Monthly Archives: March 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2xyPU3u
🌷 විසාලා මහ නුවර තුන්බිය දුරුකළ රතන සූත්‍ර වර්ණනාව. 06🌷

🌻 පසුගිය ලිපියෙන්

භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරට පැමිණි පසු කාලයෙහි වටරවුම් සාලාවෙහි රැස්වූ සඟ පිරිස අතර යම් තැනැත්තෙකු වෙනුවෙන් ගගෙහි එතෙර මෙතෙර අටයොදුනක් වූ බිම් පෙදෙසෙහි දියෙහිද ගොඩබිමෙහිද සමකොට වැලි අතුරා මලින් ගැවසී තිබුණේද යොදුනක් පමණ ගංගා ජලයෙහි නන් පැහැති පියුමින් ගැවසුන්ද අකනිටා බවන දක්වා සේසත් පිට සේසත් නැංවීද ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බලමහිමය පිනිසමයි, හරි පුදුමයි යනුවෙන් මේ අතුරු කතාබහ ඇතිවුනා. භාග්‍යවතුන් වහන්සේ ඒ බව දැන සුගන්ද කුටියෙන් නික්ම ඒ මොහොතට සුදුසු අයුරින් පැමිණ පනවන ලද උතුම් බුදු අසුනෙහි වැඩසිටිය.

එසේ වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ ” මහණෙනි දැන් කිනම් කතාබහක් මෙහි සිදුවුනාද?” යනුවෙන් සඟ පිරිස අමතනු ලැබුවා. සංඝයා වහන්සේලා බුදුන්වහන්සේ ලැබූ ඒ පුදසත්කාර පිළිබඳව සියළු තොරතුරු සැළකර සිටියා. එවිට තථාගතයන් වහන්සේ මෙලෙස ඒ මනරම් අතීත කතා වෘතාන්තය දේශණාකරනු ලැබුවා.

🌻 විසාලා මහනුවරට යනෙන මග දෙපස නා රජවරුන්ගෙන්, දෙවියන්ගෙන් බමුන්ගෙන් ලැබූ පුද සත්කාර වලට හේතු වූ අතීත කුසල කර්මය පෙන්වාදීම.

” මහණෙනි, මේ වෙසෙස් වූ පූජා මාගේ බුදුබලයෙන් පැවැතියේ නොවේ. නාගයන්ගේ දෙවියන්ගේ බඹුන්ගේ බලයෙන්ද නොවේ. එතෙකුදු වුවත් පෙර අපමණ වූ දේ පවරා දෙනු ලැබූ බැවින් ඒ බලයෙනැයි” වදාරනු ලැබුවා. එය අසා සිටි භික්ෂු පිරිස “හිමියනි, ඒ අපමණ දෙන ලද දේ පිළිබදව අපි නොදනිමු. අපට දැනගැනීමට එය වදාරන්නේ නම් මැනවැයි” අයාචනා කර සිටියා. එම ආරාධනය පිළිගත භාග්‍යවතුන් වහන්සේ ඒ අතීත පුවත මෙසේ වදාරනු ලැබුවා.

🌻 අප මහා බුදුපියාණන් වහන්සේගේ පුරාණ පුත්‍ර රත්නය වූ සුසීම පසේ බුදුරජාණෝ

මහණෙනි, පෙර තක්සලාවෙහි සංඛ නම් බමුණෙක් සිටියා. ඔහුගේ පුතාගේ නම සුසීම. ඔහු ඒ වනවිට සොළොස් හැවිරිදි වියට පැමිණ සිටියා. එක දිනක් ඒ සුසීම නම් තරුණ පුතු පියා ළගට අවුත් එකත්පස්ව සිටිය. එවිට සුසීම කුමක් ද දරුව පියා ඇසුවා. එවිට ඔහු පියාණෙනි මම බරණැසට ගොස් සිප්සතර ඉගෙනීමට කැමැත්තෙමි යි කියා සිටියා. එවිට සංඛ බමුණා එසේනම් දරුව අසවල් නම් ඇති බමුණා මගේ යාළුවෙකි. ඔහු වෙතින් උගනුවයි කහවණු දහසක් දී ඔහුව පිටත්කරා.

🌻 සුසීම කුමරු ශිල්ප ඉගැනීම සඳහා නික්මීම.

ඔහු එය රැගෙන මව්පියන් වැද අනුපිළිවෙලින් බරණැසට ගොස් කළයුතු සිරිත් අනුව ගුරුතුමා වෙත එලඔ පළමුව වැද තමන්ව හදුන්වා දුන්න. ඇඳුරුතුමා මේ මගේ යහළුවාගේ පුතු යැයි තරුණයා පිළිගෙන සියළු ආගන්තුක සත්කාර කරනු ලැබුවා. සුසීම ගමන් විඩාව දුරුවූ පසු ඒ කහවණු දහස ඇදුරුතුමාගේ පාමුල තබා සිප්සතර ඉගෙනීමට අවසර ඉල්ලා සිටියා. ඇදුරුතුමාද එය පිළිගෙන ඔහුට හොඳින් උගන්වනු ලැබුවා. තරුණයා සුළුවෙන් හෝ වැඩියෙන් හෝ අසා දරා ගත් දේ රන්බදුනෙහි දැමූ සිංහතෙල් මෙන් අමතක නොකොට සිත දරමින් දොළොස් වසරකින් ඉගෙන ගතයුතු සිප්සතර මාස කීපයකින් ඉගෙන අවසන් කලා. එහෙත් ඒ ඉගැන්වීම් තුල අඩුවක් තිබුණා. ඔහු එම වනපොත් කරනවිට එහි මුල මැද මිස අවසානයක් දැක්කේ නැහැ. ඒ නිසා ඇඳුරුතුමා වෙතට ගොස් මේ සිප්සතර මුල මැද දකිමි අවසානය නොදකිමි යි කියා සිටියා. දරුව, මමද එසේ වෙමියි ඇදුරුතුමාද එහි අවසානය නොදන්නා බව කියා සිටියා. එසේනම් මේ සිප්සතරෙහි අවසානය දන්නේ කවරෙකුදැයි ඔහු ප්‍රශ්ණ කරා. “දරුව ඉසිපතනයෙහි ඉසිවරු ඇත්තාහ. ඔවුන් දනිතියි” ඇදුරුතුමා කියා සිටියේ නිහතමානිව. එසේනම් ඇදුරුතුමනි මම ඔවුන්ගෙන් විමසමියි කියා කියා සිටි කල ඔබට පහසු වේනම් විමසන්නෙයි ඇදුරුතුමා අවසර දුන්නා.

🌻 මුල මැද මිස අගක් නැති සිප්සතරෙහි අවසානය දැනගැනීමට පසේ බුදුන් වෙත ගිය සුසීම කුමරුන්.

ඔහු ඉසිවරු යැයි සඳහන් කලේ පසේ බුදුවරුන්ට. ඔහු ඉසිපතනයට ගොස් පසේබුදුරජාණන් වහන්සේලා හමුවී මුල මැද අවසානය දන්නේහුදැයි විමසා සිටියා. එවිට උන්වහන්සේලා ඇවැත්නි එසේය දනිමු යනුවෙන් පවසා සිටියා. එසේනම් එය මටද උගන්වනු මැනවයි දරුවා කියා සිටියා. එසේනම් ඇවැත්නි පැවිදිවන්න පැවිදි නොවන්නන්ට ඉගැන්වීමට නොහැකිය යනුවෙන් ඒ වෙනුවෙන් යම් පැනවීමක් කරනු ලැබුවා. හොදයි හිමියනි පැවදිකොට හෝ ඔබවහන්සේලා කැමති ලෙස කටයුතුකොට හෝ අවසානය දැනගැනීමට සැලැස්සුව මැනවයි ඔහු ගෞරවයෙන් ඉල්ලා සිටියා.

🌻 සුසීම කුමරුන් පසේබුදුවිම සහ පරිනිර්වාණය

පසේබුදුවරු ඔහු පැවදි කරගත්තත් ඔහුහට කමටහන් දීමට හැකියාවක් තිබුනේ නැහැ. ඒ පසේ බුද්ධත්වයේ ඇති සීමා නිසා බව ඔබ මේ වනවිටත් දැනුවත් වී ඇතැයි සිතනවා. ඔවුන් ඒ වෙනුවට ඔබ මෙසේ සිවුරු හැදිය යුතුය, මෙසේ සිවුරු පෙරවිය යුතුයි, ආදී ලෙසින් උසස් හැසිරීම් වත්පිළිවෙත්හි ඔහුව හික්මවුවා. ඒ තරුණ හිමි එසේ හික්මී මගපල හේතු සම්පත් ඇති බැවින් නොබෝ කලකින්ම පසේබුදුබව අවබෝධ කරගනු ලැබුවා. දානමානාදී පුදසත්කාර ලැබීමෙන් හා පැතිරුණු කිර්ති රාවයෙන්ද පිරිවරද යුතුව සුසීම පසේබුදු නමින් පතළ වුනා. පෙර කරන ලද කම්විපාක අනුව කලක් ජීවත්වීමට තරම් ආයු නොලද සුසීම පසේබුදුහාමුදුරුවෝ නොබෝ කලකින්ම පිරිනිවන් පෑවා. අනෙක් පසේබුදුවරු ද මහජනයාද එකතුව සුසීම පසේබුදුරජාණන් වහන්සේව ආදාහනය කොට ධාතු තැන්පත් කොට නගරදොරටුවෙහි ථූපයක් පිහිටවූවා.

🌻 යලි නොපැමිණි සුසීම පුත්‍ර රත්නය සොයා සංඛ බ්‍රහමණයා පැමිණීම

සුසීම පසේබුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය එසේ සිදුවන විට ඔහුගේ පියා වන සංඛ බමුණාද මාගේ පුතු සිප්සතර ඉගෙනීමට ගොස් බොහෝ කල් ගතවිය. ඔහුගේ තොරතුරක් නොදනිමියි පුතු දකිනු කැමතිව තක්සලාවෙන් පිටත්ව අනුපිළිවෙලින් මග ගෙවා බරණැසට පැමිණයා. පැමිණ මහජනයා රැස්ව සිටිනු දැක මේ බොහෝ දෙනාගෙන් එක තැනැත්තෙකු හෝ මගේ පුතාගේ තොරතුරක් ඒකාන්තයෙන්ම දන්නවා ඇතැයි සිතමින් එතැනට පැමිණ මිට කලකට පෙර සුසීම නම් තරුණයෙකු මෙහි පැමිණයා ඔහු ගැන තොරතුරක් දනිවුදැයි අසා සිටියා. එවිට ඔවුන් ” එසේය බමුණ දනියි මේ නගරයෙහි බමුණකු වෙතින් තුන් වේදයෙහිම පරතෙරට පත්ව පසෙබුදුවරුන් ළග පැවිදිව පසේබුද්ධත්වය ලබා අනුපදිසේසව පිරිනිවන් පෑවා. මේ උන්වහන්සේ වෙනුවෙන් පිහිටුවන ලද ථූපයයි කියා සිටියා. ඒ අවස්ථාවේ ඔහු පොළොවෙහි අත්ගසා හඩාවැලපෙන්නට වුනා. අවසානයේ එය ලෝකස්වභාවය බව දැන ඒ සෑමළුවේ තණකොළ උදුරා පිරිසිදු කොට උතුරු සළුවෙන් වැලි ගෙනවුත් පසේබුදු සෑමළුවෙහි අතුරා බිම හාත්පස කෙණ්ඩියෙන් පැන් ඉස වනමලින් පුජා කොට උතුරු සළුවෙන් කොඩියක් නංවා ථුපය මතුයෙහි තම කුඩය සවිකොට පිටත්ව ගියා.

🌻 මෙසේ අප මහා බුදුපියාණන් වහන්සේ අතීත කතා පුවත සඟ පිරිසට දක්වා ඒ ජාතකය වත්මන් කාලය හා ගළපමින් මෙලෙස දේශණා කරනු ලැබුවා.

මහණෙනි එකල සංඛ බමුණා වෙනත් කෙනෙකුයි ඔබලාට සිතිය හැකිය. මහණෙනි එසේ නොදත යුතුයි. එකල සංඛ බමුණා නම් මම වීමි. මා විසින් සුසීම පසේබුදුන්ගේ සෑමළුවෙහි තණකොළ උදුරන ලද්දේය. ඒ කම්විපාකයෙන් අටයොදුන් මග කැටකැබිලිති ආදිය ඉවත් විය. සමව පිරිසිදු බවට පත්විය. මා එහි වැලි අතුරන ලදී. වනමලින් පුදන ලදී. ඒ කම්විපාකයෙන් නවයොදුන් මග ජලයෙහිද ගොඩබිමෙහිද නානාමල්වලින් සෑදුනු මල් ඇතිරිල්ලක් විය. මා එහි කෙණ්ඩියෙන් පැන් ඉසින ලදී. ඒ කම්විපාකයෙන් විසාලාවෙහි පොකුරු වැසි වැස්සේය. මා විසින් සෑයෙහි කොඩි නංවන ලදී. සෑයෙහි කොත පරිදි, කුඩයක් බදින ලදී. ඒ විපාකයෙන් අකනිටා බවන තෙක් කොඩි නංවා සේසත් ඔසවනු ලැබීය. මහණෙනි මේ ආකාරයෙන් මා මහත් වූ වෙසෙස් පුජා ලද්දේ බුදුබලයකින් නොවේ. නාග දේව බ්‍රහ්ම ආනුභාවයෙන් නොවේ. ඉතා සුළු වුවත් දීමෙහි බලයෙන් යැයි දහම් කතාව අවසානයෙහි මෙම අදහස ඇති ගාථාවක්ද වදාළහ.

ඉතා සුළු වූ සැපදෙන දෙයක් වුවත් අත්හැරීමෙන් උදාර වූ නිවන් සුවය දක්නේ වේද. ඒ උදාර වූ නිවන් සුව දකිනු කැමති නුවණැති තැනැත්තා ඒ ඉතා සුළු වූ සැපය වුවද අත්හරින්නේය.

රත්න සුත්‍ර විස්තරය නිමි

සාදු සාදු සාදු
💜💚💙💛 මෙම අගනා රතනසුත්‍ර වර්ණනාව අටුවා අනුසාරයෙන් ඔබවෙත ගෙනාවේ වර්තමාන ලෝක ජන ජීවත වලට විශාල අනතුරක් පවතින අවස්ථාවේ ඒ මහා බලගතු ත්‍රිව්ධ රත්නයේ ගුණ සිහිකර ඒ පිලිබන්ධව මහත් වූ ශ්‍රද්ධාවෙන් සජ්ජායනය කොට රටට ලෝකයට සෙත් පැතීමටය. මමද ඊයේ දිනයේ සිට රතන සුත්‍රය දිනකට නව වතාවක් ගෞරවයෙන් සජ්ජායනය කොට නිවසියනටද ලෝක වාසින්හටද සෙත් පැතීම ආරම්භ කලෙමි. මම මෙය ලියන්නේ අති දුෂ්කර අවස්ථාවකය. එබැවින් මා විසින් බලාපොරොත්තු වූ යුතුකම ඔබ වෙතින් ඉෂ්ඨ වේ යැයි මෛත්‍රී පුර්වක සිත් පෙරටුව අපේක්ෂා කරනෙමි. සියලු ලෝක වාසින් මෙම ව්‍යාදියෙන් මිදේවා! සියලු රෝහල්ගත වුවන් මරණ බියෙන්ද අකල් මරණයෙන්ද ජිවිත අවදානමෙන්ද මිදේවා! අද දින සිට මෙම වෛරසය ස්වාභාවිකවම විනාශ වේවා ! මා කරගත් සියලුම පුණ්‍ය මහිමයන්ද, මෙම ධර්ම දානයේ අනිසංසද, මේ අවස්ථාවේ සියලු ලෝකවාසීන්ගේ ආරක්ෂාව රැකවරණය සඳහාම හේතුවාසනා වේවා !!! සාදු සාදු සාදු 💜💚💙💛

තුසිත රාජපක්ෂ – ප්‍රංශය
20-03-2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3dAG3L9
💙💚💜 අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 156💙💚💜

🌷 බෝසතාණන් වහන්සේ උපත ලැබූ බව දැනඅසා බැහැදැකීමට දෙව්ලොව සිට පැමිණි අසිතදේවල තවුසා

එලෙස අප මහා බෝසතාණන් වහන්සේ මෙලොව එලිය දුටු දිනයේම මාතංග පසේ බුදුහාමුදුරුවෝ ආයුසංස්කාර අතහැර අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පෑවා.

බෝසතුන් මව් කුස පිළිසඳ ගත කෙනෙහිම යම් සේ දෙතිස් පෙරනිමිති පහල වූයේද, එලෙසම ඔහු මෙලොව උපන් කල්හිදී දෙතිස් පෙර නිමිති ලොව පහල වුනා. අප බෝසතාණෝ ලුම්බිණි උයනේදී උපන් දවසෙම ඔහුගේ බුද්ධත්වය සඳහා මහෝපකාරී වන තවත් විශේෂිත වස්තුන් සතක් ලොව පහළවුනේ විශ්වදර්මතා මත. මේවා “සත සහජාත” නමින් හඳුන්වනු ලබනවා.

🌺 සත සහජාත

1.යශෝදරා දේවිය
2.ඡන්න ඇමති
3.කාළුදායී ඇමති
4.අජානීය හස්ති රාජයා
5.කන්ථක අශ්ව රාජයා
6.මහබෝ රුක
7. සතර මහා නිධාන ද පහළ වුනා.

නිධාන සතර ගව්ව අඩ යොදුන් තුන් ගව්ව හා යොදුන යන ප්‍රමාණයෙන් යුක්ත වුනා.

දෙනුවර වැස්සෝ බෝසතුන් රැගෙන මහත් හරසරින් කිඹුල්වත් පුරවරයටම නැවත පැමිණියා.

🌺බෝසත් උපතින් උද්ධාමයට පත් තව්තිසා දෙවියන් ප්‍රීති ඝෝසා පැවැත්වීම.

එදිනම තව්තිසා වැසි දෙවියෝ කිඹුල්වත් පුර සුදොවුන් මහරජුන්ට උපන් කුමරා බෝමුල හිද බුදු වන්නේ යැයි සතුටුව හිස වටා සළු සිසාරා ක්‍රීඩා පවත්වමින් නටමින් ප්‍රිතිඝෝසා පවත්වන්නට වුනා. සුදොවුන් මහා රජුන්ගේ කුළුපග වූ අෂ්ඨ සමාපත්ති ලාභී කාලදේවල නම් තව්සා දිනපතා දහවල් ආහාරයෙන් පසු විවේකය ගතකලේ තව්තිසා භවනේ. තවුතිසා භවනට ගොස් දවල් කාලය ගත කරන ඔහුට සතුටින් ක්‍රීඩා කරන දෙවියන් දැක “කුමක් නිසා ඔබ සතුටින් ක්‍රීඩා කරන්නහුද මට ඒ කරුණ කියනු මැනවැයි” විමසා සිටියා. නිදුකාණෙනි, සුදවුන් මහරජාණන්ට පුතකු උපන්ණා. එතුමාණෝ අද දිනයේ බෝ මුල හිද බුද්ධත්වය ලබා දම්සක් පවත්වනවා. අපි එතුමාගේ බුද්ධ ශ්‍රීය දැකීමත් දහම් ඇසීමටත් පින් කර ඇත්තෙමු. මේ කාරණයෙන් අපි සතුටු වූවෝ වෙමුයි” කියා සිටියා.

🌺 අසිතදේවල තවුසාගේ පැමිණීම

දෙවියන්ගේ වදන් අසූ අසිත තවුසා වහා ම දෙව් ලොවින් බැස රජ මැදුරට පිවිස පැනවූ අසුනෙහි වැඩ හිද මහරජ, ඔබට පුතකු උපන්නේ නොවේද? ඔහු දකිනු කැමැත්තෙමි පවසා සිටියා. එවිට රජ සුසැදි කුමරුවන් ගෙන්වා තවුසාණන්හට වැදවීමට කිට්ටුකලා. ඒත් සිදුවුයේ නොසිතු දෙයක්. බිලිඳු බෝසතුන් වහන්සේගේ දෙපාදයෝ පෙරළී තවුසානන්ගේ ජටා මඩුල්ලෙහි පිහිටිය. එම අත්බැව්හි බෝසතුන් වහන්සේ විසින් වැදිය යුතු වෙනත් අයකු මෙම සක්වලෙහිම නැතිබව මිට පෙර ලිපිවල කියා තිබෙනවා. ඉදින් එය නොදැනීමෙන් බෝසතානන්වහන්සේගේ හිස තව්සාණන්ගේ පාමුල තැබුවේ නම් ඔවුන්ගේ හිස සත් කඩකට පැළී යනවා.

අසිත දේවල තව්සාහට අතීතයෙන් කල්ප සතළිසක් ද අනාගතයෙන් කල්ප සතළිසක් ද වශයෙන් කල්ප අසූවක් සිහි කිරීමට සමත්. කුමරුන්ගේ අංග ලක්‍ෂණ දුටු තවුසාණෝ කුමරුන්ගේ අතීත පාරමිතාද දුටුවා. එවිට ඔහු බුදු වන්නේද නොහොත් නොවන්නේදැයි දිවසින් බලන්නාවිට, නිසැකවම බුදු වන්නේයැයි දැන සිනහ පහළ කළා. අනතුරු ව එතුමන් කලේ කුමරා බුද්ධත්වයට පත් කළ මට දක්නට ලැබෙන්නේදැයි නොලැබෙන්නේදැයි දිවැසින් විමසා බැලීමයි. එවිට තමාට දැකීමට නොලැබෙන බවද, ඊට පෙර කළුරිය කොට බුදුවරුන් සියයක හෝ දහසක පහළ වන කාලයකදී වුවද ධර්මාවබෝධය නොකළ හැකි අරූපී බඔ ලොව උපදිමි යැයි ද එහෙයින් බුදු සිරිය දකින්නට නොලැබෙන්නේයැයි මට වූයේ මහත් හානියකැයි සිතා හඬන්නට වුනා. මේ දුටු රජතුමා ඇතුළු පිරිස බියට පත්වී “අපගේ තවුස් උතුමාණෝ දැන් ම සිනාසී නැවත හඩන්නට වන්හ. ස්වාමීනි අපගේ කුමරුවන්ට කිසියම් අනතුරක් වන්නේදැයි” විචාරන්නට වුනා. එවිට තවුසා මෙලෙස පිළිතුරු දුන්නා. “නැත කුමරුවන්ට කිසි අනතුරක් නොවේ. නිසැකයෙන්ම එතුමාණෝ බුදු වන්නාහ.” එවිට “එසේ නම් ඔබ හැඩුවේ මන්ද?” යනුවෙන් විමසා සිටි කල්හි, “මේ මහා පුරුෂයන් වහන්සේ මතු බුදු වනු දකින්නට නො ලබන්නෙමි. එයින් මට මහත් හානියක් වන්නේය. මා පිළිබදව සිතා හඩමි යි” ඉමහත් දුකෙන් පවසා සිටියා. ඉන්පස්සේ ඔහු මාගේ කවර හෝ ඤාතියකු මෙතුමන් බුදු වනු දකින්නේදැයි බලන්නට වුනා. එවිට තමන්ගේ බෑණනුවන් වන නාලක දරුවා දුටුවා.

🌺 බුදුන් ලොව පහල වූ බව අසා සංඝ සාසනයට පිවිසීමට ගිහිගෙය හැර ගිය ප්‍රථම පුගලයා නාලක

ඔහු තවත් පමාවුණේ නැහැ. වහාම නැගණියගේ ගෙටගොස් “ඔබගේ පුත් නාලක කොහිදැයි” අසා ස්වාමීනි ගෙහි සිටී කී විට “එසේනම් ඔහු කැදවනු” යනුවෙන් කිවා. ලගට පැමිණි නාලක අමතා මෙසේ කීවා. “දරුව, සුද්ධෝදන රජ කුලයෙහි පුතෙක් උපන්නා. එතුමා බුද්ධාංකුරයකි. හෙවත් බෝධිසත්වයන් වහන්සේ නමකි. පන්තිස් වසකින් පසු බුදු වන්නේය. ඔබ ඒ බුදුන් දකින්නෙහිය. අද ම පැවිදි වන්න.” අසූහත් කෙළක් ධනය ඇති කුලයක උපන් නාලක කුමරුවෝ මගේ මයිලණුවෝ මා අවැඩක නොයොදවන්නේයි සිතා කඩයෙන් කසාවත් ද මැටි පාත්‍රයක් ද ගෙන්වා ගෙන කෙස් රැවුල් බහා කසාවත් හැද මගේ පැවිද්ද ලෝකයෙහි උත්තම පුද්ගලයා උදෙසායි, බෝසතුන් වහන්සේ සිටි දෙසට මුහුණලා ඇදිළි බැද පාත්‍රය ථිවිකයෙන් බහා උරයෙහි එල්බගෙන හිමවතට පිවිස මහණ දම් පුරන්නට පිටත්වුනා.

🌺 මෝනෙය්‍ය වත පූරණය කළ නාලක මහරහතන් වහන්සේ

විශේෂ හැකියාවන් විශේෂ ප්‍රර්ථනාද පෙරදැරිව කල්ප කාලාන්තරයක් මහාණීය වූ පින්කම් කම් කරමින් පැමිණි භික්ෂූන් වහන්සේලා ඒ ඒ බුද්ධ ශාසන වල අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් අනෙකුත් භික්‌ෂුන් වහන්සේලා අතුරින් අග තනතුරු ලබයි. එහෙත් එම අසූ මහ ශ්‍රාවක ගනයට අයත් නොවන, එක්‌ බුද්ධ ශාසනයක්‌ තුළ එක්‌ භික්‌ෂුවකට පමණක්‌ පූරණය කළ හැකි විශේෂ ප්‍රතිපදාවක්‌ පූරණය කළ භික්‌ෂුවක්‌ ගැන අනෙකුත් බුද්ධ ශාසන වල මෙන්ම ගෞතම බුද්ධ ශාසනයේත් සඳහන්. ඒ මෝනෙය්‍ය වත පූරණය කළ නාලක භික්‌ෂුන් වහන්සේයි. උන්වහන්සේත් පියුමතුරා බුදුරදුන්ගේ ශ්‍රාවකයකු මෝනෙය්‍ය ප්‍රතිපදාව පුරනු දැක පැහැදී තමාට ද අනාගත බුදුකෙනෙකුගේ සසුනෙහි ඒ උත්තම වත පිරිය හැකිවේවා’යි පදුමුත්තර බුදුන් හමුවේ ප්‍රාර්ථනය කොට ආශීර්වාද ලබාගත් බව සඳහන්. නාලක තෙරණුවෝ පසු කාලයෙහි සම්බෝධියට පත් තථාගතයන් වහන්සේ වෙත එලබ නාලක ප්‍රතිපදාව අසා දැනගෙන නැවත හිමවතට ගොස් රහත් බවට පැමිණ ඉතා දැඩි සසුන් පිළිවෙතෙහි පිළිපන්නාහු, සත් මසක් ආයු විද රන්වන් පව්වක් ඇසුරු කොට සිටි ඉරියව්වෙන් ම නිරුපදි සේස හෙවත් ස්කන්ධ ශේෂයක් නැති නිවනින් පිරිනිවන් පානු ලැබුවා. උන්වහන්සේගේ අරහත්වය දක්වා පැමිණි අති සුන්දර වූ කතා පුවත මෙම ලිපි පෙලේ ඉදිරියට ලියවෙනවා. එලෙස කල්ප කාලාන්තරයක් පැමිණි නාලක වත පෙරූ නාලක මහා රහතත් වහන්සේ මෙලෙස තම ප්‍රර්ථානාව මුදුන් පමුණුවා ගැනීම උදෙසා එදින ගිහිගෙය අත්හැර ගිය හැටි හරිම පුදුමයි. ඒ තමයි මතුබුදුවන අප මහා සම්බුදුපියාණන් වෙනුවෙන් සසුන්ගතවිමට ප්‍රථමයෙන්ම ගිහිගෙය හැරදා ගිය සුවිශේෂ පුද්ගලයා.

❤💚💛 පුණ්‍යානුමෝදනාව – රාජකීය පණ්ඩිත දැලිවල බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේට, මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරන්හට, සහ මගේ ආදරණීය බිරිඳට, සහ මෙය මා නොදත් ජනයා අතර බෙදාහරින සහ මාව නිරන්තරයෙන්ම දිරිමත් කරන ඔබට. ❤💚💛🧡

උපකාරක ග්‍රන්ථ
ජාතකට්ඨ කතා නිධානය

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
27-03-2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2UpsxTe
බක්කුල ථෙරාපදානය

386
“හිමවතට නුදුරෙහි සොභිත නම් පර්‍වතයක් විය. මාහට මැනවින් කරණ ලද අසපුවක් විය. එම අසපුවෙහි ස්වකීය ශිෂ්‍යයන් විසින් කරණ ලද මණ්ඩපයෝද බොහෝ වූහ. පිපුණු සින්දුවාර (නික) වෘක්‍ෂයෝද (එසේම) පිපුණු ජීව ජීවක වෘක්‍ෂයෝද, (තවත්) එහි කපිත්‍ථ (ගීවුල්) වෘක්‍ෂයෝද බොහෝ වූහ.
387
388
“නික ගස්ද, ඩෙබර හා නෙල්ලි ගස්ද, බොරළු දමනු (උගුරැස්ස) ගස්ද, ලබුද, පිපුණු සුදු නෙළුම්ද එහි බොහෝය.
389
“ආලක නම් ගස්ද, බෙලි ගස්ද, කෙසෙල් ගස්ද, නාරන් ගස්ද, උක් ගස්ද, කුඹුක් ගස්ද, පුවඟු ගස්ද එහි බොහෝය.
390
“කොසොඹය, සලලය, කොළොම්ය, නුගය, හිවුළුය යන මේ වෘක්‍ෂයෝද එහි බොහෝ වෙති. මාගේ අසපුව මෙබඳුය. ශිෂ්‍යයන් සහිතව මම එහි විසීමි.
391
“සියල්ල තෙමේම අවබෝධ කරගත් ලෝක නායකවූ අනෝමදස්සී භාග්‍යවත් තෙමේ සැහැල්ලු පැවැත්ම (විවේකය) සොයන්නේ, මගේ අසපුවට එළඹි සේක.
392
“මහත් යශස් ඇති අනොමදස්සී බුදුරජුන් එළඹි කල්හි ක්‍ෂණයකින් (එම) ලෝක නායක බුදුරජුන්ගේ (සිරුරෙහි) වාතාබාධයක් නැගී ආවේය.
393
“මම අරණෙහි හැසිරෙන්නේ ලෝක නායකයන් වහන්සේ දැක, මහත් යශස් ඇත්තාවූද, පසැස් ඇත්තාවූද, (එම) සම්බුදුරජුන් වෙත එළඹ, උන්වහන්සේගේ කම්පනයද දැක, එකල්හි “අහෝ! අපගේ සියල්ල තෙමේම (ස්වයම්භූඥානයෙන්) දත් බුදුරජුන්හට ව්‍යාධියක් හටගත්තේය” යි සැළකීමි.
394
395
“(ඉක්බිති) වහා අසපුවට පැමිණියෙමි. එකල්හි, මම මගේ සිසුන් සමීපයෙහිදී බේතක් කරනු කැමැත්තේ, සිසුන් ඇමතීමි.
396
“සියළු ශිෂ්‍යයෝ ගෞරව සහිත වූවාහු මාගේ වචනයට පිළිවදන් දී එක්තැන්ව රැස්වූහ. මාගේ ශාස්තෘ ගෞරවය හේතුකොට ගෙන,
397
“මම මහා පර්‍වතයට නැග සියළු ඖෂධ (සකස්) කළෙමි. මම එම ඔසු බීමට සුදුසුකොට බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
398
“සර්‍වඥවූ, ලෝක නායකවූ මහා වීරයන් වහන්සේ ඒ ඖෂධයන් පානය කළ කල්හි සුගතවූ ඒ මහර්ෂීන් වහන්සේගේ වාත රෝගය වහා සන්සිඳුනේය.
399
“මහත් යශස් ඇති අනොමදස්සී බුදුරජතෙම සන්සිඳුනාවූ (කාය) දරථය (ක්ලාන්තය) දැක සිය අසුනෙහි හිඳ, මෙම ගාථාවන් වදාළ සේක.
400
“යමෙක් මට බෙහෙත් දුන්නේද, මාගේ රෝගය සන්සිඳුවීද, හේ කවරෙක්දැයි මම පවසන්නෙමි. (එසේ) පවසන්නාවූ මාගේ වචනය අසව්.
401
“මේ හේතුවෙන් කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේය. එම දෙව්ලොවෙහි තූර්‍ය්‍යයන් වාදනය කරණ කල්හි මෙතෙම හැම කල්හි සතුටු වන්නේය.
402
“කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, මිනිස් ලොවට (උත්පත්ති වශයෙන්) අවුත් දහස් වරක් සක්විති රජ වන්නේය.
403
“පස් පණස්වන කපෙහි සිව් මහා දිවයින් හා සිව් සයුරු කෙළවරකොට ඇති පෘථිවියට අධිපතිවූ (සතුරු රජවරුන්) ජයගන්නාසුළුවූ, ජම්බුද්වීපයට (විශේෂයෙන්) අධිපතිවූ, සත්රුවනින් යුත්, මහත් බල ඇති අනොම නම් සක්විති රජෙක්ව, තව්තිසාවද කළඹා ආධිපත්‍යය කරන්නේය.
404
405
“දෙවි වූයේද, මිනිස් වූයේද, අල්පාබාධවූ (නීරෝගී) කෙනෙක් වන්නේය. (රෝග භයින්) අල්වා ගැනුමක් නොමැතිව, ලෝකයෙහි (ව්‍යාධි) සාගරය තරණය කරන්නේය.
406
“මින් අපරිමෙය්‍ය කල්පයෙහි (කල්ප ලක්‍ෂයකින් මතුයෙහි) ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළවන්නේය.
407
“උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ඖරස (බුද්ධ පුත්‍රවූ), ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, සියළු ආශ්‍රව යන් (පරිඥා ප්‍රහාණ වශයෙන්) දැන, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.
408
“කෙළෙස් දවා, තෘෂ්ණාව නමැති සැඩ පහරද තරණය කරන්නේය. නම්න් බක්කුල නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක්ද වන්නේය.
409
“ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨවූ ගෞතම බුදුරජතෙම මේ සියල්ල දැන භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ (මොහු) එතදග්‍ර ස්ථානයෙහි තබන්නේය.
410
“සියල්ල තෙමේම අවබෝධ කලාවූ, ලෝක නායකවූ අනෝමදස්සී භාග්‍යවත් තෙමේ විවේක සුවය බලාපොරොත්තු වන්නේ, අසපුවට එළඹි සේක.
411
“එළඹියාවූ මහාවීරවූ, ලෝකනායකවූ සර්‍වඥයන් වහන්සේ පහන් සිතැත්තේ, සියතින් සියළු ඖෂධයන්ගෙන් සන්තර්‍පණය කෙළෙමි.
412
“ඒ මාගේ මැනවින් කළ කර්‍මය සාරවත් කෙතක (ඇතිවූ) බීජ සම්පත්තිය (අස්වැන්න) මෙන් සරුය. අවසන් කරන්නට නොහැක්කෙමි.
413
“ඒ මම ලෝක නායකයන් වහන්සේ දුටුයෙම්ද, (එය) මට ලාභයෙකි. මාගේ යහපත් ලැබීමකි. එම කර්‍මයාගේ අවශේෂ විපාකයෙන් අචල පදයවූ නිවනට පැමිණියේ වෙමි.
414
“ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨවූ ගෞතම බුදුරජතෙම මේ සියල්ල දැන බික් සඟන මැද හිඳ මා ඒතදග්‍ර ස්ථානයෙහි තැබූහ.
415
“මින් අපරිමෙය්‍ය කල්පයෙහි හෙවත් කල්ප ලක්‍ෂයකින් පෙරවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බෙහෙත් දනෙහි මේ විපාකයයි.
416
“මා විසින් සියළු ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
417
“ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
418
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බක්කුල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”

පින්තූරය ගයාන් චානුක මහතාගේ චිත්‍රයක් ඇසුරෙන් උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Jmibgx
🌷 විසාලා මහ නුවර තුන්බිය දුරුකළ රතන සූත්‍ර වර්ණනාව. 05🌷

🌻 පසුගිය ලිපියෙන්

සක්දෙව් මෙසේ මෙම ගාථා තුන කියා භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට දෙව් පිරිස සමග දෙව්පුරයටම ගියා. බුදුරජාණන් වහන්සේ ඒ රුවන් සුතුරම දෙවන දිනයෙහිද දේශණා කරනු ලැබුවා. එදිනද නැවතද අසූහාර දහසකට දහම් අවබෝධ වුණා. මේ අයුරින් සත්දිනක්ම රතන සුත්‍රය දේශනා කලා. ඒ ඒ දිනවල දේශණාව අවසානයෙහි පෙර පරිදිම පිරිස් දහම් අවබෝධයට පැමිණියා.

🌻 සක්දෙවූ රජගෙන් රතන සුත්‍රයට එකතු වූ අවසාන ගථා තුන.

ඉහතින් කි පරිදි සක්දෙවිදු භාග්‍යවතුන් වහන්සේ විසින් තෙරුවන් ගුණය පිහිටුවමින් එහි සත්‍ය සහතික කොට පැවසීමෙන් නගරය සුවපත් කරන ලදැයි සිතා මා ද නගරයෙහි හිතසුව පිණිස තෙරුවන් ගුණය පිළිබදව යම්කිසිවක් කිවයුතු යැයි අවසානයේදී යානිධ භූතානි ආදී අවසාන ගාථා තුන පවසා භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට දෙව් පිරිස සමග දෙව්පුරයටම ගියා.

යානීධ භූතානි සමාගතානි
භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ
තථාගතං දෙවමනුස්‌සපූජිතං
බුද්‌ධං නමස්‌සාම සුවත්‌ථි හොතු.

පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද (අපි) දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජාණන් වහන්සේ නමදිමු. (සත්ත්වප්‍රජාවට) සෙත් වේවා.

යානීධ භූතානි සමාගතානි
භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ
තථාගතං දෙවමනුස්‌සපූජිතං
ධම්‌මං නමස්‌සාම සුවත්‌ථි හොතු.

පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද දෙව්මිනිසුන් විසින් පුදන ලද, (බුද්ධාදීන්) විසින් අවබෝධ කරන ලද බැවින් තථාගත වු ධර්මය නමදිමු. (සත් වගට) සෙත් වේවා.

යානීධ භූතානි සමාගතානි
භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ;
තථාගතං දෙවමනුස්‌සපූජිතං
සඞ්‌ඝං නමස්‌සාම සුවත්‌ථි හොතූති.

පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද දෙව්මිනිසුන් විසින් පුදන ලද (ආත්මහිතයෙහි පිළිපන්නවුන් විසින් යෑ යුතු මඟෙහි යෑම් ආදී අරුතින්) තථාගත වූ සඞ්ඝයා නමදිමු සෙත් වේවා.

🌻 බුදුරජාණන් වහන්සේ විසාලා නුවරින් මහත් පුද සත්කාර මධ්‍යයේ නික්මයෑම.

මේ සියල්ල අවසාන වීමෙන් පසු එක්වරම භාග්‍යවතුන් වහන්සේ විසාලා නුවර තනිකර වැඩියේ නැහැ. තවත් අඩමසක්ම විසාලාවෙහි වාසය කරනු ලැබුවා. සියල්ල යතා තත්වයට පැමිණියායින් පසුව නගරයෙන් පිට වන්නට දැන් කාලය එළඹ ඇතැයි රජවරුන්ට දන්වනු ලැබුවා. එවිට රජවරු පෙරටත් වඩා දෙගුණ වූ ගරුසත්කාරයෙන් නැවත තෙදිනක් තුලදී මග දෙපස සරසා රාජකීය පෙරහැරකින් ගංතෙර වෙත කැදවාගෙන ගිය.

🌻නාරජවරුන්ගේ පුජෝපහාර

එතැන් සිට තවත් පුදුමාකාර දේ වන්නට පටන්ගත්තා. ගගෙහි උපන් නා රජවරුද තථාගතයන් වහන්සේට ම්නිසුන් මෙතරම් සත්කාර කරති. අපි කෙලෙස සත්කාර කළයුතුදැයි සිතන්නට වුනා. ඔවුන් ප්‍රථමයෙන් කලේ රන් රිදී මුතු මැණික් වලින් මනරම් නැවක් මැවිමයි. එලෙස මැවූ ස්වර්ණමය නැව මත රන් රිදී මැණික් අසුන් පනවා පස්පැහැ පස්පියුමෙන් දිය මතුපිට සකසා අපට පුදසත්කාර සදහා උපකාර වුව මැනවයි භාග්‍යවතුන් වහන්සේ වෙත අයාචනා කොට සිටියා. එය ඉවසා වැදෑරූ බුදුරජාණන් වහන්සේ රුවන්මය නැවට පිවීසුනා. පන්සියයක් වූ සංඝ පිරිසටද වෙන් වෙන් වශයෙන් නැව් පන්සියයක් සකසා තිබුණා.
ඒ ඒ පිරිසත් ඒ ඒ නව්කා වලට පිවිසුණා. ඉන්පසු නා රජවරු බුදුපාමොක් මහසග පිරිස නාග විමනට කැදවාගෙන ගියා. එහිදී භාග්‍යවතුන් වහන්සේ නා පිරිසට මුළු රැයම දර්මය දේශණා කළා. පසුදින නාගයෝ අති ප්‍රණීත දිව බෝජුනින් මහදන් පිළිගැන්වූවා. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට පුණ්‍ය අනුමෝදනා කොට නා බවනින් නික්මුණා.

🌻 වැසි දෙවිවරුන්ගෙන් පටන්ගෙන අකනිටා බඔලෝ දක්වා නැංවූ සේසත් හා සාදු නද.

උන්වහන්සේ ලැබූ සත්කාර එතනින් නිමාවුනේ නැහැ. පොළොවෙහි වැසි දෙවිවරු මිනිසුන්ද නාගයෝද තථාගතයන් වහන්සේට මෙලෙස කරති. අපි නිකම් බදු සත්කාර නොකරන්නෙමුදැයි සිතා වනලැහැබ්වල ගස් පව් මුදුන් ආදියෙහි සේසත් පිට සේසත් නංවනු ලැබුවා. මේ ආකාරයෙන් අකනිටා බඔලෝ දක්වා මහත් සත්කාර පවත්වනු ලැබුවා.

බිම්බිසාර රජුද ලිචඡවී රජවරුන් පැමිණි කල කරන ලද සත්කාරවලට වඩා දෙගුණ වන පරිදි සත්කාර කරනු ලැබුවා. පෙර කී පරිද්දෙන්ම පුද සත්කාර ලබම්න් පස්දිනකින් භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරට නැවත වැඩම කරවන ලැබුවා

🌻 දම්සභා මණ්ඩපයේ ඇතිවූ කතාබහ..

භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරට පැමිණි පසු කාලයෙහි වටරවුම් සාලාවෙහි රැස්වූ සඟ පිරිස අතර යම් තැනැත්තෙකු වෙනුවෙන් ගගෙහි එතෙර මෙතෙර අටයොදුනක් වූ බිම් පෙදෙසෙහි දියෙහිද ගොඩබිමෙහිද සමකොට වැලි අතුරා මලින් ගැවසී තිබුණේද යොදුනක් පමණ ගංගා ජලයෙහි නන් පැහැති පියුමින් ගැවසුන්ද අකනිටා බවන දක්වා සේසත් පිට සේසත් නැංවීද ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බලමහිමය පිනිසමයි, හරි පුදුමයි යනුවෙන් මේ අතුරු කතාබහ ඇතිවුනා. භාග්‍යවතුන් වහන්සේ ඒ බව දැන සුගන්ද කුටියෙන් නික්ම ඒ මොහොතට සුදුසු අයුරින් පැමිණ පනවන ලද උතුම් බුදු අසුනෙහි වැඩසිටිය.

එසේ වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ ” මහණෙනි දැන් කිනම් කතාබහක් මෙහි සිදුවුනාද?” යනුවෙන් සඟ පිරිස අමතනු ලැබුවා. සංඝයා වහන්සේලා බුදුන්වහන්සේ ලැබූ ඒ පුදසත්කාර පිළිබඳව සියළු තොරතුරු සැළකර සිටියා. එවිට තථාගතයන් වහන්සේ මෙලෙස ඒ මනරම් අතීත කතා වෘතාන්තය දේශණාකරනු ලැබුවා.

🌻හෙට සුසීම පසේබුදුහමුදුරුවෝ සහ සංඛ බ්‍රාහ්මණයා🌻

තුසිත රාජපක්ෂ – ප්‍රංශය
20-03-2020