Monthly Archives: March 2015

පින්වත් රාහුලය, යම් භික්‍ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුගේ මහණකමද…

පින්වත් රාහුලය, යම් භික්‍ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුගේ මහණකමද ස්වල්පයෙකි. රාහුලය, යම් භික්‍ෂුවක් දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුගේ මහණකමද ඉවත දමන ලද්දේය. රාහුලය, යම් භික්‍ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුගේ මහණකමත් හිස්ය. යම් කිසිවෙකුට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුට නොකළ හැකි කිසි පාපයක් ඇතැයි මම නොකියමි. රාහුලය, එහෙයින් සිනහ වීමටවත් බොරු නොකියන්නෙමියි ඔබ මෙසේ හික්මිය යුතුයි.

පින්වත් රාහුලය, රජකුගේ ඇත් සේනාවේ බලවත් ඇත් රජු යුද්ධයේ දී තම පෙර පාද, පසු පාද නළල (කුම්බස්තලය) ශරීරය, ඇත් දත් යුගලත් යොදා ගනිමින් සතුරන් මඩිනවා. පවුරු පාසාද බිඳ දමනවා. එහෙත් ඔහු හොඬය උපයෝගී කරගන්නේ නැහැ. ඌ හැමවිටම හොඬය ආරක්‍ෂා කරගනිමින් තමයි සටන් කරන්නේ. රාහුල ඒ ඇයිද? රාහුල මේ ඇතා දන්නවා හොඬය කැඩුණු ඇතාගෙන් වැඩක් නැති බව. හොඬය කඩා ගත් ඇතාට යුද්ධ කිරීමට බැරි බව ඌ දන්නවා. ඒ නිසා රාහුල මුසා බස් දොඩන බොරු කියන පුද්ගලයාගේ ශීලයත් ඒ වගේ තමයි. ඒ නිසා අප සුළු කොට සලකන මුසාවාදය බරපතළ පවක් බව තේරුම් ගත යුතුයි.

අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය.

අනුන් මුලාකරවන අදහසින් ඇති දෙය නැත යයිද, නැති දෙය ඇත යයිද, වූ දෙය නොවූයේය යිද, නොවූ දෙව වූයේය යිද වචනයෙන් හෝ ලිවීමෙන් හෝ හස්ත විකාරාදියෙන් හෝ අනුන්ට පැවසීම මුසාවාදය නම් වේ. මුසාවාද කර්මය සිදුවන්නේ අංග 4 ක් සම්පූර්ණ වීමෙනි.

01. කියන කරුණ බොරුවක් වීම
02. අනුන් රවටන අදහස
03. ඇඟවීමේ උත්සාහය
04. අනෙකා කී දෙය තේරුම් ගැනීම

● බොරු කීමේ විපාක

බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජනය වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස‍්‍රයෙහි ලෝදිය බීම් ආදී මහ දුක් ලබති. පේ‍්‍රතව ඉපද අනේක වර්ෂ සහස‍්‍රයෙහි දුක් ලබති. තිරිසන්ව ඉපද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කල්හිද එක් ජාතියකදී කී බොරුවලට සිය ගණන් ජාති වලදී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝබන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛ රෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති. අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිලිගනිති. ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහූ ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහූ ද අකීකරු වෙති.

● බොරු කීම ගැන දතයුතු කරුණු

බොරු කීම නොයෙක් පව්කම්වලට වුවමනා දෙයකි. බොරුවෙන් වැළකී සිටින තැනැත්තා හට අන් පව් කිරීමට ද වඩා ඉඩක් නැත. බොරු කියන්නා හට නොකළ හැකි පවක් නැති බව,

එකං ධම්මං අතීතස්ස – මුසාවාදිස්ස ජන්තුනෝ
විතිණ්ණ පරලොකස්ස – නත්ථි පාපං අකාරියං

යනුවෙන් වදාරා තිබේ.

“සත්‍යය නැමති එක ධර්මය අත් හළ බොරු කියන්නා වූ පරලොව ගැන බලාපොරොත්තු රහිත වූ තැනැත්තා හට නො කළ හැකි පවක් නැතය” යනු එහි තේරුමයි.

සෑම ආගමකම පව් ලැයිස්තුවක් ඇත්තේය. ඒවා එකිනෙකට සමාන නොවන නමුත් බොරුකිම ඒ සියල්ලටම ඇතුළත්ය. සියළුම ශාස්තෘවරයෝ වෙනසක් නැතිව බොරු කීම පාපයක් බව ප‍්‍රකාශ කළෝය. ලෝකයේ නුවණැති සියල්ලෝම බොරුව පිළිකුල් කරති. බොරු කියන්නාද පිළිකුල් කරති. බොරු කීමට බිය නොවන ලැජ්ජා නොවන තැනැත්තා ගුණවතෙක් නොවේ. දිනක් තථාගතයන් වහන්සේ පා සෝදා සෙම්බුවෙහි ඉතිරිව තිබූ දිය ස්වල්පයක් රහල් හෙරපාණන්ට දක්වා රාහුලය, බොරු කීමට ලැජ්ජා නැති මහණුන්ගේ මහණ කමද මෙසේ ම ස්වල්පය යි වදාළ සේක. ඉත්බිති තථාගතයන් වහන්සේ ඒ පැන් ස්වල්පයද ඉවත ලා රහල් හෙරපාණන්ට දක්වා රාහුලය, බොරු කීමට ලැජ්ජා නැතියවුන්ගේ මහණකම මෙසේම අහක දමන ලද්දක් වේයයි වදාළ සේක. ඉත්බිති තථාගතයන් වහන්සේ සෙම්බුව මූනින් නමා පෙන්වා රාහුලය, බොරු කීමට ලැජ්ජා නැතියවුන්ගේ මහණකම මෙසේ මූනින් නමන ලද්දක් වේ යයි වදාළ සේක. ඉත්බිති තථාගතයන් වහන්සේ ඒ බඳුන උඩුකුරු කොට තබා රාහුලය, බොරු කීමට ලැජ්ජා නැතියවුන්ගේ මහණකම මෙසේ ම හිස් වන්නේ යයි වදාළ සේක. බොරු කියන්නෙක් කෙතෙක් ගුණධර්ම රැකියත් ඒවායේ වටිනා කමක් නැත්තේය. එබැවින් සැමදෙන ම බොරු කීමෙන් වළකිත්වා! බොරු කීම පිළිකුල් කෙරෙත්වා!

(උපුටා ගැනීම අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානාහිමි විසින් රචිත බෞද්ධයාගේ අත්පොත ග‍්‍රන්ථයෙනි)

බටහිර සම්ප‍්‍රදායන් අනුගමනය කරමින් අපේ‍්‍රල් පළමුවනදා මහත් වූ අකුසල් රැස් කර ගන්නා පුද්ගලයින්, එම පාපයෙන් මුදවා ගැනීම උදෙසා සකසන ලද ලිපියකි.

හොරකම් කිරීම හෙවත් අදත්තාදානය නොදුන් දෙය’ කුමක්ද? ඩෙන්මාර්ක් කෝපන්හේගන් බෞද්ධ…

හොරකම් කිරීම හෙවත් අදත්තාදානය
නොදුන් දෙය’ කුමක්ද?

ඩෙන්මාර්ක් කෝපන්හේගන් බෞද්ධ විහාරාධිපති ලුණුකඩවැල්ල රාජමහා විහාරාධිකාරී ශාස්ත්‍රපති,
කිරිඳිගල්ලේ ඤාණරතන හිමි

පංචශීල ප්‍රතිපදාවේ දෙවන අංකය අදින්නාදානා හෙවත් නොදුන් දෙය ගැනීමෙන් වැළකීමේ පිළිවෙතයි. භික්‍ෂු, භික්‍ෂූණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසටම මෙය විවිධාකාරයෙන් තහනම් කොට ඇත. නොදුන් දෙය ගැනීම යටතේ ගැනීම තහනම් කොට ඇත්තේ කවර දෙයක් සම්බන්ධයෙන් ද යන්න ම.නි. සාල්‍යෙයක සූත්‍රයේ දී පැහැදිලි කොට ඇත.

“ පරස්ස පරවිත්තූපකරණං – ගාම ගතංවා අරඤ්ඤගතංවා…” යනුවෙනි.

“ගමෙහි හෝ වනයෙහි හෝ අන්සතු සම්පත්, උපකරණ නුදුන් දෙය සොර සිතින් නොගත්තේ වෙයි. මේ අනුව කිනම් භාණ්ඩද නොගත යුත්තේ යනුවෙන් පැහැදිලි වනු ඇත. මෙහිදී වඩාත් වැදගත් වන්නේ පරවිත්තූපකරණ යන්නයි. පරවිත්තූපකරණ යන පදයට අර්ථ දෙකක් ඇත. ඉන් එකක් නම් අනුන්ට අයත් වටිනා බඩු ය. අනික නම් අනුන්ට අයත් ධනයත්, උපකරණත් ය. ශික්‍ෂා පදවලින් පැහැදිලි කොට ඇති අකරණීය කරුණු හෙවත් නොකළ යුතු දේ සමාජ සංස්ථා කෙරෙහි බලපෑමට පටන් ගන්නේ කෘෂියුගයේ දී ය. මෙම යුග වලදී සාකච්ඡාවට ගැනුණු ප්‍රධාන සාධක දෙක නම් ශ්‍රමය හා උපකරණයි. මෙහිදී භාවිතයට ගැනුණු උපකරණ ඉතා ප්‍රාථමික ස්වරූපයේ තිබුණත් ඉන් ඉටු වූ සේවය ඉතා විශිෂ්ටය. ගොඩ මඩ දෙකම මිනිසාට ගොවිතැන් බත් කිරීමට මේ උපකරණ වලින් විශාල සේවයක් ඉටු විය. ඒ නිසා එකල ජනයාට ඒවායෙහි වටිනාකම අතිශයින්ම වැඩි විය. මෙම “වින්තූපරකරණ” යන පදයෙහි මූලික වශයෙන් අදහස් කරන්නට ඇත්තේ ගොඩ මඩ ගොවිතැනට උපයෝගී කරගත් අඬු බඩු විය හැකි ය. ඒවා විශේෂණ කිරීමට “ගාම ගතංවා අරඤ්ඤ ගතං වා” යන පද භාවිතා වී ඇත. මේ උපකරණ භාවිතයෙන් පසු හේනෙහි ගොවිපළෙහි තබා යෑමට හෝ ගේ දොර කරා ගෙන යෑමට මිනිස්සු පුරුදුව සිටියහ.

කිසියම් කෙනෙක් ලියද්දේ ගොවිපළේ තිබී ඒවා ගැනීම හෝ ගේ දොර තිබියදී ඒවා ගැනීම හෝ වැරැදි බව ප්‍රකාශ කිරීම් වස් ඉහත පද භාවිතා කළා විය හැකි ය. සමාජගත සත්වයා පියවරෙන් පියවර ඉදිරියට යෑමේ දී මෙම මූලික අර්ථකථන ප්‍රමාණවත් නොවන ආකාරයක් ඉස්මතු වන්නට විය. මේ නිසා නුදුන් විට නොගත යුත්තේ කුමක්ද යන්නම ඇතැම් තැනක පිළිතුරු දී ඇත්තේ කිංචි ක්වඩී” යනුවෙනි. ‘ක්වඩී’ කිසි තැනකදී ‘කිංචි’ කිසිවක් නොගැනීම අදහස් කොට ඇත. මේ අදහස පැහැදිලි ලෙස ඒත්තු ගැන්වීමට පහත සඳහන් කතාව උපයෝගී වේ. කුමක් හෝ යමක් සොයා ගැනීමට කැළයට ඇතුළුවන පුද්ගලයෙක් කැළයෙහි අතරමං වෙයි. මොහුට යන එන මං සොයාගැනීමට නොහැකිව කැළයේ ඒ මේ අත ගොස් මං මුලා වෙයි. මෙසේ මං මුලා වී සැරිසරමින් සිටින විට ඔහුට කිසියම් වටිනා (කාසියක් හේ මුද්දක් වැනි) උපකරණයක් ලැබෙයි.මේ කැළේ මෙයට අයිති කිසිවකු නැති බව ඔහු හොඳින්ම දනියි. එහෙත් එය ඔහුට අයිති දෙයක් නොවන බවද ඔහු හොඳින් දනියි. මෙසේ තිබියදී වුවද එම උපකරණය ඔහු සතු කර ගන්නේ ද එය අදින්නාදානයට අයත් වේ. මේ නිසා තමාට අයිති නොවූ පවරා නොදුන් ඉඳිකටුවක යමක් හෝ නොගත යුතු බව මේ කථාවෙන් ඒත්තු ගන්වයි. මේ අනුව දෙවන ශික්‍ෂා පදයෙන් වැළකීමට නම් නොදුන් සියලු දේ වර්ජනය කළ යුතු වෙයි. “සබ්බං අදින්නං පරිවජ්ජෙහි…” යනුවෙන් ඒ බව සනාථ කොට ඇත.

අදින්නාදානා විරමනයේ තුන් පැත්තක් ඇත. එහි සමස්තය සම්පූර්ණ වීමට, මෙම තුන් පැත්තම ක්‍රියාත්මක විය යුතු ය. එනම්,

1. නුදුන් දෙය තමා විසින් නොගැනීම (අදින්නං පරිවජ්ජෙයෙය්‍ය)

2. අන් අය ලවා නොගැන්වීම ( න ආරයෙ)

3. අන් අය කරන සොරකම් ඉවසා නොසිටීම (හරතං නානු ජඤ්ඤ)

මේ කරුණු දෙස බැලීමේ දී අදින්නාදානා විරමනය පහසුවෙන් කළ හැකි දෙයක් සේ කල්පනා කළ නොහැකි ය. එය අතපය උපයෝගී කරගෙන සිදු කරනු ලබන සාමාන්‍ය ක්‍රියාවක් සේ අර්ථ නිරූපණය කළ හැකි දෙයක් නොවේ. කායික හා මානසික වශයෙන් ප්‍රගුණ කළ හැකි වැදගත් ප්‍රතිපදාවකි, අදින්නාදානා විරමනය ලෙස බුදුරජාණන් වහන්සේ හඳුන්වා ඇත්තේ.

“දින්නදායී දින්න පාටිකංඛී අථෙනෙත සුඛී භූතෙන අත්තනා විහරති…”

යන පද වලින් අර්ථවත් වන්නේ දුන් දෙයක් පමණක් ගත යුතු බවයි. සතුටු විය යුත්තේ දුන් දෙයින්, පමණකි. සිතිය යුත්තේ ඒ තමාට ලැබුණු ප්‍රමාණය ලැබෙන්න තිබෙන ප්‍රමාණය එපමණයි යන්නයි. බොහෝ දේ ලැබෙන්නට ප්‍රාර්ථනා කළත් ලැබෙන්නේ ඉතාම අල්ප දෙයක් නම් ඒ තමාට හිමි ප්‍රමාණයයි. එයින් සතුටු විය යුතු ය. ජීවත් විය යුත්තේ සොර සිතින් නොව මනා පැවැත්මෙනි. මේ ආදී ක්‍රමයට සිතන කෙනෙකුට පමණකි, අදින්නාදානා සිල්පදය ආරක්‍ෂා කිරීමට හැකි වන වටපිටාවක් ගොඩනඟා ගත හැකි වන්නේ. මෙම සිල්පදයෙන් බලාපොරොත්තු වන පරමාර්ථය නම් අල්පේච්ඡතාවයෙන් කල් ගෙවීමට පුරුදු කිරීමයි. කරණීය මෙත්ත සූත්‍රයේ දී ‘සල්ලහුකවුත්තී’ යනුවෙන් සැහැල්ලු දිවි පැවැත්ම ලෙස ද ප්‍රකාශ වන්නේ, මේ හා සමාන අදහසකි. හොර සිතින් තොරව මනා සිහි පැවැත්මෙන් ක්‍රියා කිරීමට උත්සාහ ගනිති. ඒ සඳහා මිනිසුන් යොදා ගන්නා වංචනික ක්‍රම තුනක් බුදුහිමියෝ පැහැදිලි කළහ. එනම්,

තුලා කුඨ මාන කූඨ කංස කූඨ වශයෙනි.

තුලා කූඨ නම් කිරීමෙන් වංචා කිරීමයි. යම් කිරා විකුණන උපකරණ බඩු භාණ්ඩාදියෙන් යමෙක් වංචා කරයිද, එය ‘තුලා කූඨ’ නම් වේ.

‘මාන කූඨ’ ලෙස විග්‍රහ කරන්නේ මැනීමෙන් වංචා කිරීමයි. ධාන්‍ය වර්ග වේවා, වෙනත් ද්‍රව්‍ය වේවා හොරට මැන විකිණීම මගින් යමෙක් වංචා කරයිද, එය ‘මාන කූඨ’ නම් වේ.

‘කංස කූඨ’ නම් රං රිදී මුතු මැණික් ආදියෙන් කරනු ලබන වංචාවයි.

මේ කවර ආකාරයකින් හෝ කරනු ලබන වංචනික ක්‍රියා අදින්නාදානයෙහිලා සැළකිය යුතු ය. දී.නි. එක්කවත්ති සීහනාද සූත්‍රයට අනුව සමාජ විරෝධී ක්‍රියාවලින් අදින්නාදානය දෙවැනි වන්නේ ප්‍රණාතිපාතා සිල් පදයට පමණකි. පාණාතිපාතයට හා අදින්නාදානයට යොමු වීමේ ප්‍රතිඵල හැටියට මානව සංහතිය අපරාධවලට යොමු වූ බව, මෙම සූත්‍රයේ මනාව පැහැදිලි කරයි. යෙමෙක් මේ අපරාධ දෙකටම යොමු වූයේ ද ඔහුට කළ නොහැකි අපරාධයක් නැත. එතරම් භයානක අපරාධ දෙකකි. පාණාතිපාතයත් අදින්නාදානයත්, මිනිසාට තමා වසන සමාජය ගුණාත්මක ලෙස දියුණු කර ගැනීමට නම් අවශ්‍යයෙන්ම මේවායින් වැළකී සිටීමේ ප්‍රතිපදා දෙක ආරක්‍ෂා කළ යුතු වෙයි. මේ වැරැදි හේතු කොටගෙන ස්වභාවිකව මිනිසා පරිහානියට පත් වන බව පැහැදිලි ය. එහිදී මිනිසාගේ අංශ දෙකක් පිරිහීමට පත්වන බව චක්කන්ති සීහනාද සූත්‍රය හඳුනාගෙන ඇත. එනම්,

1. ශරීරය දුර්වර්ණ වීම.

2. ආයුෂය කෙටි වීම

ප්‍රසන්න පෙනුමෙන් හා දීර්ඝායුෂ ඇති මිනිසුන් පිරිසක් නිර්මාණය කළ හැකි වන්නේ මේ ඉහත කී සමාජ විරෝධී ක්‍රියා නතර කිරීමෙන් පමණකි. අදින්නාදානයේ දී සැලකිලිමත් විය යුත්තේ, ගැනීමට අදහස් කරන දෙයෙහි අයිතිය තමාට ඇත්ද යන්න ගැනයි. ඒ බව වසල සූත්‍රයේ දී ගාමාවා යදිනවාරඤේඤ යං පරෙසං මමායිතං ථෙය්‍ය අදින්නං ආදියති….

“ ගමෙහි හෝ වනයෙහි හෝ අනුන්ගේ අයිතිය ඇති නොදෙන ලද යම් වස්තුවක් සොර සිතින් ගනීද, ඔහු වසලයෙකැයි දත යුතු ය. ස්වභාව ධර්මයෙන් මිනිසාට උරුම කරදී ඇති වන වගාව වර්තමානයේ සූරා කන ආකාරය මෙම ශික්‍ෂාපදයට නොවැටෙන්නේ ද? යුරෝපය වැනි දියුණු රටවල ස්කැන්ඩිනේවියානු රටවල බොහෝ නිවාස මෙන්ම ගෘහ උපකරණ දැවයෙන් නිර්මාණය වූවත් ගසක් ඉවත් කරන්නේ නම් එයට ගසක් සිටුවිය යුතුම ය. නැතිනම් දඩ කෑමට සිදු වෙයි. තම ගෙවත්තේ වූවද නීතිය කාටත් සාධාරණ ය. සියලු දෙනාටම ඉහළින් ඉන්නේ නීතියයි. තුන්වන ලෝකයේ වෙසෙන නීති ගවේෂකයින්ට මේවා කදිම පාඩම් කියා දෙයි. වනය අපට පරිසරය ලබාදී ඇත්තේ අද ජීවත්වන මිනිසාට පමණක් නොවේ. අනාගතයේ පහළ වන කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනයාට භුක්ති විඳීම සඳහායි. මේ වනාන්තර බිහිව ඇත්තේ අද ජීවත්වන අය පමණක් ඒ සියල්ල භුක්ති විඳ අවසන් කරන්නේ නම්, ඔවුන් අදින්නාදානයට වැටීම, වැළැක්විය නොහැකි ය.

අලුත් කළ නොහැකි ස්වභාවික සම්පත් ගැන කල්පනා කිරීමේ දී උදාහරණ ලෙස ඉන්ධන මිනිරන්, මැණික් ආදිය කෙරෙහි අප දක්වන ක්‍රියා මාර්ග කෙරෙහිද අවධානය යොමු කළ යුතු ය. ස්වභාව ධර්මයෙන් මේ සියල්ල නිර්මාණය කර ඇත්තේ පොළොවෙහි වෙසෙන් සියලු ජනයා හා මතුවට ඇතිවන මානව වර්ගයා ද සඳහායි.

අද ජීවත්වන්නේ මතුවට ඇතිවන්නෝන් ගැන කිසිදු වග විභාගයකින් තොරව සම්පත් භුක්ති විඳිති. දිනක් අප වාහනයෙන් මහනුවරට එහා පේරාදෙණිය යනවිට එක් රියැදුරු මහතෙකු ඉන්ධන හිඟයක් ගැන සඳහන් කළේ ය. අප වාහනයේ ද ඉන්ධන අඩුව තිබූ හෙයින් පෙට්‍රල් ෂෙඩ් ගණනාවකට ගියත්, ඔවුහු තෙල් දීම ප්‍රතික්‍ෂේප කළහ. මන්ද තෙල් මිල පසුව දාම ඉහළ යන බැවිනි. එහෙත් එක ෂෙඩ් එකක ඩීසල් ප්‍රෙට්රල් බෙදාහරිනු ලැබිණි. එතැනට ගිය සියලු දෙනා තරම ඉක්මවා තෙල් ලබා ගන්නට පුදුම විදියේ වෙහෙසක් මහන්සියක් දැරූහ. එය අවසන් කොට අප නැවත ගමන් කරන විට තෙල් නැතැයි වසා තිබූ ෂෙඩ් විවෘත කර තිබිණි. මිල ගණන් පිළිබඳ සාකච්ඡා අවසන් වූ නිසා ය.

මෙහිදී මේ තෙල් ලබාගත් කිසිවෙක් අනාගත පරපුර වෙනුවෙන් මේ තෙල් ඉතිරි කළ යුතු යැයි කල්පනා නොකළහ. එමෙන්ම දිනෙන් දින වේගයෙන් නිෂ්පාදනය වන වාහන කන්දරාවට තෙල් අවශ්‍යමය.

මේ ආදී කරුණු කාරණා කල්පනා කර බැලීමේ දී මේ ලබාදී ඇති ස්වභාවික සම්පත් සියල්ලම වර්තමාන මිනිසා විසින් භුක්ති විඳ අවසන් වනු ඇත. මේ අනුව සමස්ත ප්‍රජාවම මහා පරිමාණ වශයෙන් නොදුන් දෙය ගැනීමකට හසු වී ඇත. පාලක පාලිත ආදී සියලු දෙනාම මෙම අලුත් නොකළ හැකි සම්පත් භුක්ති විඳීමෙන් කරනු ලබන මහා පරිමාන ජාවාරම් හේතු කොටගෙන අදින්නාදානා විරමනය ක්‍රියාත්මක කරන්නේ කෙසේද? රටක පාලකයිනුත් ජනතාවත් එක හා සමානව මෙවැනි ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් යහපත් සුචරිතවාදී සමාජයක් නිර්මාණය කර ගත හැකි වනු ඇත.

දහඩිය, වගුරවා මහන්සි වී හරි හම්බ කරන ධනය යම් කිසි කෙනෙක් උදුරා ගන්නේ නම් පැහැරගන්නේ නම් එය සමාජ විරෝධී ක්‍රියාවක් වන අතරම, එය නොදුන් දේ ගැනීමක් ද වෙයි. දහඩිය මහන්සියෙන් සාධාරණ ලෙස යමෙක් කොතරම් ධනය රැස් කර ගත්තත් එහි වරදක් නොමැති බව බුදු දහම පැහැදිලි කර දී ඇත. දම්සක් පැවතුම් සූත්‍රයේ දී සම්මා ආජීව ලෙස විස්තර වන්නේ, ධාර්මිකව ධනය උපයා ගන්නා පිළිවෙතයි.

සොරකමක් සම්පූර්ණ වීමට ද කරුණු පහක් සම්පූර්ණ විය යුතු බව, සද්ධර්මෝපාය නම් ග්‍රන්ථයෙහි සඳහන් වෙයි.

“පර පරිග්ග භන්ඩොච
පර පරිග්ග සඤ්ඤිකා
ථෙය්‍යාදි සිවෙක චිත්තඤ්ච
ඨාතා වාචන මෙවච…”

අනුන්ට අයත් වස්තුවක් වීම, ඒ බව දැන ගැනීම, ගැනීමේ සිත පහළ වීම, ඒ සඳහා උපක්‍රම යෙදීම, ඉවත් කිරීම හෙවත් ගැනීම මෙම කරුණු කුඩා සොරකමක් කිරීමේ දී ද මහා පරිමාණ සොරකමක් කිරීමේ දී ද ක්‍රියාක්මක වෙයි. මේ සියල්ල සම්පූර්ණ වූ කල්හි සොරකම සිදු වෙයි. මෙයට සමානම කරුණු හතක් සොරකමකදී සම්පූර්ණ විය හැකි බව, කාව්‍යශේඛරයේ දැක්වෙයි.

වෙන අය අතින් වත් – එබව දැනුමුත් සොර සිත්
පියෝ ඉන් ගුණ මුත් – දෙවන සිකපද පසඟයියෙත්
මෙහෙවර ගිවිස්මන් – ඔහු එමසේ කිරීමෙන්
හැරයට පියෝ අත් – එසිව් සමඟින් සතකි නියමන්

අනුන්ට අයත් වස්තුවක් වීම, ඒ බව දැන ගැනීම, ගැනීමේ චේතනාව, ඒසඳහා උපක්‍රම යෙදීම, ඒ සඳහා වෙනත් අයෙක් යෙදවීම, එම නියමය ඔහු පිළිගැනීම, ඒ අනුව සොරකම් කිරීම, මේ අංග සම්පූර්ණ වීමෙන් තමාද තමා පොළඹවා ගන්නා පුද්ගලයා ද දෙදෙනාම සොරකමේ කොටස් කරුවන් වන්නෝ ය.

යමෙක් සොරකම් කළ කල්හි ඔහු පිළිබඳ සමාජය නිතර දෙවේලේ සැකයෙන් බලනවා සේම එය මෙලොව පමණක් නොව පරලොව කරා ද ගමන් කරයි. අදත්තාදානය බහුලව කරන පුද්ගලයා මරණින් මතු අපායෙහි උපදී. තිරිසන් යෝනියෙහි උපදී. ප්‍රේතයෙකු වී උපදී. මනුෂ්‍ය ආත්මයෙහි උනනත් දිළින්දෙකු වෙයි. ලැබෙන්න තියන දේ පෙනි පෙනී නොලැබෙයි. මේ ආකාරයට එහි විපාක මෙලොව පරලොව දෙකේ දීම විඳීමට සිදු වෙයි.

සොරකම පිළිබ දීඝ නිකායෙහි චක්ඛවත්ති සීහනාද සූත්‍රයෙහි එන විස්තරය මෙහිදී ඉතා වැදගත් ය.

මහරජ එනු මැනවි. මහරජ ඔබගේ පැමිණීම යහපත් පැමිණීමකි. මහරජ මේ දිවයින ඔබට අයත් ය. මහරජ අනුශාසනා කරනු මැනවැයි කීය. සක්විති රජ තෙමේ මෙසේ අවවාද කළේ ය.

ප්‍රාණඝාත නො කළ යුතුයි, සොරකම් නොකළ යුතුයි, කාම මිථ්‍යාචාරයෙහි නොහැසිරිය යුතුයි, බොරු නොකිව යුතුයි.

“මහණෙනි, ඉක්බිති ක්‍ෂ්ත්‍රීය තෙමේ නිදොස් සක්විති වත් ඇසුවේ ය. එසේ අසන ලද්දා වූ ඔවුහු රජුට නිදොස් සක්විති වත් ප්‍රකාශ කළාහුය. ඒ සක්විති වත් අසා දැහැමි ආරක්‍ෂා, ආවරණ, රැකවල් තැබීය. එසේ වුවත් දුප්පතුන්ට ධානය නුදුන්නේ ය. දුප්පතුන්ට ධනය නොදීමෙන් දිළිඳුකම මහත් විය. දිළිඳුකම මහත් වූ කල්හි එක්තරා පුරුෂයෙක් අනුන්ට අයත් වස්තු හිමියන් විසින් නොදුන් වස්තුව හොර සිතින් ගත්තේ ය. සොරකම් කළේ ඇයිදැයි ඇසූ විට සොරකම් කළේ ජීවත්වීමට ක්‍රමයක් නැති නිසා සොරා කීවේ ය. මහණෙනි, එවිට ක්‍ෂත්‍රීය රජතෙමේ ඒ පුරුෂයාට ධනය දුන්නේ ය. මහණෙනි අන් පුරුෂයෙක්ද සොරකම් කර එසේම ධනය ලබාගත්තේ ය. යම් කෙනෙක් අනුන්ගේ වස්තුව සොර සිතින් ගන්නේ නම් ඔවුන්ට රජු විසින් ධනය දෙන්නේ යැයි කථාවක් පැතිර ගියේ ය. මේ කාරණයෙන් සොරකම වැඩෙන්නේ ය. එවිට රජ තෙමේ රාජපුරුෂයනට අණ කළේ ය. රාජ පුරුෂයිනි, මේ පුරුෂයාගේ අත් පස්සට රැහැනින් බැඳ හිස මුඩු කොට, වද බෙර හඬින් වීදියක් පාසාම පමුණුවා නුවර දොරින් පිටතට රැගෙන මංසන්ධියක් පාසා පමුණුවා නුවර දකුණු දොරින් පිටතට ගෙන ගොස් නුවර දකුණු පැත්තේ දී නැවත සොරකම් නොකරන සේ වළකව්. මුල් හිදිව්, මොහුගේ හිස සිදිව් යැයි නියම කළේ ය. රජ පුරුෂයෝ අණ පිළිපැද්දාහ.

මේ ආකාරයට ක්‍ෂ්ත්‍රීය රජු විස්ප මුලින් සොරකම් කළ උදවියට ධනය දීමෙන් සොරකම වැඩි වූ අතර, එය සමජ විරෝධී ක්‍රියාවක් ලෙස දවසින් දවස වැඩි වූ විට දඬුවම තුළින් මර්දනය කිරීමට උත්සාහ කළහ. මේ හේතු කොට ගෙන සොරකම් සමාජ ප්‍රශ්නයක් දක්වා වර්ධනය වූ බව පෙනෙයි. සොර සිතින් හෝ ගැනීමට යමෙක් තුළ සිතක් පහළ වන්නේ අසීමිත ආශාව පදනම් කරගෙනය. එමෙන්ම යම් ද්‍රව්‍යයක් හෝ වේවා භාණ්ඩයක් හෝ වේවා ඉල්ලා ලබා ගැනීමට තිබෙන මාන්නාධිකකමද එයට බලපායි. ඉල්ලා තබා ගැනීමට ආත්ම ශක්තියක් නැති මිනිසා එය හොරෙන් හෝ බලයෙන් ලබා ගැනීමට උත්සාහ දරයි. මෙයට හේතු වන්නේ සම්පත් සමතුලිත ලෙස බෙදී නොයෑමයි. සොරකම පිළිබඳ අපේ ජන සමාජයෙහි විවිධ උපහැරණ කතා සත්‍ය කතා කොතෙකුත් දක්නට ලැබේ.

එක්තරා දිළිඳු පවුලක පුංචි දරුවෙක් දිනක් තම පාසලේ සිසුවකුගෙන් පැන්සලක් සොරකම් කරගෙන විත් තම අම්මාට පෙන්වීය. අම්මා එය එහි වරදක් නොපෙන්වා ප්‍රශංසා කළේ ය. ටික දිනකට පසු ඔහු පැන්සල් පෙට්ටියක්ම සොරා ගෙනාවේ ය. ඒත් අම්මාගෙන් විරෝධයක් නොවීය. තවත් කාලයක් යන විට ඔහු පන්තියේ ළමුන්ගේ විවිධ උපකරණ සොරකම් කරන්නට විය. මෙසේ මෙය වර්ධනය වී මේ දරුවා ලොකු මහත් වූ කල්හි විශාල වශයෙන් සොරකම් කරන්නට විය. මේ සොරකමේ ප්‍රතිඵල වශයෙන් වරක් ඔහු සිරගත විය. එදා සිරකූඩුව ළඟට ගිය අම්මාට ඒ පුතා කීවේ අම්මේ එදා මම පැන්සල සොරකම් කළ දවසේ ඔබ එහි වරද පෙන්වා දුන්නේ නම් අද මා සිරගත නොවේ කියා ය.ඒ නිසා දරුවන් තැනීමේ දී අම්මාවරුන්ට සුවිශේෂී වගකීමක් පැවරෙන බව අමතක කළ යුතු නැත.

පෞද්ගලික යමක් සොරකම් කරනවා සේම පොදු දේපළ අයුතු ලෙස පරිහරණය කිරීම ද, සොරකමකි. රෝහල්වල ලෙඩුන් සඳහා ඇති බෙහෙත් හේත් පෞද්ගලිකව ගෙන ගොස් වෙනත් තැන්වල විකුණන්නේ ද එය ද සොරකමකි. පොදු මහජනතාව උදෙසා රජයකින් හෝ වෙන යම් ස්වේච්ඡා ආයතනයක් මගින් ලබාදෙන සම්පත් යම් පිරිසක් පමණක් භුක්ති විඳින්නේද, එයද සොරකමකි. සොරකම් කරන විට එය සතුටු සිතින් කළ ද එහි ඵල විපාක දරුණු බව, බෞද්ධ සාහිත්‍යයෙන් මනාව පහදා දී ඇත.

ජාතක පොතෙහි එන මණිචෝර ජාතකය සොරකම් හා එහි ආදීනව පෙන්වන ජාතකයක් ලෙස සඳහන් කළ හැකි ය. බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍යය කරන සමයෙහි බෝසතාණන් පිටිසර ගමක ඉපිද කාලයාගේ ඇවෑමෙන් විවාහයක් කර ගත්තේ ය. ඇය ඉතා රූමත් වූ අතර දුටුවන් වශී කරන සුළු විය. දිනක් මවුපියන් දැකීමට යන්නට සිතී ඇය සියලු වස්ත්‍රාභරණයෙන් සැරසී, අස්රියක නැග ගමන පිටත් වූවා ය. එදිනම බඹදත් රජු ද මඟුල් ඇතු පිට චාරිකාවෙහි යෙදෙන්නේ ය. එහිදී බෝසත් ස්වාමියා රථය පදවන කල්හි හා භාර්යා තොමෝ රථයෙන් බැස රථය පිටුපසින් ගමන් කරන්නට විය. රජ්ජුරුවෝ ඇය දැක වසඟ වී ඇය සස්වාමිකද අස්වාමික දැයි දැන ගැනීමට රාජ පුරුෂයන් යැවීය. ඔවුහු ගොස් තොරතුරු විමසා ඒ රථය පදවන්නේ ඇයගේ ස්වාමියා බව ප්‍රකාශ කළහ. මොනයම් උපායකින් හෝ ඔහු මරවා ස්ත්‍රිය පාවා ගැනීමට සිතූ රජතුමා තමාගේ චූඩාමාණික්‍යය එම රථයට දමන ලෙස දුන්නේ ය. පසුව මැණික නැති වූ බව කියා ප්‍රසිද්ධ කොට එම රථය පරීක්‍ෂා කොට එහිදී එය හමු වූ පසු මැණික හොරකම් කළේ යැයි ;චීදනා කොට හිස ගසා දමන්නට නියෝග කළේ ය. ස්වාමියාගේ මෙවැනි සිද්ධීන් හා කථාන්තර අද ද නැතිවා නොවේ. බොහෝ උදවිය සොරකම් වලට පොළඹවා තමාගේ අභිප්‍රාය ඉටුකර ගැනීමට වෙහෙස වන බලකාමයෙන් උද්දාමයට පත් පාලකයෝ ද පාලිතයෝ ද එබැවින් සොකරමට ඇතැමකු පොළඹවා ගැනීම සොරකම් කිරීමට වඩා බරපතලය. එයින් විපාක ගණනාවක් සිදු වේ.

සොරකම පුදුම උපදවන විවිධ අයුරින් වර්තමාන ලෝකයේ ද සිටිති. මිනිසුන් යොදාගෙන ඇති බව පෙනේ. ඇතැම් අය විහිළුවටද, ඇතැම් අය විවිධ පරීක්‍ෂණ සිදු කිරීමට ද සොරකම් කිරීම ආදී වශයෙන් සොරකම විවිධ අරමුණු සඳහා යොදාගෙන ඇති බව, සීලවිමංස ජාතක කථා පරික්‍ෂාවෙන් පැහැදිලි වෙයි.

කොසොල් රජතුමා නිසා ජීවත්වන හෙතෙම වේදයෙහි පරතෙරට පත් නිති පන්සිල් රකින්නෙකි. එම නිසා රජතුමාගේ විවිධ සම්මාන සත්කාර ලබයි. දිනක් මේ රජු මෙතෙක් මට සත්කාර සම්මාන දක්වන්නේ මාගේ ජාති ගෝත්‍ර නිසාද නැතිනම් සිල්වත්කම නිසාදැයි රජ ගෙට යන ගමන් රජුගේ රන් කටයුතු කරන කෙනෙකුගෙන් විමසීය. ඔහු උපාසක කෙරෙහි ගෞරවය නිසා කිසිවක් නොකීවේ ය. දෙවන වර රන් කහවනු දෙකක් ගෙන ගියේ ය. ඊළඟ දින කහවනු මිටක් ගෙන ගියේ ය. එදින රන් භාරකරු එම්බල උපාසක අදට තුන් දිනක් භාණ්ඩාගාරයෙන් සොරකම් කළේ යැයි රජුට ඉදිරිපත් කළහ. රජු බොහෝ නින්දා කොට මොහුට දඬුවම් දෙවැයි නියෝග කළහ. එවිට උපාසක තෙම රජතුමනි මා සොරකම් නොකළෙමියි කීය. මේ රජු මට සම්මාන කරන්නේ මගේ ජාති ගෝත්‍ර නිසාද සිල්වත්කම නිසාදැයි පරීක්‍ෂා කිරීමට එසේ කළ බව කීය. මගේ සිල්වත්කම නිසා බව මා තේරුම් ගතිමි. සීලයම උතුම් ධනය වේ යැයි පැවසීය.

අදී වශයෙන් මේ ජාතක කථාවේ සඳහන් ආකාරයට ඇතැම් මහණ බමුණන් ද විවිධාකාරයේ උපක්‍රම යොදා ගනිමින් සොරකමට පෙළඹීමට උත්සාහ දරා ඇති බව පෙනේ. එම නිසා පරීක්‍ෂා කිරීමටත්, උරගා බැලීමටත් සොරකමට පෙළඹීම අතීතයේ කොහොම වෙතත් වර්තමානයේ දී නම් තමන් අමාරුවේ වැටෙන එමෙන්ම නින්දාවට ගර්භාවට පත්වන බරපතල දඬුවම් ලැබෙන ක්‍රියාව බව තේරුම් ගත යුතු ය.

සොරකමෙහි විපාක පිළිබඳ විවිධ සූත්‍ර දේශනාවල හා ග්‍රන්ථ වල විවිධ ආකාරයේ විස්තර තිබේ. දීඝ නිකායෙහි චක්ඛන්ති සීහනාද සූත්‍රයේ දී “නුදුන් දෙය ගැනීම අත්හැර නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වෙයි ද, ගමෙහි ද, ආරණ්‍යයෙහි ද අනුන් සතු වූ යම් වස්තුවක් වේ නම්, එය සොර සිතින් නොගන්නේ වෙයි ද…”

ආදී වශයෙන් සඳහන් කරමින් එබදු අයට සිතෙහි කිසිදු සැක සංකා වලින් තොරව ජීවත් විය හැකි බව පැවසෙයි. අංගුත්තර නිකායෙහි චතුක්ක නිපාතයෙහි අදින්නාදාන සූත්‍ර පිරික්සීමේ දී ද මේ බව මැනවින් පැහැදිලි වෙයි.

“ අත්තනාව අදින්නාදායී හෝති, පඤේව අදින්නාදානෙ සමාදපෙති, අදින්නාදානෙව සමනුඤ්ඤො හොති, අදින්නාදානස්සච චංනං භාසති….”

“ තෙමේ අයිනාදන් ගන්නේ වෙයි. මොරමාන් අයිනාදනෙහි සමාදන් කරවයි. අයිනාදන පිළිබඳ ගුණ කියවන්නේ වෙයි. අයිනාදනෙහි අනුමත කරනයි” මේ කාරණා හතර යමෙක් කරයිද ඔහු සිල්පද කැඩීමට ලක්කරයි.යමෙක්

“තෙමෙන් අයිනාදනින් දුරු වූයේ වෙයි. මෙරමාද අයිනාදනෙන් දුරු වීම පිළිබඳ ගුණ කියයි. මේ සතර කරුණෙන් යමෙක් යුක්ත වන්නේ ද ඔහු මැරුණු ක්‍ෂණයෙන් ස්වර්ගයෙහි (සැපතෙහි) උපදී.

ලෝ වැඩ සඟරා කතුවරයා ද මෙහිදී ඉතා වැදගත් අදහසක් මතු කරයි.

බලයෙන්වත් කිසියම් සොර සිතකින්
සියතින්වත් දුන් වූ උප දෙස කින්
පරසන්තක දෙය ගත සොර සිතින්
නිරයෙන් නිරයට පැමිණෙයි එතකින්

ලොබිනා මිහිරිව සොරකම් කළ සත
විඳිනා දුක් මේ ලොව මෙතෙකැයි නැත
මෙදිනා ඒ දැක දැක ඉන් නොකැ මැත
ඉදිනා කළ කිකලක වේ දෝ සෙත

සොරකමෙහි ආදීනව මහත් බව එයින් මෙලොව දී පමණක් නොව පරලොවදී ද විපාක විඳීමට සිදුවන බව මෙමඟින් සනාථ වේ. තමන්ගේ සිතින් සිතා හෝ අන් කෙනකුගේ පෙළඹවීමක් නිසා හෝ සොරකම් කිරීම ලැජ්ජාශීලී ක්‍රියාවක් බවත් මෙහිදී වටහා ගත යුතු ය.

සොරකමින් වැළකීමේ ආනිශංස සමුදායකි. බොහෝ ධනය බලන්නකු වීම, පූජ්‍ය වන්තයෙකු වීම, කැමැති දේ ලැබීමට වාසනාවන්තයකු වීම, රජුන්ගෙන් ගින්නෙන් ජලයෙන් විනාශ නොවන වස්තු ඇත්තකු වීම, උතුම් මිනිසකු වීම ආදී වශයෙන් මහත් වූ ප්‍රතිලාභ උදා වන බව සැම දෙනා විසින්ම අවබෝධ කර ගත යුතු ය.

*************************************

හරන්තික නැමති සොරාගේ කතාව

සොරකම් කරන්නාට මෙලොවදී විඳීමට සිදුවූ දඬුවමක් පිළිබඳව “හරන්තික”ගේ කථාව විමසීමේ දී අපට දැනගත හැකි වේ.

පෙර දවස මහතලා විහාරය අසල වනය තුළ ඉදි කළ පන්සලක විදසුන් වඩමින් විසූ භික්ෂූන් වහන්සේ නමක් සිටිසේක. උන්වහන්සේ නමින් ‘අභය’ ස්ථවිරයන් වහන්සේ විය. එගම්වාසී එක් උපාසකයකු උන්වහන්සේට දානය සපයා දෙමින් සිවුරු පිරිකරද පූජා කරනු ලබයි. එහෙත් අභය තෙරුණ් වහන්සේ දිරාගිය ඉරුණු සිවුරු පිරිකර නිතර පෙරවූ සේක. උපාසක තෙම අභය තෙරණුවන් තමා දෙන සිවුරු පිරිකර පරිහරණය නොකරන්නේ ඇයි දැයි විමසා බැලුවේය. එහෙත් අභය තෙරුණ්ගෙන් පිළිතුරක් නොලැබිනි. පසුව මේ උපාසකතෙම තමා නිතර පූජා කරන සිවුරු පිරිකරවලට කුමක් සිදුවේ දැයි සොයා බැලීමට සිතුවේය.

දිනක් රාත්‍රියේ පන්සල අසල සැඟවී සිටි උපාසක තුමාට දකින්නට ලැබුණේ හරන්තික නැමති සොරා පන්සලට පැමිණ සිවුරු ආදිය සොරකම් කරගෙන යන බවය. මෙය දුටු උපාසක තෙම සොරාට හොඳ දඬුවමක් දීමට සිතා සොරා අල්ලා තලා පෙලා පහර දී සොහොනට ඇදගෙන ගොස් එහි තිබූ මළ මිනියකට සොරව තබා වෙලා ගැට ගැසුවේය. සොරාට ලිහා ගත නොහැකි ලෙස තදින් ගැටගැසුවේය. සොරුට දැන් ගමන් කළ හැකි වනුයේ මිනිය පිට බැඳි නිසා ඉතා අපහසුවෙනි.

උපාසකතෙම වහා ගම්මානයට දුවගොස් ගෙයින් ගෙට යමින් අද රාත්‍රියේ මළ මිනියක් පිට බැඳගත් යකෙකු ගමට එන බවත් ඒ නිසා කොතරම් හැඳුනුම්කම් ච්වත් දොරවල් නොහරින ලෙසත් නිවැසියන්ට කීවේය. මිනිසුන් උපාසකගේ කථාව හොඳින් අසන ලදී.

මැදියම් රාත්‍රිය වනවිට හරන්තික හොරා තමාගේ නිවසට පැමිණ තමාට සිදුවූ විපත කියමින් දොරට තට්ටු කරමින් දොර අරින ලෙස කීවේය. එහෙත් උපාසක තෙම කියූ බස් ඇසූ බිරිඳ බිය වී දොර නොහැරියාය. තමාගේ ගෙදර දොර නොහරින බව දැනුන හරන්තික වෙනත් නිවෙස් වලට ගොස් තමාට සිදුවූ විපත හඬගා කියමින් දොරවල් වලට තට්ටු කලත් කිසිම ප්‍රයෝජනයක් නොවීය. නිවෙස් වල දොරවල් තව තවත් තදින් වසන ලදී. කලයුතු කිසිවක් නොමැතිවිට මේ සොරා මිනිය පිට බැඳි ලෙසම තමා පිරිකර සොරකම් කළ පංසලටම පැමිණියේය.

පංසලට පැමිණ අභය තෙරුන්වහන්සේ අමතමින් තමාට වූ විපත හඬගා කියමින් තමාට පිහිට වන ලෙස අයැද සිටියේය. සොරා දුටු ස්වාමීන්වහන්සේ දුකටපත් වී සිටි හරන්තික සොරාගේ පිට බැඳි මිනිය ලිහා එය සොහොනට ගෙන ගොස් දමා වතුර ගෙනවිත් හරන්තික නහවා පිරිසුදු කර පහර වැදී තුවාල සිදුවූ තැන් බෙහෙත් තෙල් ගල්වා ඔහුට පිහිට වූ සේක. ඉහත සඳහන් කථාවෙන් පැහැදිලි වනුයේ අදත්තාදානය කරන පුද්ගලයාට සමාජය විසින් දෙනු ලැබූ දඬුවමකි.

අදත්තාදානයෙන් වැළකීම දසකුසල් වලින් එකකි. දස කුසල් කරන්නාට මෙලොව වශයෙන් සමාජය තුළින් යසස, කීර්තිය, ප්‍රශංසා, ආදිය ලැබේ. පරලොව වශයෙන් සුගතියෙහි ඉපදේ. ධනවත්ව ඉපදේ.

හැකිතරම් සිත පහදවාගෙන දානයේ යෙදෙමු. මේ ලෝකයේ විෂම බවට ප්‍රධාන හේතුවක් වන්නේ කර්ම…

හැකිතරම් සිත පහදවාගෙන දානයේ යෙදෙමු.
මේ ලෝකයේ විෂම බවට ප්‍රධාන හේතුවක් වන්නේ කර්මයේ වෙනසයි.

ලෝකයා යමකින් යමකින් සතුටු වේද, ඒ සැම එකකින්ම ශෝකය උපදී… දුවන්නන් වාලේ ලෝකය පසු…

ලෝකයා යමකින් යමකින් සතුටු වේද, ඒ සැම එකකින්ම ශෝකය උපදී…
දුවන්නන් වාලේ ලෝකය පසුපස හඹා යාමෙන් වැළකී, යථාර්තය දෙස මොහොතක් නැවතී බලමු…

සාමාන්‍ය ලෝකයේ ජීවත් වන තැනැත්තෙකුට සමාජය දැනෙන්නේ එක ආකාරයකටය. ජීවිතය පිළිබඳව ග…

සාමාන්‍ය ලෝකයේ ජීවත් වන තැනැත්තෙකුට සමාජය දැනෙන්නේ එක ආකාරයකටය. ජීවිතය පිළිබඳව ගැඹුරින් සිතන තවත් කෙනෙකුට එය වෙනත් ආකාරයකට දැනෙන්නට පිළිවන්. මෙයට හේතුව ඒ ඒ පුද්ගලයන්ට සමාජය දැනෙන්නේ තමන් සිතන තමන් බලාපොරොත්තු වන ආකාරයට වීමයි.

ජීවිතයද එබඳුමය. ජීවිතය ඉතාමත් ලස්සන, සුන්දර තැනක් ලෙස කෙනෙකුට කල්පනා විය හැකිය. තවත් කෙනෙකුට එය බරපතල කන්දොස් කිරියාවක් ලෙස දැනෙන්නටද පිළිවන. එයට හේතුව ඒ ඒ අය ජීවිතය පිළිබඳව සිතන ආකාරය අනුවයි. සමාජය පිළිබඳවත් ජීවිතය පිළිබඳවත් විවිධ ආකාරයට කල්පනා කිරීමේ ඵලය ලෙස ඔවුනට තමන්ට සිතෙන ආකාරයේ ලෝකයක් පෙනෙන්නට තිබේ.

බුදුදහමෙහි පුද්ගලයා ජීවිතය පිළිබඳව සිතිය යුතු නිවැරැදි ක්‍රමය කුමක්දැයි උගන්වයි. එය අංශ දෙකකින් යුක්තය. එනම් “සම්මුති ලෝකය” තුළ ජීවිතය පිළිබඳව සිතිය යුත්තේ කෙසේද? යන්න සහ යතාර්ථය ලෝකය තුළ ජීවිතය පිළිබඳව සිතිය යුතු ආකාරය පිළිබඳවයි. අප මෙහිලා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ යතාර්ථ ලෝකය තුළ ජීවිතය පිළිබඳව මිනිසා කල්පනා කළ යුතු ආකාරය පිළිබඳවයි. යතාර්ථ ලෝකය දැකීමට උනන්දු වන්නේ සාමාන්‍ය වශයෙන් දැනුම් තේරුම් සහිත ජීවිතාබෝධයකින් යුතු මනුෂ්‍යයාය. යතාර්ථ ලෝකය පිළිබඳව බුදු දහමෙහි උගන්වනු ලබන්නේද එබඳු පුද්ගලයාටය. උපමා මගින් එය දක්වා තිබේ. ජීවිතය පෙණ පිඬක් මෙන් සිතන ලෙසත් මිරිඟුවක් ලෙස සිතන ලෙසත් එහිදී දක්වයි. අවුරුදු 120 ක පමණ කාල පරාසයක් සහිත ජීවිතය පෙණ පිඬක් වැනි ආයු කාලයක් පමණක් පවතින්නක් ලෙස සිතන්නටත් එය තියෙනවා යැයි පෙනෙන නමුත් ළඟට ගිය පසු එතන නොපෙනී නැවතත් ඈතින් පෙනෙන මිරිඟුවක් ලෙස සිතන්නටත් මෙහිලා උගන්වයි.මෙම ඉගැන්වීම සාමාන්‍ය ඤාණය සහිත කෙනෙකුට තේරුම් ගත නොහැකිය.ඊට හේතුව පෙණපිඬු (දිය බුබුල) දියෙහි පවතින්නේ ස්වල්ප වේලාවකි. ජීවිතය එයට වඩා කාලයක් පවතී. මිරි¼ගුව පෙනෙන්නට තිබුණද ළඟට ගිය පසු ඈතින් පෙනුනද ජීවිතය ඊට වඩා වෙනස්ය. ජීවිතය දැනෙයි. විඳීයි. සකස් කරයි. මේ නිසා මෙම ඉගැන්වීම බුදු දහම අවබෝධය පිරි පරිණත මිනිසුන් කෙරෙහිය. බුදුරජාණන් වහන්සේ දාර්ශනිකව ලෝකය දෙස බලා ඉගැන්වූ උපමා දෙකකි. අනන්ත කාලයට සාපේක්‍ෂව ගත් කළ පුද්ගලයකු ජීවත් වන කාලය දිය බුබුලක් පවතින කාලය හා සමානය. අනන්ත සක්වළ මැරි මැරී නැවත උපදින මිනිස් ප්‍රජාවට සාපේක්‍ෂව තමන් ගත කරන ජීවිත කාලය මිරිඟුවක් වැනිය. මේ අවබෝධය කෙනෙකුට ලැබෙන්නේ ජීවිතය පිළිබඳව ඇතිකර ගන්නා නිවැරදි අවබෝධය මතය.බුදු දහමෙහි උගන්වන කිසිවක් කිසිදා නොපවතීය යන්න අනිත්‍යතා ධර්මය මෙහි ගැබ්වේ. එනිසා අනන්ත සංසාරයට සාපේක්‍ෂව මිනිසා ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද යන්න මෙහිලා පැහැදිලි කරනු ලැබේ.

මිනිසා ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද? යන්න විමසා බැලිමේදී පැහැදිලි වන්නේ නැවත උපදින නැවත මිය යන ජීවිතයක් අරගෙන සංසාරයටද සැරිසරණ බවයි. සමාජයට යහපත වැඩි වශයෙන් කළ අය සංසාරයේ සැරිසරන්නේ සැප සම්පත් විඳිමින්ය. සමාජයට අයහපත වැඩි වශයෙන් කළ අය සංසාරයේ සැරිසරන්නේ දුක් දොම්නස් විඳිමින්ය. බුදු දහමෙහි උගන්වන්නේ මේ යතාර්ථය මැනවින් තේරුම් බේරුම් කරගෙන නැවත නූපදින ලෙස සංසාරය අවසන් කරන ලෙසයි.

ඒ සඳහා මිනිසාගේ ඤාණය යතාර්ථ ලෝකය වෙත හැරවීමට එරෙහිව සිටින්නා මාරයා ය. එනම මනසෙහි පවතින්නා වූ කෙලෙස්ය. සාමාන්‍ය ලෞකික සමාජය තුළ සැප සම්පත්වලට ලොල් වන මිනිසා මරු වසඟයට යයි. එනම් කෙලෙස් ධර්මවලට අවනත වීමයි. ලෝකයේ ජීවත්වන මිනිසුන්ගෙන් ඉතා අල්ප කෙනෙක් මරු වසඟයට නොයයි. මර බැඳුම් සිඳ බිඳ දමා සැප සම්පත් සහිත සම්මුති ලෝකය තුළ යතාර්ථය කෙබඳුද? යන්න සොයා විමසා බලයි. ඒ මගෙහි යාමට උනන්දු වෙයි. කැප වෙයි. එම කැපවීම සාමාන්‍ය සම්මුති ලෝකයෙහි ජීවත්වන ක්‍රමයට වඩා තරමක් අපහසුය. නමුත් බුදු දහමෙහි උගන්වන්නේ මිනිසාට එම මගෙහි ගමන් කිරීම උතුම් බවය.

මෙහිලා වඩාත් පැහැදිලි වන්නේ බුදු දහම මගින් පෙන්වන යතාර්ථය අවබෝධ කරගැනීමට මිනිසාට මඟ පෙන්වනු ලබන බවයි. නමුත් සම්මුති ලෝකයේ ජීවත් වන මිනිසුන් එබදු මඟක් තිබෙන බව දැන දැනම එම මගෙහි නොගොස් වෙනත් මං මාවත්වල ගමන් කරන බවය. එම නිසාම නිවැරදි දහම දැනගැනීමට සහ ඒ අනුව කටයුතු කිරීමට වුවමනාය තිබුණත්, එය එසේ කිරීමට මාරයා මිනිසාට ඉඩ ලබා නොදෙන බවය.

මෙබඳු කරුණු කාරණා නිසාම මිනිසා අර්ථයට නැඹුරු වන්නේ අඩුවෙන්ය. මිනිස් ලොව උපත ලබා මරණයට පත්වී අපායෙහි උපදින පිරිස වැඩි බවත් මිනිස් ලොව උපත ලබා මරණයට පත්ව පේ‍්‍රත ලෝකවල උත්පත්තිය ලබන අය ඉතා වැඩි බවත් බුදුරජාණන් වහන්සේ දැක්වූ කරුණු අංගුත්තර නිකායෙහි සදහන්ය. එයින් පෙනෙන්නේ සාමාන්‍ය මිනිසුන් තමන් ගතකරන ජීවිතය අනන්ත කාලයට සාපේක්‍ෂව පෙණ පිඬක් ලෙස සිතන්නටත් තමන් ගත කරන ජීවිතය මිරිඟුවක් ලෙස පිළිගන්නටත් දක්වන්නා වූ අකමැත්තකි.

තෙරුවන් සරණයි!

මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

දිනක් බණ ඇසීමට පස් දෙනෙකු පැමිණි අතර සිව් දෙනෙකු මනාව බණ නො ඇසීය. ඒ පිරිස අතර එක…

දිනක් බණ ඇසීමට පස් දෙනෙකු පැමිණි අතර සිව් දෙනෙකු මනාව බණ නො ඇසීය. ඒ පිරිස අතර එක් තැනැත්තෙක් නිදිකිරා වැටුණේ ය, එක් තැනැත්තෙක් ගසක අත්තක් සොලවමින් සිටියේ ය, එක් තැනැත්තෙක් බිම ඉරි අඳිමින් සිටියේ ය, එක් තැනැත්තෙක් අහස දෙස බලා සිටියේ ය, එක් තැනැත්තෙක් මනාව බණ ඇසී ය. ආනන්ද හිමි අර සිව් දෙනා බණ නො අසන්නේ මන්දැ යි ඇසූ කල තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක. ”ආනන්දයෙනි හිඳ ගෙන නිදා සිටි තැනැත්තා 500ක් ජාතියෙහි සර්පයෙක්ව උපන්නෙකි. ඉරි අඳිමින් සිටි තැනැත්තා 500ක් ජාතියෙහි ගැඩවිල්ව උපන්නෙකි. අත්තක් සොළවමින් සිටි තැනැත්තා 500ක් ජාතියෙහි වඳුරව උපන්නෙකි. අහස දෙස බලමින් සිටි තැනැත්තා 500ක් ජාතියෙහි නැකැත් බලන්නෙකි. මනාව බණ අසමින් සිටි තැතැත්තා 500ක් ජාතියෙහි බ‍්‍රාහ්මණව උපන්නෙකි. එකල ඔවුන්ගේ සසර පැවති පුරුද්දට අනුව ඔවුන් දැනුත් මෙසේ කරති” යැ යි වදාළ සේක.

මෙසේම පිළින්දිවච්ච මහ රහතන් වහන්සේ ”වසළයා” යැයි කියා මිනිසුන්ට කථා කරති. ඊට හේතුව ද 500ක් ජාතීන් හි බ‍්‍රාහ්මණව ඉපිද සිටීම ය. තව ද රහත් හිමි නමක් මහ මඩ වළෙන් පැනගොස් කුඩා මඩ වළෙන් බැස යාමට හේතුව ද උන්වහන්සේ පෙර ආසන්න ආත්ම ගණනාවක් ම වඳුරුව ඉපදී ඇති බැවිනි. මෙසේම අකීකරු වීම, ස්ත‍්‍රීන් රැුවටීම, මෝඩ කි‍්‍රයා කිරීම්, කළගුණ සැළකීම්, නුවණින් කටයුතු කිරීම් ආදි බොහෝ ගුණාගුණ සසර පුරුදු ලෙස ඉදිරියට එන බව ජාතක අට්ඨ කථාවට අනුව පෙනේ. බොහෝ කථාවල ”මහණෙනි දැන් පමණක් නොව මොහු පෙරත් මෙසේ කළේ ය” යනාදී ලෙස දක්වා ඇත. ඒ අනුව පුරුදු ඉදිරියට යන බව වටහා ගෙන කුසල ක‍්‍රියාවලම නිරත වෙත්වා.

වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!

මතු සම්බන්ධයි!

පෙර ලිපිය :

''කාමා හි චිත්‍රා මධුරා මනෝරමා – විරූපරූපේන මථෙන්ති චිත්තං, ආදීනවං කාමගුණේසු දිස…

”කාමා හි චිත්‍රා මධුරා මනෝරමා – විරූපරූපේන මථෙන්ති චිත්තං,
ආදීනවං කාමගුණේසු දිස්වා – තස්මා අහං පබ්බජිතොම්හි රාජ.”

පින්වත් රජතුමනි, මේ කාමයන් විචිත්‍ර තමයි. මිහිරි තමයි. සිත ඇදී යනව තමයි. ඒ වුණත් ඒ තුළින් මේ සිත නොයෙක් විදිහට කලබල වෙලා යනව. කාමයේ තිබෙන මේ ආදීනව දැකලයි මං මහණ වුණේ.

”දුමප්ඵලානිව පතන්ති මානවා – දහරා ච වුද්ධා ච සරීරභේදා
ඒතම්පි දිස්වා පබ්බජිතොම්හි රාජ – අපණ්ණකං සාමඤ්ඤමේව සෙය්‍යෝ’ති.”

පුංචි අයත් වැඩිහිටියොත් කවුරුත් මැරිල යන්නෙ ගස්වල ගෙඩි වැටෙනව වගේ. පින්වත් රජතුමනි, ඒවා දැකලයි මං මහණ වුණේ. මේ ශ්‍රමණ ජීවිතය කිසි කරදරයක් නෑ. ඒ වගේ ම උතුම් ජීවිතයක්.
(රට්ඨපාල සූත්‍රය – මජ්ඣිම නිකාය 02)

ලොව්තුරා බුදුවරයෙක් සතු ලෝකවිදු බුදුගුණය විශ්වය යනු දුක මත පිහිටි දෙයක් බව බුද…

ලොව්තුරා බුදුවරයෙක් සතු ලෝකවිදු බුදුගුණය

විශ්වය යනු දුක මත පිහිටි දෙයක් බව බුදුන් වහන්සේ පැවසූහ. ‘දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතො’ ලෝකය සම්පූර්ණයෙන්ම පවතින්නේ චලනය වීම මතයි. ‘විවට්ටට්ඨායි’ යනුවෙන් ලෝකය සකස් වන යුගය හඳුන්වනු ලැබේ. ‘විවට්ට’ යුගය යනු ලෝකය විකාශනය වී සංවර්ධනය වී ඇති යුගය යි. ‘සංවට්ටට්ඨායි’ යුගයේ දී සමහර ලෝක විනාශයට පත් වනවා.

බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස සූත්‍රයේ දී රෝහිත දිව්‍ය පුත්‍රයාට දේශනා කර සිටින්නේ කිසිම දිනක මේ විශ්වයේ කෙළවරක් දැකීමට නොහැකි අතර, යම් කෙනෙකුට ලෝකය දැකීමට අවශ්‍යනම් බඹයක් පමණ වූ මේ ශරීරය තුළම එය දැකිය හැකි බවයි. ලෝකයත්, ලෝකයේ ඇති වීමත්, ලෝකයේ නැවැත්මත්, ලෝකය නැවැත්වීමේ මාර්ගයත්, මේ බඹයක් පමණ වූ ශරීරය තුළම දැකගත හැකි යි යනුවෙනි.

විශ්වය සාමාන්‍ය නුවණින් විස්තර කළ නොහැකි ය. බුදුන් වහන්සේ ලෝකය යනුවෙන් නිර්වචනය කරන ලද්දේ ‘ලුජ්ජති පලුජ්ජතී’ ති ලෝකෝ’ යනුවෙනි. එනම් කැඩෙන – බිඳෙන ස්වභාවයෙන් පත්වන දේ ලෝකයයි, යනු යි.

විද්‍යාඥයින් විසින් පිටසක්වළ යනුවෙන් හඳුන්වන්නේ මේ විශ්වයමයි. බටහිර නවීන විද්‍යාවට බුදුරදුන් දෙසූ විස්තර ගෝචර වී නොමැත.

බුදුරජාණන් වහන්සේ විසින් මේ පිළිබඳ ඉතා පැහැදිලි හා ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන් සමහර විෂය පිළිබඳ අනවශ්‍ය ලෙස නොසිතන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒවා නම් ලෝක විෂය, ධ්‍යාන විෂය, බුද්ධ විෂය හා කර්ම විෂය හා සෘද්ධි විෂය යි.

එසේම, බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස සූත්‍රයේ දී රෝහිත දිව්‍ය පුත්‍රයාට දේශනා කර සිටින්නේ කිසිම දිනක මේ විශ්වයේ කෙළවරක් දැකීමට නොහැකි අතර, යම් කෙනෙකුට ලෝකය දැකීමට අවශ්‍යනම් බඹයක් පමණ වූ මේ ශරීරය තුළම එය දැකිය හැකි බවයි.

ලෝකයත්, ලෝකයේ ඇති වීමත්, ලෝකයේ නැවැත්මත්, ලෝකය නැවැත්වීමේ මාර්ගයත්, මේ බඹයක් පමණ වූ ශරීරය තුළම දැකගත හැකි යි යනුවෙනි.

චින්තා සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, ලෝකය ගැන හිතන්නට ගොස් පිස්සු හැදුණු මිනිසකු පිළිබඳව යි. සුබග නම් පුද්ගලයා ගං තෙරක් ළඟ ඉඳගෙන ලෝකය පිළිබඳ හිතමින් සිටී.

කවදාවත් දකින්නට නොලැබුණු අමුතුම ජීවීන් කොටසක් පැමිණ නෙළුම් කොළයක් යට සැඟවෙන අයුරු සුබගට දකින්නට ලැබෙනවා. ඔහු හිතනවා තමන්ට පිස්සු නිසා තමා මේ වගේ දර්ශන දුටු බව. අනික් පිරිසට මේ ප්‍රවෘත්තිය ප්‍රකාශ කරද්දී ‘උඹට පිස්සු නිසා වෙන්නැති’ යනුවෙන් කීමට ඔවුහු පෙළඹෙති.

බුදුන් වහන්සේට මේ ප්‍රවෘත්තිය අසන්නට ලැබෙනවා. ඉන්පසුව බුදුන් වහන්සේ ‘මහණෙනි යැයි අමතා, ‘මේ මිනිසා කියන්නේ ඇත්ත. පිටසක්වළ ජීවත්වන සුර – අසුරයන් අතර යුද්ධයකින් අසුරයන් පැරැදී නෙළුම් කොළය යට සැඟවුණු බව සත්‍යයකි.

අද වුණත් බොහෝ විට ආලෝක සහ වෙනත් ජීවීන් පැමිණි බවට එක් එක් මත ප්‍රකාශ වෙනවා. ඒවා සම්පූර්ණයෙන් අසත්‍යයැයි බැහැර කළ නොහැකියි.

එවැනි දේ සාමාන්‍ය මනුෂ්‍යයන්ට ගෝචර නොවන නිසා විස්මිත ස්වභාවයට පත්වනවා. එනිසා බුදුන් වහන්සේ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය ගැනම සිතන ලෙසයි.

විශ්වය යනු දුක මත පිහිටි දෙයක් බව බුදුන් වහන්සේ පැවසූහ. ‘දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතො’ ලෝකය සම්පූර්ණයෙන්ම පවතින්නේ චලනය වීම මතයි.මේ ජීවිතය නමැති ලෝකය තණ්හාව මුල්කර ඇතිබවත්, තණ්හාව නිරුද්ධ කිරීමෙන් මේ ලෝකයෙන් නිදහස් වීමට නොහොත් සසරේ පැවැත්ම නැති කළ හැකි බවත් දුටුසේක.

මේ ලෝකය නමැති ජීවිතය සෑදී තිබෙන අන්දම බුදුරජාණන් වහන්සේ යථාර්ථයෙන්ම අවබෝධ කළ සේක. යම් තැනක ඇස තිබේද, රූප තිබේද, ඇසෙවිඤ්ඤාණය තිබේද, ඇසේ ස්පර්ශය තිබේද, ඇසේ හඳුනාගැනීම, ඇසේ වේදනාව, ඇසෙන් හටගන්නා චේතනාව තිබේද, එමෙන්ම කන, නාසය, දිව, ශරීරය, මනස මුල්කරගන නිර්මාණයවන පංච උපාදානස්කන්ධයේ පැවැත්ම ඇද්ද එතන ලෝකය පවතින බවත්, ලෝක සම්මුතිය එය බවත් සම්මාසම්බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළ සේක. එසේම ලෝකය පංචඋපාදානස්කන්ධය තුළම ඇති බව වදාළ බුදුරජාණන් වහන්සේ රූපය පෙනපිඬක් මෙන්ද, වේදනාව දිය බුබුලක් මෙන්ද, සඤ්ඤාව මිරිඟුවක් මෙන්ද සංස්කාර කෙසෙල් කඳක් මෙන්ද, විඤ්ඤාණය මායාවක් මෙන්ද උපමාකර වදාළ සේක. මෙසේ ලෝකයත් ලෝකයෙන් මිදීමත් බුදුරජාණන් වහන්සේ දේශනා කල සේක.

‘විවට්ටට්ඨායි’ යනුවෙන් ලෝකය සකස් වන යුගය හඳුන්වනු ලැබේ. ‘විවට්ට’ යුගය යනු ලෝකය විකාශනය වී සංවර්ධනය වී ඇති යුගය යි. ‘සංවට්ටට්ඨායි’ යුගයේ දී සමහර ලෝක විනාශයට පත් වනවා.

අපගේ මනුෂ්‍ය ලෝකයේ එක් කොටසක් ලෙස අපරගෝයාන, උතුරුකර, පූර්ව විදග්ධවල ජීවත්වන්නේ අමුතු ජීවින් කොටසක් නොවේ. ජම්බුද්වීපයෙහි ජීවත් වන්නේත් මිනිස්සු කොට්ඨාසයකි. උතුරුකුරු දිවයිනේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු පන්සියයක් වන අතර ඔවුන් මහා පුණ්‍ය ශක්තියෙන් ඉපදුණු කොටසකි. ඔවුන් නිරන්තරයෙන් පංචශීලය ආරක්ෂා කරන අතර රූප සම්පත්තියෙන් අපට වඩා උසස්ය. ලෝකයේ විකාශනය හා නැවැත්ම පිළිබඳ ‘සත්තසූරියුග්ගමන සුත්‍රයේ’ පැහැදිලිව විස්තර කර ඇත.

චූලනිකා සහස්‍ර ලෝකය යනු ඉරවල් හා සඳවල් දහසක එකතුවකි. සහස්සී චූලනිකා සහසක් එකතු වී ද්වි සහස්සී මජ්ඣිමා ලෝක ධාතුව සෑදේ. මෙම ප්‍රදේශය බුදුවරුන් වහන්සේට පමණක් විෂය වේ.

බුදුවරයකුට උන් වහන්සේ ගේ ශාරීරා ලෝකයෙන් සහ කටහඬින් මජ්ඣිමා ද්විසහස්සී ලෝක ධාතුව දක්වා ආලෝකය හා ශබ්දය නිකුත් කිරීමේ හැකියාව තිබේ.

බුදුරජාණන් වහන්සේ මවුකුස පිළිසිඳ ගැනීම, බිහිවන අවස්ථාව, අභිනිෂ්ක්‍රමණය, බුදුවීම, දම්සක් පැවතුම්, ආයු සංස්කාර අත්හැරීම, පිරිනිවන් පෑම ආදී අවස්ථාවලදී ද්වි සහස්සී මජ්ඣිමා ලෝක ධාතුව දක්වා කම්පනයක් ඇතිවේ. එය හඳුන්වන්නේ ‘ජාති ක්ෂේ්ත්‍රය’ ලෙස යි.

තිසහස්සි මහා සහස්සි ලෝක ධාතුව ලෙස හඳුන්වන්නේ, ද්වි සාස්සි මජ්ඣිමා ලෝක ධාතු දහසක්, එක්ව සෑදී ඇති ලෝක ධාතුවටයි. ඒ ලෝක ධාතුව තුළ බුදුවරයන් වහන්සේට ආනා ක්ෂේත්‍රය (කීර්තිය පැතිරවිය හැකි ප්‍රදේශය) ලෙස හඳුන්වනු ලබනවා.

අටානාටිය, ඉසිගිලි සූත්‍රය, ධජග්ග සූත්‍රය, ඛන්ධ සූත්‍රය, ;මීර හා මෙත්ත, රතන යන සූත්‍රවල බලය මේ ප්‍රදේශ දක්වා පැතිරෙයි. එය බුද්ධ ශාසනය පවතින තෙක් පවතියි. මින් පැහැදිලි වන්නේ එක් ඉරකින් හා හඳකින් ආලෝකය පැතිරෙන්නේ එක් මත්‍රාවයකට පමණක් බවයි.

එවැනි මාත්‍රාවාට දහසක් පවතියි. මත්‍රාවාට දස ලක්ෂයක්, ද්වි සහස්සි මජ්ඣිමා ලෝක ධාතුවකි. එවැනි ලෝක ධාතු දස ලක්ෂයක් පවතියි. සද්විසහස්සි මජ්ඣිමා ලෝක ධාතු දහසක් මාත්‍රාවට සියක් කෝටියකි. එවැනි කෝටි සියයක් සක්වල කෝටි සියයකි. මේ අනුව විශ්වයේ ඇති පුළුල්භාවය අවබෝධ කරගත හැකිය.

විද්‍යාවේ දී සහස්සී ලෝක ධාතුව හඳුන්වන්නේ ක්ෂීර පථය නමිනි. විශ්වය පිළිබඳ බුදුන් වහන්සේ සංඛාර උපත්ති සුත්‍රයේදී දේශනා කළ සේක.

බුදුරජාණන් වහන්සේගේ ස්වර විඤ්ඤාපනය කෙතෙක් වන්නේදැයි අනද හිමියෝ බුදුන්වහන්සේගෙන් විමසූහ. “ආනන්දය, සඳ, හිරු බබලමින් යම්තාක් තැන් ගමන් කෙරෙද්ද එය සහසී‍්‍ර ලෝක ධාතුවයි. එහි සඳ දහසක් ඇත. හිරු දහසක් ඇත. සුනෙරු පර්වතයෝ දහසක් ඇත. දඹදිව් දහසක් ඇත. මහා සමුද්‍රයෝ සාරදහසක් ඇත. මහා රාජ්‍යයෝ සාරදහසක් ඇත. චාතුර්මහාරාජික, තාවතිංස, යාම, තුසිත, නිර්මාණරතී, පරනිර්මිත වසවර්ති යන දිව්‍යලෝක දහස බැගින් ඇත. මෙම සහශ්‍රී ලෝක ධාතුව දහසින් ගුණ කළ කල්හි ද්වී සහසී‍්‍ර ලෝක ධාතුවයි. ද්වි සහසී‍්‍ර ලෝක ධාතුව දහසින් ගුණ කළ කල්හි ත්‍රීසහසී‍්‍ර ලෝකධාතුවයි. මෙසේ දස සහසී‍්‍ර ලෝකධාතුවටම පණිවිඩ ස්වරයෙන් විඤ්ඤාපනය කළ හැකියයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක .

මේ ලෝකය දැනගත්බව, අවබෝධ කරගත් බව යන්න ලෝක විදූ යන අර්ථයෙන් බුදුන් වහන්සේ හඳුන්වනු ලබනවා. එහිදී සත්ත්ව ලෝකය, සංඛාර ලෝකය, අවකාශ ලෝකය යන ඒවා අවබෝධ කරගත් සේක.

විශ්වයේ පැවැත්ම ගැන අග්ගඤ්ඤ සූත්‍රයේ විස්තර රැසක් සඳහන් වෙයි.

අටලොස් ධාතු නම් අටලොස්වැදෑරුම් ලෝකයද බුදුරජාණන්වහන්සේ මනාව අවබෝධ කළ හෙයින් ලෝක විදූ නම් වන සේක.

කුසලා කුසල විපාක අනුව සතර අපාය, මිනිස්ලොව, සදිව්ලොව, රූපිබඹතල සොලස, අරූපී බඹතල සතර, වශයෙන් සත්ත්වයන් වාසය කරන්නා වූ එක්තිස්තලයක් එක් ලෝකධාතුවක ඇති බව මනාව ප්‍රත්‍යක්‍ෂ කළ බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක. මෙසේ බුදුරජාණන් වහන්සේ ජීවිතය නමැති ලෝකයත් විශ්වය නමැති බාහිර ලෝකයත්, එමෙන්ම ප්‍රඥාලෝකයෙන් නිරය, ප්‍රේත ලෝකය, මිනිස් ලොව, තිරිසන් ලොව, සදෙව් ලොව, රූපී, අරූපී බඹලෝ විස්ස ආදී සත්ත්වයන් වාසය කරන ලෝක ධාතු තිස් එකක් අවබෝධ කර ඒ සියලු ලෝක ධාතුවලින් නිදහස් වී වදාළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝක විදූ නම් වන සේක. ඒ ලෝකවිදූ නම් බුදුගුණයට නමස්කාර වේවා!

ඔබ සැමට තෙරුවන් සරණයි.

_________*********__________

ලෝකවිදූ බුදු ගුණයෙන් යුතු බුදුරජාණන්වහන්සේ වන්දනා කිරීම

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස……….

ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ලෝක විදූ නම් වන සේක.

1. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

2. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ රූපස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

3. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වේදනාස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

4. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංඥාස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

5. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංස්කාරස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

6. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විඤ්ඤාණස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

7. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ලෝක ස්වභාවය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

8. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ලෝක සමුදය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

9. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ලෝක නිරෝධය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

10. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ලෝක නිරෝධ උපාය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

11. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සත්වලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

12. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සියලු සත්වයෝ ආහාරය පිහිට කොට ඇත්තේයැයි එක් වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

13. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නාම රූප නම් වූ දෙවැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

14. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ත්‍රිවිධ වේදනා (සුඛ, දුක්ඛ, උපේක්‍ෂා) නම් වූ තෙවැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

15. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සතර ආහාර නම් වූ සතර වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක. (කබලිංකාර ආහාර, ඵස්ස ආහාර, මනෝ සංචේතනා ආහාර, විඤ්ඤාණ ආහාර)

16. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පංච උපාදානස්කන්ධ නම් වූ පස්වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

17. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අධ්‍යාත්මික ආයතන සය නම් වූ (චක්ඛු, සෝත, ඝාණ, ජීව්හා, කාය, මන) සය වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

18. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සත්ත විඤ්ඤාණට්ඨිති නම් වූ සත් වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

19. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අෂ්ටලෝක ධර්මය නම් වූ අෂ්ට වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

20. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ සත්තාවාස නම් වූ නව වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

21. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දස ආයතන නම් වූ දස වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

22. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දොළොස් ආයතන නම් වූ දොළොස් වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

23. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අටලොස් ධාතු නම් දහ අට වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

24. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංස්කාර ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

25. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සත්ව ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

26. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ කාම ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

27. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සතර අපාය (නරක, තිරිසන්, අසුර, ප්‍රේත) අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

28. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මනුලොව, සදෙව්ලොව අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

29. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ රූපලෝකය (බඹලොව 16) අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

30. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අරූප ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

31. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සඤ්ඤා ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

32. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අසඤ්ඤා ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

33. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ නෙව සඤ්ඤා නාසඤ්ඤා ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

34. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකවෙකාර ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

35. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතු වෝකාර ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

36. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පංචවෝකාර ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

37. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අවකාශ ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

38. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මේ ලෝක ධාතුව අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

39. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දස දහසක් ලෝක ධාතුව අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

40. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ කෝටි ලක්‍ෂයක් ලෝක ධාතුව අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

41. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අනන්ත ලෝක ධාතුව අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.

මාගේ බුදුරජාණන් වහන්සේ ලෝක විදූ නම් වන සේක!

මාගේ බුදුරජාණන් වහන්සේ ලෝක විදූ නම් වන සේක!

මාගේ බුදුරජාණන් වහන්සේ ලෝක විදූ නම් වන සේක!

සාධු…..! සාධු…..! සාධු……!