සත්තභරියා සූත්‍රය (සප්ත භාර්යාවන් ගැන වදාළ දෙසුම) ——————————…

සත්තභරියා සූත්‍රය (සප්ත භාර්යාවන් ගැන වදාළ දෙසුම)
—————————————————————–

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවා ගෙන පාත්‍රය හා සිවුර ගෙන අනේපිඬු සිටුහුගේ නිවසට වැඩි සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක.

එසමයෙහි අනාථපිණ්ඩික ගෘහපතියාගේ නිවසෙහි මිනිස්සු උස් හ`ඩින් මහ හඬින් ඝෝෂා කරමින් සිටිති. එකල්හී අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් අනාථ පිණ්ඩික ගෘහපතියා හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“කිම, ගෘහපතිය, ඔබ නිවසෙහි මිනිස්සු මසුන් මරණ තැනක කෙවුලන් සෙයින් උස් හ`ඩින් මහ හඬින් කුමක් නිසා ඝෝෂා කරන්නහු ද?”

“ස්වාමීනී, මේ සුජාතාවෝ ආඪ්‍ය වූ ආඪ්‍ය කුලයකින් ගෙනෙන ලද්දී කුලදියණිය යි. ඕ නැන්දනියට ද සවන් නොදෙයි. මාමණ්ඩියට ද සවන් නොදෙයි. සැමියාට ද සවන් නොදෙයි. භාග්‍යවතුන් වහන්සේට ද සත්කාර නොකරයි. ගරු නොකරයි. බුහුමන් නොකරයි. නොපුදයි.”

එකල්හී භාග්‍යවතුන් වහන්සේ සුජාතා කුලදියණිය ඇමතූ සේක.

“සුජාතාවෙනි, මෙහි එව.”

“එසේ ය, ස්වාමීනී” යි සුජාතා කුලදියණිය භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියා ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස් ව සිටියා ය. එකත්පස් ව හුන් සුජාතා කුලදියණියට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“සුජාතාවෙනි, පුරුෂයෙකු හට මේ භාර්යාවෝ සත් දෙනෙකි. ඒ කවර සත් දෙනෙක් ද යත්;

වධකියක හා සමාන වූ බිරිඳකි. සෙරක හා සමාන වූ බිරිඳකි. ආර්යාවක හා සමාන වූ බිරිඳකි. මවක හා සමාන වූ බිරිඳකි. සොයුරියක හා සමාන වූ බිරිඳකි. යෙහෙළියක හා සමාන වූ බිරිඳකි. දාසියක හා සමාන වූ බිරිඳකි.

සුජාතාවෙනි, මේ වනාහී පුරුෂයෙකුට සිටින සප්ත භාර්යාවෝ ය. ඔබ මෙයින් කවර තැනැත්තියක් ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරණ ලද මේ භාෂිතයෙහි අර්ථය විස්තර වශයෙන් නොදනිමි. ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරණ ලද මේ භාෂිතයෙහි අර්ථය විස්තර වශයෙන් යම් අයුරකින් දැනගන්නෙම් ද, එසෙයින් භාග්‍යවතුන් වහන්සේ මා හට ධර්ම දේශනා කරන සේක් නම් මැනැවි.”

“එසේ වී නම් සුජාතාවෙනි, අසව. මැනැවින් මෙනෙහි කරව. පවසන්නෙමි.”
“එසේ ය ස්වාමීනී” යි සුජාතා කුලදියණිය භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නා ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

(ගාථා)
1. යම් තැනැත්තියක් දුෂ්ට සිත් ඇත්තී, හිතානුකම්පා නැත්තී, අන්‍ය වූ පුරුෂයන් කෙරෙහි ඇලුනී, තම ස්වාමියා ඉක්මවා සිතන්නී ද, ධනයෙන් මිලට ගන්නා ලද්දී, සැමියාට වධ දීම පිණිස උත්සාහ කරන්නී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය වධකියක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

2. ස්ත්‍රියකගේ ස්වාමියා ශිල්පයෙන් වේවා, වෙළඳාමෙන් වේවා, ගොවිතැන් කර්මාන්තයකින් වේවා යම් ධනයක් උපයයි ද, ඒ ස්ත්‍රිය ඒ ධනයෙන් ස්වල්පයක් නමුත් සොරකම් කරනු කැමැත්තී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය සෙරක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

3. යම් තැනැත්තියක් නිවසෙහි වැඩකරන්නට නොකැමැත්තී ද, අලස වූවා ද, බොහෝ කොට අනුභව කරන්නී ද, සැඩ පරුෂ වූවා ද, දරුණු වචන පවසන්නී ද, ස්වාමියාගේ නැගී සිටි වීරියෙන් කළ යුතු කටයුතු මැඩ සිටින්නී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය ආර්යාවක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

4. යම් තැනැත්තියක් හැම කල්හී සිය සැමියාට හිතානුකම්පා ඇත්තී ද, මවක් දරුවෙකු රකින සෙයින් සැමියා රකින්නී ද, ඔහු විසින් උපයන ධනය ත් රකින්නී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය මවක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

5. යම් තැනැත්තියක් වැඩිමහල් සොයුරා කෙරෙහි බාල නැගණිය යම් සේ පවත්නී ද, එසෙයින් සිය ස්වාමියා කෙරෙහි ගෞරව ඇත්තී, ලැජ්ජා සිත් ඇත්තී, ස්වාමියාගේ වසඟයෙහි සිටින්නී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය සොයුරියක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

6. යම් තැනැත්තියක් මෙහි බොහෝ කලකින් තමන්ට මුණ ගැසුණු යහළුවකු දැක සතුටු වන යෙහෙළියක සෙයින් සිය සැමියා දැක සතුටු වන්නී ද, කුලයෙහි වසන සිල්වත් ව, මනා පිළිවෙත් ඇති ව සිටින්නී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය යෙහෙළියක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

7. ස්වාමියා විසින් දඬු මුගුරු ගෙන පහර දී තර්ජනය කරන ලද්දී නමුත් නොකිපෙන්නී, දුෂ්ට සිත් නැත්තී, සැමියාගේ වරද ඉවසන්නී ද, නොකිපෙන්නී, සැමියාගේ වසඟයෙහි සිටින්නී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය දාසියක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

8. මෙහිලා යම් බිරිඳක් වධකියක් යැයි කියනු ලබන්නී ද, සෙරක් යැයි, ආර්යාවක් යැයි කියනු ලබන්නී ද, දුස්සීල ගති ඇති, ඵරුෂ වූ, ආදර රහිත වූ ඒ බිරින්දෑවරු මරණින් මතු නිරයෙහි උපදිති.

9. මෙහිලා යම් බිරිඳක් මවක් යැයි, සොයුරියක් යැයි, යෙහෙළියක් යැයි, දාසියක් යැයි කියනු ලබන්නී ද, සීලයෙහි පිහිටි, බොහෝ කල් සංවර ව වාසය කරන ඒ බිරින්දෑවරු මරණින් මතු සුගතියෙහි උපදිති.

සුජාතාවෙනි, මේ වනාහී පුරුෂයෙකුට සිටින සප්ත භාර්යාවෝ ය. ඔවුන් අතුරින් ඔබ කවරී ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම අද පටන් ස්වාමියාගේ දාසියක හා සම වූ බිරිඳ වශයෙන් පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

~ සත්තභරියා සූත්‍රය – අංගුත්තර නිකාය – 4 (සත්තක නිපාතය) ~