මුසා පැවසීම මහා පාප කර්මයකි අද අප ඉගෙන ගන්නේ සමාජයේ බොහෝ දෙනෙකු අනුගමනය නොකරන න…

මුසා පැවසීම මහා පාප කර්මයකි

අද අප ඉගෙන ගන්නේ සමාජයේ බොහෝ දෙනෙකු අනුගමනය නොකරන නමුත් අනුගමනය කළ යුතු වැදගත් ගුණධර්මයක් පිළිබඳව වන සූත්‍ර දේශනාවකි. එම සූත්‍ර‍්‍රය නම් “ මුසාවාදසූත්‍රයයි” මේ සූත්‍රයය අන්තර්ගත වන්නේ සංයුත්ත නිකායේ මහාවග්ගපාලියට අයත් සච්චසංයුත්තයේ දුතිය ආමකධඤ්ඤපෙයපාල වර්ගයටයි. මෙම සූත්‍රය එම වර්ගයේ හතරවැනි සූත්‍රයයි.

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව පරිහරණය කරන්නෙකුට මෙම සූත්‍රය එම ග්‍රන්ථ මාලාවට අයත් 17(2) කෘතියෙන් හෙවත් සංයුත්ත නිකායේ පස්වැන්නෙහි දෙවැනි භාගයේ 338 පිටුවෙන් කියැවිය හැකිය.

බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් සමඟ වැඩ සිටි අවස්ථාවක නියසිළට ගත් පස් බිඳද නැති නම් මේ මහපොළොවද? “

මෙම පැනයට පිළිතුරු දුන් භික්‍ෂූහු පවසා සිටියේ මේ මහපොළොවම ඉතා වැඩි බවයි. තවද භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස් ටික ඉතා ස්වල්පයකි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද පස් ස්වල්පය මහපොළොව හා සන්සන්දනය කිරීමේ දී සන්සන්දනය කිරීමටත් නොහැකි තරමේ ඉතා ස්වල්පයකි.

පස් බිඳක් නියට ගෙන දැක්වූ මේ මාහගි උපමාවෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ වටිනා දහමක් දේශනා කළ සේක.

“එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා, තෙ සත්තා යෙ මුසාවාදා පටිවිරතා.අථඛො එතෙව බහුතරා සක්කායෙ මුසාවාදා අප්පටිවිරතා….”

“ එසේම මහණෙනි, යම් සත්ත්වයෝ මුසාවාදයෙන් වැළකුණාහු නම් ඒ අය අල්පයකි. තවද මුසාවාදයෙන් නොවැළකුණූ සත්ත්වයෝම ඉතා වැඩිපුර සිටිති….”

බුදුරජාණන් වහන්සේ වදාළ මේ කරුණ එදාටත් අදටත් සත්‍යක්මය. විශේෂයෙන් මේ වචනය පිළිබඳව නිරීක්‍ෂණය කිරීමේ දි අද සමාජයේ බොහෝ දෙනෙක් බොරු කීමට පුරුදු වී සිටිති. අද වැඩ කිරීමට හෙවත් ක්‍රියාවට වඩා කථා කිරීමට දක්‍ෂ පිරිසක් බිහිවි සිටිති. වැඩ නැතිව කථා කරන බොහෝ දෙනෙකු ගැන කිව යුත්තේ තමන් තමන්ටවත් අනුන්ටත් අර්ථයක් යහපතක් වන කිසිවක් නොකර සමාජයට බරක් වෙමින් අකුසල් ද රැස් කර ගන්නා පිරිසක් ය කියායි. මේ ‘වචනය’ නිසා බොහෝ දෙනා හානි කර ගනිති. ඇතැම් විට ආර්යයන් වහන්සේලාට උපවාද කොට බොහෝ කාලයක් නිරයේ පැසීමටද හේතු වන්නේ මේ වචනයේ ඇති අසංවර බවයි. කෙනෙකු නිරයේ ඉපිද බොහෝ කාලයක් දුක් විඳවීමට ඇතැම් විට එක වචනයක් හෝ දෙකක් ප්‍රමාණවත් වේ. ඒ මොහොතේ ඇති වු කට වාචාලකමින් පිට කළ වචනයක් දෙකක් නිසා තම ජීවිතය බොහෝ කාලයකට මහත් දුකකට මුහුණ දීමට සිදුවේ. එක් එක් පුද්ගලයා විවිධ විවිධ හේතූන් මත බොරු කීමට පෙළඹේ. ඇතැමෙක් විනෝදයට බොරු කියති. ඒ තැනැත්තා බොරු කීමෙන්ම අනුන් රැවටීමෙන්ම මහත් ආස්වාදයක් ලබයි. නමුත් මේ ආස්වාදය නින්දිත වූවකි. තවත් අය බොරු කියන්නේ තමන්ගේ පුහු පණ්ඩිතකම පෙන්වා ගැනීමටය. කිසිවක් නොදන්නා කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය විවරණය කොට පෙන්වීමේදි වුවද තමන්ට රිසි රිසි ආකාරයෙන් ධර්ම කරුණුවලට අර්ථ විවරණ දක්වයි. එය අසන අය මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ විනය යැයි රැවටී පිළිගත්තද එය සැබැවින්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මවයත් විනයවත් නොවේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විනයේ නිවැරැදි අර්ථ මතු කර ගැනීමට නම් ඒ සඳහා පැවත එන නිවැරැදි අර්ථ විවරණ ක්‍රමය දැන ගත යුතුය. එසේ නොවු විට බුදුන් වහන්සේගේ ධර්මය වැරැදි ලෙස පෙන්වමින් අනුන් රැවටීමෙන් තමන්ගේ වැරැදි මතය ඉදිරිපත් කිරීමෙන් බොහෝ කාලයක් නිරයේ දුක් විඳීමටත් නිවන දුරස්ථ වීමටත් එය හේතුවක් වේ.

අප බුදුරජාණන් වහන්සේගේ ශාසනය කෙරෙහිද, අපට යම් උදව්වක් උපකාරයක් කළ අය වේ නම් ඒ අයට ද කළ ගුණ සැලකිය යුතුය. කෘතඥ විය යුතුය. එසේ නැතිනම් දිව හැරෙන හැරෙන පැත්තට කතා කිරීමෙන් අයහපතක්ම සිදුවේ.

අපි පන්සිල් ගන්නා විට “ මුසාවාදා වෙරමණී සික්ඛා පදං සමාදියාමි “ යනුවෙන් සිකපදයක් සමාදන් වෙමු. මෙහි බොරු කීමෙන් වළකිමි යන්න පමණක් නොව බොරු නොකීමේ බොරුවෙන් වෙන් වීමේ කුසලය ද ඇතුළත් වේ. බුදුරජාණන් වහන්සේ ගැන “මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො සමණො ගොතමො සච්චවාදි සච්චසෙන්‍ධා ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්සා “ ති යනුවෙන් සඳහන් වේ. සමණො ගොතමො ශ්‍රමණ ගෞතමයන් වහන්සේ, මුසාවාදං පහාය – බොරු කීම දුරුකොට ,මුසාවාදා පටිවිරතො, බොරු කීමෙන් වැළකුණෝ , සච්චවාදී, සත්‍යය කියන්නෝ, සච්චසන්සධො, ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නෝ, ථෙතො ස්ථාවර තහවුරුව පිහිටි කථා ඇත්තෝ, පච්චයිකො , හේතු සහිත දෙයක් පමණක් කථා කරති. ඇදැහිය යුතු කථා ඇත. අවිසංවාදකො ලොකස්සාති, ලොව රවටන්නෙක් නොවෙති. අපද බොරු කීමෙන් වෙන් විය යුත්තේ මේ ආකාරයට මය.

දිනක් බුදුරජාණන් වහන්සේ හා රාහුල පොඩි හාමුදුරුවන් අතර ;මවැනි සංවාදයක් සිදු විය. ඔබගේ පාත්‍රයේ තිබෙන්නේ මොනවාදැයි බුදුන් වහන්සේ විමසා සිටියහ. එයට පිළිතුරු දුන් රාහුල හිමියෝ අල්ප මාත්‍ර වූ ජලය ප්‍රමාණයක් ඇති බව පැවසූහ. පාත්‍රය මුනින් නැවීමට බුදුහිමියෝ පැවැසූහ. රාහුල හිමියෝ එසේ කළහ. පාත්‍රයේ දැන් මොනවද? තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ විචාළහ. පාත්‍රයේ කිසිවක් නැති බව රාහුල හිමියන්ගේ පිළිතුර විය. යම් කෙනෙක් බොරු කියනවා නම් ඒ තැනැත්තා මුනින් නැමූ පාත්‍රය මෙනි. ඇතුළේ ඇති දෙයක් නැත. පිටින් එහි පිරෙන්නේ ද නැත. මුනින් නැමූ පාත්‍රය හිස් එකක් මෙන් බොරු කියන තැනැත්තාගේ ජීවිතය ද හිස් එකක් බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට තිබේ.

”අභූතවාදී නිරයං උපෙති
යො චාපි කත්වා න කරොවීති චාහා
උභොපි තෙපෙච්ච සමාභවන්ති
නිහීනකම්මා මනුජා පරත්ථා”

සිදු නොවු දේ අභූ®ත නම් වේ. එසේ සිදු නොවූ දෙයින් යමෙක් ආර්ය උපවාද වශයෙන් බොරු කියනවාද හෙවත් ආර්යයන් වහන්සේලා ට උපවාද කරමින් බොරු කියනවාද, යම් කෙනෙක් පව්කම් කොට කළේ නැත යැයි ප්‍රකාශ කරයි ද ඒ අය පදුම ආදී නිරයට පැමිණෙති’ නිහීන කර්ම ඇති ඒ දෙදෙනාම පරලොවදි නිරයේ ඉපිද සමාන තත්ත්වයකට පත්වේ. දෙදෙනාටම නිරයේ දුක් විඳීන්නට සිදුවේ. එබැවින් අප මේ බොරුකීමට බිය විය යුතුය.බොරු කියන්නෝ නිහීන පුද්ගලයෝ වෙති. මේ මුසාවාදය සම්බන්ධයෙන් බුදුන්වහන්සේ තවත් අවස්ථාවක මෙසේ වදාළ සේක.

“එකං ධම්මං අතීතස්ස
මුසාවාදිස්ස ජන්තුනො
විතිණ්ණපරලොකස්ස
නත්ථි පාපං අකාරියං”

වචනයෙන් ඇත්ත කීම නම් වු එකම ධර්මය ඉක්ම ගියාවූ , බොහෝ කොට බොරු කියන සුලු වු තැනැත්තා දෙව් මිනිස් සැපට ද නිවන් සැපට ද අයිති කරුවෙක්, හිමි තැනැත්තෙක් නොවේ. මෙසේ අවාසනාවන්ත පරලොව ගමනක් ඇති සත්වයාට කරන්නට නොහැකි අකුසලයක් නම් නැත. මෙලෙස බොරු කියන තැනැත්තාට කරන්නට නොහැකි අකුසලයක් නැත යන්නෙන් බොරුව පුද්ගල අධ්‍යාත්මයට ප්‍රබලව හානි කර බව පැහැදිලි වේ.

මෙලෙස බොරු කීම නිරයට පත්වීමට හේතු වන්නාක් මෙන්ම උපන් උපන් ජීවිතවලදී මුඛදුර්ගන්ධය ඇතිවීමට, අවිශ්වාසි වචන ඇත්තෙකු බවට පත්වීමට, අවාසනාවන්ත ජීවිත ලැබීමටද හේතුවේ. එබැවින් පස් පව් අතර හතරවැන්න වන මේ බොරුකීම ඉතා ප්‍රබල පාප කර්මයක් බව අවබෝධ කරගත යුතුය.

තවද බොරු කියන අය ඉතා වැඩිපුර සිටින බවත් බොරු නොකියන බොරු වෙන් වැළකුණු අය අල්ප බවත් මේ සූත්‍රයේ සඳහන් වන බව දැන ගතිමු. ඒ අනුව පැවැසිය යුත්තක්ද ඇත. එනම් බොරුව කරණ කොටගෙන නිරයට යන සත්ත්වයන් බොහෝ බවත් සත්‍යය කරණකොටගෙන සුගතිගාමි වන සත්ත්වයන් අල්ප බවත් ය. එසේ නම් මේ දුලබ මනුෂ්‍ය ජීවිත ලද අය අතුරින් බොහෝ දෙනෙක් බොරු කියා , මුසාවාද තෙපලා අපාගත වෙති. ස්වල්ප දෙනෙක් සත්‍ය වචන තෙපලා, ඇත්ත කියා සුගතිගාමී වෙති.

බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළ වචන නිසාද උන්වහන්සේ තුළින් මහා පෞරුෂයක් දිස්වේ. “භූ®තවාදි “ බුදුරජාණන් වහන්සේ සිදුවු දෙයක් පමණක් දේශනා කළ සේක.”අත්ථවාදි උන්වහන්සේ ප්‍රයෝජනවත්, අර්ථවත් දෙයක් පමණක් දේශනා කළ සේක. “කාලවාදී “ බුදුන් වහන්සේ සුදුසු කලදී දේශනා කළසේක. ඒ ඒ අවස්ථාවට ගැළපෙන අයුරින් දේශනා කළසේක.

බොරුවෙන් වෙන්වීම හේතුකොට ගෙන බොහෝ යහපත් ප්‍රතිඵල අත්වේ. ඒ බව අධිමුත්ත සාමණේරයන් වහන්සේගේ කථා පුවතෙන් ද පැහැදිලි වේ. ඒ හිමියන් සංකිච්ච තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයෙකි.

දිනක් මේ සංකිච්ච හිමියන් අධිමුත්ත සාමණේරයන් වහන්සේ අමතා පවසන්නේ ඔබ දැන් වැඩිමහලු බවත්, උපසම්පදාව කිරීම සඳහා නිවෙසට ගොස් වයස අසා දැනගෙන එන ලෙසත්ය. හිමියෝ සිය මෑණියන් වෙසෙන ගමට යනු පිණිස නික්මී අතරමඟදී සොරුන් සිටින වනයකට ඇතුළු වූහ. සොරු මෙම හිමි නම අල්ලා ගත්හ. කෙනෙකුගෙන් ධනයක් ගන්නට නොමැති විට දී පවා තමන් එහි සිටින බව සෙසු මිනිසුන්ට ආරංචි නොවීම පිණිස වනයට ඇතුළු වුණු අය මරා දැමීම සොරුන්ගේ සිරිතකි. මේ හිමියන් පැවිද්දෙකු නිසා අතහැර දැමීමට සමහර අය කථා කළ අතර සමහරු මැරීමට කථා කළහ. තමන් මරණයට පත්කළහොත් මේ වනයට ඇතුළු වුණු පැවිද්දෙකුටවත් ආපසු එන්නට ලැබෙන්නේ නැතැයි සලකා ඉන්පසු කිසිවෙකු මේ වනයට නොපැමිණෙනවා ඇත යනුවෙන් මේ අධිමුත්ත සාමණේරයෝ පැවසූහ. හිමියන්ගේ කථාව ඇසූ සොරු මේ ප්‍රකාශයෙහි සත්‍යතාව සලකා, තමන් වනයෙහි සිටින බව පෙරමග එන කිසිවකුටවත් නොකිය යුතුය යනුවෙන් උන්වහන්සේ පොරොන්දු කරවාගෙන නිදහස් කළෝය. හිමියෝ ඉදිරියට ගමන් කළහ. සාමණේරයන්ට මඟදී තම මවුපියන්, සහෝදරයා සහ සහෝදරිය එම වනයම පසු කර යන්නට එනවිට හමුවිය. සත්‍යයෙහි පිහිටි ඒ හිමියෝ මේ අයට සොරුන් වනයේ සිටින බවක් නො කීහ. වනයේ දී සොරු එම හිමියන්ගේ නෑ පිරිස අල්වා ගත්හ. එවිට හිමියන්ගේ මව විපත දැන සාමණේර හිමියන් මේ ගැන අපට පැවැසුවේ නැත යැයි පවසමින් හඬන්නට වූවාය. සොරු විස්තර අසා දැන ගත් හ. සාමණේරයන් වහන්සේගේ බොරු නොකීමේ, සත්‍යයෙහි පිහිටා සිටීමේ ගුණයට පැහැදුණෝය. හිමියන්ගේ මේ නෑ පිරිසද නිදහස් කළහ. සොරු සොරකම් කිරීමද අත්හළහ. පැවිදිවී උපසම්පදාව ලබා ගත්හ. අධිමුත්ත හිමියන්ගේ අවවාද අනුශාසනා අනුව කටයුතු කොට සියලු දෙනා පසු කාලයේදී රහත් බවට පත් වූහ. මෙලෙස සත්‍යවාදි වීම හේතුවෙන් සිදුවූයේ මහත් යහපතකි.

යහපත් වචන, සත්‍ය වවන කථා කිරිම පුද්ගලයාගේ ජීවිතයට ශක්තිය සපයයි.ඇතැම් අය තමන් සත්‍ය වචන පාවිච්චි කරන්නේ යැයි ප්‍රකාශ කරමින් වඤ්චක ධර්මවලට හසුවෙති. සමහරු තමන් සත්‍ය වචන ප්‍රකාශ කරනවා යැයි කේලාම් කියති. කේලාම් ඇතැම් විට සත්‍යයක් විය හැකිය. එහෙත් එකිනෙකා බිඳෙන වචන කථා කිරීම පාපයකි. අප කිව යුතු සත්‍යය තුළ ඇති අර්ථ සහිත බව, වැදගත් බව වටී. සත්‍ය වදන් කථා කිරීමෙන් මෙලො වදීම යහපත් ආනිශංස ලැබෙන බවට ඉහත සඳහන් කළ අධිමුත්ත සාමණේරයන් වහන්සේගේ කථා පුවත මනා නිදසුනකි. යහපත් වචනයෙන් පරලොව දීද යහපත් ආනිශංස ලද හැකිවේ.

මහා ඍද්ධිමත් වූ මුගලන් මහ තෙරුන් වහන්සේ දෙවිවරුන් හමුවීමට චාරිකාවේ වැඩි අවස්ථාවක මහේශාක්‍ය දේවතාවකුගේ විමානද්වාරයේ සිට මෙබඳු සම්පතක් ලැබීමට කළ පින්කම් කවරේදැයි විමසා සිටියහ. එවිට එම දේවතාවා පවසන්නේ තමන් දානයක් නුදුන් බවත්, පූජාවක් නොකළ බවත්, ධර්මයක් නො ඇසූ බවත් හුදෙක් සත්‍යය ආරක්‍ෂා කළ පමණින් එබඳු සම්පතක් ලැබූ බවත්ය.

මහ මුගලන් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමුවට වැඩම කොට විමසන්නේ මෙතරම් කුඩා පින්කම් කොට දිව්‍ය සම්පත්තිය ලද හැකිද යනුවෙනි. එවිට බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙතරම් කුඩා පින්කම් කොට වුවද දිව්‍ය සම්පත්තිය ලද හැකි බවයි. තවද බුදුරජාණන් වහන්සේ මෙසේද වදාළ සේක.

“සච්චං භණෙ න කුජ්ඣෙය්‍ය,
දජ්ජා අප්පම්පි යාචිතො;
එතෙහි තීිහි ඨානෙහි,
ගච්ඡෙ දෙවාන සන්තිකෙ “
(ධම්මපද –අට්ඨකථා)

සච්චං භණෙ – සත්‍යය කියන්නේය
න කුජ්ඣෙය්‍ය – කෝප නොගන්නේය
දජ්ජා අප්පම්පි යාචිතො -ඉල්ලන අයෙකුට ටිකක් හෝ දෙන්නේය.

එතෙහි තීහි ඨානෙහි -මේ කරුණු තුනෙන්

ගච්ඡෙ දෙවාන සන්තිකෙ – දෙවියන් කරා යන්නේය.

මෙයින් සත්‍ය වචන කතා කිරීම් මාත්‍රයේ වුව ඇති වැදගත්කම මනාව පැහැදිලි වේ.

ලෝකයේ බොරු නොකියන සත්වයන් අඩු බවත් බොරු කියන සත්වයන් වැඩි බවත් වදාළ බුදුරජාණන් වහන්සේ එයට හේතුව ද වදාළ සේක.

“තං කිස්ස හෙතු? අදිට්ඨත්තා භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං. කතමෙසං චතුන්නං: දුක්ඛස්ස අරියසච්චස්ස….. දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය අරියසච්චස්ස”

දුක නම් වූ ආර්ය සත්‍යය නොදුටු බැවින්, දුකෙහි සමුදය හෙවත් දුක හට ගැනීමට හේතුව නම් වූ ආර්ය සත්‍යය නොදුටු බැවින්, දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍යය නොදුටු බැවින්, දුක්ඛ නිරෝධ ගාමිනි ප්‍රතිපදා ආර්ය සත්‍යය හෙවත් දුක් නිරෝධය පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය නොදුටු බැවින් යන මේ චතුරාර්ය සත්‍යය නොදුටු බැවිනි. එසේ නම් ලොව මුසාවාදය වැඩි වීමට හේතුව වන්නේ ලෝකයෙහි යථා තත්ත්වය ඇති සැටියෙන් නොදැනීමයි.ඇත්ත ඇති සැටියෙන් නොදැන බොරුවට වසග වූ අය බොරුම පවසති. තමන් ද බොරුවක සිර වී අන් අයද බොරුවෙන් රැවැටීමට උත්සාහ දරති. බොරුවෙන් ලොව රවටා මුළා කරති. නොදැනීම නිසා මෙසේ වැරැදි කරන සත්වයන්ට ඒ හේතුවෙන් මේ ජීවිතයේ දීද නොයෙක් දුක් ගැහැට විඳීමට සිදුවේ. මරණින් මතු අපා ගත වී බොහෝ කාලයක් අපා දුක් විඳීමට සිදු වේ. උපන් උපන් භවවලදී මුඛ දුර්ගන්ධය ඇතිවීමද විශ්වාසය නැති අවිශ්වාසි කථා ඇත්තන් බවට පත් වීමද සිදුවේ. එබැවින් මේ සා දුක් පමුණුවන අසත්‍යයට නැවැතීම තැබිය යුතුය.අසත්‍යයට නැවැතුම තබා සත්‍යාවබෝධය කළ යුතුය. බුදුරජාණන් වහන්සේ තවදුරටත් මෙසේ වදාළ සේක.

“ තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති
යොගො කරණීයො. අයං දුක්ඛසමුදයොති
යොගො කරණීයො. අයං දුක්ඛනිරොධොති
යොගො කරණීයො. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.”

“මහණෙනි, එහෙයින් මෙහිලා මේ දුක්ඛ යැය වීර්යය කළ යුතුය. මේ දුක්ඛ සමුදය යැයි වීර්යය කළ යුතුය. මේ දුක්ඛනිරෝධ යැයි වීර්යය කළ යුතුය.මේ දුක්ඛ නිරෝධගාමිනි පටිපදා යැයි වීර්යය කළ යුතුය.”

එසේ නම් අප මෙහිදී අවබෝධ කර ගත යුතු කරුණක් ඇත. එනම්, අප මේ මුළාවකට අසත්‍යයකට රැවටී සිටින බව යි. ඒ මුළාවෙහි පැටලුණු විට, අසත්‍යයට රැවැටුණු විට අන්‍යයන්ද මුළා කරවීම සිදුවේ. අන්‍යයන්ද රැවටීම සිදුවේ. චතුරාර්ය සත්‍යය නොදැනීමේ දෝෂයෙන් අපි කවුරුත් රැවැටීමෙන් මහත් වූ දුකක් විඳිමු. මේ තත්ත්වය වටහා නොගෙන අප මහත් වූ මුළාවකට පත් වී ඇති බවට හොඳ උදාහරණයක් මෙසේය. අපි පසුගිය කාලයේ තේලකටාහගාථා සංස්කරණයක් කළෙමු. තේලකටාහගාථා යනු කැලණියේ තිස්ස හිමියන් තෙල් කටාරමට දැමූ විට එහි දැවෙමින් සිට කියූ ගාථාවේ . එහි මේ සංසාරය, සමාජය වේදිකාවකට සමාන කොට දක්වා තිබේ. වේදිකාවක නාට්‍යයක් රඟ දක්වන විට එක අවස්ථාවක පැමිණෙන ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අම්මා සහ පුතා චරිත රඟ දක්වති. ඒ දෙදෙනා වේදිකාවෙන් බැස යති. නැවතත් වෙනත් ස්වරූපයකින් ඒ දෙදෙනාම වේදිකා ගත වෙති. ඒ ස්වාමි පුරුෂයා හා බිරිඳ වශයෙනි. මේ රඟපෑම නාට්‍යයකට නිසා නම් කම් නැත. එහෙත් සැබැවින්ම මේ සිදුවීම සිදුවේ නම් එය කෙතරම් ජුගුප්සාජනක ද? සැබැවින්ම මෙම සිදුවීම මේ සංසාරය නම් වූ වේදිකාව තුළ සිදුවේ. එනම්, මේ ජීවිතයේදි අම්මා සහ පුතා යන චරිත නිරූපණය කරන අය ඊළඟ ජීවිතයේදි බිරිඳ සහ ස්වාමිපුරුෂයා විය හැකිය. මේ ජීවිතයේදි පියා සහ දියණිය යන චරිත නිරූපණය කරන අය ඊළඟ භවවලදී ස්වාමියා, බිරිඳ විය හැකි ය. මේ ආකාරයට මේ අය එක් එක් ජීවිතවලදි නොයෙක් නොයෙක් චරිත රඟ දක්වති. සැබැවින්ම මේ තත්ත්වය ජුගුප්සාජනකය. කරුණු මෙසේ බැවින් මේවා නුවණින් සලකා බලන අය දුකෙන් නිදහස් වීමට සසරින් වහ වහා ඉවත්වීමට උත්සාහ දරති.

මේ සසර සැඩ පහරක් මෙනි. සැඩ පහරකට හසු වූ අයකුට තමන්ට කැමැති ආකාරයට යා නො හැකිය. සැඩ පහරට හසුවෙන හසුවෙන අයුරින් එහි ගසාගෙන යයි. ඒ නිසා මේ සසරෙහිත් අපට අවශ්‍ය අයුරින් ගමන් කළනොහැකිය. අපි සාරි, කළිසම්, කමිස ආදි ඇඳුම් අපට අවශ්‍ය අයුරින් තෝරා ගනිමු. එහෙත් අපට මේ ජීවිතයේ දී මේ ආකාරයෙන්මත් ඊළඟ ජීවිතයේ දී මේ මේ ආකාරයෙන්මත් ජීවත්වෙනවා. උපදිනවා කියා සිතේ කැමැත්තට අනුව පැවැතිය නොහැකි ය. සංසාරයේ සැබෑ ස්වරූපය මෙයයි.

අපි එක් අවස්ථාවක තෝරා ගන්නා දෙය තවත් අවස්ථාවක වෙනත් අයුරකින් තෝරා ගනිමු. එක අවස්ථාවක හොඳ හැටියට ගන්නා දෑ තවත් මොහොතකදී අපට අප්‍රසන්නම පිළිකුල්ම දෑ විය හැකිය. තරුණයකු තරුණියක සමඟ මිත්‍රව සිටින විට ඔහු සිය මිතුරිය හමුවන්නේ චොක්ලට්, මල් ආදි තෑගි භෝගද රැගෙන යමිනි. එහෙත් තත්ත්වය වෙනස් වී ආදරය අහිමි වූ දාට චොක්ලට් ගෙන ගිය අතින්ම පිහිය රැගෙන යනවා විය හැකිය. ඇය සැනසූ තරුණයා අතින්ම විනාශයක් සිදු වනවා විය හැකිය. එබැවින් මේ කාමයන් නම් ලැබෙන තුරු තෘප්තිමත්ය. සුවදායකය. එහෙත් නොලැබෙන විට ඊට ද්වේශ කරයි. ඊතල පහර කෑ අය මෙන් දඟලයි.

බුදුරජාණන් වහන්සේ සුත්තනිපාතයේ කාම සූත්‍රයේදී මෙසේ වදාළ සේක.

“කාමං කාමයමානස්ස තස්ස චෙතං සමිජ්ඣති,
අද්ධා පීතිමනො හොති ලද්ධා මච්චො යදිච්ඡති”

කාමය කැමැති වන පුද්ගලයාට ඉඳින් ඒ කාමය සමෘද්ධ වේ නම් එකල්හි ඒ සත්වයා කැමැති වන ඒ වස්තුව ලැබ ඒ කාන්තයෙන් සතුටු සිත් ඇත්තෙක් වෙයි.

“සස්ස චෙ කාමයානස්ස ඡත්දජාතස්ස ජන්තුනො,
තෙ කාමා පරිහායන්ති සල්ලවිද්ධොව රුප්පති”

කාම වස්තු කැමැති වන, ඇති වූ තණ්හා ඇති ඒ පුද්ගලයාගේ ඒ කාමයන් ඉඳින් පිරිහේ නම් එවිට ඒ තැනැත්තා උලකින් පහර කෑ අයකු මෙන් පෙළෙයි.

එබැවින් අපි මේ සංසාරයේ ඇති භයානක තත්ත්වය අවබෝධ කර ගනිමු. මුළාවෙන් මුළාවී යන මේ ගමන නවතා අසත්‍යයට නැවැතුම තැබීමට උත්සාහවත් වෙමු.

(සච්චසංයුත්තයෙහි මුසාවාද සූත්‍රය ඇසුරු කෙරිණි)
……………………….
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමි
………………………..
උපුටා ගත්තේ බුදුසරණ අන්තර්ජාල කලාපයෙනි