'නාථකරණ සූත‍්‍රය – 6 කොටස' ප‍්‍රශ්නය : ආහාරය දුක්ඛ සත්‍යයට අයිති බව ඔබ වහන්සේගේ…

‘නාථකරණ සූත‍්‍රය – 6 කොටස’

ප‍්‍රශ්නය : ආහාරය දුක්ඛ සත්‍යයට අයිති බව ඔබ වහන්සේගේ දේශනාවේදී සඳහන් වුනා. ඒක තව ටිකක් පැහැදිලි කරන්න.

ආහාරය අයිති දුක්ඛ සත්‍යයට. ආහාරයෙන් හටගත්ත ස්කන්ධ ටිකත් අයිති දුක්ඛ සත්‍යයට. අභිධර්මයෙ, යමක ප‍්‍රකරණයෙ, සච්ච යමක කියලා කොටසක් තියෙනවා. ඔය සච්ච යමකයේ සත්‍යය කියන එක දෙආකාරයකින්
පෙන්නනවා. යමක කියන්නේ දෙකක් කියන එක. යමක ප‍්‍රාතිහාර්ය කියන්නේ. ප‍්‍රතිහාර්ය දෙකක්. යමක ශාලා කියන්නෙ ශාලා දෙකක්. යමක ප‍්‍රකරණය කියන්නේ ප‍්‍රශ්න දෙක දෙක තියෙන්නෙ. ධම්ම පදයෙ යමක වග්ගය කියලා කියන්නෙ.

යමකප‍්‍රකරණයෙ තථාගතයන් වහන්සේම ප‍්‍රශ්නයක් අහලා තථාගතයන් වහන්සේම විසඳනවා.

සමුදය සමුදය සත්‍යයද?
සමුදය සත්‍යය සමුදය ද?
සමුදය සමුදය වේ. සමුදය සත්‍යය නොවේ.
සමුදය සත්‍යය සමුදය ද වේ. සමුදය සත්‍යය ද වේ.

ඒ කිව්වේ දැන් සමුදය කියලා කිව්වට ඔක්කොම සමුදය සත්‍යයට අයිති නෑ. සමුදය සත්‍යයක් තියෙයි නම් ඒ සමුදය සත්‍යය සමුදයක් ද වෙනවා. සමුදය සත්‍යයක් ද වෙනවා.

හොඳයි දැන් අපි තේරෙන භාෂාවෙන් සමුදය කියන්නෙ මොකක්ද කියලා තෝරා ගනිමුකො.

සමුදය කියන්නෙ ඇතිවීම, හට ගැනීම. යම් ඵලයක් උපදින එකට කියනවා හටගන්නවා කියලා. දැන් ගහක් ගත්තොත් සමුප්පන්න. ඒ ගහ හටගන්න බීජයක් තියෙනවා නම් ඒකට කියනවා සමුදය කියලා. සමුදය නමැති හේතුවෙ ඵලය තමයි ගහ. සමුදය කියන්නේ සමුදය සත්‍යයයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු එකට ම ද කියලයි ප‍්‍රශ්නය අහන්නෙ.

ලෝකෙ සමුදය කියලා යමක් තියෙයි නම් ඒ සමුදය කියන සියල්ල බුදුරජාණන් වහන්සේ පෙන්නපු සමුදය සත්‍යය කියන එකට අයිතිද කියලා ප‍්‍රශ්නයක් අහනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමුදය කියලා යමක් තියෙනවා නම් ඇතිවීම කියලා යමක් තියෙයි නම් ඒ සියල්ලම සමුදය සත්‍යයයි කියලා පෙන්නපු එකට අයිති නැහැ. හැබැයි සමුදය සත්‍යය කියලා පෙන්නපු එක
සමුදය සත්‍යයටත් අයිතියි ඒක ද සමුදයත් ඇති කරවන ධර්මයක් කියලා පෙන්නුවා.

කන බොන ආහාරය නිසා රූපය හැදෙනවා. ආහාර සමුදයො රූප සමුදයො, කියනකොට එතන ආහාර සමුදයෙන් රුප සමුදය වෙනවා කියන තැන සමුදය සත්‍යය නැහැ. එතන සමුදයක් විතරයි.

ස්පර්ශ සමුදයො වේදනා සංඥා සමුදයො. ස්පර්ශය නිසා වේදනා සංඥා හටගන්නවා කිව්වහම එතන සමුදය සත්‍යය නැහැ, සමුදයක් විතරයි. නාම රූප සමුදයො විඤ්ඤාණ සමුදයො කියනකොට නාම රූපයාගේ ඇතිවීමෙන් විඤ්ඤාණය ඇතිවෙනවා කියන තැන සමුදය සත්‍යය නැහැ, සමුදය විතරයි.

හැම වෙලාවෙම තණ්හාව තමයි සමුදය සත්‍යය වෙන්නෙ. තණ්හාව කියන්නෙ දුක ඇති කරවන හේතුව. දුක ඇතිකරන නිසා තණ්හාව සමුදයක් ද වෙනවා. ඒක තථාගතයන් වහන්සේ වදාළ සමුදය සත්‍යයට ද අයිතියි. සමුදය සත්‍යය කියන තැන හැම වෙලාවෙම කෙලේසයකින් පනවන්නෙ.

ආහාරය කියන තැන කෙලේසයකින් පැනෙව්වොත් රහතන් වහන්සේලාට පවතින්න බෑ. සමුදය කියන එක සමුදය සත්‍යයට අයිති වුනොත් – සමුදය දුරු කිරීමෙන්නෙ නිරෝධය සාක්ෂාත් කරන්න වෙන්නෙ – එහෙනම් රහතන් වහන්සේට නිරෝධය සාක්ෂාත් කරන්න වෙන්නෙ නැහැ.

දුක පිරිසිඳ දකින්න
සමුදය දුරු කරන්න
නිරෝධය සාක්ෂාත් කරන්න

එතකොට නිරෝධය සාක්ෂාත් වෙන්නෙ සමුදය දුරු කිරීමෙන්. සමුදය කියන්නෙ, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ‘යායං තණ්හා පෝනෝභවිකා නන්දිරාග සහගතා තත‍්‍ර තත‍්‍රාභි නන්දනී’ යම් තණ්හාවක් තියෙනවා නම් පුනර්භවය පිණිස පවතින, සතුටින් ඇලෙන, ඒ ඒ තැන සතුටුවෙන, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මෙන්න මේ තණ්හාවට කිව්වා සමුදය කියලා. මොකද දුක ඇතිකරවන නිසා. එතකොට ඒක සමුදයක් වෙනවා. ඒ වගේම සමුදය සත්‍යයත් වෙනවා.

ඊට පස්සෙ නිරෝධය කියන එක පැනෙව්වෙ මොකකින්ද කියලා බලන්න.

‘යො තස්සායෙව තණ්හාය අසේස විරාග නිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො’

ඒ තුන් ආකාර තණ්හාවගේම ඉතුරු නොකොට නැති කිරීමෙන්, අත්හැර දැමීමෙන්, ගෙවා දැමීමෙන්, මිදීමෙන් නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන්.

එතකොට සමුදය දුරු කිරීමම නිරෝධය සාක්ෂාත් වීම වෙනවා නම් සමුදය තියෙන්න බෑනෙ. ඉතින් සමුදය කියන තැන සමුදය සත්‍යය තිබුනොත් ඒ කියන්නෙ කෙලේසයක් තියෙනවා කියන එක.එහෙම වුනොත් රහත් වෙනවා කියන එකක් වෙන්නෙ නෑ.

ඒ නිසා හැම වෙලාවෙම සමුදය සත්‍යය කියලා පෙන්නනකොට ඒක සමුදයක් වෙනවා, ඒකෙන් යම් ධර්මයක් ඇතිකරනවා. හැබයි සමුදය සත්‍යය තියෙන හැම තැනකම කෙලෙස් කියලා දකින්න. ඊට මෙහා සමුදය කියලා පෙන්නන තැන් තියෙනවා. ඒවා යම් ඵලයක් ඇති කරවනවා තමයි හේතුවක් ඇති කරවනවා තමයි. නමුත් කෙලෙස් නෙවෙයි. දුක් වූ හේතු ටිකකින් දුක් වූ ස්කන්ධයෝ උපද්දනවා. ඒ නිසා ඒ ටික ඔක්කොම අයිති ආහාර ප‍්‍රත්‍යයට. ඒක දුක්ඛ සත්‍යයටයි අයිති.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් දේශනා කරන ලද නාථකරණ සූත‍්‍රය මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!