Monthly Archives: January 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2RrZw7Q
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 125🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 20
කහවනු සියයක ණය හිලව් කිරීමට ජූජක මහලු බමුණාට පාවා දුන් තරුණ රූමතිය.

වෙසතුරු රජ ඇතුළු පවිලේ සියලු දෙන තපස් පැවිද්දෙන් පැවිදිව එලෙස බ්‍රහ්මචාරී ජිවිතයක් ගත කරද්දී තවත් පදෙසෙක ඔබ අප අසා ඇති තවත් අතීත වෘතාන්තයක් මෙලෙස ආරම්භ වෙමින් පැවතුණ.

🌺 කහවනු සියයක ණය හිලව් කිරීමට ජූජක මහලු බමුණාට පාවා දුන් තරුණ රූමතිය.

ඒකාලයේ කලිගු රටේ දුනනිවිටඨ නම් බ්‍රාහ්මණ ගමෙහි වැසියෙකු වූ ජූජක නම් බ්‍රාහ්මණයෙක් සිගාකෑමෙන් ජීවත්වුණා. ඔහු සිගාකෑමෙන් ලැබූ කහවණු සියයක් ආරක්ෂාව පිණිස එක්තරා බ්‍රාහ්මණ ගෙදරක තබා නැවත මුදල් සෙවීම සදහා පිටත්වුනා. ඔහු ආපසු ඒමට කල්ගත වූ නිසා බ්‍රාහ්මණ ගෙදර අය තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වලට පරිස්සමට තැබූ කහවණු වියදම් කරගත්තා. පසුව මුදල්හිමියා අවුත් මුදල් නැති බව පිළිබදව චෝදනා කරද්දී මුදල් දීමට නොහැකි නිසා අමිත්තාතාප නම් තම දියණියව ඔහුට ඒ සඳහා හිලවු වීමට පාවාදුන්නා. ඔහු ඇයවත් රැගෙන කලිගු රටේ දුනනිවිටඨ නම් ගමට ගොස් අලුත් දිවියක් ආරම්භ කළා.

🌺 ජූජක මහලු බමුණාගේ තරුණ බිරිඳට ගමේ අනෙකුත් ගැහැණුන් නින්දා පරිභව කිරීම.

ඇය අමිත්තාතාපාව බ්‍රාහ්මණයාට ඉතාමත් හොදින් සැළකුවා. අනෙක් තරුණ බමුණෝ ඇගේ ආචාරශීලි බව දැක “මේ තැනැත්තිය මහළු බමුණකුට සත්කාර කරන්නීය.නුබලා අප කෙරෙහි කුමක් නිසා එසේ නොකරන්නාහුදැයි” තමන්ගේ බිරින්දන්ට තර්ජනය කරන්නට දොස් කියන්නට පටන්ගත්තා. එයින් කිපුණු ඒ කාන්තාවෝ මේ අමිත්තාතාපාව ගමෙන් පැන්නිය යුතුයයි සිතා ගංතොට ආදී තැන්හිද රැස්වී ඇයට නින්දා කරන්නට පටන්ගත්තා. ඒ කාන්තාවෝ දිය ගෙනෙන්නට ඔයට ගිය ඒ අමිත්තතාපාව පිරිවරාගෙන මෙසේ ඇනුම් පද කියන්නටත් පරිභව කරන්නටත් වුනා.

“මෙවන් ළදරු බව ඇතිකල්හි යම්කෙනෙක් තී මේ දිරාගිය මහල්ලාට දුන්හුද තිගේ ඒ මව සැතිරියකයි සිතම්හ. තිගේ ඒ පියා සතුරෙකයි හගිම්හ.

මෙවන් ළදරු බව ඇතිකල්හි යම්කෙනෙක් තී මේ දිරාගිය මහල්ලාට දුන්හිද තිගේ ඒ නෑයෝ රහසිගත් තිට අවැඩක් මන්ත්‍රණය කළාහු විය යුතුය.

මෙවන් සොදුරු ළදරු බව ඇතිකල්හි යම්කෙනෙක් තී මේ ජරාජීර්ණ මහල්ලාට දුන්හුද තිගේ ඒ නෑයෝ රහසිගත තිට අවැඩක් මන්ත්‍රණය කළාහු විය යුතුය.

මෙවන් සොදුරු ළදරු බව ඇතිකල්හි යම්කෙනෙක් තී මේ ජරාජීර්ණ මහල්ලාට දුන්හුද තිගේ ඒ නෑයෝ රහසිගත තිම දුෂ්කරයක් මන්ත්‍රණය කළාහු විය යුතුය.

මෙවන් ළදරුවිය ඇතිකල්හි යම්කෙනෙක් තී මේ ජරපත් මහල්ලාට දුන්හුද තීගේ ඒ නෑයෝ රහසිගතව තිට පව්කමක් මන්ත්‍රණය කළාහු වන.

මෙවන් තුරුණුබව ඇතිකල්හි යම්කෙනෙක් තීමේ දිරාගිය මහල්ලාට දුන්හුද තිගේ ඒ නෑයෝ එකලා වැහිද තිට අමනාපයක් මන්ත්‍රණය කළාහු විය යුතුය.

මෙවන් ළදරුබව ඇතිකල්හි නොමනා විසීමක් වසන්නෙහි යම්බදු තෝ මහල්ලාගේ ගෙහි වාසය කෙරෙහිද ඒ තිගේ ජිවිතයට වඩා මරණය උතුම්ය.

කල්‍යාණ වූ සොදුරිය, මෙවන් තරුණ බව ඇති කල්හි තී යම් කෙනෙක් මහල්ලාට දුන්හුද ඒ තිගේ මවුද ඒ තිගේ පියාද තිට අනික් සැමියකු නොලත්හයි සිතම්හ.

මෙවන් දහර බව ඇතිකල්හි තී යම්කෙනෙක් මහල්ලාට දුන්හුද ඒ තී විසින් නවමි යාගය නපුරුකොට පුදන ලද වන තී විසින් ගිනිපුජා නොකරනලද්දේ වින.

මෙවන් තරුණ බවක් ඇතිකල්හි යම්බදු තොප මහල්ලාගේ ගෙහි වාසය කෙරෙහිද, ඊට හේතුව තොප මිට පෙර අත්මභවයන්හි ලෝකයේ බඹසරෙහි නියැලී සිල්වත් බොහෝ අසුපිරූ තැන් ඇති මහණ බමුණන්ට අක්‍රෝෂ කල නිසාවෙනි..

නයකු විසින් නසන ලද්දේ දුක් නොවෙයි. සැතින් පහරන ලද්දේ දුක් නොවෙයි.යම් ස්ත්‍රියක් මහළු සැමියකු දකීද හේ මැ දුක්ද තියුණු දුක්ද වෙයි.

මහළු සැමියා සමග ක්‍රීඩාවක් නැත. කාමරතියක් නැත. අල්ලාප සල්ලාපයක් නැත. සිනාවද නො හොබී. යම්කලෙක තරුණයාද තරුණියද දෙදෙන රහසිව හිද රහස් කියද්ද එසද ඔබලාගේ ළය ඇසුරුකළ යම්කිසි ශෝක කෙනෙක් ඇද්ද ඒ හැම ශෝකයන් නසිති.

තෝ ළදැරියෙහි රූමත්ය.පිරිමින් විසින් වෙසෙසින් පතන ලදුවහු නැගී යන්න.නෑයන්ගේ ගෙයි වසන්න.මහල්ලා කෙසේ නම් තී රමණය කරන්නේද ?

ඇය ඔවුන් ඉදිරියේ මෙලෙසින් අපහාස විද දියකළයද ගෙන හඩමින් නිවස වෙත පැමිණියා. සොදුරිය අඩන්නේ ඇයිදැයි බමුණා විසින් විචාරණ ලද්දී ඔහුට ඒ බව දන්වමින් මෙලෙස හඬා වැටෙමින් කියන්නට වුනා.

” බමුණ තොප මහලු හෙයින් ගැහැණු මට නින්දා කරති. එහෙයින් බමුණ තොපට දිය ගෙනඒමට ගගට නොයමි.”

එවිට බමුණා ඇයව සනසමින් මෙලෙස කියන්නට වුනා.

“තොපි මින් පසු මට මෙහෙ නොකරව. මට දියගෙන ඒමද නොකරන්න. මම දිය ගෙනෙමි. ඔබ නොකිපෙන්න. ”

හරිම පුදුමයි, මෙම කාන්තාව ගැන අප මිට පෙර අසා තිබුනේ මේ අයුරින් නෙවෙයි. නපුරු දුෂ්ඨ මහල්ලාගෙන් වැඩගත් වංක කතක් ලෙසයි. එත් ඒ සියල්ල මේ සටහන කියවන ඔබට බොරු යැයි වැටහේවි. ඇත්තෙන්ම තමාගේ ස්වාමිපුරුෂය වයෝවෘද්ද මහල්ලෙක් වුවත් ඇය ඔහුට හැම යුතුකමක්ම ඉෂ්ඨ කලේ අවංක කීකරු බිරිඳක් ලෙසින්. එත් ඒ හැම දේම වෙනස් කලේ අපිරිසිදු සමාජය. අපට මෙම කතාව කියා දුන්නෙත් එවැනිම සමජයක් සත්‍ය වසාලමින්.

🌺 ගැහැණුන් ගේ අපවාද නිසා පොදු ස්ථාන වලට නොහැකි බැමිණිය ඒ සඳහා සේවකයන් ඉල්ලීම.

එම කාන්තාව කෙලෙසින්වත් ඔහුගෙන් වැඩ කරවගන්නට කැමති වුනේ නැහැ. ඇය විසින් සැළකුවේ එය ඇයට කරන මදිපුංචි කමක් ලෙස. ඔහුගේ ඉල්ලීම එක හෙළා ප්‍රතික්ෂේප කල ඇය මෙලෙස කියන්නට වුනා.

යම්හෙයකින් ඔබ මා වෙනුවෙන් දිය ගෙනෙන්නේනම් මා හට බැල මෙහෙවරකම් කරයි නම් මම සැමියාගෙන් වැඩගන්නා එවන් කුලෙයෙහි නුපන්මු. බමුණ, ඔබ එසේ කරනු ලැබුවහොත් මම ඔබගේ ගෙයි නොවසන්නෙමි. එම නිසා මා හට බමුණ ඉදින් දාසයකු හෝ දාසියක හෝ නොගන්නාහු නම් තොප කෙරෙහි නොවසන්නෙමි. යම් කුලයක ස්ත්‍රීන් ස්වාමියන්හට වදකරත් ද මම එබදු කුලයක නුපන්නේ වෙමි. යම් හෙයකින් ඔබ ජලය ගෙනෙන්නේද මට එයින් වැඩක් නැත. බමුණ දැනගනුව, එසේ වුවහොත් මම ඔබට රුචිනොවන දෙයක් කරමි. එවිට ඔබ දුක් වන්නේය. යම්කලෙක සෘතු සම්බන්ධයේදී පවත්නා සැණකෙළියේ ස්වර්නභරණයෙන් සැරසුණු මා අන් පිරිමින් හා රමණය කරන්නී දක්නහුද ඒ තොපට දුක්වන්නේය. මා නොදැක්මෙන් හඩන්නාවූ මහළු තොපගේ කුදු බව බොහෝ වන්නේය. පැසුණු කෙහෙද බොහෝ වන්නේය.

එය අසා සිටි බමුණා බොහෝ අසරණ වුනා. ඔහු ඇයට මෙලෙස කිවා.

“බැමිණිය, මා සතු ශිල්පයක් හෝ ධනයක් නැත . මම කෙසේනම් තිට දාසයක් හෝ දාසියක් ගෙනෙන්නෙම් ද? මම තිට මෙහෙ කරමි. පින්වතිය, කෝප නොවන්න.”

🌺 වෙස්සන්තර රජුගේ දරුවන් මෙහෙකාර කමට ගෙනෙන්න යැයි ජූජක බමුණා පිටත්කර යැවීම.

එහෙත් ඒ බසට ඒ තරුණ ස්ත්‍රිය කීකරු වුයේ නැහැ. ඇය මෙලෙස ඔහුට උපාය මාර්ගයක් කියාදුන්නා.
බ්‍රාහ්මණය, යම්සේ මා විසින් තෙපුලක් අසන ලදදඑය මම ඔබට කියමි. සියල්ල දන් දෙන වෙසතුරු මහරජ, වංකගිරියේ වසයි. බමුණ ඔබ එහි ගොස් ඔහුගෙන් දාසයකු හෝ දැස්සක ඉල්ලව. එවිට ඒ රජ තොපට දාසයකුද දාසියකද දෙන්නය. වෙස්සන්තර සමීපයට ගොස් දාසයකු හෝ දාසියක නොගේන්නාහු නම් තොපට රුච්නොවන දෙයක් කරන්නෙමි. ඒ අසා බ්‍රාහ්මණය තව තවත් බිය විය.

අවසානයේ අයගේ තර්ජන බියවැද්දීම් සහ ආදරය හමුවේ ඒ මහලු බ්‍රාහ්මණය තව තවත් බිය වුනා. ඉක්බිත ඒ බමුණා බියපත්ව බැමිණියගේ වයසට සහ කාමරාගයෙන් පෙළන ලදුව බැමිණියට මේ කාරණය කිවා.

“බැමිණිය තෙපි සංකුල නම් වූ කැවිලි ද සකුරුනම්වූ කැවිලිද මානව සෑදු අත්වටද අත්සුණු ද බත්මුලක් ද මට මග උපකරණ ලෙස දෙන්න.සමාන කුල ඇති කුමරුවන් දෙදෙනකු තොපට දාසයන් පිණිස ගෙනෙන්නෙහි ඔවුහු දිවාරාත්‍රී නොමැළිව තොපට මෙහෙ කරන්නාහ. ඇයද වහා මාර්ගෝපකරණ පිළියෙළ කරදී බ්‍රාහ්මණයාට දැන්වූවා. ඔහු යාමට පෙර ගෙයි දුබල තැන් ශක්තිමත් කර දොර අලුත්වැඩියා කර වනයෙන් දර ගෙනවුත් කළයෙන් පැන් ගෙනවුත් සියළු භාජන පුරවා එහිදීම තවුස් වෙස් ගෙන, සොදුර මෙතැන් සිට අකාලයෙහි ගෙයින් පිටත නොයන්න. මා ආපසු එනතෙක් අප්‍රමාදී වන්නැයි අවවාද දී පාවහන් ගලවා මාර්ගෝපකරණ පසුම්බිය උරයෙහි එල්ලාගෙන අමිත්තතාපව ප්‍රදක්ෂිණා කොට වැද කදුළින් පිරුණු දෙනෙතින් යුතුව ජයතුරා නුවරට දසිදාසියන් සොයමින් පිටත්ව ගියා.

❤💚💛 පුණ්‍යානුමෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. සහ මගේ ආදරණීය බිරිඳට. ❤💚💛🧡
තුසිත රාජපක්ෂ
ප්‍රංශය
26-01-2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2O0FGOU
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 124🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 19

🌹 සක් දෙව් අනින් විශ්වකර්ම දෙවියන් විසින් මැවූ අසපුව🌹

🌺 වෙසතුරු කුමරු මුචලින්ද විළ අසලට පැමිණීම

මම ඔබ හට මිට පෙරද කී සක් දෙවිඳු බෝධිසත්වයන් වහන්සේට නිරතුරුවම ආරක්ෂාව රැකවරණය ලබා දුන්නා පමණක් නෙවෙයි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් පවා ඒ ඒ අවස්ථාවල ඒ ඒ ආත්මභවයන්හි ලබා දුන්නා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි ඔහු කෝටි සංඛ්‍යාත දෙවු මිනිසුන් මෙම සසරින් එගොඩකරන මතු බුදුවරයෙකු නිසා. ඒක හරියට විශ්වය තුලින්ම උන්වහන්සේට උන් වහන්සේගේ නිලයට නිල වශයෙන් ලැබූ වගකීමක් වගේමයි. එදත් ඒ වගේම ඒ ඇති රමණීය හිමවත පාමුල මුචලින්ද විල තිබු තැනි තලාව ආසන්නයට අප මහා බෝසතාණෝ නොහොත් වෙසතුරු කුමරු පැමිණියේ දරු පවුලත් සමග හිස් අතින්. සුඛෝපභෝගී රජ මාළිගාවක සිටි එම කුමර කුමරියන් ගස් ගල් යට කෙසේ ජිවත් වන්නද?

🌺 සක් දෙව් අනින් විශ්වකර්ම දෙවියන් විසින් මැවූ අසපුව

ඒ මොහොතෙහි ශක්‍ර දේවේන්ද්‍රයා අවර්ජනා කර බලමින් ඒ කාරණය දැනගෙන මහාබෝධිසත්වයන් වහන්සේ හිමවතට පැමිණ ඇතිබවත් වාසයට සුදුසු තැනක් ලැබිය යුතු බවත් සිතා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැඳවනු ලැබුවා. “දරුව, යව ඔබ වංකගිරි පර්වතය තුළ රමණිය තැනක අසපුවක් මවා එවයි” ඔහුට අණ කරනු ලැබුවා. ඒ කියූ සැනින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා එම භුමියේ පෙනී සිටියා. ඉන් අනතුරුව අඹු සැමියන් වෙනුවෙන් පන්සල් දෙකක් සක්මන්මළු දෙකක් රාත්‍රීස්ථාන, සහ දිවස්ථාන මවනු ලැබුවා. ඉන් පස්සේ සක්මන් මළුවේ කෙළවර ඒ ඒ තැන්වල නොයෙක් මල්ගස් ද කෙසෙල් වනයක් ද මවනු ලැබුවා. එලෙස සියල්ල යුගල වශයෙන් මැවුවේ ඇයිද යන්න ඔබට පසුව වැටහේවි. ඒ සියල්ල එසේ සිදුකර සියලු පැවිදි පිරිකරද සපයා දී “යම් කෙනෙක් පැවිදිවෙනු කැමැත්තේ ද මෙය ගනීවායි” අකුරු ලියා එම අසපුවට ඇතුළුවන දොරටුව මත එල්වා තැබුවේ පැමිණි සැණින් බෝසතාණන් වහන්සේට එය දැක ගැනීමටයි. ඒ සියල්ල අවසන් කර තවත් අත්‍යාවශ්‍ය කාර්යයක් ඉටුකලා. ඒය දෙවිකෙනෙකුට හැර අපහට කල නොහැක්කක්. එනම් අමනුෂ්‍යන් ද බියජනක ශබ්දයන් ද රවුද්‍ර මෘගයන් ද පක්ෂීන් ද ඉවත්කරවා එම ස්ථානය තුල ඔවුන්හට සුරක්‍ෂිතව විසිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි. එම සියලු කටයුතු නිම කල විශ්වකර්ම දෙවිදුන් ඒ වෙත පැමිණීමට අඩිපාරක්ද මවා එතැනින් අතුරුදන් වුනා.

🌺 වෙස්සන්තර කුමරු හා මද්‍රී බිසව ඇතුළු දරුවන් තවුස් වෙස් ගැනීම.

බෝධිසත්වයන් වහන්සේ ද ඒ අඩිපාර දැක පැවිද්දන් වාසයකරන තැනක් වන්නේයැයි සිතා මද්‍රි දේවිය ද දරුවන් දෙදෙනා ද අසපුව අසල තබා දොරටුව අසලට පැමිණ එහි වූ දැන්වීම බලා ශක්‍රයා විසින් තමා වෙනුවෙන් මවන ලද්දක් යැයි දැනගෙන පන්සල් දොර වීවෘත කර ඒ තුලට පිවිස කඩුව ද දුන්න ද ඉවත්කර සළු ගලවා තවුස් වෙස් ගෙන හැරමිටිය රැගෙන පන්සලෙන් නික්ම සක්මනට නැග ඒමේ අත ඇවිද පසේ බුදුකෙනේකුන්ට සමාන සංයමයකින් දරුවන් හා බිරිද සමීපයට ගියා. මද්‍රි දේවිය එදාද වර්තමානයේ යසෝදරා වගේම මහා බෝධිසත්වයන් වහන්සේගේ පාලග වැටී හඩා ඔහු සමග අසපුවට පිවිස තමන්ගේ පන්සලට ගොස් තවුස් වෙස් ගත්තා. පසුව දරුවන්වද තාපස කුමාරවරුන් කළා. මෙලෙස මෙම ක්‍ෂත්‍රියෝ සතරදෙනා වංකගිරි පර්වතයෙහි වාසය කළා.

🌺 මද්‍රී බිසව වෙසතුරු කුමරුගෙන් ඉල්ලු වරය.

බලන්න ආදරණිය බිරිඳකගේ ලක්ෂණ. මද්‍රි දේවිය මහා බෝධිසත්වයන් වහන්සේගෙන් එක් වරයක් ඉල්ලනු ලැබුවා. එය ඉතාමත් අහිංසක ඉල්ලීමක්.

“ස්වාමිනි, ඔබවහන්සේ මින් ඉදිරියට පළාපල සොයා නොගොස් අවුත් දරුවන් සමග මෙහිම සිටින්න. මම පළාපල ගෙන එන්නෙමි.”

එතැන් පටන් ඇය වනයෙන් පළාපල ගෙනවුත් තුන්දෙනාව පෝෂණය කරන්නට වුනා.

🌺 වෙසතුරු කුමරු මද්‍රී දේවියගෙන් ඉල්ලු වරයා

ඒ එක්කම මහා බෝධිසත්වයන් වහන්සේත් ඇගෙන් වරයක් ඉල්ලුවා. “මද්‍රීය අපි මෙතැන් පටන් පැවිද්දෝ වෙමු. ස්ත්‍රිය වනාහි බ්‍රහ්මචරියාවට කිලුටයි. මෙතැන් පටන් ඔබ නුසුදුසු වේලාවෙහි මා සමීපයට නොඑන්න. ඕ තොමෝ යහපතැයි පිළිගත්තා. හැමදාම වගේම එදත් ඇය උන්වහන්සේ වෙනුවෙන් විතරක් නෙවෙයි ලොව්තුරා බුද්ධත්වය වෙනුවෙනුත්, අප වෙනුවෙනුත් රති සැප අත්හළේ ඉතාමත් තරුණ වයසේදී. මහා බෝධිසත්වයන් වහන්සේගේ මෛත්‍රී අනුභාවයෙන් හාත්පසින් යොදුන් තුනක් තුළ විසු සියළු තිරිසන්ගත සත්වයෝ පවා ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රීය සහගත සිත් ඇත්තෝ වුවා. මද්‍රි දේවියද උදෑසනම පිබිද පරිහරණයට අවශ්‍ය පැන්ද සුදානම් කර තබා මුවදෝනා පැන් ද ගෙනවුත් දැහැටි දඩු දී අසපුව නැමද දරුවන් දෙදෙනාව පියා සමීපයේ රදවා පැස බිම කණින යකඩයත්, කෙක්කත් ගත් අත් ඇතිව වනයට පිවිසුනා. ඉන්පසුව වනමුල් පළාපල ද රැගෙනවුත් පැස පුරවා සවස් වෙලාවේ අවුත් පන්සලෙහි පළාපල තබා දියනා දරුවන් දිය නැහැවීම කරවා රාත්‍රී ආහාරය පිළියල කරනු ලැබුවා. ඒ සියල්ල අවසානයේ ඔවුන් සතරදෙනාම පන්සල දොරටුවේ අභියස සිට පළාපල අනුභව කරනු ලබනවා. ඒ සියල්ල අවසානයේ මද්‍රි දේවිය පොරොන්දු වූ පරිදී දරුවන් දෙදෙනාද රැගෙන තමන්ගේ පන්සලට නික්ම යනවා. මෙය තමයි දවසේ දින චරියාව වුනේ. මේ අයුරින් අසපුව තුල සත්මසක් ජීවිතය සතුටින් සෙමින් ගතකලා.
වනයට පිවිසීමේ කොටස නිමි.

❤💚💛 පුණ්‍යානුමෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. සහ මගේ ආදරණීය බිරිඳට. ❤💚💛🧡
තුසිත රාජපක්ෂ
ප්‍රංශය
25-01-2020