Monthly Archives: October 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/32WhP8z
ලෝකයා විවිධ ආගම් සරණ ගියත් සැබවින්ම සියලුම සත්ත්වයන්හට සදා සැනසිල්ල උදාකරදෙන එකම සරණ තිසරණය පමණි. “නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණංවරං. . . නත්ථි මේ සරණං අඤ්ඤං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං” බුදුරජාණන් වහන්සේගේ සරණ හැර මට වෙන සරණක් නැත්තේය, උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයේ සරණ හැර මට වෙන සරණක් නැත්තේය. ආර්ය මහා සංඝ රත්නයේ සරණ හැර මට වෙන සරණක් නැත්තේය. මෙය පරම සත්‍යයකි. මේ සත්‍යානුභාවයෙන් මට සෙතක්, ශාන්තියක්, යහපතක්ම වේවා, යනු එහි අර්ථය යි.
සෙත් පිරිත් අඩංගු අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
https://ift.tt/2NkD7pB

New at Little Bit


from Path to Nirvana https://ift.tt/36bnrxC
නමෝ බුද්ධාය 🇦🇩

🌷ලාජා දෙව්දුවගේ කථා වස්තුව – පාප වර්ගය

“පිනෙන් රැස්වෙන්නේ සැපමයි.”

මහා කස්සප මහරහතන් වහන්සේ පුදුමාකාර ශ්‍රමණ ගුණයන්ගෙන් බැබලී ගිය උත්තමයෙක්. උන්වහන්සේට සක්දෙවිඳුත්, සුජා දෙවඟනත් හරිම ආදරෙයි. අනිත් දෙවිවරුත් උන්වහන්සේට ආදරෙයි. සමහර දෙවිවරු උන්වහන්සේට උපස්ථාන කරන්න ආසා නිසාම දන් පැන් පූජා කරන්න ආවේ වෙස්වලාගෙනයි.

ඒ කාලෙ මහාකස්සප මහරහතන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර පිප්ඵලී ගුහාවේ. උන්වහන්සේ එදා නිරෝධ සමාපත්තියට සමවැදුණා. සතියක් පුරාවට එකම භාවනා ඉරියව්වෙන් වැඩසිටියා. ඒ සතිය ඇවෑමෙන් පසු සමාධියෙන් නැගිට්ටා. කාට උපකාර පිණිස, කොයි දිසාවට පිඬු සිඟා යා යුතුදැයි දිවැසින් බැලුවා.

උන්වහන්සේගේ කාරුණික දිව්‍ය නේත්‍රයට එක්තරා ස්ත්‍රියක් පෙනුණා. ඈ හරි දුප්පත්. ඈ කුඹුරුවල වැටුණු වී රැගෙන ගොස් පොරි හදනවා. ඉතින් ඒවා විකුණලා තමයි ඈ ජීවත් වෙන්නේ.

මහාකස්සපයන් වහන්සේගේ සිතෙහි මෑ කෙරෙහි මහත් අනුකම්පාවත් හටගත්තා. උන්වහන්සේ එම ස්ත්‍රිය වී පොරි හදන තැනට වැඩම කළා. මෙම ස්ත්‍රිය තමා ඉදිරියට වැඩමකොට වදාළ මහාකස්සපයන් වහන්සේව දුටු පමණින් හිත පහදවා ගත්තා. ඈට හරි සතුටුයි!

“අනේ… පින්වත් ස්වාමීන් වහන්ස, මට හරී සතුටුයි… ඔබවහන්සේලාගේ කරුණාව නිසාමයි අපි පින් කරගන්නේ. භික්ෂූන් වහන්සේ නමක් වඩම්මලා ප්‍රණීත දානයක් පූජා කරගන්න මට වාසනාවක් නෑ… නමුත් මගේ මේ පුංචි පැල්පතට ඔබවහන්සේ වැඩියේ අනුකම්පාව නිසාම බව මා දන්නවා…. අනේ ස්වාමීනී,… මං ගාව තියෙන්නේ වී පොරි විතරයි. මං හරී සතුටුයි මේ වී පොරි පූජා කරගන්න…”

මහා කස්සප මහරහතන් වහන්සේ නිශ්ශබ්දව වැඩසිටියා. ඇය හරිම සතුටින් වී පොරි පූජා කළා. තෙරුන් වහන්සේ ඈ බලා සිටිද්දීම රුක් සෙවණකට වැඩම කොට එය වැළඳුවා. ඇයට කිසි බඩගින්නක් නෑ. මහන්සියක් නෑ. අමුතු සිනහවකින් මුහුණ පිරිලා තිබුණා. හරිම සැහැල්ලුවක් දැනුණා. ඇය සංඝානුස්සති භාවනාවේ යෙදෙමින් දවස ගත කළා.

මහා කස්සප මහරහතන් වහන්සේ වඩිනා අයුරු ඇය බලා සිටියා. උන්වහන්සේ වැඩම කළේ එක්තරා තුඹසක් අසලිනුයි. ඒ තුඹසෙහි විෂඝෝර නාගයෙක් හිටියා. ඒ නයා එළියට පැමිණ ඇවිදිමින් සිටියා. ඒ අසලින්ම මහා කස්සපයන් වහන්සේ වැඩම කළා. උන්වහන්සේට අනතුරක් වුණේ නෑ. අර ස්ත්‍රිය නාගයාව දැක්කෙ නෑ. මහා කස්සපයන් වහන්සේ වඩන අයුරු බලාගෙන සඟගුණ සිහිකරමින් ඇය පසුපසින් ආවා. ඇයට මේ නාගයාව පෑගුණා. ඒ විෂඝෝර නාගයා දෂ්ට කළ සැණින් ඇය මිය ගියා. ඒ මිය යන මොහොතේ පවා ඈ සිත සිතා සිටියේ මහා කස්සපයන් වහන්සේට පූජා කළ වී පොරි දානය ගැනයි.

ඕ තව්තිසා දෙව්ලොව අභිරූපවත් දෙවඟනක්ව උපන්නා. රන් විමානයක් පහළ වී තිබුණා. ඇයගේ දිව්‍යානුභාවය ගව් තුනක් දුර පැතිරුණා. ඇයට පිරිවර දිව්‍ය අප්සරාවන් දහසක් හිටියා. ඈ පුදුමයට පත්වුණා. නිදා සිට පිබිදුණු කලෙක මෙන් පුදුමයෙන් වටපිට බැලුවා. ඇයට පෙර භවය මතක් වුණා. පුදුමෙනුත් පුදුමයි! මහා දානයක් දුන්නෙත් නෑ. විකිණීමට සකස් කළ වී පොරි ටිකකුයි මහා කස්සපයන් වහන්සේට පූජා කළේ. හැබැයි මහත් සතුටින් සඟ ගුණ සිහි කරමින් සිටියා. සුළු මොහොතකින් මිය ගිහින් තිබුණා.

‘මට හරිම පුදුමයි! මං මොනතරම් දුක සේ වාසය කළ ස්ත්‍රියක්ද! අව්වට වේලුණා… වැස්සට තෙමුණා… වී කරල් ඇහිදිමින් කුඹුරු ගානේ ඇවිද්දා… පොරි හද හදා විකුණුවා… මේ සියලු දුක් සුළු මොහොතකින් අවසන් වුණා…. දෙවඟනක් වුණා… මේ ජීවිතයට මෙතරම්ම වෙනසක් ඇතිවුණේ මහා කස්සපයන් වහන්සේ ගැන මගේ සිතේ ඇතිවූ පැහැදීම නිසයි. මට මේ දිව්‍ය සම්පත් ලබා දුන්නේ මහා කස්සපයන් වහන්සේ විසිනුයි…. දැන් ඉතින් පමා වීමට සුදුසු නෑ. මට මේ ලැබිච්ච සම්පත්තිය ගෙවී යන්න කලින් මාගේ පින්වත් ආර්යයන් වහන්සේට උපස්ථාන කොට මේ පින දියුණු කරගත යුතුයි.’

ඇය දෙව්ලොවදී ප්‍රසිද්ධ වුණේ ‘ලාජා දෙවඟන’ නමින්. ‘ලාජා’ කියන්නේ වී පොරිවලටයි. බලන්න පින්වතුනේ, පින්වත් දරුවනේ. තමන් පිදූ දේ නමින්ම තමන්ට නමකුත් ලැබුණු හැටි! දැන් ඈ නිතරම සිත සිතා සිටින්නේ ඈ කළ සුළු පින නිසා උදා වූ වාසනාව ගැනයි. ඉතින් ඈ පාන්දරින් මහා කස්සපයන් වහන්සේගේ කුටිමිදුලට ගොස් ලස්සනට අමදිනවා. වළඳින, පරිභෝග කරන පැන් පිළියෙල කරනවා. මහා කස්සපයන් වහන්සේ මෙහෙම හිතුවා,

‘බොහොම අගෙයි! දැන් සාමණේරයන් වහන්සේලා වත්පිළිවෙත්වලට වඩ වඩා නැඹුරු වී තියෙන බව පේනවා. එහෙමත් නැත්නම් පැවිදි වෙන්න පැමිණි දරුවෙක් වත්පිළිවෙත් කරනවා වෙන්න ඇති. බොහොම හොඳයි!’

නමුත් තුන්වන දවසේ පාන්දරින් කුටි මිදුල අමදින හඬ අසා මහා කස්සපයන් වහන්සේ කුටි දොර හරිද්දී ආලෝකයක් පෙණුනා.

“කවුද ඔය….? කවුද ඔය කුටිමිදුල අමදින්නේ….?”

ලාජා දෙව්දුව පෙනී සිටියා.

“ස්වාමීනී, මේ ඔබවහන්සේගේ උපස්ථායිකාවක්. මං ලාජා දෙව්දුවයි.”

“වෙන්න බෑ…! ඔය නමින් මට උපස්ථායිකාවක් හිටියේ නෑ…. මොකද මේ බොරු කියන්නේ…?”

“අනේ ස්වාමීනී, සත්තමයි! මං හැල් කෙතක් රකිද්දී ඒ අසල වූ පුංචි පැළේ වී පොරි හද හදා හිටියා. එදා ඔබවහන්සේ එතැනට වැඩියා. කුඹුරු ගානෙ ගිහින් ඇහිඳගෙන ආ වී වලින් තමයි මං පොරි හැදුවේ…. මං එදා හරිම සතුටින් ඔබවහන්සේට ඒවා පූජා කරගත්තා. එදාම සර්පයෙක් දෂ්ට කොට මං මියගියා…. දැන් මං ඉන්නේ තව්තිසාවේ රන් විමනකයි. අනේ ස්වාමීනී…. මේ සම්පත් ලැබුණේ සුළු පිනක් නිසානේ. පින ඉක්මනට ගෙවී යනවා නෙව. එතකොට මේ සම්පත් මට නොලැබී යන්න පුළුවන්. නමුත් ඔබවහන්සේට වත්පිළිවෙත් කරලා ලැබෙන පිනෙන් මේ සම්පත් ස්ථිර කරගන්න ලැබුණොත් මොනතරම් වාසනාවක්ද!”

“එතකොට කලින් දවස් දෙකේ මේ කුටිමිදුල ඇමද තිබුණේ, පැන් පිළියෙල කර තිබුණේ ඔබ විසින්ද?”

“එහෙමයි, ස්වාමීනී.”

“එම්බා දෙව්දුව, මේ කරන ලද්දේ නොකළ යුතු දෙයක්! දැන් කළ යුතු වත් කරලා අවසන් නෙව. හැබැයි මින් මත්තේ මේ පැත්ත පළාතේ එනවා එහෙම නෙවෙයි!”

එතකොට ඒ දෙව්දුව හඬන්න පටන් ගත්තා.

“අනේ ස්වාමීනී, මං වැනැසී යාවි! මේ පින නැතිවී යාවි! ඔබවහන්සේට වත්පිළිවෙත් කොට මේ පින ස්ථිර කරගන්න මට පිහිටවෙන සේක්වා!”

“ඈ… ලාජා! තවත් දොඩන්න එනවද? ඔය විදිහට වත් කරන්න ගියොත් රට්ටු මොනවා කියයිද? එතකොට ආර්ය සංඝයා කෙරෙහි කවුරුන් හෝ කළකිරුණොත්, කළකිරී දොස් කිව්වොත් එයින් පව් සිදුවෙනවා නේද? අන් උදවිය කෙරෙහි අනුකම්පාවක් නැද්ද? ඒ නිසා මෙතැන් පටන් මේ පැත්ත පළාතේ ආවොත් බලාගෙනයි! හ්ම්…! දැන් යනවා….”

ඇය තැති ගත්තා.

“අනේ ස්වාමීනී, එහෙම කරන්න එපා! මට කොහොම හරි වත්පිළිවෙත් කරන්න ඕන.”

“මේක හරි වදයක් නෙව. පිනක් කරගන්න උදව් කළාට පස්සේ මොකද මේ කරදර කරන්නේ….? තමන්ගේ ප්‍රමාණය දන්නෙ නැද්ද…?” කියා මහා කස්සපයන් වහන්සේ වටාපත වේගයෙන් සෙලෙව්වා. මහා කස්සපයන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් දෙව්දුවට අහසේවත් සිටින්න බැරිව ගියා. ඇය වීසි වුණා. ඇය ඈත අහසේ සිට නැවත නැවත යදින්න පටන් ගත්තා.

බුදුරජාණන් වහන්සේ අහසේ හඬනා දෙව්දුවගේ මේ කථාව දිවැසින් දැක එතැනට ආලෝකයක් පැතිරෙව්වා.

“එම්බා ලාජා, මා ලයෙහි උපන් මහා කස්සප පුතණුවන්ගේ ඉන්ද්‍රිය සංවරයට ඔබේ වතපිළිවෙත කරදරයක්මයි. පිනට කැමති කෙනා පින් කරනා අයුරු සොය සොයා පින් කළ යුතුමයි. මෙතෙක් ඔබ කළ පින් ඔබට බොහෝ කලක් සැපය දෙනවාමයි.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා – කයිරාථේතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ – සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

ඉදින් කෙනෙක් කළොත් පිනක් – එය යළි යළි කළ යුතුමයි
නැවත නැවත පින් කෙරුමට – ආසාවක් ඉපදිය යුතුමයි
සසරේ සැප වෙත ගෙන යන – පින කවුරුත් කළ යුතුමයි
පින යනු මේ සැප රැස් වෙන – මුල් දේ බව දත යුතුමයි

ඒ දෙව්දුව හිටියේ අහසේ ගොඩාක් ඈත. බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ගන්ධ කුටියේ. සම්බුදු බලයෙන් ඒ දෙව්දුවට ළඟ කතා කරනවා වගේ බුදුබණ ඇහුණා. ඇය සෝවාන් වුණා.

ඇයට මේ සියල්ල උදාවුණේ සිත පහදවා දුන් දානය නිසයි. දැන් බලන්න…. සිත පහදවා ගැනීම කොතරම් උතුම්ද! හැමදේටම මුල් වෙන්නේ සිත නෙ. එනිසා සිත පහදවා ගැනීම පින් කිරීමේදී ගොඩාක් උපකාරී වෙනවා. සමහරු පින් කිරීමේදී සිතන්නේ ගොඩාක් වියදම් කළොත් පින් සිදුවෙනවා කියලයි. නමුත් සුළු දෙයක් නමුත් සිත පහදවාගෙන දුන් විට එයින් ලැබෙන විපාකය නම් හිතා ගන්නත් බැරි තරම් අසිරිමත්!

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2qIERkS
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 85 🧡💛

🧡💛 සිඛී බුදුහාමුදුරුවෝ 01 🧡💛

දස දහසක් සක්වළ රුක්ෂලතාවන් මලින් ඵලින් බරකල සිඛී බුදුපියාණන් වහන්සේගේ බුද්ධත්වය.

විසිඑක් කපක් බුද්ධ ෂුන්යවිම.

විපස්සි බුදුහාමුදුරුවන්ට පස්සේ ඒ කල්පයද ගෙවිලා ගියා. ඊට පස්සේ කල්ප විසිඑකක්ම බුදුවරු මේ ලෝකයේ පහල වුනේ නැහැ. ඔබට දැන් හිතෙන්න ඕනේ ඔබ අප ඒ කාල තුල කොතරම් සතර අපා දුක් විඳින්නට ඇතිද කියා. බුදුවරයෙකුගේ නිර්මල බුද්ධ දර්මය පවතින මේ කාලයේත් මෙතරම් මිනිසුන් පිරිහිලානම් බුද්ධ කියන වචනයක් වත් ඇසීමට නොමැති කාලයක ලෝකයේ තත්වය හිතාගන්නටත් බැහැ.

රන් පැහැයෙන් බබළන පභාවතී අග මෙහෙසිය.

උන්වහන්සේත් සුපුරුදු ලෙස පෙරුම් පුරමින් පැමිණ පාරමිතා සම්පුර්ණ වූවායින් වුන් පස්සේ තුසිත දෙවුලොව ඉපදී එයින් චුත වුනේ බුද්ධත්වය අපේක්ෂාවෙන්. ඒ භාග්‍යය ලැබුණේ භාරතයේ අරුණවතී නුවරට. පියාණන් වහන්සේ වුනේ පරම ගුණයෙන් යුත් අරුණවත රජතුමා. උන්වහන්සේගේ මෑණියෝ වුනේ පභාවතී අග මෙහෙසිය. ඇය රූසිරියෙන් අග තැන්පත් රන් පැහැයෙන් බබළන ස්ත්‍රියක්. පභාවතී දේවියගේ කුසතුල දසමාසයක් ගෙවුවේ දෙවියන්ගේ ආරක්ෂාව මැද්දේ. එය සෑම බෝසත්වරයෙකුටම ලැබූ ආශීර්වාදයක්.

සුවිසිදහසක් රූමත් තරුණ ස්ත්‍රීන්ගේ පුද සත්කාර

එලෙස දසමසක් ඇගේ කුසතුළ වැඩුණු බෝසත් බිලිඳා මෙලොව එලිය දුටුවේ නිපක උයනේ. නිමිති කියනන් උන්වහන්සේට නම් තබන දිනයේ සිඛාවක් මෙන් උන්හීසය උඩනැගී හෙයින් සිඛී යනුවෙන් නම් කළා. උන්වහන්සේ අවුරුදු හත්දහසක් ගිහිගෙයි ගතකලේ සුචන්දකසිරි, සීරියස නාරිවසභ නම් අධිසුඛෝපභෝගී මාළිගා වල. සබ්බකාමා දේවිය පෙරටුකොට සුවිසිදහසක් රූමත් තරුණ ස්ත්‍රීන් උන්වහන්සේට ඇප උපස්ථාන කළා.

අභිණික්මන

උන්වහන්සේත සතර පෙරනිමිති දැක සසර කලකිරී අතුල නම් පුතු උපන්දිනයේ ගිහිගෙයින් නික්නෙමින් අභිණික්මන් කලේ ඇත්යානයෙන්. ඒ තිනියම නෙවෙයි. හැත්තෑලක්ෂයක් පිරිවර සමග. උන්වහන්සේ සමග ඒ හැත්තෑලක්ෂයක් වූ පිරිවරම තපස් පැවිදි දිවියට අතුලුවුනේ සංසාරයේ පතාගෙන පැමිණි හැටියටමයි. ඒ මහා පිරිවර පිරිවැරූ උන්වහන්සේ අටමසක් ප්‍රධාන විර්යය වඩමින් ගතකලා. සෑම මෙහෙයක් ඉටුකිරිමටම සංසාරේ පතාගෙන ආපු බොහෝ දෙනා පෙළ ගැසී සිටිය නිසා කිසි දෙයක් අහඹුවක් වුනේ නැහැ. ඒ තවත් වෙසක් පුන්පොහෝ දිනයක්. සුදස්සන නියම්ගමේ පියදස්සි සිටුතුමාගේ දියණිය මිකිරිබත් එදින උදේම පිළියල කලේ මේ බව දැනගෙන නෙවෙයි. සංසාරේ පතාගෙන ආපු අධිෂ්ඨාණය පින සමග මතුවීමෙන්.

දසදහසක් සක්වළ රුක්ෂලතාවන් බුද්ධත්වය වෙනුවෙන් මලින් ඵලින් බරවීම.
ඒ මිකිරිබත් වැළඳු සිඛී බෝසතාණෝ තරුණකිනිහිරි වනයෙහි දිවා කාලය ගතකලා. ඒ අතරතුරදී තමයි අනෝමදස්සී නම් තවුසා පැමිණියේ. ඔහුත් ඔහුගේ සංසාරේ පැතුම ඉෂ්ඨ කරගත්තේ අටතණමිට ලබාදීමෙන්. සිඛී බෝසතාණෝ ඒ අටතණමිටත් රැගෙන පුණ්ඩරික බෝධිය වෙත එළඹුණේ තනිවම. ඒ පුණ්ඩරික බෝධියද මිට පෙර කියූ පාඨලි බෝධිය ප්‍රමාණයම වුනා. එදිනම එය පනස් රියන් කඳ ඇතිව නැගී සිටියා. ඒ බුදුබව ලැබීමට සෙවන සැදීමට ස්වභාව ධර්මයෙන් කරනු ලබන ආශීර්වාදයක් ලෙස. එහි ශාඛාද පනස් රියන් පමණ වුනා. සියලු ශාඛා සුවඳති මලින් ගැවසී ගත්තේ පරිසරයම සුවඳවත් කරමින්. මලින් පමණක් නොව ඵල සහිතද වුනා. එක පැත්තකින් තරුණ ගෙඩි. තව පැත්තකින් මැදිවියේ ගෙඩි. තවත් පැත්තකින් වඩා නොපැසුණු ගෙඩි. තවත් පැත්තකින් පැසුණු දිවඕජා මෙන් සුරස වර්ණ ගන්ධ රස සම්පන්න ගෙඩි තැන තැන එල්ලෙමින් තිබුනා. ඒ විතරක් නෙවෙයි. එදා දස දහසක් සක්වලම මල් හටගන්නා ගස් මලින්ද ඵල හටගන්නා ගස් ඵලින්ද යුක්ත වුනා කියලා කියනවා. ඒ තමයි සිඛී බුදුරජාණන් වහන්සේගේ පුණ්‍යමහිමය. ඒ ස්වභාව ධර්මයේ අනේක ආශීර්වාද මැද මාර පරාජය කරමින් තවත් බුදුවරයෙකු එලෙස ලොව්තුරා බුද්ධත්වයට පැමිණුනා.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
28-10-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2MS4EQd
කාශ්‍යප බුදුන් දවස දුන් දානයෙන් ලංකාද්වීපයේ උපත ලැබු පූවපබ්බතවාසී තිස්ස මහා ස්ථවිරයන්ගේ කථාව.

ලෝ වැස්සා ධර්ම අමෘත රස පානයෙන් නිවන් මහ නුවර පුරමින් අපගේ භාග්‍යවතුන් වහන්සේට පෙර කාශ්‍යප නම් බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වූහ. එකල්හි දනව් වැසි මිනිසෙක් වෙළෙඳාමෙන් ජීවත් වෙමින් වසයි. ඉක්බිති පසු කාලයක හෙතෙම හිරියල් සුණු විකුණමින් ගම් නියම්ගම්හි හැසිරෙයි. එකල්හි එක් ගමෙක යොවුන් ස්ත්‍රියක් එය දැක කැඳවා මිළෙන් මනො සිලා සුණු ගත්තේය. ඉක්බිති වෙළෙන්දා විසින් බඩ සා ඇත්තෙමි මෑණියෙනි යි කී කල්හි ඕ තොමෝ ඔහුට මොනර මස් රසයෙන් සුවඳ ගිතෙල් සමග ඇල්හාලේ බත් වැඩුවේය. එකෙණෙහි එක් සුනඛයෙක් වෙවුලමින් බඩසයින් යුක්ත වූයේ කෙළ ගිලිමින් ඔහුගේ ඉදිරියට ගියේය. ඉක්බිති හේ ඔහු දුකට පත් වූ බව දැක කරුණාවෙන් කම්පාවන හෘදය ඇත්තේ මොනර මස් රසයෙන් හා තෙලේ මිශ්‍ර‍ කොට මහත් වූ බත් පිඩක් දුන්නේ ය. ඒ බල්ලා බත් අනුභව කොට සතුටු වූයේ වල්ගය හොල්ලමින් ඔහුගේ ඉදිරියට පැමිණියේය. මේ දැක වෙළෙන්දා ද සතුටුව මෙසේ ප්‍රාර්ථනාවක් තැබීය.

2. මේ පින්කමින් ජාතියක් ජාතියක් පාසා මම ගිතෙල් හා මොනර මස් සහිත උසස් ඇල්සාල් බත් ලබම්වා අවසානයෙහිදී නිවන් පුරය භජනය කරම්වා!

3. ඒ වෙළෙන්දා මෙපමණ පිංකම් කොට ජීවිතය කෙළවර දෙව්ලොව ඉපද බුද්ධාන්තරයක් මහත් දිව සැපත් අනුභව කොට එයින් චුතව මිනිස් ලොව පන්සියයක් වරක් ඉපදී මොනර මස් ගිතෙල් සමග ඇල්හාලේ බතම ලැබීය. එහෙයින් මේ බුද්ධොත්පාද කාලයෙහි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි සිංහල රටෙහි මහවැලි ගං ඉවුරෙහ පූගලු නම් ගමැ එක්තරා ගෙදරක පිළිසිඳ ගෙන පිළිවෙලින් ගැබ මෝරා මවු කුසින් නික්මුණේය. ඔහුගේ මවුපියෝ තිස්ස යයි නමක් කළහ. හේ වැඩිවියට පැමිණියේ ගිහි ගෙදර විපාක ද පැවිද්දෙහි ආනිසංස ද අසා සියළුම සම්පත් අතහැර පූගලු විහාරයට එළඹ පැවිද්ද ඉල්ලීය. භික්‍ෂූහු ඔහු පැවිදි කොට උපසම්පදා කළාහු ය.

හෙතෙම බොහෝ කලකින්ම උත්සාහ කරන්නේ උසස් ඵලය වූ රහත් බවට පැමිණියේ පින්වතෙක් හා නැණවතෙක් විය. තිස්ස තෙරණුවෝ යයි මුළු සිංහල රටෙහිම ප්‍ර‍සිද්ධ වූහ. ඒ තෙරුන්ගේ පාත්‍ර‍ය යම්කිසි ඉසුරුමත් කෙනෙක් හෝ දිළින්දෙක් ගත්තාහු නම් හේ වනාහි ඔහුට මොනර මස්, සුවඳ ඇල්හාලේ බත් හා ගිතෙල් සමග පුරවා දෙයි. මේ ක්‍ර‍මයෙන් මොහුට සැට අවුරුද්දක් ඉක්ම ගියහ.

4. ඉක්බිති මෑත කාලයෙහි එක් ඇමැති පුතෙක් මෙසේ සිතී ය. මේ තෙරුන්ට නිතොර මොනර මස් සුවඳ ගිතෙල් සහිත ඇල්සාල් බත්ම උපදී යයි බොහෝ දෙනා කියත්. මෙය අප විසින් වනාහි මේ කරුණ පරීක්ෂා කරන්නට සුදුසු යයි සිතා ගෙදරට ගොස් රෑ යාමයෙහි භාර්යාවට මෙසේ කීයේය. සොඳුර, පූගලු විහාරයෙහි වාසය කරන තිස්ස ස්ථවිරයන්ට අද දනක් දෙනු කැමැත්තෙමි. තෙරුන් වහන්සේ මෙහි පැමිණි කාලයෙහි නිවුඩු සාලෙන් කුඩුමුසු කැඳ පිස වළඳවා වේලාව සමීප වූ කල්හි පලා මාලුවක් හා කාඩි ඇඹුල් දෙවැනි කොට නිවුඩු සාලේම බත් දෙන්නැයි කියා රැය පහන් වූ විට තමාම විහාරයට ගොස් තෙරුන් වැඳ ස්වාමීනි, අද අපට අනුග්‍ර‍හය කරන්න යයි ආරාධනා කොට තෙමේ අන් තැනක ගියේ ය.

ඉක්බිති ඔහුගේ ගෙදර අධිගෘහිත දෙවියා රාත්‍රී භාගයෙහි භාර්යාව සමග කථා කරන ඒ වචන අසා මොවුහු ඒකාන්තයෙන් මේ තෙරුන් විසින් පෙර කරන ලද කර්මය විපාකය කිසිවෙකු විසින් නොවැලැක්විය හැකි බව සිතා ඒ ගෙදර මහළු මිනිසෙකු මෙන් ඇල්සහල්, මොනර මස් සහ ගිතෙල් කළයක් ද ගෙන ගෙදරට පැමිණ ඔහුගේ භාර්යාවට දුන්නේය. ඈ විසින් කොහෙන් ගෙන එන ලද්දේ දැයි ඇසූ කල්හි දේවතාවා මෙසේ කීයේය. මෑණියෙනි, අමාත්‍ය පුත්‍ර‍ තෙම මා දැක පින්වත, මා විසින් පූගලු වාසි තිස්ස හිමියන්ට දනට ආරාධනා කරන ලදි. තෝ මේ උපකරණ ගෙන ගෙදරට ගොස් ගෘහණියට දී මෙසේ කියව. මෙයින් බත් පිස ව්‍යඤ්ජන සහිතව තෙරුන් වළඳවන්න යයි මට කීවේය යයි කියා අතුරුදහන් විය.

5. ඕ තොමෝ ද ඔහුගේ කථාව අසා මස් සහිත බත් පිළියෙල කොට තෙරුන් වහන්සේ පැමිණි කල්හි පාත්‍ර‍ය ගෙන වැඩ හිඳුවා ව්‍යඤ්ජන සහිත බත් වැළඳ වීය.

තෙරුන් වහන්සේ බත් කිස නිමවා විහාරයට වැඩි සේක. ඊටපසු ඇමැතියා පැමිණ භාර්යාවන්ගෙන් තී තෙරුන්ට ආහාර දුන්නේ දැයි විචාළේය. ඕ තොමෝ නුඹ වහන්සේ එවූ උපකරණයන්ගෙන් බත් පිළියෙල කොට දෙන ලදැයි කීවාය. ඇමැතියා, සොඳුර, මා විසින් නොඑවන ලදි. කා විසින් එය ගෙන එන ලද්දේ දැයි ඇසීය. අසුවල් මහල්ලා විසිනැයි කී කල්හි ඔහු ද විචාරා ඔහු විසින් මෙවැන්නක් නොගෙනෙන ලදි යයි කී කල්හි එය තෙරුන් වහන්සේගේ ආනුභාවයෙන් මේ දෙවියන්ගේ වැඩක් යයි දැන කළ පින් ඇත්තහුගේ කුසල් විපාකය වලක්වන්නට නොහැකි යයි කියා බුදුසසුන්හි පැහැදුනේ දානපතියෙක් විය. ඊට මෑත භාගයෙහි තෙරුන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි වැදහොත්තේ වෙහෙර බෙර හසුරුවා භික්‍ෂූන් කැඳවා තමන් පිරිනිවන් පානා බව ප්‍ර‍කාශ කෙළේ ය. ඉක්බිති භික්‍ෂූහු නුඹ වහන්සේ මහ පින් ඇත්තෙකි. නුඹ වහන්සේගේ පින මුළු ලඞ්කාවෙහිම ප්‍ර‍කටය. අතීතයෙහිදී කවර නම් පින්කමක බලයෙන් මේ විපාකය ලැබී දැයි විචාළහ. එය අසා තෙරුන් වහන්සේ තමා විසින් අතීතයෙහි කරන ලද කර්මය ප්‍ර‍කාශ කරමින් මෙසේ කීය.

6. මේ භද්‍ර‍ කල්පයෙහි කාශ්‍යප නම් බුදුරජාණන් වහන්සේ නමක් මුළු සත්වයන්ට හිතවත්ව උපන්නේය.

7. මම එදා හිරියල් වෙළඳාම් කරන වෙළෙන්දෙක් වීමි. ඒ වෙළෙඳ කර්මයෙන්ම ඒ ඒ තැන ඇවිදිමින් ජීවත් වූයෙමි.

8. ඉක්බිති එක් දවසක වෙළෙඳාම සඳහා ජනපදයකට ගියෙමි. එහි එක ගෙදරක කුලදැරියක් මා දැක,

9. මගෙන් බඩු රැගෙන බඩසයින් පෙලුණු මා දැක්කාය. ඉක්බිති ඇය මොනර මස් සුවඳ ගිතෙල් සමග,

10. ඇල්හාලේ බත් ද කරුණාවෙන් වැළඳීමට මට දුන්නීය. ඉක්බිති මම බත් කනු කැමැති බල්ලකු දැක,

11. ගිතෙල් සහිත බත් පිඩකින් සතපවා මෙසේ පැතීමි. මම ඒ පින්කමින් දෙව්ලොවට ගියෙමි.

12. එහි දී දෙවියන් සමග රුවන්මය ප්‍රාසාදයෙහි මිහිරි නෘත්‍ය ගීත වාදිතයන්ගෙන් සතුටුව,

13. දෙවඟනන් පිරිවරා දිව්‍ය සේනාව මුල් කරගෙන දිව්‍ය සම්පත් අනුභව කොට බොහෝ කාලයක් ගත කෙළෙමි.

14. එයින් චුතව මිනිසුන් අතර ජාති පන්සීයක් මහත් ධනය ඇති මහා භෝග ඇති විශාල වූ ලෝකයා ගරු කිරීමට භාජනය වූ.

15. නෑ සමූහයා විසින් පූජා කරන ලද උසස් කුලයක උපන්නෙමි. කර්මයට සුදුසු සම්පත් මම අනුභව කෙළෙමි.

16. ගිතෙල්, මොනර මස්, ඇල්හාලේ බත් පන්සියයක් ජාතිවල නිතර වළඳන ලද මගේ ආහාරය විය.

17. මේ අන්තිම ජීවිතයේදී එවැනි භෝජන හැම කල්හිම ලැබීමි. මගේ එක බත් පිඩක ආනිසංස බලන්න.

18. පින්වතාගේ පින්කම මාරයාට ද වැළැක්වීමට නොහැක. එය වැළැක්වීමට සමත් අන් කවරෙක් වේද?

19. තිරිසන්ගතයකුට පවා යමෙක් දන් දේද මා සේ හේ සියළුම භවයන්හි ත්‍රිවිධ සම්පත්ති විඳින්නේය.

20. මෙසේ උන්වහන්සේ භික්‍ෂු සංඝයා මැද තමා විසින් කරන ලද කුශල කර්මය ප්‍ර‍කාශ කොට අවවාද කොට පිරිනිවන් පෑ සේක. තෙරුන් වහන්සේගේ වචන අසා මහාජනයා දන්දීම් ආදී පින් කොට මැරී ගොස් දිව්‍ය ලෝකයෙහි උපන්නාහ.

21. ඉතා සුළු දන්දීමකින් පවා මිනිස්සු මෙසේ පුදුම විපාකයක් ලබති. බොහෝ කාලයක් මුලුල්ලේ දුන්නාවූ දානයාගේ විපාක බුදු නොවූ කිසිවෙකුට මෙපමණ යයි කියා නිම කිරීමට නොහැක.

3. පූවපබ්බත තිස්ස කථා වස්තුව නිමි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3663dW6
මේ මිහිපිට දෙපයින් නැගී සිටින සෑම මනුෂ්‍යයෙක් ම බාහිර පාට සුදු, කළු නම් හා ඉපදුනේ අතුපැළක, මහ මැදුරක වූවත් සිතෙහි හික්මීමක් සීලයක් ඇති කර ගත්තොත් මනුෂ්‍යයන් අතර යහපත් වූ ම චරිතයක් ඇති මනුෂ්‍යයෙක් ලෙස ජීවිතය පවත්වාගත හැකියි.

මේ හික්මීම මනසෙහි ඇති වුණාම සීලයෙන් පැහැදිලි කරන කායික, වාචසික සංවරයෙන් ද යුක්ත වෙනවා. මේ සිතෙහි හික්මීම ඇතිවන විට ජීවිතය ගැන මැනවින් නිවැරැදි බව තේරුම් ගන්නට තරම් ශක්තියක් සැකසෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ ලෙස ජීවිතයේ දියුණුවට හේතුවන සිතෙහි හික්මීම පිළිබඳව හෝ සිත හික්මවාගෙන කටයුතු කිරීම පිළිබඳව යුතුකම් නමින් සිඟාලෝවාද සූත්‍රයේ, ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ, මංගල, පරාභව, වසල සූත්‍රවල දේශනා කළා සේම ලෝකෝත්තර දියුණුව වෙනුවෙන් මේ සිතේ ඇතිවන හික්මීම සමාධිය, ප්‍රඥාව හැටියට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා. මේ නිසයි භාග්‍යවතුන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා යනුවෙන් මෙහි දී පැහැදිලි කළේ. හික්මීම පිළිබඳව සඳහන් කරන විට කායික, වාචසික, සංවරයත්, ඉන් අනතුරුව සිතේ ඇතිවන හික්මීමත් පැහැදිලි කළා. මේ සිතයි, කයයි, වචනයයි තිදොරම මනා කොට හික්මීම නිසා ඇතිවන්නේ සමාධියයි. භාවනාව මේ හික්මීමේ උපරිම අවස්ථාව සලසා දෙන ගමන් මාර්ගයයි.

‘ භාවේති කුසල ධම්මේ වඩ්ඩේති ඒතායති’ කුසල ධර්ම සිතේ වැඩීම තමයි භාවනාව කියල කියන්නෙ. කුසල ධර්ම සිතේ වැඩෙනවා කියල කියන්නෙ මේ සිත සංසුන් වෙනවා කියන එකයි. සිත නොසන්සුන් කරන ලෝභ, දෝෂ, මෝහයන්ගෙන් හටගන්නා පස් පව් දස අකුසල් බැහැරවීම යනුයි කුසල ධර්ම සිතේ වඩා ගැනීම යනුවෙන් අදහස් කරන්නෙ.

කුච්ජිතේ පාපකෙ අකුසලෙ ධම්මෙ
චලෙන්ති, කම්පෙන්ති, විද්වංසෙන්’

සිතේ හටගන්නා පාපී ලාමක අකුසල ධර්ම සොලවා කම්පාකොට මුළුමනින් ම බැහැර කිරීම කුසල නම් වේ.

එහෙම නම් අන්න එවැනි කුසල් මේ සිතේ සකස්වීම භාවනාව යැයි සඳහන් කළා. එනම් සිත සංවරවීමට පැමිණෙනවා. කායික වාචසික සංවර වීමට පැමිණෙනවා. මේ සංවර බව නිසා කුසලය නිසා සංවර බව ඇතිවීමෙන් ‘ආරොග්‍යට්ඨෙන කුසලං’ ඒ කුසලය නිසා සිත නීරෝගී බවට පත්වෙනවා. එනම් සිත සුපසන් වීමයි. හික්මීමයි. සංවර බවට පත්වීමයි. දැඩි ආශාවන් නිසා ද්වේෂය නිසා තරහව නිසා රාගය නිසා හෝ වේවා සිත ගිලන් වුණොත් කුමක් ද වෙන්නෙ? සිතා ගන්න බැරි දේවල් ඔය සිතෙන් සිතාවි. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කියන්න බැරි දේවල් පවා ඔය වචනයෙන් පිට කරාවි. සද්පුරුෂ මනුෂ්‍යයෙකුට කරන්නට බැරි හෝ නොකළ යුතු දේවල් ඔය අත්දෙකෙන් කරන්නට පටන් ගනී. ඒ විතරක් නොවේ ගිලන් වූ සිතෙන් බලාගත් අත බලාගෙන සිටියි. සා පිපා සා කුසගින්න දැනෙන්නෙ නැහැ යැයි තමා ම දුක්විඳිනවා පමණක් නොවෙයි තම ජීවිතය නසා ගන්නටත් උත්සාහ කරාවි.

සමාධියෙන් කායික, වාචසික, මානසික සංවරය සකස්වන විට මේ සිත නීරෝගී බවට පත්වෙන විට දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතය යහපත් ලෙස තමන්ටත් ප්‍රීතිමත් ලෙස දැනෙන්නට පටන් ගනී. බාහිර ලෝකයා දැඩි ආශාවන්ගෙන් වස්තු අල්ලගන්න දුවනකොට, අල්ලාගෙන ඒවා රැක ගන්න දුක්විඳින කොට, වෙහෙසෙනකොට සිතේ හික්මීමක් තිබෙන සිත නීරෝගී මනුෂ්‍යයෝ සතුටින් නිදාගන්න හැටි සතුටින් නැගිටින හැටි තුන්වේලක් නොව එක වේලක් ලැබුණු ආහාර වේල සතුටින් භුක්තිවිද කායික නීරෝගීව සිතේ සතුටින් ජීවත්වන හැටි ඔබටත් දැක ගන්නට පුළුවනි.

මේ නිසයි ධර්මයේ පැහැදිලි කරන්නෙ ස්වභාවයෙන් අපට ලැබුණු මේ කය ගිලන් වෙන්නට පුළුවනි. හැබැයි සිතේ සංවරය, හික්මීම සමාධිය උගන්වන තැන භාවනාවෙන් උගන්වන ආකාරයෙන් ඇති කර ගත්තොත් කය ගිලන් වුණත් සිත ගිලන් කර ගන්නෙ නැතුව සතුටින් ම ජීවිත් වෙන්නට පුළුවනි. ‘අනවජ්ජට්ඨෙන කුසලං’ මේ සිත නිවැරැදි කරනවා යන අදහසයි. මේ සිත නොහික්මුණාම සිත වැරැදි දේට පෙළඹෙනවා. සිත හික්මුණාම සිත නිවැරැදි වෙනවා.

සාමාන්‍ය ලෝකයා කියන මිල මුදල් කෝටියක් දෙනවා කිව්වත් තමන්ට මුදල් නැති වුණත් පැළක හිටියත් ඔය වැරැදි දේ මම කරන්නෙ නැහැ. මේ ලෝකයේ කිසිවක් සාදාකාලික, ස්ථිර නැහැ. ඔය කිසිවක් අරගෙන යන්නෙ නැහැ. තාවකාලික කෙටි කාලයකට පස් පව් කරල මොනවා ලැබුවත්, සංසාර ගමනෙ සතර අපායේ ඉපදිලා කල්ප ගණනාවක් දුක් විඳින බවයි. නෑ නෑ ඔය වැරැද්ද මම කරන්නෙ නැහැ. හොඳ නරක තේරුම් ගන්න තරම් සිතේ නිවැරැදි භාවයක් ඇති කර ගන්නට පුළුවනි. කෙලවර බලවත් වූ කුසලයක් නිසා ලැබූ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයේ උතුම් බව මනුෂ්‍යත්වයක් ලැබූ මනුෂ්‍යයෙකුට කිසි විටකවත් අමතක වෙන්නෙ නැහැ.

අවසානයේ දක්වනවා භාවනාවෙන් සමාධිය හොඳින් වැඩෙනකොට කයයි, වචනයයි, සිත හික්මිල ‘කෝසල්ල සම්භූතට්ඨේන කුසලං’ එනම් මේ සිත ඉතාම දක්ෂ බවට පත්වෙල පාපයෙන් වැළකී කුසල් මාර්ග අනුගමනය කරන්න තරම් ශක්තියක් ඇතිවෙනවා.

දැන් ඔබට පැහැදිලි ඇති හික්මුණු කයක්, වචන හා සිත් ඇති මනුෂ්‍යයෝමයි දියුණුවට පත්වන්නෙ කියා. ඒ හික්මුණු සිත තමාට අවශ්‍ය මාර්ගය සකසා ගන්නවා. ස්වභාවයෙන් නමුත් සිතට ගලාගෙන ආවත් වැරැදි වූ කෙලෙස්, වැරැදි වූ සිතිවිලි ඒවා බලවත් ලෙස මැඩපවත්වාගෙන මේ හික්මුණු සිත කෙලෙස්වලින් බැහැරව තමාට ඕන ආකාරයෙන් යහපතට අනුව මේ සිත හසුරුවා ගන්නවා.

ලෞකික ජීවිතයේ දියුණුව පිණිසම කටයුතු කරන්න මේ සිත දක්ෂයි. නොහික්මුණු සිතට මගක් නැහැ. අරමුණක් නැහැ. ස්වභාවයෙන් ලැබුණු ආශාවන්ට තරහවට අසුවෙලා විනාශයට යනවා. හික්මුණු සිත හොඳ නරක තේරුම් ගන්නා විට ධෛර්යයෙන් තමාගේ අරමුණට යනවා. මනාසේ ඉගෙනගත්, උගත් චරිතවල ලක්ෂණ හොයල බලන්න. ලෝකයේ දියුණුවට පත් ජීවිත ගැන සොයා බලන්න. ඔවුන්ගෙ කතාව ඔවුන්ට වැටහෙන ආකාරයෙන් පැවසුවහොත් මේ ආකාරයි. ‘මට එක අරමුණක් තිබුණ පුංචි තැනකින් පටන්ගෙන ලොකු තැනකට එන්න ඕනෙ කියල. ඒ නිසා සමහර විට නොකානොබී සිටියා. කිසිම හේතුවක් නිසා මගේ සිත කලබල වුණේ නැහැ. ප්‍රශංසා ඉදිරියේ වගේ ම අනුන්ගේ ඇනුම්, බැනුම් ඉදිරියේ මම කම්පා වුණේ නැහැ. මගේ සිතේ හික්මීම නිසා කලබල නොවී අෂ්ඨ ලෝක ධර්මයෙන් කම්පා නොවී මම අරමුණට ආවා. මට ඕන වුණේ යහපත් වූ මනුෂ්‍යයෙක් වෙලා යම් වූ ද සේවාවක්, යහපතක් කරන්නයි. හික්මුණු සිතක් ලෞකික ජීවිතයේ වගේ ම ලෝකෝත්තර වශයෙනුත් මහත් වූ දියුණුවකට පත්කරන බව ඉතාම පැහැදිලියි. ඒ නිසා ලෝකෝත්තර දියුණුවකට ගමන් කළ සමාධියට නම් මෙන්න මේ ඔස්සේ දර්ම මාර්ගයේ ගමන් කරන්නත් චතුරංග වීර්යයෙන් ඇට මස් නහර වියලී සිදී ගියත් මගේ අරමුණ වෙත මම ගමන් කරනවා කියන තැනට පැමිණීමට හික්මුණු බවක් ශාන්ත බවක්, සංවර බවක් අවශ්‍යමයි.

ඔබට සඳහන් කළොත් මේ හික්මීම කියන්නෙ ජීවිතය අකර්මන්‍ය වීමක් නෙමෙයි. දුර්වල මනුෂ්‍යයෙකුගෙ ස්වභාවයක් ද නොවෙයි. යහපත් වූ දක්ෂ වූ මනුෂ්‍යයකුගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන හොඳ නරක තේරුම් ගන්නා වූ මනුෂ්‍යයෙකුගේ ස්වභාවයයි. හික්මුණු මනුෂ්‍යයෝ ලෝකය සුපසන් කරනවා නිවන් මඟ ඒ කෙළවර අරමුණ දක්වා ම ගමන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේ නිසා භාවනාවේ ඉදිරියට යන කොට පරිකර්ම, උපචාර, අර්පණ වශයෙන් කාමාධි අකුසල ධර්ම යටපත් කරගෙන ඒ කුසලයට ම බැස ගෙන කුසලයම විමසා බලමින් කායික හා මානසික ප්‍රීතිය සුඛය මනා කොට විදිමින් ඔවුන් ඔවුන්ගේ ජීවිතය සුපසන් කරගන්නෙ ධ්‍යාන අවස්ථාවක් යැයි සඳහන් කළේ මේ අවස්ථාවයි. ඒ නිසා ලෞකික වශයෙනුත් ලෝකෝත්තර වශයෙනුත් දියුණුවට මේ හික්මීම අවශ්‍යයයි.

ලෞකික වශයෙන් කල්පනා කරමින් වර්තමාන පරිසරයෙහි හික්මීම සංවරය අපි හැම කෙනෙකුට ම අවශ්‍යයයි. මුලින් ම සඳහන් කළා වගේ බුදු දහමින් බලාපොරොත්තු විය යුතු උතුම්ම ප්‍රයෝජනය ලැබිය හැක්කේ එවැනි හික්මීමක් ඇති වූ විටයි.

භික්ෂූන් වහන්සේ නමක් වූවත් සතර ඉරියව්වේදී ම පැවිදිවීමට හිතාගත්, අරගත්, අරමුණ, පැවිදි වූ අරමුණ අමතක නොකොට හැසිරීම, කතාබහ, ඉරියව් ඇවතුම් පැවතුම් සියල්ල ම මනා වූ හික්මීමකින් යුතුව කටයුතු කළ යුතුමයි. ශාසනික ඇවතුම් පැවතුම්වලට ගැලපිය යුතුමයි. වර්තමාන පරිසරය මොන හේතු දැක්වූවත් එහෙත් තමා පැවිද්දෙක් නොවේ දැයි යන අරමුණ දස ධර්ම සූත්‍රයේ දී පැහැදිලි කළ ආකාරයෙන් ‘ අඤ්ඤො මේ ආකප්පෝ කරණීයෝ හෝති’ ගෘහස්ථ අයට වඩා පැවිදි වූ ජීවිතයක ආකල්ප, සිතුම් පැතුම්, ඇවතුම් සංවරබවෙන්, විනයෙන්, හික්මීමෙන් යුතුව සිදුවිය යුතු යැයි ගිහි අයට වඩා වෙනස් වීමක් සිදුවිය යුතුයැයි දැන ඒ පැවිදි ජීවිත ගත කළ යුතුමයි.

ගෘහස්ථ ජීවිතවලත් හැම මොහොතක් පාසාම අපේ ජීවිතවලින් ආයුෂ, ජීවත්වීමේ කාලය අඩුවේගෙන යන බව දැන ලෙඩදුක්වලට උරුම වූ මරණය සොයාගෙන යන මේ ජීවිතයේ හැබෑවට ම සංතෘෂ්ටිය, සැනසිල්ල, හික්මීම, සමාධිය අවශ්‍යයයි.

තෙරුවන් සරණයි!

මිරිස්සේ ධම්මික හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2BGHYfk
ලෝකයේ අන්තර්ගතය

ලෝකය යන්නට ඇතුළත් දෙය කෙටියෙන්ම කිවහොත් නාම-රූප දෙක පමණකි. එය ස්කන්‍ධාදි වශයෙන් තවත් විස්තර කළහැකි වේ. ඒ සියල්ල ඇතුළත් භූමි වශයෙන් භූමි තිස් එකක් (31) ඇති බව ඉහත දක්වන ලදී. ඒ සියල්ලේම සත්වයන්ගේ උත්පත්තිය කර්මානුරූපව සිදු වන බැවින් පළමුව ඒ උත්පත්ති ක්‍රමය පිළිබඳ දක්වනු ලැබේ.

සත්වයන්ගේ ච්‍යුති-උත්පත්ති ක්‍රමය

අවිද්‍යාව සහ තෘෂ්ණාව සහමුලින්ම නසන ලද රහතන් වහන්සේලා හැර සෙසු සියල්ලෝම මරණින් මතු යළි උත්පත්තිය ලබති. ඒ උත්පත්ති ස්වකීය කර්මානුරූපව සිදුවේ. ඒ ජීවිතයේම හෝ පෙර ජීවිතයක කරන ලද කුසලාකුසල කර්මයක විපාකයක් වශයෙන් සුගති, දුගති ලෝකවල සත්වයන්ගේ උත්පත්තිය සිදු වේ. මේ අනුව මරණින් මතු සත්වයන්ගේ උත්පත්තිය දෙයාකාරයකට සිදු වේ.

සුගතිගාමී උත්පත්ති – මනුෂ්‍ය ලෝකය, දිව්‍යලෝක සය (6) සහ බඹලොව උත්පත්තිය යන මේවා සුගතිගාමී උත්පත්ති වේ. සුගති උත්පත්තියක් සිදු වන්නේ කුසල සිතක විපාකයක් වශයෙන්ම වේ. එබැවින් මිනිස් ලොව හෝ කවරාකාරයේ උපතක් හෝ සකස් වන්නේ කුසල විපාකයකින්ම බව සිහි තබාගත යුතු වේ.

දුගතිගාමී උත්පත්ති – සතර අපාය උත්පත්ති දුගතිගාමී වේ. දුගති උත්පත්තියක් සකස් වන්නේ අකුසල විපාකයක් වශයෙන්ම වේ.

මෙසේ කුසලාකුසල කර්මානුරූපව සත්වයන්ගේ උත්පත්තිය තීරණය වන්නේ මරණාසන්න අවස්ථාවේ තමාට අරමුණු වන දේ අනුව වේ. ඕනෑම පුද්ගලයකුට මරණාසන්න අවස්ථාවේ කර්මය, කර්මනිමිත්ත, ගතිනිමිත්ත යන තුනෙන් එකක් අරමුණු වේ.

කර්මය – ඒ ජීවිතයේම හෝ පෙර ජීවිතයක තමා විසින් කරන ලද කුසල හෝ අකුසල කර්ම චේතනාවක් අරමුණු වීමයි. ඒ අනුව තමන්ගේ කුසලචේතනාවක් අරමුණු වන පුද්ගලයාගේ මරණාසන්න මොහොත කුසල පක්‍ෂයට නැඹුරු වේ. ප්‍රාණඝාතාදි අකුසල චේතනාවක් අරමුණු වන පුද්ගලයාගේ මරණාසන්න අවස්ථාව අකුසල පක්‍ෂයට නැඹුරු වේ. ඒ අනුව අදාළ පුද්ගලයාගේ මතු උත්පත්තිය තීරණය වේ. මෙසේ කර්මය අරමුණු වීමේ දී එය මනසට අරමුණු වේ.

උදා: රුවන්වැලි සෑයට මල්පූජා කිරීමක් කර්මය වශයෙන් අරමුණු වන පුද්ගලයාට අදාළ කුසල චේතනාව අරමුණු වේ. තමන් ඒ මොහොතේ රුවන්වැලි සෑයට මල් පූජා කරන්නේ යම්සේ ද එසේ වැටහේ. ප්‍රාණඝාතයක් කර්මය වශයෙන් අරමුණු වන්නේ නම් තමන් ඒ මොහොතේ ප්‍රාණඝාතයක් කරන්නාක් මෙන් අකුසල චේතනාව එල්බගෙන සිටී.

කර්මනිමිත්ත – කිසියම් කුසල හෝ අකුසල කර්මයකට නිමිති කරගන්නා ලද, උපකාර කරගන්නා ලද උපකරණාදියක් අරමුණු වීමයි. එහි දී අරමුණු වන්නේ කුසලාකුසල චේතනාව වශයෙන් නොව එකී කර්මයට උපකාර කරගත් ද්‍රව්‍යයක් සිහිපත් වීම වශයෙනි. මෙය මනසට සිහින පෙනෙන්නාක් මෙන් වැටහීම සිදුවිය හැකි අතර ඇතැම් විට ඇස ආදියට අරමුණු වීමක් ද සිදුවිය හැකිය.

උදා: රුවන්වැලි සෑයට මල් පූජාකළ පුද්ගලයකුට රුවන්වැලි සෑ චෛත්‍යරාජයන් වහන්සේ අරමුණු විය හැකිය. එසේම තමාගේ කිසියම් කුසල කර්මයකට අදාළව චෛත්‍ය, බෝධි, බුද්ධප්‍රතිමා, මල්, පහන් ආදි කිසිවක් අරමුණු විය හැකිය. අකුසල කර්මයක නිමිත්තක් අරමුණු වන පුද්ගලයාට ප්‍රාණඝාතාදියකදී මරණයට පත්කළ සත්වයන්, මැරීමේ උපකරණ, සොරකම් කළ බඩු ආදි කිසිවක් සිහිපත් වේ.

ගතිනිමිත්ත – මතු උපදින භවය පිළිබඳ කිසියම් සංඥාවක් අරමුණු වීම මෙහි දී සිදුවේ. කුසල කර්මයක විපාකයක්

වශයෙන් සුගතියේ උපදින සත්වයන්ට දෙව්ලොව දිව්‍ය රථ, දිව්‍ය විමාන, මල් ගොමු, කල්පවෘක්‍ෂ ආදියක් අරමුණු විය හැකිය. ධම්මික උපාසක මහතාට, දුටුගැමුණු මහරජතුමාට ආදීන්ට දිව්‍ය රථ අරමුණු වූයේ මේ ආකාරයෙන් වේ. මිනිස්ලොව උපදින සත්වයන්ට මාතෘ ගර්භය ගති නිමිත්ත වශයෙන් වැටහේ. නිරයෙහි උපදින සත්වයන්ට ගිනිදැල්, ලෝදිය, යම රාක්‍ෂසයන්, නපුරු සතුන් ආදිය අරමුණු විය හැකිය. තිරිසන් යෝනියේ උපදින අයට සත්වයන්, කැලෑ ආදිය අරමුණු විය හැකිය.

මෙම අරමුණු වීම සෑම සත්වයකුටම සිදු වේ. හදිසි අනතුරකින්, බෝම්බ පිපිරීමකින් ආදියකින් මරණයට පත්වන පුද්ගලයාට පවා ඉතා ක්‍ෂණිකව මෙම අරමුණු වීම සිදු වේ. ශල්‍යකර්මාදියකදී මරණයට පත්වන පුද්ගලයකුට, හදිසි අනතුරු ඒකකයක සිටියදී මරණයට පත්වන පුද්ගලයාට පවා සිය මනසට මෙම අරමුණු වීම සිදුවන බව සැලකිය යුතු.

මේ අනුව මරණාසන්න අවස්ථාවේ අරමුණු වන කර්මය, කර්මනිමිත්ත, ගතිනිමිත්ත අනුව ඔහුගේ මරණාසන්න අවස්ථාව තීරණය වේ. කිසියම් කුසලයකට අදාළව කර්මයක් හෝ කර්මනිමිත්තක් හෝ ඒ අනුව සුගතියේ උපදින ස්ථානය පිළිබඳ ගතිනිමිත්තක් හෝ අරමුණු වන පුද්ගලයාගේ මරණාසන්න චිත්තපරම්පරාව කුසලයට නැඹුරු වේ. අකුසලයකට අදාළව කර්මයක් හෝ කර්මනිමිත්තක් හෝ අපායෝත්පත්තිය පිළිබඳ ගති නිමිත්තක් අරමුණු වන පුද්ගලයාගේ මරණාසන්න චිත්තපරම්පරාව අකුසලයට නැඹුරු වේ.

සත්වයන්ගේ සිත් ඇතිවීම අතීත කර්මයෙන් හටගත් වස්තු රූපය ආධාර කරගෙන සිදුවන අතර ඒ වස්තුරූප පරම්පරාව සිඳී ගියහොත් නැවත ඒ ශරීරය ආධාර කරගෙන සිත් ඇති නොවේ. එවිට මරණය සිදු වූවා නම් වේ. මරණාසන්න අවස්ථාවේ ඒ වස්තුරූප පරම්පරාවන් සිඳී යන්නට ඉතා ආසන්න බැවින් ඒ ශරීරය ආධාර කරගෙන ඇති වන අන්තිම සිත් කිහිපය හෙවත් මරණාසන්න චිත්ත වීථිය ඇති වේ. ඉන්පසු වස්තුරූපය සිඳී යන අතර නැවත ඒ සිරුරේ සිත් ඇතිවීමක් සිදු නොවේ. මේ අවස්ථාවේ චිත්තවේගය ඉතා හීන බැවින් ප්‍රකෘතියෙන් මෙන් ජවන සිත් සතක් (7) ඇති නොවන අතර ජවන සිත් පහක් (5) පමණක් ඇති වේ. මෙම වීථියේ අවසානයට ඇති වන සිත ච්‍යුති චිත්තය නම් වේ. මෙම මරණාසන්න සිත් වලට අරමුණ වන්නේ ඒ මොහොතේ අරමුණු වූ කර්මය, කර්මනිමිත්ත හෝ ගතිනිමිත්ත යන තුනෙන් එකකි. ඒ අනුව මරණාසන්න ජවන් සිත් කුසල හෝ අකුසල සිත් බව තීරණය වේ.

ච්‍යුති සිතෙන් පසු නැවතත් එම ශරීරයේ සිත් ඇති වීමක් සිදු නොවන නමුදු සිත් පරම්පරාව නොසිඳී පවතී. ච්‍යුති සිත නිරුද්ධ වීමත් සමඟම මරණාසන්න අවස්ථාවේ ගත් අරමුණම ගනිමින් විපාක දීමට ඉදිරිපත්ව තිබූ කර්මයාගේ විපාක වශයෙන් වෙනත් තැනක ඊළඟ ජාතියේ පළමුවන සිත හෙවත් ප්‍රතිසන්ධි සිත ඇති වේ. එය සත්වයාගේ නැවත ඉපදීම නම්වේ. ඒ ප්‍රතිසන්ධි සිත වර්තමාන භවයෙන් අනාගතයට ගිය එකක් නොව වර්තමාන සිත් පරම්පරාවටම අයත් අලුත් සිතකි. ඒ ච්‍යුති-ප්‍රතිසන්ධි සිත් දෙක අතර ඇත්තේ චිත්තක්‍ෂණයක කාලය පමණි. එබැවින් මරණයට පත් වූ පුද්ගලයා ඒ මොහොතේම අලුත් භවයක ඉපදීම සිදු වේ. ඒ අතර උපතක් සොයමින් සැරිසරන කාලයක් නැත. මෙසේ සත්වයන් කර්මානුරූපව උපත ලබන සියලුම ස්ථාන සුගති, දුගති වශයෙන් දෙයාකාරයකින් දැක්විය හැකි වේ.