New photo from Facebook February 12, 2016 at 12:00PM

කො ඉමං පඨවිං විජෙස්සති – කවරෙක් මේ පොළොව දිනා ද? සෙඛො ඉමං පඨවිං විජෙස්සති – ‘සේඛ පුද්ගලයා’ මේ මුළු පොළොවම දිනනවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කළේ. එක සේඛ පුද්ගලයෙකුට මුළු පෘථිවි ධාතුවම දිනන්න පුළුවන්. මොකද එක හිතට මේ පෘථිවි සංඥාවම ගන්න පුළුවන් ස්වාමීන්වහන්ස.
අර උපමාව ගන්න – මුළු පඨවි ධාතුවම, ‘මුළු පොළොවම බිත්තියක් නම්’, ‘බිත්තිය වැහෙන්නම චිත්‍රයක් ඇන්දොත්’ – මේ ඇහෙන් බලන කොට ස්වාමීන්වහන්සේලාට චිත්‍රයක් පෙනෙයි. නමුත් පඨවිය පෙනෙන්නේ නැහැ.
හැබැයි ඔය පෙනෙන චිත්‍රයේ ඕනෑම වස්තුවක් අල්ලන්න අත දාන්න. මේ පෙනෙන ඕනෑම තැනකට අත දැම්මොත්, මේ අත හැපෙන්නේ ගිහිල්ලා මේ පඨවියේ, මේ බිත්තියේ මිසක ‘පෙනිච්ච දේ නෙවෙයි’.
එතකොට මෙන්න මේ මුළු පොළොවම එක්ම එක් පඨවි සංඥාවෙන් වැඩුවොත්, බිත්තියේ චිත්‍රය ඇන්දා වගේ ‘පඨවිය තියෙන තැනක චිත්‍රය දැන් පිහිටලා තියෙන්නේ නම්’ – චිත්‍ර දකින ගානේ අපේ මනසේ මනුස්සයෝ, පුද්ගලයෝ, ගෙවල්දොරවල් කියන අදහස් එයි. මුළු බිත්තිය වැහෙන්නම ඇඳපු චිත්‍රය තියෙනවා, බිත්තිය පෙනෙන්නේ නැහැ. චිත්‍රය දකින කොට ගංගා, මනුස්සයෝ, කපුටෝ, ගෙවල්දොරවල් කියන අදහස් අපිට එයි.
නමුත් තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ – ලෝකයේ චිත්‍ර ටිකක් තියෙයි. සංකප්ප රාගො පුරිසස්ස කාමො – පුරුෂයාගේ මනස තුළයි කාමය. ගෙවල්-දොරවල්, කපුටෝ, ළිං, මිනිස්සු, ඉර, හඳ ඔක්කෝම – මනසේ. ‍
මේ වගේ මේ මුළු පෘථිවියම වැහෙන්න චිත්‍රයක් නම් මේ ඇඳලා තියෙන්නේ, තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ – මේ ලෝකයේ චිත්‍රයක් තියෙයි. සංකප්ප රාගො පුරිසස්ස කාමො – මේවා දකින කොට වෑන් කියයි, ජනෙල් කියයි, ගෙවල් කියයි, ගොඩනැගිලි කියයි, ගස්කොළන් කියයි, වීර ගස් කියයි, පලු ගස් කියයි මේවා අපි තුළ එයි. සංකප්පො කාමො, රාගො කාමො, සංකප්ප රාගො කාමො – මේ සංකප්පයයි, රාගයයි දෙක කාමය. වෙනදා අපි හිතුවේ මෙහේ පහළවෙන ගස්කොළන්, ගෙවල්දොරවල්, වාහන ‘මෙහේ’ කියලා. නැහැ. ‘පොළොවේ ඇඳපු චිත්‍රය දකින ගානේ’ – අපේ මනසේ යි කාමය යෙදුණේ.
සතිසම්පජඤ්ඤය කියන්නේ – අපි කියමු පඨවි ධාතුව අහුරාගෙන පිහිටලා තියෙන වර්ණ සටහන, චිත්‍රය දකින ගානේ අපේ මනසේ අදහස් ඇතිවෙනවා කියන තැනකට සිහියෙන් අඩිය තියන්නේ. වෙනදාට අඩිය තියලා ගියේ අපි ‘පෙනෙන ශාලාවේ, නැත්නම් මේ පොළොවේ’. ‘පෙනෙන දෙයටයි වෙනදාට අපි අඩිය තියලා ගියේ’.
දැන් අපි දන්නවා මගේ කකුල හැපෙන්නේ පෙනෙන දෙයෙහි නෙවෙයි කියලා. බිත්තියේ චිත්‍රයක් නම් ඇන්දේ, ඒ බිත්තිය බිමට තල්ලු කළොත්, බිත්තිය උඩ මම යන්න ගියොත්, ඇහැට පෙනෙයි මට චිත්‍රය. ‘චිත්‍රය ඇතුළේ තියෙන බඩු-භාණ්ඩ’ මගේ කකුල හැපෙනවා ද? මම ‘පෙනෙන දෙය පාගගෙන ද’ ඉන්නේ එතකොට? නැහැ.
ස්වාමීන්වහන්ස, මේ දැනුත් එහෙමයි. සතිසම්පජඤ්ඤය කියන එකේ සැබෑම අර්ථය ඒකයි.
ඒ කියන්නේ මහාභූත සහ උපාදාය රූප තියෙන තැනක, නැත්නම් මුළු පොළොවම ආවරණය වෙන්න පිහිටි චිත්‍රයක් තියෙන්නේ. චිත්‍රය දකින කොට – ඒ කියන්නේ තව පැත්තකින් ගත්තොත් වෙනදාට අපි ටක්ගාලා ‘ගහ’ දිහා බලන්නයි ඔලුව හැරෙව්වේ. දැන් සතිසම්පජඤ්ඤයෙන් – ‘රූපය දකින කොට ගහ කියන අදහස එනවා නේද’ කියන එකට සිහියෙන් තමයි ඔලුව හරවන්නේ.
ඒ කියන්නේ වෙනදාට ළඟ ඉන්න හාමුදුරුවෝ දිහා බලන්නයි ඔලුව හැරෙව්වේ. දැන් සතිසම්පජඤ්ඤයෙන්, ඒ කියන්නේ සිහියෙන්, නුවණින් මම ඔලුව හරවන්නේ. ඒ කියන්නේ කනබොන ආහාරයෙන් හැදුණු ‘කුණප කොටස් ටිකක් තියෙන තැනක පිහිටි සටහන’ දකින කොට ‘හාමුදුරුවෝ කියන අදහස මට එයි නේ’ කියන එක සිහි කරගෙන මෙහෙම බලන්නේ.
‘බාහිර’ හාමුදුරුවෝ දිහා නෙවෙයි බලන්නේ. මහාභූත සහ උපාදාය රූප ටික දිහා බලන කොට හාමුදුරුවෝ කියන අදහස එයි නේ කියන අදහසින් බලන්නේ මම. ඉදිරියට යන්නෙත් එහෙමයි.
මේ පෙනෙන දෙය – ස්වාමීන්වහන්ස අර කට්ටිය දන්නේ නැති වුණාට, අපි කළාට ඉස්සර මතක ද සක්මන් භාවනාව එහෙම කරන කොට ‘පඨවි, පඨවි’ කිය කියා ඔය හිතන්නේ මොකක් ද? යථාර්තය. අන්තිමට ඒ කියන්නේ ‘මේ හැපෙන්නේ පෙනෙන දෙය නෙවෙයි කියන එකයි ඒ සිහි කරවන්නේ’. දැන් බිත්තිය උඩ ඇවිදින කොට අපිට හිතන්න තියෙන්නේ ‘පඨවි, පඨවි’ කියලා – මොකද? “මේ පෙනෙන දේ හැප්පෙනවා නෙවෙයි, මේ පෙනෙන ‍දෙය චිත්‍රය. දැන් මේ හැපිලා තියෙන්නේ කකුලට මේකේ තියෙන පඨවියයි” කියන එකයි ඒ කියන්නේ.
එහෙනම් මෙය ද මුළු පොළොවම ආවරණය වෙන චිත්‍රයක් නම්, දැන් මේ අපි අඩිය තියන්නේ පෙනෙන දේ ද? නැහැ. සිහිගන්වනවා. රැවටෙන්න දෙන්නේ නැහැ මනසට, ‘පෙනෙන දෙය අහුවෙනවා නෙවෙයි, පෙනෙන දෙය පෑගෙනවා නෙවෙයි, පෑගෙන්නේ පඨවියයි’ කියන එක. ඒකයි සතිසම්පජඤ්ඤය කියන්නේ.
මම මේ කිව්වේ, වෙනදාට බිත්තිය දිහා බැලුවේ කෙනෙක් කියන එකෙන් නේ? දැන් බිත්තිය දිහා බලන්නේ, ‘බිත්තිය දිහා බලන කොට කෙනා කියන අදහස ඇතිවෙයි නේ’.
ඉදිරියට යද්දිත්, ආපසු එද්දිත්, වටපිට බලද්දිත්, අතපය හකුලද්දිත්, දිගහරිදිද්දිත්, මේ ටික පෙන්නුවේ, කයෙන් කෙරෙන වැඩ ටික – අපි ජීවත්වෙනවා කියන එක. අපි කෙනෙක් ජීවත්වෙනවා කියලා කියන්නේ මේ මේ වගේ ක්‍රියාදාමවල් ටිකක් කරනවා කියන එක. මේ මේ වගේ ක්‍රියාදාමවල් ටිකක් කෙරෙද්දී, අපිට නුවණ තියෙන්න ඕනේ ‘අපි ගනුදෙනු කරන්නේ සතරමහා ධාතු සහ උපාදාය රූප ටිකක් එක්කයි’. ඒ ගනුදෙනු කරන ගානේ අපේ මනසේ ප්‍රපංච යෙදිලා තියෙනවා කියන කාරණාවයි මේකෙන් තේරෙන්න ඕනේ.

ආලෝකෝ උදපාදි පොතෙන් උපුටා ගන්නා ලදී -> http://ift.tt/20rXBKK via Facebook Pages http://ift.tt/1GMS4Lf