Monthly Archives: December 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2zPdFCL
ලෝකයා විසින් ආදරය කරනු ලබන්නා වූ ගරු බුහුමන් කරනු ලබන්නා වූ වැඳුම් පිදුම් කරනු ලබන්නා වූ උත්තම වස්තූහු චෛත්‍ය නම් වෙති. ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය, උද්දේසික චෛත්‍යය යි බුදුන් වහන්සේ පිළිබඳ චෛත්‍ය තුන් වර්ගයෙකි. බුදුන් වහන්සේගේ ශරීරයෙන් ඉතිරි ව ඇති ධාතු සමූහය ශාරීරික චෛත්‍ය නම් වේ. උන් වහන්සේ පරිභෝග කළ පා-සිවුරු ආදි වස්තු හා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ද, ඒ බෝධීන් වහන්සේ ගෙන් පැවතෙන බෝධීන් වහන්සේලා ද පාරිභෝගික චෛත්‍යයෝ ය. උන් වහන්සේ උදෙසා වැඳුම් පිදුම් කිරීමට කරන ලද ප්‍ර‍තිමා රූපයෝ උද්දේසික චෛත්‍යයෝ ය.

සර්වඥ ධාතූන් වහන්සේලා

පිරිනිවියා වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහන කිරීමේ දී සම් මස් නහර සියල්ල කිසිවක් ශේෂ නො වී කපුරු මෙන් දා ගියේ ය. අස්ථීහු නොදා හුණු වී කුඩා කැබලි බවට පරිවර්තනය වූහ. වෙන් නොවී ඉතිරි වූ ධාතූන් වහන්සේලා සත් නමෙකි. ඔවුහු නම් : දළදා සතර නම ය, අකුදා දෙ නමය, ලලාට ධාතූන් වහන්සේය යන මේ ධාතූන් වහන්සේලා ය. විසුරුණා වූ ධාතූන් වහන්සේලාගෙන් මහත් ධාතූහු මුං පියලි පමණ වෙති. මධ්‍යම ධාතූහු කඩ සාල් පමණ වෙති. කුඩා ධාතූහු අබ ඇට පමණ වෙති. පැහැයෙන් මහත් ධාතූන් වහන්සේලා රත්තරන් පැහැ ඇත්තාහ. මධ්‍යම ධාතූන් වහන්සේලා මඳක් රත් පැහැ ඇත්තාහ. කුඩා ධාතූන් වහන්සේලා මුතු පැහැ ඇත්තාහ.

තථාගත ශරීරයෙන් ශේෂ වූ මහා ධාතූහු දස නැළියක් පමණ වූහ. මධ්‍යම ධාතූන් වහන්සේලා ද එ පමණ ම වූහ. කුඩා ධාතූන් වහන්සේ දොළොස් නැළියක් වූහ.

තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ජාත වූ ඒ ධාතූන් වහන්සේලා ශාසනයාගේ ආයුෂය වූ අවුරුදු පන්දහසක් මුළුල්ලෙහි නො නැසී පැවතී පන්දහස පිරෙන තැන දී සියල්ල ම මහබෝ මැඩට එක් ව බුදුරුවක් වී ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා අතුරුදහන් වන්නාහ.

ලක්දිව ධාතූන් වහන්සේලා හා පාරිභෝගික වස්තු

අපගේ වාස භූමිය වූ මේ ලක්දිව බොහෝ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින්නා වූ ද, බොහෝ පාරිභෝගික වස්තු ඇත්තා වූ ද, සර්වඥයන් වහන්සේ පරිභෝග කළ බොහෝ ස්ථාන ඇත්තා වූ ද උත්තම භූමියෙකි. මහියංගණ චෛත්‍යයෙහි සර්වඥයන් වහන්සේ විසින් සියතින් ම දුන් කේශ ධාතූන් වහන්සේලා හා ග්‍රීවා ධාතූන් වහන්සේ ද වැඩ සිටිති. දකුණු අකු ධාතූන් වහන්සේ අනුරාධපුරයේ ථූපාරාම දාගැබ්හි වැඩ සිටින සේක. උර්ණරෝම ධාතූන් වහන්සේ මිහින්තලයේ සේල චෛත්‍යයෙහි වැඩ සිටිති. ලලාට ධාතූන් වහන්සේ හා කේශ ධාතූන් වහන්සේලා ද සේරුවාවි මංගල චෛත්‍යයෙහි වැඩ සිටිති. අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑයෙහි ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටිති. දන්ත ධාතූන් වහන්සේ මහනුවර දළදා මාලිගාවේ වැඩ සිටිති. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැනි වර්ෂයේ සුමන සාමණේරයන් වහන්සේ විසින් බුදුන් වහන්සේ පරිභෝග කළ පාත්‍ර‍ය හා එය පුරා ධාතුන් වහන්සේලා ද මේ දිවයිනට ගෙනෙන ලදහ. ඒ ධාතූන් වහන්සේලා මේ දිවයිනේ නොයෙක් දිශාවල දාගැබ් ආදියෙහි වැඩ සිටිති. පාත්‍ර‍ ධාතුව ගෙන ආ බව මුත් දැනට වැඩ සිටින තැනක් අසන්නට නැත. සර්වඥයන් වහන්සේ පරිභෝග කළ පටියෙන් කොටසක් අනුරාධපුරයේ ජේතවන චෛත්‍යයෙහි පිහිටා තිබේ. තථාගතයන් වහන්සේ පරිභෝග කළ මැණික් පුටුවක් නිදන් කොට නාගදීප චෛත්‍යය කරවන ලදි. නාගදීපයේ පුරාණ චෛත්‍යයක් දැනට දක්නට නැත. තථාගතයන් වහන්සේ පරිභෝග කළ මිණිපලඟක් කල්‍යාණි චෛත්‍යයේ පිහිටා තිබේ. එහි ම තථාගතයන් වහන්සේ පරිභෝග කළ ජල සාටිකාවක් ද ඇති බව කියති. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයේ පිහිටා තිබේ. ලක්දිව තථාගතයන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම වැදී සිටීමෙන් පරිභෝග කළ ස්ථාන ද සොළොසෙකි.

ඔවුහු නම් :

(1) මහියඞ්ගණ චෛත්‍යය පිහිටි තැන ය.
(2) නාගදීප චෛත්‍යය පිහිටි තැන ය.
(3) කල්‍යාණි චෛත්‍යය පිහිටි තැන ය.
(4) සමන්තකූට පර්වත මුදුන ය.
(5) දිවාගුහාව ය.
(6) දීඝවාපි චෛත්‍යය පිහිටි තැන ය.
(7) මුතියංගන චෛත්‍යය පිහිටි තැන ය.
(8) තිස්සමහාරාම චෛත්‍යය පිහිටි තැන ය.
(9) ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි තැන ය.
(10) මිරිසවැටි සෑය පිහිටි තැන ය.
(11) රුවන්වැලි මහසෑය පිහිටි තැන ය.
(12) ථූපාරාමය පිහිටි තැන ය.
(13) අභයගිරිය පිහිටි තැන ය.
(14) ජේතවනය පිහිටි තැන ය.
(15) සේල චෛත්‍යය පිහිටි තැන ය.
(16) කතරගම කිරි වෙහෙර පිහිටි තැන ය.
(17)
යන මේ ස්ථානයෝ ය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/n2is5I

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2AXdsgI
මෙය ආශ්චර්වමත් බුදු පිළිමවහන්සේ නමකි.මෙම පිළිමවහන්සේ දකින ඕනෑම කෙනෙකුට මහත් ශ්‍රද්ධාවක් ඇතිවේ…
බුදු පිළිමයක ආශ්චර්යය ප්‍රකට කරවන තවත් නිදසුනකි, දඹදිව බුද්ධගයාවේ පිහිටි වජ්‍රාසනය මත භූමි ස්පර්ශ මුද්‍රාවෙන් යුතු ව වැඩ හිඳින බුදු පිළිම වහන්සේ. මෙම පිළිමය නෙත ගැටුණ බෙංගාලි මහා කවි තාගෝර් තුමා මෙසේ පවසා ඇත. “මගේ ජීවිතයේදී කිසිදු පිළිමයකට මම හිස නොනැමුවෙමි. එහෙත් බුද්ධගයා මහා විහාරයේ පිළිමය දුටු මට හිස නොනමා සිටින නොහැකි විය.

බුද්ධගයා පිළිම වහන්සේ පිළිබඳ වන ඉතා මනරම් ඉතිහාස කතාවක් තිබෙනවා. තවමත් ඔබ එය නොදන්නා බව නම් පැහැදිලි කරුණක්. බලන්න, මෙම කතාව ඔබ මෙයට පෙර අසා තිබුණේද කියා?බලන්න නිවී සැනසිල්ලේ පහන් කළා වූ සිත් ඇතිව ඔබේ පින්බර නෙත්වලින් බුදුරදුන් දෙස. මොනවද ඔබ දුටුවේ? ලෝකයෙන්ම බුදුරදුන්ට පමණක් උරුම වූ දෙතිස් මහා පුරුෂලක්ෂණයන් නොවේද?

දිගු අත්, දිගු කන්පෙති, උෟර්ණ රෝම ධාතුව… මේ මහා ලක්ෂණ කියාදෙන්නේ මේ ජීවමාන බුදුරදුන්ම වන බව නොවේද? මුවඟ නැඟි හසරැල්ල, කරුණාව පතුරුවාලන දෙනෙත් එයට සාක්ෂිත් නොවේද?ඔබ දන්නවාද මෙම බුදුපිළිමය පිළිබඳ වන ඉතිහාසය කියන කතාව?ඉතිහාසය කියනුයේ මෙම ජීවමාන බුදුපිළිමය මෛත්‍රි බෝසතුන් විසින් නිර්මාණය කරන ලද්දක් බව? මෛත්‍රි බුදුන් යනු ඊළඟ කල්පයේ බුදුරජාණන් වහන්සේ.මෙම ස්ථානය අතීතයේ රජ කෙනකු හඳුනා ගත් බව ඉතිහාස කතාවක කියැවෙනවා. එම රජු ධර්මාශෝක රජු විය හැකි බවටද මතයක් තිබෙනවා. බුදු දහමටත් බුදුරදුන්ටත් අතිශය ගරු කළ, එම දහම පිළිපැදි අයකු ලෙස ධර්මාශෝක රජු ඉතිහාස ගතය.

ධර්මාශෝක රජුට මෙම ස්ථානයේ බුදුරුවක් නිර්මාණය කරන්නට සිතක් පහළ වූයේ නිරායාසයෙන්මයි. මේ අදහස රැගත් අඬබෙරය දඹදිව පුරා පැතිර ගියේ විදුලි වේගයෙන්. නමුත්, එය නවතාලන්නට කිසිවකුත් ඉදිරිපත් නොවූ බව කියන්නේ ඉතිහාසයමයි. එසේ කියන ඉතිහාසය එක් තැනකදී මෙසේද සඳහන් කරනවා.

එක් තරුණයෙක් ධර්මාශෝක රජුගේ අඬබෙරය නවත්වා තමනට එය කළ හැකි බව පවසා සිටියා. අඬබෙරකරු මෙම තරුණයා රජවාසලට රැගෙන ගියා. රජු මුණගැසුණු තරුණයා සතර අතින්ම ආවරණය කළ කුටියක් තමන්ට අවශ්‍ය බව කියා සිටියා. එසේම තමන් එම කුටියට ගිය පසු නැවැත තමන් එළියට එනතෙක් කුටිය විවෘත නොකළ යුතු බවත් තමන්ගේ අවසරය නොමැතිව එයට ඇතුළු විය නොහැකි බවත් දන්වා සිටියා. මෙම ඉල්ලීම එම ආකාරයටම පිළිගත්ත බව රජු දැනුම් දීමෙන් පසු තරුණයා පිළිම වහන්සේ නෙළීමේ උපකරණද අතැතිව කුටිය තුළට ගොස් ‍ෙදාර වසා ගත්තා.පළමු දින ගෙවී ගියා. දෙවැනි දිනත් ගෙවී ගියා. තෙවැනි දිනත් ගෙවී ගියා. කුටිය තුළින් කිසිදු ශබ්දයක් නෑ. තරුණයා කෑම බීම ගැනීමටවත් කුටිය තුළින් කතා කළේ නෑ. මේ විදියටම තව දිනක් දෙකක් ගෙවී ගියා. අවසානයේදී රජු කුටියේ ‍ෙදාර විවර කළා.

එවිට රජු දැක්කේ රශ්මිය විහිදුවාලමින්, රන්වන් පාටින් බබළමින්, ඉතා ශාන්තව වැඩ හිඳින බුදු පිළිමයක්. රජු එක්වරම වැඳ වැටුණා. නමුත් රජුට මහත් විස්මයක් ඇතිවූවා. ඒ තමයි බුදුපිළිමය නෙළීමට පැමිණි තරුණයා කවරෙක්ද යන්න. රජු සිතුවේ ඒ කිසියම් බලගතු දෙවියකු බව. නමුත් පසුකාලීනව ඒ මෛත්‍රි බෝධි සත්ත්වයන් වහන්සේ බවට කරුණු සමාජගත වුණා. මෙතැන තිබෙන වැදගත්ම කාරණය වනුයේ මෙයයි. රජුගේ අඬබෙරය නවතාලීමට කිසිවකුත් ඉදිරිපත් නොවූයේ ඒ වන විට බුදුරදුන්ගේ රූපය කිසිවකුත් සැබෑවටම දැක නොතිබූ නිසා. පෙරුම් පුරා බුදුබව පැතූ මෛත්‍රි බෝධිසත්ත්වයන් තරුණයකුගේ වෙස්ගෙන බුද්ධගයා බුද්ධ ප්‍රතිමාව තැනුවේ බුදුරදුන් සැබෑවටම දැක තිබූ නිසයි.

මේ ඔබ වැඳ වැටෙමින් සිටිනුයේ බුදුරදුන්ගේ සැබෑ රූපයටමයි. මේ තමයි බුදුරුවේ පළමු පිළිරුව. බුදුරදුන්ගේ රූපය ලොව පුරා නෙළුවේ මෙම පිළිරුව ආදර්ශයට ගනිමින්.බලන්න, ඔබ කෙතරම් පින්වන්තද කියා. දැන් ඔබට මොනවද සිතෙනුයේ? ලොව වටහාගත නොහැකි කිසිවක් නොමැති බව නොවේද? එය ආදර්ශයෙන්, ක්‍රියාවෙන් පෙන්වා දුන් ලොව පළමු මිනිසා වූ බුදුරදුන් ඉදිරියේ ඔබ ඉන්නා බව නොවේද? ඔබට බුදුරදුන් පෙන්වා වදාළ ජීවිතයේ දුක කෙළවර කර අමාමහ නිවන ලබා ගැනීමට මෙයටත් වඩා තවත් යම් කිසිවක් අවශ්‍යද? නෑ නේද?

අරුණඩේල් විජේරත්න

( උපුටා ගැනීම – මව්බිම පුවත්පත )

මේ කථාව ගොඩක් අය ලස්සනට කියලා තිබ්බා.. හැබැයි තව ලස්සන කරුණක් මේ ඉතිහාසයේ තියෙනවා.. මම ඒකත් සිහිපත් කරන්නම්.
ඔය පින්වතුන්ලා දැකලා ඇති මේ පිළිම වහන්සේ ගේ එක් හස්තයක් හැමනිතරම වහලා තියෙන බව සම්පූර්ණයෙන්.. ඒ ඇයි දන්නවද.. මෙත් බෝසතාණන් වහන්සේ මේ පිළිම වහන්සේ අඹන්න භාර ගන්නකොට රජුට කොන්දේසියක් පණවනවනෙ.. ඒ තමයි මේක හදලා ඉවරවෙනකම් කවුරුත් මේක ඇතුලට එන්න බැරි බව.. ඒත් රජුට ඉවසිල්ලක් නැති වෙනවා.. රජු මේක හොරෙන් බලනවා.. එවෙලෙ වෙනකොට අර දිව්‍ය පුත්‍රයො සියල්ලම අතුරුදන් වෙලා.. පිළිම වහන්සේගේ වම් හස්ථය හැර අනික් සියල්ලම ඉදි කර අවසන්.. වම් හස්ථය අඩුවයි පිළිම වහන්සේ තිබ්බෙ.. වම් හස්ථය අඩුව තියෙන පින්තූර පවා මම දැකලා තියෙනවා පුද්ගලිකව.. දැන් නම් ඒවා හොයා ගන්න අමරු ඇති.. පසු කාලීන රජ කෙනෙක් තමයි මේ පිළිමයේ ඉතිරි ටික සම්පූර්ණ කලේ.. ඒ නිසා අදටත් ඒ හස්ථය පෙන්වන්නෙ නැති වෙන විදියට තමයි චීවරය පොරවන්නෙ.. මේකත් මේ පිළිම වහන්සේ සමග බැදිච්ච හරි ලස්සන ඉතිහාස ප්‍රවෘත්තියක්..
අවසාන වශයෙන් කරුණක් සිහිපත් කරන්නම්.. ඔබට කවදා හරි මෙම ස්ථානය යන්න පුලුවන් කමක් ලැබුණොත් මෙම පිළිම වහන්සේට චීවරයක් මහගෙන ගිහින් වටිනා සලුවකින් පොරවන්න අමතක කරන්න එපා.. එයට අවස්තාව ඔබට එහිදී ලැබෙනවා.. ඒ වගේමයි බුද්ධගයා පින්බිමෙහි මාසෙක විදුලි බිල ගෙවන්න ඔබට අමතක වන එකක් නැහැ.. ඔබේ දහදිය මහන්සියෙන් හම්බකරගත් මුදලින් අද අපේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ ජීවමාන කරන මේ උතුම් පින් බිම ඔබේ දහදිය මහන්සියෙන් ආලෝකමත් කරන්න කවදා හරි ඔබට ලැබුණොත් ඒක ඔබේ ජීවිතයේ අමතක නොවනම පින්කම වේවී.. ඔබට තෙරුවන් සරණයි..!!