ පෙනෙන තාරකාවලට වඩා නේත්‍රා යුග්මයන් දන් දෙමින් පාරමී පුරාගෙන පැමිණියා.” කියමින් බෝසතාණන් වහන්සේ සත්‍යක්‍රියා කරන වෙලාවේ ඒ අචේතකික මහා බොල් පොළව යොදුන් දෙලක්ෂ හතළිස් දහසක් ගණකම කම්පාවෙන්න පටන් ගත්තා. ඒ කම්පාවත් සමඟ මාරයාට උන්හිටිතැන් අමතක වී පලා ගියා. අන්න, බෝසතාණන් වහන්සේට පමණක් මේ වජ්‍රාසනය අයිති වුණා. උන්වහන්සේ අධිෂ්ඨාන කරනවා “මගේ මේ ශරීරයේ මස්, ලේ නැතිවුණත් සම වියළී ගියත්, මම බුදුවෙලා මිස මෙතනින් නැගිටින්නේ නෑ කියා චතුරංග සමන්නාගත වීර්යය පහළ කරගෙන තමන් වහන්සේ දැන් සුපුරුදු ආනාපානාසති භාවනා මූල කර්මස්ථානය වඩනවා. ඒ භාවනා කර්මස්ථානයෙන් කසිණ සමාපත්ති වඩනවා.
කසිණ සමාපත්ති වඩමින් විදර්ශනා වඩමින් උන්වහන්සේ පටිච්ච කසිණ සමාපත්ති වඩමින් විදර්ශනා වඩමින් උන්වහන්සේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කරනවා. අන්න පූර්ව යාමයේ දී පළමුවන අභිඥාව. ඒවාගේ ම මධ්‍යම යාමේ දී දෙවන අභිඥාව, තෙවන යාමේ දී තුන්වන අභිඥාව පහළ කරගන්නවා. උන්වහන්සේ ප්‍රථම යාමේ දී ‘අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ’ ආදී වශයෙන් පටිච්ච සමුප්පාද අංගයන් මුල සිට අගට, අග සිට මුලට මෙනෙහි කරන විට පුබ්බේ නිවාසානුස්සති අභිඥාව පහළ කරගත්තා. නැවතත් උන්වහන්සේ පටිච්ච සමුප්පාද අංගයන් මුල සිට අගටත්, අග සිට මුලටත් මෙනෙහි කරන වෙලාවේ චුතූපපාත කියන මේ අභිඥාව පහළ කරගත්තා.
අවසානයේ දී නැවතත් පටිච්ච සමුප්පාදානය මුල සිට අගටත් මෙනෙහි කරන වේලාවේ දී ආසවඛ්‍ය ඤාණය සහිත සර්වඥතාඤාණ ප්‍රතිමණ්ඩිත අනන්ත අප්‍රමාණ ඤාණයන් සහිත ගුණයන් සහිත සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගන්නට යෙදුණා. එසේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගත් ලොව්තුරා ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නව අරහාදී බුද්ධ ගුණයන්ගෙන් සමන්නාගතයි. දසබල ඤාණ, චතුවිශාරද ඤාණ, චුද්දස බුද්ධ ඤාණ, සෝළස මහා ඤාණ, අට්ඨාරස ආවේනික බුද්ධ ගුණ, එකුන් විසි ප්‍රත්‍යාවේක්ෂා ඤාණ, සමපණස් උදයව්‍යය ඤාන, තෙසැත්තෑ ඤාණ, සත්සැත්තෑ ඤාණ, අනන්තනය සමන්නාගත සමන්ත පට්ඨාන මහාපකරණ විෂයාන්තර්ගත ගාම්භීර ඤාණ ආදී මේ මහ පොළොවට දරාගන්න බැරි අප්‍රමාණ ඤාණ සම්භාරයකින් බුදුපියාණන් වහන්සේ සමන්නාගතයි. එසේ අනන්ත පින් ඇති, අනන්ත ගුණ ඇති, අනන්ත පාරමී ඇති, අනන්ත ඤාණ ඇති ශාන්ති නායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මගේ ජීවිතය ද පූජාකරමි පූජා වේවා……….

දෙව් බඹුන් සාධු කාර මැද,ලොව්තුරා අභිසම්බෝධ්යට පත්වූ ඒ වජ්‍රාසනය දැක බලා සතුටුව,සියළු කෙලෙසුන් ප්‍රහානයකර සමථ විදර්ශනාවන් වඩන්නට වීර්යය කරත්වා..!!!