ලැජ්ජා බිය දෙක දේවධර්ම ලෙස දක්වා ඇත. හිිරිඔත්තප්ප සම්පන්නා – සුක්කධම්ම සමාහිතා…

ලැජ්ජා බිය දෙක දේවධර්ම ලෙස දක්වා ඇත.

හිිරිඔත්තප්ප සම්පන්නා – සුක්කධම්ම සමාහිතා
සන්තෝ සප්පුරිසා ලෝකේ – දේවධම්මාති වුච්චරේ

(ජාතකපාලි)

යනුවෙන් හිරි ඔතප් දෙක දේවධර්මය යි වදාරා ඇත්තේ ය. ඒ අනුව අහිරික අනොත්තප්ප දෙක තිරශ්චීන ධර්මය යි කිය යුතු ය. ඒ ධර්ම දෙක ඇති බැවින් තිරිසනාට වළකින්නට දෙයක් නැත.

කිනම් නීච ක්‍රියාවක් වුවද තිිරිසනාට කළ හැකි ය.

අගේගුච්ඡි අහිරිකෝ – පාපා ගූථාව සූකරෝ
අභීරු ච අනොත්තප්පි – සලභෝ විය පාවක

ගූථය පිළිකුල් නො කරන සූකරයා මෙන් අහිරිකයා පාපය පිළිකුල් නො කරන්නේ ය. පළගැටියා ගින්නට බිය නො වන්නාක් මෙන් අනොත්තප්පය ඇත්තේ පාපයට බිය නො වන්නේ ය.

අහිරික අනොත්තප්ප නමැති ලෝක නාශක තිරශ්චීන ධර්ම දෙක හිරිඔතප් නමැති ලෝකපාලක බල ධර්ම දෙක ඇති කර ගැනීමෙන් දුර ලිය යුතුය. ජාතිය වයස ශූරභාවය උගත්බව යන මේ කරුණු සලකා අහිරිකය දුරු කළ හැකිය. මේ පව් කිරීම වැදි කෙවුල් සැඩොල් ආදීන්ට මිස මා වැනි ජාතිසම්පන්නයකුට නුසුදුසුය යි සැලකීමෙන් හිරි ඇති වී අහිරිකය දුරු වේ. පව් කිරීම කොල්ලන් කෙල්ලන්ට මිස මා වැනි වෘද්ධයකුට නුසුදුසුය යි වයස සැලකීමෙන් හිරිය ඇති වී අහිරිකය දුරු වේ. පව් කිරීම කිසිවකට සමත් කමක් නැති අවාසනාවත් පුද්ගලයන්ට මිස දැහැමින් ජීවත් වීමට සමත් මා වැනියන්ට නුසුදුසුය යි ශූරභාවය සැලකීමෙන් හිරිය ඇති වී අහිරික දුරුවේ. පව්කම් කිරීම අඥානයන්ගේ ක්‍රියාවෙක, මා වැනි පණ්ඩිතයකුට උගතකුට පව් කිරීම නුසුදුසු ය යි උගත් බව සැලකීමෙන් ද හිරිය ඇති වී අහිරික දුරු වේ.