Monthly Archives: February 2015

සිත පිළිබඳ හා සිතේ ක්‍රියාකාරිත්වය ගැන නොයෙක් ආගම් ශාස්තෘවරුන් මෙන්ම දාර්ශනිකයන්…

සිත පිළිබඳ හා සිතේ ක්‍රියාකාරිත්වය ගැන නොයෙක් ආගම් ශාස්තෘවරුන් මෙන්ම දාර්ශනිකයන්ද අදහස් දැක්වීමේ ඉතිහාසය ඈත අවධියකට ගමන් කරයි. එනමුත් සිත මුල් කොට ගත් දර්ශන හා ආගම් අතර මුල්තැනක් බුදුදහමට හිමිව ඇත. සිත හා සිතුවිලි ගැන බුදුදහමේ විවරණය වඩාත් තීව්‍ර වේ. බෞද්ධ යන නාමය තුළම සිත පිළිබඳ බුදුදහමේ දැක්වෙන පැහැදිලි කිරීම ගැබ්ව තිබෙන අතර බෞද්ධයා යනු බුද්ධිමත් ව හෙවත් ප්‍රඥාවන්තව කටයුතු කරන්නා යන්නයි.

බුද්ධිය යනු කුමක් ද යන්න විමසා බැලිය යුතුවන අතර බුද්ධිය යොදනු ලබන්නේ කුමන පදනමක් මත ද යන්න ගැන ද විමසුමක් කිරීම තුළින් ‘බෞද්ධ’ යන වචනයේ නියමාර්ථය පසක් කළ හැකිව තිබේ. වත්මන්හි විෂයානුබද්ධිත වූ දැනුමක් ලබා විභාගාදියෙන් ජයග්‍රහණය ලද පුද්ගලයා හැඳින්වීම පිණිස බුද්ධිමතා, ප්‍රඥාවන්තයා හා උගතා යන වචන නිරතුරුව භාවිත කෙරේ. එසේ නම් විෂයානුබද්ධිත දැනුමක් ඇති පුද්ගලයා ‘බෞද්ධ’ නමින් හැදින්වේ ද? එසේ නම් විෂය දැනුම ඇති සැම බෞද්ධ ද? යන ප්‍රශ්න ඒ ඇසුරෙන්ම පැන නඟියි. මීට පිළිතුරු බුදුදහම තුළම ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්මාදිට්ඨික සූත්‍රය තුළින් මීට ඍජු පිළිතුරක් ලබාගත හැකි ය. එම සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවක පිරිසට මෙසේ දේශනා කළ සේක. මහණෙනි, යමෙකු අකුසලය දනී ද අකුසල මූලය දනී ද කුසලය දනී ද කුසල මූලය දනී ද එපමණකින් ම මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යදෘෂ්ටිකයෙකු වේ. ඒ අනුව තමා කරන ක්‍රියා පිළිබඳ ව නිවැරැදි දැක්මක් ඇත්තා යන අරුතක් මේ අනුව ඉස්මතු‍ෙව්.

පින් කිරීමට යුහුසුළු විය යුතු අතර පවින් සිත වළකාගත යුතුය. පින් කිරීම කල් දමන්නාගේ සිත නිරතුරුව පාපයේ ඇලෙන්නේ ද ගැටෙන්නේ ද සැලෙන්නේ ද වේ යැයි දක්වන සඳහනින් අපගේ සිත නිතර කිනම් දිශානතියකට යොමුව තිබේ ද යන්න බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. එනම් නිරතුරුවම පාපයට මෙම සිත ඇලෙන හා නැමෙන බවය. නිරතුරුව යහපතට සිත යොදන තැනැත්තකුගේ සිත ආයාසයකින් වුවද අයහපත් සිතුවිලිවලින් මුදවා ලිය හැකි බවත් ඒ සඳහා තමා මනා අභ්‍යාසයක නිරත විය යුතු බවත් මෙමඟින් පෙන්වා දෙයි. වැසි සමයක ඇද වැටෙන වැසි ජල බිංදු එකින් එක රැස්වෙමින් කළයක් ඉතිරී යන්නේ යම් සේ ද එසේම නුවණින් යුතුව පින් රැස් කරන්නා ද ටිකින් ටික පින් කිරීමෙන් පින් නමැති කළය පිනෙන් පුරවා ගන්නා බව පෙන්වයි. (උදබින්දු නිපාතෙන උදකුම්භොපි පූරති පූරති ධීරො පුඤ්ඤස්ස ථොක ථොකං ඛණෙ ඛණෙ) මද පිරිවර ඇති මහත් ධනය ඇති වෙළෙන්දකු උවදුරු ඇති මඟ හැරයන්නේ යම් සේද ජීවත් වීමට ආශා ඇති අය විෂ ආහාරයෙන් වැළැකෙන්නේ යම් සේ ද නුවණ ඇත්තන් එලෙසින්ම පවින් මිදීමට සිත සකස් කළ යුතු වේ. එබඳු වූ සිතුවිලි මත ක්‍රියා කළ යුතුව ඇත.

භක්තිය හෝ විශ්වාසය මත සියල්ල සිදුවේය වන මිත්‍යා මතය බුදුදහමින් ප්‍රතික්ෂේප වන බව ද කුසලාකුසල විනිශ්චයෙන් පැහැදිලි වේ. අන්ධ විශ්වාස මත කරනු ලබන දැයට වඩා සිත මුල්කොට කරනු ලබන දැයෙහි ඵලයක් ඇති බවත් එහි වැදගත්කමත් බුදුදහමින් නිරතුරුව අවධාරණයට ලක්කර ඇත. ඒ බැවින් සිත පෙරටුකර ගත් ක්‍රියාදාමයකට බෞද්ධයා අවතීර්ණ වීම අපේක්‍ෂා කෙරේ. දැකීමට ඉතා අපහසු වූ ඉතාම සියුම් වූ කැමැති කැමැති හැම තැනකම හැසිරෙන්නා වූ සිත නුවණැත්තේ රැක ගන්නේ ම වෙයි. එලෙසින් රක්නා ලද සිත ඔහුට නිරතුරුව ම සුවයක් ගෙන දෙන්නේ යැයි සිතේ ඇති ශ්‍රේෂ්ඨත්වය උසස් කර දක්වා ඇත. මාර බන්ධනයෙන් මිදීමේ මාවත ලෙසින් ද සිත දමනය කර ගැනීම බුදුරජාණන් වහන්සේ අවධාරණය කළ සේක.

මුල නොපෙනෙන සසරෙහි ඉපදෙමින් මැරෙමින් අපි ගමන් කරමින් සිටිමු.සසර ගමන නැවැත්වීම යනු ඉපදීම හා මරණ සංඛ්‍යාත නැති කිරීමය. එසේ නම් ඊට මුල්වනුයේ ද සිතය. සිත දමනය කිරීම යනු සසර ගමන රඳා පවත්වාගනු ලබන තණ්හාව මුල් කොටගත් ක්ලේශයන් ගෙන් තම සිත ඉවත් කර ගැනීමය. තමා විසින් තමා දමනය කර ගැනීම පහසු කටයුත්තක් නොවේ (අත්තා හි කිර දුද්දම) අපහසු වුවද තමාට පිහිට තමාම වන බැවින් (අත්තාහි අත්තනො නාථො) සදාතනික නිවීමක් සඳහා තමා දමනය කළ යුතු ව ඇත. ආනන්ද හිමියන් අමතා තමාට පිහිට තමාම බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. තමා ගැන තම වැටහීමත් ඒමඟින් තම ක්‍රියාකාරිත්වය සකස් කරගැනීමේ වැදගත්කමත් පෙන්වා දුන් සේක.

බෞද්ධ චින්තනය යනු බෞද්ධයකු සිතන ආකාරය වේ. යම් ක්‍රියාවක් කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ සිතින් අපි සැලැසුම් සකස් කරමු. එම සැලැස්ම කය හා වචනය පදනම් කොට ගෙන එළි දැක්වීමෙන් එම චින්තනය කායික , වාචසික ක්‍රියාවලියක් බවට පත් කෙරේ. එබැවින් සියලු ක්‍රියාවන්ගේ මූලය සිත බව පැහැදිලිය. සිත හැදීම යනු සිතන ආකාරය හෙවත් චින්තනය හැඩගැසීම වේ. සිතන ආකාරය නිවැරදි නම් එම සිතුවිලි ක්‍රියාවට නැඟීමෙන් සිදුකරන ක්‍රියාකාරකම්ද නිවැරැදි බව පැහැදිලිය. එම ක්‍රියාවන් තමාට මෙන්ම අන් අයටද වැඩදායක, සුවදායක වේ නම් එම යහපත් ක්‍රියා කුසල් වේ. තමාට මෙන්ම අන් අයටද අවැඩදායක, දුක්ඛදායක අයහපත් ක්‍රියා අකුසල් යනුවෙන් නම් කෙරේ. කුසලය සැම විට තමාට හිතකරවන අතර අකුසලය තමාට අහිත පිණිස දුක්ඛය පිණිස හේතුවන්නක් වේ. කායික මානසික පීඩනයට එමඟින් ලක්වීම නොවැළැක්විය හැකිය.

කුසල, අකුසල යනු තමා විසින් කරනු ලබන යහපත හා අයහපත නැතහොත් හොඳ, නරක දෙක වේ.මේ අංශ දෙක පිළිබඳව දැනීමක් ඇත්තා බුද්ධිමතා නැතහොත් ප්‍රඥාවන්තයා ලෙසින් බුදුදහමට අනුව විවරණය කළ හැකිය. සෑම ජීවිතයකම පදනම වනුයේ තමා විසින් තිදොරින් කරනු ලබන හොඳ හෝ නරක ක්‍රියාවන්ය. අකුසලය ගැන ඇති දැනීම කුසලය වැඩීමට රුකුලක් වේ. එමෙන්ම කුසලය හා එහි ඵල විපාක පිළිබඳ ඇති දැනීම අකුසලයන් නොකිරීමට හේතු වේ.

කුසලාකුසල විනිශ්චයක් කිරීමට නම් පුද්ගලයකුගේ සිත දියුණූ කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වේ. අපගේ සිත සැම ක්‍රියාවකටම මූලය වන අතර එසේ පහළ වන සිත් ද කුසල් අකුසල් යැයි වර්ග කළහැකිය. අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ කුසලාකුසල යනු කුමක් ද යන්න පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් වේ. බුදුරජාණන් වහන්සේ එහි දී රාහුල හිමියන් අමතා මෙසේ දේශනා කළ සේක. රාහුලය, කයින් යම් කර්මයක් කරනු කැමැත්තේ ද මගේ මේ කාය කර්මය මට දුක් පිණිස පවත්නේය. අනුන්ට දුක්පිණිස පවත්නේය. උභය පක්ෂයටම දුක් පිණිස පවත්නේය. මෙම කාය කර්මය අකුසල කාය කර්මය වේ. එය දුක් වඩන්නේය. දුක් විපාක ඇත. එමෙන්ම යම් වූ කාය කර්මයක් තමාට දුක් පිණිස නොපවතී ද අනුනට දුක් පිණිස නොපවතී ද උභය පක්ෂයටම දුක් පිණිස නොපවතී ද මෙම කාය කර්මය කුසල්ය. සැප පිණිස පවතින්නේය. එහි සුඛ විපාකයක් ඇත; යනාදි වශයෙන් විමසා බැලිය යුතුය. බුදුරජාණන් වහන්සේ එසේ ප්‍රකාශ කළේ යමක් කිරීමට මත්තෙන් ඒ පිළිබඳ ව පූර්ව විනිශ්චයක් කළ යුතු බවයි. එම පූර්ණ විනිශ්චයට මුල් වන්නේ අන් කිසිවක් නොව තම සිත ම බව පැහැදිලි ය.

තමා නිරතුරුව සුදුසු ගුණයේ මෙන්ම නිවැරැදි සිතිවිලිවලද පිහිටමින් අනුනට අනුශාසනය කළ යුතු වේ. ‘අත්තානමෙව පඨමං පතිරූපෙ නිවෙසයෙ’ යනුවෙන් දක්වන අදහස ඉතාමත් වැදගත්ය. තම චින්තනය නිවැරැදිව සකස් නොකොට අනුන්ගේ චින්තනය හෝ හැසිරීම් ගැන අවවාද කිරීම ඵලදායක නොවේ. මන්ද තමා ඊට සුදුස්සකු නොවන බැවිනි. වැරැදි කරමින් උපදෙස් ලබා දෙන්නා ද තමා අතින් තමාටම අවැඩක් කර ගන්නා අතරම අනුන්ට ද අවැඩක්ම සිදු කරලයි.

සිත නිරතුරුව පාපයට බරය.එබැවින් සිත නිවැරැදි මාවතට යොමු කර ගැනීම පහසු කටයුත්තක් නොවේ. සිතට නිවැරැදි චින්තනයක් ඇති කර ගත හැකිය. එබැවින් බුදුරජාණන් වහන්සේ ඇතුළතින් හා පිටතින් මුරකාවල් යොදා නගරයක් ආරක්‍ෂා කරන්නාක් මෙන් තම සිත ද (නගරං යථා පච්චත්තං ගුත්තංසන්තර බාහිරං) නිරතුරුව රැකගත යුතු බව (එවං ගොපෙත අත්තානං) දේශනා කොට තිබේ.

දිය පහර තිස් හයකින් සැදුම් ලත් තණ්හාව (ආශාව) නමැති නදිය වේගයෙන් රූපාදි අරමුණු අතරින් ගමන් කරයි. නදියෙහි වනරාග, ද්වේශ හා විතර්ක නමැති ජලධාරා මඟින් විපරීත බුද්ධිය ඇති පුද්ගලයෝ දුගතිය කරාම ගෙන යනු ලැබෙත්. තණ්හාවට සිත තුළ නිරතුරුව ඉඩක් ලැබී ඇත. තණ්හාව යනු ‘සත්වයන්ට හැම පැත්තෙන් බිය ගෙන දෙන’” අරුත් ඇති පදයකි. (තත තීති තණ්හා) තණ්හාව යනු ආසාව නම් ආසාවේ ස්වභාව බැඳීම වේ. බැඳීම ඇත්තා නිරතුරුව බියකින් පෙළේ. සෙසු සියලු ජීවිතවලින් කැඩී වෙන් වී ‘මම’ නැතහොත් ‘අපි’ වශයෙන් කැටි වී පවතින කොටස් මඟින් අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීමට ඇති ආශාව ලෙසින් ද තණ්හාව අර්ථ ගැන්විය හැකිය. තණ්හාව මුල්කොට ගත් කෙනෙකුගේ සිතුවිලි අකුසල පක්ෂයේ ලා සැලකේ. මන්ද තණ්හා සහගත වූ සිතිවිලි ඇත්තන්ගෙන් නිරතුරුව තමාට මෙන්ම අනුනටද ඇවැඩක් සිදුවන බැවිනි. තණ්හාවෙන් බැඳෙන හා එහි එල්බෙන ජීවිතය සෝකයෙන් හා බියෙන් පෙළෙයි. (තණ්හාය ජායති සොකො -තණ්හාය ජායති භයං) තණ්හාවෙන් තොර වූ දිවියට සෝකයක් හෝ බියක් නැති බව (නත්ථි සොකො කුතො භයං) බුදුරජාණන් වහන්සේ ධම්මපද පාලියේ දී දේශනා කළ සේක.

තණ්හාව මහා ප්‍රවාහයකට උපමා කර ඇත. මහා ප්‍රවාහය බෙහෙවින් සැඩපරුෂය, අමිහිරිය. එහි එක් ඵලයක් වන්නේ විනාශයයි. බුදුරජාණන් වහන්සේ තණ්හාව මහා ජල ප්‍රවාහයකට සමාන කරමින් දක්වති. එම සැඩ පහරට ලක්වන දෑ, හසුවන සැම තැලී පොඩි වී විනාශ වීම ස්වභාවිකය. එසේම තණ්හා නමැති සිතුවිලි ප්‍රවාහයට මැදිවන පුද්ගලයන්ට අත්වන්නේ ජල දහරාවට හසු වූ පුද්ගලයන්ට අත් වූ ඉරණමයි. සියලු අකුසලයනට මූලය වන්නේ ද තණ්හාවම ය. තණ්හාව නමැති ජල ධාරාවො සැම තැනකම ගලායති. (සවන්ති සබ්බධි සොතා)

එක් අවස්ථාවකදී බුදුරජණන් වහන්සේ තණ්හාව වැලකට උපමා කොට ඇත. තණ්හාව නමැති වැල සදොරින් මතුව සිටියි. (ලතා උබ්බිජ්ජ තිට්ඨති) එසේ හටගත් තණ්හාව නමැති වැල නුවණින් සිඳ බිඳ දැමිය යුතු බව අවධාරණය කෙරේ. (තඤ්ච දිස්වා ලතං ජාතං මුල පඤ්ඤාය ඡින්දථ) වැලේ ස්වභාව කිසියම් ආධාරකයක් මතින් ඉහළට ගොස් එම ආධාරකය ද විනාශ කොට තමා ද විනාශයට පත්වීමය. ගසක වෙළෙන වැල ගසේ ඉහළට ගොස් අතුපතර ද වෙළී ගසේ සාරය ද උරා ගනිමින් එම ගස විනාශයට පත් කරයි. වැලෙන් වන හානියෙන් විනාශයට පත්වන ගස මැරී දෙරණ මත ඇද වැටෙයි. ගස වැටෙන විට ගස වසා පැතිර තිබූ වැල ද පොළොව මතට ඇද වැටී විනාශ වෙයි. තණ්හාවෙන් වෙළී ගිය දිවිය ද එසේය.තණ්හා සහගත සිතුවිලි අනෙකුත් මානව ක්‍රියාකාරකම් සමඟ වෙළීයයි. තණ්හාව නම් වූ වැල් හැදෙන, ඊට සාරය ලබා දෙන ඉන්ද්‍රියයන් හයක් ඇත. ඇස,කන, නාසය, දිව, ශරීරය හා මනැසයි. රූප, ශබ්ද,ගන්ධ,රස, ස්පර්ශ හා ධම්ම යන ආරම්මණයන් නිසා තණ්හාව නම් ලතාව හටගන්නා අතර එම ලතාවන් සිත හා සිතුවිලි වසා ගෙන වචන හා ක්‍රියා මගින් බාහිර ලෝකය හා සම්බන්ධ වේ.බොරුව, කේළම, පරුෂ වචනය හා හිස්වචන ලෙසින් මෙම තණ්හාව එක් ද්වාරයකින් එළියට එන අතර පරපණ නැසීම, සොරකම , කාමයේ වරදවා හැසිරීම සංඛ්‍යාත වූ ක්‍රියාදාමයන් ඔස්සේ තව ද්වාරයකින් එළියට එයි. මෙම ක්‍රියාදාමයන් තමනට මෙන්ම අන් අයටද අවැඩදායකය. එබැවින් මෙම ලතාව විෂ සහිතය. කටු සහිතය.එය ඇසුරුකරන සැම දෙයක්ම විනාශ මුඛයට පත් වීම නොවැළැක්විය හැකිය. වැල නිසා ගස නැති වී ගියේ යම් සේ ද, වැල ඇසුරු කළ සැම දෙය විනාශ වූයේ යම් සේ ද එසේම තණ්හාව නමැති වැල හා සම්බන්ධ වූ ක්‍රියාදාමයට හසු වූ සැම දෙය ද එලෙසින්ම විනාශ මුඛයට පත්වේ. එමෙන්ම තණ්හා සංඛ්‍යාත වූ මෙම වැල මුල් අවධියේ ම හඳුනාගෙන සිඳ බිඳලිය හැකි නම් ඉන් වන හානිය වළකාගත හැකිය.

තණ්හාවෙන් වෙළීයන සිත නිරතුරුව සසලය. සසල හිත නිසල කළ හැක්කේ සිත සසල කරන මූලයන් නිවැරැදිව හඳුනා ගැනීමෙනි. එනම් තණ්හාව හා තණ්හාව ඇතිවන මාර්ග ගැන නිවැරැදි අවබෝධයක් ලැබීම මඟිනි. බුදුරජාණන් වහන්සේ මෙහිදී තණ්හාව හඳුනා ගැනීමට හා එහි මූලය සිඳලීමට හැකි මාර්ගය ලෙසින් නුවණ හෙවත් ප්‍රඥාව දියුණු කර ගැනීම පෙන්වා වදාළහ. සිත සසල කරන ආරම්මණ මනාව ප්‍රඥාවෙන් තේරුම් ගනිමින් සිත හා සිතුවිලි පිළිබඳ මනා දැනීමකින් කටයුතු කරන්නේ නම් සන්සුන් වූ මනැසක් ඇති කර ගැනීමට එයම හේතු වේ. සසල සිත නිසල කර ගැනීමට එමඟින් ලැබෙනුයේ මහත් උපකාරයකි.

තෙරුවන් සරණයි!

මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

බුදු හාමුදුරුවෝ පෙර ආත්ම භව වලදී සිදු කරන ලද අකුසල් කර්ම මොනවාද? කුසල කර්මයන්හි…

බුදු හාමුදුරුවෝ පෙර ආත්ම භව වලදී සිදු කරන ලද අකුසල් කර්ම මොනවාද?

කුසල කර්මයන්හි පල විපාක සේම අකුසල කර්ම පල විපාකද බලගතුය. අප මහා බෝධිසත්වයන් පෙරුම් පිරූ ආත්ම බවයන්හිදී කල විවිධ අකුසල කර්ම වල විපාක ගෞතම බුදුන් ලෙස පහල වූ ආත්මබවයන්හි විඳි බව බෞද්ධ ඉතිහාසයේ සදහන් වේ.බුද්ධත්වයට පත්වුවද කලින් කල අකුසල කර්මයන් පලදීමෙන් අත්මිදීමට නොහැකි බව එයින් විද්‍යමාන වේ.

සංසාරේ කළ අකුසල කර්ම බුද්ධත්වයට පත්වීමෙන් පසුවද තමාට පලදුන් බව බුදු හිමියෝ හිමාල වනයේ අනවතප්ත විල සමීපයේදී භික්ෂූන්ට දේශනා කළහ.

තවත් එක් භවයක අප මහා බෝධිසත්වයෝ මොනාලි නැමති තරුණයකුව ඉපද පාපී මිත්‍රයන් ඇසුරෙහි වාසය කළහ.සිය පාපී මිතුරන් හා ඒක්ව පසේ බුදුවරයකුට චෝදනා කිරීමේ වරදට බෝධිසත්වයෝ ගෞතම නමින් බුද්ධත්වයට පත් වු පසු සුන්දරී පරිබ්‍රාඡිකාවගෙන් චෝදනා ලැබුහ. බුද්ධත්වයට පත්වුවද උන්වහන්සේට එම පාපයෙන් මිදිය නොහැකි විය.

තවද එක් ආත්මභවයක බෝධිසත්වයන් සංවර භීක්ෂුවක් අසංවර ලෙස හැසිරෙන බව පවසා උන්වහන්සේට චෝදනා කර ඇත.එම පාපකර්මයේ පල විපාකය වශයෙන් චීංචිමානවිකාව උන්වහන්සේට බුදු වූ පසු චෝදනාවක් එල්ල කළාය.

තෙරක් නොපෙනන සංසාර ගමනේ තවත් එක් ආත්මභවයක අප මහා බෝධිසත්වයෝ වන අරණ්‍යයක ශිෂ්‍යන්ට ශිල්පශාස්ත්‍රය උගන්වන ඍෂිවරයකුගේ ආරන්‍යයට සමීපව ජීවත් වුහ.එම ඍෂිවරයාට ශිෂ්‍යන්ගේ ඥාතීන් කරන පුද සත්කාර දැක ඊර්ෂ්‍යා උපදවා ඍෂිවරයා පිළිබද ඥාතීන්ට බොරු කිව්වේ ඔහු අශිලාචාර පහත් අයකු බව පවසිමිනි.එම පවෙහි ප්‍රතිවිපාක ලෙස උන්වහන්සේට දේවදත්ත හිමියන්ගේ පිඩාවන්ගෙන් මිදිමට නොහැකි විය.තමා කළ පව් තමා පසුපස ඒම උන්වහන්සේටද නවතාලිය නොහැකි විය. උන්වහන්සේ බෝධිසත්ව අවධියේ සිටුවරයුකුට දාව උපත ලැබුහ.ඔහුගේ මෑණියන්ගේ ඇවෑමෙන් පසු පියා තවත් විවාහයක් කර ගත් අතර එම සුළු මවට දාව තවත් පිරිමි දරුවෙක් උපන්නේය.පියාගෙන් තමාට හිමිවන ධනස්කන්දය හවුලේ බෙදා ගැනිමට අකමැත්ත නිසා ඔහු සිය මලණුවන් රවටා ඔහු පර්වතයට රැගෙන ගොස් එයින් පහලට තල්ලු කළේය. අස්ථි බිදිමින් කන්දෙන් පහළට වැටුනද මලණුවන් මිය නොගිය නිසා නැවතත් කන්දේ සිට කළු ගලක් හිස මතට දමා ඔහුව ඝාතනය කළේය.එහි විපාකය වූයේ බුද්ධත්වයට පත්වූ පසුව දෙවුදත්තෙර විසින් ගලක් පෙරළණු ලැබ, බුදුන් වහන්සේ තුවාල ලැබීමයි.පෙර ආත්මයේ සිය සොහොයුරන්ගේ හිස මතට ගලක් අතහැර ඝාතනය කිරීමේ පාපකර්මය ඉතා බලගතු බැවින් දෙවුදත්තෙර පෙරළු ගලේ කැබැල්ලක් උන්වනසේගේ පදයේ වැදී එයින් ලේ වැගිරි ශල්‍යකර්මයක් කිරීමටද සිදු විය.
රාජ්‍ය පාලකයකු වී උපත ලැබූ බෝධිසත්වයන් සිය කඩුවෙන් කපා මිනිසෙකු ඝාතනය කළ පාපයට විපාක ලෙස ලේ වැගිරුන පාදයේ තුවාලය දෙවෙනි වරටත් ශල්‍යකර්මයට බදුන් කිරීමට සිදුවිය.
දිනක් බුදුන් වහන්සේ මාර්ගයේ වැඩම කරමින් සිටියදී රා සොළොසක් පානය කර මත් වූ නාලාගිරි හස්තිරාජයා බිහිසුණු ලෙස උන්වනසේගේ පෙර මගට දිව ආවේය.එම සිදුවීමද උන්වහන්සේ පෙර කරන ලද අකුසල කර්මයක විපාකයකි.

එම සිදුවීමට තුඩු දුන් අතිත කථාව මෙසේය.එක් සමයක බෝධිසත්වයෝ ඇත්ගොව්වෙකුව ඉපද සිටියදී මාර්ගයේ වැඩම කරමින් සිටි පසේ බුදුවරයකු ඉදිරිට ඇතෙකු කුපිත කර යැවුහ.සිය ඝෘද්ධි බලයෙන් අහසට නැගී පසේ බුදුරජාණන්වහන්සේ වෙනතකට වැඩම කළහ.එම පාපී ක්‍රියාවේ අනිසි ප්‍රතිඵලය වුයේ නාලාගිරි නැමති හස්තිරාජයා උන්වහන්සේ බුදු වූ පසු ප්‍රචණ්ඩ ලෙස ඉදිරියට පැමිණිමයි.

තවත් එක් අවධියක බෝධිසත්වයන් කුඩා දරුවෙකුව සිටියදී පසේ බුදුවරයෙක් මාර්ගයේ වැඩම කරමින් සිටියේය.එවේලහි ඔහුගේ සිතට නැගුණු පාපී සිතුවිල්ලක් නිසා ගලක් ගෙන පසේ බුදුවරයකුට ගසා උන්වහන්සේගේ ලේ සොලවා සතුටු විය.එහිපාපී පලවීපාකය වුයේ වැදී පුත්‍රයන් තිස් දෙනෙකු උන්වහන්සේ බුදු වී ධ්‍යානගතව සිටින අතරතුර ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමයි.

ධිවර ගම්මානයක ධිවරයන් අතරේ හැදී වැඩුණු තරුණයකුව බෝධිසත්වයෝ එක් ආත්මභවයක් උපන්නාහ. ධිවරයෝ ජාලාශයට වස යොදා එහි මත්ස්‍යයන් අල්ලා ගොඩ තිබූ බදුනකට මාළුන් රැස් කළහ.අපහසුතාවෙන් දගලන මිය යන මත්ස්‍යයන් දෙස බලා ධිවර තරුණයා සතුටු වූ අතර බුද්ධතත්වයෙන් පසුවද බුදු හිමියන්ට වරින් වර වැලදූනු හිසරදය වුයේ එම පාපයේ ප්‍රතිඵලයයි.

ඵුස්ස බුදුරජාන්වහන්සේ සමයේද අප මහා බෝධිසත්වයෝ අසත්පුරුෂ මිතුරන් ඇසුරෙහි උපන්නාහ. ඵුස්ස බුදු හිමි ප්‍රමුඛ මහා සංඝයා ඇල් හලින් පිසින ලද බත් වළදන අයුරු දැක ඊර්ෂ්‍යාව උපදවා ඇල් හාල් බත් නොවෙයි යව කාපල්ලා යනුවෙන් බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට අපහස කළේය.එහි පාපකර්මය ලෙස උන්වහන්සේට බුද්ධත්වයෙන් පසුවද මාස තුනක් ආශ්වයන්ට දෙන යව ඇට වැළදිමට සිදු විය.
බෝසත් අවදියේ මල්ලවපොර ක්‍රීඩාවේ නිරතවන පුද්ගලයකු ලෙසද උපත ලැබූ ඔහු මල්ලවපොරයකදී සිය ප්‍රතිමල්ලවයාට වැරෙන් පහරක් එල්ල කළේය.ඒයින් ඔහුගේ කොදු ඇටය බිදී ගියේය.එහි පාප විපාකය ලෙස උන්වහන්සේට අධික වේදනාවෙන් යුත් කොන්දේ අමාරුවක් හට ගැනිණි.

තවත් එක් ආත්මභාවයකදී උන්වහන්සේ දක්‍ෂ කාර්යශුර වෛද්‍යවරයකු ලෙස උප්පත්තිය ලැබුහ.අධික උදරාබදයකින් පසු වූ සිටුකුමරයකු සුවපත් කළ හෙතම වෛද්‍යවරයාට රන්කහවනු නොදුන්නේය. එයින් හටගත් කෝපයෙන් කුමාරයට විෂ බෙහෙත් දුන්නේය. එයින් ලේ පාචනය හා වමනය යන රෝග තත්වෙයන් සිටු කුමාරයා මිය ගියේය.එහි ප්‍රතිඵලය වුයේ උන්වහන්සේ ගෞතම බුද්ධත්වයට පත් වූ පසුවද ලේ වමනය යැමේ රෝගය වැලදිමයි.එසේ ලේ වමනය වැලදුනු අවස්ථාවේ උන්වහන්සේට වැලදිමට නොහැකි වන පරිදි අවස්ථා තුනකදිම කුකුක්ථකා නදියේ දිය ජලය බොර වූ බව බෞද්ධ සාහිත්‍යයේද සදහන් වේ.එසේ කුකුක්ථකා නදියේ දිය බොර වීමට බලපෑ ආතිත කර්ම විපාකය වන්නේ පෙර භවයක පිපාසෙන් පෙළුණු ගව දෙනක වතුර බිමට සැරසුණු ජලාශයේ වතුර බොර කිරීමයි.කේසේ වෙතත් තථාගතයානන් වහන්සේට ලේ වමනය යැමේ රෝගය වැලදුණු අවසථාවේ කුකුක්ථා නදියේ දිය බොරවීම නිසා ආනන්ද හිමියන් වැලපෙමින් සත්‍යක්‍රියා කොට එහි ජලය පිරිසිදු කරවා බුදු හිමියන්ට පුජා කොට ඇති බව බෞද්ධ සාහිත්‍යයේ සදහන් වේ.

කළ කම් පලදීම තරාතිරම නොබලා සිදු වේ.යමෙකු කරන කුසල කර්ම මෙන්ම අකුසල කර්ම නිසා ඔහුට සංසාර ගමනේ කෙදිනක හෝ විපාක විදීමට සිදු වේ. තථාගත අමාමෑණි බුදු පියාණන් වහන්සේ ගෞතම බුදුන් නමින් බුදු වී ලොවක් සුමගට ගනිමින් වැඩ විසු මොහොතේ පවා පෙර කළ කර්ම විපාක විදීමේ සිදුවීම්වලින් පවෙහි ප්‍රතිවිපාකය කෙතරම් බලවත්දැයි විද්‍යාමන වේ.එම යථාවාදී බුදු දහම අවබෝධ කර ගත් බැවින් උන්වහන්සේ සිය අනුගාමිකයන්ට මෙලෙසින් දේශනා කළ බව බෞද්ධ දර්ශනයේ සදහන් වේ.
“මහණෙනි තමන්ගේ විමුක්තිය තමාමය.ඔබ අකුසල කර්ම කළහොත් ඔබගේ හතුරා වන්නේ ඔබමය.
අකුසලයක් සිදු කල පසු ඔබව විපාකයෙන් ගලවා ගැනිමට කිසිවකුටත් නොහැකීය.එය ඒකන්තයෙන්ම විපාක ගෙන දේ”

දහසක් සොදක් කෙරුවත් හිතකින් කාට, රහසින් පවක් කෙරුවොත් පලෙදයි ඊට, අහසක් වසන සඳ සගවන්නද රෑට, මහා බඹුනටත් වරදී පව් කල දාට.

(සියළු දෙනාටම ධර්මාවබෝධය ලැබේවා !)

මෛත්‍රී සිහිය දියුණු කරමින් මෛත්‍රී කාය කර්ම,වාග් කර්ම, මනෝ කර්ම වර්ධනය කරමින්,…

මෛත්‍රී සිහිය දියුණු කරමින් මෛත්‍රී කාය කර්ම,වාග් කර්ම, මනෝ කර්ම වර්ධනය කරමින්, අප්‍රමාණ ලෙස සත්ත්වයන් කෙරෙහි එය විහිදුවා ලමින් පවත්වා ගන්නා දියුණු මෙත් සිත මෙහි මෙත්තා චේතෝවිමුක්ති යනුවෙන් අදහස් කෙරේ. මෙත් සිත නිරතුරුව වඩන තැනැත්තාට පංච නීරවණයන් පහව යෑමෙන් ලැබෙන අර්පණා ධ්‍යාන ස්වරූපය මෙත්තා චේතෝවිමුක්තිය බව අප විසින් තේරුම් ගත යුතුයි.

යො ච මෙත්තං භාවයති
අප්පමාණං පතිස්සතො
තනූ සංයෝජනා හොන්ති
පස්සතො උපධික්ඛයං
එකම්පි චෙ පාණමදුට්ඨචිත්තො
මෙත්තායති කුසලො තෙන හොති
සබ්බෙව පාණෙ මනසානුකම්පං
පහුතචරියො පකරොති පුඤ්ඤන්ති

ඉහත සඳහන් ගාථා රත්නද්වය ඉතිවුත්තක පාළි නම් ත්‍රිපිටක ග්‍රන්ථයේ මෙත්තා චේතෝ විමුත්ති සූත්‍රයෙහි සඳහන් වන්නක්. පළමු කොට මේ ගාථා දෙකේ සරල තේරුම පහදා ගනිමු.

“යම් ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා එළඹ සිටි සිහි ඇතිව මෛත්‍රී ධ්‍යානය වඩයි නම්, අප්‍රමාණ වශයෙන් වඩයි නම්, නිවන දකින්නා වූ ඔහුගේ සියලු සංයෝජන තුනී වී යන්නේය.

“ඉදින් එක් ප්‍රාණියකු කෙරෙහි කිලිටි නොවු සිතින් මෛත්‍රිය වඩනවා නම්, එයින් ම ඒ තැනැත්තා කුසල් පිරූ කෙනෙක් වෙයි. සියලු ම ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පාව ඇති ආර්ය උතුමා බොහෝ කුසල් පුරන්නේ ය කියා අමුතුවෙන් කියන්නේ කුමට ද? “ යනු මේ ගාථා දෙකේ අදහසයි.

මේ සූත්‍රයෙන් අපට අවධාරණය කරන්නේ දියුණු කළ මෙත් සිතක කවර තරම් බලගතු කමක් තිබේද යන්නයි.

මෙත්තා චේතෝවිමුත්ති සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මහණෙනි, පංචස්කන්ධය සුවසේ පරිහරණය කරගැනීමට උපකාර වන පුණ්‍ය ක්‍රියා වස්තු ( ඕපධික පුඤ්ඤකිරියවත්ථූනි) ඇත්නම් , ඒ සියල්ල මෛත්‍රී චේතෝවිමුක්තියේ දහසයෙන් කොටසක් වත් නො වටී. මෛත්‍රී චේතෝවිමුක්තිය ඒ පුණ්‍ය ක්‍රියා වස්තු අබිබවා බැබළෙයි. විරුද්ධ ධර්මයන් තවයි, වෙසෙසින් බබළයි.

යම් සේ තරුවල යම් එළියක් ඇත්නම් ඒ එළිය සඳ එළියේ දහසයෙන් පංගුවක් වත් නොවටී. සඳ එළිය සියලු තරු එළිය අබිබවා බැබැළෙන්නා සේ මෛත්‍රී චිත්ත විමුක්තිය සියලු පුණ්‍යක්‍රියා වස්තු අබිබවා බැබැළෙන්නේ මැයි. ඉහත දැක්වූ ගාථා දෙකට යාකොට තවත් ගාථා දෙකක් සඳහන් කර ඇත. ඒවායේ අර්ථ මෙසේය.

මිනිසුන් වෙසෙන මේ මහ පොළොව ජය ගත් අධිරාජයෙක් අශ්වමේධ, පුරුෂමේධ, සම්මාපාස, වාජපෙය්‍ය, නිරග්ගද යන යාගයන් කරමින් වෙසේ ද, මැනැවින් වැඩූ මෙත් සිතින් ලැබෙන පිනින් දහසයෙන් පංගුවක් වත් එය නොවටිනේනේ ම ය. යමෙක් කිසිවකුට හිංසා නො කෙරේද, අනුන් ලවාත් නො කරවයි ද, කිසිවකු නො පරදවයි ද, අනෙකකුට හානි නො කරවයි ද, සියලු සතුන් කෙරෙහි මෛත්‍රීයේ කොටසක් බඳු වේ ද, ඔහුට කිසි කරුණකින් වඩා වෛරයක් නැත. මෛත්‍රී සිහිය දියුණු කරමින්, මෛත්‍රී කාය කර්ම – වාග් කර්ම – මනෝ කර්ම වර්ධනය කරමින්, අප්‍රමාණ ලෙස සත්ත්වයන් කෙරෙහි එය විහිදුවා ලමින් පවත්වා ගන්නා දියුණු මෙත් සිත මෙහි මෙත්තා චේතෝවිමුක්ති යනුවෙන් අදහස් කෙරේ. මෙත් සිත නිරතුරුව වඩන තැනැත්තාට පංච නීරවණයන් පහව යෑමෙන් ලැබෙන අර්පණා ධ්‍යාන ස්වරූපය මෙත්තා චේතෝවිමුක්තිය බව අප විසින් තේරුම් ගත යුතුයි.

මෙත් සිත දියුණු කර ගැනීමට එයින් චේතෝ විමුක්තිය සලසා ගනු පිණිස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ක්‍රමෝපාය මෙලෙසින් දැක්විය හැකිය. එය නම් : ආසේවිතාය කලණ මිතුරු ඇසුරක් සේ නැවත නැවැත මෙත් සිත ඇසුරු කිරීමය, භාවිතාය, නැවැත නැවැත පුරුදු පුහුණු කිරීම ය, බහුලීකතාය, බහුලත්වයෙන්, වැඩි කල් ලබාගෙන ප්‍රගුණ කිරීම ය, යානීකතාය, ගමනට උපකාර වන යානාවක් මෙන්, යාත්‍රාවක් මෙන් පවත්වා ගැනීම ය, වත්‍ථුකතාය, වාස්තවික භූ®මියක් ලෙස පවත්වා ගැනීමය, අනුට්ඨිතාය, මෙත් සිතට අනුවම සිතිවිලි පවත්වා ගැනීම ය, පරිචිතාය – දිගින් දිගට ම දක්‍ෂ ව ප්‍රගුණ කිරීම ය, සුසමාරද්ධාය – එහිලා වීර්යයෙන් පටන් ගැනීම ය. මෙත් සිත මෙලෙස නොකඩ කොට, මැනැවින් පවත්වා දියුණු කිරීමෙනි, එය ‘ චේතෝ විමුත්ති’ තත්ත්වයට පත් වන්නේ. මෙලෙස මෙත් සිහිය වඩන ලෙසත් එය බ්‍රහ්මවිහාරයක් ශ්‍රේෂ්ඨ විහාරයක් බවත් බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයෙහිදී පැහැදිලි කරන සේක. සුභ පරමාහං භික්ඛවෙ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි’ යනුවෙන් මෙත්තා චේතෝවිමුත්තිය යහපත ම පරම කොට ඇත්තේ යැයි උන් වහන්සේ වදාළහ.

මෛත්‍රීය තමාට මෙන්ම අනුනටත් ප්‍රායෝගික ඵලදායිත්වයක් ලබා දෙන අභ්‍යාස මාර්ගයෙකි. සීමාවක් නො සලකා කවර වූ ද ලෝක සම්මත වර්ගවාදී භේදයක් නො සලකා සියලු සත්ත්වයන් ම අරමුණු කරගෙන මෙත් සිත වැඩිය යුතුය. මව තම එකම පුතු දිවි පුදා රැකගන්නා සේ සැම දෙනා කෙරෙහි ආරක්‍ෂාව, නිර්භය භාවය, යහපත, ශාන්තිය අපේක්‍ෂාවෙන්, කිසිවකු හෝ කිසිවක් පිළිබඳව ඇලීමකින් හෝ ගැටීමකින් තොරව සියලු සත්ත්වයන් කෙරෙහි මෙත් සිත වැඩිය යුතු බව ධර්මයෙහි මැනැවින් ප්‍රකාශිතය.

සත්ත්වයා දැන දැන යම් කර්ම රැස් කරගෙන ඇත්නම් ඒවා පිළිබඳ සංවේදී භාවයකින් තොරව විපාක දුක කෙළවර කළ නොහැකි බව අංගුත්තර නිකායේ කරජකාය සූත්‍රය අපට පැහැදිලි කරයි. එසේ සංවේදී වන ආර්ය ශ්‍රාවකයා අභිධ්‍යා – ව්‍යාපාද දුරු කර සිහි නුවණ ඇතිව, සිවු මහ දිසාහිම උඩ යට සිරස හැම තන්හි හැම සතුනටම විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ මෙත් සිත පතුරුවා වාසය කරන්නේය. පෙර එසේ නොවැඩීම නිසා ස්වල්පයක් වූ ඔහුගේ සිත දැන් මනාකොට වැඩීම නිසා අප්‍රමාණ වී ඇත. ස්වල්ප ප්‍රමාණ චිත්ත තත්ත්වයක් තුළ කරන ලද කර්ම අප්‍රමාණ ලෙස වැඩූ සිත තුළ ඉතිරි නොවේ. නොරැඳේ. කුඩා කල සිට මේ මෛත්‍රී චේතෝ විමුත්තිය වඩන්නේ නම් ශරීරය කුඩා වුවත් අප්‍රමාණ ලෙස වැඩෙන ඔහුගේ සිතින් පව් කමක් නොකෙරෙන බවත් එහෙයින් ම ඔහුට කිසි දුකක් නොලැබෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මෛත්‍රීය හේතු කොටගෙන පෙර කරන ලද කර්මයන් විපාක මෙලොව සුළුවෙන් විඳින්නට සිදු වුවත් අලුතින් පාප කර්ම නොකිරීම නිසා මතු දුක් විපාක ඔහුට නොලැබෙන අයුරුත්, මෙයින් පැහැදිලි වේ. පුද්ගල භේදයක් නොසලකා මෙත් සිත වැඩීමෙන් ද එය උපේක්ඛා චේතෝ විමුක්තිය තෙක් දියුණු කිරීමෙන් ද මතු අර්හත්භාවය නොලබන භික්‍ෂුවට අනාගාමීභාවය හිමි වන බව ඉහත සඳහන් සූත්‍රයෙහි ප්‍රකාශිත ය. 30 වැනි පිටුවට

මෛත්‍රිය වැඩීමෙහි ඇති ආනිශංස බුදුපියාණන් වහන්සේ විවිධ උපමා මගින් පැහැදිලි කර ඇත. මෙත්තානිසංස සූත්‍රයෙහි දැක්වෙන පරිදි, සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති ආදී විසින් ඉගැන්වුණු ආනිසංස එකොළස ප්‍රකට ය. ශක්තිමත් පුරුෂයෙක් තියුණු තුඩ ඇති හෙල්ලක් දැක, සිය අත්ලෙන් ඒ මුවහත් තුඩ මොට කරමි, අඹරමි යි සිතා එසේ කළහොත් ලැබෙන ප්‍රතිඵලය තමාගේ අත්ල සිදුරු කරගෙන තුවාල ලබා දුකට පත්වීම පමණයි. එලෙසින් යම් අමනුෂ්‍යයෙක්, සතුරු බලවේගයක් මෛත්‍රී චේතෝවිමුක්තියෙන් ශක්තිමත් වු කෙනකුගේ සිත වික්‍ෂිප්ත කරන්නට දුකට පත් කරන්නට ගියහොත් එය අසාර්ථක උත්සාහයක් වන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එසේම යම් කෙනකු සිය දහස් ගණනින් සිදු කරන විවිධ දානවලට වඩා එක් සෝවන් උතුමකුට පුදන දානය පිරිසුදු වූද මහත්ඵල වූ ද දක්‍ෂිණාවක් වන බවත්, සෝවාන් උතුමන් සියයකට වඩා… සකෘදාගාමී කෙනකුට, සකදාගාමින් සියයකට වඩා එක් අනාගාමියකුට, අනාගාමීන් සියයකට වඩා එක් රහතන් වහන්සේ කෙනකුට, රහතන් වහන්සේ සියයකට වඩා එක් පසේ බුදු කෙනකුට, සියයක් පසේ බුදුවරුනට වඩා එක් සම්මා සම්බුදුන් වහන්සේ නමකට, ඊට වඩා බුදුපාමොක් මහ සඟනට දන් දීම, ඊටත් වඩා සිවු දිගින් වඩිනා මහ සඟනට විහාරයක් කරවීම, ඊටත් වඩා පැහැදුණු සිතින් තෙරුවන සරණ යෑම, ඊටත් වඩා පැහැදුණු සිතින් පන්සිල් සමාදන් වීම, ඊටත් වඩා යටත් පිරිසෙයින් දෙනගේ තන පුඬුවෙන් කිරි දොවින මොහොතක කාලයක් මෙත් සිත වැඩීම, ඊටත් වඩා අසුරුසනක් ගසන කාලයක් අනිත්‍ය සංඥාව වැඩීම මහත්ඵල වන බව බුදුරජාණන් වහන්සේ වේලාම සූත්‍රයෙහි දී වදාළහ.

මෙත් සිත, මෛත්‍රී චේතෝවිමුක්තිය වැඩීම කොතරම් මහත්ඵලදායී කරුණක් ද යන්න මෙයින් පැහැදිලි වේ. මිනිස් මනස නපුරු කරන, කිලිටි කරන අරමුණුවලින් විෂය ලෝකය පිරී පවත්නා හෙයින්, ඒ පාපී පරිසරය සමහන් කොට උතුම් සාමය හා සන්හිඳියාව ලොවට උදා කළ හැක්කේ මෛත්‍රී‍්‍රයෙන් ම බව අප කවුරුත් තේරුම් ගත යුතුයි. මහ බෝසතාණන් වහන්සේලා පිරූ දාන – ශීල – නෛෂ්ක්‍රම්‍යාදී පාරමිතා ද, ලෝකාර්ථ චර්යාවන් ද පූර්ණත්වයට, සමෘද්ධියට පත් වූයේ අනුනට හිත – සුව පැතිරවීමේ මෛත්‍රී අධ්‍යාශය නිසා මය. මනුෂ්‍ය ලෝකයට පමණක් නොව, මුළු මහත් විශ්වයටම මෛත්‍රී‍්‍රය අවශ්‍ය වී ඇත්තේ මනුෂ්‍යයාගේ ආරක්‍ෂාවට හා යහපැවැත්මට මතු නොව, මුළු මහත් පරිසරයේ හා විශ්වයේ ම ආරක්‍ෂාවට හා යහ පැවැත්මට එය අත්‍යවශ්‍ය සාධකයක් වන නිසාය. තමාට වඩා අන්‍යයනට මෙත් වැඩීම, සුව පැතීම දෙපක්‍ෂයටම යහපත සලසාගැනීමක් ලෙස බුදු දහමෙහි අවධාරණය කර ඇත. ලෝවැඩ සඟරාවෙහි ද “ මෙත් බාවන නම් වැඩි පින්කමෙකි” යි සඳහන් වන්නේ ඉහත සඳහන් ධර්ම විග්‍රහයට අනුරූපවය. එහෙයින් ගුරුළුගෝමී පඬිතුමා වැඩූ ලෙස හැම සිතිවිල්ලක්ම මෛත්‍රීයෙන් පෝෂණය ලබා වඩන්නට සියලු පින්වත්හු අදිටන් කෙරෙත්වා !

“කයිනුත් සුවැත්තෝ
කිසිත් උවදුරු නැත්තෝ
වෙත්වා සියලු සත්හුම
සුවපත් වූ සිතැත්තෝ”

තෙරුවන් සරණයි!

තිරිකුණාමලේ ආනන්ද අනු නා හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තමා තුළම ඇතිවන අකුසල් නිසා මිනිසා විනාශයට පත්වේ. තමා තුළම ඇතිවන මලකඩ නිසා ලෝහය ව…

තමා තුළම ඇතිවන අකුසල් නිසා මිනිසා විනාශයට පත්වේ. තමා තුළම ඇතිවන මලකඩ නිසා ලෝහය විනාශයට පත් වන්නාක් මෙනි