Monthly Archives: January 2021

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3pjHkvL
🌹 කපිල සුත්‍ර වර්ණනාව 04 🌹

මීට ඉහත කියූ කපිල භික්‍ෂුවගේ කතාවත් සොරුන්ගේ කතාවත් යන දෙකම අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කාලයේ එකට සම්බන්ධ වන්නේ හරිම අපූරු ආදර්ශමත් කතා වෘතාන්තයක් ලෙස. ඒ ඔබ හොඳින් දන්නා කට ගඳ ගසන රත්තරන් මාළුවාගේ කතාවෙන්. අද ඒ කතාව මෙතැන් සිට.

මෙසේ ඒ සොරුන් පසුව සිල් රැකීමේ අනුහසින් බුද්ධාන්තරයක් කාමාවචර දිව්‍ය තල සහ මිනිස්ලොව තුල සැරි සරා අප මහා බුදුරජාණන් වහන්සේගේ කාලයේ මෙලොව උපත ලැබුවා. ඒ මෙලෙසයි, සොරනායකයා සැවැත්නුවර වාසල් දොරටුව අසල විසු ධීවර ගම්මානයක දීවර නායකයාගේ බිරිඳගේ කුස තුලත්, අනෙකුත් පිරිස ධිවර ගම්මානයේ අනෙකුත් ධීවරයින්ගේ බිරින්දෑ වරුන්ගේ කුස තුලත් එකම දින එකට පිළිසිඳ ගනු ගනු ලැබුවා. ඒ අයත් සංසාරය පුරා මෙලෙස කණ්ඩායමක් වශයෙන් එකට යන්නට ඇති. මේ බව දැනගත් ධිවර නායකයා මේ දරුවන් මගේ පුතුට මතු කර්මාන්තය සුරැකීම සඳහා සහායකයන් වෙන්නේ යැයි කියා එම සියලුම පවුල් වලට මුදලින් සහ අනෙකුත් ද්‍රව්‍යයන්ගෙන් ආධාර කරන්නට වුනා. වැලිකෙලියෙහි පටන් එකටම වැදුණු මේ දරුවෝ කල්යත්ම වැඩිහිටියන් වුනා. ඔවුන්ගේ නායකයා වුයේ සයෝජය.

කපිල භික්ෂුවද එකල නිරයෙහි පැසුන (ප්‍රථම) කාලය අවසන්ව අචිරවතී නදියෙහි රන්වන් පැහැ ඇති මුවින් දුගඳ හමන මළුවෙක්ව උපන්නා. එම මාළුවත් එම නදියෙහි වැඩෙමින් විශාල මාළුවෙක් බවට පත් වුනා. මෙලෙස කාලයාගේ ඇවෑමෙන් වැඩිවියට පත් දරුවන් පන්සියය ධිවර දැල් ද රැගෙන තම ප්‍රථම මාලු ඇල්ලීම සඳහා අචිරවති නදිය වෙත පැමිණිය. ඒ ප්‍රථම දිනයේම එහි සිටි මෙම රත්තරන් මාළුවා දැක දැල් එලා කොටුකරගැනීමට සමත් වුනා. ඉන් අනතුරුව ඔවුන් ඒ මාළුවා ව විශාල නැවක තබා ( පන පිටින් ගෙනඒමට සැදූ විශාල ඔරුවක් විය හැකයි. පෙළෙහි සඳහන් වන්නේ නැවක් ලෙසින් ) ගම්මානයට රැගෙන එනු ලැබුවා. ධිවර නායකයා මෙය දැක ඉතාමත් සතුටට පත්ව “අපේ දරුවන් පලවෙනි සැරයේම අල්ලාගෙන ඇත්තේ රත්තරන් මාළුවෙක් නෙව” යැයි පවසා මෙය රජතුමාට දුනහොත් විශාල මුදලක් තුටු පඳුරු වශයෙන් ලැබිය හැකයි කියා පිරිසත් සමග රජ තුමා වෙත රැගෙන ගියා. රජ තුමා මෙම විශිමිත මාළුවා දැක විශ්මයට පත්ව මේ කුමක් දැයි දැන ගැනීමට පිරිසත් සමග බුදුරාජාණන් වහන්සේ කරා ගියා. ඒ අවස්ථාවේ මාළුවා මුව විවර කරන විට මුළු ජේතවන පෙදෙසම තද දුගඳකින් වැසි ගියා.

හිමියනි, කුමක් නිසා මෙම මාළුවා රන් පැහැ විද? කුමක් නිසා මොහුගේ මුවින් මෙතරම් දුගඳක් හමන්නේදැයි ” රජතුමා බුදුරජුන් වෙතින් විමසා සිටියා.

මහරජ මෙම මාළුවා කස්සප බුදුරජුන්ගේ සාසනයෙහි කපිල නමින් පැවිදිව සිටිය. දහමෙහි බොහෝ ඇසූ පීරූ තැන ඇතිව, තම වචනය පිළිනොගන්නා මහනුන්හට නින්දා අපහාස කරමින් සසුන වැනසුවා. එහි විපාකයක් ලෙස අවීචි මහා නරකයේ උපන්නා. ඉතිරි විපාක ලෙසින් දැන් මත්සයෙක්ව ඉපිදිලා ඉන්නවා. දිගු කලක් බුදු වචනය කියා දුන් බැවින්ද, බුදුගුණ කියූ බැවින්ද ඒ විපාකය අනුව මෙවැනි පැහැය හටගෙන තිබෙනවා. මහණුන්ට බැණ වැදී නින්දා අපහාස කල බැවින් මුවින් මෙලෙස දුගඳ හමයි. මහරජ මොහු ලවාම එය ඉදිරිපත් කරවන්නෙමි යැයි පැවසුවා. රජතුමා එසේය හිමියනි යනුවෙන් පිළිවදන් දුන්නා. අප මහා බුදුපියාණන් වහන්සේ බුද්ධ අඥා ශක්තියෙන් මාළුවට පෙර ආත්ම බව පෙන්වා කතා කරන්න සැලැස්වූවා.

බුදුරජාණන් වහන්සේ – ඔබ කපිල නේද?

කපිල මාළුවා – එසේය හිමියනි. මම කපිල වෙමි.

බුදුරජාණන් වහන්සේ – කොහි සිට පැමිණියේද ?

කපිල මාළුවා – භගවත් හිමියෙනි, අවීචි මහා නරකයෙහි සිට.

බුදුරජාණන් වහන්සේ – සෝධන කොහි ගියේද?

කපිල මාළුවා – භගවත් හිමියනි පිරිනිවන් පෑවේය.

බුදුරජාණන් වහන්සේ – සාධනී ගියේ කොහිද?

කපිල මාළුවා – භගවත් හිමියෙනි නිරයේ ඉපදුණාය.

බුදුරජාණන් වහන්සේ – තපනා කොහි ගියේද?

කපිල මාළුවා – මහා නිරයේ උපන්නේය.

බුදුරජාණන් වහන්සේ – දැන් ඔබ යන්නේ කොහෙද?

කපිල මාළුවා – භාග්‍යවතුන් වහන්ස මහා නිරයටයි.

එකෙණෙහිම විපිළිසර වූ කපිල මාළුවා හිසෙන් නැවට පහර දී ගොස් නැවතත් මහා නිරයේම උපන්නා.

මහජනයා ලොමුදැහැ ගන්වමින් සංවේගයට පත් වුනා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ එහි පැමිණි ගිහි පැවදි පිරිසට ඒ මොහොතට සුදුසු පරිදි දහම් දෙසමින් මේ සුත්‍රය වදාරනු ලැබුවා.

එකිනෙකා කෙරෙහි ගරු කිරීමෙන් සහ සිහියෙන් යුතුව මෙසේ ඔබලා සීලයෙන් පිරිසිදුව සිල්වත් ගුණවත් මහණුන් සමග ඇසුරු කරමින්, යහපත් හැඟීමෙන් හා මහණදමට අනුකුලව සීල සංවරයෙන් යුතුව, සමගිව සෙමෙන් සෙමෙන් පැසුණු නුවණින්, පිරිපුන්ව සියලු සසර දුක් කෙලවර කරවූ යැයි අරහත් ඵලයට කුළුගන්වමින් දේශනය නිමා කරනු ලැබුවා. දේශණය අවසන ඒ මසුන් මරණ දරුවෝ පන්සියයම සංවේගයට පත්ව, නොබෝ කලකින් දුක් කෙළවරකොට භාග්‍යවතුන් වහන්සේ සමග “ආනඤවිහාර සමාපත්තිධම්ම” සේ හඳුන්වන කෙලෙස් සිඳ එකම අරමුණ වූ නිවන වෙත පැමිණියා. මෙසේ භාග්‍යවතුන් වහන්සේ සමග “එකම දේ පරිහරණය” නම් වූ ඒ තතු උදානයෙහි සදහන් කරුණ යසොජ සුත්‍රය අනුව දත යුතුය.

මෙලෙස ත්‍රිපටකයේ කෙල පැමිණි ගිහි පැවිදි පිරිස් අදටත් අවීචියේ දුක් විදිද්දී, තිසරණයේ නිසිආකරයේ පිහිටි සොරුන් මං පැහැරන්නන් සසර දුක නිමා කරගත්තා. අද ලාභ සත්කාර විදිමින් බුදුන් වදාල දර්මයම වැරදි ලෙස දේශනා කරමින් බුදුන්ගේ උපත බුද්ධත්වය සහ පරිනිර්වාණය යන ප්‍රධනකරුණු ඇතුළුව සියලු සුවිශේෂී ස්ථාන ශ්‍රී ලංකාව තුල සිදුවුනේ යනුවෙන් විද්‍යුත් මාධ්‍ය මගින් අසත්‍ය වපුරමින් සිවු පසයෙන් යැපෙන තවත් චීවරධාරීන් සහ අනුගාමිකයින් පිරිසකගේ හෙට දිනයේදී උදාවන සෝචීය කතා වෘතාන්තයයි මේ. මට හිතුනා මේ අයව දැකලම බුදුරජාණන් වහන්සේ මේ දේශණාව වදාරනු ලැබුවද කියලා. ඒ කෙසේ වෙතත් ඒ සියලු දෙනා සතර අපා දුකින් මිදෙත්වා! කියා මෛත්‍රී සිත් පෙරටුකොට හද පත්ලෙන්ම පතනවා.

සියලු සත්වයෝ නිදුක් වේවා! . අල්පමාත්‍ර වූ පවටත් බිය ඇත්තෝ වෙත්වා ! සසර දුකෙන් එතෙර වේවා !! සාදු සාදු සාදු !!!
🍀 උපකාරක ග්‍රන්ථ – ඛුද්දකනිකාය » සුත්තනිපාතපාළි » චූළවග්ගො » ධර්මචර්යා කපිල සූත්‍ර අටුවාව

තුසිත රාජපක්ෂ – ප්‍රංශය
26-01-2021

විශේෂ පුණ්‍යානුමෝදනාව – path to nirvana හි පින්වත් ජනක කල්‍යාණ මිතුරාට

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3qKyjvU
🌸🌸කපිල සුත්‍ර වර්ණනාව 03 🌸🌸

ඉහතින් සඳහන් කලේ සසර කෙටි කරගන්න පැමිණි පිරිස අධික මාන්නය නොදැමුණු කම නිසා අපා ගත වූ සැටියි. දැන් කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. ඒ කාලෙම සුවච වගේම සිල්වතුන්ට ඇහුම්කම් දීපු නිසා හොරු පිරිසක් දෙවුලොව ගිය සැටියි. මේකත් ඒ කතාවට සම්බන්ධයි.

ඒ දවස්වලම හොර නායකයෙක් ඇතුලු හොරු පන්සියක් ගම් දනවු විනාශ කරමින් හොරකම් කරමින් ඒ පෙදෙස රජ කරන්න පටන්ගත්තා. ගම්වාසින් ඉවසා බැරි තැනම සිල්ලන්ම සමගියෙන් එකතු වී මොවුන්ව ලුහුබඳින්න පටන්ගත්තා. තැති ගත් හොරු ජිවිත බේරාගන්න කැළයට පලායන්න වුනා. කැලයේ කෑමට හෝ පිළිසරණක් වීමට කිසිවක් තිබුනේ නැහැ. අවසානයේ ඒ අසලවූ ගල්පව්වක සිටි මහණ භික්ෂුවක් දැක අනේ හිමියනි අපහට පිළිසරණක් වනු මැනවයි යාචනය කරන්නට වුනා. “ඔබලාට සීලය තරම් අන් පිළිසරණක් නැත එහෙනම් පන්සිල් සමාදන් වේව” යැයි උන්වහන්සේ කියා සිටියා. ඔවුන් සියල්ලෝම යහපතැයි පිළිගෙන සිල් සමාදන් වුවා. ” දැන් ඔබ හැමෝම සිල්වත්ය. ජීවිතය විනාශ වුනත් සිත කිළිටි නොකරගනිවූ ” යනුවෙන් ඔවුන් හට උපදෙස් දෙනු ලැබුවා. ඒ සියල්ල යහපතැයි පිළිගෙන හොරු කණ්ඩායම ජනපදයට යලි පිටත් වුනා.

ජනපදයේ ඉබාගාතේ ඇවිදින හොරුන් ගම්වාසීන්ට මුණගැසුනා. ගම්වාසීන් ඒ පන්සීය දෙනාම මරා දැම්මා. ඒ පිරිසම සිල් රැකීමේ අනුහසින් දෙව්ලොව උපන්නා. හොර නායකයා ඒ දෙවු පිරිසේ නායකයා වුනා. අන් අය ඔහුගේ පිරිවර වුනා. ප්‍රඥාවන්තයින් මිනිසුන්ට වෛර කරන්න උගැන්නුවේ නැහැ. සීලයේ පිහිටෙවුවා. කල්ප ගණන් දුගතුයේ දුක් විඳිනු වෙනුවට සුගතියේ දෙවු සැප ලබා දුන්නා.
🔥🔥🔥🔥තව කොටසක් හෙට දිනයේ, (කට ගඳගසන රත්තරන් මාලුවා ) 🔥🔥🔥🔥

සියලු සත්වයෝ සුවපත් වේවා ! අල්ප වූ වරදටත් භය වෙත්වා ! සම්බුද්ධ සාසනය සුරකේවා!

🍀 උපකාරක ග්‍රන්ථ – ඛුද්දකනිකාය » සුත්තනිපාතපාළි » චූළවග්ගො » ධර්මචර්යා කපිල සූත්‍ර අටුවාව

තුසිත රාජපක්ෂ – ප්‍රංශය
24-01-2021

විශේෂ පුණ්‍යානුමෝදනාව – path to nirvana හි පින්වත් ජනක කල්‍යාණ මිතුරාට

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3iEvcD5
🌸🌸 කපිල සුත්‍ර වර්ණනාව 01 🌸🌸

මෙහි නිධාන කතාව ඇති වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ කාලේ නෙවෙයි. කසුප් නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේ . මේ කතාව පටන් ගන්නකොට උන්වහන්සේත් පරිනිර්වාණය වැඩි කලක් නැහැ. අද මෙන්ම විමුක්තිය සොයමින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ගිහිගෙන් නික්ම ශ්‍රාවක හිමිවරුන් ළඟ පැවිදි වෙනවා . වැඩිමල් සහෝදරයා සෝධන. බාල සොයුරා කපිල. ඔවුන්ගේ මව සාධනී. නැගෙණිය තාපානා නම් වූවා. ඔවුන් දෙදෙනාත් මෙහෙණි සසුනෙහි පැවිදි වෙනවා. තාත්තා ගැන සඳහනක් නැහැ.

ඒ කියන්නේ මුළු පවුලම තාත්තා ඇරෙන්න මහණ වෙනවා . අදත් එලෙස සසුන්ගත වන පවුල් අපි දැකල තියෙනවා.

වැඩිමහල් අයියා වැඩි කල් නොගොස් උට්ටාන වීරයෙක් අරහත්වයට පත් වෙනවා. එහෙත් මල්ලි හිතෙනවා මම තවම තරුණයි මට තව වයස තියෙනවා කියලා විදසුන් වඩන්න. ඔහු (කපිල හිමි) ත්‍රිපිටකය හොඳින් ඉගෙන හසල දැනුමක් ලබනවා තුන්පිටකයම පිළිබඳව. ඒ විතරක් නෙවෙයි. මහා දර්ම කතිකයෙක් වෙනවා.

ඒ කපිල හිමිගේ දහමෙහි වියත් බව නිසා දිනෙන් දින පිරිවරද පිරිවර සමගින් ලාභසත්කාර කිරිති ප්‍රසංශා ද අඩුවක් නැතිව ගලා එන්නට පටන් ගන්නවා. එත් අද ඉන්න ශ්‍රමණ ප්‍රතිරූපකනයට එලෙස දර්මයේ වියත්කමක් නැහැ. ඇත්තේ මුකරි කටක් පමණයි. කෙසේ වෙතත් එලෙස කපිල හිමියන් ලාභ සත්කාර කිර්ති ප්‍රසංශා පිරිවර සමග අත්වැල් බැඳගත් උඬගු බවෙන් මත්ව නොදන්නා දෙයක් වුවත් දන්නා බව හඟවමින් ධර්මයට විනයට අනුව වෙනත් හිමිවරු පිළිගැනීමට කැප දේ අකැප ලෙසත් අකැප දේ කැප ලෙසත් වැරදි දේ නිවැරදි ලෙසත් නිවැරදි දේ වැරදි ලෙසත් පවසන්නට වනවා.

අනිත් සිල්වත් භික්ෂුන් වහන්සේලා “ඇවැත්නි කපිල මෙසේ නොකියව මැනව” ආදී වශයෙන් අවවාද කරන විට හිස් මුට්ටියක් වැනි ඔබලා කුමක් දනීදැයි දොස් නගමින් ගරහමින් නින්දා පරිභව කරමින් හැසිරෙන්නට වෙනවා. අදත් එවැනිම ශ්‍රමණ වෙෂධාරින් (මෝඝ පුරුෂයන්) පමණක් නොවෙයි, ගිහියන් පවා ඔවුන් සමග එකතුව ඊටත් වඩා බරපතල ලෙස නින්දා අපහාස කරමින් කටමැත දොඩමින් හැසිරෙන ආකාරය දිනපතා මුහුණු පොත සහ yotube නාලිකා නරඹන ඔබ දකිනවා ඇති.

කෙසේ වෙතත් මෙම තත්වය මෙලෙස දිනෙන් දිනම දරුණු වෙමින් පවතිද්දී අනෙකුත් භික්ෂූන් වහන්සේලා මේ බව කපිල භික්ෂුවගේ සොහොයුරු සොධන රහතන් වහන්සේට පවසන්නට තීරණය කරන්නේ ඔහුගේ කීමටවත් ඔහු සවන් දෙනු ඇතැයි යන පරම පවිත්‍ර චේතනාවෙන්. ඒ නිසා හිමිවරු කපිල තෙරුන්ගේ සොහොයුරු සොධන රහතන් වහන්සේට ඒ බව සැළ කරනු ලැබුවා. සොධන රහත් තෙරුණුවන් ද කපිල තෙරුන් වෙත එළඹ “ඇවැත්නි සාසනය බොහෝකල් පවතින්නේ ඔබ වැන්නන්ගේ මනා පිළිවෙත් නිසයි. එම නිසා කැප දේ අකැප ලෙසත් නිවැරදි දේ වැරදි ලෙසත් නොකියන්න කියල අවවාද කරනු ලබනවා. කපිල හිමි ඒ කිසිවක් පිළිගන්නට කැමති උනේ නැහැ. සොධන තෙරුණුවන් දෙවරක් හෝ තුන්වරක් කියා අවසානයේ නිහඬ වන්නේ ඔබ කරන දෙය ඔබම බලාගන්න යනුවෙන් පවසමින්. සහෝදර රහත් තෙරුනුන් වහන්සේ ඉන්පසුව එතැනින් නික්ම යනවා. එතැන් පටන් යහළු හිමිවරුද කපිල තෙරුන්ව අතහැර යන්නට වනවා.

🍀 උපකාරක ග්‍රන්ථ – ඛුද්දකනිකාය » සුත්තනිපාතපාළි » චූළවග්ගො » ධර්මචර්යා කපිල සූත්‍ර අටුවාව

තුසිත රාජපක්ෂ – ප්‍රංශය

22-01-2021

විශේෂ පුණ්‍යානුමෝදනාව – path to nirvana හි පින්වත් ජනක කල්‍යාණ මිතුරාට