දුතීය චේතනා සූත‍්‍රය : 11 කොටස ඔන්න දැන් අපි නිවන් දකින්න තියෙන කටයුතු ටික කර…

දුතීය චේතනා සූත‍්‍රය : 11 කොටස

ඔන්න දැන් අපි නිවන් දකින්න තියෙන කටයුතු ටික කරන්නයි යන්නෙ. නිවන කියන එක ගැන ප‍්‍රශ්න තියෙන්න බෑ. නිවන කිවුවෙ මොකක්ද? හිස් බවක් හෝ ශුන්‍යතාවය හෝ අනිමිත්ත බව හෝ නෙවෙයි. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුජ්ඣන්ති. එබඳු වූ ජීවිතයකින්ම මිදෙන එක තමයි නිවන. මේ ජීවිතයේම. මරණෙන් පස්සෙ දර්ශනයක් ගැන නෙමෙයි මම කියන්නෙ.

බුදු රජාණන් වහන්සේ ඕක හොඳට දේශනා කරනවා, සංයුක්ත නිකායෙ අත්තවාදුපමා සූත‍්‍රයෙ. ‘මහණෙනි, ඇස තියෙන හින්දයි, ඇස ඇති කල්හියි, තමා තුළ සෝ දුක් උපදින්නෙ. කන තියෙන හින්දයි තමා තුළ සෝ දුක් උපදින්නෙ. නාසය, දිව, ශරීරය තියෙන හින්දයි තමා තුළ සෝ දුක් උපදින්නෙ. මහණෙනි, අත තියෙන හින්දයි, යමක් ගන්නත් තියන්නත් පුළුවන්. කකුල් තියෙන හින්දයි යන්නෙ එන්නෙ, හන්දි තියෙන හින්දයි නමන්නෙ දිගහරින්නෙ, බඩ තියෙන හින්දයි සා පිපාසාව දැනෙන්නෙ. ඇහැ, කන, දිව, නාසය, ශරීරය නැත්නම් ඒවයින් එන දුක නැහැ. අත පය නැත්නම් ගැනීම තැබීම පැනෙන්නෙ නැහැ. හන්දි කූරු නැත්නම් නැමීම දිගහැරීම පෙනෙන්නෙ නැහැ. කකුල් නැත්නම් යාම් ඒම් පෙනෙන්නෙ නැහැ. බඩ නැත්නම් සා පිපාසාව දැනෙන්නෙ නැහැ කියනවා.

මේ මරණෙන් පස්සෙ දර්ශනයක් ද කිවුවෙ. නැහැ මේ ජීවිතයේම. ඇහැට පේන වර්ණ සටහන තුළ නමන්න දිගහරින්න හන්දි අත පය, ඔළුවෙ කැක්කුම්, බඬේ කැක්කුම් එන ඒවා තියෙයිද? එහෙම නෑ. ඔය පින්වතුන්ට හිතාගන්නත් බැරි දර්ශනයක් මම මේ කියන්නෙ. කය කෙළවර කොට ඇති, දිවි කෙළවර කොට ඇති වේදනාවක් වි`දිනවා. මේක පුදුම දර්ශනයක්. අන්න ඒ මට්ටමට ආවහම තමයි සීති භූතෝස්මි නිබ්බුතො. මම නිවුනේ වෙමි. සිසිල් වූයේ වෙමි කියලා කියන්නෙ. ගහන එකෙන් වගේම ගුටිකන එකෙනුත් මිදිලා.

ඔය ටික දැනගන්න. ඕක නොතේරුනාට ප‍්‍රශ්නයක් නැහැ. අනුමානෙට දැනගන්න නිවුනා කියලා කිවුවේ මේ වගේ තැනක්. ජීවිතය මෙන්න මේ වගේ තැනකට ගත්තා. ඔතනට කිවුවා සළායතන නිරෝධය කියලා.

දකින අහන අරමුණුවල සම්මා දිට්ඨි මට්ටම පිහිටියාම ඉබේම ඔය ටික වෙනවා. දැන් අපි දන්නවා නිවන කියන්නෙ මේ ජරා මරණ සංඛ්‍යාත ජීවිතයෙන් මිදීම බව. පංච උපාදානක්ඛන්ධා දුක්ඛා. පංච උපාදානස්කන්ධ දුකෙන් මිදීමයි නිරෝධය කියලා කිවුවෙ. දුක් සහගත තමන්ගෙ ආත්මභාවයෙන් ම මිදිලා. එබඳු වූ මම කෙනෙක් ඔය පින්වතුන්ට දකින්න බැරි වෙන්න ඕන. ඒ ටිකෙන් මිදුන ජීවිතයක් වෙලා තියෙන්න ඕන. පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, ස්කන්ධ පරිහරණයක් කරනවා. ඒකට තියෙන ආයු සන්තතිය නැතිවෙනකොට ඒ ටිකත් නිරුද්ධ වෙනවා. ඒකට කියනවා අනුපදිශේෂ පරිනිවාණය කියලා. මේ නිවන දෙ ආකාරයකින් පැනවූවෙ ජීවත්ව ඉද්දි පංච උපාදාන ස්කන්ධ දුකෙන්, ජරා මරණ දුකෙන් මිදෙනවා.

නමුත් කයට දැනෙන දුක් වේදනාව දැනෙනවා. එච්චරයි ඉතුරු. ඒ මට්ටමේ දුකෙන් ද මිදෙනවා අනුපදිශේෂ පරිනිවාණයෙන්. මුලින් පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙනවා. ස්කන්ධ පරිහරණ දුකෙන් ද මිදෙනවා දෙවනුව. මේ ධර්මතා සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන කියලා කියනවා. ඒ නිවන කෙළවර කරගෙනයි, මේ සම්මා දිට්ඨිය තියෙන්නෙ. ඒ මට්ටමට මනස ගත්තහම මෙබඳු අර්ථයක් සම්පාදනය වෙලා ඇති.

ඒ සම්මා දිට්ඨිය අපිට ගන්න බෑ. ඒ අහගත්ත දේ හිතාගන්න පුළුවන් මට්ටමට ගන්න තියෙන ක‍්‍රමය පූව භාග ප‍්‍රතිපදාව. මේ ටිකේ දි හිතලා සිල්වත් වෙන්න වෙනවා. හිතලා සමාධිය ගන්න වෙනවා. හිතලා විදර්ශනාව කරන්න වෙනවා.

ලෝකෝත්තර සම්මා දිට්ඨියෙදි නම් සම්මා දිට්ඨියට අනුව ශීලයක් පිහිටනවා. සමාධියක් එනවා. ඒ දර්ශනයට හිත තබනකොටම කය වචනයත් සංවර වෙලා. හිතත් සංවර වෙලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙර පසු නැතිවම එක්ක්‍ෂණිකව පිහිටනවා. නමුත් පූව භාග ප‍්‍රතිපදාවෙදි හිතලා පන්සිල් සමාදන් වෙන්න වෙනවා. සාමණේර ශීලයක්, උපසම්පදා ශීලයක් සමාදන් වෙන්න වෙනවා. ඒ ශීලය සමාදන් වෙන්නෙ හිත හදාගන්න උපකාර පිණිස. නීවරණ ධර්ම දුරු කරගන්න උපකාර පිණිස.

සතර සංවර ශීලය කොටස් හතරකින් තියෙනවා. ප‍්‍රාතිමෝක්ෂ සංවර ශිලය, ඉන්ද්‍රිය සංවර ශිලය, ආජීව පරිශුද්ධ ශීලය, ප‍්‍රත්‍යය සන්නිශි‍්‍රත ශීලය කියලා. අපි සමාදන් වෙන පන්සිල්, අටසිල් අයිති වෙන්නෙ ප‍්‍රාතිමෝක්ෂ සංවර ශීලයට. එහෙනම් මේ ශිලයේ පිහිටලා ඉන්ද්‍රිය සංවර ශීලය ඇති කරගන්නත් ඕන. ඇහැ දෙකට බෙදාගන්න ඕන. කන දෙකට බෙදාගන්න ඕන. නාසය , දිව, ශරීරය දෙකට බෙදාගන්න ඕන. සේවනය කටයුතු සහ නොකටයුතු කියලා.

ඇහෙන් යම් රූපයක් බලනකොට නූපන් අකුසල ධර්මයෝ උපදියි නම්, උපන් අකුසල ධර්මයෝ වැඩෙයි නම් එබඳු රූප නොබැලිය යුතුයි. ඇහෙන් රූපයක් බලනවිට නූපන් අකුසල ධර්මයෝ නූපදියි නම් උපන් අකුසල ධර්මයෝ ප‍්‍රහීන වෙයි නම් එබඳු රූප බැලීම වරදක් නෑ. මේ ශාසනයේ ඉන්ද්‍රිය සංවරය කියන්නෙ ඇස් වසාගෙන සිටීම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම වුනොත් ඇහැ නොපෙනෙන කෙනාත් හො`දින් වැඩුනු ඉන්ද්‍රිය තියෙන කෙනෙක්. ඒ කියන්නෙ මේ ඇහැ හොඳ දේට උදවු කරගන්න. නරක දේට අතහරින්න. එහෙමයි ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගන්නෙ. සංවරය කියන එකෙන් එපා කියන එකක් කියන්නෙ නෑ. බලන්න කියනවා අවශ්‍ය දේ විතරක්. ඒක හොඳට තේරුම් ගන්න.

කන සංවර කරගන්න කියන එකෙන් ශබ්ද අහන්න එපා කියන්නෙ නෑ. යම් ශබ්දයක් අහනකොට නූපන් අකුසල ධර්ම උපදී නම්, උපන් අකුසල ධර්ම වැඩෙයි නම් එබඳු ශබ්ද අහන්න එපා. යම් ශබ්දයක් අහනකොට උපන් අකුසලය දුරුවෙයි නම්, නූපන් අකුසලය නූපදී නම් එබඳු ශබ්ද අහන්න. ඒ වගේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය දෙකට බෙදාගන්න. යම්කිසි ගන්ධයක් ආඝ‍්‍රාණය කරන කොට නූපන් අකුසලය උපදියි නම්, උපන් අකුසලය වැඩෙයි නම්, එබඳු ගන්ධ ආඝ‍්‍රාණය කරන්න එපා. යම් ගන්ධයක් ඇසුරු කරන කොට නූපන් කුසලය උපදී නම් උපන් කුසලය වැඬේ නම් එබඳු ගන්ධ ඇසුරු කරන්න.

යම් රසයක් වළඳන කොට නූපන් අකුසලය උපදී නම් උපන් අකුසලය වැඬේ නම් එබඳු රසය අතහරින්න. යම් රසයක් වළඳනකොට නූපන් කුසල ධර්ම උපදී නම් උපන් කුසල ධර්ම වැඬේ නම් එබඳු රසය ඇසුරු කරන්න. කයටත් එහෙමයි, බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කරන්නෙ නෑ. ආරණ්‍යගත වෙන්න, පාංශූකූලික වෙන්න, කැලේකට යන්න, මහා දුක් වි`දින්න කියලා කියන්නෙ නෑ. සුඛෝපභෝගී වෙන්න කියලා කියන්නෙත් නෑ.

මෙහෙම දේශනා කරනවා ‘‘යම් සැප වේදනාවක් ඇසුරු කරනකොට නූපන් අකුසල ධර්ම උපදී නම් උපන් අකුසල ධර්ම වැඬේ නම් ඒ සැප වේදනාව අතහරින්න. යම් සැපයක් වි`දිනකොට නූපන් කුසලය උපදී නම් උපන් කුසලය වැඬේ නම් ඒ සැපය බය නැතුව ඇසුරු කරන්න. කෙනෙකුට රූක්ෂ ප‍්‍රතිපත්තියෙ හිත රැුඳෙන්නෙ නෑ. හැබැයි පහසුව තියෙන තැනක හිටියොත්, කෙලේසයකට නොගිහින් ඒ සැපය වි`දිමින් තමන්ට හිත හදාගන්න පුළුවන්නම් ඒ සැපය වි`දීම වරදක් නෑ.

යම් දුක් වේදනාවක් වි`දිනකොට නූපන් අකුසලය උපදී නම් උපන් අකුසලය වැඬේ නම් ඒ දුක් වේදනාවෙන් ඉවත් වෙන්න. යම් දුක් වේදනාවක් වි`දිනකොට නූපන් කුසලය උපදී නම් උපන් කුසලය වැඬේ නම් ඒ දුක් වේදනාව වින්දට කමක් නෑ. කැලේට ගිහින්, මදුරුවො කකා, අව්වේ පිච්චෙමින් පිණ්ඩපාතෙ ගිහින් ජීවත් වෙනවා. බොහෝ කටුක දුක් වි`දිනවා. නමුත් ඒ නිසා නූපන් කුසලය උපදිනවා නම් උපන් කුසලය වැඩෙනවා නම් ඒ දුක් වේදනාව දරන්න කියනවා. ඔය විදියට කයත් දෙකට බෙදාගන්නවා. සැප, දුක දෙකත් දෙකට බෙදා ගන්නවා.

හිතත් දෙකට බෙදාගන්නවා, යම් අරමුණක් සිහිකරනකොට උපන් අකුසල ධර්ම වැඩෙයි නම්, නූපන් අකුසල ධර්ම උපදී නම් එබඳු විතර්ක අතහරිනවා. උපදින, උපදින හැම සිතුවිල්ලකම අනිත්‍යය බලන්න එපා. හැම සිතුවිල්ලක්ම වාරණය කරන්න එපා. යම් ධර්මයක් හිතනකොට නූපන් කුසල ධර්මයෝ උපදී නම්, උපන් කුසල ධර්මයෝ වැඬේ නම්, එබඳු වූ මනසක් ඇසුරු කරන්න. එබඳු වූ විතර්කයක් ඇසුරු කරන්න කියලා ආයතන දෙකට බෙදාගෙන, වැරැද්ද අතහැරලා නිවැරදිව පරිහරණය කරන එකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා.

ආජීව පාරිශුද්ධ ශීලයෙදි, තමන්ගෙ හිත තමන්ට චෝදනා කරන්න පුළුවන්, අනුන් චෝදනා කරන්න පුළුවන් විදියේ දිවි පැවැත්මෙන් තොරව ජීවත් වෙන්න ක‍්‍රමයක් හදාගන්න. ගිහි කෙනෙකුට පෙන්වනවා නොකටයුතු වෙළඳාම් හතරක්. නමුත් එයින් පරිබාහිරවත් තමන්ගෙ හිත තමන්ට චෝදනා නොකරන විදියටත්, තවත් කෙනෙක් චෝදනා නොකරන විදියටත් දිවි පැවැත්ම හදාගන්න.

ප‍්‍රත්‍යය සන්නිශි‍්‍රත ශීලය ගිහි කෙනාටත්, පැවිදි කෙනාටත් දෙන්නටම එකයි. භවබෝග සම්පත් මොනවා හෝ ලැබුනොත් නිස්සරණ ආධ්‍යාශයෙන්, නික්මීමේ අදහසින්, භෝගයන්ගේ පමණ දැනගෙන, ඒකෙ යථාර්ථය දැනගෙන, කරන්න ඕන කෘත්‍යය දැනගෙන පරිහරණය කරන්න කියනවා. එතකොට අනවශ්‍ය විදියට ඒකට බැඳෙන ගතිය නැතිවෙනවා.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

දුතීය චේතනා සූත‍්‍රය