Monthly Archives: December 2018

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2F10KlF
නව වසරට පිදෙන ධර්ම දානය..

සියල්ලෝ සිල් ගුණවත් උතුමෝ වෙත්වා..

භික්ෂුවක් දත යුතු අරුණෝදය…

අරුණෝදය හා අරුණෝද්ගමනය ත්‍රිපිටක පෙළ අටුවා මත පදනම් වී ඇති කාරණයකි. මෙය භික්ෂුවට වැදගත් වන, සෑම භික්ෂුවක්ම අනිවාර්‍යයෙන්ම දත යුතු කරුණකි.. මන්දයත් භික්ෂුවගේ විනය නීති බොහෝමයක් මේ අරුණෝද්ගමනය හා බැඳී පවතින බැවිනි..
ඒ අතර ආහාර වැළඳිය හැකි වේලාව,
ආපත්ති පටිච්ඡන්න බවට පත් වීම,
ගම් වැදිය හැකි වේලාව,
තෙචීවර ලඟ තබා ගත යුතු වේලාව වැනි සිකපද ද, ගරු ලෙස සලකන විනය කර්ම අතර වත් මානත් පිරීම් මෙන් ම කඨින පින්කම් ආදිය ද බැඳී පවති.. විශේෂයෙන්ම භික්ෂුවකගේ කැපී පෙනන සිකපදයක් වන ආහාර ගැනීම් පිළිබඳව වූ සික පදය සැලකීමේදී මෙය භික්ෂුවක් විසින් අනිවාර්‍යයෙන් දත යුතු අවශ්‍ය වන කරුණක් බව සිහිපත් කළ යුතු ය..

එහිද ලංකාවේ 2002 වර්ෂයේ සම්මත සංඛ්‍යා ලේඛණ වලට අනුරූපීව ඉර උදාව මධ්‍යහනය හා ඉර බැසීම පිළිබඳව කාල සටහන් නිකුත් කර ඇත.. ලංකාවේ අරුණ උදාව සිද්ධවනනේ ඉර උදාවට වි.30කට පමණ පෙර ය.. එයද වලාකුලු, මීදුම් ආදියෙන් අහස අපැහැදිලි නම්, විශාල ගස්, කඳු, ගල් ආදියෙන් ආවරණය වී ඇත්නම් ඉහත කී වේලාවෙන් තවත් වි.10ක් පමණ පසුවි අරුණ උදාව සිදු වෙයි.. භික්ෂුවට දන් වැළඳීම්, ගම් වැදීම් ආදිය කළ හැක්කේ ඉර උදාවෙන් පසු නොවේ.. ඉර උදාවට පෙර සිද්ධ වන අරුණෝද්ගමනයෙන් පසු ය. එවිට එය ලංකාවේ සම්මත වේලාවෙන් ඉර උදාවට විනාඩි 30කට පමණ පෙර සිදු වේ..

එ් අනුව අරුණෝදය වේලාවේදී නැගෙනහිර දිශාවේ ක්ෂිතජයෙහි තද රතු පාට ද අහස් තලේ සිව් දිසාවෙහි සුදු පාටද දක්නට ලැබේ.. එම වේලාවේම මුළු රාත්‍රියම ගෙවී අවසන් වී අවට පරිසරයේ අඳුරත් නැති වී රාත්‍රිය එළිවෙයි. අවට පරිසරය පෙනීමට ප්‍රමාණවත් ස්වභාවික ආලෝකයක් පවතී.. මෙය අරුණොද්ගමනයේ නිමිති බව දත යුතු ය.. පෙර කල නම් පාන්දර අත්ල දිහා බැලූ කළ ඉදින් කරදරයක් නැතිව අත්ලේ රේඛා පෙනේ නම් එවිට අරුණෝද්ගමනය බව කියා ඇත.. කොස් කොලය දිහා බැලූ කළ කොස් කොළයේ නැට්ට කරදරයක් නැතිව ස්වභාවික අලෝකයෙන්ම පෙනේ නම් එය ද අරුණ උදාවී ඇති බවට නිමිත්තක් බව පූර්ව කාලයේ ව්‍යවහාරයේ පැවතී ඇත.. ඉර බැසීම නම් ඉර අපරදිගට හැරීමේ කාලයයි.. ලංකාවේ සම්මත ඉර උදාවේ හා මධ්‍යහන කාල ගෙන පහත සඳහන් සටහන සකස් කර ඇත.. සියල්ලෝ මෙය ප්‍රයෝජනයට ගනිත්වායි අන්තර්ජාලයට සැකසුවෙමි..

ඉදින් විකාලයට හසු නොවීමට නම් සටහන් කර ඇති කාලයන්ගෙන් විනාඩි ගණනක් වැඩි පුර තබාම කිස නිම කරගැනීමට හැකි නම් වඩා සුදුසු බව ද සිහිපත් කරමින් නවතිමි.. සැමට තෙරුවන් සරණ වේවා..

කළ්‍යාණ මිත්‍ර,
කිරුළපන ධම්මවිජය හිමි.
Kirulapana Dhammawijaya Himi

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2SpeitU
අන්‍යයෝ නැසෙත්වා යි සිතීම ව්‍යාපාද නම් වේ. මෙය බොහෝ සෙයින් ඊර්ෂ්‍යාව මුල්කොට ඇතිවන පාපයකි. අනුන් මළ කල්හි ඔවුන්ගේ වස්තුව තමාට හිමිවීම ගැන බලාපොරොත්තුවෙන් අනුන් ගැන එසේ සිතන්නෝ ද වෙති. ඔවුන්ගේ ඒ ව්‍යාපාදය ලෝභය නිසා ඇතිවන්නකි. සමහරවිට තමාට කරදර කරන්නෝ නැසෙත්වායි ද සිතති. එය ද්වේෂය නිසා සිදුවන්නකි. (1) අන්‍ය සත්ත්වයකු වීමය (2) ඔහුගේ විනාශය සිතීමය යන අඞ්ග දෙකින් ව්‍යාපාද කර්මය සිදු වේ. අනුන් කෙරෙහි කෝපය ඇති වූ පමණින් ම ව්‍යාපාද කර්මය සිදු නොවේ. නැසෙත්වා යි සිතූ කල්හි කර්මය සිදු වේ. එහි අල්ප සාවද්‍ය මහාසාවද්‍ය භාවය හා විපාක පරුෂ වචන කර්මයෙහි මෙන් දත යුතු ය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/n2is5I

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2Vf7UHQ
සර්වඥතාඥානය

පටිසම්භිදාමග්ගයේ සෝළස පඤ්ඤානිද්දේසයේ තථාගතයන් වහන්සේගේ සර්වඥතාඥානය මෙසේ විස්තර කර ඇත්තේ ය.

“නත්ථි තස්ස භගවතෝ අඤ්ඤාතං අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය. අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා සබ්බාකාරෙන බුඬස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්ති”

යං කිඤ්චි නෙය්‍යං නාම අත්ථි, තං සබ්බං ජානිතබ්බං අත්තත්ථො වා පරත්ථො වා උභයත්ථො වා දිට්ඨධම්මිකො වා අත්ථො සම්පරායිකො වා අත්ථො උත්තානො වා අත්ථො ගම්භීරො වා අත්ථො ගුළ්හො වා අත්ථො පටිච්ජන්නෝ වා අත්ථො නෙය්‍යො වා අත්ථො නීතො වා අත්ථො අනවජ්ජො වා අත්ථො නික්කිලෙසො වා අත්ථො වොදානො වා අත්ථො පරමත්ථො වා අත්ථො සබ්බං තං අන්තොබුඬඤාණෙ පරිවත්තති.

සබ්බං කායකම්මං බුඬස්ස භගවතො ඤාණානුපරිවත්ති, සබ්බං වචී කම්මං බුඬස්ස භගවතො ඤණානුපරිවත්ති, සබ්බං මනොකම්මං බුද්ධස්ස භගවතෝ ඤාණානුපරිවත්ති.

අතීතේ බුඬස්ස භගවතෝ අප්පටිහතං ඤාණං, අනාගතේ බුඬස්ස භගවතෝ අප්පටිහතං ඤාණං පච්චුප්පන්නේ බුඬස්ස භගවතෝ අප්පටිහතං ඤාණං.
යාවතකං නෙය්‍යං තාවතකං ඤාණං, ඤාණපරියන්තිකං නෙය්‍යං, නෙය්‍යපරියන්තිකං ඤාණං නෙය්‍යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති, ඤාණං අතික්කමිත්වා නෙය්‍යපථො නන්ථි, අඤ්ඤමඤ්ඤ පරියන්තට්ඨායිනො තෙ ධම්මා, යථා දිවින්නං සමුග්ගපටලානං සම්මා ඵුසිතානං හෙට්ඨිමං නාතිවත්තති, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො, එවමෙව බුඬස්ස භගවතෝ නෙය්‍යඤ්ච ඤාණඤ්ච අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො, යාවතකං නෙය්‍යං තාවතකං ඤාණං යාවතකං ඤාණං තාවතකං නෙය්‍ය, නෙය්‍ය පරියන්තිකං ඤාණං ඤාණපරියන්තිකං නෙය්‍යං, නෙය්‍යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති, ඤාණං අතික්කමිත්වා නෙය්‍යපථො නන්ථි, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ ධම්මා, සබ්බෙසු ධම්මෙසු බුඬස්ස භගවතො ඤාණං පවත්තති.’

තේරුම:

ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් නො දන්නා ලද්දක් නො දක්නා ලද්දක් ඥානයෙන් නො පැමිණෙන ලද්දක්, ප්‍රත්‍යක්ෂ නො කරන ලද්දක්, ඥානයෙන් ස්පර්ෂ නො කරන ලද්දක් නැත. අතීත වු ද, අනාගත වු ද, වර්ථමාන වු ද සකලධර්‍මයෝ සර්වාකාරයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥාන මුඛයෙහි පෙනී සිටින්නාහ.

නෙය්‍ය නම් වු යම් කිසිවක් ඇති නම් ඒ දත යුතු සියල්ල ආත්මාර්ථය හෝ වේවා, පරාර්ථය හො වේවා. උභයාර්ථය හෝ වේවා, දෘෂ්ටධාර්මිකාර්ථය හෝ වේවා, සාම්පරායිකාර්ථය හෝ වේවා, නො ගැඹුරු අර්ථය හෝ වේවා, ගම්භීරාර්ථය හෝ වේවා, ගූඪාර්ථය හෝ වේවා, ප්‍රච්ඡන්නාර්ථය හෝ වේවා, නෙය්‍යාර්ථය හෝ වේවා, නීතාර්ථය හෝ වේවා, අනවර්ථය හෝ වේවා, නික්ලේශාර්ථය හෝ වේවා ව්‍යවදානාර්ථය හෝ වේවා, නිර්වාණසංඛ්‍යාත පරමාර්ථය හෝ වේවා, ඒ සියල්ල බුද්ධ ඥානය තුළ පරිවර්තනය වෙයි.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කායකර්ම සියල්ල ඥාණය අනුව පවතී. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වාක්කර්ම සියල්ල ඥානය අනුව පවතී. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මනඃකර්ම සියල්ල ඥානය අනුව පවතී.

භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය අතීතයෙහි සැපීමක් නැත. භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය අනාගතයෙහි සැපීමක් නැත. භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය වර්තමානයෙහි සැපීමක් නැත.

ඥෙය යම් පමණ නම් ඥානය ද එපමණ වේ. ඥෙය, ඥානය හිමි කොට ඇත්තේ ය. ඥානය, ඥෙයය හිමි කොට ඇත්තේ ය. ඥෙයය ඉක්මවා ඥානය නො පවතී. ඥානය ඉක්මවා ඥෙයපථය නැත. ඒ ධර්මයෝ ඔවුනොවුන් පර්යන්ත කොට සිට්න්නාහ. කටවල් මැනවින් හේත්තු වන සේප්පුවක් වැසූ කල්හි යම් සේ උඩුපියන යටිපියන ඉක්මවා නොසිටී ද, යටිපියන උඩුපියන ඉක්මවා නොසිටී ද, යම් සේ ඒ දෙක ඔවුනොවුන් කෙළවර කොට ඇත්තේ වේ ද, එමෙන්ම භාග්‍යවත් බුදුරදුන්ගේ ඥාණය හා ඥෙයය ඔවුනොවුන් කෙළවර කොට ඇත්තේ ය. යම් පමණ ඥෙයය වේද ඥාණයද එපමණ වේ. ඥානය යම් පමණද ඥෙයය එපමණය. ඥානය, ඥෙයය කෙළවර කොට ඇත්තේය, ඥෙයය, ඥානය කෙළවර කොට ඇත්තේය. ඥෙයය ඉක්මවා ඥානය නො පවතී. ඥානය ඉක්මවා ඥෙයපථය නැත. ඒ ධර්මයෝ දෙදෙන ඔවුනොවුන් කෙළවර කොට සිටින්නෝ ය. භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය සකල ධර්මයන්හි පවත්නේය.

සර්වඥතාඥානය සකළධර්ම විෂයෙහි කිසි තැනක පැකිළීමක් ගැටීමක් ආවරණයක් නැතිය ගමන් කරන බැවින් එයට අනාවරණඥාන යයි ද කියනු ලැබේ. සර්වඥතාඥානය ඇති බැවින් බුදුරදුන්ට සියල්ල නිරතුරුව පෙනෙමින් පවත්නේ නොවේ. ඒ ඥානය ඇති කල්හි නො දත හැකි නො දැකිය හැකි දෙයක්ද නැත. ආවර්ජනා කරන කරන සියල්ල ඉතා පිරිසිදු ලෙස ඒ ඥානයට පෙනෙන්නේය. එය ලොවුතුරා බුදුනට පමණක් ඇති අන් කිසිවකුට නැති විශේෂ ඥානයකි. එහි තතු සෙස්සන් විසින් නො දැකිය හැකිය. ඒ ඥානයේ සැටි කෙසේද? එක් පුද්ගලයෙකුට පමණක් එබදු ඥාණයක් ඇතිවිය හැකිද? බුදුරදුන් ඒ ඥානයෙන් එක විටම සියල්ල දුටුයේද? එකිනෙක වෙන් වශයෙන් බලා දැන සර්වඥ වුයේද? යනාදීන් සාමාන්‍ය ජනයා විසින් නො සිතිය යුතුය. ඒ සිතීම අනථිකරය. එබැවින් තථාගතයන් වහන්සේ විසින්,

‘බුඬානං භික්ඛවේ, බුද්ධවිසයො අචින්තෙය්‍යො. න චින්තිතබ්බො, යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස’
(අංගුත්තර චතුක්කනිපාන 238)

යනු වදාරණ ලදී. ‘මහණෙනි, බුදුන්ගේ බුද්ධවිෂය නො සිතිය යුතු ය. එය සිතන්නේ උමතු බවටත් වෙහෙසටත් පත්වන්නේය’ යනු එහි තේරුම ය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

සම්පූර්ණ ලිපි මාලාව : https://goo.gl/3Z3uWk

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2EH38wN
“මම ප්‍රාර්ථනා කරන්නේ මේ ජීවිතේ රහත් වෙන්න බැරි වුනොත් උපදින ආත්මයක්, ආත්මයක් පාසා මහණ වෙන්න”

– පරමපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුළ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ.(සසුන් කෙත ගුවන් විදුලි වැඩසටහන්‍ේ දී ය)

2018 / 12 / 25 වන දිනට තම දිවිගමනේ 105 වන ජන්ම දිනය යෙදෙන්නා වූ අප ගුරු දෙවිදුන් වූ අම්පිටියේ ශ්‍රී රාහුළ ලොකු හාමුදුරුවන් වහන්සේ සම්බුද්ධ සාසනය කෙරෙහි පැහැදීමට පත් ව ගිහි ගෙය අතහැර තම තරුණ කාලයේ දී පැවිදි වීමට අදහස් කොට ගෙන ඒ සඳහා සුදුසු ම රට ලංකාව නොව බුරුමය යැයි තම වැඩිමහග් සොහොයුරාගේ උදව් ඇතිව බුරුම රට බලා යෑමට අදහස් කොට ගෙන සිට ඇත.

1928 අප්‍රේල් 21 වන දින පරමපූජනීය පැළෑනේ සිරි වජිරඤාණ මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රථම ගුවන්විදුලි ධර්ම දේශණාව කළ ඵෙතිහාසික දිනය විය. එම ධරම දේශණාව ඉන්දියාවේ බැංගලෝරය දක්වා විහිදී ගියහ. එක් දිනක් එම උතුම් ධර්ම දේශණාව ශ්‍රවණය කළෝ ගිහි කළ ධර්මදාස රාජපක්ෂ නම් වූ අප කථානායකයන් වහන්සේ ය. ලොකු හාමුදුරුවෝ තමන් වහන්සේ පැවිදි දිවියට මුල පිරූ අන්දම මෙසේ හෙළි කරති.

” මම ලංකාවේ මහණ නොවෙන්නයි හිතාගෙන හිටියේ. ඉතින් මම කල්පනා කළා මහණ වෙන්නට බුරුමෙට යන්න ඕනේ කියලා. අපේ ලොකු අයියා මට පොරොන්දු වෙලත් හිටියා මට බුරුමෙට යන්න ටිකට් එකක් අරන් දෙන්න. ඔහොම ඉන්න කාලයේ පැළෑනේ මහානායක හාමුදුරුවෝ පසළොස්වක පොහොයට රේඩියෝ එකේ බණ කියනවා. මං ඒ බණ එක දවසක් ඇහුවා. මං උඩ ගිහිල්ලා හිටියා. මට පුදුම හිතුණා ඒ බණට. මේ හාමුදුරුවෝ ලඟ තමා මහණ වෙන්න ඕනෙ කියලා අධිෂ්ඨාන කර ගත්තා. ඔහොම තියෙන කාලයේ වෙසක් කලාප එනවා. ඕව මම කියවනවා. එහෙම වෙසක් කලාපයක මහානායක හාමුදුරුවන්ගේ පින්තූරයක් තිබුණා. මම හිතා ගත්තා මේ උත්තමය ලඟ තමයි ගිහිල්ලා මහණ වෙන්න ඕනේ කියලා. අර විදේශ ගමන අතහැරලා මේකට බැස්සා.” -(වජ්‍රප්‍රභා කෘතියෙනි)

ඒ අදහස මල්ඵල ගන්නවා ගැනීම පිණිස තම වැඩිමහලු සොහොයුරා සමඟ බම්බලපිටියේ සිරි වජිරාරාමයට පැමිණි මාහිමියන් වහන්සේ මාස කිහිපයක් පණ්ඩුපලාස අවධිය වත් පිළිවෙත් සපුරමින් කටයුතු කොට පැළෑනේ සිරි වජිරඤාණ මාහිමියන් වහන්සේ වෙතින් උතුම් ප්‍රව්‍රජ්‍යා භූමියට පත් වූහ. එයින් අනතුරු මහළු පැවිද්ද සඳහා සුදුසු ව 1936 වෙසක් මස 06 දා කැළණි උදකුක්ඛේප සීමා මාලකයේ දී පැළෑනේ වජිරඤාණ මහානායක මාහිමිපාණන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේ ලෙස ද, විනයාචාර්ය පරමපූජනීය වේරගමිපිට සිරි රේවත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආචාර්ය්‍යන් වහන්සේ ද කොට ගෙන කෝටියක් සංවර වූ උපසම්පදා භූමියට පත් වූහ.

ඒ කාලයේ සිට ම පැළෑණේ මහ නා සමිඳුන් වහන්සේ අපවත් වන තෙක් ම උපස්ථාන කටයුතු නොපිරිහෙලා ඉටු කරමින් මහ නා සමිදුන් අභියස ම, ගුරු ඇසුරේ ධර්ම-විනය උගත්හ.

” ඒක වචන වලින් කියල නිමකරන්න බැහැ එ උත්තමයා නැති වෙනකොට නිකං කළුවර ගතියක් වගේ අපිට දැනුණා” (තම ගුරු දෙවි වූ පැළෑනේ වජිරඤාණ නා සමිදුගේ අපවත් වී ම ගැනය )

මෙසේ කාලය ඉක්ම ගියහ. ලක්දිව සම්බුද්ධ සාසනයේ නොයෙක් පිරිහීම් දසත දකින්නට ලැබුණා වූ කාලපරිච්ඡේදයක් ද විය.

“රාහුළ,අඩුම තරමේ සිල්වත් ගුණවත් ගෝලයෝ තිස් නමක් හරි හදන්න ඕ‍න‍ේ. දැන් ඒකට මම ප්‍රමාද වැඩියි” යැයි පැළෑනේ මහ නා සමිඳුන් දුන් ඔවදන අනුව යමින් තම ගුරු දෙවිඳුන් ගේ අදහස සමෘද්ධ කරනු වස් එවකට අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහා නායක ධුරය දැරූ පරමපූජනීය මඩිහේ ශ්‍රී පඤ්ඤාසීහ මහා නායක මාහිමිපාණන් වහන්සේ සමඟ එක් ව 1958 අප්‍ෙුල් මස 21 වන දින මහරගම වැව පාරේ “මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය” සම්බුද්ධ සාසනයේ චිරස්ථායි බව පිණිස ලොකු හාමුදුරුවෝ අප්‍රතිහත ධෛර්යක් ගෙන ගොඩ නැඟූහ. එයින් ද නොනැවතී ලක්දිව පුරා ම නොයෙකුත් විහාරස්ථානයෝ ද බෙහෝ කාලයක් පිරිසෙන් ඈත් ව හුදකලාව වැඩ සිටි සමහර අරණ්‍ය සේනාසනයන් සංඝරත්නයට ගුණ පිරීම උදෙසා ම කැප-සරුප් ලෙස අරණ්‍ය සේනාසනයන් කොට ගොඩ නැගූහ. එසේ ම දහස් ගණන් පිනැති කුල දරුවන්ට පැවිදි-උපසපන් වී සිල්වත් ව ගුණවත් ව සම්බුද්ධ සාසනයේ පර්‍ය්‍යාප්ති සාසනය – ප්‍රතිපත්ති සාසනය – ප්‍රතිවේධ සාසනය බබළවන්නට අවස්ථාව, උරුමය ලබා දුන් සේක.

ඒ අප සීලවෘද්ධ වූ ගුණවෘද්ධ වූ තපොවෘද්ධ වූ වයෝවෘද්ධ වූ සංඝනේතෘවර වූ සංඝපරිනායක වූ අප උතුම් ලොකු හාමුදුරුවෝ අද ද ඉතා ම සුවසේ නිදුක් – නිරෝගී ව වසර පහළවකටත් වැඩි කාලයක් නිත්‍ය උපස්ථායක ස්වාමීන්වහන්සගේ (මැණික්හින්නේ දීපාලෝක ස්වාමීන් වහන්සේ) අප්‍රමාණ වූ ආදර-ගෞරවය යටතේ වැඩ වාසය කරන්නේ ය. අප උත්තම ලොකු හාමුදුරුවන් වහන්සේට නිදුක් ව නිරෝගී ව විංශත්ශතවර්ෂාදික කාලයක් සම්බුද්ධ සාසනය එකළු කරමින් සුව වැඩ වාසය කරන්නට තුනුරුවනේ සූවිසි මහා ගුණානුභාවයෙන් සියලු කායික -මානසික ශක්තිය වේවා යි හදපිරි ආදර – ගෞරවයෙන් අප්‍රමාණ ගුරු ගෞරවයෙන් යුතු ව අප පතන්නෙමු….!!! නමස්කාර වේවා….!!! මා හිමි සඳුනි!!!

Ven Bandarawela Ñāṇaruchi

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2PWpX1q
බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස, පළමුව දක්වනු ලැබේ.

සතර අපායට පත් නොවීම
නිතර සෝමන්ස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම
සත්‍ය ගරු කරන පුද්ගලයකු බවට පත් වීම
නිහතමානී ගති පැවතුම් ඇතිවීම
ලෝකයාට ප්‍රියමනාප වීම
බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම
දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම
අන් අයගෙ කරුණා මෛත්‍රියට භාජනය වීම
තම අදහස්, යෝජනා අන් අය එකහෙලා පිළිගැනීම
භූත, ප්‍රේත, පිසාච ආදී විපත් ලං නොවීම
පාපයට ලැජ්ජ භය වීම
අධි කුසලයට සිත නැඹුරු වීම
අපල, උපද්‍රව දුරුවී කුසල විපාක මතුවීම
ගුණ, නුවණින් පිරිපුන් වීම
පිටසක්වල නූපදීම
අඳ, ගොළු, බිහිරි ආදී අභව්‍ය නොවීම
උන්මන්තක නොවීම
මිසිදිටු නොගැන්වීම
මරණයට නොබියව මුහුණදීම
මුහුණෙ වර්ණය පැහැපත්වීම
වස, විස, ගිනි, අවි, ආයුධ වලින් විපත් වලින් වැලැක්වීම
බුදුබව පවා පැතීමට සිත නැමීම
තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම
යම් උපන් ලෙෂයක් නිසා බුදුවරයෙක් මුණගැසීම
එසේ සිදුනොවුනේනම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම
තම සිතුම් පැතුම් එලෙසම ඉටු වීම
ධාරන ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම
සෑම කෙනෙකු තමාවෙත නැමීගත් පැවතුම් ඇත්වීම
සම්මා දිට්ඨියෙහි පිහිටීම
යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සාමාධිගත් වීම
ඇස්වහ, කටවහ, කොඩිවින, බන්ධන, හෝවහ විපත් සිදුනොවීම
ප්‍රභූවරුගේ ගෞරව සැලකිල්ලට භාජනය වීම
මේ ජීවිතයේ මග පල නොලැබුනේ නම් ඒකාන්තියෙන්ම සුගති පරායන වීම
සුවසේ සැතපීම හා අවදිවීම සිදුවීම
නපුරු සිහින නොපෙනීම
භව තැතිගැනීම, ලොමුඩැහැගැනීම සිදු නොවීම

== බුදුගුණ භාවනාව වඩන හැටි ==

බුද්ධානුස්සති භාවනාව අප කාටත් පහසු භාවනාවකි. මෙහිදී සිදු වන්නේ බුදු ගුණ මෙනෙහි කිරීම ය. ඒවා නව අරහාදි බුදු ගුණ වශයෙන් හැඳින්වෙයි. මෙම බුදු ගුණ නවය එක විට ගෙන භාවනා කරනු නොලැබේ. අරහං ගුණයට අයත් වාක්‍යය හොඳින් ප්‍රගුණ කරගත් පසු එයට ම සම්බන්ධ කරගෙන සම්මා සම්බුද්ධ ගුණයට අයත් වාක්‍යය ද ප්‍රගුණ කළ යුතු ය. එසේ එකිනෙක යා කරගනිමින් බුදු ගුණ නවය ම ප්‍රගුණ කරගැනීමෙන් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි ය. මනසිකාර භාවනාවට යොමු විය යුත්තේ බුදු ගුණ පද නවය ම නිවැරදි ව නිරවුල් ව පැහැදිලි ව මෙනෙහි කිරීමට හුරු වූ කල්හි ම විය යුතු ය.

පළමු කොට බුද්ධාලම්බන ප්‍රීතිය හිතට කාවද්දාගැනීමේ පහසුව සඳහා කුඩා ප්‍රමාණයේ හෝ බුදු රුවක් ඉදිරියෙන් තබාගැනීම යෝග්‍ය වේ. බුදු පිළිම වහන්සේට මල් පහන් සුවඳ දුම් පුදා තම භාවනා අසුනෙහි පහසු ඉරියව්වකින් වාඩි වී ‘බුද්ධාදි උතුමන් අනුගමනය කරන මම කුමන මාර බලයකින් වුව ද නොසැලෙමි’ යන දැඩි අදිටනින් යුතු ව භාවනාවට සූදානම් විය යුතු ය.

අනතුරු ව ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා කරමි. ආචාර්ය-උපාධ්‍යායන්ට මාගේ ජීවිතය පූජා කරමි. මේ උතුම් පිළිවෙතින් ඒකාන්තයෙන් ම ජරා මරණාදි දුක්වලින් මිදෙමි’ යනුවෙන් ප්‍රාර්ථනා කළ යුතු ය. එසේ ම ස්වල්ප වේලාවක් තමන් ඇතුළු සියලු සත්ත්වයන්ට ම මෙත් වැඩිය යුතු ය. භාවනා කිරීම ආරම්භ කිරීමට ප්‍රථම මෙම පූර්ව කෘත්‍යයන් කිරීමට අමතක නොකළ යුතු ය.

පළමුකොට ඔබ ඉදිරියේ තැන්පත් කරගත් බුදුරුව දෙස හොඳින් බලන්න. දෙනෙත් වසාගෙන සිටින විටත් ඔබ ඉදිරියෙහි බුදුරුව වැඩ සිටින බව පෙනෙනතෙක් ඇස ඇර බලමින් ඇස වසා බලමින් බුදු ගුණ මෙනෙහි කරන්න.

ඔබ දෑස වසාගත් පසු ඔබ ඉදිරියෙහි ප්‍රදර්ශනය වන බුදු රජාණන් වහන්සේගේ රූපය දෙස බලමින් ‘ඉතිපිසෝ භගවා අරහං’ ආදි බුදු ගුණ ගාථාව බුදු බැතිය හා ප්‍රසාදය ඇති කරගනිමින් සිහින් හඬින් සජ්ඣායනා කරන්න. වාඩි වී සිටින ඉරියව්ව අපහසු වේ නම් සක්මන් ඉරියව්වෙන් භාවනා කරන්න. එසේ ම මෙම අභ්‍යාසය කරන කාලය ද අනුක්‍රමයෙන් වැඩි කරගන්න. මෙසේ උත්සාහයෙන් භාවනා කරන විට ඔබ තුළ යම් වෙනසක් දකින්නට ලැබෙනු ඇත. එනම් බුදු ගුණ නවය ඔබට හොඳින් ප්‍රගුණ වනු ඇත. බුදු ගුණ කෙරෙහි ඔබේ ගත සිත වඩාත් භක්තිමත් වනු ඇත. ඔබ තුළ දරදඬු ඕලාරික ගති ගුණ ඇත් නම් ඒවා යටපත් වී, සිත කය මැනවින් තැන්පත් වනු ඇත. බුදු ගුණ කෙරෙහි ම ඔබේ සිහිය පිහිටනු ඇත.

එතැන් සිට පදවිභජන වශයෙන් බුදුගුණ භාවනාව ආරම්භ කළ යුතු ය. එය සිදු කරන්නේ මේ ආකාරයට ය:

ඒ බුදු රජාණන් වහන්සේ අරහත් වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුදු වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සුගත වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ ලෝකවිදූ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ අනුත්තර පුරිසදම්ම වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සත්තා දේවමනුස්සානං වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ බුද්ධ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ භගවා වන සේක.

මෙසේ මනා සිහියෙන් යුතු ව ඉරියව් පවත්වමින් භාවනා කරන්න. උත්සාහයෙන් භාවනා කරන විට ඔබේ සිත තුළ තවදුරටත් පරිවර්තනයක්-වෙනසක් දක්නට ලැබෙනු ඇත. ඔබේ සිත ලෝභ ද්වේෂ වැනි පාප සිතිවිලිවලින් බැහැර වනු ඇත.

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධා භක්තිය බුද්ධ ගෞරවය ප්‍රීතිය කුශලච්ඡන්දය වීර්යය කයෙහි සිතෙහි සැහැල්ලු බව යන කරුණු ඔබ තුළින් දැකිය හැකි වනු ඇත.

මෙම ආනිසංස ලැබූ පසු තවදුරටත් බුද්ධානුස්සති භාවනාව කරගෙන යෑමට අදහස් කරන ඔබ පදාර්ථවිභජන අභ්‍යාසය ආරම්භ කළ යුතු වෙයි. එනම් ඒ ඒ ගුණයට අයත් බුදු ගුණ විස්තරාත්මක වශයෙන් මෙනෙහි කිරීම යි. මෙම භාවනා අභ්‍යාසය වැඩි කාලයක් කළ යුතු වෙයි:

“ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ කෙලෙසුන් දුරු කළ හෙයින් අරහත් වන සේක. ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විශිෂ්ට ඤාණයෙන් යුතු ධර්මයක් දක්නා ලද හෙයින් සම්මා සම්බුද්ධ වන සේක. ත්‍රිවිද්‍යාවෙන් සමන්විත බැවින් විජ්ජාචරණ සම්පන්න වන සේක.

සුන්දර වචන ඇති හෙයින් සුගත වන සේක. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් බැවින් ලෝකවිදූ වන සේක. දමනය කළ යුතු පුරුෂයන් දමනය කළ බැවින් පුරිසදම්මසාරථි වන සේක. දෙව් මිනිසුන්ට අනුශාසනා කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක. සියල්ල අවබෝධ කරගත් බැවින් බුද්ධ වන සේක. පුණ්‍යවන්ත බැවින් භගවා වන සේක.

බුද්ධානුස්සති භාවනාව වැඩීම නිසා ඔබට මේ ආත්මයේදී ම පහත දැක්වෙන ආනිශංස ලබා ගත හැකි වෙයි. එනම්, ඔබ විසින් කරනු ලබන බුදු ගුණ භාවනාව තව තවත් දියුණුවට පත් වීම, භාවනාව කිරීම පිළිබඳ ඔබගේ නුවණ තව තවත් දියුණුවට පත් වීම, භාවනා ප්‍රීතිය බහුල වීම, මෙම ජීවිත කාලය තුළ විඳින්නට සිදුවන විවිධ දුක් පීඩා ඉවසාගෙන ඒවාට මුහුණදීමට හැකි වීම බුදු රජාණන් වහන්සේ සමඟ වාසය කරමි’යි කියන හැඟීම ඇති වීම, බුදු රජාණන් වහන්සේ අරමුණු කරගෙන ම සිත පැවතීම, කෙලෙස් ගිනි සන්සිඳී සිත කය සැහැල්ලු වීම, ධ්‍යානයට පූර්වභාග ප්‍රීතිය ඇති වීම, ධ්‍යානයට පූර්වභාග සැපය ඇති වීම, අංගසම්පූර්ණ උපචාරධ්‍යානය ලැබීම යන අනුසස් ලැබෙන බව සඳහන් වෙයි.

මෙම ආනිශංස සියල්ල එක විට ම නොලැබිය හැකි ය. සිහි නුවණින් දිරිමත් ව භාවනා කරන විට ක්‍රමයෙන් සියලු ආනිශංසයෝ ම පහළ වෙති. බුද්ධානුස්සති භාවනාවේ රැඳී සිටින යෝගියාගේ සිත බුද්ධ භූමියට ම නැමී තිබේ. යම් කිසි පාප කර්මයක් කිරීමට සිතිවිල්ලක් පහළ වූ සැණින් බුදු රජාණන් වහන්සේ තමන් ඉදිරිපිට වැඩ සිටින බැව් හැඟී යයි. ඒ නිසා ම ඔහුට හෝ ඇයට පව් කිරීමට ලජ්ජා භය ඇති වෙයි. මෙම ආත්මයේ ම මාර්ග ඵල නොලැබුණ හොත් ඒකාන්තයෙන් ම මරණින් මතු සතර අපායෙහි නොවැටී සුගතිගාමී බවට පත් වෙයි.

එබැවින් මහානුභාව සම්පන්න බුද්ධානුස්සති භාවනාව නුවණැති ඔබත් පුරුදු පුහුණු වී, අප්‍රමාද ව වැඩීමට අධිෂ්ඨාන කරගන්න.

http://bit.ly/1UnrCIb

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2ShX7e3
පහතින් දැක්වෙන්නේ නිවැරදිව මෛත්‍රී නිමිත්ත සිතට හසු කර ගැනීමේ දුෂ්කරතාවය ගැන දැක්වෙන ලිපියකි.
—–
මෛත්‍රී භාවනාව – ලෝකයේ දුෂ්කරම භාවනාවලින් එකකි.

මේ මාතෘකාව දුටු හැටියේම ඔබ මට දොස් කියාවි, ‘මේ මොන විකාරයක්ද, මෛත්‍රී භාවනාව කියන්නේ වඩන්න ඉතාම පහසු භාවනාවක්නේ! ඒකට නිශ්චිත ඉරියව්වක්වත් ඕනේ නැහැනේ!’ යනුවෙන්. මෛත්‍රී භාවනාව ගැන ඔබේ අවබෝධය එය නම් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න.

බුදුරජාණන්වහන්සේ අග්ගික්ඛන්ධෝපම සූත්‍ර දේශනාව සිදු කළ අවස්ථාවේදී භික්ෂූන්වහන්සේ සැට (60) නමක් රහත් බවට පත් වූහ. තවත් සැට නමක් ලේවමනය කරමින් උපසම්පදා ශික්ෂාව රක්ෂා කර ගත නොහැකිව පාරාජික වී සාමණේර වූහ. තවත් සැට නමක් උපැවිදි වී ගිහිව ප්‍රතිපත්ති පුරන්නට වූහ. කාලයත් සමග මේ තත්වය තවත් උග්‍ර විය. භික්ෂූහු කීපදෙනා බැගින් දහස් ගණනක් මේ සම්බුද්ධශාසනයේ ප්‍රතිපත්ති පූරණය කිරීමට අපහසු බව සිතා සිවුරු අත්හැර උපැවිදි වූහ. මීනියා ශාසනයේ භික්ෂූන්ගේ සංඛ්‍යාව අඩු විය. මෙයට හේතුව ආනන්ද හාමුදුරුවන්ගෙන් විමසා දැන ගත් බුදුහාමුදුරුවෝ තමන්වහන්සේ දේශනා කළ අග්ගික්ඛන්ධෝපම සූත්‍රය ඒ ඒ භික්ෂූන්වහන්සේ වටහා ගත් ආකාරය නිසා මෙසේ වී ඇති බව දැන ගෙන හාමුදුරුවරුන්ට වඩා පහසුවක් දැනෙන පරිද්දෙන් මෙසේ දේශනා කළහ.

“මහණෙනි, අසුරු සැණක් පමණ කාලයක් හෝ හාමුදුරු නමක් මෛත්‍රී සහගත සිතක් ඇසුරු කරත් නම්/ වඩත් නම් / මෙනෙහි කරත් නම් (ඔහු) මෙම ශාස්තෘශාසනය කරවන (තථාගතයන් වහන්සේගේ) අවවාද අනුව ක්‍රියා කරන හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරන හිස් පුද්ගලයෙකු නොවී ලෝකයාගෙන් ලැබෙන දානය වළඳන කෙනෙකු වේ.” (අං.නි. ඒකක නිපාත)

සරලවම කීවෝත් බුදුහාමුදුරුවන් මේ කියන්නේ ඇඟිලි පැහැරීමෙන් අසුරු සැණක් උපදවන තරම් කුඩා කාලයක් වුවත් මෛත්‍රී සිතුවිල්ලක් මෙනෙහි කරන්න පුළුවන් නම් ඔහු බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව අනුව ජීවත් වන කෙනෙකු බවට පත් වන බවය. බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව අනුව ජීවත් වීම යනුවෙන් අදහස් කරන්නේ ‘බෞද්ධයෙකු’ වීම යන්න බව අපි දනිමු. මේ නිසා මෙයින් කියැවෙන්නේ ඉතා කුඩා කාලයක් හෝ මෛත්‍රී කරන්නට පුළුවන් නම් ඔහුට බෞද්ධයෙකු විය හැකි බවය. ‘මෛත්‍රී භාවනාව’ යන්නට බරපතලම අර්ථය ආරෝපණය වන්නේ මෙහිදීය.

අපි ‘බුද්ධ සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි’ යනුවෙන් පවසා බෞද්ධයෝ වෙමු. මේ පාඨ තුන සත්‍යය වශයෙන්ම බුදුහාමුදුරුවන්ගේ අවවාද අනුව ජීවත් වීමට අප අපටම දෙන පොරොන්දුවකි. ඉහත කී දේශනය අනුව බලන විට, එය සැහැල්ලුවෙන් ගත් තැනැත්තා මෙසේ සිතීමට ඉඩ ඇත. එනම්, ජීවිතය තමන්ට රිසි සේ ජීවත් වී දවසේ කිසියම් මොහොතක ‘මම, නිදුක් වෙම්වා, නීරෝග වෙම්වා, සුවපත් වෙම්වා, අවෛර වෙම්වා, නිවන් දකිම්වා! මා මෙන්ම සියලු සත්වයෝම නිදුක් වෙත්වා, නීරෝග වෙත්වා, සුවපත් වෙත්වා, අවෛර වෙත්වා නිවන් දකිත්වා!’ යනුවෙන් කීවාම (සිතුවාම) තමන් බෞද්ධයෙකු වීමට අවශ්‍ය සියල්ල සම්පූර්ණ කළ බව.

සත්තකින්ම එය එසේමය!

එසේ නම් මෙහි ඇති බරපතලකම කුමක්ද? මෙහි ඇති බරපතලකම නම් මෛත්‍රී භාවනාව යනු ‘මම නිදුක් වෙම්වා…’ යනාදි පාඨය මන්ත්‍රයක් මතුරන්නා සේ මුවින් හෝ සිතින් හෝ මැතිරීම නොව ඒ මැතිරීම දෙස සාවධානව සිත් යොමු කොට සිත එකඟ කිරීමත් නොව, එය හද පතුළින්ම ගලා එන අවංක සිතුවිල්ලක් ලෙස බිහි කිරීමය. අප මුහුණ දෙන දුෂ්කරම කාර්යය වන්නේ මෙකී අවංකභාවය මත එය බිහි කිරීමය. අපි මේ ගැන තරමක් සමීපව කියවා බලමු.

මෛත්‍රී සහගත සිතුවිල්ල ‘අප්‍රමාණ’ සහ ‘මහාර්ඝ’ ලෙස ව්‍යාප්ත කරන සිතුවිල්ලකි. (ම.නි. අනුරුද්ධ සූත්‍රය). මේ වචන දෙකින් සරලව කියැවෙන්නේ එය සීමා බන්ධනයකින් තොරව ව්‍යාප්ත කළ හැකි සහ කළ යුතු සිතුවිල්ලක් බවය. කරණීයමත්ත සූත්‍රයේදී ‘සබ්බේ සත්තා’ (සියලු සත්වයෝ) යන වචනය අපට හඳුන්වා දෙන්නේ ඒ අනුවය. දැන් අපි බලමු කවුද මේ ‘සබ්බේ සත්තා’ හෙවත් ‘සියලු සත්වයෝ’ යනුවෙන් අදහස් කරන්නේ කියා?

ඔබ ළඟින්ම ඉන්න ඔබට ආදරය කරන සැමියා, බිරිඳ, දෙමව්පියන්, දූදරුවන් මේ අය අතරට අදාළයි. ගෙදර සුරතලයට ඇති කරන බල්ලා, පූසා, ගිරවා, මාළු ටැංකියේ ඉන්න මාළුවා මේ සියල්ලත් අයිතියි. අපට උගන්වපු ගුරුවරුන්, ඉදිරියට එන්න අත දුන්නු මිතුරන්, ආයතන ප්‍රධානීන් ආදි මේ සියලු දෙනාත් ඇතුළත්.

මේ අය විතරද මේ සියලු සත්වයන් (සබ්බේ සත්තා) වෙන්නේ? නැහැ.

අලුතෙන්ම ගෙනා ඔබේ සාරිය කාපු මීයා, පොත්පත් කාලා විනාශ කරපු ගුල්ලා, ඔළුවේ ඉන්න උකුණා, පුටුවේ ඉන්න මකුණා, – ඒ විතරක් නෙවේ,
ඔබට ගරහපු අය, ඔබට හිනා වුණ අය, ඔබට බැරි වුණ මොහොතේ ඔබව දාලා ගිය අය, ඔබගේ කකුලෙන් ඇද පහළට හෙළන්න උත්සාහ කළ අය, වචනෙකින් හරි ඔබව විනාශ කරන්න හදපු බොරු කතා ගොතපු, චරිතය ඝාතනය කරපු, පාරේ බැහැලැ යන්න බැරි තැනට වැඩ කරපු අයත් මෙතැනට අදාළයි.

ඒ විතරක්ද
ඔබේ ඇස් ඉදිරිපිටම ඔබේ අම්මාව, බිරිඳව, දුවව දූෂණය කර මරා දැමූ කෙනා, ඔබේ සහෝදරයාව, පියාව දරුවාව වෙඩි තබා මරා දැමූ කෙනා, පණ පිටින් පුච්චපු කෙනා, ඔබව දූෂණය කළ කෙනා, ඔබේ ජීවිතය එහෙම පිටින්ම අපායක් කරපු කෙනාත් මෙතැන සිටියි.

රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා, කරුණා අම්මාන්, ආසාද් සාලි වගේ අයත්

වේලුපිල්ලේ ප්‍රභාකරන්, ඔහුගේ කොටි සේනාව, දෙමළ ඩයස්පෝරාව, මුස්ලිම් අන්තවාදීන්, තලේබාන් සාමාජිකයන්, අයිඑස්අයිඑස් ත්‍රස්තයන් වගේ අයත්

චීන රජය, ඇමරිකා රජය, ඉන්දියානු රජය, පකිස්තානු රජය වගේ රාජ්‍යවල ප්‍රධානීහුත් මෙතැන සිටිති.

දැන් හොඳ හුස්මක් අරගෙන ඇන්දට හේත්තු වී මෙසේ කල්පනා කර බලන්න.

මෙකී නොකී සියලුම සත්වයෝ නිදුක් වෙත්වා – ඒ කියන්නේ ඒ අයගේ හිත්වලට කරදර පීඩා ඇති නොවේවා.
නිරෝග වෙත්වා – ඒ කියන්නේ ශාරීරික වශයෙන් ඒ අයට කිසිදු කරදරයක් රෝග පීඩාවක් ඇති නොවේවා.
සුවපත් වෙත්වා – ඒ කියන්නේ ඒ අයට ගතින් සිතින් දෙකින්ම සැනසීමෙන් ජීවත් වෙන්න ලැබේවා.
අවෛර වෙත්වා – ඒ අයගේ සිත් තුළට වෛරය ද්වේෂය වැනි හැඟීම් ඇති නොවේවා.
නිවන් දකිත්වා – යම් දිනක ඒ අය බුදු, පසේබුදු, මහරහත් යන තත්වයකට පත් වේවා.

මේ විදිහට මේ සියලු දෙනා වෙනුවෙන්ම අවංක ප්‍රාර්ථනයක් කළ හැකිද?

දැන් අයෙකු මගෙන් අසාවි, මෙසේ ප්‍රාර්ථනා කළ පමණින් එය සිදු වේද? එසේ නොවන්නේ නම් කිමෙක්ද මේ ප්‍රාර්ථනාවෙන් ඇති ඵලය කියා? ඇත්තෙන්ම බුදුහාමුදුරුවන් මෙහිදී අපේක්ෂා කරන්නේ මේ විදිහට ප්‍රාර්ථනා කර ඒ සියල්ල සිදු වන බව පෙන්වීම නොවේ. අපේ සිත – ඒ කියන්නේ මෛත්‍රී වඩන කෙනාගේ සිත – අල්පමාත්‍ර වූ හෝ ද්වේශ සහගත, වෛරී සහගත සිතුවිල්ලකින් පෙළෙන්නේ නැතිව රැක ගන්න උදවු කිරීමයි උන්වහන්සේගේ උත්සාහය.

දැන් තවත් කෙනෙකු සිටිය හැකියි, ජීවිතයේ කිසිදු අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ නොදුන් ඒ නිසාම කිසිදු ගැටලුවකින් තොරව මෛත්‍රී කළ හැකියි කියා සිතෙන. ඒ අය තේරුම් ගත යුතු දෙය නම් දැනට තත්වය එසේ වුවද අනාගතයේදී වෙනස් වුවහොත් එදාට මෛත්‍රී කිරීම කළ හැකිද යන්නය. තමන් එවැනි අත්දැකීමක් ලබා නැතත් සිතින් උපකල්පනය කර බලන්න. හිතන්න, තමන්ගේ දුවව දූෂණය කර මරා දැමූ තැනැත්තාට නිදුක් වේවා, සුවපත් වේවා ආදි ලෙස අවංක සිතින් සිතිය හැකිද?

හිතන්න, ඔබ කිසිදිනෙක ත්‍රස්තප්‍රහාරයකට ලක් නොවුණත් ශ්‍රී මහාබෝධිය ළඟ සිලවතුන් මරා දැමූ, සිංහල ගම්බිම්වලට පැන බල්ලන් බළලුන් ගාණට සිංහල මිනිසුන්ව අමු අමුවේ කපා කොටා ඝාතනය කරපු වේලුපිල්ලේ ප්‍රභාකාරන්ව සිහියට නඟා ගෙන ‘ප්‍රභාකරන්, ඔබ මතු දිනෙක රහතුන්වහන්සේ නමක් වේවා’ වැනි සිතුවිල්ලක් ඇති කර ගත හැකිද?

මේ මෛත්‍රී භාවනාවේ ඇති බැරෑරුම් සහගත තත්වය ගැන දැන් ඔබට වැටහෙනවා ඇතැයි සිතමි. ‘සියලු සත්වයෝ’ යයි කියන විට එක් අයෙකුද අත් නොහැර සියලු සත්වයින් මනසට නඟා ගෙන ඒ සියලු දෙනාට ‘නිදුක් වේවා, නිරෝග වේවා’ ආදි වශයෙන් මෛත්‍රී සහගත සිතුවිල්ලක් යොමු කර වීම – අඩුම තරමේ අසුරු සැණක් ගහන කාලක් හෝ – කොතරම් අසීරුද දුෂ්කරද යන්න කල්පනා කර බලන්න.

ඒ වනම සිතන්න, ජාති වශයෙන්, ආගම් වශයෙන්, කුල වශයෙන්, රටවල් වශයෙන්, ස්ත්‍රීපුරුෂ වශයෙන්, දේශපාලන පක්ෂ වශයෙන්, න්‍යාය මතවාද වශයෙන්, පෞද්ගලික තරහ අමනාපකම් වශයෙන් හෝ මෙකී නොකී කිසියම් ක්‍රමයකින් හෝ බෙදී වෙන්වී සිටීමට උත්සාහ කරන මිනිසෙකුට මෛත්‍රී භාවනාව කොතරම් අමාරුද? ඒ කියන්නේ ඔහුට බෞද්ධයෙකු වීම කොතරම් දුෂ්කර කාර්යයක්ද?

වරක් ඒබ්‍රහම් ලින්කන් තම ලේකම්වරියගෙන් මෙසේ විමසා සිටියේය. ‘අශ්වයෙකුගේ නැට්ට, කකුලක් කියා සිතුවහොත් අශ්වයාට කකුල් කීයක් තිබේද?’ එවිට ලේකම්වරිය කියා සිටියේ ‘කකුල් පහයි’ කියාය. ලින්කන්, ‘වැරදියි, නැට්ටට කකුල කියා කී පමණින්, නැට්ට කකුලක් වන්නේ නැත. නැට්ටට කකුල කීවත් අශ්වයාට ඇත්තේ කකුල් හතරක් පමණි’ යනුවෙන් ඇයව නිවැරදි කළේය.

මේ ආකාරයෙන්ම, ‘මම බෞද්ධ’ කියා කී පමණින් පුද්ගලයෙකු බෞද්ධ වන්නේ නැත. බෞද්ධ වීමට නම් බුදුහාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි අඩුම තරමේ අසුරු සැණක් ගහන කාලයක්වත් මෛත්‍රී සිතුවිල්ලක් වැඩීමට පුළුවන් විය යුතුය. තවත් ආකාරයකින් කිවහොත් වෛරය, ක්‍රෝධය, ද්වේශය, පලිගැනීම වැනි සිතුවිලිවලින් එක මොහොතක් හෝ සහමුලින්ම තමන්ගේ සිත නිදහස් කර ගැනීමට අපට හැකි විය යුතු ය.

මෛත්‍රී භාවනාව නම් එයය.

බර්ට්‍රම් ජී. ලියනගේ

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2SaTnuM
රැය පහන් වනතුරා බුදුගුණ දේශනාවක් කිව්වාම සමහර විටෙක පුදුමය ජනනය වෙන්න පුලුවන්.කෙනෙකුට හාස්‍ය ජනනය වෙන්න පුලුවන්.බෟද්ධයන් යැයි කියාගන්නා අප නිවැරිදිව බුදුගුණ දන්නවා ද?හදවතින් විමසා බලන්න ඉතිපිසෝ පාඨය උදේ සවස සජ්ජායනා කලාට නිවැරිදිව එහි තේරුමවත් දන්නවා ද කියලා.කල්පයක් පුරාවටම දේශනා කලත් දේශනා කොට ඉවර කරන්න නොහැකි මහා ගුණ සමුදායක් අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේට තියන බව දන්නවා ද?අප මහා ශාස්තෘන් වහන්සේගේ ගුණ රැයක් පහන් වන තුරාවට ශ්‍රවණය කරන්නට අවස්ථාවක් ලැබීම ඔබ ලද කොතරම් භාග්‍යක් ද?විටෙක ඔබ ජීවිත කාලය තුල ප්‍රථම වරට ඇසූ තුන් යමක් පුරා සිදු කෙරෙන ප්‍රථම ධර්ම දේශනාව මෙය විය හැකිය.නැවත මෙවන් අවස්ථාවක් උදාවීමට හෝ නොවීමට හැකිය.මේ වටිනා දුර්ලභ අවස්ථාවට සහභාගි වී ඔබගේ,ඔබගේ දෙමාපියන්ගේ,හිතමිත්‍රාදීන්ගේ කුසලය බලවත් කරගනිමින් සතර අපායෙන් මිදෙන්නට උත්සහ දරන්න.බොදු දරුවෙක් වශයෙන් තමන්ගේ දෙමාපියන්ට සතර අපායෙන් මිදෙන්නට මඟ සලසා දීම ඔබහට යුතුකම් ඉටුකිරීමට ලැබෙන මහඟු අවස්ථාවක් නොවේද?මෙවන් පණිවිඩයක් ඔබට ලැබීමට ඔබ කොතරම් පුණ්‍ය සම්පන්න ද?මොහොතක් සිතන්න සිතට එකඟව………අප වෙනුවෙන් කල්ප ගණනක් දුක් විඳි අපගේ ශාස්තෘ වූ අමාමෑණි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේක කියවන ඔයාට බැරි වෙන එකක් නැ ඔයාගේ යාලුවෝ හිතමිතුරන් දැනුවත් කරන්න.මෙම මහඟු අවස්ථාව මඟ නොහරවා ගන්න.හිතමිතුරන් සැවොම දැනුවත් කර කල්‍යාණ මිත්‍රයෙක් බව ක්‍රියාවෙන් ඔප්පු කරන්න.පෙර පිං ඇති අයට මෙවන් අවස්ථාවකට සම්බන්ධ වීමට සිත් පහල වේවි!
… තෙරුවන් සරණයි…!!!