ධම්මානුස්සති භාවනාව – ධර්මයෙහි ගුණ මෙනෙහි කිරීම ධර්මයේ හාස්කම… මේ ලෝකය වියළි කත…

ධම්මානුස්සති භාවනාව – ධර්මයෙහි ගුණ මෙනෙහි කිරීම

ධර්මයේ හාස්කම…
මේ ලෝකය වියළි කතරක් නම්, ඒ වියළි කතර තෙමා ඇද හැළෙන දිය දහරාව තමයි සම්මා සම්බුදු මුවින් පිටවුණ ඒ ශ‍්‍රී සද්ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහල මේ ශෝක වැලපීම් තිබුණ සන්තානයන් පිරිසිදු කරගෙන සුවපත් වුණා. අංගුලිමාල වගේ නපුරු චිත්ත සන්තාන තිබුණු නපුරු ගති තිබුන මිනිසුන් මල් පෙත්තක් වගේ සිනිදු ගතිගුණ ඇති කරගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින්. සිහි විකල් වෙලා පාරක් පාරක් ගානෙ දිව ගිය පටාචාරා වැනි අහිංසක කාන්තාවන් වීරෝධාර, බලසම්පන්න, ගුණසම්පන්න භික්ෂුණීන් බවට පත්වුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින්.

ජීවිතයට ධර්මය….
ඔබේ ජීවිතය සුවපත් කරන්නත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පුළුවනි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමයි චතුරාර්ය සත්‍යය ධර්මය. ඔබ උදෑසන අවදිවෙන කොට ඒ චතුරාර්ය සත්‍යය ධර්මය ගැන ශ‍්‍රවණය කරන්නට ලැබෙනවා නම්, චතුරාර්ය සත්‍යය ධර්මය අසන්නට ලැබෙනවා නම්, ඔබට සිහි කරන්නට ලැබෙනවා නම්, ඔබ දුර්ලභ දෙයක් හිතන කෙනෙක්.

ඒ බුද්ධිමය පරිවර්තනය ලඟා කරගන්න…
බුදුරජාණන් වහන්සේලා පහළ වීමේ ඉලක්ක දෙකක් නෑ. එකම ඉලක්කයයි තියෙන්නෙ. ඒ තමයි චතුරාර්ය සත්‍යය ධර්මය කියා දීම. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමෙන් දුකට පත් සත්වයා සැප කරා යනවා. සංසාර ගමන තුළ ඉපදෙමින් මැරෙමින් භව ගමනක යන සත්වයා ඒ සතර අපා දුකින් නිදහස් වෙලා භව ගමනින් නිදහස් වෙලා සදාකාලික සැප ඇති අමා නිවන කරා යනවා. මේ නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම කියල කියන්නෙ මනුෂ්‍ය සන්තානයක ඇතිවුණ බුද්ධිමය හාස්කමක්. බුද්ධිමය පරිවර්තනයක්. බුද්ධිමය පෙරළියක්. ඒ නිසා ඒ බුද්ධිමය හාස්කම, ඒ බුද්ධිමය පරිවර්තනය සිද්ධ වන්නට නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබ දැනසිටිය යුතුයි.

අසිරිමත් සදහම් ගුණ …
ඒ චතුරාර්ය සත්‍යය ධර්මය මනාකොට දේශනා කරපු නිසා ඒ ධර්මය ස්වාක්ඛාත වන සේක. ඒ ධර්මය මේ ජීවිතයේදී දැක්ක හැකි නිසා ඒ ධර්මය සන්දිට්ඨික වන සේක. ඒ ධර්මය ඕනෑම කාලයක අවබෝධ කළ හැකි නිසා අකාලික වන සේක. ඒ වගේම ඒ ධර්මය ඇවිත් බලන්න කියල ඕනෑම කෙනෙකුට පෙන්වා දිය හැකි නිසා ඒහිපස්සික වන සේක. ඒ ශ‍්‍රී සද්ධර්මය තමා තුළට පමුණුවාගෙන, තමා තුළ දියුණු කරගත යුතු නිසා ඕපනයික වන සේක. ඒ ශ‍්‍රී සද්ධර්මය ඕනෑම බුද්ධිමත් කෙනෙකුට තමාගේ බුද්ධිය මෙහෙයවා සාක්ෂාත් කරන්නට පුළුවන් නිසා, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූුහී වන සේක.
වෙන කිසිවකින් ලැබෙන්නෙ නෑ…
මෙන්න මේ ආකාරයට ඔබ නිති පතා වඳින පුදන, ඒ ශ‍්‍රී සද්ධර්මයේ ගුණාංග සිහිකිරීම ධම්මානුස්සති භාවනාවයි. ධම්මානුස්සති භාවනාව යම්කිසි කෙනෙකුට කරගන්නට පුළුවන් වෙන්නෙ ඒ කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන සිටියොත් පමණයි. ඒ නිසා ඔබට ලැබෙන මේ සුන්දර පණිවිඩය ඔබේ ජීවිතයේ ඔබ කොතරම් රූපවාහිනිය නැරඹුවත්, කොතෙකුත් පොත් පත් බැලූවත්, කොතෙකුත් පුවත් පත් බැලූවත්, නවකතා – කෙටිකතා කියෙව්වත්, නොයෙකුත් වැඩසටහන්වලට සවන් දුන්නත් ඒ කිසිම දෙයකින් ඔබට ලැබුණේ නැහැ. ඔබේ හදවතේ දුක් දොම්නස් පහ කරන්නට සමත් වුණේ නෑ.
නමුත් ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සවන් දුන්නා නම්, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබේ හද මඬලේ තැන්පත් කරගත්තා නම්, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඔබේ ජීවිතය තුළින් සිතන්න පටන් ගත්තා නම්, ඔබ ඒ ධර්මය තුළින් ලෝකය දකින්න පටන් ගත්තා නම්, ඔබේ ජීවිතය ටිකෙන් ටික සුවපත් වෙන්න පටන් ගන්නවා. ඔබ ධර්මය තුළට යන සැනසිලි ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත්වෙනවා. අන්න ඒ නිසා ධම්මානුස්සති භාවනාවේ මේ මොහොතේ ඉඳලා යෙදෙන්න. ධම්මානුස්සති භාවනාවේ ස්වල්ප වෙලාවක් හෝ යෙදෙමින් ඔබේ ජීවිතය තුළට ඒ ධර්මය ලබාගන්න.

– ධම්මානුස්සති භාවනාව –

ස්වාක්ඛාත ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් ඉතාම යහපත් ලෙස ශ‍්‍රී සද්ධර්මය දේශනා කරන ලදී. එම ශ‍්‍රී සද්ධර්මයේ ආරම්භය වූ සීලයත් ඉතාම යහපත්ය. එහි මැද කොටස නම් වූ සමාධියත් ඉතාම යහපත්ය. එහි අවසාන කොටස නම් වූ ප‍්‍රඥාවත් ඉතාම යහපත් කොට දක්වන ලද්දේය. අර්ථ සහිතව පෙන්වා දෙන ලද්දේය. පැහැදිලි වචන වලින් පෙන්වා දෙන ලද්දේය. අතිශයින් ම පරිපූර්ණ වූ පාරිශුද්ධ වූ නිකෙලෙස් ජිවිතය පෙන්වා දෙන ලද්දේය.
එම නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ශ‍්‍රී සද්ධර්මය ඉතා යහපත් කොට වදාළ හෙයින් ස්වාක්ඛාත වන සේක. මෙසේ ස්වාක්ඛාත වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ ස්වාක්ඛාත වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

සන්දිට්ඨික ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් වදාරණ ලද ශ‍්‍රී සද්ධර්මය මේ ජීවිතය තුළ දී ම අවබෝධ කළ හැකි වන සේක. ඒ ශ‍්‍රී සද්ධර්මය සීල, සමාධි, ප‍්‍රඥා වශයෙන් දියුණු කළ හැකි වන සේක. ඒ ශ‍්‍රී සද්ධර්මය සෝවාන් මාර්ග – ඵල, සකදාගාමී මාර්ග – ඵල, අනාගාමි මාර්ග – ඵල, අරහත් මාර්ග – ඵල වශයෙන් අවබෝධ කර ගත හැකි වන සේක. ඒ ශ‍්‍රී සද්ධර්මය චතුරාර්ය සත්‍යය ධර්මය වශයෙන් මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි වන සේක.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ‍්‍රී සද්ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි නිසා සන්දිට්ඨික වන සේක. මෙසේ සන්දිට්ඨික වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ සන්දිට්ඨික වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

අකාලික ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ‍්‍රී සද්ධර්මය ඕනෑම කාලයකදී ඒ ආකාරයෙන්ම අවබෝධ කළ හැකි වන සේක. ඒ ධර්මයේ සඳහන් වන සීල, සමාධි, ප‍්‍රඥා හෝ මාර්ග ඵල හෝ චතුරාර්ය සත්‍යයාදී ධර්මයන් සදාකාලික සත්‍යයක් වශයෙන් පවතින නිසා ඕනෑම කාලයකට අවබෝධ කළ හැකි වන සේක.
මෙසේ අතීත, අනාගත, වර්තමාන භේදයකින් තොරව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ශ‍්‍රී සද්ධර්මය අවබෝධ කළ හැකි නිසා අකාලික වන සේක. මෙසේ අකාලික වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ අකාලික වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

ඒහිපස්සික ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ‍්‍රී සද්ධර්මය ඇවිත් බලන්නැ’යි දක්වාලන, දෙව් මිනිසුන් අතරට විවෘත භාවයට පත් වූ සේක.
රහස් බණ, රහස් උපදෙස්, සැඟවී කතා බස් කිරීම් නොමැති මේ ශ‍්‍රී සද්ධර්මය හිරු මඬල දක්වන්නා සේ සඳමඬල දක්වන්නා සේ හඬ නගා පෙන්වා දිය හැකි සේක. මෙසේ නුවණින් විමසා බලන්නැ’යි දෙව් මිනිස් ලෝකයා හමුවේ විවෘතව තබන ලද නිසා, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ශ‍්‍රී සද්ධර්මය ඒහිපස්සික වන සේක.
මෙසේ ඒහිපස්සික වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ ඒහිපස්සික වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

ඕපනයික ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ‍්‍රී සද්ධර්මය මනාකොට ශ‍්‍රවණය කිරීමෙන්ද, මනාකොට ධාරණය කිරීමෙන්ද, වචනයෙන් පුරුදු කිරීමෙන්ද, නුවණින් මෙනෙහි කිරීමෙන්ද, ධර්මානුධර්ම ප‍්‍රතිපත්තියේ යෙදීමෙන්ද, තම තමන් ගේ ජීවිත තුළට පමුණුවා ගත යුතු හෙයින් ඕපනයික වන සේක.
මෙසේ ඕපනයික වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ ඕපනයික වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූහී ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ‍්‍රී සද්ධර්මය වනාහී ඕනෑම ජාතියක, ඕනෑම ගෝත‍්‍රයක, ඕනෑම කුලයක, කපටි නැති, මායා නැති, අවංක ගති ඇති ප‍්‍රඥාවන්තයින් හට තම තම නැණ පමණින් වෙන් වෙන් වශයෙන් අවබෝධ කළ හැකි නිසා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූුහී වන සේක.
මෙසේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූුහී වන ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූුහී වන ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!