'නාථකරණ සූත‍්‍රය – 7 කොටස' ප‍්‍රශ්නය : ස්වාමීන් වහන්ස, ඇහෙන් රූපයක් දකින විට කෙ…

‘නාථකරණ සූත‍්‍රය – 7 කොටස’

ප‍්‍රශ්නය : ස්වාමීන් වහන්ස, ඇහෙන් රූපයක් දකින විට කෙලෙස් නුපදින විදියට දකින්නේ කොහොමද?

ඇහෙන් රූපයක් දකින විට කෙලෙස් නූපදින විදියට දකින්න නම් ‘දකිනවා කියන ධර්මතාවය’ දකින්න ඕන. ඒ කියන්නේ අපිට රූපයක් පේනවා කියලා සිද්ධවෙන සිද්ධිය මොකක්ද? එහෙම සිද්ධවෙන තැනක තියෙන ධර්මතාවය මොකක්ද කියලා දැක්කොත් තමයි කෙලෙස් නොහටගන්නෙ. කෙලෙස් නොහටගන්න ක‍්‍රම තුනක් තියෙනවා.

තදංග ප‍්‍රහාණය
විෂ්කම්භන ප‍්‍රහාණය
සමුච්ෙඡ්ද ප‍්‍රහාණය

ඇහෙන් රුපයක් දකිනකොට අවස්ථාවට විතරක් අපි අනිත්‍ය හෝ දුක් හෝ අනාත්ම හෝ මනසිකාරයක් මුල් කරගෙන විරාග මනසකින් යුක්තව රූපය දිහා බලනකොට කෙලෙස් උපදින්නෙ නෑ. එතකොට තදංග වශයෙන්
කෙලෙස් ප‍්‍රහාණය වෙලා.

යම්කිසි කෙනෙක් රුපාවචර හෝ අරුපාවචර ධ්‍යාන මට්ටමට හිත හොඳට වැඩුවහම, සමාධිගත වුනහම ඒ සමාධිගත මනසක ඉඳගෙන රූපාරම්මණ, ශබ්දාරම්මණ ආදී ආරම්මණ පරිහරණය කරද්දිත් කෙලෙස් උපදින්නෙ නෑ. ඒක විෂ්කම්භන ප‍්‍රහාණය.

රූපයක් පේනකොට, රූපයක් පේනවා කියන තැන පවතින්නෙ මෙන්න මෙබඳු ඇත්තක් කියන කාරණාව පිළිබඳ රූපයක් දකින්න කලම නුවණයි. කිසිම වෙලාවක බෝට්ටුව පෙරලූනාට පස්සෙ පීනන්න ඉගෙන ගන්නවා කියලා එකක් බෑ. කලින් ඉගෙන ගෙන තිබුනොත් බෝට්ටුව පෙරලූන වෙලාවට පීනන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ආයතන වලත්. ආයතන පරිහරණය කරන කොටම නොඇලී, නොගැටී ඉන්න නුවණක් හදාගන්නවා කියලා එකක් යෙදෙන්නෙ නැහැ. ආයතන ටික පරිහරණය කරන්න කලම එයා ගාව නුවණක් තියෙන්න ඕන, ඇස් ඉදිරිපිටට එන රූපය මෙබඳු එකක්. ඒ රූපය හැදිලා තියෙන්නෙ මේ ආකාරයට. ඒ හේතු නිරුද්ධ වෙනකොට රුපය ද නිරුද්ධ වෙනවා. ඒ රූපයේ ඇත්ත මේකයි කියන දැනුම අපි ළ`ග තියෙන්න ඕන. එහෙම වුනොත් තමයි ඇහැට රූපය ගැටෙන කොටම අර ඥාන දර්ශනය සිහි කරන්න පුළුවන් වෙන්නෙ. එහෙම නැතිවුනාම ඇහැට රූපය ගැටෙන කොටම ඇතිවෙන්නෙ කෙලෙස්.

ඒ නිසා මේ ඇත්ත ඇති හැටිය දන්නා වූ දක්නා වූ නුවණක් තියාගෙන ආයතන පරිහරණය කරනකොට සමුච්ෙඡ්ද වශයෙන්ම කෙලෙස් නැතිවෙනවා. ඕකෙදි තව කාරණාවක් තේරුම් ගන්න ආයතනයන්ගෙන් ලෝකය
පරිහරණය කරන්න කලම, ආයතන ගැන, ආයතනයන්ගෙන් ලෝකය හදලා පෙන්නන ධර්මතාවය ගැන, ඒක ඇතිවෙන නැතිවෙන හේතු ටික ගැන අපේ නුවණ තියෙන්නම ඕන. එහෙම තිබුනොත් ඒ ඥාන දර්ශනය මේ පෙනීමත් එක්කම අවදිවෙයි මිසක එහෙම නොවුනොත් අවදිවෙන්නෙ අපේ මනසෙ තියෙන ආශ‍්‍රව, කෙලෙස්. ලෝකෙට වෙන්නෙ ඒකයි. ඇස් ඉදිරියට රූපයක් එනකොට අවදිවෙලා, නැගිටලා එන්න ඉන්ද්‍රිය නැහැ. දොර ඉස්සරහා පිළිගැනීමේ නිලධාරියා විදියට ඉන්නෙ කවුද? නීවරණ ධර්ම, ආයතනයන්ට යමක් හම්බවෙන කොටම නීවරණ ධර්ම තමයි සිහිපත් වෙන්නෙ. නීවරණ සහගත චිත්තයකින් තමයි අපි දැනගන්නෙ.

රූපයක් පෙනෙන්න කලින්ම, අපි ළ`ග ඒ රූපය අරබයා ඇත්ත ඇති හැටිය දන්න දකින ඥානයක් තියෙන්නට ඕන. ඒ ඥානය තියෙන කොට ඇහැට රූපයක් පේනකොට ම නැගිටලා, අවදිවෙලා එන්නෙ ඒ නුවණ. දැන් තියෙන අපේ මනස නෙවෙයි, බුදු දහම අහලාවත් නැති කාලෙ ඇස් ඉදිරිපිටට යමක් හම්බවෙනකොට ආයතනයන්ගේ ඇත්ත දකින පැත්තට සිහිවුනොත් පුදුමයක් නේද? කවදාවත් අපි ළ`ග නැති දෙයක් ඇති විදියට තියෙයිද?

එතකොට කියන්නෙ අවිද්‍යාව නිසා ආශ‍්‍රව කියලා. ඇත්ත ඇති හැටිය නොදන්නකොට අපේ මනසෙ හුරු පුරුදු ගති ටික යෙදෙනවා. ඇත්ත ඇති හැටියෙ දකින එකට කියන්නෙ විද්‍යාව කියලා. ඇත්ත ඇති හැටිය දන්නා වූ
දක්නා වූ නුවණක් තියෙනවා නම් අපි මේ ආයතනයන් පරිහරණය කරනකොට, ඇහෙන් රූපයක් දකිනකොටම ඥාන දර්ශනය තමයි සිහිවෙන්නෙ.

අපි ඒ ඥාන දර්ශනය යෙදෙන ගතිය එන්න එන්න වැඩි කරන්න ඕන. වැරැුද්ද සිහිවෙන ගතිය අඩුකරලා නිවැරැුද්ද, ඇත්ත දකින ගතිය එන්න එන්න වැඩි කරන එකට තමයි ‘ඉන්ද්‍රිය’ වඩනවා කියලා කියන්නෙ. වැරැද්ද එන එක නතර කරලා නිවැරැුද්ද විතරක්ම එන එකට තමයි අපි ‘බල’ කියලා කියන්නෙ.

ඊට පස්සෙ වැරැුද්ද එන්නෙම නෑ. නිවැරැුද්ද විතරක් එන මට්ටමට තමයි ‘බොජ්ඣංග’ කියන්නෙ. ඒ මට්ටමට ආවම තමයි සම්මා දිට්ඨි – දැකීම නිවැරදිමයි කියලා තහවුරු වෙන මට්ටම එන්නෙ එතකොට.

මේ ප‍්‍රතිපදාව වඩන්න පුළුවන් කියලා කියන්නෙ, සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප‍්‍රධාන, සතර සෘද්ධි පාද, පංච ඉන්ද්‍රිය , පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාගය කියලා කියන්නෙ ඔය විදියට වැරැද්දෙ ඉන්න අපි කළ්‍යාණ මිත‍්‍ර ඇසුර, සද්ධර්ම ශ‍්‍රවණයෙන් නිවැරැුද්ද ඉගෙන ගෙන හිතේ හිතේ හුරු පුරුදු කරන්න ඕන. හුරු පුරුදු කළහම මුලදි ඇහැට රූපයක් පේනකොට අමතක වෙලා වැරැුද්ධර්ම සිහිවෙනවා. නමුත් ‘නෑ නෑ අපිට රූපයක් පේන තැනක තියෙන ඇත්ත වර්ණ සටහනක්නෙ. ඇහෙන් බලපු නිසා රූපය ඉපදිලානෙ පේන්නෙ. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවනේ කියලා හිතනවා. තවම මුකුත් තේරෙන්නෙ නැහැ. සමහරවිට වචන ටිකක් විතරයි.

ඕක ටික ටික වැඩි දියුණු වෙන්න ඕන. ඔය ටික වැඩි දියුණු කරලා ඉන්ද්‍රිය, බල, බොජ්ඣංග මට්ටමට ගන්න මෙහෙන් කරන්න තියෙන්නෙ සතර සතිපට්ඨානය වඩන එක. කාය, වේදනා, චිත්ත, ධම්ම, සතර සම්‍යක් ප‍්‍රධන්
වීර්යයෙන් වඩනවා. එහෙම වඩනකොට ඡුන්ද, චිත්ත, විරිය, වීමංසා කියන සතර සෘද්ධීපාද වැඩෙනවා. මේ ටික මුලින් කරන්න හරි අපහසුයි. නමුත් පස්සෙ කිසිම අපහසුවකින් තොරව කැමැත්තෙන් හිත සතුටින් කරන්න
පුළුවන් මට්ටමට එනවා.

ඊට පස්සෙ තමයි ඉන්ද්‍රිය කියන එක එන්නෙ. ඇහැට රූපයක් හම්බවෙනකොට ඔය කතා කරන ඥාන දර්ශනය ටික ටික ඉදිරිපත් වෙන්න ගන්නවා. එහෙම නැතුව අපි මේ දර්ශනය දැන් ඉගෙන ගත්තා කියලා මෙහෙම හිත හිතා හිටියට හරියන්නෙ නෑ. ඔය දර්ශනයම එන්න ඕන ඉන්ද්‍රියවල. බොජ්ඣංගවල. ඒකට තියෙන්නෙ සතර සතිපට්ඨානය සතර සම්‍යක් ප‍්‍රධන් වීර්යෙන් වඩන්න.

ඒකර්මයි මං හැම වෙලේම කියන්නෙ මේ දර්ශනය ඉගෙන ගන්න. ඉගෙන ගෙන බලන්න. මේ නාම රූප දෙකක් තියෙන්නෙ. රූපය මෙහෙමයි හැදිලා තියෙන්නෙ කියලා බලන්න කියන්නෙ. ඒ විදියට බලනකොට බලනකොට වෙන්නෙ නීවරණ ධර්ම අඩුවෙනවා. හිතේ විසුරුන කම අඩු වෙනවා. චිත්ත ඒකාග‍්‍රතාවයක් ඇති කරනවා.

අරමුණක් හම්බ වෙනකොට ඉබේම සිහිවෙන්න වැරැුද්ද නැත්නම්, වැරැුද්ද ඉබේම සිහි කරන ගතිය නතර වෙලා නම් සමාධියෙන් කරන්නෙ ඒක. එතකොට මේ නිවැරැුද්ද, අහගත්ත ඉගෙනගත්ත දේ සිහි කරන්න ඉඩ තියෙනවා.

ඔන්න ඔය විදියට බලනකොට කෙලෙස් සමුච්ෙඡ්ද වශයෙන්ම නැතිවෙනවා. ආශ‍්‍රව ධර්ම නූපදින ස්වභාවයට පත් වෙනවා. කෙලෙස් ධර්ම නූපදින ස්වභාවයට පත්වෙනකොට ස්පර්ශ ආයතන හයේ හටගන්න අරමුණුවල සැබෑම ස්වභාවය නුවණින් දකින බව මනසෙ ස්ථාවරව තියෙනවා. අකෝප්‍යයි. අන්න එතෙන්ට තමයි අපි රහතන් වහන්සේ කියලා කියන්නේ.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් දේශනා කරන ලද නාථකරණ සූත‍්‍රය මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!