Monthly Archives: February 2019

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2GxHa0i
දුක නිරුද්ධ වීම කුමක් ද?

ඇසත්, රූපත් නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීම ස්පර්ශයයි.
ස්පර්ශය නිසා වේදනාව වෙයි.
වේදනාව නිසා තණ්හාව වෙයි.
තණ්හාවේම ඉතුරු නැතිව නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි.
උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි.
භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි.
ජාති නිරෝධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරෝධ වෙයි.
මෙසේ මේ සියලු දුකේ නිරෝධය වේ. මේ දුකේ නිරුද්ධ වීමයි.

දුක්‌ඛසමුදය සූත්‍රය
සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 1. සළායතන සංයුක්තය » 11. යොගක්‌ඛෙමි වර්ගය

http://bit.ly/2DZY0mM

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2MRcoR4
මහණෙනි, ලෝකයේ හටගැනීම කවරේ ද යත්:
ඇසත් රූපත් නිසා චක්ඛු විඤ්ඤාණය උපදී. ඒ තුනේ එක්වීම ස්පර්ශය යි.
ස්පර්ශ හේතුවෙන් වේදනාව වේ.
වේදනා හේතුවෙන් තණ්හාව වේ.
තණ්හා හේතුවෙන් උපාදාන වේ.
උපාදාන හේතුවෙන් භවය වේ.
භව හේතුවෙන් ජාතිය වේ.
ජාති හේතුවෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගනියි.
මේ ලෝකෙයේ හට ගැනීම යි.

මහණෙනි, ලෝකයේ නැතිවීම කවරේ ද යත්:
ඇසත් රූපත් නිසා චක්ඛු විඤ්ඤාණය උපදී. ඒ තුනේ එක්වීම ස්පර්ශය යි.
ස්පර්ශ හේතුවෙන් වේදනාව වේ.
වේදනා හේතුවෙන් තණ්හාව වේ.
ඒ තණ්හාවේම ඉතුරු නැතිව නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ.
උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ.
භව නිරෝධයෙන් ජාතිය නිරෝධය වේ.
ජාති නිරෝධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරෝධය වේ.
මේ ලෝකෙයේ නැතිවීම යි.

ලෝක සූත්‍රය
සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » ගහපති වර්ගය

http://bit.ly/2DW0W3u

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2MNTJp8
තථාගතයන් වහන්සේ ථුලු නම් ජනපදයෙහි වැඩවෙසෙන සේක්, ලිච්ඡවිපුත්‍ර සුනක්ඛත්ත නම් භික්ෂුව හා උත්තරකා නම් නියම්ගමට පිඬූ පිණිස වැඩ වදාළ සේක. එකල්හි එහි බලු වත පුරන කෝරක්ඛත්තිය නම් තවුසෙක් වාසය කෙළේය. ඔහු වස්ත්‍ර නො හඳනේය. භාජන නො පිළිගන්නේ ය. බිම දැමු ආහාර සතර ගාතයෙන් සිට කටින් ම සුනඛයෙකු සේ අනුභව කරන්නේය. සුනඛයෙකු සේ වකුටු වී බිම නිදන්නේය. බුදුරජුන් පසුපස ඇවිදිතත් රහතුන් නො හඳුනන සුනක්ඛත්ත, ඒ තවුසා දැක ‘වස්ත්‍ර ලෝභය, භෝජන ලෝභය, ආසන ලෝභය දුරුකොට බිම දැමු දෙය වළඳන මේ තවුසා ඒකාන්තයෙන් රහත් කෙනෙක, මොහු වැනි අන් පැවිද්දෙක් නැත. අපේ පැවිද්ද කුමක් ද? මොහුගේ පැවිද්ද ම නියම පැවිද්ද නොවේ දැ’යි සිතුවේ ය. සුනක්ඛත්ත මහණ, ස්වාභාවයෙන් ම ලාමක අදහස් ඇතියකු බව දන්නා තථාගතයන් වහන්සේ ‘මේ තවුසා දැක ඔහු කුමක් සිතුවේ දැ’යි බලා වදාරන සේක්, ඔහු සිතූ සැටි දැක, ‘සුනක්ඛත්ත, නුඹත් ශ්‍රමණශාක්‍යපුත්‍රයකැයි කියා ගන්නවා නොවේ දැ’යි වදාළහ. එකල්හි සුනක්ඛත්ත ‘ස්වාමීනි, කිනම් වරදක් නිසා මා හට එසේ කී සේක් දැ’යි විචාළේ ය. ‘නුඹ අර බලුවත පුරන කෝරක්ඛත්තිය රහතන් වහන්සේ කෙනකැ යි සිතුවේ නොවේ දැ’යි තථාගතයන් වහන්සේ වදාළහ.

එකල්හි සුනක්ඛත්ත ‘ස්වාමිනි, නුඹ වහන්සේ අර්හත්වයට මසුරු වන සේක් දැ’යි කීය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක්, ‘මෝඝපුරුෂය, මම අර්හත්වයට මසුරු වන්නෙම් නො වෙමි. නුඹට රහත් නො වන්නෙකු ගැන රහත්ය යන දෘෂ්ටිය ඇති විය. එය හරුව, එය නුඹට දීර්ඝකාලයක් අනර්ථය පිණිස නොපවතීවා’ යි වදාරා ‘නුඹ රහතන් වහන්සේ කෙනෙකුන් සේ සිතූ කෝරක්ඛත්තිය අදින් සත්වන දින අජිර්ණ රෝගයෙන් මැරෙන්නේය. ඔහු සියල්ලන්ට හීන කාලකඤ්ජිකා නම් අසුරයෝනියෙහි උපදින්නේ ය, ඔහුගේ සිරුර ඛීරණත්ථම්භක නම් සොහොනයට ඇද දමන්නාහ, නුඹ කැමති නම් එහි ගොස් කොහි උපන්නෙහි දැයි ඔහුගෙන් අසන්න, ඔහු උපන් තැන කියනු ඇතැ’යි වදාළ සේක.
ඉක්බිති සුනක්ඛත්ත, කෝරක්ඛත්තිය වෙත ගොස් බුදුරජුන්ගේ ප්‍රකාශනය ඔහුට කියා ‘ශ්‍රමණ ගෞතමයන්ගේ කීම බොරුවන්නට, ඔබ පමණ දැන අහර ගනිමින් පරෙස්සම් වන්නය’ යි ඔහුට අවවාද කොට සත්වන දවස පැමිණෙන තුරු දින ගනිමින් සිටියේය. කෝරක්ඛත්තිය ඔහුගේ බස් අසා බුදු වදන් බොරු කරන්නට සිතා එදින පටන් නිරාහාරව ම සිටියේය.

සත්වන දිනයේ කෝරක්ඛත්තියගේ දායකයෙක් වෙනදා අප නිවසට පැමිණෙන ශ්‍රමණයන් වහන්සේ දින ගණනකින්ම නො පැමිණියහ. උන්වහන්සේ බලනන්නට යෙමි’යි සිතා ඌරුමස් පිසවාගෙන බත් ද සමඟ ගෙන ගොස් කෝරක්ඛත්තිය ඉදිරියේ බිම සැලූයේ ය. දින ගණනක් නිරාහාරව සිටි කෝරක්ඛත්තියට ඒ ආහාරය නොවළදා සිටිය නොහැකි විය. ඔහු ‘ශ්‍රමණ ගෞතමයන්ගේ කීම හරි ගියත් නොගියත් නිරාහාරව මැරෙනවාට වඩා මට අහරක් වළදා මැරීම හොඳය’ යි සිතා නැඟිට සතර ගාතයෙන් සිට බඩපුරා ඒ ආහාරය අනුබව කෙළේ ය. දින ගණනක් නිරාහාරව සිට අනුභව කළ ඒ ආහාරය ඔහුට දිරවා ගත හැකි නො වීය.

එදින රාත්‍රියෙහි අජීර්ණයෙන් ඔහු මැරී බුදුරජුන් වදාළ පරිදි කාලකඤ්ජිකා නම් අසුරයෝනියෙහි උපන්නේය. තීර්ථකයෝ කෝරක්ඛත්තියගේ මරණය අසා රැස්ව දවස් ගැන බලා ‘ශ්‍රමණ ගෞතමයන්ගේ එක් බසක් හරි ගියේය. දැන් මේ මිනිය අන් තැනකට ඇද දමා ඔහුගේ වචනය බොරු කොට නිග්‍රහ කරම්හ’ යි සිතා කෝරක්ඛතියගේ මිනිය වැලකින් බැඳ බලූකුණක් මෙන් ඇඳගෙන ගියෝය. ඔවුනට ගිය ගිය තැන මිදුල්ම විය. දැමීමට සුදුසු තැනක් නොලැබ ඉදිරියට ගියා වූ ඔවුහු ඉබේම ඛීරණත්ථම්භ නම් සොහොන් බිමට පැමිණියෝ ය. ඔවුහු එය බුදුරදුන් වදාළ සොහොන බව දැන අන් තැනකට ගෙන යනු පිණිස මිනිය අදින කල්හි බැඳි වැල් සිඳී ගියේ ය. මිනිය එතැනින් සෙලවිය නොහැකි විය. ඔවුහු වන්නාක් වේවා’ යි මිනිය එහි දමා ගියහ.

ඉක්බිති සුනක්ඛත්ත භික්ෂුව ‘ශ්‍රමණ ගෞතමයන් කී දේවලින් කොටසක් හරි ගියේය. මළ එකතු නැඟිට අනිකකු හා කථා කිරීම නම් සිදු නො වන්නකි. දැන් මම ගොස් ඔහුට කථා කරන්නෙමි. ඔහු කථා කළ හොත් හොඳය, නොකළ හොත් ශ්‍රමණ ගෞතමයන් හට මුසාවාදයෙන්, නිග්‍රහ කරන්නෙමි’ යි සිතා ඛිරණත්ථම්භ සොහොනට ගියේ ය. එහි ගොස් කෝරක්ඛත්තියගේ, සිරුරට තෙවරක් අතින් තට්ටු කර ‘ඇවැත්නි, කෝරක්ඛත්තිය, ඔබ උපන් තැන දන්නෙහි දැ’යි ඇසී ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ආනුභාවයෙන් අසුරයා ගෙන්වා කෝරක්ඛත්තියගේ මළ සිරුරට ප්‍රවේශ කරවා ඔහු කාලකඤ්ජිකා නම් වූ සියල්ලට හීන අසුර යෝනියෙහි උපන් බව ප්‍රකාශ කර වූහ. බුදුරදුන්ගේ වදන ඔවුනට බොහෝ උත්සාහ කොට ද වරදවන්නට බොරු කරන්නට නො පිළිවන් විය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/3Z3uWk