තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක ලොව පහළ වී මේ සංසාරික ජීවිතය පිළිබඳ…

තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක ලොව පහළ වී මේ සංසාරික ජීවිතය පිළිබඳ ඉතාමත් පැහැදිලිව ධර්මය දේශනා කරන්නේ අකුසලයෙන් මිදී කුසල් වඩා සතර අපායේ නොවැටී සංසාර දුකෙන් අතමිදීමටයි. සතර අපායට අයත් වන ප්‍රථම ස්ථානය වන්නේ නිරයයි. බොහෝ දෙනකු පිළිනොගන්නා ස්ථානය බවට පත්වී තිබෙන්නේ නිරයයි. තමන්ගේ පියෙවි ඇසට දැක ගැනීමට නොහැකි නිසා අපාය, දිව්‍යලෝක පිළිබඳත් ප්‍රේත ලෝක පිළිබඳත් බොහෝ දෙනෙක් පිළි නොගනිමින් තමාට කැමැති පරිදි කම් සැප විඳිමින් අකුසල් කරමින් මරණින් පසුව නිරයට වදිති. එබැවින් මේ ලිපිය මඟින් එවන් චින්තනයක් දරන ඇත්තන්ට නිරය පිළිබඳ යම් හැඟීමක් ඇතිකොට නිරයට යෑමට හේතුවන කරුණුවලින් මුදවාලීමට උත්සාහ ගැනේ.

නිරය පිළිබඳ සවිස්තරාත්මක කරුණු මජ්ඣිම නිකායේ තෙවැනි කොටසේ දේවදූත සූත්‍රය තුළින් ඉදිරිපත් කර ඇත. එහිදී නිරයට වැටෙන සත්වයාට දුක් විඳීමට සිදුවන ආකාරය අප භාග්‍යවතුන් වහන්සේ ඉතා මැනවින් දේශනා කොට තිබේ. කෙසේ නමුත් මේ ලිපිය මඟින් පැහැදිලි කෙරෙන්නේ නිරයට යෑමට හේතුවන කරුණු කාරණාවන්ය. මේ ලිපිය සඳහා අංගුත්තර නිකායෙහි දෙවැනි කොටසෙහි චතුක්ක නිපාතයෙහි පළමුවැනි නිරය – සග්ගනික්ඛිත්ත සූත්‍රයේ සිට නවවැනි නිරය – සග්ගනික්ඛිත්ත සූත්‍රය දක්වා සූත්‍ර උපයෝගී කර ගැනේ.

පළමුවැනි නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රයට අනුව යම් කෙනෙකු තුළ පහත සඳහන් අගුණ දම් තිබේ නම් නිරයට යෑමට සිදුවේ. යමකු කාය දුශ්චරිතය, වචී දුශ්චරිතය, මනෝ දුශ්චරිතය හා මිථ්‍යා දෘෂ්ඨිය ඇතිව වාසය කරයි නම් මෙලොවින් සමුගන්නා විට ගෙනවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයේ උපදී. එමෙන්ම දුතිය නිරය සග්ග නික්ඛිත්ත සූත්‍රයට අනුව, කාය, වචී, මනෝ යන දුශ්චරිතවලට අමතරව යම් කෙනකු අකෘතඥව කටයුතු කරන්නේ නම් එයද නිරයට යෑමට හේතුවන්නකි. සතුන් මැරීම, සොරකම් කිරීම, වැරැදි කාම සේවනය සහ බොරු කීම යන වැරැදි ක්‍රියා සතර යමකු සිදුකළහොත් එයද නිරයට යෑමට හේතු වෙන බව තෙවැනි නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රයෙන් දැක්වේ. සතරවැනි නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රයට අනුව, යම් කෙනකු මිථ්‍යාදෘෂ්ඨික වුවහොත් එමෙන්ම මිථ්‍යා සංකල්පයෙන් යුක්ත වේ නම් මිථ්‍යාවාචාවෙන් යුක්ත වේ නම් මිථ්‍යා කර්මාන්තයෙන් යුක්ත වේ නම් ඔහුට හෝ ඇයට නිරයේ ඉපදීමට සිදුවේ.

පස්වැනි නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රයට අනුව, යම් කෙනකු මිථ්‍යාජීවයෙන් යුක්ත නම් මිථ්‍යා ව්‍යායාම්වලින් යුක්ත නම් මිථ්‍යා සතියෙන් යුක්ත නම් මිථ්‍යා සමාධියෙන් යුක්ත නම් ගෙනවුත් බහා තබන සෙයින් නිරයේ ඉපදීමට සිදු වන්නේය. සය වැනි නිරය සග්ග නික්ඛිත්ත සූත්‍රයට අනුව, යම් කෙනකු තමන් නොදුටු රූපායතන ගැන දැකගත්තා යයි හඟවන්නේ නම් නොඇසූ ශබ්දායතන පිළිබඳ ඇසුවා යැයි ප්‍රකාශ කරයි නම් අනෙකුත් ආයතන පිළිබඳ ඒවා විඳගත් බව නොවිඳම ප්‍රකාශ කරයි නම් අනවබෝධාත්මක ධර්මය අවබෝධ බව හඟවන්නේ නම් එයද නිරයේ ඉපදීමට හේතු වෙයි. එමෙන්ම සත්වැනි නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රයට අනුව, රූපආයතන පිළිබඳ දැනීමක් ඇතිව නොදන්නා ලෙස සිටී නම් ශ්‍රවණායතන පිළිබඳ දැනීම ඇතිව නොදන්නා ලෙස සිටී නම් අනෙකුත් ආයතන පිළිබඳත් දැනගෙන නොදන්නා ලෙස සිටී නම් අවබෝධ කරගෙනම නොදන්නා ලෙස සිටී නම් ගෙනවුත් බහා තබන දෙයක් ලෙස නිරයේ උපදියි.

නිරයට යෑමට හේතුවන කරුණු මීළඟට දැන ගන්නට ලැබෙන්නේ අටවැනි නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රයට අනුවයි. යමකුට ශ්‍රද්ධාව නැතිනම්, ශීලය නැතිනම්, පවට ලජ්ජා නැතිනම්, පවට බය නැතිනම් නිරයට යෑමට සිදුවෙයි. එමෙන්ම නවවැනි නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රයට අනුව, යමකුට ශ්‍රද්ධාව නැතිනම්, ශීලය නැතිනම්, කම්මැලි නම්, ප්‍රඥාව නැතිනම් ගෙනවුත් බහා තබන ලෙස නිරයේ ඉපදීමට සිදුවෙයි.

ඉහත සඳහන් සූත්‍ර දේශනාවලට අනුව පෙනී යන්නේ සතුන් මැරීම, සොරකම් කිරීම සහ වැරැදි කාම සේවනය යන කාය දුශ්චරිතවල යෙදෙන, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම සහ හිස්වචන කීම යන වචී දුශ්චරිතවල යෙදෙන, දැඩි ලෝභය, තරහ, මිථ්‍යා දෘෂ්ඨිය යන මනෝදුශ්චරිතයේ යෙදෙන පුද්ගලයාට නිරයට යෑමට සිදුවන බවයි. එමෙන්ම අකෘතඥ කළගුණ නොදන්නා පුද්ගලයාටද නිරයට යෑමට සිදුවෙයි. දන්දීමෙහි විපාක නැත, පුද පූජා පැවැත්වීමේ විපාක නැත, ඇප උපස්ථාන කිරීමේ විපාක නැත, කුශලාකුශල කර්මවලට විපාක නැත, එලොව සිට එන අයට මෙලොවක් නැත, මෙලොව සිට යන අයට පරලොවක් නැත, මව යනු විශේෂ කෙනකු නොවේ, පියා යනු විශේෂ කෙනකු නොවේ, ඕපපාතිකව සත්වයන් උපදින්නේ නැත, මෙලොවත් පරලොවත් විශිෂ්ට නුවණින් දැනගෙන ධර්මය කියාදෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත යන මිථ්‍යාදෘෂ්ඨික අදහස් තිබේ නම් එයද නිරයට යෑමට හේතුවේ. කාම සංකල්පයෙන්, ව්‍යාපාද සංකල්පයෙන් සහ හිංසා සංකල්පයෙන් යුක්ත නම් නිරයට යෑමට සිදුවේ. වැරැදි ලෙස ධනෝපායනය කරමින් මිථ්‍යා ආජීවයෙන් කටයුතු කරයි නම්, මිථ්‍යා ව්‍යායාමයෙන් යුක්තව කටයුතු කරයි නම් එනම් නූපන් අකුසල් ඉපදවීමට උත්සාහ දරයි නම් උපන් අකුසල් වැඩි දියුණු කිරීමට උත්සාහ දරයි නම් නූපන් කුසල් ඉපදවීමට උත්සාහ නොදරයි නම් උපන් කුසල් වැඩි දියුණු කිරීමට උත්සාහ නොදරයි නම් නිරයට යෑමට හේතුවේ. එමෙන්ම මිථ්‍යා සමාධි ඇත්නම්, එයද නිරයගාමී වීමට හේතුවකි. එසේම තමා නොදුටු රූපායතන පිළිබඳ නොඇසූ ශබ්දායතන පිළිබඳ නොවිඳි අන් ආයතන පිළිබඳ අවබෝධ නොකළ ධර්ම පිළිබඳ තමා දැක ගත් බව තමා ඇසූ බව තමා විඳි බව තමා අවබෝධ කළ බව දැක්වීමද නිරයට යෑමට හේතුවන්නකි. එමෙන්ම දුටු රූපායතන පිළිබඳ ඇසූ ශබ්දායතන පිළිබඳ, විඳි අන් ආයතන පිළිබඳ, අවබෝධ කළ ධර්ම පිළිබඳ තමා නොදුටු බව, නොඇසූ බව, නොවිඳි බව, අවබෝධ නොකළ බව දැක්වීමද නිරයගාමීවීමට මඟ පාදයි. එමෙන්ම ශ්‍රද්ධාව නැතිවීම එනම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිනොගැනීම, ශීලවන්ත නොවීම, පව් කිරීමට ලජ්ජා නැතිවීම, පව් කිරීමට බය නැතිවීම යන කරුණු නිසා නිරයට යාමට සිදුවේ.

නූතන සමාජයේ ඇතැම්හු කිසිදු බියකින් සැකයකින් තොරව පාපකාරී ක්‍රියාවල යෙදෙති. ඉතාමත් පහත් මට්ටමේ ක්‍රියාවලට පෙළැඹෙති. එහෙත් යමකු ඉහත සඳහන් පාපකාරී ක්‍රියා කළහොත් ඔහුට හෝ ඇයට ඉන් ගැලවීමක් නම් නැත. මෙලොවදී මොනතරම් කෙරුවාවල් කොට බේරුනත් නිරයේදි නම් ගැලවීමක් නැත. මෙහිදී අල්ලස් දී වෙනත් බලපෑම් කොට නීතියේ රැහැනින් ගැලවුණත් නිරයට ගියවිට යමරජුට අල්ලස් දී යමපල්ලන්ට බලය පෙන්වා බේරීමට නොහැකි බව කොයි කව්රුත් කල්පනා කළ යුතුය. එබැවින් ඉහත කරුණු සැලකිල්ලට ගෙන, අපායට යෑමෙන් වැළැකී උතුම් ධර්මයට යොමු වී උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට සෑම කෙනෙකුම අධිෂ්ඨාන කර ගන්න. තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඔබට ඒ වාසනාව භාග්‍යය උදාවේවා!

තෙරුවන් සරණයි!

පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!