Monthly Archives: April 2019

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2WQcqw3
එක් දිනක් භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝ්‍යා වහන්සේලා පිරිවරා චාරිකාවේ වැඩියා. භාග්‍යවතුන් වහන්සේ වඩින මාවතේ උන්වහන්සේට මුහුණ ලා ඉදිරිපසින් පාරේ අනෙක් පසින් එක්තරා ගව ඝාතකයෙක් ගවයෙක් රැගෙන පැමිණියා.
දුරදී සංවරව ආපු ගවයා භාග්‍යවතුන් වහන්සේ ආසන්න වෙනවාත් සමග එකපාරටම අර මනුස්සාවත් ඇදගෙන ඇවිත් භාග්‍යවතුන් වහන්සේගේ පා මුල දනගහගෙන ශ්‍රී පාද ලෙවකන්නට පටන් ගත්තා.
සකළ සත්ත්වයන් කෙරෙහිම කරුණාභරිත හදවතින් වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේට මේ ගවයා කෙරෙහි මහත් වූ කරුණාවක් හටගත්තා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අසා සිටියා “පුරුෂය නුඹට මේ ගවයා නිදහස් කරන්න පුළුවන්ද?”
“ස්වාමීණි මම ජීවත් වෙන්නේ මේ කර්මාන්තයෙන් මේ ගවයා මරලා මස් විකුණලා ලැබෙන මුදලින් තමා මම වෙනත් ගවයෙක් ගන්නෙත් අඹු දරුවන් ජීවත් කරන්නෙත්. ඉතිං මේ ගවයා දුන්නොත් මට ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙනවා.
“හොදයි එහෙනම් නුඹට මේ ගවයා වෙනුවෙන් කොපමණ මුදලක් ඕනද?”
“ස්වාමීනි මසුරන් දහසක් පමණ”
ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ අධිෂ්ඨාන කලා කවුරුන් හෝ මසුරන් තුන් දහසක්ම රැගෙන පැමිනේවා කියලා. භාග්‍යවතුන් වහන්සේගේ චිත්ත පරිවිතර්කය දැක්ක ශක්‍ර දේවේන්ද්‍ර එවෙලේම මසුරන් තුන් දහසක් රැගෙන මිනිස් වෙසින් භාග්‍යවතුන් හමුවේ පෙනී සිටියා.
“කව්ශික ඔය මසුරන් තුන්දාහ දීලා ගවයා නිදහස් කරන්න” කියලා භාග්‍යවතුන් වහන්සේ කිව්වා. මිනිසුන්ට කෙලෙහිගුණ අමතක උනාට සත්තුන්ට එහෙම නෑ. මේ ගවයාත් ආයෙ කොහේවත් යන්නේ නැතුව භාග්‍යවතුන් වහන්සේ පිටුපසම චාරිකාවේ ගොස් ආපසු ආපසු ආවා. ඉතිං ඔය අතර එක වෙලාවක භාග්‍යවතුන් වහන්සේ මේ ගවයා දෙස බලා සිනහවක් පහල කලා. බුදුවරු නිස්කාරනේ සිනහ පහල නොකරණ බව දන්නා ආනන්ද හිමි භාග්‍යවතුන් වහන්සේ සිනහ පහල කල කාරනය කුමක්දැයි ඇසුවා.
“ආනන්ද මේ ගවයා නුඹට පේනවා නේද?”
“එහෙමයි ස්වාමීනි පේනවා”
“ආනන්ද මේ ගවයා තව නොබෝ දිනකින් මරණයට පත්වෙනවා. මරණයට පත්වන මේ ගවයා චාතුම්මහාරාජික දෙවියන් අතර උපදිනවා. ඉන් චුත වී තාවතිංස දෙවියන් අතර උපදිනවා. ඉන් චුත වී තුසිත දෙවියන් අතර උපදිනවා…….. මේ ආකාරයට ඉහලින් ඉහල දෙව්ලෝ සියල්ලේ උපදිනවා. අවසානයට පරිනිම්මිත වසවර්ති දෙවියන් අතර ඉපිද ඉන් චුත වී මනුලෝ ඉපිද පසේ බුද්ධත්වයෙන් සියළු දුක් කෙලවර කරන්නේය…..” යැයි නියත විවරණයකුත් දුන්නා.
එවිට ආනන්ද හිමි… “ස්වාමීණි ඒකාන්තයෙන් ආශ්චර්‍යයි…. ඒකාන්තයෙන් අත්භූතයි…. මෙච්චර දෙයක් ලබන්න මේ තිරිසන් සතා කල පින මොකක්ද?
“ආනන්ද වෙන මොකුත් නෙමෙයි තථාගයන් වහන්සේ තමයි මට සැගවෙන තැන, පිළිසරණවෙන තැන, පිහිටට ඉන්න තැන ලෙස මේ සතා සිතූ සිතිවිල්ලමයි මේ සතා කල එකම පින…….”
හරියට සිහි කල්පනාවක් නැති තිරිසන් සතෙක්ට භාග්‍යවතුන් වහන්සේ පිළිබද පහන් සිතිවිල්ලකින් මේ සා විපාක ලබාගන්න පුළුවන් වුනානම් මනුශ්‍ය වූ අපට කොහොම පින් කරගන්න පුළුවනිද?

(අතිපූජ්‍ය නම ලියන්න අවසර, මාන්කඩවල සුදස්සන හිමියන්ගේ දෙසුමකින් උපුටා ගැණුනි.)

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2UgMwoB
“භික්ඛවෙ, අප්පමාදෙන සම්පාදෙථ, දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං, දුල්ලභො මනුස්සත්ත පටිලාභො, දුල්ලභා ඛණ්සම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්මසවණං”

මේ බුදුන්වහන්සේ දිනපතා ම කරන අනුශාසනයකි. එහි තේරුම මෙසේ ය. මහණෙනි, අප්‍ර‍මාදයෙන් යුක්ත වව්. ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභ ය. මිනිසත් බව ලැබීම දුර්ලභ ය. ක්ෂණ සම්පත්තිය දුර්ලභ ය. ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව දුර්ලභ ය. සද්ධර්ම ශ්‍ර‍වණය දුර්ලභ ය.

ලොව්තුරා බුදුවීම ලෝකයෙහි ඇති වැඩවලින් සියල්ලට ම වඩා දුෂ්කර දෙය ය. බුදු බව ලැබිය හැක්ක් පුත්‍ර‍දාරාවන් හා ධනය ද ශරීරාවයවයන් ද ජීවිතය ද පරිත්‍යාග කරමින් ඉතාම අඩු ගණනින් සාරාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමට සමත් කෙනකුන් විසින් ය. එබඳු පුද්ගලයන් ලෝකයෙහි සුලභ නොවන බැවින් සමහර විට කල්ප කෝටි ගණනකිනුදු ලෝකයෙහි බුදුවරයෙක් පහල නො වේ. එබැවින් බුද්ධෝත්පාදය දුර්ලභ ය.

අපායයෝ වනාහි පින් කිරීමට ඉඩ නැත්තා වූ ස්ථානයෝ ය. අපායෙහි උපන් සත්ත්වයාට පින් කිරීම පිළිබඳ නුවණක් ද ඇති නොවේ. එබැවින් අපායට ගිය සත්ත්වයා එහිදී ද පව්කම් ම කොට නැවත නැවතත් අපායෙහි ම උපදන්නේ ය. වරක් අපායට ගිය සත්ත්වයකුට නැවත මිනිසකු වන්නට ලැබෙන්නේ ඉතා දීර්ඝ කාලයකිනි. මිනිසත් බැව්හි දුර්ලභත්වය තථාගතයන් වහන්සේ විසින් උපමාවකින් වදාරා තිබෙන්නේ මෙසේ ය.

“මහණෙනි, පුරුෂයෙක් එක් සිදුරක් ඇති වියදඬු කඩක් මහ මුහුදට දමන්නේ ය. සමුද්‍ර‍ගත වූ වියදඬුව නැගෙනහිරින් එන සුළඟින් බස්නාහිරට ගෙන යනු ලබයි. බස්නාහිරින් එන සුළඟින් නැගෙනහිරට ගෙන යනු ලබයි. උතුරෙන් එන සුළඟින් දකුණට ගෙන යනු ලබයි. දකුණින් එන සුළඟින් උතුරට ගෙන යනු ලබයි. සමුද්‍රයෙහි වෙසෙන කණකැස්බෑවෙක් ද වර්ෂ සියයකට වරක් මුහුදු දියෙන් අහසට හිස දිගු කරයි. මහණෙනි, කිමෙක් ද, ඒ කණකැස්බෑවා ගේ හිස අර වියදඬු සිදුරට ඇතුළු වේ ද? මෙසේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගෙන් විචාළ සේක. එකල්හි භික්ෂූහු “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දීර්ඝ කාලයක් ගතවන කල්හි එය සිදුවන්නට ද ඉඩ තිබේ ය” යි සැලකළෝ ය. එකල භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක් “මහණෙනි, කණකැස්බෑවාගේ හිස ඉක්මනින් විය සිදුරට ඇතුළු වන්නේ ය. පව්කම් කොට වරක් අපායට ගිය බාලයා හට මිනිස් ලොවට පැමිණීම එයට වඩා දුර්ලභ වන්නේ ය” යි වදාළ සේක. මිනිසත් බැව්හි දුර්ලභත්වය ඒ දේශනාවෙන් දත යුතු ය.

සත්ත්වයනට පින් කිරීමට සර්වාකාරයෙන් ම අවකාශ නො ලැබෙන්නා වූ ද පින් කිරීමට දුෂ්කර වූ ද කල් අටක් ඇත්තේ ය. සසර සැරිසරන සත්ත්වයනට බොහෝ සෙයින් සිදුවන්නේ පින් කිරීමට දුෂ්කර අවස්ථාවලට හසු වී සිටීමට ය. “ක්ෂණසම්පත්තිය” යි කියනුයේ පින් කිරීමට දුෂ්කර අවස්ථා අටෙන් අන්‍ය වූ අවස්ථාවට ය. එය ලැබෙන්නේ කලාතුරකිනි. නොකල් අට මතු දක්වනු ලැබේ.

බුදුසස්නෙහි පැවිද්ද ලැබිය හැක්කේ බුද්ධෝත්පාදය ය, මිනිස් බව ය, ක්ෂණසම්පත්තිය යන දුර්ලභ කරුණු තුන ම ලද තැනැත්තාට ය. ඒ තුන ම ලද ද පැවිද්දට සිත නැමෙන්නේ ඉතා ම ටික දෙනකුගේ ය. එබැවින් පැවිද්ද දුර්ලභ දෙයකි.

තථාගතයන් වහන්සේ විසින් දේශිත සද්ධර්මය බුද්ධෝත්පාද කාලයෙහි ම මිස අන් කලෙක අසන්නට නො ලැබෙන්නේ ය. දුර්ලභ වූ බුද්ධෝත්පාදය හා මිනිසත්බව ලැබූ සැමට ම දහම් අසන්නට නො ලැබේ. අද ලෝකයෙහි දහම් අසන්නට නො ලබන්නෝ බොහෝ ය. ලදත් නො අසන්නෝ ම බොහෝ ය. ධර්මය ආදරයෙන් අසන්නෝ ඉතා ම ටික දෙනෙකි. එබැවින් සද්ධර්මය ශ්‍ර‍වණය දුර්ලභය යි වදාළ සේක.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/n2is5I

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2UkERp6
සසර දුකින් මිදී නිවනට පැමිණීම වනාහි පස්කම් සුව විඳිමින් ම පහසුවෙන් සිදු කළ හැකියක් නොව, මහෝත්සාහයෙන් දීර්ඝ කාලයක් පිළිවෙත් පුරා සිදුකර ගත යුත්තකි. නිවන් ලබනු කැමතියන්ට එය ලබනු සඳහා පිරිය යුතු ප්‍ර‍තිපත්තියක් ඇත්තේ ය. එහි කරුණු අටක් ඇත්තේ ය. එ බැවින් ඒ ප්‍ර‍තිපත්ති ක්‍ර‍මයට ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යි කියනු ලැබේ.

සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යගාජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ අට ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ය.

සම්‍යක්දෘෂ්ටිය යනු චතුරාර්‍ය්‍ය සත්‍ය දන්නා වූ ඥානය ය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් දුක් හඳුනන්නා වූ ඥානය ය. දුක් ඇතිවීමේ සැබෑ හේතුව හඳුනන්නා වූ ඥානය ය, දුක් නිවීම වූ සැබෑ සැපය හඳුනන්නා වූ ඥානය ය, සැබෑ සැපය වූ නිවනට පැමිණීමේ නො වරදින මාර්ගය හඳුනන්නා වූ ඥානය ය යන මේ ඥාන සතර සම්‍යග්දෘෂ්ටිය ය.

සම්‍යක් සංකල්පය යනු නිවැරදි කල්පනාව ය. එය නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය යි තෙවැදෑරුම් වේ. පුත්‍ර‍ භාර්‍ය්‍යා ස්වර්ණරජතාදි කාමනීය වස්තූන් කෙරෙහි පවත්නා වූ තෘෂ්ණා බන්ධනයෙන් මිදීම පිළිබඳව වූ කල්පනාව නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය නමි. අව්‍යාපාද සංකල්පය යනු අන්‍යයන් සුවපත් කිරීම පිළිබඳ කල්පනාවය. අවිහිංසා සංකල්පය යනු දුඃඛිතයන් දුකින් මිදවීම පිළිබඳ වූ කරුණා සහගත කල්පනාව ය.

සම්‍යක්වචනය යනු බොරු කීමය, කේලාම් කීමය, පරුෂ වචන කීමය, සම්ඵප්‍ර‍ලාප කීමය යන මේවායින් වැළකීම ය.

සම්‍යක් කර්මාන්තය යනු ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය යන කයින් සිදුවන පව් තුනෙන් වැළකීම ය.

සම්‍යගාජීවය යනු දිවි පෙවෙත සඳහා කායවාක් දුශ්චරිත නො කොට ඒවායින් වැළකීම ය.

සම්‍යග් ව්‍යායාමය යනු නූපන් අකුසල් ඇති නොවනු පිණිස ද, උපන් අකුසල් දුරු කරනු පිණිස ද, නූපන් කුසල් ඇති කරගනු පිණිස ද, උපන් කුසල් දියුණු කරනු පිණිස ද කරන වීර්‍ය්‍යය ය.

සම්‍යක් ස්මෘතිය යනු යහපත් සිහිය ය. කායානුපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය, චිත්තානුපස්සනා සතිපට්ඨානය, ධම්මානුපස්සනා සතිපට්ඨානය යි සම්‍යක් ස්මෘතිය සිව් වැදෑරුම් වේ. භාවනාවේ යෙදෙන්නවුන්ට දෙතිස් කුණපාදිය අමතක වන්නට නොදී මේ සිහියෙන් නැවත නැවත මතු කර දෙන්නේ ය.

සම්‍යක් සමාධිය යනු සිතට මොහොතින් මොහොත අරමුණෙන් අරමුණට සංක්‍ර‍මණය වන්නට නො දී කසිණාදි එක් අරමුණක පිහිටවන ස්වභාවය ය. එය ප්‍ර‍ථමධ්‍යාන සමාධිය ද්විතීයධ්‍යාන සමාධිය තෘතීයධ්‍යාන සමාධිය චතුර්ථධ්‍යාන සමාධිය යි සතර වැදෑරුම් වේ. සමාධිය කලක් භාවනාවේ යෙදීමෙන් ලැබිය යුත්තකි.

ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි පිළිපැදිය යුතු අන්දම

නිවන් ලැබීමට ඇත්තා වූ එක ම නොවරදින මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ය. නිවන් පසක් කරනු කැමති සත්පුරුෂයන් විසින් කල්‍යාණ මිත්‍ර‍යන් වූ බුදුවරයන් බුද්ධ ශ්‍රාවකයන් ඇසුරු කොට, පින් පව් හා පින් පව්වල විපාක හැඳින ගත යුතු ය. චතුරාර්ය සත්‍ය ධර්මය සැකෙවින් මුත් උගත යුතු ය. එසේ කර ගැනීම පළමුවන මාර්ගාඞ්ගය වූ සම්‍යග් දෘෂ්ටිය ඇති කර ගැනීමය. (චතුරාර්ය සත්‍යය මැනවින් දනු කැමැත්තෝ මෙම කතෘන් වහන්සේගේ ම “චතුරාර්ය සත්‍යය” පොත බලත්වා!)

ඉක්බිති දෙවන මාර්ගාංගය සම්පූර්ණ කරනු පිණිස කාමයන් හළ යුතු ය. කාමයන් හැර දැමීම නම් ගිහි ගෙයින් නික්ම පැවිදි වීම ය. එක වරට ම සියලු කාමයන් නො හැරිය හැකි පින්වතුන් විසින් පෙහෙවස් සමාදන් වීම් ආදියෙන් නෛෂ්ක්‍ර‍ම්‍යය පුරුදු කළ යුතු ය. නෛෂ්ක්‍ර‍ම්‍යයෙන් ලෝභය දුරුවේ. ද්වේෂය දුරු වනු පිණිස සකල සත්ත්වයනට මෙත් වැඩීම ද, දුඃඛිත සත්ත්වයනට කරුණා කිරීම ද පුරුදු කළ යුතු ය. එසේ කිරීමෙන් සම්‍යක් සංකල්ප මාර්ගාඞ්ගය පිරේ.

ඉක්බිති වචනයෙන් සිදු වන පව් සතර හැර වාක් කර්මය ද කයින් සිදුවන පව් තුන හැර කාය කර්මය ද පිරිසිදු කර ගත යුතු ය. දිවි පැවැත්වීමට පව්කම් නො කොට ආජීවය පිරිසිදු කර ගත යුතුය. එසේ කිරීමෙන් සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යගාජීවය යන අංග තුන පිරේ. සිද්ධාර්ථකුමාරයන් වහන්සේ ද ගිහිගෙන් නික්ම පැවිදිව එසේ කළ බව –

“පබ්බජිත්වාන කායෙන – පාපකම්මං විවජ්ජයි
වචීදුච්චරිතං හිත්වා – ආජීවං පරිසොධයි”

යනුවෙන් දක්වා තිබේ. පැවිදි ව කයින් කරන පව්කම් හලෙමි. වාක් දුශ්චරිතය හැර ආජීවය පිරිසිදු කළෙමි” යනු එහි තේරුම ය.

කාමයන් හැර සිල් රක්නා සත්පුරුෂයා විසින් පව් නො කිරීම නිසා කොතරම් අමාරුකම් ඇති වුවත් ඒවා ඉවසමින් මහත් වූ වීර්‍ය්‍යයෙන් ශීලය රක්ෂා කළ යුතු ය. පව් හැර ජීවත්වන්නහුට සමහර විට ආහාර පානාදිය දුර්ලභ විය හැකි ය. එසේ වූ කල්හි සාගින්න ඉවසිය යුතුය. පිපාසාව ඉවසිය යුතු ය. කොතරම් නීරස ආහාරයක් වුව ද වැළඳීමට මැළි නො විය යුතු ය. භික්ෂුවක් නම් වැස්සේ තෙමෙමින් වුව ද පිඬු සිඟා ගැනීමට මැළි නො විය යුතු ය. පහසුව සඳහා පාපයක් නො කළ යුතු ය. එසේ වීර්යයෙන් ශීලය රක්ෂා කිරීම ද වත පිළිවෙත කිරීම ද භාවනාවෙහි යෙදීම ද සම්‍යග් ව්‍යායාමය පිරීම ය.

නිවන් සොයන තැනැත්තා විසින් සිල් රැකීමෙන් ම නො නැවතිය යුතුය. පෘථග්ජනයාගේ ශීලය ස්ථිර වූවක් නො වේ. පෘථග්ජනයා කාමයන් හැර පැවිදිව කොතරම් උග්‍ර‍ තපස් ඇතියකු වුව ද නැවත පස්කම් සුව විඳින්නකු විය හැකි ය. දුශ්ශීලයකු විය හැකිය. එබැවින් සිල් රකිමින් ම මතු නූපදනා පරිදි කෙලෙසුන් නැති කිරීම සඳහා කළ යුතු වැඩවල වහ වහා යෙදිය යුතු ය. මතු ඇති නොවන පරිදි කෙලෙසුන් නැසිය හැක්කේ ලෝකෝත්තර මාර්ගය ඇති කර ගැනීමෙනි. ලෝකෝත්තර මාර්ගය ඇති කර ගනු පිණිස කර්මස්ථාන දායක ආචාර්යවරයකුගේ උපදෙස් පිට භාවනාවෙහි යෙදිය යුතු ය. සතිපට්ඨාන භාවනාවෙහි යෙදීමෙන් සම්‍යක් ස්මෘති මාර්ගාඞ්ගය පිරේ.

සතිපට්ඨාන භාවනාවෙහි යෙදීමෙන් දීර්ඝ කාලයක් නානාරම්මණයන්හි වික්ෂිප්ත ව පැවැත්තා වූ සිත බොහෝ දුරට සන්සිඳීමට පැමිණේ. ඉන්පසු සමාධිය දියුණු කරමින් ප්‍ර‍ථමධ්‍යාන සමාධිය, ද්විතීයධ්‍යාන සමාධිය, තෘතීයධ්‍යාන සමාධිය, චතුර්ථධ්‍යාන සමාධිය යන සමාධීන් අතුරෙන් එක් සමාධියක් හෝ සියල්ල ම හෝ උපදවා සම්‍යක් සමාධිය සම්පූර්ණ කළ යුතු ය. සතිපට්ඨාන හා සමාධි වැඩීම ලෙහෙසියෙන් කළ හැකි නොවේ. සැප විඳීමේ ආශාව හා අධික නින්ද ද හැර මහන්සි නො බලා භාවනාවෙහි යෙදෙන්නා හට සම්‍යක් සමාධිය පිරේ.

මෙසේ ඒ ඒ මාර්ගාංග වෙන් වෙන් ව වඩා විදර්ශනා භාවනාවෙහි ක්‍ර‍මානුකූල ව යෙදෙන්නා වූ තැනැත්තාට මාර්ගාංග වැඩී සියලු ම මාර්ගාංග එක විට ම ලෝකෝත්තරත්වයෙන් පහළ වන්නා වූ අවස්ථාවක් පැමිණේ. එසේ පළමුවර පහළවීම සෝවාන් වීමය. දෙවන වර පහළවීම සකෘදාගාමී වීම ය. තුන්වන වර පහළවීම අනාගාමී වීම ය. සතර වන වර පහළවීම රහත් වීම ය. රහත්වීම නිවන් ලැබීම සඳහා පුරන ප්‍ර‍තිපත්තියේ අවසානය ය.

ආර්ය අෂ්ටාංගික මාර්ගය සංක්ෂේප කළහොත් ශීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්‍ර‍ඥාස්කන්ධය යන මේ ස්කන්ධ තුන වේ. සම්‍යග්වචනය සම්‍යක්කර්මාන්තය සම්‍යගාජීවය යන මාර්ගාංග තුන සීලස්කන්ධයට ඇතුළු වේ. සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධිය යන මේ තුන සමාධිස්කන්ධයට ඇතුළු වේ. සම්‍යග් දෘෂ්ටිය සම්‍යක් සංකල්පය යන දෙක ප්‍ර‍ඥාස්කන්ධයට ඇතුළු වේ.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/n2is5I

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2WOBbJm
සප්ත කල්ප නරකය

මහා කල්ප හතක් ම දුක් විඳියි. මෙහි උපත ලබන්නේ මනු ලොව සිටිය දී ප්‍රසිද්ධ මං මාවත් අපවිත්‍ර කිරීම්, බෝතල් කටු, කටු කැබිලිති ආදිය දැමීම ආදියෙන් අන් අයට ඊර්ෂ්‍යා කරන්නන් ය. වටිනා වටිනා වස්තු විනාශ කරන්නන් ය. ප්‍රසිද්ධ මං මාවත් වල අද බොහෝ දෙනා කුණු දමයි. අපවිත්‍ර දේ සුනඛයන්, බළලුන් , දමනු ලබයි. ගල් , මුල් විසි කර දමයි. අනුන්ගේ සම්පතට ඊර්ෂ්‍යා කරන්නන් මහා කල්ප හතක් ඇති නරකාදියේ උපත ලබා දඬුවම් ලබයි. මේවැනි වැරැදි කරන්නන් අද ලොවේ බොහොම සුලභ වෙයි. ඒ නිසා හොඳින් මතක තබා ගන්න මෙවැනි පාප කර්මවල යෙදෙන අය සමාව ගෙන මින් මතු නොකරන බවට ආයති සංවරයේ පිහිටාගෙන කටයුතු කළ යුතු යි. තමන්ගේ ගෙදර දොර ඇති කුණු කසළ, ගල් මුල්, කටු කැබිලිති ආදිය ගිහින් දමන්නේ මහා පාර අයිනට, අනුන්ගේ වතු වලට, එසේම අනුන්ට ඊර්ෂ්‍යා කරනවා. ගෙවල් හදන අයට , වාහන ගත් අයට , විභාගයෙන් සමත් වූවන්ට ඊර්ෂ්‍යා කරන්නන් , අනුන්ගේ සම්පත් ඉවසන්නේ නැති අය මහා කල්ප හතක් ඇති මෙම නරකාදියේ උපත ලබා අනන්ත දුක් විඳියි. ඒවා වටහාගෙන පවින් වැළකිය යුතු යි. වැඩියෙන් පින් දහම් කළ යුතු යැයි සිතිය යුතු යි. මං මාවත් ශුද්ධ පවිත්‍ර කළ යුතු යි, මං මාවත්වල ඇති අපවිත්‍ර ද්‍රව්‍ය පුළුස්සා දැමිය යුතු යි. අන් සැමටම සෙත් මෙත් පැතිය යුතු යි. ඊර්ෂ්‍යාවෙන් වැළකිය යුතු යි. එවිට ඒ අයට මනු ලොව, දෙව් ලොව උපත ලබා නිවන් සුව විඳිය හැකි යි.

(කහගොල්ලේ සෝමවංශ හිමි)

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2UgEdsW
“සද්ධාධනං සීලධනං හිරිඔත්තප්පියං ධනං
සුතධනං ච චාගො ච පඤ්ඤා මෙ සත්තමං ධනං
යස්ස එතෙ ධනා අත්ථි ඉත්ථියා පුරිසස්ස වා.
අදළිද්දොති තං ආහු අමොඝං තස්ස ජීවිතං

“සද්ධාධනය, සීලධනය, හිරිධනය, ඔත්තප්පධනය, සුතධනය, චාගධනය, පඤ්ඤාධනය යන මේ ධනයෝ යම් ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ ඇත්තාහු වෙත් නම් හේ දුප්පතෙක් නො වේය යි ද ඔහුගේ ජීවිතය හිස් එකක් නො වේ යයි ද ආර්‍ය්‍යයෝ කීහ” යනු එහි තේරුම ය.

සද්ධාධනය යනු බුද්ධාදි රත්නත්‍ර‍ය හා කර්ම, කර්ම ඵලය විශ්වාස කරන ස්වභාවය ය. සීලධනය යනු පඤ්ච ශීලාදි සිල් රැකීම ය. හිරිධනය යනු පාපය පිළිකුල් කරන ස්වභාවය ය. ඔත්තප්පධනය යනු පාපයට බිය වන ස්වභාවය ය. සුතධනය යනු ධර්මය උගත් බවය. චාගධනය යනු දන් දෙන ස්වභාවය ය. පඤ්ඤාධනය යනු නුවණ ය.

සැප ලැබීමට හා දුක් නැති කර ගැනීමට උපකාර වන සත්ත්වයනට ප්‍රීතිය ඇති කරවන දෙය ධන නම් වේ. එය වස්තු ධනය, ගුණ ධනය ය යි දෙවැදෑරුම් වේ. ආර්‍ය්‍යධන වනුයේ ගුණ ධනය යි. මිල මුදල් රන් රිදී මුතුමැණික් ආදි ධනය සමහර විට ධන හිමියාට අනර්ථය පිණිස ද පවත්නේ ය. අර්ථය පිණිස පැවතියත් එසේ පවත්නේ ජීවත් වන කාලය වූ මඳ කලකට පමණය. එය ලෙහෙසියෙන් විනාශ ද විය හැකි ය. එබැවින් ආර්‍ය්‍යයෝ ගුණ ධනය මිස වස්තු ධනය උසස් කොට නො සලකති. ශ්‍ර‍ද්ධාදි ධර්ම සත වනාහි සත්ත්වයනට සියලු සම්පත් ලැබීමට උපකාර වන ධර්ම සතකි. එබැවින් ආර්‍ය්‍යයෝ ඒවා උතුම් ධන වශයෙන් සලකති.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/n2is5I

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2Ib3WvE
සත් කල්ප නරකය

මේ කල්පය මහා කල්ප හයක් දුක් විඳින්න තිබෙන නරකය යි. මෙහි උපත ලබන්නේ දාන, ශීල, භාවනා, පින්කම් කරන අයගේ සිත් කලකිරවන්නන් ය. දන් දෙන්න එපා, සිල් රකින්න එපා, භාවනා කරන්න එපා, මේ ස්ථානයට දන් දෙන්න එපා යනුවෙන් කෙනෙකුගේ සිත කළකිරවීම යි. ඒ වගේම බුද්ධ, ධම්ම. සංඝ රත්නත්‍රයට සිල් වතුන්ට , ගුණ වතුන්ට දෝෂාරෝපණය කරන, අසභ්‍ය වදනින් බැණ වැද දාන මානාදී පින්කම් කරන අයගේ සිත් කිළිටි කරන නිසා, ඒ අය මහා කල්ප හයක් ආයු ඇති, මේ කියන සත්කල්ප නරකාදියට වැටී දුක් විඳියි. එතැන සිටින යම පල්ලන් විසින් ඇදගෙන ගොස් ඒ නරකයට දමා දිය යුතු දෙතිස් වධයම දෙයි. අතපය කපා දමනවා, උල තියනවා , එසේම කෙස් වැටියෙන් ඇද දමා එහෙ මෙහෙ ඇද දමනවා, ගින්නට දමනවා. මෙලෙස අපායේ ඇති සියලුම දඬුවම් ලබා දෙයි. ඒ නිසා හොඳට මතක තබා ගත යුත්තේ දාන මාන පින්කම් කරන අයගේ සිත් කළකිරවන්න එපා. දාන මාන පින්කම් කරන අයගේ ගුණ පවසන්න, එයට සහාය දී උපකාර කරන්න. බුද්ධ, ධම්ම , සංඝ ආදී රත්නත්‍රයට, සිල්වතුන්ට, ගුණවතුන්ට දෝෂාරෝපණයෙන් වැළකිය යුතු යි. බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ පැවසිය යුතු යි. එබඳු අය මනු ලොව ද, දෙව් ලොව ද උපත ලබා ලැබිය යුතු සියලුම සම්පත් ලබයි. මෙම අපායෙන් වැළකී සුගතියකම වාසය කර, නිවන් සම්පත් ලබයි.

(කහගොල්ලේ සෝමවංශ හිමි)