New at Little Bit


from Path to Nirvana https://ift.tt/2YSYg2O
” මෙය උපුටා පල කරන ලද්දක් වන අතර ලිපියේ සියලු ගෞරවය ලිපිය යොමු කල ස්වාමීන් වහන්සේට බව මෙත් සිතින් සිහිපත් කරමි ”

☀️ අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන්ට ගරහා අපාගත නොවන්න ☀️

නාඋයනේ මාහිමිපාණන් වහන්සේ යනු කවර අන්දමේ උතුමෙක් දැයි සමීපව ඇසුරු කළ සත්පුරුෂයෝ දනිති. “මේ වස් තුන්මාසය පුරාවටම එකම අකුසල් සිතක්වත් පහළ වුනේ නෑ” යනුවෙන් අභීතව සිංහනාද පැවැත්වීමට තරම් සතිමත් වූ ප්‍රඥාවන්ත වූ උතුමෙකි. වසර 1000 තරම් මෑත ඉතිහාසයේ එබඳු සිංහනාදයක් වෙන කෙනෙකුගෙන් අපි අසා නැත්තෙමු. එතුමන් වහන්සේ මුළු ත්‍රිපිටකයම අර්ථ සහිතව කටපාඩමින් දැරූ උතුමෙකි. සීල – සමාධි ප්‍රඥා ගුණයන්ගේත් කරුණා මෛත්‍රී ගුණයන්ගේත් ප්‍රතිමූර්තියකි. එතුමන් වහන්සේගේම අකුරින් සඳහන් වන පරිදි අනාගත භව 1800 කින් මතු බුදුබව ලබන නියත විවරණ ලාභී මහබෝසත් උතුමෙකි.
එබැවින් එවැනි උතුමන්ට ගර්හා කිරීම ඉතා බලවත් පාපයකි. එවැනි උතුමන් අතින් වැරදි නොවන්නේ යැයි අපි නොකියමු. නමුත් සැබෑවටම වූ වරදක් ගෙන වුවත් එවන් උතුමන්ගේ ගුණ මැකෙන අයුරින් පාපී සිතින් අවමන් දෝෂාරෝපන කරන්නේ නම් එහි විපාක ඉතාම දරුණුය. දිට්ඨධම්මවේදනීය වශයෙන් පවා බලවත් විපාක ගෙනදීමට සමත් බව චරියාපිටක පාළියේ මාතඞ්ගචරියාව කියැවීමෙන් දත හැකිය. එහිදී මහබෝසතුන්ගේ හිස හත්කඩකට පැලේවා යැයි ජාතිමන්ත තාපසයා කළ සාපය ඒ ජාතිමන්ත තාපසයා මතම පතිත වූ අයුරු දැක්වේ. ඊට හේතුව මෙසේ දැක්වෙ “යඤ්‌හි තෙන පාරමිතාපරිභාවනසමිද්‌ධාහි නානාසමාපත්‌තිවිහාරපරිපූරිතාහි සීලදිට්‌ඨිසම්‌පදාහි සුසඞ්‌ඛතසන්‌තානෙ මහාකරුණාධිවාසෙ මහාසත්‌තෙ අරියූපවාදකම්‌මං අභිසපසඞ්‌ඛාතං ඵරුසවචනං පයුත්‌තං, තං මහාසත්‌තස්‌ස ඛෙත්‌තවිසෙසභාවතො තස්‌ස ච අජ්‌ඣාසයඵරුසතාය දිට්‌ඨධම්‌මවෙදනීයං හුත්‌වා සචෙ සො මහාසත්‌තං න ඛමාපෙසි, සත්‌තමෙ දිවසෙ විපච්‌චනසභාවං ජාතං,” (පාරමී පිරීමෙන් සමෘද්ධ වූ, නොයෙක් සමාපත්ති විහරණයන්ගෙන් පරිපූර්ණ වූ, සීල – ප්‍රඥා සම්පත්තීන්ගෙන් මනාව සැකසුණු චිත්ත සන්තාන ඇත්තා වූ, කරුණාවෙන් ඉවසනසුලු මහබොසතුන් විෂයෙහි කරන යම් උපවාදයක් සාපයක් ඵරුස වචන කීමක් වේද එය මහබෝසතුන්ගේ ක්‍ෂේත්‍ර විශේෂභාවය නිසාත් කියන්නාගේ අදහසේ රළුබව නිසාත් දිට්ඨධම්මවේදනීය වී ඉඳින් හෙතෙම මහබෝසතුන්ව සමාකරවා නොගනී නම් හත්වැනි දිනයෙහි විපාක දෙන ස්වභාවයට පත්විය.) යනුවෙනි.

නාඋයනේ මාහිමිපාණන් වහන්සේ යනු ද එවන් මහබෝසත් උතුමෙක් බැවින් එබඳු උතුමන්ට කරන දෝෂාරෝපනයන්ගේ විපාක ද මෙබඳුය. එබඳු උදාහරණ කීපයක් මෙසේ දක්වන්නේ නුවණැත්තන්ට කරුණු දැනගෙන පවින් වැළකීම පිණිසයි.

1. එක් ස්වාමින් වහන්සේ නමක් අපි සමගම මෙසේ කීවේය, “නාඋයනේ ලොකු ස්වාමින් වහන්සේට දොස් කීවම මගේ කට ඉදිමෙනවා. වාර කීපයක් එහෙම වෙලා තියෙනවා” යනුවෙනි.

2. එසේ දොස් කියූ ඇතැම් භික්‍ෂූන් උපැවිදි වූ අයුරුත් ඇතැමෙක් නිතර ගරු ඇවැත් වලට පත්වෙමින් පීඩිතව පැවිද්ද ගතකරන අයුරුත් දකින විට අංගුත්තර දසක නිපාතයේ ඇති අක්කෝසක සූත්‍ර දේශනාව (අං.නි. 06 පොත 302 – 305 පිටු) නිතැතින්ම සිහි වේ. මෙම විපාකයන්ට අමතරව එහි ඇති උමතු බවට පත්වීම, සිහිමුළාව මියයාම, දුගතියේ ඉපදීම ආදී විපාක ගැන විස්තර දකින විට ඒ අය ගැන ඇති වන්නේ අනුකම්පාවකි.

3. නාඋයනේ මාහිමිපාණන් වහන්සේ ඇතුළු තවත් අතිශය සිල්වත් මාහිමිවරු පිරිසකට බොරු චෝදනා කරමින් යම් පිරිසක් ද්වේෂ සහගතව ලිපි කිහිපයක් ප්‍රචාරය කරවූහ. කලින් පැවිදිව සිට පසුව උපැවිදි වූ කෙනෙක් ඒ ගැන කියා තිබුණේ “ඒ ලිපි වලට මමත් උදවු කළා. අපි ඒ කරපු වැරදි කටයුත්ත ගැන ගොඩක් පසුතැවීම් ඇතිවුනා. ඒ නිසාම සිවුරු හැරියා” කියායි. මෙසේ පැවිද්ද නැතිවීමට තරම් එවැනි උපවාදවල විපාක බලවත් බව මෙයින් දතයුතුය.

4. එක් දිනක් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරිනියක් නාඋයනේ මාහිමිපාණන් වහන්සේ වැඩසිටි මීතිරිගල ධර්මායතනයට පැමිණ උන් වහන්සේට “ඔබ වහන්සේලා කුටි හදමින් කැලෑ විනාශ කරනවා” යනාදී ලෙස මාහිමියන්ට බොහෝ දොස් පවරා තිබෙනවා. මාහිමිපාණෝ “අපි මේවා කරන්නෙ නෑ. දායක පිරිසයි ඒව සකසා දෙන්නේ” යනාදී ලෙස වදාළත් තව තවත් දොස් නගා තිබෙනවා. පසුව එතැන සිටි පිරිස ඇයව බලෙන්ම වගේ එතැනින් ඉවතට ගෙනයන අතර කැලෑවේ සිට පැමිණි වඳුරෙක් ඇයව දරුණු ලෙස හපා කා තිබෙනවා. දින කීපයක් අතරතුර ඇය කළ නීතිවිරෝධී කටයුත්තක් හෙළිවීමෙන් රැකියාවට පවා ගැටලු ඇතිවූ බව දැනගන්න ලැබුණා. පසුව එම ආයතනයේ ප්‍රධානීන් ඇය කළ මේ දොස්කීම ගැන දැනගෙන ඇය කැටුව විත් මාහිමියන්ගෙන් සමාව ගත් බවත් දැනගන්න ලැබුණා.

5. “නාඋයනේ මාහිමිපාණන් වහන්සේ වැනි උතුමන්ට දොස් කියන අයගෙ පැවිද්ද සාර්ථක වෙන්නෙ නෑ” යන කරුණ අපි ඇසුරු කරන භික්‍ෂූන් අතර ප්‍රකට දෙයකි. ඊට සාධකත් ඕනෑ තරම් දත හැකිය.

නමුත් ඇතැම්හු තමන් මගඵල ලබා ඇත යන මිත්‍යාදෘෂ්ටිය නිසාත් “අපේ ගුරුවරු මගඵල ලාභීන්ය” යන මිත්‍යාදෘෂ්ටිය නිසාත් ඔවුන්ගේ කීම් අසා සත්‍ය අසත්‍ය නොදැන මුළාවට පත්ව සිල්වත් ගුණවත් උතුමන්ටත් ධර්මයටත් ගරහා ආර්යෝපවාදාදී බොහෝ අකුසල් කරගෙන අපාගත වෙති.

නොදැන වුවත් දෘෂ්ටිගතව සිල්වත් ගුණවත් උතුමන්ට ගැරහීමෙන් වන නපුර තුරුබ්‍රහ්ම සූත්‍රයේ (සං.නි. 1 පොත 270-271 පිටු) මෙසේ දැක්වේ.

පුරිසස්‌ස හි ජාතස්‌ස, කුඨාරී ජායතෙ මුඛෙ;
යාය ඡින්‌දති අත්‌තානං, බාලො දුබ්‌භාසිතං භණං.

‘‘යො නින්‌දියං පසංසති, තං වා නින්‌දති යො පසංසියො;
විචිනාති මුඛෙන සො කලිං, කලිනා තෙන සුඛං න වින්‌දති.
…… යමරියගරහී නිරයං උපෙති, වාචං මනඤ්‌ච පණිධාය පාපක’’න්‌ති

එහි කෙටි සරල අරුත මෙසේයි. (අනුවණ මිනිසාගේ කටේ උපදින විටම තමන්වම නසාගන්නා වැරදි වචන නම් කෙටේරියක් හටගනී. යමෙක් නින්දා කලයුත්තාට පසසයි ද පැසසිය යුත්තාට නින්දා කරයි ද මෙසේ කටින් බොහෝ පවු කොට දුකට පත් වේ. එසේ ආර්යයන්ට ගරහන්නා පහත් වචනත් පහත් සිතත් නිසා නිරයෙහි උපදී.)

කෝකාලික භික්‍ෂුව, උන්වහන්සේගේ ගුරුවරයාව සිට අපවත්වී සුද්ධාවාසයේ උපත ලබාසිටි අනාගාමී බ්‍රහ්මයෙකු වූ තුරුබ්‍රහ්මරාජයා විසින් “අගසවු දෙනම කෙරෙහි සිත් පහදවාගන්න” යනාදී ලෙස අවවාද කලත් එය නොසලකා වැරදි දෘෂ්ටියේම සිට අපාගතවිය. මහබෝසත් උතුමන්ට ගැරහීමෙන් ද ඉතා බලවත් අකුසල් වන බව පෙර අපි දැක්වීමු.

ඇතැම් තැනක අග්‍රශ්‍රාවක සැරියුත් මාහිමියන්ගේ අදහස් පවා බුදුරජුන් ප්‍රතික්‍ෂේප කළ අවස්ථා චාතුමසූත්‍රය (ම.නි.2 පොත 210 පිටුව) යනාදී තැන්හි කියැවේ. නමුත් මේ කරුණින් එතුමන් වහන්සේගේ ගුණයට අල්පමාත්‍ර හෝ හානියක් නොවේ. මෙසේ යම් උතුමෙක් අතින් දහම් පාඨයක සුලු වැරදීමක් වූ පමණින් එය ගෙන සියලු ගුණ නසා කතා කරන්නේ නම් එය පාපී ගුණමකු අතිශය නපුරු වැඩකි. සසුනට හානිකර දෙයකි. වරද වරදක් ලෙසත් ගුණය ගුණයක් ලෙසත් දැක්වීම මැනවි. පැරණි රහත් උතුමන් අතර පවා බුද්ධවිෂය කරුණු පිළිබඳ වෙනස් අදහස් පැවති අයුරු දහමෙහි දැක්වේ. නමුත් ඉන් ඒ උතුමන්ගේ ගුණයන්ට හානියක් නොවේ.

හැමදෙයකම වැරදි දකින්නට පුරුදු වූ දෘෂ්ටිගතික අයට කොතරම් නිවැරදි කෙනෙකුගේ නමුත් දෝෂයම පෙනේ. ගුණ නොපෙනේ. එබඳු අය බුද්ධ කාලයේත් සිටි බව ධම්මපදයේ කෝධ වග්ගයේ එන අතුල උපාසකගේ කතාවෙන් දත හැකිය.

කරුණු මෙසේ හෙයින් අනුන්ගේ වැරදි නොසොයන නොකියන නාඋයනේ මාහිමිපාණන් වහන්සේ වැනි උතුමන්ට ගරහා මෙළොවත් දුකට පත්ව දුගතියේත් උපදින්නට වන බව සලකා හැකිතරම් අන්‍යයන්ගේ ගුණම දකින්නට හිත් හුරුකර ගනිත්වා යැයි කරුණාවෙන් දන්වමු.

අපවත් වී වදාල අතිපූජනීය දරණාගම කුසලධම්ම මහ නා හිමියන්ගේ මුවින් අපවත් වී වදාළ අතිපූජනීය නා උයනේ අරියධම්ම මහ නා හිමියන්ගේ ගුණ සිහිපත් කල අවස්ථාවක් සඳහා පිවිසෙන්න.
👉 https://ift.tt/2Nog5QD

~ මෙය ස්වාමීන් වහන්සේ නමක් මාර්ගයෙන් ලැබුණු ලිපියෙකි ~

අන් අයගේ යහපත සලකා #share කොට බෙදා හැරියාට කමක් නැත.

තෙරුවන් සරණයි!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏