Monthly Archives: July 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2XNwQec
අපගේ බුදුරජාණන් වහන්සේ ශාස්තෘන් වහන්සේ වූයේ මිනිසුන්ට පමණක් නොවේ. උන්වහන්සේ මිනිසුන්ගේත් දෙවියන්ගේත් ශාස්තෘන් වහන්සේ. ඒ නිසා “සත්ථා දේවමනුස්සානං” කියා අප උන්වහන්සේට නමස්කාර කරනවා. ඒ පිළිබඳව සඳහන් වන දේශනාවක් මජ්ජිම නිකායට අයත්ව තිබෙනවා. ඒ බ්‍රහ්මනිමන්තික සූත්‍රයයි.

තථාගයන් වහන්සේ එක් කාලයක “උක්කට්ටා” කියන නගරයේ විශාල සල්රුක් සෙවණක වැඩ වසය කළා. එක් දිනක් අද මා කාටනම් පිහිට විය යුතුදැයි මහා කරුණාවෙන් ලොව දෙස බලද්දී එක් බක නම් මහබ්‍රහ්මයෙක්ව දුටුවා. ඔහු සිටියේ “බ්‍රහ්මපාරිසජ්ජ” කියන ලෝකයේ. ඒ මහබ්‍රහ්මයා සිතුවේ මේ බ්‍රහ්ම ජීවිතය නිත්‍යයි, ස්ථිරයි, සදාකාලිකයි. මේ ජීවිතය තමයි පරිපූර්ණ. මේ ජීවිතය චුත නොවන ස්වභාවයෙන් යුක්ත එකක්. උපදින්නේත්, දිරන්නේත්, චුත වන්නේත් නැති ස්ථිර ජීවිතයක් යැයි දැඩි මාන්නයකින් හා බැසගත් දෘෂ්ටියක් ඔහුට තිබුණා.

භාග්‍යවතුන් වහන්සේ බලවත් පුරුෂයෙක් අතක් දිගහැර හකුළන වෙලාවක් තුළ සල්රුක් සෙවණින් නොපෙනී මහ බ්‍රහ්මයා ඉදිරියේ පහළ වුණා. උන්වහන්සේ දුටු බ්‍රහ්මයා කියනවා නිදුකාණෙනි, ඔබට ස්වාගතයක් වේවා! බොහෝ කාලයකට පසුවයි ඔබ මේ ලෝකයට වැඩියේ. නිදුකාණෙනි, මේ ලෝකය තමයි නිත්‍ය වූ ස්ථිර වූ තැන. මෙහි ඉපදීමක්, දිරිමක් හෝ චුතවීමක් නැත යනුවෙන්.

එවිට භාග්‍යවතුන් වහන්සේ මේ බක බ්‍රහ්මයාට වදාළා අහෝ, පින්වත් බ්‍රහ්මය, ඔබ අවිද්‍යාවට හසුවෙලා. ඔබ අවිද්‍යාව තුළ ඉඳගෙන අනිත්‍ය වූ දෙයක්මයි නිත්‍යයි කියා කියන්නේ. අස්ථිර වූ දෙයක් ඔබ ස්ථිරයි කියා කියන්නේ. අසාසෘත දෙයක්මයි ඔබ ශාස්තෘතයි කියන්නේ. චුත වන ස්වභාවයෙන් යුතු දෙයක් නේ චුත නොවන ස්වභාවයෙන් යුතුයි කියා කියන්නේ. යම් තැනක ඉපදීමක් දිරීමක් ඇද්ද, චුත වීමක් ඇද්ද, යළි ඉපදීමක් ඇද්ද එතැනටමයි ඔබ කියන්නේ උපදින්නේ නැත, දිරන්නේත් නැත, චුත වන්නේත් නැත කියා. යම් තැනක මීට වඩා ශ්‍රේෂ්ඨ වූ ශාන්ත වූ උත්තරිතර නිදහසක් තිබෙනවා. එසේ තිබියදීත් ඔබ කියනවා එහෙම දෙයක් ලෝකයේ වෙන නැහැයි කියා.

භාග්‍යවතුන් වහන්සේ එසේ අනුශාසනා කරන විට ඒ බ්‍රහ්ම ලෝකයේ තව බ්‍රහ්මයෙකුට මාරයා වැහුණා. ඒ බ්‍රහ්මයා කියනවා ඒයි භික්ෂුව, මොහුට දොස් කියන්න එපා. නින්දා අපහස කරන්න එපා. භික්ෂුව, මේ ඔබ කථා කරන්නේ් සුළුපටු කෙනෙක් සමඟ නොවේ. මෙයා තමයි මහා බ්‍රහ්මයා. සියල්ල මැඬලන කෙනා. මොහුව මැඬලන්න කිසිවෙකුටත් බැහැ. මොහු තමන්ගේ ආනුභාවය පතුරුවමින් ලෝකය යටත්කර ගෙනයි ඉන්නේ. ලෝකයේ අධිපති, නිර්මාතෘ, මේ බ්‍රහ්මයායි. ලෝකය වසඟ කළ පුද්ගලයාත් හට ගත් හට නොගත් සත්ත්වයන්ගේ දෙවි පියාණෝත් මේ බ්‍රහ්මයායි.

භික්ෂුව ඔබ දැන ගන්න ඔබට කලිනුත් ශ්‍රමණ භික්ෂූන් මේ ලෝකයේ සිටියා. ඒ අයත් පඨවි ධාතුවට අපහාස කළා. පඨවි ධාතුව පිළිකුල් කළා. පඨවි ධාතුවට ගැරහුවා. ආපෝ ධාතුවට අපහාස කළා. ආපෝ ධාතුව පිළිකුල් කළා. ආපෝ ධාතුවට ගැරහුවා. තේජෝ ධාතුව අපහාස කළා. තේජෝ ධාතුව පිළිකුල් කළා. තේජෝ ධාතුවට ගැරහුවා. වායෝ ධාතුවට අපහාස කළා. වායෝ ධාතුව පිළිකුල් කළා. වායෝ ධාතුවට ගැරහුවා. ඉපදෙන සත්ත්වයන්ට ගැරහුම් කළා. උපදින සත්ත්වයන් පිළිකුල් කළා. දෙවියන්ට ගැරහුවා. දෙව්ලොව උපත පිළිකුල් කළා. ප්‍රජාපතිටත් ගැරහුවා. ප්‍රජාපති වීමට සිටින අයව පිළිකුල් කළා. බ්‍රහ්මයාට ගැරහුවා. බ්‍රහ්මයා පිළිකුල් කළා. ඒ සියලුම දෙනා මැරිලා අපායට ගිය බව ඔබ දන්නේ නැද්ද? මේ සියල්ලම භාග්‍යවතුන් වහන්සේට කියන්නේ මාරාවේෂයෙන් එක් බ්‍රහ්මයෙක්. නැවත කියනවා භික්ෂුව ඔබට කලින් සිටියා තවත් මේ ලෝකයේ ශ්‍රමණ බ්‍රහ්මයන් . ඒ අය පඨවි ධාතුවට ප්‍රශංසා කළා. පඨවි ධාතුව සතුටින් පිළිගත්තා. ආපෝ ධාතුවට ප්‍රශංසා කළා. ආපෝ ධාතුව සතුටින් පිළිගත්තා. තේජෝ ධාතුවට ප්‍රශංසා කළා. තේජෝ ධාතුව සතුටින් පිළිගත්තා. වායෝ ධාතුවට ප්‍රශංසා කළා. වායෝ ධාතුව සතුටින් පිළිගත්තා. මමය, මගේය, මගේ ආත්මය කියා පිළිගත්තා. හටගත් සත්ත්වයන් පිළිගත්තා. ඒ අය දෙවියන්ට ප්‍රශංසා කළා. ප්‍රජාපතිවත් සතුටින් පිළිගත්තා. බ්‍රහ්මයාටත් ප්‍රශංසා කළා. බ්‍රහ්මයාවත් පිළිගත්තා. ඒ සියලුම දෙනා සුගතියේ ඉපදුනා. ඒ බව ඔබ දැන ගන්න. නිදුකාණෙනි, මේ බ්‍රහ්මයා ඔබට යමක් කියනවා නම් මොහු කියන දෙය අහන්න. එය ඉක්මවා යන්න එපා. එසේ ඉක්මවා ගියොත් තමන් ළඟට එන ලක්ෂ්මීට ඔබ පොල්ලකින් ගසා පන්නා ගත්තා වෙනවා. එනිසා ලක්ෂ්මිට එන්න දෙන්න. මේ බ්‍රහ්මයාගේ අදහස පිළිගන්න.

එවිට භාග්‍යවතුන් වහන්සේ අර බ්‍රහ්මයාට කියනවා එම්බා පවිටු තැනැත්ත, නුඹ සිතන්න එපා මා නුඹ හඳුනා ගත්තේ නැහැ කියා. නුඹ තමයි මාරයා. නුඹ මේ මහ බ්‍රහ්මයාත් බ්‍රහ්ම පාරිසජ්ජයේ සිටින අනෙක් බ්‍රහ්මයනුත් නුඹේ මිට ට අල්ලා ගත්තා නේද? මේ සියලු දෙනා නුඹේ දැලට හසුවුණා. වසඟයට හසුවුණා. හැබැයි මාරය, නුඹේ අතට හසු නොවු කෙනෙක්, වසඟ නොවු කෙනෙක් මෙතැන සිටිනවා. ඒ අරහත් තථාගතයන් වහන්සේ යි.

එවිට බක බ්‍රහ්මයා භාග්‍යවතුන් වහන්සේට කියනවා නිදුකාණෙනි, මම නිත්‍ය දෙයක් නිත්‍ය යැයි කියුවේ. සම්පූර්ණ දෙයක්මයි සම්පූර්ණයි කියුවේ. චුත නොවන දෙයක්මයි චුත නොවන දෙයක් ලෙස කියුවේ. යම් තැනක ඉපදීමක් නැද්ද, දිරීමක් නැද්ද මිය යාමක් චුතවීමක් නැද්ද යළි උපතක් නැද්ද එයමයි මා කිවුවේ. වෙනස් දෙයක් නොවේ.

එවිට බක බ්‍රහ්මයා කියනවා, භික්ෂුව ඔබ දන්නවාද ඔබේ ආයුෂ ප්‍රමාණය. මොනතරම් මහන්සි ගත්තත් මෙයට වඩා වැඩි දෙයක් ලෝකයේ කවුරුත් දැක්කේ නැහැ. යම් කෙනෙක් මීට වඩා නිස්සරණයක්, මිදීමක් දකින්නට මහන්සි ගත්තොත් එබදු පුද්ගලයා වෙහෙසට මහන්සියට ක්ලාන්තයට පත්වෙනවා මිස කිසිවක් සොයා ගන්නට ලැබෙන්නේ් නැහැ. එනිසා භික්ෂුව ඔබ මේ පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ බැසගෙන සිටියොත් මේ සත්ත්ව සංකල්පයේ බැසගෙන සිටියොත් ප්‍රජාපති තුළ දෙවියන් තුළ බ්‍රහ්මයා තුළ බැසගෙන සිටියොත් ඔබට පවතින්න එය හොඳ අරමුණක්. ඔබ බාහිරට විසිරෙන්නේ නැහැ.

බ්‍රහ්මයාගේ අදහස අසා භාග්‍යවතුන් වහන්සේ වදාළා ඔව්බ්‍රහ්මය ඒක හරි. මම දන්නවා පඨවි, ආපෝ, තේජෝ,වායෝ ධාතුවේ බැසගෙන සිටියොත් සත්ත්වයන් තුළ, ප්‍රජාපති තුළ බ්‍රහ්මයා තුළ බැසගෙන සිටියත් ඔය කියූ දේ තමයි සිදුවන්නේ. ඒ වගේම බ්‍රහ්මය මම දන්නවා ඔබට කෙතරම් බලසම්පන්නකමක් ආනුභාවයක්, මහේශාක්‍යකමක් තිබෙනවාද කියා.

නිදුකාණෙනි, මා කොතරම් බලසම්පන්න ද කියා ඔබ දන්නේ කොහොමද?

බ්‍රහ්මය, තථාගතයන් වහන්සේ සත්ත්වයන් හට ගැනීම අවබෝධ කළා. දෙවියන් කවුද, ප්‍රජාපති කවුද අවබෝධ කළා. සියලු ලෝක අවබෝධ කළා. ඒ සියලු ලෝක කෙරෙහි සිත බැස ගන්නේ නැහැ. ඒ කිසිවක් මමය, මාගේය, මගේ ආත්මය ලෙස ගන්නෙත් නැහැ. ඒ නිසා බ්‍රහ්මය ඔබේ අවබෝධය යි තථාගතයන් වහන්ස්ගේ අවබෝධය යි අතර විශාල වෙනසක් තිබෙනවා. ඒ වගේම බ්‍රහ්මය, සාමාන්‍ය කෙනෙකුගේ විඤ්ඤාණය බීජයක් වගේ. බීජය පොළොවේ තිබෙනවා වගේම මේ විඤ්ඤාණය සතරමහ, ධාතුන්ගෙන් හටගත් රූප, වේදනා, සංඥා, සංස්කාරයන්හි බැසගෙන තිබෙන්නේ. එහි පැලවෙන මේ බීජය තෙත් කරන්නේ තණ්හාවයි. සාමාන්‍ය මනුස්සයෙකුගේ, දෙවියන්ගේ ප්‍රජාපතිගේ, මහ බ්‍රහ්මයාගේ විඤ්ඤාණය ස්වභාවයත් මේ වගෙයි. කර්මය තමා කුඹුර. විඤ්ඤාණය බීජයයි. තෘෂ්ණාව තමයි තෙත් කර දෙන වතුර. මේ ස්වභාවයෙන් යුතු දේ වෙනස් කර දෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළින්. මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය සොයා ගෙන අවබෝධ කර ගෙන එය අනුගමනය කර ප්‍රගුණ කිරීම නිසා මාගේ ආර්ය මාර්ගය සම්පූර්ණ වුණා. ආර්ය මාර්ගය සම්පූර්ණ වී විමුක්තියට පත් වූ නිසා විඤ්ඤාණ බීජ ස්වභාවය නැතිවුවා. අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් වැසුණු විඤ්ඤාණයට අනන්තයක් පනවන්න බැහැ. හැම අයුරින්ම ප්‍රභාස්වරයි. නො ඇලෙන සිතින් යුක්තයි. දෙවියන්ගේ දිව්‍ය භාවය සමඟ හෝ ප්‍රජාපතිගේ ප්‍රජාපතිභාවය සමඟ හෝ, බ්‍රහ්මයාගේ බ්‍රහ්ම භාවය සමඟ හෝ එකතු වී නැහැ. එනිසා තථාගතයන් වහන්සේ සියල්ලන්ගෙන්ම නිදහස් වෙලා සියල්ලටම අයත් නොවී සිටින්නේ. විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය විනාශවෙලා මහ රහතන් වහන්සේ පිරිනිවී යන්නේ පහනක් නිවී යන ලෙසයි.

ඒ සමඟ මේ බක බ්‍රහ්මයාට තේරුණා තමා ඉදිරියේ සිටින භික්ෂුව සමඟ වාද කර දිනන්නට බැරි බව. ඔහු කියනවා නිදුකාණෙනි, මම දැන් මෙතැනින් අතුරුදහන් වෙනවා. ඔබ පුළුවන්නම් නවත්වන්න. එවිට තථාගතයන් වහන්සේ උන්වන්සේගේ බලයෙන් මහ බ්‍රහ්මයාව වසඟ කොට වදාළා හොඳයි ඔබ අතුරුදහන් වන්න කියා. බක බ්‍රහ්මයා සිතුවා ගෞතමයන් ඉදිරියෙන් මා නොපෙනේවා කියා. නමුත් එසේ වූයේ නැහැ.

ඔබට බැරි වූ දේ මා කරන්නම් කියා ඒ සැනෙකින් තථාගතයන් වහන්සේ නොපෙනී ගියා. අධිෂ්ඨාන කළා මේ පිරිසට මා නොපෙනී කියන දේ පමණක් ඇසේවා කියා. එවිට බ්‍රහ්මයන්ට ඇසෙනවා “මේ ඉපද ඉපද මැරෙමින් යන භවයේ ඇත්ත ස්වභාවය, භයානක ස්වභාවය, අන්තරාදායක ස්වභාවය දැක මේ භවයෙන් නිදහස් වන්න. නැවත නැවත භවයට වැටෙන ස්වභාවය මම කඩා දැම්මා. මේ භවයට ඇලුම් කරන්නේත් ආශා කරන්නේත් නැහැ. මේ කිසිවෙකුගේ ග්‍රහණයට හසු නොවී මම නිදහස් වුණා.

ඒ වදන් අසා මහ බ්‍රහ්මයයි බ්‍රහ්මයෝ සියලුම දෙනායි මහ පුදුමයට පත්වුණා. ඒ අයට කියවුණා “භවත්නි මෙය මහා ආශ්චර්යක්. ශ්‍රමණ ගෞතමයන්ගේ මහ සෘද්ධි මහානුභාවය නම් හරිම පුදුම සහගතයි. මනුස්ස ලෝකයේ උපන්, මිනිසුන් අතර හැදී වැඩුණු ආශ්චර්යවත් වූ මනුස්සයෙක්. මේ භවයට ඇලුන භවයේ ගිලුණු භවයෙන් සතුටු වන ලෝකයේ සියලු භව තෘෂ්ණාව උදුරා හළ ශ්‍රමණයන් වහන්සේ නමක් ගැන අප මීට පෙර දැක හෝ අසා නැහැ නෙව’’ කියමින් ඔවුන් කථාවුණා.

එවිට මාරයා නැවත එක් බ්‍රහ්මයෙකුට ආරූඪ වුණා. ඔහු කියනවා නිදුකාණෙනි, ඔබ කියන කථාවේ ඇත්තක් තිබෙනවා. ඔබ බුද්ධත්වය ලැබු බව මේ කරුණු වලින් පේනවා. දැන් එය ඔබට පමණක් තබා ගන්න. ශ්‍රාවකයෝ හදන්න යන්න එපා. ශ්‍රාවකයන්ට, පැවිද්දන්ට ධර්මය කියන්නත් එපා. ශ්‍රාවකයන්ට, පැවිද්දන්ට ඇලෙන්නත් එපා. භික්ෂුව ඔබට පෙරත් ශ්‍රමණ බ්‍රහ්මවරු සිටියා. ඒ අයත් කිව්වා තමා අරහත් සම්මා සම්බුද්ධ යි කියා. ඒ අයත් ශ්‍රාවකයෝ සොයා ගෙන ගොස් ධර්මය කියා ඔවුන්ට ඇලුම් කළා. ශ්‍රාවකයන්ට ඇලුම් කර ගෙන වාසය කළ නිසා ඒ අය මරණෙන් පසු අපාගත වුණා.

ඒ වගේම භික්ෂුව අතීතයේ අරහත් සම්මා සම්බුද්ධයි කියා තවත් ශ්‍රමණ බ්‍රාහ්මවරු සිටියා. ඒ අය ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කළේ නැහැ. ශ්‍රාවක පිරිස සසරින් එතෙර කරවන්න ඕන කියා සිතුවේ නැති නිසාත්, ශ්‍රාවකයන් කෙරෙහි ඇල්මක් නැතිව සිටි නිසාත් ඒ පිරිස මරණෙන් මතු සුගතියේ ඉපදුනා. එනිසා භික්ෂුව මම ඔබට කියන්නේ අනෙක් අයට අවබෝධ කරන්නට උත්සාහ ගන්න එපා. සුවසේ වාසය කරන්න’’ යැයි මාරයා වැසුන බ්‍රහ්මයා තථාගතයන් වහන්සේට පැවසුවා.

පවිටු තැනැත්ත මම ඔබගැන දන්නවා. නුඹ තමයි මාරයා. නුඹ ඔය කියන්නේ මා කෙරෙහි අනුකම්පාවෙන් නොවේ. අයහපත් ඇති කරන අදහසින්. මාරය, නුඹට හිතෙනවා ඇති ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් කෙනෙකුට ධර්මය දේශනා කරනවාද ඒ ධර්මය ඇසූ අය මාගේ වසඟයෙන් ගැලවී යනවා නේද කියා. මාරය, මේ ලෝකයේ සම්මා සම්බුද්ධ නොවී අරහත්වයට පත්නොවී ඇතැම් ශ්‍රමණයන් බ්‍රහ්මයන් අරහත්, සම්මා සම්බුද්ධ යි කිවුවා තමයි. නමුත් තථාගතයන් වහන්සේ අරහත්, සම්මා සම්බුද්ධ ලෙස ප්‍රතිඥා දෙන්නේ අවබෝධ ඤාණය තුළිනුයි. එනිසා මාරය, තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කළත් ධර්මය දේශනා නො කළත් සම්මා සම්බුද්ධමයි. ශ්‍රාවකයන් සොයාගෙන ගියත් ශ්‍රාවකයන් සොයා නො ගියත් සම්මා සම්බුද්ධමයි. එයට හේතුව නුඹ දන්නවා ද? තථාගතයන් වහන්සේට නැවත භවයේ උපද්දවන දුක් කරදර සහිත ජරා මරණ හට ගන්න ආශ්‍රව නැහැ. ඒ ආශ්‍රව මුලින්ම සිඳලයි තිබෙන්නේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම “අරහං සම්මා සම්බුද්ධ”යි කියා ඒ බ්‍රහ්ම පිරිස ඉදිරියේ වදාළා. මේ ආකාරයට තථාගතයන් වහන්සේ බොහෝ ධර්ම කරුණු විවෘත කොට බක බ්‍රහ්මයාගේ දෘෂ්ඨියත්, මාන්නයත් බිඳ ඔහු ඇතුළු පිරිස දමනය කොට මනු ලොවට වැඩියා.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2SfPOUK
ඇසල පුන් පොහොය දිනයේ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශීයක්ම සිදුවී ඇති බව සදහන් වේ. සිදුහත් කුමරුගේ මව් කුස පිළසිදීම සිදුව ඇත්තේ ඇසල පුන් පොහොය දිනකදීය. සිදුහක් කුමරුගේ මාහා අභිනිෂ්ක්‍රමණය සිදුවූයේද ඇසල පුන් පොහොය දිනකදීය. රාහුල කුමරුගේ උපත සිදුවන්නේද මෙදිනය. බුදුන් වහන්සේ පස්වග තවුසන් උදෙසා බරණැස ,ඉසිපතන මිගදායේ හිදි දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කලේද ඇසල පොහොය දිනකදීය. තීර්ථකයක්ගේ මානය බිදීම සදහා සැවැත් නුවර ගන්දබ්බ අඹරුක මුලදී බුදුන් වහන්සේ යමා මහා පෙළහැර පෑවේද මෙවන් දිනකදීය. සම්මා සම්බුදුන් දෙවිලොවට වැඩම කරවා මාතෘ දිව්‍ය දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන්ට ගැඹුරු අභිධර්මය දේශනා කලේද ඇසල පොහොය දිනකදීය. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව කාශ්‍යප මහ රහතන් වහන්සේ මුල් වරට ධර්ම සංඝායනාවක් කල යුතු යැයි තීරණය කලේද ඇසල පුන් පොහෙය දිනයදීය.
කොණඩඤ්ඤ තවුසාගේ සෝවාන් වීම, භික්ෂුන් වහන්සේලා පෙරවස් එළඹීම, අරිට්ඨ කුමරු සහ සිංහලයන් 56 දෙනෙකු උපසම්පදාව ලැබීම සහ කිර්ති ශ්‍රී රාජසිංහ රජු සියම් රටෙන් උපාලි තෙරුනි ප්‍රධන සංඝයා ගෙන්වා බු.ව 2296 දී උපසම්පදාව ඇති කිරීම වැනි දේ සිදුවූයේද ඇසල පුන් පොහොය දිනයන්හිදීය.

මේ අතර ඇසල උත්සවය වෙනුවෙන් ලංකාවේදීද මහනුවර ඇසල පෙරහැර, කතරගම, රත්නපුර, දෙවිනුවර දේවාලයන්හි ඇසල පෙරහැරද පැවැත්වේ.