සප්ප සූත‍්‍රය (සර්පයා ගැන වදාළ දෙසුම) මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල…

සප්ප සූත‍්‍රය (සර්පයා ගැන වදාළ දෙසුම)

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ
වැඩසිටියේ රජගහ නුවර “කලන්දක නිවාප” නම් වූ වේළුවනාරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ රෑ ඝන අඳුරේ එළිමහනේ වැඩසිටියා. වැහි පොදත් එක දෙක වැටෙනවා.

එතකොට පවිටු මාරයාට මේ වගේ කැමැත්තක් ඇතිවුනා. ‘භාග්‍යවතුන් වහන්සේව භය කරවන්න ඕන. තැති ගන්වන්න ඕන. මවිල් කෙළින් කරවන්න ඕන’ කියල. ඉතින් ඔහු විශාල නාග රාජයෙකුගේ වේශයක් මවාගත්තා. භාග්‍යවතුන් වහන්සේ
ළඟට ගියා. උගේ ඇඟ තනි ගස් කඳකින් හදාපු ඔරුවක් වගේ. උගේ පෙණය රා පෙරන විශාල පෙරහන්කඩයක් වගේ. උගේ ඇස් කොසොල් රටේ තියෙන විශාල පිඟන් වගේ. වැස්ස වහිනකොට විදුලි එළිය නික්මෙනවා. ඌ කටින් දිව එළියට දානකොට අන්න ඒ වගෙයි. කම්මලේ මයිනහම පිඹිනකොට මහා සද්දයක් එනවා. ඌ ආශ්වාස ප‍්‍රශ්වාස කරන කොට එන්නෙත් ඒ විදිහේ සද්දයක් තමයි.

ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ මේ ඉන්නේ ‘පාපී මාරයා’ කියල හඳුනගත්තා. පාපී මාරයාට ගාථාවලින් මෙහෙම වදාළා.

”සමහර උදවිය පාළු කුටිවල ඉන්නවා. පාළු කුටිවල සැතපෙනවා. අන්න ඔහු මුනිවරයෙක්. තමාව සංවර කරගෙනයි ඉන්නෙ. ඔහු හැමදේකම ආශාව දුරුකරලයි ඉන්නෙ. එබඳු අයට පාළු තැන් කදිමයි.

භයානක වන සතුන් හරියට ඉන්නවා. බිහිසුණු අරමුණු ඕනතරම් තියෙනවා. ලේ බොන මැසිමදුරුවොත්, සර්පයොත් ඕනතරම් ඉන්නවා. නමුත් ඒ පාළු කුටියට වඩින මුනිවරයාගේ ලොම් ගසක්වත් සොලවන්න ඒ එක අරමුණකට වත් බෑ.

ආකාසය පුපුරල ගියත්, පොළොව පුපුරා ගියත්, සකළ සත්ව ප‍්‍රජාවම භීතියෙන් වෙලී ගියත්, පපුවට තියුණු උල්වලින් ඇන්නත්, බුදුවරයන් වහන්සේලා කෙලෙස් වලින් රැකවරණයක් හොයන්නෙ නෑ.”

එතකොට පවිටු මාරයා ‘භාග්‍යවතුන් වහන්සේ මාව දැනගත්තා නෙව. සුගතයන් වහන්සේ මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. අසතුටට පත් වුනා. එතනම නොපෙනී ගියා.
සාදු! සාදු!! සාදු!!!

සූත්‍ර පිටකය/ සංයුත්ත නිකාය01/ මාර සංයුත්තය/ ආයු වග්ගය/ සප්ප සූත්‍රය