'නාථකරණ සූත‍්‍රය – 11 කොටස' ප‍්‍රශ්නය : අවිද්‍යා මූලික සහ තණ්හා මූලික කියන දෙක…

‘නාථකරණ සූත‍්‍රය – 11 කොටස’

ප‍්‍රශ්නය : අවිද්‍යා මූලික සහ තණ්හා මූලික කියන දෙක පැහැදිලි කර දෙන්න.

අවිද්‍යා මූලික හා තණ්හා මූලික කියලා පටිච්ච සමුප්පාදයෙ ක‍්‍රම දෙකක් තියෙනවා. පංච උපාදානස්කන්ධය හටගන්න ආකාර දෙකක්. ප‍්‍රතිසන්ධි වශයෙන් පංච උපාදානස්කන්ධය හැදෙනකොට තණ්හා මූලිකයි. ප‍්‍රතිසන්ධි මට්ටමේ ඉඳලා ආයතන ටික හැදෙන තැන දක්වා තණ්හා මූලිකයි. පෙනෙනවා, ඇහෙනවා කියන තැනක ඇත්ත නොදන්නාකම නිසා අද අපි යම් යම් දේවල් හිතලා තීරණය කරලා ඒ හිතන තීරණය කරන විදියට බලන කොට උපදින ස්කන්ධ ටික අවිද්‍යා මූලිකයි.

ප‍්‍රතිසන්ධී වශයෙන් විඤ්ඤාණය රූපෙකට බැසගෙන, නාම රූප වෙලා, නාම රූප නිසා ආයතන හැදිලා, ආයතන සවිඥානක වෙලා. ස්පර්ශ වෙලා වේදනාව ඇතිවෙන තැන දක්වාම තණ්හා මූලිකයි. ඒ පෙනෙන ඇහෙන දේ ගැන ඇත්ත ඇතිහැටිය නොදන්නාකම නොදකිනකම නිසා ඒකට කැමති වෙලා ඒක බලන්න යන්න ඕන කියලා හිතෙන් සිහි කරලා ආයතන උපද්දනකොට ආයෙත් මේ චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඇහැ රූප චක්ඛු විඤ්ඤාණ කියන ටික උපදිනවා. දැන් මේ ආයතන ටික සවිඥානක වෙලා තියෙන්නෙ තණ්හා මූලිකව පුරාණ කර්ම ප‍්‍රත්‍යයෙන් ආපු එකට නෙවෙයි. දැන් කර්ම නිමිත්තක් මුල් කරගෙන කය සවිඥානක වෙලා ඒ සවිඥානක ආයතනයන්ට මේ අරමුණු ගැටුන නිසයි. දැන් මේ විපාක ටික නම් කරන්නෙ අවිද්‍යා මූලිකයි කියලා. එතකොට විඳින්න හම්බ වෙන්නෙත් පුද්ගලයෙක්මයි. වස්තුවක්මයි, ලෙඩවීම, මහලූබව මරණයම තමයි විඳින්න වෙන්නෙ. ආයෙ වෙන එකක් නම් හම්බ වෙන්නෙ නැහැ.

ඕකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ අවිද්‍යා සම්ඵස්සය කියලා. අවිද්‍යා සම්ඵස්සයෙන් යුක්ත පුරුෂ පුද්ගලයන්ට කර්ම නිමිති නවත්තන්න බැහැ. මේ විපාකය තුළ තියෙනවා නැවත පැල කරන්න පුළුවන් බීජයක්.
ගස්ලබු ඇටේ නිසා ගහ හැදෙන පැත්තට කියනවා තණ්හා මූලිකයි. ගහ මුල් කාරණාව කරගෙන ගෙඩි හැදෙන කොට ඒ තමයි අපිට අනුභව කරන්න පුළුවන් ඵලය. ඒ ගෙඩිය ඇතුළෙ ඇට තියෙනවා නැවත පැලවෙන. ඒ
වගේ මේ වර්තමාන කර්මයට විපාක විඳින්න ගියොත් නැවත උපදින හේතුව හැදෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘ආශ්වාදය ටිකයි ආදීනව බොහෝයි.’

දැන් මහ විශාල රත්තරං ගොඩක් ගේ ඇතුළෙ තිබුනොත්, මට මෙච්චර රත්තරං ගොඩක් තියෙනවා කියලා සිහි කරන සිහි කිරීමම විතරයි, ආශ්වාදය. නමුත් ඕක තුළ තියෙන කර්ම නිමිත්ත බලවත්. සමහරවිට කල්ප ගණන් පැහෙන අපායට යන විදියෙ කෙලේසයක් ඕකෙ තියෙයි. නැත්නම් සෙම් සොටු ටිකක්වත් නැති පේ‍්‍රත ලෝකයේ වැටිලා, යොදුන් ගණන් දිග ආත්ම භාවයක් ඇති කරගෙන බොහෝ කල් දුක් විඳින්න වෙන හේතු ඕකෙ තියෙනවා. ඒ සම්පරායිකව. දිට්ඨ ධම්මවත් එහෙමයි. වටිනාකමින් යුක්ත වස්තුවක් තිබුනත් දුක. නැතිවුනත් දුක. යම් වස්තුවක් ඇති බව නිසාත් නැති බව නිසාත් එන්නෙ දුක. ඒත් අවිද්‍යාව බලවත්. දුක්ඛෙ අඥානං – දුක – නොපෙන්වනවා, දුක්ඛ සමුදය ඇති කරවනවා. දිට්ඨ ධම්මවත්, සම්පරායිකවත් දුකටම පමුණුවලා තියෙනවා මිසක දුක්ඛ නිරෝධයකට පමුණුවලා නැහැ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ කාමය කියන එක බිලිය ගිලපු මාළුවෙක් වගේ කියලා. මාළුවා ඇමත් එක්ක බිලී කොක්ක ගිලිනවා පහසුවෙන්. හැබැයි වමාරගන්න බැහැ. වමාරන්න ගියොත් බඩවැලූත් එක්කයි
එළියට එන්නෙ. කාමයත් එහෙමයි. ආශ්වාදය විඳින්න ගියාම සතර අපායෙ වැටිලා කල්ප ගණන් දුක් විඳින්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,

‘යො කාමං කාමෙති සො දුක්ඛං කාමෙති’

යමෙක් කාමයට කැමති වෙනවා නම් ඔහු දුකට කැමති කෙනෙක්. යමෙක් දුකට කැමතියි නම් ඔහු කාමයට කැමති කෙනෙක්. අපිට ඒක පේන්නෙ නෑ. නමුත් ධර්මයෙ පෙන්නන්නෙ යමෙක් කාමයට කැමතියි නම් එයා ඒකාන්තයෙන් දුකට කැමති වෙනවා. දුකට කැමති නම් කාමයට කැමතියි.

‘යො කාමං කාමෙති සො දුක්ඛං කාමෙති
යො දුක්ඛං කාමෙති සො කාමං කාමෙති’

කාමය නිමාණය වෙලා තියෙන්නෙම පිටින් සීනි තැවරූ කවරයක් සහිත තිත්ත බෙහෙත් පෙත්තක් වගේ බොහෝ කාලයක් දුක් පිණිස වූ හේතු ඇතිව. ඔය මට්ටම අවිද්‍යා මූලික. තණ්හා මූලික මට්ටමේ දී ඇතුළත මුකුත් නැහැ.
සීනි බෝලයම විතරයි. හැබැයි තණ්හාවේ ස්වභාවය තමයි තව තව සීනි බෝල හොයාගෙන යනවා. හොයාගෙන යනකොට හම්බවෙන්නෙ අර ටිකම තමයි. මට මෙන්න මෙහෙම අදහසක් හිතට ආවා. මේ ගැඹුරු බණ දහම්
ඇහුවත් කතා කළත් ඕදාරික මට්ටමේ මනසක් තියෙන අපිට අවස්ථාවට ඔය දහම මෙනෙහි කරන්න පුළුවන් වුනාට පිහිටා හිටින්න බැහැ. මේ කතා කරන දහම පිහිටා සිටින මට්ටමකට නොපැමිණ දුක් කෙළවර
කරන්නත් බැහැ.

පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා ‘යං කිංචි සමුදය ධම්මං, සබ්බං තං නිරෝධ ධම්මං’ කියන මේ දර්ශනය ස්පර්ශ ආයතන හය හරහා ඒ විදියටම එළඹ සිටිය දවසටයි දුක් කෙළවර වෙන්නෙ. එළඹ සිටිනවා කියන කොට මෙනෙහි කිරීමකින් තොරයි. මෙනෙහි කරන්න වෙන්නෙම ඒ ඥාන දර්ශනය ජීවිතේ නොවුන නිසයි. හිතන තාක්, මෙනෙහි කරන තාක් ඒ ඥාන දර්ශනය එයාගෙ ජීවිතේ නෙවෙයි. ඥාන දර්ශනය අනිකක්. පුද්ගලයා අනිකක්. පුද්ගලයයි ඥාන දර්ශනයයි දෙක එකක් වුන දවසටයි එළඹ සිටිනවා කියන්නෙ. ඔය තැනට පත් නොවී දුක කෙළවර කරන්න බැහැ. අද මේ මට්ටමට එළඹ සිටින්නෙත් නැහැ. ඒ නිසා මේ මට්ටමට ඔය දර්ශනය සිහි කෙරුවට වැඩකුත් නැහැ. එතෙන්ට තියෙනවා උපායක්.

අද අපි ඉන්න මට්ටමේ ඉඳලා පටන් ගන්න පුළුවන් ක‍්‍රමයක් තියෙනවා. ඒ මට්ටමින් අපි පටන් ගත්තහම ‘අනුපුබ්බ කිරියා, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ පටිපදා’ කිරීමත්, ශික්ෂාවත්, පටිපදාවත් අනුපුවර්ම තියෙන්නෙ. ක‍්‍රම
ක‍්‍රමයෙන් අඩුවෙලා කෙළවරක් දක්වා එනවා.

ඕකෙදි මම දැකපු දෙයක් තමයි කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේ ධර්මතා තුන ගැන ටිකක් වග බලාගන්න ජීවිතේ හරි ඉක්මණටම ආශ‍්‍රව ධර්ම ගෙවෙනවා. මේ යථාභූත ස්වභාවයට පවතින නුවණක්.

පළවෙනි එක තමයි වැරදි වැරදි හරි සති නිමිත්ත ටික ටික හුරු කරන එක. මෙතනදි ඇස් දෙක වහගෙන එක තැනක ඉඳගන්නවා කියලා එකක් නැහැ. එක තැනක සිටින කොට හෝ වේවා, වැඩ කටයුතු කරමින් සිටින විට
හෝ වේවා ජීවිතේ ඕනම වෙලාවක යොදාගන්න පුළුවන්.

දෙවෙනි එක හැම වෙලාවෙම දරුවො ගැන, ගෙවල් දොරවල්, කළ කී දේවල් ඇතුළතින් වමාර, වමාර ඉන්නෙ නැතුව උපායශීලීව හුරු කරනවා යම් සිතිවිල්ලක් සිතනකොට නූපන් අකුසල ධර්ම නූපදී නම් උපන් කුසල ධර්ම වැඩෙයි නම් ඒ විදියට හිතනවා.

අපි යම් විදියකට හිත හිතා ඉන්නකොට අකුසල ධර්ම උපදී නම්, උපන් අකුසල ධර්ම වැඩෙයි නම් ඒ විදියට හිතන එක අතහැරලා තමන් තුළ රාග, ද්වේෂ මෝහ ඇති නොවෙන කුසල සහගත, යහපත්, අනුනට හෝ තමනට පීඩාවක් හිංසාවක් නොවෙන, දුක් පිණිස නොපවතින සුදු කර්ම පමණක් රැුස්වෙන විදියේ සිතිවිලි සිතන්න හුරු වෙනවා. අද අපි වැඩ කටයුතු කරන අතරෙ මනස දිහා බැලූවොත් ‘චිරකතම්පි චිර භාසිතම්පි’ බොහෝ කල් සිට කිව්වා වූ කළා වූ දේවල් හිත හිතා නෙමෙයි ද ඉන්නෙ නමුත් ඔය වෙනුවට – ගැඹුරු දේ නෙමෙයි – සියලූ සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා හිතමින් ඉන්න. මහා විශාල අකුසල ක්ෂේත‍්‍රයක් අතහැරෙන්න ඒක හේතු වෙනවා. මේ කුසලය සුළුපටු නැහැ. ඔන්න ඔය වගේ උපායකින් හැම වෙලාවෙම කුසල මනසිකාරයක ඉන්න හුරු වෙන්න.

තුන්වෙනි කාරණය තමයි ඉඩ ලැබෙන හැම වෙලාවකම සත්ව පුද්ගල භාවයට හම්බවෙන සවිඥානක මේ වස්තූන් තුළ තියෙන්නෙ නාම රූප දෙකක් කියලා හිතන්න.

ඔය තුන් පොලෙන් එකක ජීවිතේ හැම වෙලාවෙම නතර වෙන විදියට හුරු කරන්න. කිසිම වෙහෙසක් නැතුව අපහසුවක් නැතුව මේ ලෝකෙ තියෙන වස්තූන්ගෙ වටිනාකමත් අඩුවෙයි. අඩුවෙලා ඇලෙන, ගැටෙන ස්වභාවය ටික ටික අඩුවෙයි. ඒ විතරක් නෙවෙයි, මේ පැත්තෙන් ශ‍්‍රද්ධා, විරිය, සති, සමාධි, ප‍්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මත් මුහුකුරනවා. මේ ඉන්ද්‍රිය ධර්ම මුහුකුරලා අපි මේ කතා කරන, කතා කළ ඇත්ත ඇති හැටියෙ බලන්න පුළුවන් වට පිටාවකුත් හදල දෙනවා. වෙහෙසකින් තොරවම ඇත්ත ඇති හැටියෙ දකින තැනටත් මනස ගන්නවා.

ඔහොම ටික ටික කරගෙන යනකොට ක්ෂේත‍්‍රය තමන්ටම තේරෙනවා. ඒ නිසා ඔන්න ඔය ධර්මතා තුන ගැන ටිකක් වග බලාගන්න. ඉඩ ලැබෙන විදියට එක තැනක ඉඳගෙන හෝ වැඩ කටයුතු කරමින් හෝ සවිඥානක වස්තුන්ගෙ, ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා ඇත්ත ඇති හැටියෙ නාම රූප ධර්මයක් තියෙන්නේ කියන එක බලන්න. උත්සාහවත් වෙන්න.

මෙන්න මේ ධර්මතා තුන ගැන සැලකිලිමත් වෙලා ටික ටික කරන්න. ගැඹුරු දහම් හිතන්න ඕන නැහැ. විටින් විට ගැඹුරු දහම් ඇහෙනවනේ. ඇහෙනකොට තමන්ට හොඳට පෙර පසු මනස තේරෙනවා එන්න එන්නම
ගැඹුරු දහමක් වුනත් ක්ෂණිකව තේරෙනවා ‘ආ, මේක නේද මේ කිව්වෙ’ කියලා.

කවදාම හරි දවසක ධර්මය දකිනවා කියන්නෙත් කැරකෙන දෙයක් තුළ ඉන්න කෙනා කැරකෙන දෙයින් වෙන්වෙලා අහකට ගියා වගේ සිද්ධියක්. නුවණ කියන එක ජීවිතේ වුනොත් අමුතුවෙන් හිතන්න ඕන නැහැ. ඒ වගේ යම් කලක දී මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටිය දකිනවා කියන තැනට එනකොට හිතන්නවත් ඕන නැහැ. ඒ නුවණින් එයාව ඒ විදියට ජීවත් කරවනවා. මනුෂ්‍ය කියන මට්ටමේ නුවණකින් අද අපිට කරලා තියෙන්නෙ කණ්ණාඩියෙ පවුඩර් නොගාන එක. එහෙම කරලා තියෙන්නෙ ‘නුවණකින්’ බව අපි දන්නෙවත් නෑ.

ඒ වගේ නුවණ කියන එක ජීවිතේ වුනොත් මේ රූපෙ දිහා බලන්නෙම පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිවම නැතිවෙනවා කියන සිද්ධියකින්. ඔන්න ඔතෙන්ට එනකම් ප‍්‍රඥාව වැඩෙන්න ඕන. අර තුන් ක‍්‍රමය කරමින් හිටියොත් ආශ‍්‍රව ධර්ම ටික ටික ගෙවිලා සිහිය නුවණ ජීවිතේ වෙන තැන දක්වාම ගේනවා. එයාට තේරෙන්නෙ නෑ. ඒ ඒ මොහොතෙදී දැන් මට මෙච්චරක් ආශ‍්‍රව ගෙවුනා කියලා. හැබැයි කාලයක් ගියාම එයාට ඒ අවබෝධයේ විශාල වෙනසක් තේරෙනවා.

බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා. කෙනෙක් වෑයක් අරගෙන ලීයක් සහිනවා. සහිනකොට වෑයයි වෑ මිටයි ගෙවෙනවා. අද මෙච්චරක් ගෙවුනා, ඊයෙ මෙච්චරක් ගෙවුනා කියලා මනින්න බෑ. හැබැයි එයාට නුවණක් තියෙනවා චුට්ටක් හරි ගෙවුන බවට. ඒ වගේ ආශ‍්‍රවක්ෂයට නුවණින් මෙනෙහි කරන කෙනාටත් ගෙවෙන කෙලෙස් පේන්නෙ නැහැ. හැබැයි යම් මට්ටමකට හෝ කෙලෙස් ගෙවුනා කියන නුවණ තියෙනවා. කාලයක්
යනකොට ආශ‍්‍රව ගෙවිච්ච බව හොඳට තේරෙනවා.

ඉතින් ඔය කාරණා තුන අපිට ජීවිතේ යොදාගන්න පුළුවන් නම් අනුක‍්‍රමයෙන් ආශ‍්‍රව ගෙවිලා නුවණ ජීවිතේ වෙන, ජීවිතේ නුවණ වෙන තැනට එනකම් අරගෙන යනවා. එතනින් පස්සේ මත්තේ කටයුත්තක් නෑ. අනුවණකම ජීවිතෙන් පලා ගිහින්.

ස්කන්ධ ටික නුවණින් පරිහරණය කරනවා. ස්කන්ධ ටිකේ ගති යම් සේද නුවණ එසේයි. නුවණ යම් සේද ස්කන්ධයන්ගේ ගතිය එසේයි. එතකොට හේතු ඵල දහම ජීවිතය. හේතු ඵල දහම දන්නා වූ දක්නා වූ නුවණක් තියෙනවා නම් ඒ ද හේතු ප‍්‍රත්‍යයි කියන නුවණක් තියෙනවා. එතකොට කියන්නෙ ‘ධම්ම’ කියලා. ධර්මතාවයක් විතරයි. ආයෙ ඒ හේතුඵල දහම දන්නා වූ දක්නා වූ ‘කෙනෙක්’ නියෝජනය වෙන්නෙ නෑ. යම් ප‍්‍රත්‍යයකින් ස්කන්ධ ටික උපදී නම් ඒ ප‍්‍රත්‍ය ටිකත් එක්කම ඒ නුවණත් තියෙයි. ඒ ප‍්‍රත්‍ය පවතිනකම් පවතිනවා. ඒ ප‍්‍රත්‍ය නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. ඒ සිහිය සහ නුවණ කියන ටික ඉබේම ධර්මතාවය වෙනවා.

ස්කන්ධ උපදින උපදින හැම තැනකදීම සිහි ඇතුවම උපදිනවා. සිහි ඇතුවම නිරුද්ධ වෙනවා. ඔන්න ඔය මට්ටම තමයි නව කර්ම නොවී පුරාණ කර්මයට හටගත්ත විපාක ටිකෙන් ජීවත් වෙනවා කියලා කියන්නෙ. නිවන කියලා කිව්වෙ අසංඛත බව, අනුත්පාද බව, නොහටගන්න බව, අවිද්‍යා, කම, තණ්හා කියන හේතු ටිකෙන් ස්කන්ධ උපද්දනවා නම් අවිද්‍යා, කම, තණ්හා කියන හේතු ටික නැති කරලා, ස්කන්ධයෝ මතු නොහටගන්න බවට පත් කරලා, වර්තමාන ස්කන්ධ ටිකේ ජීවත් වෙනවා. වර්තමාන ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටිය බලපු නිසාමයි අවිද්‍යා, කම, තණ්හා කියන හේතු ටික නැතිවුනේ. ඒ නැතිවීම නිසා අනාගත ස්කන්ධයෝ නූපදින ස්වභාවයට පත්වුනා. එතනට කිව්වා සෝපදිශේෂ නිබ්බාන කියලා. හිස් බවක් හෝ ශුන්‍යතාවයක් හෝ අරමුණු නැති බවක් හෝ නෙවෙයි. ස්කන්ධයන්ගේ නූපදීම, නොහටගන්නා බව. ඇත්ත දන්නාකමින් ජීවත්වන ස්කන්ධ ටිකේද ආයු සන්නතියක් තියෙනවා. ඒ ආයුෂ ඉවර වෙලා ඒ ස්කන්ධ ටිකද නිරුද්ධ වෙනකොට ඒ සිහි නුවණ ද ස්කන්ධ එක්කම නිරුද්ධ වෙනවා. දුක් වූ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. එතකොට කියනවා අනුපදිශේෂ පරිනිර්වානය කියලා. රහතන් වහන්සේ නමක් පිරිනිවන් පෑවා කියලා ලෝක ව්‍යවහාරයෙ යෙදෙනවා.

එබඳු ආකාරයට මේ නිර්වාන ධාතුව සාක්ෂාත් කරගන්නට මේ දේශනාව හැමදෙනාටම හේතු පාරමිතාවක්ම වේවා!

සමාප්තයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් දේශනා කරන ලද නාථකරණ සූත‍්‍රය මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

අයමපි ධමෙමා නාථ කරණො