Monthly Archives: August 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/33KW8Jb
මහා වංශයක මහා නගරය

බෞද්ධ අප විසින් හිස්මුදුනෙහි තබා වන්දනාමාන කරන අති උත්තම , පරම වන්දනීය පෙදසකි අනුරාධ පුරය. ඒ පූජනීය වු සුන්දර නිර්වාණ නගරය ගැන අප දන්නේ අප තිලෝගුරැ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සහ පින්වත් ගෞතම බුද්ධාංකුර මහරහතුන් වහන්සේලාගේ අතිශය නමස්කාර කලයුතු ධාතුන් වහන්සේලා ජීවමාන පෙළහර පාන්නාවූ පිවිතුරැ නගරයක් ලෙසය ..

සසර ගමන ඇවිදින අපට මෙතරම් අනුරාධ නගරය සෝභමාන ඇයි දැයි මා මෙසේ සදහන් කරමි..

මේ කල්පයෙහි බුදුරජාණන් වහන්සේලා සතර නමකගේ බෝ රැක් වලින් දකුණු ශාකාවන් ගෙනවුත් මෙහි රොපණය කරන ලද්දේය..
පෙර වැඩ වාසය කලාවූ සිවු බුදුවරැන් වහන්සේලා විසින් මිනිසුන්ගේ හිත සුව පිණිස ස්තූප පිහිටන ස්ඵානයක් ලෙස නිස්චිත වුයේ ..

මේ කල්පයෙහි පළමුවෙන් කකුසද නම් ශාස්තෘෘන්වහන්සේ කල මහමෙවුනා උයන මහාතිත්ඵ නම් විය…..එහි අභය නම් රජෙක් වීය .මේ දීපය ඕජදීප නම් විය.මිනිසුන්ට ඇතිවූවාවූ උණ රෝගයක් සංසිදවීමට වැඩමකල අප මහා කකුසද බුදුරජුන් ඒ උවදුරැ දැක එය නසා මේ දීපයෙහී ජනයාගේ හික්මවීමද සාශනයේ පිහිටුවීමද සතලිස්දහසක් මිනාසුන්ට මාර්ග පල අවබෝධකරවා ලූ සේක…මහා බෝධිය පිහිටවීමට සුදුසු තැනට ගොස් එහි සමාධියෙන් වැඩහිද … එයින් නැගී මාගේ මහරි බෝ රැකින් දක්ෂිණ ශාකාව රෑපනන්දා මෙහෙණි තමො රැගෙන ඒවා යැයි සිතූ තැන ඒ මහරහත් තෙරණිය බුදුරජුන්ගේ අදිටන දැන දක්ෂිණ ශාකා තමො රන්පාත්රයක වඩා හිදුවා දෙවි වරැන් විසින් පිරිවරන ලද්දී … බුදුරජුන් දිගුකල දකුණු හස්තයෙහි තැබුවාය …තඵාගතයන් වහන්සේ ඒ බෝධිය රැගෙන අභය නම් රජුට දුන් සේක ඒ රජ තෙමේ මහාතිත්ඨ නම් උයනෙහි ( අද මහමෙවුනො උයන ) මහා බෝ ශාකා පිහිටවූහ…

මේ කල්පයෙහි දෙවනුව සියලු ලෝ වැසියන් ට අනුකම්පා කරවූ කෝණාගමන නම් බුදුරජුන් කෙනෙක් වැඩ විසූ සේක ..එකල මේ ලංකාද්වීපය වරදීප නම් වීය .. මහමෙවුනා උයන මහානාම නම් වීය ..දකුණු දිශාවෙහි වඩ්ඪමාන නම් පුරයක් වීය එකල්හී මෙහි සමිද්ද නම් රජ කෙනෙකු රාජ්‍යය කරවීය.. කලක මෙ වරදීපය වැසි නොමැතිව නියං උවදුරක් විය …
අප මහා කෝණාගමන නම් බුදුරජුන් මෙය දැක මේ දීපයෙහි සාශනය ද විනයද පිහිටුවීමට මහා කරැණාවෙන් තිස්දහසක් මහරහතුන් පිරිවරා අහසින් වැඩ සුමනකූටක නම් පර්වතයෙහි වැඩවුන් සේක… එකල්හී අද වරදීපයේ මනුෂ්‍යයෝ මා දකිත්වා මා කරා එත්වා සියලු මනුෂ්‍යයෝ නිදුකින් වහා ම එත්වා යැයි අදිෂ්ඨාන කළ සේක .. පර්වත රශ්මියෙන් බබලන්නාවූ බුදුරජාණන් වහන්සේද බබලන්නාවූ පර්වතයද දැක රජ තෙමේත් නුවර වැසියෝත් ඒ පර්වතය දෙසට වහා පැමිණියහ… බුදුරජුන් මහානාම උයනේ උතුම් පර්‍යංකයක් කරවා සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ වැඩහිද වු සේක …
එකල්හී ඒ මහානාම උයන බුදරජුන්ට පූජා කරන විට අකාලයේ මල් පිපිනි ..මහපොළොව කම්පා වීය … බුදුරජුන් මාගේ උදුම්බර බොධී දක්ෂිණ ශාඛාව රැගෙන කණකදත්තා නම් මෙහණි තමෝ භික්ෂුනීන් සහිතව පැම්නෙත්වා යැයි සිතූ සේක…මහත් සෘද්ධි ඇත්තාවූ තෙරණි තමෝ එය දැක….. රජුත් සමග මහා බොධිය වෙත එලඹ රන්සිරිලියෙන් සලකුණු කොට එතැනින් කැපී වෙන්වෙන රන්බදුනෙහි පිහිටියාවූ ඒ ශාකා තමෝ රැගෙන සෘද්ධියෙන් මෙහණීන් වහන්සේ පන්සියයක් සහ දේවතාවුන් පිරිවරන ලද්දී …..මෙහි අවුත් ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දිගු කල දක්ෂිණ හස්තයෙහි ඒ බෝධිය තැබුවොය …බුදුරජුන් වහන්සේ දක්ෂිණ උදුම්බර බොධි ශාකා තමෝ රෝපණය පිණිස රජු හට බාර කළසේක ..

මේ කල්පයෙහි තුන්වනුව සම්මාසම්බොධියට පත්වූ කාශ්‍යප නම් වූ සම්මාසම්බුදු රජාණන්වහන්සේ කෙනෙකුන් වැඩ විසූ සේක එකල මේ මහමෙවුනා උයන මහා සාගර නම් වීය එයින් පශ්චිම දිශාවෙහි විසාල නම් නතරයක් වීය …එකල මේ මහමෙවුනා උයන මහා සාගර නම් වීය එකල්හී මේ දීපයෙහි රජු ජයන්ත නම් වීය ලංකාද්වීපය මණ්ඩදීප නම් වී ය .. කලෙක ජයන්ත රජුද ඔහුගේ සහෝදරයාද මිනිසුන්ට පීඩා පමුනුවන යුද්ධයකට එලැඹියේය … මහා කරැණා ඇති කාශ්‍යප මුනීනිදුන් වහන්සේ එම යුද්ධයෙන් සත්වයන්ට පැමිණිය හැකි උවදුර දැක එය සංසිදුවා මේ දීපයෙහි සත්වයාගේ හික්මීම පිණිස මහා කරැණාවෙන් ම වැඩමවන ලද්දේය.. සවස් වේලෙහි පූර්ව බෝධිය පිහිටි තැනට වැඩමකල තඵාගතයන් වහන්සේ සමාධිගතව සිට එයින් නැගීසිට මාගේ නිග්රෝධ බෝධියෙන් දක්ෂිණ ශාකාව ගෙන සුදර්මා මෙහෙණිතමෝ මෙහෙණියන් පිරිවරා පැමිනෙත්වා යැයි සිතූ කල්හී උන්වහන්සේගේ සිත දැනගත් ඒ රහත් මෙහෙණිතමෝ රජු කැදවාගෙන ඒ මහ‍ බෝධිය කරැ එළඹ රන් පාත්රයක ඒ දක්ෂිණ බොධිශාකා තමෝ වැඩමවාගෙන මෙහෙණිවරැන් සහ දෙවියන් පිරිවරාගෙන සෘද්ධියෙන් වැඩම කර භාග්‍යවතුන් වහන්සේගේ දකුණු හස්තයෙහි තැබූ සේක. එකල බුදුරජුන් ඒ දක්ෂිණ ශාකා තමෝ ජයන්ත රජු හට මහා සාගර උද්‍යානයේ පිහිටවන ලෙස දුන් සේක…

මේ කල්පහෙහි සතරවෙනුවට සියලු ධර්මයන් අවබෝධ කලාවූ සියලු ලොවට අනුකම්පා කලාවූ ශාස්තෘ වූ අප මහා ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ පළමුකොට ලක්දිවට වැඩ යක්ෂයන් දමනය කල සේක දෙවනුව වැඩම කර නාගයන් දමනය කල සේක තෙවන වරට වැඩම කර පූර්ව බොධින් වහන්සේ පිහිටි තැනද මහ සෑය පවතින ස්ඵානය ද පාරිභොග ධාතු ස්ඵානද වැඩහිදීමෙන් පරිභෝග කොට එකල මේ දීපයෙහි මිනිසුන් නොසිටිය හෙයින් මනාකොට දෙවියන්ට , නාගයන්ට අනුශාසනා කොට සංඝයා සහිතව පෙරළා දඹදිවට වැඩම කල සේක … පසුව සංඝමිත්තා නම් රහත් මෙහෙණි තමෝ ඇසතු බෝ රැක් දක්ෂිණ ශාකාව ද රැගෙන මෙදිවයිනට වැඩ අද මහ බෝ පිහිටි තැන පිහිටුවා වූ සේක…

තවද මහමෙවුනා උයනේ අද රැවන්වැළිසෑ පිහිටි භූමියේ පෙර විසූ සම්මා සම්බුදුවරැන්ගේ සධාතුක සෑරජාන්න් වහන්සේලා වැජඹින…
මෙසේ මෙහි ලා සදහන් නොකෙරැනාවූ අනන්ත සම්බුදු රජාන්න වහන්සේලාගේ පහසින් පිදුම් ලද … විසල් අනුරාධ නගරයටම මාගේ සිරසාභිවන්දනය වේවා … මෙවන් පින් බිමක ඉපැදී මේ මොහොත දක්වාම මේ තතු නොදැනගත් මා හට මා ගැනම මහත් කම්පාවක් ඇතිවිය… මෙතෙක් මා වන්දනා කල නගරයේ සැගැවුන අත්භූත ආශ්චර්යමත් තොරතුරැ ඔබ හමුවේ තැබූයේ ඒ පින්වත් අනුබුදු මිහිදු හිමියන් බැතියෙන් වන්දනා කරමින් මය … ඒ පින්වත් බුදුරජාන්න වහන්සේලා දණ්ඩනමස්කාරය කරමින්මය…. ඔබත් ඒ කෙරෙහි පහන් සිතෙන් අනුමොදන් වෙත්වා …

මෙත්සිතින්

කාවින්ද රණසිංහ

දත්ත
මහාවංශය
වරදක් ඇතොත් සමාවෙත්වා

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2KYpZoY
💜💚 අපේ බුදුහාමුදුරුවෝ 17 💜💚

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 14

මේ අතරතුර දීපංකර බුදුපියාණන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත වූ රහතන් වහන්සේලා දාන ශාලාවේ දාන වළදා අවසන් වෙමින් සිටියේ. එක වරම ඇති වූ භුමි කම්පාවෙන් ඒ දාන ශාලාවේ ඇප උපස්ථාන සඳහා සිටිය ලක්ෂ සංඛ්‍යාත වූ ගිහි පිරිසත් වෙවුලමින් බිම වැතුරුනා. පොලොව දිගටම සෙලවන්නට වුනා. ඒ එක්කම දානශාලාවේ තිබු දහස් ගණන් භාජන එකිනෙක හැපී වැටි සුනු වී කැබලි වී යන්නට වුනා. මිනිසුන් තවත් භීතියෙන් භීතියට පත්වුනා. ඔවුන් හිතුවේ දේව කෝපයක් හෝ යක්ෂයන්ගේ බලපෑමක් කියලයි. බියෙන් සන්ත්‍රාශයෙන් ආකුල වූ සිත් ඇති ජනයා සියලු ලෝකධාතුන්ද, සක්වලද, අතීත වර්තමාන අනාගත යන කාල ද දිවෙසෙන් පෙනෙන දීපංකර බුදුරජාණන් ළඟ දනින් වැටි මෙසේ විමසන්නට වුනා.

“බුදුරජාණන් වහන්ස ලෝකයාට කුමක් වන්නේද? හැමදෙනාම බියෙන් ඇළලීලා. අපේ අතින් යම් වරදක් වුනාද? මෙය ලෝකයාට අයහපත් පෙරනිමිත්ත්ක්ද යහපත් පෙරනිමිත්තක්ද? මේ උපද්‍රවය දුරු කරණු සේක්වා !”

ඒ මහා කාරුණික වූ බුදුපියාණන් වහන්සේ ඔවුන්ව එදා මෙලෙස සනසනු ලැබුවා.

“මේ පෘතුවි කම්පාවෙන් බිය නොවන්න. මෙය වුවදුරු රහිත වුවක්. අද දිනයේ මා විසින් යම් කෙනෙකු මතු බුදුවනවා යැයි ප්‍රකාශ කලේද, හෙතෙම පෙර බුදුවරුන් සිත් සෙවුනා ලද පෙරුම් දම් විමසයි. බුද්ධත්වයට පාදක වන්නාවූ සියලු ධර්ම විමසන කල්හි මෙලෙස අප ලොව පමණක් නොව දස දහසක් සක්වලම කම්පා වෙනවා. මහා හඬ නංවනවා. වෙවුලනවා. මේ එවැන්නක්. සිතේ බිය දුරු කරගන්න. තවත් බුද්ධ අංකුරයක දළුලෑමක්.”

මහා ජනයා බුදුරජුන්ගේ කතාව අසා සිතේ බිය දුරුකරගත්තා පමණක් නෙවෙයි මහත් වූ ශ්‍රද්ධාවකින් සොම්නසකින් සුවඳවත් වූ පුෂ්පයන් ද රැගෙන සුමේධ බෝසතාණන් සමාධි සුවයෙන් සිටි ඒ රුක් මුල වෙත දුව යන්නට වුනා. යලිත් බෝසතාණන් වහන්සේට මල් වලින් පුද වැඳ පැදකුණු කොට රම්මවති නුවර වෙත යන්නට වුනා. දශ පාරමී ධර්ම විමර්ශනය කොට විර්යය දැඩි කොට අධිෂ්ඨානකොට වැඩසිටි අප මහා බෝසතාණෝ ආසනයෙන් නැගී සිටියා.

බෝසතාණන් වහන්සේ ආසනයෙන් නැගී සිටිත්ම දස දහසක් සක්වල දෙවියෝ රැස්වී දිව්‍යමය මල් ආදියෙන් පුදමින් මෙලෙස ප්‍රීති වාක්‍යය කියන්නට වුනා.

උතුමාණෙනි, ඔබ අද දීපංකර බුදුරජුන්ගේ පාමුල උතුම් වූ ප්‍රර්තනයක් කළා. ඒ ප්‍රාර්ථනය නිරුප්‍රදිතව සඵල වෙත්වා.! බුද්ධත්වය කරා පිය නගන්නා වූ මේ දීර්ඝ ගමනේ ඔබට බියක් හෝ තැති ගැන්මක් නො වෙත්වා.! ඔබ සිරුරෙහි ස්වල්ප වූ හෝ රෝගයක් නො වැළදෙත්වා!. නිසි කල පැමිණි විට පෙරුම් සපුරා බුද්ධත්වය අවබෝධ කරත්වා!. මල් හා ගෙඩි හටගන්නා ගස් නියමිත කාලය පැමිණි කල මල් හා ගෙඩි ඵල ගන්වනු ලබයි. එමෙන්ම ඔබද කාලය නොයික්මවා බුද්ධත්වයට පත්වේවා! බුද්ධ ඥාණ නමැති මලෙහි පිපෙනවා ඒකාන්තයි. පසළොස්වක පොහෝ දින යම් සේ චන්ද්‍රයා ඉතා පිරිසිදු ලෙස බබළයිද, එමෙන්ම ඔබද පිරුණූ මනදොළ ඇතිව දස දහසක් සක්වල බබලනු මැනවි. රාහුගෙන් මිදුණු සුර්යයා ආලෝකයෙන් වඩාත් බබලයිද එමෙන්ම ඔබද ලෝකය සසරෙන් මුදවා මහා වීරයෙකු සේ ශ්‍රීයෙන් බබලනු මැනවි.! සියලු ගංගාවෝ මහා මුහුදට ගලන්නා සේ දෙවියන් සහිත ලෝකයා ඔබ වෙතට ඇදී එත්වා.! යැයි මංගල ස්තුති ගී පවත්වා තම තමන්ගේ දිව්‍යමය විමාන වලට යන්නට ගියා. සුමේධ තවුසාණෝ ද මම දස පාරමී දම් පුරා සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් මතුයෙහි බුදු වන්නෙමි යි විර්යය දැඩි කොට අහසට නැඟී හිමවතටම වැඩියා.

රම්ම නගර වැසි ජනයෝද ආපසු නගරයට පැමිණ දීපංකර බුදුරජුන් ප්‍රමුඛ මහසඟනට මහා දන් දුන්නා. දීපංකර බුදුරජාණන් ද ඔවුනට දම් දෙසා මහා ජනයා සරණ සීලදී ගුණ ධර්මයන්හි පිහිටවන්නට වුනා. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වයක් වුනා. දහම් දෙසන විට එක් කෙනෙකු දෙදෙනෙකු හතර දෙනෙකු වශයෙන් ධර්මය අවබෝධ කොටගත් අවස්ථා හරිම විරලයි. අඩුම වශයෙන් දසදහසක් විසි දහසක් සතළිස් දහසක් වශයෙන් විශාල ප්‍රමාණයක් එකවර ධර්මාබෝධයට පැමිණුනා. ඒ විතරක් නෙවෙයි ඒ කලේ යම් කෙනෙක් අරහත්වයෙන් තොරව සෝවාන් සකුරුදගාමී අනාගාමී ව කලුරිය කරයිද ඔවුනට කෙලෙස් ඇත්තන් යනුවෙන් ගරුත්වයට ලක්වුණේ නැහැ. ඒ තරමටම අරහත්වය සුලභ පහසු විය. ඒ නිසාම දීපංකර බුදුපියාණන් වහන්සේට මහා ශ්‍රාවක සන්නිපාත තුනක් විය. එයින් නාරදකූට නම් පරම රමණීය පර්වතය අධිගෘහිත මහා බලගතු නරද යක්ෂයා ඇතුලු දස දහසක් යක්ෂයන් දමනය ලස්සන කතාවක්. එය මතු දිනක වෙනම කතාවක් ලෙස ලියන්නම්.

මෙලෙස කෙල ප්‍රකෝටි ගණනින් දෙවු මිනිසුන් සසර දුකින් එතෙර කල දීපංකර බුදුපියාණන් වහන්සේ අවුරුදු ලක්ෂයක් ආයු වලඳා අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවී සේක.

මතු සම්බන්ධයි – කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී නම් සක්විති රජ වූ අපේ බුදුහාමුදුරුවෝ

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
30-05-2019
මතු සම්බන්ධ කරුණු. —

New at Little Bit


from Path to Nirvana https://ift.tt/30n5Gby
💚💜 අපේ බුදුහාමුදුරුවෝ 16 💚💜

💛 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 13💛

🌷 බුද්ධ කාරක ධර්ම විමසීම සහ යලිත් දෙතිස් පෙරනිමිත පහළවීම🌷

දීපංකර බුදුරජාණන් වහන්සේගේ දෙවියන්ගේ බ්‍රහ්මයින්ගේ වචනයෙන් ඔද වැඩුණු අප මහා බෝසතාණන් වහන්සේ තව තවත් විර්යය වඩමින් මෙසේද සිතන්නට වුනා.

” මම ධ්‍යාන සම්පත්ති විෂයෙහි ප්‍රගුණයෙක් වෙමි. ෂඩ් අභිඥා ඥාණ විෂයෙහි පරතරට ගෙයෙහි වෙමි. දස දහසක් ලෝක ධාතුවේ බුදුසසුණේ මා සමාන තවුසෙකු නැත. සෘද්ධි බලයෙන් අසම සම වෙමි. මම බද්ධ පර්යංකයෙන් වැඩ සිටිත්ම යම් පෙර නිමිති පහල විද අදත් ඒ නිමිති දක්නට ලැබේ. ( දෙතිස් පෙර නිමිති – අපේ බුදුහාමුදුරුවෝ 09 ) පෙර බෝසත් වරුන් පළක් බැඳ සිටි අවස්ථාවල සිදු වූ මෙකි සියලු දෑ අද ද දක්නට ලැබේ. එම නිසා මම ඒකාන්තයෙන්ම බුදුබවට පත්වන්නාහුය.

අප මහා බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරජුන්ගේ සහ දස දහසක් සක්වළ දෙවියන්ගේ වචන අසා වඩ වඩාත් උත්සාහවත් වෙමින් මෙලෙස සිතන්නට වුනා.

🌷🌷🌷
“බුදුවරයෝ සැබෑය, බොරුය යන දෙපරිද්දෙකින් පවත්නා වචන නැති හෙයින් නොවෙනස් වචන ඇත්තාහ. නොනිස් වචන ඇත්තාහ. බුදුවරයන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි.”

🌷🌷🌷
“යම්සේ අහසෙහි උඩ දැමූ ගල් කැටක් ඒකාන්තයෙන් බිම වැටේද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්යෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි’’

🌷🌷🌷
“යම්සේ සියලු සත්ත්‍වයන්ට මරණය ඒකාන්තයෙන් ඒකාකාරව පවතීද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි’’

🌷🌷🌷

“යම්සේ රාත්‍රිය අවසන්වූ කල්හි හිරු නැගීම ඒකාන්තයෙන් සිදුවේද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි’’

🌷🌷🌷
“යම්සේ ගල්ලෙනෙන් නික්මුණු සිංහයාගේ නාද කිරීම ඒකාන්තද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි’’

🌷🌷🌷
’’යම්සේ ගර්භනීන්ගේ ගැබ්බර මිදීම ඒකාන්තද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි’’

සුමේධ තවුසාණන් මෙසේ නන් අයුරින් විමසා බලා මම ඒකාන්ත වශයෙන්ම බුදු වෙමි යයි ස්ථිර අධිඨාන කොට බුද්ධකාරක ධර්මයන් කොහි ඇත්දැයි ඔබමොබ උඩ යට දස දිසා පමණක් නොව කාම ලෝක රූප ලෝක අරූප ලෝක පමණක් නොව භවාත්‍රයටද අයත් සියලුම ධර්ම එකිනෙක විමසා බලන්නට වුනා. දැන් ඔබට තේරවි මහත් වූ සමාධියක් නොවැඩු පුද්ගලයෙකුට මෙවැන්නක් කෙසේවත් කල නොහැක්කක් බව. එසේ බලන විට මිට පෙර පහල වූ සියලු බුදුවරු ද පුරුදු පුහුණු කල ඒ දස පාරමිතා ධර්ම ඇරෙන්නට වෙන කිසවක් පෙනෙන්ට තිබුනේ නැහැ. එතැන් සිට දාන පාරමිතාවෙන් පටන්ගෙන එකිනෙක දස පාරමී දර්මයන් ඉහත දැක්වූ තිස් ආකාරයට මහා ඉර්ධි බල සම්පන්න මනසින්ද සසර පුරා ප්‍රගුණ කල සමාධියෙන්ද විමසන්නට වුනා.

🌷 මහ පොළව සළිත වී රම්ම නගර වැසියන් බිම ඇද වැටීම.🌷

පාරමී ධර්ම, දස පාරමී, දස උප පාරමී, දස පරමත්ථ පාරමී වශයෙන් ගිතෙල්, මීතෙල්, ආදී දෙතෙලක් එක් රස කොට අනන්නාක් මෙන් ද මහා මේරු පර්වතය මහා සමුදර කළඹන්නාක් මෙන් ද විමර්ෂණය කරන්නට වුනා. මෙසේ දහම් තෙදින් යොදුන් දෙලක්ෂ ගණනක් ගණ වූ මේ මහා පොළව ඇතෙකු විසින් මඩනා ලද බට දඬු මිටියක් මෙන් මහා ශබ්ද නගමින් කම්පා වුනා. කුඹුල් සකක් මෙන්ද, තෙල් යන්ත්‍රයක් මෙන්ද උක් දඬු යන්ත්‍රයක් මෙන්ද සෙලවුනා, රැවුදුන්නා, තෙල් යන්ත්‍රයෙහි සක මෙන් භ්‍රමණය වන්නට වුනා. දස දහසක් සක්වලම කම්පාවන්නට වුනා.

මෙසේ මහ පොළව කම්පා වනවිට රම්ම නගර වාසීන් පොළොවෙහි සිටින්නට නොහැකිව මහා කුණාටුවකින් පහරලත් මහා වෘක්ෂයන් සේ ඒ ඒ තැන්වල බිම වැටෙන්නට වුනා. කළ ආදී කුඹල් මැටි භාණ්ඩ බිම වැටි එකිනෙක හැපී සුණු විසිණු වුනා. බියපත් වූ රම්ම නගර වැසියෝ දීපංකර බුදුන් වැඩ සිටි දෙසට දුව එන්නට වුනා.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
30-05-2019
මතු සම්බන්ධ කරුණු. —

දස දහසක් සක්වල කම්පාවීම, මහ පොළව සලිත වී රම්ම රට වැසියන් බියවීම, දීපංකර බුදුපියාණන් වැසියන්ගේ බිය පහකිරීම. දෙවියන් ඹබුන් ප්‍රීතිඝෝසා පැවැත්වීම,

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2YVriPo
තිරිසන් අපාය පිළිබඳ එන දීර්ඝ විස්තරයක් සම්බුදු මුවින් භාෂිත මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් බාලපණ්ඩිත සුත්‍රයේ එයි.එහි දී බුදුරජාණන් වහන්සේ තිරිසන්ගත සතුන් හා ඔවුන්ගේ ස්වභාවයන් මෙසේ විස්තර කළහ.

තණකොළ කන තිරිසන්ගත සත්වයෝ ඇත. මොවුහු තෙත්වූ තණකොළද, වියළි තණකොළද, දත් වලින් උලා කති. තණ කොළ කන තිරිසන්ගත සත්තු කවරහුද? යත් අශ්වයෝද, ගොන්නුද, කොටළුවෝද, එළුවෝද, මුවෝද යන මොවුහු වෙති. මොවුන් හැර තණ කොළබුදින තවත් සත්වයෝ ද ඇත. මේ ලෝකයෙහි බාලයා රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා පව්කම් කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු යම් ඒ තණ කොළ අනුභව කරන සත්වයෝ වෙත්ද, ඒ සත්වයන්ගේ ස්වභාවයට පැමිණෙයි. එනම්. එවන් සතුන්ව උපදියි.

අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ ඇත. ඔවුහු දුරදීම අසූචි ගන්ධය ආඝ්‍රාණයකොට මෙහි අනුභව කරන්නෙමු. මෙහි අනුභව කරන්නෙමු කියා ඒ වෙත දුවති. බමුණෝ යාග ගන්ධය අනුව මෙහි අනුභව කරන්නෙමු. මෙහි අනුභව කරන්නෙමුයි යම් සේ දුවත්ද, එපරිද්දෙන්ම අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ වෙති. ඔවුහු දුරදීම අසූචි ගඳ ආඝ්‍රාණය කොට ඒ වෙත දුවත්, මෙහිදී කන්නෙමු. මෙහිදී කන්නෙමු කියායි. අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ කවරහුද යත්, කුකුලන් හා ඌරන්, සුනකයන් හා සිවල්ලු ද යන මොවුහු වෙති. මීට අමතරව අසූචි අනුභව කරන තවත් සත්වයෝද ඇත. මේ ලෝකයෙහි ඒ බාලයා රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී ලාමක අකුශල කර්ම කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු අසූචි අනුභව කරන යම් සත්වයෝ වෙත් ද ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි. එනම්, එවන් සතුන්ව උපදියි.

අඳුරෙහි උපදින, අඳුරෙහි දිරන, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ ඇත. අඳුරෙහි උපදින, අඳුරෙහි දිරණ, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ කවරහුද යත්, ලොකු පණුවෝද, කුඩා පණුවෝද, ගැඩවිල්ලුද, වෙති. මීට අමතරව අඳුරෙහි උපදින, දිරන අඳුරෙහි මැරෙන තවත් සත්වයෝ ඇත. මේ බාලයා රස තාෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු යම් යම් සත්වයෝ අඳුරෙහි උපදිත්ද, අඳුරෙහි දිරත්ද, අඳුරෙහි මැරෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි. එනම්, එවන් සතුන්ව උපදියි.

දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තිරිසන්ගත සත්වයෝ වෙති. දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තිරිසන් ගත සත්වයෝ කවරහුද යත් මත්ස්‍යයෝද, කැසුබුවෝද, කිඹුල්ලුද වෙති. මීට අමතරව දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තවත් සත්වයෝ වෙති. මේ බාලයා මෙලොව රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු දියෙහි උපදින, දියෙහි දිරන. දියෙහි මැරෙන යම් ඒ සත්වයෝ වෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි. එනම් එවන් සතුන් බවට පත්ව උපදියි.

තව ද අසූචියෙහි උපදින, අසූචියෙහි දිරන, අසූචියෙහි මැරෙන, තිරිසන්ගත ප්‍රාණීහු ඇත්තාහ. අසූචියෙහි උපදින, අසූචියෙහි දිරන, අසූචියෙහි මැරෙන මෙවන් සත්තු ද, කුණුමස්වල උපදින කුණුමස්වල දිරන, කුණුමස්වල මැරෙන මෙවන් සත්තු ද, කුණුූ ආහාර පානාදියෙහි උපදින – දිරන – මැරෙන සත්තු ද, කුණු දිය රැස්වෙන තැන්වල උපදින – දිරන, මැරෙන සත්තු ද , අපිරිසුදු ජලය රැස්වෙන තැන්වල උපදින – දිරන, මැරෙන සත්තු ද ප්‍රාණීහු වෙති. මෙසේ මෙලොව රස අනුභව කිරීම සඳහා බාලයා යම් යම් කාය – වාග් – මනෝ දුශ්චරිතයන් සිදු කොට කාය භේදයෙන් මරණින් මතු මෙවන් සතුන් බවට පත්ව උපදිති. එබැවින් මෙසේ තිරිසන් අපායෙහි උපදින සත්වයන්ගේ දුක්ඛ ස්වභාවයන් කියා නිම කොට නොහැක.

අනෙකපරියායෙනපි ඛො අහං, භික්ඛවෙ, තිරච්ඡානයොනිකථං කථෙය්‍යං වාවඤ්විදං,
භික්ඛවෙ, න සුකරං අක්ඛානෙන පාපුණිතුං යාව දුක්ඛා තිරච්ඡානයොනි.

කණ කැස්බෑ උපමාව
එක්කලක පුරුෂයෙක් එක් සිදුරක් ඇති විය දණ්ඩක් මහ මුහුදෙහි දමන්නේය.ඒ වියදණ්ඩ පෙරදිග වාතයෙන් අපරදිගට පමුණුවන්නේය.අපරදිග වාතයෙන් පෙරදිගට යන්නේය. උතුරුදිග වාතයෙන් දකුණුූ දිගට ගෙන යන්නේය. දකුණුදිග වාතයෙන් උතුරට ගෙන යන්නේය. ඒ මුහුදෙහි බොහෝ කාලයක් ජීවත්වන කණ කැස්බෑවෙක් වන්නේය. ඌ වර්ෂ සියයක්, වර්ෂ දහසක්, වර්ෂ ලක්ෂයක් ඇවෑමෙන් වරක් උඩට එන්නේය. ඒ කැස්බෑවා මේ එක් සිදුරක් ඇති වියදණ්ඩෙහි බෙල්ල ඇතුල් කරන්නේ නම් එය නිතර සිදුවන්නක්ද? ඒ ගැන කුමක් සිතන්නේද? එය ඒකාන්තයෙන් බොහෝ කාලයක් ඇවෑමෙන් කිසියම් කලෙක සිදුවන දුර්ලභ අවස්ථාවකි.

ඒ කණකැස්බා මේ එක් සිදුරක් ඇති වියදඬු සිදුරෙන් බෙල්ල ඇතුල් කරන්නේ නම් එය දුර්ලභ සිදුවීමක් නොවේ. එහෙත් වරක් නිතර දුක් ඇති සතර අපායට පැමිණි බාලයා විසින් වරක් මිනිසත් බව ලැබීම ඊටත් වඩා වූ දුර්ලභ කාරණයකි. අතිශයින් දුර්ලභ කාරණයකි. ඊට හේතු නම් මේ සතර අපායෙහි ධර්මයට අනුව හැසිරීමක් සම හැසිරීමක් කුසල ක්‍රියාවක්, පින් කිරීමක් නැති බැවිනි. විශේෂයෙන් තිරිසන් අපායෙහි ස්වභාවය වන්නේ ඔවුනොවුන් අල්ලාගෙන කෑමයි. දුර්වලයන් බලවතුන් විසින් අල්ලාගෙන කති.

ඉදින් මෙසේ මේ අනුවණ පුද්ගලයා කිසියම් කාලයක බොහෝ කාලයක් ඇවෑමෙන් මිනිසත් බවට පැමිණේද, එකල්හි සමාජයේ සම්මත සැඩොල් කුලය ආදී යම් යම් කුලයෝ වෙත්ද, එබඳු දිළිඳු මද ආහාර පාන ඇති යම් කුලයක දුකසේ බඩගින්න නිවාගැනීම ලබයිද, එබඳු දුක් පැවතුම් ඇති කුලයක උපදී. එහි දී ඔහු දුර්වර්ණ වෙයි. යකුන් මෙන් දැකීමට දුෂ්කර වෙයි. මිටි වෙයි. බොහෝ ආබාධ ඇත්තේ වෙයි. කණෙක් හෝ කොරෙක් හෝ කුදෙක් හෝ පිලෙක් හෝ වෙයි. ආහාර, පැන්, රෙදි, යානා ,මල් ,ගඳ විලවුන්, විසීමට තැනක් සහ පහන් දල්වන උපකරණ නොලබන්නෙක් වෙයි. හෙතෙම කයින් දුශ්චරිත කෙරෙයි. වචනයෙන් දුශ්චරිත කරයි. සිතින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. මෙසේ ත්‍රිවිධ දුශ්චරිත කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති. අතරක් නැතිව දුක් පැතිර පවතින නරකයෙහි උපදී.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2YSYg2O
” මෙය උපුටා පල කරන ලද්දක් වන අතර ලිපියේ සියලු ගෞරවය ලිපිය යොමු කල ස්වාමීන් වහන්සේට බව මෙත් සිතින් සිහිපත් කරමි ”

☀️ අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන්ට ගරහා අපාගත නොවන්න ☀️

නාඋයනේ මාහිමිපාණන් වහන්සේ යනු කවර අන්දමේ උතුමෙක් දැයි සමීපව ඇසුරු කළ සත්පුරුෂයෝ දනිති. “මේ වස් තුන්මාසය පුරාවටම එකම අකුසල් සිතක්වත් පහළ වුනේ නෑ” යනුවෙන් අභීතව සිංහනාද පැවැත්වීමට තරම් සතිමත් වූ ප්‍රඥාවන්ත වූ උතුමෙකි. වසර 1000 තරම් මෑත ඉතිහාසයේ එබඳු සිංහනාදයක් වෙන කෙනෙකුගෙන් අපි අසා නැත්තෙමු. එතුමන් වහන්සේ මුළු ත්‍රිපිටකයම අර්ථ සහිතව කටපාඩමින් දැරූ උතුමෙකි. සීල – සමාධි ප්‍රඥා ගුණයන්ගේත් කරුණා මෛත්‍රී ගුණයන්ගේත් ප්‍රතිමූර්තියකි. එතුමන් වහන්සේගේම අකුරින් සඳහන් වන පරිදි අනාගත භව 1800 කින් මතු බුදුබව ලබන නියත විවරණ ලාභී මහබෝසත් උතුමෙකි.
එබැවින් එවැනි උතුමන්ට ගර්හා කිරීම ඉතා බලවත් පාපයකි. එවැනි උතුමන් අතින් වැරදි නොවන්නේ යැයි අපි නොකියමු. නමුත් සැබෑවටම වූ වරදක් ගෙන වුවත් එවන් උතුමන්ගේ ගුණ මැකෙන අයුරින් පාපී සිතින් අවමන් දෝෂාරෝපන කරන්නේ නම් එහි විපාක ඉතාම දරුණුය. දිට්ඨධම්මවේදනීය වශයෙන් පවා බලවත් විපාක ගෙනදීමට සමත් බව චරියාපිටක පාළියේ මාතඞ්ගචරියාව කියැවීමෙන් දත හැකිය. එහිදී මහබෝසතුන්ගේ හිස හත්කඩකට පැලේවා යැයි ජාතිමන්ත තාපසයා කළ සාපය ඒ ජාතිමන්ත තාපසයා මතම පතිත වූ අයුරු දැක්වේ. ඊට හේතුව මෙසේ දැක්වෙ “යඤ්‌හි තෙන පාරමිතාපරිභාවනසමිද්‌ධාහි නානාසමාපත්‌තිවිහාරපරිපූරිතාහි සීලදිට්‌ඨිසම්‌පදාහි සුසඞ්‌ඛතසන්‌තානෙ මහාකරුණාධිවාසෙ මහාසත්‌තෙ අරියූපවාදකම්‌මං අභිසපසඞ්‌ඛාතං ඵරුසවචනං පයුත්‌තං, තං මහාසත්‌තස්‌ස ඛෙත්‌තවිසෙසභාවතො තස්‌ස ච අජ්‌ඣාසයඵරුසතාය දිට්‌ඨධම්‌මවෙදනීයං හුත්‌වා සචෙ සො මහාසත්‌තං න ඛමාපෙසි, සත්‌තමෙ දිවසෙ විපච්‌චනසභාවං ජාතං,” (පාරමී පිරීමෙන් සමෘද්ධ වූ, නොයෙක් සමාපත්ති විහරණයන්ගෙන් පරිපූර්ණ වූ, සීල – ප්‍රඥා සම්පත්තීන්ගෙන් මනාව සැකසුණු චිත්ත සන්තාන ඇත්තා වූ, කරුණාවෙන් ඉවසනසුලු මහබොසතුන් විෂයෙහි කරන යම් උපවාදයක් සාපයක් ඵරුස වචන කීමක් වේද එය මහබෝසතුන්ගේ ක්‍ෂේත්‍ර විශේෂභාවය නිසාත් කියන්නාගේ අදහසේ රළුබව නිසාත් දිට්ඨධම්මවේදනීය වී ඉඳින් හෙතෙම මහබෝසතුන්ව සමාකරවා නොගනී නම් හත්වැනි දිනයෙහි විපාක දෙන ස්වභාවයට පත්විය.) යනුවෙනි.

නාඋයනේ මාහිමිපාණන් වහන්සේ යනු ද එවන් මහබෝසත් උතුමෙක් බැවින් එබඳු උතුමන්ට කරන දෝෂාරෝපනයන්ගේ විපාක ද මෙබඳුය. එබඳු උදාහරණ කීපයක් මෙසේ දක්වන්නේ නුවණැත්තන්ට කරුණු දැනගෙන පවින් වැළකීම පිණිසයි.

1. එක් ස්වාමින් වහන්සේ නමක් අපි සමගම මෙසේ කීවේය, “නාඋයනේ ලොකු ස්වාමින් වහන්සේට දොස් කීවම මගේ කට ඉදිමෙනවා. වාර කීපයක් එහෙම වෙලා තියෙනවා” යනුවෙනි.

2. එසේ දොස් කියූ ඇතැම් භික්‍ෂූන් උපැවිදි වූ අයුරුත් ඇතැමෙක් නිතර ගරු ඇවැත් වලට පත්වෙමින් පීඩිතව පැවිද්ද ගතකරන අයුරුත් දකින විට අංගුත්තර දසක නිපාතයේ ඇති අක්කෝසක සූත්‍ර දේශනාව (අං.නි. 06 පොත 302 – 305 පිටු) නිතැතින්ම සිහි වේ. මෙම විපාකයන්ට අමතරව එහි ඇති උමතු බවට පත්වීම, සිහිමුළාව මියයාම, දුගතියේ ඉපදීම ආදී විපාක ගැන විස්තර දකින විට ඒ අය ගැන ඇති වන්නේ අනුකම්පාවකි.

3. නාඋයනේ මාහිමිපාණන් වහන්සේ ඇතුළු තවත් අතිශය සිල්වත් මාහිමිවරු පිරිසකට බොරු චෝදනා කරමින් යම් පිරිසක් ද්වේෂ සහගතව ලිපි කිහිපයක් ප්‍රචාරය කරවූහ. කලින් පැවිදිව සිට පසුව උපැවිදි වූ කෙනෙක් ඒ ගැන කියා තිබුණේ “ඒ ලිපි වලට මමත් උදවු කළා. අපි ඒ කරපු වැරදි කටයුත්ත ගැන ගොඩක් පසුතැවීම් ඇතිවුනා. ඒ නිසාම සිවුරු හැරියා” කියායි. මෙසේ පැවිද්ද නැතිවීමට තරම් එවැනි උපවාදවල විපාක බලවත් බව මෙයින් දතයුතුය.

4. එක් දිනක් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරිනියක් නාඋයනේ මාහිමිපාණන් වහන්සේ වැඩසිටි මීතිරිගල ධර්මායතනයට පැමිණ උන් වහන්සේට “ඔබ වහන්සේලා කුටි හදමින් කැලෑ විනාශ කරනවා” යනාදී ලෙස මාහිමියන්ට බොහෝ දොස් පවරා තිබෙනවා. මාහිමිපාණෝ “අපි මේවා කරන්නෙ නෑ. දායක පිරිසයි ඒව සකසා දෙන්නේ” යනාදී ලෙස වදාළත් තව තවත් දොස් නගා තිබෙනවා. පසුව එතැන සිටි පිරිස ඇයව බලෙන්ම වගේ එතැනින් ඉවතට ගෙනයන අතර කැලෑවේ සිට පැමිණි වඳුරෙක් ඇයව දරුණු ලෙස හපා කා තිබෙනවා. දින කීපයක් අතරතුර ඇය කළ නීතිවිරෝධී කටයුත්තක් හෙළිවීමෙන් රැකියාවට පවා ගැටලු ඇතිවූ බව දැනගන්න ලැබුණා. පසුව එම ආයතනයේ ප්‍රධානීන් ඇය කළ මේ දොස්කීම ගැන දැනගෙන ඇය කැටුව විත් මාහිමියන්ගෙන් සමාව ගත් බවත් දැනගන්න ලැබුණා.

5. “නාඋයනේ මාහිමිපාණන් වහන්සේ වැනි උතුමන්ට දොස් කියන අයගෙ පැවිද්ද සාර්ථක වෙන්නෙ නෑ” යන කරුණ අපි ඇසුරු කරන භික්‍ෂූන් අතර ප්‍රකට දෙයකි. ඊට සාධකත් ඕනෑ තරම් දත හැකිය.

නමුත් ඇතැම්හු තමන් මගඵල ලබා ඇත යන මිත්‍යාදෘෂ්ටිය නිසාත් “අපේ ගුරුවරු මගඵල ලාභීන්ය” යන මිත්‍යාදෘෂ්ටිය නිසාත් ඔවුන්ගේ කීම් අසා සත්‍ය අසත්‍ය නොදැන මුළාවට පත්ව සිල්වත් ගුණවත් උතුමන්ටත් ධර්මයටත් ගරහා ආර්යෝපවාදාදී බොහෝ අකුසල් කරගෙන අපාගත වෙති.

නොදැන වුවත් දෘෂ්ටිගතව සිල්වත් ගුණවත් උතුමන්ට ගැරහීමෙන් වන නපුර තුරුබ්‍රහ්ම සූත්‍රයේ (සං.නි. 1 පොත 270-271 පිටු) මෙසේ දැක්වේ.

පුරිසස්‌ස හි ජාතස්‌ස, කුඨාරී ජායතෙ මුඛෙ;
යාය ඡින්‌දති අත්‌තානං, බාලො දුබ්‌භාසිතං භණං.

‘‘යො නින්‌දියං පසංසති, තං වා නින්‌දති යො පසංසියො;
විචිනාති මුඛෙන සො කලිං, කලිනා තෙන සුඛං න වින්‌දති.
…… යමරියගරහී නිරයං උපෙති, වාචං මනඤ්‌ච පණිධාය පාපක’’න්‌ති

එහි කෙටි සරල අරුත මෙසේයි. (අනුවණ මිනිසාගේ කටේ උපදින විටම තමන්වම නසාගන්නා වැරදි වචන නම් කෙටේරියක් හටගනී. යමෙක් නින්දා කලයුත්තාට පසසයි ද පැසසිය යුත්තාට නින්දා කරයි ද මෙසේ කටින් බොහෝ පවු කොට දුකට පත් වේ. එසේ ආර්යයන්ට ගරහන්නා පහත් වචනත් පහත් සිතත් නිසා නිරයෙහි උපදී.)

කෝකාලික භික්‍ෂුව, උන්වහන්සේගේ ගුරුවරයාව සිට අපවත්වී සුද්ධාවාසයේ උපත ලබාසිටි අනාගාමී බ්‍රහ්මයෙකු වූ තුරුබ්‍රහ්මරාජයා විසින් “අගසවු දෙනම කෙරෙහි සිත් පහදවාගන්න” යනාදී ලෙස අවවාද කලත් එය නොසලකා වැරදි දෘෂ්ටියේම සිට අපාගතවිය. මහබෝසත් උතුමන්ට ගැරහීමෙන් ද ඉතා බලවත් අකුසල් වන බව පෙර අපි දැක්වීමු.

ඇතැම් තැනක අග්‍රශ්‍රාවක සැරියුත් මාහිමියන්ගේ අදහස් පවා බුදුරජුන් ප්‍රතික්‍ෂේප කළ අවස්ථා චාතුමසූත්‍රය (ම.නි.2 පොත 210 පිටුව) යනාදී තැන්හි කියැවේ. නමුත් මේ කරුණින් එතුමන් වහන්සේගේ ගුණයට අල්පමාත්‍ර හෝ හානියක් නොවේ. මෙසේ යම් උතුමෙක් අතින් දහම් පාඨයක සුලු වැරදීමක් වූ පමණින් එය ගෙන සියලු ගුණ නසා කතා කරන්නේ නම් එය පාපී ගුණමකු අතිශය නපුරු වැඩකි. සසුනට හානිකර දෙයකි. වරද වරදක් ලෙසත් ගුණය ගුණයක් ලෙසත් දැක්වීම මැනවි. පැරණි රහත් උතුමන් අතර පවා බුද්ධවිෂය කරුණු පිළිබඳ වෙනස් අදහස් පැවති අයුරු දහමෙහි දැක්වේ. නමුත් ඉන් ඒ උතුමන්ගේ ගුණයන්ට හානියක් නොවේ.

හැමදෙයකම වැරදි දකින්නට පුරුදු වූ දෘෂ්ටිගතික අයට කොතරම් නිවැරදි කෙනෙකුගේ නමුත් දෝෂයම පෙනේ. ගුණ නොපෙනේ. එබඳු අය බුද්ධ කාලයේත් සිටි බව ධම්මපදයේ කෝධ වග්ගයේ එන අතුල උපාසකගේ කතාවෙන් දත හැකිය.

කරුණු මෙසේ හෙයින් අනුන්ගේ වැරදි නොසොයන නොකියන නාඋයනේ මාහිමිපාණන් වහන්සේ වැනි උතුමන්ට ගරහා මෙළොවත් දුකට පත්ව දුගතියේත් උපදින්නට වන බව සලකා හැකිතරම් අන්‍යයන්ගේ ගුණම දකින්නට හිත් හුරුකර ගනිත්වා යැයි කරුණාවෙන් දන්වමු.

අපවත් වී වදාල අතිපූජනීය දරණාගම කුසලධම්ම මහ නා හිමියන්ගේ මුවින් අපවත් වී වදාළ අතිපූජනීය නා උයනේ අරියධම්ම මහ නා හිමියන්ගේ ගුණ සිහිපත් කල අවස්ථාවක් සඳහා පිවිසෙන්න.
👉 https://ift.tt/2Nog5QD

~ මෙය ස්වාමීන් වහන්සේ නමක් මාර්ගයෙන් ලැබුණු ලිපියෙකි ~

අන් අයගේ යහපත සලකා #share කොට බෙදා හැරියාට කමක් නැත.

තෙරුවන් සරණයි!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2KFiAMn
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 15 🧡💛
සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 12

ඒ මොහොතේ රම්ම නුවරේ දීපංකර බුදුන් ඇතුළු ලක්ෂ හතක් පමණ සංඝ පිරිසට දානය පිළිගන්වනවා. එතැන එසේ වෙමින් පවතිද්දී අප මහා බෝසතාණෝ සියල්ලන්ම නික්ම ගිය ඒ නිසල පරිසරයේ ඒ මහා මල් ගංගාව මත” මාගේ පාරමී පරික්ෂා කරමි” යයි සිතමින් පර්යංකයෙන් වැඩ සිටියා. මෙය විවරණයෙන් පසු සෑම බුදුවරයෙකු විසින්ම අනුගමණය කරනු ලැබූ ධර්මතාවක්. අහසේ සිටි දස දහසක් සක්වලින් පැමිණි දෙවි වරුන් තවමත් ප්‍රීති ඝෝෂා නගමින් මෙලෙස කියන්නට වුනා.

“මහා වීරයාණන් වහන්ස ඔබ වහන්සේ නියත වශයෙන්ම බුදුවනවා. බුදුවරුන්ගේ වචනය සත්‍යයි. නොපසබස්නා වීර්යයෙන් උත්සාහ කරන්න. මේ ලෝක සත්වයන් මේ සංසාර දුකෙන් එතෙර කරනා බුද්ධ අංකුරයක් පැළයක්, බීජයක් වන්න. මෙලෙසම නියත විවිරණ ලැබ බුදුවූ බුදුවරුන් අප කොතෙකුත් දැක තිබෙනවා . ඔබ වහන්සේටත් ඒ ආශීර්වාදය අද ලබුනා. සාදු සාදු සදු !”

සුමේද තවුසාණන් මෙම දෙවුන් බඹුන්ගේ ප්‍රීති වාක්‍ය අසා තව තවත් ප්‍රීතියෙන් පින ගොස් තව දුරටත් පිරිය යුතු දස පාරමී ධර්ම මෙනෙහි කරන්නට වුනා.

🌷 පාරමිතා ප්‍රභේද

සාමාන්‍යයෙන් පාරමිතාව එකක් වුව ත් 1. පාරමිතාව ය, 2. උප පාරමිතාව ය, 3. පරමාර්ථ පාරමිතාව යනුවෙන් කොටස් තුනකට බෙදා වෙනකොට දක්වනවා. ඒ ත්‍රිවිධ බෝධීන්හට අනුග්‍රහ දක්වන ආකාරය මත. මෙහි ඔබගේ අවබෝධය සඳහා දාන පාරමිතාව පමණක් ඒ තුන් ආකාරයට වැටෙන අයුරු මෙලෙස විස්තර කරනු ලබනවා.

“පුත්තදාරධනාදි උපකරණ පරිච්චාගො දාන පාරමී, අත්තනො අංග පරිච්චාගො දාන උපපාරමී. අත්තනො ජීවිත පරිච්චාගො දානපරමත්ථ පාරමී”.

1. පාරමිතාව
තමා රැස්කළ ධනය වතු පිටි ඉඩකඩම් යානවාහන ඇතුළු සියලු භාණ්ඩ උපකරණ මෙන්ම දරු දැරියන් අඹුවන් හරකභාන වැනි තමන් සතු සජීවී වස්තුන්ද පරිත්‍යාගය දාන පාරමිතාව නම් වෙනවා.

2. උප පාරමිතාව
ලේ – මස් – ඇස් – කන් – අත් – පා ආදී තමාගේ ශරීරාවයව පරිත්‍යාගය දාන උප පාරමී නම් වෙනවා.
දෙවෙනි දාන පාරමිතාව යනු එහි තවත් තේරුමක්.

3. පරමාර්ථ පාරමිතාව
අන් අයගේ යහපත වෙනුවෙන් තමා ගේ ජීවිතය පරිත්‍යාග කිරීම දාන පරමාර්ථ පාරමී නම් වෙනවා. . උසස් දාන පාරමිතාව ය යනු එහි තේරුම යි.

🌷 ලොවුතුරා සම්බෝධිය සහ පාරමිතා අනුග්‍රහය
සාමාන්‍යයෙන් එකක් වූ දාන පාරමිතාව මෙසේ තුනට බෙදා කියනුයේ ත්‍රිවිධ බෝධීන්හට අනුග්‍රහ වශයෙන්. ලොවුතුරා බුදු බවට නොහොත් සම්මා සම්බුද්ධත්වයට පෙරුම් පුරුන බෝසතුන් විසින් දාන පාරමිතාව ය, දාන උප පාරමිතාව ය, දාන පරමාර්ථ පාරමිතාව ය යන මේ තුනම පිරිය යුතු ය.

🌷 ප්‍රත්‍යේක සම්බෝධිය නොහොත් පසේ බුදුබව සහ පාරමිතා අනුග්‍රහය
ප්‍රත්‍යේක සම්බෝධියට නොහොත් පසේ බුද්ධත්වයට පෙරුම් පුරන බෝසතුන් විසින් දාන පාරමිතාව ය, දාන උප පාරමිතාව ය යන දෙක පිරිය යුතුය.

🌷 ශ්‍රාවක බෝධිය සහ පාරමිතා අනුග්‍රහය
ශ්‍රාවක බෝධියට පෙරුම් පුරන බෝසතුන් විසින් දාන පාරමිතාව පිරිය යුතුය.

දාන පාරමිතා තුන ම පිරිය හැකි තැනැත්තෝ ලොව්තුරා බුදු බවට පැමිණෙති. පළමුවන දෙවන පාරමිතා දෙක පමණක් පිරිය හැකි තැනැත්තෝ පසේ බුදු බවට පැමිණෙති. පළමුවන දාන පාරමිතාව පමණක් පිරිය හැකි තැනැත්තෝ ශ්‍රාවක බෝධියට පැමිණෙති. ශීල පාරමිතාදී ඉතිරි පාරමිතා නවයෙහි මේ ප්‍රභේදය කියන ලද පරිද්දෙන් සැලකිය යුතු ය.

🌷 දස පාරමී

1. දාන පාරමිතාව
2.ශීල පාරමිතාව
3.නෙක්ඛම්ම පාරමිතාව
4.පඤ්ඤා පාරමිතාව
5.විරිය පාරමිතාව
6.ඛන්ති පාරමිතාව
7.සච්ච පාරමිතාව
8.අධිෂ්ඨාන පාරමිතාව
9.මෙත්තා පාරමිතාව
10.උපේක්ඛා පාරමිතාව

දැන් ඉහතින් දැක්වූ තුන් ආකාරයට මෙම දස පාරමිතා සම්මා සම්බුදු බුදුවරයෙකු විසින් වැඩිය යුතුය. එවිට එය තිස්ආකාර වේ.

1.දාන පරමී 2.දාන උප පාරමී 3.දාන පරමත්ථ පරමී
4.ශිල පාරමී 5.ශීල උප පාරමී 6.ශිල පරමත්ථ පාරමී
7.නෙක්ඛම්ම පාරමී 8.නෙක්ඛම්ම උප පාරමී 9.නෙක්ඛම්ම පරමත්ථ පාරමී
10.පඤ්ඤා පාරමී 11.පඤ්ඤා උප පාරමී 12.පඤ්ඤා පරමත්ථ පාරමි
13.විරිය පාරමී 14.විරිය උප පාරමී 15.විරිය පරමත්ථ පාරමී
16.ඛන්ති පාරමී 17.ඛන්ති උප පාරමී 18.ඛන්ති පරමත්ථ පාරමී
19.සච්ච පාරමී 20.සච්ච උප පාරමී 21.සච්ච පරමත්ථ පාරමී
22.අධිෂ්ඨානපාරමී 23.අධිෂ්ඨාන උප පාරමී 24.අධිෂ්ඨාන පරමත්ථ පාරමී
25. මෙත්තා පාරමී 26.මෙත්තා උප පාරමී 27.මෙත්තා පරමත්ථ පාරමී
28.උපේක්ඛා පාරමී 29.උපේක්ඛා උප පාරමී 30.උපෙක්ඛා පරමත්ථ පාරමී

දැන් සුමේධ තවුසන් සැරසෙන්නේ මෙම කරුණු සමාධි සුවයට පිවිස නැවත නැවත මෙනෙහි කිරීමටය.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
26-05-2019
මතු සම්බන්ධ කරුණු. —

🧡💛 දසපාරමි මෙනෙහි කිරීම, දස දහසක් සක්වල කම්පාවීම, මහ පොළව සලිත වී රම්ම රට වැසියන් බියවීම, දීපංකර බුදුපියාණන් වැසියන්ගේ බිය පහකිරීම. දෙවියන් ඹබුන් ප්‍රීතිඝෝසා පැවැත්වීම, 🧡💛