Monthly Archives: October 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2C0WPli
”කිසිවිටෙකත් පසු නො බසින වීරියක් ම ඇති කරගෙන”

බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නේ වීරියවන්තයින් විතරයි. වීරියක් නැති කුසීතයින්ට භාග්‍යවතුන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කළ, සියලූ කෙලෙස් දුරු කරවන, විරාගය ඇති කරන, අමා නිවනට ගෙන යන, ලොව කිසිවකට සම කළ නො හැකි මේ ධර්මය අවබෝධ කරන්නට පුළුවන්කමක් නෑ.

චම්පා නුවර උසභ සිටුවරයාගේ සිටු මාළිගයේ ලස්සන කුමාරයෙක් උපන්නා. ඔහු උපන් දවසේ බිළිඳා බැලීමට පැමිණි නගරවාසීන් ඉතාමත් ම අගනා වස්තූන් තමයි තෑගි ලෙස අරගෙන ආවේ. එක දවසකින් ම සිටු මැදුරේ සම්පත් පිරී ඉතිරී ගියා. එ් වගේ ම මේ දරුවාගේ පැහැය මුළුමනින් ම රන්වන්. සිනිඳු මල් පෙත්තක් වගේ සියුම් ශරීරයක් මේ දරු සිඟිත්තාට තිබුණේ. ඉතිං දෙමාපියන්ට හරී ම සතුටුයි! ඔවුන් ‘සෝණ‘ නමින් මේ සිඟිත්තාට නම් තැබුවා. එනමුත් මේ තමන්ගේ පවුලේ උපන්නේ සසරේ මහා පින් රැස් කළ අසිරිමත් පින්වන්තයෙක් බව නම් උසභ සිටුතුමාවත්, එ් බිසොවවත් දැන හිටියේ නෑ.

නුවණැති උදවිය පින් රැස් කරන්නට ප‍්‍රමාද වෙන්නේ නැහැ. ලැබෙන ලැබෙන මොහොතේ නොපමාව පින් කර ගන්නවා. එ් කරන ලද පින් විපාක දෙන්නට පටන් ගනිද්දී එ්ක සාමාන්‍ය ලෝකයාට හිතාගන්නවත් බැරි තරම් විස්මිතයි. සෝණ අතීත ජීවිතයක එක්තරා පසේබුදුරජාණන් වහන්සේනමකට ඉතාමත් ම සැදැහැ සිතින් රක්ත වර්ණ කම්බිලියක් පූජා කළා. එ් පිනේ විපාකයක් ලෙස උපදින අත්භවයන්හී සුන්දර සිරුරක් ඔහුට ලැබුණා. සෝණ නමින් උපන් මේ ජීවිතයේත් ඔහුගේ සිරුර විනිවිද පෙනෙන්නාක් මෙන් සියුමැලි බබළන සිරුරක්. එය ස්වර්ණමය ඡුවි පැහැයෙන් බැබළුණ සිරුරක්.

අනෝමදස්සී නම් සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී සිටි සමයේ ඔහු එ් සම්බුදු පියාණන් හටත්, භික්ෂු සංඝයා හටත් සොඳුරු විහාරයක් කරවා පූජා කළා. සුවසේ සක්මන් භාවනාවේ යෙදීම පිණිස සක්මන් මළු සකසා පූජා කළා. එ් පුණ්‍ය මහිමයෙන් සෝණගේ යටිපතුල්වල ස්වර්ණමය ලොම් හටගත්තා. එ් වගේ ම සෝණගේ පුණ්‍යනුභාවය නිසා ම ව්‍යාපාර දියුණු වී මහා ධනවත් බවට පත් සිටුතුමා ඍතුවලට ගැළපෙන පරිදි සෝණ කුමාරයා වෙනුවෙන් මනරම් මාළිගා තුනක් කරවනු ලැබුවා.

මේ මාළිගාවල පස්කම් සැපයෙන් සතුටු වෙමින්, නටමින් ගයමින් සතුටු වෙමින් තමයි සෝණ තරුණයා ගත කළේ. ඔහු හරි ම දක්ෂයි වීණා වාදනයට. ඔහුගේ වීණා නාදය බොහෝ දෙනෙකුගේ සිත වසඟ කරවන්නක්. දිනපතා වීණා වයමින් නාටිකංගනාවන් සමඟ තුටු වෙමින් ගත කරන සෝණගේ සැඟවී ඇති මහා පුණය මහිමය ඉස්මතු වුණේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කිරීමත් සමඟයි.

අපගේ ගෞතම සම්බුදු පියාණන් වහන්සේ දම්සක් දෙසුම වදාරා ලෝකානුකම්පාවෙන් ශ‍්‍රී සද්ධර්මය දේශනා කිරීම සිදු කරද්දී නොබෝ කලකින් ම බුදුරජුන් වටා බොහෝ ශ‍්‍රාවක පිරිස් එක් වන්නට වුණා. එ් වගේ ම සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ මහිමය ගම් නියම් ගම් පුරා පැතිර යන්නට වුණා. බුදුරජාණන් වහන්සේ ගැන අතිශයින් ම පැහැදී සිටි බිම්බිසාර මහරජු තමන්ගේ විජිතය වූ රජගහනුවරට භාග්‍යවතුන් වහන්සේට වැඩම කරන මෙන් ඇරයුම් කළා. එ් ආරාධනාව පිළිගත් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ මහත් භික්ෂු පිරිසක් කැටුව රජගහ නුවරට වැඩම කරනු ලැබුවා.

එදින බිම්බිසාර මහරජුගේ කැඳවීමක් අනුව නගරවාසී සියලූ දෙනා භාග්‍යවතුන් වහන්සේ ව පිළිගනු පිණිස රැස් විය යුතුව තිබුණා. එ් නිසා ම සෝණ සිටු කුමාරයාටත් බුදුරජුන් බැහැදැකීමේ වාසනාව උදාවුණා. සසරේ බුදුරජාණන් වහන්සේලා කෙරෙහි පහන් සිතින් යුතුව කටයුතු කොට ඇති සෝණ කුමරුගේ සිත සම්බුදුරජාණන් වහන්සේ ව දුටු පමණින් ම බොහෝ පැහැදී ගියා. එ් මොහොතේ රැුස්ව සිටි අසූ දහසකට අධික පිරිසට බුදුරජාණන් වහන්සේ මිහිරි ශී‍්‍ර සද්ධර්මය දේශනා කොට වදාළා.

එ් සියලූ දුක් සන්සිඳුවන ධර්මයට වඩා තවත් රසවත් යමක් මේ ලෝකයේ ඇත්තේ නෑ. නුවණැත්තන් විසින් එ් ධර්මයේ ඇති උත්තරීතර රසය වහා තේරුම් ගන්නවා. එ් රසයෙන් ම යි ජීවිතය සුවපත් වන්නේ කියා තේරුම් ගන්නවා. එවිට අන් කිසිදු සැපයක් දහමේ හැසිරීමට වඩා ඔවුන්ට වටින්නේ නෑ. සෝණ කුමාරයාත් මහා නුවණැත්තෙක්. ධර්මයේ ඇති උත්තරීතර වටිනාකම ඔහුට වැටහුණා. එ් අමා දහමේ රසය මුළුමනින් ම විඳින්නට නම් බුදු සසුනේ පැවිදි විය යුතුයි කියා ඔහු තීරණය කළා.

එදින ම තම මාපියන්ගේ අවසරය ගෙන භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණි සෝණ බුදුරජාණන් වහන්සේ සමීපයේ අති උතුම් පැවිදි බවත්, උපසම්පදාවත් ලබා ගත්තා. ටික කලෙකින් ම ධර්මය මනාව ඉගෙන ගත් සෝණ ස්වාමීන් වහන්සේ හුදෙකලා විවේකයෙන් ධර්මය දියුණු කරන අදහසින් විවේකී කුටියක කාලය ගත කළා. උන්වහන්සේ හරී ම වීරියවන්තයි. ඉක්මනින් ම මේ උතුම් ධර්මය පරිපූර්ණ ව අවබෝධ කළ යුතුයි කියන අදහසින් වීරියෙන් භාවනා කළත් දිනෙන් දින ම උන්වහන්සේට සිතුණේ තමන්ට ධර්මාවබෝධ කර ගන්නට බැරි වේවි කියල ම යි.

දිනක් උන්වහන්සේ මෙහෙම කල්පනා කළා. ‘මං ගොඩාක් සියුමැලි ව හැදුන වැඩුන කෙනෙක්. බොහෝ සුඛෝපභෝගී ව සිටිය කෙනෙක්. එ් හින්දා මේ කය සැපයට අහු වෙලයි තියෙන්නේ. කොයිතරම් වේදනා දැණුනත් ගණන් නො ගෙන මම බලවත් ව වීරිය කරන්ට ඕන. මෙහෙම ප‍්‍රමාද වෙන්ට ගිහිං හදිසියේවත් මා මිය ගියොත් ධර්මාවබෝධ නො කර ම දුක් සහිත සංසාරයටයි මට වැටෙන්ට වෙන්නේ…’ මෙසේ සිත දැඩි කර ගත් සෝණ ස්වාමීන් වහන්සේ හොඳින් සිත යොමු කරගෙන සක්මන් භාවනා කරන්නට පටන් ගත්තා.

බොහෝ වෙලාවක් එක දිගට සක්මන් කළා. උන්වහන්සේගේ යටිපතුල්වලින් බලවත් ව වේදනා දැනෙන්ට වුණා. එහෙත් නො නවත්වා ම සක්මන් කළා. අවසානයේ සෝණ ස්වාමීන් වහන්සේගේ යටිපතුල් පැලී ගියා. යටිපතුල්වලින් ලේ ගලද්දීත් උන්වහන්සේ සක්මන් කරන්නට ම උත්සාහ ගත්තා.

එන්න එන්න ම කයේ වේදනාව බලවත් වෙන කොට භාවනාවට සිත පිහිටුවා ගැනීමට නො හැකි වී හිත බලවත් ව විසිරෙන්නට වුණා. සෝණ ස්වාමීන් වහන්සේගේ සිතට විශාල දුකක් හට ගත්තා. ‘අනේ මම මේ බුදු සසුනේ පැවිදි වුණේ කොතරම් ආසාවෙන් ද? මේ ධර්මය අවබෝධ කර ගන්ට මම කොතරම් ආසා කළා ද? එ්ත් මට තවමත් මේ ධර්ම මාර්ගයේ දියුණුවක් දකින්නට බැරි වුණානේ? මා හට මේ පැවිදි දිවිය ගැළපෙන එකක් නො වෙයි. මෙසේ කිසිදු දියුණුවක් නො ලබා අහිංසක මිනිසුන් දෙන දන්පැන් මා කෙසේ ද වළඳන්නේ? නැහැ. මම යළි ගිහි බවට පත් වෙනවා. හොඳට පින්දහම් රැුස් කර ගන්නවා’ වශයෙන් කල්පනා කරද්දී උන්වහන්සේගේ සිත පැවිද්දට නො ඇලී යන අයුරු මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දැක වදාළා.

එ් මොහොතේ ම භාග්‍යවතුන් වහන්සේ සෝණ ස්වාමීන් වහන්සේ වැඩසිටි ස්ථානයට ඍද්ධියෙන් වැඩම කොට වදාළා.

‘‘සෝණය, කිම ද මේ සක්මන් මළුවේ විශාල ලේ පැල්ලම්. ඔබ පා පැලී යන තුරු සක්මන් කළා ද?”

‘‘එසේ ය ස්වාමීනී, මා එසේ වීරිය කරද්දීත් මා හට කිසිදු අධිගමයක් කරා යා නො හැක්කේ මන්දැයි මට නො වැටහේ. ස්වාමීනී, මා කල්පනා කළේ මේ අයුරින් ගත කරන පැවිදි දිවියට වඩා මා ගිහි වූවා නම් හොඳයි කියායි?”

‘‘පින්වත් සෝණ, ඔබ ගිහි කල ඉතා හොඳින් වීණා වාදනය කරන්නට හැකියාව තිබූ අයෙක් නේ ද?”

‘‘එසේ ය ස්වාමීනී”

‘‘පින්වත් සෝණ, එ් ඔබ වීණා වයද්දී වීණාවේ තත් බුරුල් ව තිබෙද්දී මිහිරි හඬක් ඉපදුණා ද?”

‘‘නැහැ ස්වාමීනී”

‘‘එසේ නම් සෝණය, මිහිරි හඬ උපන්නේ වීණාවේ තත් ඉතා ම තදින් ඇදී තිබෙනා විට ද?”

‘‘නැහැ ස්වාමීනී, වීණාවේ තත් බොහෝ තදින් ඇද වාදනය කරන්නට ගියහොත් එහි හඬ කර්කශයි, ඇතැම් විට එ් තත් බිඳී යන්නට ද පුළුවනි.”

‘‘සෝණය, වීණාවේ මිහිරි නාදය එසේ නම් කොහොම ද උපදවා ගන්නේ?”

‘‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, වීණාවේ තත් පමණට වඩා බුරුල්වත් නැතිව, පමණට වඩා තදටත් නැතිව මධ්‍යස්ථ ප‍්‍රමාණයකටයි සකස් කර ගත යුත්තේ. එවිට වීණාව වාදනය කිරීමත් පහසුයි. හඬත් මිහිරියි. වීණාවටත් හානියක් වන්නේ නෑ.”

‘‘පින්වත් සෝණ, එ් අයුරින් ම යි තේරුම් ගත යුත්තේ. ධර්මයේ හැසිරීම වුවත් කුසීත ව නම් කරන්නේ ඔහුට ඉන් ඵලයක් ලබන්නට බැහැ. මේ ධර්මය කුසීතයාට අයිති එකක් නො වෙයි. එ් වගේ ම උසුලාගන්නට අසීරු වීරියෙනුත් ධර්ම මාර්ගය පුරුදු කරන්නට බැහැ. පින්වත් සෝණ, අකුසල් දුරු කිරීම පිණිසත්, කුසල් දියුණු කිරීම පිණිසත් ඔබ ගන්නා වීර්යය සැම විට ම අරඹන ලද්දක් විය යුතුයි. එය කිසිවිටකත් පසු නො බසිනා වීරියක් ම විය යුතුයි. එනිසා සෝණය වීරිය සම කරමින් ධර්ම මාර්ගය වඩන්න.”

සෝණ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය හොඳින් හිතට ගත්තා. පැලී ගිය යටි පතුල් සුව වීමට ඖෂධ ගැල්ලූවා. ක‍්‍රම ක‍්‍රමයෙන් වීරිය සම කරමින් ධර්ම මාර්ගය දියුණු කරන්නට වුණා. බලවත් වීරියෙන් යුක්ත වුණා. උපන් අකුසල් දුරු කිරීම පිණිසත්, නූපන් අකුසල් නූපදවීම පිණිසත්, උපදවා නො ගත් කුසල් ඉපදවීම පිණිසත්, හටගත් කුසලයන්ගේ විපුලභාවයට පත්වීම පිණිසත් නොපසුබසිනා වීරියෙන් යුක්ත වුණා. සෝණ ස්වාමීන් වහන්සේ නොබෝ කලකින් ම උතුම් රහතන් වහන්සේනමක් බවට පත් වී වදාළා.

පසු කලෙක භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතා සෝණ මහරහතන් වහන්සේ ගැන මෙසේ පවසා වදාළා. ‘‘පින්වත් මහණෙනි, මාගේ ශ‍්‍රාවක වූ වීරියවන්ත භික්ෂූන් අතරේ මේ සෝණයන් ම අග‍්‍ර වන්නේ ය.”

මහත් වීරියෙන් යුතුව උතුම් දහමේ හැසිරී එ් අමා නිවන් රසය සිතු සිතු විලසට වළඳන උතුම් රහතන් වහන්සේලා ගැන අපිත් සිත පහදවා ගනිමු.

‘යමෙක් පිළිවෙතින් යුතු වෙද
– මනසින් දැඩි කොට
නික්මෙන හැම කෙලෙසුන්ගෙන්
– බුදු සසුනෙහි සිට
එ් උතුමන් පැමිණිය පසු
– සුන්දර නිවනට
වළඳති සුවසේ නිවන ම
– සිතු සිතු විලසට
මෙය බුදු පිරිසෙහි පවතින
– උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම
– සෙත සැලසේවා!’
(රතන සූත‍්‍රය)

මහමෙව්නාව භාවනා අසපුවේ
ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි..

උපුටාගැනීම – මහාමේඝ පුවත් සඟරාව -වියළී මියැදෙන්නට පෙර, ඔබ තෙමා සුරකිනු පිණිස

සබැඳි ලිපිය-https://ift.tt/332VB4E

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2PBOnRk
අපට ශාස්තෘන් වහන්සේ නමක් ඇත…

සියලු ශ්‍රී සම්බුද්ධ ගුණයන්ගෙන් යුතුව තුන්ලෝකාග්‍ර බවට පත්, පංච නේත්‍රයෙන් යුක්ත වූ, අසම ගුණ ඇති අප භාග්‍යවතුන් වහන්සේ පන්සාළිස් වසක් පුරා දහම් අමා වර්ෂාවෙන් තුන්ලොව සනසා සියලු බුද්ධකෘත්‍යය මැනැවින් සම්පූර්ණ කොට වදාරා කුසිනාරාවේ උපවර්තන සාල වනෝද්‍යානයෙහි මලින් පිරී ගිය යමක සල්රුක් අතරේ පිරිනිවන පිණිස පැනවූ සයනයේ සැතැපී වැඩ හිදිමින් මෙසේ වදාළ සේක.

“පින්වත් ආනන්ද, ඔබට මෙබඳු අදහසක් ඇතිවෙන්නට පුළුවනි. ‘දැන් අපගේ මේ ශ්‍රී සද්ධර්මය අතීතයට ගිය ශාස්තෘන් වහන්සේ නමකගේ ය. අප හට අදින් පසු ශාස්තෘන් වහන්සේ නැත්තේ ය’ කියා. ආනන්දය, එය එලෙසින් නොදැක්ක යුතුය. ආනන්දය, යම් ධර්මයක් මා විසින් දේශනා කරන ලද්දේ ද, යම් විනයක් පණවන ලද්දේ ද, අදින් පසු ඔබට ශාස්තෘවරයාණන් වන්නේ ඒ ධර්මයත් විනයත් ය.”

ඒ ධර්ම විනය නම් වූ පූජනීය ශාස්තෘවරයාණන්ව මුග්ධ වූ අධම වූ හිස් පුරුෂයෝ තම හිතුමනාපයට කටයුතු කරන්නට ගොස් කෙලෙසන්නට වුණා. ඒ සෑම අවස්ථාවක ම අධර්මය මැඬ ධර්ම විනය ඉස්මතු කරවන මහා පුරුෂෝත්තම ශ්‍රාවක රත්නයන් පහළ වී වදාළා.

ථේරවාදය

අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී චිතකයේ උණුසුම යාමටත් මත්තෙන් සුභද්‍ර නම් මුග්ධ චීවරධාරියාගේ අභද්‍ර වචනයෙන් සංවේගයට පත් මහා කස්සප මහරහතන් වහන්සේ මහා රහතුන් එක්කොට සංගායනාවක් සිදු කරනු ලැබුවා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් සතරවෙනි මාසයේ සිදුකළ මේ ප්‍රථම ධර්ම සංගායනාවට කියන්නේ ‘ථේරියා’ කියලයි. එහි අදහස තෙරුන් වහන්සේලාගේ දෙය කියන එකයි.

ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගත වෙන තුරුම පිරිසිදු ථේරවාදය පමණයි තිබුණේ. එහෙත් දස අකැප වස්තූන් නිසා හට ගත් අර්බුදය සංසිඳුවමින් කළ දෙවන ධර්ම සංගායනාවෙන් පස්සේ අන්‍ය ආචාර්යවාද රාශියක් හට ගත්තා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසීයක් ගත වන විට ථේරවාදයෙන් වෙන් වූ ප්‍රධාන ආචාර්යවාදයන් දාහතක් හටගෙන තිබුණා. ඊට අමතරව සුළු සුළු බෙදීම් රාශියක් ම හටගත්තා.

අනාගතේ සසුනට කුමක් වේවි ද?

දෙවැනි ධර්ම සංගායනාව සිදුකළ සබ්බකාමී සහ යස යන මහරහතන් වහන්සේ දෙනම ප්‍රධාන මහරහතන් වහන්සේලා අනාගතය ගැන විමසා බැලුවා. අනාගතයේ නානාලබ්ධීන් ගත් උදවිය පැවිදි වී මේ ශාසනයේ මහා ආරවුලක් හදනා බව ඒ ඉර්ධි වශීප්‍රාප්ත මහ තෙරුන් වහන්සේලාට දැක ගන්න ලැබුණා. ඒ උපද්‍රවය වෙනුවෙන් මැදිහත් වී ශාසනය බේරාගැනීමේ කටයුත්තට උරදෙන්නට හැක්කේ කවර කෙනෙකුට ද කියා ඒ රහතන් වහන්සේලා විමසා බැලුවා. සකල කාම ලෝකයේ ම එබඳු කටයුත්තකට බල පරාක්‍රම ඇති පුණ්‍ය තේජස් ඇති දෙවියෙක් සිටියේ නැහැ. නමුත් මහා පුණ්‍ය තේජස් ඇතිව බ්‍රහ්ම ලෝකයේ සිටින තිස්ස නම් බ්‍රහ්මරාජයා දැන් ගෙවී ගිය ආයුෂ ඇතිව සිටිනා බව උන්වහන්සේලා දුටුවා.

සසුන රකින පින්වතෙක් සිටින්නේ…

පශ්චිම ජනයා කෙරෙහි අනුකම්පා ඇති ඒ රහතන් වහන්සේලා ඒ බ්‍රහ්ම ලෝකයට වැඩම කොට තිස්ස බ්‍රහ්මරාජයාට මෙසේ වදාළා.

“මහා පුණ්‍ය තේජස්වී තිස්ස බ්‍රහ්මරාජය, ධර්ම විනය වූ කලී ශ්‍රාවක අපගේ පරමෝත්තම ශාස්තෘවරයාණෝ බව තෙපි දන්නාහු ය. දැන් නම් ඊට කිසි උපද්‍රවයෙක් නැත්තේ ය. එනමුත් නානාලබ්ධීන්ට රුචි මුග්ධයෝ සිවුරු පොරවාගෙන අනාගත සසුන කෙළෙසන්නාහුය. ඒ උපද්‍රවයේ දී මැදිහත් වී අප ශාස්තෘන් වහන්සේගේ ධර්ම විනය සුරැකීමේ බලපරාක්‍රමයත්, පුණ්‍ය තේජසත් තොපට ඇති බැව් අප දනිමු. එනිසා ධර්ම විනය සුරකිනු පිණිස තොප ප්‍රතිඥා දිය යුතුය.”

ගෞතම සසුන බබුළුවනවා කියන කාරණයට තිස්ස බ්‍රහ්මයාගේ සිත අතිශයින් ම සතුටු වුණා. තමන් ඒ සඳහා මැදිහත් වන බවට ඒ රහතන් වහන්සේලා ඉදිරියේ ප්‍රතිඥා දුන්නා. තිස්ස බ්‍රහ්මයාගේ ප්‍රතිඥාව ලබාගත් ඒ රහතන් වහන්සේලා මීළඟට වැඩම කළේ සිග්ගව සහ චණ්ඩවජ්ජී යන තරුණ භික්ෂූන් වහන්සේලා සමීපයටයි.

මේ දෙනම වහන්සේලා අපගේ උපාලි මහතෙරුන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් පැවත එන මහා පින්වතුන් වහන්සේලා දෙනමක්. උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ දාසක නම් ස්ථවිර නමක් වැඩ සිටියා. ඒ දාසක ස්ථවිරයන්ට සෝණ නමින් ශිෂ්‍යයෙක් සිටියා. ඔය සෝණ තෙරුන් සමීපයේ ශිෂ්‍යයන් ලෙස ඒ වෙද්දී වයස අවුරුදු දහඅටක් වූ මේ සිග්ගව සහ චණ්ඩවජ්ජි කියන දෙනම වහන්සේ පැවිදි වුණා. මනා නුවණැති මේ තරුණ භික්ෂූන් දෙනම පැවිදි උපසම්පදාවෙන් ටික කලක් ගත වෙද්දී ම අභිඥාවන් සහිතව අරහත්වයට පත් වී වදාළා.

ඇවැත්නී, ඔබලා දඬුවම් ලැබුමට සුදුසුයි…

මේ පටිසම්භිදාලාභී අරහත් දෙනම වහන්සේලා කරා පැමිණි දෙවැනි ධර්ම සංගායනාව සිදුකළ රහතන් වහන්සේලා මෙසේ පැවසුවා.

“ඇවැත්නී, ඔබ දෙනම දෙවැනි ධර්ම සංගායනාවේ දී ඊට සහභාගී වෙමින් සහයෝගය දැක්වූයේ නෑ. එනිසා ඔබලා දඬුවමට සුදුසු යි. අපි ඔබලාට දඬුවමක් සිදු කරනවා. තව අවුරුදු එකසිය දහ අටකට පස්සේ ගෞතම ශාසනයට මහා උපද්‍රවයක් ඇති වෙනවා. ඒ වෙද්දී එය සංසිඳුවන්නට අප ජීවතුන් අතර සිටින්නේ නැහැ. ඒ ශාසනික අර්බුදය සංසිඳවිය හැකි මහා ප්‍රඥාවකින් යුතු තිස්ස නම් බ්‍රහ්මරාජයා නුදුරු දිනයක ම මොග්ගලී බ්‍රාහ්මණයාගේ නිවසේ පිළිසිඳ ගන්නවා. එතකොට ඔය දෙනමගෙන් එක නමක් සුදුසු කාලයේ දී ඒ පින්වන්තයාව පැවිදි කරන්ට ඕන. අනිත් නම ඉතා යහපත් ලෙස ශ්‍රී මුඛ බුද්ධ වචනය තිස්සයන් හට උගන්වන්ට ඕන.”

‘මෙතැනින් යන්න’ කිය වචනේ ලැබුණා…

ඒ වචනය හිස් මුදුනින් පිළිගත් ඒ රහතන් වහන්සේලා දෙනම කල් බලමින් වැඩ සිටියා. ඒ මහා පින් ඇති තිස්ස බ්‍රහ්මරාජයා මොග්ගලී බැමිණියගේ කුස පිළිසඳ ගත් බව සිග්ගව මහරහතන් වහන්සේ දැන ගත්තා. එදා පටන් උන්වහන්සේ නොකඩවාම අවුරුදු හතක් ඒ නිවසට පිණ්ඩපාතය පිණිස වැඩම කොට වදාළා. බ්‍රාහ්මණ නිවසක් වූ එහිදී පිණ්ඩපාතයක් තබා මෙතැනින් යන්න කියන වචනේවත් උන්වහන්සේට ලැබුණේ නෑ. එහෙත් සත්වෙනි අවුරුද්දේ දවසක ඒ නිවසෙන් ‘මෙතැනින් යන්න’ කියන වචනය ලැබුණා.

එදා මොග්ගලී බමුණා කිසියම් කටයුත්තකට නිවසෙන් බැහැර වෙලයි සිටියේ. සිග්ගව තෙරුන් වහන්සේට අතරමඟදී මොග්ගලී බ්‍රාහ්මණයාව හමු වුණා.

“කිම? අපගේ නිවසෙන් ඔබට කිසිවක් ලැබුනා දැ” යි බ්‍රාහ්මණයා තෙරුන් වහන්සේගෙන් විමසුවා. “එසේය බ්‍රාහ්මණය” කියා උන්වහන්සේ පිළිතුරු දී වැඩම කළා.

තමා නැති මොහොතේ අර මුඩු ශ්‍රමණයා හට තෙපි මොනවා හෝ මේ නිවසෙන් දුන්නා ද කියා මොග්ගලී බමුණා නිවැසියන්ගෙන් විමසුවා. කිසිවක් ම නොදුන් බව දැන පසුදින පිඬු පිණිස වැඩිය විට තෙරුන් වහන්සේට බොරු කීම ගැන ගරහන බලාපොරොත්තුවෙන් සූදානම්ව සිටියා.

මේ ශ්‍රමණයෝ සුළු දෙයකිනුත් තුටු වෙනවා නොවැ…

දෙවෙනි දවසේත් සිග්ගව තෙරුන් වහන්සේ ඒ නිවසට පිණ්ඩපාතය පිණිස වැඩම කළා. මොග්ගලී බ්‍රාහ්මණයා තම නිවසින් කිසිවක් නොලැබීත් ලැබුණා කියා බොරු කිව් බවට චෝදනා කළා.

“පින්වත් බ්‍රාහ්මණය, මේ නිවසට මම සත් අවුරුද්දක් පිඬු පිණිස වැඩම කළත් ‘මෙතැනින් යන්න’ කියන වචනයවත් මට ලැබුණේ නෑ. එහෙත් පෙර දිනයේ මට ‘මෙතැනින් යන්න’ කියන වචනය ලැබුණා. කිසිවක් ලැබුණා කියා මා පැවසුවේ ඒ නිසයි” කියලා උන්වහන්සේ පිළිතුරු දුන්නා.

‘මේ ශ්‍රමණයෝ මෙබඳු සුළු දෙයකුත් ලැබ තුටු වෙනවා නොවැ. නිහතමානී ගුණ බබලනවා නොවැ.’ කියලා මොග්ගලී බ්‍රාහ්මණයා හරීයට පැහැදුණා. එදා තමා උදෙසා ම සකස් කළ ආහාරයෙන් පිණ්ඩපාතය පූජා කළා. දිනපතා ම තම නිවසේ උන්වහන්සේ වෙනුවෙන් පිණ්ඩපාත දානය දෙන්ට පටන් ගත්තා.

විශේෂ අසුන…

ඔය විදියට කාලය ගත වෙද්දී තිස්ස කුමාරයා වයසින් මෝරා දහසය වියැති තරුණයෙක් බවට පත් ව සිටියා. ඔහු ත්‍රිවේදය පරතෙරට ම ඉගෙන සිටියා. සිග්ගව තෙරුන් වහන්සේ දැන් කුමාරයා පැවිදි කිරීමට සුදුසු කාලය බව දැන ගත්තා. එදා උන්වහන්සේ පිණ්ඩපාතය පිණිස නිවසට වඩිද්දී නිවසේ ඇති සියලු හිඳගන්නා අසුන් නොපෙනී යන පරිදි ඉර්ධියක් සිදුකළා. පෙනෙන්ට තිබුණේ තිස්ස කුමාරයා හිඳගන්නා විශේෂ අසුන විතරයි.

බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි කෙනෙක් නිසා කුඩා කළ පටන් ම තිස්ස කුමාරයා පිරිසිදු බවට ප්‍රියයි. ඒ නිසා තමාට වෙන ම අසුනක් නිවසේ වෙන් කරගෙනයි සිටියේ. ඒ අසුනේ මොග්ගලී බ්‍රාහ්මණයාවත් හිඳගන්නේ නැහැ. කුමාරයා නිවසේ නැති විට ඒ අසුන වෙන ම පිරුවටයකින් වහලා එල්ලා තබනවා. තෙරුන් වහන්සේගේ ඉර්ධිය නිසා නිවැසියන් පෙනෙන්ට තිබූ ඒ ආසනේ ම උන්වහන්සේ වෙනුවෙන් පිළියෙල කළා. ඒ වෙලාවේ තිස්ස කුමාරයා නිවසට පැමිණුනා. තමන්ගේ ආසනේ තෙරුන් වහන්සේ වාඩි වූ බව දැක නොසතුටු වචන පිට කළා.

ඒ මන්ත්‍රය මටත් දෙනවා ද?

සිග්ගව තෙරුන් කිපුණු කුමාරයාගෙන් ‘මානවකය, කිම? තොප මන්ත්‍ර දන්නේ දැ’යි අසා සිටියා. තම උගත්කම නිසා කුමාරයාත් ‘කිම? ඔබ වහන්සේ මන්ත්‍ර දන්නේ දැ’ යි පෙරළා ඇසුවා. සිග්ගව තෙරුන් ගිහි කාලයේ ත්‍රිවේදයේ පරතෙරට ම ගිහිල්ලයි හිටියේ. ‘මමත් මන්ත්‍ර දන්නවා’ කියා තෙරුන් වහන්සේ පිළිතුරු දුන්නා. එතකොට තිස්ස කුමාරයා වේදයේ තිබෙන ගැටමුසු තැන්වලින් ප්‍රශ්න කරන්ට වුණා. සතර පටිසම්භිදාලාභී සිග්ගව තෙරණුවෝ ඒ සියල්ලක් ම හො`දාකාරව ම විසඳනු ලැබුවා. කුමාරයාගේ ප්‍රශ්න විස`දා අවසානයේ තෙරුන් වහන්සේ කුමාරයාට යමකප්‍රකරණයේ චිත්ත යමකයේ එන පැණයක් ඉදිරිපත් කළා.

යස්ස චිත්තං උප්පජ්ජති, න නිරුජ්ඣති
තස්ස චිත්තං නිරුජ්ඣිස්සති, න උප්පජ්ජිස්සති
යස්ස වා පන චිත්තං නිරුජ්ඣිස්සති, න උප්පජ්ජිස්සති
තස්ස චිත්තං උප්පජ්ජති, න නිරුජ්ඣතී’ති.

“යම් රහතන් වහන්සේ නමකගේ සිත උපදී ද, එය නිරුද්ධ වෙන අවස්ථාවට පත් නොවී තිබෙන නිසා නිරුද්ධ නොවේය. නිරුද්ධ වෙන අවස්ථාවට පැමිණි විට යළි අනාගතයට සිතක් පහළ නොවන හෙයින් නූපදින්නේය. අනාගත අවස්ථාවේ නූපදින හෙයින් අනාගතයේ නිරුද්ධ වන්නට සිතක් නැත්තේය. එනිසා අනාගතයෙහි ඒ රහතන් වහන්සේට සිතක් නූපදින්නේය. නිරුද්ධ ද නොවන්නේ ය.”

මේ ප්‍රශ්නය ඇසූ විට තිස්ස කුමාරයාට කිසිවක් හිතා ගන්නවත් බැරුව ගියා. තමා උගත් යැයි තිබූ මාන්නය සිඳී ගියා. “භික්ෂුව, ඒ මන්ත්‍රය කුමක් ද?” කියා කුමාරයා විමසුවා.

“කුමාරයෙනි, එය බුද්ධ මන්ත්‍රයක්.”

“භික්ෂුවට පුළුවනි ද මා හටත් ඒ මන්ත්‍රය ලබා දෙන්නට?”

“අප වගේම වුණෝතින් ඒ මන්ත්‍රය ලබා ගන්ට පුළුවනි.” කියන වචනයෙන් සිග්ගව තෙරුන් වහන්සේ කුමාරයාගේ සිතේ පැවිදි බවට කැමැත්ත ඇති කළා. මන්ත්‍රය ඉගෙන ගන්නා අදහසින් මේ පින්වන්ත කුමාරයා මව්පියන්ගේ අවසර ලබාගෙන සිග්ගව තෙරුන් වහන්සේ සමීපයේ පැවිදි වුණා.

තිස්ස භික්ෂුවගේ අරහත්වය…

සිග්ගව තෙරුන් වහන්සේ තිස්ස සාමණේරයන් හට මුල් කර්මස්ථානය ලෙස අසුභ කර්මස්ථානය කියා දුන්නා. දිගටම දෙතිස් කුණුප භාවනාව සිදු කරද්දී මහානුවණැති තිස්ස සාමණේරයෝ ටික කලකින් ම සෝවාන් ඵලයට පත් වුණා. තම ශිෂ්‍ය නම සෝවාන් වූ බව දැන සිග්ගව තෙරුන් වහන්සේ වැඩිදුර උගැනීම පිණිස තිස්ස සාමණේරයන්ව චණ්ඩවජ්ජී තෙරුන් සමීපයට පිටත් කළා. චණ්ඩවජ්ජී තෙරණුවෝ සූත්‍ර පිටකයත්, අභිධර්ම පිටකයත් තිස්ස සාමණේරයන් හට මැනැවින් ප්‍රගුණ කරවනු ලැබුවා.

සිග්ගව තෙරුන් වහන්සේ තිස්ස සාමණේරයන් උපසම්පදා කරවා විනය පිටකය මැනැවින් උගන්වා, තුන් පිටකයේ ම හොඳින් ප්‍රගුණ කරවනු ලැබුවා. මෙසේ ත්‍රිපිටකධාරී බවට පත් ඒ තරුණ භික්ෂුව විදර්ශනා භාවනාව දියුණු කොට නොබෝ කලෙකින්ම අභිඥා සයකින් යුත් අර්හත්වය සාක්ෂාත් කළා. මහා නුවණැති ඒ තෙරණුවෝ මොග්ගලීපුත්ත තිස්ස මහ තෙරුන් නමින් එකල දෙව්මිනිසුන් අතරේ ප්‍රකට වුණා. ඒ පිළිබඳ මහාවංශය පවසන්නේ මේ අයුරින්.

අතීව පාකටෝ ආසි – චන්දෝ’ව සුරියෝ’ව සෝ
ලෝකෝ තස්ස වචෝ’මඤ්ඤී – සම්බුද්ධස්ස වචෝ විය

‘ඒ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ සඳ මඬලක් සෙයින්, හිරු මඬලක් සෙයින් අතිශයින් ම ප්‍රසිද්ධියට පත්වුනා. ලෝකයා උන්වහන්සේගේ වචනය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනයක් ලෙසින් මහත් හරසරින් පිළිගත්තා.’

ධර්මාශෝක අධිරාජයා…

ඔය අයුරින් අපගේ මහතෙරුන් වහන්සේ ඉතා ප්‍රකටව සම්බුදු සසුන් කෙත බබුළුවන සමයේ අහසේත් අණසක ඇතිව, පොළොවේ ද යොදුනක් අණසක ඇතිව, මහා පුණ්‍ය ඉර්ධීන්ගෙන් යුතුව දඹදිව ඒකච්ඡත්‍ර කළ අශෝක නම් මහාරාජයා නිග්‍රෝධ සාමණේර රහතන් වහන්සේගෙන් බණ අසා සම්බුදු සසුනේ පහන් සිත් ඇත්තෙක් වුණා. දිනපතා භික්ෂූන් හැටදහසක් මාළිගයට වැඩම කරවා දන්පැන් පුදන්නෙක් වුණා. මේ රජතෙම ඉතා ගෞරවයෙන් අපගේ මොග්ගලීපුත්තතිස්ස මහතෙරුන්ව ඇසුරු කළා. රජුගේ මළණුවන් වූ යුවරාජ තිස්සයන් පැවිද්දට අවසර ඉල්ලද්දී රජු මහා පෙරහරින් විහාරයට ගෙන ගොස් ඔහුව සම්බුදු සසුනේ පැවිද්ද පිණිස භාර කළා.

දිනක් අප තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මස්කන්ධය අසූහාරදහසක් බව ඇසූ අශෝක මහාරාජයා තමන් ඒ වෙනුවෙන් දඹදිව් තලයේ අසූහාරදහසක් විහාර කර්මාන්ත කරවන බවට මොග්ගලීපුත්තතිස්ස මහතෙරුන් හට ප්‍රතිඥා දුන්නා. ඔය විදියට අශෝක රජු ධර්මාශෝක බවට පත් වුනා.

ලෝක විවරණ මහා පෙළහර…

ඒ අසූහාරදහසක් විහාර කර්මාන්තයන් තුන් අවුරුද්දකින් ම අවසන් වුනා. මොග්ගලීපුත්තතිස්ස මහතෙරුන් ප්‍රධාන මහා සඟරුවනත්, භික්ෂුණීනුත් එක්ව අසූ කෝටියක් මහාසංඝයා වහන්සේ රජුගේ මේ විහාර පූජා පින්කමට අශෝකාරාමයට එක් වුනා. එහි රැස්වූ ක්ෂීණාස්‍රවයන් වහන්සේලා රජු හට සම්බුදු සසුනේ චිත්තප්‍රසාදය දියුණු කරවන අදහසින් ලෝක විවරණ නමින් මහා පෙළහරක් සිදුකළා. ඒ නිසා රජු එක ම මණ්ඩපයක හිඳ දඹදිව පිහිටි අසූහාරදහසක් විහාර පූජාවන් සියැසින් ම දැක ගත්තා.

අතිශයින් ම සතුටට පත් රජු අපගේ මොග්ගලීපුත්තතිස්ස මහතෙරුන් වහන්සේගෙන් “ස්වාමීනී, මේ සුගත ශාසනයෙහි පරිත්‍යාගයන් සිදුකළ අය අතරේ අග්‍ර කවුරුන් ද?” කියා අසා සිටියා.

“මහරජ්ජුරුවෙනි, අප සුගත තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේදීවත් ඔබට සමාන වූ ත්‍යාගවන්තයෙක් බුදුසසුනේ සිටියේ නෑ.”

“එසේ වී නම් ස්වාමීනී, මා වැනි කෙනෙක් මේ බුදුසසුන් දායාදය ලැබුවෙක් නොවේද?”

එතකොට මහා නුවණැති මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ධර්මාශෝක රජුගේ පුත්‍රරත්නය වූ මිහිඳු කුමරුගේත්, දියණී වූ සංඝමිත්තාවගේත් මහා පුණ්‍ය තේජානුභාවය දැක ඒ පැණයට මෙසේ පිළිතුරු දුන්නා.

මහරජ්ජුරුවෙනි, ඔබ මහා ත්‍යාගවන්තයෙක් වුනත් බුදුසසුන් දායාදය ලැබූවෙක් නම් නොවේ. ඔබ සිවුපසය පුදන දායකයෙක් පමණයි. නමුත් යමෙක් තම පුතු හෝ දියණිය බුදු සසුනේ පැවිදි කරවනවා නම් මේ සසුන් දායාදය ලැබූ කෙනා වන්නේ ඔහුයි.”

මේ වචනය නිසා රජුට සම්බුද්ධ ශාසන දායාදයට හිමිකරු වීමේ ආසාව උපන්නා. ඒ නිසාවෙන් ම මහා පින්ඇති මිහිඳු කුමරුටත්, දියණී සංඝමිත්තාවන්ටත් පිය රජුගේ කැමැත්තෙන් පැවිදි වීමේ අවස්ථාව උදා වුණා. පසුකලෙක ඒ සංඝමිත්තා භික්ෂුණිය සඳරේඛාවක් සෙයින්, මහා මහින්ද භික්ෂුව සූර්ය මණ්ඩලයක් සෙයින් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය නම් ගගන තලයේ සෝභමානව වැඩ සිටියා. අප ලක්දෙරණට අනුබුදුවරයාණන් වහන්සේ වූ ඒ මහා මහින්ද තෙරුන් හට තුන්පිටකය ප්‍රගුණ කර වූ පරම පූජනීය උපාධ්‍යායෝත්තමයාණන් වහන්සේ වුණේ අපගේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ම යි.

උපුටා ගැනීම

මහාමේඝ සඟරාව

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Nr16Uf
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 87 🧡💛

🧡💛 දස දහසක් සක්වළ රුක්ෂලතාවන් මලින් ඵලින් බරකල සිඛී බුදුහාමුදුරුවෝ 03 🧡💛

🍂 සිඛී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා.🍂

විපස්සී බුදුරජුන්ට පසු කාලයෙහි සම්බුදුවූ, දෙපා ඇති සතුන්ට උතුම්වූ, අසමවූ, සමාන පුද්ගලයෙකු නැති ’’සිඛී’’ නම් ජිනරාජතෙම විය.

මහර්ෂීවූ බුදුරජුගේ නුවර ’’අරුණවතී’’ නම්. පිය තෙම ’’අරුණවන්තු’’ රජය. වැදූ මව් ’’පභාවතී’’ නම් වූවාය.

ඒ බුදුරජතෙම අවුරුදු සත් දහසක් ගිහිගෙයි වාසය කෙළේය. ’’සුවන්‍ද’’ ය, ’’ගිරි’’ ය, ’’වහන’’ ය යන උතුම් තුන් ප්‍රාසාද තුණක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ විසිහතර දහසකි. බිරින්ද ’’සබ්බකාමා’’ නම් වූවාය. පුත් තෙම ’’අතුල’’ නම් වී.

(සිඛී) පුරුෂොත්තම තෙම සතර පෙර නිමිති දැක, ඇත් යානයෙන් මහබිනික්මන් කෙළේය. අට මසක් මුළුල්ලෙහි ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහා වීර්‍ය්‍ය ඇති නරදෙටු ’’සිඛී’’ ලොවග නා හිමිඳු බඹහු විසින් අයදනා ලද්දේ, ’’මිගදාය’’ නම් නගරයෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ ’’සිඛී’’ බුදුරදුන්ටද, ’’අහිභූ’’ ද, ’’සම්භව’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’ඛෙමඞ්ක’’ නම් වී.

’’මඛිලා’’ ද, ’’පදුමා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’ඇටඹ රුක’’ යයි කියනු ලැබේ.

’’සිරිවඩ්ඪ’’ ද, ’’නන්‍ද’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’චිත්ත’’ ද, ’’සුගුත්ත’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

රන් පහන් කණුවක් හා සමානව, දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත්, ඒ බුදුරද තෙම උසින් සැත්තෑ රියනක් උස්වී.

ඒ (සිඛී) බුදුරජුන්ගේද බඹයක් තැන් පැතිර පවතින බැබලීමක් ඇති කයින් (නික්මෙන) ප්‍රභාවෝ රෑ දවල් නිතර තුන් යොදුනක් පමණ දිශානුදිශාවන්හි පැතිරෙත්.

මහර්ෂීවූ ඒ (සිඛී) බුදුරජුන්ට අවුරුදු සැත්තෑ දහසක් ආයුෂ වී. උන්වහන්සේ ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.

දහම් වැසි වස්වා, දෙවියන් සහිත ලෝ වැස්සන් තෙමා, ඒ නිවනට පමුණුවා, ශ්‍රාවකයන් සහිතවූ උන්වහන්සේ පිරිනිවි සේක.

අසූ අනූ ව්‍යඤ්ජනයෙන් යුත්, දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?

සිව්සස් අවබෝධ කළ ’’සුඛී’’ මුනිසඳු ’’දුස්ස’’ නම් ආරාමයෙහි පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය තුන් යොදුනක් උස්වී. (හෙවත් තුන් යොදුනක් උසට බඳින ලදී.)

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
30-10-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2PBBPcu
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 86 🧡💛

🧡💛 දස දහසක් සක්වළ රුක්ෂලතාවන් මලින් ඵලින් බරකල සිඛී බුදුහාමුදුරුවෝ 02 🧡💛

සිඛී බුදුපියාණන් වහන්සේ සතිස් යොදුන් දක්වා පැතිරගිය මාරසේනවා තනිවම පරදවා බුද්ධත්වයට පත්වී ධර්මය දේශණා කිරීමට බ්‍රහ්මයාගේ ඇරයුම පිළිගත්තා. ඒ සඳහා හේතු සම්පත් ඇතිව සිටියේ උන්වහන්සේ හා සමග පැවිදි දිවියට ඇතුලත් වූ හැත්තෑලක්ෂයක් වූ පිරිවර. උන්වහන්සේ ඒ මොහොතෙහිම රණහංසයකු සේ අහසට නැග මිගාචිර උයනට බැස ඒ භික්ෂු සංඝයා අතරට ගියා. එහි හැත්තෑලක්ෂයක් භික්ෂූන් පිරිවරණ ලද උන්වහන්සේ ඔවුන් හමුවේ දම්සක් පැවැත්වුවා. එකළ කෙළලක්ෂයක් දෙනාට ධර්මාවබෝධ වුනා.

නැවත අරුණවතී රාජධානිය සමීපයෙහි අභිභූ රාජපුත්‍රයාටද සම්භව රාජපුත්‍රයාටද යන පිරිවර සහිත දෙදෙනාට දහම් දෙසා නවකෙළදහසකට දහම් අමා පොවනු ලැබුවා. ඒ දෙවන ධර්මාභිසමයයි.

තවත් දිනෙක සුරියවතී නුවර දොර සපු රුක්මුල තීර්තකයන්ගේ මද මාන බිඳීම පිණිසද සියලු ජනයාගේ මෝක්ෂාර්ථය සඳහාද යමක ප්‍රාතිහාර්ය කරමින් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශණා කරනවිට අසූකෙළ දහසකට තෙවන දර්මාවබෝධය වුනා.

ඒ කාලේ අප මහා බෝසතාණෝ පරිභුත්ත නුවර අරින්දම නම් රජව රජකම් කරමින් සිටියේ. සිඛි බුදුරජාණන් වහන්සේ පරිභුත්ත නුවරට වැඩි බව අසා සපිරිවර සමග රාජභවනයෙන් පෙරගමන් කොට පාදපද්ම යුගලයෙහි පිරිස් සහිතව සරසරින් නැමද දසබලයන් වහන්සේට ආරාධනා කොට සතියක් ආශ්චර්ය කුල සම්පත් ශ්‍රද්ධාවට අනුරූප මහදන් දී සළු ගබඩා හැර බුදුපාමොක් බික්සඟනට මහඟු සළු පුදනු ලැබුවා.

එමෙන්ම තමන්ගේ බල රූප ලක්ෂණ ජව සම්පන්න රන්දැල් මලාදියෙන් සරසන ලද නවරන් සොඳුරු දළකොපු චාමර යුග්මයෙන් බබළන මහත් මෘදු කන් ඇති සඳරේඛා මෙන් බබළන මුවශෝභා යුත් එවරණ ඇතු මෙන් සතුරන් වළකන වර ඇතුද පුදා ඇත් ප්‍රමාණයෙන් කැපබඩු ද පුජා කළා. මේ සියල්ල ඉවසා වැදෑරූ සිඛි සාස්තෘන් වහන්සේ මෙයින් එක්තිස්වන කල්පයෙහි මොහු ගෝතම නමින් බුදුවන්නේ යැයි නියත විවරණ දී වදාරනු ලැබුවා.

නැවතත් දිව්‍යමය සාදුකාරය අත්පොලසන් හඬ සක්වලෙන් සක්වලට පතුරුනා. අප මහා බෝසතාණෝ තවත් නියත විවරණයක් අපව සතර අපායෙන් ගලවන්න ලබාගෙන නැවතත් මේ ඝෝර සසරේ නතරවුනේ එලෙසයි.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
29-10-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/32WhP8z
ලෝකයා විවිධ ආගම් සරණ ගියත් සැබවින්ම සියලුම සත්ත්වයන්හට සදා සැනසිල්ල උදාකරදෙන එකම සරණ තිසරණය පමණි. “නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණංවරං. . . නත්ථි මේ සරණං අඤ්ඤං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං” බුදුරජාණන් වහන්සේගේ සරණ හැර මට වෙන සරණක් නැත්තේය, උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයේ සරණ හැර මට වෙන සරණක් නැත්තේය. ආර්ය මහා සංඝ රත්නයේ සරණ හැර මට වෙන සරණක් නැත්තේය. මෙය පරම සත්‍යයකි. මේ සත්‍යානුභාවයෙන් මට සෙතක්, ශාන්තියක්, යහපතක්ම වේවා, යනු එහි අර්ථය යි.
සෙත් පිරිත් අඩංගු අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
https://ift.tt/2NkD7pB