Monthly Archives: September 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2NQu8jk
==සුභූති තෙරණුවෝ==

තෙවෙනි සූත්‍රයෙහි ‘අරණවිහාරීනං” යනු නිකෙලෙස් පැවතුම් ඇත්තවුන්ගෙන්ය. රාගාදීවූ කෙලෙස් රණයි කියනුලැබෙයි. ඒවා නැතිවීමෙන් නිකෙලෙස් පැවැත්ම අරණවිහාර නමි. එය ‍යම් අයට තිබේද ඔවුහු අරණවිහාරීහුයි. ඒ අරණවිහාරීන් අතුරෙන් සුභූති තෙරහු අග්‍රයෝයි. එතෙකුදුවුවත් අනෙක් ක්‍ෂීණාශ්‍රවයෝද අරණවිහාරීහුමය. (මෙම) තෙරුන්වහන්සේ විසින් ධර්‍මදේශනාවෙන් මෙම නම ලබනලදී. සෙසු භික්‍ෂූහු දම්දෙසන්නාහු වෙන්කොට ගුණ හෝ අගුණ හෝ කියත්. මෙම තෙරණුවෝ වනාහි දහම් දෙසන්නාහු ශාස්තෘන් විසින් දෙසනලද ක්‍රමයෙන් නොයික්ම දෙසති. එබැවින් අරණවිහාරීන් අතුරෙන් අග්‍ර නම්වූහ. ‘දක්‍ඛිණෙය්‍යානං’ යනු දක්‍ෂිණාවට සුදුස්සන් අතුරෙනි. එහි වැළිදු සෙසු ක්‍ෂීණාශ්‍රවයෝද අග්‍රදක්‍ෂිණාර්හයෝයි. තෙරණුවෝ වනාහි පිඬු හැසිරෙන්නාහු ගෙයක් පාසා මෛත්‍රීධ්‍යානයට සමවැද සමවතින් නැගිට මෙසේ දායකයන්ට මහත්ඵල වන්නේයයි හික්‍ෂාව පිළිගනිති. එබැවින් දක්‍ෂිණාර්භයන් අතුරෙන් අග්‍රයයි කියනලදහ. උන්වහන්සේගේ ආත්මභාවය මනාලෙස සැදුම්ලද්දේ හෝ සමෘද්ධවූයේ වෙයි. සැරසූ තොරණක් මෙන්ද චිත්‍රපටයක් මෙන්ද බෙහෙවින් බබළයි. එබැවින් සුභූතියයි කියනු ලැබේ. උන්වහන්සේ‍ගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි.

මෙතෙම පදුමුත්තර භාග්‍යවතුන්වහන්සේ පහළවීමට පෙර හංසවතී නගරයෙහි බ්‍රාහ්මණ මහාසාල කුලයෙක්හි උපන්නේය. ඔහුට නන්‍දමානවකයයි නම් කළහ. හෙතම වියපත්ව ත්‍රිවේදයන උගනෙ එහි රහයක් නොදක්නේ තමන්ගේ පිරිවරවූ සිවු සතළිස්දහසක් මානවකයන් සමඟ පර්‍වතපාදයෙක්හි සෘෂි පැවිද්දට පත්ව පංචාභිඥා අෂ්ටසමාපත්ති ඉපදවීය. අතවැස්සන්ද ධ්‍යාන ලභීන් කළේය. එසමයෙහි පියුමුතුරා බුදුන්වහන්සේ ලොව ඉපිද හංසවතී නගරය ඇසුරුකොට වැඩවසනසේක් ඒක දිනෙක උදෑසන ලොව බලනසේක් නන්‍දතවුසාගේ අතවැසි ජටිලයන්ගේ රහත්බවට උපනිශ්‍රයද නන්‍දතවුසාගේ අංගදෙකකින් සමන්විතවූ ශ්‍රාවක තනතුරක් පැතීමද දැක උදෑසනම සිරුරු පිළිදැඟුම් කොට පෙරවරුයෙහි පාසිවුරු ගෙන සැරියුත් තෙරුන්ගේ කථාවස්තුවෙහි කියනලද ක්‍රමයෙන්ම නන්‍ද තවුසාගේ අසපුවට වැඩිසේක. එහි පලවැල දන්දීමද මලසුන් පැනවීමද නි‍රොධසමාපත්තියට සමවැදීමද කියනලද ක්‍රමයෙන්ම දතයුතුය.
ශාස්තෘන්වහන්සේ වනාහි නිරෝධ සමාපත්තියෙන් නැඟීසිටිසේක් අරණවිහාරීය අංගයෙන්ද දක්‍ඛිණෙය්‍ය අංගයෙන්ද යන අංග දෙකින් සමන්විතවූ එක් ශ්‍රාවකයෙකුට සෘෂිසමූහයා සඳහා පුෂ්පාසන අනුමෝදනාව කරන්නැයි ඇණවූ සේක. හෙතෙම තමන්ගේ විෂයෙහි සිට ත්‍රිපිටකය සම්මර්‍ශණය කරමින් අනුමෝදනාව කළේය. ඔහුගේ දෙසුම අවසන්හි භාග්‍යවතුන්වහන්සේ තමන්වහන්සේම දම් දෙසූසේක. දෙසුම අවසන්හි සියලු සිවු සාළිස් දහසක් තවුසෝද රහත්බවට පැමිණියාහුය. නන්‍දතාපස තෙමේ අනුමෝදක භික්‍ෂුවගේ නිමිත්ත ගෙන ශාස්තෘන්වහන්සේගේ දෙසුම අනුසාරයෙන් ඥානය මෙහෙයවීමට නොහැකිවිය. ශාස්තෘන්වහන්සේ ‘එවූ මහණ’යැයි සෙසු භික්‍ෂූන්ට අත දිගු කළසේක. සියල්ලෝ අතුරුදහන්වූ කෙස්රැවුල් ඇත්තෝ සෘද්ධිමය පිරිකර ඇතිව වස්සියයක් ඇති තෙරුන් මෙන්වූහ. නන්‍දතාපස තෙමේ තථාගතයන් වහන්සේ වැඳ ඉදිරියෙහි සිටියේ මෙසේ කීය. ‘ස්වාමීනි, යම් භික්‍ෂුවක විසින් තවුස් ගණයාට මලසුන් අනුමෙවෙනි බණ දෙසන ලද්දේද එතෙම නුමවහන්සේගේ සසුනෙහි කවරනම් ඇත්තේද?’ ‘හෙතෙම අරණවිහාරාංගයෙහිද දක්‍ඛිණෙය්‍යංගයෙහිද එතදග්‍රස්ථානයට පැමිණියේයි. වදාළසේක. ‘ස්වාමීනි මමද මේ දිනසතක් කරනලද අධිකාර කර්‍මයෙන් අන් සැපතක් නොපතමි. අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි මේ තෙරුන් මෙන් අංග දෙකකින් සමන්විතවූයේ වන්නෙමැ’යි ප්‍රාත්‍ථ‍ර්‍‍නා කළේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක විවරණදී වැඩිසේක. නන්‍දතවුස් තෙමේද කලින් කලට බුදුන් සමීපයෙහි දහම් අසා නොපිරිහුණු ධ්‍යාන ඇත්තේ බඹලොව උපන්නේය. මෙය ඔහුගේ පුණ්‍යකර්‍මයයි. අතුරුකර්‍මයක් නොකියනුලැබේ.
හෙතෙම කල්ප ලක්‍ෂයක් ඉක්මවා සැවතෙහි සුමනසිටුගේ ගෙහි උපන්නේය. ඔහුට සුභූතියයි නම් කළාහුය. මෑතකාලයෙහි අපගේ ශාස්තාන්වහන්සේ ලොව පහළවූ සේක් රජගහනුවර ඇසුරු කොට වැඩවසනසේක. එකල්හි අනේපිඬු සිටුතෙමේ සැවතෙහි නිපදවූ බඩු රැගෙන තමන්ගේ යහලු රජගහ සිටුගේ ගෙට ගියේය ශාස්තෘන්වහන්සේ පහළවූ බව දැන සීතවනයෙහි වෙසෙන ශාස්තෘන්වෙත එළඹ පළමු දැකීමෙන්ම සෝවාන් පෙලෙහි පිහිටා ශාස්තෘන්වහන්සේට සැවැත්නුවරට වඩින ලෙස අයැද පස්සාළිස් යොදුන් මගෙහි යොදුනෙන් යොදුනට ලක්‍ෂයක් වියදමින් විහාරයක් කරවා සැවතෙහි රජමිනුමින් අටකිරියක් පමණවූ ජෙතරාජ කුමරුන්ගේ උයන් බිම කෙළගණන් ඇතුරූ මිලෙන් මිලදීගෙන එහි භාග්‍යවතුන්වහන්සේට විහාරයක් කරවා පිළිගැන්වූයේය. විහාරපූජාදිනයෙහි මේ සුභූති කෙළෙඹි තෙමේ අනේපිඬු සිටු සමඟ ගොස් දහම් අසන්නෙ සැදැහැලැබ පැවිදිවූයේය. හෙතෙම උපසපන්වූයේ මාතෘකා දෙකක් ප්‍රගුණකොට කමටහන් කියවා අරණෙහි මහණදම් කරන්නේ විදසුන් වඩා මෛත්‍රීධ්‍යානය පාදකකොට රහත්බවට පැමිණියේය. දහම් දෙසන්නේ කියනලද ක්‍රමයෙන්ම දහම් දෙසීය. පිඬු හැසිරෙන්නේ කියන ලද ක්‍රමයෙන්ම මෛත්‍රී ධ්‍යානයෙන් නැගිට හික්‍ෂාව පිළිගනියි. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ මේ කරුණු දෙක ඇසුරුකොට මුන්වහන්සේ අරණවිහාරීවූද දක්‍ඛිණෙය්‍යවූද භික්‍ෂූන්ගේ අග්‍රස්ථානයෙහි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2xZ0NZ0
අපි මොන දේ දුටුවත්, අපේ පෙනීම වැරදි සංඥාවකින් වෙනස් කරලයි පෙන්වන්නේ. ඇති සැටියෙන් දැකීම සඳහා මේ වැරදි සංඥා ඉවත් කල යුතුයි. බුදු රජාණන් වහන්සේ අනිත්‍ය ලෙස වදාල දේ, සාමාන්‍ය කෙනෙක් සලකන්නේ නිත්‍ය ලෙස. ඒ ඔහුව වැරදි සංඥාව මගින් රවටන නිසා.

බුදුරජාණන් වහන්සේ දුක්ඛ කියා උගන්වන දේ සාමාන්‍ය කෙනෙක් සුඛ ලෙස සලකනවා. ඒ ඔහුව සංඥාව මගින් රවටන නිසා.

බුදුරජාණන් වහන්සේ මමෙක් නැත, අනාත්ම, කියා උගන්වන දේ සාමාන්‍ය කෙනෙක් “මම”, “ආත්ම” ලෙස සලකනවා.

බුදුරජාණන් වහන්සේ අශුභ පිළිකුල් සහගත ලෙස උගන්වන දේ සාමාන්‍ය කෙනෙක් ශුභ (ලස්සන ) ආසා හිතෙන ලෙස සලකනවා.

මෙලෙස සංඥාව මගින් රවටනු ලබන මිනිස්සු කෙලවරක් නැති දුක් විදිනවා. මෙම රැවටීම බුදුපියාණන් වහන්සේ ඉගැන්වූ සතර සතිපට්ඨානයෙන් ඉවත් කළ යුතුයි. මේ ක්‍රම සතර නම්:

ශරීරය පිළිබඳ සතිය පැවැත්වීම ( කායානුපස්සනා සතිපට්ඨානය ) ශුභ ( ලස්සන ) ලෙස පෙන්වන වැරදි සංඥාව ඉවත් කරනවා.

වේදනාව පිළිබඳව සතිය පැවැත්වීම ( වේදනානුපස්සනා සතිපට්ඨානය ) සඛ (සැප ) ලෙස පෙන්වන වැරදි සංඥාව ඉවත් කරනවා.

සිත පිළිබඳව සතිය පැවැත්වීම ( චිත්තානුපස්සනා සතිපට්ඨානය ) නිසා නිත්‍ය ලෙස පෙන්වන වැරදි සංඥාව ඉවත් කරනවා.

නාම ධර්ම පිළිබඳ සතිය පැවැත්වීම ( ධම්මානුපස්සනා සතිපට්ඨානය ) “මම” “මගේ” (සත්ත්ව, පුද්ගල ) ලෙස පෙන්වන වැරදි සංඥාව ඉවත් කරනවා.

ශරීරයට දැනෙන ස්පර්ශය ගැන අවධානයෙන් සිටීම. කායානුපස්සනා සතිපට්ඨානයයි කියනු ලැබේ. ස්පර්ශය යනු ඵස්ස යයි. ඵස්සය නිසා යම් වේදනාවක් ( මිහිරි, අමිහිරි, මද්‍යස්ථ ) හට ගන්නවා. එම වේදනාව පිළිබඳව සතියෙන් සිටීම වේදනානුපස්සනා සතිපට්ඨානයයි. හුදු අවධානය පිළිබදව සතියෙන් සිටීම, සිත පිළිබඳව සතියෙන් සිටීමයි. එය චිත්තානුපස්සනා සතිපට්ඨානයයි. නීවරණ සියල්ල ඉවත් කර සිතෙහි ස්වභාවය පිළිබඳව සතියෙන් සිටීම ධම්මානුපස්සනා සතිපට්ඨානයයි.

වැරදි සංඥාව නැති කරන්නේ මේ ලෙසයි. එවිට ඔබට අනිත්‍යතාවය ඇත්ත වශයෙන්ම අනිත්‍යතාවය බව අවබෝධ වෙනවා. “මම” “මගේ” නැති බව, සත්ත්වයෙක් පුද්ගලයෙක් නැති බව, සත්‍යවශයෙන්ම අනාත්ම බව අවබෝධ වෙනවා. අසුභ පිළිකුල් සහගත දේ ඇත්ත වශයෙන්ම අසුභ බව අවබෝධ වෙනවා.

ඒ ඒ දේවල යතාර්ථය, ඇත්ත ස්වභාවය, පෙනෙන විට තමාගේ ඇති තත්වයට වඩා ඉහළ ලෙස සලකන සිතුවිලි ඇති පුහු මාන ඇති කෙනෙකු වීමෙන් මිදෙනවා. මේ පුහු මාන ගතිය, පුහු ආඩම්බරය ඇති වන්නේ අවිද්‍යාව නිසා.

මම දැන් ඉතා ශාන්ත බවක් අත්විදිනවා. මම ඇත්තටම ඉතාම සතුටින් සිටිනවා. “සියළු දුක් අවසන්වීම නිවන ( නිබ්බාන ) යයි කියන්නේ ඒ නිසයි.

(‘සුන්ලුන් මහරහතන් වහන්සේ’ පොතෙනි)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Iq14ZQ
දෙවෙනි වර්‍ගය

==චුල්ලපන්ථක මහාප‍න්‍ථක තෙරවරු==

දෙවෙනි වර්‍ගයෙහි පළමුසූත්‍රයෙහි, මනොමයං යනු මනසින් උපදවනලද යනුයි. ‘මනොමයෙන කායෙන ඉදධියා උපසඞ්කමි’ යි කියනලද තන්හි වනාහි මනසින් කරනලද කය (ශරීරය) මනොමයකාය නම් වුයේයි. ‘අඤ්ඤතරං මනොමයං කායං උප්පජ්ජති’යි කියනලද තන්හි මනසින් උපදවන කය මනොමයකාය නම්වූයේයි. මෙය මෙහි අදහස් කරනලදී. එහි අන්‍ය භික්‍ෂූහු මනොමයකාය උපදවන්නාහු තුනක් හෝ සතරක් හෝ උපදවත්. එකාකාරවූම කර්‍මයක් කරනු ලබන්නාවූ බොහෝ කායයන් එක සමාන කොටම නූපදවති. චුල්ලපන්‍ථක තෙරුන්වහන්සේ වනාහි එක් ආවර්ජනයකින් දහසක් මහණුන් මැවූහ. ඒකාකාර කර්‍මයක් කරනුලබන්නාවූද එකසමානවූද දෙදෙනකු නොකළහ. එහෙයින් මනෝමයකාය නිර්‍මාණය කරන්නවුන් අතුරෙන් අග්‍රනම් වූහ. චෙතො විවර්‍තදක්‍ෂතාවෙන් යුක්තවූවන් අතුරෙන්ද චුල්ලපන්‍ථක තෙරණුවෝම අග්‍රවෙති. සංඥාවිවර්‍ත දක්‍ෂතාවෙන් යුක්තවූවන් අතුරෙන් මහාපන්‍ථක තෙරණුවෝ අග්‍රයයි කියනලද්දාහුය. එහි චුල්ලපන්‍ථක තෙරුන්වහන්සේ සතර රූපාවචරධ්‍යානයන් ලබා ඇති බැවින් චෙතොවිවට්ටකුසලයයි කියනලද්දාහුය. මහාපන්‍ථකතෙරුන්වහන්සේ සතර අරූපාවචරධ්‍යානයන් ලබා ඇති බැවින් සඤ්ඤාවිවට්ට කුසලයයි කියනලද්දාහුය. චුල්ලපන්‍ථක තෙරණුවෝම සමාධි දක්‍ෂතාවෙන් චෙතොවිවට්ටකුසල නම් වෙත්. මහාපන්‍ථක තෙරණුවෝ විදර්‍ශනාදක්‍ෂාවෙන් සඤ්ඤාවිවට්ටකුසල නම්වෙත්. මෙහි එක් කෙනෙක් සමාධිලක්‍ෂණයෙහි දක්‍ෂයෙකි. එක්කෙනෙක් විදර්‍ශනා ලක්‍ෂණයෙහි සත්‍ථ‍ර්‍‍යෙකි. එක්කෙනෙක් අරමුණු හකුළුවා දැක්වීමෙහි දක්‍ෂයෙකි. එක්කෙනෙක් අංග විශ්ලේෂණය කිරීමෙහි දක්‍ෂයෙකි. එක්කෙනෙක් ආරම්මණ විශ්ලේෂණයෙහි දක්‍ෂයෙකියි මෙසේ මෙහි යෝජනා කටයුතු තවද චුලපන්‍ථක තෙරණුවෝ රූපාවචරධ්‍යානලාභීවී ධ්‍යානාංගයන්ගෙන් නැඟිට රහත්බවට පැමිණියහයි චෙතොවිවට්ටකුසලයහ. මහාපන්‍ථක තෙරණුවෝ අරූපාවචරධ්‍යානලාභීවී ධ්‍යානාංගයන්ගෙන් නැඟිට රහත්බවට පැමිණියහයි සඤ්ඤාවිවට්ටකුසලයහ. දෙදෙනාම මාර්‍ගයෙහි උපන් බැවින් පන්‍ථක නම් වූවාහුය. ඔවුන් අතුරෙන් පළමුව උපන්නේ මහාපන්‍ථක නමි. පසුව උපන්නේ චූලපන්‍ථක නමි. මේ දෙදෙනාගේම ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි:

අතීතයෙහි පදුමුත්තර බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි හංසවතී නගරවැසිවූ දෙබෑ කෙළෙඹිකෙනෙක් ශ්‍රද්ධාවෙන් පැහැදුනෝ නිබඳ ශාස්තෘන් හමුවට ගොස් ධර්‍මය අසත්. එක්දිනක් ඒ දෙදෙනා අතුරෙන් කනිටුබෑයා අංගදෙකකින් යුත් එක් භික්‍ෂුවක ‘මගේ සසුනෙහි මනොමයකාය නිර්‍මාණය කරන්නවුන් අතුරෙන්ද චෙතො විවර්‍තනයෙහි දක්‍ෂයන් අතුරෙන්ද මේ භික්‍ෂුව අග්‍රයයි එතදග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක මෙසේ සිතීය. ‘ඒකාන්තයෙන්ම මේ භික්‍ෂුව ශ්‍රේෂ්ඨයෙකි. එක්කෙනෙක්ම අංග දෙකක් සම්පූර්‍ණකොට හැසිරෙයි. මාවිසින්ද අනාගතයෙහි එක්බුදුකෙනෙකුන්ගේ සසුනෙහි අංගදෙකක් පුරන්නකු වී හැසිරීමට වටීය.’ යනුවෙනි. හෙතෙම පළමු ක්‍රමයෙන්ම ශාස්තාන් ආරාධනාකොට සත්දිනක් මහදන්දී මෙසේ කීවේය: ‘ස්වාමීනි, මෙයින් සත්දිනකයට මත්තෙහි නුඹවහන්සේ යම් භික්‍ෂුවක, මනොමය අංගයෙන්ද චෙතොවිවට්ට කුසලඅංගයෙන්ද මෙතෙම මගේ සසුනෙහි අග්‍රයයි ඒකදග්‍රස්ථානයෙහි තැබුවාහුද මමද මේ පුණ්‍යකර්‍මයාගේ විපාකයෙන් ඒ භික්‍ෂුව මෙන් අංග දෙක සපුරන්නෙක් වෙම්වායි ප්‍රාත්‍ථ‍ර්‍‍නා කළේය. ශාස්තෘන්වහන්සේ අනාගතය බලා අනතුරකින් තොරව ඔහුගේ ප්‍රාර්ථනාව ඉටුවනබව දැන ‘අනාගතයෙහි කල්පලක්‍ෂයක අවසානයෙහි ගොතමනම් බුදුකෙනෙක් උපදින්නාහ. උන්වහන්සේ මොහු මේ තනතරු දෙකෙහි තබන්නාහ’යි ව්‍යාකරණය කොට අනුමෙවෙනිකොට වැඩමකළසේක. ඔහුගේ සහෝදරයාද එක්දිනක් සංඥාවිවර්‍තනයෙහි දක්‍ෂවූ භික්‍ෂුවක ඒතදග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක එසේම පුණ්‍යකර්‍මකෙට ප්‍රාත්‍ථ‍ර්‍‍නා කළේය. ශාස්තෘන්වහන්සේද ඔහුට විවරණ දුන්සේක. ඒ දෙදෙනාම ශාස්තෘන්වහන්සේගේ ජීවමාන කාලයෙහි කුසල් කොට ශාස්තෘන් පිරිනිවන් පෑ කල්හි ශරීරචෛත්‍යයෙහි රන් පූජාව කොට එයින් සැවවූවාහු දෙව්ලොව උපන්නාහුය. මොවුන් දෙව්මිනිසුන් අතර සැරිසරද්දීම කල්ප ලක්‍ෂයක් ඉක්මුණේය. එහි මහාපන්‍ථකයන්ගේ අතරතුර කළ පින්කම් නොකියනු ලැබේ.

චුල්ලපන්‍ථක වනාහි කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේගේ සසුනෙහි පැවිදිවී අවුරුදු විසිදහසක් ඔදාතකසිණකර්‍මයකොට දෙව්ලොව උපන්නේය. ඉක්බිති අපගේ ශාස්තෘන් වහන්සේ අභිසම්බෝධියට පැමිණ පවත්වනලද උතුම් දම්සක් ඇතිසේක් රජගහනුවර ඇසුරු කොට වෙළුවන මහාවිහාරයෙහි වාසයකරනසේක. මෙතැන් සිට මේ දෙදෙනොගේම උපත කීමට වටී.

රජගහනුවරෙහි ධනවත් සිටුකුලයක දියනියන් තමාගේ දාසයා සමඟ ඇසුරු කොට අන්‍යයෝද මගේ මේ ක්‍රියාව දැනගන්නාහුයයි බියවූවා මෙසේ කීවාය: ‘අපට මෙතැන්හි විසීමට නොහැකිය. ඉදින් මගේ මාපියෝ මේ වරද දැනගන්නාහු නම් මා කඩකඩ කරති. විදේශයකට ගොස් වසන්නෙමු’යි වටිනා ධනය ගෙන ප්‍රධාන දොරටුවෙන් නික්ම අන්‍යයන් විසින් නොදන්නා යම්කිසි තැනකට ගොස් වසන්නෙමු’යි දෙදෙනාම ගියාහුය. ඒක තැනක වසන්නාවූ ඔවුන්ගේ සංවාසය නිසා ඇයගේ කුසෙහි ගැබක් පිහිටියේය. ඕ ගැබ මුහුකිරීමට පැමිණ ස්වාමියා සමඟ, ‘මගේ ගැබ මුහුකුරා ගියේය. නෑමිතුරන් නැති තැනක දරුප්‍රශූතිය නම් අප දෙදෙනාටම කරදයක්ම වේ. කුලගෙයටම යමු’යි කතා කළාය. හෙතෙම් අද යමු හෙටයමුයි දින ඉක්මෙව්වේය. ඕතොමෝ ‘මේ බාලතෙමේ තමාගේ වරද බලවත් බැවින් යාමට උත්සාහ නොකරයි. මවුපියෝ නම් ඒකානත්යෙන් හිතවත්ය. මෙතෙමේ ගියා හෝ නොගියා හෝ වේවා. මා යාමට වටීයයි සිතුවාය. ඔහු ගෙයින් පිටත්ව ගිය කල්හි ඕතොමෝ ගෙහි බඩු එකලස් කොට තමාගේ කුලගෙයට ගියබව ඊලඟ ගෙහි වැසියන්ට සැළකොට මගට පිළිපන්නීය. ඉක්බිති ඒ පුරුෂයා ගෙට අවුත් ඇය නොදැක ඇසුරු කරන්නවුන්ගෙන් අසා කුලගෙයට ගියායයි දැන වේගයෙන් ළුහුබැඳ ගොස් අතරමගදී මුණගැසුනේය. ඇයටද එහිදීම දරුප්‍රශූතිය වීය. හෙතෙම, ‘සොදුර, මේ කුමක්දැයි ඇසීය. ‘ස්වාමීනි, එක් පුතෙක් උපන්නේය’යි කීවාය. ‘දැන් කුමක් කරන්නෙමුද? යමක් සඳහා අපි කුලගෙයට යමුද ඒකාර්‍ය්‍යය අතරමගදීම සපිරිණි. එහි ගොස් කුමක් කරන්නෙමුද? නවතිමුයයි දෙදෙනාම එක් සිත්ව නැවැත්තාහුය. ඒ දරුවාටද මගෙහි උපන් බැවින් පන්‍ථකයයි නම් කළහුය. ඇයට නොබෝකලකින්ම වෙනත් ගැබක් ද පිහිටියේය. සියල්ල පෙර පරිද්දෙන්ම විස්තර කළයුතුය. ඒ දරුවාටද මගෙහි උපන් බැවින් පළමු උපන්නාට මහාපන්‍ථකයයි නම් කොට අනෙකාට චුල්ලපන්‍ථකයයි නම් කළාහුය. ඔවුහු ඒ දරු දෙදෙනාම ගෙන තමන් වසන තැනටම ගියාහුය. එහි වසන්නාවූ මේ දෙදෙනාගෙන් මේ මහාපන්‍ථක දරුවා අනෙක් දරුවන් සුළුපියාය. මහපියාය, මුත්තාය, මිත්තණියයි කියනු අසා මවගෙන් ‘මෑණියනි, අනික් ලමයි මුත්තායයි කියත්, මිත්තණියන්ද කියත් කිම අපට නෑයෝ නැද්දැයි ඇසීය. ‘එසේය, දරුව නුඹලාට මෙහි නෑයෝ නැත. රජගහනුවර නුඹලාගේ මුත්තා ධනසෙට්ඨි නම්වේ. එහි නුඹලාගේ බොහෝ නෑයෝයි කීවාය. ‘මෑණියනි, කුමක් හෙයින් එහි නොයමුද?’ ඕ‍තමන් පැමිණි කාරණය නොකියා ඔවුන් යළියළිත් කියන කල්හි සැමියාට, මේ දරුවෝ බෙහෙවින් කරදරවෙත්, කිම මව්පියෝ අපදැක (අපගේ) මස් කත්ද? එව, දරුවන්ට මුත්තණුගෙය දක්වන්නෙමුයි කීවාය. මට මුහුණ දේනට නොහැක්කෙමි. ඔබ යවන්නෙමි’යි හෙතෙම කීය. ‘මැනව, ස්වාමීනි, යම්කිසි ක්‍රමයකින් දරුවන්ට මුත්තණුගෙය දැක්වීමට වටීය’යි ඕ කීවාය.
දෙදෙනාම දරුවන් රැගෙන පිළිවෙළින් රජගහ නුවරට පැමිණ නගර දොරටුවෙහි එක් ශාලාවක නැවතී දරුවන්ගේ මව දෙදරුවන් ගෙන ආබව මාපියන්ට සැළකෙරෙව්වාය. ඔවුහු එපුවත අසා, ‘සසර සැරිසරන්වුන්ට පුතෙක් නොවන්නෙක් දුවක් නොවන‍නෙක් නම් නැත. ඔවුහු අපට මහාපාරාධයක් කළ අයයි. ඔවුන්ට අපගේ ඇස් හමුවෙහි සිටීමට නොහැකිය. මෙපමණ නම් ධනයක් ගෙන දෙදෙනාමපහසු තැනකට ගොස් ජීවත් වෙත්වා! දරුවන් මෙහි එවත්වා’යි දැනවූහ. සිටුදියණිය මව්පියන් එවූ ධනය ගෙන දරුවන් ආවාවූ දූතයන්ගේම අතටදී යැවුවාය. දරුවෝ මුත්තණුගෙහි වැඩෙති. ඔවුනතුරින් චුල්ලපන්‍ථක තෙමේ ඉතා ළදරුය. මහා පන්‍ථක වනාහි මුත්තණුවන් සමඟ බුදුන්වහන්සේගේ ධර්‍මකථා ඇසීමට යයි. නිබඳවම ශාස්තෘන් හමුවෙහි ධර්‍මකථා අසන්නාවූ ඔහුගේ සිත පැවිද්ද දෙසට නැමුණේය. හෙතෙම මුත්තාට, ඉදින් ඔබතුමා පිළිගන්නහු නම් මම පැවිදි වන්නේමි’යි කීවේය. දරුව නුඹ කුමක් කියහිද? මට සියලු ලෝකයාගේම පැවිද්දට වඩා නුඹගේම පැවිද්ද මැනවි. ඉදින් හැකිනම් පැවිදි වන්න දරුව’යි පිළිගෙන ශාස්තෘන් සමීපයට ගියේය. ශාස්තෘන්වහන්සේ කිමෙක්ද මහසිටු, ඔබ විසින් දරුවෙක් ලබන ලද්දේයි ඇසූසේක. ‘එසේය, ස්වාමීනි, මේ දරුව මගේ මුණුබුරාය. නුඹවහන්සේ සමීපයෙහි පැවිදිවෙමැයි කියයියී කීවේය. ශාස්තෘන්වහන්සේ පිඬුහැසිරෙන එක්තරා භික්‍ෂුවකට මේ ද්රුවා පැවිදිකරවයි අණකළසේක. තෙරුන්වහන්සේ ඔහුට තචපඤ්චක කර්‍මස්ථානය දැනුම්දී පැවිදි කරවූහ. හෙතෙම බොහෝ බුදුවදන් උගෙන පිරිපුන් වස් ඇත්තේ උපසම්පදාව ලැබුවේය. උපසපන් වූයේ යොනිසෝ මනසිකාරයෙහි කටයුතු කරන්නේ සතර අරූපාවචරධ්‍යානලාභීවී ධ්‍යානාංගයන්ගෙන් නැඟිට රහත්බවට පත්වූයේය. මෙසේ හෙතෙම සංඥාවිවර්‍තදක්‍ෂතා ඇත්තවුන් අතුරෙන් අග්‍රවූයේය. හෙතෙම ධ්‍යානසුඛයෙන්ද මාර්‍ගසුඛයෙන්ද ඵලසුඛයෙන්ද නිර්‍වාණසුඛයෙන්ද කල්ගෙවන්නේ මෙසේ සිතුවේය: ‘මේ සැපය චුල්ලපන්‍ථකට දීමට හැකිවේද’ යනුවෙනි. ඉක්බිති මුත්තණුසිටුවරයා ලඟට ගොස් මහ සිටුතුමනි, ඔබතුමා පිළිගන්නහු නම් මම චුල්ලපන්‍ථක පැවිදි කරවන්නෙමි’යි කීවේය. ‘ස්වාමීනි පැවිදි කරන්නැයි සිටුවරයා කීය. තෙරුන්වහන්සේ චුල්ලපන්‍ථක දරුවා පැවිදිකරවා දසසිල්හි පිහිටුවූහ. චුල්ලපන්‍ථක හෙරණ තෙමේ සොහොයුරාගේ සමීපයෙහි,
‘පදුමං යථා කොකනදං සුගන්ධං
පාතො සියා ඵුල්ලමවිතගන්ධං
අඩ්ගිරසං පස්ස විරෙචමානං
තපන්තමාදිච්චමිවන්තලික්ඛේ’ ‍
(සුවදැති, පිපුණු, පහනොවූ සුවද ඇති රත් පියුමක් උදෑසන යම්සේ වේද (එසේ) බබළන්නාවූ අඞ්ගීරසයන් (බුදුන්වහන්සේ) අහසෙහි බබළන හිරුමෙන් බලව’ මේ ගාථාව උගණියි. මතු පද උගන්නාවූ උන්වහන්සේගේ උගත් උගත් පදය නැසෙයි (අමතකවෙයි) මේ ගාථාවම උගෙනීමට වෑයම් කරන්නාවූ උන්වහන්සේට සිවුමසක් ඉක්මුණේය. ඉක්බිති මහාපන්‍ථක තෙමේ ඔහුට, ‘පන්‍ථකය, නුඹ මේ සසුනෙහි අභව්‍යයෙකි. සිවු මසකින් එකගාථාවකුදු උගෙනීමට නොහැකි වූවෙහි. නුඹ කෙසේ නම් පැවිදිකිස මුදුන්පත් කරන්නෙහිද? මෙයෙනි නික්ම යන්නැයි පැවසීය. හෙතෙම තෙරුන් විසින් නෙරපන ලද්දේ විහාර ප්‍රත්‍යන්තයෙහි අඬමින් සිටියේය. එ‍සමයෙහි භාග්‍යවතුන්වහන්සේ‍ රජගහනුවර ඇසුර කොට ජීවකම්බවනයෙහි වාසයකරනසේක. එකල්හි ජීවක තෙමේ ‘භික්‍ෂූන් පන්සියයක් සමඟ ශාස්තාන්වහන්සේ නිමන්ත්‍රණය කරව’යි පුරුෂයකු යැවීය. එකල්හි මහාපන්‍ථක තෙරණුවෝ භත්තුදේදසක වෙති. උන්වහන්සේ ‘ස්වාමීනි භික්‍ෂූන් පන්සියයකට හික්‍ෂාව පිළිගනුමැනවැ’යි කීකල්හි, ‘බාලපන්‍ථකයන් හැර සෙස්සන්ට පිළිගනිමි’යි කීහ. චුල්ලපන්‍ථක තෙමේ ඒ කථාව අසා බොහෝ සෙයින් දොම්නසට පත් වූයේය. ශාස්තෘන්වහන්සේ චුල්ලපන්‍ථකගේ ඛේදය දැක ‘චුල්ලපන්‍ථක තෙමේ මා ගිය කල්හි අවබෝධකරන්නේය’යි ගොස් නුදුරුතැනෙක තමන් දක්වා, ‘පන්‍ථකය, නුඹ හඬහිදැ’යි විමසූසේක. ස්වාමීනි, සොහොයුරා මා පිටමං කරයි’ යයි කීවේය. ‘පන්‍ථකය, නුඹේ සොහොයුරාට වෙනත් පුද්ගලයන්ගේ ආසයානුසය පිළිබඳ දැනීමක් නැත. නුඹ බුදුන් විසින් හික්මවිය යුත පුද්ගලයෙක් නම් වේයයි සෘද්ධියෙන් මවා පිරිසුදු රෙදි කඩක්දී, පන්‍ථකය, මෙය ගෙන රජෝහරණං රජොහරණංයි කියමින් භාවනා කරන්නැ’යි වදාළසේක. හෙතෙම ශාස්තෘන් විසින් දෙනලද රෙදිකඩ රජොහරණං රජොහරණං (කිළිටි හැරීම) යි (කියමින්) අතින් පිරිමදිමින් සිටියේය. (එසේ) පිරිමදිමින් සිටියදී ලොම් කිළිටි ස්වභාවය ඇත්තේවිය. නැවත පිරිමදිනවිට ඇතිලි පිස්නාවක් සමානවිය. හෙතෙම නුවණමුහුකුරා යාමට පැමිණ එහි රළුබව හා ගෙවීයාම සලකා මේ රෙදිකඩ ප්‍රකාතියෙන් සුදුසුය. පිරිසුදුය. තෘෂ්ණාදිය විසින් ගන්නාලද ශරීරය ඇසුරුකොට කිළිටිවිය. සිතද මෙබඳු ස්වභාවය ඇත්තේමයයි සමාධිය වඩා සතර රූපාවචර ධ්‍යානයන් පාදකකොට පිළිසිඹියා සමඟ රහත්බවට පැමිණියේය. හෙතෙම මනොමය ඤාණලාභියෙක්වී එක්කෙ‍නකු වී බොහෝ දෙනෙකුවීමටත් බොහෝ දෙ‍නකුවී එක් කෙනකුවීමටත් සමත් වූයේය. අර්හත්මාර්‍ගය සමඟම ඔහුට ත්‍රිපිටකයත් අභිඥා යසත් (පිළිබඳ දැනුම) පැමිණියේය. දෙවැනි දිනයෙහි ශාස්තෘන් වහන්සේ සාරසිය අනූනවයක් භික්‍ෂූන් මඟ ගොස් ජීවකගේ නිවසෙහි හුන්සේක. චූලපන්‍ථක තෙමේ වනාහි තමාට හික්‍ෂාව නොපිළිගත් බැවින් නොගියේය. ජීවක තෙමේ කැඳ දීමට පටන් ගත්තේය. ශාස්තෘන්වහන්සේ පාත්‍රය අතින් වැසූසේක. ස්වාමීනි, කුමක්නිසා නොගන්නා සේක්දැයි ඇසීය. ‘ජීවකය, විහාරයෙහි එක් භික්‍ෂුවක් ඇතැයි වදාළ සේක. හෙතෙම, ‘පින්වත, විහාරයෙහි හිඳිනා ආර්‍ය්‍යයන්වහන්සේ රැගෙන එව’යි සැළකොට පුරුෂයකු යැවීය. චුල්ලපන්‍ථක තෙරුන්වහන්සේද ඒ පුරුෂයාගේ පැමිණීමට පෙරම භික්‍ෂූන් දහසක් මවා එක්කෙනෙකු අන්කෙනකුගේ අසමානද එක්කෙනකුගේ සිවුරු පෙරවීම් හැසිරීම් ආදී ශ්‍රමණ කටයුතු අන්කෙනකුගේ සිවුරු පෙරවීම් හැසිරීම් ආදී ශ්‍රමණ කටයුතු අන්කෙනකුගෙන් අසමානද කළහ. ඒ පුරුෂයා විහාරයෙහි භික්‍ෂූන් බොහෝබව දැක ගොස්, ස්වාමීනි, විහාරයෙහි භික්‍ෂූසංඝයා මේ භික්‍ෂුසංඝයාට වඩා වැඩිය. කැඳවිය යුතු භික්‍ෂූන් වහන්සේ නොදනිමි’යි ජීවකට කීවේය. ජීවක තෙමේ, ස්වාමීනි විහාරයෙහි හිඳිනා භික්‍ෂූන් වහන්සේ කවරෙකු නම් වේද’යි භාග්‍යවතුන්වහන්සේගෙන් අසූවේය. ‘ජීවකය, චුල්ලපන්‍ථක නම් වෙය’යි පැවසූ‍සේක. ‘පින්වත, යන්න චුල්ලපන්‍ථක නම් කවරෙක්දැයි විමසා කැඳවා ගෙන එන්නැ’යි (පුරුෂයා නැවත යැවීය) හෙතෙම විහාරයට ගොස් ‘ස්වාමීනි, චුල්ලපන්‍ථක නම් කවරෙක්දැයි විමසීය. මම චුල්ලපන්‍ථකය, මම චුල්ලපන්‍ථකයයි භික්‍ෂූන් දහසක් දෙනාම ප්‍රකාශ කළහ. යළි ගොස් දහසක් පමණ භික්‍ෂුහු සියලුදෙනාම මම චුල්ලපන්‍ථක වෙමැයි පවසති. මම කැඟවිය යුත්තා අසුවලායි නොදනිමි’යි ජීවකට පැවසීය. ජීවක තෙමේ අවබෝධකළ සත්‍යය ඇති බැවින් සෘද්ධිමත් භික්‍ෂුවකැයි නයවශයෙන් දැන පළමුව (නම) කියන භික්‍ෂුවම ශාස්තෘන්වහන්සේ නුඹවහන්සේ කැඳවන සේකැයි කියා සිවුරුකොණින් අල්ලාගෙන දරුව’යි කීවේය. හෙතෙම විහාරයට ‍ගොස් එසේ කළේය. එකෙණෙහිම දහසක් පමණවූ භක්‍ෂූහු අතුරුදහන් වූහ. ඒ පුරැෂයා තෙරුන්වහන්සේ ගෙන විහාරයට ගියේය. ශාස්තෘන්වහන්සේ එකෙණෙහි කැඳ පිළිගත් සේක. බුදුන්වහන්සේ බත්කිසකොට විහාරයට ගියකල්හි ධර්‍මසභාවෙහි බුදුවරුනම් ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨයෝය. සිවුමසකදී එක් ගාථාවක් උගෙනීමට නොහැකිවූ භික්‍ෂුවක මෙසේ මහත් සෘද්ධි ඇත්තකු කළහ’යි කථාවක් උපන්නේය. ශාස්තෘන්වහන්සේ ඒ භික්‍ෂූන්ගේ සිත් හසර දැන බුද්ධාසනයෙහි හිඳ මහණෙනි, කුමක් කියහුදැයි ඇසූසේක. ‘ස්වාමීනි, අන්කිසිවක් නොකියමු. චුල්ලපන්‍ථක විසින් නුඹවහන්සේ සමීපයෙන් මහත් ලාභයක් ලබන්ලදැයි නුඹවහන්සේගේම ගුණය කථාකරමු’යි පැවසූහ. මහණෙනි, දැන් මාගේ අවවාදය (අනුව කටයුතු) කොට ලෝකෝත්තර දායාදය ලැබීම පුදුමයක් නොවේ. පෙරද මෙතෙම නොමුහුකුරාගිය නුවණ ඇතිව මගේ අවවාදය පිළිගෙන ලෞකිකදායාදය ලැබීය’යි වදාළසේක. භික්‍ෂූහු, ‘ස්වාමීනි, කවදාද’යි ආයාචනය කළහ. ශාස්තෘන්වහන්සේ ඒ භික්‍ෂූන්ට අතීතය ගෙනහැර දැකවූ සේක. මහණෙනි, අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජෙක් රජකම් කරවීය. එසමයෙහි චුල්ලසෙට්ඨි නම් පණ්ඩිතයෙක් ව්‍යක්ත වූයේ සියලු නිමිති දනියි. හෙතෙම එක් දිනක රාජඋපස්ථානය සඳහා යන්නේ ඇතුල් වීදියෙහි මළමීයකු දැක එකෙණෙහි නැකත් එක්කොට බලා මෙසේ කීවේය. ‘නුවණැති කුලපුතකු විසින් මේ (මළ) මීයා ගෙන අඹුදරුවන් රැකීමටත් කර්‍මාන්තයෙහි යෙදීමටත් හැකිවන්නේය’යි යනුවෙනි. එක්තරා දිළිඳු කුලපුත්‍රයෙක් සිටුවරයාගේ ඒ වචනය අසා ‍’මෙතෙම නොදැන නොකියන්නේ’යි මීයා ගෙන එක් අවන්හලක බළලුන් සඳහා දී කාකණික මිළක් ලැබීය. ඒ කාකණිකයෙන් සකුරු ගෙන එක් බඳුනකින් පැන් ගත්තේය. හෙතෙම වනයෙන් පැමිණෙන මල් කරුවන් දැක ටික ටික සකුරු කැබලිදි හැන්දෙන් පැන් දුන්නේය. ඔවුහු ඔහුට එක් එක් මල්මිටක් දුන්හ. හෙතෙම ඒ මල්මිලෙන් දෙවන දිනයේද සකුරුද පැන් කළයද ගෙන මල් උයනටම ගියේය. එදවස මල් කරුවෝ ඔහුට අඩක් නෙළුෑ මල්පැලෑටිදී ගියාහුය. හෙතෙම නොබෝදිනකින්ම මේ ක්‍රමයෙන් කහවණු අටක් ලැබීය. නැවත එක් සුළංසහිත වැසි දිනෙක විසරුණු උයනට ගොස් වැටුණුදර එකතු කොට හුන්නේ රජුගේ කුඹුල්කරුගේ සමීපයෙන් කහවණු සො‍ළසක් ලැබුවේය. හෙතෙම කහවණු විසිහතරක්වූ විට මේ උපාය මට ඇතැයි සිතා නුවර දොරටුවෙන් නුදුරු තැනක එක් පැන්සැළියක් තබා තණගෙනයන්නන් පන්සියයකට පැනින් උවටැන් කළේය. ඔවුහු, යහළුව, නුඹ අපට උපකාර‍කයෙකි. නුඹට අපි කුමක් කරමුදැයි ඇසූහ. හෙතෙම මට වැඩක් ඇති කල්හි කරන්නැයි කියා ඔබිමොබ හැසිරෙන්නේ ගොඩබිම් මාර්‍ග කාර්මිකයා හා ජගමාර්‍ග කාර්මිකයා සමඟ මිතුදම් පැවැත්වීය. ඔහුට ගොඩබිම්මාර්‍ග කාර්මිකයා හෙට මේ නගරයට අස්වෙළෙන්දෙක් අසුන් පන්සියයක් ගෙන එන්නේයයි සැළ කලේය. හෙතෙම ඔහුගේ වචනය අසා තණගෙනෙන්නවුන්ට සංඥාවක්දී එක් ඒක් තණමිටියක් දෙගුණ කොට ගෙන්වාගත්තේය. ඉක්බිති අසුන් නගරයට පිවිසි වේලාවෙහි තණමිටි දහස ඇතුල්දොරෙහි ගොනු කොට හුන්නේය. අස් වෙළෙන්දා සියලු නුවරෙහි අසුන්ට ගොදුරු නොලැබ ඔහුට දහසක්දී ඒ තණ ගත්තේය. එයින් කිහිපදිනකට පසු ඔහුගේ මුහුදෙහි වැඩකරන යහළුවෙක් පටුනට (වරායට) මහනැවක් ආවේයයි සැළ කළේය. හෙතෙම මේ උපාය ඇතැයි කහවණු අටකින් සියලු පිරිවරින් යුත් තාවකාලිකරථයක් ගෙන නැව්තොටට ගොස් එක් ඇඟිලිමුද්‍රාවක් නැවට අත්තිකාරම් වශයෙන්දී නොදුරුතන්හි තිරයෙන් වටකරවා එහි හුන්නේ, පිටින් වෙළෙන්දන් පැමිණි කල්හි තෙවන හස්නෙන් සැළකරවුයයි පුරුෂයන්ට අණකරවීය. නැව පැමිණියේයයි අසා බැරණැසින් සියයක් පමණ වෙළෙන්දෝ බඩු ගන්නෙමුයි ආවාහුය. නුඹලා බඩු නොලබන්නහුය. අසුවල් තැන සිටිනා මහා වෙළෙන්දා විසින් අත්තිකාරම් දෙන ලදී. ඔවුහු ඔවුන්ගේ කථාව අසා ඔහුගේ සමීපයට ගියාහුය. සේවකයෝ පෙර සංඥාවශයෙන් තෙවැනි හස්නෙන් ඔවුන් ආබව සැළකළාහුය. ඒ සියයක් පමණ වෙළෙන්දෝ එක් එක් දහස බැගින්දී ඔහු සමඟ හවුල්කරුවන්වී යළි එක් එක් දහස බැගින්දී මිළදීගෙන බඩු තමන් අයත් කරගත්හ. ඒ පුරුෂයා දෙලක්‍ෂය ගෙන බරණැසට අවුත් කෙළෙහිගුණ සලක්නෙකු වියයුතුයයි එක් ලක්‍ෂයක් ගෙන්වා ගෙන චුල්ලසෙට්ඨි වෙත ගියේය. ඉක්බිති ඔහුට ඒ සිටුතුමා ‘දරුව නුඹ විසින් කුමක් කොට මේ ධනය ලබන ලද්දේදැයි ඇසීය. හෙතෙම, ‘ඔබතුමන් විසින් කියලද උපායෙහි සිට සිටුමසක් තුළම ලබන ලදැ’යි කීවේය. සිටුතෙමේ ඔහුගේ වචනය අසා දැන් මෙබඳු දරුවකු අන්සතු කිරීමට නොවටීයයි සිතා වියපත් දියණිය දී මුළු පවුලටම හිමියා ක‍ළේය. ඒ කුලපුත්‍රයාද සිටාණන්ගේ ඇවෑමෙවන් ඒ නගරයෙහි සිටු තනතුර ගෙන දිවි ඇතිතෙක් සිට කම්වූ පරිද්දෙන් මිය ගියේය. ශාස්තෘන්වහන්සේ කථාවස්තු දෙක වදාරා අනුසන්‍ධි ගලපා බුදුවූ කල්හි මේ ගාථාව වදාළ සේක.
“අප්පකෙනපි මෙධාවී පාහතෙන විචක්‍ඛණො
සමුට්ඨාපෙති අත්තානං අණුං අග්ගිංව සන්‍ධමං’’
(විචක්‍ෂණ බුද්ධිමත් තැනැතේ ස්වල්පවූද පඬුරකින් කුඩා ගින්නක් පිඹ අවුලුවන්නාක් මෙන් තමා නංවයි.)
මෙසේ ශාස්තෘන්වහන්සේ ධර්‍මසභාවෙහි හුන්නවුන්ට මේ කාරණය දැක්වූ සේක. මේ මහාශ්‍රාවකයන් දෙදෙනාගේම පූර්‍ව ප්‍රාත්‍ථ‍ර්‍‍නාවේ නාවේ සිට අනුපිළිවෙළ කථාවයි. මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේ අර්‍ය්‍යසමූහයා විසින් පිරිවරණ ලද්දාහු ධර්‍මාසනයෙහි වැඩහුන් සේක. මනොමය ශරීරයන් නිර්‍මාණය කරන්නවුන් හා චෙතොවිවට්ට කුසල් ඇත්තවුන් අතුරෙන් චුල්ලපන්‍ථක තෙරුන් අග්‍රස්ථානයෙහි තැබූසේක. සඤ්ඤා විවට්ට කුසලයනල් අතුරෙන් අග්‍රවූවෝ මහාපන්‍ථක තෙරණුවෝයි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2OUZbH5
පසළොස් චරණ ධර්ම

බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු අනන්ත අප්‍රමාණ ගුණ සමුදාය පිළිබඳව දැනුමක් සෑම බෞද්ධයෙකුට ම තිබිය යුතුය. බුදුරජාණන් වහන්සේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගත හැක්කේ බුදුගුණ දැනගත් තරමටය. බුදුගුණ දන්නා අයට අචල ප්‍රසාදය හෙවත් ශ්‍රද්ධාව ඇතිවේ. එය සෝවාන් වීමට අවශ්‍ය අංගයකි. එපමණක් ම නොව ශ්‍රද්ධාව ඇති පුද්ගලයා දහම් මග අනුගමනය කරමින් දිනෙන් දින නිවන් මාවතේ ඉදිරියට ගමන් කරන්නෙක් බවට ද පත්වනු ඇත.

කවුරුත් දන්නා ප්‍රකට බුදු ගුණ නවයකි. ඒ අතුරින් පසලොස් ආකාරයකින් සමන්විත චරණ ධර්ම සමූහය ශ්‍රාවක සාධාරණ වූවකි.

එනම් ගිහි පැවිදි බුද්ධ ශ්‍ර‍්‍රාවකයන්ට ද තම ජීවිතය තුළින් ක්‍රියාත්මක කළ හැකි, කළ යුතු ගුණ සමූහයකි. එබැවින් ඒ පිළිබඳව දැන ගැනීම ද ඉතා වැදගත්ය.

චරණ නාමයෙන් යුක්ත වූ ධර්ම පසළොස බුදුරජාණන් වහන්සේ ගේ නියමය පරිදි ආනන්ද හිමි විසින් දේශනා කරන ලද්දේ කපිලවස්තු පුරයේ ශාක්‍යයන්ටය.

එබැවින් එය ගිහි ජනතාවටත් වැදගත් වූවක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. සේඛ ප්‍රතිපදාව වශයෙන් මජ්ඣිම නිකායේ සේඛ සූත්‍රයෙහි සඳහන්ව ඇත්තේ ද මෙම චරණ ධර්මයන්මය.

ඉන් පළමු වැන්න සීලසම්පන්න වීමයි. එනම් කය, වචන දෙක හික්මවා ගැනීමයි. ගිහි පක්‍ෂය සඳහා පන්සිල් ආජීව අට්ඨමක සිල් පෝය අට සිල් නවාංග උපෝසථ සිල් හා දසසිල් යනුවෙන් හික්මීම ඇති කර ගැනීමට ඉවහල් වන ප්‍රතිපත්ති රැසක් හඳුන්වා දී ඇත. මෙම සිල් පද රැකගන්නා අතරම වත් පිළිවෙත් ද සපුරාලීම කළ යුතුය.

සීලය සම්පූර්ණ වන්නේ එවිටය. කය වචන දෙකෙන් කුඩා හෝ වරදක් නොකර දිනෙන් දින සංවරය වැඩිදියුණු කර ගන්නට වෑයම් කරන්නාට සිය චරණ ගුණය වර්ධනය කර ගත හැකිවේ.

ඉන්ද්‍රිය සංවරය නමැති දෙවන චරණයෙන් බලාපොරොත්තු වන්නේ ඇස කන නාසය දිව කය හා මනස යන ඉන්ද්‍රියයන් පාලනය කරගැනීමය.

පමණ දැන ආහාර ගැනීම ද චරණ ධර්මයකි. ආහාරය නිසා බොහෝ දෙනා බොහෝ පාපයන් කරති. ආහාරය මුල් කරගෙන රාගය ආශාව ආදී කෙලෙස් වැඩි දියුණු වෙති. පමණට වඩා ආහාර ගැනීම නිසා විවිධ ප්‍රශ්න පැන නගී. පමණ දැනගෙන ආහාර ගැනීම නිවන් මගේ ගමන් කරන්නාට පහසුවකි. තෘෂ්ණාදී කෙලෙස් පාලනයට සහායකි. එබැවින් එය දියුණු කළ යුතු ගුණයකි.

නින්දෙන් වැළකී සිත දියුණු කිරීම ජාගරියානුයෝගයයි. එනම් සිත කිලිටි කරන නීවරණයන්ගෙන් සිත මුදවාගෙන සමථ හෝ විදර්ශනා අරමුණක යෙදී භාවනාවෙහි යෙදීමයි’ නිතර භාවිතා කළ යුතු කමටහන් සතරක් ආරක්‍ෂක භාවනා වශයෙන් හඳුන්වා දී ඇත. හැකි සෑම අවස්ථාවකම එවන් භාවනාවක යෙදීම කළ යුතුය. කාල වේලාව නැතැයි මැසිවිලි නගන අයට නින්ද සඳහා ගත කරන කාලය ඉතිරි කරගෙන භාවනාවක යෙදිය හැකිනම් මේ චරණ ගුණය දියුණු කර ගැනීම අපහසු වූවක් නොවේ.

ශ්‍රද්ධාව මීලඟ චරණයයි. තෙරුවන් ගුණ හඳුනාගෙන ඇතිකරගත් ප්‍රසාදය හා විශ්වාසය ඇති කුසල කර්මවල ඵල විපාක පිළිගන්නා අයට ශ්‍රද්ධාව තිබේ. නිවන් මගේ ඉදිරියට ගමන් කරන්නට නම් ශ්‍රද්ධාව තිබිය යුතුමය. එය අචල බවට පත්වන්නේ සෝවාන් වීමෙන්ය. එබැවින් ගිහි පින්වතුන් ද ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගන්නට වෑයම් කළ යුතුය.

දුසිරිතෙහි යෙදෙන්නවුන්ට ලැබෙන නරක විපාක පිළිබඳව දැනගෙන එහි යෙදීමට ලැජ්ජාවීම සහ පාපය පිළිකුල් කරන බව හරියයි.

බුදුන් සරණ ගිය මා වැන්නෙක් කුඩා වූ වරදෙක වුවද යෙදීම සුදුසු නැතැයි සිතා දිනෙන් දින පාපයෙන් ඈතිවිය යුතුයි. හරිය නමින් හැඳින්වෙන්නේ එයයි.

බහුශ්‍රැත බව මීලඟ චරණයයි. බුදු දහම නැවත නැවත අසමින් කියමින් ප්‍රගුණ කර සිතෙහි දරා ගැනීම නිවැරදිව තේරුම් ගැනීම හා අමතක නොවන සේ නිතර භාවිතා කිරීම මෙයින් බලාපොරොත්තුවේ.

පරාක්‍රමය යනුවෙන් හැඳින්වෙන්නේ වීර්යයයි. අකුසල සිතුවිලි ප්‍රහාණය කිරීමටත් කුසල සිතුවිලි වර්ධනය කර ගැනීමටත් උනන්දුව උත්සාහය ඇතිකර ගැනීමයි. සීල සමාධි ප්‍රඥා දියුණු කර ගන්නට දිනෙන් දින උත්සාහ කිරීමයි.

සතිය යනු මීළඟ චරණයයි. සතර සතිපට්ඨානාදී භාවනාවෙන් දියුණු කළ සිහිය සතියයි. සතිය ඇති වන්නට නම් තමන් පුරුදු කරගත් භාවනාව නිතර නිතර වඩා සතර ඉරියව්වම ඤාණ සම්පයුක්තව පවත්වන්නට හුරු කරගත යුතුයි. මතිය හෙවත් ප්‍රඥාව යනුවෙන් හඳුන්වන්නේ ද චරණ ධර්මයකි. නාම රූප සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම වටහාගන්නා නුවණ ප්‍රඥාවයි. එය ඇති කර ගන්නට විපස්සනා භාවනා වඩන්නට සිදුවේ.

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මෙනෙහි කරමින් භාවනා කරගෙන යද්දි ආර්ය වූ විදර්ශනා ප්‍රඥාව හා සෝවාන් ආදී මාර්ග ඵල ප්‍රඥාව ද ලබාගත හැකිය. ඒ සඳහා ගිහි පැවිදි භේදයක් නැත.

රූපාවචර ධ්‍යාන සතරද චරණ ධර්මවලට ඇතුළත්ය. සමථ භාවනා වඩා සිත දියුණු කරගත් අයෙකුට විතර්ක විචාර පී‍්‍රති සුඛ ඒකග්ගතා යන ධ්‍යාන අංග සපුරාගැනීමෙන් ප්‍රථම ධ්‍යානයට පත්විය හැකිය.

විතර්ක විචාර අතහැරීමෙන් ද්විතීය ධ්‍යානයට ද විතර්ක විචාර පීති අතහැරීමෙන් තෘතීය ධ්‍යානයට ද පත්වන අතර උපෙක්ඛා ඒකග්ගතා අංග සහිතව චතුර්ථ ධ්‍යානයට ද පත්විය හැකිය. බලවත් උත්සාහයෙන් සමථ භාවනා වඩන ගිහියාට ද මෙම ධ්‍යාන සතර ලබාගෙන රූපාවචර සමාපත්තිවලට එළඹිය හැකිය.

බුද්ධ ශ්‍රාවකයන් විසින් සපිරිය යුතු මෙම චරණ ධර්මයන් තම තමන්ගේ ශක්ති පමණින් සපුරාගෙන බුදු දහමෙන් මෙලොවදීම ප්‍රතිඵල ලබන්නට අපිද නිරතුරුව වෑයම් කරමු.

රත්නපුර දුම්බර ධර්මගවේෂී ආශ්‍රමාධිපති

තලගල ධම්මගවේසි හිමි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2NMOj1g
අරහං ගුණය

අථිකථා ටීකාවන් හි ‘අරහං’ යන වචනය නොයෙක් ආකාරයට විභාග කොට එහි නොයෙක් අර්ථ දක්වා තිබේ. ‘අරහං’ යන වචනයෙහි සාමාන්‍ය තේරුම සුදුසු තැනැත්තාය යනු යි. තථාගතයන් වහන්සේ කෙරෙහි නොයෙක් සුදුසුකම් ඇත්තේ ය. මේ අරහං ගුණ කථාවෙහි දි ඒ සෑම සුදුසුකමක්ම අදහස් කරනු නොලැබේ. මෙතන්හි අදහස් කරන සුදුසු බව නම් දක්ෂිණාව පිළිගැනිමටත් පිළිගැන්විමටත් සුදුසු බවය. ථතාගතයන් වහන්සේ දක්ෂිණාව පිළිගැන්විමට ද සුදුසු වන්නාහ.

දක්ෂිණාව යනු කුමක් ද? අනාගතයේ දී ලෞකික වූ ද ලෝකෝත්තර වු ද උසස් ඵල බලාපොරොත්තුවෙන් සැදැහැතියන් විසින් පුදන චීවරාදි ප්‍රත්‍යය දක්ෂිණා නම් වේ. උසස් ඵල බලාපොරොත්තුවෙන් පුජාවක් කරන්නා වූ තැනැත්තාට ඔහු බලාපොරොත්තු වන දෙය ලබා දිමට යමෙක් සමත් වේ නම්, ඒ තැනැත්තාම එය පිළිගැනිමට සුදුසු ය. තථාගතයන් වහන්සේ එසේ උසස් බලාපොරොත්තු වලින් පුජා කරන්නවුන් ගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කර දිමට සමාර්ථ ය. ප්‍රත්‍ය පුජා කළවුන්ට ඵල ලබාදිම සඳහා තථාගතයන් වහන්සේ විසින් යම්කිසි උත්සහයක් කරන්නේ නැත. උන්වහන්සේගේ ගුණ මහත්වය නිසා පුජා කරන්නවුන්ට ඔවුන්ගේ ප්‍රර්ථනා සිඬියට පැමිණේ. එබැවින් තථාගතයන් වහන්සේ ‘අරහං’ නම් වේ. ප්‍රර්ථනා සිඬියට හේතු වන යම් ගුණයක් තථාගතයන් වහන්සේ කෙරෙහි ඇතිනම් ඒ ගුණය අරහං ගුණය ය.

දක්ෂිණාව මහත්ඵල කිරිමේ ශක්තිය බුදුරදුන්ට පමණක් නොව සංඝරත්නයට ද ඇත්තේ ය. සංඝ ගුණ පාඨයේ ‘දක්ඛිණෙය්‍ය’ යන පදයෙන් දැක්වෙන්නේ ඒ ගුණය යි. ‘දක්ඛිණෙය්‍ය’ යන පදයේ තේරුම දක්ෂිණාව පිළිගැනීමට සුදුසු යනු යි. සකළ ක්ලේශ ප්‍රහාණයෙන් පාරිශුද්ධත්වයට පැමිණ සිටින රහතන් වහන්සේ අග්ග දක්ඛිණෙය්‍ය නම් වෙති. පසේ බුදුවරුන් හා ලොවුතුරා බුදුවරුන් ද අර්හත්වයට පැමිණීමෙන් සකළ ක්ලේශයන් ප්‍රහාණය කර ශුද්ධත්වයට පැමිණ සිටින පුද්ගලයන් වන බැවින් උන්වහන්සේලා ද අග්ගදක්ඛිණෙය්‍යයෝම ය. එහෙත් ශ්‍රාවක වු රහතුන්ගේ දක්ෂිණාර්හ භාවයට වඩා උන්වහන්සේලා ගේ දක්ෂිණාර්හභාවය උසස් ය. අරහං යන වචනයෙන් කියවෙන්නේ ලොව්තුරා බුදුවරුන්ගේ දක්ඛිණෙය්‍ය භාවය ය. දක්ඛිණෙය්‍ය භාවය ඇත ද රහතුන් සඳහා ඒ වචනය නොයොදනු ලැබේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් ශ්‍රාවක සංඝයාගෙන් අන්‍ය වු උපාසකෝපාසිකාදින්ට දන් දීමේහි ද ඵල ඇත්තේ වි නමුත් ඔවුන් සඳහා දක්ඛිණෙය්‍ය යන වචනය ව්‍යවහාර කරනු නො ලැබේ. මාපියෝ ද දූ දරුවන් විසින් පිදිය යුත්තෝ ය. ඔවුන් සඳහා සංඝගුණපාඨයෙහි එන ‘ආහුණ්‍යෙය’ යන පදය යොදා තිබේ. එහි තේරුම දුර සිට වුවද ගෙන ගොස් පිදිය යුත්තෝ ය යනු යි.

‘අරහං – දක්ඛිණෙය්‍ය’ යන පද වලින් කියැවෙන දක්ෂිණාර්භ පුද්ගලයාගේ තත්ත්වය වේලාම සුත්‍රයෙහි එන පරිදි සැලකිය යුතුයි. අතීතයෙහි අප මහා බෝසත්තුමා වේලාම නම් බමුණෙක් විය. වේලාම බ්‍රහ්මණ මහා දානයක් දිණ. හෙතෙම රිදි බඩු රිදි මිල පිරවූ රන් තැටි ද, රන් බඩු රන් කාසි පිරවූ රීදී තැටි ද, සත්රුවන් පිරවූ ලෝහො තැටි ද, රන් අබරණ රන් කොඩි රන් දන් වැල් වලින් සැරසු ඇතුන් ද, සිංහ සම්, දිවි සම්, ව්‍යාග්‍ර සම් කම්බිවලින් සරසන ලද්දා වූ ස්වර්ණාලංකාර ස්වර්ණද්ධිවජ සහිත වූ රන් දැල් සහිත වු රථයන් ද, කිරිදෙනුන් ද, කිරි ගන්නා රිදි බඳුන් ද මිණිකොඬවලින් සැරසු කණ්‍යාවන් ද, කොට්ට, ඇතිරිලි, උඩුවියන් සහිත ඇඳන් ද, අගනා පිළිමිටි ද සුවාසූ දහස බැගින් දුන්නේ ය. ප්‍රමාණයක් නැති තරමටම බොහෝ ආහාරපාන ද දුන්නේ ය. වේලාම බ්‍රහ්මණ දන් දුන් කාලය අබුඬෝත්පාද කාලයක බැවින් ඒ දානය මහත් ඵල කිරිමට සමාර්ථ වන එක ප්‍රතිග්‍රාහකයකුදු නො සිටියේ ය. එබැවින් තථාගතයන් වහන්සේ :-

‘යං ගහපති වෙලාමො බ්‍රාහ්මණො දානං අදාසි මහාදානං, යො එකං දිටිඨීසම්පන්නං භොජෙය්‍ය, ඉදින් තතො මහප්ඵලතරං’

යනාදින් අනේපිඬු මහා සිටානන්හට දක්ෂිණාර්භයන්ගේ තතු පහදා වදාරණ සේක්: සත්හවුරුදු සත්මස් සත්දිනක් මුළුල්ලේහි වේලාම බ්‍රහ්මණ විසින් දෙන ලද දානයට වඩා එක් සකෘදාගාමි පුදුගලයකුට දෙන දානය මහත් ඵල වන බවද, සකෘදාගාමින් සියයකට දෙන දනට වඩා එක් අනාගාමි පුදුගලයකුට දෙන දානය මහත් ඵල වන බවද, අනාගාමින් සියයකට දෙන දානයට වඩා එක් රහත් නමකට දෙන දානය මහත් ඵල වන බවද, රහතුන් සියයකට දෙන දානයට වඩා එක් පසේ බුදුවරයකුට දෙන දානය මහත් ඵල වන බවද, පසේ බුදුවරුන් සියයකට දෙන දානයට වඩා එක් ලොව්තුරා බුදුකෙනෙකුට දෙන දානය මහත් ඵල වන බවද වදාළා සේක. වේලාම සුත්‍රයෙහි එන මේ දාන විභාගෙය අනුව සෝවාන් සකෘදාගාමි අනාගාමි, අරහත්, ප්‍රත්‍යෙක සම්බුද්ධ සම්‍යක්සම්බුද්ධ යන පුද්ගලයන් පිළිවලින් එක් එක් පුද්ගලයන්ට වඩා එක් එක් පුද්ගලයකු සිය සිය ගුණයෙන් වැඩි දක්ෂිණාර්භභාවය ඇතියවුන් බව කිය යුතු ය. ලොව්තුරා බුදුවරුන්ගේ දක්ෂිණාර්භභාවය දැක්විම සඳහා ‘අරහං’ යන ගුණ පදය භාවිත කරනු ලැබේ. සෙස්සන් සඳහා දක්ඛිණෙය්‍ය, අග්ගදක්ඛිණෙය්‍ය යන ගුණ පද ව්‍යවහාර කරනු ලැබේ.

දක්ෂිණාර්භභාවයේ හේතුව ලෙස දක්වා ඇත්තේ කෙලෙස් කෙරෙන් පවිත්‍ර බව ය. කෙලෙස් තනි කර ගෙන සිටින්නෝ ද දක්ෂිණාර්භයෝ ය. සකල ක්ලේශයන් ප්‍රහාණය කොට සම්පූර්ණයෙන්ම කෙළෙසුන්ගෙන් පවිත්‍රව සිටින රහත්හු අග්‍රදක්ෂිණාර්භයෝ ය. ලොව්තුරා බුදුවරුන් වාසනාව සහිතව ක්ලේශප්‍රහාණය කර ඇති බැවින් උන්වහන්සේ පාරිශුද්ධියට රහතුන්ගේ පාරිශුද්ධියට උසස් ය. එබැවින් ලොව්තුරා බුදුහු අග්‍රදක්ෂිණාර්භයන්ට වැඩි දක්ෂිණාර්භයෝ ය. අරහං යන පදයෙන් කියනුයේ ඒ සාතිශය දක්ෂිණාර්භ භාවය යි. තණ, වල්පැලෑටි, ගල් බොරළු නැති කුඹුරක වී වපුළ ගොවියාට එයින් මහත් අස්වැන්නක් ලැබෙන්නාක් මෙන් කෙළෙසුන්ගෙන් පවිත්‍ර සන්නාතියක් ඇති පුද්ගලයකුට දුන් කල්හි එයින් දායකයාට බොහෝ ඵල ලැබෙන බව උසස් ඵල ලැබෙන බව කියනු ලැබේ. ප්‍රතිග්‍රාහකයාගේ ශුද්ධත්වය නිසා දායකයාට වඩා ඵල ලැබෙය යන මේ කරුණු තේරුම් ගැනිමට දුෂ්කර, ඔප්පු කිරිමට දුෂ්කර ගැඹුරු කරුණකි. මෙබඳු කරුණු වලදි ශ්‍රාද්ධාවම පිටකර ගත යුතු ය. අතිතයේ ඇතැම් සැදැවතුන් සමාන්‍ය කෙනෙකු විසින් දිය නොහෙන, දීමට අතිශයින් දුෂ්කර දානයන් තිබේ. එවැනි දුෂ්කර දානයන් කාන්තාවන් විසිනි. එබඳු දුෂ්කර දිමනාවක් කළ බොහෝ දෙනෙකුන් ලක්දිව විසු බව කථාපුවත් වලින් පෙනේ. එසේ දෙන දුෂ්කර දානයන් පෘථග්ජන භාවයෙහි සිට පිළිගැනිමයි, වැළදීම නුසුදුසු යයි සලකා ඇතැම් භික්ෂුන් ජිවිත පරිත්‍යගයෙන් වෙර වඩා සව් කෙලෙසුන් නසා රහත් වූ බව දැක්වෙන කථා ප්‍රවෘත්තීන් ගණනක් ම අපේ බණ පොත්වල සඳහන් වී ඇත්තේ ය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

සම්පූර්ණ ලිපි මාලාව : https://goo.gl/3Z3uWk

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Qf7cqH
==මහාකච්චාන තෙරණුවෝ==

දසවැන්නෙහි සංඛිත්තෙන භාසිතස්ස යනු සැකෙවින් කියනලද ධර්‍මයාගේයිය. විත්‍ථාරෙන අත්‍ථං විභජන්තානං යනු ඒ දෙසුම විස්තර කොට අත්‍ථ‍ර්‍‍ය බෙදාදක්වන්නවුන් අතුරිනි. අන් අය වනාහි තථාගතයන්වහන්සේගේ සංක්‍ෂිප්ත වචනය අත්‍ථ‍ර්‍‍වශයෙන් හෝ ව්‍යංජන වශයෙන් හෝ සපුරන්නට හැකිවෙත්. මේ තෙරුන්වහන්සේ, වනාහි දෙපරිද්දෙන්ම හැකිවන්නාහ. එබැවින් අග්‍රයයි කියනු ලැබෙත්. උන්වහන්සේගේ පෙර පැතුමද එබඳුමයි. මේවනාහි උන්වහන්සේගේ ප්‍රශ්නකර්‍මයෙහි පිලිවෙළ කථාවයි.
මෙතෙම පියුමුතුරා සම්බුදුන්වහන්සේගේ කාල‍යෙහි ගැහැවි මහසල් කුලයෙක ඉපිද වියට පැමිණියේ කියනලද ක්‍රමයෙන්ම එක් දිනක් වෙහෙරට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසමින් තමන් සැකෙවින් කියනලද ධර්‍මයාගේ අත්‍ථ‍ර්‍‍ය විස්තර වශයෙන් බෙදා දක්වන්නාවූ භික්‍ෂූන් අතුරෙන් එක් භික්‍ෂුවක අග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාසතෘන්වහන්සේ දැක, ශාස්තෘන්වහන්සේ යමකු මෙසේ වර්‍ණණා කරනසේකද මේ භික්‍ෂුව ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨයෙකි මා විසින්ද අනාගතයෙහි එක් බුදු කෙනකුන්ගේ සසුනෙහි මෙබන්දකු වීමට වටීයයි ශාස්තෘන්වහන්සේට ආරාධනා කොට (පෙර) කියනලද ක්‍රමයෙන්ම සත්දිනක් මහදන්දී, ස්වාමීනි, මම මෙම සත්කාරයාගේ බෙලෙන් අන් සැපතක් නොපතමි.’ අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි මෙයින් සත්දිනකට මත්තෙහි නුඹවහන්සේ විසින් තනතුරෙහි තැබූ භික්ෂුව මෙන් මමද ඒ තනතුර ලබම්වා’යි ප්‍රාත්‍ථ‍ර්‍‍නාකොට පාමුල්හි වැද හොත්තේය.
ශාස්තෘන්වහන්සේ අනාගතය බලා ‘මෙම කුලපුත්‍රයාගේ පැතුම ඉටුවන්නේය’යි දැක, පින්වත් කුලපුත්‍රය, අනාගතයෙහි කල්ප ලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදුකෙනෙක් පහළ වන්නාහ. ඔබ උන්වහන්සේගේ සසුනෙහි සැකෙවින් කියනලද ධර්‍මයාගේ අත්‍ථ‍ර්‍‍ය විස්තර වශයෙන් බෙදා දක්වන්නාවූ භික්‍ෂුන් අතුරෙන් අග්‍ර වන්නෙහියයි විවරණදී අනුමෙවෙනි කොට ‍වැඩිසේක.
ඒ කුලපුතුද දිවි ඇති තෙක් කුසල්කොට කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතරෙහි සැරිසරා කාශ්‍යප බුදුන්වහන්සේගේ කාලයෙහි බරණැස කුලගෙයක පිළිසිඳගෙන ශාස්තෘන් පිරිනිවන් පෑකල්හි ස්වර්‍ණ චෛත්‍යය කරන තැනට එය ලක්‍ෂයක් වටිනා රන් උළුයෙන් පුදු කොට ‘භාගයවතුන්වහන්ස, උපනුපන් තන්හි මගේ සිරුර රන්වන් වේවා’යි ප්‍රාත්‍ථ‍ර්‍‍නා කළේය. ඉන් දිවි ඇති තෙක් කුසල් කොට එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතර සැරිසරා අපගේ බුදුන්වහන්සේගේ උප්පත්ති කාලයෙහි උජ්ජයිනි නගරයෙහි පුරෝහිතයාගේ ගෙහි උපන්නේය. ඔහුට නම් ගන්වන දිනයෙහි, මගේ පුතා රන්වන් සිරුර ඇත්තෙකි. තමා විසින්ම තමාගේ නමගෙන ආවෙකිසි ඔහුට කඤ්චනමානටකයායි නමක් කළාහුය.
හෙතෙම වියට පැමිණ තුන් වේදයන් උගෙන පියාගේ ඇවෑමෙන් පුරෝහිත තනතුර ලැබුවේය. හෙතෙම ගෝත්‍ර වශයෙන් කච්චාන නම් වූයේය. චණ්ඩප්පජ්ජොත රජතෙමේ ඇමතියන් රැස්කරවා, ‘බුදුරජාණන්වහන්සේ ලොව පහළවූසේක. දරුවනි, උන්වහන්සේ වැඩමවා ගෙන ඒමට හැකි අය ගොස් වැඩමවාගෙන එවු’යයි කීවේය. ‘දේවයන්වහන්ස, දශබලයන් වහන්සේ වැඩමවාගෙන ඒමට අන් සමතෙක් නැත. ආචාර්‍ය්‍ය කච්චාන බ්‍රාහ්මණයාටම සමත්වෙයි. ඔහු යවනු මැනවැ’යි කීහ. රජතෙමේ ඔමු කැඳවා, දරුව බුදුන් සමීපයට යව’යි කීවේය. ‘මහරජ, ගොස් පැවිදිවීමට ලබන්නේ යන්නෙමි’යි බමුණා කිවේය. ‘දරුව, යම්කිසිවක් කොට තථාගතයන්වහන්සේ ගෙනෙව.’ හෙතෙම බුදුන් සමීපයට යන්නහුට මහපිරිසකගෙන් වැඩක් නැතැයි තමන් තමන් අටවැන්නා කොට ඇත්තේ ගියේය.
ඉක්බිති බුදුරජාණන්වහන්සේ ඔහුට ධර්‍මදේශනා කළ සේක. දෙසුම අවසන්හි සත්දෙනා සමඟ පිළිසිඹියා සහිත රහත් බවට පත්විය. ශාස්තෘන්වහන්සේ, ‘මහණෙනි, එවු’යයි අත දිගුකළ සේක. එකෙණෙහිම සියල්ලෝ අතුරුදන්වූ කෙස් රැවුල් ඇත්තෝ සෘද්ධිමය පාසිවුරු දරන්නාහු වස් සියයක්වූ තෙරවරුන් මෙන් වූවාහුය. තෙරුන්වහන්සේ තමාගේ කිස මුදුන්පත් වූ කල්හි නිහඬව නොහිඳ කාළුදායී තෙරුන් මෙන් ශාස්තෘන්වහන්සේට උජ්ජෙනිපුරට යාම සඳහා ගමන් වැණුම කළේය.
ශාස්තෘන්වහන්සේ ඔහුගේ වචනය අසා කච්චාන තෙමේ තමන් උපන් රටට යාම බලාපොරොත්තු වේයයි දැනගත්සේක. බුදුවරුනම් එක්කරුණක් නිසා යාමට නුසුදුසු තැනට නොයති. එහෙයින් තෙරුන්ට, ‘භික්‍ෂුව, නුඹම යන්න. නුඹ ගිය කල්හිද රජතෙ‍මේ පැහැදෙයි’යි කීසේක. තෙරුන්වහන්සේ බුදුන්වහන්සේලාගේ කථා දෙකක් නම් නැතැයි තථාගතයන් වැද තමන් සමඟ ආවාවූම භික්‍ෂූන් සත්දෙනා සමඟ උජ්ජියිනියට යන්නාහු අතරමග තෙලප්පනාලි නම් නියම්ගමක් වේ, එහි පිඬුපිණිස හැසිරුණහ.
ඒ නියම්ගමෙහි සිටුදියණියන් දෙදෙනෙක්වූහ. එකියක් පිරිහුණු කුලයක උපන්නී දිළිඳුවූවා මව්පියන්ගේ ඇවෑමෙන් කිරිමව නිසා ජීවත්වෙයි. ඇයගේ ආත්මභාවය වනාහි සමෘද්ධිමත්ය. කෙස් අන්‍යයන්ට වඩා බෙහෙවින් දිගුය. ඒ නියම් ගමෙහිම අනෙක් ඉසුරුමත් සිටු කුලයෙහි දියණිය කෙස් නැත්තීය. ඕ එයින් පෙර ඇයගේ සමීපයට යවා සියයක් හෝ දහසක් හෝ දෙන්නෙමියි කියාද කෙස් ගෙන්වා ගැනීමට නොහැකිවූවාය. එදිනයෙහි ඒ සිටුදියණිය භික්‍ෂූන් සත්දෙ‍නකු පිරිවර කොට ඇති මහාකච්චාන තෙරුන්වහන්සේ හිස් පාත්‍රය ඇතිව යනු දැක, ‘මේ රන්වනුවූ එක් බ්‍රාහ්මණභික්‍ෂුවක් සේදූ ලෙසින්ම වු පාත්‍රයෙන් වඩියි. මටද වෙන ධනයක් නැත. අසුවල් සිටු දියණිය මේ කෙස් සඳහා (පණිවිඩ) එවයි. දැන් මෙයින් ලැබූ ඉපැයීමෙන් තෙරුන්ට දාන වස්තුවක් දීමට හැකිය’යි කිරීමව යවා තෙරවරුන් ආරාධනා කොට ඇතුළු ගෙහි වැඩහි‍ඳෙව්වාය.
තෙරවරුන් වැඩසිටි කල්හි ගැබට පිවිස කිරිමව ලවා තමන්ගේ කෙස් කප්පවා, ‘මෑණියනි මේ කෙස් අසුවල් නම් සිටුදියණියටදී ඕ යමක්දෙයිද එය ගෙනෙන්න. ආර්‍ය්‍යයන්ට පිණ්ඩපාතය දෙන්නෙමු’යි කීවාය. කිරිමව පිටිඅතින් කඳුළු පිස එක් අතකින් හෘදයමාංශය වළක්වා තෙරුන් සමීපයෙහි සඟවාගෙන ඒකෙස් ගෙන ඒ සිටුදියණිය සමීපයට ගියාය. වෙළඳ බඩුව නම් හරවත්වූවත් තෙමේ යවන ලද්දේ ගෞරවය නොඋපදවයි. එහෙයින් ඒ සිටුදුව, ‘මම පෙර බොහෝ ධනයෙනුදු මේ කෙස් ගෙන්වා ගන්නට නොහැකි වූයෙමි. දැන්වනාහි සිඳින ලද කාලයෙහි පටන් මිල පරිද්දෙන් ලබන්නේය’යි කිරීමවට කීවාය:
මම පෙර ඔබගේ ස්වාමිදියණියට බොහෝ ධනයෙන්ද මේ කෙස්ගෙන්වා ගන්නට නොහැකි වූයෙමි. යම් තැනකට යවන ලද ජීවකේශයෝ කහවණු අටක්ම අගය වෙතියි කහවණු අටක්ම දුන්නාය. කිරිමව කහවණු ගෙනගොස් සිටුදියණියට දුන්නාය. සිටු දුව එක් එක් පිණ්ඩපාතය එක් එක් කහවණුවක් කොට තෙරවරුන්ට දෙවෙව්වාය. තෙරුන්වහන්සේ නුවණින් සලකා බලා සිටුදියණියගේ උපනිශ්‍රය දැක සිටුදුව කොහිදැයි ඇසූහ. ‘ආර්‍ය්‍යයන්වහන්ස, ගර්‍හයෙහිය.’ ‘ඇය කැඳවන්න.’ ඕතොමෝ තෙරුන් කෙරෙහිවූ ගෞරවයෙන් එක් වචනයකින්ම අවුත් තෙරුන් වැඳ මහත් ශ්‍රද්ධාවක් ඉපදෙව්වාය. ‘යහපත් කෙතෙහි පිහිටුවනලද පිණ්ඩපාතය ඉහාත්මයෙහිම විපාකදේය’යි තෙරුන්ට වැඳීමත් සමඟ කෙස් පියෙවි බැව්හිම සිටියේය.
තෙරවරු ඒ පිණ්ඩපාතය ගෙන සිටු දියනියබලා සිටියදීම අහසට නැඟී කංචනවනොද්‍යානයෙහි බටහ. උයන්පල්ලා තෙරවරුන් දැක රජු සමීපයට ගොස් දේවයන්වහන්ස, පුරෝහිත කච්චාන උතුමා පැවිදිවී උයනට ආවේයයි කීවේය. හටගත් කැමැත්ත ඇති චණ්ඩප්පජ්ජොත රජතෙමේ උයනට ගොස් කරනලද බත්කිස ඇති තෙරුන් පසඟ පිහිටුවා වැඳ එකත් පසෙක හුන්නේ ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ කොහිදැයි ඇසීය. ‘මහරජ, ශාස්තෘන්වහන්සේ තමන් නොපැමිණ මා එවූසේක’යි කීහ.
ස්වාමිනි, අද කොයින් හික්‍ෂාව ලැබූසේකද? තෙරුන්වහන්සේ, රජුට සිටුදුව විසින් කරනලද සියලු දුෂ්කරක්‍රියාව සැලකළහ. රජතෙම් තෙරුන්ට විසීමට තැනක් පවරාදී තෙරුන් ආරාධනාකොට නිවෙස්නට ගොස් සිටුදියණිය ගෙන්වා අගමෙහෙසි තනතුරෙහි තැබීය. මේ ස්ත්‍රියගේ කීර්තිලාභයද මේ අත්බවටම අයත්විය. එතැන්පටන් රජතෙමේ තෙරුන්ට මහත් සත්කාර කළේය. තෙරුන්ගේ ධර්‍මකථාවට පැහැදී මහජනයා තෙරුන් සමීපයෙහි පැවිදි වූවේය.
එතැන්පටන් සියලු නුවර එකම කසාවතින් බැබළුනේ සෘෂිගණයාගෙන් ගැවසුණු උඩු සුළං ඇත්තේ විය. ඒ දේවියද දරුගැබක් ලැබ දසමසක් අවෑමෙන් පුතකු වැදුවාය. ඔහුට නම්තබන දිනයෙහි ‘ගොපාල කුමාරයා’යි මවගේ පිය සිටාණන්ගේ නම කළාහුය. ඕ පුතාගේ නම වශයෙන් ගොපාලමාතාදේවී නම් වූවාය. ඕතොමෝ තෙරුන්කෙරෙහි බෙහෙවින් පැහැදී රජු කැමැති කරවාගෙන කංචන වන උයනෙහි තෙරුන්ට විහාරයක් කරවූවාය. තෙරුන්වහන්සේ උජ්ජෙනි නගරය පහදවා යළි ශාස්තෘන් සමීපයට ගියහ. ඉක්බිති ශාස්තාන්වහන්සේ මෑතකාලයෙහි ජේතවනයෙහි වැඩවසනසේක් මධුපිණ්ඩික සූත්‍රාන්තය කච්චනපෙය්‍යාල සූත්‍රාන්තය පාරායන සූත්‍රාන්තය යන මේ සූත්‍රාන්ත තුන අ‍ත්‍ථෙ‍ර්‍ාත්පත්ති කොට තෙරුන්වහන්සේ සැකෙවින් කියනලද ධර්‍මයාගේ අත්‍ථ‍ර්‍‍ය විස්තර වශයෙන් බෙදා දක්වන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2ORrzdf
බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝරත්නය යන මේ වස්තු තුන බෞද්ධයාගේ අත්‍යුත්තම ප්‍රතිෂ්ඨා තුන ය. ඒ රත්න තුන තමාගේ උතුම් පිහිට ලෙස පිළිගන්නා තැනැත්තේ බෞද්ධ නම් වේ. සරණ යාමයි කියනුයේ ඒ පිළිගැනිමට යි. රත්නත්‍රයේ එක ගුණයකුදු නොදැන නමින් පමණක් රත්නත්‍රය දැන සිටින බෞද්ධයා නමින් පමණක් බෞද්ධයෙකි. නියම බෞද්ධයකු වන්නට නම් තරමක් වත් රත්නත්‍රයේ ගුණ දැන රත්නත්‍රය හැදින ගත යුතු ය. පෘථග්ජන පුද්ගලයකුට තබා ආර්යය පුද්ගලයකුට ද සම්පූර්ණයෙන් තෙරුවන් ගුණ දත නොහැකිය. එහෙත් සකළ බෞද්ධයන් විසින් තරමක් වත් තෙරුවන් ගුණ දැන සිටිය යුතු ය. තෙරුවන් ගුණ දන්නා තරමට ඒ ඒ පුද්ගලයාගේ බෞද්ධත්වය උසස් ය.

බුද්ධ ගුණය අනන්ත. සාමාන්‍ය ජනයාට තබා රහතුන්ට ද අවිෂය ය. රහතුන් විසින් ද දත නොහොත් බොහෝ බුදු ගුණ ඇත්තේ ය. දත කෙනෙකුට වුවද බුදු ගුණ කියා නිම කිරිමට කාලයක් නැත්තේ ය.

බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං
කප්පම්පි චෙ අඤ්ඤමහාසමානෝ
ඛීයේථ කප්පෝ චිරදිඝමන්තරේ
වණ්ණෝ න ඛීයේථ තථාගතස්ස

යනුවෙන් බුදුන් වහන්සේ විසින් අනිකක් නො වදාරමින් කල්පය මුළුල්ලෙහි රෑ දවල් දෙකෙහි නො නවත්වා බුදුගුණම වදාළේ ද දීර්ඝ කාලයකින් කල්පය ගෙවීයන නමුත් බුදුගුණ කිම අවසන් නොවන බව දක්වා තිබේ. අනන්ත වු බුද්ධ ගුණස්කන්ධයෙහි සාමාන්‍ය ජනයාට දත හැකි බුදුගුණ ඇත්තේ ස්වල්පයකි. එබැවින් සාමාන්‍ය ජනයාගෙන් බුදුගුණ දන්නවුන් දන්නේ ද ඒවායන් ඉතා ස්වල්පයකි.

සකළ ලෞකික මහජනයාගේ ම බුදුගුණ දැනීමට වඩාත් මහත් වු බුදුගුණ එක් සෝවාන් පුදුගලයකුට ඇතය යි ද, සෝවාන් පුද්ගලයන් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් සකෘදාගාමී පුද්ගලයකුට ඇතය යි ද, සකෘදාගාමී සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් අනාගාමී පුද්ගලයකුට ඇතය යි ද, අනාගාමින් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් අර්හත් පුද්ගලයකුට ඇතය යි ද, සාමාන්‍ය රහතන්ගේ බුදුගුණ දැනුමට මහත් දැනුමක් අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාට ඇතය යි ද, අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් ද මහා කාශ්‍යප අනුරුඬ මහා කච්චානා මහා කොට්ඨිත යන මහා තෙරුන් වහන්සේලාට බුදුගුණ පිළිබඳ අතිරේක දැනුමක් ඇතය යි ද, ඒ සතර මහාතෙරුන් වහන්සේලාගේ දැනුමට වඩා වැඩි දැනුමක් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට ඇතය යි ද, උන්වහන්සේලා අතරින් ද සැරියුත් මහා තෙරුන් වහන්සේට මහත් වූ බුදුගුණ දැනුමක් ඇතය යි ද, සැරියුත් මහා තෙරුන් වහන්සේට වඩා වැඩි බුදුගුණ දැනුමක් පසේ බුදුන්වහන්සේ කෙනෙකුට ඇතය යි ද, ඉදින් සක්වල පුරා සිවූරු කොණින් සිවුරු කොණ ගැටෙන සේ පසේ බුදුවරයන් වැඩ හිඳ බුදුගුණ සිතන අවස්ථාවක් වී නම් ඒ අවස්ථාවෙහි සක්වළ පුරා වැඩ ඉන්නා සියලූ පසේ බුදුවරුන්ගේ බුඬගුණඥාණයට මහත් වු බුඬගුණඥාණයක් එක් ලොවූතුරා බුදුකෙනෙකුට ඇතැය යි ද සම්පසාදනීය සුත්‍ර අටුවාවෙහි* දක්වා ඇත්තේ ය.

නුවණැතියන්ගෙන් අඟතැම්පත් සැරියුත් මහා තෙරුන් වහන්සේට වූව ද හරියට පෙනෙන බුදුගුණ ඇත්තේ ස්වල්ප වශයෙනි. උන්වහන්සේගේ බුදුගුණ අනන්තය අපරිමාණය යි පිළිගන්නේ ද තමන් වහන්සේට පෙනෙන දැනෙන බුදුගුණ අනුව, නො පෙනෙන නො දැනෙන මහා ගුණස්කන්ධය අනුමානයෙන් සිතා ගැනීමෙනි. එක් එක් පසකින් නව යොදුන් බැඟින් අටලොස් යොදුන් බිම් පෙදෙසක් යට කොට ගලා යන චන්ද්‍රභාගා නම් ගංගාවෙන් ඉදිකටු මලකින් ගත් ජලය ඉතා අල්ප වන්නක් මෙන් ද, නොගත් ජලය බොහෝ වන්නක් මෙන් ද, මහාපොළොව ඇගිල්ලට පස් ටිකක් ගත් කල්හි ඇගිකල්ලට ආ පස් අත්‍යල්ප වන්නාක් මෙන් ද, පොළොව පස් බොහෝ වන්නක් මෙන් ද, මහා සයුරට ඇගිල්ලක් දිගුකළ කල්හි ඇගිල්ල කෙළින් ඇති ජලය අත්‍යල්ප වන්නාක් මෙන් ද, ඉතිරි අහසම බොහෝ වන්නාක් මෙන් ද සැරියුත් මහා තෙරුන් වහන්සේට වුව ද හරියට පෙනෙන දැනෙන බුදුගුණ අත්‍යල්ප බව ද, හරියට නොපෙනෙන නොදැනෙන බුදුගුණ බොහෝ බව ද, සම්පසාධනීය සුත්තට්ඨ කථාවෙහි ම දක්වා තිබේ. සාමාන්‍ය ලොකයා හට අනන්ත බුද්ධ ගුණස්කන්ධය පිළිබඳව එක්තරා ප්‍රමාණයකට දැනුමක් ඇතිකර ගත හැකි වනු පිණිස තථාගතයන් වහන්සේ විසින් බුදුගුණයන් නව කොටසක් බෙදා ලද නවයකට සකළ බුද්ධ ගුණස්කන්ධය ඇතුළු කොට බුදුගුණ පාඨයක් වදාරා ඇත්තේ ය. (දීඝනිකායට්ඨ කථා)

ඒ මෙසේය :

ඉතිපි සො භගවා අරහං, සම්මා සම්බුද්ඬො, විජ්ජා චරණසම්පන්නො, සුගතො, ලොකවිදු, අනුත්තරෝ පුරිසදම්මසාරථි, සත්ථා දෙවමනුස්සානං, බුඬො, භගවාති.
ඒ පාඨයේ තේරුම මෙසේ ය:

1. සො භගවා අරහං
ඒ භාග්‍යවතුන් වහන්සේ අනාගතයෙහි ලෞකික වූ ද, ලොකොත්තර වූ ද, උසස් ඵල පතා සැදැහැතියන් විසින් කරන පුජාවන් පිළිගැනිමට සුදුසු වු සේක.

2. සො භගවා සම්මා සම්බුද්ඬො
ඒ භාග්‍යවතුන් වහන්සේ ලෞකික වූ ද, ලෝකෝත්තර වූ ද, සකළ ධර්ම සමුහය අනිකකුගෙන් අසා ගැනිමක් නොකොට තමන් වහන්සේ විසින් ම කිසිදු වැරදිමක් නැතිව ඇති සැටියෙන්ම දැන සිටින සේක.

3. සො භගවා විජ්ජා චරණ සම්පන්නො
ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යා නම් වූ ඥාන විශේෂයන් ගෙන් හා චරණ නම් වූ ප්‍රතිපත්ති ධර්මයන්ගෙන් සම්පූර්ණ වන සේක.

4. සො භගවා සුගතො
ඒ භාග්‍යවතුන් වහන්සේ යහපත් ගති ඇති සේක.

5. සො භගවා ලොකවිදු
ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකත්‍රයම ඇති සැටියෙන් දැන වදාළ සේක.

6. සො භගවා අනුත්තරෝ පුරිසදම්මසාරථි
ඒ භාග්‍යවතුන් වහන්සේ කායබල සෘඬිබලාදියෙන් මත්ව ප්‍රචණ්ඩව සිටින පුද්ගලයන් දමනය කොට සුමඟට පැමිණවීමෙහි අන් සැමට වඩා සමත් වන සේක.

7. සො භගවා සත්ථා දේවමනුස්සානං
ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ට පමණක් නොව දෙවියන්ට ද ගුරු වන සේක.

8. සො භගවා බුඬො
ඒ භාග්‍යවතුන් වහන්සේ පරම ගාම්භීර චතුස්සත්‍යය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ලෝකයාට ද අවබෝධ කරවන සේක.

9. සො භගවා
ඒ භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි සැමදෙනා විසින් ම ගරු කිරිමට සුදුසු වන සේක.

මෙසේ සැකවින් දැක්වුණු බුදුගුණ නවය ඉදිරියෙහි එකින් එක විස්තර කරනු ලැබේ.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

සම්පූර්ණ ලිපි මාලාව : https://goo.gl/3Z3uWk