Monthly Archives: November 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/33tACYb
🧡💛පෙර භවයේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මතකයට නැගී හසිතුප්පාද සිතින් සිනහා නැගූ අපේ බුදුහාමුදුරුවෝ 99 🧡💛

🌺 අවසන්​ නියත විවිරණය ලබාදුන් කස්සප බුදුහාමුදුරුවෝ 03 ​

මෙතැන​ සිට ලියවෙන්නේ අපේ බුදුහාමුදුරුවෝ කස්සප බුදුරජාණන් වහන්සේ වෙතින් ලබාගත් අවසන් නියත විවරණයයි. එය කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ ඇති ආශ්චර්ය පිළිබඳව කියවෙන හොඳම කතාව ලෙසයි මට දැනෙන්නේ. ඒ විතරක් නෙවෙයි. බියකරු සසරේ ප්‍රයෝගකාරී ස්වභාවයද එයින් කියවෙනවා. මේ සඳහා මම​ තෝරාගත්තේ මෙතෙක් මේ කතාපෙල පෙළ ගැස්වූ බුද්ධවංශ ආපදානේ වෙනුවට මජ්ඣිම නිකායෙහි එන ඝටීකාර සූත්‍රයයි. ​

එක්​ සමයෙක අපගේ භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සමූහයක් සමග කෝසල ජනපදයෙහි චාරිකාවෙහි වඩින්නට වුනා. ඒ වඩිනා අතරතුර මාර්ගයෙන් ඉවත් වූ අප බුදුපියාණන් වහන්සේ එකවරම සිනහ පහල කරන්නට වුනා. ඒ සිනහවට හසිතුප්පාද සිනහව කියලා කියනවා. ​

🌺 සිනහවේ​ ප්‍රභේද සහ හසිතුප්පාද සිනහව. ​

සිනාව​ සයාකාර වන බව අලඞ්කාර ශාස්ත්‍රයෙහි දක්වා තිබෙනවා. ​

1.​සිතය, 2.හසිතය, 3.විහසිතය, 4.උපහසිතය, 5.අපහසිතය, 6.අතිහසිතය යනුවෙන් සයාකාර වූ සිනාව ඒ ඒ ​නාමයන්ගෙන් ​හඳුන්වනවා.​

1.සිතය,​
මුහුණ​ බලා ඉන්නා කෙනකුට ප්‍රීතිමත් වූ බව හැඟෙන පරිදි ඇස් දෙක පමණක් මඳක් විවෘත වන සිනාව “සිත” නම් වනවා. ​

2.හසිතය​
ධර්මයේ හසිතුප්පාද චිත්තය යනුවෙන් හඳුන්වන්නේ සිනා උපදවන සිතක්. සිනා උපදවන තවත් සිත් තිබෙනවා. මේ අහේතුක ක්‍රියා චිත්තය ද ඉන් එකක්. සිනා උපදවන අන් සිත්වලින් සිනාව පමණක් නොව තවත් දේ ද සිදු කරනු ලබනවා. මේ සිතින් කරන්නේ සිනාව පමණෙකි. එබැවින් මෙයට හසිතුප්පාද යන නම තබා ඇත්තේ ය. (මෙය පසුව අභිධර්මනුකුලව විස්තර කෙරෙනවා.)

දත්වල අග පෙනෙන හඬ නොනැගෙන සිනාව හසිත නම් වනවා. ඒ සිනහවේ විශේෂ ලක්‍ෂණයක් වන්නේ කර්ම විපාකයක් නිසා හටගත් හෝ කර්ම පතයකට අවතීර්ණ වන සිනහවක් නොව හුදෙක් ඒ මොහොතේ සිදුවන ක්‍රියා මාත්‍රයක් පමණක්ම වීමය. ඒ තුල අකුසළ මූල වන ලෝභ, ද්වේශ, මෝහ, හෝ කුසල මූල වන අලෝභ, අද්වේශ, අමෝහ, අඩංගු නොවන නිසා අභිධර්මයේ චිත්ත විග්‍රහයේ දී මෙය අහේතුක ( ලෝභ, ද්වේශ, මෝහ, හෝ අලෝභ, අද්වේශ, අමෝහ, අඩංගු නොවන) ක්‍රියා සිත් තුනේ එකක් වන “සෝමනස්ස සහගත හසිතුප්පාදය” යනුවෙන්ද හඳුන්වනවා. බුද්ධ ප්‍රත්‍යේක බුද්ධාදි උත්තම පුද්ගලයෝ ඉහත දෙයාකාරයෙන්ම සිනාසෙනමුත් හඬ නගා සිනාසීම නොකරනවා.

3.​ විහසිතය​
මිහිරි​ හඬක් නැගෙන සිනාව විහසිත නම් වනවා.​

4.​ උපහසිත​
හිස​ හා උරහිස් සැලෙන සිනාව උපහසිත නම් වනවා. කල්‍යාණ පෘථග්ජනයෝ ද ශෛක්ෂයෝ ද ඒ දෙයාකාරයෙන් සිනාසෙනවා. . මහ හඬ නගා සිනා සෙන්නේ නැහැ. ​

5.​ අපහසිත​
ඇස්වලින්​ කඳුළු ගලන සිනාව අපහසිත නමින් හැඳින්වෙනවා. ​


6.​ අතිහසිත​
ශරීරාවයව​ සියල්ල ම සොලවමින් දඟලමින් කරන සිනාව අතිහසිත නමි. ගුණධර්ම දියුණු කර නොගත් ලාමක අදහස් ඇත්තෝ ඒ දෙයාකාරයෙන් සිනාසෙති. හසිතෝත්පාද සිතින් ඇති කරන්නේ සිත – හසිත දෙක පමණෙකි.​


🌺🌺 ලෞකික, සේඛ සහ අසේඛ යන පුද්ගල සිනහවන්හි අභිධර්ම විග්‍රහය. 🌺🌺

මේ​ කොටස එකතු කිරීමට මා හට කැමැත්ත ඇතිවුනේ අභිධර්මය හදාරණ සහ හැදෑරු ඔබට සිතට සතුටක් ඇතිකිරීමට සහ අභිධර්මය මෙතෙක් නොහැදෑරූ අයට ඒ පිළිබඳව යම් උනන්දුවක් කුහුලක් ඇතිකිරීමටය. ​

මෙම​ කොටස මා විසින් උපුටාගනු ලැබුවේ මජ්ඣිමනිකායේ මජ්ඣිමපණ්ණාසපාළි කොටසේ රාජවග්ගයේ ඝටීකාර සුත්‍ර අට්ඨකතා වර්ණනාවෙනි. එය ඒ ආකාරයෙන්ම පිටපත් කලෙමි. ​

බුදුවරුන්ගේ​ සිනහව තුටු පහටු මාත්‍රයක්ම වෙයි. මෙය හසිත නම්වේ. මෙය සෝමනස්ස සහගත සිත් තේරසකින් (13 කින්) වෙයි. එහි ලෞකික මහජනයා අකුසල වශයෙන් සතරකින්ද, කාමාවචර කුසල් වශයෙන් සතරකින්ද සිත් අටකින් සිනාසෙයි. ​

සේඛයෝ​ අකුසල වශයෙන් දිට්ඨි සම්පයුත්ත දෙකක් ඉවත්කොට සිත් සයකින් සිනාසෙත්. ​

ක්ෂිණශ්‍රවයෝ​ සහේතුක ක්‍රියා සිත් සතරින් සහ (පොතේ මුද්‍රණ දෝෂයක් නිසා “සහ” යනුවෙන් නොතිබුණි. එය නිවැරදි කළෙමු.) එක් අහේතුක ක්‍රියා සිතකින්ද යනුවෙන් සිත් පසෙකින් සිනාසෙත්. ඒ අතරද බලවත් අරමුණක් පහළවූ කල්හි ඤාණ සම්පයුත්ත සිත් දෙකකින් සිනාසෙත්. දුර්වල අරමුණෙහි ද්විහේතුක සිත්​ දෙකකින්ද, අහේතුක සිතින්ද යන සිත් තුනෙන් සිනාසෙත්. ​

මෙතැන​ කිරියා අහේතුක ( මුද්‍රණ දෝෂය නිවැරදි කළෙමු) මනෝවිඤ්ඤාණ ධාතු සෝමනස්ස සහගත සිත භාග්‍යවතුන් වහන්සේට උපස්ථ ආකාර මාත්‍රවූ සිනාව ඉපදවිය. ඒ මේ හසිතයයි මෙසේ අල්ප මාත්‍රයක් අල්ප මාත්‍රයක් තෙරුන්ට ප්‍රකට විය.

💚🧡💛💜 සම්මාසම්බුදුවරයෙකු හට හසිතුප්පාද සිනහව නැගෙන අවස්ථාවේ දී ශ්‍රී මුඛයෙන් නික්මෙන රශ්මිධාරව පළිබඳව විස්තර හෙට දිනයේදී බලාපොරොත්තුවන්න.💚🧡💛💜

❤💚💛🧡 විශේෂ පුණ්‍යානු මෝදනාව – අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් වහන්සේට, අභිධර්ම විග්‍රහයේ ගැටළු සහගත තැන් නිරවුල් කරගැනීම සඳහා මාහට උපකාර කල ඔස්ට්‍රලියාවේ පදිංචි මාගේ කල්‍යාණ මිත්‍ර ජයන්ත රත්නායක මහතාට. මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. ❤💚💛🧡

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
28-11-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/37K5uaf
මා මේ දුක් දෙන කරදරයෙන් මිදෙන්නේ කෙසේද? මා ධර්මය දන්නා කෙනෙකි. මට ඕනෑ පරිදි කිසිවකු පවතින්නේ නැති බව මම දනිමි. මා මෛත්‍රී කළ යුතුය. භාවනාවේදී මා කොතෙක් මේවා පුහුණු කළඳ අරමුණක් ආ කල්හි මගේ සිත සසල වෙයි. සිත දුකට පත්වෙයි. ද්වේෂය පැන නඟියි. දුකද පටිඝ මූලික සිතක් බව මම දනිමි. මා මෙය ජයගත යුතුමය. මා සියළු ලෞකික දේවල් අත හැර දමා ධර්මය තුළට පැමිණි අයෙක්මි. මා කෙසේ හෝ මේ මාර්ගයේ ගොස් නිවන සාක්ෂාත් කරගන්නා බවට දැඩි අධිෂ්ඨානයක් මා සිත තුළ පවතී. මම මේ කෙලෙස් මැඩගනු පිණිස තවත් වීර්යය කළ යුතුය. මේ තරහ සිත් මා ජයගත යුතුය. මම අදිටනක් ගනිමි.

මම අද පටන් එකදු තරහ සිතකට එන්නට ඉඩ නොදෙමියි යන ඒකායන අධිෂ්ඨානය පිහිටුවා ගතිමි. මම දෙනෙත් පියාගෙන මගේ සිත පිරික්සුවෙමි.

මම එක් එක් පුදගලයා වෙන් වෙන් වශයෙන් ගතිමි. ඔහුගේ මා අකමැති සියළු ගතිගුණ එකින් එක මෙනෙහි කරන්නට වීමී. එකක් නෑර සවිස්තරාත්මකව මම ඒවා මෙනෙහි කරන්නට වීමී. මට කළ ,කී දෑ, මා සිත් රිදුණු ඒවා සියල්ලම මම මෙනෙහි කළෙමි. තවද ඔහු විසින් අන් අයට කරන ලද නරක ලෙස මා හඳුන්වන යම් දෙයක් වේද ඒවාද එකින් එක මෙනෙහි කරන්නට වීමී.

මෙසේ මොහු කරන ලද, කියන ලද ඒවා නිසා මගේ සිත රිදුණු ඒවා සියල්ලටම මම හදවතින්ම ඔහුට සමාව දුන්නෙමි. එකෙනෙහිම මගේ හදවතට මහා සැනසීමක් දැනෙන්නට විය. මම අල්ලාගෙන සිටි බර මගෙන් ගිළිහී ගියේය. මම ඔහුට සෑම දෙයකටම අවංකවම හදවතින්ම සමාව දී ඔහුව නිදොස් කළෙමි. ඔහු කෙරෙහි මා සිත තුළ කරුණාවක් ඇතිවන්නට විය.

ඔහු මට බනින ලද අවස්ථාවක් මෙනෙහි කරන්නට වීමී. ඔහු මට බනින්නට කලින් ඔහු ඒ ද්වේෂයෙන් දැවෙන්නට ඇත. එය ඔහුගේ සිතට කොපමණ දුකක්ද. ඔහුට එසේ මට බනින්නට සාධාරණ හේතුවක් ඔහුගේ ප්‍රඥාවේ ප්‍රමාණයට තිබෙන්නට ඇත. මා සිතන්නේ මගේ ද්‍රෘෂ්ටි කෝණයෙනි. ඔහුගේ දැක්මට අනුව මා වැරදි වන්නට ඇත. මම හැමවිටම මම හරි, අන් අය වැරදි යැයි සිතමි. අනෙක් අයද එසේම සිතනු නො අනුමානය. ඉතින් මම මගේ සිතට නිවැරදිය. ඔහු ඔහුගේ සිතට නිවැරදිය. ඉතින් මට ඔහුට සමාව දෙන්නට බැරි කමක් නැත. මම ඔහුට සමාව දෙමි. ඔබ සුවපත් වේවා…!!!

තවත් විටෙක කෙලෙසකින්වත් මම වැරදි නැති විටක ඔහු මට දොස් නඟයි. එය මට සිහිවෙයි. කමක් නැත. මට ඔබ සමඟ දැන් තරහක් නැත. මම පරාජය පිළිගෙන ඔබට සමාව දෙමි. හදවතින්ම සමාව දෙමි. හැම දෙයකින්ම මා දිනිය යුතු නැත. ගැටළුව ඇත්තේ එතනය. කොතනදීත් මා පරදින්නට කැමති නැත. බහින් බස් නොවුණද මම සිතින් පරාජය පිළි නොගනිමි. ඉතින් මම සිතින් දැවුණෙමි. මම සිතින් ඔහු හා ගැටුණෙමි. ඉතිරි වූයේ මේ දැවෙන තරහ සිතක් හා කර්මයන් ගොඩකි. මට ඒ අවස්ථාවේ පරදින්නට තිබුණි. මගේ සිතින් මම ඔහුට දිනුම දී එය අත හරින්නට තිබුණි. නමුත් දැන් මට එය කළ හැකිය. ඕනෑම කෙනකුට වරදින්නට පුළුවන. ඔබ මා ගැන ඇති වැරදි සිත , මාගේ පෙර කර්මයක් නිසා සිදු වූ දෙයක් විය හැක. මමද පෙර සසරේ මෙලෙසින්ම නිවැරදි කෙනකුට දොස් නඟා ඇතුවා විය හැක. ඉතින් එහි විපාකයට මා මුහුණ දිය යුතු නොවේද… මට සමාවන්න මිතුර. ඔබ මාගේ අකුසල කර්මය ගෙවා දැමීමට මට උදව්වට ආ අයෙක් යැයි මට දැන් හැඟේ. මම ඔබට හදවතින්ම සමාව දෙමි.
ඔබට යම් අකුසලයක් නොවේවා යැයි හදවතින්ම ඔබට සුවපත් බාවය පතමි…

මට මහත් නිදහසක් සුවයක් දැනේ. හදවත සුවපත්ය. මේ තරහ තිබුණේ ඔහු කෙරෙහි නොව මගේම සිතේ නොවේද….මගේ සිත ප්‍රීතිමත්ය. සැනසුමෙන් පිරීය. මම ඔබට හදවතින්ම සුවපත් බාවය පතමි. සුවපත් වේවා…සුවපත් වේවා..
මම ඔහුගේ හිසේ සිට දෙපතුළ දක්වා මගේ සිත ගෙන යමි. මගේ මෛත්‍රී සිතින් ඔහුව සුවපත් කරමි. මගේ මේ මෛත්‍රී ශක්තිය ඔබට මේ මොහොතේදීම දැනේවා…ඔබගේ සිතේ යම් දුකක්, තරහක්, පීඩාවක් ඇත්නම් මේ මාගේ මෛත්‍රී ශක්තියේ බලයෙන් ඒවා හිරු දුටු පිණි මෙන් වියැකී ඔබ සුවපත් වේවා…

සෑම කෙනෙක්ටම සෑම දෙයක් කරන්නටම හේතුවක් ඇත. මිනියක් මරන කෙනකුටද ඔහුට හරියැයි සිතන හේතුවක් ඇත.

“තමන් මරන්නට එන පුද්ගලයා කෙරෙහිවත් තරහ සිතක් ඇති කරගන්නට එපා” යැයි මාගේ තථාගතයාණන් වහන්සේ කියූ කතාවේ ගැඹුර මා අත්දකිමින් සිටිමි. මේ ජීවීතයේ කෙදිනකවත් මට ඒ සා හතුරෙක් සිට නැත. සුළු දෙයකට ගැස්සිලි, දොස් වැනි දෙයක් හැර වෙන කිසිඳු මහා අපරාධයක් මට කිසිවකුත් කර නැත. ඉතින් මට ඇයි නොහැකි වූයේ ඔවුනට මෛත්‍රී කරන්නට. බුදු පියාණන් දේශනා කළේ “මරන්නට එන කෙනා කෙරෙහි හෝ තරහ සිතක් ඇති කර ගන්නේ නම් මගේ ශ්‍රාවකයෙක් නොවන බව”යි. මෙතෙක් කල් මා උන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියන තැනවත් හිඳ නැතුවා යැයි මට සිතේ.

මම මාගේ මිතුරාගේ හිසට ඉහළින් වතුර කළයක් නාවන්නා සේ යන හැඟීමෙන් ඔහුට මෛත්‍රීය කළෙමි. කොපමණ කාලයක් කළාදැයි මට මතක නැත. පෙර සතුරා, මගේ දැන් හොඳම මිතුරෙකි. මගේම සිතිවිලි වල නොවේද හතුරාත් මිතුරාත් හිද ඇත්තේ. ඔහු දන්නේවත් නැත, මා ඔහුව දැන් ටිකකට කලින් හතුරෙකු ලෙස සැලකූ බවත්, දැන් ඔහු මගේ මිතුරෙකු වූ බවත්. කෙතරම් මුලාවක්ද මේ සිත. මම මගේම සිත අල්ලා ගෙන නටමින් සිටියෙමි. මට පුළුවන් මේ සිතින් මගේ සතුරා නිර්මාණය කර ගැනීමටත්, මිතුරා නිර්මාණය කර ගැනීමටත්. අහෝ බුදු පියාණෙනි මම ඔබ වහන්සේගේ ධර්මය අත්දකිමි..මගේ ප්‍රඥාවේ ප්‍රමාණයට අත්දකිමි.

මට ඇත්තටම දැන් කිසි කෙනකුගේ නරකක් නොපෙනෙන තරමට සිත මෘදු වී ඇත. ඇතැම් දුක, තරහ ගෙන දෙන සිදුවීම් මෙනෙහි කරන්නට හිතට නොහැකි වී ඇතුවාක් මෙනි. ඒවා චායාවන් මෙනි.. අනේ මේවා මොන තරම් සියුම් දේවල්ද යැයි මට සිතේ.. මම මෙසේ එක් එක් පුද්ගලයාට වෙන වෙනම මෛත්‍රී කළෙමි. මවක් තම එකම පුත්‍රයාට මෛත්‍රී කරන්නේ යම් සේද, එලෙසින් සියළු සත්වයන්ට මෛත්‍රී කළ යුතු බව කරණීය මෙත්ත සූත්‍රයේ බුදු පියාණන් දේශනා කළ සේක. මම මට හැකි උපරිමයෙන් එය සියළු සත්වයන්ට පැතිරවූයෙමි.

හොඳ ගතිගුණ ඇති අපට ප්‍රිය , යහපත් අයට මෛත්‍රී කිරීම මහත් පහසුය. නමුත් අප්‍රිය කරන, නරකක් කරන අයට, නරක යැයි සම්මත ගති ගුණ ඇති අයට මෛත්‍රී කරන්නට මහත් අපහසුය. නමුත් අපේ දිනුම ඇත්තේ එතනය.

කාලයක් පුරා මම මෙලෙසින් මෛත්‍රීය වැඩුවෙමි. මෛත්‍රී භාවනාව මට මහත් සැනසුමක්, සුවයක්, සතුටක් ගෙන දෙන්නට විය. මා වටා ආරක්ෂක වළල්ලක් මෙන් මට එය දැන්නට විය.
දිනපතා මම මෙත් වඩමි.

මට දැන් පිටත සතුරන් නැත. මගේ සටන මගේ සිතත් සමඟය. ලෝකයේ අයගේ වැරදි අඩුපාඩු මට කමක් නැත. ඒවා කෙරෙහි අසතුටක්, තරහක් පැන නඟින මගේ සිත පමණි මගේ එකම අභියෝගය. මම ලෝකය දෙසටම හැරී පවතින මගේ සිත මා තුළට හරවා ගනිමින් සිටින්නෙමි. සසර පුරුද්දට පෙනෙන්නේම පළමුව අන් අයගේ වැරදිමය. එකෙනෙහිම සතිය පිහිටුවා ගනිමි. “එතන නෙවෙයි මෙතනයි ප්‍රශ්නය” ලෙසින් මම මගේ හදවතට විධානය කර ගනිමි.

මේ ධර්මය කෙතරම් එකිනෙකට ඇමිණුනු ලස්සන ධර්මයක්දැයි මට හැඟේ. සතිය, ශ්‍රද්ධාව, වීර්යය, සමාධිය, මෛත්‍රීය, විදර්ශනාව මේ සියල්ලක්ම මාලයක ඇමිණී ඇති පබළු වැනිය.

අද මෛත්‍රී කළද හෙට උදේ අරමුණක් ආ විට ද්වේෂයම පැන නඟින්නට දඟලන සිත දෙස මම බලමි.. මේ සිත කෙතරම් අනිත්‍යද ? ඊයේ පැයක් පුරා පුහුණු කළද දැන් ඒ මෛත්‍රී සිත දුබලව ඇත. මට ඕනෑ නැත තරහක් ගැනිමට. මට ඕනෑ වී ඇත්තේ මෛත්‍රීයෙන්ම සිටින්නටය. නමුත් අරමුණක් ආ විගස වෙනස් වන සිත දෙස බලා මා සිතන්නේ, අනේ මේ සිත කෙතරම් අනාත්මද? හේතු ඇති කල්හි ඒ අනුව ඵලය ලැබේ.
මේ ද්වේෂ ගින්නෙන් දැවෙන සිත මොන තරම් දුකක්ද? මුළු ත්‍රිලක්ෂණයම එකට කැටිවී මේ එකම සිතිවිල්ලේ පවතින අයුරු මම දකිමි.
මේ සිතිවිල්ල තුළ පවතින අනිත්‍ය බාවයද, දුක්ඛ බවද, අනාත්ම බාවයද මම දකිමි.

මේ සිත තව දුරටත් සමාධිමත් සිතින් මම බලන්නට අවශ්‍යය.. එයට මා සමාධිය දියුණු කළ යුතුය. සිත දැකීමට හැකි තරම් මම සමාධිය වඩවාගත යුතුය.
මේ සිත එකක් ලෙසින් මම ගත්තද, එය විඥාණය, සංඥාව, වේදනාව, සංස්කාර ලෙසින් පවතී. ඒ එක එක නාම ධර්මයක් තුළ පවතින අනිත්‍ය බව, අනාත්ම බව මට දැකිය හැකිවිය යුතුය. ක්ෂණයක් ක්ෂණයක් පාසා වේදනාව ඇතිව නැතිවන හැටි, සංඥාව ඇතිව නැතිව නැවත ඇතිව නැතිව යන හැටි මා දැක ගත යුතුය. මෙසේ යම් විටක මේ නාම ධර්මයන්ගේ අනිත්‍ය බව ඉක්මවා නිරෝධය මම දැකිය යුතුය. නිවි නිවි දැල්වෙන බල්බයක්, නිවී ගියා සේ නාම ධර්මයන්ගේ නිරෝධය මට අත්දැකිය හැකි නම්, නිරෝධ සත්‍ය පසක් කරගෙන නිර්වාණයට සිත පත් කර ගැනීමට මටද යම්දිනෙක හැකිවනු ඇත.

එතෙක් මේ ව්‍යායාමය නතර නොවෙනු ඇත.
සෝවාන්, සකදාගාමී, අනාගාමි ආදී මාර්ගයන් පසු කරගෙන උතුම් වූ නිකෙලෙස් අරහත් ඵලයෙන් නිවී යනතෙක් මේ අධිඨන නොනිමී පවතිනු ඇත.🙏🙏🙏

නිර්ණාමික ලිපියකි.

(මුහුණු පොතෙන් උපුටා ගැනුනි)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2rAbnX6
මානය
========
– අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේගේ අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයෙනි
====================

කෙසෙල් ගෙඩි ලෙල්ලක්, පොල් ලෙල්ලක් මෙන් අහක දැමිය යුත්තකු නොව, තමා ද ගත යුතු සැලකිය යුතු එක්තරා කෙනෙකැ යි තමා උසස් කොට ගන්නා ස්වභාවය මානය ය.

උගත් කම් ධනවත් කම් සිල්වත් කම් කුලවත් කම් ආදියේ අනුග්‍ර‍හය ලත් කල්හි එය දියුණු වූ කොඩියක් මෙන් කොතක් මෙන් ජනයා අතර තමා මුදුන් කොට ගන්නා ස්වභාවයට පැමිණේ. එය උමතු කමක් වැනිය.

ධනවත්කම් ආදිය නිසා එසේ වැඩුණු මානය ඇත්තෝ හිස උදුම්මා ගෙන කාහට වත් ගරු නො කරමින් කාගේවත් කීමක් නො පිළිගනිමින් අන්‍යයන්ට අවමන් කෙරෙමින් හැසිරෙති. මේ කියන ලදුයේ සෙය්‍යමානයා ගේ ආකාරය ය. මානය තමා ගේ තත්ත්වය මැන ගැනීමේ ලක්ෂණයෙන් සාමාන්‍යයෙන් එකක් වුව ද, සෙය්‍යමානය, සදිස මානය, හීන මානය යි ත්‍රිවිධ වේ.

අන්‍යයන්ට වඩා තමා උසස් යයි ගැනීම සෙය්‍යමානය ය. උන්නති ලක්ෂණය ඇත්තේ එහි ය. අන්‍යයෝත් මිනිස්සු ය, මම ද මිනිසෙක්මි. අන්‍යයන්ට ඇත්තේ ද දෙපයක් හා දෑතකි. මට ඇත්තේ ද දෙපයක් හා දෑතකි. අන්‍යයන්ගේ හා මාගේ ඇති වෙනස කවරේ ද යනාදීන් අන්‍යයන් හා තමා සම කොට ගන්නා වූ ස්වභාවය සදිස මානය ය. මට අන්‍යයන්ට මෙන් ධනය නැත. නෑයන් නැත. උගත් කම් නැත යනාදීන් තමා පහත් කොට ගන්නා ස්වභාවය හීනමානය ය.

තවද සැබෑ මානය බොරු මානය යි ද මානය දෙවැදෑරුම් වේ. එය පොත්වල දැක්වෙන්නේ යථාවමාන අයථාවමාන යන නම්වලිනි. සත්‍ය වශයෙන් ඇත්තා වූ උසස් බව නිසා රාජ රාජ මහාමාත්‍යාදී උසස් අයට ඇති වන්නා වූ මානය සැබෑ මානය ය. සත්‍ය වශයෙන් උසස් බවක් නැති ව උසස් කම් ආරූඪ කරගෙන ඇති කර ගන්නා වූ මානය බොරු මානය ය. සදිසමාන හීනමානයන්හි ද ඒ භේදය ලැබෙන්නේ ය.

සෙය්‍යමාන සදිසමාන දෙක ගැන මිස හීනමානය ගැන බොහෝ දෙනාට දැනුමක් නැත. එබැවින් බොහෝ දෙනා හීනමානය නිහතමානී බව වූ ගුණය යයි වරදවා තේරුම් ගෙන සිටිති. සෙය්‍ය සදිස මාන දෙකටත් වඩා නපුරක්, වඩා පිරිහීමක් හීනමානය නිසා වේ. මේ මානයන් අතුරෙන් එක් අයකුට ඇත්තේ එකක් ම නො වේ. හැම මානය ම හැම දෙනාට ම ඇත්තේ ය. වෙනසකට ඇත්තේ ඒ ඒ පුද්ගලයන්ට ඇති මානයේ අඩු වැඩි කම පමණකි.

දුප්පත් අපට කෙසේ උගත හැකි ද? කෙසේ දන් දිය හැකි ද? කෙසේ පවින් වැළකිය හැකි ද? සසර පුරුදු කර නැති අපට කෙසේ සිල් පිරිය හැකි ද? භාවනා කොට කෙසේ ධ්‍යානාදිය ඉපද විය හැකි ද? වාසනාව නැති අපට කෙසේ උසස් විය හැකි ද? ධනවත් විය හැකි ද? යනාදීන් හීනමානය ඇත්තෝ තමන් ගේ දෙ ලොව යහපත පිණිස කළ යුතු සියල්ල ම හැර හැකිළී සිට දෙලොවින් ම පිරිහෙති.

– තෙරුවන් සරණයි ..!!