පිනට භය නොවන්නැයි වදාළ දෙසුම. ————————————— භාග්‍යවතුන…

පිනට භය නොවන්නැයි වදාළ දෙසුම.
—————————————
භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, පින්වලට භය වෙන්න එපා! පින්වත් මහණෙනි, ‘පින’ කියලා කියන්නේ මේ ඉතා යහපත්, සිත්කළු, ප්‍රිය මනාප වූ සැපයටම කියන නමක්. පින්වත් මහණෙනි, බොහෝ කාලයක් තිස්සේ මා විසින් කරපු පින් නිසා මේ ඉතා යහපත්, සිත්කළු, ප්‍රිය මනාප වූ ආනිශංස විඳපු බව මා දන්නවා. අවුරුදු හතක් මෛත්‍රී සිත වඩපු නිසා, සංවට්ට කල්ප හතක් මේ ලෝකෙට ආවෙ නෑ.

පින්වත් මහණෙනි, කල්පය විනාශ වෙන කොට ආභස්සර බ්‍රහ්ම ලෝකෙට යනවා. කල්පය ආරම්භ වෙන කොට හිස් බ්‍රහ්ම විමානයක උපදිනවා. පින්වත් මහණෙනි, මම තමයි එහෙ බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයාත් මම ම තමයි. මම හැම දෙයම මැඬපැවැත්වූවා. අනභිබවනීය වුනා. සියළු දෙයම තේරෙන කෙනෙක් වුනා. සියළු දෙයම තම වසඟයට පමුණුවා ගත්තා. පින්වත් මහණෙනි, මම තිස් හත් වතාවක්ම දෙවියන්ට අධිපති වූ ශක්‍ර දේවේන්ද්‍රයා වෙලා ඉපදුනා. නොයෙක් වාර සිය ගණන් ධාර්මික, ධර්මරාජ වූ, සතර මහා දිවයින් දිනපු, සියළු සතුරන් දිනපු, සෑම ජනපදයකම ස්ථිර රජු වෙච්ච, ආශ්චර්යවත් වස්තු හතක් ලබපු සක්විති රජ බවට පත්වුනා. ඉතින් එහෙම එකේ ප්‍රදේශයකට රජකම් කරපු වාර ගණන ගැන කියන්න තරම්වත් දෙයක් නෑ. පින්වත් මහණෙනි, මට මෙන්න මෙහෙම හිතුනා. ‘මේ මොන විදිහේ පිනක විපාකයක් නිසාද දැන් මට මේ තරම් ඉර්ධිමත් බවකුත්, මහානුභාව සම්පන්න බවකුත් ලැබිලා තියෙන්නේ?’ කියලා.

පින්වත් මහණෙනි, ඊට පස්සේ මට මේ විදිහට අවබෝධ වුනා.
‘මා විසින් කරපු මේ පුණ්‍ය කර්ම තුනක යහපත් ඵල විපාක ලැබුනු නිසා තමයි දැන් මම මේ තරම් මහා ඉර්ධිමත් වෙන්නෙත්, මහා ආනුභාව සම්පන්න වෙන්නෙත්’ කියලා. ඒවා තමයි, දානයත්, ඉන්ද්‍රිය දමනයත්, සිත, කය, වචනය සංවර කරගැනීමත්.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“යම් කෙනෙක් අනාගතයේ සැප සේ වාසය කරන්න කැමැති නම් ඒ කෙනා දානයත්, සමචරියාවත්, මෛත්‍රී සිත වඩීමත් කියන මේ පුණ්‍ය ක්‍රියාවලම හික්මෙන්න ඕන. ඤාණවන්ත කෙනා සැප උපදවා දෙන මේ කාරණා තුන දියුණු කරලා, දුක් නැති, සැප ඇති ලොවක උපදිනවා.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!