Monthly Archives: December 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2tJyK1n
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 110 🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 05

🌺 වෙස්සන්තර බිළිඳා හට විශ්වයෙන් ලද තිළිණය වූ ස්වෙතවර්ණ හස්ති රාජයා.

පසුගිය කලාපයේ වෙස්සන්තර කුමරු මෙලොව පහල වීම සහ එදින සිදු වූ විශේෂ ආශ්චර්යමත් සිදුවීම් ගැන ලීවා. ඒ වෙස්සන්තර කුමරුගෙ පැත්තෙන් සහ මෑණියන්ගේ පැත්තෙන් සිදු වූ දේ. දැන් කියන්න යන්නේ විශ්වයෙන් වෙස්සන්තර බිළිඳාට ලැබූ ආශ්චර්යක්ම තෑග්ග ගැනයි.

එදා හරිම ලස්සන දීප්තිමත් දිනයක්. අහසින් ලොවට සුර්යය නැගී ආවේ ලොවට තවත් අලුත් ත්‍යාගයක් රැගෙන. එදා ජෙතුත්තර නගරය මහා මංගල්‍යයකට සරසලා වගේම සරසලා තිබුනා. විශේෂයෙන්ම වෙස්සන්තර කුමරා උපන් වෙළඳ වීථිය. හරියට කුමරාගේ අභිෂේකය පිණිස සරසලා වගේ. බිළිඳා වෙළද විථියේ උපත ලබන විටම තවත් ආශ්චර්යයක් කාටත් හොරා තව තැනක සිදු වුනා. ඒ කුමරා උපන් මොහොතේම අහසෙහි හැසිරෙන එක් ඇතින්නක් අතිශයින් මංගල සම්මත වූ සම්පුර්ණයෙන් ස්වෙතවර්ණ වූ හස්ති පෝතකයෙකු ගෙනවුත් මගුල් ඇතුගේ අසළින් තබා අහසට නැග යන්නට ගියා. ඒ තමයි ඒ මහා විරයනන්හට සක්වලින් ලද ත්‍යාගය කියා මට හිතෙනවා. ඒ හස්ති පෝතකයා බෝධිසත්වයන් වහන්සේ ප්‍රත්‍ය කොට උපන් බැවින් “පච්චය” යැයි නම් කරනු ලැබුවා. ඒ හස්ති රාජයා විශේෂයි. මහා භාග්‍යවන්තයි. ඔහු ඉන්නා රාජ්‍යය සියලු යස ඉසුරෙන් පිරෙනවා. කිසි දිනක දුර්භික්ෂයක් ඇතිවන්නේ නැහැ. ඒ වගේම මහා සද්දන්තයි. සුදු වර්ණයෙන් යුක්තයි. එම හස්ති රාජයා එතරම්ම භාග්‍ය සම්පන්න වූ නිසා ඔහුට ආභරණ පළදනා පැළඳුවේ සක්විති රජ කෙනෙකුට වගේ. ඔබ දන්නවා අපි අපේ දන්තධාතුන් වහන්සේ වැඩම කරන රාජා ඇත්රාජයාට කොතරම් ගරුබුහුමන් දැක්වූවාද කියලා. මේ හස්ති රාජ්‍යා වෙස්සන්තර කුමරුත් සමග එකට වැදෙන්න වුනා; ඔහිට පලන්දපු ආභරණ ගැන මෙහෙම විස්තරයක් අටුවාවල තියෙනවා.

🌺 පච්චය හස්තිරාජයාගේ ආභරණ වල වටිනාකම සහ පිරිවර.

🌸ඇතාගේ පා සතරෙහි ඇති සැරසිලි හාරලක්ෂයක් වටිනාකමින් යුක්තයි.
🌸දෙපැත්තේ ඇති ඒවා ලක්ෂ දෙකක් වටී.
🌸උදරය යට කම්බිලිය ලක්ෂයක්.
🌸පිටෙහි මුතු දැල රත්‍රන් දැල මැණික් දැල යන දැල් තුන තුන් ලක්ෂයක වටිනාකමින් යුක්තයි.
🌸දෙකන්හි ඇති ඝණ්ටා දෙක ලක්ෂයක්.
🌸පිටෙහි අතුරා ඇති කම්බිලිය ලක්ෂයකි.
🌸කුම්බස්ථල අලංකාර ලක්ෂයකි.
🌸හිස්පලදනා තුන තුන්ලක්ෂයක් වටී.
🌸කණෙහි සුළු පලදනාව ලක්ෂ දෙකකි.
🌸දළ දෙකේ සැරසිලි ලක්ෂ දෙකකි.
🌸සොඩෙහි ස්වස්තික අලංකාරය ලක්ෂයක් වටී.
🌸අනර්ඝ වූ භාණ්ඩ හැර පිටට නැගීමට ඇති ආධාරකය ලක්ෂ විසිදෙකකි.
🌸නගින හිණිමග ලක්ෂයකි.
🌸ඇතාට ආහාර දෙන කටාරය ලක්ෂයකි.

🌸ඊට අමතරව සේසතෙහි මත්තෙහි මාණික්‍යය, අංකුසයෙහි මණික, ඇතාගේ ගෙලෙහි වෙළන මුතුහරෙහි මාණික්‍ය, අත්කුඹෙහි මාණික්‍ය, යන මේ ඉතා අනර්ඝ මැණික් හා අනෙකුත් ආභරණ වල මිල සඳහන් නැත.
🌸 ඒ විතරක් නොව ඔහුව රැකීමට ඇත්ගොව්වන් පන්සියක්ද , එසේම ඇතාගේ ආවතේව සදහා පන්සියයක් කුල අත්වෙදුන් ගෙන්ද සමන්විත වුනා.

🌺 මිහිරි කිරි ඇති කිරි මවුවරු.

බෝසත් බිළිඳා අනේකවිද සම්පත් මැද වැඩෙන්නට වුනා. බිළිඳාට කිරිදීම සඳහා අති විශේෂ කිරිමවුවරු හැටහතර දෙනෙක් යොදවා තිබ්බා. ඒ අයට තිබිය යුතු විශේෂ දේහ ලක්ෂණ තිබුණා. ඒ විතරක් නෙවෙයි. ඒ මවුවරුන් ගේ කිරි උසස් මිහිරි රසයෙන් යුක්ත විය යුතු වුනා. ඒ එක්කම බෝසතාණන් වහන්සේ සමග දෙවුලොවින් පැමිණ මැති ඇමති වරුන්ගේ නිවෙස්වල ඉපදුන අනෙකුත් හැටදහසක් වූ පිරිසටත් එවැනිම අතිවිශේෂ කිරිමවුවරු යොදවනු ලැබුවා. මේ සියල්ලම අප මහා බෝසතාණන් වහන්සේ සසරේ වැඩු දාන පරමිතාවන්හි ප්‍රතිඵල හැටියට තමයි මට හිතෙන්නේ. මෙලෙස රජකුමරා හැටදහසක් රාජකුමාරවරු සමග මහත් සැපසම්පතින් වැඩෙන්නට වුනා.

❤💚💛 පුණ්‍යානුමෝදනාව – මෙහි බොහෝ කොටස් මා හට ලිවීමට උපකාරකරන නම සඳහන් කරනවාට අකමැති කල්‍යාණ මිතුරියට. මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. ❤💚💛🧡

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
23-12-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/34FWIHp
බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීම

බුදුරජාණන් වහන්සේට කරන ගෞරව කරන ක්‍රම තුනකි

1. වැඳීම
2. පිදීම සහ
3. ප්‍රතිපත්තියයි

මෙයින් වන්දනාව වශයෙන් කරන ගෞරවය, ප්‍රණාමය, අභිවාදනය, නමස්කාරය, අංජලීකරණය, සහ වැඳීම යන නොයෙක් නම්වලින් ව්‍යවහාර කරනු ලැබේ. මෙම වන්දනා ගෞරවයද කොටස් තුනකට බෙදෙයි.

1. කාය වන්දනාව
2. වචි වන්දනාව
3. මනෝ වන්දනාව යනුවෙනි.

බුදුරජාණන්වහන්සේ විසින් එම වන්දනා පහත සඳහන් ආකාරයට විස්තර කර වදාළහ.

‘තිස්සො ඉමා භික්ඛවේ වන්දනා , කතමා තිස්සො?

කායෙන, වාචාය, මනසා, ඉමා ඛො භික්ඛවෙ

තිස්සො වන්දනා’
මහණෙනි, මේ වැදීම් තුනකි. ඒ තුන කවරේද?

කයින් වැඳීමයි, වචනයෙන් වැඳීමයි. සිතින් වැඳීමයි යන මේ තුනයි.

කාය වන්දනා යනුවෙන් අදහස් කරන්නේ බුදුගුණ ආදිය අරමුණු කරගෙන කාය විඤප්තිය ඇතිකොට කාය ද්වාරයෙන් උපදින්නා වූ අට වැදෑරුම් කාමාවචර කුසල චේතනාවන්ගෙන් එක්තරා එකක් ඉපදවීමයි.

වචනයෙන් වැඳීම (වාග් වන්දනය) – වාග් විඥප්තිය ඇතිකරගෙන වාග් ද්වාරයෙන් උපදින අෂ්ට කාමාවචර කුසලයන්ගෙන් එකක් ඉපදීම වාග් වන්දනයයි.

මනෝ වන්දනය (සිතින් වැඳීම) – කාය, වාග් විඥප්තිය නොඋපදවා මනෝ ද්වාර වශයෙන් ම උපදින්නා වූ කුසල චේතනාව මනෝ වන්දනාවයි.

කාමාවචර කුසල් අට (මහා කුසල් අට)

1. බලවත් ශ්‍රද්ධාව
2. සම්‍යක් දෘෂ්ටිය
3. ධාර්මික ධන සම්පත්තිය
4. සිල්වත් ප්‍රතිග්‍රාහක සම්පත්තිය
5. සෝමනස්ස (සතුටු) කුසල සිතකින් උපත ලැබීම
6. ප්‍රතිරූප දේශ වාසය
7. කල්‍යාණ මිත්‍ර සේවනය
8. විපත් වලින් මිදුණු යහපත් කාල සම්පත්තිය යනු ඒවාය.
‘භය සම්මෝහ දුද්දිට්ඨි – පණ මොනෙස සබ්බථා
පඤ්ඤා පුබ්බ_ග මො එසො – පණමොති නිදස්සිකො’

තෙරුවන් කෙරෙහි පවත්වනු ලබන මෙම වන්දනාවේදී භය, මුලාව, මිථ්‍යා දෘෂ්ටිය යන කරුණු වලින් යුක්ත වීනම් එය නියම වන්දනාවක් නොවෙයි.

ප්‍රඥාව පෙරටු කරගෙන වැඳීම ප්‍රණාමය නම් වෙයි. එබැවින් තෙරුවන් වඳින අය විසින් තෙරුවන් යනු කුමක් දැයි තේරුම් ගෙන තෙරුවන්ගේ ගුණ දැනගෙනම එම වන්දනාදිය කිරීමට පුරුදු විය යුතුය. එසේ දැනගෙන ප්‍රඥා පූර්වාගම සිතින් යුක්තව තමන්ගේ දෙ අත් හිස මත තබාගෙන පිබිද එන නෙලුම් කැකුලක් මෙන් ඇඟිලි එක්කොට ගැනීමේදී කාය විඥප්තිය ඇතිවේ. ඒ සමගම කාය ද්වාරයාගේ වශයෙන් චිත්ත වීථියක් උපදී. ඒ කාමාවචර කුසල විත්ත වීථිය සොම්නස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික, සසංස්කාරිකාදි වශයෙන් ප්‍රකාශිත කුසල් සිත් අටින් එකකට ඇතුළත් වෙයි. ඒ ආකාරයට උපදින එම චිත්ත වීථින්ගේ චේතනාවට කාය වන්දනාව යැයි කියනු ලැබේ.

එසේම රත්නත්‍රයේ ගුණ තේරුම් ගෙන දොහොත් මුදුන් දී ‘නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස’ යනුවෙන් ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා යි කටින් ශබ්ද නගා ප්‍රකාශ කිරීමේදී වාග් විඥප්තිය උපදී. එම වාග් ද්වාර වශයෙන් අටවැදෑරුම් කාමාවචර කුසල චිත්තයන්ගෙන් එකක් උපදී.

ඒ කුසල චිත්ත විථියෙහි ජවන්වල යෙදුන චේතනාවට වචී වන්දනාව (වචනයෙන් වැඳීම) යැයි කියනු ලැබේ. එසේ කාය විඥප්ති නො උපදවා සිතින් පමණක් තෙරුවන් ගුණ සිහිකිරීමේදී මනෝ ද්වාර වශයෙන් අෂ්ටප්‍රාකාර කාමාවචර කුසල චිත්තයන් ගෙන් එකක් උපදී. එහි ඡවන්වල යෙදුන චේතනාව මනෝ වන්දනාව (මනසින් වැඳීම) යැයි කියනු ලැබේ.

මෙම වන්දනාව සත් ආකාරයකින් කළ හැකිය. ඒ මෙසේ ය.

1. පසඟ පිහිටුවා වැඳීම
2. බිම වැතිරී වැඳීම
3. දෙ දණ බිම තබා වැඳීම
4. දකුණු දණහිස පමණක් බිම තබා වැඳීම
5. වඳිනු ලබන අයගේ පතුල් මත සිරස තබා වැඳීම
6. උක්කුටුකයෙන් වැඳීම
7. සිටගෙන ඇඟිලි බැඳගෙන කරන වැඳීම යනුයි.

පසඟ පිහිටුවා වැඳීම යනුවෙන් අදහස් කෙරෙන්නේ දෙ දණ, දෙවැලමිට, නළල යන පස්තැන බිම ස්පර්ශ වන ආකාරයට වැඳීමය. අභිවාදෙත්වා (මොනවට වැඳ) යනුවෙන් සඳහන් වන්නේ මේ වැඳීමයි.

මෙය දණ්ඩ නමස්කාරය නමින් ද හැඳින්වෙයි. සුමේධ තාපසයාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන ලද්දේ මේ ආකාරයටය.

කෙසෙ මුඤචිත්වහංතාන්‍ඵ – වාකචීවරඤව චම්මකං

කලලෙ පන්ථාරිත්‍ථාන – අවකුජ්ජො නිපජ්ඡගං

මම එතැනදී හිසකෙස් මුදා වැහැරි සිවුරත් පත්කඩක් කලල් මතුයෙහි අතුරා අබොමුඛව වැඳ හොත්තෙමි යි වදාළ පරිදි ශරීරය අධෝ මුඛකොට ඒ දණ්ඩක් සේ බිම වැතිර දොහොත් මුදුන් හි තබා වැඳීම බිම වැතිරී වැඳිමයි දණ්ඩ නමස්කාරය යනු මේ වැඳීමය.

තිහච්චඡානුං වන්දිත්වා – සම්මුඛා අඤජලිං අකා

එහි භද්දෙති අවච – සාමෙ ආසුපසම්පදා

මගේ දණහිස් බිම තබා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි ඇඳිලි බැන්දෙමි. එකල්හි භද්‍රාවෙනි එවයි මට වදාළහ. ඒ වචනයම මගේ උපසම්පදාව වී යැයි ප්‍රකාශ කළ ආකාරයට ඒ සුමේධ ස්ථවිරින් ලෙස වැඳීම දෙදණ බිම තබා වැඳීමයි.

අථඛො බ්‍රහමා සහම්පති ඒකංසං උත්තරාසංඛගං කරිත්වා

දක්ඛිණං ජානු මණ්ඩලං පුථුවියං නිහනත්වා යෙන භගවා

තෙනඤජලිං පණමත්තා භගවන්තං එතද වොච

එකල්හි සහම්පති බ්‍රහ්මතෙම උතුරු සළුව එකස් කොට දකුණු දණ මඩල පොළවෙහි පිහිටුවා භාග්‍යවතුන් වහන්සේ දෙසට අඤ්ජලි ප්‍රණාමය කොට මේ කාරණය ප්‍රකාශ කළේය.

මෙයින් ප්‍රකාශ වන්නේ දකුණු දණහිස පමණක් බිම තබා වැඳීමයි.

එවං වුත්තෙ බුහ්මායු බ්‍රාහ්මණො උට්ඨායාසනා එකංසං

උත්තරා ස_ගං කරත්වා භගවතො පාදෙසු සිරසා

නිපතත්වා භගවතො පාදානි මුඛෙනච පරිචුම්බති

පාණිහිච පරිසම්බාහති

මෙසේ වදාළ කල්හි මහා බ්‍රහ්ම තෙමේ අසුනින් නැගිට උතුරු සළුව එකස් කොට බුදුරජාණන් වහන්සේ ගේ සිරිපතුල් මත හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේ ගේ් ශ්‍රී පතුල් මුවින්ද හාත්පසින් සිඹී. දෙ අතින් ද හාත්පසින් පිරිමදි යනුවෙන් දක්වෙන්නේ වඳිනු ලබන්නා ගේ පතුල් මත සිය සිරස තබා වැඳීමයි.

පඨමං කෙස මස්සුං ඩහාරා පත්වා කාසායානි චත්ථානි

අවිජාදා පෙත්වා එකංසං උත්තරාස_ගං කාරා පෙත්වා

භික්ඛුනං පාදෙ වන්ද්‍රපෙබා උක්කුටිකං නිසීදා පෙත්වා

අඤජලිං පග්ගණහා පෙත්වා එවං වදෙහිති වත්තුබෙබා

පළමුව කෙස් රැවුල් හරවා කහ පිළි හඳවා උතුරු සළුව එකස් කරවා භික්ෂූන් ගේ පාදයන් වන්දවා උක්කුටකයෙන් හිඳුවා ඇඳිලි ගන්වා මෙසේ කියවයි කිව යුතුයි.

මෙයින් ප්‍රකාශ වන්නේ උක්කුටුකයෙන් වැඳීමයි.

අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤජලිංපණ මෙත්වා එකමනතං නිසී දිංසු

සමහර අය බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දෙසට ඇඳිලි බැද වැඳ එකත් පස්හි හුන්හ.

මෙයින් ප්‍රකාශ වන්නේ සිටගෙන කරන ඇඳිලි බැඳ වැදීමයි. මෙම කාය වන්දනයේ දී දොහොත් මුදුන් තබා ගෙන වැඳිය යුතුය. එසේ වැඳීමේදී සෙසු ශරීරය පවතින හැටියට මෙසේ සත් ආකාරයෙක් වන බව සිතිය යුතුය.

වාග් වන්දනාව ගුණකීම් වශයෙනුත්, මනෝ වන්දනාව ගුණ සිතීම් වශයෙනුත් ඒකාකාරව වෙයි.
.
ශාස්ත්‍රවේදී, අධ්‍යාපන ඩිප්ලෝමා
එන්. කරුණාරත්න

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2sPvqkA
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 109 🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 04

🌹 වෙස්සන්තර කුමරුගේ මවට ඇති වූ අපූරු දොළදුක.

ථුසති රාජ කන්‍යාව මහත් පිරිවර සහිතව වැඩී සොළොස් හැවිරිදි චු කළ උතුම් රූප ඇත්තියක් වුනා. ඒ කාලයේම ජෙතුත්තර නගරයෙහි සිව්මහ රජුට පින්වත් පුතෙකු ලැබුනා. ඔහු සංජය නම් වුනා. සංජය කුමාරයා හට නිසි වයස පැමිණි කල විවාහය සඳහා පින්වත් කුල කුමරියක් දෙමාපියන් විසින් සොයනු ලැබුවා. ඒ කාලේ තමයි අතිශය රූමත් ථුසති දේවිය ගැන දැනගන්න ලැබුනේ. රජවරුන් අතර පණිවුඩ හුවමාරුවෙන් පසුව මහත් වූ හරසරින් ථුසති කුමරිය කැදවා සේසත් නන්වා මහත් අලංකාර වූ පෙරහැරකින් රජමාළිගය වෙත රැගෙන විත් ඇය සොළොස් දහසක් ස්ත්‍රීන්ට ප්‍රධාන කොට සංජය කුමරුගේ අග මෙහෙසිය තනතුරෙහි තැබුවා. ඕතොමෝ සංජය රජුට ප්‍රිය මනාපම ස්ත්‍රියද වුනා.

ඒ මොහොත වන විට සක්දෙව්රජ ථුසතිදේවිය ගැන විමසිලිමත්ව සිටියේ. එවිට ඔහුට පෙනුණා ඔහු විසින් ලබාදුන් වර දහය අතුරෙන් මේ වනවිටත් වර නවයක් සමෘද්ද වී ඇති බව. “පුතුවරය සමෘද්ද නොවීය. එයද සමෘද්ද කරවන්නෙමි යි” සිතූ සක්දෙවිදුන් ඒ වන විටත් තව්තිසා දෙව්ලොව ක්‍ෂය වූ ආයුෂ ඇති බෝධිසත්වයන් වහන්සේ දැක උන්වහන්සේ සමීපයට ගොස්, “නිදුකාණෙනි, නුබ වහන්සේ මිනිස්ලොවෙහි සංජය රජුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිද ගැනීමට වටියි” යැයි කියමින් ආරාධනය කොට සිටියා. උන්වහන්සේත් එය සතුටින් පිළිගත්තා. ඒ තනිවම නොවෙයි. නිරන්තරයෙන්ම උන්වහන්සේගේ පසුපසින් පැමිණි සැටදහසක් වූ (බුද්ධ) පිරිවරද සමග. දෙව්ලොවින් චුත වන්නාවූ අනිකුත් හැටදහසක් දිව්‍ය පුත්‍රයන්ගෙන්ද ප්‍රතිඥා ගෙන ශක්‍ර රාජයා ශක්‍ර භවනයටම ගියා. බෝධිසත්වයන් වහන්සේ ද එතනින් චුතව පිරිවර සමගින්ම මෙළොව උපන්නා.

බෝසතාණන් වහන්සේ රජ මැදුරේත් සෙසු දිව්‍ය පුත්‍රයෝ හැට දහසක් අමාත්‍යවරුන්ගේ නිවෙස් වලත් උපන්නා. බෝධිසත්වයන් කුස පිළිසිද ගත් විට ථුසති දේවියට අන් ස්ත්‍රියකට පහල නොවෙන සුවිසේසි දොළදුකක් පහල වුනා. ඒ ප්‍රධාන නගර දොරටු හතරෙහි ද නගරය මැද ද රජවාසල දොරටුවෙහි ද වෙන් වෙන් වශයෙන් දාන ශාලා හයක් කරවා දිනපතා හය ලක්ෂයක් වියදම් කොට දන් දීමටයි. රජතුමා එතුමියගේ දොළ දුක අසා නිමිති දන්නාවූ බ්‍රාහ්මණයන් කැදවා මේ ගැන විමසා සිටියා. ඔවුන් “මහරජ දේවියගේ කුසෙහි දානයෙහි ඇලුම් ඇති උදාර සත්වයෙක් පිලිසිදගත්තේය ඔහු දානයෙන් තෘප්තියට නොපමිනේන්නේයැයි” යැයි පවසනු ලැබුවා. එය අසා මහත් වූ සතුටට පත් වූ පින්වත් රජතුමා අග මෙහෙසිය කි පරිදීම තම රාජධානියේ ස්ථාන සයක දාන පොළවල් පිහිටවනු ලැබුවා.

ශ්‍රමණ බ්‍රාහ්මණයන්, මහල්ලන් රෝගීන්, දුගී මගී යාචකයින් මෙම රාජකීය දානය අනුභව කොට අතිශයින් සතුටු වුනා වගේම ඔවුන්ව සතුටු කරවනු ලැබුවා. බෝධිසත්වයන් වහන්සේ පිළිසිදගත් දින පටන්ම රජුගේ ආදායම මෙතෙකැයි ප්‍රමාණ කල නොහැකි වුනා. උන්වහන්සේගේ පුන්‍යනුභාවය නිසාම කොතරම් දනට පිනට දුන්නත් රාජකීය වත්කම්වල අඩුවක් සිඳීමක් වුනේම නැහැ. එතුමන්ගේ පුන්‍යනුභාවයෙන් සියලු දඔදිව රජවරු නිරන්තරයෙන්ම තුටු පඩුරු එවන්නට වුනා. බෝසතුන් වහන්සේගේ තේජසින් රජබිසව දාන වස්තු පරිත්‍යගයේගී ඇලුණු ස්ත්‍රියක් වුනා. ධනය නැති අයට ද ලෙඩුන්ටද, වයස් ගත වුවන්ටද, යාචකයන්ටද, මගී ජනයාටද, කිසිවක් නොපතන මහණ බමුනන්ටද, ධනයෙන් පිරිහුණු මිනිසුන්ටද, දිනපතා දන් දුන්නා. මෙය ලියනවිට මටත් එලෙසම දන් දෙන්නට ඇත්නම් යන මගේ සිතේ නිරන්තරයෙන්ම ඇති ආශාව නැවතත් ලියලන්නට පටන් ගත්තා. ඔබටත් එසේම විය යුතුයි.

දේවිය මහත් ආරක්ෂාවෙන් යුක්තව ගැබ දරන්නී දසමසක් පිරුණු කල්හි නගරය දකිනු කැමති වී රජුට ඒ බව දන්වා සිටියා. රජතුමා නගරය දෙවු පුරයක් මෙන් අලංකාර කෙරෙවුවා. හරියට අර ගුත්තිල කාව්‍යයේ වර්ණනා කරන නගරය වගේම වෙන්න ඇති. ඇයව ඉතාමත් අලංකාර වූ රථයක නංවා වීථි සංචාරය කෙරෙවුවා. ඇය එම නගරයේ ප්‍රධාන වෙළඳ වීදිය සංචාරය කරන අතර තුරදී ඇගේ කර්මජ වාතය කම්පා වුනා. ඇමතියෝ රජුට ඒ බව දන්වා සිටියා. රජතුමා වෙළදුන්ගේ විදියෙහිම ඇයට සුතිකාගාරයක් කරවා එයට මහත් වූ ආරක්ෂාවක්ද පිහිටෙවුවා. ඇය එහිදී ඇය ඒ භාග්‍යවන්ත පින්වත් බෝසත්කුමරා මෙලොවට බිහිකරනු ලැබුවා. වෙළදුන්ගේ වීදියෙහි උපන් බැවින් ඒ පුත් කුමරාට වෙස්සන්තර යන නම තැබුවා. ඒ නිසා බෝසතුන්වහ්න්සේගේ නාමය මවගේ පරපුරෙන්ද පිය පසින්ද ලද දෙයක් නෙවෙයි.

අප මහා බෝධිසත්වයන්වහන්සේ මව් කුසින් නික්මෙන මොහොතේම පිරිසිදු වුවෙක්ව ඇස් දල්වා බිහිවුනා. පිරිසුදු කරන්නට දෙයක් තිබුනේ නැහැ. බිහි වූ ඇසිල්ලෙහිම මව දෙසට අත දිගුකොට “මෑණියෙනි, දානයක් දෙන්නෙමි. කිසිවක් ඇත්තේදැයි” විමසන්නට වුනා. එවිටම ඔහුගේ මෑණියෝ “දරුව, කැමති පරිදි දන් දෙවයි” දහසක් ඇති පසුම්බියක් තැබුවා.

අප මහා බෝධිසත්වයන්වහන්සේ වනාහි උම්මග්ග ජාතකයෙහි ද, මෙම ජාතකයෙහි ද, අවසාන ආත්ම භවයෙද, යන අවස්ථා තුනෙහි දීම උපන් ඇසිල්ලෙහිම කථා කළා. ඒ සිගිති හඬ රිදී සීනු හඬ මෙන් දෙවුලොව කරා පැතිර යන්නටත් ඇති. සක්දෙවිඳු කොතරම් සතුටු වෙන්නට ඇතිද? අප කොතරම් භාග්‍යවන්තද එවැනි බෝධිසත්වයන් වහන්සේ නමක් අපගේ සාස්තෘන්වහන්සේ වීමට.

සාදු සාදු සාදු !!!

❤💚💛 මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. ❤💚💛🧡

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
20-12-2019