New photo from Facebook February 09, 2016 at 09:00PM

දහම් ඇස – 4 කොටස

කායානුපස්සනාව

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා, සොකපරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දොමනස්සානං අත්‍ථඞ්ගමාය, ඤායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං චත්තාරො සතිපට්ඨානාති.

සදා පූජනීය වූ, වන්‍දනීය වූ, මහා සඞ්ඝරත්නයෙන් අවසරයි. පින්වත් සිල් මෑණිවරුන් ප්‍රමුඛ ශ්‍රද්ධා බුද්ධිසම්පන්න කාරුණික පින්වතුනි. මේ පින්වත් හැමදෙනා ම මේ මොහොතේ සූදානම් වෙන්නේ සසර දුක් ගිනි නිවීම පිණිස, ලොවුතුරා බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනාකොට වදාළා වූ, ශ්‍රී සද්ධර්‍මයෙන් බිඳක් ඉගෙන ගන්නටයි. ඒ නිසා හැමදෙනා ම තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන, මේ දුක් සහගත සසරින් එතෙරවන්නට ‘මේ ධර්‍මශ්‍රවණය ම උපනිශ්‍රය වේවා’ කියන එක ම කලණ සිත් ඇතිකරගෙන, බොහෝම උවමනාවෙන් මේ දේශනාව කියවන්නට ඕන.

එහෙම කළොත් මම හිතනවා, මේ දේශනාව තුළින් මේ පින්වතුන් ලැබූ මනුෂ්‍ය ජීවිතය හිස් නොවන ආකාරයේ ඥාන දර්‍ශනයක් ලබාගන්නට පුළුවන් කියලා.
පින්වතුනි, අතීතයේ දී ලොවුතුරා බුදුරජාණන් වහන්සේලා ඕනෑ තරම් ලෝකයේ පහළවෙලා ඇති. අපිත් මනුෂ්‍යයන් වෙලා අනන්ත වාර ගණන් ඉපදිලා ඉන්නටත් ඇති. ඒත් ඒ එක ම බුද්ධශාසනයක්වත් බොහොම ආදරයෙන්, ගෞරවයෙන් ඇසුරු නොකළ නිසා අපි හැම කෙනෙක් ම මේ දුක් සහගත සසරේ තව ම ඇවිදිනවා.
මේ සද්ධර්‍මය අවබෝධ වුනොත්, අවබෝධ කරගත්තොත් විතරමයි අපට මේ සසර දුකෙන් එතෙර වෙන්නට පුළුවන් වෙන්නේ. මේ සද්ධර්‍මය අවබෝධ කරගන්නට බැරි වෙච්ච නිසා අපි ආපු සසර ගමන සුළුපටු නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඒ බව දේශනා කරනවා – ‘අනමතග්ගො’යං භික්ඛවෙ සංසාරො’: මහණෙනි, මේ සසර අනවරාග්‍රයි, අතිදීර්‍ඝයි. ‘පුබ්බාකොටි න පඤ්ඤායති’: පූර්‍ව කෙළවරක් පෙනෙන්නේ නෑ, පනවන්නට පුළුවන් කමක් නෑ කියලා.

‘මේ සසර එච්චරට දිගයි. අවිද්‍යාව නමැති නීවරණයෙන් වැහිලා, තණ්හාව නමැති සංයෝජනයෙන් බැඳිලා, මහණෙනි, නුඹලාත් මමත් බොහෝ කලක් සසර ඒ මේ අත දිව්වා, සැරිසැරුවා’ කියලා උන් වහන්සේ දේශනා කරනවා.

ඒ විතරක් නොවෙයි පින්වතුනි, අද අපි මේ විදියට හිටියාට ගෙවුණු අතීත සසරෙහි ඇස්දෙක ම අන්‍ධවෙලා, ගල් මුල්වල පය හැපි හැපී වැටිලා, කිසි කෙනෙකුගේ පිහිටක් සරණක් නැතුව ජීවිතය අවසන් වෙච්චි වාරවල් ඕනෑ තරම් තියෙන්නට පුළුවන්. ඒ වාගේ ම අත පය හතර ම නැති පිළෙක් වෙලා ඉඳලා, කිසි කෙනෙකුගේ පිහිටක් නොලබා, මැරුණු වාරවල් ඕනෑ තරම් තියෙන්නට ඇති. හොරි, කුෂ්ඨ, දද හැදිලා මුළු ලෝකය ම පිළිකුල් කරන ආත්මභාව ඕනෑතරම් ලබාගන්නට ඇති. ඒ වගේ ම ගස් ගල් පර්‍වතවලින් වැටිලා හිස පොඩිවෙලා මැරුණු වාරවල් ඕනෑතරම් ඇති.

පින්වතුනි, භවයෙන් වැහිලා නිසා අද අපට ඒක පෙනෙන්නේ නැහැ. අපට නොපෙනුනත් සසර මෙබඳු දුකක් පවතින නිසා, සසර ඉන්න සත්ත්‍වයෝ මෙබඳු දුකක් විඳින නිසා, අනුකම්පාවෙන් මයි ලොවුතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වෙන්නේ.

ඉතින් මේ සසර ස්වභාවය, දුක් විඳපු ප්‍රමාණය, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා, නැවතත් මෙහෙමත් දේශනා කරනවා. ‘මේ පටිච්චසමුප්පාද ධර්‍මය දන්නා වූ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් හැරෙන්න මගේ වචනය ලෝකයේ කවුරුවත් විශ්වාස කරන්නේ නෑ’ කියලා. අඬපු කඳුළු මුහුදේ ජලයට වඩා වැඩියි කියල කිව්වොත් අපි ඒක විශ්වාස කරන්නේ නැහැ. අපට හිතෙන්නේ, මේ අතිවර්‍ණනාවක් කරනවා – ටිකක් බය කරලා පෙන්නන්න හදනවා වගෙයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්‍වය අපි අදහන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියන්නේ කෙනෙක්ව යහපත් මාර්‍ගයට ගන්නටවත් බොරු කියන කෙනෙක් නොවෙයි.

පින්වතුනි, අපි හැම කෙනෙක් ම මේ දීර්‍ඝ සංසාරයේ මෙච්චර දුක් වින්‍ද අයයි. මේ වගේ ම ඉදිරියටත් දුක් විඳින්න තියෙන සසර එහෙම මයි. මේ දුක් සහගත සසර නිමා කරන්නට තියෙන එක ම මඟ වන්නේ, බුද්ධෝත්පාද කාලයක් ලැබිලා, අපිත් ඒ කාලයට පරිපූර්ණ ඉන්ද්‍රියයන්ගෙන් යුතු මනුෂ්‍යයෝ වෙලා ඉපදිලා, සද්ධර්‍මයත් ශ්‍රවණය කරන්නට ලැබිලා, ඒ සද්ධර්‍මය අවබෝධ කර ගැනීමයි.

පින් ඇති, පින් කළ, පාරමිතා සම්පූර්‍ණ වෙච්චි කෙනෙකුට ලැබෙන්නට ඕනෑ ටික අද අපට මේ වන විටත් ලැබිලා තියෙනවා: බුද්ධෝත්‍පාද කාලයක් ලැබිලා තියෙනවා. සද්ධර්‍මයත් තියෙනවා. වටිනා මනුෂ්‍ය ආත්මභාවයක් ලැබිලා තියෙනවා. ඇස් කන් නාසාදි ඉන්ද්‍රිය විකලත්වයෙන් තොර පරිපූර්ණ ජීවිතයක් ලැබිල තියෙනවා. යමක් වටහා ගත හැකි බුද්ධියක් ලැබිල තියෙනවා. දැන් අවශ්‍ය වෙන්නේ ශ්‍රද්ධාවයි. ඒ නිසා මෙතැන් පටන් මේ සූත්‍රය විස්තර කරන කොට හිතට එන නොයෙක් දේවල් හිතන්නේ නැතුව, නොයෙක් අරමුණුවලට හිත දුවන්නට ඉඩ නො දී, බොහෝ ම උවමනාවෙන් මේ දහම කියවන්නට ඕන.

මම මුලින් මේ ටික මතක් කළේ, අප හැම කෙනෙක් ම ඉන්න මේ සසර ස්වභාවය හොඳයි නම්, ඒ සසර දුක හොඳයි නම්, කන් යොමු කරලා බණ ඇහුවේ නැතුවාට කමක් නැහැ. ඉතින් මේ දුක දුකක් නම්, ඒ දුක එපා නම්, වචනයෙන් එපා කිව්වාට හරියන්නේ නැහැ. ඒ දුක නැති කළ හැකි බවක්, ඒ දුක නැති තැනත්, ඒකට මඟත් අහලා පිළිපදින්නට ඕන. ඒ ටික අපට ලැබෙන්නේ සද්ධර්‍මශ්‍රවණයෙනුයි. ඒ නිසයි නැවත නැවතත් මතක් කරන්නේ බොහෝම හොඳින්, උවමනාවෙන් බණ ඉගෙන ගන්න කියලා.

මොකද, ආශ්‍රව සහිත වචන නම් – ලෝකය තුළ තියෙන වචන නම්, අපට හොඳට හුරු පුරුදුයි. අහකින් යනකොට වචනයක් ඇහුනත් මතක හිටිනවා, මතක තියෙනවා. නමුත් ආශ්‍රව ගොඩෙහි ලා නොවැටෙන, අනාශ්‍රව ස්වභාවයෙන් යුක්ත වූ වචන අපට හුරු පුරුදු නෑ. ඒ නිසා ඒක අපේ මතකයේ රැඳෙන්නේ නැහැ. ඒ නිසයි උවමනාවෙන් සද්ධර්මය උගත යුත්තේ.

අපි මෙතැන ඉඳලා මේ සූත්‍රය ගැන ටිකක් විමසලා බලමු.

මෙතැන දී, මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නට පෙර මට පෙන්වා දෙන්නට වටිනා කරුණු රාශියක් තියෙනවා.

මුලින් ම, එකායනො අයං භික්ඛවෙ මග්ගො: ‘මහණෙනි මේ එක ම මඟයි’ කියලා, තථාගතයන් වහන්සේ කළ සූත්‍ර වර්‍ණනාව දැකපු පමණකින් ම සාමාන්‍යයෙන් අපි හැම කෙනෙක් ම සතිපට්ඨාන භාවනාව කරන්නට උත්සාහවත් වෙනවා. නමුත් පින්වතුනි, හොඳට තේරුම් කරගන්නට ඕන කරුණක් තියෙනවා. මේ සතිපට්ඨාන භාවනාව කියල කියන්නේ චතුරාර්ය සත්‍යය අතරින් මාර්ග සත්‍යයට අයිති එකක්. ඒ මාර්ගය අංග අටකින් යුක්තයි. අංග අටකින් යුක්ත මාර්ගයේ එක අංගයක් විතරයි සම්මා සතිය කියන්නේ.

මෙතෙන්ට එන්න ඉස්සරවෙලා අප ළඟ උපදවා ගත යුතු දැනුමක් තියෙනවා. මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කළේ කාට ද? මේක පුහුණු කළ යුත්තේ කොහොම ද? වැඩිය යුත්තේ කොහොම ද? කියන කාරණාව අපි හොඳින් තේරුම් කර ගන්නට ඕන.

මම ඒකට පොඩි උපමාවක් මේ සූත්‍රය අනුසාරයෙන් ම පෙන්නන්නම්: මේ හැම කාරණාවක ම පෙන්නනවා සමුදයධම්මානුපස්සී වා, වයධම්මානුපස්සී වා, සමුදයවයධම්මානුපස්සී වා: ඇතිවීම හෝ, නැතිවීම හෝ, ඇති ව නැතිවන ධර්‍මතාවය හෝ බලන්න.

මේ පින්වතුන් ඒ ටික ඉගෙනගෙන නොතිබුණොත්; ‘සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති’ යනුවෙන් දැක්වෙන පරිදි මේ පින්වතුන් ශරීරයේ ඇතිවීම, නැතිවීම සහ ඇති ව නැතිවීම බලන්නේ කොහොම ද? එහෙම නම් මේ ටික වඩන්න පෙර ඒ පිළිබඳ දැනුම තියෙන්න ඕන නේ. ඒ කියන්නේ දුක කියන්නේ මොකක් ද? ඒ දුක ඇතිවෙන්නේ කොහොම ද? ඒ දුක නැතිවෙන්නේ කොහොම ද? කියන මෙන්න මේ ටික තියෙන කෙනාටයි මේ සතිපට්ඨාන භාවනාව වැඩෙන්නේ. අප තුළ අන්න ඒ දැනුම තියෙන්න ඕන. මේ සතිපට්ඨාන සූත්‍රය වඩන වාරයක් ගානේ තමන්ට ප්‍රශ්න ඇතිවෙන්න බැහැ; තිබෙන ප්‍රශ්නත් ලිහෙන්න, විස‍ඳෙන්න ඕන.

නමුත් මම මේ පින්වතුන්ට මෙහෙමෙ කිව්වොත්: “මේ පින්වතුන් ගෙවල් දොරවල්වල ඉඳලා ආවා. දහම ගැන කිසි ම දැනුමක් – අවබෝධයක් ඇත්තේ නැහැ.” එතකොට මේ පින්වතුන් මට කියනවා,
‘ස්වාමීන් වහන්ස, අපට භාවනා කරන්න ඕන.’
එතකොට මම කියනවා, ‘හොඳයි එහෙනම් සති නිමිත්ත තුළ මේ සිත තියාගෙන සිහියෙන් ආශ්වාස ප්‍රස්වාස කරන්න’ කියලා, ඔය ආනාපානසති සටහන කියලා දෙනවා. නැත්නම් පිළිකුල් භාවනාව කියලා දෙනවා.

දැන් මේක කරන්නේ ඇයි? කරන්නේ මොකට ද? කරන්න ඕනේ මොන තැනක් දක්වා ද? කියන ටික තියෙන්නේ මා ගාවයි. ‍ඔය ‍ඇත්තන් කරන්නේ, මම කියපු හින්‍දයි. ඥාන දර්‍ශනය තියෙන්නේ මා ගාවයි; ඔය ඇත්තනුයි ඒක කරන්නේ. දැන්, මේ පින්වතුන් කරන එකෙන් නිවන් දකින්නට වෙන්නේ මටයි. ඇයි? ඥාන දර්‍ශනය තියෙන්නේ මා ගාව නේ.

මේ පින්වතුන් කෙනෙක් කිව්වාට කරන එකක් කරන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි, ආනාපානසතිය ටිකක් වඩලා, ‘ස්වාමීන් වහන්ස, කියපු ටික කළා. දැන් මොකක්ද කරන්න තියෙන්නේ?’ආයෙත් අහන්න වෙනවා. ආයෙත් පැහැදිලි කරලා දුන්නහම, ‘ආයෙත් මොකක්ද කරන්න තියෙන්නේ?’… මේ විදියට වඩන්න වඩන්න ප්‍රශ්න ඇතිවෙනවා මිසක ප්‍රශ්න ලිහෙන්නේ නැති වෙයි. නමුත් මෙතැන දී කල්‍යාණ මිත්‍රයෙක් හැටියට අප කරන්න ඕන, අප කළ යුත්තේ,
‘මෙන්න මේ කමටහණ වැඩිය යුතුයි.’
‘ඇයි වඩන්නේ?’
‘මෙන්න මේ සඳහායි.’
‘කොහොම ද වඩන්නේ?’
‘මෙන්න මෙහෙමයි.’
‘මොන තැනක් දක්වා කළ යුතු ද?’
‘මෙන්න මේ තැන දක්වායි.’
යනාදි වශයෙන් මෙන්න මේ කාරණා ටික කියලා දෙන්න ඕන. ඒ නිසා මම මේ සතිපට්ඨාන සුත්‍රය විස්තර කරන්නට ඉස්සර වෙලා, සූත්‍රාගත අර්ථය පෙන්නන්නට ඉස්සර වෙලා, පෙන්විය යුතු දහම් කොටසක් තියෙනවා. මෙන්න මේ ටික මම පොඩ්ඩක් මතක් කරනවා; හොඳින් අහන්නට ඕන.

මට මෙහෙම අදහසක් තිබෙනවා: මේ පෙන්නන්න හදන දහම් ටික නොදැන යම්කිසි කෙනෙක් සතිපට්ඨාන භාවනාව කරනවා. තව කෙනෙක් මේ පෙන්නන්න හදන දහම් ටික දැනගෙන දහම නොවඩා ඉන්නවා නම්, මේ දහම් ටික නොදැන කරන කෙනාට වඩා එයා ශ්‍රේෂ්ඨයි, එයා වඩා වටිනවා, කියලා මට හිතෙනවා. එච්චරට අර්ථයක් ඒ ටිකේ මම දකිනවා. මොකද? මේ සතර සතිපට්ඨානය වඩන්නට පෙර සම්පූර්‍ණ සම්මා දිට්ඨිය කියන එක ඇතිවෙන්නට ඕනේ.

අපි ඒකෙ දී මෙතැනින් පටන්ගනිමු: අච්චෙන්ති තණ්හං ඉධ නාමරූපෙ:- බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ නාම රූප දෙකේ තණ්හාව නැතිකරන්න. ‘තමා’යයි ගත්ත මේ සවිඤ්ඤාණක කයේත්, බාහිර නාම රූප දෙකේත්, තණ්හාව පවතිනවා. මෙතැන දී තණ්හාව තිබුනොත් උපාදාන වෙනවා. උපාදාන වුනොත් භවය ඇති වෙනවා. භවය ඇතිවුනොත් ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස් ඇතිවෙනවා කියලා පර්යායක් තියෙනවා. ඔය වචන ටික නම් අපි අහලා තියෙනවා. නමුත් සතිපට්ඨාන භාවනාව වඩන්න එපමණක් ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කාරණා ටික තමන්ගේ ජිවිතයෙන් දකින්නට ඕන. එතකොට තමයි අර්ථය දන්නවා කියලා කියන්නේ.

ධර්මය විස්තර කරන දේශකයාණන් වහන්සේලා තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ, සොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, උපායාසා සම්භවන්ති කියලා පෙන්නුවොත් ඔය ටිකට කියන්නේ පෙළ – නැත්නම් ධර්මය කියලයි. ඔය කරුණු ටික තවදුරටත් විස්තර කරලා දුන් විටත් ඔය ටික පෙළයි. ධර්මය දන්නවා කියන්නේ ඒකටයි. ඒ කාරණා තමන්ගේ ජීවිතයෙන් දකිනකොටයි අර්ථය දකින්නේ. අත්‍ථමඤ්ඤාය. ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති: අර්ථය දැනගෙන, ධර්මය දැනගෙන, ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියේ හැසිරෙන්නට ඕන.

එතකොට මෙතැන දී එක කාරණාවක් තියෙනවා. මේ නාම-රූප දෙකේ තණ්හාව කියන කාරණාව පවතින්නේ, නාම-රූප දෙක පිරිසිඳ නොදකිනකොටයි, නාම-රූප ධර්‍මයෝ පිරිසිඳ නොදන්නාකම නිසයි. එවිට රාග ද්වේශ මෝහ ඇතිවෙනවා. මෙලෙස රාග ද්වේශ මෝහ ඇතිවෙනකොට, ඒ කියන්නේ තණ්හාව ඇති කල්හි උපාදානය වෙනවා. උපාදානය වුනහම භවය වෙනවා කියල කිව්වේ. අපි ඇහෙන් යම් රූපයක් බලනවා නම්, අපි දැනගත්තත් නැතත්, දකින රූපය දැකීමෙන් පස්සේ නිරුද්ධවෙනවා. නමුත් දකින රූපය නිරුද්ධවුනාට, අපට නිරුද්ධ වන බව පෙනෙන්නේ නැහැ. ඇති හැටියටමයි පෙනෙන්නේ.

ඉපිද නිරුද්ධ වෙච්ච දේවල් නිරුද්ධ වෙච්ච බව නොපෙන්වා ඇති හැටියට පෙන්නන මට්ටම දකින්න භවය වශයෙන්.

පින්වතුනි, මම මෙතැනින් ගත්තේ, ‘භවය’ යන්න ‍පැහැදිළි කරලා පෙන්නන්න ඕනෑ නිසයි.

අපි මෙහෙම කිව්වොත්: මේ පින්වතුන් මෙහෙම ඉන්නකොට ඇස් දෙක වහගත්තත්, මේ වටපිටාවේ අනික් අය ඉන්නවා, තව දේවල් තියෙනවා කියලා හිතට දැනෙන ගතියට කියනවා ‘භවය’ කියලා. එහෙම නැත්නම් මෙහෙම ඉන්නකොට තමන්ගේ ගෙදර තියෙනවා, දුව, පුතා, සහෝදරයෝ, අනිත් දේවල් තියෙනවා, මේ මුළු ලෝකයක් ම ඇති බවට තේරෙනවා කියන මට්ටම දකින්න ‘භවය’ හැටියට. ‘භවය’ කියලා කියන්නේ චෙතනා භවො : අපේ ම හිතේ පවතින ඉතා ම සුඛුම, ඛුද්දක විතර්කයි. මේ ජීවිතය අවසන් වෙනකොට, ඔන්න ඔය තියෙනවා, තියෙනවා කියලා අපේ හිතේ හැපිලා හිටින – අපේ හිතට දැනෙන දෙයක් සිහිකරලා තමයි, ප්‍රතිසන්‍ධි වශයෙන් ගන්න යන්නේ. ඇස් කන් නාසාදි ඉන්ද්‍රියවලින් අප අතීතයේ අත්විඳපු රූප ශබ්ද ගන්ධාදි අරමුණු සියල්ල මේ වන විට නිරුද්ධ ව ගොස් අවසානයි. ඒ වුනත් අප තුළ පවත්නා අවිද්‍යාව නිසා ඒවා තව ම තියෙනවා කියන හැඟීම අපේ හිත්වල තියෙනවා. මේ ආකාරයෙන් ඒවා සත්‍ය වශයෙන් ඇත යන හැඟීම නිසා ඊට අනුව ප්‍රතිසන්ධිය ලබනවා. ඒකට තමයි භව පච්චයා ජාති කියලා කියන්නේ.

ප්‍රතිසන්‍ධි වශයෙන් ගියාම මේ වගේ ම ආපහු කයක් ඇතිවෙනවා, සවිඤ්ඤාණක වෙනවා, නැවත ජරා මරණ දුක් ඇතිවෙනවා. ජරා මරණ දුක් ඇතිවෙන්නේ නැවත උපන්නොත්, නැවත උපදින්නේ භවය තිබුණොත්. හොඳට මතක තියා ගන්න. භවය කියලා කියන්නේ : ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිලමුදල් කියලා මේවා ඇතිබවට, මුලු ලෝකය ම ඇතිබවට, අපේ මනසේ, නැතිනම් අපට වැටහෙන දැනෙන ගතියයි.

දැන් මේ ඉන්න තැනක ඉඳගෙන ඇස් දෙක වහගන්න. ඇස් දෙක වහගෙන බලන්න, හිතට වැටැහෙයි, අපි වටපිටාවේ ගොඩාක් අය ඉන්නවා කියලා, වටපිටාවක් තියෙනවා කියලා තේරනවා. මෙන්න මේ ඔක්කෝම භවයයි.

භව පච්චයා ජාති කියලා කියන්නේ: ඔන්න ඔතැනිනුයි අපට ඉපදීම ලැබෙන්නේ. ඒකට මම තව කාරණාවක් කියන්නම්: අපේ දෙමව්පියෝ හරි, සහෝදරයෝ හරි, කවුරුහරි වෙනත් ඥාතිවරයෙක් හරි මියගියොත්, දැන් ඒ අය මේ භෞතික ලෝකයේ නැහැ. නමුත් බලන්න, සිහිකරනකොට ඒ අය තමන්ගේ මනස තුළ නැද්ද කියලා. සිහි කළ හැකියි. තමන්ගේ මියගිය ඥාතිවරයා තමන්ට සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට ඉන්නවා. හොඳයි මරණාසන්න මොහොතේ ඒ තමන්ගේ මිය ගිය ඥාතිවරයා සිහිකරන්න, සිහිවෙන්න බැරි ද? පුළුවනි. ඒ සිහිකරනකොට, සිහිවෙනකොට ඒ ඥාතිවරයාට ආදරයක්, සෙනෙහසක්, වෙනදා වාගේ ම ඇතිවුනොත් ඊට අනුව අපි සසරේ ආපහු උපදින්නේ නැති වෙයි ද? උපදිනවා මයි.
අපි හිතාගෙන ඉන්නේ භව පච්චයා ජාති කියනකොට මේ බාහිර දේවල් තියෙන නිසා ඒවාට තණ්හාවෙන් උපදිනවා කියලයි. බාහිර දේවල් භවය වුනා නම්, කොහොම ද අපි මැරිච්ච ඥාතිවරයා සිහිකරලා එයාට තියෙන තණ්හාවෙන් උපදින්නේ?
එතකොට භව පච්චයා ජාති – ජාති කියන්නේ ඉපදෙනවා – ඉපදෙන්නට හේතුවුනේ මොකක් ද?

භවයයි.

එතකොට භවය කොහෙද තිබිලා තියෙන්නේ? අපි හිතාගෙන ඉන්න විදියේ භෞතික ලෝකයක් තුළ ද? නෑ.

භවය තියෙන්නේ අපේ මනස තුළයි.

භවය නිසා ජාතිය වෙනවා. ජාති – කියන්නේ උපන්නොත් ජරා මරණ දෙක තියෙනවා. එතකොට ඒ අපිත් මියගිය ඥාතිවරයා වගේ; දැනුත් ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිලමුදල් තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නකොට ඒ ඔක්කෝම මියගිය අතීතයයි. දැන් අපට මෙතැන ඉඳන් ගෙදර සිහිකරන්න කිව්වොත් එය සිහි කළ හැකියි. එතකොට අපට හිතෙන්නේ තියෙන ගෙදර සිහි කළා කියලයි. නමුත් අපට හිතෙන්නේ නැහැ අපි සිහිකරගත්තේ අපේ මනසයි කියලා.

හොඳයි අපි තියෙන ගෙදර නම් සිහිකෙරුවේ, දැන් බලන්න ඔය ගොල්ලන්ගේ කෙනා කෙනාගේ ගෙදර, කවුද ඇවිල්ලා ඉන්නේ, මොනවද තියෙන්නේ කියල දැන් බලන්න. එහෙම බලන්න බැරිනම්, පෙනෙන්නේ නැත්නම් තේරුම් ගන්න ඕන අපි දැකපු දර්‍ශනයක් සිහිකරගෙන මිසක සැබෑ ලෙස තියෙන දෙයක් සිහිකරගෙන නොවෙයි කියලා.

එතකොට මේ කාරණා ටිකෙන් මතක් කළේ භවය කියනකොට බාහිර භෞතික දේට ඈඳගෙන දකින්න එපා. අපේ මනස තුළ බාහිර දේවල් ඇතිබවට තියෙන ගතිය, භවය හැටියට දකින්න.

‘ගෙදර’ කියලා සිහි කරනකොට බාහිර ගෙදරක් තියෙනවා කියල හිතට දැනෙන ගතිය, පෙන්නන ගතිය තමයි ‘භවය’ කියන්නේ. අපේ හිතටයි එම ගතිය, ස්වභාවය තේරෙන්නේ. ඔය ගතිය ඇතිතාක් සසර උපදින්න වෙනවා.

දැන් භවය නිසා ජාතිය කියන එක අපට තේරෙනවා. ඒ කියන්නේ මරණාසන්න මොහොතේ දී ඕනෑ ම දෙයක් සිහිවුනොත්, සිහිවෙච්චි දේට අනුව ප්‍රතිසන්‍ධි ලබන්න පුළුවන්. ඕනෑම නිමිත්තක් ප්‍රතිසන්‍ධිය සඳහා යෙදෙනවා. එතකොට ජාතියට හේතුව භවයයි.

මතු සම්බන්ධයි!

සියළුම ලිපි සඳහා පිවිසෙන්න : https://goo.gl/1VE9ZO

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා! via Facebook Pages http://ift.tt/1GMS4Lf