Monthly Archives: December 2014

හෙට ජනවාරි පළවැනිදා. වසරක්‌ ගෙවිල වසරක්‌ ලබන දවස. වසරක්‌ ගෙවී ගියාය කියන්නෙ අපි…

හෙට ජනවාරි පළවැනිදා. වසරක්‌ ගෙවිල වසරක්‌ ලබන දවස. වසරක්‌ ගෙවී ගියාය කියන්නෙ අපි කාටත් ජීවත්වෙන්න තිබෙන කාලයෙන් වසරක්‌ අඩු වුණාය කියන එක. ඒ කියන්නෙ මරණයට වසරකින් ළංවුණාය කියන කාරණය. මේ කොයි පැත්තෙන් බැලුවත් අවංකවම සතුටුවෙන්න දෙයක්‌ මෙතැන නැහැ. නමුත් ගෙවීගිය වසරේ පිංවත් ඔබ අප්‍රමාදීව ධර්ම මාර්ගයේ ගමන් කළානම් ලැබුවාවූ වසරේ ඊටත් වඩා ශක්‌තිමත්ව ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන අධිෂ්ඨානය ඔබ තුළ ඇති වුණා නම් එතන තිබෙන්නෙ අර්ථවත් සතුටක්‌. ඒ වගේමයි ගෙවීගිය වසරේදී දාන, ශීල, භාවනා කටයුතුවලදී ප්‍රමාදභාවයට පත්වුණා, නව වසරේදී මා අප්‍රමාදීව කටයුතු කරනවාය කියන අධිෂ්ඨානයද සතුටට හේතුවක්‌මයි.

වසරක්‌ ලැබුව අවස්‌ථාවක පිංවත් ඔබට ජීවිතයේ තැබිය හැකි ලොකුම බලාපොරොත්තුව තමයි මේ වසර තුළදී මා සතර අපායෙන් නිදහස්‌ වීමට උපරිම උත්සාහයක නියෑළෙනවාය කියන බලාපොරොත්තුව. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැවිදි පක්‍ෂය විසින් ගිහි පක්‍ෂයට, දෙමාපියන් විසින් දරුවන්ට, ගුරුවරුන් විසින් ශිෂ්‍යයන්ට, කෙනකු විසින් තව කෙනකුට සමාදන් කරවිය හැකි උතුම්ම ත්‍යාගය, දායාදය සතරඅපායෙන් මිදීමේ මාර්ගය පහදාදීමය, සමාදන් කරවීමය කියලා. නව වසරක්‌ ආරම්භයේදී බුලත් අතකින්, කැවිලි පිඟානකින්, කේක්‌ ගෙඩියකින්, සුබ පැතීමකින්, හුවමාරු කරගන්නා ඥාතිත්වය, ස්‌වාමිත්වය, සෙනෙහස, හිතවත්කම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොටවදාළ සැබෑ ඥාති සංග්‍රහය සමග මොනතරම් නම් ප්‍රාථමික දැක්‌මක්‌ද? සුබ අලුත් අවුරුද්දක්‌ වේවා කියල කරන ශුභාශිංසනය තුළ මෛත්‍රිය, මනුෂ්‍යත්වය මුසුවෙලා තිබෙන බව ඇත්ත. ඒ ඇත්තේ තරමටම එම ශුභාශිංසනය තුළ අවිද්‍යාවද සැඟවී තිබෙන බව ඇත්තම කාරණයකි. අවිද්‍යාව කියල කිව්වේ විද්‍යාවෙන් තොර භාවයයි. ඒ කියන්නෙ ඇත්ත ඇතිසැටියෙන් නොදැකීමයි. දුක සැප මාරුකොට ගෙන දැකීමයි.

ජාති, ජරා, ව්‍යධි, මරණ වලට තව තව ළංවන මොහොතේ ‘සුබ නව වසරක්‌ වේවා’ කියනවා වෙනුවට ‘ලැබුවාවූ නව වසර, සතර අපායෙන් නිදහස්‌ වෙන වසරක්‌ වේවා’ කියල ප්‍රාර්ථනා කළොත් එතන තිබෙනවා ජාති, ජරා, ව්‍යධි, මරණවලින් මිදීමට ඔබ ගන්නාවූ උතුම් උත්සාහයක්‌. එහෙත් පිංවත් ඔබ මෙවැනි අර්ථවත් සුබ පැතීමක්‌ කරන්න ලැඡ්ජයි. අර්ථවත් දෙයින් අයින් වෙලා අනර්ථවත් දෙය ළංකර ගන්නවා. ‘බුදුසරණයි’ ‘තෙරුවන් සරණයි’ කියලා කියනවා. නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනානාකොට වදාළ ධර්ම මාර්ගය ගැන කියන්න ලැඡ්ජා වෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සරණගියා යෑයි කියන්නෙ අර්ථවත් ආකාරයෙන් ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන කාරණයයි.

පිංවත් ඔබ සතර අපායෙන් නිදහස්‌ වීම සඳහා සමාදන් විය යුතු තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ශීලයේ පරිපූර්ණත්වය, පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීම කියන අර්ථයන් මහා සංඝ රත්නය විසින් නිරතුරුවම ඇසෙන මොහොතක, අපි මොනතරම් දුර්වලතාවයකින්ද ජීවිතය සැලසුම් කරගන්නේ. අප්‍රමාණ සැප ලැබිය හැකි මාර්ගයක්‌ ඇස්‌පනාපිට තිබියදී අති දීර්ඝ දුකක්‌ උදෙසා කෙටි සැපයමයි අපි සොයන්නේ. ලොව පහළවූ ශ්‍රෙෂ්ඨ ශාස්‌තෘන් වහන්සේනමකගේ ඉගැන්වීම්වල අර්ථයන් ලිහිල් භාවයට පත්කොට ආගන්තුක වටිනාකම් අපේ කරගැනීම අභාග්‍යයක්‌. මෙතැනදී පිංවත් ඔබ සිතන්න අවශ්‍ය නැහැ අපට මාර්ගය කියලදෙන ගුරුවරු කොතැනද ඉන්නෙ කියලා. ඇසෙන සම්බුදු ධර්මයයි ඔබ ඔබේ මාර්ගය කරගත යුත්තේ. ගුරුවරුන්ගේ පුංචි හෝ දුර්වලතාවයක්‌ දකීනම් එයද මාර්ගය වැඩීමේදී කමටහනක්‌ කොට ගැනීමට ඔබ දක්‍ෂවිය යුතුය. ලෝක තත්ත්වයන්ට ඇලීමේ, ගැටීමේ ස්‌වභාවයන්ට යන්නේ නැතිව සමාජය, මනුෂ්‍යයා, ව්‍යාකූල වෙන්න වෙන්න ඇතිවන සමාජ විකෘතිය ධර්මයේ අර්ථය වශයෙන්මයි අපි දැකිය යුත්තේ.

ලෝක ධර්මයන් කෙරෙහි ඇලීමත් ගැටීමත් සකස්‌වෙන සිතක ඔබ නොදකින එකම දෙය අනිත්‍යයයි. ඒ කියන්නේ ධර්මයේ අර්ථය නොදැනීමයි. ධර්මයේ අර්ථය නොදකින්නා තමා අත්දකින ලෝක ධර්මතාවයන් හමුවේ ඇලීමත් ගැටීමත් අතර දෝලනය වෙමින් ධර්මයේ ස්‌වභාවය අවබෝධ කොටගැනීම මගහැර නිත්‍යවූ සැපයක්‌ම සොයනවා. මෙතැනදී තමයි සමාජ ව්‍යාකූලභාවය විකෘතිභාවය සකස්‌ වෙන්නේ. අසීමිත ඇලීම්, අසීමිත ගැටීම්, අසීමිත උපේක්‌ෂාවන්ගේ එකතුවක්‌ වෙනවා ලෝකය. ඵලය ලෝකය තුළදී දුටුවත්, හේතුව සකස්‌වූයේ ධර්මය නොදත් මිනිස්‌ සන්තානය තුළම නේද? කැඩෙන, බිඳෙන, විසිරෙන සම්මුති ලෝකයේ අර්ථය සකස්‌වෙන්නේ නාමරූප දෙක නමැති ‘පුංචි ලෝකයේ’ හේතුඵල ධර්මතාවයන් නිසාම නේද? ඒ නිසා පිංවත් ඔබ ධර්ම මාර්ගයට එන්න. මාර්ගයේ හික්‌මෙන්න. එවිට ඔබ දකින ලෝකය යහපත් වේවි. ඔබ ලෝකය තුළ සුරක්‍ෂිත වේවි. ඔබ ලෝකයෙන් නිවීයාවී.

ඉහත කරුණු සියල්ලම සකස්‌ වුණේ ඔබ තුළින්ම නේද? කැඩෙන, බිඳෙන, විසිරෙන සම්මුති ලෝකයත්, නාමරූප නමැති මම කියන ‘පුංචි ලෝකයත්’, අනිත්‍යයේ අර්ථයෙන්ම සකස්‌ වුණ දේවල්ය. අර්ථය අනිත්‍යවූ කල්හී යමක්‌ නිත්‍ය භාවයක්‌ සොයයිනම් ඔහු සොයන දෙය කවදාවත් හමුනොවනු ඇත. ඔබද මමද සසර මෙතෙක්‌ පැමිණියේ එම නිෂ්ඵල ගමනයි. පිංවත් ඔබ ලැබූ මේ ජීවිතයද සැප කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා සකස්‌ කොට ගත් ජීවිතයකි. පිංවත් ඔබම තීරණය කරන්න ඔබ ධර්මයෙන් කොතරම් දුරස්‌වෙලාද ඉන්නෙ කියලා. මේ දුරස්‌ථභාවය අවම කරගන්න ඔබ විසින් ඇති කරගන්නා අධිෂ්ඨානය ක්‍රියාත්මක භාවයට පත්වෙද්දී ඔබ තුළ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ධර්මතාවයන් වැඩෙන්න ඕනේ එකිනෙකට අඩු වැඩි භාවයෙන් තොරව.

මෙන්න මේ ‘අඩු වැඩි භාවයකින් තොරව’ කියන ස්‌වභාවය සමජයේ හුඟ දෙනකුගෙන් ගිලිහී ගොස්‌ තිබෙනවා. ප්‍රඥාව වැඩෙන ආකාරයට නොවේ ශ්‍රද්aධා, වීර්යය, සති, සමාධි කියන කාරණා ජීවිතයට එකතු කරගන්නේ. විදර්ශනා ඥානය වැඩෙන දිශාවටමයි පිංවත් ඔබ ඉහත කාරණය සතියෙන්, සිහියෙන් යුතුව ජීවිතයට ගලපා ගතයුත්තේ. මමත්වය වැඩෙන දිශාවට නොවේ. වසරක උදාවක්‌ සමරන මොහොතක මෙවැනි ධර්මයක්‌ ගැන පිංවත් ඔබ නැවත නැවත සිතනවානම්,මෙවැනි ධර්මයකට මුල්තැන දෙනවානම් එම වසර මොන තරම් සංහිදීමට පත්වූ වසරක්‌ වේවිද? අර්ථවත් ලෙසම තෙරුවන් සරණගිය වසරක්‌ වෙනවා නේද? පිංවත් ඔබ ගත්තාවූ තීරණයෙන් සැනසෙන්නේ ඔබම නේද? දුකෙන් මිදෙන දිශාවට යන්නේ ඔබම නේද? එසේ නොවුණ කල්හි ඔබ යන දිශාව ගැන පහත සටහන තබමි.

ජනවාරි පළවෙනිදා කියනකොටම සිහියට නැගෙන්නේ දෙසැම්බර් 31 දා රාත්‍රියයි. මේ රාත්‍රියේ භික්‌ෂුව වැඩසිටියේ අගනුවරට ආසන්න ආරණ්‍යයකය. රාත්‍රි 12.00 වෙලාවට ආසන්න වෙද්දී පුපුරා ගිය රතිඤ්ඤා පිපුරුම් හඬ මොනතරම් වේගවත්ද කියලා පිංවත් ඔබටත් ඇසෙන්නට ඇති.මේ රතිඤ්ඤා පිපුරුම් හඬේ දෝංකාරය කියන්නේ අවිද්‍යාවේ හඬයි. ඔබ හිතල බලන්aන මීට වසර විසිපහකට පෙරාතුව ඉඳල වසරින් වසර මේ හඬ වැඩි වුණා මිසක්‌ අඩුවුනේ නැහැ. අනාගතයේ කවදාකවත් මේ හඬ අඩු වෙන්ණේ නැහැ, වැඩි වෙනවා මිසක්‌. මේවා ලෝක ධර්මතාවයන්. මනුෂ්‍යයා ධර්මයෙන් පිරිහෙන්න පිරිහෙන්න නොවටිනා වටිනාකම් අර්ථවත් වෙනවා. ශිලයේ, සමාධියේ, ප්‍රඥාවේ නිහඬභාවයට එරෙහි ස්‌වභාවයන් තමයි සකස්‌ වෙන්නෙ. ඝෝෂාව යම් තැනක තිබෙනවානම් එතන ශිලයක්‌,සමාධියක්‌ තිබෙන්න විදිහක්‌ නැහැ. මේ දෙක නැති තැන ප්‍රඥාව ගැන කථාකරල තේරුමක්‌ නැහැ. ආයිමත් අපි එන්නේ අවිද්‍යාව කියන තැනටමයි. ලෝකයේ තිබෙන සැබෑම නිහඬතාවය අත්විදින්න පුළුවන් ඝෝෂාව තුළදීයි. දෙසැම්බර් 31 රාත්‍රියේ භික්‌ෂුව සයනය මත වැතිරී ඒ සැබෑම නිහඬතාවය අත්වින්දා හොඳ හැටියට. පරිසරය ඝෝෂාකාරී වෙන්න වෙන්න තමන්ගේ සිතේ නිහඬභාවය හොදින් දැනෙනවා, පෙනෙනවා. පුපුරන රතිඤ්ඤා හඬින් දෙදරුම්කන පරිසරය, නිහඬ සිතින් අත්දකිද්දි අවිද්‍යාවේ ඝෝෂාවත්, විද්‍යාවේ නිහඬතාවයත් සක්‌සුදක්‌ සේ පැහැදිලි වෙනවා. අර්ථවත් වෙනවා. එවිට දුකක්‌, සැපක්‌ නොවේ සිතට දැනෙන්නේ. අවදානමෙන් මිදුණාවූ නිදහසේ සුවයයි. මෙවන් අසිරිමත් මාර්ගයක්‌ පිංවත් ඔබේ ඇස්‌පනාපිට තිබියදී ශිලයේ, සමාධියේ, ප්‍රඥාවේ උතුම් නිහඬතාවයේ අර්ථය රතිඤ්ඤාවේ හඬින් විනාශකොට දමනවා.

පිංවත් ඔබ කල්පනා කරන්න වසර සුබ වෙන්න කියලා. ඔබ කොතෙක්‌ රතිඤ්ඤා පත්තුකළත් වසර සුබවෙලා තිබෙනවාද? දවසින් දවස ක්‍රෝධය, වෛරය, දුෂ්ශීලභාවය මහා වේගයකිනුයි සමාජයේ ඉහළ යන්නේ. රතිඤ්ඤා පිපුරුම්හඬේ දෝංකාරය යම් සේ වේගවත්ද දුෂ්ශීලභාවයේ වර්ධනයත් සමාජය තුළ වේගවත් වෙලා. ශ්‍රාවකයා ශාස්‌තෘන්වහන්සේ හඳුනන්නේ නැහැ. ගෝලයා ගුරුවරයා හඳුනන්නේ නැහැ. දරුවන් දෙමාපියන් හඳුනන්නේ නැහැ. පාලකයා ඇත්ත යුක්‌තිය හඳුනන්නේ නැහැ. පිරිහිමේ දෙසටමයි සමාජය ගමන් කරන්නේ. ඒ කියන්නේ කොතෙක්‌ රතිඤ්ඤා පත්තුකළත් වසර සුබවෙලා නැහැ. කොහොමද වසර සුබවෙන්නෙ මනුෂ්‍යයා විසින් මොනතරම් අකුසල් කන්දරාවක්‌ සිදුකරගෙනද? මොනතරම් සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුකරගෙනද? වසරක්‌ උදාවෙන්නේ.

දෙසැම්බර් 31 වෙනිදා රත්‍රියේ රතිඤ්ඤා පත්තු කරන ඔබ මොනම හේතුවක්‌ නිසාවත් සිතන්නෙ නැහැ ඔබ පත්තුකරන රතිඤ්ඤා නිසා බරපතළ සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුවෙනවා කියලා. මොකද ඔබ දකින්නෙ ඇසෙන් පෙනෙන ලෝකය පමණයි. ගස්‌, ගල්, මනුශ්‍යයෝ, ගෙවල් දොරවල් ඔබට පෙනෙන ලෝකය.ඒ ලෝකය තුළ ඔබ නිවැරුදි කරුවෙක්‌ බව ඇත්ත. නමුත් පිංවත් ඔබ තරගයට පරිසරය දෙදරුම් කවමින් පුපුරායන රතිඤ්ඤා හඩින් මොනතරම් ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් මියයනවා ඇත්ද? කොතෙක්‌ ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් තුවාල ලබනවා ඇත්ද?මෙම ප්‍රේත, භූත අමනුෂ්‍යයන් මේ රාත්‍රියේ අත්විදින්නාවු පීඩනය නිසා ඔවුනගේ සිත තුළ සකස්‌වෙන්නාවූ වෛරය, ක්‍රෝධය නව වසරේ අසුබ තුටුපඬුරක්‌ සේ ලෝකයාට ලැබෙනවා. ගස්‌වල වැඩසිටින රුක්‌ දෙවිවරු භුම්මාටු දෙවිවරු වැනි කොටස්‌ මේ බිහිසුණු රතිඤ්ඤා හඬින් මොනතරම් කම්පාවෙනවා ඇත්ද. ඒ දෙවිවරුන්ගේ සිත තුළත් ද්වේශය, වෛරය, ක්‍රෝධය සකස්‌ වෙනවා. මේ ද්වේශයත් නව වසරක්‌ උදාවෙද්දී ඔබ ලබන අසුබ පලිදැරීමක්‌මයි. එම රාත්‍රියේදී රතිඤ්ඤා හඬට බියෙන් දුවන තිරිසන් සතුන් කොතෙක්‌ නම් සිටිනවාද? මරබයෙන් ගැහෙමින් සැඟවෙන්න දිවයන ඒ සිත් තුළ ද්වේශය,වෛරය සකස්‌ වෙනවා. මේ ද්වේශයත් නව වසරේ ලෝකයා ලබන අසුබ පඬුරක්‌මයි. රතිඤ්ඤා කරලක්‌ පුපුරා යනකොට එම හඬට, ගින්දරට පිළිස්‌සී දෙදරුම් කෑමට ශරීරය පුපුරා ගොස්‌ මොනතරම් කුඩා කෘමි සතුන් මියයනවා ඇතිද? මේ විනාශවන සතුන්ගේ සිතේ සකස්‌වෙන ද්වේශයත් නව වසරේ ඔබ ලබන අසුබ නොසතුටු පඬුරක්‌මය. ගස්‌වල, කැදැලිවල ජීවත්වෙන කුරුල්ලන්, කුඩා පැටවුන්, මෝරන බිත්තර මොනතරම් විනාශවෙලා යනවා ඇතිද? ඔය දෙදරුම් කෑමේ හඬට. එම කුරුල්ලන් බියට පත්වී අන්සතුන්ගේ ගොදුරු බවට පත්වෙනවා ඇතිද? මේ සතුන්ගේ සිත්තුළ සකස්‌වන ද්වේශයද නව වසර උදාවේදී ඔබ ලබන අසුබ අසතුටු පඬුරක්‌මය.

ඉහත කොටස්‌ අසහනයට, අපහසුතාවට, මරණයට, මරණීය වේදනාවන්ට, හිංසාවට පත්වීමෙන් සකස්‌වන්නාවූ අකුසල් කන්ද කරගසාගෙන තමයි නව වසරක්‌ උදාවෙන්නේ. මේ අමානුෂික ඛේදවාචකය පිංවත් ඔබට නොපෙනෙන්නේ අවිද්‍යාවේ හඬ බලවත් වීම නිසාය. පිංවත් ඔබට මාර සිතක්‌ ඇතිවෙන්න පුළුවන්, රතිඤ්ඤා පත්තුකළාම සතුන්ව මරාදැමීමේ, හිංසාකිරීමේ චේතනාවක්‌ ඔබ තුළ නැතිය කියලා. ඒ සිතිවිල්ල නිවැරදි වෙන්න පුළුවන්. නමුත් මියයන, තුවාල ලබන, හිංසනයට පත්වෙන, එම සත්වයන්ගේ සිතේ නැගෙන ද්වේශය, වෛරය, ක්‍රෝධය සුබ පිරිත් දේශනාවක්‌ සේ නොව, අසුබ වියරු අඳෝනාවක්‌ සේ වායු ගෝලයට එකතුවනවා නියතය. බියෙන්, වෛරී චේතනාවන් සකස්‌ කොටගෙන මියයන අමනුෂ්‍යයන්, තිරිසන් සතුන් වඩාත් නපුරු වියරු අමනුෂ්‍යයන් බවට පත්ව නැවත උපත ලබා, තමන්ගේ පෙර ජීවිතයේ විනාශයට හේතුවූ රතිඤ්ඤා පත්තුකළ මනුෂ්‍යයන්ගෙන් පළිගැනීමේ සිත් සකස්‌කොට ගැනීමේ ස්‌වභාවයද පිංවත් ඔබ තේරුම් ගත යුතුය. සමාජය දිනෙන් දිනම වෛරය, ක්‍රෝධය, ද්වේශය වැඩෙන දිශාවටමද මනුෂ්‍යයා වියරු ස්‌වභාවයටම පත්වීමටද හේතු ඉහත කාරණා තුළද සැඟව තිබීමට පුළුවන. මේ සිද්ධීන් දෙස බැලීමේදී ඔබට වැටහෙනවාද අවිද්‍යාසහගත ක්‍රියාවන් ඔබව මොනතරම් විනාශය කරා, දුක කරා රැගෙන යනවාද කියලා.

පන්සලේ ගන්ඨාරය නාද කරනකොට, හේවිසියක හඬ ඇසෙනකොට, මඟුල් බෙර හඬ ඇසෙනකොට මොනතරම් සංහිඳීමක්‌, සංයමයක්‌ එම හඬේ තිබෙනවාද. එම හඬින් ඉහතින් දැක්‌වූ විනාශයන්, අකුසලයන් සිදුවෙනවාද? කුඩා කිරිදරුවෙක්‌ නම් පීඩා විඳින්න පුළුවන්. පිංවත් ඔබට ශබ්ද පූජාවක්‌ කිරීමට අවශ්‍ය නම් පමණක්‌ 31 දා මධ්‍යම රාත්‍රියට පන්සලේ ඝාන්ඨාරය නාද කරන්න ගමටම ඇසෙන්නට. මඟුල් බෙරයක්‌ නාද කරන්න. මෙය සමාජයට නුහුරු දෙයක්‌ බව ඇත්ත. එහෙත් ඔබ තුළින් නරකක්‌ වරදක්‌ නම් වෙනත් සත්වයකුට සිද්ධවෙන්නේ නැහැ. දෙවියන් අමනුෂ්‍යයන් පවා මේ හඬට ප්‍රිය වෙනවා. තිරිසන් සතුන් පවා මේ හඬ විඳිනවා. හැමෝගෙම ආශිර්වාදයෙන් තමයි වසරක්‌ උදාවෙන්නේ. සශ්‍රික දිව්‍යතල වල සිටින දෙවියන් පවා ඔබට ආශිර්වාද කරනවා. කාටද මේ ආශිර්වාද කරන්නේ? ශීලයට. පිංවත් ඔබ ශීලයෙන් හික්‌මුණ නිසයි, රතිඤ්ඤා පත්තුකිරීමෙන් සත්ව ඝාතන, සත්ව හිංසා සිදුවෙනවාය කියන යථාර්ථය දැක්‌කේ. සිල්පද ආරක්‍ෂා කරන්න උත්සාහගත් නිසයි ඔබ එම වැරදි ක්‍රියවෙන් වැළකුණේ. ශීලයට වටිනාකමක්‌ දෙමින් තමයි එතකොට ඔබ නව වසර අරඹන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසයි ඔබ සත්ව හිංසාවෙන් වැළකුනේ. ශීලයට වටිනාකමක්‌ දෙනවිටම ඔබ තෙරුවන් සරණේ පිහිටලා. රතිඤ්ඤා පත්තුකිරීමෙන් සතුනට මරණීය දුක, හිංසනය සිදුවෙනවාය, මම එම සතුනට අභය දානය දෙනවාය කියලා හිතනකොටම ඔබ තුළ කුසල් චේතනාවක්‌ සකස්‌වෙලා. නව වසර පිංවත් ඔබ අරඹන්නේ සතර අපායෙන් මිදීමේ සාධක සියල්ලම දෝතින් දරාගෙනමයි. පුංචි දෙයකින්, මොන තරම් නම් වෙනසක්‌ සිදුකරන්න පුළුවන්ද. මේ පුංචි දෙය වෙනස්‌ කරගැනීමට නොහැකිවීමෙන්, ඔබ සසර මොනතරම් නම් දුරගමනකට වැටෙන්න ඉඩ තිබෙනවා ද?

(මෙහි පළවන්නේ ඉකුත් වසරක ජනවාරි මස පළමුවැනිදා රාජගිරියේ අරියඤාණ ස්‌වාමීන්වහන්සේ විසින් ලියන ලද ලිපියකි. අද ඔබ අතට පත්වන්නේ එම ලිපියේ පළමු අර්ධයයි. එහි අනෙක්‌ අර්ධය හෙට දින බලාපොරොත්තුවන්න)

මතු සම්බන්ධයි!

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

සියලුම ලිපි :

සිහිය නැමති ජලයෙන් යුද ගිනි දැල් නිවා දමමු ! සිහිය නැති කමින් වල් වැදී ගිය සිත බ…

සිහිය නැමති ජලයෙන් යුද ගිනි දැල් නිවා දමමු !
සිහිය නැති කමින් වල් වැදී ගිය සිත බොහෝ දුක් ඇති කරයි.
රුප වේදනා සංඥා සංඛාර විඥාන යන පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය තුලින් අපි අත්දකින ලෝකය හටගනී.

සිත යනු පුරුදු කළ හැකි දෙයකි, පුරුද්ද අනුව ක්‍රියා කරන දෙයකි. භාවනාවෙන් කරනුයේ ස…

සිත යනු පුරුදු කළ හැකි දෙයකි, පුරුද්ද අනුව ක්‍රියා කරන දෙයකි. භාවනාවෙන් කරනුයේ සිත කුසල (අලෝභ අද්වේශ අමෝහ) පැත්තට පුරුදු කිරීමයි.

දැනට සිත නැමී ඇත්තේ ලෝභයට, දෝෂයට සහ මෝහයට නම් අප්‍රමාදීව අනෙක් පසට සිතන්න. ගහක් වුනත් අවසානයේ ඇදවැටෙන්නේ නැමී ඇලවී ඇති දිශාවටනේ. එනිසා අවසන් සිත (චුති සිත) ගැන කියනුම කවරේද?

ලෝකයේ සිදුවන අනතුරු හා ලෙඩ රෝග දෙස බැලු විට මරණය කොයි මොහොතේ ඔබ සොයා එදයි විශ්වා…

ලෝකයේ සිදුවන අනතුරු හා ලෙඩ රෝග දෙස බැලු විට මරණය කොයි මොහොතේ ඔබ සොයා එදයි විශ්වාසක් නැත. නොපමාව කුසල් රැස්කර සුදානමින් සිටින්න.

ලැබූ මනුෂ්‍ය ජීවිතය සැනසිලිමත් කරගැනීමට කායික නිරෝගී බව මෙන්ම මානසික නිරෝගීබවද අ…

ලැබූ මනුෂ්‍ය ජීවිතය සැනසිලිමත් කරගැනීමට කායික නිරෝගී බව මෙන්ම මානසික නිරෝගීබවද අත්‍යවශ්‍යය. කය නිරෝගීව පවත්වා ගැනීමද එහි මනා වැඩීම පිළිබඳව ද දැනුවත්ව සිටීම අවශ්‍යය. එසේ නොමැතිවීමෙන් නුසුදුසු ආහාරපානාදියෙන් ඔබගේ ශරීර පැවැත්මට මහත්සේ බාධා පැමිණෙනු ඇත. එමෙන්ම, ශරීරය කොපමණ නිරෝගීව පැවතුණත්, මනස නිරෝගීව පවත්වා ගැනීම අත්‍යවශ්‍යය. මනස නිරෝගීව පවත්වා ගැනීමට නම් ප්‍රඥාව හෙවත් කුසල අකුසල ධර්මයන් කෙරේ මනා අවබෝධය අවශ්‍යය. එමෙන්ම අකුසලයෙන් සිත වළක්වා සිත කුසලයෙහි පිහිටවිය යුතුය. එනම් කුසල ධර්මයන්හි සිත පුරුදු පුහුණු කළ යුතුය.

සැවැත්නුවර ජේතවනාරාමයේ විසූ ලාලුදායි නම් තෙරුන් වහන්සේ තැනට සුදුසු ආකාරයෙන් නුවණ මෙහෙයවා කථාවට හෝ දෙසීමට සමතෙක් නොවීය. මේ නිසා මංගල කරුණු පැවසිය යුතු තැන අවමඟුල් කරුණුත්, අවමංගල්‍යයක පැවසිය යුතු සිත නිවන අදහස් වෙනුවට මංගල කරුණුත් පවසති. මෙම තෙරුන්ගේ මෙම චර්යාව බොහෝ දෙනාට ඉතාමත් අප්‍රසන්න විය. ලාලුදායි තෙරුන්ගේ මෙම අඤාණකම පිළිබඳව, අනෙකුත් තෙරුන් වහන්සේලා විසින් භාග්‍යවතුන් වහන්සේට දන්වන ලදුව, භාග්‍යවතුන් වහන්සේ විසින් ඊට කරුණු දේශනා කරන ලදී. මෙහිදී අගනා වචනයක් අඩංගුව ඇත. එනම් “අප්පස්සුත” නම් වචනයයි. මින් අදහස් කරන්නේ දත යුතු හෝ ඉගෙන ගත යුතු ධර්ම බොහෝ සෙයින් හෝ මද වශයෙන් හෝ නොඅසන ලද නොහදාරන ලද, සහ පුරුදු නොකරන ලද නම් වූ අදහසයි. “අප්පස්සුතෝ” වන්නේ එවැනි පුද්ගලයායි. මෙම අදහස් පැවිදි ජීවිතයට ගළපා බැලුවොත් මෙවැනි අදහසකි. එනම් පැවිදි වුවද අවශ්‍ය වු මූලික ධර්ම විනය කොටස්වත් නොහදාරන ලද පුරුදු පුහුණු නොකරන ලද භික්‍ෂුවක්ය යන අදහසයි. මෙම ලිපියෙන් ආමන්ත්‍රණය කරන්නේ තරුණ දරුවන්ද මුල්කොට ගෙන ගෘහස්ථ ජීවිත ගත කරන පිරිසකට නිසා පැවිදි උතුමන් ගැන සඳහන් කරන්නේ නැත.

සුදුසු වයසේ පටන් බාහිර අධ්‍යාපනයක් ගුණ නුවණ හෙවත් දහම් අධ්‍යාපනයත් සුදුසු පරිදි හා අවශ්‍ය පරිදි නොලැබීම මෙහි “අල්පාශ්‍රැත “ ලෙස සඳහන් කළ හැකිය. යම් දරුවෙක් හෝ වැඩිහිටියෙක් වුවද එවැනි ඉගෙනීමක් ගුණ නැණ දියුණු කර නොගැනීමට හෙතුව කුමක්ද? කරුණු කිහිපයක් ගළපා ඉදිරිපත් කළ හැකිය. එනම් අලසකම, අසතිය හෙවත් සිහිය නොපැවැත්වීම, කරුණු හොඳ නරක ලෙසද පරීක්‍ෂා නොකිරීම, දුසිල්වත් හෙවත් පවට බරවීම, අසංවරය, සහ සසරෙහි පුරුදු කරන ලද පුණ්‍ය කර්මවල හීන බවයි. මෙවැනි පුද්ගලයෙකුගේ ගති ස්වභාවය කුමක්ද? මෙම පුද්ගලයා කම්මැලි හෙවත් අලසයෙක් නිසා ඉගෙනීමක් බව නිසිසේ නොකොට “ කකා බිබී” නිදාගනිමින්, නිකරුනේ වාඩිවී සිටිමින්ද හිස්වචන කතා කරමින්ද කාලය ගත කිරීමට පුරුදු වීමයි. යම් දරුවන් පාසල් ගියද අලස වීම නිසා අධ්‍යාපනය නිසිලෙස සම්පූර්ණ නොකර ගනිති. අර්ථවත් දෙයක නොයෙදන මෙම පුද්ගලයා මෙම නිසා ගුණ නුවණින්ද හීන වෙයි. එනමුත් කය වැඩෙමින් පවතී. මෙවිට සිදුවන්නේ කුමක්ද? “ හිස් ඔළුවක් සහ විශාල උදරයක්” ඇති හා එය පෝෂණය කරන “ නිකම්ම නිකම්” මනුෂ්‍යයෙක් වීම පමණක්ය.

සමහර අයට බාහිර පිළිගත් අධ්‍යාපනයක් තිබේ. එනමුත්, ගුණ නුවණෙහි අඩු බවක් හෝ හීන බවක් දක්නට ඇත. වර්තමානයෙහි බොහෝම දරුවන් නිසි බාහිර අධ්‍යාපනයක් ලබන බව පෙනේ. මෙම අධ්‍යාපනය ලැබීමේදි තරඟකාරී බවකට පත්ව සිටින බවද පෙනේ. දරුවෝ උස් මහත්වී එක්තරා මට්ටමකට එනම් වෘත්තීමය අවස්ථාවකට ගැළපෙන පරිදි ඉගෙනීමද නිමාකර ගනිති. එය ප්‍රශංසා කළ යුත්තකි. “උපන් නිසා ජීවත්වෙනවාට වඩා” ලද උතුම් වූ මනුෂ්‍ය ජීවිතයෙන් තමාට යහපතක් වී අනුන්ටත් යහපතක්ම සිදුකිරීම උතුම්ම මනුෂ්‍ය ගුණාංගයකි. සම්මා සම්බුදු, මහරහත් උතුමෝ සහ බෝධිසත්ව චරිත එයට කදිම නිදසුන්ය. මේ නිසා ගුණ නුවණ හෙවත් ප්‍රඥාව වඩා ගැනීම අත්‍යවශ්‍යම කරුණකි.

ගුණ නුවණ දියුණු කරගැනීම නම් බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන ආකාරයෙන් ප්‍රඥාව අනුක්‍රමයෙන් දියුණුකර ගැනීමටයි. එම සම්‍යක් ප්‍රඥාව දියුණූ කරගැනීමට නම් ක්‍රම තුනක් අනුපිළිවෙළින් පෙන්වා දී තිබේ.

1. සූත්‍රමය පඤ්ඤා
2. චින්තාමය පඤ්ඤා
3. භාවනාමය පඤ්ඤා යනුවෙනි

සුතමය ප්‍රඥාව දියුණු කරගැනීමේදි අල්පශ්‍රැත ස්වභාවයෙන් මිදි ක්‍රමයෙන් බහුශ්‍රැත අයෙක් බවට පත්විය හැකිය. විද්‍යා, කලා, වාණිජ ආදි කුමන ක්ෂේත්‍රයක වුවද ඇසීම, සාකච්ඡා කිරීම, දැරීම, පුරුදු කිරීම ඔස්සේ විෂය දැනුම දියුණු කර ගැනීමය. එසේ ඇතිකරගත් දැනුම ඔස්සේ කරුණු පිළිබඳව සිතීම නුවණින් පරික්‍ෂා කිරීම, අවශ්‍ය දේ ධාරණය කරගෙන අනවශ්‍ය දේ බැහැර කිරීම නම් චින්තාමය ප්‍රඥාවයි. භාවනාමය ප්‍රඥා නම් නිවැරැදි කරුණු ඔස්සේ සිත පුරුදු කිරීමයි. තමා ලද නිවරැදි දැනුම වඩා ප්‍රගුණ කරමින් ඵලය ලබමින් එහි හැසිරීමයි.

මෙය පරමාර්ථ ධර්මයට ගළපා ගනිමු. “එහිපස්සික” ලෙසද පර්යාප්ති ශාසනය ලෙසද දක්වා ඇති පරිදි ධර්මය ශ්‍රවණය කිරීමයි. සාකච්ඡා කිරීමයි. ත්‍රිපිටක ධර්මය ඉගෙනීමයි. දින්තාමය පඤ්ඤා නම් උගත් හා සම්මා සතියෙන් යුතුව අවබෝධ කරගත් වීතරාග, වීතදෝස, වීත මෝහ දහම හා මාර්ගය නැවත නැවතත් මෙනෙහි කිරීමයි. භාවනාමය පඤ්ඤා නම් මුල, මැද, අග, පිරිසුදු, එනම් බ්‍රහ්මචරියාවට එක්කරන ධර්මය සිතෙහි පුරුදු පුහුණු කිරීමයි. කුසල චිත්තය දියුණු කිරීමය. සිත මුළුමනින්ම රාග, දෝස, මෝහ ආදි කෙලෙස්වලින් බැහැරකර ගනිමින් ලබන්නා වූ ප්‍රඥාවයි. කෙළවර ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් චතුරාර්ය සත්‍ය ධර්මය කෙරේ ඇතිකර ගන්නා වු අවබෝධයයි.

මෙසේ නිසි බාහිර අධ්‍යාපනයක් හා ගුණ නුවණ දියුණූ නොකරගත් පුද්ගලයා මස් මාංශ පමණක් වැඩුණු හිස් අයෙකි. එමෙන්ම බාහිර අධ්‍යාපනයක් තිබුණද අධ්‍යාත්මික දියුණුවක් නැතිනම් ඔහු හෝ ඇයද ධර්මයට අනුව යහපත් අයෙක් නොවේ. එවැනි අයගේද කයත් මොළයත් වැඩුනද “මනස” වැඩී නැත. එම නිසා රාග, ලෝභ, ද්වේශ ගිනිදැල්වලින් ඔවුන් ඇවිළෙනු ඇත. තරහවෙන්, ඊර්ෂ්‍යාවෙන් ගුණමකු කමෙන්, වෛරයෙන් බැඳෙනු ඇත. අතෘප්තිකර ආශාවන්ගෙන් යුතුව තෘෂ්ණාවට දාසයෙක් වනු ඇත. ඔවුහු මං මුළා වූවෝය. නොවැඩුණු මනසක් නිසා ඇතිවන ආදීනව ධම්මපදයෙන් මෙම ගාථාවෙන් පැහැදිලිවෙයි.

”නත්ථි රාග සමෝ අග්ගී
නත්ථි දෝස සමෝ ගහෝ
නත්ථි මෝහ සමං ජාලං
නත්ථි තණ්හා නදී සම”

තෙරුවන් සරණයි!

ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය :

නව වසරට ප්‍රාර්ථනා නව වසරට පිවිසෙන ඔබ ගෞතම බුදු රජුන් සරණ යත්වා… ශ්‍රද්ධාවෙන්…

නව වසරට ප්‍රාර්ථනා
නව වසරට පිවිසෙන ඔබ

ගෞතම බුදු රජුන් සරණ යත්වා…
ශ්‍රද්ධාවෙන් වැඩෙත්වා…
සීලයෙන් වැඩෙත්වා…
දහම් දැනුමින් වැඩෙත්වා…
ත්‍යාගයෙන් වැඩෙත්වා…
ප්‍රඥාවෙන් වැඩෙත්වා…
දීර්ඝායු ලබත්වා…
කළණ මිතුරන් හඳුනා ගනිත්වා…
පවිටු මිතුරන් බැහැර කරත්වා…
අනුන්ට නින්දා අපහාස නොකරත්වා…
සිහි නුවණ දියුණු කර ගනිත්වා…
පිනට හානි නොකර ගනිත්වා…
තව තවත් පින් රැස් කර ගනිත්වා…

මේ ජීවත් වෙනවා නම් වූ ක්‍රියාවලිය ගැන ආර්ය වූ සංවේගයක්/කලකිරීමක් ඇති කර ගැනීම, අ…

මේ ජීවත් වෙනවා නම් වූ ක්‍රියාවලිය ගැන ආර්ය වූ සංවේගයක්/කලකිරීමක් ඇති කර ගැනීම, අප්‍රමාදීව කුසල් රැස් කර ගැනීමට ද, දුකින් මිදීමටද හේතුවේ.

මහා සංවේග ඇතිවන – කරුණු අට නුවණින් ගෙන
බුදු සසුන් වන් සමණා – නිතර වෙර වැඩිය යුතු වේ.

ද්වේශ සහගත සිතක් ඇති වන සැම අවස්ථාවකම ඔබ ගුටියක් කන්නා හා සමාන වූ දුකකට පත්වන බව…

ද්වේශ සහගත සිතක් ඇති වන සැම අවස්ථාවකම ඔබ ගුටියක් කන්නා හා සමාන වූ දුකකට පත්වන බව මතක තබා ගන්න.

ධම්මපදය – චිත්තවග්ගය
අනවස්සුතචිත්තස්ස – අනන්වාහතචේතසෝ
පුඤ්ඤපාපපහීනස්ස – නත්ථි ජාගරතෝ භයං

රාගයෙන් තෙත් නොවන සිතක් ඇති කෙනාට,
ද්වේෂයෙන් ගුටි නොකන සිතක් ඇති කෙනාට,
පින් පව් දෙකම නැතිකර දැමූ කෙනාට,
නොනිදා භාවනා කරන කෙනාට කිසි බයක් නෑ.

(සැැවැත් නුවරදී චිත්තහත්ථ තෙරුන් අරභයා වදාළ ගාථාවකි) —