Monthly Archives: October 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2OXslJQ
==උප්පලවණ්ණා තෙරණිය==

තුන්වැන්නෙහි උප්පලවණ්නා යනු නිලුපුල් ගැබකට සමානවූ වර්‍ණයෙන් යුක්තවූ බැවින් එසේ ලබනලද නම්ඇති තෙරණියයි. ඕ වනාහි පියුමුතුරා, බුදුන් කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳගෙන පසුකලෙක මහජනයා සමඟ බුදුන් සමීපයට ගොස් දහම් අසන්නී එක් භික්‍ෂුණියක සෘද්ධිමත් භික්‍ෂුණීන් අතුරෙන් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක සත්දිනක් බුදුපාමොක් මහසඟනට මහදන්දී එම තනතුර පැතුවාය. ඕතොමෝ දිවි ඇතිතෙක් කුසල්කොට දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරන්නී කාශ්‍යප බුදුන්කල බරණැස් නුවර කිකී නම් කාශි රජුගේ ගෙහි පිළිසිඳ ගෙන සොහොයුරියන් සත් දෙනාට ඇතුළත්ව විසිදහසක් අවුරුදු බඹසර වැස බික්සඟනට පිරිවෙණක් කරවා දෙව්ලොව උපන්නී එයින් සැව නැවත මිනිස්ලොවට එමින් එක්ගමක සියතින් වැඩකොට දිවිගෙවන තැනක උපන්නීය. ඕ තොමෝ එක්දිනක් කුඹුරෙහි කිළියට (පැලට) යන්නී අතරමඟ එක්විලක උදයෙන්ම පිපුණු නෙළුම්මලක් දැක ඒ විලට බැස ඒ මලද විලඳ බැද පන්සියයක් විලඳ ගණන් කළාය. එකෙණෙහි ගන්‍ධමාදන පව්වෙහි නිරෝධ සමාපත්තියෙන් නැඟීසිටි එක් පසේබුදුකෙනෙක් අවුත් ඇයට නුදුරු තන්හි වැඩසිටියහ. ඕතොමෝ පසේබුදුන්වහන්සේ දැක විලඳ සමඟ නෙළුම්මල ගෙන කුටියෙන් බැස විලඳ පසේබුදුන්වහන්සේගේ පාත්‍රයෙහි බහා නෙළුම්මලින් පාත්‍රය වසා දුන්නීය. ඉක්බිති ඇයට පසේබුදුන්වහන්සේ මඳදුරක් වැඩිකල්හි, ‘පැවිද්දෝ නම් මලින් වැඩක් නැත්තාහුය. මම මල ගෙන පළඳින්නෙමැයි සිතුවාය. ගොස් පසේබුදුන්ගේ අතින් මල ගෙන, ඉදින් ආර්‍ය්‍යයන්වහන්සේ මලින් වැඩක් ‍නැත්තෙක් වන්නාහු නම් පාත්‍රය මත්තෙහි තැබීමට නොදෙන්නහුය. ඒකාන්තයෙන්ම උන්වහන්සේට වැඩක් ඇත්තේයයි සිතුවාය. (එසේ සිතා) යළිගොස් පාත්‍රය මත්තෙහි තබා පසේබුදුන් ක්‍ෂමා කරවාගෙන ස්වාමීනි, මට මේ විලඳ (දීමේ) පිනෙන් විලඳ ගණනට පුත්තු වෙත්වා! නෙළුම්මල දීමේ පිනෙන් උපනුපන් තැන පියවරින් පියවරට නෙළුම්මල් නැ‍ඟේවායි පැතුමක් කළාය. පසේබුදුන්වහන්සේ ඇය බලා සිටියදීම අහසින් ගන්‍ධමාදනයට ගොස් ඒ නෙළුම්මල නන්‍දමූලක ප්‍රාග්භාරයෙහි පසේබුදුන්වහන්සේලා පයතබන හිණ සමීපයෙහි පාපිස්නක් කොට තැබූසේක. ඕ තොමෝද ඒ පින්කමෙහි විපාකයෙන් දෙව්ලොව පිළිසිඳ ගත්තාය. උපන්කල පටන් ඇයගේ පියවරින් පියවරට නෙළුම්මල් නැඟුනේය. ඕතොමෝ එයින් සැව පර්‍වතපාදයක එක් මහ නෙළුම් විලක පියුම් ගැබක උපන්නීය. ඒ විල ඇසුරුකොට එක් තවුසෙක් වසයි. හෙතෙම උදයෙන්ම මුවදෙවුනා පිණිස විලට ගොස් ඒ මල දැක සිතුවේය: මේ මල අනෙක් ඒවාට වඩා ලොකුය. අනෙක් මල් පිපී ඇත. මෙය හැකිළී ඇත. මෙහි කිසියම් කරුණක් ඇත.’ (මෙසේ සිතා) දියට බැස ඒ මල ගත්තේය. එය ඔහු විසින් ගත් කෙණෙහිම පිපුණි. තවුසා පියුම් ගැබ ඇතළත හොත් දැරිය දුටුවේය. දුටුකල්හි පටන් දුහිතෘස්නෙහය ලැබ පියුම සමඟම පන්සලට ගෙනවුත් ඇ‍ඳෙහි වැදහෙව්වේය. ඉක්බිති ඔහුට ඇයගේ පින්බෙලෙන් මහපට ඇඟිල්ලෙහි කිරි නිපැදිණ. හෙතෙම ඒ මල මැලවුණු කල්හි වෙනත් අලුත් මලක් ගෙනවුත් ඇය වැදහෙව්වේය. ඉක්බිති ඇයට දුවපැන ඇවිදිමින් සෙල්ලම් කිරීමට හැකි කාලයෙහි පටන් පියවරින් පියවරට නෙළුම්මල් මතුව එයි. ඇයගේ සිරුරුපැහැය කොකුම් රැසක මෙන් වෙයි. ඕ දේවවර්‍ණයට නොපැමිණියා මුනෂ්‍යවර්‍ණය ඉක්මවූවාය. ඕතොමෝ පියා පලවැල සඳහා ගියකල්හි එක් වනචාරියෙක් ඇය දැක ‘මිනිසුන්ට නම් මෙබඳු රූපයක් නැත. මෙය විමසන්නෙමැයි තවුසාගේ පැමිණීම බලාපොරොත්තු වෙමින් හුන්නේය. ඕ පියා එනකල්හි ඉදිරිමාර්‍ගයට ගොස් ඔහුගේ අතින් කදමල්ල ගත්තාය. අවුත් හුන්නහුට තමන්විසින් කරනවත් දැක්වූවාය. එකල්හි ඒ වනචාරී පුද්ගලයා මිනිස්බව දැන තවුසාට වැඳ හුන්නේය. තවුසා ඒ වනචාරියාටවනමුල් පලවැලින්ද පියයුතු දියෙන්ද නිමන්ත්‍රණය කොට, පින්වත් පුරුෂය, මෙතැන්හිම වන්නෙහිද නැතහොත් යන්නෙහිදැයි විමසීය. ස්වාමීනි, යන්නෙමි. මෙහි කුමක් කරන්නෙම්දැයි (හෙතෙම කීය.) ඔබ විසින් දුටු මේ කාරණය මෙයින් ගොස් නොකියා සිටීමට හැක්කෙහිදැයි තවුසා ඇසීය. ඉදින් ආර්‍ය්‍යයන්වහන්සේ නොකැමැති වෙත්නම් කුමක් නිසා කියන්නෙමිදැයි තවුසා වැඳ යළි එන කල්හි මඟ දැන ගැනීම සඳහා අතු නිමිත්තද ගස් නිමිත්තද කරමින් ගියේය. හෙතෙමේත් බරණැසට ගොස් රජු බැහැ දුටුවේය. රජතෙමේ කුමක් නිසා පැමිණියෙහිදැයි ඇසුවේය. ‘දේවයන් වහන්ස, මම නුඹවහන්සේගේ වනචාරියෙක්මි. පර්‍වතපාදයක ආශ්චර්‍ය්‍යමත් ස්ත්‍රීරත්නයක් දැක පැමිණියෙමි’යි සියලු පුවත් පැවසීය. හෙතෙම (රජතෙමේ) ඔහුගේ වචනය අසා ඉක්මණින් පර්‍වතපාදයට ගොස් නුදුරු තන්හි කඳවුරක් තනවා වනචාරියාද සුළුපිරිසක්ද සමඟින් තවුසා බත් කිස කොට හුන් වේලෙහි එහි ගොස් වැඳ පිළිසඳර කොට එකත්පසෙක හුන්නේය. රජතෙමේ තවුසාගේ පැවිදි පිරිකරබඩු පාමුල තබා ස්වාමීනි, මෙතැන කුමක් කරමුද? යම්හයි කීවේය. ‘යන්න මහරජැ’යි තවුසා පැවසීය. ‘යමි ස්වාමීනි, ආර්‍ය්‍යයන්වහන්සේ සමීපයෙහි අසමාන (විරුද්ධලිංගික) පිරිසක් ඇත්දැයි (රජතෙමේ විමසීය.) ‘ඇත්තෝ වෙමු.’ ‘එය පැවිද්දන්ට ප්‍රමාදයට හේතුවකි. මා සමඟ යේවා ස්වාමීනි’යි රජතුසා කීවේය. ‘මිනිසුන්ගේ සිත් නම් සතුටුකරවීම දුෂ්කරය. කෙසේ නම් බොහෝදෙනා මැද වසන්නේද?’ ‘මට කැමති කාලයෙහි සිට සෙස්සන්ට දෙටු තැනෙහි තබා පිළිදැඟුම් කිරීමට හැකිවන්නෙමි, ස්වාමීනි’යි රජතෙමේ පැවසීය. හෙතෙම රජුගේ කථාව අසා කුඩාකල ගත් නම වශයෙන්ම ‘දුව, පදුමවතී’යි දියණිය කැඳවීය. ඕ එක්වදනින්ම පන්සලෙන් නික්ම පියා වැඳ සිටියාය. ඉක්බිති ඇයට පියා (මෙසේ) කීවේය. දරුව නුඹ වියපත් වූවාය. මෙතැන්හිද රජුවිසින් දුටු කාලයෙහි පටන් විසීමට අපහසුය. දරුව රජු ‍සමඟම යව’ ඕ මැනවැයි පියවදන පිළිගෙන වැඳ අඬමින් සිටියාය. රජතෙමේ මැයගේ පියාගේ සිත ගනිමියි එතැන්හිම කහවණුගොඩක තබා අභිෂේක කළේය. ඉක්බිති ඇය රැගෙන තම නුවරට ගෙනවුත් ආකල පටන් සෙසු ස්ත්‍රීන්දෙස නොබලා ඇය සමඟම රමනය කරයි. ඊර්‍ෂ්‍යාව ස්වභාවය කොට ඇති ඒ ස්ත්‍රීහු ඇය රජු කෙරෙන් බිඳිනු කැමැත්තාහු, මෙසේ කීවාහුය. ‘මහරජ, මෝ මනුෂ්‍ය ජාතිකවුවක් නොවේ. නුඹවහන්සේවිසින් කොහිදී නම් මිනිසුන් හැසිරෙන කල්හි පියුම් නැ‍ඟෙනු දු‍ටුවිරූද? ඒකාන්තයෙන්ම මෝ යකින්නකි. මහරජතුමනි, මැය පිටමං කරලනු මැනව.’ රජතෙමේ ඔවුන්ගේ කථාව අසා නිහඬ වූයේය. ඉක්බිති අන්කලෙක මේ රජුගේ ප්‍රත්‍යන්තය කිපියේය. හෙතෙම පදුමාවතී ගැබ්බර ඇත්තීයයි ඇය නුවරෙහි තබා ප්‍රත්‍යන්තයට ගියේය. ඉක්බිති ඒ ස්ත්‍රීහු ඇයගේ උපස්ථායිකාවට අත්ලස්දී මැයට දරුවකු උපන් කෙණෙහිම බැහැර කොට එක් දැව ගැටයක් ලෙයින් මුසු කොට ලඟ තබවයි කීවාහුය. පදුමවතියටද නොබෝ කලකින්ම දරුප්‍රසූතිය විය. මහාපදුමකුමාරතෙමේ තනිවම කුසෙහි විසීය. සෙසු එකුන්පන්සියයක් දරුවෝ මහාපදුම කුමරු මව් කුසින් නික්ම උපන් කල්හි සංසෙදජවී උපන්නාහුය. ඉක්බිති ‘මෝතොමෝ තවමත් සිහි නොලබන්නීය’යි දැන ඒ උපස්ථායිකාව එක් දැව ගැටයක් ලෙයින් මුසුකොට ඇයගේ සමීපයෙහි තබා ඒ ස්ත්‍රීන්ට සංඥාවක් දුන්නාය. ඒ පන්සියයක් ස්ත්‍රීහු එකිවෙකා එකිනෙක් දරුවා රැගෙන ලියවන වඩුවන් වෙත යවා කරඬුව බැගින් ගෙන්වා තම තමන් විසින් ගන්නාලද දරුවන් එහි හොවා පිටත සලකුණක් කොට තැබුවාහුය. පදුමවතීද සිහි ලැබ ඒ උපස්ථායිකාවගෙන් ‘මෑණියනි, කුමක් වැදුවෙමිදැයි ඇසුවාය. ඕතොමෝ ඇය බියපත් කොට නුඹ කොයින් දරුවකු ලබන්නේහිදැයි කියා මේ නුඹේ කුසින් නික්මුණු දරුවායයි ලෙහෙවැකුණු දැව ගැටය ඉදිරියෙන් තැබුවාය. ඕතොමෝ එය දැක දොම්නසට පත්වූවා ‘ඉක්මණින් එය පළා ඉවත්කරව. ඉදින් කිසිවෙක් දකින්නේද ලැජ්ජාවියයුතු වන්නේය’යි කීවාය. ඕ ඇයගේ කථාව අසා වැඩකැමැත්තියක මෙන් දැවගැටය පළා උදුනෙහි දැමුවාය. රජතෙමේද ප්‍රත්‍යන්තයෙන් පැමිණි නැකත්මොහොතක් බලාපොරොත්තු වෙමින් නගරයෙන් පිටත කඳවුර තනා හුන්නේය. ඉක්බිති ඒ පන්සියයක් ස්ත්‍රීහු රජුට පෙරගමන් අවුත්, මහරජතුමනි, නුඹවහන්සේ අප නොහදහන්නහුය. අප කීදෙය කරුණු නැත්තක් මෙන්විය. නුඹවහන්සේ මෙහෙසියගේ අප කීදෙය කරුණු නැත්තක් මෙන්විය. නුඹවහන්සේ මෙහෙසියගේ උපස්ථායිකාව කැඳවා, විමසනු මැනව. නුඹවහන්සේගේ දේවිය දැවගැටයක් වැදුවායයි කීවාහුය. රජතෙමේ එම කරුණු නොවිසාම නොමිනිස්ජාති ඇත්තියක් වන්නේයයි ඇය ගෙයින් ඇද දැමුවේය. ඇය රජගෙයින් නික්මීමත් සමඟ නෙළුම්මල් අතුරුදහන් විය. සිරුරුසිවියද දුර්වර්ණ විය. ඕ හුදෙකළාව අතුරු වීථියෙහි ගමන් කළාය. ඉක්බිති එක් වියපත් මහළු ස්ත්‍රියක් ඇය දැක දුහිතෘ ස්නේහය උපදවා ‘දරුව කොහි යන්නෙහිදැයි ඇසුවාය. ‘ආගන්තුක ස්ති්‍රයක් වෙමි. විසීමට තැනක් සොයමින් හැසිරෙමි’යි කීවාය. ‘දරුව මෙහි එව’යි විසීමට තැනක් දී බොජුන් පිළියෙළ කොට දුන්නාය. ඇය මේ අයුරින් එහි වසනකල්හි ඒ පන්සියයක් ස්ත්‍රීහු එක්සිත්ව රජුව ‘මහරජතුමනි, නුඹවහන්සේ කඳවුරට ගිය කල්හි අපගේ දේවයන් වහන්සේ දිනුසටන් ඇතිව පැමිණිකල්හි බලිකර්‍මයක් කොට ජලක්‍රීඩා කරන්නෙමුයයි අප විසින් ගංගා දේවතාවට කරනලද පැතුමක් ඇත. දේවයන්වහන්ස, මෙකරුණ දන්වන්නෙමුයි කීවාහුය. රජතෙමේ ඔවුන්ගේ වචනයෙන්, සතුටු වූයේ ග‍ඟෙහි ජලක්‍රීඩා කිරීමට ගියේය. ඔවුහුද තමතමන් ගත් කරඬුව සඟවා රැගෙන නදියට ගොස් ඒ කරඬු සඟවාලනු සඳහා (රෙදිකඩ) පොරව පොරවා දියට වැටී කරඬු පා කොට හැරියාහුය. ඒ කරඬු සියල්ලම ගොස් ගඟ පහළ හෙළුෑ. දැලෙහි ලැගුණේය. ඉක්බිති දිය කෙළි කොට රජු ගොඩට ආකල්හි දැල ඔසවන්නාහු ඒ කරඬු දැක රජු වෙතට යැවූහ. රජතෙමේ කරඬු බලා ‘දරුවනි, කරඬුවල කුමක්දැයි ඇසුවේය. දේවයන්වහන්ස, නොදනිමු’යි කීහ. හෙතෙම ඒ කරඬු අරවා බලන්නේ පළමුව මහා පදුම කුමරාගේ කරඬුව විවරකරවූයේය. ඒ සියල්ලන්ටම කරඬුවල වැදහෙවූ දිනයෙහිම පුණ්‍ය සෘද්ධියෙන් මහපොට ඇඟිල්ලෙහි කිරි නිපන්නේය. සක්දෙව් රජ තෙමේ ඒ රජුගේ නිසැක බවට කරඬුව ඇතුළෙහි ‘මේ කුමරවරු පදුමවතියගේ කුසෙහි උපන්නාවූ බරණැස්රජුගේ පුත්‍රයෝයි. පදුමවතියට සතුරුවූ පන්සියයක් ස්ත්‍රීහු ඔවුන් කරඬුවල බහා දියෙහි දැමූහ. රජතෙමේ මෙකරුණ දනීවා’යි අකුරු ලියවූයේය. කරඬුව විවරකළ කෙණෙහි රජතෙමේ අකුරු කියවා දරුවන් දැක මහා පදුම කුමරුවන් ඔසවාගෙන ‘ඉක්මණින් රිය යොදවූ. අසුන් සරසවු. මම අද ඇතුළුනුවරට පිවිස ඇතැම් මාගමුන්ට ප්‍රිය දෙයක් කරන්නෙමැ’යි පහයට නැඟ ඇතෙකුගේ ගෙලක දහසින් බැඳි පියල්ලක් තබා, යමෙක් පදුමවතිය දකියිද මේ දහස ගනීවායි නුවර බෙර හැසිරවීය. ඒ කථාව අසා පදුමවතී මවට ‘මෑණියනි, ඇත්ගෙලෙන් දහස ගන්නැයි’ සංඥාවක් කළාය. ‘මම මෙබන්දක් ගැනීමට අපොහොසත් වෙමි’යි ඇය කීවාය. ඒ දෙවනු තෙවනුවත් කී කල්හි ‘දරුව කුමක් නිසා ගනිම්දැ’යි ඇසුවාය. ‘මගේ දියණිය පදුමවතී දේවය නමැයි කියා ගනුව’යි පදුමවතී කීවාය. ඕ කුමනදෙයක් හෝ වේවායි ගොස් දහසින් යුත් පෙට්ටිය ගත්තාය. ඉක්බිති මිනිස්සු ඇයගෙන් ‘මෑණියනි, පදුමවතී දේවිය දුටුවෙහිදැයි ඇසූහ. ‘මම නොදකිමි. මගේ දුව දකියි කීවාය. ඔවුහු මෑණියනි, ඇය කොහිදැයි අසා ඇය සමඟ ගොස් පදුමවතිය හැඳින පාමුල හොත්තාහ. එකල්හි ඒතොමෝ මේ පදුමවතී දේවියයි දැන ‘යම් තැනැත්තියක් මෙබඳුවූ රජකුගේ මෙහෙසිය වූවා මෙබඳු තැනක ආරක්‍ෂා රහිතව විසුවාද ඒ ස්ත්‍රිය විසින් බැරෑරුම් වැඩක් කරන ලදැ’යි කීවාය. ඒ රාජ පුරුෂයෝත් පදුමවතියගේ නිවෙස්න සුදු තිරවලින් වටකොට දොරටුවෙහි රැකවල් තබා ගොස් රජුට සැළකළාහුය. රජතෙමේ රන්සිවිගෙයක් යැව්වේය. ඕ තොමෝ ‘මම මෙසේ නොයමි. මා වසන තැන සිට රජගෙය දක්වා මෙදැතුරෙහි උතුම් නියඳින් තැනූ විසිතුරු අතුරුණු අතුරුවා මත්තෙහි රන්වන් තරුවලින් විසිතුරු රෙදි වියන් බන්දවා පළඳනාවන් සඳහා සියලු අලංකාරයන් එවූ කල්හි පයින්ම යන්නෙමි. මෙසේ නුවරවැස්සෝ මගේ සැපත් බලන්නහුය’යි කීවාය. රජතෙමේ ‘පදුමවතියට කැමති දෙයක් කරවුය’යි කීහ. ඉකිබිති පදුමවතී සියලු පළඳනාවන් පැළඳ රජගෙයට යන්නෙමැයි මඟට පිළිපන්නාය. ඉක්බිති ඇයගේ පියතැබූ පියතැබූ තැන උතුම් නියඳින් තැනූ විසිතුරු අතුරුණු බිඳී නෙළුම්මල් පැන නැංගේය. ඕතොමෝ මහජනයාට තමාගේ සැපත් දක්වා රජනාවෙස්නට නැඟ සියලුම ඒ අතුරුණු ඒ මහළු ස්ත්‍රියට පෝෂණය වෙනුවෙන් ගෙවියයුතු මුදල් කොට දෙවෙව්වාය. රජතෙමේද ඒ පන්සියයක් ස්ත්‍රීන් කැඳවා ඔවුන් ඒ දේවියගේ දැස්සන් කොට දෙමියි කීවේය. ‘මැනවි මහරජ, මොවුන් (දැස්සන් කොට) දුනබව සියලු නගරයෙහි දන්වාලුව මැනවැ’යි කීවාය. රජතෙමේ පදුමවතියගේ සතුරුවූ පන්සියයක් ස්ත්‍රිහ් ඇයටම දැස්සන් කොට දෙන ලද්දාහුයයි නුවර බෙර හසුරුවාලීය. ඕතොමෝ සියලු නුවරුන් විසින් ඒ ස්ත්‍රීන්ගේ දැසි බව සලකන ලද්දෙයයි දැන, ‘මම මගේ දැස්සන් දැසි බවින් නිදහසවූවන් කිරීමට ලබමි දෙවයිනි’යි රජුගෙන් විමසුවාය. ‘දේවිය, ඔබගේ කැමැත්තක් යයි රජතෙමේ කීවේය. ‘එසේ ඇති කල්හි එම බෙරවයන්න්ම කැඳවා පදුමවතී දේවිය විසින් තමන්ට දැස්සන් කොට දෙනලද පන්සියයක් ස්ත්‍රීහු සියල්ලෝම දැසි බවෙන් නිදහස් කරන ලදහයි යළි බෙර හසුරුලුව මැනවැයි කීවාය. ඕතොමෝ ඔවුන් දැසි බවිනි් නිදහස්කළ කල්හි එකුන් පන්සියයක් පුතුන් ඔවුන්ගේම අතෙහි වැඩීම සඳහාදී තොමෝ මහාපදුම කුමරුව ගත්තාය. ඉක්බිති මෑතකාලයෙහි ඒ කුමරු‍න්ගේ කෙළිවයස පැමිණි කල්හි රජතෙමේ උයනෙහි නොයෙක් කෙළින තැන් කරවීය. ඔවුහු තමන්ගේ සොළොස්වියැති කාලයෙහි සියල්ලෝම එක්වී පියුමින් ගැවසුණු මඟුල් පොකුණෙහි කෙ‍ළින්නාහු පිපෙන අලුත් පියුම්ද නටුවෙන (ගලැවී) වැටෙන පරණ පියුම්ද දැක කෙලෙස් නැති මේ දෙයටද මෙබඳුවූ ‘ජරාව පැමිණෙයි. අපගේ ශරීරයට වනාහි කියනුම කිම? මෙයද මේ ස්වභාවය ඇත්තේ වන්නේමයයි අරමුණු ගෙන සියල්ලෝම පච්චේක බුද්ධඤාණය උපදවා නැඟිට නැඟිට පියුම් කෙණිවල පළඟින් හුන්නාහුය. ඉක්බිති ඔවුන් සමඟ පුරුෂයෝ දිනය බොහෝ ගෙවීගිය බව දැන ආර්‍ය්‍යපුත්‍රවරුනි, නුඹවහන්සේලාගේ කාලය දනුමැනවැයි කීවාහුය. ඔවුහු නිශ්ශබ්දවූහ. පුරුෂයෝ ගොස් රජුට දේවයිනි, කුමරුවෝ පියුම් කෙණිවල හුන්නාහු අප කථා කරනවිට කථා නොකරතියි සැළ කළාහුය. කැමැති පරිද්දෙන් ඔවුන්ට හිඳීමට දෙවුයයි රජතෙමේ පැවසීය. ඔවුහු සියලු රැයෙහි ගන්නාලද රැකවල් ඇත්තාහු පියුම්කෙණිවල හුන් අයුරින්ම අරුණ නංවාලූහ. පුරුෂයෝ දෙවන දිනයෙහි එළඹ, දේවයිනි, කාලය දනු මැනවැයි කීවාහුය. ‘අපි දේවයෝ නොවෙමු. අපි පසේබුදුවරු වෙමු’යි ඔවුහු කීහ. ආර්‍ය්‍යවරුනි, නුඹවහන්සේලා බැරෑරුම් කථාවක් කියන්නාහුය. පසේබුදුවරුනම් නුඹවහන්සේලා වැන්නාහු නොවෙත්. දැඟුල් කෙස් රැවුල් ඇති සිරුරෙහි පැළඳගත් අටපිරිකර ඇති වෙයි’යි කීහ. ඔවුහු ‘නුඹලා බැරෑරුම් දෙයක් නොකියහු’යි දකුණු අතින් හිස පිරිමැද්දාහුය. එකෙණෙහිම ගිහිලක්‍ෂණය අතුරුදහන් වූයේය. සිරුරෙහි අටපිරිකර පැළඳුනේ විය. ඉක්බිති මහජනයා බලාසිටියදීම අහසින් නන්‍දමූලක ප්‍රාග්භාරයට වැඩියහ. ඒ පදුමාවතී දේවියද මම බොහෝ පුතුන් ඇත්තී වී පුතුන් නැත්තී වූවායයි හදවත වියලීමට පත්ව ඒ රෝගයෙන්ම කළුරිය කොට රජගහනුවර දෙරටු ගමක සියතින් වැඩ කොට ජීවත්වන තැනක උපන්නේය.

ඉක්බිති මෑතකාලයෙහි පතිකුලයට ගියා එක්දිනක් සැමියාගේ කෙතට කැඳ ගෙනයන්නී ඒ තමන්ගේ පුතුන් අතුරෙන් පසේබුදුවරුන් අට නමක් පිඬු හැසිරෙන කාලයෙහි අහසින් එනු දැක වහවහා ගොස් සැමියාට, ‘ස්වාමීනි, පසේබුදුවරුන් බලන්න. උන්වහනස්ලේලාට නිමන්ත්‍රණය කොට වළඳවන්නෙමු’යි සැළ කළාය. ‘මොවුහු මහණ ලිහිණිනම් වෙත්. අන් දිනවලත් මෙසේ හැසිරෙත්. මේ පසේබුදුවරු නොවෙති’යි හෙතෙම කීවේය. ඒ පසේබුදුන්වහන්සේලා ඔවුන් කථාකරමින් සිටියදීම නුදුරු තන්හි බිමට බට සේක. ඒ ස්ත්‍රිය එදින තමන් ලබන කෑයුතු බිදියයුතුද උන්වහන්සේලාටදී හෙට අටදෙනාවහන්සේම මගේ භික්‍ෂාව ගනු මැනවැයි කීවාය. ‘මැනවි, උවැසිය, ඔබේ සත්කාරය මෙපමණක්ම වේවා! ආසනද අටක්ම වේවා! අනෙක් බොහෝ පසේබුදුවරුන් දැක ඔබේ සිත දරන්නේය (සැනසෙන්නේය)යි පැවසූසේක. ඕතොමෝ දෙවෙනි දිනයෙහි අසුන් අටක් පනවා අට‍නමකට සත්කාරසම්මාන පිළියෙළ කොට හුන්නාය. නිමන්ත්‍රණය කරනලද පසේබුදුවරු සෙසු පසේ බුදුන්වහන්සේලාට ‘නිදුකාණෙනි, අද අන් තැනක නොගොස් සියල්ලෝම නුඹවහන්සේලාගේ මවට සංග්‍රහකරනු මැනව’යි සංඥාවක් දුන්නාහුය. ඒ පසේබුදුවරු උන්වහන්සේලොගේ වචනය අසා සියල්ලෝම එක්ව අහසින් අවුත් මවගේ ගේදොරකඩ පහළවූවාහුය. ඕතොමෝත් පළමුව ලැබූ සංඥාව නිසා බොහෝ දෙනෙකු දැකද නොසැළුනාය. සියල්ලන්ම ඒ ගෙන පිවිසුවා අසුන්හි වැඩ හින්දෙව්වාය. උන්වහන්සේලාද පිළිවෙළින් වැඩහිදිනාකල්හි නවවෙනි පසේබුදුන්වහන්සේ අන් අසුන් අටක් මවා තමන්වහන්සේ සමීප අසුනෙහි වැඩහිඳිති. යම්තාක් අසුන් වැඩේද ඒතාක් ගෙයද ‍වැඩෙයයි. මෙසේ උන්වහන්සේලා සියලුදෙනා වැඩහුන් කල්හි ඒ ස්ත්‍රිය අටදෙනාවහන්සේට පිළියෙළ කළ සත්කාරය පන්සියයක් දෙනාවහන්සේටද ඇති තෙක්දී නිලුපුල් අටමිටක් ගෙනවුත් නිමන්ත්‍රණය කරනලද පසේබුදුන්වහන්සේලාගේම පාමුල තබා ‘ස්වාමීනි, උපනුපන් තැන මගේ ශරීරවර්‍ණය මේ නිලුපුල්වල ඇතුල් ගැබේ පැහැය වේවා’යි පැවසුවාය. පසේබුදුවරු මවට අනුමෙවෙනිකොට ගන්‍ධමාදනයටම වැඩියහ. ඕතොමෝත් දිවිඇතිතෙක් කුසල්කොට එයින් සැවවූවා දෙව්ලොව ඉපිද මේ බුද්ධෝත්පාදයෙහි සැවතෙහි සිටු කුලයක පිළිසඳ ගත්තාය. නිලුපුල් ගැබකට සමාන පැහැය ඇතිබිවින් ඇය උප්පලවණ්ණායි නම් කළාහුය. ඉක්බිති ඇය වියපත් කල්හි සියලු දඹදිව රජවරුද සිටුවරුද ‘අපට දුව දෙන්නැ’යි සිටාණන් වෙතට පණිවිඩ යැව්වාවහුය. පණිවිඩ නොයැව්වෙක් නම් නොවීය. ඉක්බිති සිටුතෙමේ ‘මම සියල්ලන්ගේ සිත් ගැනීමට නොහැක්කෙමි. එක් උපායක් කරන්නෙමියි සිතුවේය. එසේ සිතා, දුවණිය කැඳවා ‘දියණිය, පැවිදිවීමට හැක්කහිදැ’යි ඇසුවේය. ඇයගේ පශ්චිමභවිකත්වය නිසා ඒ වචනය හිසේ වත්කළ සියවරක් පැසවූ තෙලක් මෙන්විය. එබැවින් ‘පියාණෙනි, පැවිදිවන්නෙමි’යි පියාට කීවාය. හෙතෙම ඇයට සත්කාර කොට භික ෂුණී ආශ්‍රමයකට පමුනුවා පැවිදි කරවූයේය. ඇය පැවිදිවූ නොබෝ දිනකින්ම පොහොය ගෙහි සේවාමුරය පැමිණියේය. ඕතොමෝ පහන දල්වා පොහොයගෙය හැමඳ පහන්සිළුවෙහි නිමිති ගෙන සිටියාම යළියළිත් බලන්නී තෙජෝකසිණය අරමුණුකොට ධ්‍යානය උපදවා එයම පාදකකොට රහත් බවට පැමිණි‍යාය. රහත්පලය සමඟම සෘද්ධිපෑමෙහි පුරුදුකරනලද වසඟබව ඇත්තීවූවාය. ඕතොමෝ පසු කලෙක ශාස්තාන්වහන්සේ යමක ප්‍රාතිහාර්‍ය්‍යය කරන දිනයෙහි ‘මම ස්වාමීනි, ප්‍රාතිහාර්‍ය්‍යය. කරන්නෙමැ’යි සිංහහඬ නැඟුවාය. ශාස්තෘන්වහන්සේ මෙකරුණ අ‍ෙත්‍ථ‍ර්‍‍ත්පත්ති කොට ජේතවන විහාරයෙහි වැඩහුන්සේක් පිළිවෙළින් භික්‍ෂුණීන් තනතුරුවල තබමින් මේ තෙරණිය සෘද්ධිමත් භික්‍ෂුණීන් අතුරෙන් අගතැන්හි තැබුසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2CKk0Sa
==ඛෙමා තෙරණිය==

‍දෙවැන්නෙහි ඛෙමා යනු මෙබදු නම් ඇති භික්‍ෂුණියයි. මෙතැන් පටන් ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයයි නොකියා සියලු තන්හි පුණ්‍යකර්‍මය (පැතුම) ආදි කොට ඇති කියයුත්තම කියමු.

අතීතයෙහි වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතී නුවරෙහි මෝතොමෝ අනුන් අයත් දැස්සකවී උපන්නාය. ඉක්බිති එක්දිනක් ඒ භාග්‍යවතුන්වහන්සේගේ අගසව්වූ සුජාත තෙරුන් පිඬු හැසිරනු දැක රසකැවිලි තුනක්දී එදිනම තම කෙස් වැටිය විකුණා ගෙන තෙරුන්ට දන්දී අනාගතයෙහි බුද්ධොත්මපාදයක නුඹවහන්සේ මෙන් මහ පැනවතෙක් වන්නෙම්වායි ප්‍රාත්‍ථ‍ර්‍‍නා කොට දිවිඇති තෙක් කුශල කර්‍මයෙහි නොපමාව කල්පලක්‍ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා කාශ්‍යප බුදුන්වහන්සේගේ කාලයෙහි කිකී නමැති කාශි රජුගේ ගෙහි පිළිසිඳගෙන සොහොයුරියන් සත්දෙනාට ඇතුළත්ව විසිදහසක් අවුරුදු ගෙහිම කුමරිබඹසර හැසිර ඒ සොයුරියන් සමඟ බුදුරජාණන්වහන්සේට විසීමට පිරිවෙණක් කරවා එක් බුද්ධාන්තරයක් දෙව් මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි මදුරට සාගලනුවර රජකුලයෙහි පිළිසිඳ ගත්තාය. ඇයට ඛේමායි නම් කළාහුය. ඇයගේ සිරුරු පැහැය රන්රස කලතක් විය. වියපත්වූවා බිම්සර රජුගේ මාලිගයට ගියාය.

ඕතොමෝ රජගහනුවර ඇසුරුකොට වේළුවනාරාමයෙහි තථාගතයන්වහන්සේ වැඩවසනකල්හි, ශාස්තෘන්වහන්සේ වනාහි රූපයෙහි දොස් දක්වනසේකැයි රූපමදයෙන් මත්වූවා මගේද රූපයෙහි දොස් දක්වනසේකැයි බියෙන් ශාස්තෘන්වහන්සේ දැකීමට නොයයි. රජතෙමේ මෙසේ සිතීය. ‘මම ශාස්තෘන්වහන්සේගේ අග්‍ර උපස්ථායකයා වෙමි. මාවැනි වූ ආර්‍ය්‍ය ශ්‍රාවකයෙකුගේ අගමෙහෙසිය තථාගතයන්වහන්සේ දැකීමට නොයයි. එය මට රුචි නොව්.’ මෙසේ සිතා හෙතෙම කවීන් ලවා වෙළුවන උයනෙහි වැණුම් රචනාකොට ඛේමා දේවියගේ සවන් වැකෙන දුරෙහි ගයවු’යි කීවේය. ඕ උයනේ වැණුම අසා යනු කැමැත්තීව රජුගෙන් විමසුවාය. රජතෙමේ ‘උයනට යන්නේ ශාස්තෘන්වහන්සේ නොදැක ඒමට නොලැබෙන්නේය’යි කීවේය. ඕ රජුට පිළිවදන් නොදීම මගට පිළිපන්නාය. රජතෙමේ ඇය සමග යන පුරුෂයන්ට, ‘ඉදින් දේවිය, උයනින් ආපසු හැරී එන්නී තථාගතයන්වහන්සේ බලන්නී නම් මැනවි. ඉදින් නොබලන්නී නම් රජඅණින් ඇයට දක්වවුයි කීවේය. ඉක්බිති ඒ දේවිය දවල් කාලය උයනෙහි හැසිර ආපසු එන්නී තථාගතයන්වහන්සේ නොදැකම යාමට පටන් ගත්තාය.

ඉක්බිති රාජපුරුෂයෝ ඇයව තම නොකැමැත්තෙන්ම ශාස්තෘන්වහන්සේ‍ සමීපයට පැමිණෙව්වාහුය. ශාස්තෘන්වහන්සේ ඇය එනු දැක සෘද්ධියෙන් එක් දෙවඟනක මවා විජිණිපතක් ගෙන පවන්සලන්නියක මෙන් කළසේක. ඛේමාදේවිය ඇය දැක ‘නටුවාවෙමි. මෙබඳු දෙමඟනන් බදු ස්ත්‍රීහු තථාගතයන්වහන්සේ නුදුරෙහි සිටිත්. මම මොවුන්ගේ සේවිකාවකටද නොහොබින්නී වෙමි. නිකරුණේ පවිටුසිත් වශයෙන් නටුවා වෙමි’යි නිමිති ගෙන ඒ ස්ත්‍රිය දෙසම බලමින් සිටියාය. ඉක්බිති ඇය බලාසිටියදීම තථාගතයන්වහන්සේගේ අදිටන් බලයෙන් ඒ ස්ත්‍රිය පළමුවිය ඉක්ම මැඳුම්වියෙහි සිටියාක් මෙන්ද මැඳුම්විය ඉක්ම පැසුළුවියෙහි සිටියාක් මෙන්ද රැළිවැටුනි, පැසුණු කෙස් ඇත්තී කැඩුණු ලිහිල් වූදත් ඇත්තී වූවාය. ඉක්බිති ඇය බලාසිටියදීම විජිනිපත සමඳ පෙරළී වැටුනාය. ඉක්බිති ඛෙමාදේවිය පෙර හේතුවෙන් යුක්තවූවා ඒ අරමුණ ආපාතගතවූ කල්හි මෙසේ සිතුවාය. ‘මෙබඳුවූ ශරීරයද මෙබඳු විපතට පැමිණෙයි. මගේ සිරුරද මෙබඳු ගති ඇත්තේම වන්නේය’ (යනුවෙනි) අනතුරුව ඇයට මෙසේ සිතුණු කෙණෙහි තථාගතයන්වහන්සේ ධර්‍මපදයෙහි මේ ගාථාව වදාළසේක.
මකුළුවා තමාමකළ දැලට ඇද වැටෙන්නාක් මෙන් රාගයෙන් වැඩුනාහු (සසර) සැඬපහරට ඇදවැටෙත්, මෙයද සිඳ දමා බලාපොරොත්තු රහිතවූවෝ කම්සුව අත්හැර පැවිදිව හැසිරෙත්.
ඕතොමෝ ගාථා කෙළවර සිටි පියවරෙහි පිහිටියාම පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියාය.

රහත්බවට පැමිණි ගිහිගෙහි වෙසෙන්නකු නම් එදවසම පිරිනිවිය යුතු හෝ පැවිදිවිය යුතු හෝ වෙයි. ඕ තොමෝ වනාහි තමන්ගේ ආයුසංස්කාරය පවත්නා බව දැන තමන්ගේ පැවිද්ද අනුදන්වන්නෙමැයි ශාස්තෘන්වහන්සේ වැඳ රජනිවසට ගොස් රජුට නොවැඳම සිටියාය. රජතෙමේ ආර්‍ය්‍යධර්‍මයවූ රහත්බවට පැමිණියා වන්නීයයි ඉඟියෙන්ම දැනගත්තේය. ඉක්බිති, ඇයට දේවිය ශාස්තෘන්වහන්සේ දැක්මට ගියාවෙහිදැයි කීය. ‘මහරජ, නුඹවහන්සේ විසින් දුටු දැක්ම සුළුය. මම වනාහි ශාස්තෘන්වහන්සේ මනාව දුටුවකු කෙළෙමි. මගේ පැවිද්ද අනුදන්නා මැනවැ’යි කීවාය. රජතෙමේ ‘මැනවි දේවිය’යි පිළිගෙන රන්සිවිගෙයකින් භික්‍ෂුණී ආශ්‍රමයට යවා පැවිදි කරවූයේය. ඉක්බිති ඛේමා නම් ගිහිබවෙහි වූවාම රහත්බවට පැමිණියායි ඇයගේ මහනුවණැති බව ප්‍රකට වූයේය. මේ කථාවස්තුව මෙපමණෙකි. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි ජේතවනයෙහි වැඩහුන්සේක් භික්‍ෂුණීන් පිළිවෙළින් තනතුරුවල තබමින් ඛේමා තෙරණිය මහ පැනවතියන් අතුරින් අගතැන්හි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2OcHvFM
දවසේ පින්බර සිතුවිල්ල…!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර (share) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි!

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2D7T5kp
==මහාපජාපතී ගොතමී තෙරණිය==

ථෙරීපාළියෙහි ප්‍රථම සූත්‍රයෙහි යදිදං මහාපජාපති ගොතමි’ යන්නෙන් මහාප්‍රජාපතී ගෞතමී තෙරණිය බොහෝ රාත්‍රි දන්නාවූ භික්‍ෂුණීන් අතුරින් අග්‍ර වන්නීයයි දක්වනුලැබේ. ඇයගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි.

මෙතුමිය වනාහි පියුමුතුරා බුදුන් කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳ ගෙන පසුකලෙක ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසමින් එක් භික්‍ෂුණියක බොහෝ රාත්‍රිදන්නියන් අතුරින් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට එ‍් තනතුර පැතූහ. ඕතොමෝ දිවි ඇතිතෙක් දන්දී සිල්සමාදන්ව පෙහෙවස් වැස කල්ප ලක්‍ෂයක් ඉක්මවා බරණැසෙහි පන්සියයක් දාසිනීන්ගේ දෙටු තැනැත්තියවී උපන්නාය. ඉක්බිති වස්එළඹෙන කාලයෙහි පසේබුදුවරු පස්නමක් නන්‍දමූලක කඳුබෑවුමෙන් (අවුත්) ඉසිපතනයෙහි බැස නුවරෙහි පිඬු හැසිර ඉසිපතනයටම ගොස් වස් එළඹෙන කිළියක් සඳහා අත්වැඩ ඉල්ලන්නෙමුයි සිවුරු‍ පොරවා සැන්දෑ යාමයෙහි නුවරට පිවිස සිටු‍ගේ ගෙදොරෙහි සිටියාහුය. දෙටුදාසිය කළයක් ගෙන දිය තොටට යන්නී නුවරට පිවිසෙන පසේබුදුවරුන් දුටුවාය. සිටුතෙමේ උනවහන්සේලා පැමිණි කරුණ අසා අපට ඉඩක් නැත. ආපසු වඩිනසේක්වායි කීවේය. ඉක්බිති නුවරින් නික්ම යන උන්වහන්සේලා දැක දෙටු දාසිය කළය ගෙන පිවිසෙන්නී කළය බහා තබා වැඳ නැමී මුහුණ වසාගෙන ආර්‍ය්‍යවරු නගරයට පිවිසි සැණින් නික්මෙන්නාහු කුමක් නිසාදැයි ඇසුවාය. වස්එළඹීම සඳහා අවශ්‍ය කුටියකට අත්කම් ඉල්වීමට ආවෙමුයි උන්වහන්සේලා කීහ. ‘ස්වාමීනි, ලබනලදදැ’යි ඕ ඇසුවාය. ‘උපාසිකාව, නොලදැයි’ කීවාහුය. ‘කිමෙක්ද? මේ කිළිය ධනවතුන් විසින්ම කළ යුත්තක්ද දිළිඳුන් විසින්ද කළ හැක්කක්දැ’යි ඕ ඇසුවාය. ‘යම් කිසිවකු විසින් හැකිය.’ ‘මැනවි, ස්වාමීනි, අපි කරන්නෙමු. හෙට මගේ දානය පිළිගනු මැනවැ’යි ආරාධනා කොට දිය හැරගෙන ගොස් යළි කළ රැගෙන අවුත් තොටුපල මගෙහි සිට ආවාවූ සෙසු දාසියෝ මෙහිම වෙත්වායි සියල්ලන් පැමිණි විට යෙහෙළියෙනි, කිම නිබඳවම අනුනට දාසකම් කරවුද? නැතහොත් දාසභාවයෙන් මිදීමට කැමැත්තහුදැ?යි ඇසුවාය. ආර්‍ය්‍යාවනි, අදම මිදීමට කැමැත්තෙමුයි දාසියෝ කීහ. ‘එසේ නම් මවිසින් පසේබුදුවරු පස්නමක් අත්කම් නොලබන සේක් හෙට දිනට (දානය සඳහා) ඇරයුම් කරනලදසේක. නුඹලාගේ සැමියන් ලවා එක් දිනක් අත්කම් දෙවවුයි (දෙටුදාසිය කීවාය) ඔවුහු මැනවැයි පිළිගෙන සවස වනයෙන් ආකල්හි සැමියන්ට සැළ කළාහුය. ඔවුහු මැනවැයි පිළිගෙන දෙටු දැස්සාගේ ගෙදොරට රැස්වූහ. ඉක්බිති ඔවුන්ට දෙටුදැස්ස හෙට නුඹලා ‍පසේබුදුවරුන්ට අත්කම් දෙවවුයි අනුසස් පවසා යමෙක් කිරීමට නොකැමැත්තෝ වූවාහුද ඔවුනට දැඩි අවවාදයෙන් තර්ජනය කොට භාරගැන්වූවාය. ‍ඕ තොමෝ දෙවැනිදිනයෙහි පසේබුදුවරුන්ට බත් දී සියලුම දාසපුත්‍රයන්ට සංඥාවක් දුන්නාය. ඔවුහු එකෙණෙහිම වනයට පිවිස දැව සමුහයක් රැස් කොට සියදෙනා සියදෙනා වී සක්මන්මළු ආදී පිරිවර ඇති එකිනෙක් කුටිය බැගින් තනා ඇඳ පුටු පානීය පරිභෝජනීයාදියද තබා පසෙ‍්බුදුවරුන් තෙමසක් එහි විසීම සඳහා පිළිණකරවා වාර භික්‍ෂාදානයන් පිහිටෙව්වාහුය. යමෙක් තමන්ට අයත් වාර දිනයෙහි දන්දීමට නොහැකිවෙයිද ඔහුට දෙටුදැස්ස තම ගෙයින් ගෙනවුත් දෙයි. මෙසේ තෙමසක් පිළිදැඟුම් කොට දෙටුදැස්ස එක්එක් දැස්ස ලවා එක් එක් සළුවක් පිළියෙළ කරවූවාය. දළරෙදි පන්සියයක් විය. ඒවා හුවමාරුකොට පසේබුදුවරුන් පස්නමට තුන්සිවුරු කොට දුන්නාය. පසේබුදුවරු ඔවුන් බලාසිටියදීම අහසින් ගන්‍ධමාදන පර්‍වතයට වැඩියාහුය. ඔවුහු සියල්ලෝද දිවි ඇති තෙක් කුසල් කොට දෙව්ලොව උපන්නාහුය. ඔවුන්ගෙන් දෙටු තැනැත්තිය එයින් සැව බරණැසට නුදුරෙහි පෙහෙර ගමෙහි දෙටුපෙහෙරාගේ ගෙහි උපන්නාය. ඉක්බිති එක්දිනක් පදුමවති‍‍යගේ පුත් පන්සියයක් පසේ බුදුවරු බරණැස් රජුවිසින් ඇමතුම් ලැබුවාහු රජ ගෙදොර දොරටු‍වට අවුත් බලන කිසිවකුදු නොදැක ආපසු හැරී නුවරදොරටුවෙන් නික්ම ඒ පෙහෙරගමට වැඩියාහුය. නොදැක ආපසු හැරී නුවරදොරටුවෙන් නික්ම ඒ පෙහෙරගමට වැඩියාහුය. ඒ ස්ත්‍රිය පසේ බුදුවරුන් දැක සතුටු වෙමින් සියල්ලන්ට වැඳ භික්‍ෂාව දුන්නාය. ඒ පසේබුදුවරු බත්කිස ගන්‍ධමාදනයටම වැඩියාහුය. ඕතොමෝද දිවිඇතිතෙක් කුසල් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නී අපගේ ශාස්තෘන්වහන්සේගේ පහළවීමට පෙරාතුවම දෙව්දහනුවර මහාසුප්පබුද්ධගේ ගෘහයෙහි පිළිසිඳ ගත්තාය. ඇයට ගොතමීයයි නමක් කළාහුය. මහාමායාවගේ කනිටු සොයොහුරිය වෙයි. මන්ත්‍රගායන බමුණෝ ලකුණු පිළිගනිමින් (බලමින්) මේ දෙන්නාගේම කුසෙහි විසූ දරුවෝ සක්විති වන්නාහුයයි ප්‍රකාශ කළාහුය. සුදොවුන් මහරජතෙමේ වියපත්කල්හි ඒ දෙදෙනාම සරණමංගල කොට තමන්ගේ ගෙදරට රැගෙන ආවේය. මැතකාලයෙහි අපගේ බෝසතාණෝ තුසීපුරෙන් සැව මහාමායා දේවියගේ කුසෙහි පිළිසඳ ගත්හ. මහාමායා දේවිය ඒ බෝසතුන් උපන් දිනයෙන් සත්වෙනි දිනයෙහි කලුරිය කොට තව්තිසාවෙහි උපන්නීය. සුදොවුන් මහරජතෙමේ බෝසතුන්ගේ සුළුමවවූ ප්‍රජාපතී ගොතමිය අගමෙහෙසුන් කළේය. එකල්හි නන්ද කුමරුවා උපන්නේය. මේ මහාප්‍රජාපතී ගෝතමිය නන්දකුමරු කිරිමවුන්ට දී තොමෝ බොසතුන් වැඩුවාය. මෑතකාලයක බෝසතාණෝ මහබිනික්මන් නික්ම සර්‍වඥතාඥානයට පත්ව ලොවට අනුග්‍රහය කරන්නාහු පිළිවෙළින් කිඹුල්වතට ගොස් නගරයෙහි පිඬුපිණිස පිවිසියාහුය. ඉක්බිති උන්වහන්සේගේ පියමහරජ තෙමේ වීදිය තුළදීම ධර්‍මය අසා සෝවාන්වූයේය. දෙවැනි දිනයෙහි නන්‍දකුමාරයා පැවිදිවූයේය. සත්වැනි දිනයෙහි රාහුල පැවිදිවූ‍යේය. ශාස්තෘන්වහන්සේ අන් කලෙක වේසාලිය ඇසුරු කොට කූටාගාර ශාලාවෙහි වෙසෙනසේක. එසමයෙහි සුදොවුන් රජතෙමේ සේසත යටදීම රහත්බව පසක්කොට පිරිනිවන් පෑවේය. එකල්හි මහාප්‍රජාපති ගොතමිය පැවිද්දට සිත ඉපදවූවාය. ඉක්බිති රෝහිනී නදී තෙරදී කලහවිවාද සූත්‍රාවසානයෙහි නික්ම පැවිදිවූ කුමරුන් පන්සියයකගේ බි‍රියෝ සියල්ල එක්සිත් ඇත්තෝව මහා ප්‍රජාපතිය සමීපයට ගොස් සියල්ලෝම ශාස්තෘන් සමීපයෙහි පැවිදිවන්නෙමුයි මහාප්‍රජාපතිය දෙටු තැනැත්තියකොට ශාස්තෘන් සමීපයට ගොස් පැවිදිවනු කැමැත්තෝවූවාහුය. මේ මහා ප්‍රජාපතිය පළමුවම එක්වරක් ශාස්තෘන්වහන්සේගෙන් පැවිද්ද ඉල්වන්නී නොලද්දීය. එහෙයින් කරණවෑමියකු කැඳවා කෙස් සිඳුවා කසාවත් හැඳ ඒ සියලු ශාක්‍ය කාන්තාවන් රැගෙන විශාලාවට ගොස් අනඳ තෙරුන් ලවා ශාස්තෘන්වහන්සේගෙන් ඉල්වා අෂ්ටගරුධර්‍මයන් සමඟ පැවිද්දද උපසම්පදාවද ලැබුවාය. සෙසු සියල්ලෝද එකටම උපසපන්වූවාහුය. මෙය මෙහි සංක්‍ෂෙපයයි. විස්තර වශයෙන් මේ කථාවස්තුව පෙළෙහි ආයේමය. මෙසේ උපසපන්වූ මහාජ්‍රජාපතී ගෝතමිය ශාස්තෘන්වහන්සේ වෙත එළඹ වැඳ එකත්පසෙක සිටියාය. ඉක්බිති ඇයට ශාස්තෘන්වහන්සේ ධර්‍මය දෙසූසේක. ඕ ශාස්තෘන් සමීපයෙහිම කමටහන් ගෙන රහත්බවට පැමිණියාය. සෙසු පන්සියයක් භික්‍ෂුණීහු නන්‍දකොවාදසුත්‍රාවසානයෙහි රහත්බවට පැමිණියාහුය. මෙසේ මේ කථාවස්තුව හටගත්තේය. මෑත කාලයෙහි බුදුරජාණන්වහන්සේ දෙව්රම වැඩහුන්සේක් භික්‍ෂුණීන් තනතුරුවල තබමින් මහාප්‍රාපති තෙරණිය බොහෝ රාත්‍රි දන්නවුන් අතුරින් අගතනතුරෙහි තැබුසේක.