කුන්ත රන්කරුවාගේ කතාව (1) රැහුණු දනව්වෙහි මහාගාම නම් පෙදෙසක් විය. ඒ කාලයේදී සද්…

කුන්ත රන්කරුවාගේ කතාව

(1) රැහුණු දනව්වෙහි මහාගාම නම් පෙදෙසක් විය. ඒ කාලයේදී සද්ධාතිස්ස රජ මෙලක්දිව රාජ්‍යය කළේය. (2) ඒ මාගම ආශ්‍රය කොට “ලෝකුරු කුන්ත” නමින් ප්‍රකට රන්කරුවෙක් විය. (3) රජතුමා ඔහු ගෙන්වා මේ රන් තළා මට තලියක් සාදව” යි කියා ඔහුට රන් ප්‍රමාණයක් දුණි. (4) රන්කරුවා යහපතැයි කියා එය බාරගෙන ඒ රන් විකුණා මත්පැන් බී සියල්ල විනාශ කෙළේය. (5) එක් දිනක් රජතුමා “කඹුරා වෙත ගොස් ඒ තලිය ගෙනෙව්” යයි කියා මිනිසුන් යැවීය. (6) ඔවුන් දැක බියපත් කඹුරා බිරිද අමතා “මට වහා බත් සම්පාදනය කරව; මම රන් සොයා ගෙනෙන්ට යන්නෙමි” යි කීය. (7) හෙතෙම කලින්ම නැගිට ඒ ආහාරය අතේ තබාගෙන සූවර්ණභූමියට (වර්තමාන තායිලන්තයට) යන අදහසින් බටහිර දොරටුවෙන් නික්ම ගියේය. (8) වේගයෙන් යන හෙතෙම මග අසළ ගසක් දැක ආහාර අනුභව කරනු කැමතිව ඒ ගස යටට ගොස් වාඩිවිය. (9) වනයෙහි නිරෝධය සමාපත්තියට සමවැදී විසූ තෙරනමක් එයින් නැගිට පිඩු සදහා ගමට ඇතුල්වීමට යන්නේ ඔහු ඉදිරියෙහි නැවතුණේය. (10) තෙරුන් දැක සතුටු වූ හෙතෙමේ ඇගිලි බැද වැද මහත් පැහැදීමක් ඇතිව මෙසේ සිතී: (11) “සුවර්ණභූමියට ගොස් රන් ලබාගැනීමේදී නොයෙක් අන්තරායෝ පැමිණෙති; මේ මහතෙරනම මා ඉදිරියට පැමිණ සිටියි. එබැවින් මා විසින් මේ ආහාරය තෙරුන්ට පිළිගැන්වීමට වටී” යයි සිතා සිත පහදාගෙන ඒ ආහාරය පිරිසිදු සිල් ඇති ඒ තෙරනමට දුණි. (13) තෙරනම භික්ෂාව පිළිගෙන එතැනදීම වලදා ඉතිරි අහර ඔහුට දෙනු කැමතිව (14) “උපාසක මේ විලට බැස විල මැද තිබෙන විශාල නෙළුම් කොළයක් කඩා ගෙනවුත් මේ ඉතිරි ආහාරය අනුභවකරව” යි කීය. (15) ඒ කීම ඇසූ රන් කරුවා විලට බැස මැදට ගොස් නෙළුම් කොළයක් දණ්ඩෙන් කඩා ගත්තේය. (16) එය කැඩූ කෙණෙහි පැහැ විහිදුවන මනහර රන්තලියක් විය. (17) ඒ තලිය ගෙන හෙතෙම තෙරුන් වෙත ආවේය. තෙරනම ඉතිරි අහර ඒ භාජනයෙහි දමා “තගේ පිනින් හටගත් මේ තලියෙන් පළමුව අනුභව කොට සෝදා එය බැදගෙන සියගෙට යව” යි කීය.

(19) හෙතෙම ගෙදර ගොස් අස්නක හිදගෙන සිදු වූ සියලු දෙය බිරිදට කීය. (20) ඕ තොමෝ තුටු පහටු වී ” මේ තලිය රජුට දෙව; එවිට දඩුවමින් මිදිය හැක” යි හිමියාට කීය. (21) රන්කරුවා එය වස්ත්‍රයක ඔතාගෙන ගොස් රජුට වැද තලිය දැක්විය. (22) දිලිසෙන ගින්න මෙන් රැස් විහිදුවන ජාම්බෝනද රන්වල පැහැති ඉතා වටිනා ඒ තලිය දැක රජතුමා (23) ” මෙය මා දුන් රන් නොවේ: තටත් මෙවැනි රන් නැත; මෙය කොතැනින් ලද්දේ දැයි මම විස්මයට පත්වීමි” යි රජතුමා කීය. (24) රජු විසින් එසේ විචාරන ලද හෙතෙම බිය සැක නැතිව සිදු වූ සියලු ප්‍රවෘත්තිය කීය. (25) “එය තට මෙලොව විපාක වශයෙන් ලැබුණකි. මම තට පැහැදුනෙමි. ඇත් අස් රථයන් ද ගමක් හා ජනපදයක් ද තවත් ධනය ද තට දෙමි” යි රජ කීය. (26) මෙසේ රජුන් දෙන ධනය ද හිමියන් නැති නිධාන ද මුහුදෙහි පාවෙන බඩු ද පින් කළහුගේ ගෙට පැමිණෙති. (27) ගුණවතුන්ට දන් දීම මෙසේ නොසිතිය හැකි විපාක ගෙන දෙයි. එය මෙලොව සැපත ගෙන දී පරලොවදීත් විපාක දෙයි. (28) බුද්ධිමත් ජනයා විසින් මෙය අසා දැක තමන් වෙත පැමිණි දක්ෂිණාර්හයන්ට පරිථ්‍යාග කිරීම යෙහෙකි.

හෙතෙම එතැන් පටන් මහාදානපතියෙක් විය. ඔහු විසින් මහා විහාරයක් කරවන ලදී; එහි දොළොස් දහසක් භික්ෂූහු විසූහ. හෙතෙම ඒ සියලු භික්ෂූන්ට සිවුපසයෙන් උපස්ථාන කළේය. තෙවරක් හැම සංඝයාට තුන් සියුරු දුණි. ඒ ලෝකුරු කෙළෙඹියගේ පූර්ව කර්මය මෙසේ දතයුතුය :- හෙතෙම පෙර ජාතියදී පැවිද්දෙක් වී මිදුල හමදින්නේ පිට වැටී තිබුණු වැලි ඇතුලට දමා හැමද කසළ ඉවත දැම්මේය. ඒ කුශලයෙන් හිමියන් නැති ධනය ලබන්නෙක් විය.

පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.

පසුවදන: නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි උතුමන්ට දෙන දානය වරු හතක් තුල විපාක දෙන බව සඳහන් කර ඇත.