Monthly Archives: January 2017

New photo from Facebook January 22, 2017 at 12:00PM

පාංශුකූල චීවරයේ සත්‍ය කතාව
.
තිලෝගුරු බුදුරජාණන් වහන්සේගෙන් දෙව්දත් තෙරණුවන් ඉල්ලා සිටි වර පහෙන් එකක්‌ වූයේ භික්‍ෂුන් වහන්සේලා දිවි ඇති තෙක්‌ පාංශුකූල සිව්රු දැරිය යුතුය යන්නයි. එය ඉතා හොඳයෑයි දේශනා කළ බුදු පියාණෝ එය නීතියක්‌ ලෙසට පිළිගන්නට නොහැකියෑයි දෙව්දත් තෙරණුවන්ට දන්වා සිටියහ. එම ඉල්ලීම බැහැර හැරීම ඉතා සුදුසු යෑයි වැටහෙන්නේ එදාට වඩා අද සමාජයටය. අද වෙළෙඳ පොළෙහි විවිධ වටිනාකම් ඇති දේශීය හා විදේශීය වශයෙන් නිෂ්පාදිත සිවුරු වර්ග කොපමණ ඇතත් පාංශුකූල සිවුරක්‌ නම් සොයාගත නොහැක. එමෙන්ම පන්සලකද නැත. සමරහවිට ආරණ්‍ය දෙක තුනක ඇත. පාංශුකූල රෙද්දක්‌ සොයා ගැනීමද උගහටය. අද පාංශුකූලයක්‌ පන්සලකට ලැබෙන්නේද නැත. ලැබෙන්නේ මතක වස්‌ත්‍ර පූජාවන්ය. මතක වස්‌ත්‍රය පාංශුකූලය ලෙස සලකන බොහෝ බෞද්ධයන්ගෙන් අප රට පිරී ඉතිරී පවතී. නමුත් පාංශුකූලය යනු මතක වස්‌ත්‍රය නොවන බව වටහා ගත යුතුය. මතක වස්‌ත්‍රය පුදන්නේ කෙනෙකු මියගිය පසු හෝ ජීවත් වන විට සිදු කරන පූජාවක්‌ ලෙස එම පුද්ගලයාගේ අවසාන කටයුතු කරන සොහොන් පළේදී හෝ නිවසේ දීය. කෙනෙකු ජීවත්ව සිටින විට සිදු කරන මතක වස්‌ත්‍ර පූජාව ඔහුට කැමති තැනකදී සඟරුවනට පිදිය හැක. ඒ සියල්ල මතක වස්‌ත්‍ර මිස පාංශුකූල නොවනු ඇත. එයට හොඳ නිදසුනකි මතක බණ හා මතක දන. මේ සියල්ල පටලවා ගත් බෞද්ධ පිරිස්‌ මතක වස්‌ත්‍රය පාංශුකූලය ලෙස සලකත්. මතක වස්‌ත්‍රය පූජාකරන ගාථාවෙන්ද පවසනුයේ “ඉමං මතක වත්තං” යනුවෙනි. මතක වස්‌ත්‍රය හා පාංශුකූලය අතර කිසිම සබඳතාවක්‌ නොමැත.

පාංශු යන්නෙහි සිංහල තේරුම වන්නේ පාංශු යනු පස්‌ යන්නයි. කුල යනු පිළිකුල් යන්නයි. එබැවින් පස්‌වලට දිරායන පිළිකුල් වූ රෙදිකඩ පාංශුකූල රෙද්ද ලෙස සලකන අතර සමහර තැනකදී මෙහි වෙනත් අර්ථයක්‌ද ලබාදී ඇත. පාංශු පස්‌ – කුල – මුදුන සොහොන් බිම් ආදී තැන්වල මළමිනී ඔතා දමා මුඳුන් වී තිබෙන රෙදි කැබැල්ල යන අරුත ගෙනදෙයි. කෙසේ වෙතත් පිළිකුල්වී පසට දිරායන රෙදිකඩ පාංශුකූල රෙද්ද ලෙස හැඳින්වීම අර්ථාන්විතය. එමෙන්ම නිවැරදිය. මෙලෙස පිළිකුල් කොට අහකට දමා දිරායන පාංශුකූල වස්‌ත්‍ර 23 ක්‌ චීවර හෙවත් සිවුරු මැසීමට සුදුසු බව විශුද්ධි මාර්ගය නම් ධර්ම ග්‍රන්ථයේ සඳහන්ව ඇත. නමුත් මෙම පාංශුකූල වස්‌ත්‍ර 23 න් එකකින්වත් මැසූ සිවුරු ලොවෙහි සිටින භික්‍ෂුන් වහන්සේලා විසින් අඳිනවාද යන්න අපි නොදනිමු. බුද්ධ දේශනාවට අනුව, බුදු දහමට අනුව විනයට අනුව සුදුසුම චීවර පූජාවට කැප එම පාංශුකූලික වස්‌ත්‍ර මොනවාදැයි අප විශුද්ධි මාර්ගය ග්‍රන්ථය ඇසුරෙන් දැන ගනිමු. එම පාංශුකූලික වස්‌ත්‍ර 23 මෙසේය.

1. සොහොනෙහි දැමූ වස්‌ත්‍රය(- මළමිනී ඔතා දැමීමට යොදාගත් හෝ මළමිනියට පෙරවූ රෙද්ද.

2. වෙළෙඳ සල් කඩපිල් ආදියෙහි දැමූ රෙද්ද(- බඩු බාහිරාදිය වැසීමට හෝ ඒවා වෙළෙ¹ම් කිරීමට බිම අතුරා දමන ලද රෙද්ද.

3. නගර වීදිවල විසිකරන ලද රෙද්ද(- සමහරවිට අමතකව දමාගිය හෝ අපවිත්‍ර බවට පත්වූ නිසා නගරයේ විසිකර දමා ඇති රෙද්ද.

4. කුණු ගොඩෙහි දමන ලද රෙද්ද(- ප්‍රයෝජනයට නොගෙන යම් යම් අඩුපාඩු නිසා ඉවත දමා ඇති වස්‌ත්‍රය.

5. වැදූ ස්‌ත්‍රීන්ගේ ගැබ්මල පිස දැමූ වස්‌ත්‍රය(- දරුවන් ප්‍රසූත කිරීමේදී රුධිරය ආදී අපවිත්‍ර දෑ ගෑවුණු හෙයින් අහකට දමා ඇති වස්‌ත්‍රය.

6. යකදුරන් විසින් ඉවතට දමන ලද වස්‌ත්‍රය(- යකදුරන් තොවිල් ආදිය සිදු කිරීමෙන් පසු ආතුරයන් නහවා පිස දමා විසික්‌කරන ලද රෙදිකඩ.

7. ස්‌නානය කරන විට ඇඳ සිට ඉවත දැමූ වස්‌ත්‍රය(- යමෙකු ස්‌නානය සඳහා යොදාගෙන ඉවත දමන ලද රෙදිකඩ.

8. සොහොනට ගිය අයවලුන් විසින් ඉවත දමන ලද වස්‌ත්‍රය(- සොහොනට ගිය අය කිළි කුණු යැම සඳහා ස්‌නානය කොට ඇඟපත පිසදමා ඉවත දැමූ රෙදිකඩ.

9. ගින්නෙන් දැවුන රෙදිකඩ(- යම්කිසි හේතුවක්‌ නිසා ගින්නකට හසුවී දැවී පිළිස්‌සීම නිසා ඉවත දමා ඇති රෙදිකඩ.

10. ගව – මුව ආදීන් විසින් කා දමන ලද රෙදිකඩ(- ගවයන්, මුවන් ආදී සතුන්ට හසුව උන් විසින් හපා දැමූ නිසා ඉවත දැමූ වස්‌ත්‍රය.

11. වේයන් කෑ රෙදිකඩ(- වේයන් විසින් කා දමා ඉවතට විසිකරන ලද වස්‌ත්‍රය.

12. පලුදු වූ වස්‌ත්‍රය(- රෙද්දේ කොන් ආදිය පලුදුවී කැඩී යැමෙන් ඉවතට දමන ලද රෙදිකඩ.

13. මීයන් කෑ වස්‌ත්‍රය(- මීයන් විසින් සපා කෑ නිසා අසුභ ලෙස සලකා ඉවත දැමූ රෙදිකඩ.

14. දහවල් කාලයේ කැඩී ඉරී ගිය වස්‌ත්‍රය(- යම් කටයුත්තකට ගෙන දහවල් කාලයේදී එම වස්‌ත්‍රය ඉරීගොස්‌ අහකට දැමූ රෙදිකඩ.

15. නැව් ආදී ජලයාත්‍ර වලින් හැර ගිය ධජ වැනි රෙදි(- නැව් ආදී යාත්‍රා වලින් විවිධ දේශයනට ගොස්‌ වෙළහෙළ¹ම් කරන අය විසින් නැව්තොට වල ධජ කොඩි ආදිය ලෙස එල්ලා තබා අහක දමා යන වස්‌ත්‍ර.

16. තුඹස්‌ වටකොට එල්ලා තැබූ රෙදි(- විවිධ උත්සව ආදී අවස්‌ථාවලදී එම ස්‌ථානවල තිබෙන තුඹස්‌ ආදිය කඩා බිඳ නොදමා ඒවා නොපෙනෙන්නට රෙදි වලින් ආවරණය කළ පසු අප්‍රයෝජනවත්ව අහක දැමූ වස්‌ත්‍ර.

17. පැවිද්දන් දුන් වස්‌ත්‍ර(- තවුස්‌, පැවිදි ආදී පිරිස්‌ තමාට ලැබී වෙනත් අයට පිරිනමන ලද රෙදි.

18. රජුන් අභිෂේක කළ තැන දැමූ රෙදි(- රජකෙනෙකු ඔටුනු පළඳවා අභිෂේක කළ තැන එම කටයුතු කර අවසානයේ ඉවත දැමූ රෙදි.

19. ඒහි භික්‌ඛු පැවිද්දෙන් ලබන චීවරය(- බුදුරජාණන් වහන්සේ නමක්‌ විසින් ඒහි භික්‍ෂු පැවිද්දෙන් ලබාදෙන චීවරය.

20. මාර්ගයෙහි වැටී තිබෙන වස්‌ත්‍රය(- මහ මාර්ග අතුරු මාර්ග ආදියෙහි වැටී තිබෙන්නාවූ රෙදි.

21. සුළඟේ ගසාගෙන ආ වස්‌ත්‍රය(- කොයි තැනක හෝ තිබී සුළඟට ගසාගෙන අවුත් අහුලාගත් වස්‌ත්‍රය.

22. දෙවියන් දෙන ලද වස්‌ත්‍රය(- දෙවියන් විසින් යමෙකුට පිරිනමන ලද රෙදිකඩ.

23. මුහුදෙන් ගොඩ දැමූ වස්‌ත්‍රය(- නැව් ආදියෙන් වැටීමෙන් එහි සිටින අය විසිකර දමා මුහුදේ ගසාගෙන අවුත් වෙරළට ගොඩ ගසාගෙන අවුත් ඇති රෙදි කඩ.

මේ ආදී වස්‌ත්‍ර භික්‍ෂුන් වහන්සේලා සිවුරු මසා ගැනීමට සුදුසු පාංශුකූලික වස්‌ත්‍රය එහි භික්‍ෂු භාවයෙන් සහ දෙවියන් ගෙන් ලැබුණ වස්‌ත්‍ර දෙක හැර අනෙක්‌ වස්‌ත්‍ර සොයා ගැනීම අපහසු නැත. එවැනි රෙදිවල කොටස්‌

රැගෙන සකසා ගන්නා සිවුරු පාංශුකූලික සිවුරු ලෙස බුදුරජාණන් වහන්සේ මහා සංඝයාගෙන් ප්‍රයෝජනය සඳහා සුදුසු බව වදාළ සේක.

එමෙන්ම බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිසට සිවුරු පරිහරණය කිරීමට පෙන්වා දුන්නේ තම තමන්ගේ වටිනාකම තත්ත්වය, බලය, ධනය පෙන්වීම සඳහා නොවන අතර උන්වහන්සේලාට සීත, ඌෂ්ණය, මැසි මදුරු ආදී සතුන්ගෙන් ප්‍රවේසම් වීම, වාතය, සර්ප කොටස්‌ වලින් සිදුවෙන අතුරු ආන්තරාවලින් මිදී අඟපසඟ නිසි සේ වසාගෙන සියලු කල්හි ලැඡ්ජාබිය සහිතව සුවසේ ප්‍රිය මනාපම හැසිරෙන්නටය. මේ පිළිබඳවද විසුද්ධි මාර්ගයේ මනාව පැහැදිලි කර ඇත.
.
අහුන්ගල්ලේ
දේ.සූ.ද සොයිසා via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 22, 2017 at 09:08AM

මහාකප්පින ථෙර ගාථා -> http://ift.tt/2kfbiD3
547
“යමෙක් තමා කරා නොපැමිණි හිත අහිත යන දෙක පළමුකොට දකීද, ඕහට අමිත්‍රයෝ හා මිත්‍රයෝ දොස් සොයන්නවුන් මෙන් දකී. එබඳු පුද්ගලයා නිවැරදි පුද්ගලයෙකි.
548
“යමෙකුට ආනාපානසති භාවනාව පරිපූර්ණද මනාකොට වඩන ලදද, බුදුන් විසින් දෙශනා කරනලද ඒ භාවනාව පිළිවෙළින් පුරුදුකරන ලද්දේද, ඒ යෝගාවචර තෙම උපක්ලේශ රහිත චන්ද්‍රයා මෙන් ලෝකය බබුලුවයි.
549
“මාගේ සිත නීවරණ නමැති මල නැතිවීමෙන් පිරිසිදුය. අප්‍රමාණ නීවරණ ධර්ම ප්‍රත්‍යක්ෂ කෙළෙමි. සියලු කෙලෙසුන් නැසුවෙමි. සියලු දිසාවන් බබුලුවන්නෙමි.
550
“වස්තුව නැතිකල්හිද ප්‍රඥාව ඇති පුද්ගලයා නිරවද්‍ය වූ ජීවිකාවෙන් සන්තොෂවේ. වස්තුව ඇතිකල්හිද ප්‍රඥාව නැති පුද්ගලයා සැපවත් ජීවිතයක් නොලබයි.
551
“ඇසුනාවූ කරුණු විනිශ්චය කරන යම් ප්‍රඥාවක් වේද, කීර්ති ප්‍රශංසා ලබන ප්‍රඥාවකුත්වේද; ඒ ප්‍රඥාවන්ගෙන් යුක්තවූ පුද්ගලයා ඒකාන්ත දුක් ඇති ස්කන්ධාදියෙන් යුක්තවුවද සම්‍යක් ප්‍රතිපත්තිය නිසා සැප ලබයි.
552
“සත්වයින්ගේ දිරීම මැරීම් ආදී ස්වභාව ධර්මයක් වේද, එය අළුත් දෙයක් නොවේ. ආශ්චර්ය අද්භූත දෙයක්ද නොවේ. ඒ කුමක් නිසා අද්භූත වන්නේද
553
“උපන්නාවූ තැනැත්තාට ජීවිතයට අනතුරුව මරණය ඒකාන්තයි. මෙහි උපදින උපදිනු ලබන්නාහු මරණයට පැමිණෙති. සත්වයින්ට මේ ධර්මය ඒකාන්තයි.
554
“යම්බඳුවූ අනුන්ගේ ජීවිත මළහුගේ ප්‍රයෝජනයට නොපැමිණෙයි. මැරුණු කල්හි ඇසීමෙන් ප්‍රයෝජනයක් නොවේ. එයින් මළ තැනැත්තා යස එෛශ්චර්ය සම්පත්තියක්ද නොලබයි. එමනිසා මහණ බමුණෝ ඇඬීම් ආදිය හොඳයයි වර්ණනා නොකරති.
555
“අඬන්නාවූ පුද්ගලයාගේ ඇස් හා ශරීරය වෙහෙසට පැමිණෙයි. ශරීර වර්ණය හා බලයද, ප්‍රඥාවද පිරිහෙයි. විරුද්ධකාරයෝ සතුටු වෙති. හිතෛෂීහු දුකට පත්වෙති. ඔහුට ඒ කිසිවකින් සැපතක් සිදුනොවෙයි.
556
“එම නිසා කුලයෙහි වසන බහුශ්‍රැත ඤාණවන්ත පුද්ගලයා මහොඝයෙන් (ජලය අධික වීමෙන්) පිරුණාවූ නදියෙහි නැවත තරණය කරන්නාක්මෙන් ප්‍රඥාවෙන් තමාගේ කටයුතු කිරීමට කැමැති වෙයි.” via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 20, 2017 at 06:00PM

සුලු කලකට මනුලොවට වැඩි අපේ කාලයේ මහා බෝධිසත්වයාණන් වහන්සේ….අනුකම්පාවෙන් අප දෙස බලත්වා !
සාදු. . ! සාදු. . ! සාදු. . !

Reverend enlightenment being who gracefully arrived to the human world for a short period… Saadu..! Saadu..! Saadu..! via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 18, 2017 at 12:00PM

අරහං ගුණය

අථිකථා ටීකාවන් හි ‘අරහං’ යන වචනය නොයෙක් ආකාරයට විභාග කොට එහි නොයෙක් අර්ථ දක්වා තිබේ. ‘අරහං’ යන වචනයෙහි සාමාන්‍ය තේරුම සුදුසු තැනැත්තාය යනු යි. තථාගතයන් වහන්සේ කෙරෙහි නොයෙක් සුදුසුකම් ඇත්තේ ය. මේ අරහං ගුණ කථාවෙහි දි ඒ සෑම සුදුසුකමක්ම අදහස් කරනු නොලැබේ. මෙතන්හි අදහස් කරන සුදුසු බව නම් දක්ෂිණාව පිළිගැනිමටත් පිළිගැන්විමටත් සුදුසු බවය. ථතාගතයන් වහන්සේ දක්ෂිණාව පිළිගැන්විමට ද සුදුසු වන්නාහ.

දක්ෂිණාව යනු කුමක් ද? අනාගතයේ දී ලෞකික වූ ද ලෝකෝත්තර වු ද උසස් ඵල බලාපොරොත්තුවෙන් සැදැහැතියන් විසින් පුදන චීවරාදි ප්‍රත්‍යය දක්ෂිණා නම් වේ. උසස් ඵල බලාපොරොත්තුවෙන් පුජාවක් කරන්නා වූ තැනැත්තාට ඔහු බලාපොරොත්තු වන දෙය ලබා දිමට යමෙක් සමත් වේ නම්, ඒ තැනැත්තාම එය පිළිගැනිමට සුදුසු ය. තථාගතයන් වහන්සේ එසේ උසස් බලාපොරොත්තු වලින් පුජා කරන්නවුන් ගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කර දිමට සමාර්ථ ය. ප්‍රත්‍ය පුජා කළවුන්ට ඵල ලබාදිම සඳහා තථාගතයන් වහන්සේ විසින් යම්කිසි උත්සහයක් කරන්නේ නැත. උන්වහන්සේගේ ගුණ මහත්වය නිසා පුජා කරන්නවුන්ට ඔවුන්ගේ ප්‍රර්ථනා සිඬියට පැමිණේ. එබැවින් තථාගතයන් වහන්සේ ‘අරහං’ නම් වේ. ප්‍රර්ථනා සිඬියට හේතු වන යම් ගුණයක් තථාගතයන් වහන්සේ කෙරෙහි ඇතිනම් ඒ ගුණය අරහං ගුණය ය.

දක්ෂිණාව මහත්ඵල කිරිමේ ශක්තිය බුදුරදුන්ට පමණක් නොව සංඝරත්නයට ද ඇත්තේ ය. සංඝ ගුණ පාඨයේ ‘දක්ඛිණෙය්‍ය’ යන පදයෙන් දැක්වෙන්නේ ඒ ගුණය යි. ‘දක්ඛිණෙය්‍ය’ යන පදයේ තේරුම දක්ෂිණාව පිළිගැනීමට සුදුසු යනු යි. සකළ ක්ලේශ ප්‍රහාණයෙන් පාරිශුද්ධත්වයට පැමිණ සිටින රහතන් වහන්සේ අග්ග දක්ඛිණෙය්‍ය නම් වෙති. පසේ බුදුවරුන් හා ලොවුතුරා බුදුවරුන් ද අර්හත්වයට පැමිණීමෙන් සකළ ක්ලේශයන් ප්‍රහාණය කර ශුද්ධත්වයට පැමිණ සිටින පුද්ගලයන් වන බැවින් උන්වහන්සේලා ද අග්ගදක්ඛිණෙය්‍යයෝම ය. එහෙත් ශ්‍රාවක වු රහතුන්ගේ දක්ෂිණාර්හ භාවයට වඩා උන්වහන්සේලා ගේ දක්ෂිණාර්හභාවය උසස් ය. අරහං යන වචනයෙන් කියවෙන්නේ ලොව්තුරා බුදුවරුන්ගේ දක්ඛිණෙය්‍ය භාවය ය. දක්ඛිණෙය්‍ය භාවය ඇත ද රහතුන් සඳහා ඒ වචනය නොයොදනු ලැබේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් ශ්‍රාවක සංඝයාගෙන් අන්‍ය වු උපාසකෝපාසිකාදින්ට දන් දීමේහි ද ඵල ඇත්තේ වි නමුත් ඔවුන් සඳහා දක්ඛිණෙය්‍ය යන වචනය ව්‍යවහාර කරනු නො ලැබේ. මාපියෝ ද දූ දරුවන් විසින් පිදිය යුත්තෝ ය. ඔවුන් සඳහා සංඝගුණපාඨයෙහි එන ‘ආහුණ්‍යෙය’ යන පදය යොදා තිබේ. එහි තේරුම දුර සිට වුවද ගෙන ගොස් පිදිය යුත්තෝ ය යනු යි.
‘අරහං – දක්ඛිණෙය්‍ය’ යන පද වලින් කියැවෙන දක්ෂිණාර්භ පුද්ගලයාගේ තත්ත්වය වේලාම සුත්‍රයෙහි එන පරිදි සැලකිය යුතුයි. අතීතයෙහි අප මහා බෝසත්තුමා වේලාම නම් බමුණෙක් විය. වේලාම බ්‍රහ්මණ මහා දානයක් දිණ. හෙතෙම රිදි බඩු රිදි මිල පිරවූ රන් තැටි ද, රන් බඩු රන් කාසි පිරවූ රීදී තැටි ද, සත්රුවන් පිරවූ ලෝහො තැටි ද, රන් අබරණ රන් කොඩි රන් දන් වැල් වලින් සැරසු ඇතුන් ද, සිංහ සම්, දිවි සම්, ව්‍යාග්‍ර සම් කම්බිවලින් සරසන ලද්දා වූ ස්වර්ණාලංකාර ස්වර්ණද්ධිවජ සහිත වූ රන් දැල් සහිත වු රථයන් ද, කිරිදෙනුන් ද, කිරි ගන්නා රිදි බඳුන් ද මිණිකොඬවලින් සැරසු කණ්‍යාවන් ද, කොට්ට, ඇතිරිලි, උඩුවියන් සහිත ඇඳන් ද, අගනා පිළිමිටි ද සුවාසූ දහස බැගින් දුන්නේ ය. ප්‍රමාණයක් නැති තරමටම බොහෝ ආහාරපාන ද දුන්නේ ය. වේලාම බ්‍රහ්මණ දන් දුන් කාලය අබුඬෝත්පාද කාලයක බැවින් ඒ දානය මහත් ඵල කිරිමට සමාර්ථ වන එක ප්‍රතිග්‍රාහකයකුදු නො සිටියේ ය. එබැවින් තථාගතයන් වහන්සේ :-
‘යං ගහපති වෙලාමො බ්‍රාහ්මණො දානං අදාසි මහාදානං, යො එකං දිටිඨීසම්පන්නං භොජෙය්‍ය, ඉදින් තතො මහප්ඵලතරං’
යනාදින් අනේපිඬු මහා සිටානන්හට දක්ෂිණාර්භයන්ගේ තතු පහදා වදාරණ සේක්: සත්හවුරුදු සත්මස් සත්දිනක් මුළුල්ලේහි වේලාම බ්‍රහ්මණ විසින් දෙන ලද දානයට වඩා එක් සකෘදාගාමි පුදුගලයකුට දෙන දානය මහත් ඵල වන බවද, සකෘදාගාමින් සියයකට දෙන දනට වඩා එක් අනාගාමි පුදුගලයකුට දෙන දානය මහත් ඵල වන බවද, අනාගාමින් සියයකට දෙන දානයට වඩා එක් රහත් නමකට දෙන දානය මහත් ඵල වන බවද, රහතුන් සියයකට දෙන දානයට වඩා එක් පසේ බුදුවරයකුට දෙන දානය මහත් ඵල වන බවද, පසේ බුදුවරුන් සියයකට දෙන දානයට වඩා එක් ලොව්තුරා බුදුකෙනෙකුට දෙන දානය මහත් ඵල වන බවද වදාළා සේක. වේලාම සුත්‍රයෙහි එන මේ දාන විභාගෙය අනුව සෝවාන් සකෘදාගාමි අනාගාමි, අරහත්, ප්‍රත්‍යෙක සම්බුද්ධ සම්‍යක්සම්බුද්ධ යන පුද්ගලයන් පිළිවලින් එක් එක් පුද්ගලයන්ට වඩා එක් එක් පුද්ගලයකු සිය සිය ගුණයෙන් වැඩි දක්ෂිණාර්භභාවය ඇතියවුන් බව කිය යුතු ය. ලොව්තුරා බුදුවරුන්ගේ දක්ෂිණාර්භභාවය දැක්විම සඳහා ‘අරහං’ යන ගුණ පදය භාවිත කරනු ලැබේ. සෙස්සන් සඳහා දක්ඛිණෙය්‍ය, අග්ගදක්ඛිණෙය්‍ය යන ගුණ පද ව්‍යවහාර කරනු ලැබේ.
දක්ෂිණාර්භභාවයේ හේතුව ලෙස දක්වා ඇත්තේ කෙලෙස් කෙරෙන් පවිත්‍ර බව ය. කෙලෙස් තනි කර ගෙන සිටින්නෝ ද දක්ෂිණාර්භයෝ ය. සකල ක්ලේශයන් ප්‍රහාණය කොට සම්පූර්ණයෙන්ම කෙළෙසුන්ගෙන් පවිත්‍රව සිටින රහත්හු අග්‍රදක්ෂිණාර්භයෝ ය. ලොව්තුරා බුදුවරුන් වාසනාව සහිතව ක්ලේශප්‍රහාණය කර ඇති බැවින් උන්වහන්සේ පාරිශුද්ධියට රහතුන්ගේ පාරිශුද්ධියට උසස් ය. එබැවින් ලොව්තුරා බුදුහු අග්‍රදක්ෂිණාර්භයන්ට වැඩි දක්ෂිණාර්භයෝ ය. අරහං යන පදයෙන් කියනුයේ ඒ සාතිශය දක්ෂිණාර්භ භාවය යි. තණ, වල්පැලෑටි, ගල් බොරළු නැති කුඹුරක වී වපුළ ගොවියාට එයින් මහත් අස්වැන්නක් ලැබෙන්නාක් මෙන් කෙළෙසුන්ගෙන් පවිත්‍ර සන්නාතියක් ඇති පුද්ගලයකුට දුන් කල්හි එයින් දායකයාට බොහෝ ඵල ලැබෙන බව උසස් ඵල ලැබෙන බව කියනු ලැබේ. ප්‍රතිග්‍රාහකයාගේ ශුද්ධත්වය නිසා දායකයාට වඩා ඵල ලැබෙය යන මේ කරුණු තේරුම් ගැනිමට දුෂ්කර, ඔප්පු කිරිමට දුෂ්කර ගැඹුරු කරුණකි. මෙබඳු කරුණු වලදි ශ්‍රාද්ධාවම පිටකර ගත යුතු ය. අතිතයේ ඇතැම් සැදැවතුන් සමාන්‍ය කෙනෙකු විසින් දිය නොහෙන, දීමට අතිශයින් දුෂ්කර දානයන් තිබේ. එවැනි දුෂ්කර දානයන් කාන්තාවන් විසිනි. එබඳු දුෂ්කර දිමනාවක් කළ බොහෝ දෙනෙකුන් ලක්දිව විසු බව කථාපුවත් වලින් පෙනේ. එසේ දෙන දුෂ්කර දානයන් පෘථග්ජන භාවයෙහි සිට පිළිගැනිමයි, වැළදීම නුසුදුසු යයි සලකා ඇතැම් භික්ෂුන් ජිවිත පරිත්‍යගයෙන් වෙර වඩා සව් කෙලෙසුන් නසා රහත් වූ බව දැක්වෙන කථා ප්‍රවෘත්තීන් ගණනක් ම අපේ බණ පොත්වල සඳහන් වී ඇත්තේ ය.
continue -> http://ift.tt/2hk9QuR via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 16, 2017 at 06:00PM

කසීභාරද්වාජ සූත්‍රය -> http://ift.tt/2jQ4yY4

මවිසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගද දනව්වෙහි ඒකානාලා නම් බමුණු ගම්හි දක්ඛිනගිරි විහාරයෙහි වැඩවසනසේක. ඒ කාලයෙහි කසීභාරද්වාජ නම් බ්‍රාහ්මණයා විසින් වප් කල්හි පන්සියයක් නඟුල් යොදන ලද්දාහු වෙත්. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරව පා සිවුරු ගෙණ කසීභාරද්වාජ නම් බමුණාගේ භොජනය යම් තැනෙක්හි වේද එතැනට පැමිණිසේක. එකල කසීභාරද්වාජ බමුණාගේ අනුභවය පවතී.
බුදුරජතෙම අනුභවය යම්තැනෙක පවතීද එතැනට පැමිණියේය. පැමිණ එකත්පසෙක සිටියේය. කසිභාරද්වාජ බමුණු පිඬු පිණිස හුන් භාග්‍යවතුන් දැක්කේය. දැක භාග්‍යවතුන්ට මෙය කීයේය. “මහණ මම වනාහි සී සාමි. වපුරමි. සී සා වපුරා අනුභව කරමි. නුඹද මහණ සීසාව, වපුරව, සීසා වපුරා අනුභව කරව.”
“මමද බමුණ සාමි, වපුරමි. සා වපුරා වළදමි”යි වදාළෝ”
“භවත් ගෞතමයන්ගේ වියදඬක් හෝ නඟුලක් හෝ සී වැලක් හෝ කැවිටක් හෝ ගොනුන් හෝ නොම දකිමු.
“එතකුදු වුවත් භවත් ගෞතමතෙම මෙසේ කියයි.
“මම ද බමුණ, සාමි, වපුරමි, සා වපුරා වළඳමි”යි ඉක්බිති කසීභාරද්වාජ බමුණු භාග්‍යවතුන්ට ගාථාවකින් කීයේය.
76
“සාන්නෙකැයි ප්‍රතිඥාකෙරෙහිය, ඔබගේ කෘෂි භාණ්ඩ නොදකිමු. අප විසින් විචාරණලදී. යම්පරිද්දකින් ඔබගේ ඒ උපකරණ දැන ගන්නෙමුද කියනු මැනවි.”
77
“ශ්‍රද්ධාතොමෝ බිජුවටය, තපස වර්ෂාවය, මාගේ ප්‍රඥාව විය හා නඟුල්ය. ලජ්ජාව නඟුලිසය, සිත යොතය ස්මෘතිය මාගේ සීවැල හා කැවිටයි.
78
“රක්ෂාකරණ ලද කාය සුචරිතය ඇත්තෙක්මි. වාක් සුචරිතය ඇත්තෙක්මි. සිවුපසෙහි ආහාරයෙහි සංයතයෙමි. සත්‍යයෙන් තෘෂ්ණා නැති කරමි. අර්හත්ඵල විමුක්තිය මාගේ මිදීමයි.
79
“මාගේ වියධුර ඉසිලීම් සංඛ්‍යාත (කායික චෛතසික) වීර්යය නිවන දක්වා පවතී. යම්තැනකට ගොස් ශෝක නොකෙරේද ඒ දක්වා නොනැවතී යයි.
80
“මෙසේ මේ සීය (මා විසින්) සානලදී. ඒ සීය අමෘතඵල ඇතිවේ. මේ සීය සා සියලු දුකින් මිදේ.”
ඉක්බිති කසීභාරද්වාජ බමුණුතෙම මහත් රන් තලියෙක්හි කිරිබත් බහා යම් හෙයකින් පින්වත් ගෞතම තෙම අමෘතඵල ඇති සීයක් සායිද එහෙයින් පින්වත් ගෞතමයන් වහන්සේ කිරිබත වළඳනසේක්වායි” භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූයේය.
81
“මා විසින් ගාථා කියා ලබනලද භොජනය වැළඳියයුතු නොවේ. බමුණ, මනා දිවිපැවැත්ම දන්නාවූ බුදුවරුන්ගේ මේ ගී කියා වැළඳීම ධර්මය නොවේ, බුදුවරයෝ ගී කියා ලැබූ භොජනය බැහැර කෙරෙත්. බමුණ ආර්යධර්මය ඇතිකල්හි මේ ජීවිකා වෘත්තියයයි.
82
“සියලු ගුණයෙන් සම්පූර්ණවූ මහර්ෂිවූ ආශ්‍රව කුකුස් සන්සිඳවූ ක්ෂිණාශ්‍රවයන් අන්‍යවූ ආහාරපානයෙන් උපස්ථානකරව. රහත් සමූහයා වනාහි පින් කැමැත්තවුන්ට කෙතක් වෙයි.”
“එසේ නම් පින්වත් ගෞතමයන් වහන්ස, කවරෙකුට මේ බත දෙව්දැයි?” (විචාළේ)
“බමුණ දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ අවකාශ ලෝකයෙහිද ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ සත්වලෝකයෙහිද තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයකු හැර ඉන් පිටත් යමකු විසින් ඒ කිරිබත වළඳන ලද්දේ මනා දිරීමට යන්නේද, එබන්දකු මම නොදකිමි. එසේ නම් තෝ ඒ කිරිබත නිල් තණ රහිත තැනෙක්හි දමව. ඉන් මරණයට පැමිණෙන සතුන් නැති ජලයෙහි හෝ උපුල්වා හරුවයි” වදාළෝ.
ඉක්බිති කසීභාරද්වාජ බ්‍රාහ්මණතෙම ඒ පායාසය ප්‍රාණීන් රහිත ජලයෙක්හි පාකොට හැරියේය. ඒ කිරිබත ජලයෙහි දමනලද්දේ චිච්චිට යන ශබ්ද කෙරේ. හාත්පසින් දුම්නගී වැඩියක් දුම්නගී. (කෙසේද) දවස මුළුල්ලේ රත්වූ නගුල්තලය දියෙහි දමනලද්දේ යම්සේ චිච්චිට යන ශබ්ද කෙරේද, චිච්චිට යන ශබ්ද කෙරේද, හාත්පසින් දුම් දමා, අතිශයින් දුම්නගයිද, එපරිද්දෙන් ඒ පායාසය දියෙහි ලනලද්දේ චිච්චිට ශබ්දකෙරේ. චිච්චිට ශබ්දකෙරේ. හාත්පසින් දුම්නගී. අතිශයින් දුම්නගී ඉක්බිති කසීභාරද්වාජ බ්‍රාහ්මණතෙම සංවේගයට පැමිණියේ ලොමුදැහැගත්තේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී උන්වහන්සේට මෙසේ සැළකෙළේය.
“පින්වත් ගෞතමයන් වහන්ස, ධර්මදෙශනය ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, දම්දෙසුම ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේ යම්සේද, වැසුනක් විවෘතකරන්නේ යම්සේද, මංමුලාවූවෙකුට මඟ කියන්නේ යම්සේද, ඇස් ඇත්තෝ රූපයන් දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේ යම්සේද, එපරිද්දෙන් භාග්‍යවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලද්දේය. මේ මම භාග්‍යවතුන් වහන්සේද ධර්මයද සංඝයාද සරණයෙමි. භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි මම පැවිද්ද ලබන්නෙමි. උපසම්පදාවද ලබන්නෙමි.”
ඉක්බිත්තෙන් කසීභාරද්වාජතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලැබූයේය. උපසම්පදාව ලැබූයේය. උපසම්පන්නයෙන් නොබෝ කල්වූ ආයුෂ්මත් භාරද්වාජතෙම හුදකලාවූයේ වෙන්වූයේ ප්‍රමාද නොවූයේ කෙලෙස් තවන වීර්යය ඇත්තේ පමණට මෙහෙයන ලද සිත් ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙද්ද, ඒ උතුම්වූ රහත්ඵලය මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්ෂයකරණ ලදී. බ්‍රහ්මචරියාව වැසනිමවන ලදී. කටයුතුකොට නිමවන ලදී. කෙලෙසුන් නැසීම පිණිස තවත් භාවනාවක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් භාරද්වාජ ස්ථවිරයන් වහන්සේ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක්වූහ” via Facebook Pages http://ift.tt/1GMS4Lf