Tag Archives: facebook

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2qucFCm
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 79 🧡💛

ඵුස්ස බුදුහාමුදුරුවෝ 01

ඒ කල්පයේ තිස්ස බුදුරජාණන්වහන්සේට පස්සේ ලෝකයේ ආයුෂ අනුක්‍රමයෙන් හානියට පත් වෙන්නට පටන් ගත්තා. පිරිහුණා ආයුෂ නැවතත් අවුරුදු අනූදහසක් දක්වා වැඩි උනායින් පස්සේ තවත් බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වුණ. උන්වහන්සේගේ නම ඵුස්ස.

උන්වහන්සේත් අනිකුත් බෝසතාණන් වහන්සේලා වගේම මේ සසර ගමන අවසන් කිරීමට පෙර අවසන් දිව්‍ය තලය ලෙස ඉපදුනේ තුසිත දිව්‍යලෝකයේ .අනේක අප්‍රමාණ සැප සම්පත් භුක්ති විදිමින් උන්වහන්සේ අවුරුදු ලක්ෂ ගණනක් තුසිත දිව්‍ය ලෝකයේ ගත කළා. අවසානයේ අනෙකුත් බෝසතාණන් වහන්සලා හට වගේම උන්වහන්සේටත් දස දහසක් සක්වල දෙවිවරුන් රැස්වී දැන් ලොව ඉපදෙන්නට කාලය යැයි ආරාධනය කළා. උන්වහන්සේ පස්මහ බැලුම් බලා ඒ ආරාධනය පිළිගෙන තුසිත දෙව්ලොවින් චුතව කසීනුවර ජයසේන රජුගේ අග මෙහෙසිය වූ සිරිමා දේවියගේ කුස තුළ පිළිසිඳ ගත්තා. ඒ මොහොතේත් අතීතයේ මෙන් ම අසාමාන්‍ය දෙතිස් පෙර නිමිති ලෝකයේ විද්‍යාමාන වුණා. දස මසක් ඇවෑමෙන් ඒ බෝසතාණන් වහන්සේ මෙලොවට බිහිවුණේ සිරිමා මල් උයනේ. පුන පුනා නොකිව්වත් පිලිසිදගත් දා පටන් බුදු වන තෙක් සෑම බෝසත්වරයෙක් ම දෙවිවරුන්ගේ විශාල ආරක්ෂාවක් යටතේ ඉන්නෙ කියලා නැවත මතක් කරන්න ඕනේ. ඒ ගැන වැඩි විස්තර සිද්ධාර්ථ කුමාරයාගේ උපතේදී කිව හැකියි .

උන්වහන්සේත් අවුරුදු හය දහසක් ගිහිගෙයි වාසය කලා.. ඒ සඳහාම ගරුළ, හංස, සුවන්නභර නමින් අනේක විධ සැප සම්පත් සහිත ප්‍රසාද තුනක් ඉදි වී තිබුණා. උන්වහන්සේගේ අග බිසව වූයේ කිසාගෝතමියයි. කිසා ගෝතමිය ප්‍රමුඛ තිස් දහසක් පමණ අතිශය රූමත් ස්ත්‍රීන් උන් වහන්සේට උපස්ථාන කළා. ඒ සියල්ලම ගිහි ගෙයි රඳවා ගැනීමට කල උපක්‍රම.

සෙමෙන් කාලය ගත වෙද්දි ඵුස්ස බෝධිසත්වයන් වහන්සේට දෙවියන් විසින් සතර පෙර නිමිති පෙන්වා දෙනු ලැබුවා. එදිනම කිසාගෝතමිය අනුපම නම් පුතු මෙලොවට බිහිකළා. පුතු මෙලොවට බිහි වූ දිනයේම ඒ මහා බෝසතානෝ සරසන ලද ඇත් කඳ මත නැගී මහබිනික්මන් කර පැවිදි දිවියට ඇතුළත් වුණා. කෝටියක් පිරිවර ද උන්වහන්සේ ඒ අනුව යමින් පැවිදි දිවියට ඇතුළත් වුණා. ඒ පිරිසත් සමඟ හය මසක් ම ප්‍රධාන වීර්යය වැඩු වා . ඉන් අනතුරුව ඒ මහා බෝසතානෝත් අනිකුත් බෝසතාණන් වහන්සේලා වගේම බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා ඒ පිරිසෙන් හුදකලා වුනේ වෙසක් පොහෝ දිනයට සතියකට මත්තෙන්. වෙසක් පොහෝ දිනයකට එළිය වැටුණේ අවිද්‍යා ගණ අන්ධකාරේ දුරලන තවත් දිනයකට හිරු උදා කරමින්. ඒ වන විටත් සිරිවඩ්ඪා සිටි දියණිය මීකිරිබත් පිළියෙල කරමින් සිටියේ. ඇය විසින් පූජා කරන ලද මීකිරි බත් උදෑසනින්ම වැළඳු ඒ මහා බෝසතානෝ ඇට්ටේරිය වනයෙහි දී දිවාවිහාර කොට සවස් වරුවේ සිරිවඩ්ඩ නම් තාපසයා දුන් අටතණමීට ගෙන නෙල්ලිබෝධිය වෙත පැමිණ අටතිස් රියන් තණ ඇතිරිය අතුරා බුදු බවට පත්ව උදන් අනා සත්සති ගෙවා තමන් වහන්සේ සමග මහණ වූ කෙළක් භික්ෂූන් ධර්මාවබෝධයට සමත්බැවු දැක අහසින් අවුත් සංකස්ස නුවර ඉසිපතන මිගදායෙහි බැස උන්වහන්සේලා මැද දම්සක් පවත්වන්නට වුනා. එදා කෙළලක්ෂයක් දෙනාට ප්‍රථම ධර්මාවබෝධය වුනා.

යම් කාලෙක බරණැස නුවර සිරිවඩ්ඩ නැමති සිටුවරයෙකු මහා සම්පත් අතහැර තවුස් පැවිද්දෙන් පැවිදි දිවියට අතුලුවුනා. උන්වහන්සේත් සමග පැවිදිබිමට ඇතුළු වූ පිරිවර අනුලක්ෂයක් පමණ වුනා. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට ධර්මය දේශනා කළා. එවිට ඒ අනුලක්ෂයකට දෙවැනි ධර්මාභීසමය වුනා.

තවත් දිනක සිය පුත් අනුපුම කුමරුට ධර්මය දේශණා කරනු ලැබුවා. එකල අසුලක්ෂයකට තෙවන ධර්මාභිසමය වුනා. ඒ මහාකාරුනිකයණෝ මෙලෙස ලක්ෂ ගණනින් මිනිසුන් සංසාර දුකෙන් එතෙර කරවන්නට වුනා.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
13-10-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/32vXiY3
== බුදුරජාණන් වහන්සේගේ සතර දලදා වහන්සේලා ==

සතර දළදාවන් ද නොවිසිරුනු ධාතූන් අතරට අයත් වේ. “දළදා” යනුවෙන් හදුන් වන්නේ “රදනක” නම් වූ දත් විශේෂයයි.

රදනක දත් සතරකි. පාලි භාෂාවෙන් රදනක දත් වලට “දාඨා” යැයි කියනු ලැබේ. මේ දත් සතර අනෙක් දත් වලට වඩා මදක් උල් ය.

දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේට දත් සතළිසක් විය. උඩු ඇන්දේ දත් විස්සකි. යටි ඇන්දේ දත් විස්සකි. ඒ දත් අතර සිදුරු, හිඩැස් නොවීය. එසේම දත් උස නොවීය, කෙටි නොවීය, ඇල නොවීය. සියලු දත් මුතු ඇට පෙලක් මෙන් සමව පිහිටා තිබුණි. දළදා සතර අනෙක් දත් වලට වඩා ඉතා සුදු පැහයෙන් යුක්ත විය.

සතර දළදවන් ගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදේ. ඒවාට “දාඨා ප්‍රභා” යයි කියනු ලැබේ. සතර දළදාවන් හොදින් දැක ගැනීමට ලැබෙන්නේ ස්ර්වඥයන් වහන්සේ සිනහ පහළ කරන අවස්ථාවන්හි දී පමණි.

== දකුණු දළදා වහන්සේ ==

ධාතු බෙදන අවස්තාවේ දී දෙදෙවු ලොවට අධිපති සක්‍ දෙවු රජු බුදුරජුන්ගේ දකුණු දළදාව නොදැක “සර්වඥයන් වහන්සේගේ දකුණු දළදාව කවරෙකු විසින් ගනු ලැබුවා දැ?” යි කියා දිවැසින් බලන කල්හි ධාතු බෙදන ද්‍රෝණ බමුණා විසින් ම ගෙන ජටාව තුල සගවා ගෙන සිටින බව දැක “මොහුට මේ ධාතූන් වහන්සේට පුද සත්කාර කිරීමට හැකියාවක් තිබෙන්නේ දැ?” යි කියා බලන ලදි. එහිදී එය නොහැකි බව දැන “මොහු ගෙන් ධාතූන් වහන්සේ ගනිමි” යි සිතා ඉතා සියුම් අතක් මවා ඔහුට නොදැනෙන ලෙස ධාතූන් වහන්සේ ගෙන රන් කරඬුවක තැන්පත් කර හිස මුදුනේ තබා ගෙණ තව්තිසා දෙව්ලොවට ගෙන ගොස් සිළුමිණි සෑයේ තැන්පත් කර පුද සත්කාර කළේය.

== අනෙක් දකුණු දළදා වහන්සේ ==

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇසූ නාග ලෝකයේ ජයසේන නම් නාරජු මහත් වූ දුකට පත්ව “අවසන් වතාවටත් බුදුරජාණන් වහන්සේ දැක බලා ගෙන වන්දනා කරන්නෙමි” සිතා මහත් වූ නාගයින් පිරිවරාගෙන කුසිනාරාවට පැමින මහා පූජා කොට ධාතු බෙදන කල්හි එතැන්ට ගොස් එකත්පස්ව සිට ගෙන සිටියේය.

ධාතු බෙදන අවස්ථාවේ දී ද්‍රෝණ බමුණා අනෙක් දකුණු දළදාව බිම දමා පයින් වසා ගත් අයුරු ජයසේන නාරජු දුටුවේය. දැක ඔහුට නොදැනෙන ලෙස දළදාව ඍදියෙන් ගෙන නාග භවනට ගෙන ගොස් නාග පුරය මධ්‍යයේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කර මහත් වූ පුද පූජා පැවැත්වීය.

කාවන්තිස්ස මහ රජතුමා සමයෙහි මහාදේව මහ තෙරුන් ගේ සිසුවෙකු වූ මහින්ද නැමති තෙරණුවෝ නාග භවට ගොස් සර්වඥ දකුණු දළදාව ගෙන ලක්දිවට වැඩම කලහ. ගිරි අභය රජතුමා මහින්ද තෙරුන් සතුව පැවති ඒ දකුණු දළදා වහන්සේ නිධන් කර ස්ථූපයක් කලේය. එය “සෝමාවතී මහ සෑය” නම් වෙයි.

== වම් උඩු දළදා වහන්සේ ==

ද්‍රෝණ බමුණා ධාතු බෙදන අතර තුර බුදුරජුන් ගේ වම් උඩු දළදාව වස්ත්‍ර අතරේ සගවා ගත්තේය. දළදාව වස්ත්‍රයේ සගවා ගත් අයුරු දුටු පෙර කරන ලද මහා පින් ඇති ගාන්ධාර දේශයෙන් පැමිණි වැසියෙක් කුසල් සිතින් යුතුව එම දළදාව ගෙන ගන්ධාර වැසියන් ද සමගින් තම රටට ගොස් චේතිය නැමති වනයේ වම් උඩු දළදාව තැන්පත් කර පුද සත්කාර පැවැත් වීය.

උතුරු පාකිස්තානයේ හා ඇෆ්ගනිස්තානයේ විශාල කොටසක්

පුරාණ ගන්ධාර දේශයට අයත්ව තිබූ බව සැලකේ.

ගන්ධාර දේශයට වැඩම කර වූ සර්වඥයන් වහන්සේගේ වම් උඩු දන්ථ ධාතූන් වහන්සේ මේ වන විට කුමන ස්ථානයක වැඩ සිටිනවා දැයි නිශ්චිතව කිව නොහැක්කේ ඒ පිලිබඳ ව වැඩි විස්තරයක් සදහන් නොවන නිසා වෙනි.

== වම් යටි දලදා වහන්සේ ==

දම්සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ ගේ සිසුවෙකු වූ ඛේම මහ රහතන් වහන්සේ සර්වඥ චිත්කයේ ගිනි නිවීමටත් පෙර චිතකයෙන් යටි වම් දළදාව ගෙන කාලිංග දේශයට ගොස් එහි රජතුමාට දළදා වහන්සේ භාර දුන්හ. මුලින් ම මිසදිටුවෙකු වූ මේ රජතුමා පසුව මහ තෙරුන් නිසා බුද්ධ සාසනයෙහි පැහැදී බුදු දහම වැලඳ ගෙන මනහර මන්දිරයක් තනා දළදා වහන්සේ එහි තැන්පත් කර ධාතු පූජා පැවැත්වීය. මෙසේ දළදා වහන්සේ වසර අටසියයක කාලයක් කාලිංග දේශයේ රජ දරුවන්ගේ මහා සත්කාර ලබමින් දඹදිව වැඩ සිටියහ.

පසුව එරට රජ කල ගුහසීව රජතුමා පරසතුරු උවදුරු වලින් දළදා වහන්සේ ආරක්ෂා කර ගනු රිසියෙන් හේමමාලා කුමරියට හා දන්ත කුමරුට දළදා වහන්සේ භාර දී ලක්දිවට යෑමට උපදෙස් දුන්නේය. හේමමාලා කුමරිය බැමිණියක ගේ වෙස් ගෙන දළදා වහන්සේ තම කෙස් කළඹ තුල සගවා ගෙන බමුණු වෙස් ගත් දන්ත කුමරු ද සමගින් නැව් නැගී ලක්දිවට පැමිණියාය. ඔවුන් පැමිණෙන විට ලක්දිව රජකම් කලේ මහසෙන් රජතුමාගේ පුත්‍රයා වූ කිත්සිරිමෙවන් රජතුමාය. (ක්‍රි. ව. 301-328)

හේමමාලා හා දන්ත කුමරු

හේමමාලා කුමරිය හා දන්ත කුමරු කිත්සිරිමෙවන් රජුවෙත ගොස් දළදා වහන්සේ රජු වෙත භාර කළහ. රජතුමා මහත් වූ සතුටට පත්ව අගනා කරඬුවක දළදාව තැන්පත් කර දේවානම්පියතිස්ස රජු කර වූ දම්සක්ගෙයි දළදා වහන්සේ සහිත කරඬුව වඩා හිදුවා මහත් වූ පුද සත්කාර පැවැත් වීය. එතැන් සිට සිංහල රජ දරුවන් ගේ අප්‍රමාණ ගෞරවයට හා වන්දනාවට පාත්‍ර වූ දළදා වහන්සේ මේ වන විට මහනුවර ශ්‍රී දළාදා මැදුරේ අගනා කරඬු සතක් තුල වැඩ සිටිති. දළදා වහන්සේ නොයෙක් අවස්ථාවල දි නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්‍යයන් සිදු කර ඇත.

ගයාන් චානක විදානපතිරන මහතා විසින් රචිත ධාතු විස්තරය නම් ග්‍රන්ථ යෙන් උපුටා ගන්නා ලදි.

වඳිමු බැතියෙන් සතර දළදා

ලෝකයේ එක්තරා රන් පියස්සක් තිබෙනවා. එ් පියස්සෙන් ආවරණය වෙන්නේ සුදු මුදු රැසින් වැසී ගත්ත, අනන්ත අප‍්‍රමාණ ආශ්චර්යයන්ගෙන් පිරී ගත්ත, කිසිම දිනෙක අසත්‍ය වචනයක හෝ පරුෂ වචනයක හෝ කේළමක හෝ හිස් වචනයක පහසක් නො ලදපු දන්තයන් හතළිහකින් එකක්…! එ් රන් පියස්ස යට රන් කරඬුවක් තුළ සුවසේ වැඩ සිටින්නේ මේ මහා භද්‍ර කල්පයේ සිව්වනුව ලොව පහළ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදා වහන්සේ. සුන්දර සෙංකඩගල සුදිලෙන රන් පියස යට වැඩ වෙසෙන එ් උත්තම දන්ත ධාතූන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

සෑම කල්හි ම උතුම් වූ, සත්‍ය වූ, යහපත් වූ, අර්ථවත් වූ වචනයෙන් ම ලොවට හිත සුව දන් දුන් එ් සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුව මඬලින් ගලා ආ පාරිශුද්ධ සම්බුද්ධ භාෂිතයන්ගේ නිර්මල ස්පර්ශයෙන් සුපූජනීයත්වයට පත් වූ එ් සම සතළිස් දන්ත ධාතූන් වහන්සේලා අතුරින් දෙනමක් ම වැඩ සිටින්නේ අප උපන් මේ බිමේ. සෙංකඩගල දළදා මැදුරේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ වෙසෙන අතරේ සෝමාවතී මහා සෑයේ සුවඳ ගර්භය දකුණු දළදා වහන්සේට සුගන්ධ කුටිය බවට පත් වුණේ අපේ ම භාග්‍යයකට. තවත් දන්ත ධාතූන් වහන්සේනමක් තව්තිසා දෙව්ලොව දෙව් බඹුන්ගේ වන්දනාමාන ලබමින් වැඩ වාසය කරනවා. සතරක් වූ රදනක දන්තයන්ගෙන් අනෙක් දළදා වහන්සේ ගන්ධාරයේ අප‍්‍රකට පුදබිමක වැඩ වෙසෙන බවයි ශාසනික ඉතිහාසය පෙන්වා දෙන්නේ.

දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දියරින් හෙබි උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාවේ පළමු පහසින් අනුත්තරීය වූ එ් සුගත තථාගත දළදා වහන්සේලාට අප මෙසේ නමස්කාර කරමු.

සතර දළදා නමස්කාරය

දන්ත කුමරු හා හේමා කුමරිය සිරසින් ගෙන වඩිනා

රාජසුපූජිත දළදා මැදුරේ සුවසේ වැඩ සිටිනා

රන් විමනක රන් කරඬුව තුළ හිඳ සුදු බුදු රැස් දිලෙනා

මම් නමදිම් වම් දළදා සමිඳුන් දොහොත් නගා බැතිනා

සෝමවතිය හා ගිරි අබා කුමරු මහානාග වෙහෙර කරනා

නාග ලොවින් වැඩ සෑ ගැබ තුළ මිණි කරඬුුව තුළ දිලෙනා

දේව බඹුන්ගේ වන්දනාව මැද සුදු බුදුරැස් දිලෙනා

මම් නමදිම් දකුණත් දළදා හිමි දොහොත් නගා බැතිනා

තව්තිසාවෙ සක්දෙව් විමනේ මැද පරසතු මල් පිදෙනා

සිළුමිණි වෙහෙරේ මිණි කරඬුව මැද සුවසේ වැඩ හිඳිනා

ලෝකනාථ මුනි ගුණ බලයෙන් නිති සුදු බුදුරැස් දිලෙනා

මම් නමදිම් සිරි දළදා සමිඳුන් දෙව්ලොව වැඩ සිටිනා

දඹදිව් තලයේ කඳුහෙල් අතරේ නො පෙනී වැඩ සිටිනා

දෙව්බඹ පිරිසේ රැකවල් ලැබ පින්සාර ගුණෙන් දිලෙනා

ගන්ධාරපුරේ වැඩ සිටින උතුම් දළදා හිමි සිහි වෙමිනා

මම් නමදිම් සිරි දළදා සමිඳුන් දොහොත් නගා බැතිනා

සාදු! සාදු!! සාදු!!!

මහාමේඝ 2015 ඇසළ කලාපය

WWW.MAHAMEGHA.LK

අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත ‘පින් මතුවෙන වන්දනා’ ග‍්‍රන්ථය ඇසුරිනි.

උපුටාගැනීම – මහාමේඝ පුවත් සඟරාව -වියළී මියැදෙන්නට පෙර, ඔබ තෙමා සුරකිනු පිණිස

සබැඳි ලිපිය-https://ift.tt/2nWYYe6

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2J6I8Rr
අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය හුදෙක් අදහා ගැනීමෙන් සම්පූර්ණ වන්නක් නොවේ. ධර්මය වනාහී නුවණින් කල්පනා කිරීමෙන් අවබෝධ වන එකක්. එනිසාමයි බුදුරජාණන් වහන්සේ වදාළේ “මාගේ ධර්මය තිබෙන්නේ ප්‍රඥාවන්තයන්ටයි. දුෂ්ප්‍රාඥායන්ට නොවේ” කියා. අද අප මාතෘකා කර ගන්නේ එසේ නුවණින් සලකා බලා තේරුම් කරගත යුතු කරුණු සතරක් පිළිබඳවයි.

මේ වටිනා කරුණු සඳහන් වන්නේ මජ්ක්‍ධිම නිකායේ රට්ඨපාල සූත්‍රයේ. එහි ඇත්තේ රට්ඨපාල මහ රහතන් වහන්සේ සහ කෝරව්‍ය රජතුමා අතර ඇතිවන සංවාදයක් තුළයි.

ජරා මරණ කුමක්ද?

ස්වාමිනි රට්ඨපාලයන් වහන්ස, උපනීයති ලෝකෝ අද්ධුවෝ – ලෝකයා ජරා මරණය වෙත ඇදගෙන යයි, එනිසා අස්ථිර යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ පැවසූ කරුණෙහි අර්ථය දැනගත යුත්තේ කෙසේද?

පින්වත් මහරජ, මේ ගැන කුමක්ද සිතන්නේ? ඔබට විසි හැවිරිදි වයසක් තිබුණා නේද? විසිපස් හැවිරිදි වයසකුත් තිබුණා නේද? එකල හස්ති ශිල්පයෙහි කෙළ පැමිණියා නේද? දුනු ශිල්පයෙහිත් කෙළ පැමිණියා නේද? කඩු ශිල්පයෙහිත් කෙළ පැමිණිය නේද? පා සහ අත්වල බලවත් ශක්තියකින් යුතුව ඕනෑම යුද්ධයකට පිවිසෙන්නට සමර්ථව සිටියා නේද?”

රට්ඨපාලයන් වහන්ස, මා විසි හැවිරිදිවත්, විසිපස් හැවිරිදිවත් සිටියා තමයි. හස්ති ශිල්පය මෙන්ම අශ්ව ශිල්පයෙහිත්, රථ ශිල්පයෙහිත් කෙළ පැමිණියා. පා සහ අත්වල බලවත් ශක්තියකින් යුතුව ඕනෑම යුද්ධයකට පිවිසෙන්නට සමර්ථව සිටියා. භවත් රට්ඨපාලයෙනි, ඇතැම් අවස්ථාවන්හිදී මට සිතුනේ සෘර්දියක් තිබෙනවා කියායි. එතරම් ම මා තුළ තිබූ බලය හා සමාන වූ කිසිවෙක් දුටුවේ නැහැ.

පින්වත් මහරජ, මේ ගැන කුමක්ද සිතන්නේ? දැනුත් ඔබට ඒ ආකාරයට පා සහ අත්වල බලය ඇතිව යුධ භූමියකට පිවිසෙන්නට සමර්ථව සිටිනවාද?

අනේ රට්ඨපාලයන් වහන්ස, දැන් එසේ නැහැ. දැන් මම දිරලයි ඉන්නේ. වැඩිලයි ඉන්නේ. මහළු යි. පිළිවෙලින් වයසට ගොස් සිටින්නේ. මට දැන් වයස අසූවක් වෙනවා. භවත් රට්ඨපාලයෙනි, ඇතැම් අවස්ථාවන්හිදී මා පාදය තබන්නේ වෙන තැනක. නමුත් පාදය තියවෙන්නෙ තව තැනක.

පින්වත් මහරජ, සියල්ල දන්නා වූත්, දක්නා වූත්, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයා ජරා මරණය වෙත ඇදගෙන යයි. එනිසා අස්ථිරය යන මේ කරුණ පැවසුවේ ඔය අර්ථයෙනි.

ලෝකයා අනාරක්ෂිතයි

රට්ඨපාල ස්වාමින් වහන්ස, අත්තාණෝ ලෝකෝ අනභිස්සරෝ – ලෝකයා අනාරක්ෂිතයි. තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි කෙනෙක් නැතැයි කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා. මේ පැවසූ කරුණු අර්ථ වශයෙන් දැනගත යුත්තේ කෙසේද?

පින්වත් මහරජ, මේ ගැන කුමක් ද සිතන්නේ? ඔබට කිසියම් නිධන්ගත රෝගාබාධයක් තිබෙනවාද?

ස්වාමිනි, මට නිධන්ගත වාත රෝගයක් තිබේ. ඇතැම් දවසට යහළු මිතුරන් ලේ ඤාතීන් මාව පිරිවරාගෙන කෝරව්‍ය රජතුමා දැන් කළුරිය කරාවි, කෝරව්‍ය රජතුමා දැන් කළුරිය කරාවි කියා කියනවා.

පින්වත් මහරජ, මේ ගැන කුමක්ද සිතන්නේ? යහළු මිතුරන්, ඤාතීන් මෙහි පැමිණෙත්වා. මම යම් බඳු වේදනාවක් විඳින්නේ වෙයි. මේ වේදනාව සියල්ලෝම එකතුව බෙදාගනු මැනව, කියා කීමෙන් ඒ යහළු මිතුරන්ට ඤාතීන්ට එය ලබන්නට පුළුවන්ද? නැත්නම් ඒ වේදනාව ඔබ විසින්ම විඳගත යුතුද?

ස්වාමිනි, වේදනාව හැමෝම එකතුව බෙදාගනු මැනව. කියා කීවාට ඒ යහළු මිතුරන්ට ඤාතීන්ට ලබන්නට පුළුවන්කමක් නැහැ. ඒ වේදනාව මා විසින් ම විඳවිය යුතුවෙයි. පින්වත් මහරජ, දන්නා වූත්, දක්නා වූත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයා අනාරක්ෂිත යි. තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි කෙනෙක් නැතැයි යන මේ දහම් පදය වදාළේ එනිසාය.

සියල්ල අත්හැර දැමීම

පින්වත් රට්ඨපාලයන් වහන්ස, අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං ලෝකයා තමන් ගේ කියා යමක් ගන්නවාද ඒ සියල්ල අත්හැර දමා යා යුතු බව භාග්‍යවතුන් වහන්සේ වදාළා. මේ පැවසූ කරුණේ අර්ථය දැනගත යුත්තේ කෙසේද? පින්වත් මහරජ, ඒ ගැන කුමක්ද සිතන්නේ? ඔබ දැන් යම් පංචකාම ගුණයන්ගෙන් යුක්තව ඉඳුරන් පිනවමින් සතුටු වෙමින් ඉන්නවාද? ඉතින් ඔබ පරලොවදීත් මේ ආකාරයෙන් ම මම මේ පංචකාම ගුණයන් පිරිවරාගෙන පිනවමින් සතුටු වෙවී සිටිනවා කියන කරුණ ලබන්නට පුළුවන්ද? නැත්නම් අනෙක් උදවිය මේ භෝග සම්පත් ලබා සතුටුවේවි ද? ඒ වගේම ඔබ කර්මානුරූපව මිය පරලොව යාවිද?

ස්වාමිනි, මම දැන් යම් පංචකාම ගුණයන්ගෙන් යුක්තව ඉඳුරන් පිනවමින් සතුටු වෙමින් සිටිනවා. ඉතින් මම පරලොවදීත්, මේ ආකාරයෙන්ම මේ පංචකාම ගුණයන් පිරිවරා ගෙන පිනවමින් සතුටු වෙමින් සිටියි කියන කරුණ ලබන්න පුළුවන්කමක් නැහැ. අනෙක් උදවිය මේ භෝග සම්පත් ලබා සතුටුවේවි. ඒ වගේම මම කර්මානුරූපව මිය පරලොව යයි.

මහරජ, ලෝකයා තමන් ගේ කියා යමක් ගන්නවාද ඒ සියල්ල අත්හැර දමා යා යුතුයි යන මේ දහම් පදයේ අර්ථය එයයි.

ලෝකය අසම්පූර්ණයි

පින්වත් ස්වාමින් වහන්ස, ඌණෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ, ලෝකය අසම්පූර්ණයි. තෘප්තිමත් කරන්නට බැහැ. තෘෂ්ණාවට යටත් වෙලයි ඉන්නේ කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා. මේ පැවසූ කරුණේ අර්ථය දැනගත යුත්තේ කෙසේද?

පින්වත් මහරජ, ඒ ගැන කුමක්ද සිතන්නේ? ඔබ මේ සමෘද්ධිමත් වූ කුරු ජනපදයේ අධිපතිව වසනවා නේද? එසේය ස්වාමිනි.

මහරජ, ඒ ගැන කුමක්ද සිතන්නේ? මෙහිලා ඇදහිය හැකි වචන ඇති කරුණු දැනුම දෙන එක්තරා පුරුෂයෙක් පෙර දිගින් ඔබ වෙත පැමිණ මෙසේ කියයි. මහරජතුමනි, මා එන්නේ පෙරදිග දිශාවෙනුයි. එහි මම සමෘද්ධිමත් වූ ඉතා දියුණු වූ ඉතා ජනාකීර්ණ වූ මහා ජනපදයක් දුටුවෙමි. එහි බොහෝ ඇත්, අශ්ව, රථ, පාබල සේනා සිටියි. එහි බොහෝ ධන ධාන්‍ය තිබෙයි. එහි බොහෝ පරිභෝග කළ නො කළ හිරණ්‍ය ස්වර්ණ තිබෙයි. එහි බොහෝ සොඳුරු ස්ත්‍රින් සිටී. ඒ ජනපදය අල්ලා ගැනීමට යම් බල මාත්‍රයකින් කරන්නට පුළුවනි. මහරජතුමනි, එනිසා සේනාව යවා යුද්ධ කොට දිනාගත මැනව, කියා කිව්වොත් ඔබ කුමක්ද කරන්නේ?

ස්වාමිනි, එසේනම් අප එරටත් දිනා ගෙන එහිත් අධිපති වෙනවා.

මහරජ, ඒ ආකාරයට උතුරු දිශාවෙන්, දකුණු දිශාවෙන්, බටහිර දිශාවෙන්, රාජ්‍යයන් පිළිබඳව ඔබට අසන්නට ලැබුණොතින් ඔබ මොකද කරන්නේ?

පින්වත් රට්ඨපාල ස්වාමින් වහන්ස, අප ඒ රාජ්‍යයන්ද දිනාගෙන එහිත් අධිපති වෙනවා.

පින්වත් මහරජ ලෝකය අසම්පූර්ණයි. තෘප්තිමත් කරන්නට බැහැ. තෘෂ්ණාවට යටත් වෙලා සිටින්නේ යැයි යන මේ දහම් පදය වදාළේ මේ අර්ථය උදෙසායි.

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ අශ්චර්යවූත්, අද්භූතවූත් කරුණු සතර සුබාශිතයක්මැයි. නුවණැති අය ලෙස අපත් මේ කරුණු නුවණින් සළකා ජීවිතයෙහි ඇති අසාරවත් බව අවබෝධ කරගෙන සාරවත් වූ ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ ලබන්නට අදිටන් කර ගනිමු.

පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/35Lxo4F
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 78 🧡💛

ස්වර්ගයෙහි චිත්‍රලතා වනයෙහි පියුමෙන් පිදුම් ලැබූ තිස්ස බුදුහාමුදුරුවෝ 03

🍂 තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා.🍂

මහ තවුස්වූ තිස්ස බුදුරදුන්ගේ (උපන්) නගරය ’’ඛෙමක’’ නම් වී. පිය තෙම ’’ජනසන්‍ධ’’ නම් රජය. වැදූ මව් ’’පදුමා’’ නම් වූවාය.

ඒ බුදුරජතෙම අවුරුදු හත් දහසක් (බුදුවන්ට පෙර) ගිහිගෙයි වාසය කළේය. ’’ගුහාශෙල’’ ය, ’’නාරී’’ ය, ’’තිස්ස’’ ය යයි උතුම් ප්‍රාසාද තුණක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ සමතිස් දහසක් වූහ. ප්‍රසිද්‍ධවූ බිරිඳ ’’සුභද්දා’’ නම් වූවාය. පුත් තෙම ’’ආනන්‍ද’’ නම් වී.

(තිස්ස) ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, අස් යානයෙන් (අස් රියෙන්) මහබිනික්මන් කෙළේය. නොඅඩු අට මසක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ, ’’තිස්ස’’ නම් ලෝනාහිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, උතුම් ’’යසවතී’’ නම් වනයෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ ’’තිස්ස’’ බුදුරදුන්ට, ’’බ්‍රහ්මදෙව’’ ද, ’’උදය’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සුමඞ්ගල’’ නම් වී.

’’ඵුස්සා’’ ද, ’’සුදත්තා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’පියා’’ (මොර) ගස යයි කියනු ලැබේ.

’’සම්බල’’ ද, ’’සිරි’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’කිසාගෝතමී’’ ද, ’’උපසේනා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

පස්මරුන් දිනූ ඒ බුදුරජ තෙමේද උසින් සැට රියනක් ඇත්තේ වී. උපමා රහිතවූ සේක්, අසමවූ සේක්, හිමාලය පර්‍වතය මෙන් දක්නා ලැබේ.

අසම තෙද ඇති ඒ බුදුරදුන්ගේද ආයුෂය ඉතා දික්වූයේත්, ඉතා මඳ නොවූයේත් විය. පසැස් ඇති උන්වහන්සේ අවුරුදු සියක් දහසක් ලෝකයෙහි වැඩ සිටි සේක.

උතුම්වූ, ප්‍රවරවූ, ශ්‍රේෂ්ඨවූ මහා යසස් විඳ, ගිනි කඳක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිතවූ ඒ බුදුරජතෙම පිරිනිවි සේක.

පවනින් මේ කුලක් (වැහි වලාකුලක්) මෙන්ද, හිර කරණකොට පිනි මෙන්ද, පහනින් අඳුර මෙන්ද, ශ්‍රාවකයන් සහිතවූ ඒ බුදුරජතෙම පිරිනිවි සේක.

ජිනරාජවූ තිස්ස බුදුරජතෙම ’’නන්‍දාරාමයෙහි’’ දී පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ ජිනථූපය (දාගැබ) තුන් යොදුනක් උස්වී. (තුන් යොදුනක් උසට බඳින ලදී.)

🌸🌻🌹🌷🌼🌺 සතළොස්වන (17වන) බුද්ධවංශ කතාව සහ නියත විවරණය සමාප්තයි. 🌸🌻🌹🌷🌼🌺

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
10-10-2019

🌸🌻🌹🌷🌼🌺🌸🌻🌹🌷🌼🌺🌸🌻🌹🌷🌼🌺

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2MP97C8
මා මේ දුක් දෙන කරදරයෙන් මිදෙන්නේ කෙසේද? මා ධර්මය දන්නා කෙනෙකි. මට ඕනෑ පරිදි කිසිවකු පවතින්නේ නැති බව මම දනිමි. මා මෛත්‍රී කළ යුතුය. භාවනාවේදී මා කොතෙක් මේවා පුහුණු කළඳ අරමුණක් ආ කල්හි මගේ සිත සසල වෙයි. සිත දුකට පත්වෙයි. ද්වේෂය පැන නඟියි. දුකද පටිඝ මූලික සිතක් බව මම දනිමි. මා මෙය ජයගත යුතුමය. මා සියළු ලෞකික දේවල් අත හැර දමා ධර්මය තුළට පැමිණි අයෙක්මි. මා කෙසේ හෝ මේ මාර්ගයේ ගොස් නිවන සාක්ෂාත් කරගන්නා බවට දැඩි අධිෂ්ඨානයක් මා සිත තුළ පවතී. මම මේ කෙලෙස් මැඩගනු පිණිස තවත් වීර්යය කළ යුතුය. මේ තරහ සිත් මා ජයගත යුතුය. මම අදිටනක් ගනිමි.

මම අද පටන් එකදු තරහ සිතකට එන්නට ඉඩ නොදෙමියි යන ඒකායන අධිෂ්ඨානය පිහිටුවා ගතිමි. මම දෙනෙත් පියාගෙන මගේ සිත පිරික්සුවෙමි.

මම එක් එක් පුදගලයා වෙන් වෙන් වශයෙන් ගතිමි. ඔහුගේ මා අකමැති සියළු ගතිගුණ එකින් එක මෙනෙහි කරන්නට වීමී. එකක් නෑර සවිස්තරාත්මකව මම ඒවා මෙනෙහි කරන්නට වීමී. මට කළ ,කී දෑ, මා සිත් රිදුණු ඒවා සියල්ලම මම මෙනෙහි කළෙමි. තවද ඔහු විසින් අන් අයට කරන ලද නරක ලෙස මා හඳුන්වන යම් දෙයක් වේද ඒවාද එකින් එක මෙනෙහි කරන්නට වීමී.

මෙසේ මොහු කරන ලද, කියන ලද ඒවා නිසා මගේ සිත රිදුණු ඒවා සියල්ලටම මම හදවතින්ම ඔහුට සමාව දුන්නෙමි. එකෙනෙහිම මගේ හදවතට මහා සැනසීමක් දැනෙන්නට විය. මම අල්ලාගෙන සිටි බර මගෙන් ගිළිහී ගියේය. මම ඔහුට සෑම දෙයකටම අවංකවම හදවතින්ම සමාව දී ඔහුව නිදොස් කළෙමි. ඔහු කෙරෙහි මා සිත තුළ කරුණාවක් ඇතිවන්නට විය.

ඔහු මට බනින ලද අවස්ථාවක් මෙනෙහි කරන්නට වීමී. ඔහු මට බනින්නට කලින් ඔහු ඒ ද්වේෂයෙන් දැවෙන්නට ඇත. එය ඔහුගේ සිතට කොපමණ දුකක්ද. ඔහුට එසේ මට බනින්නට සාධාරණ හේතුවක් ඔහුගේ ප්‍රඥාවේ ප්‍රමාණයට තිබෙන්නට ඇත. මා සිතන්නේ මගේ ද්‍රෘෂ්ටි කෝණයෙනි. ඔහුගේ දැක්මට අනුව මා වැරදි වන්නට ඇත. මම හැමවිටම මම හරි, අන් අය වැරදි යැයි සිතමි. අනෙක් අයද එසේම සිතනු නො අනුමානය. ඉතින් මම මගේ සිතට නිවැරදිය. ඔහු ඔහුගේ සිතට නිවැරදිය. ඉතින් මට ඔහුට සමාව දෙන්නට බැරි කමක් නැත. මම ඔහුට සමාව දෙමි. ඔබ සුවපත් වේවා…!!!

තවත් විටෙක කෙලෙසකින්වත් මම වැරදි නැති විටක ඔහු මට දොස් නඟයි. එය මට සිහිවෙයි. කමක් නැත. මට ඔබ සමඟ දැන් තරහක් නැත. මම පරාජය පිළිගෙන ඔබට සමාව දෙමි. හදවතින්ම සමාව දෙමි. හැම දෙයකින්ම මා දිනිය යුතු නැත. ගැටළුව ඇත්තේ එතනය. කොතනදීත් මා පරදින්නට කැමති නැත. බහින් බස් නොවුණද මම සිතින් පරාජය පිළි නොගනිමි. ඉතින් මම සිතින් දැවුණෙමි. මම සිතින් ඔහු හා ගැටුණෙමි. ඉතිරි වූයේ මේ දැවෙන තරහ සිතක් හා කර්මයන් ගොඩකි. මට ඒ අවස්ථාවේ පරදින්නට තිබුණි. මගේ සිතින් මම ඔහුට දිනුම දී එය අත හරින්නට තිබුණි. නමුත් දැන් මට එය කළ හැකිය. ඕනෑම කෙනකුට වරදින්නට පුළුවන. ඔබ මා ගැන ඇති වැරදි සිත , මාගේ පෙර කර්මයක් නිසා සිදු වූ දෙයක් විය හැක. මමද පෙර සසරේ මෙලෙසින්ම නිවැරදි කෙනකුට දොස් නඟා ඇතුවා විය හැක. ඉතින් එහි විපාකයට මා මුහුණ දිය යුතු නොවේද… මට සමාවන්න මිතුර. ඔබ මාගේ අකුසල කර්මය ගෙවා දැමීමට මට උදව්වට ආ අයෙක් යැයි මට දැන් හැඟේ. මම ඔබට හදවතින්ම සමාව දෙමි.
ඔබට යම් අකුසලයක් නොවේවා යැයි හදවතින්ම ඔබට සුවපත් බාවය පතමි…

මට මහත් නිදහසක් සුවයක් දැනේ. හදවත සුවපත්ය. මේ තරහ තිබුණේ ඔහු කෙරෙහි නොව මගේම සිතේ නොවේද….මගේ සිත ප්‍රීතිමත්ය. සැනසුමෙන් පිරීය. මම ඔබට හදවතින්ම සුවපත් බාවය පතමි. සුවපත් වේවා…සුවපත් වේවා..
මම ඔහුගේ හිසේ සිට දෙපතුළ දක්වා මගේ සිත ගෙන යමි. මගේ මෛත්‍රී සිතින් ඔහුව සුවපත් කරමි. මගේ මේ මෛත්‍රී ශක්තිය ඔබට මේ මොහොතේදීම දැනේවා…ඔබගේ සිතේ යම් දුකක්, තරහක්, පීඩාවක් ඇත්නම් මේ මාගේ මෛත්‍රී ශක්තියේ බලයෙන් ඒවා හිරු දුටු පිණි මෙන් වියැකී ඔබ සුවපත් වේවා…

සෑම කෙනෙක්ටම සෑම දෙයක් කරන්නටම හේතුවක් ඇත. මිනියක් මරන කෙනකුටද ඔහුට හරියැයි සිතන හේතුවක් ඇත.

“තමන් මරන්නට එන පුද්ගලයා කෙරෙහිවත් තරහ සිතක් ඇති කරගන්නට එපා” යැයි මාගේ තථාගතයාණන් වහන්සේ කියූ කතාවේ ගැඹුර මා අත්දකිමින් සිටිමි. මේ ජීවීතයේ කෙදිනකවත් මට ඒ සා හතුරෙක් සිට නැත. සුළු දෙයකට ගැස්සිලි, දොස් වැනි දෙයක් හැර වෙන කිසිඳු මහා අපරාධයක් මට කිසිවකුත් කර නැත. ඉතින් මට ඇයි නොහැකි වූයේ ඔවුනට මෛත්‍රී කරන්නට. බුදු පියාණන් දේශනා කළේ “මරන්නට එන කෙනා කෙරෙහි හෝ තරහ සිතක් ඇති කර ගන්නේ නම් මගේ ශ්‍රාවකයෙක් නොවන බව”යි. මෙතෙක් කල් මා උන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියන තැනවත් හිඳ නැතුවා යැයි මට සිතේ.

මම මාගේ මිතුරාගේ හිසට ඉහළින් වතුර කළයක් නාවන්නා සේ යන හැඟීමෙන් ඔහුට මෛත්‍රීය කළෙමි. කොපමණ කාලයක් කළාදැයි මට මතක නැත. පෙර සතුරා, මගේ දැන් හොඳම මිතුරෙකි. මගේම සිතිවිලි වල නොවේද හතුරාත් මිතුරාත් හිද ඇත්තේ. ඔහු දන්නේවත් නැත, මා ඔහුව දැන් ටිකකට කලින් හතුරෙකු ලෙස සැලකූ බවත්, දැන් ඔහු මගේ මිතුරෙකු වූ බවත්. කෙතරම් මුලාවක්ද මේ සිත. මම මගේම සිත අල්ලා ගෙන නටමින් සිටියෙමි. මට පුළුවන් මේ සිතින් මගේ සතුරා නිර්මාණය කර ගැනීමටත්, මිතුරා නිර්මාණය කර ගැනීමටත්. අහෝ බුදු පියාණෙනි මම ඔබ වහන්සේගේ ධර්මය අත්දකිමි..මගේ ප්‍රඥාවේ ප්‍රමාණයට අත්දකිමි.

මට ඇත්තටම දැන් කිසි කෙනකුගේ නරකක් නොපෙනෙන තරමට සිත මෘදු වී ඇත. ඇතැම් දුක, තරහ ගෙන දෙන සිදුවීම් මෙනෙහි කරන්නට හිතට නොහැකි වී ඇතුවාක් මෙනි. ඒවා චායාවන් මෙනි.. අනේ මේවා මොන තරම් සියුම් දේවල්ද යැයි මට සිතේ.. මම මෙසේ එක් එක් පුද්ගලයාට වෙන වෙනම මෛත්‍රී කළෙමි. මවක් තම එකම පුත්‍රයාට මෛත්‍රී කරන්නේ යම් සේද, එලෙසින් සියළු සත්වයන්ට මෛත්‍රී කළ යුතු බව කරණීය මෙත්ත සූත්‍රයේ බුදු පියාණන් දේශනා කළ සේක. මම මට හැකි උපරිමයෙන් එය සියළු සත්වයන්ට පැතිරවූයෙමි.

හොඳ ගතිගුණ ඇති අපට ප්‍රිය , යහපත් අයට මෛත්‍රී කිරීම මහත් පහසුය. නමුත් අප්‍රිය කරන, නරකක් කරන අයට, නරක යැයි සම්මත ගති ගුණ ඇති අයට මෛත්‍රී කරන්නට මහත් අපහසුය. නමුත් අපේ දිනුම ඇත්තේ එතනය.

කාලයක් පුරා මම මෙලෙසින් මෛත්‍රීය වැඩුවෙමි. මෛත්‍රී භාවනාව මට මහත් සැනසුමක්, සුවයක්, සතුටක් ගෙන දෙන්නට විය. මා වටා ආරක්ෂක වළල්ලක් මෙන් මට එය දැන්නට විය.
දිනපතා මම මෙත් වඩමි.

මට දැන් පිටත සතුරන් නැත. මගේ සටන මගේ සිතත් සමඟය. ලෝකයේ අයගේ වැරදි අඩුපාඩු මට කමක් නැත. ඒවා කෙරෙහි අසතුටක්, තරහක් පැන නඟින මගේ සිත පමණි මගේ එකම අභියෝගය. මම ලෝකය දෙසටම හැරී පවතින මගේ සිත මා තුළට හරවා ගනිමින් සිටින්නෙමි. සසර පුරුද්දට පෙනෙන්නේම පළමුව අන් අයගේ වැරදිමය. එකෙනෙහිම සතිය පිහිටුවා ගනිමි. “එතන නෙවෙයි මෙතනයි ප්‍රශ්නය” ලෙසින් මම මගේ හදවතට විධානය කර ගනිමි.

මේ ධර්මය කෙතරම් එකිනෙකට ඇමිණුනු ලස්සන ධර්මයක්දැයි මට හැඟේ. සතිය, ශ්‍රද්ධාව, වීර්යය, සමාධිය, මෛත්‍රීය, විදර්ශනාව මේ සියල්ලක්ම මාලයක ඇමිණී ඇති පබළු වැනිය.

අද මෛත්‍රී කළද හෙට උදේ අරමුණක් ආ විට ද්වේෂයම පැන නඟින්නට දඟලන සිත දෙස මම බලමි.. මේ සිත කෙතරම් අනිත්‍යද ? ඊයේ පැයක් පුරා පුහුණු කළද දැන් ඒ මෛත්‍රී සිත දුබලව ඇත. මට ඕනෑ නැත තරහක් ගැනිමට. මට ඕනෑ වී ඇත්තේ මෛත්‍රීයෙන්ම සිටින්නටය. නමුත් අරමුණක් ආ විගස වෙනස් වන සිත දෙස බලා මා සිතන්නේ, අනේ මේ සිත කෙතරම් අනාත්මද? හේතු ඇති කල්හි ඒ අනුව ඵලය ලැබේ.
මේ ද්වේෂ ගින්නෙන් දැවෙන සිත මොන තරම් දුකක්ද? මුළු ත්‍රිලක්ෂණයම එකට කැටිවී මේ එකම සිතිවිල්ලේ පවතින අයුරු මම දකිමි.
මේ සිතිවිල්ල තුළ පවතින අනිත්‍ය බාවයද, දුක්ඛ බවද, අනාත්ම බාවයද මම දකිමි.

මේ සිත තව දුරටත් සමාධිමත් සිතින් මම බලන්නට අවශ්‍යය.. එයට මා සමාධිය දියුණු කළ යුතුය. සිත දැකීමට හැකි තරම් මම සමාධිය වඩවාගත යුතුය.
මේ සිත එකක් ලෙසින් මම ගත්තද, එය විඥාණය, සංඥාව, වේදනාව, සංස්කාර ලෙසින් පවතී. ඒ එක එක නාම ධර්මයක් තුළ පවතින අනිත්‍ය බව, අනාත්ම බව මට දැකිය හැකිවිය යුතුය. ක්ෂණයක් ක්ෂණයක් පාසා වේදනාව ඇතිව නැතිවන හැටි, සංඥාව ඇතිව නැතිව නැවත ඇතිව නැතිව යන හැටි මා දැක ගත යුතුය. මෙසේ යම් විටක මේ නාම ධර්මයන්ගේ අනිත්‍ය බව ඉක්මවා නිරෝධය මම දැකිය යුතුය. නිවි නිවි දැල්වෙන බල්බයක්, නිවී ගියා සේ නාම ධර්මයන්ගේ නිරෝධය මට අත්දැකිය හැකි නම්, නිරෝධ සත්‍ය පසක් කරගෙන නිර්වාණයට සිත පත් කර ගැනීමට මටද යම්දිනෙක හැකිවනු ඇත.

එතෙක් මේ ව්‍යායාමය නතර නොවෙනු ඇත.
සෝවාන්, සකදාගාමී, අනාගාමි ආදී මාර්ගයන් පසු කරගෙන උතුම් වූ නිකෙලෙස් අරහත් ඵලයෙන් නිවී යනතෙක් මේ අධිඨන නොනිමී පවතිනු ඇත.🙏🙏🙏

නිර්ණාමික ලිපියකි.

(මුහුණු පොතෙන් උපුටා ගැනුනි)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2OXjhmR
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 77 🧡💛

🌺 ස්වර්ගයෙහි චිත්‍රලතා වනයෙහි පියුමෙන් පිදුම් ලැබූ තිස්ස බුදුහාමුදුරුවෝ 02 🌺

තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලයේ අපගේ බෝසතාණන් වහන්සේ හිටියේ යසවතී නුවර සුජාත නමින් රජෙකුව. කෙළ ගණනක් වූ මහත් ධනරාශියෙන් අනුරාගයට පත් වූ ඒ අසිරිමත් යසවතී ජනපදයද රජකමද අනෙකුත් ලෞකික සැප සම්පත්ද කෙරෙහි කලකිරී ඒ සියල්ල දිරාපත් පරඬැලක් සේ අතහැර වනගත වුයේ සංසාර පුරුදු ඉස්මතුවිමෙන්ම වගේ. ඒ වෙනෙකක් නිසා නොව අප වෙනුවෙන්ම නිවන සොයමින් පැමිණියා වූ මග හමු වූ පන්ලක්ෂ දොළොස්දහසකට වැඩි වූ බුදුවරුන් අතරින් තවත් සුවිශේෂ බුදුවරයෙකු හමුවීමට ඇති මහා භාග්‍ය අතැතිවයි. තවුස් පැවිද්දෙන් පැවිදි වූ උන්වහන්සේ හට මහත් වූ සෘද්ධි ධ්‍යාන අභිඥා ලැබීමට වැඩි දිනක් ගියේ නැත්තේ අනන්ත වූ සසරේ වැඩි පුරම එවැනි උත්තරීතර තත්වයන් ලබා තිබු නිසාමයි. ඒ නිසාම උන්වහන්සේගේ සිතේ ඉර්ශ්‍යා මාන ක්‍රෝධ තිබුනේම නැහැ. බුදුන් ලොව පහල වූ බව අසා පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය සිරුරු සහිතව අනිතිමානී ගුණයෙන් තිස්ස භාග්‍යවතුන් වහන්සේ වෙත ගිය අප මහා බෝසතාණෝ මෙලෙස සිතන්නට වුනා.

මම භාග්‍යවතුන් වහන්සේව මල්වලින් අග්‍ර යම් මලක්වේද එයින් පුදන්නට ඕනේ. එහෙම හිතනකොටම උන්වහන්සේට මතක් වුනේ තවුතිසාවේ චිත්‍රලතා උයන. ඒ චිත්‍රලතා උයනේ අලංකාරය ගැන ඛුද්දකනිකායේ විත්‍රලතා විමානවත්ථු කතාවේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මෙලෙස පවසනවා.

“තවුතිසා වැස්සන්ගේ ශ්‍රෙෂ්ඨ උයනවූ චිත්‍රලතා වනය යම්සේ බබළයිද, එබඳුවූ නුඹගේ මේ විමානය අහසෙහි බබළමින් තිබේ.” මනුෂ්‍යව කිනම් කුශලයක් කොට මෙබඳු දිව්‍ය ඍද්ධියක් දිව්‍යානුභාවයක් ලබන ලද්දේද කිනම් කරුණකින් ඔබගේ වර්ණය සියලු දිශාවන්හි බබළයිද?

ඇත්තෙන්ම එවැනි දිව්‍යමය උයනකට පෘතජන මනසකින් අප වැනි පුද්ගලයන් ගියහොත් මල් නෙලාගෙන යලිත් බුදුන් පුදන්නට එන්නට මතක් වන එකක් නැහැ. එහෙත් පංච අභිඥා අෂ්ඨ සමාපත්ති ලාභී උත්තමයෙකුගේ සිත එහෙම නෙවෙයි.

එසේ සිතු සැනින්ම බෝසතාණන් වහන්සේ සෘද්ධියෙන් අහසට නැග තවුතිසාවෙහි චිත්‍රලතා වනයට පැමිණෙන්නට වැඩි වෙලාවක් ගතවුනේ නැහැ.

අප මහා බෝසතාණෝ පියුම්, පරසතු, මදාරාදී දිවකුසුමින් රුවන්මුවා ගවුවක් පමණැති කරඬුවක් පුරවාගෙන අහසින් අවුත් භාග්‍යවතුන් වහන්සේව පුදනු ලැබුවා. එක් මිණිදඬු ඇති රන්මුවා කෙමි ඇති පියුම්රාමිණිමුවා කොළ ඇති සුවඳ කෙසුරු ඇති කුඩයක් බඳු පද්ම චත්‍රයක් (මල් කුඩයක්) භාග්‍යවතුන් වහන්සේගේ සිරසට දරමින් සිවු පිරිස් මැද නොසෙල්මන්ව සිටියා. මේ සියල්ල මහා කාරුණික දෙනතින් බලා සිටි තිස්ස භාග්‍යවතුන් වහන්සේ මෙයින් කල්ප අනුදෙකකින් පසු මොහු ගෝතම නමින් බුදුවන්නේ යැයි දේශණා කොට වදාරනු ලැබුවා.

කල්ප ගණනකට පසු නැවතත් දෙවිවරුන්ගේ සාදු කාර නාදය ද අත්පොලසන් හඬද සක්වලින් සක්වලට පැතිර ගියා. තවත් බුද්ධ අංකුරයක් යයි සතුටු සිනහ සලමින් තව තවත් මදාර පරසතු මල් දසත විහිදෙන්නට වුනා. අප වෙනුවෙන්ම තවත් වරක් නිවන අතහැරු මොහොතක් එලෙස දුරේ නිධානයෙහි මෙලෙස සටහන් වුනා.

සාදු සාදු සාදු

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
09-10-2019

🌺🌼🌷🌹🌸🌻🌺🌼🌷🌹🌸🌻🌺🌼🌷🌹🌸🌻

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2MnD8Kk
සප්පදාස තෙරුන්ගේ කථා වස්තුව

“ අනුන්ට උපදෙස් දෙන්නේ බලාගෙනයි ”
( – සහස්ස වර්ගය – )

වාසනාව කියන්නේ බැලූ බැල්මට සොයාගන්න බැරි දෙයක්. ඇතැම් කෙනෙකුගේ වාසනාව මතුවෙන්න බොහෝ කාලයක් යනවා. එතෙක් ඔහු සිතන්නේ තමන් මහා අවාසනාවන්තයෙක් කියලයි.

සැබෑවටම ඔහු තුළ වාසනාව තිබුණා. මතුවෙන්න කල් ගියා. එතෙක් කළ යුත්තේ ඉවසීමෙන් තමන්ගේ කටයුතු කිරීමයි. වාසනාව සොයා ගත නොහැකිව කලබල වී මහා කරදර ගොඩක පැටලෙන්නට ගිය එක්තරා භික්ෂුවක් ගැනයි අපි දැන් ඉගෙන ගන්නේ.

සැවැත් නුවර ඉතාමත් සැදැහැවත් තරුණයෙක් හිටියා. මොහු නිතරම බණ අහන්න යනවා. ජීවිතයේ ඇති නිසරු බවත්, සසරෙහි ඇති බියජනක බවත් මොහුට තේරුණා. දෙමව්පියන්ගෙන් ඉතාමත් අසීරුවෙන් අවසර ඉල්ලාගෙන සියලු දේපල අත්හැරලා බුදු සසුනෙහි පැවිදි වුණා. පැවිදි වුණු දා සිට මොහු ඉතාම හොඳින් සිල් ආරක්ෂා කළා. ඈත වන සෙනසුන්වලට ගියා. නොයෙක් භික්ෂූන් වහන්සේලා මුණ ගැසී වීරිය ඇතිවෙන්න උපදෙස් ගත්තා.

වස් කාලය පැමිණෙද්දී බොහෝ භික්ෂූන්ගේ බලාපොරොත්තුව වී තිබුණේ ඒ තුන්මාසය තුළ ඉතාමත් හොඳින් බණ භාවනා කොට අරහත්වයට පත්වීමටයි. ඉතින් මේ භික්ෂුවත් සෑම වස් කාලයකම ආරම්භක දවසේම අදිටන් කරගන්නේ වස් අවසන් වෙන්නට පෙර නිකෙලෙස් වීමටයි.

ඉතින් මේ ස්වාමීන් වහන්සේ හිමිදිරි උදෑසන නැගිටිනවා. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරමින් බුද්ධානුස්සති භාවනාවේ යෙදෙනවා. මෙත් වඩමින් මෛත්‍රී භාවනාවේ යෙදෙනවා. තමන්ගේ සිල් ආවර්ජනා කරනවා. මරණසතියත් වඩනවා. දවස පුරාම භාවනාවෙන් ඉන්න තමයි කැමැත්ත තියෙන්නේ. හැබැයි එක මොහොතකටවත් සිත සංසිඳුවාගන්න බෑ. නොහික්මුණු කුළු හරක් නාම්බෙක් වගේ මේ හිත එක එක අරමුණුවල දුවනවා. හති නොවැටී දුවනවා. නොනැවතී දුවනවා. කොතරම් වීරියක් ගත්තත් භාවනා අරමුණක සිත රඳවා ගන්න බැරිව ගියා.

හුදෙකලාවේ රුක් සෙවණේ භික්ෂූන් වහන්සේලා සමවත් සුවයෙන් වැඩසිටිනා අයුරු උන්වහන්සේ බලා සිටිනවා. තමාත් රුක් සෙවණකට යනවා. භාවනාවට වාඩිවෙනවා. කොන්ද කෙලින් කරගෙන දෑස් පියාගෙන හිතන්නේ මේ වතාවේ නම් මං හිත වෙන අරමුණ යා නොදී භාවනාවේ රඳවනවා කියලයි. ටික වෙලාවකින් මේ හිතේ හටගන්නේ අකුසල්මයි.

“චී….! චී…..! මේ මොනවද හිතෙන්නේ….? මේ හිත හරිම වංචනිකයි. චිකේ….! මට මේ හිතෙන දේවල්…. වෙන කෙනෙක් හඳුනාගත්තොත් මට ජීවත් වෙලා පලක් නෑ…. මං මේ මහණ වුණේ මොනතරම් ආසාවකින්ද? දැන් මහණ වෙලා අවුරුදු ගණනාවක් වුණා. මොහොතක් වත් මේ සිතට සමාධි සුවයක් නැහැ නෙව. අනේ දෙවියනේ…. මං මෙතරම් අවාසනාවන්තයෙක්ද…?

මං මහණ වුණේ ලෝකනාථ වූ සර්වඥයන් වහන්සේ ළඟයි. මං ඇසුරු කළේ නිකෙලෙස් මහරහතන් වහන්සේලා. මං ඇසුවේ චතුරාර්ය සත්‍යයයි. මට පුරුදු කරන්න ඕන වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒත් මේ ජරා සිත…. කෙලෙස් සමඟ පැටලෙන්නේ කුණු මඩක එරෙන මීහරකෙක් වගේ…”

ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඇස් වහගෙන කල්පනා කරනවා. ටික වෙලාවකින් ඒ වැසූ දෙනෙතින් කඳුළු දහරා කඩා හැලෙනවා. භාවනාවට නවාගත් දෑත හිස මත ගසා ගන්නවා. නැගිටිනවා. සක්මන් කරන්න පටන් ගන්නවා. හිතට කිසිම සැනසිල්ලක් නෑ. නොනැවතී කරකැවෙන බඹරයක් වගේ මේ සිත කෙලෙස් ලෝකයේ කැරකි කැරකී තියෙනවා. උන්වහන්සේ හිසේ අත් බැඳගෙන හඬමින් ඒ වස් කාලය අවසන් කරනවා.

‘හ්ම්…! තවත් වස් කාලයක් එනවා…. හප්පේ….! මං කොතෙක් කල් මෙහෙම ජීවත් වෙන්නද? දැන් මහණ වෙලා අවුරුදු විසි ගණනක් මේ ජීවිතය ගෙවිලා ගියා. මට විතරක්මද මෙවන් විපතක් සිදුවෙන්නේ….? ලෝකයෙහි සිටින අවාසනාවන්තම කෙනා මමද? මේ මාර්ගය අත්හැරියොත් මට සිද්ධ වෙන්නේ සිවුරු හරින්නයි.

මං කැමති නෑ ඒකට. මගේ සිතේ සමාධියක් නැති වුණාට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන මං කොහොමද සැක කරන්නේ? ඒ ධර්මය ඒකාන්තයෙන්ම කෙනෙක්ව නිකෙලෙස් බවට පත්කරවනවා. නමුත් මගේ සිත කෙලෙසී යන පමණින් මං වගේ කෙනෙක් කොහොමද ඒ ධර්මය සැක කරන්නේ? මං ඉදිරියේම නොයෙකුත් සමවත්වලට සමවදින රහතන් වහන්සේලා ජීවමානව සිටිද්දී මං කොහොමද ආර්ය සංඝයා සැක කරන්නේ?

මං මෙය අත්හැරියොත් ආයෙමත් වැටෙන්නේ ගිහි ගෙදරටයි. අඹුදරුවන්ගේ අඬහැරියාව මැද්දේ මට ඉන්න වෙන්නේ පිස්සෙක් වගෙයි. මං කොහොමද එහෙම ජීවත් වෙලා ගිහියෙක් වශයෙන් මැරෙන්නේ?

බෑ…. බෑ…. බෑ…. කිසිසේත්ම බෑ…. කිසිසේත්ම මට ඒක කරන්න බෑ…. මං මේ ධර්මය වෙනුවෙන්ම මේ ජීවිතය පූජා කරනවා. මට වෙන දෙයක් ඕන නෑ….’

නිතරම කල්පනාවේ ගැලී සිටින මේ ස්වාමීන් වහන්සේගේ සිතට කිසි සතුටක් නෑ. හැම තිස්සෙම විරාගය පතමින් සරාගී සිතින් දුක සේ වාසය කළා. ජීවිතයේ හැම දෙයක්ම එපා වුණා.

දිනක් සැවැත් නුවර ජේතවනයේ කුටියකට නයෙක් රිංගා ගත්තා. ස්වාමීන් වහන්සේලා භය වුණා. ඒ නයාව කළයක් ඇතුළට ගත්තා. වනයට ගිහින් අත්හරින්න සූදානම් වුණා. අර ස්වාමීන් වහන්සේ මේක දැක්කා.

“පින්වත් ආයුෂ්මතුන් වහන්ස, ඔය මොකක්ද?”

“ප්‍රිය ආයුෂ්මතුනි, මේ කළේ ඇතුලේ ඉන්නේ භයානක සර්පයෙක්! දෂ්ට කළෝතින් නම් එතනම කම්මුතුයි.”

අර ස්වාමීන් වහන්සේ මහත් ප්‍රීතියට පත්වුණා. මෙහෙම හිතන්න පටන් ගත්තා.

‘ෂා….! මෙතරම් ඉක්මනට හැමදෙයක්ම කම්මුතු කරගන්න ඇත්නම් යසයි…! එහෙනම් එක දෙයයි කරන්න තියෙන්නේ…’

ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අර භික්ෂූන් වහන්සේලාගෙන් ඒ කළය ඉල්ල ගත්තා. වනාන්තරයට ගෙන ගියා. ඒ කළයට අත දැම්මා. උන්වහන්සේ හිතුවේ නාගයා සැණෙකින් දෂ්ට කරාවි කියලයි. එතකොට මේ සියලු දුක් දොම්නස් අවසන් වේවි කියලයි. නමුත් නාගයා දෂ්ට කළේ නෑ. එතකොට උන්වහන්සේ කළය ඇතුළට අතදාලා නාගයාගේ ඇඟේ පටලෝලා සෙලෙව්වා. ඒත් දෂ්ට කළේ නෑ. නාගයාගේ ඔළුව තද කළා. කට මිරිකුවා. ඒත් දෂ්ට කළේ නෑ.

නැට්ටෙන් ඇදලා එළියට ගත්තා. ‘මේකා විෂඝෝර සර්පයෙක් නම් නොවෙයි. ගැරඬි තඩියෙක්’ කියලා වීසි කළා.

වෙහෙරට ගිහින් භික්ෂූන් වහන්සේලාට කිව්වා,

“අයියෝ…! ඔබවහන්සේලා භයවෙලා තියෙන්නේ ගැරඬි තඩියෙකුට නොවැ. මහා ලොකුවට කළයකට ඔබාගෙන පරිස්සම් කරගෙන ගෙනිච්චේ විෂ ඝෝර නාගයෙක් කියල නෙව.”

“නෑ… නෑ…. එහෙම වෙන්නෙ කොහොමද? ඒ නාගයා අපට පෙණේ කරලා පිප්පුවා. දෂ්ට කරන්න පැන්නා. හරිම දරුණුයි! නමුත් ඔබවහන්සේ කියනවා ගැරඬියෙක්ලු… දෂ්ට කළා නම් තේරෙයි.”

“අනේ නෑ… ඌ දෂ්ට කරනවා නම් මං කළ දේවල්වලට දෂ්ට කරනවාමයි.”

“ඈ….! ඔබවහන්සේ මොකක්ද කළේ…?”

“මං කළේ ඇතුළට අතදැම්මා… සෙලෙව්වා… උගේ ඇඟෙන් අලල්ලා කැළැම්බුවා… ඔළුව තද කළා…. කට මිරිකුවා…. අනේ… කිසි වගක් නැතුව ඌ හිටියේ….”

මේ කතාව බුදුරජාණන් වහන්සේට දැනගන්න ලැබුණා.

“පින්වත් මහණෙනි, ඌ ගැරඬියෙක් නොවෙයි. විෂඝෝර සර්පයෙක්. දෂ්ට කළොත් සැණෙකින් මිය යනවා. නමුත් මේ භික්ෂුවට ඒ සර්පයා හානියක් නොකළේ හේතුවක් නිසයි. ඒ සර්පයා මීට ආත්මභාව තුනකට කලින් මේ භික්ෂුවගේ ඉතාමත් කීකරු, ලබැඳි සේවකයෙක්. අර සතාට මේ භික්ෂුවගේ අත ස්පර්ශ වෙද්දී, පැරණි ස්වාමියාගේ සුවඳ දැනුණා. ඒකයි ඌ කිසිවක් නොකළේ…”

මේ හේතුව නිසා උන්වහන්සේට ‘සප්පදාස’ යන නම පටබැඳුණා. උන්වහන්සේගේ ප්‍රශ්නය කොහෙත්ම විසඳගන්න පුළුවන් වුණේ නෑ. හිතේ විසිරිල්ලේ කිසි අඩුවක් නෑ. කැමැති කැමැති අරමුණුවල කිසි ලැජ්ජාවක් නැතුව මේ සිත හැසිරෙන විදිහේ කිසි අඩුවක් නෑ. උන්වහන්සේ හිටියේ වචනයෙන් කියාගන්න බැරි කම්පාවකින්. එකම විසඳුම හැටියට පෙනුනේ දිවි නසා ගැනීම විතරයි.

දිනක් මේ ස්වාමීන් වහන්සේ තමන්ට හිස බෑමට තියෙන දැලි පිහිය දකිද්දී පුදුම විදිහට හිත වෙනස් වෙලා ගියා. දැඩි තීරණයක් ගත්තා. කුටියේ දොර වසාගත්තා. දැලි පිහිය අතට ගත්තා. ඇඳේ වාඩිවුණා. සතර සතිපට්ඨානයේ සිත දැඩි ලෙස පිහිටුවාගෙන දැලි පිහිය බෙල්ලට තිබ්බා. උන්වහන්සේගේ එකම අරමුණ වුණේ බෙල්ලේ නහර කපා ගැනීමයි. නමුත් හරිම පුදුමයි, සතර සතිපට්ඨානයේ සිත මැනැවින් පිහිටා ගියා. සිතේ දුක් දොම්නස් සැණෙකින් අතුරුදහන් වුණා. හොඳට විදර්ශනාව වැඩෙන්න පටන් ගත්තා. දැලි පිහිය පසෙක තබා ඇඳේ වාඩිවී ඒ වැඩෙන සමථ විදර්ශනාවට සිත යොමු කරගෙන හිටියා. වේගයෙන් ගලා බසින ජල පහරකට වැටුණු දෙයක් නොනැවතී සයුර බලා යන්නා සේ උන්වහන්සේගේ සිත කිසිවක නොපැටලී, නොනැවතීම නිවන කරා ගියා. නිකෙලෙස් වුණා. සංසිඳී ගියා. රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.

උන්වහන්සේටත් නොදැනීම පුරුදු කරන ලද සිත තුළ ධර්මය වැඩී ගොස් ඇති ආකාරය හරිම අසිරිමත්. උන්වහන්සේ කෙලින්ම බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. සතුටින් වන්දනා කළා. සියලු පුවත් හෙළි කළා. එවිට බුදුරජුන් පැහැදිලි කොට වදාළේ උන්වහන්සේට මෙතෙක් කලක් ධර්ම මාර්ගයේ ගමන් කළ නොහැකිව යම් චිත්ත පීඩාවකින් කල් ගෙව්වා නම් එය සිදුවූයේ පෙර සසරේ කරන ලද දෙයක විපාකයක් නිසා බවයි.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා කුලපුත්‍රයෙක් නිවන් අවබෝධ කරන අදහසින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා. නමුත් ටික දවසකදී පැවිද්දට ඇති ආශාව නැති වී ගියා. අරතිය ඇති වුණා. බණ භාවනා කරන්න බැරිවුණා. කෙලෙස් වලින් බැටකන්නට පටන් ගත්තා. මේ භික්ෂුව මහත් සංවේගයකට පත්වුණා. කලබල වුණා. ඉතා බලවත් සිත් තැවුලකින් යුතුව තම යහළු ස්වාමීන් වහන්සේ නමකට තමන් පත් වී ඇති අවුල පැවසුවා. උන්වහන්සේ නොයෙක් අයුරින් ගිහි ජීවිතයේ ආදීනව පෙන්වා දුන්නා. පැවිද්දේ අනුසස් පෙන්වා දුන්නා. එතකොට අර භික්ෂුවගේ සිත සංසිඳුණා. ආයෙමත් පැවිද්දේ සිත ඇලී ගියා.

ඒ භික්ෂුවට ඉතා සුන්දර ශ්‍රමණ පිරිකර තිබුණා. දිනක් ඒ භික්ෂුව අර ශ්‍රමණ පිරිකර පිරිසිදු කරද්දී, තමාට පැවිද්දේ අනුසස් පැවසූ යහළු භික්ෂුවත් එතැනට ආවා.

“අනේ පින්වත් ස්වාමීනී…, මං හිතාගෙන හිටියේ සිවුරු හරිද්දී මේ පිරිකර ඔබවහන්සේට දෙන්නයි.”

එතකොට ඒ භික්ෂුව අර පිරිකර දෙස බලා සිටියා. ඔහුගේ සිතට මහා අමුතු හැඟීමක් ඇතිවුණා.

අපරාදේ…. මං මෙයාට උපදෙස් දුන්නේ කිසි තේරුමක් නැතුවයි. සිවුරු හැර ගෙදර ගියා නම්, මේ පිරිකර ටික ඔක්කොම මටනේ…’

මෙසේ සිතූ ඒ භික්ෂුව අමුතුම විදිහට උපදෙස් දෙන්න පටන් ගත්තා.

“නෑ… මං එදා කිව්වේ ඔබ වැටිලා සිටිය තත්වය බලලයි. ඒ වුණාට ගිහි ජීවිතය වුණත් නරක තැනක් නොවෙයි. ඔය අපූරුවට, ලස්සනට ගිහි ජීවිතය ගෙවන අය මොනතරම් ඉන්නවද? අනික, බිරිඳකගෙන් වගේ ආදරයක් පැවිද්දන්ගෙන් ලැබේවිද? දරු සුරතල් බලද්දී කෙනෙකුට හිතේවි ‘මගේ නිවන මගේ පැල්පතයි’ කියලා.”

එතකොට අර භික්ෂුව මේ විදිහට කල්පනා කළා.

‘මොනවද මේ ස්වාමීන් වහන්සේ දොඩවන්නේ…? එදා නම් මට අවංකවම උපදෙස් දුන්නා. අද මේ මට ගිහි ජීවිතයේ අනුසස් කියනවා. පැවිද්දේ නොඇලෙන විදිහට සමනල ලෝකයක් මවලා පෙන්වනවා. ඇයි මට මෙහෙම කියන්නේ? ඇත්තටම විරාගයට ආසා කරන මට මේ සරාගී බස් තෙපලන්නේ මගේ පිරිකර ගැනීමේ ආසාවෙන් විය යුතුමයි. නෑ… නෑ… මං නම් ආයෙමත් ඒ ලාමක සිතුවිලිවල පැටලෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඒකාන්තයෙන්ම මට පිහිට වේවා!’

ඉතින් අනිත් ස්වාමීන් වහන්සේ නොයෙක් අයුරින් ගිහි ජීවිතයේ අනුසස් කියද්දී මේ භික්ෂුව ගිහි ජීවිතයට ඇදිලා යන සිත ඉතාමත් අමාරුවෙන් යළි යළිත් පැවිද්දෙහි පිහිටුවා ගත්තා. යළි යළිත් බුද්ධානුශාසනාව සිහි කළා. නමුත් හුදෙකලාවේ භාවනා කරන්නට පටන් ගත් විට අර භික්ෂුව ගිහි ජීවිතය අරභයා ඉස්මතු කරමින් වර්ණනා කළ නිස්සාර ජීවිතයට කැරකි කැරකී ගියා. හරි පීඩාවක් වින්දා. ධර්මයට සිත නඟා ගන්නට හඬ හඬා වෙහෙස ගත්තා. ධර්මාවබෝධ කිරීමට මහත් වෙහෙසක් ගන්නට සිදුවුණා. අන්තිමේදී උන්වහන්සේ ජයගත්තා. අරහත්වයට පත්වුණා.

ඒ කර්ම විපාකය නිසයි අර භික්ෂූන් වහන්සේට වීරිය නැතුව ගියේ. කොතරම් මහන්සි ගත්තත් වීරිය නගා ගන්න බැරිව ගියා. ධර්ම මාර්ගයට බාධා කළ නිසාවෙන් විසි පස් වසරක් කෙලෙස් වලින් බැට කන්නට ඒ භික්ෂුවට සිදු වුණා. මෙකරුණ අරභයා බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.

යෝ චේ වස්සසතං ජීවේ – කුසීතෝ හීනවීරියෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – විරියමාරභතෝ දළ්හං

සියක් අවුරුදු ගෙවා දැමුව ද – හීන වීරියෙන් හා කුසීතව
පලක් නැහැමයි එය කෙනෙකු හට – එයින් ඇතිවෙන සෙතක් නම් නැත
ගෙවයි නම් ලොව එකම දවසක් – දැඩිව වීරිය නගා ගෙන සිට
උතුම්මයි ඒ ගෙවෙන එදවස – සෙතක් සැලසෙනවා එයින්

ඉතිං අනුන්ට උපදෙස් දීමේදී ඉතාමත්ම කල්පනාකාරී විය යුතුයි. තමන්ගේ මතිමතාන්තරවලට පොළොඹවා ගැනීම පිණිස සමහර අය අන් අයව ධර්ම මාර්ගයෙන් බැහැර කරවනවා. කාමයට පොළොඹවනවා. භාවනාවෙහි දොස් කියනවා. ධර්මයේ හැසිරීමේ ප්‍රමාද කරවනවා. මාර්ගඵල ගැන කතා කිරීමටත් දොස් කියනවා. ඒ අවවාද පිළිගත් උදවිය ධර්මයේ හැසිරීම අත්හරිනවා නම්, කාමයටම පෙළඹෙනවා නම්, ධර්ම කථාවෙන් බැහැර වෙනවා නම්, මොනතරම් භයානක විදිහට එය තමා පසුපසින් ඒවිද කියා මේ කථාව අනුසාරයෙන් හිතාගන්න පුළුවන්.

ඒ නිසා තමන්ට බැරි යහපත් දෙයක් තව කෙනෙක් කරනවා නම් හොඳම දෙය එය අගය කිරීමයි. එය අගය කරන්නටවත් සිත නැමෙන්නේ නැත්නම් හොඳම දෙය නිශ්ශබ්දව සිටීමයි. එසේ නැති වුණොත් එවැනි දේකට කට දමා අනවශ්‍ය පව් රැස් කරගෙන යන්නට සිදුවුණෝතින් දුක් විඳින්නට සිදුවන්නෙත් තමාටමයි.

සප්පදාස තෙරුන්ගේ මේ කථාවෙන් අපි කාටත් හොඳ පාඩමක් මතු කොට දෙනවා. දන්න අය වගේ උපදෙස් දෙන්න ගියොත් අන්තිමේදී අමාරුවේ වැටෙන්නේ ඒ උපදෙස් දුන් කෙනාමයි.

උපුටා ගැනීම

මහමෙව්නාව ෆේස්බුක් පේජය.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2MNW04f
‘‘හප්පා මේ ටිකේ ම ඇඟට හරි නෑ. පුදුමාකාර අපහසුවක් නෙව තියෙන්නේ.”

‘‘ආහ්… ගොක්කොළ, සුදුවැලි එහෙමත් පේනව ද? එ්… සොහොන් ලකුණු තමයි එහෙනම්. වැලිගම්පිටි යන්න ළං වෙලා.”

ඔන්න ඔහොම කථා ඔබටත් නිතර අහන්න ලැබිලා ඇති. ගොක්කොළ, මල්වඩම්, සුදුවැලි, සුදුමල් ආදියෙන් සොහොන් ලකුණු නිරූපණය වන බව තමයි අද සමාජයේ මුල්බැසගත්ත අදහස.

එ්ත් මේ දේවල් සැබෑ ම සොහොන් ලකුණු නෙමෙයි. අප සරණ ගිය තථාගතයන් වහන්සේ සොහොන් ලකුණු ගැනත් අප කෙරෙහි කරුණාවෙන් පෙන්වා වදාළා. අප අවට කී දෙනෙකුට සොහොන් ලකුණු පහළ වෙලා ද? කියලා දැන ගන්න මෙන්න මේ සොහොන් ලකුණුවලින් පුළුවන්.

තථාගතයන් වහන්සේ සොහොනක ලක්ෂණ පහක් පෙන්වා වදාළා. උන්වහන්සේ එ් දේවල් දේශනා කොට වදාළේ අමු සොහොනක පවතින දෝෂයන් කියලයි.

මෙන්න එ් සොහොන් ලකුණු පහ. අපවිත‍්‍ර තැනක්, දුර්ගන්ධයෙන් යුක්ත තැනක්, බය ඇති වන ස්වභාවයෙන් යුක්ත තැනක්, අමනුෂ්‍යයන්ට වාස භූමියක්, බොහෝ දෙනා හඬා වැළපෙන තැනක්.

දැන් ඔබට හිතෙන්න පුළුවන් බොහෝ ම ලස්සනට මල්, තණකොළ ආදිය වවලා, සුදුපාට සොහොන් කොත් හදලා, මනාව නඩත්තු කරවන සොහොන කොහොම ද අපවිත‍්‍ර, දුගඳ හමන තැනක් වෙන්නේ කියලා? අද කාලේ සොහොන් මේ විදිහට තිබුණට බුද්ධ කාලයේ මළසිරුරු ආදාහනය කියන දේවත් ප‍්‍රකට ව තිබුණේ නැහැ. යම් කෙනෙක් මරණයට පත් වුණා ම එ් සිරුර රෙදිවලින් ඔතලා සොහොනට ඇද දමන එකයි එ් කාලේ සිදු කළේ. ඈත අතීතයේ අපේ රටෙත් ඔය දේ සිදු වෙලා තිබෙනවා.

මොහොතින් මොහොත කුණු වෙවී යන මළසිරුරුවලින් ඕජස් ගලාගෙන එනවා. පණුවො වැක්කෙරෙනවා. එවන් තැනක් බොහෝ ම අපවිත‍්‍රයි නේ ද? එ් වගේ ම යි මහා දුගඳක් නිසැකයෙන් ම පැතිරී යනවා. එයින් බිය ඇති කෙරෙනවා. කුණු වෙවී යන මළසිරුරු ආහාර කොට ගන්න චණ්ඩ අමනුෂ්‍යයන් එහි එකතු වෙනවා. මොන තරම් සත්‍යයක් ද? එ් වගේ ම යි, මළගිය පුද්ගලයාගේ නෑදෑ හිතවතුන් එ් මළසිරුර සොහොනේ දමන්න යන්නේත්, එහි රැඳෙන්නේත්, නැවත එන්නේත් හඬා වැළපෙමින් ම යි. ඉතින් තථාගතයන් වහන්සේ වදාළ එ් සොහොන් ලකුණු අමු සොහොනක් තුළ නිසැකයෙන් ම දකින්න ලැබෙනවා ම යි.

මේ කාරණා පෙන්වා දුන්නාට පසු ව තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා සොහොන් ලකුණු සහිත වූ පුද්ගලයාගේ ස්වභාවය. අමු සොහොනක් බඳු පුද්ගලයාගේත් මේ ලක්ෂණ එ් ආකාරයෙන් ම දැකගන්නට පුළුවන්.

තථාගතයන් වහන්සේ අමු සොහොනකට උපමා කරන්නේ කාය දුෂ්චරිතයෙන්, වචී දුෂ්චරිතයෙන්, මනෝ දුෂ්චරිතයෙන් යුතු වූ පුද්ගලයා ව යි. යමෙක් යම් ආකාරයකින් අපිරිසිදු කාය කර්මයෙන්, අපිරිසිදු වචී කර්මයෙන්, අපිරිසිදු මනෝ කර්මයෙන් යුක්ත වෙනවා නම් එය ම තමයි එ් තැනැත්තාගේ අපවිත‍්‍ර භාවය. එ් කියන්නේ පළමු සොහොන් ලකුණ.

එ් ආකාරයෙන් සිතින්, කයින්, වචනයෙන් අපිරිසිදු පුද්ගලයා ගැන පැතිරෙන්නේ කල්‍යාණ කීර්ති රාවයක් නම් නො වෙයි. එ් ගැන නුගුණ ම යි කියැවෙන්නේ. එ් තමයි දෙවන සොහොන් ලකුණ. දසත පැතිරී යන දුර්ගන්ධය…

ප‍්‍රිය උපදවන සුළු සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා ඇසුරු කරමින් වාසය කරන්නට ඔහුට පුළුවන්කමක් නැහැ. ඔහු උන්වහන්සේලා ව දුරින් ම දුරු කරනවා. විශාරද ව ආර්යයන් වහන්සේලා හමුවට යෑමට නො හැකි ආකාරයේ බයක් ඔහු තුළ තිබෙනවා. තුන්වන සොහොන් ලකුණ තමයි එ්. යළි යළිත් බිය ඇතිකරවන ස්වභාවය.

තිදොරින් වරදෙහි යෙදෙන මේ පුද්ගලයා සමග එක්වන්නේත් එවැනි චරිත ස්වභාවයන් ඇති පිරිස්. තමන් වැනි ම වූ සදොස් පුද්ගලයන් හා වාසය කිරීමටයි ඔහු පෙළඹෙන්නේත්. එ් තමයි හතරවන සොහොන් ලකුණ. චණ්ඩ අමනුෂ්‍යයන්ට ගැවසිය හැකි, සේවනය කළ හැකි තැනක් වීම.

එවන් පුද්ගලයන් සත්පුරුෂයන්ගේ ගුණ මකා දමනවා. එවන් ගුණමකුවන් සමග වාසය බොහෝ දෙනෙකුට දුක් උපදවන්නක්. ”අහෝ… අප මෙවන් පුද්ගලයන් සමග නෙව සිටින්නේ. මෙවන් අයගේ ඇසුර නම් එ්කාන්තයෙන් ම දුකක්” කියා බොහෝ දෙනා දුකට, කම්පාවට පත් වෙනවා, හඬා වැළපෙනවා. එ් තමයි පස් වන සොහොන් ලකුණ.

අපි හිතමු යම් පුද්ගලයෙක් සතුන් මරණවා. ඔහු ලේ වැකුණු අත් ඇති ව සිටිනවා. එවන් පුද්ගලයා එ්කාන්තයෙන් ම අපිරිසිදු පුද්ගලයෙක්. ඔහු ගැන පැතිරෙන්නේ ගුණ රාවයක් නෙමෙයි. එ් වගේ ම ඔහුට සත්පුරුෂයන් හා එක්ව සිටීමට නො හැකියි. පාපී අසත්පුරුෂයන් තමයි ඔහුගේ ඇසුරට එක් වන්නේ. එවැන්නෙකු නිවසක සිටී නම් සමීපතමයින් බොහෝ විට ”අනේ අපේ පුතා මෙහෙම වුණානේ..”, ‘‘අනේ මගේ ස්වාමියා මෙවැනි නපුරු ගති ඇති කෙනෙක් වුණානේ”, ‘‘අනේ අපේ සහෝදරයා මෙහෙම නුගුණක් ඇති කෙනෙක්නේ” යනාදි වශයෙන් හඬා වැළපෙමින්, කම්පා වෙමින් තමයි කාලය ගත කරන්නේ.

සතුන් මැරීම, සොරකම් කිරීම, කාමය වරදවා හැසිරීම, බොරු කීම, මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිත කිරීම ආදි ඕනෑම දුරාචාරයක් තුළින් පණපිටින් ජීවත්වන ‘අමුසොහොන්’ බිහිවෙන්නේ ඔන්න ඔය ආකාරයෙන්.

දැන් බලන්න අනිත් අයට කෙසේවෙතත් අපි අපිට ඔය සොහොන් ලකුණු තිබෙනවා ද කියලා…? සොහොනට යන්න කලින් ම සොහොනක් වෙලා ඉන්න බහුතරයක් අතරේ ඔබ සොහොනක් නො වෙයි නම්, එ් ඔබ මේ ගෞතම බුද්ධ ශාසනයෙන් ලැබූ මහත් වූ ලාභයක්.

තම තමන් තුළ සොහොන් ලකුණු නො දැක, සංසාර දුකින් නිදහස් වන්නට සෑම දෙනාට ම භාග්‍යය උදා වේවා!

ඇසුර : සීවථික සූත‍්‍රය – අං. නි.

මහාමේඝ 2013 උඳුවප් කලාපය

WWW.MAHAMEGHA.LK

උපුටාගැනීම – මහාමේඝ පුවත් සඟරාව -වියළී මියැදෙන්නට පෙර, ඔබ තෙමා සුරකිනු පිණිස

සබැඳි ලිපිය-https://ift.tt/33EVDQ2