Monthly Archives: July 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2YgpYSd
දිනක් කොසොල් රජතුමා බුදුරදුන් බැහැ දැකීමට පැමිණ අතිශය භක්ති ආදරයෙන් උන් වහන්සේගේ පාසඟළ සිඹිමින් දෙඅතින් පිරිමදිමින් ස්වාමීනි, මම පසේනදි කොසොල් රජ වෙමි, මම පසේනදී කොසොල් රජ වෙමියි, යනුවෙන් පවසමින් තමන් විසින්ම තමා හඳුන්වා දුන්නේය. එවිට බුදුරදුන් ඔබ කුමන කරුණක් දකිමින් මේ ශරීරය කෙරෙහි මෙලෙස ගෞරව උපහාර දක්වන්නේ දැයි විමසීය. ඒ අවස්ථාවේදී රජතුමා සුවිශේෂතා කරුණු හතක් ඉදිරිපත් කරමින්, බුදු රදුන් කෙරෙහි සිය ප්‍රසාදය පළ කෙළේය.

භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක. ධර්මය මැනවින් දේශනා කොට ඇත. තථාගත ශ්‍රාවකයෝ මනා පිළිවෙත් ඇත්තෝය. ස්වාමීනි, දසවස්, විසිවස්, තිස්වස්, හතළිස් ආදි ලෙස බ්‍රහ්මචාරි පැවිදි ජීවිත ගත කරන සමහර අය අන්‍ය සසුන්වල දකිමි. පසු කලක ඔවුන් එම ශ්‍රමණ ජීවිත අතහැර පස්කම් සුව විඳින ආකාරය දකින්නට ලැබේ. නමුත් මේ බුද්ධ ශාසනයේ යාවජීව පරිපූර්ණ බ්‍රහ්මචාරි ශ්‍රාවකයන් දකිමි. මෙබඳු ශ්‍රාවකයන් අප තථාගත සසුනෙන් පිට මම වෙනත් තැනක නොදකින බැවින් මේ ගැන මගේ බලවත් ප්‍රසාදයක් ඇතැයි පවසමින් බුදුරදුන් කෙරෙහි තම සුවිශේෂ පළමු ප්‍රසාද කරුණ හෙළි කළේය.

තවද ස්වාමීනි, රජදරුවන් රජදරුවන් හා විවාද කරති. ක්‍ෂත්‍රිය කුල ඇත්තෝ ක්‍ෂත්‍රිය කුල ඇති අය සමඟද, බමුණෝ බමුණන් සමඟද, ගෘහපතියෝ ගෘහපතියන් සමඟද පුතා පියා සමඟද සොහොයුරා සොහොයුරා සමඟද, ආදි ලෙස ඔවුනොවුහු වාද කරති. නමුත් තථාගත සසුනේ මේ භික්‍ෂූ ශ්‍රාවකයෝ සමඟිව සතුටුව කිරි දිය සේ එකතුව ඔවුනොවුන් පි‍්‍රය ඇසින් දකිමින් වාසය කරති. මෙම බුද්ධ ශාසනයෙන් බැහැරව අනික් සමාජයක මේ වගේ පිරිසක මම නොදකිමි. මේ නිසා බුදුරදුන් කෙරෙහි, ධර්මය කෙරෙහි, බුදු සව්වන් කෙරෙහි, මගේ ප්‍රසාදයට හේතු වන දෙවන කරුණ වේ.

තථාගතයන් වහන්ස, මා ආරාමයෙන් ආරාමයට, උයනින් උයනට, සැරිසරණ විට, රළුවූ, දුර්වර්ණවූ, නහර ඉළිප්පී ගිය, ඇතැම් මහණ බමුණන් මම දකිමි, ඔවුන්වෙත ගොස් මා විමසු විට, පරපුරින් පැමිණි රෝගයක් නිසා හෝ පහසුව හේතු කොට ගෙන පැවිදි වූ බව කියති. වහන්ස, එවිට මට මෙබඳු සිතක් පහළ වේ. බුදු සව්වෝ උදාරවූ, ඔද වැඩී ගිය ප්‍රියමනාප දර්ශන ප්‍රසාද ඇතිව, භයින් තොරව, අනුන් දුන්දෙයින් යැපෙමින්, නිරාශා සිතින් වසති. මේ ශ්‍රාවක විශේෂතා ගුණය නිසා, අපගේ බුදුරදුන් කෙරෙහි මගේ ප්‍රසාදයට හේතු වන තෙවන කරුණ වන බව පැවසීය.

බුදුරජාණන් වහන්ස, මම මේ රාජ්‍යයෙහි අභිෂේක වූ මහරජ වෙමි, මට නැසිය යුත්තන් නැසීමට, රටින් නෙරපිය යුත්තන් නෙරපීමට, නිර්ධන කළ යුත්තන් නිර්ධන කිරීමට, යන අසීමිත බලයක් තිබේ. එබඳු වූ මා අධිකරණ විනිශ්චයෙහි යෙදී සිටින විට, එහි සිටින අය අතරතුර කථා කරමින් ශබ්ද කරති. බාධා කරති. නමුත් තථාගතයන් වහන්සේ දහම් දෙසන කල්හි, කිවිසුම් ශබ්දයක් හෝ උකැසි (කසින) හඬක් හෝ නැත. එබඳු සවි පිරිසක් මේ බුදු සසුනේ දකිමි.

ස්වාමීනි, පෙරවූ දෙයක් කියමි. බුදුරදුන් විවිධ පිරිස් මැද දහම් දෙසන අවස්ථාවේ දී එක්තරා ශ්‍රාවකයෙක් උකැසි කෙළේය. එවිට බ්‍රහ්මචාරි (එකට බඹසර වසනා භික්‍ෂුවක් තම දණින් ගටා ආයුස්මතුන් වහන්ස, නිශ්ශබ්ද වන්න! අපගේ ශාස්තෘන් වහන්සේ දහම් දෙසයි. ශබ්ද නොකරණ ලෙස හඟවයි. එවිට මට මෙබඳු සිතක් ඇති විය. පුදුමයි, දඬුවමින් තොරව, මේ සව්වෝ මෙසේ මැනැවින් හික්මුණු විනීත වූ පිරිසක්ම වෙති. මේ බුදු සසුනෙන් බැහැර මේ ආකාරයේ හික්මුණු පිිරිසක් නොදකිමි. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිද, ධර්ම රත්නය, හා ශ්‍රාවක සංඝයා කෙරෙහිද, මගේ මෙසේ පැහැදීමක් වේයැයි තම සිව්වන ප්‍රසාද කරුණද දැක්විය.

බුදුරජාණන් වහන්ස, අනුන් හා වාද කොට ඔවුන්ගේ දෘෂ්ටින් බිඳ හෙළිය හැකි, මහා බුද්ධිමත් ක්‍ෂත්‍රිය පඩිවරු වෙති. ඔවුහු බුදුරදුන් අසවල් ගම් නියගම් සීමාවට වැඩිය බව අසා, ප්‍රශ්න කල් ඇතිව සකස් කරගෙන, මේ මේ ප්‍රශ්න උන්වහන්සේ ඉදිරිපත් කරමුයි, මෙසේ වාද කරමුයි, සූදානම් වී සිටිති. ඒ අය භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹෙත්. උන් වහන්සේ දැහැමි කථාවෙන් කරුණු දක්වන සේක. මොනවට පහද වන සේක. සතුටු කරණ ලද ඔවුහු තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්න නොකරන්නාහ. කවර හෙයින් නම් වාදාරොප කෙරෙත්ද, ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝම වෙති. මේ කරුණෙහි ලා මගේ ප්‍රසාදයක් ඇතැයි පස්වන හේතු කරුණද ප්‍රකාශ කෙළේය.

එමෙන්ම මෙලොව දක්‍ෂ අනුන් හා වාද කළ හැකි ප්‍රඥාවන්ත බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ, පඬිවරුද ප්‍රශ්න සකසා ගෙන බුදුරදුන් තමන්ගේ ප්‍රදේශයට වැඩිය කල්හි, උන්වහන්සේ ඉදිරියට ගොස් දහම් අසා පැහැදී කලින් හදා ගෙන සිටිය ප්‍රශ්න නොවිමසා, උන්වහන්සේගේ ශ්‍රාවකයන් බවට වෙති. ගිහිගෙයින් නික්ම සසුන් ගතවීමට ඇයද සිටින ඔවුන් පැවිදී වීර්යය වඩා ශ්‍රමණ චරියා ධර්ම සම්පූර්ණ කර ගෙන විශිෂ්ට ඥානයෙන් සත්‍ය අවබෝධ කරගෙන (රහත් වී) පෙර අපි ශ්‍රමණයෝ නොවී ශ්‍රමණයෝ වෙමු, බ්‍රාහමණයෝ නොවී බ්‍රාහ්මණයෝ වෙමු. රහත් නොවී රහත් වූවෙමුයි, ප්‍රකාශ කෙළෙමු. දැන්වූ කල්හි සත්‍යාවබෝධයෙන් සැබෑ ශ්‍රමණයෝ, බ්‍රාහ්මණයෝ, රහත්හු වම්හ. යන ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධයෙන් දැන ගතිමු, යන සත්‍යවු තත්වයට පත්වෙති. මේ සුවිශේෂ ලක්‍ෂණ නිසා බුද්ධ ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි මගේ විශේෂ පැහැදීමක් ඇතැයි සය වන ප්‍රසාද කරුණ හෙළි කෙළේය.

බුදුරජාණන් වහන්ස, ඉසිදත්ත, පුරාණ, යන නම් ඇති වඩුවන් දෙදෙනෙකු මා සතුව සිටිනවා. ඔවුන් ජීවත් වන්නේ මගේ උපකාරයෙනි, එසේ වුවද භාග්‍යවතුන් වහන්සේට මෙන් මා කෙරෙහි ගෞරවාකාර නොකරති. වහන්ස, පෙර සිදුවූ දෙයක් කියමි. එක්කලක මා සේනාව රැගෙන යුද්ධයකට ගොස් සිටිය අවස්ථාවක දුෂ්කර රැයක් ගත කරණ වෙලාවක මේ වඩුවන් දෙදෙනා රැය බොහෝ වේලාවක් දැහැමි කථාවෙන් කල්ගෙවා, භාග්‍යවතුන් වහන්සේගේ දිසාවට හිස යොමු කොට, මා සිටින පැත්තට දෙපා දමා, නිදා ගන්නා දුටුවා, එවිට මට මෙබඳු සිතක් පහළ වුණා. බුද්ධ මහිමය පුදුමයි. අසිරිමත්ය. මොවුන් දෙදෙනා මගේ පිහිටාධාරයෙන් ජීවත් වුණත්, බුදුරදුන් කෙරෙහි දක්වන ගරුසැලකිලි මා වෙත නොකරති. මේ දෙදෙනා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ උදාරවූ විශිෂ්ටත්වයකට පත්ව, එහි විශේෂත්වයක් දකිත්මය, යන මෙබඳු සිතක් ඇතිවිය. ස්වාමීනි, භගවත්හු සම්මා සම්බුද්ධ වෙති. භගවත්හු විසින් ධර්මය මොනවට දෙසන ලදහ. ශ්‍රාවක සංඝයා මනා ප්‍රතිපත්තිවලින් යුක්තය, යන මේ විශේෂ පැහැදීමක් ඇතැයි යනුවෙන් තම සත් වන ප්‍රසාද හේතුව දක්වා සිටියේය.

අනතුරුව රජතුමා භාග්‍යවතුන් වහන්සේද ක්‍ෂත්‍රියහ. මමද ක්‍ෂත්‍රිය වම්හ. භාග්‍යවතුන් වහන්සේද අසූවයස් වෙති. මමද අසූවයස් ඇතියෙමි. යන මෙම කරුණු වලින්ද ඔබවහන්සේ මගේ පරම ගෞරවෝපහාර දක්වන්නටත් සුදුසු වන බව ප්‍රකාශ කරමින් තම අතිශය භක්ත්‍යාදරයත්, තමන් හා බුදුරදුන් අතර ඇති සමීප බවත්, ප්‍රකාශ කෙළේය. ඉක්බිතිව පසේනදී කොසොල් රජතුමා,ලෞකික කටයුතුවල නිරතව, ගිහි ජීවිත ගත කරණ තමන්ට, බොහෝ වැඩ රාජකාර්යයන් කිරීමට තිබෙන බව කියමින්, බුදුරදුන්ට වැද නමස්කාර කොට පිටව ගියේය.

ඉන් පසු බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා අමතා, පින්වත් භික්‍ෂූන් වහන්ස, මේ පසේනදී කොසොල් රජතුමා, ධර්ම චෛත්‍යයන් (ත්‍රිවිධ රත්නයේ වටිනාකම ) කියා නික්ම ගියා, පින්වත් භික්‍ෂූන් වහන්ස, ධර්ම චෛත්‍යයන් ඉගෙන ගන්න, මේවා පුහුණු කර ගන්න, සිතෙහි ධරා (මතක තබා ) ගන්න, ධර්ම චෛත්‍යයන් අර්ථ සහිතය. උතුම් බඹසර සඳහා ප්‍රයෝජනවත් යයි වදාළ සේක.

මෙම ධම්ම ‍ෙචිතිය සූත්‍රය ගිහි පැවිදි සැමටම එකසේ වැඩදායකය. බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂ ගුණයන් කීපයක් මෙයින් මොනවට පැහැදිලි වන බැවින්, මෙහි සඳහන් වන එම කරුණු අප සැම හදාරා ප්‍රගුණ කරගෙන, ඒ අනුව දෙලොව වැඩ සදා ගැනීමට උත්සාහ කරමු,

ඉතාලියේ බ්‍රෙෂියා ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික ධර්මායතනාධිපති
එළුවාපොළ පඤ්ඤාරතන හිමි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Y0Mkvo
= බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සංස්කරණය =

ව්‍යක්ත පණ්ඩිත භික්ෂූන් වහන්සේලා විශාල නමකගේ වසර 30ක 40ක කැපවීමක් මතින් බිහිවුණු බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මුල් මුද්‍රණය අනුව යමින් එය සංක්ෂණය කිරීමේ අභිප්‍රායද පෙරදැඩිව මසක පමණ කාලයක් වෙහෙස වීමෙන් මේ PDF පිටපත සකස් කරන ලදී.

This set of PDF files is an authentic recreation of the original Buddha Jayanthi Tipitaka book series of Sri Lanka.

මේ ව්‍යායාමය වසර 30 ගණනක් වෙහෙස මහන්සි වී බුද්ධ ජයන්ති පොත් පෙළ සකස් කරන ලද මහා ථෙරවරුන්ට ද උන්වහන්සේලාගේ ඒ අප්‍රතිහත කැපවීමට ද කරන උපහාරයක්ම වේවා.
සම්පුර්ණයෙන්ම නොමිලයේ ඔබ අතට තිලිණ කරන පිරිසිදු ධර්ම දානයකි. Size 5.8 GB. හැකිතාක් DVD, Pen Drive ආදියට ඔස්සේ ධර්මකාමින් අතර බෙදාහැර ඔබත් ධර්ම දානයට දායක වෙන්න.

= මේ PDF සංස්කරණයේ විශේෂත්වය =
1. දැනට පවතින බෞද්ධ සංස්කෘත මධ්‍යස්ථානයේ ත්‍රිපිටක මුද්‍රණයේ සහ ආතාපි අඩවිය විසින් සිදුකල PDF පිටපතේ අකුරුවල පැහැදිලිතාවය අඩු මට්ටමක පවතී. ත, න සහ ති, තී වැනි අකුරුවල වෙනස්කම්ද, footnotes අකුරුද හඳුනාගැනීම අපහසුය. පහත රූප සටහනේ දැක්වෙන පරිදි අප විසින් සකස්කළ පිටපතේ මේ අකුරු වඩා පැහැදිලිය.
https://ift.tt/2JX4Jzr

2. දැනට පවතින ත්‍රිපිටක මුද්‍රණයෙන් ද, ආතාපි PDF පිටපතෙන් ද ඉවත් කර ඇති ශුද්ධි පත්‍ර මේ පොතට ඇතුළු කර ඇත. පැරණි බුද්ධ ජයන්ති ත්‍රිපිටක මුද්‍රණයේ පැවති එකදු පිටුවක් වත් අප විසින් ඉවත්කර නොමැති අතර අලුතෙන් එක් පිටුවක් හෝ එකතුකර ද නොමැත.

3. පොතේ පටුනේ සඳහන් සුත්‍ර/මාතෘකා ඇසුරෙන් bookmarks සකස් කර ඒ ඒ PDF එකට එකතු කර ඇත. මේ bookmarks මත click කිරීමෙන් ඉතා පහසුවෙන් අදාළ සූත්‍රය වෙත පිවිසිය හැකිය.
https://ift.tt/2Y00soW

4. පොතේ පිටුවල අන්තර්ගතයට අමතර කිසිම වචනක් හෝ links පිටුවලට එකතු කර නොමැත.

= විශේෂ පුන්‍යාණුමෝදනාව =
· ත්‍රිපිටක පැරණි මුද්‍රණයේ පොත් ලංකාව පුරා ආරණ්‍ය පුස්තාකාල වලින් සොයාගෙන අප වෙත ලබාදුන් එමෙන්ම සකස් කර අවසන්වූ PDF පිටපත් වල අඩුපාඩු අපට පෙන්වා නිවැරදි කරගැනීමට උපකාර කළ මාන්කඩවල නන්දරතන (රාහුල) හිමියන්ට සහ කොත්මලේ කුමාරකස්සප හිමියන්ට.

· නොයෙක් අයුරින් උපකාර කල දෙමාපියන්ට

පොත් scan කිරීම සහ පටුන සහිතව PDF සකස් කිරීම ජනක (Path Nirvana) path.nirvana@gmail.com
අදහස් යෝජනා සහ යම් අඩුපාඩුවක් තිබේනම් ඉහත email එකෙන් දැනුම් දෙන්න.
පැරණි පොත් පිටුවලට කෘමීන්ගෙන්, තෙතමනයෙන් සහ සීල් ගැසීම නිසා සිදුව තිබූ හානි හැකිතාක් ඉවත් කිරීමට උත්සාහ දරා ඇති බව කරුණාවෙන් සලකන්න.

= Download Links =
1) https://ift.tt/2K3LofY
2) https://ift.tt/2XWU4yF
3) https://ift.tt/2JWZKib

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2GoCed1
සෙරිණි ප්‍රේත වස්තුව
අකුසල් කරමින් ජීවිතය පවත්වා ගැනීමට හුරු පුරුදුව සිටින බොහෝ පිරිස් කුසලයට නිග්‍රහ කරති. වෙනත් පිරිසක් කරන පිනක් හෝ අනුමෝදන් වීමට මැලිවන ඔවුන් යමෙකු ඒ සඳහා උනන්දු කළ ද එවිට එම පිනට නිග්‍රහ කරති. තම පුද්ගලික මතයක් ඉස්මතු කරමින් තම මතය ම සාධාරණය කිරීමට පෙළඹෙති. කාමයේ වරදවා හැසිරීම තම ජීවිකාව කරගත් මසුරු තරුණියක මරණයෙන් මතු විරූපී ප්‍රේත උපතක් ලැබූ අයුරු මෙම ‘සෙරිණි’ කථා පුවතෙන් විස්තර වෙයි.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කලෙක සේරිණි නම් ප්‍රේතියක අරභයා මෙම දේශනාව වදාළ සේක. කුරු රට හස්තිනී නමින් හැඳින්වූ නුවර සෙරිණි නම් ඇති වෛශ්‍යා ස්ත්‍රියක් වාසය කළා ය. එම නගරයට පොහොය කිරීම සඳහා මහා භික්ෂු පිරිසක් රැස් වූහ. එය දුටු නගරයේ වාසය කළ මිනිසුන් නොයෙක් අයුරින් දන් පැන් සකසා ගෙනවුත් මහ දන් පැවැත්වූහ.

කිසිදු දනක් පිනක් නොකර වාසය කරන වෛශ්‍ය ස්ත්‍රිය දුටු මිනිසුන් “මෙහි පැමිණ මෙම දානය නුඹත් අනුමෝදන් වන්න.” යැයි පවසමින් ඇය පිනට උත්සාහවත් කළ නමුදු ඇය “හිස මුඩු මහණුන්ට දන් දීමෙන් කවර නම් ප්‍රයෝජනයක ද?” යැයි කියමින් ඇය තම අකමැත්ත ම පළ කර සිටියා ය. ඉතා කුඩා දාන වස්තුවක් හෝ පූජා කිරීමෙන් පිනක් රැස්කර ගැනීමට ඇය අපොහොසත් වූවා ය.

පසු කලෙක ඇය මිය ගොස් එක්තරා ප්‍රාදේශීය නුවරක අගලක් මතුපිට ප්‍රේතියක් ව උපත ලැබුවා ය. දිනක් හස්තිනීපුර වාසය කළ උපාසකයෙක් වෙළඳාම සඳහා එම නුවරට ගොස් අළුයම් කාලයෙහි යම් උවමනාවක් සඳහා අගල මතට ගියේ ය. එම ප්‍රේතිය ඔහු දැක හැඳිනගෙන නිරුවත් ඇට සහ සම පමණක් ඉතිරිව පවතින ඉතාමත් බියකරු වූ තම සිරුර උපාසකයා හට පෙනෙන්නට සැලැස්වූවා ය.

එවිට ඇය දුටු උපාසකතුමා “ප්‍රේතිය, සිත කය වචනයෙන් කවර අකුසල කර්මයක් කරන ලද්දේ ද? කවර අකුසලයක විපාකයක් හේතුවෙන් මිනිස් ලොවින් චුතව මෙම ප්‍රේත උපත ලැබුවේ ද?” යනුවෙන් විමසා සිටියේ ය.

“මිනිසුන් ජල ස්නානය කරන ගංගා ඇළ දොළ ආශ්‍රිතව කරන ලද තොටුපළ ස්ථානයන්හි මිනිසුන්ට අමතක ව දමා ගිය යම්කිසි දෙයක් ඇත්නම් එය ලබාගනිමි’යි සිතා ආශාවෙන් අඩමසක් පමණ කාලයක් ආහාර සොයමින් ඇවිද්දෙමි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් පැමිණි විට ඔවුන්ට කිසිවක් නොදෙමින් බලවත් ලෝභයෙන් යුතුව අඩමස්සත් එකතු කළෙමි. දානයට වස්තුව තිබියදීත් පරලොවට පිහිට වන, සැප ලබා දෙන පිනක් නොකළෙමි.

පැන් පිපාසයෙන් පීඩාවට පත් මා පැන් බීමට ගඟක් කරා ගියේ නම් කවුඩන් විසින් ඉවුරේ සිට පානය කළ හැකි අයුරින් ජලය පිරී ඉතිරී ගලා බැස්ස ද ඒ ගංගාව ද මාගේ පාප කර්මයේ බලවත් බව හේතුවෙන් ම දිය හිස් වී වැලි පමණක් ඉතිරි වෙයි. උෂ්ණ කාලයෙහි මම සෙවණ ඇති තැනකට ගමන් කරමි. මා එතැනට පැමිණි කල්හි එම ස්ථානයට අව්ව වැටෙයි. සිහිල් වාතය යමෙකුගේ සිරුරෙහි හැපුණ විට සිසිලක් දැනවූව ද එම සිහිල් සුළඟ ම මා ගතෙහි ස්පර්ශ වූ විට ගින්දර හා සමාන ව තාපයෙන් වියළවමින් සිරුර දවාලයි. මෙම කියන ලද දුක්වලට අමතරව ඊටත් වඩා දරුණු දුක් විඳීමට ද මම සුදුසු වෙමි. කුමක් නිසා ද බොහෝ නින්දිත පව්කම් කළ නිසාවෙනි.

උපාසකතුමනි, ඔබ හස්තිනී පුරයට ගොස් මාගේ මවට මෙසේ කියනු මැනවි.

‘ඔබගේ දියණිය අකුසල කර්මයන් සිදුකොට යම ලෝකය යැයි කියනු ලබන ප්‍රේත අපායෙහි ඉපදී දුක් විඳින අයුරු මම දැකගත්තෙමි.’

පෙර මනුලොව සිටිය දී මා නිදාගත් සයනය යට මා විසින් තබන ලද හාරලක්ෂයක ධනය ඇත. මා විසින් එය කිසිවෙකුට පවසා නොමැත. ඒ ධනය රැගෙන එයින් ස්වල්පයක් මා උදෙසා දන් දෙත්වා. ඉතිරිය මාගේ මවගේ ජීවත් වීම උදෙසා වේවා. මාගේ මෑණියන් දන් දී මට දක්ෂිණාව දුන්නේ නම් එවිට මම සියලු කාම සැපතින් සමෘද්ධිමත් ව සැප ඇත්තියක් බවට පත්ව‍ෙමි.”

මෙසේ ප්‍රේතිය විසින් ගාථාවකින් තමන් ප්‍රේත දුකින් නිදහස් වීම පිණිස කළ යුතු වැඩ පවසා සිටියා ය.

උපාසකතුමා ඇගේ වචනය පිළිගෙන තම කටයුතු නිමවා හස්තිනීපුරයට ගොස් ඇගේ මවට එම කාරණය පවසා සිටියේ ය.

මව්තුමිය එම ධනය රැගෙන භික්ෂූ සංඝයා හට දන් දී එම පින ප්‍රේත උපත ලබා සිටින තම දියණියට අනුමෝදන් කළා ය. ප්‍රේතිය එම පිනෙන් සුවපත් විය. ශරීරයේ බියකරු පෙනුම පහව ගොස් දැකුම්කළු විය. ඉන් පසු ඇය තම දිව්‍යමය සිරුර තම මවට පෙන්වා සිටියා ය. මෑණියන් එම සිදුවීම භික්ෂූන් වහන්සේලාට සැල කළා ය. භික්ෂූන් වහන්සේලා පසුව එම පුවත බුදුරජාණන් වහන්සේට සැල කර සිටියෝ ය. භාග්‍යවතුන් වහන්සේ එම පුවත අර්ථය ලෙස ගෙන මහජනතාවට හිත සුව පිණිස ධර්මය දේශනා කළ සේක. එම ධර්මය දෙව් මිනිසුන්ට බොහෝ යහපත පිණිස ම විය.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2LZHTtG
අපි මොන දේ දුටුවත්, අපේ පෙනීම වැරදි සංඥාවකින් වෙනස් කරලයි පෙන්වන්නේ. ඇති සැටියෙන් දැකීම සඳහා මේ වැරදි සංඥා ඉවත් කල යුතුයි. බුදු රජාණන් වහන්සේ අනිත්‍ය ලෙස වදාල දේ, සාමාන්‍ය කෙනෙක් සලකන්නේ නිත්‍ය ලෙස. ඒ ඔහුව වැරදි සංඥාව මගින් රවටන නිසා.

බුදුරජාණන් වහන්සේ දුක්ඛ කියා උගන්වන දේ සාමාන්‍ය කෙනෙක් සුඛ ලෙස සලකනවා. ඒ ඔහුව සංඥාව මගින් රවටන නිසා.

බුදුරජාණන් වහන්සේ මමක් නැත, අනාත්ම, කියා උගන්වන දේ සාමාන්‍ය කෙනෙක් “මම”, “ආත්ම” ලෙස සලකනවා.

බුදුරජාණන් වහන්සේ අශුභ පිළිකුල් සහගත ලෙස උගන්වන දේ සාමාන්‍ය කෙනෙක් ශුභ (ලස්සන ) ආසා හිතෙන ලෙස සලකනවා.

මෙලෙස සංඥාව මගින් රවටනු ලබන මිනිස්සු කෙලවරක් නැති දුක් විදිනවා. මෙම රැවටීම බුදුපියාණන් වහන්සේ ඉගැන්වූ සතර සතිපට්ඨානයෙන් ඉවත් කළ යුතුයි. මේ ක්‍රම සතර නම්:

ශරීරය පිළිබඳ සතිය පැවැත්වීම ( කායානුපස්සනා සතිපට්ඨානය ) ශුභ ( ලස්සන ) ලෙස පෙන්වන වැරදි සංඥාව ඉවත් කරනවා.

වේදනාව පිළිබඳව සතිය පැවැත්වීම ( වේදනානුපස්සනා සතිපට්ඨානය ) සඛ (සැප ) ලෙස පෙන්වන වැරදි සංඥාව ඉවත් කරනවා.

සිත පිළිබඳව සතිය පැවැත්වීම ( චිත්තානුපස්සනා සතිපට්ඨානය ) නිසා නිත්‍ය ලෙස පෙන්වන වැරදි සංඥාව ඉවත් කරනවා.

නාම ධර්ම පිළිබඳ සතිය පැවැත්වීම ( ධම්මානුපස්සනා සතිපට්ඨානය ) “මම” “මගේ” (සත්ත්ව, පුද්ගල ) ලෙස පෙන්වන වැරදි සංඥාව ඉවත් කරනවා.

ශරීරයට දැනෙන ස්පර්ශය ගැන අවධානයෙන් සිටීම. කායානුපස්සනා සතිපට්ඨානයයි කියනු ලැබේ. ස්පර්ශය යනු ඵස්ස යයි. ඵස්සය නිසා යම් වේදනාවක් ( මිහිරි, අමිහිරි, මද්‍යස්ථ ) හට ගන්නවා. එම වේදනාව පිළිබඳව සතියෙන් සිටීම වේදනානුපස්සනා සතිපට්ඨානයයි. හුදු අවධානය පිළිබදව සතියෙන් සිටීම, සිත පිළිබඳව සතියෙන් සිටීමයි. එය චිත්තානුපස්සනා සතිපට්ඨානයයි. නීවරණ සියල්ල ඉවත් කර සිතෙහි ස්වභාවය පිළිබඳව සතියෙන් සිටීම ධම්මානුපස්සනා සතිපට්ඨානයයි.

වැරදි සංඥාව නැති කරන්නේ මේ ලෙසයි. එවිට ඔබට අනිත්‍යතාවය ඇත්ත වශයෙන්ම අනිත්‍යතාවය බව අවබෝධ වෙනවා. “මම” “මගේ” නැති බව, සත්ත්වයෙක් පුද්ගලයෙක් නැති බව, සත්‍යවශයෙන්ම අනාත්ම බව අවබෝධ වෙනවා. අසුභ පිළිකුල් සහගත දේ ඇත්ත වශයෙන්ම අසුභ බව අවබෝධ වෙනවා.

ඒ ඒ දේවල යතාර්ථය, ඇත්ත ස්වභාවය, පෙනෙන විට තමාගේ ඇති තත්වයට වඩා ඉහළ ලෙස සලකන සිතුවිලි ඇති පුහු මාන ඇති කෙනෙකු වීමෙන් මිදෙනවා. මේ පුහු මාන ගතිය, පුහු ආඩම්බරය ඇති වන්නේ අවිද්‍යාව නිසා.

මම දැන් ඉතා ශාන්ත බවක් අත්විදිනවා. මම ඇත්තටම ඉතාම සතුටින් සිටිනවා. “සියළු දුක් අවසන්වීම නිවන ( නිබ්බාන ) යයි කියන්නේ ඒ නිසයි.

(සුන්ලුන් මහරහතන් වහන්සේ පොතෙනි.)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/32u0y6G
සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ලෝකෙට පහළ වන්නේ ඉතා කලාතුරකිනි. උන්වහන්සේ අන් අයට පිළිසරණ වන සේක. බුදු කෙනෙකු ලෝකයට පහළ වන්නේ සරණක් පිණිස විනා ලෝකයාට පසුතැවිල්ලක් දීමට නො වේ. තථාගත ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරද්දී ඔබට ඉතිරි වන්නේ පසුතැවීමක් නම් ඔබ ධර්මය අල්ලා තිබෙන විදිහ වැරදි ය. බුදුරජාණන් වහන්සේ ගැන අසනා විට, ‘අනේ අපට අහිමි උනානේ’ කියා සිතීම පසුතැවිල්ල යි. ‘අනේ උන්වහන්සේ සරණ යන්ට ලැබෙනවානේ’ කියා සිතීම ධර්මය යි.

ඔහු මුළු හදවතින් ම බුදුරජාණන් වහන්සේ සරණ කර ගන්නේ ය. ධර්මය අසන විට ‘අනේ අපිට වැරදුනානේ, අපිට නම් යහපතක් වෙන එකක් නෑ. සතර අපායේ තමයි ඉතින්’ කියා සිතීම පසුතැවිල්ල යි. ‘මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ එල්ලී ගැලවිය යුතුව ඇතැ’යි සිතීම ධර්මය යි. ඔහු මුළු හදවතින් ම ශ්‍රී සද්ධර්මය සරණ කර ගන්නේ ය. උතුම් රහතන් වහන්සේලා ගැන අසන විට ‘අනේ අපට ඒ රහතුන් දැක ගන්ටවත් බැරි උනානේ, උන්වහන්සේලාට දන් හැන්දක්වත් බෙදා ගන්න බැරි උනානේ, උන්වහන්සේලාගෙන් බණ අහන්න බැරි උනානේ’ කියා සිතීම පසුතැවිල්ල යි.

‘අනේ ඒ රහතන් වහන්සේලා ගැන අපට අහන්ට ලැබෙනවා නෙව. කොයි තරම් ලාභයක් ද?’ කියා සිතීම ධර්මය යි. ඔහු මුළු හදවතින් ම සංඝරත්නය සරණ යන්නේ ය. තුනුරුවන්ට තමන් සමාන කරන කෙනා පසුතැවිල්ල උරුම කර ගනී. තුනුරුවන් සරණ කරගෙන ගැලවීමක් සොයන කෙනා ධර්මය උරුම කර ගනී. දැන් බලන්න ඔබ මේ ධර්මයෙන් පසුතැවිල්ල උරුම කරගෙන ද? නැත්තම් සරණ උරුම කරගෙන ද? කියා.

පසුතැවි තැවී ඉන්න කෙනා මරණින් මතු නාග ලෝකය උරුම කර ගනී. පසුතැවිල්ලත්, ශෝකයත්, දුක් මැසිවිල්ලත්, කෝපයත්, නොසන්සිඳෙන රාගයත් නාගයන්ගේ ජීවිත වෙලාගෙන ඇත්තේ ය. පින තිබෙන අය පවා පසුතැවිල්ල හා සිතෙන් කඩාගෙන වැටෙන බොළඳ බව නිසා නාග ලොව ඉපිද එහි ද ශෝක වෙත්, පසුතැවිලි වෙත්, අවුරුදු 20,000ක් සිල් රැක ගසක කොළයක් කැඩුණු ශෝකයෙන් නා ලොව උපන් ඒරකපත්ත නාගයා මෙනි. මේ ලෝකයේ සත්පුරුෂයෙක් මනා ව අවවාද කරනවා නම් ඔහු වනාහි “ශෝක නොකරව්, පසුතැවිලි නොවව්, වරදින් නැගී සිටිව්” යැයි පවසන්නේ ය. එතරම් ඒ කරුණ වටින්නේ ය.

අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට උපතින් ම සිල්වත් අයව සොයා වැඩියේ නැත. උපතින් ම බ්‍රහ්මචාරී අයව සොය සොයා වැඩියෙත් නැත. උන්වහන්සේගේ මහා කරුණාවෙන් තෙත් වූ නෙත් සඟලට මිනී මරණ අංගුලිමාල පෙනුන සේක. සංකිච්ච සාමණේරයන් සමඟ පැමිණි සොරු පෙනුන සේක. අම්බපාලි, සුගලා, විමලා, වැනි ගණිකාවෝ පෙනුන සේක. තම යසස වෙනුවෙන් මුසා බණන්නන් පෙනුන සේක. විශාඛාව සමග දෙව්රමට ආ, මත් වතුරින් වියරු වැටුණු කතුන් පෙනුන සේක. ක්‍රෝධයෙන් ගිනි ගත් භාරද්වාජ වැන්නන් ද විවාහ යෝජනා රැගෙන ආ මාගන්දිය වැන්නන් ද මිථ්‍යා දෘෂ්ටියෙන් ඔද වැඩුණු පරිබ්‍රාජකයන් ද පනස් පස් වසරක් පුරා අසූචි අනුභව කළ ජම්බුක ආදීන් ද බුදු ඇසට පෙනුන සේක. මෙවැනි කතා කොතෙක් ද? නො කී කතා අපමණ ය. ඔවුහු මඟ වැරදුනු අය ව සිට භාග්‍යවතුන් වහන්සේ මුණගැසුණු පසු හරි මඟ ගියෝ ය. උපන්දා සිට නොව සසරක පව් සෝදා හළෝ ය. කිම…. ඔබ නැද්ද මේ දහමෙන් සැනසෙන්නේ? පව් සෝදාගෙන මුනිඳු සරණ යන හැටි, බලන්න මේ ලිපියෙන්වත් සොයා ගත හැකි ද කියා…
ආලවක යක්ෂයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසයි. “කථංසු පරිසුජ්ඣති” – “කෙලෙසින් ද කෙනෙක් පිරිසිදු වෙන්නේ?”

රාගය නිසාත්, ද්වේෂය නිසාත්, මෝහය නිසාත්, කෙළවරක් නැති කෙලෙස් නිසාත් මේ හිත තියෙන්නේ ජරා වී ය. අපවිත්‍ර වී ය. කුණු අස්සේ කුණු ය. ජරා සිතිවිලි ම ය සිතෙන්නේ. ජරා වැඩවලට ම ය කැමති. ජරා වචන කියා සතුටු වෙයි. මේ කුණු කන්දරාව හෝදාගෙන පිරිසිදු වෙන්නේ කොහොමද කියා ය මේ විමසන්නේ. කරපු දහසක් වැරදිවලින් කිලිටි වූ සිත පිරිසිදු කර ගන්නේ කොහොමද කියා ය අසන්නේ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාාළ සේක. “පඤ්ඤාය පරිසුජ්ඣති” – “ප්‍රඥාවෙන් ම යි කෙනෙක් පිරිසිදු වෙන්නේ.” ප්‍රඥාව කියන්නේ නුවණින් යුතුව හරියට කල්පනා කරන්නට හැකි බවයි. මේ හරිම අමාරු කාරණයකි. හරියට නුවණින් කල්පනා කරනවා නම් කෝටියක් පව් හේදෙයි. උපමා කතා කිහිපයක් සිහි කරන්නෙමි ඔබගේ වැටහීම පිණිස. පානීය ජාතකයේ මෙසේ සඳහන් ය.

අතීතයේ යහළුවන් දෙදෙනෙක් පැන් පිරුණු ලබු කබල් දෙකක් ගෙන එයින් පැන් බී හේන් කොටති. වෙහෙස වූ විට තම පැන් බඳුනෙන් දිය බොති. එක් අයෙක් විටෙක තම පැන් බඳුන ඉතිරිකර ගන්නා අදහසින් හොරෙන් අනෙකාගේ පැන් බඳුනෙන් පැන් බිව්වේ ය. එදින සවස තම දිනචරියාව ආවර්ජනය කරන ඔහු තමාගේ සොරකම සිහි කොට, ‘සතර අපායේ වැටේවි’ යන බිය ගෙන නුවණින් විමසුවේ ය. ‘කෙලෙස් යටපත් කර ගන්නෙමි’යි සිතා විදර්ශනාවේ ම සිත පැවැත්වූයේ ය. ඒ උත්තමයා පසේබුද්ධත්වයට පත් වූ සේක.

තවත් අයෙක් පර අඹුවන්ට ආසා කොට, ඒ ගැන සිතා, මේ අකුසලය පැවැත්වුවොත් මා නිරයේ යාවි කියා සිතට අවවාද කොට විදසුන් වඩා පසේබුද්ධත්වයට පත් වූ සේක. තවත් අයෙක් මුසාවක් කියා ඊට කලකිරී විදසුන් වැඩූයේ පසේබුද්ධත්වයට පත් වූ සේක. තවත් අයෙක් ප්‍රාණඝාතයට අනුබල දී ඊට කලකිරී විදසුන් නුවණින් කල්පනා කොට පසේබුද්ධත්වයට පත් විය. කළ පාපය පාපයක් බවත්, එහි විපාකය දරුණු බවත්, නැවත නොකිරීමට ඇති කැමැත්තත්, වීර්යයත් නුවණින් කල්පනාවට ගත් හෙයින් ඔවුහු සසරින් මිදුනු සේක. හරියට කල්පනා කොට පවු සෝදා ගත් කතා කීපයක් එලෙස ම ය.

අට්ඨාන ජාතකයේ අපේ මහා බෝධිසත්වයෝ ගණිකාවන් ඇසුරු කරන සල්ලාලයෙකු ව සිට ඒ ගැන කලකිරී තපස් රැක බඹලොව උපන් විස්තර එයි. වරදින් නැගී සිට සැනසිල්ලට පත් වූ අය ගැන විස්තර එමට ය. හුදෙක් මේ බුද්ධ ශාසනය ම වරදින් නැගී සිට පව් සෝදාගත් ශුද්ධවන්තයන්ගේ ම භූමිය යි. පව දෘෂ්ටියෙන් වසා නැළවිලි ගී කීම අනික් ශාසනවල පුරුද්ද යි. ඔවුනට ප්‍රඥාවක් කොයින් ද? ‘පඤ්ඤාය පරිසුජ්ඣති’ – ‘ප්‍රඥාවෙන් ම යි පිරිසිදු වෙන්නේ.’

තවත් මඟ පෙන්වීමක් සල්ලේඛ සූත්‍රයේ පෙන්වා දෙන සේක. බොහෝ අය බුද්ධ ශාසනයේ දියුණුව සේ දකින ධ්‍යාන, සමාධි, සමාපත්ති භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයේ වදාරා නැත. ඒ, නිවනට නොවෙයි. රූපාවචර ධ්‍යාන යනු මේ ජීවිතේ සැප සේ විසීම යි. කෙලෙස් ලිහිල්ල නෙවෙයි. අරූපාවචර ධ්‍යාන යනු මේ ජීවිතේ ශාන්ත ව විසීම යි. කෙලෙස් ලිහිල්ල නෙවෙයි. කෙලෙස් ලිහන්නේ ප්‍රාණඝාතය කරන කෙනා ප්‍රාණඝාතයෙන් වැළකීමට පැමිණීමෙනි. සොරකම් කරන කෙනා ඉන් වැළකීමට පැමිණීමෙනි. මේ අයුරින් කෙලෙස් බන්ධනය ලිහනවා කියා අකුසල් 44ක් ගැන වදාළ සේක. මෙය ප්‍රඥාවට ගත යුතු ය. යම් වැරැද්දක් කරන්නේ නම්, ක්ලේශයකට බන්ධනයකට ලක් වෙලා නම්, ඒවා ලිහලා ශුද්ධ කර ගන්න නම් ඒ වරදින් මිදෙන්න ම ඕනෑ ය. වැරැද්දක් කර කර ඉන් මිදෙන්නට බැරි ය.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.“චිත්තුප්පාදම්පි ඛෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. කෝ පන වාදෝ කායේන වාචාය අනුවිධීයනාසු” – “කුසල ධර්මයන් වැඩීමට සිතක් ඉපදවීම පවා බොහෝ උපකාරකයි කියා වදාරමි. කයින් වචනයෙන් කුසල් කිරීමෙන් වන යහපත ගැන කවර කතා ද?” එනිසා ‘මම මේ මේ අකුසල් කරන්නේ නෑ. මට මෙයින් නැගී සිටින්න ඕන.’ කියලා නිතර සිතිය යුතු ය. පිරිනිවන් පෑම යනු සියලු කෙලෙස් සෝදා හැරීමෙන් ලැබෙන පරම ශාන්තිය යි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ප්‍රාණඝාතය කරන කෙනාට පිරිනිවන් පාන්ටයි ප්‍රාණඝාතයෙන් වැළකීම තියෙන්නේ.” යම් වරදක් කරන කෙනාට එහි කෙලෙස් සෝදා හැර හැම පවින් ගැලවෙන්ට තිබෙන්නේ ඒ ඒ වරදින් අත් මිදීම ම යි. සල්ලේඛ සූත්‍රය කියවන්න. ඔබ මෙතෙක් කළ වැරදි පව්කම්වලින් ඔබට ගැළවෙන්න තිබෙන්නේ එයින් අත්මිදීම තුළින් ම යි. වැරදි අඩුපාඩු හදාගන්න. ඔබ වැරදිකරුවෙකු නො වේ, ඉන් මිදුනු කෙනෙකි. මේ කරුණු තේරුම් ගෙන හරියට කල්පනා කොට ජීවිතය හදා ගන්නා එක අයිති ප්‍රඥාවට ය. ඒ, ප්‍රඥාවෙන් පව් සෝදා හරින හෙයිනි. භාග්‍යවතුන් වහන්සේ වෙහෙසවූ ආලවක යකු පාපයනුත්, පසුතැවිල්ලත් ප්‍රඥාවෙන් ම සෝදා දැමුවේ ය. පිරිසිදු වූයේ ය. ‘පඤ්ඤාය පරිසුජ්ඣති.’

“කථංසු තරති ඕඝං” – “මේ විදිහට වැරදි, වැරදී, පසුතැවි තැවී, අඬ අඬා කැරකි කැරකි පවට ම නැමෙන මේ කෙලෙස් සැඩ පහරින් ගසාගෙන යද්දී කොහොමද ගොඩයන්නේ කියා ද ආලවක ඇසුවේ ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “සද්ධාය තරතී ඕඝං” – “ශ්‍රද්ධාවෙන් තමයි තරණය කරන්නේ කෙලෙස් සැඩ පහර.” ශ්‍රද්ධාව යනු බුද්ධ වචනය විශ්වාස කරන එක ය. ඔහු මේවායෙන් ගැලවෙන්නේ මෙහෙමයි කියා වදාළ දහම් පද විශ්වාස කර ගනියි. ගැලවෙන්න පුළුවන් කියා විශ්වාස කොට වැරදිවලින් ගැලවුණ අය සිටිති. විශ්වාස කරන එක ම ය ශ්‍රද්ධාව. ජාතක කතා, ධම්මපද කතා, රහතන් වහන්සේලාගේ ජීවිත කතා වනාහී නැගී සිටින්න පුළුවන් බවට දෙන සාක්ෂි වේ. ඒවා විශ්වාස කටයුතු ය. ඒ ශ්‍රද්ධාව ඔහුව වරදින් එතෙර කරනු ඇත.

“කථංසු තරති අණ්ණවං” “සාගරයක් වගේ ගොඩගැසුණු සංසාර ගමනෙන් (සාගරයක් වගේ කෙලෙස් ගොඩෙන්) කොහොමද එතෙර වෙන්නේ?” කියා ද ආලවක විමසයි.“අප්පමාදේන අණ්ණවං” – “අප්‍රමාදී බවෙන් ම යි.” අප්‍රමාදී බව වනාහි අනුන්ට චෝදනා නොකිරීම යි. දුක් මැසිවිලි අඳෝනා නොනැගීම යි. පසුනොතැවීම යි. ඉවසීම යි. කලබල නොවීම යි. නුවණින් කල්පනා කිරීම යි. කාලයෙන් ප්‍රයෝජන ගැනීම යි. අප්‍රමාදී බවට අංගුලිමාල තෙරිඳුන් ව උපමාවට සුදුසු ය. තම හිසට ගල්පහර වැදෙද්දී පසුපස හැරී නොබැලුවේ ය. පාත්‍රය බිඳෙද්දී වටපිටවත් නොබැලුවේ ය. ඉවසුවේ ය. උන්වහන්සේගේ උදාන ගාථාවල කඩුව අතට දුන් ගුරුවරයා ගැන හෝ කේළාම් කියූ යහළුවන් ගැන වචනයකින්වත් නැත්තේ ය. උන්වහන්සේ ලෝකයට චෝදනා නොකළ සේක.

බුදු සසුන මුණගැසුණු වෙලේ උතුම් ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ලැජ්ජා බයත්, වීර්යයත් ප්‍රඥාවත් දියුණු කර ගත් සේක. ඒ අපගේ ආර්ය වූ අංගුලිමාල තෙරිඳුන්ගේ අප්‍රමාදී බව යි. සාගරයක් තරම් කෙලෙස් පව් උන්වහන්සේ තරණය කළ සේක. මේ හැමදේටම ඤාණය තිබිය යුතු ය. ප්‍රඥාවෙන් ම යි මේ ඔක්කොම ශුද්ධ කරලා දාන්නේ. කුණු වැඩි නම් ප්‍රඥාව වැඩි කර ගත යුතු ය. ඒ තාක්, පසුතැවීම මංමුළා වූ බව ම උපදවයි. ප්‍රඥාව නැතිතාක් ධර්මය හොයනවා කියා රට වටේ යන්නට සිද්ධ වේවි, එක එක භාවනා පන්තිවලින් හෙම්බත් වෙවි. ඇත්තටම ප්‍රඥාව නම් සොඳුරු දෙයකි. ප්‍රඥාව මිනිසා සන්සුන් කරවයි. සතුට ගෙන දෙයි. වරදින් ගොඩ ගනියි. නිවනට රැගෙන යයි.

“කථංසු ලභතේ පඤ්ඤං” – “කොහොමද ප්‍රඥාව ලබා ගන්නේ?” යනුවෙන් ද ආලවක විමසුවේ ය.

“සද්දහානෝ අරහතං
ධම්මං නිබ්බානපත්තියා
සුස්සූසා ලභතේ පඤ්ඤං
අප්පමත්තෝ විචක්ඛණෝ”

“අමා මහ නිවනට පමුණුවන ධර්මය රහතන් වහන්සේලා වදාළා. ඒ ධර්මය හොඳට අහන්න ඕන. අප්‍රමාදී ව නුවණින් විමසන්න ඕන. අන්න එතකොට ප්‍රඥාව උපදිනවා.” බලන්න, ශ්‍රද්ධාව මේ කරුණට වුවමනා ය. ධර්මය ඇසීම වුවමනා ය. හැබැයි ශාස්තෘ ශාසනය, ත්‍රිපිටකාගත සැබෑ ශ්‍රී සද්ධර්මය ම අහන්න ඕන. ඇදකුද නොසොයා, තමා තුළට පමුණුවා නුවණින් විමසනකොට ප්‍රඥාව උපදී. ඒ නිසා ශ්‍රද්ධාවෙන් ධර්මය අහන කෙනා මේ අර්බුදයෙන් ගැලවීමක් ලබයි. තවත් විස්තර දැනගන්නට ආලවක සූත්‍රය කියවන්න. හරිම අපූරු සූත්‍රයකි. ඇත්තටම ආලවක ගැලවුනා නේ ද…! ආලවක මිනී මස් කමින් සිටි යකෙක් ය. ඔහු සෝවාන් විය.

දහමින් පිහිටක් සොයාගෙන පැමිණි ඔබ පසුතැවීම ඉතිරිකර ගන්න එපා. එතකොට ඔබ සරණ ලබාගෙන නැත. සරණ ලැබුණා ම බිය නැති වන්නේ ය. මේ බියෙන් තැවි තැවී ඉන්නේ හරියට සරණ නැති නිසාවෙනි. කෝටියක් පව් අමතක කොට බලවත් ව තිසරණ සරණ යන්න. හරියට කල්පනාව හදා ගන්න. ප්‍රඥාව උපද්දවන දේශනා අසන්න. වරදින් නැගී සිටි උත්තමයන්ට පුදන්න. සිහි කරන්න. නමදින්න. අප හටත් පිහිටක් ඇති බව නිතර සිතන්න. මේ මිහිරි ශ්‍රී සද්ධර්මය නිතර ශ්‍රවණය කරන්න. ඔබව සුවපත් කරනා දහම් පදය ඔබට ඇසෙනවා ම යි. භාග්‍යවතුන් වහන්සේ ලොවට අනුකම්පා ඇති සේක…!

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2JLb1SM
අසිරිමත් සම්බුදු ගුණ මධුර වදනින් වැයූ සුගන්ධ ථේරාපදානය

මෙම භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහි උපන් මහත් වූ යසස් ඇති, කතා කරන මිනිසුන්ට උතුම් වූ, අසූවක් අනුව්‍යංජනයන්ගෙන් යුතු, දෙතිස් මහා පුරිස ලකුණු ඇති, බ්‍යාමප්‍රභා ආලෝකයෙන් වටවූ රැස් දහරා ගැවසී ගත්, ගෝත්‍රයෙන් කාශ්‍යප නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක.

ඒ බුදුරජාණන් වහන්සේ සඳ මඬල මෙන් අස්වැසිලි ඇති කරවන සේක. සූර්යයා මෙන් ආලෝකය පතුරුවන සේක. වැහි වලාවක් මෙන් කෙලෙස් දාහය නිවන සේක. සාගරය මෙන් ගුණ මැණික් ආකරයක් වන සේක. සීලයෙන් මහ පොළොව මෙනි. සමාධියෙන් හිමාල පර්වතය මෙනි. ප්‍රඥාවෙන් ආකාශය මෙනි. සුළඟ මෙන් කිසිවක නොඇලෙන සේක. පිරිස් හමුවෙහි විශාරද වූ, ඒ මහා වීර වූ බුදුරජාණන් වහන්සේ යම් දිනක මහ ජනයා සංසාර සාගරයෙන් ගොඩලමින් චතුරාර්ය සත්‍යය දෙසූ සේක.

එකල්හි මම බරණැස් නුවර මිගදාය නම් වූ මුව වනයේදී අමා පදය දෙසන, කෙලෙස් දුහුවිලි නොමැති, විහිදී යන මන පිනවන වචන ඇති, කුරවි කෙවිල්ලකගේ බඳු මිහිරි හඬ ඇති, හංසයෙකුගේ බඳු ඝෝෂා ඇති, මහ ජනයාට දහම් අවබෝධ කරවන්නා වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි. දේවාතිදේව වූ ඒ බුදුරදුන් දැක මිහිරි දහම් පද අසා අපමණ වූ භෝග සම්පත් හැර දමා අනගාරික පැවිදි බව ලැබුවෙමි. මෙසේ පැවිදි වූ මම නොබෝ කලකින්ම බහුශ්‍රැත වූ ධර්ම කථික වූ විසිතුරු ප්‍රතිභා ඇත්තෙක් වීමි. මම මහ පිරිස් මැද සතුටු සිතින් ගුණ වැනීමෙහි විශාරදව, ස්වර්ණ වර්ණ වූ බුදුරජුන්ගේ සම්බුදු ගුණ නැවත නැවත වර්ණනා කෙලෙමි.

නමදිමින් සම්බුදුරජාණන් – පවසමින් මුනි ගුණ අමාවන්…

බුදුරජාණන් වහන්සේ ආශ්‍රවයන් ක්‍ෂය කළසේක. උවදුරු රහිත සේක. දුරුකළ සැක ඇති සේක. සියලු කර්මයන් ක්‍ෂය කළසේක. අකුසල් නැති අරහත් මුනිඳාණන් වන සේක. ඒ භාග්‍යවත් බුදු සමිඳාණන් ලොවෙහි අනුත්තර සිංහ රජාණන් වන සේක. දෙව් මිනිසුන්හට සැපත සදාලන ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන සේක. මහාර්ෂි වූ, දැමුණු සිතින් යුතු බුදු සමිඳාණන් පුරිසදම්ම සාරථි වන සේක. ශාන්ත සිත් ඇති ඉසිවරයාණන් හැම සිත් සනසන සේක. තමන් වහන්සේ කෙලෙස් ගිනි නිවා අන් අයව ද නිවාලන්නේය. තමන් වහන්සේ අස්වැසුනේ, අන් අයට ද අස්වැසිලි ඇති කරන්නේය.

ඒ බුදුරජාණන් වහන්සේ ශූර ය, වීර ය, නැණවත් ය, පැණවත් ය, කාරුණික ය, දිනූ කෙලෙස් ඇත්තේ නිහතමානී වන සේක. දිනන සුලු ය. ආශා නැති සේක. තෘෂ්ණා නැති හෙයින් අනේජ වන සේක. නිශ්චල ය, නුවණැති ය, මෝහය නැත්තේ ය, සමාන කෙනෙක් නැති හෙයින් අසම ය, වගකීම් උසුලන සේක. උත්තම බැවින් වෘෂභ වන සේක. පව් නැති බැවින් නාග වන සේක. ශ්‍රේෂ්ඨ බැවින් සිංහ වන සේක.

ආචාර්යවරුන් අතරෙහිදු දක්ෂ වන සේක. රාගය නැත්තේ ය. නිමල ගුණ ඇති සේක. වාදීන් අතුරෙන් ශූර ය. පව් දුරු කළ සේක. සිතෙහි රාගාදී කිළුටු නැති නිසා අඛිල වන සේක. පහ වූ රාගාදි හුල් ඇති හෙයින් විසල්ල වන සේක. ඉන්ද්‍රියයන් සංවර කළ බැවින් සන්සුන් ය. පිරිසිදු ය. පව් බැහැර කළ හෙයින් බ්‍රාහ්මණ වන සේක. සංසිඳවූ පව් ඇති බැවින් ශ්‍රමණ වන සේක. අනාථයන්ට පිහිට වන බැවින් නාථ වන සේක. කෙලෙස් ව්‍යාධියට වෛද්‍යවරයාණෝ ය. රාගාදී කෙලෙස් හුල් උදුරන ශල්‍ය වෛද්‍යවරයාණෝ ය. කෙලෙස් සතුරන් ජයගත් යෝධයාණෝ ය. බුදුවරයාණෝ ය. පතළ ගුණ ඇති සේක. දමනය කළ යුත්තන් දමනය කරන බැවින් සාරථි වන සේක. ලොවේ යහපත දැක සතුටු වන මුදිතාවෙන් යුතු වන සේක.

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන්
සම්බුද්ධ රාජ පාද පද්ම වන්දනා කරම්

තෘප්තිමත් ය. මහාකරුණාදී ගුණ ඇති සේක. කෙලෙස් සතුරන් නැසූ සේක. ශාන්තිය උදාකරන සේක. නිවන් මගට පමුණුවන සේක. අමා දහම් දෙසන සේක. ශ්‍රාවකයන් සතුටු කරවන සේක. සංසාර චක්‍රයේ අර සිඳලූ සේක. කෙලෙස් බැඳුම් සිඳින සේක. හික්මවිය යුතු අයගේ කථාවන් කොපමණ දුර සිටියත් අසන සේක. මනා පිළිවෙත් ඇති අයට පසසන සේක. උවදුරු රහිත ය. සැක රහිත ය. තෘෂ්ණා විරහිත ය. කෙලෙස් රජස් රහිත ය. ඉවසන සේක. නිවන් මගෙහි වඩින සේක. මග නොමග මේ යැයි පෙන්වා දෙන සේක. යහපත අයහපත පවසන සේක. සත්වයන් සසරින් එතෙර කරවන සේක. අභිවෘද්ධිය ඇති කරවන සේක. යහපත සිදුකරන සේක. කෙලෙස් නමැති ගල්කුළු පලා දමන සේක. සත්වයන් නිවනට පමුණුවන සේක. දුටුවන් සිත් ගන්නේය. කෙලෙස් සතුරන් නසන සේක. මහා වීර්යය ඇති සේක. තපෝ ගුණයෙන් යුතුවන සේක.

සතුරු – මිතුරු – මැදහත් සියලු සත්වයන් කෙරෙහි සම සිත් ඇති සේක. අසම වූ බුදුවරුනට පමණක් සමාන බැවින් අසමසම වන සේක. කිසිවෙකුගේ පිහිටක් නොමැතිව බුද්ධත්වය ලැබූ හෙයින් අසහාය වන සේක. දයා ගුණයට නිවාසස්ථාන වන සේක. ආශ්චර්ය වන සේක. කුහක නොවන සේක. සර්වඥතා ඤාණය පිණිස සියල්ල සැපිරූ සේක. (ඵුස්ස බුදුන්ගේ පටන්) සත්බුදුවරුන් අතරේ සත්වැනි මහා ඍෂි වූ හෙයින් ඉසි සත්තම වන සේක. දුරු කළ සැක ඇති සේක. මාන නැත්තේ ය. පමණ කළ නොහැකි අප්‍රමාණ ගුණ ඇත්තේ ය. උපමාවලින් වර්ණනා කොට අවසන් කළ නොහැකිය. වර්ණනා විෂය ඉක්මවූ සේක. චතුරාර්ය සත්‍ය ධර්මයේ හා දතයුතු සියලු ධර්මයන්හි පරතෙරට වැඩි සේක. මාර යුද්ධය ජය ගත් සේක.

වැණුවා නම් බුදු ගුණ වැණුවා ම ය….

සියලු සත්වයන් අතුරෙහි උතුම් ම හරය වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය අමා සුව උදා කරයි. එම නිසා බුද්ධ රත්නය කෙරෙහි ද ධර්ම රත්නය කෙරෙහි ද සංඝ රත්නය කෙරෙහි ද ඇති කරගත් ශ්‍රද්ධාව මහත් වූ ආනිසංස ඇති කරන්නේය. මම මේ ආදී ගුණවලින් තුන්ලොවට උතුම් පිළිසරණ වූ බුදුරජාණන් වහන්සේ වර්ණනා කරමින් පිරිස් මැද ධර්ම කථාවක් කෙළෙමි.

මම අපවත් වී තුසිත දෙව්ලොව ඉපිද මහත් දිව්‍ය සැප විඳ මිනිසත් බවේ ඉපිද සුවඳවත් වූයෙමි. බුදුගුණ වර්ණනා කිරීමෙහි ඒ සියලු ආනිසංස අතිශය විස්මයජනක ය. එය වර්ණනා කරන්නෙමි. සියල්ලෝ ම එකඟ සිත් ඇතිව මාගේ වචනය අසත්වා! ජනයා එකතු වෙන තැන්වලදී පැහැදුන සිතින් සම්බුදු ගුණ වයා මිහිරි හඬ ඇත්තෙක් වීමි. හැම තැනදී ම සැප ඇත්තෙක් වෙමි. යශස් ඇත්තෙක්, සුව ඇත්තෙක් වූයෙමි. බුදු බැතිය ඇති අයට නිවන පහසුවෙන් ලැබෙන්නේ වේ. ඔවුන්ගේ නිර්වාණ සම්පත්තියට හේතුව කියමි. එය තත් වූ පරිදි අසන්න.

මම භාග්‍යවතුන් වහන්සේගේ ශාන්ත වූ යසසට අභිවාදනය (ගෞරවයෙන් නමස්කාර කිරීම) හේතුවෙන් යම් තැනක උපන්නෙම් ද, යසස් ඇත්තෙක් වීමි. දුක් කෙළවර කරන්නා වූ බුදු රජුන් ද, ශාන්ත වූ අසංඛත ධර්මය ද වර්ණනා කරමින් අන් අයට ද සැපය උදාකර දී ඒ හේතුවෙන් මනා සැප ඇත්තෙක් වීමි. බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව බුදුරජුන්ගේ ගුණ කියා මාගේ සිතෙහි ද අන් අයගේ සිතෙහි ද කැමැත්ත (ශ්‍රද්ධාව) ඇති කෙළෙමි. ඒ හේතුවෙන් අන් අයගේ සිත් අලවන ගති ඇති කෙනෙක් වීමි. තීර්ථකයන් විසින් ගැවසී ගත් ජන සමූහයා කෙරෙහි මිත්‍යා තීර්ථකයන් මැඩ පවත්වා ගුණ කියමින් බුදුරජුන් බැබළවීමි. ඒ පිනෙන් පැහැපත් කෙනෙක් වීමි. මම සම්බුදු රජුන්ගේ ගුණ කියා ඒ හේතුවෙන් සරා සඳ මෙන් ජනයා හට ප්‍රිය දැකුම් ඇත්තෙක් වීමි. මම ශක්ති පමණින් බුදු රජුන්හට සියලු වචනයෙන් ස්තූති ප්‍රශංසා කෙළෙමි. ඒ හේතුවෙන් වාගීශ්වර වීමි. විසිතුරු වූ වැටහෙන නුවණ ඇතියෙම් ද වෙමි. මම සම්බුදු ගුණ වර්ණනා කරමින් අන් අයගේ කෙලෙස් දුරු කෙළෙමි. එම කර්මයේ බලයෙන් නිකෙලෙස් සිත් ඇත්තෙක් වීමි.

විමතියට පත් යම් බාල කෙනෙක් මහා මුනි වූ බුදුරජාණන් වහන්සේට පරිභව කෙරෙත් නම්, ඔවුනට කරුණු සහිතව නිග්‍රහ කෙළෙමි. ඒ හේතුවෙන් මම පරිභව නොලද්දෙම් වෙමි. බුදු ගුණ සිහිකොට දේශනා කරමින් අසන්නන්ට නුවණ ඉපිදවීමි. එහෙයින් මම ප්‍රඥාවන්ත වූයෙමි. සියුම් වූ අරුත් දකින්නෙක් වීමි. සියලු ආශ්‍රවයන් ක්‍ෂය කරන ලදුයෙම්, තරණය කරන ලද සසර සයුරු ඇත්තෙමි. දර නොමැති (උපාදාන රහිත) ගින්නක් මෙන් පිරිනිවනට යන්නෙමි. මම බුදු රජුන්හට යම් ස්තූති ප්‍රශංසාවක් කෙළෙම් ද, එම පිනෙන් දුගතියක් නොදනිමි. සම්බුදු ගුණ වැනීමෙහි විපාක එලෙසිනි.

මා විසින් ක්ලේෂයෝ දවන ලදහ. සියලු භව නසන ලදහ. ඇත් රජෙකු මෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිතව වෙසෙමි. බුදුරජාණන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ම යහපත් විය. ත්‍රිවිද්‍යාවත් ලබන ලදී. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කරන ලදී.

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි