Monthly Archives: April 2021

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3gPDclv
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

“පින් ඇත්තෝ යමක් සිතත් ද එයම සමෘද්ධ වේ. එහෙත්, පින් මඳ අයට තමන් පතන දේ සිද්ධ නොවේ.”

පින්වතුනි, ලොව්තුරු තථාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේ ජීවමාන සමයේ දඹදිව විශාලා මහනුවර රෝග භය, අමනුෂ්‍ය භය, දුර්භික්ෂ භය නමින් යුත් තුන්බියක් ඇති විය. මෙහි ස්වරූපය වන්නේ රෝගයක් සෑදී මිනිසුන් දහස් ගණනින් මිය යාමයි. එය වසංගත රෝගයකි.

ඉන්පසු වන්නේ, ගෙයක් ගෙයක් පාසා මළමිණී ගොඩ ගැසීමයි. අනතුරුව අමනුෂ්‍යයෝ ඒවාට අරක් ගනී. එවිට භීතිය හටගනී. පසුව මිනිසුන්ට ආහාරපාන හිඟවී මිය ඇදේ.

මේ තුන්බිය බුදු ඇසින් දුටු බුදුපියාණෝ ආනන්ද තෙරුන්ලවා රතන සූත්‍රය දෙසා වදාළා, පිරිතේ අනුහසින් එය වූපසමනය කළහ. එයින් උපන් සුතුර රතන සූත්‍රයයි. තුණුරුවන්ගේ ගුණ කියැවෙන මහා බලගතු රුවන් සූත්‍රයයි.

විශාලා මහනුවර ඇති වූ තුන්බිය සේ ම ශ්‍රී ලංකාවේ ඇති වූ වසංගත රෝග, සාගත රෝග පිළිබඳව තොරතුරු ඉතිහාසයෙන් පැනෙයි. වළගම්බා රජු දවස ඇති වූ බැමිණිතියා මහාසාය හා සිරිසඟබෝ රජු දවස ඇති වූ රක්තාක්ෂි නම් වසංගතය ඊට කදිම සාධකයෝ වෙති. මේ ලිපියේ අවධානය යොමුවන්නේ එහි සමස්තය කීමට නොව, බැමිණිතියා මහා සාය හෙවත් සාගතය හමුවේ දිවි බේරාගෙන, සිය ශරීර මාංශ දන්දීමට සැරසුණු ඉතාමත් ශ්‍රද්ධාවන්ත උපාසක යුවළක් පිළිබඳව ය. රසවෑහෙන ධර්ම කතා ඇතුළත් රසවාහිනිය මේ කතාව වත්ථුල පර්වත කතාවට ඇතුළත් කර ඇත්තේ ය. මෙසේ ය.

එක් කලෙක සිංහල රටෙහි බැමිණිතියාසාය නම් බියක් දොළොස් අවුරුද්දක් පැවතිණි. මෙතෙක් කල් ලක්දිව වැස්ස මනාව නොවැස්සේ ය. (ඊට පාදකවූ ඉතිහාස කතාව මෙහිලා නොකියන ලදී)

ගොවිතැන මනාව නොවැඩුණු නිසා සා බිය හටගති. නරක ආහාර ගැනීමෙන් උවදුරට පත් මිනිසුන්ට රෝ බියද හටගති. මෙසේ මිනිස්සු ඇට හා හම ඉතිරී බවට පත්වූහ. ඒ ඒ දොරවල අවමඟුල් කෝලාහල හඬින් හඬන්නන්ගේ විලාප හඬින් ද එකනින් කෝලාහල ද විය. ඒ ඒ තැන මළවුන්ගේ කුණප ගඳින් රැස්වුණු අමනුෂ්‍යයන්ගේ වාසයෙන් මහත් බියක් විය.

මෙසේ නොයෙක් බියවලින් උවදුරට පත් ලක් වැස්සෝ පර්වත ගංගා ආදි තැන්වලට ගොස් ජීවත් වෙති. එකල්හි වත්ථුල පර්වත සමීපයෙහි මිනිස්සු ඒ පර්වතය පිහිට කොට බොහෝ සෙයින් පර්වතපාදයෙහි වාසය කරති. එකල්හි පර්වත පාදයෙහි වසන ගම්වැසි එක් මිනිසෙක් තමන්ගේ මාගම සමඟ ජීවත්වීමට උපායක් සොයන්නේ ය. පර්වතයට ඇවිදිමින් පර්වත මස්තකයෙහි එක් කර රුකක් දැක වාසය කරන්නෙමි’යි රුක ආශ්‍රය කොට ගෙදරක් කොට එහිම වාසය කරයි. ඒ කර රුකෙහි අතු තුනක් වේ. හෙතෙම ඒ අතුවලින් එකකින් ආගන්තුක සත්කාර කරන්නෙමු. ඒ අතුවලින් එකකින් දනක් දෙමු. එකක් අපට පරිභෝගය සඳහා වන්නේයැයි නියමිත කොට තමන්ට නියමිත අත්තෙහි කොළ අනුභව කරමින් එහි වසයි.

ඉක්බිති එක් දිනක් එක් භික්ෂුවක් භික්ෂාචාරස්ථානයක් සොයන්නේ ඔවුන්ගේ ගෙයි දුම් දැක සංඥාවෙන් ඔහුගේ ගෙට ගියහ. ඉක්බිති ඒ පුරුෂයා එය දැක සොම්නසට පැමිණියේ පුදුමයි මම මේ කර කොළ නිසා මහත් පින්කම් රැස් කරමි. ආර්යයන් වහන්සේ ද බොහෝ කාලයකින් දක්නා ලද්දාහු අභිවාදනය ද කරමියි ගොස් තෙරුන්ගේ අතින් පාත්‍රය ගෙන පහසු තැනක උන්වහන්සේ වඩා හිඳුවා කොළ ගෙන එන්නෙමි’යි කරගස සමීපයට ගියේ ය.

එකල්හි රාත්‍රී භාගයෙහි ඒ ගසේ කොළ පටන් යටත් පිරිසෙයින් දල්ලක් දක්වාම පණුවෝ කෑහ. හේ මේ ගස දැක දුකට පැමිණ දොම්නස් ව ආපසු හැරී ගෙදරට ගියේ ය. ඉක්බිති ඔහුගේ භාර්යාව හිස් අතින් එන ඔහු දැක “හිමියනි, කුමක් නිසා අද හිස් අතින් එන්නේදැයි” ඇසී ය. එකල්හි හේ මෙසේ කී ය.

පින් ඇත්තෝ යමක් සිතත් ද එයම සමෘද්ධ වේ. නමුත් පින්මඳ අයට තමන් පතන දේ සිද්ධ නොවේ.

බොහෝ කාලයකින් දකින ලද ආර්යයන් වහන්සේට අද දන් සඳහා දීමට කොළයක්වත් නොලද්දෙමි. අපේ මඳ පින් ඇති බව අනේ !

මෙසේ ද කියා සොඳුර, කරගසේ කොළයක් හෝ දල්ලක් යන හැම දෙයක්ම පණුවෝ කෑහ. ඇය එය අසා මෙසේ කීවා ය.

ලොව කළ පින් ඇති සත්ත්වයාට ඇතිවන ස්වභාවය මෙයයයි. මුතු, වෛරෝඩි ආදිය පින්වතා කරා ඉබේටම පැමිණේ. මෙය ස්වභාව ධර්මයකි.

පින්මඳ කාලකණ්ණි සතුන් විසින් බොහෝ උත්සාහයෙන් සොයාගත යුතු යම් වස්තුවක් ඇති නමුත් එය කිසියම් සැලැස්මකින් විනාශ ව යන්නේ ය.

මෙසේ ද කියා දැන් කුමක් කරමුද? තෙරුන් වැඩ හිඳුවා ටිකක් වත් නොදෙන්නට නුසුදුසු යැයි කියන්නී.

තමන්ගේ සිරුරෙහි මස් පිස තෙරුන්ට නොදන්වා දෙව්’යි සිතා ලියන ආයුධයක් රැගෙන තමන්ගේ කලවා මාංශය කපනු කැමැතිව ගෙට පිවිසියා ය. ඇගේ සැමියා ද එසේම තමන්ගේ මස් තෙරුන්ට එසේම දෙමියි මස් කපනු කැමතිම එසේම පිවිසියේ බිරිය එසේ කරනු දැක කුමක් කරන්නේදැයි විචාළේ ය. ඕ මාගේ සිරුරෙහි මස් පිස තෙරුන්ට දෙමි ස්වාමීනියි කීවා ය. ඒ අසා සැමියා ද තමන්ගේ සිරුරෙහි මස් දෙනු කැමැත්තේ සොඳුර, ස්ත්‍රිය නම් ස්වල්ප නුවණ ඇත්තේ දුක් ඉවසන්ට නොහැකි වෙත්. මගේ සිරුරෙහි මස් දෙමියි කීයේ ය. ඉක්බිති ඔහුගේ බිරිය මස් දෙන්ට කැමතිය සැමියා ද එසේ ය. පුදුමයි ඔවුන්ගේ දන් දීමෙහි අදහස කියන ලද මැයි.

මෙසේ දානපතියන්ට දානයෙහි සිත ඇලේ. මෙසේ ආධ්‍යාත්මිකව ශරීර මස් දෙන්න කැමැත්තා බාහිර දානය ගැන කියනුම කවරේද? මේ දෙදෙනාම මම දෙමියි, මම දෙමියි සිතන්නෝ. මෙසේ ඔවුන් විසින් මස් දීමෙහි උත්සාහවත් වූ විට ඔවුන්ගේ ශ්‍රද්ධා බලයෙන් ශක්‍රයා ඒ අඹුසැමි දෙදෙනාගේ පිරිසුදු ආධ්‍යාත්මික දාන ආධ්‍යාසය දැන මේ බෝසත් අදහසම යැයි සතුටු සිත් ඇත්තේ රත් ඇල්හාල් තිඹක් ද, මුව පඩියක් ද, කළයක් ද, තෙල් කළයක් ද රැගෙන මොහොතකින් ගොස් මිනිසකු මෙන් ඔවුන්ගේ ගේ දොර සිට මේ ගෙදර මිනිස්සු කොහි ගියාහුදැයි ඇසී ය. මේ හඬ අසා අඹු සැමි දෙදෙනා ගේ තුළ යැයි, කියමින් ගෙදරින් පිටවූවාහු ය. ඉක්බිත් ඔවුන් ඇමතූ ශක්‍රයා, පින්වත්නි, මේ ආර්යයන්ට දිය යුත්තක් තිබේදැයි ප්‍රශ්න කළ කල්හි,

ස්වාමීනි, අපි දුප්පත් වෙමු. ආර්යයන් වහන්සේට කොහෙන් දියයුතු දෙයක් ලබම් ද යටත් පිරිසෙයින් කොළයක්වත් නැතැයි සියල්ල කීවෝ ය. ඉක්බිති ශක්‍රයා එසේ නම් මේ සහලින් බත් පිස මේ උපකරණත් සමඟ තෙරුන් වළඳව්. ඉදින් මම පසුවෙම් නම් මා ගැන නොසලකා නුඹලාත් අනුභව කරව්. ඉතිරිවා කැමැති හැටියක් කරවයි කියා ඒ ආහාර අඩු නොවන සේ අධිෂ්ඨාන කොට දෙව් ලොවට ම ගියේ ය.

ඉක්බිති ඔවුහු ඒවායෙන් බත් පිස තෙරුන්ට වළඳවා ඔහුගේ පැමිණීම බලාපොරොත්තු වූයේ නොපැමිණි නිසා ඔවුහුදු අනුභව කළහ. සැළියෙහි එක හැන්දක් ගත් පමණක් ම පෙනේ. උපකරණ එසේම ඉතිරිව ඇත. ඉක්බිති ඔවුහු මේ ආශ්චර්යය දැක සතුටු ව එතැන් පටන් බොහෝ භික්ෂු සංඝයා වහන්සේ රැස්කරවා සත්කාර ගරුකාර කරමින් පුදමින් පර්වත පාදයෙහි මිනිසුන් හා නොයෙක් දුගී මගී යාචකාදීන්ට දිව්‍යමය ආහාර පානයන්ගෙන් සතපවා සිල් රකිමින් පෙහෙකම් කරමින් දැහැමෙන් සෙමෙන් වැස ආයු කෙළවර දෙව්ලොව උපන්නාහු ය.

මෙසේ එම කතාව නිම වන්නේ ය. අපත් අල්ප දෙයක් ලදමුත් එය ශ්‍රද්ධාවෙන් පුදන්නේ නම්, ඒ දානයාගේ අනුසස් මහත්ඵල වන්නේ ය.

බදුල්ල ශ්‍රී සමාධි විහාරයේ
විහාරාධිපති දර්ශනපති
බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3dZbsJC
💚💜 අපේ බුදුහාමුදුරුවෝ 284 (සන්තිකේ නිධානය) 💙💚💜

☘☘ බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 04

🌹🌹යක්ෂයන්ගෙන් බුදුගුණ අසා සාසනයේ පළමු මාර්ගඵල ලාභී පළමු සෝවාන් උපාසිකාව සහ සෝවාන් දිනයේම ගැබ්ගෙන සෝණ මහරහතන් වහන්සේ ලොවට බිහිකළ කාලි මාතාව. 🌹🌹

මීට ඉහත කි පරිදී රජගහ නුවර ඉහල අහසේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනාව සාතාගිරි යක්ෂ සේනාධිපතියා විසින් හේමවත යක්ෂ සේනාධිපතියාට පවසන්නට වුනේ සිත පිනා ගිය අසීමිත ශ්‍රද්ධාවෙන්. ඒ දින කිහිපයේ රජගහ පුරයේ ඇසළ නැකත් උළෙල පවත්වමින් පැවතියා. මිනිස්සු මුළු නුවරම උත්කර්ෂවත් අන්දමින් සරසා නැකත් කෙළි සුව විඳිමින් සිටියා. මෙම දෙබස යන අතර තුර කාලි නම් කුල ස්ත්‍රියක් ක්‍රීඩා සුව විඳිමින් සිටින අතරතුර සිය පහයෙහි සී මැදුරු කවුළුව විවෘත කොට සුළං වදිනා තැනෙකට වී හුදෙකලාව ගිමන් නිවන්නට වුනා. යක්ෂයන්ගේ දෙබස ඇතිවුනේ ඇය සිටි ප්‍රසාදය අසල අහසෙහි. දෙබසක් යන හඬ ඇයට ඇසුනත් රූපයක් දර්ශණය නොවුණ නිසා මෙය අමනුෂ්‍ය කට හඬක් බවට ඉවෙන් මෙන් හැඟී ගියා. එහෙත් ඇය බිය වුනේ නැහැ. සිතට දිරිය ගෙන ඒ දෙබස ශ්‍රවණය කරමින් ඇයත් ශාතාගිර සහ හේමවත දෙදෙනා ගේ කථාව මුළුමනින් ම අසා සිටියා. ඉන්පසු “බුදුවරයෝ මෙබඳු විශිෂ්ට ගුණ ඇත්තෝ යැ” යි බුද්ධාලම්බන ප්‍රීති උපදවා සෝවාන් පලයෙහි පිහිටියා. ඒ නිසා ඇය බුදුන් නොදැකම ආරංචියෙන් බුදු ගුණ අසා පැහැදී සෝවාන් ඵලයට පැමිණි පළමු වන සෝවාන් උපාසිකාවද වුනා පමණක් නෙවෙයි ගිහියන් අතරෙහි පළමුව මාර්ගඵල ලාභී උතමාවියද වුණා. එලෙසම සාතාගිරි යක්ෂයාගේ ධර්මදේශනානුසාරයෙන් හේමවත යක්ෂයාද සෝවාන් ඵලයේ පිහිටියා. හිතන්න එක දේශණාවකින් දෙදෙනෙකු මරගඵල ලාභින් කරවන්නට තරම් සාතාගිරි යක්ෂ සේනාධිපතියාගේ දේශණාව කොතරම් මනරම් දේශණයක් වෙන්නට ඇතිද?
ඉන්පස්සේ ලියන්න තියෙන්නේ සෝවාන් වූ දිනයෙහිම ඇයගේ කුසයෙහි පිළිසිදගත සෝණ මහ රහතන් වහන්සේගේ නිධාන කතාවයි. එය ඊලග ලිපියට කල් දැම්මේ වෙහෙස නිසා.

☘☘පකාරක ග්‍රන්ථ – අඞ්ගුත්තරනිකාය අට්ටකතා

💜💚💛💙 විශේෂ පුණ්‍යානුමෝදනාව – රාජකීය පණ්ඩිත දැලිවල බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේට, මෙය බෞද්ධ ජනයා අතර බෙදා හැරීමට පියවරගත් අපගේ කල්‍යාණ මිත්‍ර Path to Nirvana, pitaka.lk ඇතුළු බොහෝ අන්තර්ජාල සේවාවන් සපයමින් සපයමින් අපහට මෙම කාර්යභාරය වඩාත් පහසු කල පින්වත් ජනක මහතාට, ඇතුළු මෙය අන්තර් ජාලය තුල බෙදාහරින පින්වත් ඔබ සැමට. 💜💚💛💙
තුසිත රාජපක්ෂ – ප්‍රංශය
27-04-2021

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2OK5thX
💚💜 අපේ බුදුහාමුදුරුවෝ 283 (සන්තිකේ නිධානය) 💙💚💜

☘☘ බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 03

මලෙස සාතාගිරි ඇතුළු පිරිස බුදුන් වෙති ඉවත්වුනේ තම හේමවත මිතුරාවත් රැගෙන ධර්මශ්‍රවණය සඳහා පැමිනිමටයි. දෙතිස් පෙරනිමිති බෝසත් කුමරු ඉපදීමේදී, අභිනිශ්ක්‍රමනයේදී සහ බුදුවිමේදී බොහෝ වේලාවක් නොපැවතුනත්, දම්සක් පවත්වනවිටදී ඊට වෙනස්ව ඒ පෙරනිමිති බොහෝ වෙලාවක් පැවතියා. මුළු හිමාලයම නානාප්‍රකාර පුෂ්පයන්ගෙන් වැසිගියා. හිමාලයෙහි ඒ පුදුම අසිරිය දුටු හේමවත යක්ෂ සේනාධිපතියා මෙලෙස සිතන්නට වුනා. ‘මා උපන් කල සිටම කිසිම දිනක මෙබඳු අසිරිමත් සිත්කළු දෑ නොවූවිරූය, මාගේ යහළුවාද සමග අවුත් මේ මල් අසිරිය විඳගනෙමි’ යි හිමාලයෙහි මැද ඔහු වසන පෙදෙසට ඒමට පිටත් වුණා . එහෙත් දෙදෙනාම රජගහනුවර ඉහළ අහසෙහිදී හුමුවුනේ අහඹු ලෙස. එකිනෙකා එකිනෙකාව මුණගැසීම සඳහා පැමිණි බව දැනගත් ඔවුන් “ඒ සඳහා හේතු විමසා සිටියේ මහත් කුතුහලයෙන්.හේමවත මෙලෙස කතාවට මුලපිරුවා.

‘සිරිමතාණනි, මා ඉපදුණු කල පටන්ම, මේ පර්වතයෙහි අකාලයෙහි මල් පිපුණු ගස්වලින් මෙලෙස හැඩ වූ පෙළහරක් නොවූ විරූය. එහෙයින් මේ මල් අසිරිය ඔබ සමග විඳගැනීමට සිතා පැමිණියෙමි”යි හේමවත පවසා සිටියා. එහෙත් එයට හේතු මේවනවිටත් දැනසිටි සාතාගිරි සිරිමතාණනි, මේ අකාලයේ මල් පිපුණු පුදුම පෙළහර සිදුවූයේ කිනම් කරුණක් නිසාදැයි දන්නෙහිදැ’යි ඔබ දන්නහෙද? ‘නොදනිමි, සිරිමතාණනි, මේ පෙළහර සිදුවූයේ හිමාලයෙහි පමණක් නොවේ. දසදහසක් ලෝධාතුවෙහිම පහළවුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව උපන්නා. අද දම්සක් පැවැත්වූවා,ඒ තමයි හේතුව, සාතාගිර හේන්මවතට බුදු උපත ගැන කියා, ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත කැඳවාගෙන යනු කැමතිව,

තව තවත් විස්තර කියන්නට වුණා . හේමවත යක්ෂ සේනාධිපතියත් තව තවත් ප්‍රශ්න අසන්න වුනා. එය සාසනයේ ප්‍රථම සෝවාන් ඵලලාභී උපාසිකාව බුදුන් නොදැකම බුදුගුණ අසා ඇති කිරීමට තරම්ම බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරවන ගාම්භීර සාකච්චාවක් වුණා . ඇය ගැන ඊළඟ ලිපියේ පලවනවා.

ඔවුනොවුන් අතර ඇති වූ දෙබස සුත්‍ර දේශණාව තුලින් ගලපා ගැනීමට තිබෙන මහන්සිය මග හරවා ගැනීමට බලංගොඩ ආනන්ද මෛත්‍රී ලොකු හාමුදුරුවන්ගේ බුද්ධ චරිතය පොතෙන් මෙලෙස උපුටා ගත්තා.

හේමවත : කිමෙක් ද? එ තොප ශාස්තෘහුගේ සිත මනා ව පිහිටියේ ද? හෙතෙම සියලු සතුන් කෙරේ සම සිත්
ඇත්තේ ද? කිමෙක් ද, ඉටු අනිටු අරමුණෙහි රාග ද්වේෂ වශයෙන් පහළ වන සංකල්ප එතුමා විසින් වශඟ කරන ලද ද?

ශාතාගිර: “එ තාදීහු ගේ සිත මනා වැ අචල වැ සියල්ල කෙරේ සම වැ පිහිටියේ ය. ඉටු අනිටු අරමුණු විෂයයෙහි
සංකල්පයෝ උන් වහන්සේ විසින් වශඟ කරන ලදහ.”

හේමවත : “කිමෙක් ද හෝ අන්සතු දෑ සොර සිතින් නො ගනී ද? පණිවායෙන් දුරු වූයේ ද? අබ්රම්සරින් දුරු වී ද?
ධ්‍යානය හිස් නොකෙරේ ද (නො හරී ද?)?”

ශාතාගිර: “බුදු රජාණන් වහන්සේ අන් සතු නො දුන් දෑ නො ගන්නා සේක. පණිවායෙන් ද වැළැකී සේක.
අබ්රම්සරින් දුරු වූ සේක. ධ්‍යානය නො හරිනා සේක.”

හේමවත : “කිමෙක් ද, ඒ යුෂ්මත්හුගේ ශාස්තෘ තෙම බොරු නො තෙපලා ද? පරුෂ බස් නො බෙණේ ද? කේලාම්
නො කියා ද? ප්‍රලාප බස් නො දොඩා ද?”

ශාතාගිර : “උන් වහන්සේ බොරු නො තෙපලන සේක. පරුෂ බස් නො බණිනා සේක. කේලාම් නො කියන සේක.
ප්‍රලාප නො දොඩන සේක. නුවණින් පිරිසිඳ වැඩ පිණිස පවත්නා වචන ම වදාරන සේක.

හේමවත : “කිමෙක්ද? හේ කාම වස්තූන් කෙරෙහි නෑ ලේද? ඔහු සිත ව්‍යාපාදයෙන් නො කැළැඹුණේ ද?
මිථ්‍යාදෘෂ්ටියට හේතු වූ මුළාව ඉක්මියේ ද? ඥෙය ධර්ම විෂයයෙහි නො පැකිලැ පවත්නා සමතැස් ඇත්තේ ද?

ශාතාගිර : “ඒ භාග්‍යවතුන් වහන්සේ පංච කාමයන්හි නො ඇලෙන සේකි. උන්වහන්සේ ගේ සිත ව්‍යාපාද
දෝෂයෙන් නො කැළඹුණේ ය. උන් වහන්සේ මෝහය ද ඉක්මි සේකි. ඒ බුදුරජාණන් වහන්සේ සකල ඥෙය ධර්ම විෂයයෙහි නො පැකිළ පවත්නා සමතැස් ඇති සේක.”

හේමවත : “කිමෙක? එ ශාස්තෘහු අෂ්ට විද්‍යායෙන් යුක්ත ද? පිරිසිදු චරණ ධර්ම ඇත්තෝ ද? ඔවුන් විසින්
ආස්‍රවයෝ නසන ලදු ද? ඔවුනට පුනර්භවයෙක් නැද්ද?”
ශාතාගිර: “ඒ ශාස්තෘන් වහන්සේ අෂ්ට විද්‍යායෙන් ද සම්පන්න සේක. පිරිසිදු චරණ ධර්ම ද ඇති සේක.
උන්වහන්සේගේ පුනර්භවයෙක් නැත.

හේමවත : “ඒ මුනීන්ද්‍රයන් වහන්සේන්ගේ සිත සම්පූර්ණද? විද්‍යා චරණ ධර්මයන් ගෙන් යුක්ත වූ උන් වහන්සේට
යුෂ්මත්හු බෝ ගුණ දැන ම ඇති ගුණයෙන්ම ප්‍රශංසා කරවුද?”

ශාතාගිර : “එසේය මිත්‍රය, ඒ මුනීන්ද්‍රයන් වහන්සේගේ සිත ඒ කී පරිදි ම සම්පූර්ණ ය. පිරිසිදු කාය වාක් මනඃ
කර්මයෙනුත් සම්පූර්ණය. ඒ යුෂ්මත්හු විසින් මොනවට දැන ගන්නා ලද්දේ ය. එ සේම යැ යි මැනැවින් පිළිගන්නා ලද්දේ ද වේ.”
“ඒ මුනීන්ද්‍රයන් වහන්සේ ගේ සිත සම්පූර්ණය, කාය වාක් මනඃ සුචරිත සම්පන්නය. සැක රහිත ව එය දැන ගන්න. එසේ වූ විද්‍යාචරණ ධර්මයන් ගෙන් යුක්ත උන් වහන්සේ දැකුම්හ.” (මේ තාක් කළ කථාව නුවණින් සැලකූ හේමවතයා එහි දී සෝවාන් විය.) භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ තවත් තොරතුරු ශාතාගිරයා වෙතින් අසා දත් හේමවත යක් තෙම මෙසේ ද කී ය.
හේමවත : “එව මිත්‍රය, යම්හ, ඒනි මෘගයකුගේ වැනි ක්‍රමයෙන් වට වූ කෙංඩා ඇති ස්ථුල නොවූ සිරුරක් ඇති, වීර වූ, ස්වල්පහාර ඇති ආහාරයෙහි ලොල් නො වූ, මුනි ගුණ ඇති වනයෙහි ධ්‍යාන කරන ඒ ගෞතමයන් වහන්සේ දකුම්හ. සිංහයකු මෙන් එකචාරි වූ, පව් නො කරන, කාමයන්හි අපේක්ෂා රහිත ගෞතමයන් වහන්සේ කරා එළැඹ මරහුගේ මලින් මිදීමට නිමිත්ත වූ නිවන විචාරමු.”

☘☘පකාරක ග්‍රන්ථ – ඛුද්දකනිකාය » සුත්තනිපාතපාළි » උරගවග්ගො » හෙමවත සුත්‍රය සහ එහි අටුවාව
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය

💜💚💛💙 විශේෂ පුණ්‍යානුමෝදනාව – රාජකීය පණ්ඩිත දැලිවල බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේට, මෙය බෞද්ධ ජනයා අතර බෙදා හැරීමට පියවරගත් අපගේ කල්‍යාණ මිත්‍ර Path to Nirvana, pitaka.lk ඇතුළු බොහෝ අන්තර්ජාල සේවාවන් සපයමින් සපයමින් අපහට මෙම කාර්යභාරය වඩාත් පහසු කල පින්වත් ජනක මහතාට, ඇතුළු මෙය අන්තර් ජාලය තුල බෙදාහරින පින්වත් ඔබ සැමට. 💜💚💛💙

තුසිත රාජපක්ෂ – ප්‍රංශය
12-04-2021